Saturday, October 19, 2019

116. ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️

ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️




මගේ වෘත්තීය ජීවිතය තුළ මම ගතකරන විසි දෙවනි අවුරුද්ද මේක..පුහුණු කාල සීමාව එක්ක ගත්තොත් විසි හතරක්.....
.
එයින් වසර දහ අටක්ම මම ගත කලේ කායික ආබාධයන්ගෙන් පූර්ණ කාලීනව හෝ අර්ධකාලීනව ආබාධ සහිත වූවන්ට ප්‍රතිකාර කරමින්.....
.
මගේ වෘත්තීය ගත්තම කායික මානසික ආබාධයන් දෙකටම ප්‍රතිකාර සලසන ක්‍රමවේදයක්.....
.
ඉතින් මම රැකියාවට බැඳුණෙ අවුරුදු විසි එකෙන්.... එතැන් පටන් කායික ආබාධයන් ට ලක් වුණ මිනිසුන් එක්ක වසර දහ අටක් මම කාලය කැප කලා....එයින් ජීවිතේ ට උගත් යම් යම් දේ වරින් වර ලියා තැබීමත් කලා....
.
මම මනුස්සයෙක් විදියට ඉපදීම ගැන තෘප්තිමත් ...ජීවිතේ දුක සතුට අභියෝග කඩා වැටීම්, බිඳීම් මොන සුබ අසුබ දේ ආවත් මම මනුස්සයෙක් වීම ගැන මම මගෙ දෛවය ට ස්තුතිවන්ත වෙනවා....
.
ඒ වගේම නීරෝගී මනුස්සයෙක් වීම ගැන...මම සතුටු වෙන්න අරන්....මටත් ඔය ලෙඩදුක් අටෝරාසියක් නැතුවා නෙවෙයි.... hypothyroidism , අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම වගේම වයසට යන කොට එන හන්දි අමාරු වගේ ලෙඩත් මටත් එනව.....
.
නමුත් කායික ආබාධයන් නිසා එක් තැන් වුණ සුෂුම්නා ආබාධ සහිත රෝගීන්, අංශබාගය ඇතුලු ස්නායුමය රෝගී තත්ව වලට ලක් වුණ අය, උපතේ සිට ආබාධයන් ට ලක් වුණ දරුවන්, පිලිස්සුම් කැපුම් කෙටුම් ආදිය නිසා විකෘතිතා වලට ලක් වුණ අය, සන්ධි සහ ඒ ආශ්‍රිත රෝග නිසා සදාකාලිකව වම වේදනාවෙන් පසු වන අය....
.
ඒ අය එක්ක ගත කල අවුරුදු දහ අට මට තියෙන්නෙ කොච්චර නම් වාසනාවන්ත ජීවිතයක් ද කියල හැම මොහොතෙම පසක් කර දුන්න....
.
ඔබ ඔබේ ජීවිතේ ගැන දුක් වෙන මොහොතක හිතන්න අද තව විනාඩි දහයකින් ඔබේ බෙල්ලෙන් පහළට පණ නැතිවෙනව...ඔබට සියලු දේ වැටහෙනව...කතාකරන්න ත් පුලුවන් ...ඒත් ගෙලෙන් පහලට පණ නෑ....ඔබට හිතාගන්න පුලුවන් ද ..මේ දැන් ඔබ ඉන්න තත්වය සහ ඒ තත්වය අතර වෙනස....
.
එහෙම කෙනෙක් එක්ක ජීවිතේ කතාකරල තියනවා නම් .....ඔබ වටහාගනී...ඒ කෙනෙක් ජීවිතේ ට කොච්චර ආසද කියල....
.
ඔබ මානසිකව ආබාධයන්ට ලක් වුණ කෙනෙක් එක්ක කතාකරල තියේ නම්....ඔබ වටහා ගනීවි ඔබ ලෝකය දකින ආකාරය ඔවුන් ට කිසිම වෙලාවක අත්විඳින්නට නොහැකි බව....ජීවිතේ ගැන යථාර්ථය කෙසේ වෙතත් .....ඒකෙ වින්දනීය භාවය කිසිම ආකාරයකට නොවිඳින මිනිසුන් ඉන්නව....ඔවුන් යලි නගා සිටුවන්න රෝහලක කාර්‍ය මණ්ඩලය හුඟාක්ම උත්සාහ ගන්නව...ඒත් මනස වියල් වුණ අයෙක් ගොඩ ගන්න එක කායික අබාධයන්ට ප්‍රතිකාර කරනවට වඩා ගොඩාක් අමාරුයි ....
.
මිනිස්සු ජීවිතේ අතාරින්න තීරණ ගන්නෙ බොහොම ක්ෂණයකින් ...ඒ ඒ කෙනාට අදාල හේතු ඒ ඒ අයට අනුව සාධාරණ ඇති....නමුත් ජීවිතය කියන දෙයින් පළායෑම කියන දේ ....බොහෝම කමැත්තෙන් බැහැර කල හැකි දෙයක්....
.
මිනිස්සු ජීවිතේ හැරයන අවස්ථා තියනව ...සමහර ක්ෂණික ආවේග, දරාගත නුහුණු තැන්....ඒවා අතර මුල් වෙනව....නමුත් ....ප්ලෑන් කර කර ඉක්මන් සහ පහසු මරණ ක්‍රම සොයන්නා ඇත්තෙන්ම ගලවා ගත හැකි මට්ටමේ අය....ඔවුන් අන්තර්ජාලය වගේම ඉන් එහාට කාරණා සොයන්නෙ ඇත්තෙන්ම ජීවිතේ නසා ගන්න අවැසි කම වගේම තව වතාවක් ඉඩ හසරත් ජීවත් වෙන්නත් පතමින්...
.
ජීවිතේ නසා ගන්න ගිනි තියාගත්, අධි මාත්‍රාවලින් ඖෂධ ගත් අය බේරුණාම දැකල තියද ...ඔවුන් ඉල්ලන්නෙ අනේ මාව බේරගන්න කියල....ඒ අන්තිම මොහොතකදි ඔවුන් ට ජීවිතාශාව ඇතිවෙනව...
.
අපිට අවශ්‍යම දේ insight එක.....ඒ කියන්නෙ තමන් තමන්ගේ ඇතුලාන්තය වටහා ගැනීම....ඒක බැරි නම් ඒකට සහය විය හැකි අයෙක් ගෙන් සහය ලබා ගැනීම.....හැබැයි තවකෙක්ට ඇහුම් කන් නොදෙන තරම් හිතුවක්කාර වෙන අයෙක් වේ නම් ...ඒ අතිපණ්ඩිත කම බොහෝම නරක දෙයක්....මොකද සියල්ල දත් සහ තමන් කියන දේම නිවැරදියි කියන මතය දරන අය එක්ක වැඩ කිරීම මානසික / කායික ආබාධ සහිත රෝගීන් සමග වැඩ කිරීමට වඩා මාරම අමාරු දෙයක්......
.
ජීවිතය ට ආදරය කරන්නට...පලදායී අන්දමට ජීවිතේ ගෙවන්නට අවශ්‍යම නම්....කලයුතු පලවෙනිම දේ අත්දැකීම් සහිත සහ ඔබට උපදෙස් දිය හැකි මට්ටමේ අයෙක්ව තෝරාගැනීම....ඒ ඔබට ගැටලුවෙන් මිදෙන්න අවශ්‍ය නම් විතරමයි.... එහෙම නැත්නම් ඉතින් ජීවිතේ කලුපාට කොලයක් කියලා හිතාගෙන ඒ අඳුරේම ගැලෙන එක වලක්වන්න බෑ.....
.
කලුපාට කොලයකට වුණත් පාට අහුරු ටිකක් ඉස්සාම ලස්සනම සිත්තමක් මවන්න පුලුවන් .....

~~~ කිත්මා ~~~