Sunday, June 25, 2017

65. වැස්ස විඳින්නට එන්න ඔබත්




some people feel the rain...others just get wet....


මෙන්න මේ කතාව හුඟක් වෙලාවට මුහුණු පොතෙත් තව එක එක තැන් වලත් පල වෙනවා මම දැකල තියනවා.....

මේක කියලා තියෙන්නේ බොබ් මාලේ....

ඇත්තෙන්ම ඔබ මේ දේ විඳලා තියද....

අපි හැම තිස්සෙම වැස්සෙන් ගැලවෙන්න දුවනවා මිසක වැස්සට තෙමෙන්න ඉඩ හැරලා ඒක විඳිනවද.....

ඔව් ඉතින් වැඩට යන වෙලාවක ගමනක් යන වෙලාවක ඔය කියන දේ කරන්න බෑ තමයි...

ඒත් ගෙදර ඉන්න වෙලාවක....නිකම් හිතෙන්නේ නැද්ද...වැස්සට පැනල පොඩ්ඩක් තෙමෙන්න.....


අද වහින දවසක්...නිවාඩු දවසක්....
ස්වාමිපුරුෂයා ට නිවාඩු නැහැ....උන්නත් ඕනනං අහයි...මනුස්සයෝ පිස්සුද කියල...

ගෙදර ඉන්නේ මම යි ළමයිනුයි බල්ලෝ දෙන්නයි....

ඉතින් කාගේ තහනමක්ද...කවුරු මේක විග්‍රහ කරන්නද...විවේචන කරන්නද....

දෙපාරක් නොහිතා බැස්සා මිදුලට....

කොල්ලෝ දෙන්න හිනාවෙනවා..බල්ලෝ දෙන්න මට හවුලට පැන්න මිදුලට....


වැහි බින්දු එකින් එක මුහුණට වැටෙන කොට...ඒ දැනෙන දේ ..අකුරු වලට හරවන්න අමාරුයි.....

සෙරෙප්පු නැතුව මිදුලේ තණකොළ ගොල්ලේ තෙමි තෙමි ඇවිදින්න....වැස්ස එක්ක හමන සුළං රැලි වල පහස විඳින්න.....මිට වඩා වෙලාවක් වෙන කොයින්ද....

මං කියනවට එක දවසක් ඔන්න ඔය අටෝරාසියක් තියන වැඩයි බරපතල සිතුවිලියි අමතක කරලා....මෙන්න මේ දේ කරන්න.....හිතේ ඇතුලේ පොඩි හරි පීඩනයක් තියේනම්....එක වැහි බිංදු එක්ක අතුරුදහන් වෙන හැටි බලන්න.....



විසිරි .......

Thursday, June 22, 2017

64. ජීවිතය ආදරය ගැන පුංචි කතා...5

අවසානයට පෙර 




                                      


ඒ අම්මා ...ඔව් ඇයට අවුරුදු 26ක් වුණා පමනයි...ඒත් ඇය ශෝකයෙන් පීඩිතව බලාඋන්නෙ ලියුකේමියාවෙන් අවසන්ම මොහොතට ලඟාවෙන ඇගේ සුරතල් පුතු ...බොප්සි...දිහා....
ඇගෙ හදවත ඉමහත් වේදනාවෙන් පීඩිතව තිබුණත් ඒ එක්කම තිර අධිෂ්ඨානයකින් පිරී පැවතුණා....

ඕනෑම අම්මෙක් වගේම ඇයටත් ඕනෑ වුණේ...තමන්ගෙ පුතා වැඩෙන්න ...වැඩිලා ඔහුගේ හීන ඉටු කරගන්න එක දකින්න....
නමුත් තව දුරටත් එම අපේක්ෂාව පවත්වා ගෙන යන්න බැරි ලියුකේමියාව මැදට ආව නිසා...නමුත් ඇයට ඕන වුණා...තව දුරටත් තමන්ගෙ පුතාගෙ සිහිනයන් ඉටු වෙනවා දකින්නට....

ඇය..අම්මා සෙමින් පුතාගෙ අතින් අල්ලා පපුවට තබා මෙහෙම ඇහුවා....
" පුතේ....ඔයා කවදාහරි ලොකු වුණාම කවුරුන් හෝ වෙන්න හීන දැක්කද..? ඔයා ඔයාගෙ ජීවිතේ ඉටු වෙන්න ඕන කියලා මොකක් හරි බලාපොරොත්තුවක් එහෙම තිබුණද...? "
" අම්මා..මම ලොකු වුණාම ගිනි නිවන භටයෙක් වෙන්න ආසාවෙන් උන්නා..." ඒ පුතාගෙ උත්තරයයි....
අම්මා..මඳ සිනහවක් පා මෙන්න මෙහෙම කිව්වා ...
" ම්ම්ම්....අපි බලමුකෝ ඒක අපිට ඉටු කරගන්න පුලුවන් වේවි බොහොම විට..."

ඊලඟ දවසේ අම්මා එම ප්‍රදේශයේ ගිනි නිවන හමුදා ඒකකයට ගියා...එහි ප්‍රධාන ගිනි නිවන නිලධාරියා වුණෙ බොබ්...ඔහු ඉතා විශාල වූ හදවතක් හිමි අපූරු මනුස්සයෙක්...අම්මා බොබ් හට සියලු විස්තර පහදා දුන්නා...ඉන් පසු ඇගේ ඉල්ලීම වුණේ...ඔවුන් හට හැකි නම් තමන්ගේ පුතාට ගිනි නිවන වාහනයක මඳක් දුර ගමන් කල හැකිද යන්නයි....

" නෝනා ...අපි මීට වඩා යමක් කරන්න බලමුද ඔබේ පුතා වෙනුවෙන්...අපි එදා මුළු දවසෙම ඔයාගේ පුතා අපේ ගෞරව සාමාජිකයෙක් කරන්නම්....ඔහුට එදාට අපේ සේවා ස්ථානයට පැමිණෙන්න පුළුවන්..අපි එක්ක කෑම කාලා...ඔක්කොම ගිනි නිවන ඇමතුම් වලට අපි එක්ක යන්නට පුළුවන් ඔහුට....අපි එදාට ඔහුට ඇත්තම නිල ඇඳුමකුත් සපයන්න හිතාගෙන ඉන්නවා...නිකම් සෙල්ලම් ඇඳුමක් හෙම නෙවෙයි නෝනා..ඔහුටම නිර්මාණය කරන..අපේ ෆීනික්ස් නිල ලාංචනය පවා තියෙන ඇඳුමක්...ඒ වගේම රබර් බූට්ස්...මේ ඔක්කොම නිර්මාණය කරන්නේ අපේම ආයතනයේම නිසා..අපිට ඒ ඇනවුම ඉක්මනින් ගන්න පුළුවන් වෙයි..."

දින තුනකට පසු බොබ්...ගිනි නිවන නිලධාරියා...බොප්සි ව ආයතනයට එක්කර ගෙන ගියා..ඔහුට නිල ඇඳුම අන්දවාගෙන....නිල රථයේ ඔහුව රැගෙන ආයතනය වෙත ගෙන ගියා...බොප්සි එදා දිනයේ ගිනි නිවීම් අවස්ථා තුනකට සහභාගී වුනා...ඔහු සියලුම ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන මගින් වීඩියෝ ගත කරනු ලැබුවා....

මේ සතුට හා ඉටු වුන අපේක්ෂා සමග බොප්සි අපේක්ෂා කළ කාලයටත් වඩා මාස තුනක් බොහෝ අපුරුවට ජිවත් වුවා......

එහෙත් එක රැයක....බොප්සි...ගේ රෝග ලක්ෂණ බැරෑරුම් වෙන්නට පටන් ගත්තා...ප්‍රධාන හෙද නිලධාරිනිය...බොප්සි තනිවම සමුගත යුතු නොවන බව වටහා ගත් අතර නිවැසියන්ට මේ බව පවසා වහා රෝහලට එන ලෙස දැනුම් දුන්නා....එකෙනෙහිම ඇයට සිහි වුනේ බොබ් ඇතුළු ගිනි නිවන හමුදා ඒකකයේ පිරිස...

ඇය බොබ් අමතා ...හැකි නම් මේ සමුගන්නා අවස්ථාවට සියලු භටයන් සිය නිල ඇඳුමෙන් පැමිණේ නම් වඩා සුදුසු බව ප්‍රකාශ කළා,,,,,

බොබ්.....ඔහු නැවතත්...අවසරයක් පැතුවා...


"අපට වඩා හොඳ දෙයක් කරන්නට අවසර දෙන්න....ඔබට තව ටික වෙලාවකින් ගිනි නිවන හමුදා රථයේ සයිරන් හඬ ඇසේවි..එවිට ඔබ සියල්ලන්ටම දැනුම් දෙන්න...මෙය ගින්නක් නොවන බවත්..අප එන්නේ ...ගිනි නිවන හමුදාවේ සේවය කළ...ඉතාම අපූරු සාමාජිකයා අවසන් වතාවට දැක බලාගන්නට බවත් ....ඒ වගේම ඔබට පුළුවන් නේද බෝප්සිගේ කාමරයේ ජනේලය හැර තබන්නට...."

විනාඩි පහකට පමණ පසු ගිනි නිවන රථය පැමිණියා...තුන් වන තට්ටුවේ බෝප්සිගේ කාමරයට..දිගු කළ ඉනිමග හරහා...ගිනි නිවන භටයන් එකා පසු පස එකා බැගින් කාමරයට ඇතුල් වුවා...

බෝප්සිගේ මවගෙන් අවසර ගත ඔවුන් සියලු දෙනා  බොප්සි වැළඳගත්තා...ඔවුන් ..ඒ මොහොතේ ඔහුට පැවසුවා.....ඔහු කෙතරම් අපූරු දරුවෙක්ද යන බවත්...ඔවුන් ඔහුට ඉතාම ආදරේ බවත්....

අවසාන හුස්ම හෙලන්නට මත්තෙන් ....බොප්සි...බොබ් වෙත දෑස යොමු කළා.....

" කියන්න...මම ඇත්තටම ගිනි නිවන භටයෙක් කියා ඔබ හිතනවද...? " 

ප්‍රධානියා....බොබ්...ඉතාම ස්ථිර ස්වරයෙන් මෙසේ කීවා...

" ඔව් බොප්සි.....ඔබ සැබෑම ගිනි නිවන භටයෙක්..."

එම වදන් සමගම....බොප්සි...ඉතාම සුන්දර  සිනහවක් සමගින් සදහටම දෙනෙත් පියා ගත්තා.....


***************************************************



පරිවර්තනය.... chicken soup for the soul ....වෙතින්.....



සටහන...විසිරි ගෙන්......

Wednesday, June 14, 2017

63. රයිලිගෙ කතා 2





ඔයාල ඔක්කොටම මාව අමතක වුණත් ....සොඳුරු සඳවතී අක්කාට මාව අමතක වුනේ නැහැ..එයා අපේ අම්මට මගේ ගැන ලියන්නම කියල බල කරනවලු....

මෙහෙ ගෙදර අය ගැන මට දැනෙන හැටි ලියලම දෙවනි කොටස මම පටන් ගන්න හිතුවා....එහෙම නේද හොඳ....පලවෙනි කොටස කියෙව්වෙ නැති අය ඕන්නම්    මෙතනින් ගිහින් කියවල එන්න මගෙ ගැන

අපෙ අම්මගෙ එයා...මහත්තයා...මට එයා ව ඒ හැටි අල්ලන්නෙම නෑ...මාව නිකම් විහිලුවකටමයි ගන්න හදන්නෙ...මුලදි ටිකක් ශේප් එකේ උන්නට...පස්සෙ පස්සෙ මම වත්තෙ තැන තැන ශරීර කෘත්‍යය කරන එකෙන් තමා එයා මා එක්ක අමනාප වෙන්න ගත්තෙ...
අනික එයා වැඩට ගිහින් එන වාහනේ රෝද වල තියන බලු ගන්ධයට ඉතින් ජෙෆුයි මායි ප්‍රතිචාර දක්වනවා..ඒක අපේ වර්ගයාගෙ ගතියනෙ...

උදේ නැගිට්ට වෙලේ ඉඳන් මේකට එයා අපිට බනිනවා,....ජෙෆ් කාලයක් තිස්සෙ ඒ ගෙදර උන්න නිසා එයාට ටිකක් පිලිගැනීම වැඩියි....ජර්මන් ශෙපර්ඩ් කියන්නේ බුද්ධිමත් වර්ගයක්ලු....අනෙ මගෙ කට..ඉතින් ජෙෆ් චූ දාන ඒවටත් මේ අහිංසක මමයි පළි...මේකා නිසා මාත් බැනුම් අහනවා

නරකම කෑල්ල මේකෙ ලියලත් බෑ...නොලියත් බෑ...දැන් මගෙ නැට්ට නෑ කියල මං කිව්ව නෙ...ඉතින් මගෙ පස්ස වැහෙන්නම දිගට මයිල් පිරිලා....ඔය අස්සෙන් මගෙ පශ්චාත් බාගෙ ලාවට පේනවා...

ඉතින් අපේ අම්මගෙ මහත්තයා මා එක්ක මල පැන්නම කියන්නෙ..."-ට හැලෙන්න දෙන්නෙ...ආයෙ චූ කලොත් කියල..."ශරීරයකට අත්‍යාවශ්‍ය අවයවයක් වෙච්චි...මං තාම පොඩි එකා වෙච්චි..එයාට වටින්නෙ නෑ..මට ඒ වගේ තර්ජනයක් කරන්න...මම ඉතින් එවෙලෙට කරබාගෙන බිම බලන් යන්න යනවා...

එයා ගැන මේ ඇති...දැන් අපෙ ඉලන්දාරි දෙන්නා ගැන ලියමුකො

ඔය මෙහෙ ගෙදර ඉන්න ලොකු ඉලන්දාරියා ඉන්නවා නේද....දැක්කම හිතෙන්නේ කන්න බොන්න නැති දේශයක ඉඳන් ඇවිල්ල කියල.....ඒකාට වඩා මට පුළුවන් කන්න....මාත් එක්ක කෝලමට එන්න නම් කියාපු මෑන්..වෙලාවකට රෙස්ලින් ගහනවා කියලා මාව බිම පෙරලනවා.....එහෙම නැත්නම් මාව මැෂින්ගන් එකකට අරන් මගෙන් වෙඩි තියනවා ...ඕව ෆොටෝවකින්ම මිසක් කෙනෙක්ට කිව්වට තේරෙන්නේ නැහැ ....

පොඩි මෑන් නම් මගේ ෆොටෝ ගන්න තමයි ආස...මාත් පවුනේ කියල ඕන ඕන විදියට අරගන්න දීලා බලන් ඉන්නවා....ඒවා ඉතින් ඉන්ස්ටග්රාම් වල එහෙම දානවා කියන්නේ...ඒ ගන්න ඒවාට අඩු ගානේ මට මාරි බිස්කට් එකක් වත් ලැබෙනවා නම් දුකක් නෑ.......( ඒ කියන්නේ මම මාරි කන්න ආසයි කියන එක...කවදාහරි මාව බලන්න එන අයට සිහි කිරීමක් මේ ...)

ඔය කවුරු ගැන කොහොම ලිව්වත් අම්මා ගැන ලියන ටික තමා රහම....ඔයාලත් බලන් ඉන්නේ ඒ ටික අහගන්න නේ...නේද ...

හැබැයි මේවා කියවලා..අම්මට අනම් මනම් කියල ..ඔයාල මගේ ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාවය එහෙම නැති කරනවා නෙවෙයි හරිද.....මොකද එයා හොඳම හොඳ වගේම තමා තරහ ගියාම...වෙන මොකුත් නැහැ...මුණ වත් බලන්නේ නැහැ ...හප්පේ එයාව යාළුකරගන්න මම ඉන් පස්සේ මිදුල වටේ දුවන්න නටන්න කෝලම් ඔක්කොම දාන්න ඕන.....

අපේ අම්මා කියන්නේ ඉතින් අම්මා ම තමා.....එයා ගේ ඉලන්දාරි දෙන්නා දැන් ටිකක් ලොකුත් වෙලා...ජෙෆ්ගෙනුත් එච්චරම අරියාදුවක් මට නැතිත් නිසා....මම හිතන්නේ අම්මාගේ තනි අයිතිය තියෙන්නේ මට කියලා.....අනික් අයට කෙසේ වෙතත් මම අම්මා ළඟ ඉන්නකොට මම ජෙෆ්ට නම් එයා ලඟට එන්න දෙන්නේ නැහැ....පුදුමයකට වගේ ජෙෆ් ඒවා ගණනකට ගන්නෙත් නැහැ...ඒ වුනාට මම පැහැදිලිවම දන්නවා.....ජෙෆ් අම්මාට මාරම ආදරෙයි.....එයා දවසක් මා එක්ක කතා කරන කොට එයාගේ පුංචිම කාලේ ගැන කියපු කතාවලින් මම දැනගත්තා ......මටත් වඩා චූටි කාලෙයි ජෙෆ්ව ගෙනල්ලා තියෙන්නේ කියලා....ඉතින් එයාත් අම්මාට ආදරේ ඇති...හැබැයි මට ඉරිසියා හිතෙන නිසා මම අම්මා ලඟට එයාට එන්න දෙන්නේ නැහැ .....

ඔයාලට ජෙෆ්ව බලන්න ඕන නම් මෙන්න අපි දෙන්නා....



ජෙෆ් ඔය පාඩුවේ උන්නට..මම නම් ඉන්නේ මේ වලක් හාරන ගමන්....මෙතන තිබුණා ගහක්...මම ඒක ගලවලා පැත්තකට දාලයි මේ වල හැරුවේ.....
පස්සේ බලද්දී දන්නේ සීයා ගෙනාව හොඳම වර්ගයේ ගස්ලබු පැලයක්ලු ඒක....කවුද දන්නේ ඉතින්.....


අපේ අම්මා නම් දමන්න නම් කොහෙන් ඉගන ගන්නවද මන්ද ...  මට රයිලි බුයිලි කියනවා ...මල්ලී බබා කියනවා....බුට්ටෝ කියනවා....තුටි බෝලේ කියනවා....එයාට ආදරේ හිතෙන හිතෙන වෙලාවට නමේ හැඩේ වගේම ස්වරය ත් වෙනස් වෙනවා...අම්මා කෙනෙක් කියන්නේ කතාවෙන්   විතරක්  නෙවේ ඇස්වලින් අතින් පයින් පවා ආදරේ පෙන්වන එක්කෙනෙක් ...ඒ කියන්නේ මට ගහනවා කියල නම් නෙවෙයි....

පාරක් ගැහුවත් රිදෙන්න ගහන්නේ නැහැ...හැබැයි මම නරකම වැඩක් කලොත් නම් එයා මාව ගණන් නොගෙනම ඉන්නවා...ඒක ඔක්කොටම වඩා අමාරුයි....මම එවෙලෙට එයා ලඟට ගිහින් එයාගේ ගාව කකුල් දෙකෙන් හිටගන්නවා....ඇයි බෑ කියල හිතුවද...? මට පුළුවන් පිටිපස්සේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්න...මොකක් හරි අල්ලාගෙන ඕනෑතරම් වෙලා ඉන්න පුළුවන්....ඉන් පස්සේ එයාගේ උරිස්සට ඔලුව තියන් ටිකක් වෙලා සද්ද නැතුව උන්නම එයාගේ තරහ නිවෙනවා.....අත්දැකීමෙන් දන්නේ....අම්මලා කියන්නේ එහෙම අය....

හා එහෙනම් අදට මේ ඇති.....සොඳුරු සඳවතී අක්කා ( අක්කා කියනවට එයා කැමති නෑ කියල මං දන්නවා...) කියනකල් නොඉඳ මම ආයෙම ඊලඟ ටික ලියන්න අම්මට කියන්නම්......

එතකල් සුබ දවසක්...


මම රයිලි..
මම කියන කතාව ලිව්වේ ....විසිරි...


Saturday, June 10, 2017

62. මිනිසකු වන්නට නම්.....


සැබවින්ම ජිවිතේ ලස්සනට පවත්වාගන්න ඔබ යන්න ඕන පාසලකට...ඒ පාසලට ඔබ ඇතුලත් වන්නේ ඔබ උපන් දා...ඉන් ඔබ පිටත් වන්නේ ඔබ මියයන දවසට ...ඒ තමා ජිවිතේ පාසල....

එහිදී.....මෙන්න මේ නීති ටික ඔබට අනිවාර්යයෙන් පිළිපදින්න වෙනවා.....

01. ඔබට ශරීරයක් ලැබිලා තියනවා.....

ඒකට ඔබ කැමති උනත්..ඔබ එය පිළිකුල් කලත්...ඔබේ මේ මිනිස් ජීවිතය පවත්නා තුරු ඔබට එය පවත්වා ගන්න වෙනවා....


02. ඔබ පාඩම් ඉගන ගන්නවා...

මේ ජීවිතය කියන නාමිකව සඳහන් නොකළ පාසලේ ඔබ පුර්ණ කාලීනව ඉගන ගන්නවා....හැම දවසක්ම ඔබ මේ පාසලින් අලුත් යමක් ඉගන ගන්නවා....සමහරක් විට ඔබ මේ පාඩම් වලට කැමති වෙන්න පුළුවන්...තවත් සමහරක් විට ඔබ මේවා මෝඩ තකතීරු පාඩම්..පලකට නැති ඒවා....වගේ වර්ග කරාවි...නමුත් ඔබ අනිවාර්යයෙන් ඒවා ඉගන ගත යුතුයි........




03. මෙහි අත්වැරදීම් නැහැ..ඔක්කොම තියෙන්නේ පාඩම්

වර්ධනය වෙනවා කියන්නේ සාර්ථක වීම් සහ වැරදීම් වල එකතුවක්...පරික්ෂණයන්....සාර්ථක වෙලා වැඩදායි වෙච්ච පරීක්ෂණ වගේම අසාර්ථක වෙලා වැරදුන පරික්ශනත් එක වගේම ජීවිතේට වැදගත් වෙනවා...



04. හරියාකාරව ඉගන ගන්න තුරු පාඩම්  ආයේ ආයෙම ඉගන ගන්න (රිපීට් )වෙනවා

සමහරක් පාඩම් ඔබට එකම විදියට නැතුව විවිධ අන්දමට ඉගන ගන්න ලැබෙනවා....ඔබ හරියාකාරව ඉගන ගන්න කල් ඒවා එහෙම ඔබට ලැබේවි....ඔබ එය නිවැරදිව ඉගන ගත්තට පස්සේ ඊළඟ පාඩමට ඔබට යන්නට පුළුවන්




05. ඉගන ගන්නා පාඩම් වල අවසානයක් නැහැ

ජිවිතේ කිසිම අංශයක් නැහැ පාඩම් වලින් තොරවන.....ඔබ ජිවත් වන තුරුම ඔබ ඒ පාඩම් නිරන්තරයෙන්ම ඉගන ගත යුතුයි...




06. එතන ට වඩා මෙතන හොඳ වීමක් නැහැ

ඔබට එතන කියන දේට වඩා මෙතන කියන දේ හොඳ වෙනවා නම්..ඊළඟ මොහොතේ වෙනත් එතනක් ඇති වෙනවා....අර කලින් හොඳයි කිව්ව මෙතන ට වඩා.....




07. අනෙක් අය කියන්නේ ඔබගේම කැඩපත් ඡායාව

මතක තබා ගන්න ඔබ යම් අයෙක්ගේ යම් දෙකට කැමති වෙනවා නම් ආදරේ කරනවා නම්...ඒ වගේම ඔබ යම් අයෙක්ගේ යම් දෙකට වෛර කරනවා නම් පිළිකුල් කරනවා නම්...එයින් පිළිබිඹු වන්නේ ඔබගේම ඇතුලාන්තය බව.....




08. ඔබ ඔබගේ ජිවිතයට කරගන්නා යමක් වේද...එයට වග කිව යුත්තේ ඔබයි....

ඔබට ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය තරමේ...උපකරණ..සහ සම්පත් නොඅඩුව ලැබිලා තියනවා...ඒවා භාවිත කරමින් මොන යම් දෙයක් හෝ කිරීමේ වගකීම සතු ඔබටමයි.....එක ඔබේම කැමැත්ත මිස අනෙකක් නොවේ .....




09. උත්තරය ඔබ තුලමයි.....

ජිවිතයේ කුදු මහත් ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ ඔබ තුලමයි....අවශ්‍ය වන එකම දේ.....පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න...ඇහුම්කන් දෙන්න...විශ්වාස කරන්න....ඔබවම ..





10. ඔබ මේ සියල්ල අමතක කරනවා......







~~~~ චෙරී කාටර් - ස්කොට් ගේ ලිපියක් ඇසුරින් ~~~~~


ලිව්වෙ විසිරි

Tuesday, June 6, 2017

61. ජීවිතය ආදරය ගැන පුංචි කතා 4

බලු පැටවුන් විකිණිමට තිබේ....



සුරතල් සතුන් විකුණන අලෙවි සලේ අයිතිකරු ...දොරේ දැන්වීමක් එල්ලුවා..." බලුපැටවුන් විකිනීමට තිබේ.."


මෙම දැන්වීම කුඩා ළමුන් ආකර්ෂණය කරගන්න සුළු එකක් වුනා...අනිවාර්යයෙන්ම...කුඩා පිරිමි ළමයෙක් වැඩි වෙලා නොගොසින්ම පුවරුවට යටින් කඩේට එබුණා...

" කොහොමද ඔයාගේ මිල ගණන් මේ බැලු පැටවුන්ට ...?" පිරිමි  ළමයා ඇසුවා....

" ඩොලර් තිහේ සිට පනහ දක්වා ...අතර සීමාවේ...තමා මිළ ගණන්..." සාප්පුවේ අයිතිකරු පිළිතුරු දුන්නා.....

පිරිමි ළමයා සාක්කුවෙන් පර්ස් එක රැගෙන එහි වූ මුදල් මේසය මතට හැලුවා...." මගේ ළඟ තියෙන්නේ ඩොලර් දෙකකුත් තව සුළු මුදලක් පමණයි...." ඔහු කීවා...." මට ඔවුන් බලන්නට පුලුවන්ද...? "

සාප්පුහිමියා මඳ සිනහවක් පා විසිල් හඬක් නැගුවා.....එවිට බලුකුඩුවකින් එක්වරම බලු අම්මා කෙනෙක් දුවගෙන ආවා...ඇය පසුපස ඉතා කුඩා ලෝම බෝල ගුලි පහක් පෙරළෙමින් ආවා .....

එයින් එක බලුපැටියෙක්...අනික් අයට වඩා මඳක් පසුගාමී වනවා ළමයා දුටුවා....
පිරිමි ළමයා වහාම එම කොරගහමින් එන බලු පැටියව ....පෙන්වා ඇසුවා......" මෙයාට මොකද වෙලා තියෙන්නේ ...?"

එවිට වෙළඳ සැල හිමියා .....මෙසේ පැවසුවා....
" පශු වෛද්‍යවරයා මෙයාව බැලුව...මෙයාගේ උකුල් සන්ධිය නිවැරදිව වැඩිලා නැහැ ...ඒක සමහරවිට වැඩෙන්නේ නැතිම වෙයි.....මෙයා හැමදාම කොර බල්ලෙක්ම වෙයි...."

පිරිමි ළමයා ඉතාම විශ්මයට පත්වුනා....
" හරි මෙන්න මෙයා තමයි මට මිලදී ගන්න අවශ්‍යම බලුපැටියා ..." ඔහු උද්යෝගයෙන් කිව්වා.....

" නෑ ..ඔබට ඔහුව මිලදී ගන්නට අවශ්‍ය වන්නේ නැහැ...ඔබට ඔහුව ඕනෑම නම් ...මම ඔබට ඔහුව නොමිලේම දෙන්නම්..." සාප්පු හිමියා පැවසුවා....

එවිට කුඩා පිරිමි ළමයා ,මඳක් කනස්සල්ලෙන් සාප්පු හිමියා දෙස බැලුවා.....ඉන් පසු ඔහු ඉතා ස්ථිර කටහඬකින් මෙලෙස කිව්වා...

" නැහැ....මට එහෙම බලු පැටියා නොමිලේ ගන්න අවශ්‍ය නැහැ....මේ බලු පැටියත් අනික් පැටවුන් වගේම වටිනවා...මම ඔබට මගේ අතේ තියන මුදල දැන් දෙන්නම්...ඉන් පසු ඔහුගේ වටිනාකම සම්පුර්ණ වන තුරුම....මාසෙකට හැකි ගානක් මම ගෙවන්නම්...."

සාප්පු හිමියා යළිත් හඬ අවදි කළා,....
" ඇත්තෙන්ම දරුවෝ..ඔයා මේ බලුපැටියව මිලදී ගන්න අවශ්‍ය නැහැ...ඌ කවදාවත් අනික් බලු පැටවුන්ව වගේ ඔයා එක්ක දුවන්න...පනින්න...සෙල්ලම් කරන්න සමත් වෙන  එකක් නැහැ..."..

මේ කතාව සමගම කුඩා පිරිමි ළමයා...බිමට නැවී ඔහුගේ කලිසම ඉහල රෝල් කළා....ඒ තුළ වූයේ...ඇඹරි විකෘති ව ගිය ....යකඩ බාරයකින් ශක්තිය සැපයු...පාදයක්......

ඔහු සාප්පු හිමියා දෙස හිස ඔසවා බැලුවා....ඉන් පසු ඉතා මෘදු හඬකින් මෙහෙම කිව්වා...

" මටත් එච්චරම හොඳට දුවන්න බැහැනේ....හ්ම්ම්...මේ බලු පැටියට ඒ තත්වය හොඳින් වටහාගන්න කෙනෙක් උවමනා වෙයි...නේද...? "

Friday, June 2, 2017

60. වැඩ අවසන් නොකළ හදවත් උයන





ඔබ උද්‍යානයකට යන්න කැමතිද...
එහෙමත් නැත්නම් වගා කරන්න කැමතිද....
හැම නිවසකටම යාබදව තියන පුංචිම පුංචි වුණත් ඉඩකඩේ උද්‍යානයක් හදාගන්න කැමතියි නේද....
සමහර අය මල් වවනවා ...සමහරු එළවලු පලතුරු...තව සමහර අය ඔය දෙකම ...

සමහර අය සුළු පරිමාණයෙන් වවන අය..ගෘහස්ථ පරිභෝජනයට වගේ....එනමුත් තවත් සමහරු මහා පරිමාන උයන් හිමියෝ.....

උයනක් කියන්නේ මොකක්ද.....මම පහු ගිය දිනක අපූරු ලියවිල්ලක් කියෙව්වා...එකෙන් තමා මේ මාතෘකාව ඔලුවට ආවේ....ඒ සටහන ලියල තිබුනේ...එස්.ලීලාරත්න කියලා මහත්මයෙක්...ඔහුගේ ඒ සටහනට පාදක වෙලා තිබුනේ....අජාන් බ්‍රහ්මවංශ හිමිගේ දේශනයක්......

මම මගේ තුනපහ ලුණුමිරිස් ටිකක් ඒකට එක්කාසු කරලා මේ ලියන්න ගත්තේ.....ගංවතුර බැහැගෙන යනකොට ලියන්නම ඔලුව වද  දෙන නිසා....


කෙනෙක් උයනක් හදාගන්නේ මොකටද...නිකමට හිතන්න....වෙහෙස වෙලා රස්සාවේ ගෙදර කුස්සියේ ඔය එකී නොකී තැන් වල වෙහෙසිලා...ආයෙම මහන්සි වේවි වැඩ කරන්න නම් එම උයනෙන් වැඩක් තියද.....

අජාන් හිමියන් ....ගේ දෙසුමක තියනවා......

 මම උයන් හිමියන්ට කියනවා ....ටිකක් වැඩ කරලා...උයන ලස්සන කරන්න...ඒ සමගම ටිකක් විවේකයෙන් උයනේ ගත කරන්න...ස්වභාව සෞන්දර්යයෙ රසයෙන් ජීවිතය වර්ණවත් කරගන්න... කියලා

උයන් හිමියන් වර්ග හතරක් ඉන්නවා.....

පළමු වෙනි වර්ගයේ උයන් හිමියා....

එයා සිතනවා ලු...මේක කදිම අදහසක්....ඒ නිසා කරන්න තියන වැඩ ටික පැත්තකට තියලා ඔන්න එයා උයනේ වාඩිවෙනවලු ....ඉතින් ලස්සන නරඹන කොට මෙයාට පේනවා...සමහර ගස් මැරිලා..තණකොළ වැවිලා....වේලිච්ච කොළ හැමතැනම...කප්පාදු නොකළ පඳුරු ඒමට...ඔන්න ඔහොම ඒවා....ඉතින් උයන බලන එකෙන් එයාට කිසිදු සහනයක් හිතට ඇවිල්ලා නැහැ...
ඔන්න මේ නිසා එයා දඩිබිඩි ගාලා ආයෙම වාදක යෙදෙනවා...උයනෙන් ඔහුට අපේක්ෂිත සැනසීම ලැබුනේ නැහැ.....

දෙවැනි උයන් කරු....

ඔන්න පළමු එක්කෙනාට වඩා පොඩ්ඩක් බුද්ධිමත්....එයා උයනට ඇවිල්ලා..මොකද කරන්නේ..අර රේක්ක මල් බාල්දි...පෝර මලු ඔක්කොම දානවා පැත්තකට....
ඉන් පස්සේ උයනේ හදපු ලස්සන බංකුවට  වෙලා ලොකු සඟරාවක් කියවන්න ගන්නවා....ඒ සඟරාවේ ලෝකේ ලස්සන තැන්...දියඇලි..එහෙම තියෙන්න පුළුවන්...
ඒත් ....ඔහු විවේකයක් ලබා කියවීමක් කරනවා මිස උයනේ ස්වභාව සෞන්දරයය විඳින්නේ නැහැ.....

තුන් වැන්නා...කොහොමට ඇත්ද ....

ඔන්න එයා අර බංකුවේ වාඩිවෙලා මල් බාල්දි..පෝරමලු..රේක්ක ඔක්කොම පැත්තකට දානවා ....උයනේ ඇති ශාන්ත රසය විඳිනවා...ඔන්නමෙහෙම තත්පර කීපයක් ඉන්න කොට ඔහුගේ හිතට එනවා...මේක මිට වඩා ලස්සන කරන්න උපක්‍රම....ගස් කප්පාදු කරලා..තව වතුර පොකුණක්..මාළු..නෙලුම් මල්...ආදී අලංකරණ.....
එතකොට මෙතන තියන මල් පානදුර මෙතනට වඩා ගැලපෙන්නේ අතනට ..ඔන්න ඔය වගේ ඒවා....මෙය සිතීම හා අනාගත සැලසුම් කිරීම මිසක් උයනේ ස්වභාව සුන්දරත්වය විඳීම නොවෙයි......

හතරවැනි උයන් කරු ඉන්නවා....

එයා මෙහෙම කල්පනා කරනවා....

මම දැන් ඕනෑතරම් වැඩ කරලා තියනවා...දැන් එකේ ප්‍රතිපල නෙලා ගන්න ඕන....ගස් කප්පාදු කරන්න ඕන..වල නෙලන්න ඕන...වතුර දාන්න ඕන...නමුත් මේ එකාට වෙලාව නොවෙ යි...මම ටිකක් දැන් විවේකයෙන් ඉන්නවා.....ඒ වැඩ පසෙකට දාල...
උයනේ පල වැලක් නෙලාගෙන කාලා...කුරුළු හඳට සවන් දීල...කොළ හා එක්ව යන නානා ප්‍රකාර පැහැයෙන් අස නිවාගෙන....ස්වභාව සෞන්දර්යය විඳිනවා.....
මේ වැඩ අවසන් නොකළ උයනේ ඔහු ලබන්නේ නියම චිත්ත සමාධියයි.....



පසු සටහන ....

අහන්න...ඒ කතාව ජීවිතේට එකතු කරගන්න...
අපේ ජිවිත හැමදාම වැඩ අවසන් නොකළ උයනක් වගේ.....
කිසිදාක අපි එහි වැඩ අහවර කරන්නේ නැහැ.....
ඒත් වැඩ අවසන් නොකළ උයන විඳින්න ...
නැත්නම් වැඩ විතරයි...
විඳින්න වෙලාවක් නැහැ,,,,,

ඉතින් මේ මගේ වැඩ අවසන් නොකළ උයනයි.....


උදේ ජිවන සටන පටන් ගන්න යන්න පෙර මම එන්නේ මෙතනට..නැවුම් හුස්මක...පිනි බිඳක මට දවසට ඕන හයිය එකතු වෙනවා ....
දුවන හැල්මේ දුවන දිවා කලක් ඉවර වෙලා...මං හැමදාම එන්නේ මෙතනට..මහා කළුවරේ හරි.....මගේ විඩාව බාරගන්න තුරු පත් නැළවෙනවා.....
මම මේකේ වැඩ අවසන් කරන්න උත්සාහ කරන්නේ නැහැ....
ඒත් විඳිනවා....
ඒකයි ජීවිතය ...


උයන් පල්ලෙක් වන්න ...ඒකට එක මල් පෝච්චියක්..ගහක් කොලක් ඇති....
වෙනස් කරන්න ඕන ඔබේ මනසයි...




~~~~  විසිරි ~~~~