Saturday, July 11, 2020

16. පහලොස් වෙනි දිග හැරුම



උදාර මඩුගල්ලේ හිසේ අතගසා ගත්තේය...
.
ඔය කරගත්තෙ එකක්....මේ වෙලාවෙම කෝල් කරල කල ගොං වැඩේ...අන්තිමට බ්ලොක් උනා....
.
උදාර තමන්ටම දොස් පවරා ගත්තේය....
.
කාර්‍යාල භාවිතයට ලබා ගත් අංකයෙන් ඇය අමතා බැලිය යුතුයැයි ඔහුට සිතුණේ එවිටය...
.
ජංගමය යළි නාදවී විසන්ධි වන තුරුත් සඳමිණි ඒ දෙස නොබලාම උන්නාය...අතදිගු කර ජංගමය අතට ගැනීමට වත් නොසිතේ ...නැවත නැවත නාදවන අංකය දුටුවිට ඇයට ඇතිවූ තිගැස්ම මඳක් සමනය වන්නට හැර ඇය ඇමතුමට සම්බන්ධ වූවාය...
.
" ආ යූ ඕකේ....සඳමිණි ...?" උදාර මඩුගල්ලේ සාමාන්‍ය වෙන්නට තැත් දරමින් ඇසීය...
.
" හ්ම්..." එපමණකි...ඇය යළි යළිත් ඉකිගසනු ඇසේ...
.
" සඳමිණි ....දැන් නවත්වන්න ඔය ඇඬිල්ල...හෙට නිවාඩුවක් ගන්න...ඔයාට ඒක අවශ්‍යයි..මමත් හෙට මිනිස්ට්‍රි...එන්න එපා හෙට වැඩට...." උදාර අණ දීමක ස්වරයෙන් පැවසීය...

."හා..." එපමණකි... අනිච්ඡානුගව ම ඇය තම අණසකට නතුව ඇත..උදාරට මහා අනුකම්පාවක් දැනිණ...
.
" දැන් කෑම කාලද....?"

" ම්හ්..."
.
" කෑම නොකා...නිදානොගෙන විසඳන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි ජීවිතේ ට එන්නෙ....ඕකේ...ගිහින් කාල නිදාගන්න...ගුඩ් නයිට් "
.
උදාර ඇමතුම විසන්ධි කලේ තව දුරටත් ඇය වෙහෙසකරවනු නොරිසි හෙයිනි...
.
සඳමිණි විසන්ධි වීගිය ඇමතුම දෙස බලා මොහොතක් හිඳ නාන කාමරය වෙත වැදුණාය....
.
*****************************

දින දෙකකට පසු සේවයට යළි පැමිණෙන විට කතන්දරයට තටු ගසා ඉගිල ගොස් තිබිණ...සඳමිණි දෙස විමසුම් ඇසින් බලන ඉඟිකරන දෑස්‍ ය....තැන තැන කුටු කුටු හඬය...
.
" මොකක්ද මේ කලබලයක් උනා කියන්නෙ මිස් ..." මිසිස් පෙරේරා සුපුරුදු ලෙසම කෑම පැයේදී පැමිණ අසලින් ඉඳගත්තේ කාරණය අසාගන්නටමය..
.
" ඔයා දන්න ටිකම තමා මිසිස් පෙරේරා මාත් දන්නෙ...." සඳමිණි කෑම කන අතරේම කීවාය...
.
" සර් වෙලාවට ආවෙ නේද...හැබැයි ඉතින් සර්ටත් ඔහොම ඒවට පැටලෙන එක නම් හොඳ මදි..මොකද සර්ලා නුවර පළාතේ හෙන වලව් කාරයොලුනෙ..." මිසිස් පෙරේරා යටිතොල පෙරලමින් කීවාය...
.
" ඔහොම ඒව කීවෙ....පැටලෙනව කීවෙ....මට තේරුන්නෑ මිසිස් පෙරෙරා ...." සඳමිණි තදින් ඇසුවාය ..
.
" නෑ මං මේ කීවෙ ඉතින් සර්ලාගෙ නමටත් හරි නෑනෙ...ඔය ඩිවෝස් වෙච්ච පවුල් කේස් අස්සට අතදාන එක...." මිසිස් පෙරේරා තුරුම්පු කොලය ඇද්දාය...
.
" මේ මිසිස් පෙරෙරා ..එකක්...සර් එදා එතනට ආවෙ අහම්බෙන්..අනික සර්ගේ සේවකයෙක් මම...ඒ නිසා සර් එවෙලෙ මනුස්සකමට එහෙම කලා කියල සර්ගෙ නම්බුවෙ නැති වෙන්න මොකුත් නෑ....පින්සිද්ද වෙයි අනුන්ගෙ දේවල් නොහොය ඉන්නවද....?" සඳමිණි කෑම එකද ඔතා කුණු බඳුනට දමා කාර්‍යාලය වෙත විගසින් ගියාය... කේන්තිය සහ ආත්මානුකම්පාව නිසා ගතම වෙවුලයි....ඇය මේසයට හිස ගසා ගෙන දෑස් තදින් පියා ගත්තාය...
.
මේ ගැටලු රාශියක මුලය..බියංකා වත් උන්නා නම් හිතේ ඇති දේ කියා සැහල්ලු වන්නට ඉඩ තිබුණි... ඇය එන්නේද ලබන සතියේය...වාසනාවකට මෙන් ඉදිරිදින දෙක යනු... සති අන්තයයි...ඇනෙක්සියට ම වී නිහඬව සිටිය හැක....ලෝකයෙන්ම හුදෙකලා වීමේ දැඩි අවශ්‍යතාවයක් ඇයට දැනෙයි .....මේ සියල්ලෙන්ම පලා යන්නට ඇත්නම්......
.
*****************************

උදාර මඩුගල්ලේ ඉන් පසු සඳමිණි ගෙන් අදාල පෞද්ගලික ගැටලුව ගැන කිසිත් නොවිමසීය... ඇයව අපහසුතාවයට පත් නොකල යුතු බව ඔහුට සිතුණි...
.
ටිකක් හිත හරිගැස්සුනාවෙ...මමත් ඔය අස්සට පැනල නටන්න යන්න හොඳ නෑ...
උදාර...සිතාගත්තේය....පෞද්ගලික දුරකතන අංකයද බ්ලොක් වීය...ඔහුට මඳ සිනාවක් පහළ විය....මගෙත් විකාර....
.
සති අන්තය අක්කා බලන්නට නුවර යායුතුයැයි උදාර සිතාගත්තේය.... අක්කා බලන්නට යෑම මඳක් හිතට වෙහෙසකර ගමනකි... ඇය ගිය මොහොතේ පටන් කියවන්නට ගන්නේ විවාහයක් ගැනය....දන්වා ගියොතින් කවුරුන් හෝ බලන්නට ගමනක් යොදාගන්නා හෙයින් උදාර නොදන්වාම අක්කාගේ නිවසට යාමට සිතාගත්තේය....
.
සති අන්තය ඇයගේ හඬවත් නැතිව ගතකල යුතුය...නමුත් ඇය ඉන්නා තත්වය මත...ඇයට මඳ සහනයක් දිය යුතුය..උදාර මඳක් කල්පනා කර...බියංකා හට ඇමතුමක් ගත්තේය...
.
සිදුවූ සියල්ල විස්තර කල ඔහු ඇය ගැන සති අන්තයේ සොයාබලන ලෙස බියංකාට පැවසීය..මේ කිසිවක් තමා ඇයට දැන්වූ බවක් නොපවසන ලෙස ඔහු අවධාරණය කලේය...
.
බියංකා දුකත් සතුටත් යන දෙකම මැද හුදෙකලා වූවාය..
දුක යනු සඳමිණි ට ඇතිවූ මේ අනපේක්ෂිත තත්වයයි...සතුට උදාර මඩුගල්ලේ නොකියා කියන සඳමිණි සම්බන්ධ ඒ විශේෂ හැඟීමයි.....
.
අනේ සඳ ...උඹට සර් වගේ කෙනෙක් තමා ගැලපෙන්නෙ....ඒක හරියනව නම්....
.
බියංකා තනිවම සිතුවාය...
*************************************

සති අන්තය අක්කාගේ නිවසේ නිදහසේ ගතකරන්න ට තැත් කලද අක්කා ඊට වඩා සූක්ෂම වූවායැයි උදාරට සිතේ... සෙනසුරාදා හවස විත් ඉරිදා හවස ආපසු කොළඹ බලා යන්නට තීරණය කල ඔහුගේ ගමන අක්කා අනුමත කරද්දීත් අක්කාගේ අරමුණ ඔහුට වැටහුණේ නැත.....
.
සෙනසුරාදා හැන්දෑවේ මාවත ඉහළට ඇවිද ගිය උදාර එහි වූ පැල තවානට ගියේ සුමනේ ගේ සුපුරුදු ඉල්ලීම් වෙනුවෙනි...නුවරට යන හැම දිනකම ඇට වර්ග, පැල වර්ග ගොන්නක් ඔහු වෙනුවෙන් රැගෙන යා යුතුය...අදාළ මිළදී ගැනීම් අතරතුර ඉන් ඔබ්බෙහි වූ මල් පැල දෙසටද උදාරගේ ඇස ගියේය....නෙක නෙක පැහැයෙන් පිපීගිය මල් අතර සඳමිණි ගේ රුව සිහිවූයේ කිමදැයි ඔහු යළිත් සිතුවේය...
.
ගැහැණු ඉතින් මල් වගේ තමයි....කවුරුන් හෝ වරක් එසේ කිව්වා මතකය....
.
" මල්ලි කෙලින්ම කොළඹ නේද....? " දිවා අහර ගන්නා අතරේ අක්කා උදාරගෙන් ඇසීය...
.
" ඔව් අක්කා...ඇයි...?" උදාර විමසීය...
.
" අර මිසිස් දුනුකේ බණ්ඩාර කතාකලා ...එයාගෙ දුව කොළඹ යන්න සූදානම් වෙනව කියල...මං ඉතින් කීවා ඔයත් කොළඹ යනව ආයෙ බස් වල මොකටද රස්තියාදු වෙන්නෙ ඔයා එක්ක යවන්න කියල...." අක්කාගේ සූක්ෂම දැල එලීම උදාරට වැටහිණ...
.
" අක්කා යමක් කරන්න කියන්න කලින් මගෙන් අහන්න ඔයාට තිබ්බ...මම වෙන ගමනක් දාගෙන උන්න නම්...නැත්තං මගින් යාලුවෙක් වත් ගමනට එකතු වෙන්න තිබ්බ නම්....හරි නෑනෙ...ඔහොම කරන එක...හ්ම්...දැන් එහෙම නම් කරන්න දෙයක් නෑ...කියන්න දෙකහමාර වෙද්දි රෙඩි වෙන්න කියල..."උදාර නොරිස්සුමෙන් පැවසීය....
.
දෙකහමාර වන විට දුනුකේ බණ්ඩාර වලව්ව අසල රිය නැවතූ උදාර මඩුගල්ලේට නිශාකා දුනුකේ බණ්ඩාර සිය මව සමග එනු පෙනිණ....ඉතා කෙටි බ්ලවුසයක් සහ සිරුරට තදටම ඇඳෙන ජීන්සයක් ඇඳි ඇය තඹ වර්ණ ගැන් වූ කෙහෙ රැලි පෝනිටේලයක් කොට දමා උන්නාය...
.
" පුතා එන්න තේ එකක් බීල යන්න...මේ පිට තැනක් යැ " දුනුකේ බණ්ඩාර මහත්මිය පැවසුවාය...
.
" රෑ වෙන්න කලින් යන්න ඕන...දැන් තේ අවශ්‍ය නෑ මිසිස් බණ්ඩාර " ඔහු මඳක් නොරිස්සුමෙන් පැවසීය..
.
" පුතා එක්ක නිසයි මේ මෙයාව මෙහෙම යවන්නෙ...නැත්තං තනිවම ගමන් ගිහින් පුරුදු නෑ.." උදාරට සිනහ යන්නට ආවේ ඒ වදන් පෙළටය ...
.
එන අතරමග තොරතෝංචියක් නැති නිශාකාගේ කියවීම ට හූමිටි පමණක් තබමින් ආ උදාරට සැනසුම් සුසුමක් හෙලුණේ ඇය අදාල ස්ථානයේ බැස්සවූ පසුය....
.
" තැන්ක් යූ සෝ මච් උදාර....විල් මීට් යූ අගේන් සූන්....බාආආයි..." බහින්නට පෙර ගෙල වටා දෑත යවා උදාරගේ කොපුලක් සිප ගත් නිශාකා ඇසක් ඉඟිමරා අසුනෙන් බැස ගියාය...
.
ශිට් විතරක්...උදාර මහත් නොරිස්සුමෙන් වාහනය වේගවත් ව හරවා ධාවනය කලේය...

********************************************************************************
සඳමිණි කාර්‍යාලයට පැමිණ අත්සන් කොට බියංකා හමුවන්නට ගියේ වේලාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති බැවිනි...
.
" හවස මං එක්ක යං බී...ටිකක් කතාකරන්න ඕන..." සඳමිණි සෙමින් පැවසුවාය..සති අන්තයේ බියංකාගේ නිතර සොයාබැලීම් සහ ඇමතුම් වල සැකකටයුත්තක් ගැබ් ව තිබිණයි ඇයට හැඟෙන්නට විය...
.
" හරි අපි කතාකරමු...දැන් දුවපන්....මාත් යනව.."

කාර්‍යාල කාමරයට පැමිණි සඳමිණි ගේ දෙනෙත ට මේසය මත වූ උස් දුඹුරු කඩදාසි බෑගය එක් වනම හසුවිය ...ඇය වටපිට බැලුවාය....උදාර මඩුගල්ලේ පැමිණ ඇති බවට ඔහුගේ මේසය මත ඇති ලැප්ටොප් බෑගය සාක්ෂි දරයි...ඔහු කොහේට හෝ ගොස් ඇත ..එවිට මෙය....? කාගේද...?
.
සඳමිණි බැගයට එබී බැලුවාය....කහ පැහැ පොහොට්ටුවක් දරන රෝස පැළයකි....ඇයගේ දෑස් ආශාවෙන් දිදුළන්නට විය...සෙමින් දෝතම රුවා එය ගත් ඇය එයට සම්බන්ධ කල ටැග් පත කියෙව්වාය...
.
Life has to bloom

උදාර මඩුගල්ලේ කාර්‍යාල කාමරයට නැවත එද්දීත් සඳමිණි මල් පැලය අත තබා ගෙන කල්පනාවකය....
..
"ගුඩ් මෝනින් සඳමිණි ..."

සඳමිණි තිගැස්සුනේ ඒ වදන් පෙලිනි....පියවි ලොවට ආ ඇය දුටුවේ තමා පසුකර ගොස් අසුන් ගන්නා උදාර මඩුගල්ලේ ය...

." ගුඩ් මෝනින් සර්...."
.
උදාර මඳ සිනහවක් පා ලැප්ටොප් පරිගණකය දිග හැර ගත්තේය...
.
" සර්...."
සඳමිණිගේ හඬින් ඔහු යළි හිස ඔසවා බැලීය...
.
" මේක....?" ඇය මල් පැලය ඔහුට පෑවාය....
.
" ඒක ඔයාට..." උදාර සිනාවක් හෝ නැති මුවින් සඳමිණි දෙස බලා කීවේය.....
.
සඳමිණි නිරුත්තර මුවින් ඔහු දෙස බලා උන්නේය....
.
" මම නුවර ගියා...එහෙ ගිහින් එනකොට සුමනෙට ඇට, පැල ජාති ගේන්න ඕන...මිනිහගෙන් විසුමක් නෑ නැත්නම්....එතන මල් පැල වගයක් තිබුණ ....එදා මං දැක්ක ඇනෙක්සියෙ මිදුලෙ මල් වවන් ඉන්නව...ඉතින් ඕක අරන් ආව....එච්චරයි " උදාර ඇයගේ මුහුණ දෙසම බලා පැවසීය.....
.
ප්‍රශ්න දහසක් ඇතත්.....ඒ වචන ටිකම හිත සැහැල්ලු කරන්නට ඇත....සඳමිණි ගේ මුහුණේ යළි සුන්දර ම සිනහවක් ඉපදී තිබිණ....

*****************************
.
" බී....ඇත්ත කියපන්....උඹ කොහොමද අර සිද්ධිය දන්නෙ....උඹ උන්නෙ නුවරඑළි එතකොට ත්..."
.
සඳමිණි සුපුරුදු අවන්හලේ කොණක අසුනේ සිට බියංකාගෙන් ඇසුවේ දෑස් දෙසම බලාගෙනය....බියංකා ගේ මුහුණ පුරා ඉතිරෙන මනමාල බැල්ම සහ සිනහව දෙස දෑස් හකුලමින් බැලූ ඇය....අතින්ද ඇද්දාය ..
.
" නුවරඑළියේ කියපු ගමන් කලකී දේවල් සිහි වෙලා මනමාල කම මූණට ආව ..." සඳමිණි සිනාසුනාය...
.
" නෑ ඒ මනමාල කම ආවෙ වෙන මගුලක් හරියාගෙන එන ඉවට...." බියංකා නැවත සිනාසුනාය...
.
"මොකක් .... " සඳමිණි දෑස් විසල් කලාය...
.
" උඹේ සර්....අන්න එයා තමා මට කෝල් කරල විස්තරේ කීවෙ .හැබැයි මාව පොරොන්දු කරව ගත්ත උඹට එයා කී බව නොකියන්නත් ..දැන් මේ උඹ මාව මරන් කන්න යන නිසා කීවෙ...."
.
" මං දන්නෑ බී එදා සර් ඒ වෙලාවෙ එතනට ආවෙ දෙවි කෙනෙක් වගෙ....මට හිතාගන්න බෑ ...සර් ඒ හැමදේම දන්නව...සුධීරට කතාකල හැටියට මට හිතාගන්නත් බැරි උනා..." සඳමිණි සුසුමක් හෙළමින් කීවාය...
.
" ඒක නම් ඇත්ත ..උඹයි මායි රණවීර සරුයි විතරක් දන්න දේවල් සර්ත් දන්නව....රණවීර සර් නම් ඕව කියන්නෑ බං ..හැබැයි ලොක්කා උඹ ගැන සෑහෙන්න අවධානයෙන් ..ඉන්නෙ...."
.
සඳමිණි බියංකාගේ දෑස් මගහැර ඉවත බලා ගත්තාය..ජීවිතය ට අයිති නැති ආගන්තුක හැඟීම් එබිකම් පාන්නේ මේ අසීරුම කාලය තවත් අසීරු කරන්නද....?
.
" බී...මට ජීවිතේ ගැන මාර බයක් එනව බී....සුධීර නම් ආයෙ පළාතක එන්නෑ එදා සර් ගෙ කීම ට බය වුන පාරට නම්.....ඒත්..මේ සර්ගෙ විදිය ...අනේ මන්ද බී..."
සඳමිණි හූල්ලන්නට පටන් ගත්තාය....
.
" මේ අහපන් සඳ...සර් එහෙම නරක මනුස්සයෙක් නෙවේ....උඹට වචනෙකින් වත් එහෙම බලපෑමක් කරල තියද ..? නෑනෙ....අපි කාලයට ඉඩ දෙමු....නිකම් කලබල වෙන්න ඕන නෑනෙ..."
.

සඳමිණි ඇනෙක්සියේ සුපුරුදු පුටුවට වී කල්පනාවේ ගිලුණාය.. ජීවිතය තමා ඇදගන්න ට තැත් දරන්නේ කිනම් ඉසව්වකටදැයි ඇයට සිතාගත නොහැක....නමුත් තමා කවුරුන් දැයි හොඳින්ම දන්නා උදාර මඩුගල්ලේ වැන්නෙක්...කිසිම විටෙක තමාගේ ජීවිතය සෙල්ලමකට ගන්නට නම් තැත් දරන්නේ නැති බව සඳමිණි ට සියයට දාහක් විශ්වාසය...එහෙත්....මේ සියල්ල දැනගත් පසුවත් ඔහුගේ මේ හැසිරීම තමා පිළිබඳ අනුකම්පාවද ...?
.
*************************-*********

ප්‍රේමය ජීවිතය ට ආගන්තුකය...තම ජීවිතය විෂයෙහි ප්‍රේමයට කවදාවත් ඉඩ හසරක් තිබුණේද නැත..පෙම්වතියක් වන්නට , ආදරය ස්නේහය විඳින්නට හිත ආසා කල යෞවන වියක් තමාටද තිබුණි....තාත්තා ගේ අණසක මධ්‍යයේ ඒ නැවුම් හැඟුම් සියල්ල ඉපදෙන්නටත් පෙර මියගිය් අන්දම සඳමිණිට මතකය....
.
පිරිමි ඇසක සෙනෙහස් බැල්මක් යනු ජීවිතය ට ආගන්තුකම හැඟීමක් වූදා විවාහයෙන් සිදුවූයේ තම සිරුර අනෙකෙකුට ලියාදීම පමණි...අංශු මාත්‍රයක ආදරයක් , ආදර වදනක් නොදන්නා සුධීරගේ ආත්මාර්ථකාමී ආක්‍රමණයන්ගෙන් ගතද සිතද පෙළා දැමුණා පමණි....අවසානයේ ඉතුරු වූයේ කැඩී බිඳී ගිය ආත්මයකි...එයට කවදා කෙසේ නම් පිරියම් කළ හැකිද....?
.
උදාර මඩුගල්ලේ ගේ දෑස් අතර අතරමං වූ ඇතැම් මොහොතක සිය දෙකන් පෙති පුරාගෙන එන හිරි වැටුම ආගන්තුකම හැඟීමකි...ඒ බැල්මට ජීවිතය ආසක්ත වන්නට නොදී සඳමිණි මහත් වෙර දරා ඉවතට හැරුණ මොහොතවල් අනන්තය.....සිහිවන විටද හිත අමුතුම හැඟීමකින් තිගැස්සී යනු ඇයට දැනේ...සඳමිණි ඈතින් සිය දෑසම වසා ගත්තාය....
.
එපා දෙවියනේ....ජීවිතය ට ආයේ කිසිම හෙවනැල්ලක්වත් එපා පිරිමියෙක්ගෙ ...

ඇය ඇස් පුරා පිරෙන වේදනාවෙන් යුතුව සිතුවාය....
.
*******************************
.
" සඳමිණි... ලබන විසි වෙනිදා ප්‍රෝග්‍රෑම් එකට යන්න සූදානම් ද... මේක හොඳම වැඩමුලුවක්...ලංකාව පුරාම ඉන්න තෝරාගත් කොටසක් සහභාගී වෙන්නෙ...මෙහෙන් යන කණ්ඩායම ට දහයට පොඩි මීටින් එකක් කෝල් කරන්න...."
.
උදාර මඩුගල්ලේ උදෑසන වැඩ අරඹා මොහොතකින් පැවසීය...
.
" හොඳයි සර්...."

සඳමිණි වහ වහා අදාළ අයට ඇමතුම ලබා දුන්නාය..සඳමිණි ඇයගේ කාර්‍ය භාරය ඉතා සුරුබුහුටිව කඩිසරව කරන අන්දම උදාර ඇයටද නොදැනෙන සේ බලා උන්නේය....
.
**********************************
.
" හොඳයි ...දැන් සියල්ලන්ම අදාළ වැඩ සටහන ගැන හොඳින් දැනුවත් ඇති කියල මම හිතනව...මේ පුහුණු වැඩ මුලුව තියෙන්නෙ බදුල්ල පස්සර පාරෙ කලමණාකරණ දෙපාර්තමේන්තුව ට අයත් මධ්‍යස්ථානයෙ...එතන ඔය අයට නේවාසික පහසුකම් සලස්වල තියනව....මෙහෙන් යන්න එන්න අදාළ ප්‍රවාහන පහසුකම් සලසල තියනව...අපිට විසි වෙනිදා උදේ අට වෙද්දි ඉන්න වෙන නිසා දහ නවය හවස අපි මෙහෙන් පිටත් වෙනව නම් හොඳයි ....දින තුනක වැඩ සටහනට පසුව අපි විසිතුන ආපහු එන්න බලාපොරොත්තු වෙනව...
මේ දිනවල එහේ තරමක් ශීත ගතියක් ඇති නිසා ඔයාලට අවශ්‍ය උණුසුම් ඇඳුම් රැගෙන එන ලෙස එහෙන් දැනුම් දී තියනව....
.
හොඳයි ...වෙන මොකුත් ගැටලු එහෙම තියද....?
"

උදාර මඩුගල්ලේ සිය කතාබහ අවසන් කරමින් විමසීය....
.
බියංකා ද යන හෙයින් හිතට සාංකාවක් නැත....දින ගණනාවක් මෙසේ ගමනක් ගිය කාලයක් ජීවිතේ නොවුණු හෙයින් සඳමිණි උන්නේ පුදුමාකාර ආසාවකිනි.....
.
අදාළ ඇඳුම් ටික ගන්නට සති අන්තයේ කොළඹ යා යුතුය....හවුස් ඔෆ් ෆැෂන් එකටවත් යනව....ඇය සිතාගත්තාය...
.
*********************************
.
" සඳමිණි ...වැඩකද ඉන්නෙ....?" උදාර මඩුගල්ලේ සිය වැඩ කටයුතු නිමවා මේසයට දෑතම තබා ගෙන ඇසීය .....
.
" නෑ සර්....ලොකු වැඩක නම් නෙවෙයි...."
.
" එහෙනම් පොඩ්ඩකට එන්න...."

සඳමිණි නැගිට ආවාය...උදාර ඇයට තම ඉදිරිපස අසුන පෙන්වා හිඳගන්නා ලෙස අභිනයෙන් පැවසීය....
.
" මම සඳමිණිට පොඩි යෝජනාවක් කරන්න හිතුවෙ.....ඒක ගැන හිතල බලන්න ..."
.
අකුණු සහහක් හිස තුළ පුපුරන්නාක් මෙන් සඳමිණි ට මහා බියක් කම්පනයක් දැනුණි ..ඇය වේගයෙන් හුස්ම ගත්තාය....පුටු ඇන්ද දෑතින්ම තදකොට අල්ලාගත්තාය ...හිස ඔසවා ඔහු දෙස බලන්නටවත් නොහැකි තරම් හිත බියපත් ය....
.
" සඳමිණි ....ඇයි මේ....ඔය දාඩියත් දාල....ඇයි දරුවො....." උදාර මඩුගල්ලේ බොහෝ නිවුණ ස්වරයෙන් ඇසීය....
.
" ඔයාට මොකුත් අපහසුවක් ද ...අසනීපයක් ද.....අපි පස්සෙ එහෙනම් කතාකරමු..." උදාරට ඇයගේ සිතේ ඇතිවූ චකිතය වටහා ගන්නට හැකි විය....ඇය ඉතා ඉක්මනින් බියට පත්වන්නීය....සසැලෙන්නීය...තමා ඇයට කියන්නට යන්නේ කුමක්දැයි වත් නොසිතා බියවන්නීය...
.
සඳමිණි බිම බලා ගෙනම උන්නාය...
.
" මම එක්කො කියන්නම්....සඳමිණි ඔයා හොඳට ඉගන ගත්තු ළමයෙක්....ෆස්ට්ක්ලාස් එකක් එක්ක ඩිග්‍රි එක කම්ප්ලීට් කල කෙනෙක්...ඉතින් මම ඔයාට යෝජනාවක් කරන්න ආවේ....මාස්ටර්ස් හරි එම්ෆිල් එකක් හරි කරන්න පටන් ගන්න දැන්වත් කියල...මොකද...ඔයා දැන් අවුරුදු ගණනක් නිකරුණේ නාස්ති කරල තියනව....දැන්වත් ඒ ගැන හිතන්න...මම ඔයාට උදව් කරන්නම් "
.
සඳමිණි දෑස් විසල් කොට උදාර මඩුගල්ලේ දෙස බලාඋන්නාය.... මේ උදාර පුද්ගලයා ගැන හිතේ ඇතිවූ වැරදි හැඟීම ගැන ඇය මහා පසුතැවිල්ලක උන්නාය ..............තමා සිතුවේ කුමක්ද....ඔහු සිතා ඇත්තේ වෙනම දෙයකි....
.
" මම හිතල බලන්නම් සර්...ජීවිතේ හුඟක් දේවල් අත හැරුණා මට...ආපස්සට ගන්න බැරිම දේවල් වැඩියි.....මට හිතල බලන්න ඕන ඒ ගැන...සර්ට පින්....." සඳමිණි අසුනෙන් නැගිට සිය අසුනට ගියාය...ඇයගේ සිතෙහි වෙහෙස උදාරට සිතාගත හැකි විය...
.
මේ විදියට ඔයා බය වෙන්න ගියාම මම කොහොමද මගේ හිත ඔයා ඉස්සරහ දිග හරින්නෙ......සඳමිණි....
.
උදාර මඩුගල්ලේ සුසුමක් හෙලා තමන්ටම පැවසුවේය.....

15. දහහතර වෙනි දිග හැරුම





ප්‍රේමය හිතට එබිකම් කරන්නට ගත් දිනයේ පටන් සිතකට නිවනක් ඇති නොවේ....
.
හැම තත්පරයක්ම උතුරා යන්නේ ප්‍රේමය ඇතිකල ආහ්ලාදජනක සිතුවිල්ලෙනි.....
.
එයට වයස තරාතිරම කිසිවක් බලපාන්නේ නැත....

****************************************************
.
බියංකාගේ මංගල උත්සවය උදාවූයේ ඉක්මනින්මය... සඳමිණි කල්වේලා සහිතව පෙර දිනයේම බියංකාගේ නිවසට ගියාය....
.
ලා දම් පැහැයෙන් යුතු ඔසරිය සඳමිණිගේ සිරුරට මනාව ගැලපුණි...චාම් මුතු ආභරණ කට්ටලයක් ද සහිතව සියුම් හැඩගැන්වීමකට පසු ඇය නිහඬ සිනාවෙන් යුතුව තම රුව දෙස කන්නාඩියෙන් බලා උන්නාය...
.
" වාව් .....සඳ ... අද නම් අපේ එකා මාව එපා උඹව ඕන කියන්න ත් බැරි නෑ...." බියංකා සඳමිණි ගේ දෝතින් අල්ලාගෙන කෑගැසුවාය...
.
" බී....ශටප්...අදවත් කට පාලනය කරන් හිටපන්...කට කැඩිච්ච කතා නොකියා.." සඳමිණි අතක් ඔසවා පහර දෙන අභිනයක් පාමින් සැර කලාය....
.
" දුව.... අපි එහෙනම් පහළට යමු....නැකැත් වේලාවත් හරි යාගෙන එන්නෙ...."
.
බියංකාගේ මව සඳමිණි ගේ අතින්ද අල්ලා බියංකා ට ලං කලාය ....
.
බියංකා සමග පහළට සෙමින් පා තබන සඳමිණි දෙස බොහෝ නෙත් එල්ල වී තිබිණ...
.
" මේකි එන්න එන්නම හැඩ වෙනවනෙ...." මිසිස් පෙරේරා තමාටම කුටු කුටු ගාමින් කීවාය.....
.
විවාහයේ නීත්‍යානුකූල ලියාපදිංචි කටයුතු සඳහා බියංකාගේ පසින් ඇරයුම් කර තිබුණේ උදාර මඩුගල්ලේ ටය....නියමිත වේලාව පැමිණෙන විට උදාර මඩුගල්ලේ එතැනට පැමිණියේ එතෙක් සිය රථයට වී සිටය...අනවශ්‍ය තරමේ සෙනග ගොඩක හැසිරීමේ අකමැත්ත ඔහුට කවදත් තිබිණ....
..
ලියාපදිංචි කටයුතු කෙරෙනා අතරතුර හිස ඔසවා බැලූ උදාරගේ දෑසට හසුවූයේ සඳමිණි ය...ඔහු මහත් ලොබින් ඇය දෙස මඳක් බලා උන්නේය...ඇයගේ දෑසත් සිතත් කොහේ හෝ දුරකය....උදාර ආයාසයෙන් ඇයගෙන් දෑස මුදාගත්තද...මේ ඇස් සෙල්ලම ඉව වැටුණ බියංකාගේ සිතට නම් අමුතු සතුටක් ඇතිවෙමින් තිබුණි....
.
උදාර මඩුගල්ලේ සිය කාර්‍යයට පසු පෝරුවේ චාරිත්‍ර ඉටුවන ස්ථානය වෙත ගියේය....තමා ඉන්නා ස්ථානය ට එකඑල්ලේ දිස්වෙන එම රුව දෙස දැන් ඉතින් සිත්සේ බලාගත හැක....කිසිවෙකුගේ දෑස් වලට හසු නොවන සේ ඔහු උපැස් යුවලද පැලඳ ගත්තේය.....
.
සඳමිණි සිතෙන් බොහෝ දුරක හුදෙකලා වූවාය...තරු පන්තියේ හෝටලයක මින් වසර ගණනාවකට පෙර සිදුවූ තම විවාහයේදී තමා උන්නේ යාන්ත්‍රිකව හැසිරවූ රොබෝවක් පරිද්දෙන් නොවේදැයි ඇයට සිතුණි...
.
බියංකාගේත් ඇයගේ පෙම්වතාගේත් පෙම්වත් ඉඟිබිඟි වලට මහත් ලොබින් ඇය දෑස් මැත් කල වහාම ඇයගේ නෙතට හසුවූයේ තමා දෙස ම බලා ඉන්නා උදාර මඩුගල්ලේ ය.. ඒ ඇස් බෙහෙවින්ම තියුණුය ...මුවේ සිනහවක් හෝ ද නැත ..තමා දෙස එක එල්ලේ ම යොමුව ඇති නෙතින් කියවෙන්නේ ඔහු බොහෝ වේලාව ක් තමා නිරීක්ෂණය කල බවය ..
සඳමිණි සෙමින් බිම බලාගත්තාය .....
.
මංගල පෝරුවේ චාරිත්‍ර අවසන් ව සෝපාවේ හිඳ ගත් බියංකා සඳමිණි ට අතවනා ගෙන්වා ගත්තාය....
.
" මොකෝ වෙන්නෙ...ඈ..." සඳමිණි ගේ කණට කර ඇය අසද්දීත් උදාර මඩුගල්ලේගේ ඇස් ඇය වටා ම ගැවසෙනු බියංකා දුටුවාය ...
.
" ඇයි...?" කිසිත් වටහා ගත නුහුණු සඳමිණි විපිලිසර වූවාය....
.
" මං බලන් උන්නෙ...එක්කෙනෙක් එහෙන් බලනව...අනික් එක්කෙනා මෙහෙන් හොරැහින් බලනව...ආව්..ආව්..."
.
සඳමිණි අත දිගු කර බියංකාට පහරක් ගැසුවේත් බියංකාගේ හිනා හඬ පැතිරුණේත් එකවිටය...
.
" පුලුවන් නම්...ඉන්න නැති කරපන් මට....උඹ හනිමූන් යයි....මම තනියෙන් එපැයි මේවට මූණ දෙන්න ....අර පෙරේරා මිස් එහෙම ඇහේ තියන් ඉන්නෙ මාව...බලපන්කො..." සඳමිණි කුටු කුටු ගාමින් බැණ වැදුණාය.....
.
*************************************************
.
රණවීර මහතා සහ මහත්මිය මඳක් පමා වී මංගල උත්සවයට පැමිණෙන විට බියංකා සහ පවන් ඡායාරූප ගැනීම පිණිස ඉවතකට ගොස් තිබුණි... ඔවුන් පිළිගෙන කතාබහ කරන්නට සිදුවූයේද සඳමිණිටය...
.
" කොහොමද දුව..." සුපුරුදු ලෙන්ගතු කමින් සඳමිණි ගේ අතින් අල්ලා සිය යාබද අසුනෙන් හිඳුවා ගත් රණවීර මැතිණිය... ආගිය තොරතුරු කතාබහ කරන්නට පටන් ගත්තාය....
.
රණවීර මහතා සමග කතාබහේ යෙදෙමින් උදාර මඩුගල්ලේ ඔවුන් දෙසට පැමිණියේ එවිටය..
.
" කොහොමද මිසිස් රණවීර...?"
.
" හොඳින් ඉන්නවා පුතා...." සැබෑම ආදරණීය හඬකින් පිළිවදන් දුන් රණවීර මහත්මිය සිනහසුනාය...
.
" මං මේ කීවෙ සුනන්දා ... මිස්ටර් මඩුගල්ලෙටත් ඉතින් දැන් පිළිවෙලක් උනා නම් නේද හොඳ කියල.... පී.එච්. ඩී .එකත් ඉවර එකේ..."
සඳමිණි එක්වනම තිගැස්සී උදාරගේ මුහුණ දෙස බැලුවාය.... උදාර එක ඇස් බැමක් ඔසවා ඇගෙන් කිමදැයි ඇසීය....සඳමිණි වහා ඉවත බලාගත්තාය ....
.
" සර්...මම පොඩ්ඩක් ඇතුළට ගිහින් එන්නද ...එක්ස්කියුස් මී...." සඳමිණි වහා නැගී සිට එතනින් මෑත් ව කාන්තා විවේකාගාරයට පියමැන්නාය....
.
අනේ දෙවියනේ ....මෙච්චර දවස් මම වයිෆ් වයිෆ් ගගා අහල තියෙන්නෙ මේ තාමත් නොබැඳපු සර්ගෙන් ද ...
එතකොට එයත් සද්ද නැතුව උන්නෙ....මාව මඩවන්න වෙන්න ඇති....
.
සඳමිණි ගේ දෑසට කඳුලුත් උනා එයි...මෙතරම් ලැජ්ජාවක්....උදාර මඩුගල්ලේගේ මෑතක සිට ඇති සමීප බව නොතේරුණාමත් නොවේ....ඔහු ගේ හැසිරීම් රටාව තරමක් වෙනස් ය.... ළගන්නා සුලුය....
.
එහෙත්...නැත...නැත .. තමා කවුරුන්දැයි තමා දැනගත යුතුය...දික්කසාදය නැමති අප්‍රසන්න ඉරණමේ ගොදුරක් වූ තමා ගැන ඒ වටිනා පුද්ගලයා කිසි සේත්ම විශේෂත්වයක් දැක් විය යුතු නොවේ....
.
සඳමිණි තදින් හුස්මක් හෙළා පහත දැම්මාය....

බියංකාගේ විවාහයෙන් පසු කාර්‍යාලයට පැමිණි පසු සඳමිණි උදාර මඩුගල්ලේහට එතරම්ම මුහුණ නොදී ඉන්නට තැත් දැරුවාය ....එය උදාරට ද මනාව වැටහිණි....
.
පව්....ලැජ්ජත් ඇති...ඔහේ උන්නාවෙ....
ඔහු තමාටම කියාගත්තේය...

*******************************************************************************
සාමාන්‍ය ලෙස රාජකාරිමය සම්බන්ධතාවයකින් ඔවුන් අතර කාලය ඔහේ ගෙවී ගියේය.....

සඳමිණි සේවය නිමවී ඇනෙක්සියට ඒමට බස් නැවතුම් පළට වී උන්නාය...බස් නැවතුම් පළද බෙහෙවින් පාලුවට ගොස් ඇත...
.
වේගයෙන් ආ වාහනයක් තිරිංග තද කොට නැවැත්තුවේද සඳමිණි ඒ දෙස බැලුවේද එක විටය..කෙලින් කටින් ඉන්නට බැරිතරමට බීගත් සුධීර ඔහුගේ මිතුරකු සමගම වැනි වැනී බස් නැවතුමට එනු දුටු සඳමිණි තිගැස්සී ගියාය....
.
බස් නැවතුම් පළේද අසල මාවතේද මහ සෙනගක් නැත...උන්නද අනුන්ගේ ප්‍රශ්න වලට හිස හොවා ලන්නට බැරි තරම්ම මිනිසුන් කාර්‍යබහුලය....
.
" ආ මැඩම්ම්ම්ම්ම්...මොකද තනිවම..." ඇඟේ ගෑවී නොගෑවී ලඟින් උන් සුධීර වෙතින් හමා එන මත්පැනේ දුර්ගන්ධය ද ඉවසිය නොහැකි තරම් ය....
සඳමිණි හිස ඉවතට කරගනිමින් අඩියක් එහාට ගියාය....
.
" ඇයීඊ...යන්නෙහ්....මොකද්ද අපි නොද්දන්න මිනිෂ්ෂුයැ....අහ්....හා නැද්ද බං...." අසික්කිත හිනා හඬින් කියවාගෙන යන දෑ අසා සිටින්නට බැරි තරම් ය...
.
" මිස්ටර් සුධීර කරුණාකරලා මට මගේ පාඩුවෙ ඉන්න දීල යනවද...? " සඳමිණි දත් තදකොට තදින් කීවාය....
.
" ඉත්තින් ...අපි යංකො....එන්න කො...කාලෙකින් ආස්සරේ කරන්නත් බැරි උනානෙ...." සුධීර ඇයගේ අතකින් ඇද්දේද...අනෙකා ඇයගේ අනෙක් පසින් ළංවූයේද එක් විටමය....
.
" මේ මගේ නෝනා...මේ මෙයා මගෙ . ..කලබල නැ....හරී..." මේ කලබලය දැක මඳක් නැවතුණ අයෙක්ට සුධීර කෑගැසුවේද ඔහු නැවත නොරිස්සුමෙන් ඉවතට ගියේද එවිටය....
.
තම අතින් අදින සුධීරගෙන් ගැලවෙන්නට වෙර දරන සඳමිණි ගේ ඇසින් කඳුලු බේරෙමින් තිබිණ...
.
*****************************

උදාර මඩුගල්ලේ කාර්‍යාලයෙන් පිටව ආවේ මඳක් පමාවීය...හෙට දිනයේ අමාත්‍යාංශයේ ඇති රැස්වීමක ට අදාල කටයුතු පරිශීලනයක් කල යුතුව තිබූ හෙයින් ඔහු පමාවීය....
.
කවදත් වේගවත් රිය ධාවනයක් නොවූ හෙයින් සීරුවෙන් පෙරට ඇදෙන වාහනයේ පැති වීදුරුවෙන් එක්වනම දුටු දසුන ඔහු ගේ පා තිරිංග වෙත කඩිනමින් යෙදීය....
.
ඉක්මනින් වාහනය මාවත අසලට කල ඔහු බස් නැවතුම වෙත දිවයද්දීත් සුධීරගේ ග්‍රහණයට හසුවූ සඳමිණි ඔහුගෙන් බේරෙන්නට තැත් දරමින් උන්නාය...
.
" එක්ස්කියුස් මී මොකද මෙතන වෙන්නෙ කියල මට දැනගන්න පුලුවන් ද...? " සාක්කු දෙකට අත් ඔබා ගත් අයුරින්ම ඉතාම ගැඹුරු හඬින් සුධීරගේ ගමන් මග අහුරාගත් ඔහු ඇසුවේ දැවෙන හඬිනි....
.
" අහ් ....මහත්තයා....මේ මගෙ වයිෆ් ...මේ අපේ ගෙදර ප්‍රශ්නයක් ....ඕකේ....ඔයා මේකෙන් එහාට වෙන්න...ඕකෙ....මේ පොඩ්ඩී ප්‍රශ්නයක් ....." සුධීර සඳමිණි ගේ අත අත්නොහැරම කීය....
.
" අහ්...මේ මිස්ටර් සුධීර වෙන්න ඕන....දැන් ඉතින් ඔයා සඳමිණි ගෙ හස්බන්ඩ් නෙවෙයිනෙ ...එක්ස් හස්බන්ඩ් නෙ ...ඒ නිසා කරුණාකරලා අත අත් හරින්න...." උදාර මඩුගල්ලේ ගේ ස්වරය සුධීරද තිගැස්සීය...
.
" උම්බ කවුද යකෝ...මට අණ දෙන්න...අනෙප්පලයන් බොස් යන්න..."
සුධීර ගේ කෑගැසීම හමුවේ සෙනග එකා දෙන්නා වටවෙනු දැනුණි...
.
" ආ මම ද....මම උදාර මඩුගල්ලේ... මෙහේ ප්‍රාදේශීය ලේකම්...මේ මගේ ගාව සේවය කරන ළමයෙක්..ඉතින් ඔබතුමාට වඩා මට මේ ළමයා ගැන අයිතියක් තියනව....කරුණාකරලා පොලිසිය ගෙන්වන්න කලින් ඔය ළමයාගෙ අත අතාරිනවා...." උදාර මඩුගල්ලේ ගේ හඬින්....සුධීර තිගැස්සී සඳමිණි ගේ අත අතහැරීය...
.
" හරි හරි සර්...ඉතින් කලින් කියන්න එප්පැයි....ඕකේ ඕකේ මේන් අපි ගියා....සඳමිණි සොරි ඈ....." සුධීරගේ අත වේගයෙන් ගසා දැමූ සඳමිණි දෑතින් මුහුණ වසා ගෙන හඬන්නට වූවාය...
.
" සඳමිණි ගිහින් වාහනයට නගින්න...මම ඔයාව ඩ්‍රොප් කරන් යන්නම්...." අවට රැස් වූ ජනතාව දෙස සිනාමුසුව බැලූ උදාර මඩුගල්ලේ වාහනය දෙසට ඇවිද ගියේය... සඳමිණි වාහනයේ පිටුපස අසුනට නැග දෑතේ මුහුණ ඔබාගෙන හඬන්නට වූවාය....
.
උදාර මඩුගල්ලේ නිහඬවම වාහනය පැදවීය....කුමක් කියන්නටදැයි සිතාගත නොහැකිය .. ඇය පත්ව ඇති අසරණ භාවය ඉමහත් බව වැටහේ ....
.
උදාර මඩුගල්ලේ වාහනය ඇවිදින මං තීරුවට මුහුණ ලා වූ කෙත් යාය අසල නැවැත්වීය....වාහනය නැවැත්වූ බව වත් නොදැන සඳමිණි හඬා වැටෙන්නීය...
.
" සඳමිණි ....ඉස්සරහට එන්න.... මට කතාකරන්න ඕන...."
උදාර මඩුගල්ලේ නිවුණ ස්වරයෙන් පැවසීය....
හිස දෙපසට වනා බෑ කියමින් හඬන ඇය ගේ ඉරියව් දුටු විට ඔහුට ළදැරියකගේ හැසිරීම සිහිගන්වයි...
.
" මට පිටිපස්සට එන්නද එතකොට කියන්නෙ....ඒක ඔයාටත් මටත් දෙන්නටම හොඳ නෑ...." උදාර තත්වය සමහන් කරනු වස් විහිලුවක් සේ කීවේය...සඳමිණි තිගැස්සී උදාර දෙස දෑස් විසල් කොට බැලුවාය...උදාර නිහඬවම ඉදිරිපස යාබද අසුන ඇසෙන් පෙන්වීය...
.
සුසුමක් හෙලා වාහනයේ දොර විවෘත කරගනිමින් ඉදිරි පස අසුනට පැමිණි සඳමිණි දෑත පටලාගෙන බිම බලාගත්තාය...තවමත් ගැස්සෙන දෙවුර ඇයගේ කම්පිත හැඟීම් මොනවට කියාපායි....
.
" දැන් ඇඬුවා ඇති...මොකුත් වුණේ නෑනෙ....ඔය මූණ පිහදාගන්න...නැත්නම් මිනිස්සු බලයි..."
.
සඳමිණි දෑස ලේන්සුවක් ගෙන පිසදාගත්තාය...ඇස් දෙක තඩිස්සි වී ඇත...හිතේ ප්‍රශ්න ගොඩක් එකතුවෙයි...ඒ කිසිවක් අසාගන්නට වාරු නැත...
ඇයගේ හිත මුහුණෙන් දිස්වෙන අන්දම උදාරට පෙනෙයි..
.
" මම දන්නව සඳමිණි ට දැන් ප්‍රශ්න ගොඩක් හිතේ තියන බව...නමුත් මේ ඒ දේවල් කතාකරන්න වෙලාවක් නෙවෙයි...රෑ වෙන්න එනව .මම ඇනෙක්ස් එකට ඔයාව ඩ්‍රොප් කරන් යන්නම්....ආයෙ ඔහොම දේවල් වෙන්නෙ නෑ...බය නොවී ඉන්න..." උදාර සිය වමත ඇයගේ හිස මතින් තබා පැවසීය....සඳමිණි නිරුත්තර ව බිම බලා ඉකිය නවතාගත්තාය ....

**********************************

උදාර මඩුගල්ලේ පිටත් ව ගිය පසු සඳමිණි ඇනෙක්සිය වෙත හෙමින් පාද එසවූවාය...දෙපා වල යකඩ බරු එල්ලූවා සේය.... ඇනෙක්සියේ දොරවසා අගුලු දැමූ ඇය කාමරයට විත් බෑගය පසෙකට විසි කලාය...දොර දිගේ රූටා බිමට වැටුණ ඇයගේ හැඬුම යළිත් අලුත් විය....
.
දෙයියනේ සර්....ඔයා නොආවානම්...මට මොනව වෙයිද....

සඳමිණි ඉකිගසමින් කියෙව්වාය...
.
සර් ඔක්කොම දේවල් දන්නව....සුධීර ගැන ...හැමදේම ගැන...ඒත් ..ඒත් ඒ කොහොමද ...
.
සඳමිණි ගේ ඉකිගැසුම හා පරිසරයේ ඇති නිහඬබව මුසුව ගියේය....
.
ජංගමය යළිත් නාද වෙයි....නොදන්නා ඇමතුම...මෙය නම් බ්ලොක් කල යුතුමය....සඳමිණි ට ඇතිවූයේ මහා සැකයකි...හැමදාම හැන්දෑවේ එන මේ නාඳුනන අංකයේ ඇමතුම ඇය ඇමතුමට සම්බන්ධ වී මඳකින් විසන්ධි වෙයි...
.
මාව ට්‍රැක් කරනව වත්ද අර මිනිහ....
.
සඳමිණි අංකය බ්ලොක් කර දැමුවාය..

14. දහතුන් වෙනි දිග හැරුම


ජීවිතය මේ සා තමන්හට දඬුවම් දෙන්නේ මන්දැයි සඳමිණි නිදිවර්ජිතව කල්පනා කලාය... දික්කසාදය දුන් පසුවත් සුධිරගේ මේ අවිනීත බලපෑම් වලින් මිදෙන්නට තමන්ට ඉඩ නැත්තේ කිමදැයි ඇය කල්පනා කරමින් හැඬුවාය...හැමදේම කියන්නට ඉන්නේ බියංකා පමණි...එහෙත් ඇය මේ දිනවල විවාහය සඳහා කාර්‍ය බහුලය ....ඇයට ඇමතුම් දී කරදර කල නොහැක.....ඉවසා දරාගත යුතුමය......
.
පුස්තකාලයෙන් ගෙනා පොත් කියවීමට ද කිසිදු සිතක් නොමැති තැන....සඳමිණි වැරැන්ඩාවේ පුටුවේ හිඳගෙන දෑස පියාගත්තාය.... හඬ නිහඬ කල ජංගමය හෙමි හෙමින් කම්පනය වෙයි....නොදන්නා අංකයකි....වැරදීමක් වෙන්න ඇති ....ඇය ඔහේ එය විසන්ධි වන්නට ඉඩ හැරියාය...
.
සුධීරගෙන් වෙන් වූ පසු ජංගම දුරකතන අංකය , නවාතැන ආදිය සියල්ල වෙනස් කලේ ආරක්ෂාව වෙනුවෙනි....බියංකා සහ රණවීර මහතා හැරුණ විට නව දුරකතන අංකය කිසිවෙකු හට ලබා දී නැත ....
.
ජංගමය යළි කම්පනය වෙයි....සඳමිණි එය සවනට තබා ගත්තා ය ....
.
" හෙලෝ....කවුද මේ ....?" සඳමිණි මඳක් නිහඬව සිට ඇසුවාය .....හා හූවක් නැති නිසොල්මනක් පමණි.....රාත්‍රී කාලයන්හි ජංගම දුරකතන අංක වලට අහම්බෙන් මෙන් අමතන අය එමටය....සඳමිණි ජංගමය වසා පසෙක තැබුවාය ... එය යළිදු නාද වූයේ නැත .....වැරදීමක්ම වෙන්න ඇති.....
.
*****************************
.
උදාර මඩුගල්ලේ විසන්ධි වී ගිය ජංගමය දෙස බලා යළි සිනහවිය....සිතට සිදු වී ඇත්තේ කුමන අරුමයක්දැයි ඔහුට සිතාගත නොහැක....
.
සාමාන්‍ය රාජකාරි දුරකතනය පසෙක ලා පෞද්ගලික අංකයෙන් ඇයට ඇමතුමක් ගත්තේ ඒ කටහඬ අසන්නට සිත බල කල බැවිනි....මෙය ඇත්තෙන්ම තමා වැන්නෙකුට ගැලපෙන හැසිරීමක් නම් නොවේ....තමා නව යෞවනයේ පසුවන්නෙක් ද නොවේ....එහෙත් මේ හැඟීම් හිතට ආගන්තුකය....ඉල්ලන්නේම හිතුවක්කාර ඕනෑකම් ය....
..
මේ දේවල් දන්නව නම් සඳමිණි මගෙ මූණ වත් බලන එකක් නෑ...නාකි කෝලං කියලා දෙකක් නොකිව්වොත් තමා පුදුම.....
.
උදාර මඩුගල්ලේ සිවිලිම දෙස බලා සිනහවෙමින් සිතයි....
.
දොර අසලට වී දෙවරක්ම ඇමතුවද උදාර ඉන්නෙ වෙනම ලෝකයක බව සුමනේ වටහා ගත්තේය . ..තම හඬට වත් ප්‍රතිචාර නොදක්වා ඔහු වෙනම ලෝකයකය...ඒ මුහුණේ ඇති හිනාව...වටහා ගන්නට බැරි එකක් නොවේ......
.
රෑ කෑම ගැනද වගේ වගක් නැති හාම්පුතාගේ සිහින ලෝකය බිඳින්නට නොහැකිව තවත් මඳ වේලාවක් බලා උන් සුමනේ හෙමින් උගුර පෑදුවේය....
උදාර මඩුගල්ලේ තිගැස්සී ඇඳ මත හිඳ ගත්තේය....ඔලුව කසමින් සිනාසෙන සුමනේ දෙස හොරැහින් බලා ඇඳෙන් බිමට බැස නාන කාමරයට ගියේය....
.
" සුදු මහත්තයා කන්න ආව නම්.....දැන් වෙලාව පහු වෙලා...." සුමනේ හිනැහෙමින් පහත මාළයට බැස ගියේය ....
.
*****************************************************

කාලය ගෙවී යන්නේ හිත් වල හැඟුම් අසුරා තබා ගත නොහැකි කරවමිනි....උදාර මඩුගල්ලේ ඒ කෙසේ වතුදු හොඳම රාජ්‍ය සේවකයෙක් විය...කිසිදු විට සිය හැඟීම් තම වගකීම් අභිබවා යන්නට ඉඩ නොතබන අන්දමේ අයෙක් විය.....
.
රාජකාරිමය ලියකියවිලි අතර අන්තර්ජාලය ඔස්සේ ආ ඊමේලය විවෘත කල උදාර මඩුගල්ලේ ගේ සිත ප්‍රීතියෙන් පිනා ගියේය... සිය ආචාර්‍ය උපාධිය සම්පූර්ණ වීමේ ඊමේලය එයයි.... දෑත හිස පිටිපසට බැඳගෙන සිය පුටුවේ වටයක් සෙමින් කැරකුණ ඔහු " යෙස්.." ලෙසින් අත ඔසවා ජය ලකුණු කලේය....
.
සඳමිණි සිය ප්‍රධානියාගේ මේ අමුතු හැසිරීම දෙස දෑස විසල් කොට බලා උන්නාය....ඔහු ඉන්නේ වෙනම ලෝකයකය..මුහුණේ උතුරන්නේ සතුටක්මය....ඒ මුහුණේ එවන් සිනාවක් දකින්නට හැක්කේ ඉතාම කලාතුරකිනි ....සඳමිණි විමතියෙන් ඒ දෙසම බලා උන්නාය.....
.
උදාර එක් වනම සඳමිණි තමා දෙස මඳක් මුවද විවර කොට ගෙන විශ්මයෙන් බලා සිටිනු දුටුවේය ...තමා මෙතන කල රංගනය ඇය දකින්නට ඇත....
ඔහු ඇයට හිසෙන් තමා වෙත එන ලෙස සන් කලේය...සඳමිණි මහත් විමතියෙන් අසුනෙන් නැගිට සිය ප්‍රධානියා වෙත ආවාය....
.
පරිගණක මුහුණත සඳමිණි දෙසට හැරවූ උදාර ඇයගේ මුහුණ දෙසම බලාඋන්නේය..දෑස් කුඩා කරගනිමින් මඳක් පරිගණකය දෙසට නැවී එය කියවන ඇයගේ මුහුණේ මඳින් මඳ වෙනස් වන සියුම් ඉරියව් දෙස ඔහු ඇස්පිය නොහෙලා බලා උන්නේය...
.
සඳමිණි ගේ වතේ පිපෙන ඒ අපූරු සුන්දර සිනහව සමගින් ඇය උදාර මඩුගල්ලේ දෙස බලා සිනාසුනාය....
.
" අනේ සර්...සුබ පැතුම්....මට හරිම සතුටුයි සර්...." ඇය පෑ අත දෝතින් අල්ලාගත් ඔහු මඳක් වේලා ගෙන එය අත හැරීය....
.
" මේ මට තිබුන ලොකුම ඉලක්කය සඳමිණි ...ඒක සම්පූර්ණ උනා....ස්තුතියි සුබපැතුවාට...."
උදාර සිනහසෙමින් කීවේය.....
.
ඉන්පසු සිය ජංගමය අතට ගෙන අංකනය කර ඇමතුමක් ගත්තේය...සඳමිණි සෙමින් අසුන වෙත ගියේ ඇමතුම අසා සිටිය යුතු නොවන හෙයිනි....
.
" අක්කා ...ලොකූ......මගේ රිසල්ට් එක ආවා ...."
.
" ඔව්....ඕල්‍ රෙඩි ඩන්...."
.
" හරි ලොකූ...මම එන්නම් ෆ්‍රී උන ගමන්ම..."

එහා පසින් ඇසෙන දේ නැතත් උදාර අමතන්නේ සිය සොහොයුරිය ට බව සඳමිණි ට වැටහිණ....
ඉස්සෙල්ල කියන්න ඕන වයිෆ්ට නෙ...අක්කට වෙන්න ඇති ආදරේම එහෙනම්.... සඳමිණි සිතුවාය....
.
නමුත් උදාර මඩුගල්ලේ ඉන් පසු ඇමතුම ගත්තේ සිය මිතුරු තාරකටය...
.
" මචං....ඉට් කේම්... යෙස්..."
.
මිතුරු කතාබහේ උතුරන සිනහව බලා සිටින්නට ආසා හිතෙන තරම් ය ..
.
" ඕකේ...එහෙනම් හවස සෙට් වෙමු.....මං උඹව ගන්න එන්නම්...." උදාර හඬ ඉතාම පහත් කොට සඳමිණි දෙස හොරැහින් බලමින් කීවේය.... කණ තියෙන්නෙ නම් මෙතන ...ඔහු යටිසිතෙන් සිනහසුනේය.....
.
****************************************************

හවස් යාමයේ ඉර අව්ව බැස යන මොහොතේ සඳමිණි බියංකා සමගින් මාවත අයිනෙන් ඇවිද යමින් උන්නාය....
.
" සර්ට පිඑච්ඩී කම්ප්ලීට් වෙච්ච මේල් එක ආවම තිබ්බ සතුට බං...පොඩි කොල්ලෙක් පරාදයි..පුටුවෙ නැටුවෙ නැතුව විතරයි ...." සඳමිණි සිනාසෙමින් කීවාය...
.
" ඇත්තනෙ බං ...අපි නෝමල් ඩිග්‍රි එකක් කරන්න කෑව කට්ට බලන කොට ඔහොම එකක් කොහොම ඇත්ද .....සතුටු නොවී පුලුවන් යැ..." බියංකා උත්තර දුන්නාය...
.
" මිනිස්සු මහ පුදුමයි නේ බං ...සර් උනත් අක්කටයි යාලුවෙක්ටයි කෝල් කලා....වයිෆ්ට නිකමට වත් කතා කලෙ නෑ ...." සඳමිණි නොරිස්සුමෙන් පැවසීය....
.
" ඒව එයාලගෙ වැඩ වල හැටි වෙන්නැති බං.... මිනිස්සු කොහොමත් අමුතුනෙ....මොකෝ මෙහෙට නිකමට එක්කන් වත් ආවයැ....මිසිස් රණවීර වුණත් ආවේ නෑනෙ අත්‍යාවශ්‍ය එකකට හැරෙන්න නේද....?"
.
සඳමිණි හිස වනා පිළිතුරු දෙමින් සමාන්තරව ඇවිද ගියාය....
.
****************************
.
මුහුදු තීරය කෙළවර සුපුරුදු අවන්හලේ දෙමිතුරෝ ජයග්‍රහණය සැමරුවේ නිහඬවය....උදාර මඩුගල්ලේ සිය ප්‍රාණසම මිත්‍රයා සමග බීර වීදුරුවක රස බැලීය ....
.
"උදාර....දැන් එහෙනම් නිකම්ම නිකම් මිස්ටර් උදාර නෙවේ ඩොක්ටර් උදාර ....." තාරක හිනැහෙමින් කීවේය ...ඔහුගේ මුහුනේ උතුරායන සහෘදත්වයේ සතුට වසං නොවීය....
.
"උඹ එම්.බී.බී.එස් ඩොක්ටර් වුනේ මට කලින්නෙ....කමක් නෑ වයසට යන්න කලින් මාත් ඩොක්ටර් රේට් එකක් ගත්ත මදෑ...." උදාර හයියෙන්ම හිනැහුණේය....
.
" ඉතින් ඉතින් දැන් උඹෙ ඊලඟ ප්ලෑන මොකක්ද....රට යනවද...ඔෆර් එක අරන්...." අදාල විශ්ව විද්‍ය්යලය සහ සබැඳුණු ප්‍රධාන පෙලේ ආයතනයකින් මේ සමග පැමිණි රැකියා අවස්ථාව ගැන උදාර තාරක සමගින් පැවසුවේ මඳකට පෙරය....
.
උදාර නිහඬව ඈත ක්ෂිතිජය දෙස බලා උන්නේය...
.
" ඒ ගැන තව හිතන්න ඕන බං....මං මේ ආව විතරයි....අවුරුදු තුනකට පස්සෙ....මේ රටට මගෙන් වෙන්න දෙයක් තියේ නම් ඒ ටික නොකර මට යන්න බෑ ආපහු....." උදාර මඩුගල්ලේ ස්ථීර හඬින් පැවසීය.....

****************************************************

සඳමිණි සති මැද ආ නිවාඩුවේ කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව මඳක් කල්පනා කලාය.....
.
බියංකාගේ නිවසට යෑමට සිතූ සිතිවිල්ල ඉවත ලූවේ... ඇයගේ පෙම්වතා එදින එන බව දන්නා හෙයිනි....මම ඔතනට ගිහින් උන් දෙන්නට උදැල්ලක් වෙන්න ඕනයැ.... ඇය සිතුවාය....
..
ඇනෙක්සියේ කාමරය තුලටම වී ඒකාකාරිව ගෙවන දිවියෙන් මිදෙන්නටත් අවශ්‍යය .. එක්කො ආකේඩ් එක පැත්තෙ රවුමක් ගහල එනව ....ඇය සිතුවාය...
.
අලු පැහැති ඩෙනිමට කලු පැහැති කපු කමිසය ඇඳගත් පසු කොණ්ඩය ලිහිල්ව ගෙඩියක් කොට උඩට කර ගසා ගත්තාය...සයිඩ් බෑගය ට පොඩි වතුර බෝතලය සහ කුඩය දමා ගත් පසු කාමරයෙන් පිටට ආවාය ...
.
" ආන්ටී....මම පොඩ්ඩක් බොරැල්ලට යනවා...." ගෙහිමි කාන්තාවට මඳක් හඬනගා පැවසූ සඳමිණි ඇයගේ අත ඔසවා දුන් ප්‍රතිචාරයට පසු මාවතට විත් බසයට ගොඩ වැදුණාය.....
.
ජනාකීර්ණ පරිසරයක වුවත් නිදහස් චතුරශ්‍රය අසල කවදත් සන්සුන් ය ...සඳමිණි කුළුණකට පිටදී බිම හිඳ ගත්තාය.... අව් කණ්නාඩියෙන් වැසුණ දෑසට අව්වේ මහා ලොකු පීඩාවක් නොදැනේ....ඇය නිනව් නැති කල්පනා ලෝකයක සැරිසැරුවාය....

*****************************************************
.
උදෑසන ව්‍යායාම සඳහා තාරක සමගින් එක්වූ උදාර මඩුගල්ලේ.... ව්‍යායාම අවසන මඳක් විවේක ගත්තේ... මං තීරුව අසල බංකුවට බර දෙමිනි....නළලත වැකි දාබිඳු අත වූ කෙටි තුවායෙන් පිස දා ගත් ඔහු වතුර උගුරු දෙකක් බී බෝතලය පසෙක තැබීය
දිනපතා ව්‍යායාමයන්හි යෙදෙන්නට නොහැකි වුවත් සති අන්තය සහ අතරමැදි නිවාඩුව ඒ සඳහා යොදාගත්තේ නීරෝගී බව උතුම් යැයි නිතර දෙවේලේ බලකරමින් කියන තාරකගෙන් බේරීමට වුවත් අවසානයේ එය ඇබ්බැහියක් විය.
.
කාලය ගෙවී යත්ම හිඳ උන් අසුනින් නැගිට රිය නැවතූ ස්ථානයට පැමිණි උදාර මඩුගල්ලේ රියදුරු අසුනට බරදී ආසන පටිය පැළඳ රථය පණගැන්වීය....එහෙත් සිය දෑස් ඉදිරිපස මඳ දුරකින් කුලුණකට බරදී හිඳිනා හුරුපුරුදු රුව දුටු මනතින් ඔහුගේ අතින් පණ ගැන්වුණ රිය යළි ඉබේ නැවතුණි.....
.
"සඳමිණි.....මෙතන ..මේ වෙලාවෙ ..... " සියුම් සැකයක නොරිස්සුමක සේයාවක් හිතට ආතුර වී තිබිණ....
කාව හරි මුණ ගැහෙන්නද....බලමු....උදාර රිය අසුන පසුපසට කර බලා උන්නේය....
.
ඇය ඔහේ සිටින්නීය...ඉඳහිටක ඇය පසුකර යන වියපත් කාන්තාවක් හා සිනහසෙන්නීය....කුඩා දරුවෙක් අතින් විසිව ආ බෝලයක් අත තබා යළි ඈතට දිගු කරන්නීය...
වෙනදා සාරියෙන් ඔසරියෙන් හැඩ වන ඇය.... අද වෙනස්‍ ය....හරිම සරල සැහැල්ලු පෙනුමකි.....
.
උදාර එක්වනම ආ සිතුවිල්ලකින් ජංගමය අතට ගත්තේය....කාර්‍යාල අංකයෙන් ද තම පෞද්ගලික අංකයෙන්ද ලෙස සිතමින් මඳක් උන්නේය... අවසන කාර්‍යාල අංකයෙන් ඇමතුම ගත්තේය....
.
සඳමිණි නාද වන ජංගමය අතට ගනු උදාරට පෙනුණි....ඇයගේ මුහුණේ සන්සුන් සිනාවක් උපදිනුද ඔහුට පෙනේ....
.
" ගුඩ් මෝනින් සඳමිණි ...."
.
" ගුඩ් මෝනින් සර් .."
.
" සඳමිණි මේ වෙලාවේ වැඩකද ඉන්නෙ...."
.
" අනේ නෑ සර්....කියන්න..."
.
" නිවාඩු දවසෙ එහෙනම් ඔෆිස් වැඩ පවරන්න බෑනෙ .... ගෙදර වැඩ ඇතිනෙ...."

" අනේ නෑ සර්...මම පොඩ්ඩක් එළියට ආවා... නිවාඩු දවසෙත් ඇනෙක්ස් එකේම ඉන්න කම්මැලියි ..මම ආවා ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වෙයා එකට ටිකක් ඉඳල යන්න...."
.
සඳමිණි සහ උදාර මඩුගල්ලේ අතර දුරස්ථ භාවය මඳින් මඳ දුරස් වන්නට පටන් ගත්තේ කවදා දැයි ඔවුන්ට ම ගණනක් නොවීය..තම තමන්ගේ සීමා තුළ සේවක සේව්‍ය සබඳතාවය මිස ඉන් ඔබ්බට කිසිවක් එළි නොවීම ඊට හේතුව විය....
.
" අහ්...එහෙමද ...තනිවම...?" උදාර සෙමින් ආසනයෙන් බැස ඇයට නොපෙනෙන ඉසව්වෙන් ඇති පඩිපෙලෙන් ඇය සිටිනා දිසාවට පිය එසවීමට සිතා ඒ දෙසට හැරුණේය.....
.
නිවාඩු දවස හෙයින් අසල වූ ෆුඩ් කෝට් එකේ කුඩා ශාලා ආකේඩ් එක පුරාවටය ...ඔහු එක් වනම ආ සිතුවිල්ලකින් නැවුම් පළතුරු යුෂ බඳුනක් මිලදී ගත්තේය....
.
ඇමතුමේ සිටිමින්ම ඇය ඉන්නා ඉසව්වට ආ උදාර තමා පිළිබඳ ව වගක් නොමැතිවම ඇමතුමේ කියවන ඇය දෙස මොහොතක් බලා උන්නේය.....ඇය සැබවින්ම සුන්දරය...චාම් ය....රාජකාරිමය අවස්ථාවට වඩා කෙලිලොල් ය ....සිනාව දෙස දවසක් වුව බලා සිටිය හැකි තරම්ම මන බඳනා සුලුය...උදාර ඇය අසල ට සෙමින් විත් පිටුපසින් සිට පළතුරු යුෂ බඳුන ඇය ඉදිරියට පෑවේය...
.
සඳමිණි තිගැස්සී එක් වනම ඒ අත දිගේ දෑස් යවා නැගී ඉන්නට තැත් දැරුවාය...කුලුණට එහා පසින් නොපෙනෙන මුහුණ වෙත එබෙන්නට දැරූ තැතෙහිදී ඇය යළි බිමටම ඉන්දවුනේ සමබරතාව ගිලිහී යමිනි....කෙසේ හෝ වැර වෑයමින් නැගිට ගත් ඇය....තමා දෙස සිනාසෙමින් බලා ඉන්නා රුව දුටු විගස.... දෑතින්ම මුහුණ වසා ගත්තාය....
.
" අනේ ...සර්....." ඇය ඉමහත් ලැජ්ජාවෙනි.....උදාර ඇය අත බීම බඳුණ තැබීය....
.
"කියවල මහන්සි ඇතිනෙ...ඕක බීල ඉන්නකො..."
උදාර මැඩගත් සිනහවෙන් යුතුව පැවසීය....
.
" මම මේ වාහනයට නැගල යන්න හදනකොට අහම්බෙන් දැක්කෙ....ඒකයි ආවෙ ..." උදාර ඇයගේ දෑස මග හරිමින් පැවසීය....සඳමිණි අහන්නටත් පෙර ඔහු එසේ කියාදැමුවේ ඇය ගේ කුකුස නිවාලනු පිණිසය...
.
" සර් තනියම ද ආවෙ...." සඳමිණි වටපිට බලමින් ඇසුවාය.....උදාරට යටි සිතෙන් සිනා යන්නට එයි....
.
" ඔව් ...‍යාලුවෙක් එක්ක ආවෙ....ඇවිදල ඉවර වෙලා එයා ගියා ... සඳමිණි දැන්ම යනවද..... ? " උදාර නැවත විමසීය...
..
" ඇනෙක්සියට ගියත් කරන්න දෙයක් නෑනෙ සර්...හවුස් ඔෆ් ෆැෂන් එකේ පොඩි ශොපින් පාරකුත් දාලම යන්න හිතුවෙ...." ඇය සැහැල්ලුවෙන් සිනාසෙයි....
.
තව දුරටත් මෙතැන සිටීම නුසුදුසු යැයි උදාරට වැටහේ....ඇය අසල ගැවසෙන්නට වෙර දරන සිත ආයාසයෙන් පාලනය කරගත යුතුය....
.
" ඕනනම් මම එතනින් ඩ්‍රොප් කරන් යන්නම්....දැන්ම යනවනම්...." සඳමිණි කිසිවක් නොකියා හිස සලා එකඟ වූවාය....හිතේ මල් වැස්සක් වහී...උදාර හැඟීම් සඟවාගෙන වාහනයට නැග්ගේය....
.
හවුස් ඔෆ් ෆැශන් සාප්පු සංකීර්ණය අසලින් සඳමිණි බැස ගත් පසු උදාර නිවෙස බලා පිටත් විය....වාහනය පුරා මෘදු විලවුනක සුවඳ දැවටේ....ඔහු ගේ මුවේ මඳ සිනහවක් නොනැසීම පවතින්නට විය.....

****************************************************

ප්‍රේමය හිතට එබිකම් කරන්නට ගත් දිනයේ පටන් සිතකට නිවනක් ඇති නොවේ....
.
හැම තත්පරයක්ම උතුරා යන්නේ ප්‍රේමය ඇතිකල ආහ්ලාදජනක සිතුවිල්ලෙනි.....
.
එයට වයස තරාතිරම කිසිවක් බලපාන්නේ නැත....
...
කාලය තව කෙතරම්ම මේ පරික්ෂාව කල යුතුදැයි උදාර මඩුගල්ලේ කල්පනා කලේය...එහෙත් සඳමිණි ඉන්නේ අලුත පෑරුණු තුවාල සහිත සිතකිනි....ඇයට සිය හැඟීම් තවමත් වටහා ගන්නට කල් ඉක්මන් වැඩිය...හැඟීමකින් හෝ තමා ගැන ඇය සිතේ යම් වෙනසක් ඇත්දැයි උදාරට වටහා ගන්නටත් නොහැක...
.

තවත් ටික කාලයක් ඉවසනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඔහුට සිතාගත නොහැක...