Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts

Tuesday, November 30, 2021

2021(32). මතක සුවඳ

උදේම ඇහැරලා මිදුලට බහින කොට ඈතින් එන මල් සුවඳක් නැහැ පුඩු සිසාරලා හමා ගියා...

නම නොදන්නා ...හිතාගන්න බැරි මලක සුවඳක් වෙන්න ඕන ඒක.....ඔන්න ඉතින් විසිරිගෙ හිත ඉගිල්ලෙන්න ගත්තා.....

ඉස්සරම ගෙදර ට එහා පැත්තෙ පොඩි කඳු කෑල්ලක කෝපිගස් යායක් තිබුණා ....එක කාලෙකට සුදුපාටට අතුදිගේම කෝපි මල් පිරෙන්න ගන්නවා.....
මගෙ කාමරේ ජනේල පලු දෙක ඇරියාම උදේට හීන් සුලඟක දැවටිලා එන්නෙ ඒ කෝපි මල් සුවඳ....
වෙන වෙනම ගත්තාම රුවෙන් ඒ හැටි හැඩක් නැතත්....කෝපි මල් අහුරක තිබ්බේ ලස්සනම හැඩයක්.....




අපේ ගෙදර මිදුලේ ඇහැල ගහක් තිබුණා...මහ විසාල කඳක් තිබ්බ ලොකු ඇහැල ගහක්...මල් රෑන් පිපුණාම ඔලුවෙ ගෑවෙන ගානට අතු පහත් වෙලා.....
ඇහැල මල් සුවඳ දැනෙන්නෙ පාන්දරට....
ඉදලකුත් අරන් සුදු වැලි පොලවෙ වැටුණ ඇහැල මල් පෙති සීරුවට අතුගාන කෙට්ටු කෙල්ලෙක්.....ඒ සුවඳ පෙනහලු වලට ඇදගන්නවා ....මට තාම දැනෙනවා.....




ඉස්සර ගෙදරට එන පාර කෙලවර තිබ්බා ඇට්ටේරියා ගහක්..මල් පිපෙන කාලෙට සුවඳ ....හැන්දෑවට පොහොට්ටු දිග හැරෙන්න ගන්න කොට මම මල් වට්ටිය අරන් ගහ යටට යනවා...හුස්ම පොරෝගෙන වට්ටිය පිරෙන්න නෙලාගන්න කැකුලු පිපෙන්නෙ රෑ වෙනකොට...ඉස්තෝප්පුවෙ ඉඳන් බලන් ඉන්න කොට අඳුරේ ඒ මල් ගහ සුදට දිලිසෙනවා...ඉස්කෝලෙ යන්න බස් එක එනකල් පාර අයිනට ගියාම ගහ හෙමින් හොලවලා රේණු හතර අතට විසුරවන්න...තරම් දඟ කමකුත් හිතේ තිබ්බා..




අපිට තිබ්බෙ පොඩි කුඹුරු කෑල්ලක්....ඒකෙ අස්වැන්න ගෙදර පරිභෝජනයට ඇති උනා...
කුඹුරෙ ගොයම් කපන කාලෙට කැපෙන ගොයම් ගස් වලයි..ඉන් පස්සෙ ඉතුරු වෙන ඉපනැල්ලෙයි සුවඳට මං කැමතියි...
ඒක එන්නෙ පොළව මහී කාන්තාවගෙ හුස්ම එක්ක කියලා මට ඉස්සර ඉඳන්ම හිතුණෙ...
නියරක් උඩින් වාඩිවෙලා වෙල්දෙනිවල හුලඟේ එන මඩ මුසු ඉපනැලි සුවඳට මං ඉව අල්ලනවා.....
තාමත් ගමට දුවන්න ආස ඒකයි....

කුඹුර අයිනෙන් අලුත කපපු ඇලක නිල් මානෙල් පිපෙනවා...
දම් පාට ලොකු පෙති මැද කහ රේණු.....ඒ අස්සෙ එහෙ මෙහෙ සරන මීමැස්සො....
වතුරෙ ඉන්න දඟ මාලුන්ගෙ විසේට මල් උඩට වැටෙන දිය බිංදු....
වෙල් යාය මැද තියන ගොඩ කෑල්ලෙන් දෙබලක් තියන කෝටුවක් කඩන් මම මානෙල් මල් කඩාගන්නවා....
මල් නටුව දිගේ පටලවලා ඇද්දම එන ඒ මල නටුව දිග ඇතුව කඩාගන්නවා....
ඇල අයිනෙන් වාඩිවෙලා ඇලට කකුල් දාගෙන ...මානෙල් මල් සුවඳ විඳින අර කෙට්ටු කෙල්ල ..මගෙ මනසින් ආයෙ එහෙ යං කියලා අදිනවා........




වෙල් දෙණි ගානෙ ඇවිදලා එක එක කොළ ජාති පොඩි කර කර ඒවාට ආවේණික සුවඳ බලන්න..
නියර දිගේ ඉබේ හැදුණ වෙල් මුකුණුවැන්න...වැල් ගොටුකොල කඩන්න....
සෙරෙප්පු නොදා නියරවල් ගානෙ මඩ චිරි චිරි ගාගෙන දුවන්න.....මට ඒ පුරුදු සුවඳවල් අතවනනවා........

මම
අතීතයේ සැරිසරන විසිරි......


Tuesday, July 6, 2021

2021 ( 17 ) ඉස්සර ගියපු ට්‍රිප්

කාලෙකින් ට්‍රිපක් කියල එකක් යන්න බැරිඋන සාන්කාවෙන් කල්පනාවේ ගැලි ගැලී ඉන්න වෙලාවක අතීත ස්මරණ චාරිකාවක ගමන් කලා ඔන්න. 

අපේ හිත කියන්නේත් මාරම විජ්ජාවක්නෙ. මේ ඉන්න මොහොතෙ ඉඳන් කාලයන්තර මොකුත්ම නැතුව අවුරුදු තිස් හතළිස් ගානක් ඈතට යන්න පුලුවන් එකම විජ්ජාවක් නොවෙයිද කියන්නකො.

ඉස්සරම පොඩි කාලෙ ට්‍රිප් යන්න පේවෙන්න දවස් ගානක ඉඳල. කොහොමටත් ඉස්කෝලෙ නිවාඩුකාලෙක යන ගමනක් ඇරුණාම ඉතින් ට්‍රිපක් කියල ගියේ අම්මාගෙ ඉස්කෝලෙන් යන පාසල් අධ්‍යාපන චාරිකාව තමයි. 

නිවාඩු කාල තුනට ගමන් තුනක් යන්න හිතාගෙන අවුරුද්ද පටන් ගත්තත් බොහොමයක් වෙලාවට ඒකෙන් දෙපාරක් වගේ යැවෙන්නෙ අම්මගෙ අයියල දෙන්නෙගෙ ගෙවල් වල තමා. එක්කෙනෙක් උන්නෙ කලුතර අනෙක් එක්කෙනා වේයන්ගොඩ. මාතර ඉඳන් එහෙම ගමනක් යන එක පවා ඉතින් විනෝදචාරිකාවක් තමයිනෙ.



ගොඩක් වෙලාවට ඔය ගමන් දෙකම යන්න අපි ඔක්කොම අනුමැතිය දුන්නෙ කෝච්චියට. බස් එකේ යන එකට වඩා කොච්චිගමන පහසුයි. අනෙක අම්මට වොරන්ට් තිබ්බ නිසා ඒක වියදමෙනුත් ශේප්. 

ඉතින් ඔන්න අම්මා ගමනට ටික දවසකට කලින් වොරන්ට් ෆෝම් පුරවන්නෙ තාත්තා එක්ක කතාබහ කරමින්. යන දවස ගැන ප්ලෑන් ගහන්නෙ දෙන්න එක්ක. අපි ඉතින් අවශේෂ පුද්ගලයොනෙ. අපේ ඔපීනියන් අදාලම නෑ ඒ අයට.


"ගෙනියන්න කිරිහට්ටියක් දෙකක් ලෑස්ති කරගන්න වෙයිනේ.?"

තාත්තා අහනව.

"අර ගඟ ගාව අහට ගිහින් බැලුවනම්. එහෙ මීකිරි හොඳයි." අපේ ගමේ ගෙවල්වල මීකිරිම හදන ගෙවල් දෙක තුනක් තිබුණා. ඒකාලෙ . අපේ ගෙදර ඇතිකලේ එලහරක්. " එල" කියන්නේ දැන් ඔය ව්‍යවහාරෙ තියන එල එක නෙවේ හොඳේ. 

ඉතින් ගෙදර බොන්නයි කන්නයි හැදෙන්නෙ එලකිරි. අපේ සීයා උදේම ගිහින් දොවාගෙන එන එලකිරි උණුකරල බොන්න ටිකක් වෙන්කරන් අනික්වා බෝතල් වල මුදවන්න දාන්නෙ ආච්චි හෝ අම්මා. ඒ කාලේ එලකිරි වහ වගේ වෙච්ච අපිට දැන් ඉතින් කිරිහලවල් වලින් එලකිරි අරන් බොන්න වෙලා නෙව.


ආ...කතාව අන්න වෙන කොහේද යන්න අරන්..ට්‍රිප් එක ගැන ලියන්න ගිය මට එලකිරි සිහිය නිසා ට්‍රැක් පැනල..

ඉතින් අම්මා ඔන්න ගමන යන්න තව මොන මොනව හරි කෑමක් දෙකක් හදාගන්නව. වැලිතලප, හැලප වගේ මක්කහරි තමා. මාතර කතාවක් ලියනකොට මාතර භාෂාව එහෙන් මෙහෙන් එබිකම් කරනවට ගණන් ගන්න එපා. ඒවා එහෙම තමා.


ඉස්සර ඔය ගමන් යනකොට අපේ හසරැල්ලා ඉපදිලා නෑ. ඒකා මට වඩා සෑහෙන්න පොඩියිනෙ .දැන් ඔය අලිපැට්ටෙක් වගේ උන්නට මෑන් මට වඩා අවුරුදු දොලහක්ම බාලයි. ඉතින් මගේ ඉස්සරෝම ට්‍රිප් යන කාලේ උන්නේ අපේ ලොකු මල්ලියි මායි.

දැන් ඉතින් මඩ දෙයියා වගේ මුහුණුපොතේ මට මඩගහන් උන්නට පොඩි කාලෙ උන්දැයි මායි නයිවෛරයි කියලයි අම්මා කියන්නේ

මෑන්ටයි මටයි රණ්ඩු වෙන්න කාරණා කොච්චර තිබ්බද කියනව නම් ට්‍රිප් යනකොට කියලා ඒවයෙ වෙනසක් අඩුපාඩුවක් නම් උනේ නෑ. කෝච්චියට නැග්ගම ලොක්කාට ඕන මූද පැත්තෙ සීට් වලට යන්න .

ඉතින් තාත්තා කියනව

පුතේ ගාල්ලට ගියාට පස්සෙ මූද තියෙන්නෙ අනික් පැත්තෙනෙ. ඒ නිසා ගාල්ලට යනකල් අපි මූද නැති පැත්තෙ යන් 

කියලා. ලොක්කාට තියා මටවත් ඔය ගාල්ලට පස්සෙ මූද පැති මාරුවෙන එක ඒකාලෙ තේරෙන්නෙම නෑ. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නෙත් කොහොම හරි පිළිඅරන් අපි වාඩිවෙලා යනව කියන්නකො. අර යකාට ඕන කෝච්චිය යන පැත්තට තියන සීට්ට්ටෙකක්. ඉතින් මටත් ඕන ඒකක්මයි. ඔන්න ඉතින් ආයෙ රණ්ඩු. ඒ වෙලාවට අපේ මලයගෙ මූණ නිකම් පුස්නාම්බුවක් වගේ. පුපුරන්න ඔන්න මෙන්න.


තාත්තා එතකොට මට ඇහෙන් ඉඟිකරනවා ඕක දීලාදාන්න කියල. ඉතින් අරයා රජා වගේ මූණට හුලන් වැදි වැදි යනවා. මම පස්සෙන් පස්සට යන්නෙ. වමනෙටත් එන්න වගේ එහෙම යනකොට. කොහොමත් ගමනක් යනකොට ඉටිබෑග් එකක් දෙකක් ස්ටෑන්ඩ්බයි තියන් තමයි අම්මල යන්නෙ


අහන්ගම පහුවෙනකොට රටකජ්ජේ කියාගෙන ආච්චිලා කීපදෙනෙක් එනවා කෝච්චියට. උණු උණුම රටකජු කඩදාසි කොල ගොටුවලට ගහලා. තාත්තා දෙකක් ගන්නව.එකක් අම්මා අත තියනවා. අම්මා රටකජු කන්න හරිම ආසයි. අපි උණු උණු රටකජු කකා එනවා.


ඔන්න බොලේ ගාල්ලෙන් පස්සෙ නෙ නියමම හරිය. මම යන්නෙ ඉස්සරහට අරයා පස්සෙන් පස්සට. පොරගෙ මූණ කෝච්චියට අහුවෙච්ච පොල් ලෙල්ල වගෙ. කටබෙරි කරන් අඬන්න ගන්නෙ මම නිකම් මූද හොරෙන් අරන් අනිත් පැත්තට තිව්වා වගේ. අලබෝලයක් වගේ ඉන්න එකා ඔන්න මට පයිනුත් ගහනවා. දෙයියෝ කටුකෝටුවට ඉන්න මට රිදෙනවා. රණ්ඩුව පටන් ගන්න කලින් අහවර වෙන්නෙ අම්මා රවාගෙන බනින්න ගත්තාම. 

"යෙ එක්ක එන්නෙ නෑ කිසි ගමනක්."

අම්මා දිනුම් පදේ ගහනවා. වෛරක්කායො දෙන්නා ශේප් වෙනවා.

"සින්දුවක් එහෙම කියන්නකො"

තාත්තා ඔන්න සමථ මණ්ඩලේ පුරුද්ද ගේනවා එතනට. ආ එතකොට තාත්තා සමථ මණ්ඩලේට පත්වෙලා උන්නෙ නෑ. එතකොට එයා පවුල් උපදේශක, මාතර උසාවියෙ.

සින්දු කියල මට එදත් මහ ලොකුවට සින්දු බෑ.

ඉස්කෝලෙ , දහම්පාසලේ රැස්වීමට , නෑයෙක් ගෙදර ඇවිල්ල දුවේ සින්දුවක් කියන්නකො කීවම වගේම ට්‍රිප් යනකොටත් මන් දන්න එකම සින්දුව


මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න

ගල්වැට ලඟ වාඩිවෙලා සඳපායන හැටි බලන්න

සතර දිසා ජයගෙන මම හනික එමී

ඔබේ ලොවට සඳහිරු වී එළිය දෙමී


ඕක තමා. ඒක ඉස්සෙල්ල රේඩියෝ එකේ ගැයුවේ පේශලා මෙන්ඩිස්. මන් එයාව එක පාරක් රුහුණුසේවෙදිත් හම්බවෙලා දැකල තිබ්බා. ලස්සන ගෑණුලමයෙක් එයා.ශෝක් කටහඬ. ඒකට මොකෝ ඉතින් මගේ  කටහඬ අදයි එදයි කියල නෑ. නිකම් තල් අත්තට පොල් පිත්තෙන් ගහන වගෙ සද්දෙ. කෝච්චියෙ මිනිස්සු හිනාවෙවී අහන් ඉන්නවා.


ඔන්න අපේ ලොකු එකාගෙ සින්දුව එන්නෙ ඊලඟට

මෑන් දන්නෙ 


හා හා හරි හාවා

කැලේ මැදින් ආවා

හිටගෙන ගඟ ගාවා

වටපිට ඇහැලෑවා


වගෙ එව්වා. ඉතින් හෙන හුරතල් හඬින් මූ ඕක කියනවා. කට තදකරන් ඉවසන් ඉන්න මට බකස් ගාලා හිනායන්නෙ...මෑන්ට දාල තියන කවටකම් නම ..ඔව්...ඔව් ඔය නික්නේම් කියන්නේ ඒකට තමා දැන්...හාවා නිසා....

ඔන්න මගේ හිනාව එක්ක පොරට යකා ආරූඪ වෙන්න ගන්නවා.


"වැස්සි වැස්සි..ගොන් වැස්සි.."

දත්කූරු හපාගෙන පයින් ගහ ගහ මේකා අඬනවා.

සින්දුකීම එතනින් හමාරවෙනවා.

කලුතර කිට්ටුවෙනකොට ආයෙ එනව ඉස්සොවඩේ. හම්මේ ඉතින් සුවඳ. තාත්තා අරන් දෙනවා ඉතින් .පස්සෙ කාලෙක මේ මෑතක කලුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන විද්‍යායතනයේ ට්‍රේනින් එකකට ගියා මම . ඒ යනකොටත් පොඩි කාලේ පෙරේතකම මතක් වෙලා ඉස්සො වඩේ අරන් කෑවා.

"මගේ එක තමා රහ..."

"නෑ මගේ එක.."

රණ්ඩුවක් අල්ලන්න නම් ඉස්සෙක් උනත් ඇති ඒකාලෙ..


රණ්ඩු දෙකක් ඉවර වෙනකොට කෝච්චිය දකුණු කලුතර ට කිට්ටු කරනවා.

"හා හා ලෑස්ති වෙන්න ඊලඟ එකෙන් බහින්න ඕන."


අම්මා ඇඳුම් බෑග් එක කරට ගන්නවා. මල්ලිව අතින් අල්ලගෙන . තාත්තා අනෙක් බෑග් එකයි කිරිහට්ටි දාපු පෙට්ටියයි ගන්නවා.


"මාව අල්ලගෙන එන්න දෝණි. අතහැරෙයි බලාගෙන"

තාත්තාගේ කලිසමෙන් අල්ලගෙන මම කෝච්චියෙ දොරගාවට එනවා.


පොල්ගස් පේලියට මූද අයිනෙන් පහුවෙවී ආපහු මාතරට දුවනවා. මූදේ රැල ගහන හැටි කටත් ඇරන් මම බලන් ඉන්නවා. ඔන්න දකුණු කලුතරට එනකොට අපි එහා පැත්තෙ දොරගාවට යනවා.

කලුතර බෝධිය සුදෝසුදුවට පේනවා. අපි බහින්න ලඟයි ඉතින්. 

කෝච්චිය නැවැත්තුවාම කට්ටුඅය්ම හෙමින් බැහැ ගන්නවා.

අපි හතරදෙනාම ආපහු කෝච්චිය යනකල් අයිනට වෙලා ඉන්නවා.සෙනගත් යන්න දෙන්න ඕනනෙ.


කෝච්චිය හූ කියනවා. අපෙ ලොකුත් හූ කියනවා. ඔන්න එතකොට කවුලු වලින් බලන් ඉන්න කට්ටිය හූ කියන බෝල බබා දිහා බලන් හිනාවෙනවා


අක්කා වශයෙන් මට සියුම් ආඩම්බරයක් එතකොට දැනෙන්න ගන්නවා.මොක උනත් මගේ මල්ලිනෙ. අර තරහ මරහ අමතක කරලා මම ඒකාගේ අතින් අල්ලගන්නවා. මොන මූ ඒ තරහ අතෑරලා නෑ. මට රවල ආපහු පයින්ගහනවා.ඉතින් කවරකතාද ?


සෙනග අඩු උනාට පස්සෙ පිටවීමේ දොරට අපි හතරදෙනා එනවා. තත්තා රෝස පාට කොලේ ගේට්ටුවේ ඉන්න එක්කෙනාට දෙනවා. අපි ඔන්න ඉතින් දැන් යන්නෙ බස් එක ගන්න මාමලගෙ ගෙදරට යන්න.

අර ඉතින් කෝච්චියෙන් බැස්සට පස්සෙ මොකෙ වුණේ කියල කියන්නයි ඔන්න මම  හදන්නෙ. අපේ මාමලා ඒ කාලෙ උන්නෙ කලුතර දියගම. ඉතින් වෙනම බස් එකකින් එහෙට යන්න ඕන. 

ඔය දියගම කිට්ටුව තමානේ අර ඇඩ්ලින් විතාරන ගෙ මරණය උනා කියන්නෙත්.ඒ කාලෙ මට මතකයි ඔය මාමලාගේ ගෙවල් කිට්ටුව කඩේකින් ඒ දෙන්නා තේත් බීලා ගිහින් තියනවා කියල කතාවක් තිබ්බා. ඇඩ්ලින් විතාරණ කියන්නෙ කවුද නොදන්න අයට මන් මතක් කරල දෙන්නම්කො...

දඩයම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ අන්න ඒ ඇඩ්ලින් විතාරණගේ කතාව. පසුකලක ඔය කතාව ඇහුවට පස්සෙ මට මාමලාගේ ගෙදර යනකොට ඇඩ්ලින් විතාරණට උන්න ස්වර්ණා අර දෑත බදලා රවින්ද්‍රගෙ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුවෙන්න ගහන හැටි මැවිල පේන්න ගත්තා.


අපේ මාමලගෙ ගෙදර තිබ්බෙ කලු ගඟ ආසන්නයෙ.ඉතින් අපි කලුගඟට නාන්න එහෙම යනවා, නිල්වලාගඟ පේන මානයේ නිතිපතා ඒකෙන් නාපු අපි කලු ගඟට ගිහින් නාන්නෙ ජීවිතේට ගඟක නාලා නෑ වගේ.

ඒ වගේම ඔය ගඟට යන පාරේ මැන්ගුස් ගස් එහෙම තිබ්බා . කලුතර ගියපු කාලෙ තමා මැන්ගුස් කෑවෙ ඉස්සෙල්ලම අපි.

පණයනකන් ගණ කට්ටක් තලාගෙන අන්තිමට බලද්දි යාන්තම් මදුලු දෙක තුනයි. කහට විමානෙ අනික.එහෙමයි කියල නොකාඉන්නවද අපි නෑනෙ නෑනෙ...


කලුතර ගියාම ඉතින් කලුතර බෝධියට යන එක අනිවාර්ය සිරිතක්  උනා. මම පොඩිකාලේ හිතාගෙන උන්නෙ කලුතර බෝධිය කියන්නේ අර සුදු පටින් තියන චෛත්‍යයට කියලා.පස්සෙ ඔන්න දහම්පාසල් යද්දි  ඒ දෙකේ වෙනස තේරුණා.


මාමලාගේ ගෙදර ඉතින් දවස් දෙකක් තුනක් ඉඳලා සුපුරුදු අන්දමට ආපසු මාතරට අපි කෝච්චියෙන් එනවා. අන්න එහෙමයි ඒ කාලෙ අපි ගියපු ට්‍රිප්.



**************************************************************************************************************

කොච්චර අපහසුකම් තිබ්බත් ඒ ගිය ගමන් අදටත් මතකයේ තියෙන්නෙ ඒ ගමන් අපි වින්ද නිසානෙ. ඉතින් මම තාම ඒ ට්‍රිප් වලට මාරම ආසයි.ආයෙ එහෙනම් තව කොටසකින් එන්නම්කො ඔය වගේ තව ගියපු ට්‍රිප් ගමන් ගැන ලියාගෙන...


ප.ලි.

සදොස් තැන් තිබ්බා...ඒවා නිවැරදි කරදුන් කමෙන්ටු වලට ස්තුතියි


විසිරි

Sunday, January 24, 2021

2021 (2) දිනපොතක සැඟවුණ ආදරය

 




ආදරය කියන්නේ අපූරුම සුන්දර මනෝභාවයක්...ඒක අර්ථ කථනය කරන්නට අපි අපේම නිර්නායකයන් යොදාගන්නවා.ඉතින් පහුගිය දවසක මගෙ මල්ලි මට වට්ස් ඇප් කලා එයාට හමුවුණ දිනපොතක පිටු කීපයක්. ඔව්..ඔව් අනුන්ගේ දිනපොත් බලන එක බොහොම නරක පුරුද්දක් .....ඒක ඇත්ත ...ඒත් ඉතින් අපි කුතුහලය ඇති අයනෙ .....කියවන්න හිතෙන්න ඇති....ඉතින් ඒ පිටු ටික කියෙව්වාම මටත් ඒ දිනපොත ඉල්ලගන්න හිතුණා.....කියවන්න.....

.

ඒ දිනපොත ලියල තිබුණෙ 1972 ට කලින් වසරක කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගන ගත්ත තරුණියක්....වසර මොකක්ද කියල බලාගන්න ලැබුණෙ නෑ...පිටුවල ලියපු කොටස් පමණක් එවා තිබුණ නිසා....ඇයගේ ඒ පෞද්ගලික දිනපොතේ ඒ පිටු පුරාම තිබුණේ ඇයගේ පෙම්වතා ගැන....ඉතින් ඒ ආදරයේ සුන්දරත්වය හරිම ආදරණීයව මගෙ හිතටත් කාන්දු වුණා.....

.

ඒ තරුණ පෙම්වතුන් හමුවෙලා තිබුණේ කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේදි....ඉතින් ඒ තරුණයා ඇයව බලාගත් ආකාරය ඇයගේ හිතේ හරිම ඉහල තැනක තිබුණා...ඒ වගේම ඔහු වෙතින් ඇය ලද ආදරය වගේම කුඩා තිලිණයන් ගැන ඇය හරිම සතුටින් ලියා තිබුණා.....ඒ වගේම ඇය ආර්ථිකව යහපත් තත්වයක නොවූ නිසා ඔහුට කිසිවක්ම රැගෙන දෙන්නට බැරිකම ගැන ඇය විස්සෝප වෙලා තිබුණා...   " ඒ වෙනුවට මගේ හදවතේ ඇති ආදරය ඔයාට දෙන්නම් ..." කියලා ඇය ලියා තිබුණා.....

.

ඔහු රැගෙන දුන් සාරිය හැඳගෙන දෙන්නා "සාති" බලන්නට ගිය හැටි ඇය ලියා තිබුණා ..එල්පින්ස්ටන් එකේ  අක්කරපහ බලන්නට ගිය බවකුත් ලියා තිබුණා....එදා ඇය ඇඳන් යන්න ඇත්තේ ඒ කාලේ විලාසිතාව වුණ මිනි ගවුමක් වෙන්න ඇති...අර තරුණයා ක්‍රේල් කොණ්ඩෙ පැත්තකට පීරලා බෙල්බොටම් කලිසම එක්ක ඇඟට ම හරියන ශර්ට් එකක් අඳින්න ඇති....ඇත්තෙන්ම ඒ දෙන්නා විජය මාලිනී වගේ.....

.

ඒ යුවතියගේ හිතේ තම පෙම්වතා ගැන තිබුණේ හිතම නිවන ඔසුවක් වගේ හැඟීමක්....ගෙදරින් බැනුම් ඇසූ වෙලාවක ඇය සිය පෙම්වතා ළඟ උන්නා නම් හිත නිවෙයි කියලා සිතුවා....ඒ අපූරු ආදරය දිනපොතේ පිටු ගාණක තිබුණා.....

.

ආදරය අකුරු කරන්නට අපි කෙතරම් සමත්ද කියල මං තාම හිතනවා...ඒ දෙන්නගේ ආදරය කිසිදාක නැසුණේ නෑ...නමුත් ලෝකය ට පේන්න ආදරය ප්‍රකාශ කිරීමක් තියෙන්න නැතුවා ඇති ඒ ‍යුගයේ.......

පසුවදන....

ඒ යුවල 1972 දි විවාහ වුණා....ඇත්තෙන්ම ඒ දෙන්නා විජය මාලිනී වගේ ඒ මගුල් පින්තූරෙ.....දරු තුන් දෙනෙක් ගේ දෙමවුපියො වුණ ඒ දෙන්නා ගෙ අතරේ තිබ්බෙ පාඩම් කියාදෙන ආදරයක්....ඉතින් 2004 වසරේ තමන්ගෙ පෙම්වතා තනිකරල ඇය ක්ෂණිකව දෑස් පියාගත්තා ..සමහර විට ඇයගේ අවසන් සුසුම් නික්මෙන්නට ඇත්තේත් ඔහු ඇයව දෑතට ඔසවාගෙන රෝහලට ගෙනියන්න සූදානම් වෙන මොහොතේ වෙන්නත් ඇති.. මොකද ඒ දෙන්නා එකිනෙකාගෙන් වෙන්වුණේ නෑ සිත්වලින්......

දැනට මේ සටහන ලියන මොහොතේත් මගේ ජංගම දුරකථනයේ ඒ දිනපොතේ පිටු වල පින්තූර තියනවා...නමුත් අර සුන්දර තරුණයා ඇයගේ මතකය එක්ක ඈත සුන්දර ගමක ඉන්නා හෙයින් මම ඒ පිටු මෙයට අමුණන්නේ නෑ .....

ආදරය කියන්නේ අන්න එහෙම දෙයක්....කවදා කොහේ කෙලෙසක ඇතිවේද නොදන්නා . ..කෙසේ පවතීද කෙසේ වියැකේද නොදන්නා....

එය සුන්දරම හැඟීමක් කරගන්න එක ඇත්තේ අපේ අතේමයි......

ඉතින් අවසානයේ ලියන්නම්.....ඒ අපූරු පෙම්වතුන් දෙන්නා තමයි මගේ අම්මයි තාත්තායි..

Friday, December 21, 2018

101. කොළ පාට ඉරිදාව

කොළ පාට ඉරිදාව.....



ඉරිදා කියන්නෙ අපූරුම දවසක්....
එක එක ඉරිදාවල් ජීවිතේ ට දැනෙන්නෙ එක එක පාටට...
අද උදේ ඉඳන්ම මට ඉරිදාව දැනුණෙ කොළ පාටට....
ඒ ගහකොළ අස්සෙ මම වෙනදාටත් වඩා උන්න නිසා වෙන්න පුලුවන් .....
.
මිදුලෙ සිමෙන්ති බැම්ම උඩ වාඩිවෙලා පහු ගිය ටිකේම වැහැපු වැහි ඇළි වලින් පණ ගහපු ගස් වැල් දිහා බලන් ...මම කල්පනාව දිගේ පුරුදු විදියටම ගමට ගියා....
.
අපේ ගම කොළ පාටට බැබලුණ ගමක්....අපෙ මහ ගෙදර තියෙන්නෙ පොඩි කඳු ගැටයක් උඩ නිසා....ගෙදරට එන වැලි පාර කෙළවරට ගියාම හතර වටේම පරිසරය පේනවා....
.
වැඩිම වපසරියක් අයිතිකරන් ඉන්නෙ නිල්ල නිලන කුඹුරු යාය...හරියට කොළ පාට සාගරයක් වගේ ..ඒ මැද්දෙ තියන පොඩි පොඩි දූපත් ටික ....පොල් ගස් දෙක තුනක් ..අඹ ගහක් ...අයින් වැට දිගට ගිනිතිල්ල...කිරිල්ල ...පඳුරු.....සමහරක් දූපත් වල පුංචි ගෙපැලක්.....ඇසට හුරුම ඒ කොළ පාට....
.
ඊට එහායින් ගලා යන ගඟ....ගඟ දෙපැත්තෙන් ගඟට නැමෙන අත්තික්කා ගස්....ගඟට නාන්න ගියාම අත්තික්කා ගහෙ දෙබලෙක වාඩිවෙලා කිරි රහට තියන අත්තික්කා ගෙඩි කාපු හැටි....ගඟ දෙපැත්තෙ තැනින් තැන කුමුදු ...මල් පිපෙන පඳුරු ...ගං දිය සැඩ නැති නිසා....අගේට එක තැන රැඳෙන්න ඒවට පුලුවන් ....
සමහර වෙලාවට ගඟ දිගේ ඉහලට පීනන කොට සීමාවල් වෙන් කරන උණ පඳුරු....එතනින් එහාට යන්න තහනම්....ගඟ ගැඹුරු මහ ගඟක් වෙන්න ගන්න තැනට ගොඩක් මෙහා අපි නාපු ඉසව්ව....
.
ගෙදර ඉඳන් ඉස්සර දන්නා අඳුනන නැන්දෙක්ගෙ ගෙදර අපි ගණන් පන්ති ගියා...ඒ ගිහින් අතර මැද්දෙ විවේකයෙ අපි එතන එහායින් තියන කඳු ගැටයක් උඩට නගිනව....ඈතම කඳු වලලු පේන ඉසව්වෙන් ගොං ගල කන්ද පේන්නෙ එහෙමත් විමසුම් ඇසකට....මං හැමදාම ඇස් අයාගෙන බලන් ඉඳලා ඒ කන්ද ඇහැට අල්ලාගන්නව....
සීයා කියා දුන්න කතාවක....දි...
නිල්වලා ගඟත් ගිංගඟත් පටන් ගන්නෙ ගොංගල කන්දෙන් කියල කීවා ....ඒ හීන් දිය සීරාව එක උල්පතකින් පටන් අරන්....මගක් එනකල් ඇවිල්ල දෙකට බෙදිලා මේ ගඟවල් දෙක හැදෙනවලු....මම මනසින් ඒ දේ දකිනව.....
.
කොළ පාට ගමක උදේම ඇස් ඇරෙන වෙලාවට ජනෙල් පියන් අස්සෙන් එන කෝපි මල් සුවඳ.....සීයා ගෙදරට ගෙනාව එළකිරි උණුවෙලා එද්දි....ඒකට කෝපි කුඩු දැම්මම එන අපූරු සුවඳ....ඒ මතක එක්ක ජීවිතේ අපූර්වම සුවදායක මතකයේ ගිලෙනවා......
.
ඉතින් ....කුදුමහත් කාර්‍යයන් අමතක කරමින් කොළ පාට මතකයේ සැරිසරන මං ආයෙ පියවි ලෝකයට එන්නෙ....කොළ පාට ඉරිදාව ඉවර වෙන රැයක ඒ සටහන තියන්න හිතාගෙන....
.
ඉතින් ....ලබන ඉරු දිනය....සමහරක් විට වෙන පාටක් එක්ක මට වෙන මතකයන් රැසක් අවුලයි....

විසිරි

Sunday, December 9, 2018

97. ආදරයේ සුවඳ

ආදරයේ සුවඳ

උදේ ස්ටේශමේ කෝච්චිය එනකල් බලා ඉන්න මට මගෙ ඉහට උඩින් සිරි සිරි ගාල හැලුණ අපූරු සුවඳකට වටපිට බැලුණා....
.
ඇඳන් උන්න සාරියෙත් රේණු තුනහතරක් ඉතුරු කරන් ඒ සුවඳ ඉහිරවන් වැටිලා තිබ්බේ බෙලිමල්....

මගෙ මතකයේ ඉසව් ඈතට දුව ගියා එසැනින්ම ....
ඉස්සරෝම අපේ ගෙදර ලොකූ බෙලිගහක් තිබුණා...කන්ද ඉහත්තාවට වෙන්න....බෙලි මල් පිපෙන කාලෙට උදේම හමා එන අපූරු සුවඳක් වුණෙ ඒක....
.
ගෙදර ඉන්නව නම් ආත්තම්මාගෙ එක් පැවරුමක් තමා බෙලි මල් ඇහිලීම....කොලපොතක් අරන් ගිහින් තණකොල බිස්සෙ තියල සිඟිති බෙලි මල් එකින් එක අහුලනව...සමහර මල් පොහොට්ටු ...ඇස් ඇරලත් නෑ....අනේ වැටිලා....සමහරු පෙති දෙපෙති ඇහැරිලා.....
.
ඔය එක්කාසු කරන් එන බෙලිමල් වේලල ආත්තම්මා බෙලිමල් වතුර තම්බලා හකුරු කෑල්ලක් එක්ක බොන්න දෙනව.....බෙලිමල් අහුලන්න වගේම බෙලිමල් වතුර ටිකක් බොන්නත් ආසාව ඉස්සර ඉඳන්ම තිබ්බා.....
.
ආයෙම අපෙ ගෙදර තිබ්බෙ කෝපි ගාලක්...තද කොල පාට කොල හෙවිච්ච කොපි පඳුරු...මල් පිපෙන කාලේට සුදු පාට යායක්....කාමරේ ජනේලෙ ඇරියාම ඒ උදෙන්ම එන කෝපිමල් සුවඳ හරීම ආශ්වාදජනකයි...කෝපි ගෙඩි කොල පාටට හැදිල ඉන් පස්සෙ රතු පාට වෙලා ඉදුණම කඩන රාජකාරිය බාරගන්නත් ඕන අපි....
ඔක්කොම හොඳයි ...ඇඟ පුරා දුවන කලු කූඹි නැත්නම්....
.
ගමත් එක්ක බැඳෙන අනෙක් සුවඳ තමයි ඇට්ටේරියා මල් සුවඳ...ගෙදරට එන පාර කොණේ තියන ඇට්ටේරියා මල් හැන්දෑවට පොහොට්ටු ඇරෙන්නෙ.....ඒවා වට්ටියකට නෙලල ආත්තම්මාට බුදුන් පුදට ගෙනෙන්න ඕන...එක මල් නටුවක් වත් උඩට තියෙන්න බෑ.....උදේට ඉස්කෝලෙ යන්න බස් එක එනකල් ඉන්න ගමන්....මල්ලි කරන්නෙ ඇට්ටේරියා අතු හොලවන එක....ඔලුව වැහෙන්න මල් පෙති සිරි සිරි ගාල වැටෙන්න ගන්නව.....
.
ආයෙ අපෙ මිදුල මැද තිබුණ ඇහැල ගහ....රූස්ස ගහක්...ඇහැල ගහ මහ කරදර දෙන්න සමතෙක්....එක්කො කොල නැත්නම් මල්....මිදුල පුරා විසිරුවනව....උදේම මිදුල අතුගාන්න ඉදල අරන් බහිනකොට....ලා සීතල සුලඟ එක්කම මුසු වෙන්නෙ ඇහැල මල් සුවඳ....
.
මේ හැම එකක්ම මං හරි ආදරයෙන් විඳපු අපූරුම සුවඳවල්....මිනිස්සු ආදරය අරන් ජීවිතේ විඳිනකොට....ලෝකයම දැනෙන්නෙ හුරු සුවඳකින්.......
.
ඔව් ඒ තමයි ආදරයේ සුවඳ ...

විසිරි

93. ආදරේ කියන්නේ .....

ආදරේ කියන්නේ ......

ආදරේ කියන්නේ... වචන වලින් ලියා හමාර කරන්න බැරි දේවල් වලටය..
.
ආදරේ ගැන ලියන්නට ගියාම හිතට මුලින්ම එන්නේ තාත්තාය...තාත්තාගේ ආදරේ කියන්නේ...උපමා උපමේය සියදහසකට එහා යන දෙයක්‍ ය...
ඉස්සරම සිඟිති කාලේ මතක පවා අද ඊයේ වූවා සේ ගෙන හැර පාන්නේ ඒ ආදරණීය හිතේ දරුවන් ඉන්නා තැන පෙන්වන්නටය...
.
ඉස්සරෝම කාලෙක මෝටර් බයිසිකලයේ මා පසුපසින් නංවාගෙන පන්ති එක්ක යන දිනක පාරට පැන්න බලු පොරයක් නිසා පෙරලී වැටෙද්දීත්....තාත්තාට කෑගැහුණේ මගෙ කෙල්ල දෙයියනේ කියාය....අතේ වැලමිට ලඟ ඒ තුවාල කැලල අදටත් මට තාත්තාගේ ආදරය පිරි හඬ මතක් කර දෙයි....
.
අම්මා ගේ ආදරය ....හංගා ගෙන උන් අපූරු දෙයකි....ගෙදරින් කොළඹට යන තෙක්....ඒ ආදරය මට ලැබුණේ ..පෙන්නුවේ මංචාඩි ගානෙනි....බෙදුවේ කන් හැන්දෙනි....ඒත්...ඒ මගේම නස්කූණි ගති නිසා වෙන්නට ඇත....
.
ගෙදරින් කොලඹට ආ දා සිට මාසයකට ලියුමක් දෙකක් ඈ අතින් ලියවින..අර කන් හැන්දෙන් බෙදපු ආදරය පොල් කටු හැන්දෙන් බෙදන්නට ඈ ඒ ලියුම් වලින් සමත් වූවාය...ස්වභාවයෙන්ම ගෙදරදී කෑම තෝර තෝරා කෑ මට කොලඹ බෝඩිං කෑම පත්තියම් නොවන බව ඈ දැන උන්නත් ...පාඩම් කරන නිසා " තණකොල " හරි කන්නයැයි ඈ ලියා එව්වාය... .
අම්මාගේ ආදරය ඇය අතින් ගවුමක් මසා තුරුණු වියේදී අන්දවන විටත් මනමාලියක වී ඇගෙන් දුර යන දා කලාතුරකින් ඇගේ ඇස දුටු කඳුලකත් මම දැක්කෙමි.....
.
ආදරය කියන්නට ගත්තා පමණි....ඇයට සුරලොව බලා ගමන් කරන්නට වූයේ ....මගේ ලෝකයේ ඇතුළාන්තයේ ආදරය ඉල්ලා හඬන දැරිය හුදෙකලා කරමිනි.....
.
ආදරය කියන්නේ හරි ම අපූරු මනෝ භාවයකි...අම්මා තාත්තා යනු ඒ ආදරයේ සංකේතයන් ය....වචන වලින් කියාගන්න ට බැරිවූ ආදරය අද සංකාවෙන් අමුණ අමුණා ලියන්නට සිදුවන්නේ අවාසනාවටමය......
.
අම්මා තාත්තා යනු දරුවන් මත්තේ තම ලෝකය දියකර හරින්නන්‍ ය....ආශාවන්...බලාපොරොත්තු සියල්ල දරුවන් වෙනුවෙන් කැප කරන්නන් ය....ඊට එහා ආදරයකට උපමා උපමේය ඇත්දැයි මම නොදනිමි.....
.
අම්මා ට ජීවත් ව ඉන්නා තාක් කල් හිතේ තිබූ ආදරය කියාගන්න ට හිතේ හැටියට බැරි වුණත්...තාත්තාට අද මම ආදරය කියමි....ඒ තාත්තේ මම ඔයාට ආදරෙයි කියා ම නොවන මුත්...දවසකට දෙකකට වරක්....වල්පල් දෙඩීමෙන් සහ ....හොඳින් පරෙස්සමින් ඉන්න යැයි තරවටු කෙරීමෙන්‍ ය....
.
ඒත් උපන්දිනය දාට සුබ පැතුම් පතක් මගේ අතින්ම හදා තාත්තේ මං ආදරෙයි කියා ලිවීම තරම් ...ඔහුට වටිනා වෙන දෙයක් නැති බව මම හොඳාකාරව දනිමි.....
.

ඉතින් ....ආදරය කියන්නේ ඒකටය.....

විසිරි

Thursday, April 12, 2018

87. if you don't try you will never know

මට අද මේ සටහන ලියන්නට හිතට ආ ප්‍රධානම හේතුව...කියවපු පොතක තිබුන මේ වැකිය....
If you don't try ...you will never know

අපි උපදින්නේ කිසිවක් නොදැන..හිස් කඩදාසි වගේ...
කාලය එක්ක ...ඒ කොලය පිරෙන්න ගන්නවා...
සමාජ සාධක සහ විවිධාකාර තත්ත්ව යටතේ ....එම පිරීම විවිධ වෙනවා..
හැම ළමයෙක්ම එක වගේ වෙන්නේ නැහැ..
බුද්ධි මට්ටම් වෙනස්
යොමුවීම සහ මතක ශක්තින්...දක්ෂතා සහ කුසලතාවන් වෙනස්...

අපි උපදින්නේ එලෙස උනාට අපි ඉගන ගන්න උත්සහ කරන්නේ නැත්නම්...එක අපේම වරද.....
මේ ලෝකය අද අපි හිතනවට වඩා වේගයෙන් ගමන් කරන එකක්....
එහෙම නම් ..ඊට සමගාමිව අපි යමක් උකහා ගන්නේ නැත්නම් ..එක අපේම වරද...

ජිවිතේ අත්දැකීම් කියන්නේ අපූරුම දේවල්....
ඒවා සුබම නෙවෙයි අසුබම ඒවත් වෙන්න පුළුවන්...

මගේ එක අත්දැකීමක් මම මෙහි සටහන් කරන්නම්..

මම උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් සමත් උනේ ඒ සාමාර්ථයක්..බී සාමාර්ථයක් සහ සී සමර්ථ දෙකක් එක්ක...නමුත් ලකුණු මට්ටම් සසඳන විට ලකුණු අඩුවක් තිබීමෙන් මට විශ්ව විද්‍යාලයට යන්නට බැරි වෙන මට්ටමක් ඒ වතාවේ තිබුණා...
ජාතික මට්ටමේ කුසලතාවයන් දක්වා තිබීම නිසා ලැබෙන අමතර ලකුණු ලබාගන්න මම සම්මුඛ පරීක්ෂණයට ගියා...

මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ උන්නේ ලංකාවේ ප්‍රසිද්ධ  මහාචාර්යවරු...
මගේ සහතික ටික අතට අරන් ඒවා බලල මගෙන් හරබර ලෙස ඇහුවේ ඉංග්‍රීසියෙන් ප්‍රශ්න.....
මම ගමකින් ආව සිසුවියක්..මගේ සාමාර්ථයන් තිබ්බෙත් සිංහල හැකියාවන්ට...එතැන උන්න සිංහල අංශයේ මහාචාර්ය තුමාම මගෙන් ඉංග්‍රීසියෙන් අහලා මාව අපහසුතාවයට පත් කලාම මගේ ඇස්දෙකට කඳුළු ආවා....

එවකට ජාතික සහ සමස්ත ලංකා මට්ටමේ වර්ණ ලාභියෙක් වුන මගේ සහතික ඔවුන් එතරම් ගණන් ගත්තෙත් නැහැ...මට වුණත් එදා ඒ ලකුණු අවශ්‍ය නැහැ කියන මතයට මම ඇවිල්ල උන්නේ එම සම්මුඛ පරීක්ෂණය නිසා.....

එදා ඒ අපහසුතාවයෙන් පස්සේ මම හිතාගත්තා....මම මගේ අඩුපාඩුව හදාගන්න ඕන කියල...මම වර්තමාන රැකියාවට අදාල පුහුණුවට ඒම ලොකුම අභියෝගයක් උනා ඉන් පස්සේ....සම්පුර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වුන පාටමාලාව හදාරන එක...ඒ අභියෝගය එක්ක ජිවිතේ මං ඉගන ගත්තා....

අද දේශීය විදේශීය සම හා මට ඉහල ඉන්න වෘත්තිකයන් එක්ක ඉංග්‍රීසියෙන් ගනුදෙනු කරන විට මට අර අතීත සිදුවීම ඉබේම මතක් වෙනවා..එදා මට එහෙම නොවුනා නම්..ඒ ලැජ්ජාව මගේ හිතට නොආවා නම්...මට මේ ගැම්ම එන්නේ නෑ නේද කියලා මම හිතනවා...

මම එක්ව වැඩ කල එක විදේශීය ජාතික ආචාර්ය මහාචාර්ය වරු කිසිම කෙනෙක්..කෙනෙක්ගේ භාෂාමය දුර්වලතාවයකට හිනා වෙනවා මම දැකල නැහැ...නමුත් මේ අපේ රටේ අය....සාමාන්‍ය මනුස්සයාගේ ඉඳලම අනුන්ට අනුන්ගේ නොහැකියාවට හිනා වෙන අය...

මම එදා හිතා ගත් එක දෙයක් තිබ්බ....මගෙන් ඉගන ගන්න එක්කෙනෙක්ටවත්  භාෂාමය දුර්වලතාවය මත නම් මේ පුහුණුව අතහරින්න නොදෙන බව....සායනික ව මුලිනුත් ..පසු කාලිනව පුර්ණකලිනවත් මම ආචාර්යවරියක් උන දවසේ ඉඳන්..මම ඒ දේ කළා,,,,

වර්තමාන සිසුන් අතරේ ඉන්නා එක දරුවෙක්....මුලදී එකම ඉංග්‍රීසි වචනයක් බැරිව බොහොම මානසිකව වැටුණ කෙනෙක්..මගේ පෞද්ගලික counselling /mentoring session වලදී...හඳුනාගත් ගැටලුව ඔහුගේ එයයි ....ඒ ගැටලුව අපි හදාගත්තා...දැන් ඒ දරුවා වාචික පරීක්ෂණ වලදී පවා ලස්සනට බස හසුරවනවා....මට එදා ඇතිවුනේ ආඩම්බරයක්...

" උත්සාහ කරන්න...ඔබ උත්සාහ  නොකලොත් ඔබ කිසිදා එය ඔබට බැරි බව දැනගන්නේ නැහැ...නමුත් ඔබ උත්සහ කලොත් ඔබ ඔබේ ගැටලුව හඳුනාගන්නවා..එවිට මට හැකියි ඔබට උදව් වෙන්න......" මේ මම එදා ඔහුට කිව්ව දේ....

අපහාසාත්මක හිනාවකින් මට සැලකු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත මම ඒ මොහොතේ හිතෙන් thumbs up කළා 

විසිරි 

Thursday, March 29, 2018

86. spider phobia




කෑම වේලාවේ මඳ අලස සුවයෙන් පසු වන විසිරිගේ නිදිබර දෑස නළලටත් මඳක් උඩට යවන්නට සමත් වූ අතිශය භයංකාර සත්වයා තාමත් බිත්තියේ ඉහල එහෙට මෙහෙට ඩිස්කෝ ඩාන්ස් එකක් දමයි.....
.
වරින් වර උන්නැහේ දෙස හොරෙන් බලමින් ...යටි සිතින් අනේ ඕකා වැටිලා අත් අටම උලුක්කු වෙයන් යැයි සිතමින් අතීතයේ සිටන් ස්පයිඩර්ස් ලා සම්බන්ධ මතක එකින් එක අවුස්සන්නේ...යාබද පුටුවට කකුල් දෙකත් තබා ගෙනය......
.
මට ඕනෑනම් ප්‍රාග් අයිතිහාසික යුගයේ උන්නා යැයි කියන දරුණුම ඩයිනසෝරයා මේ දැන්.....මා අබියසට ඒනම් කිසිදු බියක් නැතුව ඒ සත්වයා සමග මූණට මූණලා සටන් කල හැක.....ඒත් රුපියලේ කාසියකට වඩා ලොකු නැති කඳක් බඩක් සහිත මේ අද්භූත ජීවියා දිහා කෙලින් බැලීමටද බැරිය....
.
ඒක බයම නොවේ පිළිකුලයැයි සිතා මම මගේ නම්බුව බේරා ගනිමි....
.
ඉස්සර පොඩිම කාලෙ මේ වෛරක්කාර සතා මම නාන කාමරයට යන්නේ මොන වේලාවටද ..ඌටත් ඒ වෙලාවටම එහි යැමට උවමනාය...ඉතින් නාන කාමරයට ගිය වේගයට වඩා වේගයෙන් ඉන් එලියට පැන ...මගේ එකම ගැලවුම් කරු වන තාත්තාට බෙරිහන් දීමට මම පටන් ගමි.......
අනේ ඉතින් තාත්තා කොස්සක් ගෙන මකුලු උන්නැහේට තට්ටු කර කර එලියට යවයි......
.ඊලඟ දවසේත් එසේමය.......
.
.උසස්පෙල සත්ත්ව විද්‍යාවට කැරපොතතන් ගෙම්බන් කපන්නට ආවට වෙලාවට මකුලුවන් කපන්න තිබ්බෙ නැත.............තිබ්බා නම් මම විද්‍යා විශය අතහැර කලා විශයයන් කරමි..
.
කොහොමින් කොහොම හරි මම පුහුනුවට කොලඹ ආවාට පසු අපේ අම්මා මට දවසක් ලියුමක් ඇතුලේ මැරිච්ච මකුලුවෙක් දමා එවා..මුලු ජාතික රෝහලම තව ටිකෙන් මගේ ඒ භීතිකාව සහ කෑගැහිල්ලේ තීව්‍රතාවය දැන ගන්නවාය.......
.
ඒ මදි වාට.......psychiatric conditions ඉගන ගන්නකොට phobia ගැන ඉගන ගන්නවිට උදාහරනයට ගන්නේම මේකාය....මම ඒක කැරපොත්තා ලෙස වෙනස් කරමින් පාඩම් කලෙමි........සායන පුහුනුවේදී blood phobia ඇති අයෙක් accident service ගෙනිහින exposure කලාට spider phobia කෙනෙක් ආවා නම් මට යන්න වෙන්නෙ ගෙදරය...
.
අර ස්පයිඩර් මෑන් කතාවේ වගේ එහේන්මෙහේ එල්ලී යන බලයක් දෙනවා කීවත්.....මම මේ සතාට ඇති අකැමැත්ත නම්.......සදාකල්ම එසේමය........
.
අර උන්නැහේ නටනවා කෙලවරක් නැත........මම පෝස්ට් එක නවතා ක්ලීනින් සර්විස් එකේ ඇන්ටිව සොයන්නට යමි.....

විසිරි ගේ මතක 

Saturday, January 27, 2018

83...ප්‍රේමය සුන්දරයි







සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුණ දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම් ..
.
සමහරක් සිංදු ජීවිතේ ඊ සැරයක් වගේ වේගයෙන් මතක අවුලනවා..ප්‍රේමය කියන්නේ අපූරුම වස්තු විශයයක්....ඒක එක එක්කෙනා තමන්ට අයිති ආකාරයට වෙන වෙනම බාර ගන්නවා....
.
ඊයේ Charithaගෙ පෝස්ට් එකත්...මට මේක ලියන්න මතක රැසක් ගෙනාවා....
සමහරක් අය ලියද්දි....
ප්‍රේමයයි වෛරය යි අතරේ වෙනස කෙස් ගසකට සමයි ...කියල....
එහෙම නොවන අපූරු මානවීය බැඳීම් මිනිස්සුන්ගෙ ගාව ඉතුරු වෙනවා.......
.
ඉස්සරම බාලිකාවක් වෙලා උසස් පෙල කරන කාලෙ ......ජීවිතේ ට එක්කාසු වුණ ...මගදි කිසිත් හිතේ කහටක් නැතුව අත හැරී ගිය ...නමක් දෙන්නට අපහසු සුන්දර බැඳීමක් මටත් තිබුණා ...ඒකට මම ආදරය හෝ ප්‍රේමය කියන්නේ නෑ....සමහරක් වෙලාවට එතන යාලුකම ..සහෝදරකම...වගේම සෙනෙහසකුත් තිබුණා.......
.
මං තාම ඒ බාලිකා මතකයට ආස....
පුදුමාකාර සුන්දරත්වයක් ජීවිතේට එක් කල ඒ බැඳීම ....අත හැරුණත් ....කිසිම දාක ඔහු මට වෛර නොකල නිසා......සමහරක් විට ජීවිතේ තෝරා ගැනීම් වලදී......සමහර දේ අතහැරෙනව.......
..
කාලයක් ගතවෙලා ......අපි දෙමවුපියනුත් වෙලා.....වෙන වෙනම කුටුම්භ වල ජීවිත ගෙනියනවා.......අවුරුදු විසි ගානකට පස්සෙත්....ඉස්සර මතකයන්...මතක් කරලා හිනාවෙන්න .....ඔහුට වගේම මටත් හැකි........බැඳීම වගේම හිතේ කහටත් " අතහැරපු" නිසා........
.
අද කාලේ ඇතිවෙනවට වඩා කලින් බිඳෙන ප්‍රේම වෘත්තාන්ත දුටුවම .......පොඩ්ඩ එහාමෙහා වෙනවිට ...ආදරය අමතක වෙලා වෛරය පැසවන හැටි දකින කොට........
.
.
මට ඒ බැඳීම් ගැන දැනෙන්නෙ ඉස්සරම දවසක.....බාලිකා ඇසක් බිමට හැරුණාම ....අපූරු සෙනෙහස් බැල්මකින් ....බලපු යොවුන් ඇස් දෙකක මිහිර.....
.
එපමණයි........

මම

විසිරි

Monday, October 2, 2017

74. තාත්තාගේ පාඩම


ඉස්සරෝම කාලෙක අපේ තාත්තා මට අපූරු රාජකාරියක් බාර දුන්නේය.
එවකට ඔහු අධිකරණ ක්ශේත්‍රයට අයත් රැකියාවක නිරත විය.ඔහුගේ රැකියාවට අදාල කාර්‍යය වූයේ දික්කසාද නඩු සඳහා පැමිණෙන යුවලවල් උපදේශනයයි.
ඇතමෙක් ඒ උපදේශන ලබා තීන්දු තීරණ වෙනස්කොට සමාදාන වු අතර බහුතරයක් දික්කසාදයටම ගියහ.
මේ සියලු කතා නඩු වාර්තා සඳහා ලිඛිතව සටහන් තැබිය යුතු විය.
තාත්තා මට ඒ රාජකාරිය පැවරුවේ මගේ අකුරු ලස්සන නිසා යැයි මම මුලින් සිතුවෙමි.
නමුත් තාත්තා ගේ අකුරු ඊට වඩාම හැඩය.
මම ලියන ගමන් ඒ කටු සටහන් කියවන්නට ගත්තෙමි.
ඒ තුල තාත්තා මට නොකියා කියා දුන් පනිවිඩය මට වැටහුනි.
විවාහය ගැන පොත් දාහක් කියෙව්වද ..මගේ තාත්තා ව්‍යංගයෙන් මට පෙන්වා දුන්නේ.....විවාහයක් ගැන තිබිය යුතු ගෞරවනීය භාවය...අන්‍යෝන්‍ය අවබෝදය සහ බැඳීම් ගැනය.
ජීවිතය යනු ...හැලහැප්පීම් නැති කාපට් පාරක් යැයි සුරංගනා ප්‍රේම කතා වල තිබුනද ....තාත්තා real life stories වලින් ....ඒ යථාර්ථය මට කියා දුන්නේය....
ඇත්තෙන්ම .......
තාත්තා මට මහා පොතකි.....
ඒ උගත් පාඩම් ජීවිතේ දිනන්නට අදත් මට සවිය වේ..

Thursday, September 7, 2017

72. තෑගී




ජීවිතේ උපන්දවසෙ ඉඳන් විවිධ අවස්ථා වල ..විවිධ කාරනා වලට...විවිධ තෑගි අපිට ලැබෙනවා....

අපි ඕනම කෙනෙක් කැමතියි තමන්ට පුංචි හරි තෑග්ගක් ලැබෙනවට...
මොකද ඒ ලැබෙන දේ තුළ...හැම තිස්සෙම තියෙන්නෙ ලබන්නා කෙරෙහි තෑග්ග දෙන කෙනා තුළ ඇතිවන සුවිශේෂී හැඟීමක්...
ඒක ආදරය..දයාව..සැලකිල්ල ..අනුකම්පාව ...ඕනමදෙයක් වෙන්න පුලුවන් ......

මට ජීවිතේ ලැබුණ තෑගි අතරෙ...වටිනාම තෑගි දෙකක් තියනවා...

ඉන් පලවෙනි එක...මගෙ ලොකු පුතා තුන වසරෙදි පාසලින් ගිය අධ්‍යාපන චාරිකාවකින්..ගෙදර එද්දි මට අරන් ආව කොණ්ඩ කටුවක්.....(ඒක පරෙස්සමින් තියාගත්තා ...පස්සෙ ගෙදරට ආව කවුද ..ඒක අරන් ගිහින්.... :(  ....)

අධ්‍යාපන චාරිකාව ගිහින් අනික් දරුවො සෙල්ලම් බඩු අයිස්ක්‍රීම් කඩචෝරු ගනිද්දි....ලොක්කා මනිබඩු කාරයෙක් ගාව කැරකිලා....රුපියල් විස්සකට ඒ ලා රෝස පාට කටුව අරන්....දරුවන් බාරව ගිය අම්මලා ඇස් වල කඳුලු පුරවන් මට ඒ කතාව එදා කිව්වෙ....

ඒක ඇඹරි ඇඹරි මගෙ අතේ ගුලි කල හැටි තාමත් මට මතකයි........

දෙවැන්න.....චුට්ටා තුනේ හතරෙ පන්තියෙදි මගෙ උපන්දිනේකට මට අරන් දුන්නා ඔරලොසුවක්..එයාට ඒකට රුපියල් තුන් සියයයක් වැය වෙලා තිබුණා.එයාට ඉඳහිට අතට දෙන සල්ලි එක්කාසු කරල.ඒකගත්තෙ...ඒ ඔරලෝසුව මම පුලුවන් තරම් කල් අතේ බැන්දා....දැනටත් මම ඒක අරන් තියලා තියනවා......

ජීවිතේ ඉන් පෙරත් ..පසුවත් රුපියල් දහස් ගනනින් වටිනා තෑගි මට ලැබිලා ඇති....නමුත් ජීවිතේ තමන්ගෙ හිතට අමතන සංවේදී ම තෑගි මෙන්න මේවා.....

~~~ විසිරි ~~~

Tuesday, August 22, 2017

69 . මල් මතක




උදේම මිදුලට පැන මල් කීපයක ෆොටෝ ගන්නට සහ ඒවා කොමෙන්ට් ලෙස දමන්නට ගිය එකෙන් මතක රැසක් ඇවිස්සුනි...

ඉස්සරම අපේ ගෙදර හවසට පිපෙන හෙන්දිරික්කා මල් මහ යායක් තිබුණි..කහ පාට, සුදු පාට සහ තද රෝස පාට හෙන්දිරික්කා හවසට පිපෙන කොට සුලඟත් එක්ක හීන් සුවඳක් මට දැනේ..

.අපේ ආත්තම්මාගේ අණ ලැබෙන්නට පෙර මල් වට්ටිය පිරෙන්න හෙන්දිරික්කා නෙලන්නට මම එළියට බහිමි.වට්ටියක් පිරෙන්න මල් නෙලුවාට ඒවා ඔහේ වට්ටියේ දාගෙන බුදුපුදට යන්නට බැරිය...නැටි යටට සිටින සේ ඒවා ලස්සනට ඇසිරිය යුතුය....

කහ පාට වටේටත් ....මැදට තැනින් තැන අනෙක් පාටත් තබා එක එක මෝස්තරේට මල් වට්ටිය සැදුවාට ......බුදුහාමුදුරුවන් මා දෙස බැලුවේ එකම කරුණාබර ඇසකිනි......

හෙන්දිරික්කා මල් මතකයේ අපූරුම දෙයක් නම්.....ගස මැරෙන්නට පෙර අල ගලවා අපි කල පරික්ශණයන් ය .....පාට දෙකක අල ගලවා මැදින් බාග කපා තුනී රෙදි පොටකින් ගැටගසා එකට තද කර වැලලූ පසු නැවත එන ගසේ පාට දෙකකින් මල් පිපුණි.සමහර මල් වල පාට දෙකම විය......


මේ පින්තුර නම් අන්තර්ජාලයෙනි ....

මල් ප්‍රෙස් කරන කලාවට ඉතා අසීරු වෙන් එන හෙන්දිරික්කා මල් ......සියුම් වැඩිය.මම දැන් ආයෙත් හෙන්දිරික්කා වවමි...තාම ලඟ ඇත්තේ තද රෝස පාට පමණි...අනෙක් පාටත් සොයා ගත යුතුය.......

සමහරක් මල් පාඩුවේ පිපෙයි....තනිව පිපෙනවාට වඩා ගහක් පිරෙන්න පිපෙනවිට පුදුම ලස්සනය...
හෙන්දිරික්කා .....ඒ වගේමය...


~~ විසිරි ~~

Saturday, May 13, 2017

55. පොත්ගුල්ලියකගේ මතක 1




ඉස්සරම දවසක මම මුහුණු පොතට ලිව්වා පොඩි සටහන් පෙළක්...පොත් ගුල්ලියකගෙ මතක කියලා....එක තව ආලවට්ටම් ටිකක් එහෙම දාල බ්ලොගේට ලියන්න හිතුනා ඉතින් ...ඒ කලින් ලිව්වට වඩා තව මතක තියධ කියල අවුස්සන්න ත් ඕන...නමුත් ළමා කාලේ කියන්නේ කොච්චර මතක ගොඩක් තියන සුන්දරම කාලයක්ද නේද.....

කියවීම....
ඒක නිකම්ම නිකම් කියවීමක් නම් නොවෙයි....
මේ අවදිවන්නේ පොත් කියවීමක් ගැන මතක....


ඉස්සරම පොඩිම කාලේ ම පටන් පොත් කියවන්න මගේ තිබුනේ නොනවතින පිපාසයක්...
ඒක කොහොම ඇති වුනාද කියලා කියන්න මම දන්නේ නැහැ 

නමුත් සම්පත් ඉතා සීමිත වු ඒ වගේ කාලයක වුණත්  අතට අහුවෙන පත්තර කැබැල්ල පවා ..ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක...

පාසල අහවර වී ගෙදර ආවමත් බත් පිගාන එක අතකටත් පත්තරය අනෙක් අතටත් අරගෙන තමා කන්න සුදානම් වෙන්නේ ...අපේ තාත්තා අදටත් කියන්නේ ...මම කාල තියෙන්නේ පත්තර කියලා....

අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ...නමුත් තිබුණ සීමිත ප්‍රමාණය ..අර්ථ රසයෙන් අනුනයි ...ඒ ලිපි එක්ක...මගේ මතකය අවදි වන්නේ ඒ පතපොත එක්ක....

ඉස්සරම පුංචි කාලේ ..සූකිරි...මීපැණි ..සුරතලා....ඔන්න ඔහොම පත්තර තිබුණා මතකද....
හරිම සරල සුන්දර ළමා පත්තර ..
සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...එයා ඒ කාලේ උන්නේ මාතර...අපේ ලොකු මල්ලී එක පාරක් වෙසක් කලාපයක එයාගේ යාලුවෝ එක්ක...ඒකෙ කතාවක උන්නා...

මල් මාමා..බූ බබා ..බටකොළ ආච්චි ..ඔන්න ඔය වගේ කල්පිත චරිත අපේ ළමා කාලේදි පත්තර හරහා අපේ ලෝකෙට ආව ...
ඉන් පස්සේ විජය මිහිර...පත්තර ...දැනුම් සාගරයක් එක්ක ..
මගෙත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම අපේ මහා ගෙදර සුරක්ෂිතව තිබුණා....මම එයින් සමහර කලාප මගේ දරුවන්ගේ පාසල් වැඩ සදහා අරගෙනත් ආවා....
අද කාලේ වගේ පින්තුර අච්චු ගහල කොළ ප්‍රින්ට් කරලා නැති ඒ කාලේ..පාසල් පැවරුම් සම එකටම පත්තර ගොන්න පෙරලගෙන රූප සහ කරුණු සොයන අපි මට දැනුත් මැවිලා පේනවා 

ප්‍රහේලිකා පිරවීම්....ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා යවන්න ඒ කාලේ මම හරිම ආසයි..අදටත් පත්තරයක් අතට ගත්තම ප්‍රහේලිකාවක් තියේ නම් එක පුරවන්න යන්නේ ඒ පුරුද්දට 

ළමා පුවත්පත් වලට කවි කෙටි කතා රචනා ලියන්නට අපේ ළමා කාලේ උන්න ළමයි හරිම ආසයි...දෙමවුපියන් වුණත් එකාට අපිට බලකලා....උනන්දු කළා...ඒත් දැන් මේ යුගයේ දරුවන් එහෙම ලියන්න හරිම මැලි බවක් දක්වන්නේ... ඒ කාලේදී තමනේ නිර්මාණයක් පල වුනාම සතුටු වෙන්න වගේම තවකෙක්ගේ නිර්මාණයක් කියවලා දැනුමක් සතුටක් ලබන්නත් අපි පුරුදු වුනේ එතනිනුයි....

මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුනේ රුසියන් ළමා කතා... දැන් තියෙන්නේ ඒවායේ දෙවැනි තුන් වෙනි වට ..ඒ කියන්නේ ආයේ ආයෙම මම ඒ පොත් ගන්නවා....කාට හෝ ඒවා පිරිනමන්න..ලස්සන වසිලිස්සා....රුසියන් ළමා කතා....බොහෝ පොත්..ඒ එකතුවේ තිබුණා...

ඒ වගේම සිංහල ගත කතුවරුන් වුන...ලාල් ප්‍රේමනාත් ද මැල්  මහතා වගේ අයගේ රහස් පරීක්ෂක ළමා කතා...

කල්ලන්දුවේ මුතු කොල්ලය ...ආදී ළමා කතා ...වීරත්වය දනවන සුළු....කතා චිත්ත රුප මවමින් ...අප වෙත ආව....ඒ වගේ ළමා යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා.....
මතකයේ අහුමුලු අතර සැරිසරන ඒ කතා එක්ක මම තාමත් ජිවත් වෙන්න ආසයි...ඒ කතා සාහිත්‍යය එක්ක අපේ ලිවීමේ හැකියාවන් දියුණු වුනා...මගේ රචනා හැකියාව ..පාසල් කාලයේ හැකියා...දියුණු වුනේ ඒ සාරයෙන් ...
මඩොල් දුව ..අඹ යාළුවො වැනි කතා..අදටත් කියවන්න හිතෙනවා..නේද....ඒ කතාවල ගැමි පරිසරය..චිත්ත රූප මවන හැටි....අමතක නොවෙන්නේ ඒ නිසාමයි...ගැමි පරිසරය හා බැඳුනු අසිරිය ඒ කතාවල නොඅඩුව තිබුණා...




අනෙක් අපුරුම දේ තමයි...ඉස්සර අපිට පත පොත කියවන්න තිබුණ පරිසරය...ගස් ගල් උඩ නැගල හරි සොබා දහම එක්ක අනුගත වෙලා අපි නිදහසේ කියෙව්වා....අද වගේ අපිට දියූ තාක්ෂණික මෙවලම් තිබුනේ නැහැ...අඩුම ගානේ මුල්ම අවධියේදී රුපවාහිනී යන්ත්‍රයක් වත් අපේ නිවෙස්වල තිබුනේ නැහැ...ඒ නිසා.පොත් පත් කියවීමට ලොකු කාලයක් ඉතුරු වුනා...

අතීත මතක අවුස්සාගෙන පොත් පත් කියවන මේ ලිපි පෙලට තව ටිකක් එක්කාසු කරන ඉක්මනට එන්නම්...මේ සටහන් පෙලට ඔබේ අත්දැකීම් ....මතක් වෙනවා නම් ලියන්න ...අතීතය තුළ සැරිසරන එක කොච්චර සුන්දරද කියලා මඳක් සිතන්න
 ........


ඉතින් පොත් ගුල්ලියගේ දෙවන කොටසින් එන්නම් ඉක්මනට .......

Friday, April 7, 2017

48 . ඒ හීන මොන තරම් සොඳුරුද

මේ බ්ලොග් පෝස්ටුවට පින්තූරයක් දමන්න මම අන්තර්ජාලයේ school girls in srilanka කියලා ටයිප් කලාම මට බ්ලොග් පෝස්ටුව ලියන එක අත්හැර දමන්නත් හිතුණා....අනේ අපේ දරුවන්ගේ වර්තමාන පාසල් දිවිය එහි පෙන්වන හැටි...
කෙසේ වුවත් අන්තිමට පැන්සල් සටහනකින් වත් රුවක් මම එක්කර ගන්නවා...මෙන්න මෙහෙම




අපේ ජීවිතේ පාට පාට හීන තියන කාලයක් තියනවා...ඒ කාලේ තමයි ඉස්කෝලේ ගියපු කාලේ.මගේ ඉස්කෝලේ කාලේ නම්න් සුන්දර හීන මතක රාශියකින් පිරිලා තිබුණා...පාට පාටින් හැඩ වුණ ඒ හීන ඇතුලේ ඉඳහිට කඳුලුත් නොතිබුනා නෙවෙයි..ඒ වුනාට ලෝකෙටම පේන්න අපි හිනා වෙලා උන්නා..

බාලිකාවේ අරලියා සුවඳ එක්ක අපේ ජීවිත  හරි අපූරුවට ගෙවුණා...දඩබ්බර කම් නොකලා නෙවෙයි...අනන්තවත් කලා..ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඇති කප්පරකට...ඒත් අපේ ගුරුවරුන්...ඔක්කොම වගේ ගුරුතුමියන්....අදත් අපිට හරිම ආදරෙයි..අවුරුදු විසි ගානකට පාසේ ගිය අවුරුද්දේ පාසලේ පා ගමනට ගියාම  ඇවිස්සුන මතක අස්සේ අපි තාම ඉන්නවා නේද කියලා මට දැනුනා

ඕනෑම ගෝලයෙක්ට මේ පරණ අපිව තාම අඳුන්වලා දෙන්නේ හොඳම නිර්වචනයන් එක්ක,....හුඟාක් වෙලාවට දුන්න ප්‍රසිද්දම කොමෙන්ට් එක වුනේ..."මුන් අර එක ලමයෙක්ට පිස්සු හදවපු උන් නේ......."....තනිකරම පිස්සු වැඩ කල අපි එක්ක උන්න එක ලමයෙකුට ඇත්තටම මානසික ආබාධයක් හැදුනා...මේ කතාව අතිශයෝක්තියක් නම් නෙවේ...නමුත්...ඒක ප්‍රසිද්ද කරන්න බැරි තවමත්...මේකෙ චරිත ජීවමාන නිසා...ඇත්තෙන්ම කිව්වොත් ඒක අපේ වරදක් නොවෙයි..

මම කියන කෙනා සාමාන්යයෙන් ඒ තරම් ප්‍රසිද්ද චරිතයක් වුනේ නැහැ....කිසිම පැත්තකින්...
ලස්සන පෙනුමකින් වත්..ක්‍රීඩාවෙන් වත්...ඉගනීම අතින් වත්....ප්‍රබල දක්ෂතා පෙන්නපු අය අතරට මම එක්කාසු වුණේ නැහැ...
ඉතින් බොහොම සාමාන්‍ය චරිතයක් තමයි මම

මට උන්න යාලුවො අතරේ හරිම ලෙන්ගතු අය උන්නා...අදටත් මම ඒ අයව මතක් කරන්නේ හරිම ආදරෙන්.සමහර මතක අමතක කරන්න බෑ...ඒත් මම දන්නවා ඒ කිසිම කෙනෙක් මේ බ්ලොග් අඩවියේ නම් නැහැ කියලා...එහෙම කියවන අය උන්නා නම් අපට ඒ ලෙන්ගතු හිත් ආයෙ ආයෙම හමුවෙයි...

මම උපන් ගමින් සමුගෙන කොලඹට එද්දි...කොලඹ පාර පනින හැටි පවා කියාදුන්න මගේ ලෙන්ගතුම මිත්‍රයෙක් උන්නා....අද ඉතින් දොස්තර මහත්තයෙක් වෙලා මාතර රෝහලෙම වැඩ කරනව...( නම් ගම් කියන්න බැහැ නෙ..ඒ නිසා..)  තවමත් හැබැයි ...පරන මතක ඇවිස්සුවොත් අදටත් ඒවා මතක් කරලා හිනාවෙන්න පුලුවන් සරලම මනුස්සයෙක්...

ඒ වගෙම ඉස්සරම දවසක ....පන්ති ඉවර වෙන්න රෑ වුනාම මාව බස් එකට නග්ගවන්න හිතේ මොකුත්ම වෙනසක් නැතුව ආපු එක කොල්ලෙක් උන්නා....කාලාන්තරයකට පස්සෙ මුහුණු පොතෙන් මට ආයෙම ඔහුත් හමු වුණා...අපේ ඒ කාලෙ කෙල්ලො...ඔක්කොම අද අම්මලා...මුහුණු පොතට පින් සිද්ද වෙන්න මට මගේ යහලු යෙහෙලියන් බොහොමයක් ආපහු හම්බ උනා...

මේ මතක අස්සේ පැල පදියම් වුන සුන්දර මතක කොච්චරද....අදටත් සොඳුරු මතකයක් ව ඉන්න මිනිස්සු....
අපේ ඒ කාලය හරිම සංවේදී කාලයක් උනා...පන්ති වල...මගතොටදී...රහසේ කතා කරපු ඇස් අතරේ...අපේ සමහර මතකයන් තාමත් ඉතිරි වෙලා ඇති...


අද කාලේ ඇතිවී නැති වී යන සම්බන්දතා අතරේ..ඒ අතීතයන් ඇත්තටම හරිම සුන්දර මතකයන්
අපි අතර තිබුන යාලුකම් ..සම්බන්දකම්...ගැන කෙලිකවට සිනා ගැන දඩබ්බර කම් ගැන....තවමත් ඒ පන්ති කාමර අපට කියාවි...


Tuesday, January 31, 2017

32. 70 දශකයේ ඉපදුණ ළමයි (2 කොටස )


මම නිකම් ඉස්පාසුවක් නැතුව ලියන්න අරන් වගේ මට හිතෙනවා....නමුත් ඒ ආසාව වැඩි කලේ ඔබයි....මගෙ මතක ඇවිස්සෙද්දි ඔබ මාව තවත් දිරිමත් කලා...කාලයක් ගොඩක්ම ලිව්ව කෙනෙක් විදියට මගේ ලිවීම මගදි අඩපණ වුනේ..මුහුණු පොත නිසා....ඒකෙන් මිදෙන හොඳම මග ලෙස මම දැක්කෙත් ආයෙම පටන් ගත්තෙත් බ්ලොග් ලිවීම...

ජීවිතේ හැමදාම එක වගේ නැහැ..මම කාර්ය බහුල රස්සාවක යෙදෙන කෙනෙක්... සමහරක් විට ඉදිරි මාස වල මේ සීග්‍රතාවය අඩාල වේවි...ඒත් ලිවීමේ සා පිපාසාව නොසන්සිඳේවා කියලා මම මා වෙනුවෙන් පතනවා




අර කියවන් ගිය කෑම ජාති වල රස අමතක වෙන්න කලින් ඔන්න මේ දෙවනි කොටසට ආවා....මුල් කොටස මෙතනින්

ඔය 70 දශකය තුළ උපත ලද අය ට මතක ඇති සීනි කූරු වගයක් තිබුනා...සුදු පාට හුණු කූරක් වගේ කූරෙ රෝස / කොළ වගේ පාටින් ඉරි වැටිච්ච...කන්න ගන්න කොටම දියවෙමින් යන....මට ඒකට සීනිකූරු කියනවට වඩා අනන්‍ය නමක් එන්නෙ නෑ...කොහොම හරි මට මතක කාල ඉවර වෙද්දි උඩ තල්ල හම ගිහින් කියන එක...

එතකොට අර හූණු බිත්තර  / කඩි බිත්තර කියල කියපු සීනිබෝල ජාතිය..මැදට දුරු ඇටයක් දාල තිබුනෙ ..පාට පාටින්...ඉස්සර අපි දහම් පාසල් යද්දි...ලොකු හාමුදුරුවන් ගාව මේ තඩි බෝතලයක් තිබුනා...ලමයිටික පේලියට තියලා අල්ලට ටික ටික බෙදනවා....මට තාම මතකයි...

ඔය කඩවල් වල තිබුණ කෑම ජාති වලට අමතරව ගස් වල තිබ්බ නොකෑ දෙයක් තියේද කියල මම ආයෙම හිතුවෙ....අර මගේ අරපිරිමැස්ම පෝස්ටුවෙ ලිඛිතා දාල තිබුණ කොමෙන්ට් එකත් එක්ක...ගස් වල කුරුඳු පොතු ගහේ තියෙද්දිම උලාකෑව මතකය මටත් තියනවා...

අද කාලෙ අපේ ළමයින් මේව කියෙව්වොත් 
හිතාවි...එක්කො මේ බඩජාරි කම කියල නැත්නම් හිතාවි අම්මලට ඒකාලෙ තිබුන බඩගින්න...ඇයි ගෙදරින් කන්න දුන්නෙ නැද්ද කියල...

අපේ ගම මැද්දෙන් ගලා ගියා ප්‍රධාන ගංගාවක අතු ගඟක්...ගඟේ නාන්න යන හැම විටකම ගඟට නැමුණ අත්තික්කා ගස් වල කිරි සහ කහට රස මුසු ගෙඩි කන්නත් අපි හරිම ආසයි....අත්තික්කා ගෙඩියක් දෙකට කැඩුවම ඒකෙ මැද රේනු අස්සෙ පොඩි පණුවො...කෝඳුරුවො නැතුවාම නෙවේ....ඉස්සර ගැමියො කිව්වලු කෝඳුරුවන් උපත ලබන්නේ අත්තික්කා ගෙඩි වලින් කියලත්....කට වහරෙන් අහුලා ගත්තු කතාවක් ඒක...

ගොඩපර කාල තියද....ඇඹුල්...කහට..හීන් පැනි රසක් එක්ක මුසු වුන ගොඩපර ගෙඩි කන්නෙ නිකම් ගහට වඳුරො වැහුවා වගේ..කටකලු පාට වෙන නිසාම කටකලුවා නමින් හැඳින්වුණ බෝවිටියා ගෙඩි ....දං පඳුරු වල පිරුණ දං ..කටු ගොඩේ සීරෙමින් කඩාගෙන කෑ එරමිණියා සහ ඇඹිල ....රස එකින් එක මනසට එකතු වෙනවා...



ගමේ ඇළදොළ වල පිපුණ නෙලුම්..ඕලු මල් වල ගෙඩි..( බට්ටො ) කන එක මම හිතන්නේ ඒ කාලෙ ඕනම ලමයෙක් ආසාම කල දෙයක්....ඕලු ගෙඩියෙ නම් පුංචි පුංචි ඇට ගොඩක් තිබුනෙ..කිරි රසට....නෙලුම් බට්ටා ඊට ලොකුයි..මැද තැනින් තැන තරමක ඇට...ඒවාත් කිරි රසයි......


අද ගමට ගියාම ඔය එක ගඩා ගෙඩියක් දකින්න ලැබෙන්නෙ නෑ.....කාලය එක්ක ගම ත් සංවර්ධනය වුනා...ගමේ සොබා සිරිය වැනසුනා...අද ඒක තවත් සීග්‍රයෙන් වැනසෙන බව ඇස් පනාපිටම අපි දකිනවා....
මතකයක අහුරා ගෙන පමණක් මේ අපූරු රසවත් අත්දැකීම් ලෝකයට දෙන්නයි දැන් අපට වෙලා තියෙන්නෙ

ජනවාරි මාසෙට සටහන් නවයක් ලියලා...මේ නව වැන්න...ඉතින් ආයෙම මාසෙකින් හමුවෙමු නේද...ඒ කියන්නෙ හෙටින් පස්සෙ පෙබරවාරි මාසෙනෙ

Thursday, January 26, 2017

30. 70 දශකයේ ඉපදුණ ළමයි...






සමකාලීනයන් එක්ක ඔබ සංවාදයේ යෙදිලා ඇති ඕන තරම්....

සමහරක් විට ඒ සංවාද වර්තමානයට පමණක් අදාළ ඒවා වෙන්න පුලුවන්...නමුත් ඔබ අතීතය හාරා අවුස්සන සංවාද වල යෙදිල තියනවද...

ඉඳ හිටක ලද අවසරයක....පොඩිම පොඩි නිමිත්තක එල්ලිලා...මතක සංචාරයක යන එක ඉබේම වෙන දෙයක්....වාසනාවකට වගේ...මා එක්ක ඉන්න මගේ සම කාර්‍ය මණ්ඩල සාමාජිකයන් දෙන්නෙක්ම මා වගේම 1970 - 1979 අතර කාලයේ ඉපදුණ අය....(ඔන්න ඉතින් විසිරිගෙ වයස ගැන අනුමාණයකුත් ඔබට ලැබුණා...)

දේශන වාර වලට මැද්දෙන් එන පොඩි තේ විවේකය...අපේ මතක ගැන ඉබේම කතා වෙන මොහොතක්.....
තේ විවේකයේ රස කැවිල්ලක් ඔස්සේ මතකය පියාඹලා ගියා.....

70 දශකයේ  ඉපදුන කොල්ලො කුරුට්ටො..කෙළි පැටික්කියො විදියට අපිට තිබුණ සමාජය ගැන මගේ බ්ලොගේ මුල්ම සටහන් වල මම ලිව්වා...ඒකෙ සබැඳුණ යම් යම් සිද්දි මම ලින්කු සමග මේ ලිපියෙ අවසන එක්කාසු කරන්නම් ..ඉඩක් ඇත්නම් ඒ පැත්තෙ ත් ගිහින් එන්න....

ඔන්න අර කිව්ව කාලයේ ඉපදුන අපි..අද කාලෙ ළමයි වගේ සුඛෝපභෝගී ආහාර ..ක්ෂණික ආහාර වල රහ බලපු අය නෙවේ...ඒත් අපේ ළමා වියේ අපට රහ බලන්න ලැබුන ආහාර කොච්චර මනසට සුවයක් ද කියල හිතෙන්නෙ ...මේ දැන් ඒ ගැන සිහි කරද්දි...

ඉස්සර දැන් වගේ කෙටි කෑම ඒ කියන්නෙ ශෝට් ඊට් වර්ග තිබුණෙ නෑ...ගමේ හරි අවට ගම් දෙක තුනකට හරි සම්බන්ධ බේකරිය තමා හැම කෑමක්ම ගෙන ආව තැන...දකුණට අදාළ බස් වහර...අනුව කෑම වල නම් ටිකක් එහෙ මෙහෙ වේවි...ඒත් ඔය කාගෙ පළාතෙ වුණත් මේ කෑම වර්ග වෙන නමකින් හරි තියෙන්න ඇති...

අපි ඉස්සර කන්න ආසම කෑමක් තමා හුළං විස්කෝතු...අපේ ගමේ දි නම් අපි කිව්වෙ බටර් ඉස්කෝතු කියල..ලාවට වගේ බටර් රහකුත් ඒකෙ තියෙන්න ඇති...
( බටර් කියන්නෙ ඒ කාලෙ අධි සුඛෝපභෝගී ආහාරයක්...ඒත් අද තියන බටර් වලට වඩා නම් ඒ කාලෙ බටර් හරිම කිරි රසයි....)...

නමුත් මේ බටර් ඉස්කෝතු වලට බටර් දැම්මෙ නෑ කියල නම් මම විශ්වාස කරනවා...ගම් වල දුප්පත් බේකරියක..පාන් පෝරණුවක බටර් කොහෙ තියෙන්නද...
මේ බටර් ඉස්කෝතු වල පියන් ජාති දෙකයි..එකක් පිම්බුණ එකක් අනික පැතළි එකක්...මේ බටර් ඉස්කෝතු කන විදි එක එක විදියයි....සමහර වෙලාවට කහට තේ එකේ පොඟවන් කනවා..අවධානය ගිලිහුණ වහාම කොටසක් තේ එකට වැටෙන අවදානම කන කෙනා සතුයි...
ආයෙ අපෙ අත්තම්මා බටර් ඉස්කෝතු සීනි හා පොල් එක්ක කොටලා  කන්න දුන්නා...මං හිතන්නේ ඒ ආහාර නිර්මාණය වෙන්න ඇත්තෙ දත් වල හයියෙ තත්වය එක්කම වෙන්න ඇති....



දැන් කඩවල් වල විවිධ නමින් මේ බටර් ඉස්කෝතු තියනවා....මම ප්‍රධාන පෙලේ රෙස්ටුරන්ට් එකක වීදුරු රාක්කයේ ගිය සතියෙ දුටුවා RUSK කියන නමින් මෙයින් පියන් හයක්...ගාණත් ටිකක් සැරයි.

ඒ වගේම තමයි අර ඇඟිලි විස්කෝතු  ..ඉඟුරු රසට..ඉඟුරු විස්කෝතු කියලත් අපි කිව්වා...හරියටම ඇඟිල්ලක් වගේ....හීන් දැවිල්ලක් එක්ක එන ඉඟුරු රසයට ඉස්සර අපි හරි ආසයි...දැනුත් එහෙම නම තියන ඉඟුරු රසය නැති පාන්පිටි රස විතරක් තියන විස්කෝතු නම් තියනවා....

ඔන්න ඒ කාලේ....තිබ්බ ආසම රස බිස්කට් වර්ගයක් තමා සව්බොර...සව්බොරවා කියලත් කියනවා....හදන විදිය දන්නෙ නැති උනත් ගල් වගේ හයියයි..එකක් වරුවක් කන්න පුලුවන් ......ඒ වගේම බොරවා කියල බිස්කට් වර්ගයකුත්...තිබුන...ඒක පැතළි ටිකක් හයිය එකක්....අර සව් බොරව තරම්ම හයිය නැතත්....කන්න ආසයි.



බිස්කට් වලට අමතරව තිබුණ රස කැවිලි මම මේ සිහිකරන්නේ අපි එකිනෙකා මතක් කල ඒවායින් ....
මේ කාලයෙ උන්න සමකාලීනයොන්ට මතකද මන්දා...ගුණසිරි බුල්ටො.....මට නම් තාම ඒ කැරමල් වගේ රහත් මතකයි...හක්ක රිදෙනකල් හප හප කෑවෙ .සුදු සව් කොලේක ඔතලා කලු පාට පොඩි සිලින්ඩරාකාර හැඩේට....





ඒ වගේම තමා නාරං බික් ....ලොසින්ජර වර්ගයක්....නමුත් නියම දොඩම් රසයක් ආවා..ලා තැඹිලි පාට සහ කහ පාටට....අදත් ෆුඩ් සිටියේ බරගානක්වෙන නාරංබික් පැකට් තියනවා...තනිකර සීනි රස විතරයි.....

අපි මේ කියව කියව උන්න මතකයට තව සෑහෙන්න ජාති එක්කාසු උනා ..නමුත් බ්ලොග් පෝස්ට් එකක් අනවශ්‍යව දික්කරන්න මම ආස නෑ...ඒ නිසා 70 ළමයි කාපු කෑම සහ එහි රසය.....තව සබැඳි පෝස්ටුවකින් ඊලඟට ගෙන එන්නම්......
මේ තියෙන්නෙ විසිරි කලින් ලිව්ව ...එයාගෙ මතක.....









Sunday, January 22, 2017

27. අරපිරිමැස්ම...







මම ලියන්න නිමිති හොයනවා...රැකියා ස්ථානයේ කෑමපැයේ ලද කෙටි විවේකයේදි...අලුතින් යමක් ලියන්න හිතනවා...

කාර්‍යාල කාමරයේ ජනේලයෙන් එලිය බැලුවාම මට පෙනුන දේ පාරෙනුත් එහා පැත්තෙ තියන දෙල් ගහක්...
ඔන්න ඉතින් මතක අවුස්සන චාරිකාවෙ හිත ගමන් කරන්න පටන් ගත්තා...

අපේ ගෙදර..ඒ කියන්නේ ගමේ මහ ගෙදර....මහ දෙල් ගහක් තිබුනා ඉස්සර...දැන් නම් ඒ ගහ නෑ.දෙල් වාරෙට ගමටම බෙදන්න දෙල්....වැඩිය තිබුනා කියල අහක යන්නෙ නෑ...ගමේ ඉන්න අහල පහල උදවිය ..." පුංචි හාමිනේ දෙල් ගෙඩියක් කඩාගන්නෙයි...." කියල පාරෙන් ගොඩ වෙන්නෙ අපෙ අත්තම්මාට අමතමින්...."ආයෙ ඕකෙ අමුතුවෙන් අහන්න අවසර ගන්න දෙයක් තියෙනවායැ...ඔය ගමන් ගෙඩි තුන හතරක් තව කැඩුවනම්.." ඕක තමයි අනිවාර්‍ය පිළිතුර ...

අපේ දෙල් ගහ  ...සමහර වෙලාවට ගහට දරන්න බැරි පලදාවක් අරන් ආව...ඉස්සර කවදාවත්...කෑමක් ගහක කොලක ගෙඩියක් අහක දැම්මෙ නෑ අපේ මුතුන් මිත්තන්...
දෙල් තම්බලා වේලල දෙල් අටුකොස් හදන්න...දෙල් වේලලා බැදලා පැණි දාල හවසට කන්න .....මොනවද කරන්න බැරි..

ආහාර කල් තබා ගැනීමේ ක්‍රම එක්ක ගැමි සම්ප්‍රදාය තුල මේ ඉතිරි කිරීම ..අරපිරිමැස්ම ඕන තරම් තිබුනා....දෙල් ගහෙන් විතරක් නෙවේ..කොස් ගස් පිරුණ වත්තේ කොස් ඉදිලා වැල වරකා වෙද්දි...කොස් ඇට වැලි යට දාලා කල් තබා ගන්න ...දෙල් වගේම කොස් මදුලු තම්බලා හීනියට ලියලා වේලලා..අටුකොස් හදන්න....අපේ ආත්තම්ම ල වග බලා ගත්තා.....

ඉස්සර කවදාවත් කුස්සියෙ උයන එලවලු සෝදන මාලු සෝදන වතුර ටික අහක ගියෙ නෑ අද වගේ කානු දිගේ...ඒ හැම වතුර ටිකක්ම කුස්සියට එහායින් තිබුන දෙහි ගස්.හබරල ගහල අල පඳුරු ගාලට විසි වුණා....පොල් ගාලා මිරිකලා ඉතුරු වෙන රොඩු ටික..ලූනු පොතු   .අද නම් යන්නෙ පාරෙ කුණු ලොරියට නමුත් එදා තිබුණෙ කොම්පෝස්ට් නම නැතත්..කුණු වලක්...ඒකෙ කාලෙන් කාලෙට ගස් වටේට දාන්න ගන්න පෝරක් එකතු වුනේ..මේ අපද්‍රව්‍ය දිරාගිහින්...

නාන ලිඳ...නාන තැනින් ගලා ඉවත් වන ජලය බාර ගන්න රම්පෙ පඳුරක්...පොඩි කොහිල පඳුරක් තිබුණා...අද කාලෙ වගේ වතුර ටිකක් රැස් වෙද්දි ඩෙංගු මදුරුවො බෝ වුනෙ නෑ අර රම්පෙ කොහිල වලවල් වල  ......

උයන පිහන තැනේ ඉඳන් ජීවිතේ ට අපෙ අත්තම්මලා ගෙන ආවෙ අරපිරිමැස්ම....වත්තෙ දිරා යන ගහක වේලී හැලෙන පොල් අත්තක පවා ඉන්ධනමය වටිනකමක් තිබුන...සතියකට වතාවක් දරකෝටු ටිකක් ..පොල් හනසු මටුලු ටිකක්..වේලී හැලුණ පොල් අත්තක් ගෙදරට ඇදුණෙ පුංචි අපේ අත්වලින්....ලෙලි ගැහෙන පොල් ගෙඩි වල ලෙල්ල වේලලා ලිපට ආවා...

ගෙදරකට අත්‍යාවශ්‍ය කහ..මිරිස් ආදිය ගෙවත්තෙම වැවුනා...සාමාන්‍ය මිරිස් වලට වඩා වත්තේ පිරිල තිබුණෙ කොච්චි ගස්...ඉබේ හැදෙන කොච්චි ගස් වල සුදු.කොළ..සහ රතු කරල් හරිම අපූරුයි...

කිසිම දවසක ගෙදර අනවශ්‍ය ප්‍රමාණයට බත් එලවළු හැදුනෙ නෑ...ඒ වගේම කවදාවත් මදි වුණෙත් නෑ...ඒ කාලෙ තිබුණෙ බත් පමණක් කන සංස්කෘතිය ක් නොවෙයි...ඒ බතට හරි හරියට පෑහෙන දෙල් කොස් ගහල ආදී නොයෙක් දේ තිබුණා .ඉඳහිටක හෝ ඉතිරි වන බත් ටික වේලලා අග්ගලා හදන්න...ආත්තම්මා පසුබට වුණේ නෑ....

අගහිඟ කම් නැති පවුලක වුණත්...එක මොහොතක් නිකම් ඉන්න පුරුද්ද ක් අපෙ අත්තම්මලා මුත්තලාට තිබුණෙ නෑ...පොල් අතු වෙලේ ගංවතුර පිරෙන කාලෙට ඒ වතුරට දමල...පොඟවන්...ගෙනල්ලා වියන්න....පන්විලට ගිහින් පන් කපන් ඇවිල්ලා වේලලා පාට පොඟවලා රටා දමන්න...පැදුරු වියන්න....අත්තම්මා ට ඕල් රවුන්ඩර් කෙනෙක් කියන නම අද උන්න නම් පටබැඳෙනව...

අරපිරිමැස්මෙ පලවෙනි පාඩම අපේ ජීවිත වලට ගෙනාවෙ අපෙ අත්තම්මලාගෙ පරම්පරාව...එයින් අතලොස්සක් වත් අද අපට අපේ ජීවිත වලට වගේම....රටට සමාජයට කරන්නට ලැබෙනවද කියලා මම හිතනවා.....

Tuesday, January 10, 2017

25. අලුත් පොත්






වර්තමානය සැම විටම සම්බන්ධ වෙන්නෙ අතීතය එක්ක.අපි අපේ වර්තමානයේ ගත කරන සමහර අවස්ථා අතීතයේ සුන්දර ඉසව් වලට අපිව හැම දාම අරන් යනවා....

අලුත් පාසල් වාරය ඇරඹෙද්දි....මමත් හැම අම්මෙක් වගේම කාර්ය බහුල වෙනවා.....ගෑණු දරුවෙක් උන්නා නම් තමන්ගේ පොත් පත් වලට කවර දමලා මල් එහෙම අලවලා හැඩ කර ගනීවි..ඒත් මට ඉන්නෙ පුතාල...බොහොමයක් කොලු ගැටව් වගේ මගෙ පුත්තුත් ඔන්න ඔය වැඩේට කම්මැලියි

ඒ නිසා මම ඉතින් නිවාඩු කාලෙ මැදක ඉඳන් ඔන්න ඔය වැඩේට සූදානම් වෙනවා.ඉස්සර වගේ නෙවෙයි දැන් විෂය ධාරාව දීර්ඝ වෙලා.ඒ නිසා පොත් සංඛ්‍යාවත් වැඩියි...
පොත් වලට අවශ්‍ය කරන අඩුම කුඩුමත් අරන් කවර දැමීමේ යුද්ධයට සම්ප්‍රාප්ත වෙන කොට ...හිත දුවන්නේ අතීත මතක වලට....

ඒ මතක අවුස්සමින් පොත් වලට ඇඳුම් ඇන්දවීමත් එක් තරා අන්දමක කලාවක්....

අම්මා ඉස්සර කවර දානකොටත් මේ වගේ ලස්සන ස්ටිකර් , කවර දමන කොල තිබුණද,,,,,පොඩ්ඩාගෙන් එන්නෙ මතක අවුස්සන ප්‍රශ්න.....

මගේ ළමා කාලයට යන්න අවුරුදු තිහක් වත් එහාට යන්න ඕන ...ඒ කාලෙ අපිට පොත් වලට කවර දාන්න තිබුනේ කැලැන්ඩර් කොළ...ඉස්සර අවුරුද්ද ලබන කොට ගෙවල් වල බිත්ති හතර වටේම පිරෙන්නෙ කැලැන්ඩර් වලින්..නලු නිලියන්ගෙ..මල් වතු වල...ලස්සන පොඩි බබාලගෙ..පින්තූර එක්ක...

අද අපි ගෙදරක එල්ලගන්න හොයන්නේ අංක ලොකුවට තියන එකම එක කැලැන්ඩරයක්..ඒකත් ඉඳ හිටක..අපිට දන් ඩිජිටල් ලෝකයක් තියන නිසා බිත්තිය දිහා බලන්න අවශ්‍ය නැති තරම්...ඒත් ඒ අතීතයේදි...අපිට තිබුණෙ නැහැ ජංගමයක හෝ විද්‍යුත් මෙවලමකට එබී සිටින පුරුද්දක්....

සමහරක් වෙලාවට ගම් වල ගෙවල් වල බිත්ති වැහෙන්නම කැලැන්ඩර එල්ලලා...අද කාලෙ ඔය දේ අපි සමහරක් විට සමච්චලයෙන් බැහැර කරාවි..නමුත් මම අදටත් ඒ දේ දකින්නෙ ගැමි දිවියක තිබුණ සරල සුන්දර ආශාවන් විදියට...

ඉතින් අවුරුද්දක් තිස්සෙ කොල පෙරළෙන මේ කැලැන්ඩර කොල එකින් එක ගැලවෙන කොට අපි ඒවා පරෙස්සමින් අරන් තියාගත්තා...ඒවා තමයි එක් කාලෙක පොත් වල කවරය ලෙසින් මතු වුණේ....ඊට උඩින් පොලිතිනය..ස්ටෙප්ලර් කටු ගැසීමක් නම් මට මතක නැහැ...මගෙ මතකයේ සෙලෝටේප් නම් තියනවා...

බ්‍රවුන් පේපර් කොල විතරයි ඒ කාලෙ තිබුණෙ මීට අමතරව...නා නා විධ වූ තෑගි දවටන කොල...wrapping papers..වගේ දේවල් අපෙ ළමා වියේ තිබුණේ නෑ.අපේ පන්ති වල උන්න සමහරක් ළමයි සිමෙන්ති උර වල පැහැය ඇති කොල වර්ගයකින් ...ඒ වගේම පත්තර කඩදාසි වලිනුත් පොත් වලට කවර දැම්මා...



මල්ලිල දෙන්නාගෙ පොත් වලට කවා දැමීමේ මහා කාර්‍ය භාරය පැවරුණෙත් මට.පොත් ටිකයි බ්‍රවුන් පේපර් කොලයි එක්ක...කලින් අවුරුද්දෙ වෙසක් කාඩ් සහ පත්තර වල තිබුන හාවො...පූසො..මල් එහෙම කපල අරගෙන මේකට ඉඳගත්තම නැගිටින්නෙ පැය දෙක තුනකින්...

සීරුමාරුවට කොන් නවලා කොල කවර දමලා හැඩ අකුරින් පොතේ නම ලියලා..මලක් ඇලෙව්වම පොත හරිම ලස්සනයි ....

අද ලෝකය සීග්‍රයෙන් දියුණු වෙලා...මිනිස්සුන්ට කිසිම වෙහෙසක් නැතුව...හැම දේම කරගන්න හැකි වෙන විදියට...

පුතාට පොත් කවර දමන්න අවශ්‍ය බඩු ටික ගන්න ගියාම ....දුටුවෙ...
පොලිතින් කවරය පවා රෙඩිමේඩ් දැන්...ලොකු පොත් වලට පොලිතින අලවන විදියටම ඇවිල්ලා...ලේසියි....

ඒත්..නිර්මාණයක් කරලා වෙහෙසක් වෙලා ලබන සතුට...මේ විදියෙනුත් ලැබෙනවද කියලා මම හිතුවා.....
වැඩ පහසු වෙන්න වෙන්න අපේ නිර්මාණාත්මක බව ගිලිහිලා යනවාද මන්දා ......


Saturday, December 10, 2016

18.ඒ අපූරු දවස් ( 6 කොටස ) (මතක)







ආත්තම්මාගේ කෑම


අපේ ආත්තම්මා...එහෙම නැත්නම් ආච්චි අපූරු සූපවේදිනියක්...ඇගේ අත් ගුණය..රස නහර පිනා යන ආහාරයන් අපිට හැමවිටම ලබා දුන්නා.
ගමේ ගෙදරක ජීවත් වෙනවා කියන්නේ සොබාදහම එක්ක ඉන්නවා කියන එක.සොබා දහම නිරන්තරයෙන් තමන්ගෙ සාරය රස පල වැල ඔස්සේ අපිට ලබා දෙනවා

වසක් විසක් නැති..ස්වබාවික පොහොරෙන් සරුසාර වුණ ඒ රස පලවැල ආත්තම්මගෙ අත්ගුණය හා සබැඳුනාම ...රස නහර පිනා යන අහරක් වෙනව....

ඉස්සර අපේ ආත්තම්මා එක්ක ගේ ඉස්සරහ වෙලට ගියාම ගොටුකොල...මුකුණුවැන්න..ගිරාපලා වගේ කොල අහුරක් මිටක් කඩාගෙන ඒමට ඇගෙන් නිරායාසයෙන්ම අණක් ලැබෙනවා...අපේ ගේ ඉස්සරහ වෙල අයිනේ තිබුන නාන ලිඳ ට යන හැම වරකම ගෙදර එද්දි අපි මේ දේ කරනවා....ඒ දවස් වල කොල වර්ග කන්න අපි හරිම හොරයි..ඒත් වත්තේ තියන ජපන් බටු කොල(අපේ පැත්තෙ කියන්නෙ සිංගප්පූරු කොල කියලා දාල හදන කලවම් මැල්ලුම කොච්චර රසද කියලා හිතෙන්නෙ..දැන් මේ පෝර බෙහෙත් ගහපු කොල මිටි කනවිට

මම ඒ දවස් වල ආත්තම්මා හදන කෑම වලින් ආසම කිරිකොස් ව්යන්ජනයට....ඒක හදන දවසට මම බත් එක්ක කිරිකොස් නෙවෙයි කිරිකොස් වලට බත් යන්තමට පෙන්නල කන්නෙ...ඔක්කොටම වඩා ආස කිරිකොස් හට්ටියෙ අන්තිමට ඉතුරු වෙන ටිකට බත් දාගෙන ඒකෙම කන එක...( මම මහ බඩජාරියෙක් ගානට වැටෙන බව දැන් දන්නවා...ඒත් ඇත්ත ලියන්නම එපයි....)

ගමේ ගෙදරක උයන එලවලුවෙ රස ගුන ආවෙ ඇත්තටම ඒක හදන දේශීය රසකාරක නිසායි..දැන් වගේ කුලු බඩු ඛඩෙන් ගන්න පකට් කල දේ ගන්න සිරිතක් එදා තිබුනෙ නැහැ..මට මතකයි කහ පවා..ගෙනවිල්ලා වේලලා...මිරිස් ගලේ අඹරලා තමයි කහ හදාගත්තේ

ගස් වල බිලිං හැදෙන කාලෙට බිලිං උයලා...හදන ඒ ආහාර වට්ටෝරුව අද අපිට හදාගන්න බැහැ...
සකසුරුවම් කම අතින් ඉස්සර අපේ ආත්තම්මලා උන්න තැන ට ගව් ගානක් මෙහා අපි ඉන්නෙ


ගහක කොස් ගෙඩියක් පැහුනත්...වැල වරකා වුනත්..ඒකෙ ඇට ටික පවා වැලි යට දාල වැලි කොස් ඇට කලා ඒ කාලෙ...ඉන් පස්සේ කාලෙක ඒ වැලි කොස් ඇට තම්බලා ලුණු ඉහලා පොල් එක්ක කන කොට තිබුණ රස තාම දැනෙනවා වගේ...නමුත් පසු කාලෙක මගේ දරුවන් පාඩම් පොතෙන් වැලිකොස් ඇට ගැන ඉගන ගද්දි ඒ දේවල් අපිට සිද්ද වුණේ යාන්ත්‍රිකව කියා දෙන්න

කාලය ඇදිලා ගිහින්...අත්තම්මා වගේම අම්මාත් නැහැ...මතකයන් පමණයි ඉතුරු....මේ මතකයන් මෙලෙස උනත්...මෙතනින් එහා පරම්පරාවට ඒකත් අමතකම වන මතකයක් වෙනවා කියල හිතද්දි...හිතට එන්නේ දුකක්.......