Friday, October 29, 2021

2021 ( 26 ) Be a world class listener




බොහොම ඉස්සර පොඩි කාලේ කට කමිස්සිරියාවක් නැතුව කියවන වෙලාවලට අම්ම කිව්ව වචන පේළියක් මම ලියන්නද ?

"ළමයො ඔයාට එක කටකුයි කන් දෙකකුයි දීලා තියෙන්නෙ මොකටද ? කතාකරනව වගේ දෙගුණයක් ඇහුම්කන් දෙන්න...තේරුණාද?"

මේ ටික පොඩි කාලෙදි අහපු නැති ළමයෙක් නැතුව ඇති.
මොකද ඔය හැසිරීම් රටාව ඕනම ළමයෙක්ට පොදුයි.හැබැයි මේකෙ පොයින්ට් එකට එන්න.
 
"කතාකරනව වගෙ දෙගුණයක් ඇහුම්කන් දෙන්න"

සමහරක් විට මෙය කියවන ඔබ , ඔබ ගැන ඇත්තේ වෙනම තක්සේරුවක් ....

"අපෝ මම නම් හොඳ ඇහුම්කන් දෙන්නෙක්.."
"මම දවසකට කීදෙනෙක්ට ඇහුම්කන් දෙනවද?"
"හුඟක් අය මට එයාලගෙ ප්‍රශ්න කියන්නෙ මම එයාලට ඇහුම්කන් දෙන නිසානෙ"
ඔන්න ඔය වගෙ.....

නමුත් කෙනෙක්ට සවන් දීම කියන්නේ ඊට වඩා හුඟාක් ගැඹුරු දෙයක්.ඒක විඥානිකව කරන්න අවශ්‍ය දෙයක්.ඒ වගේම ඔබ නියමාකාරයෙන් කෙනෙක්ට සවන් දෙනවා නම් ඒක ඒ පුද්ගලයාට කරන ඉහළම ගරුත්වය වෙන්නත් පුළුවන්.





ඔබ කෙනෙක්ට ඇහුම්කන් දෙනකොට ඔබේ මනස පමණක් නොවෙයි ශරීරයේ හැම තන්තුවක්ම , සෛලයක්ම ඔබ වෙතින් ඔවුන්ට මෙන්න මෙහෙම පණිවුඩයක් දෙනවා...

" මම ඔබ කියනා දේ අගය කරනව.ඇත්තෙන්ම ඔබට ඇහුම්කන් දෙන්න මම හරිම කැමතියි"

ඇත්තෙන්ම කෙනෙක්ට සවන් දෙන පුද්ගලයන් හරිම අල්පයි. 

හුඟදෙනෙන් මේ සවන්දීම / ඇහුම්කන් දීම කියල අදහස් කරන්නෙ අනෙක් කෙනා කියන දේ ඉවර වෙන්නෙ කොයිවෙලෙද කියා බලාසිටීම වගෙ දෙයක්.ඒ අනෙක් පාර්ශ්වය කතාකරන මොහොතේත් සාවධාන සවන් දීමකට වඩා කෙරෙන්නෙ තමන්ගෙ පැත්තෙන් කිය යුතු දේ ගොනුකිරීම.
මේ දේ අපි අතරින් බහුතරයකට අඩුවැඩි ඇතුව සිදුවෙන්නක්.

ඔබ විශ්වාස කරනවාද ඇතැම් පුද්ගලයන් පැය හය හතක් උනත් සමහරක් විට ඔබ හා කතාවේ වැටෙන්න පුළුවන් ...ඒක ඔබට අධිවෙහෙසකාරී දෙයක් වෙන්න පුළුවන්.එහෙම නොනවත්වා කතාකරන කෙනෙක් ඒ වෙලාවල් වලට බාහිර පරිසරය සහ එහි සිදුවීම් ගැනවත් අවධානයක් නැතුව කතාකරන්නන් වෙනවා.

කෙතෙක් වෙහෙස වුණත් ඔබට හැකි නම් ඒ වැන්නෙක්ට සවන් දෙන්න....අන්න ඔබ අපූරු සවන් දෙන්නෙක්.....
බොහෝ විට එසේ නොනවත්වා කතාකරන අය කුඩාකලදී කිසිදු අවධානයකට ලක්නොවූ දරුවන් වෙන්න පුළුවන් ...වැඩිහිටි වියේදී හෝ ඒ ඔවුන් පිරිමසන්නේ අන්න ඒ අඩුව.

එක් විදේශීය නීතීඥවරයෙක් මෙන්න මේ විදියට පොතක ලියලා තිබුණා..
"Never talk when you can nod"
"ඔබට හිස වනා උත්තර දෙන්න පුළුවන් නම් කතාකරන්න යන්නඑපා."

මේ සවන්දීම ඔබේ නිවසේ, පවුලේ, කාර්‍යාලයේ හෝ සමාජයේදී හුරුවන්න.කතාකරනවාට වඩා දෙගුණයක් සවන් දෙන්න.

ඔබට හැකි නම් world class listener කෙනෙක් වෙන්න.

                  

අනෙකාට ඔබ හා කියන්න යන දේ ගැන හැමවිටම ඔබේ අවධානය උපරිමයෙන් දෙන්න.

ඉන් පස්සේ බලා ඉන්න....ඔවුන් කොහොමද ඔබට ප්‍රතිචාර දක්වන්නේ කියා.

ඔවුන් ඔබට සත්තකින්ම ආදරය කරාවි.
ඉක්මනින්ම ...ඔව්..

රොබින් ශර්මාගේ the greatness guide ඇසුරෙන් සකසා ලියූවක්


© කිත්මා වාසනා දහනායක ( විසිරි )