Sunday, February 27, 2022

07. හත්වෙනි කොටස ( හසරැල් සැලුණාවේ )

 



මා අසල තිරිංග තද කොට නැවතුන සුදු පැහැති මෝටර් රථයෙන් වහ වහා බිමට බසිමින් උන්නේ සරෝජ් හිරිපිටියය. ඔහු අඩියට දෙකට මවෙතට දුවගෙන ආවේ බෙහෙවින් කලබල ස්වරූපයෙනි. කාර්‍යාල ඇඳුමින් සැරසී උන් ඔහු මේ මොහොතේ දී මෙවන් තැනක හමු වීමද අහම්බයකි.

"නිවී කොහෙද මේ යන්නේ?"

අසරණව බලා ඉන්නා මගේ අතෙහි උඩ බාහුව තදින් ග්‍රහණය කරගත් ඔහු අසද්දී මම වටපිට බැලුවේ පාසල් වේලාව අවසාන වී මහා වේලාවක් නොමැති හෙයින් දන්නා හඳුනන අය දුටුවහොත් වන ගැටලුව ගැන බියෙනි. එහෙත් ඉද්ද ගැසූවා සේ දිගට ඇදෙන මාවතේ කිසිදු වාහනයක් හෝ මිනිසෙකු නොමැත.

"ගෙදර"

මා වියළි දෙතොල යාන්තමින් මෑත්කොට පවසා ගතිමි. 

"ගෙදර මේ පාරේ?"

සරෝජ් හිරිපිටියගේ දෑස දෙසම බලා උන් මම හිස වැනීමි. මේ පාර නිවසට යන්නට මා හට ඇති කෙටිම පාරය. පාසලේ සිට සාමාන්‍යයෙන් නිවසට කිලෝමීටර් තුනකට ආසන්න දුරක් මා හට ඇවිදයාමට ඇති මුත් මේ පාරේ යනවිට එම දුර කිලෝමීටර් දෙකක් දක්වා අඩු වෙයි.

"ඉතින් හැමදාම යන්නෙ පයින්ද?"

ඔහු ඇසුවේ වේදනාබර දෑසින් අදහාගත නොහුණුසේය. සමහරක් විට මෙවන් සිදුවීම් ඔවුන්ගේ ජීවිතයේ අසාවත් නැතුවා වන්නට ඇත.

"නෑ බස් එකේ.අද ඒක කැඩිලලු. මං ඉතින් පයින් යන්න ආවා"

මගේ ගතට මේ දැඩි අව්වේ සිටීම ද බොහෝ වෙහෙසකර ය.දහදිය බිඳු නළල දෙපසින් රූරා හැලී බෙල්ල පිටුපස ඇති කෙස් රොදවල් හරහා ගලා යයි. එම දා බිංදු වලින් යට ගවුම නැහැවී හමාරය. 

"මම මේ ක්ලයන්ට් කෙනෙක්ගෙ වැඩකට ගිහින් එන ගමන්.අහම්බෙන් ඔයාව දැක්කේ පහුවෙනකොටම"

ඔහු සිටියේ කාර්යාල ඇඳුමෙනි. ලා නිල් ඉරි වැටුනු සුදු පැහැති අත් දිග කමිසය, තද නිල් පැහැ ටයි පටිය ,කලු දිග කලිසම සමඟින් මුහුණ පෙනෙන්නට ඔප දැමූ කළු සපත්තු මගේ එක ඇස් බැල්මකටම ග්‍රහණය විය. මා ඕනේ සුදු පැහැයට වඩා අවපැහැ ගැහුනු කහ පැහැයකට හුරු දාඩියෙන් නැහැවුනු සුදු ගවුම ඇඳගෙනය. මගේ පාවහන් ගවුමටම නොදෙවෙනිය.මේ මොහොතේ දී වඩවඩාත් පෙනුමෙන් ඔහුත් මාත් අහසත් පොළවත් මෙන් අන්ත දෙකක විය. ඒ ගත වූ නිහඬතාවය විනාඩියක් පමණ යනතුරු එසේම පැවතුණි. 

"නගින්න"

ඔහු මගේ අත නොහැරම කාරයේ ඉදිරිපස දොර විවෘත කළේය. 

"අනේ අයියේ මම පයින් යන්නම්"

මම වෙහෙසින් යුතුව වුව පැවසුවෙමි.මේ වෙලාවේ ගෙදර කිසිවෙකු නොමැති වීමම මට සහනයකි. එහෙත් මේ ලෙස ඔහු හා යායුතු නැතැයි මගේ සිතම මට කියයි. 

"තව කිලෝමීටර් කීයක් පයින් යන්නද හදන්නේ මැට්ටෝ?"

සරෝජ් හිරිපිටිය ඔහුගේ ජංගම දුරකථන මුහුණත මට පෙන්නුවේය. ඒ අනුව මේ ස්ථානයේ සිට අප නිවසට කිලෝමීටර් දෙකකට ආසන්නය. මා මේ ගමන මෙලෙස යන පළමු වතාව මෙය නොවන බව මම ඔහුට නොකියූවෙමි. එසේ කියන්නට මට කිසිදු වුවමනාවක් ද නොවීය. මගේ ගැටලු, අපහසුතා මා සමග මේ අන්දමටම තිබිය යුතුය.

"මං එක්ක යන්න බයද නැත්නම් අකමැතිද?"

සරෝජ් හිරිපිටියගේ හඬ ගැළපුණේම ඔහුගේ දෙවන නමටය.නිසල් වූ ඔහුගේ නමද හඬද සැබැවින්ම නිසංසලය. අවැඩක් අසිතක් ඉතින් සිතන්නේ කෙලෙසද? මම කෙල බිඳක් කිරීමට වෙර දැරීමි උගුර කට වේලී ගොස් ඇති හෙයින් එයද අපහසුය. මම බිම බලාගෙනම හිස දෙපසට බැලුවෙමි.

"අනේ නෑ අයියේ. එහෙම නෙවෙයි "

මම වදන් ගලපාගන්නට වෙර දැරීමි.

"මං දන්නවා. අර කුඩම්මායි පාලිකායි දකී කියලා ඔයා බයයි."

සරෝජ් හිරිපිටිය මා ඉදිරිපස අසුනේ හිඳුවමින් පැවසීය. ඔහු මගේ සිත කියෙව්වාක් බඳු විය. නිවසේ මා පසුවන තත්ත්වය නිලීකා ඔහුට පවසා තිබෙන්නට බොහෝ විට ඉඩ ඇත.  රිය ඉදිරිපස කොටසේ සීතල වතුර බෝතලයක් දැක හිත කෙතරම් ආසක්ත වී ද යත් සරෝජ් හිරිපිටිය රියදුරු අසුනට බර වනවිට මම එය විවර කොටගෙන බීගෙන යමින් උන්නෙමි. මට තිබූ හදිසියට දිය බිඳක් මුවෙන් ගිලිහී උගුර දෙසින් ගෙල හරහා ළමැදට වැටී නිවී ගියේය. සරෝජ් හිරිපිටිය ඉදිරිපස කැබි හෝලය විවෘත කර අතට ගත් තෙතමනය සහිත ටිෂූ පෙට්ටියකින් කිහිපයක් ඇද මා අත තැබීය. ඉන්පසු එයින් මුහුණ පිස දා ගන්නයි මට ඇසින් පැවසීය. 

ඒ සමඟම කාරයේ වායු සමීකරණය ද වැඩි කළේය සිත ගත දැවූ දාහය අතුරු දහන් වෙමින් පැවතුණි. මම මුදු සුවඳක් සහිත වූ එම තෙතමනයෙන් මුහුණ ගෙල පිස දා ගනිමින් උන්නෙමි.දවසක් තිස්සේ දාඩිය දූවිලි එක්ව මොහොතින් ගත දැවූ අප්‍රසන්න දාඩිය ගඳ නිවී යන්නට වූයේය. සැණෙකින් මම වතුර බෝතලය බී අවසන් කළ ද මට තව තවත් පිපාසය දැනේ.

"තව වතුර නැද්ද?"

නිවේතා යනු මහ සැලකිලිමත් නොහැදුණු කෙල්ලකයි සරෝජ් හිරිපිටියට වැටහෙන්නට ඇත්දැයි නොසිතාම මම ඇසුවෙමි.

"එහෙම වතුර බොන්න හොඳ නෑ. ඊළඟට මාගේ කාර් එකේ සී එච් යූ ගියාම මට තමා හෝදන්න වෙන්නේ"

සරෝජ් අයියා රථය පණගන්වමින් සිනා වූයේය. සී එච් යූ, සී එච් යූ.. මම හිසකේ රැල්ලක් අඹරමින් කල්පනා කළෙමි. පන්තියේ කෙල්ලන් මට ටියුබ් ලයිටයයි පවසන්නේ නිකම්ම නොවන බව මම දනිමි. 

ඔවුන්ගේ සමාජ ආශ්‍රය මට අහිමි හෙයින් ඔවුන්ගේ භාෂාවන් සහ පාරිභාෂික මාලාව මට නුහුරුය. එහෙත් ඔහු කියූදේ විනාඩි ගණනකට පසු වැටහී මටද සිනා ගියේය.

"ඇයි නිවී වතුර බෝතලයක් අරන් යන්නෙ නැත්තේ ඉස්කෝලේ?"

සරෝජ් හිරිපිටිය සෙමින් රිය ධාවනය කරන අතර ඇසුවේය. මම පොත් බෑග් එක ඇද දුර්වර්ණ ප්ලාස්ටික් බෝතලය ඔහුට පෙන්වූයෙමි. අද දවසට මගේ කුසෙහි ඇත්තේ මේ වතුර බෝතලය පමණක්ම බව ඔහු නොදන්නේය. ඒ වතුර මට අවශ්‍ය වන්නේ කුසගින්න හා පවස දෙකම නිවාගන්නට බව ඔහු නොදන්නේය. මගේම අවාසනාවට ඒ මොහොතේ මගේ බඩ කෑගසන්නට විය. සරෝජ් හිරිපිටිය මාවත අයිනේ රිය යළි නවතා මවෙත හැරුණේ විමසුම් නෙතිනි.

"උදේටයි ඉන්ටවල් එකටයි කෑවෙ මොනවද ?"

ඔහු දෑස මග හැර මම ඉවත බැලීමි. වාහනය නවතා තිබුණේ සිසිල් සෙවනින් ගස් වියනෙන් වටවූ මාවතකය. පයින් එන දවසක මම මොහොතකට නැවතී විඩා නිවන මේ මාරගසින් සෙවන වූ මාවතේ වාහන යන්නේ ඉඳහිටය. මම බිම බලා ගත්තේ නිරුත්තරවය. සරෝජ් හිරිපිටිය මගේ පිළිතුරක් ලැබෙන තුරු මදෙස බලා හිඳී. 

"නිවී කාලා නෑ නේද ඔයා? මේ මොන තිරිසන්නු ද අප්පා"

සරෝජ් හිරිපිටියගේ වදන් ඇරඹුණේ මෘදුවය එහෙත් අවසන් කළේ කෝපයෙන් ස්ටීරියන් වීලයට අතින් තදින් පහර දෙමිනි. ඒ මොහොතේ මගේ දෙනෙත් තුළ පිරෙමින් තිබු කඳුලූ කොපුල් දිගේ ගලා ආවේය. අසරණ භාවය හා වේදනාව එක්ව ගත්කළ ඉතින් ආත්මානුකම්පාව උතුරා ගලායයි. මම ඉකි ගසමින් දෙපා මත හිස තබාගෙන හැඬුවෙමි. මහහඬින් සොටු සූරමින් ගවුමේ පිසිමින්ම හැඬුවෙමි. මට කිසිදු ලැජ්ජාවක් දැනුණේ නැත. මෙතුවක් කල් හිතේ තදව තිබූ දුක වේදනාව ලැජ්ජාව වේලි බැඳ උන් දියවරක් කඩාගෙන ගලා බසින්නා සේ මා නෙතු දෑලේ ගලා හැලුණි. 

"අපි යං නිවී"

ඔහු මට හඬන්නට දී නිහඬව බලා උන්නේය ගතවූ කාලයකට පසු සුසුමක් පමණක් හෙලා මහිසට අත තබා ඔහු මඳක් එහෙමෙහෙට කළේය.කුඩා වියේ දිනක සීයාගෙ සහ අත්තම්මාගේ සෙවණේ දී විඳි ඒ ආදරණීය පහස කල්ප කාලාන්තරයකට පසුව මට යළි දැනුණි.සරෝජ් රිය පණ ගන්වා මඳ දුරක් ධාවනය කර හදිසියේම වෙළඳසලක් අසල නවතා එතුළට දිවගියේය. කුඩම්මා ඇතුළු සියල්ලන් නිවසේ දැනට නැති බව දැනගත් සරෝජ් හිරිපිටිය මා හට දිවා ආහාර පාර්සලයක් මෙන්ම තවත් යම් යම් දෑ සහිත බෑගයක් අත පත්කළේ බහින්නට පෙරය.

"ගෙදර ගිහින් බත් එක කන්න. ඔයා අනික් දේවල් හංගලා තියාගෙන බඩගිනි උනාම හොරෙන් හරි කන්න නිවී"

සරෝජ් ඉදිරියේ බොරුවට අනේ මට එපා කියමින් ළතැවෙන්නට මට අවැසි නොවීය ඒ අතින් නිවේතා යනු මහම මහ අමුතු කෙල්ලක් බව ඔහු වටහා ගන්නට ඇත. යන්නම් පමණක් ඇසින් කියූ සරෝජ් හිරිපිටිය මා බැස්ස වූ තැන සිට නොපෙනී යන තුරුත් මම බලා උන්නෙමි. අතට ගුලි ව තිබුණේ ඔහු මුහුණ පිසලාගන්නට දුන් තෙත් වූ ටිෂූ කීපයයි. බෑගයේ පැති පොකට්ටුවට දමාගත්තේ ඔහුගේ රථයේ තිබී මා බී අවසන් කල වතුර බෝතලයයි .ඒ සියල්ලම අර පෙරදා වියළි සේපාලිකා මල් සමඟ කාඩ් බෝඩ් පෙට්ටියක සුරක්ෂිත වනු ඇත. මම යළිත් ඒ ටිෂූ කිහිපයක් හෙමිහිට නැහැපුඬුවලට අල්ලා සුවඳ බැලීමි. 

නිවසට පැමිණි පසු කාමරයේ මේසය මත බත් පාර්සලය දිගහැරගෙන මා කන්නට පටන් ගත්තේ සුදු ගවුම පිටින්මය. එතරම් ප්‍රණීත කෑම පාර්සලයක්.. මට කිහිපවරක්ම කෑම හිර වූයේ කලබලයටමය. සරෝජ් හිරිපිටිය උන්නානම් නිහඬ දෑසින් සිනාසෙමින් මා කන අන්දම බලා සිටිනු ඇත. අවසාන බත් ඇට කීපයද එකතු කළේ සූරමින් මෙනි.එයද එක් කොට ගෙන ගිලදැමූයේ දැඩි ලෝභකමිනි. ඒ බත් කොලය අකුලා කුණු ගොඩ දමා ගිනි කූරක් ගසා ගිනි තැබූයේ සියලු සහතික මකාලන්නටය. නැතහොත් කෑ සියල්ල වමාරන්නට පහර වදින්නේ තාත්තාගෙනි.

ඉන්පසු කාමරයට විත් ඇඳ මත හිඳිමින් ඉතිරි බෑගය තුළ වූ දේ පිරික්සීමි. බිස්කට් පැකට් දෙක තුනක්,චොක්ලට් එකක්,පළතුරු පාන දෙක තුනක් සමඟ ඇපල් ගෙඩි හයක් සමග කුඩා ලියුම් කවරයක් විය. ලියුම්කවරය විවර කළ මට එහිවූ සියයේ නෝට්ටු හයත් සමග කුඩා තුණ්ඩුවක් දිස්වීය. 

"නිවී කිසිම දෙයක් හිතන්න එපා ඉස්කෝල තියන කැන්ටිමෙන් හොඳට කන්න. මේ සල්ලි අහු නොවෙන්න තියාගන්න"

ඕනෑම දෙයක් ගන්නට ඉඩ ඇත. එහෙත් මට සරෝජ් හිරිපිටියගේ මුදල් ගන්නට නොහැක. ඔහු සහ මා අතර කිසිදු බැඳීමක් සබඳතාවයක් ආදරයක් නැත. නමුත් යමෙක් අනුකම්පාවට ලක් වීමේ සීමාවක් ඇත. මේ මුදල යළි ඔහු අත පත්කළ යුතු බව මම තරයේ සිතා ගනිමි. නිවේතා වන මා තමන්ගේ ආත්ම අභිමානය ගැන ඉහළින් සිතුවා නොවේ. මගේ ජීවිතයේ එබඳු අභිමානාත්මක හැඟීම් නිවැසියෝ පාගා පොඩිකර දමා අවසානය. එහෙත් සරෝජ් හිරිපිටිය මත මා මුදල්මය කාරණා සම්බන්ධව යැපිය යුතු නම් නොවේ.

කෙසේ හෝ බිස්කට් සහ සෙසු ආහාරයන් සඟවා තබා ගත් හෙයින් වෙනදාරෑ මැදියමේ මා ඇහැරවා තබන උදර ආම්ලිකතාවය මෙතැන් පටන් මා හට නොවීය.අනෙකුත් කෙල්ලන් හා සමානව මම ද රස මසවුළු බිදීමට චොක්ලට් පෙත්තක් කන්නට ආසා කලෙමි. මාස තුන හතරකින් නිලීකා හමුනොවන හෙයින් මෑතකදී ඇයගෙන් හෝ එසේ නොලැබුණි. ඒ ඉතින් සරෝජ් අයියා දුන් චොක්ලට් පෙත්ත කොනිති ගසමින් කෑවෙමි. අවසානයේ චොක්ලට් දවටනය පවා මගේ සංරක්ෂිත එකතුවට එක් විය.

                                                                              ***

කාලය ගෙවී ගියේ විටෙක ඉබි ගමනේය. එසේ වූ දිනවල ජීවිතය පිරුණේ සංකාවෙන්ය. ශෝකයෙනි .කුඩම්මා සහ පාලිකා අක්කාත් අනන්ත අප්‍රමාණ වෙනස්කම්වලින් මගේ ජීවිතයේ හෙම්බත් කළහ. විටෙක මේ ජීවිතයේ බෙහෙවින් බර වැඩි යැයි සිතෙන්නට පටන්ගත්තද කුමක්දෝ අදිසි බලවේගයක්ව සරෝජ් හිරිපිටිය මා ඉදිරියටම තල්ලු කරමින් උන්නේය .කෙතෙක් හිත කලකිරී වේදනාවෙන් බරිතව හඬා වැටෙන මොහොතක වුවද ඔහුගේ සටහන් පොතක අවසන් පිටුවේ ලියා තිබූ වැකියක් පවා මා වැටුණ තැනින් යළි ඔසවා තබන උදාන වාක්‍යයක් වූ බව මට මතකය.

සරෝජ් හිරිපිටිය විටෙක දුර සිට ද විට ඉතා ළං ළංව ද මා හට මේ කරන්නා වූ බලපෑම මගේ සිතට වදයක් වූයේ නැති බව ඉඳුරා කිව යුතුය .ඇත්තෙන්ම ඔහු මා හට දැක්වූයේ සානුකම්පිත ආකල්පයක් යැයි මම හිතන්නට හුරු වෙමින් වුණෙමි . එහෙත් ඔහු මට සැමවිටම සුවිශේෂී පුද්ගලයෙක් විය .ලේ බැම්මෙන් බැඳුණ තාත්තා මා පය වැකුණු කුණු ගොඩක් සේ ඉවත හළ ද මම ඔහුට වෛර නො කළෙමි. පාලිකා අක්කා සිය ලෙයින් නූපන්නද තාත්තා ඇයට මා ඉදිරිපිටම බොහෝ සේ ආදරය පෑවේය. 

ඉතින් සිත නො රිදුනා යැයි කියන්නට පුළුවන්ද? රිදුනි. බොහෝසෙයින් රිදුනි. ජීවිතය මා හට දී මා හැර ගිය අම්මාගේ සුසුමක හෝ උණුසුමක් නොලද මා තාත්තා ඇස් පනාපිට සිටියදීම ඒ සෙනෙහස විඳ ගන්නට අසමත් වූ අසරණ අවාසනාවන්තියක් වීමි .

වැඩිමහල් වූ හෝ බාල සහෝදරයන් තබා කිසිදු පිරිමි ඥාතියෙකු නොවූ මේ ජීවිතයේ මා හට ලං වූ එකම පුද්ගලයා වූයේ සරෝජ් හිරිපිටිය පමණකි .ඉතින් ඔහු නිරන්තරයෙන්ම වුණේ මගේ ජීවිතයේ සුවිශේෂීම ස්ථානයකය. 

ඒ ප්‍රේමය යැයි මට කීමට නොහැක. මම ප්‍රේමය නොහඳුනන්නියෙක්මි. ආදරයේ රසාලිප්ත මතකයන් අත්දැකීම් මා කිසිවිටෙක විඳ නැත .සමකාලීන යුවතියන් මා පසු පසුකොට ප්‍රේමය ඉසව් අතික්‍රමණය කළ ද මම ඒ විෂය සම්බන්ධයෙන් ඉතා ළදැරියක් පමණක්ම වීමි.

                                                                             ***


ඉන්පසු සරෝජ් හිරිපිටිය මගේ නෙත් මානයට පැමිණියේ ඉඳහිටකය. එහෙත් ඔහු නිලීකා අත මා හට විටින් විට ඉගෙනුමට අවශ්‍ය වූ දේ එව්වේය. මුල්ම දිනයෙන් පසු ඔහු මා වෙත මුදල් දීම නැවතුනේ මා නිලීකා අත එය ආපසු යැවූ හෙයිනි.

"සරෝජ් අයියා මට මේ කරන උදව් ඉහටත් උඩින් කෙල්ලෙ. අනේ ඒ උනාට මට සල්ලි නම් එපා උඹට තේරෙනවනෙ. අයියට කියපන් තරහ වෙන්න එපා කියලා"

මා මුදල් සහිත කවරය ආපසු නිලීකා අත යැව්වේ වෙන දෙයක් වුණාවේ යයි සිතාය.නිලීකා මෙන්ම සරෝජ් හිරිපිටියද එයින් උරණ නොවිණි. ඔවුන්ගේ මා සම්බන්ධයෙන් වූ ආකල්පය එතරම්ම සවිමත් එකක් විය.

ඉතින් මා උසස් පෙළ විභාගය වෙත හිතේ හයියක් ඇතිව පිය ඔසවනු ඇතැයි සිතීම උගහට නොවීය. වසර දෙක පියා සලා මෙන් යන්නට ඇත. උසස් පෙළ විභාගයට දින කිහිපයක් තබා පාසල් නිවාඩු දුන් අතර පාසල් අවසන් දවසේ පුරුදු අන්දමින් සරෝජ් හිරිපිටිය මනෙතු ඉදිරිපස සිනා නොමැති එහෙත් පසන් වතින් හිටගෙන උන්නේය.

"යං"

එපමණක්ම පවසා රියෙහි ඉදිරිපස දොර විවෘත කළ ඔහු මා රියට නැඟුණු පසු ඒ වසා දමා රියදුරු අසුනට ගොඩ විය .අප දෙදෙනා අතර වූයේ වචන සීමිත, හැඟුම් අසීමිත අප්‍රකාශිත බන්ධනයක් යැයි මට හැඟෙයි. ඔහු ඇතැම් විට විනාඩි ගණනක් යනතුරුම වදනක්වත් නොදොඩා උන්නේය. මම පොත් බෑගය මත දෑත පටලා ගෙන සුසුම් හෙලමින් බලා උන්නෙමි. පුරුදු මාර ගස් හෙවණේ රිය නවතා සරෝජ් හිරිපිටිය මා දෙසට හැරී නිහඬව බලා උන්නේය. මම කිසිත් නොකියාම ඉදිරිපස වීදුරුවෙන් මාවත දෙස බලා උන්නෙමි.

"නිවී විභාගය හොඳට ලියන්න ඕනේ තේරුණාද?"

විනාඩි ගණනකට පසු ඔහු මුවග රැඳුණු මන්දස්මිතය සහිතව ම'හිසට අත තබා පැවසීය. ඉතින් මට හැඬුණි.ඉකි ගසා හැඬීමි. විනාඩි කිහිපයක් හඬා අවසන පුරුදු අන්දමින් අත තැබූ ටිෂූ කිහිපයෙන් මම මුහුණ පිසදා ගතිමි.මේ සියල්ල සිදුවන්නේ කල්තියා සැකසුන තිර පිටපතකට අනුවදැයි සිතෙන තරමටම මම සන්සුන් වුණෙමි.

"ඔයාට ජීවිතයේ ගොඩ එන්න නම් ඉගෙන ගන්නම වෙනවා. නිවී, සාමාන්‍ය කෙල්ලෙකුට විඳින්න නොවෙන තරමේ දුක් කරදර ඔයා දැනටමත් දරාගෙන ඉන්නවා. ඒත් මේ හැමදේම ඉවරයක් වෙන්න ඕනේ .ඔයා හරිම ස්ට්‍රෝංග් කෙල්ලෙක් නිවී. හිතට ධෛර්යය ගන්න. ඔයාට මේක කරන්න පුළුවන්"

ඔහු දිව්‍යමය ස්වරයකින් එවදන් පැවසුවා සේ මට හැඟී ගියේය. ඉතින් මම ගුහාගතව උන් මානසිකත්වයෙන් මිදීගියෙමි. ශරීරයේ බියෙන්, ලජ්ජාවෙන්, වෙනස්කම් හා කුරිරුකම් වලට ලක්වීමෙන් ගල්ගැසී මිදී නිවුණු ලේ ධාරාවෝ රුධිරවාහිනී පුරා නව ජවයකින් ගලා යන්නාක් පටන් ගත්තා සේ මට දැනෙමින් තිබුණි. 

"ඔයාට පුලුවන්"

මේ වදන් දෙක මා වැටී සිටි අගාධයෙන් ඉහලටම ඔසවා තැබීය. මම මට සපථ කර ගත්තෙමි.

"ඔව් මට පුලුවන්. මම මේක කරනවා"

මම යළිදු සරෝජ් හිරිපිටිය දෙස බැලුවේ ඒ සිනහව මුව තබාගෙනය. මගේ ඒ සිනහවේ අර්ථය ඔහු වටහාගත්තේය. සමහරක් හැඟීම් කියන්නට වචන ඕනෑම නැති බව මට ඉතින් පසක්විය.

"ගුඩ් ගර්ල්. මේ ඒ හයියට මම දෙන තෑග්ග මේ පෑන. මම මේ පෑන ගත්තේ ඔයාට එක්සෑම් එකට ලියන්න. මේක ගෙදර අරන් ගිහින් ටිකක් ලියන්න. නැත්නම් විභාගෙට ලියන්න අලුත් පෑනකින් හුරු නැති වේවි. මේ තියෙන ඒකට දාන තීන්ත බට ටික. හැම පේපර් එකට අලුත් බටයක් දාලා ටිකක් ලියල හුරු කරගෙන යන්න තේරුණාද?"

ඔහු මා අත තැබූ ඒ කුඩා පාර්සලය මම ළයට තුරුලු කොට ගත්තේ දැඩිව හිත පුරා යන ආත්ම විශ්වාසයක් සමගය.  සරෝජ් හිරිපිටිය අත රැඳි ඔරලෝසුව දෙස බලා යමු කීවේ වෙලාව ගෙවී යන හෙයිනි. මම සිතට ක්ෂණිකව ආ සිතුවිල්ලෙන් ආසන පටිය ගලවා ඔහු වෙත හැරුණෙමි. පාසල් යන දිනක හෝ තාත්තාට වැඳ ආශිර්වාදය ලබන්නට අහිමි වූ මා දෑත් එක්ක පහත් වූයේ සරෝජ් හිරිපිටියගේ දෙපා මතටය. ඔහු සිය සුරත මා හිස තැබුවේ ඉතා සෙමිනි.

"මේ පළමුවැනි වගේම අන්තිම දවස මට වඳින තේරුණාද? මගේ ආශිර්වාදේ ඔයා එක්ක තියෙනවා. ඒ නිසා මීට පස්සෙ වඳින්න බැහැ"

අතැඟිල්ලකින් සියුම්ව මගේ කන් පෙත්තක් මිරිකා ලූ ඔහු මා නිවසට ආසන්න මාවතට ඇරලවා යන්නට ගියේය. මම ඉතිරි කෙටි දුර පැමිණියේ අලුතින්ම උදාවූ ජවයද රැගෙනය. ඉතින් කප්පරක් දුක්සුසුම් දරන ජීවිතේ සිනාමලක් ඉබේම පීදී තියෙන්නට ඇත.


                                                                             ***

මගේ මුහුණෙන් එහෙම සිනහවක් පවා නුහුරට දකින පාලිකා අක්කා මා දෙස බලා උනේ විමසුම් නෙතිනි. මම ඇයට ද සිනහවක් පා කාමරයට වැදී වහා පෑන් සහිත පාර්සලය සඟවා තැබීමි. විනාඩි ගණනකින් පාලිකා කාමරයට වැදුනේ මගේ පොත් බෑගය ද ඩැහැ ගනිමිනි.

"උඹට මොකද්ද එකක් වැහිලා මේ ටිකේ. මූණේ පෙම්පාට උතුරනවා. ඇත්ත කියපං උඹට කොල්ලෙක් ඉන්නවා නේද? අද ගියේ ඌව හම්බෙන්න නේද?"

පාලිකා අක්කා උමතුවෙන් මෙන් මගේ බෑගය තුළ වූ පොත් එකිනෙක පිටු පෙරළමින් මේසය මතට විසි කලාය. ඇත්තෙන්ම ඇයට මානසික ආබාධයක්දැයි සිතෙන තරමටම ඇය මා දෙස සැකයෙන් බලන්නට වූවාය.

"මට ඇති කොල්ලෙක් නෑ අක්කේ. අනේ මගේ පොත් ඔහොම විසිකරන්න එපා"

මම ඇය අතින් බිමට විසිකෙරුණ පොතක් මේසය මත තබමින් පැවසුවෙමි. පාලිකා අක්කා සිටින්නේ ඇයගේ විවාහය පමාවීම සම්බන්ධව දැඩි ලෙස කාංසාවෙනි. ඉතින් සැකය හැම විටම ඇය සිත තුළ ඔඩුදුවන්නේය.පොත් සියල්ල ද ඇද දමා අවසානයේ කිසිත් සාක්ෂියක් නොවූ හෙයින් වේගවත්ව හුස්ම ගනිමින් මදෙස බලා උන් ඇය කාමරයෙන් පිටතට ගියේ හිස් වූ පොත් බෑගයෙන් මා හට දමාගසාය. මම නිහඬවම බිම විසිරගිය පොත් ටික එක්කර මේසය මතින් තැබුවෙමි.

ඇයගේ මේ හැසිරීම් නිමා වන්නට ඇයට අනේ යහපත් කඩවසම් සැමියකු ලැබේවා යැයි පතන්නට මට අද ද හැකිය. මේසා මට කුරිරුකම් කළ ද ඇය සම්බන්ධව මට ඇත්තේ අනුකම්පාවක්ම පමණකිය.

ජීවිතය එතැන් පටන් ගත වූයේ බොහෝ ඒකාකාරීවය .අනාගතය පිළිබඳ ජීවිතය පුරාම පැවතුණු කුදු මහත් බලාපොරොත්තු දිය බිඳක් හෝ නොමැතිව කේඩෑරි වී ගිය මල් ගසක් සේ ඔහේ තිබෙන්නට ඇත.

සුපුරුදු පරිදි පාලිකා අක්කාගේ සහ කුඩම්මාගේ බැලමෙහෙවරකම් සහ කුදුමහත් ගැහැට විඳ දරා ගනිමින් මම දවසැරීමි.

උදෑසන උදාවත්දීම පටන් ගන්නා සියලුම කාර්යයන් අවසන් වනුයේ රාත්‍රී නින්දට මොහොතකට පෙරය. 

එද ...අඩු ලුහුඬුකම් ගැන අත පසුවීම් ගැන දෝෂාරෝපණ විනා කිසිදු ප්‍රශංසාවක් මට ඔවුන්ගෙන් ලැබුණම නැත .තාත්තා ටිකෙන් ටික මා වෙතින් තවදුරටත් දුරස් වෙමින් සිටියේය.

                                                                                  ***

උසස් පෙළ ප්‍රතිපල පැමිණි දා මා මගේ ජීවිතයේ බෙහෙවින් සතුටු වූ එක් දිනයක් විය .අතිශය උසස් සාමාර්ථයක් නොවූවද සියලුම විෂයන් සමත් වී විශ්ව විද්‍යාල පිවිසුමට හැකි මට්ටමේ සාමාර්ථයක් ලබා ගැනීමට මම සමත් වී සිටියෙමි. එහෙත් ඒ කාරණයම පාලිකා අක්කා සහ කුඩම්මා මා සම්බන්ධව තිබූ ආකල්පයන් තව තවත් දරදඬු ප්‍රතිපත්තියක් කරා ගෙන යන්නට හේතු වූයේ මගේම අවාසනාවටය. ඔවුන් කිසිදා මා හට විශ්ව විද්‍යාලයට යාමට ඉඩ නොදෙන බව මම දැන උන්නෙමි .

උසස් පෙළ ප්‍රතිඵල ආ පසු පාසලට අප කැඳවනු ලදුව අපගේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සිදුවිය. ඇත්තෙන්ම එදින පාසල් යන්නට මා හට නිසි සුදු ගවුමක් පවා තිබුණේ නැත. මා නොසිතුවාට මා ගතින් බොහෝ ලෙස වැඩී තිබුණි .සැප පහසුවක් හෝ සුඛෝපභෝගී යැයි කිවහැකි කිසිවක් මට නොලැබුනද මා ගතින් සහ හැඟීම්වලින් වැඩුණු දැරියක්ව සිටියෙමි. අවසානයේ නිලීකාහට ඇමතුමක් දී ඇයගේ සුදු ගවුමක් ගෙන්වාගැනීමට මට සිදු වූයේ පාලිකා අක්කා සහ කුඩම්මාගේ දැඩි දෝෂාරෝපණ මධ්‍යයේය .

"ඕක කාගෙන් හරි දැන ගන්නවා මිසක් මොකට ඉස්කෝලෙට යනවද?"

කුඩම්මා කෑගැසුවේ මා පාසැල් යාමට අවශ්‍ය බව දැන්වූ වහාමය .

"ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්නෙත් නැති එකේ මට මේ දවසට ගිහින් එන්න දෙන්න කුඩම්මේ"

මම ඇයම අභියස බැගෑපත්වීමි. අවසානයේ බොහෝ නොරුස්සන සුළු මුහුණක් මවා ගත් ඇය, 

"ගෙදර වැඩ ටික ඔක්කොම කරලා යන දිහාක ගිහින් ඉක්මනට ආවාට මට කමක් නැහැ .හැබැයි අතන මෙතන රස්තියාදු ගහන්න යනවා නෙවෙයි. මමයි වගකියන්න ඕන මොනවා හරි කරදරයක් වුනොත්.තියන වදේ මදිවට.." 

ඇය ඉවත බලාගෙන පැවසුවාය . පාලිකා අක්කා පරල වූයේ මා සුදු ගවුම ඇඳ පිටතට පැමිණ මොහොතේ සිටය .හරිහමන් මුහුණ බලන්නට කණ්ණාඩියක් හෝ නැති වුවද පිටත නාන කාමරයේ වූ කැඩී ගිය වීදුරුවෙන් මම මගේ මුහුණ දෙස එදා උදෑසන මොහොතක් බලා වුණෙමි. ඇත්තෙන්ම නිවේතා සුන්දර යුවතියක් බවට පත්වෙමින් උන්නාය.

පාලිකා අක්කාට දරාගන්නට නොහැකි වූයේ මගේ ඒ පෙනුම විය යුතුය .පාලිකා අක්කා කෙතෙක් සාත්තු කළද ඇයගේ හිසකේ හෝ සම නිසියාකාර පෙනුමක් හෝ හැඩයක් ගත්තේ නැති තරම් විය .එහෙත් මේ වන විට මගේ කොණ්ඩය පිට මැද්දක් කරා දික් වී තිබුණි.අඩුම තරමින් තෙල් සාත්තුවක් හෝ කරන්නට මට ඉඩක් කඩක් වේලාවක් හෝ පහසුකමක් තිබුණේ නැත.නමුත් මගේ වාසනාවකට හෝ අවාසනාවකට මගේ හිසෙහි වැඩෙමින් පැවතුනේ ඉතා ඝනව සහ රැළි සහිතවය.

"මේකිට බලන්න තරම් ප්‍රතිපල එන්නෙ කොහෙද අම්මෙ. ටියුෂන් වත් ගියෙ නැතුව. මේ යන්නෙ කොල්ලෙක් බලන්න" 

පාලිකා අක්කා පුපුරා හැලුණාය.ඇත්තෙන්ම ඇයගේ ස්වරූපය පවා මා බියගන්වන සුලුවිය. 

                                                                                    ***


"මේ තරම් ගැටළු තත්වයන් තිබියදීත් නිවේතාගේ මේ ප්‍රතිඵලය මට පුදුමාකාර සතුටක් ගෙනාවා. ඔය දරුවා මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ?"

උසස් පෙළ පංති භාර ගුරුතුමිය රත්නායක මහත්මිය මා හට ඇමතුවේ ප්‍රතිඵල ලේඛනය දැන්වීම් පුවරුවේ දමා ආපසු හැරෙමිනි.

"මට තේරෙන්නේ නැහැ මැඩම් .ඉස්සරහට මොනවාද කරන්නේ කියන එක ගෙදර අයගෙන්ම තමයි අහන්න වෙන්නේ" මම බිම බලාගෙන පැවසුවෙමි.

"මෙච්චර කාලෙකට ඔය දරුවාට ගෙදර මිනිස්සු කරපු දෙයක් නැහැනේ .ඇත්තමයි දරුවෝ ඔයා ඔයාගෙම උනන්දුවෙන් ඔය විදිහට කරගත්තා මිසක අනිත් ළමයින්ට තියෙන පහසුකම් ඔයාට තිබුණනම් ඔයා දිස්ත්‍රික් රෑන්ක් එකක් පවා දානවා මට ෂුවර්"

රත්නායක මහත්මිය විස්සෝප වූයේ ඇය මාගේ සියලු තතු දැන උන් හෙයිනි .මම බිම බලාගෙනම සිනාවෙන්නට උත්සාහ දැරීමි.එම සිනහව බොහෝ දුරකට කිට්ටු වූයේ හැඬීමකට මිස හදවත පතුලෙන් ආ සිනාවකට නම් නොවේ .

"පුතේ ඔයාට කැම්පස් යන්න හොඳටම ළකුණු ඇති .ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම මේ තීරණය නම් වෙනස් කරන්න එපා"රත්නායක මහත්මිය පැවසුවේ සමුගන්නා මොහොතේ දී මගේ හිස යළිත් අත ගාමිනි.


                                                                            ***


යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින )


Tuesday, February 22, 2022

06. හයවෙනි කොටස ( හසරැල් සැලුනාවේ )

 



"මොකට ඒ ලෙවල් කරනවද කාව හරි හොයලා බන්දලා දෙනවා මිසක"


කුඩම්මා මා උසස් පෙළට සූදානම් වන බව දැනගත් මොහොතේ පටන් කියවන්නට පටන් ගත්තද පාලිකා අක්කා විවාපත්ව යනතුරු ඇය මා හට නිදහසක් නොදෙන බවට පමණක් මම සක්සුදක් සේ දැන උන්නෙමි. වැටුප් නොගෙවන පූර්ණකාලීන මෙහෙකාරියක සේ නිල නොවන පත්වීමක් එවකට මට හිමි වී තිබුණි.


කෙසේ වුව සාම්ප්‍රදායික කතාවක සිටිනා කොණ්ඩය දණහිසට දිගු , කඩා හැලෙන සුන්දරත්වයත් සහිත දුප්පත් යුවතියක් නොවූ මට ජීවිතයේ කිනම් හෝ අංගයකින් අවශ්‍ය වූයේ පහසුව සහ සැහැල්ලුව හෙයින් මගේ කොණ්ඩය හැමදාම ගෙල අසලින් නිමාව දුටුවේය. පාලිකා අක්කා එසේ තිබියදීත් මා දෙස බැලුවේ ද්වේශ සහගතවය.ඇය රූපලාවන්‍ය සම්බන්ධයෙන් නොකළ දෙයක් නැති තරම්ය.තාත්තාගේ මුදල් කුඩම්මා නොමසුරුව ඒ සඳහා වියදම් කළ ද මාහට අත්‍යවශ්‍ය වූ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් ගැනීමට ඇය වෙතින් මුදල් නොලැබුණු බව සිහියට නැගෙද්දීත් මට කිසිදු වේදනාවක් නොදැනේ.


"ඔය පරණ රෙදි කෑලි ටිකක් පාවිච්චි කළාම ගෙවෙනවාද ගෙදර මේ ඉන්න එකේ"


කුඩම්මා නුරුස්සනා හඬින් ඒ ඉල්ලීම නොසලකා හැරියාය. නමුත් දැරියකට අවශ්‍ය පෞද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි අවධානය මැනවින් තිබුණේ නිලීකාගේ අම්මාටය. ඇය මසකට වරක් ඒවා ද සහිතව මාහට අත්‍යවශ්‍යම බඩු බාහිර ආදිය පාර්සලයක් ලබා දුන්නාය.


"එක එකාගෙන් හිඟාකනවා අපිට ලැජ්ජ කරන්න"


කියමින් දිනක් මාගේ කුටියට කඩාවැදුණු පාලිකා අක්කා බලෙන් මෙන් සනීපාරක්ෂක තුවා පැකට්ටුවද රැගෙන යන්නට ගියේ "මගේ ඒවා ඉවරයි" කියමිනි. මෙවන් සියල්ල උසුලා දරාගෙනම මගේ හිත ගලක් වන්නට පටන් ගෙන තිබුණේ ඉන් බොහෝ කලකට පෙර සිටමය.


උසස් පෙළ කඩ ඉමට වාණිජ විෂයන් මා තෝරාගත් අතර නිලීකා ගණිත අංශයට යොමු වූ හෙයින් මා හට ඇයගේ අමතර සටහන් ලබා ලබාගන්නට ද කිසිදු හැකියාවක් නොමැති අන්දමින් ඇහිරී ගියේය.අවාසනාව නොනවත්වා පසුපසම එනු දැනෙද්දි මම පාසල් අධ්‍යාපනය මත්තේම කෙසේ හෝ බලාපොරොත්තු ගැට ගසා ගත්තෙමි.සාමාන්‍ය පෙළ කරගත් අන්දමට උසස් පෙළ කරන්නට බැරි බව මම නොදැන උනා නොවේ. එහෙත් විකල්ප නැති සඳ මා හට අන්තිම පිදුරු ගස වෙතද බලාපොරොත්තු තබා ගන්නට සිදුව තිබුණේය.


පෙර පරිදිම උදෑසනින් නැගිට උයා පිහා පාසල් යන්නටද පාසල නිමවී ආ පසු නිවසේ සියලුම වැඩ කටයුතු කරන්නටද පෙර පරිදිම මා හට සිදුවී තිබුණේය. ඉතින් ඒ කඳුළ සුසුම අමතක කොට ජීවිතයේ පැවැති සමයයි. මා කිසිදු හැඟීමක් නො දරන තනිකරම හුස්ම වැටෙන්නා වූ ජීවියෙක් බවට පත්ව තිබුණි.


පාලිකා අක්කාහට කෙතෙක් මංගල යෝජනා පැමිණියද ඒ සියල්ල සාර්ථක වූයේ නැත. කුඩම්මාට අවැසි වූයේ පොහොසත් යමක් කමක් ඇති පවුලකට සිය දියණිය දෙන්නටය. පාලිකා අක්කා රිසි වූයේ ඇගේ සිහින ලෝකයේ සිටින්නා වූ නළුවෙක්, කායවර්ධන ශිල්පියෙක් බඳු තරුණයෙක්ය. පැමිණි සියල්ලන්ගේම ඇදකුද අඩුවක් කියා පාලිකා අක්කා ඒවා ප්‍රතික්ෂේප කරන අතරේ ඇය ඉඳහිට කැමති වන තරුණයන් ඇයට අකමැත්ත ප්‍රකාශ කර තිබුණි.

පාලිකා අක්කා කෙතරම් රූපලාවන්‍ය සම්බන්ධයෙන් උනන්දු වුවද ඇයගේ සිත් ඇදගන්නා ස්වරූපයක් නොවූ හෙයින් එම ප්‍රතික්ෂේප වීම් සිදු වුවද පාලිකා අක්කා එය අවබෝධකොට නොගත්තාය.


උසස් පෙළ පන්තියේ මාස හයක් ගතව ගිය තැන ජීවිතය වෙනස් මගකට හැරවූ අහඹු සිදුවීම ඉතින් සිදුවිය. නිලීකාගේ නිවසට පමණක් ඉඳහිට හෝ යන්නට මට ගෙදරින් අවසර ලැබුණද ඒ අවසරය ලැබුණේ බොහෝ අවලාද රාශියකට අනතුරුවය.


මගේ දෛවයේ වාසනාවකට මෙන් නිලීකාගේ අයියා විවාපත්ව එවකට විදේශගතව උන්නේය. නැතහොත් ඔහු නිවසේ උන්නානම් මාහට එම නිවසට යන්නට කුඩම්මා කිසිදිනෙක මා හට ඉඩ නොදෙන්නීය. පාරක තොටක යන තරුණ පිරිමි ළමයෙකු පවා නිවස දෙස බැලූ මොහොතක මා මිදුලේ සිටියහොත් කුඩම්මා පරල වන්නේ දුම්මල වරම අතින් ගත් කපුවෙකු සේය. ඉන් ඔබ්බට ඇය පවසනා ඇතැම් දෑ කෙනෙක්ට අසා සිටින්නට අපහසු ඒවාය. මම ඒවාද නෑසූ කන් ව සිටිමි.


"නිවී අපේ ගෙදර වරෙන් සෙනසුරාදා හොඳේ"


ඒ සෙනසුරාදා නිලීකාගේ නිවස කරා මා ගමන් කළේ ඇයගේ ඇරයුම පරිදිය. නිලීකාගේ නිවස වූයේ කැලණිය පන්සලට මීටර් පන් හයසීයක් නුදුරේය. එහි යන බොහෝ දිනවල ඇය සමග එගොඩ කැලණියට යන්නටද මම වග බලා ගතිමි. 


"ඔච්චර ලොකුවට මහ පන්සල තියෙද්දි මේකිට ඕනම එගොඩ කැලණි යන්න"


නිලීකා එසේ කිව්වද ඈ මා හා එක්ව පැමිණෙන්නීය. 


නිවසේ කුදු මහත් කටයුතු සියල්ල නිම කළ පසු මා නිලීකාගේ නිවසට යන බව දැනගත් පසු පාලිකා අක්කා විවිධාකාර වැඩ මාහට පවරමින් ගමන පමා කරවූවාය. කිසිදු හදිසියක් නොමැතිව ඒ සියල්ල නිහඬව ඉටුකරන මා දෙස පාලිකා අක්කා බලා උන්නේද කෝපය මුසු ඊර්ෂ්‍යාව පිරුණු දෑසිනි. 


"කවුරු බලන්නද නිලීකාගෙ ගෙදර ඔච්චර හැඩ වෙවී යන්නේ?"


අවසානයේ මා හට වැඩ පවරා හෙම්බත් වූ ඇය ඇසුවේ මා ඉදිරිපස සිට ගනිමිනි. මම නිහඬව බිම බලාගෙන උන්නෙමි. තවත් මොහොතක් මා දෙස රවා බලා උන් පාලිකා අක්කා උරයේ හැපී යන සේ මා තල්ලු කොට දමා ගෙතුළට වැදුණාය. දොර උලුවස්සේ වූ කුඩා ඇණයකට අතේ උඩ බාහුවේ මඳක් සීරී ලේ බිඳුවක් මතුව ආවේය. මම අතැඟිල්ලෙන් එය පිස දැමීමි. ගත රිදුම් නොදැනෙන තරමට මා නිර්වින්දනයව උන්නේදැයි විටෙක මට සිතේ.


මේ කෙනෙහිලිකම් නොපණත් කම් තවත් වසරක් දෙකක් මට දරා ගන්නට සිදුව ඇත. ඉවසීමේ අන්තයට ඇතැම් විට පැමිණියද මට මගේ දෛවය මා සිටිනා තැන පෙන්වා දෙයි. ඉතින් ඉරණමට එරෙහි වන්නට ඉඩක් මට ලැබුණු දිනක මේ සියලු වේදනාවන් අභිබවා මම සිනා නගන්නට සිත දිරි වඩා සිටියෙමි. 


එහෙන් මෙහෙන් එකතු කර ගත් සිල්ලර කාසි කිහිපයද රුපියල් පනහේ නෝට්ටුවද නිලීකාගේ නිවෙසට යාමට බස් ගාස්තුවට මට සෑහේ.ගාස්තු ගෙවන්නම්යැයි පවසා නිලීකා පවසනුයේ ත්‍රිරෝද රථයක පැමිණෙන්නටය. එසේ කළ නොහැකි කාරණා දෙකකි. එකක් නිරපරාදේ මිතුරියගේ මුදල් නාස්ති කරන්නට මගේ ඇති අකමැත්තය. අනික ත්‍රිරෝද රථයක ගියා යැයි ආරංචි වුවහොත් කුඩම්මා එයට මුදල් ඇයගෙන් හොරකම් කළායැයි නිරපරාදේ තාත්තාට ගතු කියා මා හට දඬුවම් කරවීමය.


ඒ කාරණා දෙකටම වඩා මට බසයේ යෑම සුවයකි. ජනේලයක් අයිනේ ඉඳ ගත් පසු මට මගේ මනෝමය ලෝකයේ පැයකට කිට්ටු කාලයක් සැරිසරන්නට පුළුවන.

බසයෙන් බැසි තැන පටන් නිලීකාගේ නිවසට ඇත්තේ ගුරුපාරකි. බසයෙන් බැස නිලීකාගේ නිවසට හැරෙන ඒ මාවතේ හෙමිහෙමින් පිය ඔසවන මා පසු කොට දූවිලි අවුස්සමින් ගියේ සුදු පැහැ මෝටර් රථයකි. මඳක් මාවතේ අයිනට වී ඉඩ දුන්නෙමි. පිය ඔසවා වහවහා නිලීකාගේ නිවසට ආවද ඒ පැමිණි මෝටර් රථය තිබුණේ නිලීකාගේ ගෙමිදුලෙහි හෙයින් මොහොතක් ගේට්ටුව අසලම පසුබා බලාඋනිමි. මෝටර් රියෙහි පැමිණි අය නිවස තුළ කතාබහ කරනු ඇසී මම නිවස වටා වූ තණකොළ තීරුව දිගේ ඇවිද ගේ පිටුපසට ආවේ පිටුපස දොරින් නිවස තුලට ඇතුළු වන්නටය.


මම සෙනග ගැවසෙන්නාවූ තැන්වලට බෙහෙවින් සබකෝල වන්නෙමි.ඒ මා ලද අඩු සමාජ ආශ්‍රය නිසා වන්නට ඇත. මගේ ලෝකයේ ඇත්තෙන්ම වුූයේ ඉතාම සීමිත පුද්ගලයන් පිරිසක් පමණි. ජීවිතයේ ඇතුළාන්තයටම නැඹුරු වූ චරිතයක් වන්නට මට පිඹුරුපත් සැකසුණේ නිවස තුළින්මය. 


මුලුතැන්ගෙය පසින් නිලීකාගේ නිවසට ඇතුළුවීම කිසිදා මාහට ඔවුන් ඉඩ නොදුන්නකි. ඔවුන් සැමවිටම මාහට සිය පවුලේ සාමාජිකයකුගේ තැනම තබා තිබූ හෙයින් මෙය අනිවාර්යයෙන් දොස් අසන්නට සිදුවන කාරණයක් වන බව දැන දැනම මම නිවසට ඇතුළුවීමි.


**************************************************************************************************************************************************** 

"නිවී !මොකද මේ?"


නිලීකා විශ්මයෙන් මා දෙස බැලුවේ මුළුතැන්ගෙය දෙසින් මතුව ආ හෙයින් විය යුතුය.ඇයගේ මුහුණේ වූයේ අදහා ගන්නට බැරි දසුනක් දුටුවා සේ හැඟීමකි. 


"කවුද ඇවිල්ල නේ මං මෙහෙට වුණා බං"


මම රහසින් මෙන් පැවසුවෙමි.


"ඉතිං එහෙමයි කියලා මේ මොකටද පිටිපස්සෙන් එන්නේ"


නිලීකා සැරෙන් මෙන් ඇසුවාය. මම කිසිවක් නොකියාම සිනාසුනෙමි. මා පිටස්තර පුද්ගලයන් හමුවේ නිදිකුම්බා මලක් මෙන් හැකිළෙන බව ඇයද දනී. 


"හරි හරි ඉතින් වාඩිවෙයන්කෝ.මොකද පරක්කු වුණේ?" 


නිලීකා මේසය මත වූ කේක් කැබලි දීසියක් මා වෙත පාමින් ඇසුවාය. මේ නිවසට ආ මොහොතේ පටන් නිලීකාගෙන් මෙන්ම ඇයගේ මවගෙන්ද අතෝරක් නැති පෙරැත්තයන් වැඩිමනත්ම පවතිනුයේ කෑම සම්බන්ධයෙනි.නිවසේදී මා හට කුඩම්මාලා කරන්නා වූ අඩු සැලකුම් ගැන ඔවුන් මනා සේ දන්නා හෙයින් මට විශේෂයෙන්ම මේ කරන්නාවූ සැලකිලි මම මැදහත් සිතින් ඉවසා දරා ගන්නෙමි.


"දන්නවානේ එන්න ගියාම පාලිකා අක්කාට නැති වැඩත් පෙනෙනවානේ"


මම කෑම මේසයේ අසුනක ඉඳගනිමින් පැවසුවෙමි. නිලීකාගේ තරහ ඇවිස්සෙන්නේ පාලිකා අක්කාගේ නම ඇසුණු වහාමය.මේ මොහොතේ කිසිවක් නොපවසාම කට ඇදකළ නිලීකා ශීතකරණයෙන් ගත් බීම වීදුරුවක් මා අසලින් තබා හිඳ ගත්තාය.


"ලොකු නැන්දා මට වතුර එකක්.."

ඒ මොහොතේ තරුණ පිරිමි ළමයෙකු මුළුතැන්ගෙයට පැමිණියේ එසේ කියාගෙනය. මම නිලීකාගේ පිටුපසට වීමි. නිලීකාගේ තාත්තා සහ අයියා හැරෙන්නට කිසිදු පිරිමි අයෙක් මේ නිවසේ දී මා හට හමු වී නැත. එහෙයින් මා හට ඇති වූයේ දැඩි සබකෝලයකි. 


"ආ සරෝජ් අයියෙ, ඉන්නවා ඉන්නවා. වතුර එකක් දෙන්නම්"


නිලීකා වතුර ෆිල්ටරය වෙත ගියාය. මම උන් තැනම බිම බලාගෙන උන්නෙමි.


"මේ කවුද නංගි?"


ඒ තරුණයා ඇසුවේ නිලීකාගෙන් විය යුතුය. මම හිස නොඋස්සාම බිම බලා උනිමි.


"ඒ මගේ හොඳම යාළුවා නිවේතා. නිවී මේ අපේ මාතර ඉන්න මාමගේ පුතා සරෝජ් අයියා"


මම හිස ඔසවා ඔහු දෙස බලා මද සිනාවක් පාන්නට උත්සාහ කළෙමි.එය සිනහවකට වඩා යාන්තමින් මුව ඇදවීමක් වන්නට ඇත. 


"නිවී..නිවී..නිවිලා වගේ තමා පෙනුම නම්"


ඔහු එසේ කියා ආපසු හැරී ගියේ එකම බැල්මක් මගේ දෙසට හෙළාය. විශ්වාස කරන්න මම ජීවිතයේ මුල්ම වතාවට සසල වුණේ ඒ බැල්මටය. මට සරෝජ් හිරිපිටිය හමුවූයේ අන්න ඒ දවසේය. බොහෝ දින ගණනාවක් ඒ එකම බැල්ම මගේ හිතේ ඉතා තදින් ඇලී තිබුණු බව මට අදටත් මතකය.


සරෝජ් හිරිපිටිය පැමිණ තිබුනේ නිලීකාගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගන්නටය. ඔහු විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා සුදුසු රැකියාවක් ලැබෙන තුරු බැංකු ක්ශේත්‍රයට එක් වී තිබුණේය. ඉතින් කඩවත වාණිජ බැංකුවකට මුල් පත්වීම ලද හෙයින් ඔහු පැමිණ තිබුණේ නිලීකාගේ නිවසේ සිට රැකියාවට යාමටය. ඒ කෙටි කාලය තුළ මා ඔහු ගැන සොයාගත් කාරණා එසේ විය. 


එදා දවසේ මා නිලීකාගේ නිවසේ සිට ආපසු පැමිණෙන මොහොත දක්වාම විටින් විට ඒ දෑස් මා වෙත යොමු වූ අයුරු මම හොඳින්ම දිටිමි. කිසිදා නොවූ විරූ තරම් තිගැස්මකට මම ලක් වී සිටියෙමි. බාලිකාවකගේ හදවතේ හා හා පුරා කියා කෙටි යන ඇස් බැල්මවල් කෙතරම් ආනන්දනීයදැයි මම එදවස වටහා ගත්තෙමි.

එය රහසින් විඳිය යුතු හැඟීමකි.අඩුම තරමේ නිලිකාට හෝ නොපවසා රහසිගතව හදවතට තුරුලු කරගත් හැඟීම යලි යලිත් වින්දෙමි.ඒ හැඟීම දිගේ දුරක් යන්නට මට ඇවැසි නොවීය.එනමුදු රහසින් මෙන් හදවතේ ඇතුළු කොනක සගවා තබන්නට මට ද යම් හැඟීමක් ඇත.


"මේකිට නං හොඳටම මොනවාද පිස්සුවක් දැන් ගහලා. කොයිවෙලෙත් තනියම හිනා වෙනවා. සින්දු කියනවා. මේක හරියන්නේ නෑ අම්මේ"


පාලිකා අක්කා මා කෙරෙහි කෙතරම් විමසුම්ද යන්න මට වැටහුනේ ඇය දිනක් මා අත තදින් කොනිත්තාලමින් පැවසූ විටය. ඇත්තම කාරණය නම් නිලීකාගේ නාලිකාවේ නිවසේදී සරෝජ් හිරිපිටිය දුටු දා පටන් මා උන්නේ මගේ යොවුන් හදවත ඇහැරීය. ඇත්තෙන්ම එතැන වූයේ ඒකපාර්ශවීය මනෝමය ආකර්ෂණයකි. මට සරෝජ් හිරිපිටිය යළි දකින්නට හෝ ඔහු හා කථා කරන්නට අවශ්‍යතාවයක් ඇත්තෙන්ම තිබුණේ නැත. එහෙත් මොකක්දෝ නොදන්නා රසයක් මගේ සිතේ අහුමුලු වල පවා පැතිර යමින් තිබුණි.


"මටත් මේ ටික දවසක් ඉඳන් ඕක තේරුණා.මතක තියා ගනින් නිවී මං ඉන්නේ තමන් ගැන ඇහැ ගහගෙන කියලා"


කුඩම්මා මාගේ සිහිනය බිමටම සමතලා කළේ ඒ අනතුරු ඇඟවීම සමඟය. සත්තකින්ම මට සිහින දකින්නට ජීවිතයේ ඉඩක් නොවූ තරම්ය. ආශාකරන විනෝදාංශයක යෙදීමට පවා කිසිදු අවසරයක් මට ඉතින් නොවූ තරම්ය.


මට නීලිකා ගණිත විෂයයන් උසස් පෙළට හදාගන්න ගත් තීරණය, මගේ සියලුම ඉගැන්වීම් කටයුතු මා හට තනිව කරගන්නට සිදු වන්නක් බවට හරවා තිබුණි. අමතර පන්තියකට නිවසින් කිසිදු ඉඩක් නොලැබුණු හෙයින් මට උසස් පෙළ විභාගයට මුහුණ දීමට සම්බන්ධව කිසිදු විශ්වාසයක් තබා ගන්නට අසමත් තත්වයක් උදාවෙමින් තිබුණි.කුඩම්මා හැකිනම් මා පාසල් ගමනින් පවා නතර කොට ගෙදර තබාගන්නට රිසි බව මම දනිමි. 


                                                                                            ***



එසේ එක් සෙනසුරාදාවක මා නිවසේ උන් මොහොතක නිලීකා අප නිවසට පැමිණියේ සියලු බලාපොරොත්තු යළිත් ඇති කරමිනි.ඇය පැමිණ උන්නේ තනිවම නොවේ.සරෝජ් හිරිපිටිය සමඟින් ඔහුගේ මෝටර් රථයේය. මොහොතකට මා සිත කීරි ගැසුනේ නිලීකා සහ සරෝජ් හිරිපිටිය අතරේ අප සම්බන්ධතාවයක් ගොඩනැඟී ඇතැයි හිතට ආපු කුකුසෙනි.ඒ වැඩිදුර නොසිතා ක්ෂණිකව හිතට ආ අහඹු සිතුවිල්ලක් පමණක් විය.එහෙත් මා එවැන්නක් සම්බන්ධව සිත් තැවුල් ඇති කරගන්නේ කුමකටදැයි යළිත් මම සිතුවෙමි. 


"ආන්ටි නිවී ඉන්නවද?"


නිලීකා නිවසට ගොඩ වූයේ එසේ අසාගෙනමය. මම ඒ මොහොත වන විට උන්නේ විසිත්ත කාමරය මොප් කරමිනි. පාලිකා අක්කා සෝපාව මත හිඳ දෙපා ඉදිරිපස මේසය මත තබා ගෙන උන්නාය. ඇය අත වූයේ ලඟදිම නිකුත්වූ මෝස්තර සඟරාවකි. මුළු දවස පුරාම ඇඳට හෝ විසිත්ත කාමරයේ සෝපාව මතට වී නවකතා හෝ මෙවැනි මෝස්තර සඟරා බලන්නටත් රූපවාහිනිය හෝ ලැප්ටොප් පරිගණකයේ චිත්‍රපට,නාට්‍ය ආදිය බලන්නටත් ඇයගේ දවස ගෙවී ගියේය. අඩුම තරමේ තේ එකක් තනිව හදා ගන්නටවත් ඇයට ඉතින් හැකියාවක් තිබුණේ යැයි මම නොසිතමි. නමුත් කුඩම්මා එයද සැලකුවේ ඉමහත් ආඩම්බරයක් කොටගෙනය.


"සැපට හැදුණ කෙල්ලනේ අනේ. කවදාහරි මම කෙල්ලව දෙන්නෙත් රජෙක් වගෙ කොල්ලෙක්ට.ඉතින් ගෙවල්වල වැඩපළ මොකටද ඉගනගන්නේ මගෙ දරුවා"


ඒ කුඩම්මාගේ ආකල්පයයි.


කුඩම්මා තිගැස්සී මෙන් මා දෙස බැලුවේ නිලීකා ඉදිරිපස දොර අසලටම පැමිණ සිටි හෙයිනි. තාත්තා උදෑසන නිවසින් පිටවී ගිය පසුව ගේට්ටුව වසා දමන්නටවත් පාලිකා අක්කා අඩියක් ඔසවන්නට අකැමැතිය.

එහෙයින් උදෑසන සිට කුදු මහත් වැඩ වලට මුළුතැන්ගෙය පැත්තටම වී උන් මා හට අද ගේට්ටුව වැසීමේ රාජකාරිය නො පැවරුණි. එහෙයින් සරෝජ් හිරිපිටිය සිය රථය මිදුලටම ගන්නට ඇත. 


නිලීකාට පසුපසින් මතුවූයේ සරෝජ්ය .ඔහුගේ ඇස් වල ඒ මොහොතේ වූයේ කිනම් හැඟීමක් ද යන්න මට සිතා ගත නොහැක. එහෙත් ඒ හැඟීම සුබදායක එකක් ලෙස මට දැනුණේ නැත. ලා රත් පැහැයට හැරී තිබූ ඔහුගේ දෑස පාලිකා අක්කා දෙසට යොමු වුයේ කෝපයක් බඳු හැඟීමක් තවරාගෙන ලෙස මට දැනුනි.


"හා..හා.. එන්න ළමයෝ මේ ඉන්නේ නිවී. පොතක් පතක් බලාගන්න කියලා මං කී පාරක් මේ ළමයාට කිව්වාද? එයාට සෙනසුරාදාට ගේ මොප් කළේ නැත්තං ඉතින් කෑවේ බිව්වේ නෑ වගේ නේ"


කුඩම්මා ඔවුන්ට නොපෙනෙන්නට මට එ‍රවූවේ කරමින් උන් ක්‍රියාව නවත්වන්න යැයි නොකියා කියමිනි. මම ගණනකට නොගෙන මඳ සිනහවක් පමණක් පා මගේ කාර්යය කරගෙන ගියේ දැන් මුළුතැන්ගෙය දෙසට පමණක් එහි වැඩකටයුතු ඉතිරිව තිබූ හෙයිනි. කුඩම්මාගේ විමසුම් දෑස සරෝජ් වෙත යොමුවූයේ එකෙණෙහිය. යම්කිසි කුකුසක් ඇති වූ විට කුඩම්මා ජාත්‍යන්තර ඔත්තු සේවාවලටත් වඩා ප්‍රබල බව නිලීකා නිතරම පවසන්නීය 


"ඇන්ටි මේ මගේ මාමාගේ පුතා. මං මෙයා එක පොඩ්ඩක් කොළඹ යන ගමන් මෙහෙට ආවේ නිවීව බලලා යන්න"


පාලිකා අක්කාගේ උකුසු ඇස් සරෝජ් හිරිපිටිය වෙතටම යොමු වී තිබුණි. ඇයට නම් ඉතින් මෙබඳු කඩවසම් තරුණයෙක් දුටුවෝතින් එතනින් එහාට ඉන්නා සිටින තැන පවා අමතක වෙන බව මම හොඳින් දැන උන්නෙමි. ඒ මොහොතේදීත් පාලිකා අක්කා උන්නේ දෑසින් සරෝජ් හිරිපිටියව ගිලගනිමිනි.


"එන්න එන්න ඉඳගන්න.නිවී තේ ටිකක් ලෑස්ති කරමු නේද එහෙනම්?"


කුඩම්මාගේ ස්වරයෙ මුදු බව අදහා ගන්නට බැරි තරම් ලෙන්ගතු විය.මේ නිවසේ සියලු පවත් සක්සුදක් සේ දන්නා නිලීකා යටිතොල සපාගෙන මෙන් සිනාව වළකා ගත්තාය. මේ නිවැසියන් ගේ තතු මනා සේ දන්නා නිලීකා කිසිදු දිනක තේ පානය කිරීමට හෝ නැවතුනේ නැත.


"අනේ එපා එපා. මම මේ වැඩියත් ආවේ අපේ මේ අයියාගේ නෝට්ස් ටිකක් නිවීට දීලා යන්න. එයත් කොමස්නේ කළේ. නිවී ටියුෂන් යන්නෙත් නැති නිසා මම සරෝජ් අයියගේ නෝට්ස් ටික ගෙන්නවා ගත්තේ"


කුඩම්මාගේ මෙන්ම පාලිකා අක්කාගේ මුහුණු ඇද වන්නට ගතවූයේ කෙටි වේලාවකි.


"කෝ අනේ ඉතින් මේ ළමයාමනෙ ටියුෂන් යන්න බෑ කියන්නේ. අපි කොච්චර නම් කිව්වද නේද සුදු දුව"


පාලිකා අක්කා දෙසට හැරෙමින් කුඩම්මා තවත් අමූලික බොරුවක් ඇදබෑවාය. පාලිකා අක්කාගේ ඇස් බැල්ම සරෝජ් හිරිපිටිය වෙතින් ඉවතටම නොයා ඇලී මෙන් තිබුණි. ඒ මොහොතේ නිලීකා මට හිසින් සන්කොට කතා කළේ සටහන් පොත් ටික රැගෙන එන්නටය.


"කාර් එකේ යතුර දෙන්නකෝ අයියේ"


නිලීකා සරෝජ් වෙතට අත දිගු කළද ඔහු නැගී උන්නේ යමු මාත් එන්නම් කියමිනි.සරෝජ් හිරිපිටියගේ රියෙහි පසුපස කොටසේ කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් පුරා තිබුණේ සටහන් සහ ප්‍රශ්න පත්‍රය. මම ඇසට පිරුණු කඳුළු වලකා ගනිමින් බිම බලා ගත්තෙමි.


"කෙල්ලේ අපි මේවා ඔයාගෙ කාමරයට ගෙනියමු"


නිලීකා කාඩ්බෝඩ් පෙට්ටියක් ඔසවා ගත්තේ අනෙක මා අත තබමිනි. මම ඇය සමගින් මගේ කුඩා කාමරයට පොත් පෙට්ටි ගෙන යන විටද පාලිකා අක්කා සහ කුඩම්මා ඔවුන්ගේ කාමරයට ගොස් තිබුණි.


"මේකට අඩව් අල්ලන්නේ ඔයාලා ගියාම"


මම සිනාසෙන්නට තැත් දරමින් පැවසුවෙමි. ඒ මොහොතේ සරෝජ් හිරිපිටිය උන්නේ සිය රථය අසල වූ සේපාලිකා මල් ගහෙන් බිමට වැටුණු මල් කිහිපයක් අහුලා අතට ගනිමිනි. ඔහු හිස නගා මා දෙස බැලුවේ ඒ මොහොතේය. මහිත තිගැස්සුනේ නැතැයි කියන්නට මට නොහැක. එහෙත් හිතට අයත් නොවන ආගන්තුක එවන් හැඟීම් වලට මා වැට බඳින්නට හුරුවිය යුතුය.


"අපි යන කොළඹක් නෑ බං. මෙන්න මෙයාට තමයි මෙහෙ එන්න පුදුම හදිස්සියක් තිබුණේ"


නිලීකා හිසින් සරෝජ් හිරිපිටිය පෙන්වමින් පැවසුවේ සිනාසෙමිනි. මම දෑස් විසල් කොට බැලුවේ දෙදෙනා දෙසමය. සරෝජ් සිය අත වූ සේපාලිකා මල් දෙසට සිනහවක් විසි කළේය. ඒ සිනහව දකින ඇසක් ලොබ පදවන සුලුය. එහෙත් ඇලෙන්නට ගන්නාවූ සිතට තරවටු කරමින් මම නිලීකා දෙස බැලුවෙමි.


"අපි යමුද?"


නිලීකා සරෝජ්ගෙන් ඇසූයේ නිහඬ තත්පර ගණනාවක් ගෙවී ගිය පසුය. මා සිටියේ රියදුරු අසුන පැත්තේ සිට නිලීකාගේ අත අල්ලා ගත් වනමය. සරෝජ් අප දෙදෙනා පසුකොට රියදුරු අසුනට යාමට ඉදිරියට පැමිණ මා අතක් අල්ලා සිය අත වූ සේපාලිකා මල් ටික මා අත තැබීය. මම අකුණු සහසක් ගසා වසිනා අනෝරා වැස්සට තෙමී බත්වූ කිරිල්ලියක සේ අසරණ වීමි. නිලීකා සිනාසුණාය. නොනවත්වාම සිනාසුණාය. ඇස් වලින් කඳුළු පනින තුරු සිනාසුණාය. අවසන "වෙල්කම් මයි නෑනන්ඩී" යයි කණට කෙඳිරුවාය.


මම උන්හිටිතැන් අමතක ව බලා වුණෙමි. අත වූ සේපාලිකා මල් ටිකක් පොඩි වී යා නොදී ගේට්ටුවෙන් රිය පිටව යන තුරුත් මම ඔහේ බලා උන්නෙමි. මේ සියල්ල බර වැඩි වන බව පමණක් කීමට හිතට දැනෙද්දි මම නිවසට පැමිණියෙමි. වාසනාවකට පාලිකා අක්කා සහ කුඩම්මා මේ කිසිවක් නොදුටුවේ මා නිලීකා සහ සරෝජ් හිරිපිටිය සමඟ රිය අසළ සිටිද්දී ඔවුන් දෙදෙනා මාගේ කාමරයට කඩා වැදී පොත් පෙට්ටිය අවුස්සන්නට වූ හෙයිනි. කාමරය වෙත යන විට එය එකම ගාලගෝට්ටියකි. අම්මත් දුවත් දෙදෙනා රහස් පරීක්ෂකයන් මෙන් සියල්ල අවුස්සා දමා ඇත.


"එක එකාගෙන් පොත් හිඟාකාලා අපිටත් ලැජ්ජ කරනවා මේ හිඟන්නි"


පාලිකා අක්කා මගේ හිස පසෙකට අතින් ඇන්නාය.


"මම ඉල්ලුවේ නෑ එයාලා නිකම් ගෙනල්ලා තියෙන්නේ"


මම කීවේ සෙමින් හඬ අවදි කරමිනි.


"අනුන්ගේ නෝට් කියවලා විභාග පාස් කරලා ඉර හඳ අල්ලන්න වෙන්න ඇති හිතේ ඇත්තේ"


කුඩම්මා අවඥාසහගත වචනවලින් මට දමා ගැසුවාය.


ඉර හඳ ඇල්ලීමට තුන් හිතකවත් නැති මේ නිවේතාට අවශ්‍ය වන්නේ කවදා හෝ පොළොවේ පයගසා ස්වාධීන වන්නට පමණක්ම බව මම යටි හිතෙන් කෑගසා පැවසුවෙමි. 


ඉතින් සරෝජ් හිරිපිටිය පවා මට ඉරක් හෝ සඳක් මිස ළංකර ගත හැකි අයෙක් නොවන බවට පමණක් මම දැන උන්නෙමි.පාලිකා අක්කා කාමරයෙන් පිටව ගිය පසු මම සුසුමක් හෙලා මගේ කුඩා ඇඳේ ඉඳ ගත්තෙමි. ඔවුන් දෙදෙනා විසින් ඇද දමා තිබූ පොත් යළි අසුරා ගත යුතුය. ඇඳ මත එහෙමෙහෙ දමා තිබූ ගණකාධිකරණය පොතක් අතට ගෙන පිටුවක් පෙරළා බැලීමි.


සරෝජ් හිරිපිටිය යනු පිළිවෙලකට සංවිධානාත්මකව උගත් අයෙක් බව ඔහුගේ සටහන් පොත් සාක්ෂි දුන්නේය. සියලු සටහන් ඉතා පිළිවෙලය. ගැහැණු ළමයෙකු වූ මගේ අත් අකුරු වලට වඩා ඔහුගේ අත් අකුරු ලස්සනය. මුල් පිටුවේ සරෝජ් නිසල හිරිපිටිය ලෙසින් නම ලියා තිබුණි.  නිසල ඒ දෙවැනි නම මත මම සෙමෙන් අතැඟිලි යැවීමි. ඔහු නිසල වන අතර මම “නිවී” වීම මට යටිසිතේ සිනාවක් මවන්නට හේතුවිය. හැඟීම් සියල්ල යටපත් කරගනිමින් සරෝජ්ගේ පොතෙහි සටහන් දිගේ දෙයක් ඇස් යවමින් මම ඉමහත් ලොබින් බලා උන්නෙමි. මගේ කුඩා මේසය මත ඉතින් මේ සටහන් පොත් නවාතැන් ගත යුතුය.


අනෙක් පෙට්ටිය තුළ වූයේ පසුගිය ප්‍රශ්න පත්‍ර මාලාවන්ය. සරෝජ් හිරිපිටිය උසස් පෙළ කරන්නට ඇත්තේ  වසර හය හතකට පමණ පෙරය. එහෙත් ප්‍රශ්න පත්‍ර සහිත වූ පෙට්ටියෙහි අලුත්ම ප්‍රශ්න පත්‍ර පොත් කීපයක් විය. එමෙන්ම මේ වසර දක්වා වූ අනුමාන ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ද විය. මම වික්ෂිප්තව බලා උනිමි. මේ සියල්ල අලුතින් මිලදී ගත් ඒවා විය යුතුය. එහෙත් මේ කාරණා වලට හේතුව මට තවමත් අපැහැදිලිය.

අතවූ සේපාලිකා මල් ටික මේසය මත තබා මම තවත් මොහොතක් බලා උන්නෙමි. දුරකථන ඇමතුමක් ගෙන ඒ ගැන අසන්නටවත් මා හට දුරකථනයක් නැත. ගෙදර ස්ථාවර දුරකථනයෙන් ඇමතුම් ගැනීම තවත් ඇනුම් පද බැනුම් දාහකට මුලය. ඉතින් මම නිහඬවම බලා උන්නෙමි. 


සරෝජ් හිරිපිටිය මගේ මේ ජීවිතයට ඇතුල් වන්නට උත්සාහයක් දරන්නේදැයි මම නොදනිමි. එහෙත් එය මුල්ම පියවරේ සිටම ඔහු වළකාලිය යුතු බව පමණක් මම දනිමි. සරෝජ් ඔබ, ඔබට ගැලපෙන අයෙකුගේ සිහිනයක් පමණක්ම විය යුතුය.


රාත්‍රී කාලයේ පැයක් පමණ ගෙන සටහන් පොත් ප්‍රශ්න පත්‍ර සහ සියලුම ලිපි ද්‍රව්‍ය සියල්ල මේසය මත පිළිවෙළකට අසුරා ගතිමි. ඇත්තෙන්ම පෞද්ගලික පන්ති නොයා මේ සියල්ල පරිහරණය පමණක්ම මට සාමාන්‍යයෙන් උසස් පෙළ සමර්ථ වීමට ප්‍රමාණවත්ය.විශ්වවිද්‍යාලය පිළිබඳ සිහිනයක්ම හිතෙත් නොතිබුණායැයි මුසා පවසන්නට මට අනවැසිය. එහෙත් මට සිහින දැකීමට ඇති බාධා එමටය. ඉතින් පොළොවේ පය ගසා කාටවත් අත නොපා මෙතරම් කල් බිමටම හැරවුණු හිස ඉහලට ඔසවා මට මා ගැන බලාගන්නට ප්‍රමාණවත් තරමේ ආදායමක් ලැබෙන රැකියාවක් කරන්නට ප්‍රමාණවත් උසස් පෙළ ප්‍රතිඵලයක් ලබා ගැනීම පමණක්ම මම සිහිනය කොට ගතිමි.



                                                                                   ***



සතියක ඇවෑමෙන් පාසැල නිමවී බස් නැවතුම් පොළට ආ මට එදින නිවසට ආසන්නව මාවතේ ධාවනය වන බස්රිය නොමැති බව දැනගන්නට ලැබුණි. ඉතින් මා හට පයින් යාමට ඇති දුර කිලෝමීටර් භාගය කිලෝමීටර් දෙකක් දක්වා වැඩි වෙයි. කුඩම්මා සහ බාලිකා අක්කා තාත්තා සමගින් කොළඹ ගියේ කුඩම්මාගේ ළඟම ඥාතියකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වන්නටය. එහෙයින් අද උදෑසන ආහාර පිසීමේ කාර්යය මාහට නොවීය. එමෙන්ම පාසල් යාමට පෙර කෑමට හෝ විවේකයේදි කන්නට යමක් තිබුණේ නැත. ඉතින් නිවසට ගොස් බිස්කට් කිහිපයක් හෝ කා තේ එකක් බීමට හිත හදාගෙන මම උන්නෙමි. 


බස්නැවතුම්පොලේ උන් එකිනෙකා ත්‍රිරෝද රථ ආදියෙහි නැගී යන්නට වූ හෙයින් මම කර කියාගන්නට කිසි නැතිව තවත් මොහොතක් බලා උන්නෙමි. ඉතින් නිවසට කෙසේ හෝ යා යුතු හෙයින් කුඩයක් හෝ නොමැතිව ගිනිගහන අව්වේ පාරට සෙමින් බැස්සෙමි. කාලෙකින් වැස්සක් නොවැටි හෙයින් මුළු පරිසරයම දුඹුරු පැහැ ගෙනය. තණපත් පවා දැඩි අව්වට පිළිස්සී ගොසිනි. දහවල් එක හමාර - දෙක අතර කාලයේදී පවත්නා අව්ව සමනය කරන්නට අඩුම තරමින් සිසිල් සුළඟක් හෝ නොමැත. උගුර කට වියළී යන ගිනි ගහන අව්වේ පොත් බෑගයද කර එල්ලාගෙන මම ඔහේ ඇවිද යමින් සිටියෙමි.


********************************************************************************************************************************************************************* 

යලිත් හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

( විසිරි සිහින )

Saturday, February 19, 2022

05. පස්වෙනි කොටස ( හසරැල් සැලුණාවේ )

 



(නිවේතාගේ අතීත සටහන්)


ජීවිතය මේ තරම්ම අභියෝගාත්මක වුවද කටුක වුවද එකක් වේයැයි මා කිසිදු දිනක සිහිනෙනුදු නොසිතුවෙමි. එහෙත් අභාග්‍යසම්පන්න වසර ගණනාවකට පසු මම අද නිදහසේ හුස්ම ගනිමි. මානවී මගේ එකම වස්තුව කිසිත් ජීවිතයේ බරක් නොමැතිව සුරතල් පුලුන් වලසා තුරුළු කොටගෙන නිදන්නීය.දීර්ඝ ගුවන් ගමනකට පසු ගතට දැනෙන්නාවූ වෙහෙස ඇයව ඉක්මනින් නින්දට ලඟා කොට ඇත. ගතට කෙතෙක් වෙහෙස දැනුනද සිතට දැනෙන්නේ කියා නිමකළ නොහැකි නිදහසකි. 


ජීවිතය හෙට සිට වෙනස්ම මාවතක ගමන් අරඹනු ඇත. එය සුබවාදී ව භාරගන්නට මට ශක්තිය ඇතැයි මම විශ්වාස කරමි.

මානවී සමගින් මා නවාතැන් ගත්තේ නිලීකාගේ නිවසේ තාවකාලිකවය. ශ්‍රී ලංකාවෙන් පිටවී ඕස්ට්‍රේලියාවට ලඟා වන තුරුත් ඇයගේ අනුදැනුම උපදෙස් අවවාදයන් එක මොහොතකට බිඳී ගියේ නැත. එකම පාසලේ එකම පන්තියේ එකාවන් වූ මිත්‍රත්වය ජීවිතයේ අසීරුම මොහොතේ දී මා බාර ගන්නට සැදීපැහැදී උන්නාය.


"අද මේ මොහොත ඉඳන් අර කුණු වෙච්ච දුක්වුණ ජීවිතේ අයිති අතීතෙට.ඒ ඔක්කොම මතකයෙන් මකාදාලයි උඹ මගේ ගේ ඇතුලට එන්නේ"


ඇය කුලී රියෙන් බැස නිවෙසට මා ඇතුල් වන මොහොතේ මගේ දෙවුරට අත තබා දෑසට එබී ගෙනම අවධාරණය කළාය.මම දීර්ඝ සුසුමක් හෙලා සිනාසෙන්නට වෙර දැරීමි. ඒ අතීතය දුක්ඛිතය. අප්‍රසන්නය. නිලීකා පවසන අන්දමටම කුණුවී ගඳ ගසන අතීතය ඉතින් හෙට දවසට මවිසින් රැගෙන යා යුතු නොවේමය.


"කෙල්ල නිදිනේ. ඩිනර් ගත්තෙත් නැද්ද?"


අඩකට වඩා ඉතිරි වී තිබූ ආහාර බඳුනට එබී බලා නිලීකා ඇසුවේ සයනය මත හරහට වැටී නිදනා මානවී දෙසද බලමිනි.


"මහන්සි ඇති"


මගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවීම ඇය මානවීගේ හිස සෙමින් පිරිමැද්දාය.නිලීකාට දරුවන් නොවූ හෙයින් ඇය මානවීට කවදත් බොහෝ සෙයින් ආදරය කළාය.ලංකාවට පැමිණෙන හැම වාරයකම මානවී වෙනුවෙන් තෑගි මල්ලක් ඇයගේ ගමන් බෑගය අතර නිරතුරුවම රැඳුණේය.


"එහෙනම් නිදාගන්න.හෙට කතා කරමු"


නිලීකා මදක් නැඹුරුවී මානවීගේ කොපුලක් සිපගත්තාය. අම්මා තරමටම ඇයට ආදරය කරන නැන්දෙකු සිටින මගේ දියණිය කෙතරම් වාසනාවන්ත දැරියක්ද ? මානවී සයනයේ හරි අතට ඔසවා තබා අසල වැතිරී කොට්ටයක් ඔසවා ඇඳට හේත්තුවීමි.


මෙහි ආ පසු උණුවතුරෙන් ගත දෝවනය කරද්දි මුළු ශරීරය පුරා වූ තුවාල කැලැල් මගේ ජීවිතයේ නිලීකා විසින් අමතක කළ යුතුයැයි පවසන ඒ දුක්ඛිත අතීතය මට යළි යළිත් මෙනෙහි කර දුන්නේය. ඉතින් අද අවසානම දවස මේය. මේ සියල්ල එකින් එක පෙළ ගස්වා මතක් කරමි. අදින් පසු ඒ සියලුම වේදනාවන් සපිරි අවුරුදු විසිහත මගේ ජීවිතයෙන් වලදා දමන්නෙමි.හෙටින් පසුව නිවේතා රසාදරී ගමගේ අලුත්ම..ඔව්.. අලුත්ම ගැහැනියක් වනු ඇත.



                                                                                       ***


උසස් පෙළ විභාගය නිමා වූදා කෙල්ලන් රොත්තම පාරට පැන්නේ මහා යුද්ධයක් නිමා වුවාසේ ප්‍රීතියෙනි. ඒ විභාගය අවසන් වූ ප්‍රීතිය හා හරි හරියට මුසු වූයේ දහතුන් වසරක් එකා හා වැටී ගෙවූ පාසල් දිවියේ අවසානයේ පිළිබඳ ශෝකයකි.මුවග සිනහව සමග මුසු වූයේ නෙත් වලින් උතුරා ගලා ගොස් කොපුල් වල පැල්ලම් තැබූ කඳුළු උල්පත්වල ශේෂයන්ය. වසර දහ තුනක් පුරා ඉඳහිට දවසක අකමැත්තෙන් ද ඉතිරි හැම දවසක්ම කැමැත්තෙන්ද පිවිසි පාසැල් බිමේ නීත්‍යානුකූල සිසු භාවයට සමු දෙන දිනය අත ළඟටම එන තුරා කිසිවෙකුට එය නොතේරේ.

බාලිකා පාසලේ උස් උස්ව නැගෙන විලෝ ගස් පේළිය පසුකොට ගෙන කලු පැහැයෙන් මායිම් සලකුණු කළ පාසල් මාවත දිගේ අපි ඇවිද එමින් සිටියෙමු. 


"සුද්දි හෙටින් පස්සෙ ඉස්කෝලේ එන්න වෙන්නේ නෑ කියලා හිතෙනකොටත් දුකයි නේද බං?"

නිලීකා මගේ උරහිසට නහය අතුල්ලමින් කොඳුරයි. මා ඉගන ගත් පාසල සාමාන්‍ය එකක් වූ හෙයින් අපගේ උසස්පෙළ විභාගයද පැවතුනේ නිලීකා උගත් පාසලේමය.ඉදින් දින කිහිපයක් ඇය හා මට යලිත් ගතකරන්නට හැකිවිය.


"ඊයා බං හොටු නොගා හිටපන්කෝ"


මම ඇයට පහරක් ගසා ඉවතට පැන්නෙමි. හිතේ ඇති දඟකාරකම්වල නිමාවක් නැත. එහෙත් අද සිට අපේ ජීවිත කොහේ නම් ගසාගෙන යනු ඇත්ද? මේ සා සැහැල්ලුවක් ඉතින් අදින් පසු කොහේ කොහි නම් වේවිද?


"උඹ මොකද කරන්න හිතන් ඉන්නේ මම නං සතියක්ම නිදාගන්නවා ඔක්කොටම කලින්"


නීලිකා දෑත් දෙපසට දිගු කර ඈනුමක් හැරියේ හැකිනම් එතනම වැටී නිදා ගන්නවා යන තරමේ කම්මැලිකමකිනි. නින්ද යනු පරම සැපතය යන දහම නිලීකා අදහන්නට ගත්තේ හතේ පන්තියේ මා සමග එකම පාසලට ගිය කාළයේ සිටමය.


"ගෙදර ගිහින් බලන්න ඕන නිලී. කුඩම්මා කියන දෙයක් තමානේ අන්තිම තීන්දු තීරණය"


මට සුසුමක් හෙලුණේ කුඩම්මා සිහිවීය. ඇය ඉස්සර කුඩාකල ඇසූ සුරංගනා කතාවල ඉන්නා කුඩම්මාගේ ස්වරූපයම ගත්තාය. පිටට පෙනෙන්නට කෙනෙහිලිකම් නොකළ ද ඇයගේ පල නොකියා පලා බෙදන න්‍යායය නිතරම දිගු වූයේ මා දෙසටමය. ජීවිතයේ හැම විටම මට බෙදුණේ අඩුවක් නැති දුකම පමණි.


නිලීකාගෙන් සමුගෙන නිවසට පැමිණෙන විටද හවස තුන පමණට වන්නට ඇත. අනිත් කෙල්ලන් බීච් යන්නට සුදානමින් ආවද මට එයට අවසරයක් නොමැත. වැරදීමකින් හෝ එසේ ගියානම් තාත්තා ගේ කනට කතාව යන්නේ එක හතවෙමිනි. ඉතින් එවිට තාත්තාට මා දහ අට වියෙහි බව අමතක වේ. අල්මාරිය උඩ ඇති වේවැල මගේ දෑතේ සහ පිටේ රස බැලූවේ එහෙම නිරපරාදේ කුඩම්මා තාත්තා ඇවිස්සූ දිනවලය. තාත්තා කෝපාවිෂ්ටව පහර දෙන තුරු දොර රෙද්දට එහාපසින් සිට බලා සිටින කුඩම්මාගේ මුහුණේ සහ දෑසේ නලියන්නේ සන්තුෂ්ටිය එක්ක යන සිනහවකි. 


ඉතින් මම එවන් දෑට ඉඩ නොතබා සිටින්නටම වෙර දරමි. තාත්තාගේ වේවැල් පහර වැදී රිදුම් දෙන ගතට වඩා මට දැනෙන්නේ ඔහු මුවින් පිටවෙන හිත කීරි ගස්වන අවලාදයන්ය. 


"උපන් ගමන් මහඑකීව මරාගත්ත කාලකන්නි එකී මට වත් නිදහසේ ඉන්න දීපන්" 


එම වදන් මා ඇසූ වාර ගණන අනන්ත අප්‍රමාණය. මා උපන්දාම අම්මා මිය ගිය බව ඔවුන් පවසන්නේ ඒ වරද මා පිට පටවා තබාය. ඉදින් එසේ මිය ගිය අම්මා ගැන ද මා ගැනද මට ඇති වන්නේ පුදුමාකාර තරහකි. 


"ගියතැනක මාවත් අරන් ගියේ නැත්තේ ඇයි අම්මේ"යැයි සිතමින් හුදකලාව හඬා වැටුණු වාර මා දිවියේ ගිණිය නොහැකි තරම් විය.


"ආ මේ ඉන්නේ මැඩම් විභාගය ඉවර වුණේ එකට නේද? දැන් තුනයි.ගියාද බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් සමුඅරන් එන්න"


පාලිකා අක්කා ගේ දොරකඩ අවුරා ගෙන සිටින්නීය. මම විඩාපත් වතින් ඇය දෙස නිහඬව බලා උන්නෙමි. විභාගය ඉවර වී පාරට එන විට බසය ගොසිනි. ඉතින් ඊළඟ බසයට තවත් විනාඩි හතළිස් පහක් ගෙවී ගොස් නිවසට පැමිණෙන්නට ඇති කිලෝමීටර් භාගය ද ගෙවුණු පසු තුනට මිස ඊට පෙර නිවසට ඒමට නොහැකි බව පාලිකා අක්කාටම නොවැටහෙන්නට විදියක් නැත. බීරි අලින්ට වීණා වයන්නා සේ සිටින ඇයට හේතු පැහැදිය යුතුද නැත.


"මොකෝ කටේ පිට්ටුද?"


දොර අසලට ආ මා උරහිසින් අල්ලා තල්ලු කර දමා ඇය අසනා විට කුඩම්මා ද එතැනය. අඩු තරමේ පාලිකා අක්කාගේ හැසිරීම වළක්වන්නටවත් කුඩම්මාට කිසිදු අවශ්‍යතාවයක් නොවූ තරම්ය.


"ඔන්න ඔයා මෙහෙට වෙලා ගෙට එන්න දෙන්න. දැන් ඇති ඔය" 


කුඩම්මා තවත් වෙලාවකට පසු එසේ කියමින් ගෙතුළට ගියාය. පාලිකා අක්කාගෙන් හිරිහැර විඳීම මට ඒ වනවිට පුරුද්දක්ම වී තිබුණි. ඒ අවසරයෙන් මමද ගෙතුළට වැදුණේ ඉදිරියේදී මේ නිවසේ ජීවත්වීම කෙතෙක් අසීරු වනු ඇත්දැයි මනසින් විශ්ලේෂණය කරමිනි. ගතවූ සම්පූර්ණ කාලයටම වඩා මේ ඉදිරිය මට අසීරු වන බව පමණක්ම මම දනිමි. 


මගේ කුඩා කාමරයේ සයනයට මොහොතක් බරදුන් මට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දා පටන් මේ දක්වා මගේ ජීවිතය ගලා ගිය අන්දම මොහොතකට සිහිවිය. ඇත්තෙන්ම ජීවිතය ගැන සටහන් තබන්නට තරම් දෙයක් මාහට ඇතිවන්නට පටන් ගත්තේ සාමාන්‍යපෙළ ලියූ යුගයේ පටන්‍මය.


මා උපත ලද දාම අම්මා මියගොස් තිබුණි. අත්තම්මා සහ සීයාගෙ භාරයේ වසර පහක් වැඩුණු මා යළි තාත්තාගේ නිවසට ආවේ අත්තම්මා සහ සීයා හදිසි අනතුරකින් මිය ගියහෙයිනි. මේ වනවිට තාත්තා කුඩම්මා සමඟ විවාපත්ව උන්නාය.කුඩම්මා ඇයගේ පෙර විවාහයේ දියණියද සමගින් හුදකලාව උන් කතක්යැයි පැවසුවද සත්‍යම හේතුව වූයේ ඇය තාත්තා සමඟ ඇති කරගත් සබඳතාවය හේතුවෙන් ඇයගේ සැමියා ඇයව දික්කසාද කොට දමා තිබීමය. 

කුඩම්මා සහ පාලිකා අක්කා එදා ඔවුන්ගේ නිවසට ආ මා හට සැලකුවේ තම සැනසුම අහිමි කරන්නට ආ සැතිරියකට පරිද්දෙනි. ඉන්පසු මා අද වනතුරු වින්දේ ඒ කෙනහිලිකම්මය.


මා එදා පටන් ජීවත්වූයේ මුළුතැන් ගෙයට යාබද කුඩා කාමරයකය. අවම වාතාශ්‍රයක් ඇති, සුවපහසුවක් නොමැති, ඉඩකඩ සීමිතව තිබූ ඒ කුඩා කුටිය නිවසට එක් වන්නට ඇත්තේ මුළුතැන්ගෙයට අවශ්‍ය දෑ ගබඩා කර තබන ගබඩා කාමරයක් ලෙසය. නැතහොත් කවදා හෝ සේවිකාවක් සිටි දිනක ඇයට ඉඩකඩක් ලෙසය. අදාල කාමරයට අවැසි නානකාමර, වැසිකිළි පහසුකම් සලසා තිබුණේ නිවසේ පිටුපස දොරින් බැහැරට ගිය පසු නිවසට යාබදවය. කුඩා දැරියකගේ ආරක්ෂාව පිළිබඳව වගක් ඇති වැඩිහිටියෙක් මේ නිවසේ නොවූ අතර ඒ අනවධානය පැවතුණේ මා සඳහාම පමණි. පාලිකා අක්කා කාමරයේ විදුලි බල්බය කුඩම්මා දමනා තුරු සාලයෙන් කාමරයට ගියේ නැත.


කෙසේ වතුදු වයස අවුරුදු පහේ සිට මා ජීවත් වූයේ ඒ කාමරයේය. ඇඳක්, පුටුවක්, මේසයක් පමණක්ම තිබූ කාමරයේ මා සතු ඇඳුම් ටික අසුරා තබා ගත්තේ තරමක් විශාල කාඩ්බෝඩ් පෙට්ටි දෙකක ය. ඒ බොහෝ ඇඳුම් පාලිකා අක්කා භාවිතයෙන් ඉවත් කළ ඒවාය. කිසිදු හාහෝවක් නොඅසා ලද දෙයින් තෘප්තිමත් වන්නට මා උගත්තේ වයස අවුරුදු පහේ සිටමය. 


සාම්ප්‍රදායික නවකතාවක චරිතයක් සේම මටද සිදුවූයේ නිවසේ කුදුමහත් වැඩකටයුතු එකකට පසු එකක් ලෙස කර දී පාසල් යන්නටය. කෙතෙක් නිවසේ කටයුතුවලට කාලය වැය කළ ද කුඩම්මාගෙන් හොඳක් අහන්නට ලැබුණේම නැතිබව මගේ සිතේ ඇති කළ වේදනාත්මක මතකය සදාකල්ම කළු පැල්ලමක් ව ඉතිරිවී තිබුණේය.

පාලිකා අක්කා කිසිදු ගෘහස්ථ වැඩ කටයුත්තකට සහභාගී නොවුණා සේම කුඩම්මා ඇයව බෝනික්කියක් සේම සැප පහසුවෙන් තබා සියලු කටයුතු මා වෙතට පවරාලූයේ කන්නට බොන්නට සහ ඉන්න සිටින්නට දෙනවාට හිලව්වට යැයි ප්‍රසිද්ධියේම අඟවමිනි.

මගේ ජීවිතයේ කුඩාම විය සම්බන්ධව මා හට ඇත්තේ එතරම් පැහැදිලි මතකයන් නොවේ. එහෙත් මගේ ජීවිතයේ අද දක්වා විසිරී යන කරුණු කාරණාවන් පටන් ගත්තේ මා සාමාන්‍ය පෙළ විභාගය ලියූ කාලයේ සිටය.එහෙයින් මේ සටහන් පෙළ මා ලියා තබන්නේ ඒ වකවානුවේ සිටය. 


සත්තකින්ම මේ සියල්ල ලියා තැබීමේ අරමුණ කුමක්දැයි පැහැදිලි නැත.නමුත් කවදා හෝ දිනයක මානවී මේ සියල්ල කියවිය යුතුයැයි මට සිතේ. එමෙන්ම සිතේ තද වී ඇති මගේ අතීත මතකයන් මෙසේ ලියා තැබීමෙන් මා හට යම්තාක් දුරට මානසික ඉහිල් වීමක් ලැබේයැයි මම විශ්වාස කරමි . 



                                                                                                 ***


ඒ මා සාමන්‍යපෙළ විභාගයට ලියූ කාලයයි. සාමාන්‍ය පෙළ විභාගය නිමා වූ දාට පසුදා සිටම මා පත්වූයේ නිල නොලත් මෙහෙකාර ධූරයටය. උදෑසනින් පිබිද සියලුම ඉවුම්පිහුම්, අතුපතු ගෑම්,පවිත්‍ර කිරීම්, නානකාමර වැසිකිලි පිරිසිදු කිරීම් එකකට පසු එකක් ලෙස අණදීම් ආකාරයෙන් මවෙත ගොඩ ගැසූ කුඩම්මා සුළු පමාවකට නිරන්තර බැණවැදීම් සහ අවලාද නිමා නොවූ තරම් මාහට එල්ල කළාය .


ජීවිතය ඉතින් දුක මතින් ඔහේ ගලාගියද ඒ කිසිම විටෙක මුවින් නොබැන කිසිදු කඳුළක් නොසලා සිටින්නට තරම් මා හිත් පිත් නැති යාන්ත්‍රික ජීවිතයකට ඉතින් පත්වෙමින් තිබුණි. කුඩම්මා මාහට ශාරීරිකව හිංසනයන් නොකළාය. එයට සරිලන්නට වාග් ප්‍රහාරයන් මෙන්ම මානසික බිඳ වැට්ටවීම් ඇය අතින් නොඅඩුවම සිදුවිය. පාලිකා අක්කා විටෙක කොණ්ඩයෙන් ඇද රිදවීම්, යන එනමග තල්ලු කර දැමීම් ආදිය ආදී ශාරීරික හිංසනයන්ට මා ලක් කළද මා වෙනුවෙන් හඬක් ඒ නිවසේ කිසිම මුවකින් නැගුනේ නැත. තාත්තා උන්නේද නෑසූ කන්ව දෙනෙත් අඳ සේ .ඉතින් සියල්ල දරාගත් පසු රාත්‍රී අඳුරට ඉඳහිටක මුසුවන දරාගත නොහුණු වේදනාව කඳුලක් වී කොට්ටඋරයට උරා ගත්තා පමණි.


කුඩම්මාගේ ඥාතීන් නිවසට පැමිණෙන දිනවල මා හට පැවරුණු වැඩ කටයුතු වල නිමක් නොවූ තරම්ය. මේ කිසිම දිනයක මුළුතැන්ගෙයින් ඔබ්බට මා පියඔසවා නැත. කුඩම්මාගේ පාර්ශ්වයේ කාන්තා සමූහය ද ඇය මෙන්ම උද්දච්ච භාවයෙන් හිස උදුම්මා ගත් අයම විය. ඔවුන් කිසිත් ළතෙත් බවක් කාරුණික බවක් ජීවිතයේ තැවරුණු අය නොවූ හෙයින් මා හට ඒ ඥාති පාර්ශ්වය ගැන ද කිසිදු ඇල්මක් ප්‍රසාදයක් නොවූ තරම්ය.


තාත්තාගේ කෲර ගති ලක්ෂණ හේතුවෙන් ඔහුගේ ඥාති පාර්ශවයන් හෝ අම්මාගේ පස ඥාති පාර්ශ්වයන් අතහැරී ගොස් බොහෝ කල්ය. සියලු අයහපත් දේ අතරට එක්ව යන්නේ අයහපතම පමණක් බව මට වූයේ තාත්තා කුඩම්මා සහ පාලිකා අක්කාගේ ක්‍රියාකලාපයන්ය. ජීවිතයේ ඉන්න හිටින්නට සෙවනක් හා අල්ප මාත්‍ර ලෙසින් ආහාර බිඳක් ද ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්ථාවද ලබා ලබාදුන් හේතුවෙන්ම මම තවදුරටත් ඔවුන්ගේ යටතේ සිටිනුයේ මේ ස්ථානයෙන් එළියට බැස්සහොත් මා හට යාමට කිසිදු සෙවණක් නොමැති හෙයිනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඉඩහසර ලැබුණහොත් මට මේ පියසෙන් මිදී යා හැක. අනාගතය පිළිබඳ සුබ සිහින දකින්නට මම බිය වෙමි. එය මගේ ජීවිතය මට කියා දුන් මගේ ඉරණමේ ශෝකාකුල භාවයයි. 


පාලිකා අක්කා සාමාන්‍ය පෙළ ද යාන්තමින් සමත්වූයේ ද දෙවතාවක්ම උත්සාහ කිරීමෙන් අනතුරුවය. ඉල්ලන ඕනෑම දෙයක් ඒ මොහොතේම ලබාදී ඈ නරක් කළේම කුඩම්මාය. තාත්තාද කුඩම්මා පවසන ඕනෑම දෙයකට හා හ්ම් ගෑවා මිසක ඊට එරෙහි වූයේ නැති තරම්ය. ඉදින් පාලිකා අක්කාහට ඉගෙනීමක් හෝ විභාගය සමත් වීමක් ගැන කිසිදු බරක් පතළක් තිබුණේ නැත.


"මොකෝ ඉගෙනගෙන විභාග පාස් කරලා කෙල්ලව රස්සාවකට යවන්න කියලද? ඒ නිසා විභාගවල ප්‍රතිඵල ගැන මටනං ගානක්වත් නැහැ"


කුඩම්මා සිය පුරාජේරුව පාලිකා අක්කාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව දිනයේවත් නැවැත්වූයේ නැත.

"හැබැයි ඉතින් හැමදාම අනුන්ගෙන් කකා බිබී මෙතැනම වැටිලා ඉන්න අයට මගේ කෙල්ලගේ ප්‍රතිඵල ගැන වද නොවී තමන්ට ගාමන්ට් රස්සාවකට හරියන ගානටවත් විභාග පාස් වෙන්න හිතට ගත්තොත් හොඳයි. තව තවත් නම් ඉතිං පිනට කකා ඉන්න හිතන් ඉන්නවනම් ඒවත් හිතෙන් අත ඇරගෙනම"


කුඩම්මා මුළුතැන් ගේ තුළ රාත්‍රියට උයමින් සිටිනා මට ඇසෙන්නට පැවසූයේ උපහාසය මුසු වදනිනි. මම කිසිත් හඬක් නොනගා සිනාවතින් සිටීමද ඇයට විටෙක තරහ උපද්දන්නක් විය.


"නිවේතා, මම මේ කීවේ තමන්ට තේරුණාද?"


ඇය තවත් හඬ තීව්‍ර කළාය. මම එයට ද හිසවනා මගේ පාඩුවේම වැඩ කටයුතු කළෙමි.


මා සාමාන්‍ය පෙළ ඒ නවයක් ගෙන සමත් වූ දා කුඩම්මා සහ පාලිකා අක්කාගේ මුහුණ වල අබ පුපුරන්නා සේම වූ නොරිස්සුම වඩ වඩාත් දැනෙන්නට විය. තාත්තා වචනයක් හෝ නොපවසා ඉවත බලා උන්නේය. සුබ පැතුමක් යනු මට සිහිනයක්ම විය. පාසලට ඇතුළු වූ දා සිට කිසිදු දෙමාපිය රැස්වීමකට ම'නිවසෙන් පැමිනියේ නැත. පණිවුඩ යවා ගෙන්වා ගන්නට තරම් මා අත වැරදි හෝ මා සම්බන්ධ පැමිණිලි පාසලට නොවුණු අතර පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්ව නගරයේ බාලිකාවට යාමට ලද අවස්ථාව පවා අපේ නිවැසියෝ ඉවතට හළහ.


ඉතින් පාසලේ ගුරු භවතුන් මෙන්ම බොහොමයක් සිසුසිසුවියන් මා හට කළේ හැකිතාක් උදව්ය .ඉඳහිටක සිත් රිදවා ලන අවඥා බර වදන් ඇනුම්පද සෝපහාසයන්ද නො වූවා නොවේ .නමුත් වැඩි හරියක් වුණේ පුදුමාකාර ලෙන්ගතු සිත සිත් ඇත්තවුන්ය. 


නිලීකා මට හමුවුණේ හය පන්තියේදීය .පදිංචිය මාරු කොට ගමට ආ නිලීකා ගමේ පාසලට තාවකාලිකව ඇතුළු වූයේ නගරයේ බාලිකා පාසලේ පුරප්පාඩුවක් ලැබෙන තුරුය. ඉතින් වසරකට නොඅඩු කාලයක් නිලීකාගේ ඇසුර මට ලැබිණ.නිලීකා පමණක් නොව ඇයගේ දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරුත් නිලීකාහට සමානවම මා හට සැලකූහ. තාත්තා ඇතුළු නිවැසියන්ගේ දරාගත දරාගත නොහැකි වෙනස්කම් සියල්ල උසුලා සිටින මා හට නිලීකා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් උදව් කළේ ඉතා රහසිනි.මන්ද යත් එය දැනගැනීම පවා මගේ අයහපතට හේතුවන බව සියල්ලන්ම මැනවින් වටහා ගත් බැවිනි .


නිලීකා හතේ පන්තියෙදී නගරයේ බාලිකා පාසලට අස් වී ගිය ද ඇයගේ මිත්‍රත්වය පැවතුණේ නොවෙනස්වමය .හැකි සැම විටම මා හට අවැසි පොත් පත් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මවෙත ලබාදුන්නේ ඇයගේ නිවැසියන් වෙතින් ඇය හරහාය .ඉතින් අනවශ්‍ය ආඩම්බරයක් උද්දච්ච කමක් පෙන්වා ඒ ලෙන්ගතුකම් ප්‍රතික්ෂේප කරන්නට මා හට කිසිදු අවශ්‍යතාවයක් නොවූයේ මේ වන විට මා අසරණභාවයේ අඩියටම කුඩම්මා සහ පාලිකා අක්කා විසින් ඇද දමා තිබූ හෙයිනි . අමතර පන්ති යාමේ කිසිදු හැකියාවක් නොවූ මා හට නිලීකා තමන්ගේ පෞද්ගලික පන්ති වල සටහන් සහ ප්‍රශ්න පත්‍ර සියල්ල මුද්‍රණ පිටපත් ගෙන ලබා දුන්නාය. අමතර පන්තියාමක් තබා පාසලේ පැවැත්වූ අමතර පන්තියකට පවා ඉඳහිට සහභාගි වූ මා හට ඒ දවස පුරාම අසන්නට ලැබුනේ අවලාදයන් පමණි. ඉතින් ඒ නමය යනු නිවේතා වන මාගේ ජීවිතයට ගෙනාවේ සතුටක් වුව මෙය බෙදා ගන්නට මා හා සිටියේද නිලීකා පමණි. 


"සාමාන්‍ය පෙළට ඒ නමයක් ගත්තා කියලා හුඟාක් ඉහළින් වැජඹෙන්න හිතන් ඉන්නව නම් එහෙම වැජඹෙන්න තමන්ට තැනකුත් හොයාගන්න වෙයි"


කුඩම්මා මගේ සිතේ වූ අන්තිමම සන්තුශ්ටිය පවා සුණු විසුණු කළේ එලෙසය.


උසස් පෙළට විද්‍යා විෂයන් හදාරන්නට මා මනා සුදුසුකම් සපුරා තිබුණද කුඩම්මා සහ පාලිකා අක්කා එයට කිසිසේත්ම මා හට ඉඩක් නොදෙන බව දැන උන්නෙමි .මන්ද විද්‍යා විෂයයන් හදාරන්නට නම් මා නගරයේ පාසලකට යා යුතු වූ හෙයිනි. ඉතින් එයට සිහිනෙනුදු මා හට ඉඩක් නොලැබෙන බව මම ඒ වන විට ද දැන උන්නෙමි. විද්‍යා විෂයයන් හැදෑරීම පිළිබඳ ඉතින් මට මුල සිටම සත්‍ය වශයෙන්ම සිහින දැකීමක් නොවීය. මගේ සිහින රැකියාව වූයේ ගෘහ නිර්මාණ ශිල්පයයි.ඉතින් ඒ සඳහා ද මා හට ඉඩක් නොමැති වීමට බොහෝ විට ඉඩ ඇති නිසා වාණිජ විෂයයන් හැදෑරීම ප්‍රමාණවත් බවට මම හිත හදා ගත්තෙමි.



************************************************************************************************************** 

යලි හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)

Wednesday, February 2, 2022

04. හතරවෙනි කොටස (හසරැල් සැළුනාවේ )

 




"මොකද හසිත ඩොක්ටර්ස්ලා කියන්නේ?" 


සරෝජ් හිරිපිටිය පෞද්ගලික රෝහලේ ලොබිය තුළ හිඳ ගනිමින් හසිතගෙන් විමසූවේ ඇඟිලි තුඩින් නළලත තදින් තෙරපා ගනිමිනි. පෙරදා මැහුම් දැමූ තුවාලයේ වේදනාවද විටින් විට මතු වෙමින් පවතිනුයේ උදේ අදාළ වේදනානාශක මාත්‍රාව තවමත් නොගත් හෙයින් විය යුතුය.නමුත් ඊට එහා මේ අනපේක්ෂිත සිදුවීම හදවත දවාලයි.


"සර් බෙහෙත් ටික.."


සංජය බෙහෙත් කවර සහ වතුර බෝතලයද ගෙන ඔහු වෙත පැමිණියේ ඒ මොහොතේමය.


"තැන්ක්ස් කොල්ලෝ මට උදේ බෙහෙත් ටිකත් මිස් වුණා. ඉවසන්න බැරිව උන්නේ "


බෙහෙත් පෙති ටික අතට ගෙන කවරය යළි සංජය අත තබමින් සරෝජ් හිරිපිටිය පැවසීය. 


"එක්කෙනෙක් මදිවට දෙන්නෙක්ම අමාරුවේ වැටිලා බෑ සර්. මේ වෙලාවේ සර්වත් පොඩ්ඩක් ඔලුව කෙලින් කරන් පරිස්සමින් ඉන්න" 


සංජය මඳක් තදින් පැවසුවේය. ඔහු තම ප්‍රධානියා බව සැබවි. එහෙත් මානුෂීය ගුණාංග වලින් පිරි මෙවන් මිනිසෙකු තම සේවා කාලය තුළ තමන්හට හමුව නැත.ඔහු රැකබලා ගැනීමම තමාගේ වගකිමක් ලෙස සංජය සැලකුවේය. හසිත එවදන් වලට හිස වැනුවේ සංජයගේ වදන් අනුමත කරන්නාක් මෙනි. සරෝජ් හිරිපිටිය එබස් නෑසුනා සේ බෙහෙත් පෙති උගුරට දමා වතුර උගුරු දෙකක් පානය කොට නැවත වතුර බෝතලය සංජය අත තැබීය.


"ඩොක්ටර්ස්ලා කියන්නේ හෙඩ් ඉන්ජරි එක නම් දැන් ස්ටේබල් වෙලා කියලා. ඒත් චුට්ටක් රිකවර් වෙනකල් තත්වෙ කියන්න බෑ කියනවා"


හසිත සුසුමක් හෙලා පැවසුවේය. මේ රෝගී සයනයෙහි වැතිර සිසුන් සිටින්නේ තමාගේ නැන්දණිය නොව..ඇය තමාගේම අම්මා බඳුවිය. මානවී සමග ප්‍රේම සම්බන්ධය සැළවූ දා පටන් ඇය තමා හට සැලකුවේ තමන්ගේම දරුවකුට සේය.


"බබී තාම මේක දන්නේ නැහැ දැනගත්ත වෙලාවට තමයි ප්‍රශ්නෙ.දන්නවනේ අම්මයි දුවයි ගැන ඉතින්"


හසිත පැවසුවේ ඉතා වෙහෙසකර බවිනි. 


මේ වන විටත් මානවී අම්මාට ඇමතුම් දෙන්නට උත්සාහ කරනු ඇත.ජංගම දුරකතනය ක්‍රියා විරහිතව නොමැති හෙයින් එය නාද වනු ඇත.ස්ථාවර දුරකථනයේ වයරය නිවේතා අතටම කැඩී ආ හෙයින් විසන්ධිව ඇත. 


"වැඩිය කලබල නොකර කෙල්ලට විස්තර කියන්න හසිත"


සරෝජා හිරිපිටිය සිය නළලතට අතින් තට්ටු කරමින් පැවසුවේ නොසන්සුන්වය. කෙසේවෙතත් ඇයට මෙවන් ඉරණමක් උදා විය යුතු නොවේ.ජීවිතයේ කිසිවෙකුට හිරිහැරයක් කරදරයක් නොකළ ඇය, අනුන් වෙනුවෙන්ම සිත් වේදනා විඳි ඒ සොඳුරු ගැහැනිය පිළිබඳ උපන් වේදනාවෙන් සරෝජ් හිරිපිටියගේ සිත දැවී ගියේය. 


"අම්මට උදේ මම කෝල් කලේ ඊයෙ පෙරේදත් එයා ටිකක් අවුල් ගතියෙන් උන්න නිසා.එදා හොස්පිට්ල් ගිහින් ආව දවසේ ඉඳන් එයා ටිකක් අවුලෙන් උන්නේ"


හසිත සිය ඇමතුම දීමට හේතුව සරෝජ හිරිපිටිය ඉදිරියේ පවසා උන්නේය.ඔහුට තිබුණේ බරපතළ පසුතැවුමකි.සිය ඇමතුමට පැමිණීම නිසා ඇද වැටීම හේතුවෙන් මෙසේ වූවායයි සිතීමම ඔහුට බලවත් පසුතැවීමක් ගෙන ආවේය .

"ඒත් හසිත ඩොක්ටර්ස්ලා කියන්නේ නිවීට සෑහෙන කාලයක ඉදලා හයි බ්ලඩ් ප්‍රෙෂර් තිබිලා කියලනේ. මේ මනුස්සයා ඔයාලටවත් කිව්වේ නැද්ද බෙහෙත් අරගෙනද හරි පිළිවෙලකට?" 


සරෝජ් හිරිපිටියගේ වදන් වලට යම් තද බවක් එක්වෙමින් තිබුණි. 


"අම්මි වීපී කොතලාවලගෙන් බෙහෙත් ගන්නවා. එයා අපට වත් ගමන් වලට යන්න එන්න දෙන්නේ නැහැ. තනියම යන්නේ නමුත් එයාගේ වැඩ නීට්නෙ අංකල්. බෙහෙත් නොබී ඉන්න ඇති කියලා හිතන්න අමාරුයි"


හසිත පැවසුවේ කල්පනාවෙන් යුතුවය. ඈත කොරිඩෝරය මතුව ඔවුන් වෙතට එන වෛද්‍යවරයා දුටු වහාම හසිත නැගී උන්නේය. සරෝජ් හිරිපිටිය අත ඔසවා වෛද්‍යවරයාට සන් කලේ නැගී සිටින්නට උත්සාහ දරමිනි.


"හා හා ඇමතිතුමා ඔහොම ඉන්න. ඊයෙ පෙරේදා ඉන්ජර්ඩ් වුණ ගමන්නේද මේ ? නැගිටින්න ඕනේ නැහැ"


වෛද්‍යවරයා ඈත සිටම ඔහු වෙත අත ඔසවා පවසමින් පැමිණියේය. 


"මොකද ඩොක්ටර් අම්මිට?"


හසිත ඇසූවේ නොඉවසිල්ලෙනි.


"එයා රිකවර්ඩ්. අපි එයාව අදට අයිසීයූ තියෙනවා.හෙට අනිද්දා සමහර විට ඊට පස්සේ අපිට එයාව නෝමල් වෝඩ් එකකට දාන්න තමයි තීරණය" 


වෛද්‍යවරයා හසිත සහ සරෝජ් හිරිපිටිය දෙදෙනාටම පොදුවේ පැවසීය. 


"සර්ජරි එක අපි හිතුවට වඩා බරපතළ එකක් වුණා. කොහොම හරි මැනේජබල්. නමුත්?"


වෛද්‍යවරයා කතාව නවතා සුසුමක් හෙලා සිනාසෙන්නට තැත් දැරීය. සරෝජ් හිරිපිටිය සිතාගත නොහැකි අදිසි හැඟුමකින් වෙවුලා ගියේය.ඔහු නිහඬවම වෛද්‍යවරයා දෙස බලා උන්නේය.


"එයාගේ වම් පැත්ත පැරලයිස් වෙලා තියෙන්නෙ.දකුණු පැත්තේ ඔලුව වැදුණත් එක්කම එයාගේ හයිපර්ටෙන්ෂන් එකේ බලපෑමත් එක්කම අභ්‍යන්තර ලේ ගැල්මක් වෙලා තියෙනවා.ඉතින් දැනට වම් පැත්ත වැඩ කරන්නේ නැහැ. විල් සී අපට එයාට බෙහෙත් වගේම තෙරපිවලින් එක්ක හෙල්ප් කරන්න පුළුවන් වෙයි. විශ්වාසය තියාගම්මු"


වෛද්‍යවරයා ඔවුන්ගෙන් සමුගෙන ගියේ එසේ කියමිනි. අකුණු සහසක් හිසවට පිපිරුවා වැනිය. සරෝජ් හිරිපිටිය හෙලූ සුසුම් මහා වේගයෙන් හසිතට දැනුණි.


"මං කිව්වෙ හසිත , මේ මනුස්සයා හරියකට බෙහෙත් බීලා නෑ.නැත්නම් හයිපර්ටෙන්ෂන් එන්න විදියක් නෑනෙ"


සරෝජ් පැවසුවේ වේදනාව සහ තරහා දෙකම මුසු ස්වරයෙනි. හසිත නිහඬව හිස වැනුවේය.


"අංකල්, අපිට බලන්න දෙන්නේ නැහැනේ අම්මිව. ඒ නිසා දැන් අපි ගෙදර යමුද?"


සරෝජ් හිරිපිටිය දෙස බලමින් හසිත විමසුවේය.සරෝජ් සිටියේ සුසුමක් හෙළමිනි.


"පුතා මට නිවීගේ ගෙදර යතුර දෙන්න"


ඔහු හසිත වෙත අත පෑවේ එසේ කියමිනි. හසිත කිසිදු පැකිලීමක් නොමැතිව යතුරු ඔහු අත තැබීය.


"දැන් අපේ ගෙදර යමු.එහේ පස්සේ යමු අංකල්"


හසිත පැවසුවේ සරෝජ් හිරිපිටියගේ මුහුණේ පවත්නා කම්පනය දැකය. ඔහුටද විවේකය අවශ්‍ය මොහොතකි මෙය.


"නෑ පුතා අයෑම් ඕකේ.මම යතුර ආපහු එන ගමන් ඔයාට දෙන්නම්. මට එතන බලන්න ඕනේ"


සරෝජ් හිරිපිටිය හසිතගේ උරහිසට තට්ටුවක් දමමින් රිය වෙත ගියේ සංජීවටද අමතමිනි. හසිත සුසුමක් හෙලා ඔහු සමගම රිය අංගනයට විත් ඔහුට සමු දුන්නේය.


"සංජය මම ලොකේෂන් දාලා ඇති එහෙට යමු"


සරෝජ් හිරිපිටිය මොන්ටෙරෝ රථයේ පසුපස අසුනට වී දෑස් පියා ගත්තේ එසේ කියමිනි. පෙරදාට වඩා,ගඩොල් පහර වැදුණු තුවාලයට වඩා දැන් තදින් දැනෙන්නේ හිතේ අලුතින් ඇතිවූ තුවාලයකි.දෑස් කෙවෙණි උතුරා පිරෙන්නට එන කඳුළු සමගින් ඇමතිවරයාගේ මුවද ඇදවී වේදනාවෙන් බරවිය. 


"සර් අපි ලොකේෂන් එකට ආවා"


සංජය අමතන තුරුත් සරෝජ් හිරිපිටිය උන්නේ දෑසම තදකොට පියාගෙනය. අසුනේ පසෙක වූ ටිෂූ පෙට්ටියෙන් අතට ඇද ගත් කිහිපයකින් මුහුණ පිසදාගෙන ඔහු රියෙන් බිමට බැස්සේය.



"වාහනේට වෙලා ඉන්න මම ඉක්මනට එන්නම්"


සරෝජ් හිරිපිටිය සංජය නවතලූයේ එසේ කියමිනි. කළු පැහැයෙන් පින්තාරු කළ ගේට්ටුව විවරකොට ඇතුල්වූ සරෝජ් හිරිපිටිය සුසුමක් හෙලුවේ හරිත වර්ණයෙන් දිදුලන මනාලෙසට නඩත්තු කළ "මයි හෙවන් - my heaven" දෙස මොහොතක් බලා සිටය .ගහකොළක දැවටෙන මද නල පවා නිවේතා නැති සොවින් වැළපෙන්නාසේය.


කලිසම් සාක්කුවෙන් යතුර අතට ගත් සරෝජ් හිරිපිටිය ඉදිරි දොර විවෘත කොට නිවසට ඇතුළු විය. කැඩී බිඳී ගොස් තිබූ මල් බදුන් කිහිපය සහ බිම පෙරළී තිබූ දුරකථනයේ කොටස් වෙත ඔහුගේ දෑස් යොමුවූයේ එසැණින්මය. සිමෙන්ති ගෙබිම ලේ පහරක් මිදී ගොසිනි .තවදුරටත් වලකා ගත නොහුණු කඳුළක් හෙමින් ගලා එන දැනෙද්දී සරෝජ් හිරිපිටිය නිවේතාගේ කාමරය වෙත පිය එසවීය.


එකිනෙකට යාබද වූ කාමර දෙකෙන් මුල් කාමරය ඇයගේ විය. ඔහු දොර මඳක් තල්ලු කොට දමා ඇතුළට ඇවිද ආවේය. කිසිදා පැමිණ නොතිබුණද මේ නිවස තමාට ඉතා හුරු බවක් දැනෙන්නේ මන්දැයි සරෝජ් හිරිපිටිය යළි යළිත් කල්පනා කළේය. මේ සියල්ල නිවේතාගේ සිහිනයන්ය. නිවේතාගේ පිළිවෙල,කලාත්මක බව ,දක්ෂතා සියල්ලම මුළු මිදුල, ගෙවත්ත, මුලුතැන්ගෙය පමණක් නොව නිදන කාමරයේද නොඅඩුව පැවතුණි.සරෝජ් හිරිපිටිය කාමරය සිසාරා එකම බැල්මක් හෙලීය. 


ඉන්පසු සෙමින් ඇවිද ගොස් ඇයගේ යහනේ හිඳ ගත්තේය. ලා රෝස පැහැය සහ පීච් පැහැය එකට මුසු කළ ඇතිරිල්ල සහ පීච් පැහැගත් කොට්ට දෙක එදින උදයේ සැකසූ අන්දමටය. ඔහු සුසුමක් හෙලා ඇයගේ සයනයේ වැතිරුණේය.


"අපේ ජීවිතවලට මේ තරම් වරදින්න අපි කොච්චර අවාසනාවන්තද සුද්දි"

ඔහු තමාටම කියාගත්තේ නිවේතාගේ ඇඳ අසල වූ කුඩා කබඩය මත මඳ සිනහවක් පා සිටින ඇයගේ සේයාරුව අතට ගනිමිනි.ඒ සිනහව.. කවදත් තමා වශී කළ කට කොනකින් නැගුණු සුන්දර සිනහව දෙස මොහොතක් බලා උන් සරෝජ් හිරිපිටිය සේයාරුව පසෙක තබා ඇද පසෙක වූ කුඩා කබඩය විවෘත කළේය.සම් බැම්මෙන් බැඳී තරමක් ලොකු පොතක් එහි වූයේ උඩින්මය. ඊටත් යටින් තවත් එබඳුම පොත් කිහිපයකි.සරෝජ් හිරිපිටිය ඒ සියල්ල අතට ගත්තේය.


එකින් එක පෙරලා බැලුවේය.ඔහුගේ මුවඟට වේදනාව අතරින්ම සිනහවක් ද මතුවී ආවේය. අසල වූ නවා තැබූ රෙදි බෑගය අතට ගෙන සේයාරුව සහ පොත් කීපය එයට දමා ගන්නා විටම කාමරයට දිව එන අඩි ශබ්දය ඔහු ඇඳෙන් නැගිට්ටවාලීය.


"අනේ එයා අම්මා අම්මා"


මානවී හඬාගෙන සරෝජ් හිරිපිටියගේ තුරුලට වැදුනාය.හසිත ඇය පසුපස හති ලමින් දිව ආවේය. 


"ඊසි..ඊසි.. චූටි දුව. අම්මා හොඳින්. ශී විල් බී ඕකේ සූන්. මේ බලන්න ඔයාට මෙහෙම අඬන්න හොඳ නෑ. දුවන්න හොඳ නෑ.චූටි මැණික"


සරෝජ් හිරිපිටිය බෑගය පසෙක තබා ඇය සන්සුන් කරන්නට වෙර දැරීය. තවත් විනාඩි ගණනක් හඬා වැටුණ මානවී ක්‍රම ක්‍රමයෙන් සන්සුන් වන තුරුම සරෝජ් හිරිපිටිය ඇයගේ හිස අත ගෑවේ ඇයව නිවේතාගේ යහනේ හිඳුවමිනි.


"මට අම්මව බලන්න ඕනෑ"


ඉද්ද ගැසුවා සේ නැගී උන් මානවී එකහෙලාම පැවසුවාය.


"අම්මිට සර්ජරි එකක් කරලා ඉන්නේ. මේ අහන්න චූටි දුව අම්මා වෝර්ඩ් එකට දාන දානකල් මේ සිටුවේශන් එකේ අපිට එයාව බලන්න යන්න බෑ .ඒක එයාට වගේම ඔයාටත් රිස්ක්. ඔයා ඒක තේරුම් ගන්න ඕනේ.දැන් හසිත එක්ක ගෙදර යන්න.මං ඔන්න එයාගෙ කබඩ් එකේ කබඩ් එකට පැන්නා. රහස් ගබඩාව මගේ භාරයට ගත්තා. බලමු මොනවද මේකේ තියෙන්නෙ කියලා"


සරෝජ් හිරිපිටිය සිනාවෙන්නට තැත් දරමින් පැවසුවේය. මානවී කඳුළු අතුරින් සිනහා වුණා ය 


"මට වත් ඕවා බලන්න දුන්නේ නැහැ එයා ඔක්කොම හොර වැඩ ඕක යතුරු දාගෙන කළේ. දැන් මේ ටික ඔයාට අහුවුණ එක හොඳ වැඩේ. එයාට හොඳම වැඩේ"


සරෝජ් මානවීගේ හිසකේ අවුල් කරමින් මද සිනහවක් පා හසිත වෙතට ඇය ලංකළේය.


"අපි යං එහෙනම්"


තිදෙනාම නිවේතාගේ කාමරයෙන් පිටව ආවේ සිත්වල ඊයම් බරු එල්ලුවා සේ මහත් බරක් ඇතිවය.


"ගස්කොලන්වලට කාවහරි එවල වතුර දම්මවන්න හසිත"


සරෝජ් හිරිපිටිය අවට සිසාරා බලමින් පැවසුවේය.


"නැත්තං අම්මි ගෙදර එනකොට අපිට ඇඩ්මිට් වෙන්නයි වෙන්නේ"


හසිතද එයට ඌණ පූර්ණය සැපයුවේය. කඳුළු අතුරින්ම දෙදෙනාගේ මුවග මද සිනහා උදාවිය. 



    ***


සරෝජ් හිරිපිටිය සිය නිවසට විත් ගත දොවා ගත්තේ මෙවන් කාලයක පිටතට ගොස් නිවසට ඒම පවා අවදානම්කාරී බැවිනි. සිරිදාස විසින් සාදාගෙන ආ උණුසුම් කෝපි කෝප්පය කාමරයේ බැල්කනියේ කුඩා මේසය මත තැබූ සරෝජ් හිරිපිටිය නිවේතාගේ නිවසේ සිට ගෙන ආ රෙදි බෑගය තුළ වූ පොත් ටික පිටට ගත්තේය.


"මහත්තයා රෑට කෑමට මොනවද හදන්න ඕන?"

 

සිරිදාස සුපුරුදු පැනය අසන්නේය. ආහාරයක් ගන්නටවත් හිතට ප්‍රියබවක් නැත.එහෙත් ඖෂධ ගන්නා හේතුවෙන් ආහාර ගත යුතුමය.


"සුප් එකක් ඇති සිරී.අර නිවෙන්නෙ නැති භාජනේට දාලා අස්කරල ඔයා නිදාගන්න.මම ඒක රෑවෙලා බොන්නම්"


සිරිදාස පිටව ගිය පසු සරෝජ් මඳක් නිවුණ කෝපි බඳුණ තොළගාමින් බෑගයේ වූ පොත් පිරික්සීය.


එකම ප්‍රමාණයේ පොත් හතරකි. බැලූ බැල්මට දිනපොත් සේ නො වුවද නිවේතාගේ විවිධාකාර සුකුරුත්තං වැඩ ඒ පොත් කිහිපයේ ද අඩු නැතිව තිබුණේය. ඇය ලියන්නට පටන් ගෙන තිබුණාය.සරෝජ් හිරිපිටිය ඒ අකුරු අතර අතරමං වූයේ ඔහුට ද නොදැනුවත්වය.


යලි හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)