Friday, December 21, 2018

101. කොළ පාට ඉරිදාව

කොළ පාට ඉරිදාව.....



ඉරිදා කියන්නෙ අපූරුම දවසක්....
එක එක ඉරිදාවල් ජීවිතේ ට දැනෙන්නෙ එක එක පාටට...
අද උදේ ඉඳන්ම මට ඉරිදාව දැනුණෙ කොළ පාටට....
ඒ ගහකොළ අස්සෙ මම වෙනදාටත් වඩා උන්න නිසා වෙන්න පුලුවන් .....
.
මිදුලෙ සිමෙන්ති බැම්ම උඩ වාඩිවෙලා පහු ගිය ටිකේම වැහැපු වැහි ඇළි වලින් පණ ගහපු ගස් වැල් දිහා බලන් ...මම කල්පනාව දිගේ පුරුදු විදියටම ගමට ගියා....
.
අපේ ගම කොළ පාටට බැබලුණ ගමක්....අපෙ මහ ගෙදර තියෙන්නෙ පොඩි කඳු ගැටයක් උඩ නිසා....ගෙදරට එන වැලි පාර කෙළවරට ගියාම හතර වටේම පරිසරය පේනවා....
.
වැඩිම වපසරියක් අයිතිකරන් ඉන්නෙ නිල්ල නිලන කුඹුරු යාය...හරියට කොළ පාට සාගරයක් වගේ ..ඒ මැද්දෙ තියන පොඩි පොඩි දූපත් ටික ....පොල් ගස් දෙක තුනක් ..අඹ ගහක් ...අයින් වැට දිගට ගිනිතිල්ල...කිරිල්ල ...පඳුරු.....සමහරක් දූපත් වල පුංචි ගෙපැලක්.....ඇසට හුරුම ඒ කොළ පාට....
.
ඊට එහායින් ගලා යන ගඟ....ගඟ දෙපැත්තෙන් ගඟට නැමෙන අත්තික්කා ගස්....ගඟට නාන්න ගියාම අත්තික්කා ගහෙ දෙබලෙක වාඩිවෙලා කිරි රහට තියන අත්තික්කා ගෙඩි කාපු හැටි....ගඟ දෙපැත්තෙ තැනින් තැන කුමුදු ...මල් පිපෙන පඳුරු ...ගං දිය සැඩ නැති නිසා....අගේට එක තැන රැඳෙන්න ඒවට පුලුවන් ....
සමහර වෙලාවට ගඟ දිගේ ඉහලට පීනන කොට සීමාවල් වෙන් කරන උණ පඳුරු....එතනින් එහාට යන්න තහනම්....ගඟ ගැඹුරු මහ ගඟක් වෙන්න ගන්න තැනට ගොඩක් මෙහා අපි නාපු ඉසව්ව....
.
ගෙදර ඉඳන් ඉස්සර දන්නා අඳුනන නැන්දෙක්ගෙ ගෙදර අපි ගණන් පන්ති ගියා...ඒ ගිහින් අතර මැද්දෙ විවේකයෙ අපි එතන එහායින් තියන කඳු ගැටයක් උඩට නගිනව....ඈතම කඳු වලලු පේන ඉසව්වෙන් ගොං ගල කන්ද පේන්නෙ එහෙමත් විමසුම් ඇසකට....මං හැමදාම ඇස් අයාගෙන බලන් ඉඳලා ඒ කන්ද ඇහැට අල්ලාගන්නව....
සීයා කියා දුන්න කතාවක....දි...
නිල්වලා ගඟත් ගිංගඟත් පටන් ගන්නෙ ගොංගල කන්දෙන් කියල කීවා ....ඒ හීන් දිය සීරාව එක උල්පතකින් පටන් අරන්....මගක් එනකල් ඇවිල්ල දෙකට බෙදිලා මේ ගඟවල් දෙක හැදෙනවලු....මම මනසින් ඒ දේ දකිනව.....
.
කොළ පාට ගමක උදේම ඇස් ඇරෙන වෙලාවට ජනෙල් පියන් අස්සෙන් එන කෝපි මල් සුවඳ.....සීයා ගෙදරට ගෙනාව එළකිරි උණුවෙලා එද්දි....ඒකට කෝපි කුඩු දැම්මම එන අපූරු සුවඳ....ඒ මතක එක්ක ජීවිතේ අපූර්වම සුවදායක මතකයේ ගිලෙනවා......
.
ඉතින් ....කුදුමහත් කාර්‍යයන් අමතක කරමින් කොළ පාට මතකයේ සැරිසරන මං ආයෙ පියවි ලෝකයට එන්නෙ....කොළ පාට ඉරිදාව ඉවර වෙන රැයක ඒ සටහන තියන්න හිතාගෙන....
.
ඉතින් ....ලබන ඉරු දිනය....සමහරක් විට වෙන පාටක් එක්ක මට වෙන මතකයන් රැසක් අවුලයි....

විසිරි

Sunday, December 9, 2018

100. ලිවිම ඔසුවකි



කොහොම වුනත් යලට මහට ඇදට හරහට නැවතී නැවතී ලිව්ව විසිරි සිහින බ්ලොග් එකේ සිය වැන්නට ආවා...

ලිවීමට හොඳම තැන මොකක්ද ඇහුවොත් මම ඕනෑම කෙනෙක්ට කියන්නේ ඒ තමා බ්ලොග් එක කියලා.

ඒත් අපි මුහුණු පොතට තරම් බ්ලොග් කියන දේට සමීප වෙන්නේ නැහැ ..මං වුනත් ක්ෂණිකව මුහුණු පොතේ ලිව්වට බ්ලොගයට යන්නේ කාලයකින්.
මේ අද පෝස්ට් කීපයක්ම ලියලා සියවැන්නට ආවේ.....මාස ගානකට පස්සේ..
.
නමුත් බ්ලොග් එකක් කියන්නේ තමන් ලියපු දේ සුරක්ෂිත වෙන තැනක්...ඉස්සර මගේ කළු සහ සුදු බ්ලොගය මට අත හැරුනා..ඒත් ඒ ලිව්ව කාලය තමයි හොඳම කාලය...
ඉතින් මාසයකට ඒක පාරක් හරි ඇවිල්ලා පෝස්ට් දහයක් දොළහක් එකට ඇදල දාල හරි යන්න හිතාගත්තා.....

ඉතින් ජයවේවා....සිය වැන්නට .....



විසිරි

99. වියපත් වන දා

වියපත් වන දා.....

අද උදේ වැඩට යන වෙලාවෙ කණ වැකුණු දෙබසක් එක්ක මට ලියන්න සිතුණ මෙහෙම...
ඒ කථාව කල කෙනා කීවේ තමන්ගේ නැන්දම්මා ගැන..
ඉතාම වියපත් නැන්දම්මා ගෙ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා සිදුව ඇති අවාසනාවන්ත තත්වය ගැන මේ කෙනා කතා කලා....
.
අසූ ගණන් වල අග භාගයේ ඉන්න වියපත් නැන්දම්මා රෑ තිස්සේ වැසිකිළි යාම නිසා ඇද වැටී ඇතිව ඇති තත්වය ගැන ඔහු කතා කලා....ඩයපරයක් ඇන්දවීමට ඉඩ නොදෙන බවත් ...මොන තරම් ඇවිදින්නට එපා කීවත් එයම කරන බවත් ඔහු තරමක කේන්තියෙන් කියා සිටිනු මා අසා සිටියා....
.
මිනිසුන් හැම කෙනෙක්ම වියපත් වීම වලක්වන්න බැහැ...ඒ වගේම වියපත් වන වැඩිහිටියන් ගේ ක්‍රියා කලාපයන් හරියට හිතුවක්කාර කුඩා ළමුන් වගෙ....ඒ තත්වය අපි මනාව අවබෝධ කරගන්න අවශ්‍යයි....
.
ඉතාම වයසට යන ඔබේම අම්මා තාත්තා වගේම මිත්තනිය හෝ සීයා....ගැන යම් විමසිලිමත් බවකින් කටයුතු කරන්න....අමතක වීම් ...dementia තත්වයන් ඔවුන්ට ඇති වෙන්න පුලුවන් ..එවන් විටෙක ඉවසීම කියන්නේ මහඟු ඔසුවක් වේවි......නොසලකා නොහැර ප්‍රතිකාර සඳහා යොමු වන්න...එය ඉතාම වටිනා දෙයක්....
.
වියපත් වැඩිහිටියෙක් රැකබලා ගැනීම අසීරුයි..එවන් විටෙක දිගටම එක් අයෙක්ට එසේ රැකබලා ගන්න එක පීඩනයක් වෙනවා...පවුලේ අය සමසේ එම වගකීම බෙදාගන්න එක ඉතාම අගනා විසඳුමක්...අද උදේ මෙම කතාබහ කල දෙදෙනාගෙන් පිරිමි කෙනා කියනු ඇසුණේත්...මායි නෝනයි විතරයි මේ සේරම කරන්නෙ ...අනික් දුවලා පුතාලා ඇවිල්ල බලල යනවා මිසක එයාව දවසකට දෙකකටවත් ගෙනියන්න කැමති නෑ...කියනෙක....
.
වියපත් වැඩිහිටි අයෙක් රැකබලා ගැනීමේ වැදගත් කම වෙන්නේ ...වැරදිලා හෝ ඇද වැටීමක් නිසා ඔවුන්ගේ උකුල් සන්ධිය විශේෂයෙන්ම කැඩීමට ඉඩ ඇති හෙයින්...ඉතාම වයස කෙනෙක් නම් සදාකාලිකවම ඇඳට වැටෙන්න තියන ඉඩ ඉතා වැඩියි....එවිට තවත් හිරිහැරයක්....
.
.
ඉතින් ....අපිත් කවදා හෝ වියපත් වෙන අය....ඒ වගේම අබල දුබලතා ඇතිවිය හැකි අය...ඒ නිසා...ඔබ ඔබේ වියපත් ඒ වැඩිහිටි අය ගැන මඳක් සිතන්න...ආදරය කරුණාව සහ ඉවසීම හුඟාක් වටින දෙයක්.....
.
.
විසිරි

98. අම්මා මතු බුදු වනු ඇත

අම්මා කෙනෙක් කියන්නේ...අනන්තාපරිමාණ විශ්වයක් වගේ පරතෙරක් නොපෙනෙන ආදරයක් ඉවසීමක් කැටිව ගත් උත්තම හදවතක්....
.
මට එහෙම හිතුණෙ...අද දවල් මගෙ සිසුන්ගෙ සායනික අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික රෝහල මැද්දෙන් ගමන් කරද්දි.....
.
ඒකට නිමිත්ත වුණෙ...නා ගස් හෙවනේ බිම් පඩියක හිඳගෙන උන්න වියපත් අම්මා කෙනෙක් දැකල...ඇගේ ඇස් වල තිබුණේ යම් කිසි අපේක්ෂාවක්...මං ඒ බලාපොරොත්තුව දැකල තියෙන්නෙ අම්මෙක්ගෙ ඇස් වල දරුවන් වෙනුවෙන්....
.
නමුත් සදාචාරාත්මක සහ ඇයට තිබිය යුතු ගෞරවනීය තත්වය ගැන හිතල මම ඇගේ සේයාරුවක් ගත්තේ නැහැ...
.
අම්මා කෙනෙක් ට දරුවෙක් වෙනුවෙන් නිදිමරන්න පුලුවන් කාලය කොච්චරක් ඇත්ද කියන්න කාටවත් ම බැහැ....ඒක මම මගෙ ජීවිතේ අත්විඳල තියනවා....දරු උපතේ ඉඳන් ගිලන් වෙන...සහ අනෙක් ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් අම්මෙක් තමන්ගෙ නින්ද කැප කරනව....
.
ජීවිතේ හුඟාක් අපේක්ෂාවන් අම්මල කැප කරන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන්....සමහරක් වෙලාවට...ආස කරන හුඟාක් දේට දෙවනි තැන දීලා දරුවන් වෙනුවෙන් ඒ මූලිකත්වය දෙන්න අම්මා කෙනෙක් දෙපාරක් හිතන්නෙ නැහැ.....
.
දරුවෙක් ගිලන් වුණාම අම්මෙක්ගෙ ඉවසීම මහා පුදුමයි...සාමාන්‍ය ලෙඩ වලින් ඔබ්බට ගිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙ අම්මලා එක්ක අවුරුදු ගාණක් වැඩ කල මට ඒ අම්මලා මතු බුදුවෙන්න නම් පතන්නෙ නෑ කියන බව වැටහෙන්නෙ....මේ දරුවන් සුවපත් කරන්න සංසාරය පුරාම ප්‍රාර්ථනා එක්කාසු කරන හැටි දැක්කම....
.
ඒත්.....
මට අද හිතුනෙ...
මතු බුදුවෙන බුදුවරුන් .....නා ගසක් මුල වුව හමු වන බවක්......

විසිරි

97. ආදරයේ සුවඳ

ආදරයේ සුවඳ

උදේ ස්ටේශමේ කෝච්චිය එනකල් බලා ඉන්න මට මගෙ ඉහට උඩින් සිරි සිරි ගාල හැලුණ අපූරු සුවඳකට වටපිට බැලුණා....
.
ඇඳන් උන්න සාරියෙත් රේණු තුනහතරක් ඉතුරු කරන් ඒ සුවඳ ඉහිරවන් වැටිලා තිබ්බේ බෙලිමල්....

මගෙ මතකයේ ඉසව් ඈතට දුව ගියා එසැනින්ම ....
ඉස්සරෝම අපේ ගෙදර ලොකූ බෙලිගහක් තිබුණා...කන්ද ඉහත්තාවට වෙන්න....බෙලි මල් පිපෙන කාලෙට උදේම හමා එන අපූරු සුවඳක් වුණෙ ඒක....
.
ගෙදර ඉන්නව නම් ආත්තම්මාගෙ එක් පැවරුමක් තමා බෙලි මල් ඇහිලීම....කොලපොතක් අරන් ගිහින් තණකොල බිස්සෙ තියල සිඟිති බෙලි මල් එකින් එක අහුලනව...සමහර මල් පොහොට්ටු ...ඇස් ඇරලත් නෑ....අනේ වැටිලා....සමහරු පෙති දෙපෙති ඇහැරිලා.....
.
ඔය එක්කාසු කරන් එන බෙලිමල් වේලල ආත්තම්මා බෙලිමල් වතුර තම්බලා හකුරු කෑල්ලක් එක්ක බොන්න දෙනව.....බෙලිමල් අහුලන්න වගේම බෙලිමල් වතුර ටිකක් බොන්නත් ආසාව ඉස්සර ඉඳන්ම තිබ්බා.....
.
ආයෙම අපෙ ගෙදර තිබ්බෙ කෝපි ගාලක්...තද කොල පාට කොල හෙවිච්ච කොපි පඳුරු...මල් පිපෙන කාලේට සුදු පාට යායක්....කාමරේ ජනේලෙ ඇරියාම ඒ උදෙන්ම එන කෝපිමල් සුවඳ හරීම ආශ්වාදජනකයි...කෝපි ගෙඩි කොල පාටට හැදිල ඉන් පස්සෙ රතු පාට වෙලා ඉදුණම කඩන රාජකාරිය බාරගන්නත් ඕන අපි....
ඔක්කොම හොඳයි ...ඇඟ පුරා දුවන කලු කූඹි නැත්නම්....
.
ගමත් එක්ක බැඳෙන අනෙක් සුවඳ තමයි ඇට්ටේරියා මල් සුවඳ...ගෙදරට එන පාර කොණේ තියන ඇට්ටේරියා මල් හැන්දෑවට පොහොට්ටු ඇරෙන්නෙ.....ඒවා වට්ටියකට නෙලල ආත්තම්මාට බුදුන් පුදට ගෙනෙන්න ඕන...එක මල් නටුවක් වත් උඩට තියෙන්න බෑ.....උදේට ඉස්කෝලෙ යන්න බස් එක එනකල් ඉන්න ගමන්....මල්ලි කරන්නෙ ඇට්ටේරියා අතු හොලවන එක....ඔලුව වැහෙන්න මල් පෙති සිරි සිරි ගාල වැටෙන්න ගන්නව.....
.
ආයෙ අපෙ මිදුල මැද තිබුණ ඇහැල ගහ....රූස්ස ගහක්...ඇහැල ගහ මහ කරදර දෙන්න සමතෙක්....එක්කො කොල නැත්නම් මල්....මිදුල පුරා විසිරුවනව....උදේම මිදුල අතුගාන්න ඉදල අරන් බහිනකොට....ලා සීතල සුලඟ එක්කම මුසු වෙන්නෙ ඇහැල මල් සුවඳ....
.
මේ හැම එකක්ම මං හරි ආදරයෙන් විඳපු අපූරුම සුවඳවල්....මිනිස්සු ආදරය අරන් ජීවිතේ විඳිනකොට....ලෝකයම දැනෙන්නෙ හුරු සුවඳකින්.......
.
ඔව් ඒ තමයි ආදරයේ සුවඳ ...

විසිරි

96. කින්නර වලප

ගිණිකඳුත් පුපුරා හැලෙන්නැති
යමහලක ගිනි ඇවිලි හද බිම
ප්‍රේමයෙන් ආතුරවු සිත බිඳ
කින්නරා පිටගම් ඇදුණ දින.....
.
හොවා ළය හිස සෙනෙහ පෑ සඳ
කිසිත් නොදැනුණි විරස් කාරණ
වනේ තුරු අස අප්සරාවක
කැල්ම වැදුණිද කියන් හිමිසඳ.....
.
නුඹේ ලෙය කුස දරා උන්නෙමි
පැටුන් සරි කර නොමග නොගියෙමි
ජීවිතේ වල්මත් සුයාමය
අහවරව යළි එතැයි වැටහුණි.......
.
ඉතින් සීතාවක් ම වන්නෙමි
බුදුන් දැක මතු නිවන් නොපතමි
හිතේ සැනසුම් සුසුම් පා කර
ප්‍රේමයේ අස්වනු නෙළන්නෙමි......

විසිරි

95. කවි

හෘදය ත් මොළයත්
ගැහෙන
පෙනහලුත් හෙමිහිට හූල්ලන
ඉසව්වක තනිවී සුසුම් ලමි....
.
හිතෙන් කෑලමල් අමුණමි
හරිත නිම්නෙක වැතිර සැතපෙමි
දිය කඳුරු තුළ ගිලී නැහැවෙමි...
නෙතු පියා නුඹෙ සුසුම් විඳගමි...
.
ඇස අරින මොහොතක සසැලෙමි
අස්ථි පංජර අසල තනිවෙමි
මගෙ සිහින නුඹ නොදත් බව දනිමි ....
එහෙයින්ම සිනා වී සැනසෙමි.....

විසිරි @ රෝහල ....

94. පරෙස්සමින් ගිහින් එන්න

අපේ ජීවිතයේ හෘදයාංගම වචන වලට තියෙන තැන ගැන මම නිවාඩුවෙ කල්පනා කලා...
.
ඉස්සරම දවස් වල ඉස්කෝලෙ පන්ති යනකොට අම්මාට වඳින වෙලාවට අම්මා කියන්නෙ...බුදුසරණයි ...පරෙස්සමින් ගිහින් එන්න ඕන තේරුනාද....ඒක ටිකක් තදින් ඒත් ආදරයෙන් දෙන අණක්....
.
ඒත් තාත්තාගෙ ගාවදි ඒක කියවෙන්නෙ ඊට වඩා මෘදුව...තාත්තා ලා එහෙමයි.....අදටත් තාත්තා ට උදේ වැඩට යන ගමන් කතා කලාම ...බස් එකේද දෝණි එහෙනම් පරෙස්සමින් යන්න කියනවා....ඒක මුලු දවසටම ජීවිතේ ආශීර්වාදයක් වෙලා තියෙනවා වගෙ දැනෙනවා.....
.
මමත් කොල්ලො දෙන්න බයිසිකලේ අරන් එළියට බහිද්දි කෑගහනවා...පරෙස්සමින් හරිද...කියල...ඒ අම්මෙක්ගෙ tone එක....කොහෙ ගියත් අම්මාට කියල යන පුරුද්ද ඇති වෙන්නෙ ඒ හරහා කියලා ඉබේම මට දැනෙනවා...
.
අපේ ගෙදර ඉතින් මගෙන් ඇරෙන්න මට ඕක ආයෙ කියන කෙනෙක් නම් නෑ....මොකද ස්වාමිපුරුෂයා සහ ළමයි දන්නව ....එළියට බැස්සොත් හරි පරෙස්සමට ආයෙ ගෙදර එන වගකීම අම්මා අත ඇති බව....ඉඳහිට උඩ බලන් ගිහින් ලයිට් කණුවක හැප්පෙන එක...බස් එකේ බ්‍රේක් ගහන කොට විසිවෙලා වැටෙන එක වගෙ ඒවා නෙවේ මේ කියන්නෙ...
.

සාමාන්‍යයෙන් කෙනෙක්ට කටපාඩමට පරෙස්සමින් යන්න...බුදුසරණයි ...take care, god bless...ඕනම එකක් කියලා දාන්න පුලුවන් ....ඒත් හෘදයාංගම ව ප්‍රාර්ථනා කරන දේක ඊට වඩා ලොකුම ගැම්මක් හයියක් තියෙනවා....ඒ කියන කෙනා තමන්ගෙ කවුරුවත් වෙන්න ඕන නෑ ඒ වෙලාවට......
.
අපි ජීවිතේ හෙම්බත් වෙන කල් වැඩ කරන මිනිස්සු...ඒ ජීවිතේ තමන්ට ආශීර්වාද කෙරෙන සමහර වචන හරියට සෙත් පිරිත් වගේ.....

.
විසිරි

93. ආදරේ කියන්නේ .....

ආදරේ කියන්නේ ......

ආදරේ කියන්නේ... වචන වලින් ලියා හමාර කරන්න බැරි දේවල් වලටය..
.
ආදරේ ගැන ලියන්නට ගියාම හිතට මුලින්ම එන්නේ තාත්තාය...තාත්තාගේ ආදරේ කියන්නේ...උපමා උපමේය සියදහසකට එහා යන දෙයක්‍ ය...
ඉස්සරම සිඟිති කාලේ මතක පවා අද ඊයේ වූවා සේ ගෙන හැර පාන්නේ ඒ ආදරණීය හිතේ දරුවන් ඉන්නා තැන පෙන්වන්නටය...
.
ඉස්සරෝම කාලෙක මෝටර් බයිසිකලයේ මා පසුපසින් නංවාගෙන පන්ති එක්ක යන දිනක පාරට පැන්න බලු පොරයක් නිසා පෙරලී වැටෙද්දීත්....තාත්තාට කෑගැහුණේ මගෙ කෙල්ල දෙයියනේ කියාය....අතේ වැලමිට ලඟ ඒ තුවාල කැලල අදටත් මට තාත්තාගේ ආදරය පිරි හඬ මතක් කර දෙයි....
.
අම්මා ගේ ආදරය ....හංගා ගෙන උන් අපූරු දෙයකි....ගෙදරින් කොළඹට යන තෙක්....ඒ ආදරය මට ලැබුණේ ..පෙන්නුවේ මංචාඩි ගානෙනි....බෙදුවේ කන් හැන්දෙනි....ඒත්...ඒ මගේම නස්කූණි ගති නිසා වෙන්නට ඇත....
.
ගෙදරින් කොලඹට ආ දා සිට මාසයකට ලියුමක් දෙකක් ඈ අතින් ලියවින..අර කන් හැන්දෙන් බෙදපු ආදරය පොල් කටු හැන්දෙන් බෙදන්නට ඈ ඒ ලියුම් වලින් සමත් වූවාය...ස්වභාවයෙන්ම ගෙදරදී කෑම තෝර තෝරා කෑ මට කොලඹ බෝඩිං කෑම පත්තියම් නොවන බව ඈ දැන උන්නත් ...පාඩම් කරන නිසා " තණකොල " හරි කන්නයැයි ඈ ලියා එව්වාය... .
අම්මාගේ ආදරය ඇය අතින් ගවුමක් මසා තුරුණු වියේදී අන්දවන විටත් මනමාලියක වී ඇගෙන් දුර යන දා කලාතුරකින් ඇගේ ඇස දුටු කඳුලකත් මම දැක්කෙමි.....
.
ආදරය කියන්නට ගත්තා පමණි....ඇයට සුරලොව බලා ගමන් කරන්නට වූයේ ....මගේ ලෝකයේ ඇතුළාන්තයේ ආදරය ඉල්ලා හඬන දැරිය හුදෙකලා කරමිනි.....
.
ආදරය කියන්නේ හරි ම අපූරු මනෝ භාවයකි...අම්මා තාත්තා යනු ඒ ආදරයේ සංකේතයන් ය....වචන වලින් කියාගන්න ට බැරිවූ ආදරය අද සංකාවෙන් අමුණ අමුණා ලියන්නට සිදුවන්නේ අවාසනාවටමය......
.
අම්මා තාත්තා යනු දරුවන් මත්තේ තම ලෝකය දියකර හරින්නන්‍ ය....ආශාවන්...බලාපොරොත්තු සියල්ල දරුවන් වෙනුවෙන් කැප කරන්නන් ය....ඊට එහා ආදරයකට උපමා උපමේය ඇත්දැයි මම නොදනිමි.....
.
අම්මා ට ජීවත් ව ඉන්නා තාක් කල් හිතේ තිබූ ආදරය කියාගන්න ට හිතේ හැටියට බැරි වුණත්...තාත්තාට අද මම ආදරය කියමි....ඒ තාත්තේ මම ඔයාට ආදරෙයි කියා ම නොවන මුත්...දවසකට දෙකකට වරක්....වල්පල් දෙඩීමෙන් සහ ....හොඳින් පරෙස්සමින් ඉන්න යැයි තරවටු කෙරීමෙන්‍ ය....
.
ඒත් උපන්දිනය දාට සුබ පැතුම් පතක් මගේ අතින්ම හදා තාත්තේ මං ආදරෙයි කියා ලිවීම තරම් ...ඔහුට වටිනා වෙන දෙයක් නැති බව මම හොඳාකාරව දනිමි.....
.

ඉතින් ....ආදරය කියන්නේ ඒකටය.....

විසිරි

92. ජිවිතය නම් එයමය

ජීවිතය කෙතරම් වෙනස් ද....?

ජීවිතය ‍යනු කෙතෙක් වෙනස් අන්දමේ පැවැත්මවල්ද යන්න ඉගනගන්නට නම් මේ ඉන්නා ඉසව්වෙන් ඔබ්බට යා යුතුය..
ඌව වෙල්ලස්සේ දුෂ්කර පළාතක සායනයක් හමාර වී....
මිදුලේ තබා තිබූ පුටු පෙළක හිඳිමින් මම ජීවිතය ගැන සිතමි.....
.
ඉරිඟු යායවල් වල...කුඹුරු හේන් වල දවසම ඔට්ටු වන අපේම මිනිසුන් ගේ හෙම්බත් මූණු අතරේ හිනාවන් උපදින්නේද වෙහෙස තුළින්මය....
.
මගේ යාබද අසුන් දෙකක සායනයට පැමිණි අම්මලා සමග ආ කෙළි පොඩ්ඩියන් තුන් දෙනෙකි...අවුරුදු දොළහ දහතුන වයස් වල වුවත් එතරම් නොවැඩුණු සිරුරු ඇති කෙසඟ කෙල්ලන්‍ ය ....උවමනාවකින් කොණ්ඩ පීරා නැත...ඇඟලූ ඇඳුම් ද ඔහේ අඳින්නන් වාලේ ඇඳගෙනය....ලෙල්ලට ගෙවුණ බාටා කුට්ටම් පය ලා තිබුණත්...කකුල් පුරා දූවිලි පුරෝගෙනය....
.
නම ගම පන්තිය අසා පටන් ගත් කයිවාරුව හවස තුනට සායනය අහවර වන තුරුම ඇදෙන්නේ ....මා සමග ආ සෙසු අය තවමත් රෝගී පරීක්ෂාවල හෙයිනි....මුහුණු වල ඇත්තේ අධික හෙම්බත් බවකි...අසල වූ වෙලඳසැලකින් බිස්කට් සහ යෝගට් ගෙනවිත් තුන් දෙනාට බෙදා නුහුරු බසින් කියැවෙන තැන්ක්‍යූ වචනය අසා හිත පුරෝගතිමි....
.
නැන්දා කොහෙද....
මාව පරීක්ෂණයට ලක් වන්නේ කටට පණ ආ ගිරා පැටික්කන් ගෙනි...
කොළඹ...
කොලඹ කොහෙද ?
එහෙ ඉස්පිරිතාලෙ ...
.
සාරි පොට එක අතක පැටලිලාය..මම හෙමින් එක් හිසක් අතගෑමි....
දින ගණනාවකින් නොනෑ හැඩපලු කොණ්ඩයකි..යාන්තමට මුඩු තෙල් සුවඳකි...
.
ඔයාල ලොකු වුණාම කවුද වෙන්න ආස ...?
.
ඩොක්ටර් කෙනෙක්...
.
ඇත්තෙන්ම ඒ මගේ ළමාවියයි...මගේ ඒ වයසේදී මුවින් පිටවු පිළිතුරයි....
.
සායනයේ දී....අවුරුදු තිස්පහක් හතළිහක් වන සමහර අම්මලාට අත්සන් කරන පෝරමයේ තමන්ගේ නම ලියාගන්නටද ඉමහත් වෙහෙසක් දරන්නට විය ..එවන් අම්මලා ගේ දරුවන් මේ දකින සිහිනයද.......බොහෝ දුරට සිහිනම වී බොඳ වී යන්නේ....කාගේ වරදින් දැයි සිතාගත නොහැක.....
.
ජීවිතය වේදනාත්මකය....
හිස දවන ගිනි හිරු ට යටින්...ඉරිඟු හේන් පුරා නින්නාද වන අර ළමා සිහිනයන් ගැන මට අප්‍රමාණව දුක සිතේ.....
.
යන්නට පෙර බුදුසරණයි නැන්දේ කියා දණ නමා වැන්ද කෙල්ලන් මගක් දුරට යන තුරු බලා උන්නෙමි....එක දැරිවියක් ආපසු හැරී සිනා වූවාය...මම අත වනා සමුදුනිමි......
.
අනේ.....ඒ සිනහවන් බොහෝ සොඳුරුය....

විසිරි

Wednesday, August 1, 2018

91. ශක්තිමත් වන්න

විෂය කාරණයකට අදාල එකක් වුනත් මට මෙන්න මේ කාරණය ගැන සටහනක් ලියන්නට හිතුනා....

අපිට ජීවිතයේ අතරමැදි අවස්ථා තියනවා...ඒ කියන්නේ යම් යම් අවස්ථාවන් තියනවා බොහොම negative point එකක ඉඳන් positive point එකකට යන්න වෙන...මේ අවස්ථාවට අපි කියන්නෙ Transition stage කියල...මේක අසීරුම අවධියක්.....හැබැයි මේ ඉසව්ව පැන්නම අපි අර බොහෝම අසීරු තැනින් මිදිලා යම් විසඳුමකට එනව ......

මෙන්න මේ transition period එක ගැනයි මම මේ කියන්න යන්නෙ....
ඒක අපේ ජීවිතයේ ඕනම නරක අත්දැකීමක් වෙනුවට ආදේශ කරලා බලන්න පුලුවන් ...
..
.
ඒක ලෙඩක් දුකක්..අහිමිවීමක්...අසමත් වීමක්...ආබාධයක්...මරණයක්....ඕනම එකක් වෙන්න පුලුවන් ....
.
මෙහෙම දේකදි....මුලින්ම වෙන දේ තමා .....මොකුත්ම නොදැනෙන කාලයක්.... අවස්ථාව ...thoery එකට අනුව නම් ඕකට අපි නිර්වින්දක අවස්ථාව කියනව.....immobilisation period..එකක් මේක......මොකුත් හිතාගන්න බෑ......හිරිවැටිලා වගේ හැඟීම් දැනීම් නෑ......

දෙවනියට mood swing වෙන අවධිය
මේකට අපි reaction period එක කියනව....අර මොකුත් නොදැනෙන එකෙන් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා.......ඒ කාලෙදි අපේ mood එක වෙනස් වෙනව......අඬන්න ඕන කෙනාට අඬන්න පුලුවන්.....තරහ අරන් කෑගහන්න ඕන නම් ඒකත් කරන්න......මේ කාලෙ ටිකක් අමාරුයි........
ඒත් negative පැත්තෙන් positive පැත්තට යන්න අපි පටන් අරන්........

තුන් වෙනි අවධිය කියන්නෙ self doubt...ඒ කියන්නෙ......හිතන්න ගන්නවා......මොකක්ද මේ උනේ කියල .......මේක ජිවිතයේ negative අවස්ථා වලදී වගේම positive අවස්ථා වලදීත් අපි අත් විඳිනවා.හිතන්න විවාහයක් වගේ දෙකදී..ගර්භනී වීමකදී..අපි පත්වෙන ඒ නොසන්සුන් බව තමා මේ self doubt එකේ positive අවධි වෙන්නේ...negative තත්වේදී මේක ටිකක් භයානකයි.මොකද තරහ වගේම ලොකු ආතතීන් අපිට එන්නේ මෙන්න මේ වේලාවට ....

ඊළඟට මොකද වෙන්නේ ....මෙතනට එනකල් ම අපි ඉන්නේ බොහොම අසරණ තත්වෙක...
මෙතැනදි අපි ව අසරණ කරන දේ තමා....අපි අපේ අතීතයට attach වීම ...ඒකෙන් තමා අපිව පස්සටම අදින්නෙ....ඉස්සර මං උන්නෙ එහෙම යි..මෙහෙමයි......කිය කියා වද වීම අපි ඉස්සරහට යෑම පමා කරනවා......නමුත් මේ ඊළඟ අවධිය ඒ කියන්නේ letting go අවධියේදී ...අපි එකෙන් මිදෙන්න උත්සහ කරන්න ගන්නවා....මේක අපිට අවදානම් අවධියක්...නමුත් ඉස්සරහට යාමේ පළමු පියවර ඔබ නොතිබ්බොත් ඔබට අනික් අන්තයට යන්න බැහැ...

මෙතන පන්න ගත්තම testing අවධිය....දැන් අපි පටන් ගන්නවා...මේකෙන් මිදෙන්න විවිධ දේ අත් හදා බලන්න....විකල්පයන් මොනවද කියල හොයන්න ගන්නවා...ඒ වගේම අපේ successes and faliures අපිම අත් හද බලනවා....හිතාගන්න බැරි විදියට ඔබේ මූඩ් වෙනස් වෙන්න ගන්නවා....

මේ අන්තිම අවධිය..මේකට අපි කියන්නේ interaction period ....කියල....මෙතැනදී අපි සාර්ථක වෙලා ...එහා ඉවුරට පැනල ඉවරයි....ඉතින් ලේසි නැති උනත් මේ ගමන යන්න වෙන්නේ මුල තැනින් අරඹලා.....සමහර වෙලාවට අපි ලද දෙයින් සතුටු වෙන්නෙත්...උන්න හැටියට මේ මදැයි කියල හිත හදාගන්නෙත් මෙන්න මේ කාලේදී වෙන්න පුළුවන්...නමුත් ඒ පියවර..ඔබ කලින් උන්න ප්‍රපාතෙන් ගොඩට ඒමක්.....බින්දුවේ ඉඳල සියයට යන්න එක පාරටම බෑ...දහය විස්ස ඉඳල ඕන ඒ ගමන යන්න.....

මගේ ක්ෂේත්‍රය වෛද්‍ය විද්‍යාත්මක නිසා අපි මේක ගොඩක් ආදේශ කරගන්නේ රෝගීන් ව නගා සිටුවන්න....නමුත් මම මේක යොදාගන්නේ....ඕනෑම කෙනෙක්ගේ ජීවිතේට සුළුම හෝ කඩාවැටිමකදී...නැගිටින්න සුදුසු මග ලෙසට........

ඉතින් මේ සටහන ටික ටික ලියලා අදයි ඉවර කරගත්තේ...මං හිතනවා මේක ඔබට නීරස සටහනක් වෙන එකක් නැහැ කියල.....
එහෙනම් ආයේ එනකල්....

be strong

මම 
විසිරි

Thursday, June 14, 2018

90. ජීවිතේ සුන්දරයි ....

ජීවිතය කෙතෙක් නම් සොඳුරුද..

~~~~~~~~~~~~~~~~~~~~~~~~

සති ගාණක් තිස්සේ ලියන්න හිත හිතා උන්න එක කාරණයක් තිබුණා...ඒකට හේතු වුණ කාරණාත් සුලබ වුනා..මේ ටිකේ..ඒත්..විවේකය අඩු වගේම..ලියාගන්න නිදහසක් හිතට ආවෙ නෑ.....

අද සහභාගී වූ පාඨමාලාවක දි එම පාඨමාලාවෙ සම්බන්ධීකාරක මහත්මිය අපේ කණ්ඩායම වෙත ඇවිල්ලා මෙහෙම කතාවක් කීවා...

" මං ඊයෙ ගෙදර යන ගමනුත් කල්පනා කලෙ ඔයා ඉන්න විදිය ගැන...ඔයා හරි සැහල්ලුවෙන් නෙ ඉන්නෙ..මෙච්චර දුරක් උදේ ම ඇවිල්ල...රෑ වෙලා යනවා...වැඩත් හරියට..වගකීමත් වැඩියි...ඒත් කිසිම දෙයක් ගණන් ගන්නෑ වගේ සැහැල්ලුවෙන් ඉන්නව...ඒක කොච්චර ශෝක් ද කියල..."

නිහඬ හිනාවකින් ඒක ට උත්තර දුන්නා මම.....

ජිවිතේ කියන්නෙ මහා බර පොදියක් විලසට ඔලුවට ගන්න ගියොත් එය දරා ගන්න අමාරුයි.මම කියන්නෙ සියල්ල ගණන් නොගෙන ම ඉන්න නොවෙයි..නමුත් ජීවිතේ හැම සුලු සහ මහා දේ බරක් කරගත්තාම ...හිතට කිසිම දාක නිදහසක් නෑ දැනෙන්නෙ....ඒක නොසන්සුන් බවක් වෙලා වදයක් වෙන්න මහ කලක් යන්නෙ නෑ....ඒක වෙන්න දෙන්න එපා   .

මාව පෞද්ගලික දන්න වගේම නොදන්න අයගෙ කතන්දර ගොඩක් එක්ක මට ලියන්න හිතුණෙ මෙන්න මේ දේ ගැන...

ඔබට ඔබ වටිනවාද......?

අද කාලය ගත්තාම ජීවිතේ වදයක් හිරිහැරයක් ලෙස වටහා ගන්නා තරුණ වගේම වැඩිහිටි පරපුර ක්...නිතර අපි වටා ඉන්නව...මම මේ ගැන දකින ප්‍රධානම හේතුව....මිනිස්සු තමන්ට ප්‍රමුඛත්වය නොදීම...තමන්ට ආදරය නොකිරීම සහ තමාගේ වටිනාකම අවබෝධ කර නොගැනීම....

අද කාලය ගත්තාම සියදිවි හානි කරගැනීම් ඉතාම සුලබ වනවා වගේම එම ප්‍රයත්නයන් සාධාරණීකරණය කරන ප්‍රජාවත් එන්න එන්නම වැඩිවීමක් පෙන්වනවා...

ජිවිතේ ගත්තාම එකම දවසක හෝ මේ ජීවිතය බරක් යැයි නොහිතුණ  කෙනෙක් ඉන්නවා ඇතැයි මම හිතන්නේ නෑ...ජිවිතයේ එක් එක් කාල වකවානුවල ...ඒ ඒ වයස් වලදී මුහුණ පාන විවිධාකාර ගැටලු නිසා...මේ ජීවිතය මහා වදයකැයි මටද නොසිතුණා කීවොත් එය බොරුවක් ...
නමුත් ...හැම ප්‍රශ්නයක්ම සාපේක්ෂ බව හිතන්න මට නම් එදත් අදත් එකම ලෙස හැකි වීම වාසනාවක්....

උදාහරණයක් ලෙස ජීවිතේ එක් වකවානුවක බරපතලම ගැටලුවකට මුහුණ පාන්නට වූ යුගයක....මටද සිතුණා...මේ ජීවිතය පලක් නැති බව...කිසිවෙක්ම මටය කියා නැතැයි මට සිතෙන්නට ගත්තා...ඒ යුගය වන විට ජීවිතේ සමහර හැඟිම් මහ හිතුවක්කාර තත්වයක තිබුණ බවත් මට මතකයි   .
නමුත්...ඒ හැඟීමට මා යටපත් කරන්නට ඉඩක් නොලැබුණේ  ..ඒ වකවානුවේ මට ජීවිත දෙකක් ගලවා ගැනීමේ ක්‍රියාවකට බැහැලා වැඩ කරන්නට වුණ නිසා...

මගේ ඥාති සොහොයුරියක් ගැබිණි සමයේදී ඇගේ කලලයේ වූ අසාමාන්‍ය තත්වයක් නිසා ටිකක් බරපතල ප්‍රතිකාර මාලාවකට යොමු කර රැගෙන යාමේ වගකීම මට පැවරුණා  .ඒක මම ම පවරාගත් එකක් කීවොත් වඩා නිවැරදියි.....
.මිනිස්සු ජීවිතය ගැන බලාපොරොත්තු ගොඩනගන අන්දම ඒ ජීවිත තුලින් දකින වාරයක් ගානෙ....මගෙ අව සිතුවිලි මගෙන් ඈත් වුණා

ජීවිතය කඩා වැටෙන මොහොතක තමන්ට වඩා ප්‍රශ්න ඇති සිය දහසක් මිනිසුන් සිටින බව සිහි කරන්න...

ඔබ මානසික සංකූලතාවයකින් පෙළෙනවා නම් මේ ස්වයං යෝජනා වලට පෙර වෛද්‍ය ප්‍රතිකාර ගන්න..එය ඉතාම අවශ්‍ය දෙයක්...
කෙනෙක්ට තමන්ට ගැටලුවක් හෝ එපාවීමක් ඇති බව අවබෝධ වීමම මම දකින්නේ හොඳ ලකුණක් ලෙස...ඒ insight එක ..ඔබට ගැටලුවෙන් පිටට එන්නට පාර කියාවි...නමුත් ප්‍රතිකාර අවශ්‍ය විටක....එයටත් අනුගත වන්න....

ඔබට ගැටලුවෙන් පිටට ඒමට අවශ්‍ය වියයුතුමයි...

සමහරක් විට ඔබේ හිත ඔබට යෝජනා කරන්නේ කඩාවැටීමටමය..ස්වභාවයෙන්ම ගත් කල අපි විඳීම හා සමානව විඳවීමේද ගැලෙන අය වෙමු...
එපා වීම...කලකිරීම...වැනි යෝජනා ඔබට ඔබේ හිතෙන් ගෙන එන වාර වලදී...ඔබ එයින් මිදෙන්නට වඩා එයම තහවුරු කරගන්නට නැඹුරු වීම ඉතා වැඩිවේ....ඒ අපේ යටි සිතේ හැටිය...
තුවාලයක කබොල කඩමින් ලබන වින්දනය හා සමානව...අපිද වැඩකටම නැති අසුබ දෙයෙහි ගැලි ගැලීම ඉන්නෙමු.....

ජීවිතය ඉතා සුන්දර බව අදහන්න...ඔබම  එය වටහාගන්නවා විනා ..එය ඔබට අනෙකෙක් කියාදෙන්නේ නැත...
කියාදුන්නත් එය ප්‍රායෝගිකද නැත..නමුත් ..අත්විඳින්න...ජීවිතය හරිම සුන්දරය...

ඔබ විඳවන්නේ අනෙකෙකු නිසා නම්....ඔබ ඊට පෙර ඔබ ගැනම සිතුවාදැයි මම අසමි....තමන්ට අහිමි වූ හෝ හැරගිය අයෙක් වෙනුවෙන් ජීවිතය ම වෙන් කර විස්සෝප වන්නට පෙර.....ඔබ ඔබ ට කෙතෙක් ආදරය දැයි සිතන්න....
ඔබට ඔබම ආදරය වීමට කිසිත් කාරණා අවශ්‍ය නැත...

ඔබ ට ඔබ මේ ලෝකයේ සිටින සුන්දරම ...ආදරණීයම...ලෙන්ගතුම ප්‍රාණියා විය යුතුය.....ඉන් එහාට අනෙක් අය සිටියාට කමක් නැත......

අනෙකෙකු වෙනුවෙන් ජීවිතය වෙන් කර...එයින් පැරදෙන ඔබ ....ජිවිතේ ජයග්‍රහණය ඇත්තේ එතුලම බව කිසිම විටෙක දන්නේ නැත...කොටින්ම කිවහොත් ඔබට එය පෙනෙන්නේ නැත....
ජීවිතය නූලක එල්ලෙන අස්ථාවර  දෙයක් වෙද්දී....එම ජීවිතය ට පෙම් බඳින්නවුන් ඔබ දැක ඇත්ද....පිළිකාවකින් ජීවිතය හැරයන්නට ඔන්න මෙන්න සිටින අයෙක් ඔබ දැක තිබේද....ඔවුන් ප්‍රශ්න හෝ ජීවිතේ පලායෑම් ගැන නොසිතූ අය  නොවේ....එහෙත් ඔවුන් ජීවිතය ට පෙම්  කරන්නේ....ජීවිතය අහිමි වෙන්නට යන බව දැනගත් දා සිටය....මම මගේ සොහොයුරෙක් ගේ ඒ අවසානය මනාව දැක විඳ ඇත්තෙමි.......ඔහු ජීවිතය සෙවූ අයුරු බලා සිට ඇත්තෙමි....ඉන් පෙර ඔහු ජීවිතය විඳි අයුරද දැක ඇත්තෙමි.....වෙනස එතැනය...

අනුන් වෙනුවෙන් ජීවිතය පවත්වාගන්නට කිසිවෙක්ට අවශ්‍ය නොවේ....ඔබ ජීවත් විය යුත්තේ ඔබ වෙනුවෙනි....අනුන් වෙනුවෙන් නොවේ....එසේ ජීවත් වෙන්නට හේතුවක් නැත්නම්.....අද ඒ හේතුව ඔබම සොයා ගන්න යැයි මම ඔබට කියමි......

ජීවිතය හැර යන්නට සිතන කිසිවෙක් ඒ හැරයෑම වේදනාකාරී වනවාට කැමති නැති බව මම ඉඳුරාම පවසමි....මරණය කිසිදු විටෙක සුන්දර නොවේ...මරණයද සුව පහසු වෙනවාට අපි කැමති ඇයිදැයි මඳක් ඔබ සිතුවාද....
හදිසි ආවේගයකට හැර සංවිධානය කර ජීවිතය තොර කරගන්නට වෑයම් දරන්නන්......ඒ ප්‍රයත්නයේ අවසන් මොහොතේ....ඉල්ලා සිටින්නේ ජීවිතය බව මම රෝහලේදී ඇස් පනාපිටම දැක ඇත්තෙමි....

මන්ද හැරයෑම ...සියලු දුක් නිවාරණය නොවන බව ජීවිතය අපිට කියාදෙන්නේ අන්න ඒ මොහොතේදී වන හෙයිනි......

මෙතරම් ලියන්නේ......ඇස් ඇරෙන්නට කාලය මේ යැයි මම සිතන හෙයිනි....
කෙසේ වතුදු...ඔබ හෝ මම අවුරුදු සියයක් ජීවත් වන්නේ නැති අයය....අපේ මේ කෙටිම කෙටි ජීවිතේ සුන්දරව ගෙවන්න ට ජීවිතයට අවශ්‍ය වන්නේ .....ආදරය පමණි....

ඒ ආදරය ඇත්තේ ඔබ තුලම මිස ...අවශේශයන් තුල නම් නොවේ......

ඔබට හිනාවෙන්නට අවැසි නම් ....මේ එයට කාලයයි....

ඔබට .....හඬ නගා සිනාසෙන්නට අවැසි නම් ....එයට නිමිති දාහක් ඔබ වටා ඇත....

ඔබ ....ඔබට ආදරය කරයි නම්.....ඔබගේ ජීවිතය තරම්  සුන්දර කිසිවක් මේ මිහිමත නැති බව මම ඉඳුරාම පවසමි......

අනවශ්‍ය බර පොදි පසෙක ලන්න....ජීවිතයේ සැහැල්ලුව විඳින්න....

අතහැරීම යනු.....ජීවිතය අතහැරීම නොවේ....ඔබේ ජීවිතය ට පිරී ඇති දුක් දෝමනස්සයන් සහ කුණුකන්දල් ටික අත හැරීමය......

එය ජීවිතය ට ආදරය කිරීමේ මුල්ම පියවරයි......

විසිරි.....

Tuesday, May 22, 2018

89. හැකි නම් වන්න අන් වතක සිනහවක්

හැම දවසකම , පෙර නාඳුන්නෙක් හට ඔබට හැකි නම් කාරුණික වන්න ...

මම මේ ස‍ටහන පසු ගිය දවසක කියෙව්වා...පොතක තිබිල...

ලෝක ප්‍රකට ඇඩොල්ෆ් හක්ස්ලි..සිය මරණ මංචකයේදී මේ අදහස කියා තියෙනවා...

හිතන්න මඳක්...

ජීවිතය කියන්නේ ක්‍රියාදාම සමුහයකට..මේ ක්‍රියාවන් කරුණාව , දයාව වැනි මානුෂික ගුණාංග වලින් පෝෂණය වුනාම ඒක ජිවිතයට ආශිර්වාදයක් වෙනවා..

ඔබේ ජිවිතයට එන යන දහස් දෙනෙක් ඇති.ඒ හැම කෙනාම ඔබේ ජිවිතයට ආවෙත් ආපසු යන්නෙත් හේතුවක් ඇතුව.ඔවුන් ඔබගේ ජිවිතයේ ඉන්න කාලය තුළදී...ඔබේ හැම දිනයක්ම ඔවුන් හට ඔබෙන් යමක් දෙන දිනයක් වෙන්නට ඇති.ඒ ගැන කිසිදු විටක පසුතැවෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.

හෙට දවසේ නාඳුනන එක අයෙක්ට හෝ ඔබේ කරුණාව, දයාව අවැසි වෙන්න පුළුවන්.ඔබේ එසේ නොදෙන්නට ඔබට හේතු තිබේදැයි සිතන්න.

ඔබට ඔබ අවට ලෝකය සතුටින් පුරවන්න පුළුවන්.හැකි නම් එක දවසකට එක අයෙක්ගේ සිනහවක් වෙන්න...එහෙමත් නැත්නම් ඔබට හැකි නම් ඔවුන්ගේ අවුල් සහගත මනස වෙනස් කර සතුටින් පුරවන්න..

ඔබේ ඒ දවස කෙතරම් වටිනවද..

මගේ කලින් රැකියා ස්ථානය මට හැම දිනයක්ම අලුත් කල තැනක්.මගේ වචනයකින් හරි දිරිමත් වෙලා නැගී සිටින්න බලන් ඉන්න මුණු ගානක් රෝහලේ උන්නා.ඒ හැම දවසම අධික වෙහෙසින් නිමා වුණත්..මම ගෙදර අරන් ගියේ සන්තුෂ්ටිය.අවුරුදු දහ අටක්ම ඒ සතුට මම නොඅඩුව වින්දා.

අද රැකියාව වෙනස් වුණත්..මම උත්සාහ කරන්නේ මගෙන් ඒ දේ වෙන්න ඕන කාටහෝ ඒ දේ නොඅඩුව ලබාදෙන්න.නමුත් මේ අතරේ ඒ දේම හිරිහැරයක් කරදරයක් වන අවස්ථා නැතුව නෙවෙයි.

නමුත් තවත් ජීවිතය ගෙවන්න ඇත්තේ ටික කලක් පමණයි.ඒ නිසා ජිවිතයේ හැම දවසකම සුන්දර යහපත් දෙයක් කරන්න මම කැමතියි.

ඔබට මම කියන්නේ.....ඒ දේදී පවා නිර්මාණශීලි වන්න.සමහරක් විට ඔය කියන සතුට ඔබට ලැබෙන...... කාරුණික වීම කියන්නේ බසයේ හිටගෙන යන කෙනෙක්ට අසුන දීම වෙන්න පුළුවන් , එහෙමත් නැත්නම් උදේට ඔබේ මුණ දෙස විමසිල්ලෙන් බලන වයසක කෙනෙක්ට සුබ උදාසනක් පැතීම වෙන්න පුළුවන්...

මේක මහා දෙයක් නෙවෙයිනේ.....ඔබ දැන් එහෙම හිතන බව මම දන්නවා....

ඒත් හිතන්න...අපි මේ සුළුම දේත් කරන්නේ නැහැ නේද කියල....ඒ නිසා අද ම පටන් ගන්න...ඔබේ සිනහව ට පුළුවන් කෙනෙක්ගේ මුළු දවසම වෙනස් කරන්න....

මම 
විසිරි 

Sunday, May 6, 2018

88. ඔබේ ඇස්දෙක ඔබේ දරුවන්

මේ දවස් ටිකේ තියෙන්නෙ දුවන ජීවිතයක්...

විසිරිත් ඉතින් බල්ලට හැතැම්ම නෑ වගේ ..ගමනෙමයි...
ඒත් ඒ අස්සෙත් ලියන්න කියවන්න කප්පරක් දේවල් එක්කාසු වෙනව....
.
කොහොමත් ගෙදර ඇවිල්ලා හුස්මක් කටක් ගන්නත් කලින් ...සමාජ සේවා වැඩ කටයුතු දුරකතනය දිගේ ගලාගෙන එනවා..තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉතින් මාත් දන්න කියන උදව් කරගෙන ....විස්තර එහෙම හොයල දීල ඉවර වෙලා ...

මං ගැන වද වෙන්නත් වෙලාවක් තිබ්බොත් හොයාගන්නවා...  :D
.
පහු ගිය දවසක ඔන්න ඔහොම අපෙ නංගි කෙනෙක් මට කතා කරනවා...අසල්වාසී අයෙක්ට උදව් කරන්න කියල...

ඒ අම්මා මං දන්න තරමින් සැලකිය යුතු රැකියාවක වගකීම් සහිත තනතුරක් දරන්නියක්...පසුගිය කාලයේ සිදු වූ හදිසි අනතුරකින් ඇයගෙ ස්වාමියා මියගියා දැන් ඉන්නෙ දරු දෙන්නා සහ ඇය...
මෙයින් එක් දරුවකුගේ චර්‍යාමය ගැටලු සහිත තත්වයක් ගැන මගෙන් විස්තර අහගන්නයි මගේ සොහොයුරිය හරහා ඇය මා ඇමතුවෙ...
.
අදාල උපදෙස් දුන්නාට පසුව ඇයගෙ අනෙක් ගැටලුව ලෙස මගෙ සොහොයුරී කීවෙ " අනේ අක්කෙ එයාට ඔය කියන ඒවා කරන්න වෙලාවක් නෑ කියල...සල්ලි ගෙවලා කොහේ හරි ප්‍රයිවෙට් හරි කරගන්න තැනක් තියද අහනව" .

මම නිහඬවම දුරකතනය තැබුවා...පසුව මම මගේ සොයුරියට මේ ගැන කතා කලා...

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ අතිශය කාර්‍ය බහුල අය වෙන්න පුලුවන් ..රැකියාවල් ඉතාම වගකීම් සහිත වෙන්නත් පුලුවන් ..ඒත් ඔබට ඒ සියල්ල එක්ක ඔබේම දරුවා බලාගන්න බැරි නම් දරුවාට අවශ්‍ය රැකවරණය සත්කාර ඔබේ අතින් දෙන්නට අපහසු නම් ...දවසේ පැය ගණන් වැඩ කරල උපයන දේත්...එයින් ලබන ආත්ම තෘප්තිය හෝ වෙන ඕනම ප්‍රතිලාභයකිනුත් ඇති වැඩක් තියද ?
.
ඉස්සර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක්ක සේවා ස්ථානයේ සහ සමාජයේ වැඩ කල කාලයේ....මම දෙමවුපියන්ට මඳක් තදින් උන්නෙ...ඒ නිවැරදි ක්‍රමවේදයකට දරුවන් ට ප්‍රතිකාර කල යුතු නිසා..ඒ වගේම පෞද්ගලික ප්‍රතිකාර වලදීත් (බේරෙන්න බැරිම වෙලාවට කල ) මගෙ home programs වලට ඔවුන් වැඩ කලයුතු වුණා...ඇත්තෙන්ම ඒවායෙ ප්‍රතිපල සාර්ථකයි...
.
දරුවා සාමාන්‍ය දරුවෙක් උනත් විශේෂ අවශ්‍යතා සහිත අයෙක් උනත්....දෙමවුපියන්ගේ නිවැරදි කැපවීම ඔවුන්ගේ අධ්‍යාපන සහ කායික, මානසික සංවර්ධනයට පිටිවහලක් වෙනවා.....
.
ලෝකයේම බර ඔලුවෙ තියන් ගෙදර එන අම්මලා තාත්තලාට මං ආයෙ කියන්න කැමතියි...

ගේට්ටුවෙ එල්ලන්න පොඩි මල්ලක්..අන්න ඒකෙ අර ඔලුවෙ තියන බර එල්ලල ගෙට ගොඩවෙන්න....
ඔබේ ඇස් ඉස්සරහ තියෙන්නෙ ...ලෝකෙ තියන ලස්සනම දේ....ඒ ඔබේ දරුවන්...

විසිරි

Thursday, April 12, 2018

87. if you don't try you will never know

මට අද මේ සටහන ලියන්නට හිතට ආ ප්‍රධානම හේතුව...කියවපු පොතක තිබුන මේ වැකිය....
If you don't try ...you will never know

අපි උපදින්නේ කිසිවක් නොදැන..හිස් කඩදාසි වගේ...
කාලය එක්ක ...ඒ කොලය පිරෙන්න ගන්නවා...
සමාජ සාධක සහ විවිධාකාර තත්ත්ව යටතේ ....එම පිරීම විවිධ වෙනවා..
හැම ළමයෙක්ම එක වගේ වෙන්නේ නැහැ..
බුද්ධි මට්ටම් වෙනස්
යොමුවීම සහ මතක ශක්තින්...දක්ෂතා සහ කුසලතාවන් වෙනස්...

අපි උපදින්නේ එලෙස උනාට අපි ඉගන ගන්න උත්සහ කරන්නේ නැත්නම්...එක අපේම වරද.....
මේ ලෝකය අද අපි හිතනවට වඩා වේගයෙන් ගමන් කරන එකක්....
එහෙම නම් ..ඊට සමගාමිව අපි යමක් උකහා ගන්නේ නැත්නම් ..එක අපේම වරද...

ජිවිතේ අත්දැකීම් කියන්නේ අපූරුම දේවල්....
ඒවා සුබම නෙවෙයි අසුබම ඒවත් වෙන්න පුළුවන්...

මගේ එක අත්දැකීමක් මම මෙහි සටහන් කරන්නම්..

මම උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් සමත් උනේ ඒ සාමාර්ථයක්..බී සාමාර්ථයක් සහ සී සමර්ථ දෙකක් එක්ක...නමුත් ලකුණු මට්ටම් සසඳන විට ලකුණු අඩුවක් තිබීමෙන් මට විශ්ව විද්‍යාලයට යන්නට බැරි වෙන මට්ටමක් ඒ වතාවේ තිබුණා...
ජාතික මට්ටමේ කුසලතාවයන් දක්වා තිබීම නිසා ලැබෙන අමතර ලකුණු ලබාගන්න මම සම්මුඛ පරීක්ෂණයට ගියා...

මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ උන්නේ ලංකාවේ ප්‍රසිද්ධ  මහාචාර්යවරු...
මගේ සහතික ටික අතට අරන් ඒවා බලල මගෙන් හරබර ලෙස ඇහුවේ ඉංග්‍රීසියෙන් ප්‍රශ්න.....
මම ගමකින් ආව සිසුවියක්..මගේ සාමාර්ථයන් තිබ්බෙත් සිංහල හැකියාවන්ට...එතැන උන්න සිංහල අංශයේ මහාචාර්ය තුමාම මගෙන් ඉංග්‍රීසියෙන් අහලා මාව අපහසුතාවයට පත් කලාම මගේ ඇස්දෙකට කඳුළු ආවා....

එවකට ජාතික සහ සමස්ත ලංකා මට්ටමේ වර්ණ ලාභියෙක් වුන මගේ සහතික ඔවුන් එතරම් ගණන් ගත්තෙත් නැහැ...මට වුණත් එදා ඒ ලකුණු අවශ්‍ය නැහැ කියන මතයට මම ඇවිල්ල උන්නේ එම සම්මුඛ පරීක්ෂණය නිසා.....

එදා ඒ අපහසුතාවයෙන් පස්සේ මම හිතාගත්තා....මම මගේ අඩුපාඩුව හදාගන්න ඕන කියල...මම වර්තමාන රැකියාවට අදාල පුහුණුවට ඒම ලොකුම අභියෝගයක් උනා ඉන් පස්සේ....සම්පුර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වුන පාටමාලාව හදාරන එක...ඒ අභියෝගය එක්ක ජිවිතේ මං ඉගන ගත්තා....

අද දේශීය විදේශීය සම හා මට ඉහල ඉන්න වෘත්තිකයන් එක්ක ඉංග්‍රීසියෙන් ගනුදෙනු කරන විට මට අර අතීත සිදුවීම ඉබේම මතක් වෙනවා..එදා මට එහෙම නොවුනා නම්..ඒ ලැජ්ජාව මගේ හිතට නොආවා නම්...මට මේ ගැම්ම එන්නේ නෑ නේද කියලා මම හිතනවා...

මම එක්ව වැඩ කල එක විදේශීය ජාතික ආචාර්ය මහාචාර්ය වරු කිසිම කෙනෙක්..කෙනෙක්ගේ භාෂාමය දුර්වලතාවයකට හිනා වෙනවා මම දැකල නැහැ...නමුත් මේ අපේ රටේ අය....සාමාන්‍ය මනුස්සයාගේ ඉඳලම අනුන්ට අනුන්ගේ නොහැකියාවට හිනා වෙන අය...

මම එදා හිතා ගත් එක දෙයක් තිබ්බ....මගෙන් ඉගන ගන්න එක්කෙනෙක්ටවත්  භාෂාමය දුර්වලතාවය මත නම් මේ පුහුණුව අතහරින්න නොදෙන බව....සායනික ව මුලිනුත් ..පසු කාලිනව පුර්ණකලිනවත් මම ආචාර්යවරියක් උන දවසේ ඉඳන්..මම ඒ දේ කළා,,,,

වර්තමාන සිසුන් අතරේ ඉන්නා එක දරුවෙක්....මුලදී එකම ඉංග්‍රීසි වචනයක් බැරිව බොහොම මානසිකව වැටුණ කෙනෙක්..මගේ පෞද්ගලික counselling /mentoring session වලදී...හඳුනාගත් ගැටලුව ඔහුගේ එයයි ....ඒ ගැටලුව අපි හදාගත්තා...දැන් ඒ දරුවා වාචික පරීක්ෂණ වලදී පවා ලස්සනට බස හසුරවනවා....මට එදා ඇතිවුනේ ආඩම්බරයක්...

" උත්සාහ කරන්න...ඔබ උත්සාහ  නොකලොත් ඔබ කිසිදා එය ඔබට බැරි බව දැනගන්නේ නැහැ...නමුත් ඔබ උත්සහ කලොත් ඔබ ඔබේ ගැටලුව හඳුනාගන්නවා..එවිට මට හැකියි ඔබට උදව් වෙන්න......" මේ මම එදා ඔහුට කිව්ව දේ....

අපහාසාත්මක හිනාවකින් මට සැලකු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත මම ඒ මොහොතේ හිතෙන් thumbs up කළා 

විසිරි 

Thursday, March 29, 2018

86. spider phobia




කෑම වේලාවේ මඳ අලස සුවයෙන් පසු වන විසිරිගේ නිදිබර දෑස නළලටත් මඳක් උඩට යවන්නට සමත් වූ අතිශය භයංකාර සත්වයා තාමත් බිත්තියේ ඉහල එහෙට මෙහෙට ඩිස්කෝ ඩාන්ස් එකක් දමයි.....
.
වරින් වර උන්නැහේ දෙස හොරෙන් බලමින් ...යටි සිතින් අනේ ඕකා වැටිලා අත් අටම උලුක්කු වෙයන් යැයි සිතමින් අතීතයේ සිටන් ස්පයිඩර්ස් ලා සම්බන්ධ මතක එකින් එක අවුස්සන්නේ...යාබද පුටුවට කකුල් දෙකත් තබා ගෙනය......
.
මට ඕනෑනම් ප්‍රාග් අයිතිහාසික යුගයේ උන්නා යැයි කියන දරුණුම ඩයිනසෝරයා මේ දැන්.....මා අබියසට ඒනම් කිසිදු බියක් නැතුව ඒ සත්වයා සමග මූණට මූණලා සටන් කල හැක.....ඒත් රුපියලේ කාසියකට වඩා ලොකු නැති කඳක් බඩක් සහිත මේ අද්භූත ජීවියා දිහා කෙලින් බැලීමටද බැරිය....
.
ඒක බයම නොවේ පිළිකුලයැයි සිතා මම මගේ නම්බුව බේරා ගනිමි....
.
ඉස්සර පොඩිම කාලෙ මේ වෛරක්කාර සතා මම නාන කාමරයට යන්නේ මොන වේලාවටද ..ඌටත් ඒ වෙලාවටම එහි යැමට උවමනාය...ඉතින් නාන කාමරයට ගිය වේගයට වඩා වේගයෙන් ඉන් එලියට පැන ...මගේ එකම ගැලවුම් කරු වන තාත්තාට බෙරිහන් දීමට මම පටන් ගමි.......
අනේ ඉතින් තාත්තා කොස්සක් ගෙන මකුලු උන්නැහේට තට්ටු කර කර එලියට යවයි......
.ඊලඟ දවසේත් එසේමය.......
.
.උසස්පෙල සත්ත්ව විද්‍යාවට කැරපොතතන් ගෙම්බන් කපන්නට ආවට වෙලාවට මකුලුවන් කපන්න තිබ්බෙ නැත.............තිබ්බා නම් මම විද්‍යා විශය අතහැර කලා විශයයන් කරමි..
.
කොහොමින් කොහොම හරි මම පුහුනුවට කොලඹ ආවාට පසු අපේ අම්මා මට දවසක් ලියුමක් ඇතුලේ මැරිච්ච මකුලුවෙක් දමා එවා..මුලු ජාතික රෝහලම තව ටිකෙන් මගේ ඒ භීතිකාව සහ කෑගැහිල්ලේ තීව්‍රතාවය දැන ගන්නවාය.......
.
ඒ මදි වාට.......psychiatric conditions ඉගන ගන්නකොට phobia ගැන ඉගන ගන්නවිට උදාහරනයට ගන්නේම මේකාය....මම ඒක කැරපොත්තා ලෙස වෙනස් කරමින් පාඩම් කලෙමි........සායන පුහුනුවේදී blood phobia ඇති අයෙක් accident service ගෙනිහින exposure කලාට spider phobia කෙනෙක් ආවා නම් මට යන්න වෙන්නෙ ගෙදරය...
.
අර ස්පයිඩර් මෑන් කතාවේ වගේ එහේන්මෙහේ එල්ලී යන බලයක් දෙනවා කීවත්.....මම මේ සතාට ඇති අකැමැත්ත නම්.......සදාකල්ම එසේමය........
.
අර උන්නැහේ නටනවා කෙලවරක් නැත........මම පෝස්ට් එක නවතා ක්ලීනින් සර්විස් එකේ ඇන්ටිව සොයන්නට යමි.....

විසිරි ගේ මතක 

Wednesday, February 21, 2018

85. Be Cool

ඔබට තරහා යනවාද..?

ඕක අහන්නත් දෙයක් ද ...?...ඔබ කියාවි...
උදේට දහසකුත් එකක් රාජකාරි ඉවර කරල බස් එකට දුවන ඔබ.....ඒ බස් එක පමා වුණත් කේන්ති ගන්නවා...

ඔබේ වාහනය රිය තදබදයක හිරවුණාමත් ඔබට ඇතිවෙන්නෙ තරහක්...

සුපිරි වෙලඳ සලක...බඩු තෝරගන්න ගියාම..බැංකුවේ පෝලිමේ ඉන්නකොට....
තරහ එන්න හේතු ගොඩයි....
.
.තරහ යෑම සාමාන්‍ය දෙයක්....නමුත් හරි කෙනා එක්ක ...හරි වෙලාවට....හරි ප්‍රමානයෙන්...හරියාකාර හේතුවකට...ඒ වගේම හරි විදියකට...තරහ ගැනීම පහසු දෙයක් නොවෙයි.......මේක කියන්නෙ ඇරිස්ටෝටල්.....

ඒ කියන්නෙ අපි තරහ ගන්න හේතු බැලුවාම ...ඔය කියන කාරණා වලට අදාලවම නම් නෙවේ අපි තරහ ගන්නෙ...
.
නරකම දේ මෙන්න මේකයි...
අපි නිතර නිතර තරහා ගන්න කොට....ඒක අපිට පුරුද්දක් වෙනවා .....ඕනම දෙයක් නිතර වෙනකොට ඒක තමා ගේ පරිසර සාධකයක් වෙන්න ගන්නවා...ඉතින් තරහ ගැනීම ඔබේ සාමාන්‍ය තත්වය වෙද්දි......ඔබේ මිත්‍ර සම්බන්ධතා බිඳ වැටෙන්න පුලුවන් ...

ඔබේ ආයතනික සම්බන්ධතා කඩා වැටෙන්න...සමාජයේ ඔබ නොරුස්සන පුද්ගලයෙක් වන්න පුලුවන් ..
ඔබව දකින කෙනා....ආ එයා නට් ලූස් පොරක්...කුකුල් කේන්ති කාරයෙක් වගේ ලේබලයන් වලට ඉබේම හසුවෙන්න පුලුවන් ...

ඉතින් මේ තත්වයට ඔබ පත්විය යුතුද.....?

ඒ වගේම ඔබ දන්නා සාර්ථක පුද්ගලයන් ගැන බලන්න...ඔවුන් තමන්ගේ ආතතීන් පාලනය කරගන්නා අපූරුව බලන්න...ඔබ තරහ පාලනය කරගන්නෙක් වෙන කොට...ඔබ තරහ වගේ හේතූන් නිසා ඔබෙන් ගිලිහෙන කාලය ඉතුරු කරගන්නවා.....

වැදගත්ම දේ .....
ඔබේ වචන පාලනය කර ගැනීම.....

Words are like arrows.once released, they are impossible to retrieve .So choose yours with care.

මේ වැකිය අපි දන්නා දෙයක්..

තරහා පිටවෙන යමක් කියවෙන්නට පෙර 1 ඉඳලා 100ට ගනින්න කියන එක අපි අහලා තියන හොඳම වලක්වාගැනීමේ පියවරක්...නමුත් හොඳවයින් දෙකක් කියවෙන්න එනවෙලාවට ඉලක්කම් පවා අමතක වෙන එකනෙ නරක ...නේද....
.
මම කියවපු පොතක අපූරු සටහනක් තිබුණා...හිමාලයේ උන් පුරාණ ඉසිවරයන් කොට්ටාසයක් තමන් යමක් පවසන්න කලින් පිලිපැදපු එක් නීතියක් තියෙනවාලු ..ඒක තමා ත්‍රිත්ව දොරටු නීතිය....

මුල්ම දොරටුවේදී අපි සිතන්න ඕන අපි කියන්න යන දේ සත්‍යයක්මද කියලා..ඒකඔව් නම් දෙවනි දොරටුව වෙත යන්නට පුලුවන් .

.එතන්දී අපි යළි සිතන්න ඕනෑ මේ කියන්න යන දේ කීමට අවශ්‍යමද කියන එක...ඒකටත් එන්නෙ ඔව් කියන උත්තරය නම් ඔබ යනවා තෙවනි දොරටුවට..

.එතනදී ඔබ ඔබෙන් අහනවා..ඔබේ ඒ කියන්නට යන දේ කාරුණිකද කියන එක...ඒකත් ඔව් නම් ඔබට ඔබේ සිතුවිලි වදන් වලට හරවා පිටකල හැකියි.....
.
.මේ ගැන ආයෙම හිතන්න.......මේක මහ කාලයක් ගන්නා දෙයක් නම් නෙවෙයි...ක්ෂණිකව ඔබට කල හැක්කක්....එමෙන්ම ඔබේ තරහ පාලනය කරන්නට සුදුසුම පියවරක්.......

ඉතින් ...හුඟාක්ම තරහ යන්න ඉන්න මොහොතක....ඔබට හැකි නම් ......ඉවසන්න.....ඔබ ඉතුරු කරගන්නේ ඔබේම සැහැල්ලුව ....

එහෙනම් Be Cool....

මම 
විසිරි 

Friday, February 16, 2018

84. ජීවිතය ත්‍යාගයක්



ජීවිතය කියන්නේ තෑග්ගක්...ඒක අපිට උපදින කොටම ලෝකය..ස්වභාව ධර්මය දීලා එවන්නේ...
මම සඳුදා උදේ මගේ ජංගමයේ තියන ඩයරියේ ලිව්වා......I will work hard to keep this week more effective....කියලා...
ඒක මම ලිව්වෙ ස්ටේශන් එකට ආව ගමන්...
නමුත් අද කෝච්චිය පරක්කුයි..බලද්දි ඒ එන අතරමග කෙනෙක් බෙල්ල තියලා....
ඒ තමයි ඒ කෙනා තමන්ගෙ ජීවිතය කියන ත්‍යාගය ප්‍රතික්ශේප කල අන්දම...
සිය දිවි නසා ගැනීමක් කල කෙනාට ලෝකයම ඇඟිල්ල දිගු කරන්නේ මෝඩයෙක්..අනුවණකමක් කල කෙනෙක්...ආත්ම ශක්තිය නැත්තෙක්...ලෙසට..
නමුත් .....අපි ඕනම කෙනෙක්ට එවැනි අවස්තා එනවා..දරාගන්න උච්ඡම සීමාව පැන්නම වෙන්නෙ තමන් ගෙ ජීවිතය ත්‍යාගයක් ලෙස නොව හිරිහැරයක් ලෙස පෙනීම....
මිනිස්සු ඒ මිය ගිය කෙනා ගැන විවිධ කතා...රස කරමින්..නමුත් ..හෙට නෑ අද හවස වෙද්දි කාටත් ඕක මතක නෑ....
ඔබ ජීවත් විය යුත්තේත් මිය යායුත්තේත්...මිනිසුන්ගේ සිත් සතන්වලට සතුටක් දෙන මතකයක් ලෙස...ඇත්තෙන්ම ඔබ එසේ කරන්නේ නැත්නම් ඔබ ජීවත් වුණත් ඒක ත්‍යාගී ජීවිතයක් වෙන්නෙ නැහැ..
ඔබ ජීවිතය ත්‍යාගයක් ලෙස බාරගන්න...එය ලැබුණෙ ඔබට...කිසිම අයෙක්ට එය උදුරාගන්න ඉඩ දෙන්න එපා...
හැම දවසක්ම .....ඔබේ ඒ ත්‍යාගී ජීවිතයෙන් යමක් ලෝකයට දෙන්න.....
.බලන්න
ලෝකය හරිම ලස්සනට ඔබ එනකල් බලන් ඉන්නවා ......
..
මම
විසිරි

Saturday, January 27, 2018

115. ජිවත් වන්න මේ ලෙසට

මම පොතක කියවපු සටහනක් තියෙනවා මෙහෙම ...

ඔබ උපදින වෙලාවේ මුළු ලෝකයම උද්දාමයට පත්වෙද්දී ඔබ හඬන්නට ඇති....ඔබ ඒ නිසා ජිවත් විය යුත්තේ...කවදා හෝ ඔබ සෙසු අය හඬා වැටෙද්දී ඔබ සතුටින් මිය යන ආකාරයටය....

ඇත්තෙන්ම හිතන්න මේ සටහනේ සත්‍යය....

අපි ජිවත් වෙන්නේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා අපිටම අමතක වෙන යුගයක.....
.
හිතන්න ...ඔබ සමහරක් වෙලාවට වචන වලින් කෙනෙක්ව හඳටත් එහා තැනක තියාවි....ඒත්..ඔබ පාරෙන් එහා පැත්තේ ගෙදර ඉන්න ඔබේම අසල්වැසියා ගැන කිසිවක් දන්නේ නැහැ

....අපිට ගණිත සංකල්ප භාවිත කරලා මුදූ ගානකින් එහාට මිසයිලයක් ටක්කෙටම යවන්න පුළුවන්...ඒත්,,,අපිට අපේ ආදරනියයන් එක්ක මොහොතක් ගෙවන්න ෂෝට් ලීව් එකක් දාගන්න වෙලාවක් නැහැ.....

අපිට ජංගම දුරකථන, විද්‍යුත් මේල, ෆැක්ස්..ඔය වගේ ඇති නවීන ඕන තරම් දේවල් තියන නිසා අපි ලෝකය එක්ක හරිම සමීපයි.....කියලා හිතුවත්....මේ කාලය තමයි මිනිසුන් එකිනෙකා අතරින් සැබෑවටම ඈත් වෙලා ඉන්න යුගය...අපි අපේ මානව බැඳීම් වලින් ඈත් වෙන්න අරන්...අපි අපේ අරමුණු ග්‍රහණය කරගන්න විදි වෙනස් වෙන්න අරන්....අපි කෙටියෙන් කිව්වොත් ලෝකය දකින විදිය එහෙම පිටින්ම වෙන ස් වෙන්න අරන්.....

මේ ගැටලුවට සරලවම උත්තර දෙන්න...

ඔබ කවදා හරි මැරුනොත් ඔබ වෙනුවෙන් කවුද අඬන්න ඉන්නේ...?
මේ ජිවත් වෙන කාලේදී ඔබ ස්පර්ශ කල මිනිස් සිත් සතන් ගණන ඔබට හිතන්න පුලුවන්ද......
ඔබ හිතන්න....

බර්නාඩ් ෂෝ මරණ මංචකයේ ඉද්දි කෙනෙක් ඇහුවලු ඔහුගෙන්..ඔබට යලුත් ජිවත් වෙන්න ලැබුනොත් ඔබ වෙන්නේ කවුරුද කියල...

ඔහු දුන්න උත්තරේ තමයි.....මම මේ තරම් කල් වෙන්න බැරි උන..ඒත් මට වෙන්න ඕනෑම වුන කෙනා බවට පත් වෙනවා...කියන එක.....

ඉතින් නැවත සිතන්න.....
ඔබ ජිවත් විය යුත්තේ කෙසේද....
ඔබ තුල ඇති සත්‍යය වටහා ගන්න....
ජීවිතය යන ගමන සුන්දර ගමනක් කරගන්න

ජීවිතය කියන්නේ ඉඩක් හසරක් නැතුව වැඩ කරන එකට නම් නොවේ...අපි හැමෝම එකම අරමුණකින් ලෝකයට ඇවිල්ලා ඉන් පසු විවිධ මාවත් වල යන අය ...
ඔබේ මාවත ඔබ සකසා ගන්න...

ඔබ සෙස්සන් ඔබ වෙනුවෙන් ලෝකය නිර්මාණය කරදෙන තුරු සිටින්නෙක්ද.....
එසේ නම් මෙන්න මේ වදන එක්ක ඒ ක්‍රමය වෙනස් කරන්න...

ඔබගේ ලෝකය තුළ ඔබ දකින්නට පතන වෙනස ඔබම වන්න
මහත්මා ගාන්ධි තුමා 
Be the change that you wish to see most in your world
Mahatma gandhi

ස්තුතියි

මම 
විසිරි

83...ප්‍රේමය සුන්දරයි







සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුණ දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම් ..
.
සමහරක් සිංදු ජීවිතේ ඊ සැරයක් වගේ වේගයෙන් මතක අවුලනවා..ප්‍රේමය කියන්නේ අපූරුම වස්තු විශයයක්....ඒක එක එක්කෙනා තමන්ට අයිති ආකාරයට වෙන වෙනම බාර ගන්නවා....
.
ඊයේ Charithaගෙ පෝස්ට් එකත්...මට මේක ලියන්න මතක රැසක් ගෙනාවා....
සමහරක් අය ලියද්දි....
ප්‍රේමයයි වෛරය යි අතරේ වෙනස කෙස් ගසකට සමයි ...කියල....
එහෙම නොවන අපූරු මානවීය බැඳීම් මිනිස්සුන්ගෙ ගාව ඉතුරු වෙනවා.......
.
ඉස්සරම බාලිකාවක් වෙලා උසස් පෙල කරන කාලෙ ......ජීවිතේ ට එක්කාසු වුණ ...මගදි කිසිත් හිතේ කහටක් නැතුව අත හැරී ගිය ...නමක් දෙන්නට අපහසු සුන්දර බැඳීමක් මටත් තිබුණා ...ඒකට මම ආදරය හෝ ප්‍රේමය කියන්නේ නෑ....සමහරක් වෙලාවට එතන යාලුකම ..සහෝදරකම...වගේම සෙනෙහසකුත් තිබුණා.......
.
මං තාම ඒ බාලිකා මතකයට ආස....
පුදුමාකාර සුන්දරත්වයක් ජීවිතේට එක් කල ඒ බැඳීම ....අත හැරුණත් ....කිසිම දාක ඔහු මට වෛර නොකල නිසා......සමහරක් විට ජීවිතේ තෝරා ගැනීම් වලදී......සමහර දේ අතහැරෙනව.......
..
කාලයක් ගතවෙලා ......අපි දෙමවුපියනුත් වෙලා.....වෙන වෙනම කුටුම්භ වල ජීවිත ගෙනියනවා.......අවුරුදු විසි ගානකට පස්සෙත්....ඉස්සර මතකයන්...මතක් කරලා හිනාවෙන්න .....ඔහුට වගේම මටත් හැකි........බැඳීම වගේම හිතේ කහටත් " අතහැරපු" නිසා........
.
අද කාලේ ඇතිවෙනවට වඩා කලින් බිඳෙන ප්‍රේම වෘත්තාන්ත දුටුවම .......පොඩ්ඩ එහාමෙහා වෙනවිට ...ආදරය අමතක වෙලා වෛරය පැසවන හැටි දකින කොට........
.
.
මට ඒ බැඳීම් ගැන දැනෙන්නෙ ඉස්සරම දවසක.....බාලිකා ඇසක් බිමට හැරුණාම ....අපූරු සෙනෙහස් බැල්මකින් ....බලපු යොවුන් ඇස් දෙකක මිහිර.....
.
එපමණයි........

මම

විසිරි