Showing posts with label සමාජ විපරම්. Show all posts
Showing posts with label සමාජ විපරම්. Show all posts

Friday, April 3, 2020

142. අවදානම ට පෙර අවධානය......



පසු ගිය දිනවල මුහුණු පොත වගේම සෙසු මාධ්‍යයන්හි සැරිසරන වෙලාවල් වල මම දුටු එක් දෙයක් තමයි දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමවුපියන් සහ සෙසු වගකිව යුතු වැඩිහිටියන්ගේ ඇති අවධානයේ අඩුකම.....
.
ඇත්තෙන්ම අවදානමක් ඇති විටෙක හරි....අනතුරක් වූවාට පසුව හරි ඒකට කලබල වෙලා ලෝකයම පෙරළන් දඟලනවාට වඩා වටින්නේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මඳක් සැලකිලිමත් වීමයි...
.
උදාහරණයක් ලෙස ....කී වතාවක් පත්තර සඟරා ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍ය වල පින්තූර වීඩියෝ පට පෙන්වමින් සවිස්තරව කිව්වත් දරුවන් ගින්දර සහ උණුවතුරෙන් පිලිස්සීම් අදටත් අඩුවක් නැහැ....මේක අනිවාර්යයෙන් ම වැඩිහිටි නොසැලකිල්ලෙන් වන දෙයක්....දරුවන් කියන්නේ එක් වයසකට එන තුරු අනතුර ගැන අවධානයක් අවබෝධයක් නැති කොටසක්....ඉතින් අනතුරක් වෙන්න ඉඩ තියෙන උණුවතුර ටික , ලිප දරුවාගේ ලඟා වීමේ මට්ටමින් ඈතක තියන එක තමා කළ යුතු එකම දේ....
ඒක සරලයි....නමුත් අපි සරල දේ නොකර ඉන්නවා වගේම අනතුර වූ විට යකා නැටූවන් සේ නටන්න ගන්නවා....
.
දරුවකු වැටීම් තැළීම් සීරීම් වලට ලක්වීම සාමාන්‍ය දෙයක්..නමුත් ඒ හැම එකක්ම සාමාන්‍ය වෙන්නෙ එක්තරා සීමාවකට යනකල් පමණයි....එතනින් එහාට ඒක අන්තිම දරුණු දෙයක් වෙනවා...සාමාන්‍ය වැටීමක් සීමාව පැන්න ගමන් අස්ථි බිඳීමක් , ස්නායු ආබාධයක්, මොලය සහ සුෂුම්නාවට වන දරුණු හානියක් දක්වා වෙන්න පුලුවන් ..ඒ නිසා ළමයි වැටෙන්න තුවාල වෙන්න ඕන ..ඒව අත්දැකීම් කියන අයට සීමාව මතකයේ තබා ගත යුතු බවත් අවධාරණය කරන්නම ඕන....
.
අනෙක් කාරණය වන්නේ යමක් වූ පසු....අපේ වැඩිහිටියන් ඊට අදාල ප්‍රථමාධාර ගැන ඇති අනවබෝධය .....යමක් වුණ ගමන් ෆේස්බුක් පෝස්ට් එකක් දමලා සෙත් පැතීම් සහ කල යුත්තේ කුමක්ද අහන සමාජයක අපි අද ඉන්නෙ....නමුත් ඊට වඩා වැදගත් වෙන්නේ තමන් ලඟ නිසි ප්‍රථමාධාර ගැන දැනුමක් තිබීම සහ කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම....අද හදිසි අවශ්‍යතාවයක් වෙනකොට අපේ එහෙමත් ගෙදරක තමයි ප්‍රථමාධාර පෙට්ටියක් තියෙන්නෙ....ඒකටත් ෆාමසි යට දුවන්න හුරුවෙලා ඉන්නෙ අපි .....
.
ඉතින් දරුවෙක් කියන්නෙ මල් වගේ සුන්දර ප්‍රාණීන්...ඔව් ඔවුන්ට අත්දැකීම් ගන්න දෙන්න...සමාජයට එක් වන්න ගැටෙන්න දෙන්න...නමුත් ...අවදානම යන දෙයට ඔබේ අවධානය සහ නිසි යෙදවීම තබා ගන්න....

විසිරි සිහින

Saturday, April 22, 2017

50. කඳුලක නිමාව



මේ මගේ පනස් වෙනි පෝස්ටුව ....එය ලියන්නට ටික කලක් ගියත්..අද එය මගෙන් මේ පිරිනැමෙන්නෙ...අපි හැමෝගෙම අවධානය සහ කැපවීම ලැබියයුතු දෙයක් සම්බන්ධව...

මං හිතනවා ඔබ මේ ගැන කියවන්නට කැමති වෙයි කියලා

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කියන්නේ...සමාජයේ විශේෂ අවධානයක් සැලකිල්ලක් ලැබිය යුතු කොට්ඨාසයක්....මේ විශේෂ සැලකිල්ල කියන්නේ අනුකම්පාව ( sympathy ) හෝ වෙන් කර දැකීම                        ( discrimination ) නොවෙන බව මම මුලින්ම කියන්න ඕන...


නමුත් අද අපේ සමාජයේ මෙවන් දරුවන් සඳහා අවශ්‍ය තරම් දැනුවත් වීම් සහ සමාජ ආකල්ප නිවැරදිව ගොඩ නැගීම් වගේම ලබා ගත හැකි සේවා පහසුකම් පිළිබඳ දැනුවත් වීම් ප්‍රමාණවත් අන්දමට තිබේද යන්න ගැටලුවක්

ලෝකය කොයි තරම් ඉදිරියට ගියත් ඇඟිලි තුඩු අබියස තාක්ෂණය තිබුණත්....අපි තාම මෙවන් අංශ වලින් නම් ප්‍රාථමිකයි දැනුම අතින්....සමහරක් විට අපි මෙවන් අංශ ගැන නොසොයන්නේ ඒ අත්දැකීම අපිට නැති නිසා වෙන්න පුලුවන්....

තමන්ට එහෙම අත්දැකීමක් නෑ කියන්නේ....ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් නැහැ කියන්නේ අපි එවැනි දරුවන් සහ ඔවුන්ගේ දෙමවුපියන් ගැන නොසලකා ඉඳීම නොවෙයි...අපෙන් විය යුතු ඒ ලොකුම කාර්‍ය භාරය ...යුතුකමක් සේ සලකා කිරීම ඉතා වැදගත්

වෘත්තීය චිකිත්සක වරියක් ලෙස සෞඛ්‍ය සේවයට එක් වූ දා පටන්...මගේ කැමතිම අංශය වුණේ මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා වැඩ කිරීම..ඔවුන්ට අදාල ප්‍රතිකාර ක්‍රමයන් ලබා දීම සහ දෙමවුපියන් දැනුවත් කිරීම...


ඒ වගේම මට මේවගේ අංශ වල මා හා එක්ව වැඩ කරන්නට කැමති විවිධ නිපුණතාවයන් ඇති අය ඇසුරු කරන්නට ලැබීමත් එක්තරා අන්දමක භාග්‍යයක්..

පසු ගිය දිනක මට මෙවැනි අත්දැකීමක් යළිත් ලැබුණා...ඒ මීරිගම සත්සෙවන පිරිමි ළමා නිවාසය හරහා දියත් වූ වැඩ සටහනක සම්පත් දායකත්වය ලබා දීමට හැකි වීමෙන්

මම මේ ලියන්න යන්නේ ඒ වැඩ සටහන ගැන....සමහරක් විට විවිධ ක්ශේත්‍ර වල අය හා සංවාදයේ යෙදෙන කොට ලෝකය මොන තරම් විශාලද විශම ද කියලා අපිට ඉබේම දැනෙන්න ගන්නවා...

මට මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න ලැබුණෙ අහම්බෙන්....ඒත් ඒ අහම්බයන් හැම තිස්සෙම සුන්දරයි කියල මම දන්නව....ඒ නිසාම එහෙම වෙලාවක අතින් නිවාඩුවක් දාගෙන එහෙම දේට උපරිම දායකත්වය දෙන්න මම දෙපාරක් හිතන්නෙ නැහැ...


ඉතින් පසු ගිය 6 වෙනිදා ඒ වැඩ සටහනේ මුල් පියවර තැබුවෙ මීරිගම සත්සෙවනෙදි

මේ වැඩ සටහනට මීරිගම රෝහලේ ළමා රෝග විශේෂ වෛද්‍ය තුමිය..ප්‍රජා සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරීන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්...භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක නිලධාරීන්...ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්...වස විස නැති ජාතික ආහාර ප්‍රතිපත්තියේ වෛද්‍ය කණ්ඩායමක්...විශේෂ අධ්‍යාපන ගුරු භවතුන් හා අධ්‍යක්ෂක නිල්ධාරීන්...සමාජ සේවා නිලධාරීන් වගේම දෙමවුපියන් ද සහභාගී වුණා

වැඩ සටහන මෙහෙයවුවෙ කොලඹ විශ්ව විද්‍යාලයෙ කථිකාචාර්ය තුමෙක්...මම එතුමාගෙ වැඩ සටහන් ප්‍රවිශ්ටයට ඉතාම කැමතියි....මේ ඒ ප්‍රවිශ්ටය



******පසු ගිය දිනක අභයගිරි පුරා විද්‍යා කැණීම් කටයුතු වලදී සෙල්ලිපියක් මතු කරගන්නට ලැබුණා...එහි සටහන් වූ එක් පාඨයක් මම මෙහිදී කියන්නම්...."ජීවිතය ලැව් ගින්නකට හසුවූ වරා මලක් සේ අවිනිශ්චිතය......"*****

ඒ සටහනට මං ඉතාම කැමති උනේ මෙන්න මේ මාතෘකාව ඔස්සේ අපිට අද මහා කාර්ය භාරයක් කරන්නට ඉතුරු වෙලා තියන නිසයි...


ජීවිතය කියන්නේ මහ ලොකු දුරක් යන ගමනක් නෙවෙයි...ඒත් අපි අපෙන් වෙන්න ඕන සේවයක් යම් මනුෂ්‍ය කොට්ටාසයක් වෙනුවෙන් ඉටු කරන්නට යනවා නම් ...ඒ වගේම ඒ මිනිසුන් අපෙන් උදව් ලැබිය යුතු මට්ටමේ අය නම් ...අපි ඒ දේ නොපැකිලවම කල යුතුයි කියලා මට හිතෙනවා

මෙම වැඩ සටහනේ මූලිකම අරමුණ වුණේ...ප්‍රජාව තුල අදටත් සේවාවන් ලබා ගැනීමට අපහසු පුද්ගල කොට්ටාසයක් වන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සම්බන්ධ දැනුවත් කිරීමක් කරන්නටයි....මේක ලෙහෙසි පහසු කාර්‍ය භාරයක් නොවන බව ඇත්ත....නමුත් මේ සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වුන කාර්‍ය මණ්ඩලයේ තිබුණ උනන්දුව දුටුවාම මට නම් දැනුනේ...එය එච්චරම අපහසු වෙන එකකුත් නැහැ කියලා...

මූලිකවම ළමා වියේ ආබාධ හට ගැනීමට හේතූන් ගැන ලමා රෝග වෛද්‍ය තුමියගෙන් මනා පැහැදිලි කිරීමක් සභාවට දෙනු ලැබුවා....අදටත් අපේ සමාජය නොදන්නා දේ තමයි...යමක් මුලින් වලක්වාගත හැකි නම් එයට පියවරක් නොතැබීම....මෙහිදීත් එය මනාව පැහැදිළි කරනු ලැබුවා...


මෙහිදී මතුව ආ තවත් වැදගත්ම කාරණයක් තමයි...දරුවෙක් කුස දැරීම සම්බන්ධව අපේ ප්‍රජාව තුල ඇති ආකල්ප....සාමාන්‍යයෙන් දරුවෙක් දැරිය යුතු නිසි වයස් ඛාණ්ඩය අවුරුදු 18-35 වෙද්දි....අපේ සමහර ළමා මවු වරුන් දැන් දැන් වැඩියෙන් සායන වලදී හමුවීම මහා ඛේදවාචකයක්..

මෙහි සම්පත් දායකයන් ලෙස පැමිණි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගේ හෙළි කර දීම් අනුව වයස අවුරුදු 13,14 මට්ටමේ ළමා මවු වරුන් අද හමු වී තියනවා....


මෙය සමහර විට අතවරයන් ට ලක් වීමකින් වෙන්න පුලුවන් වුණාට...සමහරක් නොදියුණු පවුල් පරිසර තුළ මේ සම්බන්ධතා ඇතිවීම් පවා සිදුවෙන්නෙ නොදැනුවත්වම

මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් විසිරි ගෙ අත්දැකීම් එතනදි සභාවට ගොඩක් කියන්නට වුණා....මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්නට මුල් පියවර ගන්න ඕන තමා තුළින්ම බව එහිදී විසිරි ගෙන් කියවුනා...මිනිස්සු විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙත දක්වන සමානාත්මතාව සහ පිළි ගැනීමත්...ඔවුන්ට සමාජයේ නිසි තැන ලබා දිය යුතු අන්දමත්...පහසුකම් හා සේවා සැපයීමේදී ප්‍රමුඛතාවයන් ලබා දිය යුතු ආකාරයත් අපි එහිදී සභාවට කියා දුන්න...

පුරා පැය පහක් පමණ පැවැත්වුණ ඒ සාකච්ඡාවල ඊලඟ පියවර වෙත නුදුරේදීම පියවර තැබෙනු ඇති.....

දැනුවත් වීමේ ක්‍රියාවලිය කියන්නේ සංග්‍රාමයක් වගේ දෙයක්...නමුත් දැනුවත් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නෙ...යම් පුද්ගල කොට්ටාසයකට සමස්ථ ලෝකයේම සානුකම්පා බැල්ම සහ අතදීම නොවෙයි....


ඔවුන්ට නිසිතැන...පහසුකම් සහ සේවා වන් ලබා දී...සමාජයේ වැඩදායී පලදායී...කොටසක් බවට පත්කිරීම සඳහා නිසි ගෞරවය සහ පිළිගැනීමයි  මෙහිදී වඩා අවශ්‍ය වන්නේ

මේ දරුවන් සමනල්ලු වගේ...අපි ඒ තටු වලට පාට දෙන්න වෑයම් කරන්නෙ



ස්තුතියි ...ඉවසීමෙන් මේ සටහන කියෙව්වාට

Tuesday, January 24, 2017

28. මෙබඳු පුර මාකටින්


පිටකොටුවේ බෝගහ හන්දියේ සිට ගුණසිංහ පුර තෙක්...චාරිකා




මෙන්න මේ ඉසව්වෙදි බස් එකෙන් බැහැල ...ඊලඟ බසයට යන්න ඇවිද යන මීටර් තුන් හාර සියය...මනසට මොකක් හෝ දෙයක් හැමදාම එක් කරනවා......

අද රැකියාවෙන් මිදිලා මේ කෙටි දුර එන විනාඩි දහය...මං හිතන්නෙ වෙනදාට වඩා මම අවධානයෙන් ආවා....
අප අවට ඇති ලෝකය අපට ගෝචර වෙන්නෙ...දැනෙන්නෙ ...අපි ඇස් කන් ඇතුලු සංවේදන ඉන්ද්‍රියයන්...අවදිව තියාගත් තරමට...

වෙනදට හැල්මෙ දුවන මම අද සාමාන්‍ය වේගයකින් මේ දුර ගමන් ගත්තේ....හිතට ආව සැහැල්ලුවත් එක්ක...
" අඬන බබාව නලවගන්න ...මෙන්න මෙන්න..මල්ලක් ගන්න...
මල්ලම සීයයි...මල්ලම සීයයි..... "
ඔන්න පලමු අඬහැරේ ...එකම තාලෙකට...බැලින්නම් අර තැඹිලි පාට පොඩි නාරං ගෙඩි මලු....
මම යන ගමන් ම කල්පනා කලේ අඬන බබා මේකෙන් නැලවෙන්නෙ කොහොමද කියලා....සෙල්ලම් බඩු හරි අඩු ගානෙ සබන් බෝල පුම්බන එකක් හරි නම් ....හිතාගන්න පුලුවන්  ......


හැබැයි ...යන එන අයගෙ ඇහැ එක පාරටම ඒ හඬට යොමු වෙන එකත් අවධානය අල්ලා ගන්නට ඒ වචන ටික සමත්......මං වුනත් හැරිල බැලුවෙ ඒකනේ.....


එතනි න් මෙහාට එද්දි....පලතුරු ලෑලි ගොඩයි...ඇපල් පහක් සීයයි ...දොඩම් පහක් සීයයි....ෆුඩ් සිටි එකක ගන්න ගියා නම් ...එකක් පනහක් හැටක්....විමසන්න බලන්න අත පත ගාන්න නම් බෑ.....ඉල්ලුවා..දුන්නා....තැලුණ පැති යටටත්...හොඳ පැති උඩටත්..සමහර වෙලාවට සමහර අය නම් තැලුණ බව දැක දැකත් ගන්නවා....ඒ ටික කපල දාල කෑවත් ඒ ගාණෙ හැටියට ලාබයි...

ඇදුම් කඩ පේළිය පහු කරන් ඇදෙන කොට තාලෙට ඇහෙන වචන තමා අපූරුම...මහත්තයාට තුනයි නෝනට දෙකයි....යට ඇඳුම් විකුණන සමහර වෙලෙන්දන් ඔහේ කියාදානව...
බලද්දි පිරිමි යට කලිසම් තුනේ පැකට් එකක් සහ ගැහැණු බ්‍රෙසියර දෙක ගානෙ දමපු කවර.....හිනාව මඳක් තද කරන් බොහොමයක් දෙනා හැරි හැරී බලනවා ...ඔහු නෙවේ සිනහවක් වත් පාන්නෙ....කොහොම හරි එදා වේල බඩ වියත රැක ගන්න මිනිස්සු දරන උත්සාහයෙදි.....ඒකට මේ එක් කර ගන්නා නිර්මාණාත්මක ශූර මොළය...හිතේ ජනිත කරන්නේ...යම් දුකක් වෙලාවකට...පිටකොටුවේ බස් වලට ඇදෙන දහසකුත් එකක් මිනිස්සුන්ගේ පසුපසින් දුවමින් යට ඇඳුම් විකුනන්නට දරන තැත....

විඩා බර හිතට යම් සුන්දර හැඟීමක් එක් කර දෙන්නේ අර සබන් බෝල පුම්බන සෙල්ලම් බඩු විකුණන මනුස්සයා...කඨෝර නගරේ හිස් ගොඩ අස්සෙන් පාට පාට සබන් පෙන බුබුලු සිය ගානක් පාවි පාවි ගිහින් බිඳෙනවා.....සුන්දරත්වයට යටින් කියා පාන්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් මෙන්න මේ වගේමයි කියලද කියා මට හිතෙන්නෙ ඒ වෙලාවට

කොයි තරම් කටුක ගිනි මද්දහනක වුවත්...පිටකොටුවේ කඩවල් පේලියේ තියන වර්ණවත් බව අඩුවක් නැහැ...මිනිස්සු ලාබය සොයමින් සැරිසර වෙලාවට..ඇස් ගිණිකන වැටෙන පාටවල්..දුවන ගමන් වුවත් මිනිස්සුන්ව මොහොතකට ඇද බැඳ තබා ගන්න ප්ලාස්ටික් බඩු කඩයක් අතර මැද තියනවා...පොඩි මයික්‍රොෆෝනයකින් හඬ නගමින් මිනිසුන්ව ඇද බැඳ තබා ගන්න ඔවුන්ට මහ උත්සාහයක්ම ඕනත් නැහැ...

මම මේ ගමනේ එක් අන්තයකට එද්දි දකින තව තැනක් තමයි..ගුණසිංහ පුර පෞද්ගලික බස් නැවතුමට එන පාරෙ තියන හිස් ව ඇති ආවරණයක් ගහපු ගොඩනැගිල්ල ....ඇත්තෙන්ම ඒක මොකකට හදපු එකක්ද මන්දා....නමුත් එදිනෙදා හැල්මෙ දුවන ..ජීවිකාව ඉටු කරගන්න..බඩ වියත රැක ගන්න දා බිඳු හෙලන ජනතාව...ලද අවසරයේදී විවේක සුවය ගන්නා....ඇස් පියා ගන්නා ඉරියව්...
මම ඉඳහිට ජංගම දුරකතනය මානා ගෙන ෆොටෝවක් දෙකක් ගන්නවා....ඒ ඉරියව් හරිම අපූරුයි.....දහසක් කතා කියවෙන මිනිස් මූණු    ...  මම දවසක මගේ මහ මග චාරිකා පින්තූර එකතුව බ්ලොගේට එක් කරන්නම්කො


ඉවර වෙන්න කිට්ටුවම ඉන්නවා කඩල වෙලදාම් කරන කෙනෙක්.....ඒ කඩල හරිම රසයි.....හොඳට ආවරණය කරල රහට බෙදලා දෙනවා කඩදාසි බෑගයට..නමුත් මගෙ ඇහැ....හැමදාම දකින ඉරියව් එක්ක විමසිලිමත්....කෙනෙක්ගෙ රැකියාව තමන්ගෙ බඩ වියත රැකගන්න කරන දේ..ඒ..
නමුත් මහ මග ...ඇති ආහාර පාන ගන්න කොට ...ඒ විකුණන කෙනා ගැන විමසිල්ලෙන් බලන්න හැම විටම.....ලෙඩ රෝග දද කුෂ්ට ....අපවිත්‍ර දෑත්....ඔබට ලෙඩ රෝග දහසක් මුදලට ම දේවි.......

මිනිස්සු ජීවත් වෙන පරිසරය ...එක්ක ඔවුන්ගේ ජීවිත කොච්චර නම් ...සමපාත වෙනවද.......ලෝකය කියන්නේ විශ්ව විද්‍යාලයක්....