Friday, October 28, 2016

05.ඒ අපූරු දවස් ( 03 කොටස ) (මතක)



ඔබ කියවන්න සුදුසුම තැන විදියට දකින්නේ මොන වගේ තැනක්ද.......?

සමහරක් විට ඔබට....ඔබේ පොඩිත්තන්ට...
පොත් මේසයවත්...විසිත්ත කාමරේ රූපවාහිනිය ඉදිරියේ වත්..එහෙමත් නැත්නම්....කාමරේ ඇඳේවත්...එහෙම නෙවෙයි නේද.....


නමුත් අපි ඇත්තටම  කියවන්නේ ඒ වගේ තැන් වල ඉඳන්....අකමැති වුණත්...ඒක සුදුසු නෑ කියලා දැනගත්තත්...අපි අපේ ජීවන රටාව අනුව ඒ වගෙ තැන් තමයි කියවන්න තෝරා ගන්නේ.


ඔබ ගසක් යට ඉඳන් ..එහෙමත් නැත්නම්...ගසක් උඩ ඉඳන් කියවලා තියද කවදාහරි.....

ඔන්න දැන් ගස් නගින්න එහෙම ගිහින් අතපය කඩාගන්නවා එහෙම නෙවෙයි....

මගේ ළමා වියේදි..අපේ ගෙදර වත්තේ තිබුන..හරහට වැටුන ගහක් මට තාම මතකයි...පොතක් අරන් ඔය ගහ උඩට ගියාම ඇඳිරි වැටෙනකල් උනත් පොත කියවන්න  පුලුවන්...

අද කාලෙ වගේ මදුරු උවදුරක් අපිට අපේ ලමා කාලෙදි අත්විඳින්න වුනෙ නෑ....

ස්වභාවික පරිසරයට කෙනෙක් අනුගත වුනාම පොතක පතක ඇති දේ මනසට ග්‍රහනය කරගන්න ලෙහෙසියි කියලා මම හිතනවා....ස්වභාවික සුලඟ...පිරිසිදු වාතාශ්‍රය...නැවුම් ගස් කොලන් වල සෙවන..සිසිල....නිහැඬියාව....පොතක් කියවන්න්නාට..ඊට වඩා ආශ්වාදයක් ..ආශිර්වාදයක් තියද වෙන..........

අපි ඉස්සර පාඩම් කලේ චිමිනි ලාම්පුවෙ එලියෙන්....ගෙදර පැට්‍රො මැක්ස් ...ඒ කියන්නේ හුලං ගහන ලාම්පුවකුත් තිබුනා...පාසැල් වැඩ කටයුතු ඒ එළියෙන් කලත්....ආසා කරන පොතක් ඵතක් පත්තරයක් කියවන්න...හොඳම තැන ගසක්.....

මට හිතෙනවා පුංචි ලමයි පොත් කියවන කොට ගස් යට හරි උඩ හරි ඉඳන්...ගසුත් හොරෙන් වගේ පොතේ තියන දේවල් කියවනව ඇති කියලා..........පහතට නමුන අතු වල ට හීන් ඇස් එහෙම නති වෙන්නම බැහැ....සමහරක් විට අපි පොඩි කලෙ හඬ නගා පොත් කියවන කොට...ගස් කන් යොමා ගෙන අහන් ඉන්නවා ඇති...ළමා ගීත රස විඳිනවා ඇති.......




ඉඳහිටක කිසිම විචාරයක් නැතුව ගිහින් කූඹි ටිකක් යන ගසක් උඩ ඉඳගෙන වෙන අකරතැබ්බත්...අමතක වෙලා කහඹිලියා වැල් වල පැටලිලා වෙන සුලු සුලු හිරිහැරත්...මතකයට අරන්.....අද ඉඳන් බලන්න ගසක් යට ඉඳන් පොතක් කියවන්න..........

අපේ පොත් හදල තියෙන්නෙත් ගස් කපල තමයි...ඒ නිසා ඒ කලගුන සැලකීමට ගසකට ආදරෙන් කතා කරන්න....ගස් වලට ඔබේ පොතෙන් සතුටක් ගෙනල්ලා දෙන්න....




Thursday, October 27, 2016

04.ඒ අපූරු දවස් (02 කොටස ) (මතක)









ජීවිතේ මතක ඇහිඳින එක තරම් අපූරු දෙයක් කොහේ නම් තව තියද...?
එක ඉසව්වකින් ගමන් අරඹන කොට පුංචි කලෙ වගේමයි...හිත හරියට රස්තියාදු ගහනවා....අතරමං වෙනව....ආයෙම එන්නෙ මහ වන වදුලු අස්සෙන්...ඒ වෙලාවට මගෙ හිතෙත් තියෙන්නෙ මහ රස්තියාදුකාර ළමා හැඟීමක්


ඉස්සර දවස් වල ගැහැණු ලමයෙක් කියල අසීමාන්තික නීති දැමිල්ලක් මගෙ ළමා කාලයෙ තිබුණෙ නෑ...ගහක් උඩම තමයි වැඩිම හරියක් කාලය ගත වුණෙ...
සමහරක් වෙලාවට පාඩම් කරන්නෙත් ගස් උඩ....සොබා දහමත් ඒ ආසාවට වැට බන්දෙ නෑ ...කිසිම දවසක....ආරක්ශාව වගේම ....බිමට අතු කඳන් හෙලා දීලාහරි ඒ දඟකම් වලට සොබා දහමත් රුකුල්මයි සැපයුවෙ....

මට තාම දැනෙන්නෙ ගෙදර වත්ත පුරාම දැවටුණ කෝපි මල් වල සුවඳ....කෝපි මල් වල ලස්සනක් නම් නෑ...තනි තනිව ගත්තම...ඒත් පොකුරට ගත්තාම හරි පිරුණු බවක් කෝපි මලෙත් තියනවා....කෝපි ගස් වල මල් පිපෙන කාලෙට ...උදේ කාමරේ ජනේලෙ ඇරියාම එන්නෙ ඒ අපූරු සුවඳ......හිත සන්සුන් කරන සුවඳක්......


මිදුල මැද්දෙ මහ විසාල ඇහැළ ගහක් තිබුණා...ඇහැල මල් පිපෙන කාලෙටත් උදේන්ම නැගිට්ටොත් ඒ සුවඳ විඳින්න පුලුවන් කියලා කියාදුන්නෙ ආත්තම්මා.....ඒක හරිම සියුම් සුවඳක්...අතු බිමට හැරිලා උදෙන්ම ගේන ඒ සුවඳ...ජීවිතේ ට එක් කරන්නේ අමුතුම නැවුම් බවක්

හැන්දෑවට මිදුලෙ පාට පාටින් පිපෙන හෙන්දිරික්කා....ඒක හරිම වෙනස්....පොඩි කලෙ කල අපූරුම පරීක්ෂණය තමා පාට දෙකකින් හෙන්දිරික්කා අල අරන් මැද්දෙන් කපලා ආපහු එකට තියලා අලවලා පැලකරන එක....මල් පිපෙන කාලෙදි ඒ ගස් වල පාට දෙකෙන් මල් පිපෙනවා...මට හෙන්දිරික්කා මල් සුවඳටත් හරිම ආසයි...දැනිලා තියද ඒ සුවඳ.....

අපි ජීවිතේ විඳින්න ඕන අන්න ඒ වගේ නැවුම් බවක්....මම තාම මගේ ළමා වියේ අතීත මතක අස්සේ සැරි සරන්නේ ඒ ආසාව නිසයි
මුල් කොටස මෙතනින්

Wednesday, October 26, 2016

03.ඒ අපූරු දවස් (මතක)






මගේ ළමාවිය අපූරුම සිහින ගොන්නක් අදටත් මට මවා ගෙන එයි.ගමක තම ළමා විය ගෙවන්නට වාසනාව ඇත්තා වියපත් වන තුරුම ඒ මතකයන්හි සරි සරයි...මම ද එවැන්නෙක්මි.

මගේ ළමා විය නිදහස් යුගයකි...කිසිත් හිරිහර ගැහැට නැති..අපූරුම කාලයකි.ගහට වැලට මලටෙ පෙම් බැඳි යුගයකි.කුරුළු හඬකින් උදාසන ඇහරෙන ....නැවුම් සුළඟින් පෙනහලු පුරවාගන්නට තරම් පවිත්‍ර බවක් එදා ගමේ තිබුණි...

ගමකට හිරු උදාවන්නේ කුරුලු හඬකිනි..අපේ ගමද ඕනෑ තරම් ලඳු දෙණි බඩවැටි වලින් ...කුඩා වන රොදින් පිරුණක්ම විය...ඒ කුඩා කැලෑ රොදවල් වල තිබුණ ගඩාගෙඩි වල නමක් නොදැන වුවත්...අපි කිසිදු බියක් සැකක් නැතිවම ගිලදැම්මෙමු.දං,බෝවිටියා( අපේ ගමේ බස් වහරට අනුව ඒවා කටකලුවාය )ගොඩපර,ඇඹිල්ල,එරමිණියා....නමක් අමතක ගඩාගෙඩි ඕනෑ තරම් කමින්...කටු පඳුරු වලට අපමණ සීරෙමින් ...ගතකල ඒ ළමාවිය අද අපේ ගමේවත් ඉතුරු වී නැත..

මතක් වෙද්දීත් ඇඹුල් රසයක් ගෙනෙන ඒ සුන්දර මතක වල මම අදටත් ගිලී නැහැවෙමි...නාන්නට ගඟට ගිය විට ගඟ අයිනේ තිබෙන අට්ටික්කා ද...ගඟට යාබදව ඇති වතුවල අයින් වල හැදෙන ගඩාගෙඩිද කන්නට කාගෙන්වත් බාධාවක් තිබුණේම නැත.

ළමාවියේ මතක පෙළගස් වන්නට අනුපිලිවෙලක් තවමත් මම සොයමි.එසේ නොකලද මේ මතක මේසේ හෝ සටහන් කර තබන්නට මට අවැසිමය.ඒ ඉතාම කෙටි කලකින් මේ මතක සදාකල්ම මතකයන් පමණක් වන නිසාය.අපෙ ලෝකය ඒ තරමටම ඉස්සරහට ගොසිනි....අත හැරී අත්තේ විඳීම පමණි....

Saturday, October 22, 2016

02.සිහින දකින්නට ඔබට හැකි නම්.... (අරමුණු)

සිහින දකින්නට ඔබට හැකි නම්  එය සැබෑ කරගන්නටද ඔබට හැකිය....





මේ වදන් පෙල...මා උපුටා ගත්තේ...වෝල්ට් ඩිස්නි නමැති අපූරු පුද්ගලයා විසින් කියා තැබූ ඉංග්‍රිසි කියමනක්  ඇසුරිනි...

මිනිසුන් බොහෝ විට සිහින යනුවෙන් සිතට ගන්නේ අපැහැදිලි රෑ නින්දක දුටු සිහිනයන් හා සමාන බලාපොරොත්තු වලටය....

නමුත් ජීවිතය පිලිබඳ සිහිනයන් ඔබ දකින්නේ නම් ඒ සිහින වලට සරිලන ඉලක්කයන් ඔබ සතු විය යුතු වේ....
මම පොතක් කියවමි....ඒ පොත එක්තරා අපුරුම පුද්ගලයෙකු පිලිබඳවය...ඔහු මහාචාර්ය රැන්ඩි පෝෂ්ය...
මහාචාර්ය රැන්ඩි පෝෂ් යනු අග්න්යාශයේ පිලිකාවක් හේතුවෙන් සිය මරණය මාස කීපයක් ඇතුලත  දැනගත් පසු ලෝකයට ජීවත් වීම කියා දුන් පුද්ගලයෙකු ලෙස මම අදහමි.

මේ පොත කියවූ පසු මම  නිවී සැනසිල්ලේ කල්පනා කලෙමි...මම ජීවත් වෙමි...එහෙත්...මගේ මරනය තීන්දු වූ දිනක මට සතුටු විය හැකි දේ නම් කීයක් මා කර ඇත්ද යන්නයි...මට මේ දක්වා මා විසින් කල කී දේ ගන සෑහීමක් ඇතත්....ඉතා තදින් හිතට දැනෙන අඩුවක් ඇත....ඒ මේ ලිවීමේ දි...මගේ ඇති අලස භාවයයි.....







අපේ සිහින පටන් ගන්නේ ලමා වියෙනි...මහාචාර්ය රැන්ඩි පෝෂ් මෙන් ...ලමා කාලයේ සිහින තුලට ගොස් චාරිකාවක් කරන්නට මටද සිතේ...ලිවීම මා යළි සුවපත් කර දෙනු ඇතැයි සිතා....මම සිහින දකිමි....
විශ්වාසය මත පදනම්ව කරන්නාවූ කිසිම ක්‍රියාවක් මග නවතින්නේ නැත...එහෙත් මට මා ගැනම කිසිදු විශ්වාසයක් නැත....අද මම දකිය යුතු සිහිනය මේ අලස භාවයෙන් මිදී ලිවීමට එක් වීමයි....

ළමා වියේ සිහින සත්තකින්ම සුන්දර සටහන් වනු ඇත.....එය කවදා හෝ කාට හෝ අපූරු මතකයක් වන තුරු මට මගේ සිහින අකුරු කල හැක

අද දරුවන්ට නැති.....ඒ සොඳුරු ලමා විය..සරලව සුන්දරව පෙල ගස්වන්නට...මට ඇති බස පොහොසත් යැයි මම සිතන්නෙමි.....
එවිට කවදා හෝ මටද.....මා ලියූ අකුරු තුල ජීවත් වන ලමා පරපුරක් දැක .....නික්ම යා හැක






20161022

01.විසිරි සිහින තුළ .....

මගේ පලමු සටහන...



ඉපරණි පොත් පිටක
තවම මට සුවඳ දෙන
නුඹේ දෝතින් නෙලූ
ආදරේ වියැළි මල් පෙති..........


මට ...මගේ ජීවිතයේ විසිර ගිය සිහිනයන්...
යළි එකතු කල යුතුව ඇත...


ඒ අන් කිසිවක් නොව ...මගේ අකුරු කල හැඟීම්ය...

මට මාද අහිමි වීයැයි මට සිතෙන්නේ...කිසිවක්ම නොලියූ විටය...

ඉදින්...මට මා සොයා  ගත යුතුව ඇත...
ඒ මේ අකුරු හරහා ය ....


මම ලියමි...ඔබ එය කියවූවත් නැතත්...මම ලියන්නෙමි...
ඒ මම විසිරි සිහිනයන් තුළ ජීවත් වන බැවිනි



20161022