Sunday, July 25, 2021

2021 (23) සිතුවිලි




උදේම රැකියාවට ඇවිල්ලා කතාබස් කරන අතරෙ...

මිනිස්සුන්ගේ ජීවිත වල ඇති පීඩනය ගැන අපි කතා කලා....

ඇත්තෙන්ම .....දුවන ජීවිත අස්සේ...අපි මෙහෙම සැනසීමෙන් ඉන්න එකත් කොච්චර දෙයක්ද....කියලා මට ඒ වෙලේ හිතුණා.....

වගකීම් බහුල රැකියාවක..ගෙදර දොර කුටුම්භයෙ මහා වගකීම් ගොන්නක හිර වුණත්...ඒ හැම එකක්ම මැදහත් සිතින් ඉවසා දරාගෙන....හිනාවකින් ජීවිතේ ගෙවන්න තියන එක අපූරූම දෙයක්......

කොහොම නමුත් කවි පද ටිකක් ලියන්න හැකි වුණා..ඒ ඔස්සේම හිත දුවන කොට......

අසෙනි වරුසා කඩා හැලෙනා
දවස් බෝ ඇත ජීවිතේ
එවන් දවසට සෙවන දෙන්නට
නුඹයි මට අවැසිම ප්‍රියේ...

විඩාපත් හිත දරා ඉවසන
වෙහෙස රැඳි මේ මාවතේ
නිවා සනසන උරහිසක් වන
නුඹයි මට මගෙ ජීවිතේ .....

වසත් කල හෙමිහිට ඉකුත් වන
ප්‍රේමයෙන් පිරි ජීවිතේ
ඉතින් අපි යමු ඉසුඹුවක් ගෙන
නිවී සැනසෙන දා ලොවේ......

විසිරි


Friday, July 23, 2021

2021(22) මේ පොළව ඔබ වෙනුවෙනුත් සෙලවේවි

මේ පොළව ඔබ වෙනුවෙනුත් සෙලවේවි ....




ඇන්ජෙලාට අවුරුදු එකොළහයි.ඇය ස්නායු පද්ධතිය ට වැලඳුණ රෝගයක් නිසා බොහොම අසීරු ආබාධ සහිත තත්වයක පසුවුණා...
.
ඇයගෙ සියලු චාලක හැකියාවන් ගැටලු සහිත වුණා වගේම තව දුරටත් ඇවිදින්නට නොහැකි වූවා.මේ ආබාධ සහිත තත්වයෙන් ඇන්ජෙලා සුව වේවි යන බලාපොරොත්තුව තව දුරටත් වෛද්‍යවරු ලබා දුන්නෙත් නැහැ.ඔවුන් අනුමාන කලේ ඇය ඉතුරු ජීවිත කාලය රෝද පුටුවක සිටිය යුතු බව.ඔවුන් ඒ සමගම පැවසුවා.....ඉතාමත්...ඔව්...ඉතාමත් අල්ප වශයෙන් ඉඩක් ඇති බව....යළිත් ඇයට සාමාන්‍යකරණය වෙන්නට.... එහෙත් මේ දැරිය එයින් අධෛර්යමත් වුනේ නෑ ...ඇය ...බොහෝ විට ඇයට ඇහුම්කන් දෙන්නන් හා තරයේම පවසා උන්නා....ඇය කවදා හෝ ඇවිදින බව......
.
ඇයව සැන් ෆ්‍රැන්සිස්කෝ හි මුහුදු සීමාවේ වූ විශේෂිත පුනරුත්ථාපන රෝහලකට යොමු කරවනු ලැබුවා.ඇය සඳහා කල හැකි වූ සියලුම ප්‍රතිකාරයන් එහිදී ලබා දෙනු ලැබුවා.ඇයගේ චිකිත්සක වරුන් මේ දැරියගේ අප්‍රතිහත ධෛර්යය ගැන බොහෝ සතුටින් උන්නා....ඔවුන් ඇයට කියාදුන් එක් දෙයක් තමයි.....imaging...පරිකල්පනය කියන දේ.....එහි දී ඇයට ඇය ඇවිදින ආකාරය ගැන සිතෙන් මවා ගන්නට කියාදෙනු ලැබුවා....මෙයින් අදහස් කලේ ....එය කිසිසේත්ම සාර්ථක ව ඇයට නොගැලපුනත්....ඇයට අඩුතරමේ බලාපොරොත්තුවක් ලබා දීම....ඒ වගේම රෝහල් ඇඳේ වැතිර ගතකරන දීර්ඝ පැයවල් ....තුළ ඇය ව ධනාත්මක කිරීම....
ඇන්ජෙලා ඇයට පැවරූ සියලුම කායික ව්‍යායාමයන්...ඒ වගේම පරිකල්පනයන් ...සමගින් ඇය...දිගටම ඇවිදින බව ..ඔව් ඇය ඇවිද යන බව විශ්වාස කරමින් උන්නා...
.
එක් දවසක...ඇය ඇගේ දෙපා දිගු කරමින් ඇවිදින අන්දම ගැන පරිකල්පනයන් කරමින් ඉන්නා විට...එක් වරම ඇයගේ ඇඳ කාමරය තුළ චලනය වනු ඇයට දැනුනා....
" මේ බලන්න... මට ඒක කරන්න පුලුවන් වුනා...ඔව් මේ මම දැන් හෙලවෙනව...මම යනවා...." ඇන්ජෙලා කෑගසමින් සිනාසුණා...
.
ඒ මොහොතේ ඇත්තෙන්ම ඇන්ජෙලා පමණක් නොව මුලු රෝහලේම උන් අය කෑගසමින් උන්නා...ඔවුන් ඒ මේ අත දිව ගියා....වීදුරු බිඳ වැටුණා...මිනිසුන් සැඟවුණා....එතනදී සිදුවුනේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි වූ භූමිකම්පාවයි....නමුත් කිසිවෙක් එය ඇයට පැවසුවේ නෑ....ඉතින් ඇය තරයේ විශ්වාස කලා ඒ ඇඳේ චලනය සිද්ධ වුණේ ඇයගේ පා නිසා බව....
.
ඉතින් අවුරුදු කීපයකට පසු ...ඇන්ජෙලා යළි ඇවිදින්න ට සමත් වුනා....ඉතින් ඇය සුපුරුදු ලෙස පාසල් යන්නට පටන් ගත්තා ..ඉතින් ඔබ විශ්වාස කරනවද .....පොළවේ ඇතිවන භුමිකම්පාවක් පවා... පොඩි ගැහැණු ළමයෙක්ගේ ජීවිතය වෙනස් කරන්නට උදව් වන බව.....

මුල් කෘතිය ... chicken soup for the soul

අනුවාද සටහන
විසිරි ❤

Wednesday, July 21, 2021

2021 ( 21 ) මගේ ආදරණීය මිත්‍රයා.. ( written by - Malcolm Sang )

 මගේ ආදරණීය මිත්‍රයා..  

malcolm sang කියන්නේ මුහුණුපොතේ අපූරු ලියන සහෘදයෙක්. ඔහුගේ මුහුණුපොත් පිටුවම අපූරු සටහන් වලින් පිරුණ එකක්. මේ කතාව මම හරිම ආසාවෙන් කියවපු එකක් ඒකෙ ඔහු ලිව්ව.

ඉතින් ඉඩක් තියේ නම් ගිහින් ඔහුගේ නම බලන්න. අපූරුම තැනක් ඒ පිටුව 

My Octopus Teacher වාර්ථාමය චිත්‍රපටිය ඇසුරින්. 



මට පිලිගත්ත රස්සාවක් තිබුන.. 

අදායම හොඳයි.. මගෙ බිරිඳ හමදේම හොයල බලනව.. පුතා හොඳට ඉගෙන ගන්නව. 

ඒත් ඒ වෙද්දි මට ඔක්කොම එපා වෙලා තිබුනෙ.  හැම දෙයක් ගැනම තිබුනෙ පුදුමාකාර කලකිරීමක්.. මේ ඔක්කොම දමල ගහල කොහේ හරි ගිහිං හැංගෙන්නයි මට උවමනාව තිබ්බෙ. 

මට මහංසියි.. හරිම මහංසියි.. මේ හොඳටම ඇති. මට මං ගැනම දුක හිතිල තිබ්බෙ. ඒත් ඒ මොකක් නිසාද කියල මට කියන්න පුලුවන් කමක් නෑ. මේ හැම දෙයක්ම එපා..එපාම එපා.

මගෙ වයිද්‍යවරය මට උපදෙස් දුන්න සීතල වතුරෙ පීනන්න.. වැඩිය මිනිස්සු නැති තැනකට යන්න. සීතලම සීතල වතුරෙ පීනද්දි ..සොභාදහමට කිට්ටුව ඉන්දැද්දි මේ සිතිවිලි අඩුවෙලා යයි. 

මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. 

මට මතක් උනා ෆෝල්ස් බේ. කේප් ටවුන් ඉඳල කේප් තුඩුව කිට්ටුව තිබුනු කවුරුත් යන්නෙ නැති ඉතාම හුදකලා වෙච්ච වෙරලක් ෆෝල්ස් බේ. පේන තෙක් මානෙක තියා හැහැප්ම ගාණකට කවුරුත් නෑ.  

ඇන්ටාක්ටිකා ප්‍රදේශයෙන් එන සීතලම සීතල දියවැල් නිසා වතුර අයිස් වගේ සීතලයි. 

ගෙදරින් සමු අරන් මම මේ කාත් කවුරුත් නැති පලාතට ආවෙ අඩුම තරමෙ මාස කීපයක් වත් ‍රැඳෙන බලාපොරොත්තුවෙන්.

ඇන්ටාක්ටිකාව දෙසින් එන හුලඟ හරිම සීතලයි.. වතුර අයිස් වගේ. මුහුදට බැස්සමයි තේරුනේ හැම තැනම ඇල්ග් ශාක.. ඇල්ග් වනාන්තරයක් වගේ.  ඒක හරියට හොල්මං කතාවක දර්ශණයක්  වගේ.. කොලම කොල පාට ඇල්ග් පැලෑටි , රූස්ස ගස් වගේ ඉහලට ඇදිල තියෙන හැටි බලන්න පුදුමයි.  මේ නිකමටවත් මිනිස් ස්පර්ශය නොලැබුනු ප්‍රාථමික වනාන්තරයක් වගේ මට පෙනුනෙ. 

සීතලම සීතල වතුරට හුරු වුණු මාළුවො.. අමුතු ජීවීන් ස්ටාර් වෝර්ස් චිත්‍රපටියෙ වගේ.

පලවෙනි දවසෙ අමාරුවෙන් පැය භාගයක් පීනුවා.  හැමදාම උදේට පැයක් විතර කාත් කවුරුත් නැති වෙරළෙ ඇවිදල පැයක් විතර පීනන්න පුරුදු උනා. 

සතියක් විතර යද්දි ටිකෙන් ටික මගෙ ශරීරයට ශක්තිය ලැබෙන බව මට දැනෙන්න ගත්ත.  

ඇත්තටම ටිකෙන් ටික මේ මුහුද යට අපූරු පරිසරයට මං ආදරේ කරන්න ගත්ත. මේ හැම ගහක් ගලක්ම පැලෑටියක්ම පුරුදු දේවල් වුනා. 

පලවෙනි දෙවෙනි දවසෙ මාව දැක්කම භයෙන් හැංගුණු මාළුවො  ටිකෙන් ටික මට පුරුදු උනා. මාව දැක්කම නොදැක්ක වගේ යන්නත්.. තවත් අය මගේ ඇස් ආවරණයට ලඟට ඇවිල්ල බලන්නත් පුරුදු උනා.

වැලි අස්සෙ පුංචි ගුහා.. ඒ ගුහාවල අයිතිකාරයො ටිකින් ටික මගෙ යාළුවො වගේ මට දැනෙන්න ගත්ත.

මෙන්න මේ අතරෙදියි මං එයාව දැක්කෙ. මීටර් දෙකක් විතර ගැඹුරෙ කිමිදෙමින් ඉද්දි ගල් දෙකක් අතරෙ ගුහාවකින් තනි ඇහෙන් මම දිහා බලනව මං දැක්ක.  ටිකක් ලඟට යද්දි හිමීට එයාගෙ ගුහාව ඇතුලට ඇදිල ගියා. 

හ්ම්.. අමුත්තෙක් එ‍යා හිතන විදිහ මට දැනුන.

මේ මුහුදු තීරයේ ඉන්නව මෝරු විශේෂයක්.. මාව ගිලින්න තරම් ලොකු නෑ. 

නමුත් එයාලගෙ නීතිය තමයි මේ ප්‍රදේශයේ තියෙන්නෙ.  මේ අයගෙ ඇස් පෙනීම ඉතාම දුර්වලයි. ඒත් පූසෙකුට හෝ බල්ලෙකුට වගේ ඉවෙන් හා සුවඳ උපයෝගී කරගෙන දඩයම් කරන්න තියෙන්නෙ පුදුම හැකියාවක්.  

සති දෙක තුනක් යද්දි මේ ඔක්කොම දන්න හඳුනන අයට බවට පත්වුනා.

මං දවස් කීපයක් දැක්ක තනි ඇහෙන් මගෙ දිහා බලන අපූරු මිත්‍රයා. මුල් දවස් දෙක තුනේ හිමීට හැංගුනත් පස්සෙ මාව ඒ තරම් ගණන් නොගෙන එයාගෙ පාඩුවේ ඉන්න පුරුදු උනා.

ඒක නිකං හරියට.. ආ මේ උඹනෙ .. අමුතු කණ්ණාඩි දෙකක් දාගත්ත අමුතුම පොරනෙ.. කියන්න වගේ.




මට තේරුණා මෙයාගෙ විශේෂයක් තියනව බලන විදිහෙන්. සමහර වෙලාවට මොන කරදරයක්ද මේ හැමදාම එනව මං වටේ කැරකෙන්න වගේ අදහසකුත් ඔලුවෙ තිබ්බ වගේ තේරුණා.

දවසක් ඉර එලිය පායල තිබ්බ උදේක මං මේ මිත්‍රයා ගාව වැඩි වෙලාවක් නැවතිලා හිටියා. මං දැක්කම ආ.. ආයෙත් මේ මූමනෙ.. කියන්න වගේ ගුහාවෙන් එලියට ඇදුන. 

 මාත් ඔහේ ලඟට වෙලා බලන් හිටිය. මං පොඩ්ඩක් අත ලං කරා. මං හිතුවෙ එයා ගුහාව ඇතුලට දුවයි කියල. 

නෑ. 

එයා නැවතිලා හිමීට එක අඬුවක් මගේ දිහාට දික් කලා.  


මට පුදුම හිතුන. මේක වෙන්න බැරි දෙයක්.

ඒ අඬුවෙන් හිමීට මගෙ අත අල්ල ගත්ත.  ඒ වෙලාවෙ දැනුණු හැඟීම පුදුමාකාරයි.



උඹව මගෙ ලෝකයට සාදරයෙන් පිලි ගන්නව වගේ දෙයක් මට දැනුනෙ.

මගෙ ඇඟිලි අල්ලගෙන මං දිහා බලං හිටියෙ පොඩි එකෙක් වගේ.

ජීවිතේට මනුස්සයෙක් දැකපු නැති කැලේ ඉන්න බූවල්ලෙක් කොහොමද මේ තරම් ඉක්මනට මාව විශ්වාස කරන්නෙ. 

දඩයම් කරන්න බලන් ඉන්න මෝරු.. අනිත් මාළු හැම තැනම.  ඒත් මෙයා කිසි ගාණක් නැතුව ගුහාවෙන් එලියට ඇවිත් මගෙ අත අල්ලන් ඉන්නව. 

පුදුමයක්.

හුස්ම ගන්න ඕනෙ නිසා මං එයාගෙ අත අතෑරල ආයෙ වතුර උඩට ආවෙ පුළුවන් තරම් ඉක්මනට ආපහු කිමිදෙන්න හිතාගෙන.

පුළුවන් තරම් ගැඹුරු හුස්මක් අරන් මං ආයෙත් කිමිදුනා.. ඒ තප්පර කීපෙට දාහක් දේවල් මගේ හිතේ මැවුනා. 

මං හිමීට කිට්ටු වුනා එයා හිටපු තැනට.  

එයා එතන හිටියෙ නෑ. 

ගුහාවෙ දොරකඩ ලොකු සිප්පි කටුවකින් වහල තිබ්බ.

මගෙ හදවත මොහොතකට නතර උනා. මං උඩට ගියා වේගෙ වැඩිද.. නැත්තං එයාගෙ අත අයින් කරේ රළු විදිහටද... එයාව මං බය කරාද.. විශ්වාසෙ කැඩුවද...ප්‍රශ්ණ දාහක් තියනව අහන්න.

කීප සැරයක් කිමිදිලා බැලුවත් වෙනසක් නෑ.  

එදා රෑ හරි දිගයි. නිදා ගන්නව වෙනුවට මම කලේ ගූගල් හරහා බූවල්ලන්ගෙ තොරතුරු හෙව්ව එක. 

ලැබුණු හැමදේම කියෙව්ව.

ඒ දේවලින් මං පුදුම වුනා.. මොනව මොළ නමයක්.. 

ඔව් නමයක්.. 

බුද්ධිමත්ම කියල හිතන මනුස්සයාට තියෙන්නෙ එක මොලයයි. 

ඒකෙනුත් හරියට වැඩක් ගන්න දන්නෙ නෑ.  

මගෙ අළුත් මිත්‍රයාට මොල නමයක් තියෙනව.  

එහෙනම් හෙට උදේ ගැන බය වෙන්න දෙයක් නෑ. එයා අනිවාර්‍යයෙන්ම මං එනකල් ඉඳීවි.

ගොඩබිම ඉන්න සත්තුන්ට වාගෙම වතුරෙ ඉන්න සත්තුන්ටත් ඒගොල්ලන්ටම ආවේණික විශේෂ අවි තියනව. 

උල් දත්.. වේගය.. පාට මාරු කිරීම.. හුලං පිම්බීම.. විශ ..මේ ආදී වශයෙන් .

 නමුත් බූවල්ලන්ගෙ අවිය... ඒ මොළය.

වසර දාස් ගානක් තිස්සෙ එයා දියුණු කරගත් එකම දේ මොළය.

උපක්‍රම.. ගණනය කිරීම්.. අඳුනා ගැනීම්.. උපකල්පනය වගේ හැම දෙයක්ම මේ අයට කාලයක් තිස්සෙ පුරුදු පුහුණු කරල තියෙනව.

රෑ තිස්සෙම ගොඩක් දේවල් කියෙව්ව.. බැලුව..ඇහුව.  හිතේ ගොඩාක් දේවල් හිරකරගෙන නින්දට ගියා.  රෑ හීනෙනුත් පෙනුනෙ පාට පාට මාළුවො.. ඇල්ග් වනාන්තර.. බූවල්ලො.. මේ වගේ දේවල්.

පහුවදා උදේම නැගිට්ට..  කෝපි කෝප්පෙ තොල ගාන ගමන් කල්පනා කලේ කිමිදෙන විදිහ ගැන.. අතට අත දෙන විදිහ ගැන.

ඒ හරියට පලවෙනිම සම්මුඛ පරීක්ශණේට යන තරුණ කෙල්ලෙක් වගේ කියල මට හිතුන.

ඉර එලිය වැටුණු ගමන් ආම්පන්න ටිකත් අරන් වෙරලට ගියා. වෙනද වගේ ඇවිදිනව වෙනුවට කෙලින්ම කිමිදුනා. දෙවෙනි කිමිදීමෙදිම හොයා ගත්ත එයාහෙ ගෙදර.  ඇල්ග් අතරින් හිරු කිරණ ඇදිල තිබුණු වි

මෙන්න ඉන්නව මගෙ දිහා බලාගෙන. මං කිසි දෙයක් කරේ නෑ.  ටික වෙලාවක් බලං ඉඳල හුස්ම ගන්න උඩට ගියා. 

ඊයෙ වගේ දොර වහල තියෙයිද.. 

නෑ. හරියට මං එනකල් බලං ඉන්නව වගේ ඔන්න ඉන්නව දොරකඩ. පොඩි එකෙක් වගේ බලාගෙන.. හරියට තාත්ත ගෙදර එනකල් වගේද.

මං හෙමීට ඇඟිල්ල දිග් කලා. ඊයෙ වගේ පැකිලුනේ නෑ. එක ඇඬුවක් දික් කලා.. අඬු දෙකක් දික් කලා.. තත්පර කීපයක් යද්දි මගෙ අතම අල්ල ගත්ත. 

ඒ මොහොත මැජික් එකක් වගේ.  

 හරියට ඒ ...හරි හරි මං උඹව දන්නව කියන්නා වගේ.  ඒ අතරෙ මගෙ දිහා බලනව අත නිරීක්ශණය කරනව දාර්ශනිකයෙක් වගේ. 

උඩට යන්න වෙලාව හරි ආපහු හුස්ම ගන්න. මගෙ පෙනහලු පුපුරන්න ආව.  ඒත් මෙයාව දාල යන්නෙ කොහොමද... 

අමාරුවෙන් මං උඩට පීනුවා... පුදුමයක් මෙයා මගෙ අත අතාරින්නෙ නැහැ.  මට මේක හිතා ගන්න බෑ.. මේ ටිකට මාව මෙච්චර විශ්වාස කරාද. හුස්ම අරන් පහලට එනකල් මගේ අතේ වෙලිල හිටිය පුංචි එකෙක් වගේ...

මේ තමා අපේ මිත්‍රත්වයේ ආරම්භය. 

හැමදාම මං බලං ඉන්නව උදේ වෙනකල් පීනන්න යන්න ඇඟිලි ගැන ගැන. එයා මගෙත් එක්ක පීනන්න පුරුදු උනා කියනවට වඩා මං කැමතියි කියන්න මං එයත් එක්ක පීනන්න පුරුදු උනා කියල. 

මං දකපු ගමන් ගුහාවෙන් එලියට ඇවිත් අතට පනිනව.  හරියට මගෙ පිටිපස්සෙන් වරෙන් කියනව වගේ මං ඉස්සරහින් පීනනව. ඉඳල හිටල හැරිල බලනව මං එනවද කියල.

සති මාස ගනන් වලට පෙරලුනා. ඇල්ගී වනාන්තරය.. ගුහා කලාප.. සුදු වැලි කලාප.. මෝරුන් වෙසෙන් අඳුරු ගුහා.. ඉර එලිය වැටිල දිලිසෙන මාළු රංචු ඉන්න හැම තැනටම මාව එක්කන් ‍යනව.

මේක හරි පුදුමයක් .. සුරංගනා කතාවක් වගේ.  

හාවගෙ බෙනේට වැටුණු ඇලිස් වගේ මේ හැමදේම මාව පුදුම කරා.  හැම දවසෙම අළුත් අත්දැකීමක්.  

සමහර දවසට පීනන්න යන්න බෑ.. කුණාටු නිසා.  ඒත් මං දන්නව එයා තේරුම් ගන්න බව ඇයි මං නොඑන්නෙ කි‍යල. 

මේ කාලය තුල මං බූවල්ලො ගැන පුළුවන් තරම් තොරතුරු එකතු කලා. මගෙ මිත්‍රයන්ට.. විශ්ව විද්‍යාල වලට කතා කරල ප්‍රශ්න ඇහුව. 

බූවල්ලෙකුගෙ ජීවිත කාලය වසර තුනත් පහත් අතර කියල දැනගත්තම නම් හොඳටම දුක හිතුන.

දවසක් අපි පීනද්දි මෙයා සැරින් සැරේ පාට වෙනස් කරනව හරියට මට වැඩ පෙන්නන්න වගේ. පුදුමාකාර ලස්සන පාට.. ලඟ තියන ගහක.. කොලේක .. මාළුවෙක්ගෙ ඕනෙම පාටක් අනුකරනය කරන්න තත්පරයයි යන්නෙ. 

 එක පාරක් මාළු රංචුවක් මැදට ගිහාම මට ඌව හොයා ගන්න බැරිවුනා. හරියටම මාළුවෙක්ගෙ පාටයි හැඩයයි අරන් මාළු රංචුවට පිටිපස්සෙන් ඉද්දි කිසි කෙනෙක්ට හොයන්න බෑ. 

දවසක් හදිස්සියෙන්ම මං ඉස්සරහින් පීනමින් හිටිය මගේ මිත්‍රයා විදුලි වේගෙන් දිශාව වෙනස් කරල .. පාටත් වෙනස් කරල නොපෙනී ගියා .

ඒ ඇයි කියල තේරුනේ තප්පර දෙක තුනකට පස්සෙ මං ඉස්සරහින් මතුවුණු මෝරු දෙතුන් දෙනා නිසා.

අනේ දෙවියනේ පොඩි එකා මෝරුන්ගෙ ගොදුරක් වෙයිද. 

එහෙම නම් වෙන්න එපා.

මේක හරියට ඇත්ත යුද්ධයක් වගේ චිත්‍රපටියකට වඩා. 

කොයිතරම් ලස්සන ලෝකයක් උනත් එක මොහොතකදි කාගෙ හරි දඩයමක් වෙන්න පුළුවන්.

ඊට විරුද්ධව සටන් කරන්න අපේ යාළුවාට තියෙන්නෙ එකම දෙයයි. ඒ බුද්ධිය විතරයි.

පැයකට විතර පස්සෙ මං ආයෙ කිමිදුනා එයාගෙ ගෙදර තිබ්බ හරියෙ.

ගේ දොරකඩ දැක්කම මට හිනා ගියා. 

ලොකු බෙල්ලො.. සිප්පි කටු.. ගල්.. බොරළු වලින් මුළු දොරම වහල. 

 මූ බය වෙච්ච තරම එහෙම හිතල මට හිනා ගියත් මොහොතකින් වැටහුනා මේ ජීවිතයත් මරණයත් අතර සටනක් නේද කියල.  ඒක විහිළුවක් නෙමේ. 

එයා.. එයා දන්න උපක්‍රම ඔක්කොම පාවිච්චි කරනව ආරක්ශාවට.

මේ වෙද්දි ටිකෙන් ටික මගේ ආත්ම ශක්තිය ..ශාරීරික ශක්තිය මං නැවත සොයා ගනිමින් හිටියෙ.  

වෙහෙස කොහෙ ගියාද දන්නෙ නෑ. 

මේ වෙරල .. මේ වටපිටාව මාව සුවපත් කලා. 

ඊටත් වඩා මගේ හොඳම මිත්‍රයා මගෙ ජීවිතේට අපූරු ලස්සනක් අරගෙන ආව.

මගේ නවාතැන පිරිල ගියා වෙරලෙ මං එකතු කරපු දේ වලින්.. සිප්පි කටු, පාවෙන දැව කඳන්.. සහ බූවල්ලන්ගෙ සටහන් චිත්‍ර වලින්... 

මගෙ හිත සතුටින් කියල මට තේරුණා.

දවසක් අපි එයාගෙ ගේ කිට්ටුව පීනමින් ඉද්දි කොහෙන්දෝ එක පාරටම මෝරෙක් මතු උනා.

මං කොයි තරම් කලබල වෙලා හැරුනද කිව්වොත් මගෙ අතින් එයාට   තද පහරක් වැදුන වගේ මට දැනුන .. කොහොම උනත් මගෙන් එයාට උනේ හොඳක් නෙමේ.  ඒ එක්කම පුරුදු ශක්තිය හොයා ගත්ත එයා අතුරුදන් උනා.

මගෙ ඇඟට යන්තම් ලේ ටිකක් ඉනුව. 

ඒත් ඒ පහුවෙනිද වෙනකල් විතරයි.

පහුවදා උදේ මං කිමිදුනාම දැක්කෙ ගේ දොර ඇරල දාල තියනව.  මං හිතුවෙ එයා එලියට පහලියට ගිහිං ඇති කියල. 

ඒත් පැය ගාණක් ගතවුනත් හොයා ගන්න බැරි වුනා.

මේ අවසානයද.?

අනේ දෙවියනේ එහෙම නම් වෙන්න එපා. අපි යාළුකම පටන් ගත්ත විතරයි.

එදා දවසමත්.. ඊට පහුවදාත් කිමිදුනාට එයාගෙ කිසිම සලකුණක් නෑ, 

ගේ ඇරල දාල. තුන්වෙනි දවසෙත් ඒ පිළිතුරම තමයි..!!

මට මගෙ පුතාව මතක් උනා..

 පහුගිය මාස කීපයේ මං  කතා කලේ  ඉඳල හිටල.  බොහෝ විට මේ කියවන අය.. මගේ කතාව අහන අය මට චෝදනා කරාවි. 

උඹ නම් අපූරු තාත්තෙක්.   තමන්ගෙ පුතාටවත් අඩුම තරමෙ සතියකට සැරයක් දෙසැරයක්වත් කතා කරන්න ඕනෙ හැමෝම කියාවි.

ඒත් මම හිටියෙ ජීවිතේ අන්තිමටම එපා වෙලා.  මගේ අලුත් මිත්‍රයා මේ එපාවුනු ජීවිතේට එලියක් දෙද්දි ඒ අපූරු එලියෙ මොහොතක් නිවී සැනසෙන එක වරදක්ද.?

මගෙ බිරිඳව මතක් උනා. 

චපාති එක්ක මයිසූර් පරිප්පු තාලියට බෙදන් එන හැටි මතක් උනා.

හදිස්සියේම ඕනෙ උනා ඒ අය හොඳින්ද කියල දැනගන්න.

පුදුමාකාර හිස් බවක් දැනෙන්නෙ. මගේම වැරැද්දෙන් මං තනි උනා කියල හිතෙනව.

නමුත් මගෙ හිත කොයි වෙලාවකවත් ඉඩ දුන්නෙ නෑ හිතන්න ඒක ඇත්තක් කියල. 

මුහුද යට මේ අපූරු ලෝකය මගේ ඉස්කෝලෙ කාලෙ වගේ. මේ හැමදේම මගේ ජීවිතයේ කොටස්.

පහුවදා ආපහු කිමිදුනා පැය ගාණක්..  හැම අඟලෙන් අඟලම පරීක්ශා කරමින්. 

 පාවෙන වරල් කොටසක්.. මැරුනු මාළුවෙක්.  

හිල් කරපු සිප්පි කට්ටක්.. මේ හැමදේම මං එකින් එක බැලුවා.

මොකද්දෝ හේතුවකට මට හිතුන එයා මැරිල නෑ කියල. 

ගෙදර ඇවිල්ල මං කරේ.. ගත්ත ඔක්කොම පිංතූර .. වීඩියෝ පරීක්ශා කරා. සමහර ඒව ප්‍රින්ට් කරා.. තව ඒව ඇන්ද. 

අන්තිමට පාපන්දු ක්‍රීඩාංගනයක් විතර ලොකු මේ මුහුද යට ලෝකයේ සිතියමක් මං අඳිමින් හිටිය.  

ඒ ගැන හිතද්දි අද පුදුමයි.

පහුවදා ආපහු කිමිදෙන්න ගියා.. හැම කොලයක්ම.. හැම බෙල්ලෙක්ම එකින් එක බැලුවා.  ගුහා ගානෙ එබි එබී ගියා.. වැල්ලෙ ඇඳුන හැම අඩි සටහනක්ම ලකුණු කරා.

හැම දාම මගෙ නවාතැනට ඇව්ත් දැකපු පුංචි දේ පවා සිතියමේ සටහන් කරා.



සතියල් දෙකක් ගියාට පස්සෙ මේ සිතියම සම්පූර්ණයි. මට දැනුනෙ මං ශර්ලොක් හෝම්ස් කියලයි.

මේ සිතියම මගේ නවාතැනේ සාලෙ බිත්ති දෙකක් වගගෙන යෝදයෙක් වගේ මං දිහා බලන් ඉන්නව.  

අඩුම තරමෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක්වත් ඉන්නව නම් මචං.. මේක නම් අපූරු වැඩක් කියන්න. 

නෑ.. කවුරුත් නෑ. ඒකෙ අවුලක් නෑ.

පැය ගණන් මං මේ සිතියෙමේ කිමිදුනා.. හැම වෙනස් කමක්ම කට පාඩමින් වගේ මන්සින් මට පේන්න ගත්ත.

සියුම් සලකුණු වලින් මං දැනගත්ත එයා ජීවතුන් අතර කියල.  පුංචි අඩිපාරක්.. කැඩුණු කොලයක්.. පෙරලුනු ගලක් මට ඒ බව කීව.

එයා මං කිට්ටුවම ඉන්නව. සමහර වෙලාවට මාව අධ්‍යයනය කරනව වගේත් දැනුන. මේ මං කරන්නෙ අසාධාරනයක්ද කියල හිතුනු වාරත් තිබුන.

ඒක හරියට ජූලියා රොබර්ට්ස් රඟපාපු ස්ලීපින්ග් විත්ද එනිමි චිත්‍රපටිය වගේ.. මට හිතුන.

මතකද තමන්ගෙ දැඩි නීති හා රෙගුලාසි මැද්දෙ ජීවිතෙන් හෙම්බත් වෙලා අතුරුදන් වුණු ජූලියා රොබර්ට්ස් හැංගෙන්න ගත්ත උත්සාහය.

ඒත මං මගෙ උත්සාහය හැම තිස්සෙම සාධාරණීකරනය කරා.

සමහර දිනවල පාන්දර දෙකට තුනට ඇහැරල අයිස් කැට දෙක තුනක් උඩට ස්කොච් වක්කරන ගමන් මං කීව... උඹට පිස්සුද ක්‍රෙග්.. මේ පුංචි බූවල්ලෙක් පස්සෙ බෙල්ල කඩාගෙන දුවන්නෙ..

ඒත් ඒ හැම අවස්ථාවෙම මං ලස්සන උත්තර හොයා ගත්ත.

මගෙ පවුලෙ අයට ... මගෙ යාලුවන්ට මගෙ හිත තේරුම් ගන්න බැරි වුනා.

ඒත් මගෙ අලුත් මිත්‍රයා වගේම මේ කියවන ඔබත් මාව තේරුම් ගනිමින් ඉන්නෙ... ඒක නිසයි මේ සෙනසුරාදා රෑ දහය වෙද්දිත් ලියන්නෙ ඉරිද උදේම ලස්සන සටහනක් දෙන්න.

අන්තිමට සති තුන හතරකින් මගේ මහන්සියේ ප්‍රථිඵල ලැබුන.

දැනුනෙ පුදුමාකාර සතුටක්. 

මං හොයා ගත්ත එයාගෙ අළුත් ගෙදර. හැබැයි නොදැක්ක විදිහට  ආපහු ආව.

එදා රෑ නින්ද ගියේ නෑ සංතෝසෙට.  එලි වෙනකල් තිබුනෙ පුදුම හදිස්සියක්.

පහුවදා උදේම ගියා හිමීට ගේ දොරකඩට.. මාව දැකල හැංගෙයිද.. මාව ප්‍රතික්ශේප කරයිද... 

ටික වෙලාවක් මං දිහා බලන් හිටිය.. 

හ්ම්.. උඹව ආපහු දැකීම සතුටක් කියන්න වාගෙ බලන් හිටියා.....

හිමීට අඬුවක් දික් කරා.. දෙකක් දික් කරා.. මගෙ ඇස් කඳුලින් පිරුණ.

අතට ආව නෙමේ.. පොඩි එකෙක් වගේ මගෙ පපුවට නැග්ග.. බදා ගත්ත.  




දැනුන සතුට මට කියන්න බෑ. මට වචන නෑ.

එදා නවාතැනට ආවෙ පුදුම සතුටකින්..  

පහුවදා ඉඳන් ආපහු පුරුදු විනෝද චාරිකා පටන් ගත්ත. 

 එයාගෙ අලුත් ගෙදර වඩා ඉඩ කඩ තියන තැනක් වගේ පෙනුනෙ.

මේ දවස් වල මං දිගින් දිගටම අධ්‍යයනය කරා මේ  පුදුමාකාර ජීවියාගෙ හැකියාවන්.

මං නැවතත් ජීවත් වෙනව වගේ මට දැනුනෙ.

රස්සාවෙන්.. පවුලේ බරින්.. ජීවිතයෙන් හෙම්බත්වෙලා ඔක්කොම එපා වෙලා හිටපු මම ආයෙ ජීවත් වෙනව කියල මට දැනුන.

දවසක් අපි පීනමින් ඉද්දි ආයෙත් අර එපා කරපු සිද්ධිය වෙන්ඩ යන බව මට දැනුන.

හදිස්සියේම මෝරෙක් මතුවුනා අපි ඉස්සරහින්...

නෑ.. නෑ මේක වෙන්න බැරි දෙයක්... මේක විය යුතු දෙයක් නෙමේ.

ආයෙත් අර පුරුදු සටන.. විදුලි වේගයෙන් පාට මාරු කරල නොපෙනී ගියා ඇල්ග් කැලේ පැත්තට. 

නමුත් පාට මාරු කිරීමෙන් වැඩක් වෙන්නෙ නෑ. මෝර යන්නෙ ඉවට.

ආයෙත් දඩයක්කරුවාගේ ලුහු බැඳීම..  

දැන් මේ කියවන අය අහන්නෙ ඇයි මං පොල්ලක් අරං මේ මෝරට ගහන්නෙ නැත්තෙ ? ඇයි මං මගෙ යාළුවා බේර ගන්න ඉදිරිපත් නොවෙන්නෙ?

මං කවුද? 

මං කවුද මේ දෙන්න අතරට එන්න. ? 

මේ ඒගොල්ලන්ගෙ ජීවිතේ.  

ඒක හරිම අමාරු දෙයක් තීරණය කරන්න. ඒ වගේම අමාරු දෙයක් තේරුම් ගන්න.

 මං කෙටි කාලෙකට ආපු සංචාරකයෙක්. 

මේ එයාගෙ මුළු ජීවිතේම.

ඇල්ග් කැලේ ..ලොකු ඇල්ග් කොල දෙකක් ඇඟ වටේ ඔතාගෙන හැංගිලා ඉන්නව මං දක්ක .. මෝර ටික වෙලාවක් කැරකුනා.. ඉව අල්ලල කඩා පැන්න.

මේ සටන විස්තර කරන්න මට වචන නෑ. 

මේ අපූරු බුද්ධියක් තියන සතා අවුරුදු මිලියන ගානක් පුරා රැස් කර ගත්ත බුද්ධිය ..

 උපක්‍රම එකින් එක භාවිතා කරනව ජීවිතේ බේර ගන්න. මුලින්ම ඇල්ග් ගස් උඩටම ඇදුනා.. ඒක හරියන්නෙ නැති තැන ගුහාවකට ඇදුන.. මෝර පිස්සුවෙන් වගේ පහර දෙනව.

මේ සටන ඉවරයක් නෑ.  ගල් අස්සෙ.. ගස් අස්සෙ හැංගෙනව.. බෙලි කටුවලින් වහ ගන්නව. ඒත් මෝරගෙන් ගැලවුමක් නෑ. 

බැරිම තැන එයා තීරණය කරනව වතුරෙන් උඩට යන්න. 

එක පාරටම කොරල් පරයක් දිගේ උඩට ඇදිල පොඩි කොරල් දූපතකට පණිනව. 

මේ මං ජීවිතේ මුල් වරට දකින්නෙ බූවල්ලෙක් ගොඩබිම ඇවිදිනව. 

එයා කීප තැනකින්ම තුවාල වෙලා. 

ඒ අතරෙ මෝර ඉව අල්ලමින් මේ පොඩි දූපත වගේ කැරකෙනව. 

මේ ඔළුව අවුල් කරන සිද්ධීන් ටිකක්. 

ජීවිතයත් මරණයත් අතර සටනක්.

මං දන්නව මේ කියවන අය මාව විවේචනය කරනව කියල.

ඒකට කමක් නෑ. මමත් ඒගොල්ලන්ගෙ ලෝකෙ ප්‍රේක්ශකයෙක් විතරයි.

මං අසරණයි හැමෝම හිතනවට වඩා. 

අපේ මිත්‍රයාට වැඩි කල් ගොඩ බිම රැඳෙන්න බෑ.  එයාගෙ හතුර ඉන්න පැත්තට පිටුපාල මුහුදට පනිනව. 

මං දන්නව එයාගෙ ඉලක්කය එයාගෙ ගෙදර බව. ගෙට රිංගල දොර වහගත්ත නම් මේ නාට්ටිය ඉවරයි. නමුත් එතෙන්ට මීටර් දෙසීයකට වඩා දුරයි. පිස්සුවෙන් වගේ පීනන මෝරෙක් එක්ක ඒක හරියට කිලෝ මීටර් තුන හතරක දුරක් වගේ.

මෝර ආපහු ඇදෙනව විදුලියක් වගේ. 

යනින් ගමන් ලොකු සිප්පි කටු .. බෙලි කටු ඔක්ක්කොම මෙයා ඇඟේ ඔතා ගන්නව. 




අන්තිමට මුහුදු පතුලට වැටෙනව.  

මං බලන් ඉන්නව භිරාන්ත වෙලා. 

 වටේ තියන ඔක්කොම බෙලි කටු සිප්පි කටු බදාගෙන හරියට පාපන්දුවක් වගේ රවුම් වෙලා.  

මේක නම් හොඳ උපක්‍රමයක් නෙමේ මට හිතුණා.

 මුහුදු පතුලට ඇදුණු මෝරා නොනවත්වාම පහර දෙනව. අපේ මිත්‍රයා බෝලයක් වගේ රෝල් වෙනව. ඒක හරියකට පා පන්දුවකට පහර දෙනව වගේමයි. 

මේ සටන වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ.  මෝරට පුළුවන් වෙනව එක අඬුවක් කඩල ගන්න.  

තදින්ම තුවාල වෙච්ච අපේ මිත්‍රයාට මෝර පහර දෙනව පිස්සුවෙන් වගේ.

මේ අවසානය මට හිතුන.

අන්තිමේදි අලවන් හිටපු ඔක්කොම ආවරණ අතෑරල එයා කොරල් පරය දිගේ උඩට ඇදෙනව අමාරුවෙන්.. ඒත් හැම පැත්තක්ම නිරීක්ශණය කරමින්. 

මෝර එයාට පහලින් දකින කල් උඩට ඇදිල එක වරම නතර වෙනව.

ඊට පස්සෙ දැකපු දේ කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. 

මේක හිතා ගන්න බැරි දෙයක්. මං තමයි මේ සිද්ධිය මේ ලෝකෙ මුලින්ම දැක්කෙ මං හිතුව. 

මං හුස්ම ගැනීමත් නතර කරලයි මේ දිහා බැලුවෙ.

කොරල් පරය උඩ හිටපු අපේ මිත්‍රයා එක පාරටම වෙලාව දිශාව ගනනය කරල පනිනව මෝර එන දිහාවට හරියටම මෝරගෙ පිට උඩට පාත් වෙන්න.

දෙයි හාංදුරුවනේ කොහොමද මේක විශ්වාස කරන්නෙ.?

බූවල්ල මෝරගෙ පිට උඩ.  

ඉතුරු වෙලා තියන අඬුවලින් හොඳින් පිට අල්ලගෙන. 

කොහොමද මං තරම් ලොකු මෝරෙක් මේ පිට උඩ ඉන්න පොඩි බූවල්ලව අල්ලන්නෙ .. 

විදිහක් නෑ.. විදිහක් නෑ. 

මෝර පීනනව.. පිස්සුවෙන් වගේ එහාට මෙහාට.  අපේ මිත්‍රයා අස්සයෙක්ගෙ පිට උඩ ඉන්න පොඩි මනුස්ස‍යෙක් වගේ පාඩුවේ ඉන්නව.

නිකමට හිතන්න  ඇමරිකානු කව් බෝයි කෙනෙක් තරහ ගිය ගවයෙක් පිට ඉන්න දර්ශනේ.  කොයි තරම් ගවයා උඩ පැන්නත් පාඩුවේ මේ ජවය මෙල්ල කරන පලපුරුදු කව්බෝයි...  

මං දැක්කෙ එහෙමයි.

පීනලම හති වැටෙනකං විතරක් නෙමේ .. එයාගෙ ගේ කිට්ටුවෙන් මෝර පීනන අවස්ථාව එනකල් බලං මගේ මිත්‍රයා බලන් ඉන්න බව මට වැටහුනා.

මේ පුංචි සතාට මෙච්චර බුද්ධියක්... ඒ ගැන කතා කරන්න බෑ.

මිනිස් මොලයට හිතන්න බැරි තරමට ඉහලයි.

අන්තිමේදි  මේ අවස්ථාව එනව... අපේ මිත්‍රයා බොහෝම කල්පනාවෙන් බලන් හිටපු.  

මෝරගෙ පිට ඇතෑරල වතුරට පැනල ගේ දිහාවට ඇදෙනව. 

පන්නල පහර දෙන්න තරම් මෝරට මහන්සි වැඩී. 

ඌ සටන අතෑරල ගොඩක් වෙලා.  

බලන් ඉඳල තියෙන්නෙ මේ කරදරෙන් මිදෙන්නෙ කොහොමද කියල.

පරාජය පිලි අරන් මෝර හෙමීට ඇදිල යනව.

බරපතල විදිහට තුවාල ලබපු අපේ යාලුවා හෙමින් ඇදෙනව ගේ ඇතුලට.  

බොහෝම අමාරුවෙන් මං දිහා බලන ගමන්..

ඉතිරි වෙලා තියෙන ශක්තිය ඔක්කොම දාල ගේ ඇතුලට ඇදෙනව.

දෙවියෙක් ඉන්නව නම් මේ ලෝකෙ .. ස්තුති වේවා.  යන්තං මේ කෲර චිත්‍රපටිය අදට ඉවරයි. නමුත් දෙවියෙක් නැති බව මගෙ හිත දන්නව.

මේ සොභාදමේ තවත් එක දවසක් විතරයි.

බෲස් විල්ල්ස්ටවත් .. ටොම් කෲස්ටවත්... ස්වාසෙනගර්ටවත් හිතන්නවත් බැරි තවත් එක දවසක් ස්වභාව ධර්මයේ.

සීතල වතුරෙ හිටියත් මගෙ ඇඟ පිච්චෙන්න තරමට රස්නෙයි.

හෙමීට ගොඩබිමට පීනුවා. 

මට තියෙන එකම ප්‍රශ්ණෙ එයා ජීවත් වෙයිද.? සුව වෙයිද?

මට මගේ හොඳම යාළුවා නැති කරගන්න බෑ. ඒක හිතන්නවත් බෑ.


පහුවදා උදේ වෙනකල් ගෙවුනෙ ආයෙත් නිදි නැති රැයක්..

ඒක නිකං හරියට මගෙ පවුලෙ කෙනෙක් ඉස්පිරිතාලෙ ඉන්දැද්දි මං ගෙදරට වෙලා සැප විඳිනව වගේ හරි අමාරු හැඟීමක් දරා ගන්න.

පහුවදා උදේම ගියා බලන්න.  

ගේ ඇතුලට වෙලා ඉන්න මගෙ මිත්‍රයා තවමත් ජීවතුන් අතර කියල දැන ගත්තම දැනුනෙ පුදුමාකාර සතුටක්. 

ඒත් මුළු ඇඟම සුදු මැලි පාටයි. ජීවයක් නැති රබර් කෑල්ලක් වගේ.

දෙවනි දවසෙ හෝ තුන්වෙනි දවසෙ විශේෂ වෙනසක් දකින්න නෑ. බොහොම අමාරුවෙන් හුස්ම ගන්නව වගේ දැනුන.

වාසනාවකට මේ මුහුදු තීරය හරිම පිරිසිඳුයි.. එකම ප්ලාස්ටික් කොලයක්.. පොලිතීන් කෑල්ලක් දකින්න නෑ.

 මං හිතන්නෙ පිරිසිඳු වතුර.. ඔක්සිජන් පිරුණු දිය රැලි එයාව සුවපත් කරයි.

සුප් එකක් හදාගෙන.. එහෙමත් නැත්නම් දොඩං මල්ලක් අරගෙන බලන්න යන්න තියෙනව නම් කියල මට හිතුන.  

ඒත් හිත ඇතුලට එබිල මේ ඉන්නෙ මනුස්සයෙක් නෙමේ සතෙක් කියල කියන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ. 

මගේ පුතා, බිරිඳ, හොඳම මිත්‍රයා අතරෙ එයත් එක්කෙනෙක්.. කිසි වෙනසක් නෑ.

කාටද වැඩියෙන්ම ආදරේ කියන්නෙ උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණයක්.

සතියක් විතර ගියාට පස්සෙ තමයි මගෙ හිත සංතෝශෙන් පිරුණෙ. 

ඉර පායල තිබුණ ලස්සනට. ඇල්ග් ගස් අතරින් හිමීට ඉර එලිය ඇදිල තිබුන හෙමිහිට එයාගෙ ගේ දොරකඩට. 

ගේ දොරකඩ සුදුවැලි තලාව පිරිසිඳු වෙලා තිබුන.  මේ ඔක්කොම ඉතාම හොඳ ලකුණු..  මාව දැක්කම හෙමින් එලියට ඇදුන, සුදුමැලි පාට මැකී යමින් තියෙන්නෙ කියල තේරුණා. 

මං දිහා ටිකක් වෙලා බලන් ඉඳල එක අඬුවක් දික් කරල මගෙ අත ස්පර්ශ කරා. 

ඒ හරියට අපි තවමත් හොඳ යාළුවො.. ස්තුතියි මාව බලන්න ආවට කියන්න වගේ.

මෙන්න මෙතනදි තමයි මං තවත් පුදුමාකාර දෙයක් දැක්කෙ. 

මෝරගෙ ප්‍රහාරයේදී අහිමි වුණු අඬුව එහෙම නැත්නම් අත තිබුනු තැන පුංචි රෝස පාට ඇඟිල්ලක් වගේ දෙයල් ලියලමින් තිබ්බ.

මගෙ හිත සංතෝසෙන් පිරුණ.

මට මගෙ පුතාගෙ පුංචි ඇඟිලි මතක් වුණා එයාට සති දෙක තුනක වයෙසෙදි.

මෙතනින් පස්සෙ සිදුවුණු දේවල් විස්තර කරල මට ඇහුම් කන් දෙන හැමෝම වෙහෙසට පත් කරන්න මං කැමති නෑ.

ඒත් දවසින් දවස ඒ නැතිවුණු අත වෙනුවට අළුත් අත ටිකින් ටික වැඩුන. 

මාසයක් විතර යද්දි අළුත් අතක් අර නැතිවුණු අත තිබුණු තැන මැවිල තිබුන.

ස්වභාව ධර්මයේ තවත් අපූරු හාස්කමක්. 

මිනිස්සු වුණු අපි තාමත් ප්‍රාථමිකයි.. නැතිවුනු අතකට රොබෝ අතක් හරියට බද්ද කරන්නවත්  තවම අපිට බෑ.

නමුත් මේ කුඩා මිත්‍රයින් දන්නව නැතිවුණු අතක් වෙනුවට අළුත් අතක් නැවත ලබාගන්න.

මේ කිසිම දවසක එයා පෙන්නුවෙ නෑ මගෙත් එක්ක අමනාප කමක් මෝරගෙන් බේරෙන්න උදව් නොකරපු එකට.

උඹ මගේ හොඳම යාළුවා..  උඹ උදව් නොකරෙ ඇයි කියන්න මං දන්නව.  ඒ වගේ හැඟීමක් මට දෙන්න  ඒ ඇස්වලට පුළුවන් උනා.

අපේ යාළුකම තවත් ශක්තිමත් උනා.

මං මේ ලෝකෙ ඉන්න සතුටුම මිනිසා .. මට එහෙම දැනුනා.

අපි යාලුවො වෙලා අවුරුද්දකටත් වැඩී. 

දවසක් අපූරු සිදුවීමක් උනා.. අපි පීනමින් ඉද්දි තරබාරු මාළුවෙක් පීනුව අපි අතරින්.

මට තේරුණා මගෙ මිත්‍රයාට බඩගිණියි කියල. නමුත් දවල් එලියෙ දඩයම් කරන එක ලේසි වැඩක් නෙමේ. 

කීප සැරයක් එහාට මෙහාට කැරකිලා මේ මාළුවාව පොඩ්ඩක් කොරල් පර දෙකක් අතර තනි කරපු බව මට තේරුණා. 

මේ හොඳම වෙලාව තමා පහර දීල අල්ල ගන්න. 

මට කියන්න හිතුන මෝඩයෝ ඉක්මන් කරල අල්ල ගනිං කියල.

නමුත් ඊට පස්සෙ වුනේ මොකද්ද එක පැත්තකින් මේ මාළුව්වව කලබල කරල අනික් පැත්තෙන්  ආපහු අඬු වුහිදෙව්ව. 

කලබල වුණු මාළුවා පැනල යන්ට ආවෙ මගෙ පැත්තට.

අන්න එතකොට තමයි මට කතන්දරේ තේරුණේ.

මෙයා අටවපු උගුලෙ මමත් එක කොටසක්.   මාව දැකපු මාළුවා කලබල වෙලා ආපහු හැරුණා.  

හැරුණු ගමන් කවුද ඉන්නෙ.. ? කිසි සමාවක් නෑ.

පුදුමාකාර බුද්ධියක්.. එයාගෙ දඩයම් සැලසුමට මාවත් ඇතුලත් කරගෙන.

පුදුමෙට වඩා මට හිනා ගියා.

ඒක හරියට උඹත් මගෙ ටීම් එකේ එකෙක් කියන්න වගේ.

ඒ ගැන මතක් වෙද්දි මට තවත් හිනා යනව…

දවසක් හරිම ලස්සනට එලිය වැටිල තිබුන. ඊයෙ හවස කුණාටුවෙන් පස්සෙ මුළු පරිසරයම පුදුම ලස්සනයි.

මං උදේම කරන දේ හිතා ගන්න පුළුවන්නෙ.  

කෙලින්ම කිමිදුනේ එයාගෙ ගේ දොරකඩට. 

කවුරුත් පේන්න නෑ.

සාමාන්‍යයෙන් මේ අය නිතරම  දවල් වරුවෙ එලියට යන්නෙ නෑ.  මගේ යාළුවා මගෙත් එක්ක රවුමෙ පීණුවාට තනියම එලියට පහලියට යන වෙලාවල් අඩුයි.

ඒ පාර මොකද්ද..?

ඒ වෙලාවෙ තමයි මං දැක්කෙ මීටර් විස්සක් විතර ඈතින් අපූරුවට ඉර එලිය වැටිල තියන හරියක ලස්සන මාළු රංචුවක් විස්සක් තිහක් විතර 

එක අතකට පීනනව.. ආපහු හැරෙනව.

බලන්න ලස්සනයි..

ඇල්ගී පඳුරු අතරින් බේරෙන උදේ ඉර එලිය සුදුම සුදු පාට වැල්ලෙ පතුලට වැටිල තිබුනෙ අපූරු හැඩ තල මවමින්...

මේ සුදු වැලි තලය කිට්ටුවෙන් පීන්න මාළු රංචුවේ හැසිරීම හරියට හමුදාවක ආචාර පෙලපාලියක් වගේ. 

ඔක්කොම එකම අතකට පීනනව .. හදිස්සියේම ඔක්කොම එක පාර නැවතිලා අනික් පැත්තට හැරෙනව.. උඩට හැරෙනව.. පාතට හැරෙනව..  දිශාව වෙනස් කරනව. 

බලන්න ලස්සනයි.     ඒ අයගෙ පාට වරල් රිදී පාට බඳ දිලිසෙනව එකම විදිහට..

ටිකක් කිට්ටු වෙලා බලද්දි මගෙ හදවත නතරවුණා පුදුමෙට.

අපේ මිත්‍රයා තමා මේ හමුදා සංදර්ශණයෙ අණදෙන නිළධාරියා.

එහෙමත් නැත්නම් සංගීත ඔකෙස්ට්‍රයක මෙහෙයවන්නා.

හිටපු ගමන් කොරල් පරයක් උඩට නැගල ඔක්කොම අඬු එක දිශාවකට එක පාර ගස්සල දිගාරිනව.

පොඩ්ඩක් කලබල වෙන මාළුවො ඒ අතට හැරෙනව.. ආයෙ අනික් අතට.

කොරල් පරයෙන් බැහැල තවත් පැත්තකට ගිහින් මේ දේම කරනව.

මාළුවො ඒ විදිහටම දිශාව වෙනස් කරනව.

මේක මහ පුදුමයක්.

මේ කරන්නෙ දඩයමක් නෙමේ.

එයා විනෝද වෙනව.  ඔව් විනෝද වෙනව මාළුන්ට අණ කරමින්.

මේ ලෝකෙ හරි පුදුමාකාරයි.

හරිම පුදුමාකාරයි.

මං ටික වෙලාවක් බලං හිටිය.. ඒ හරියට මගෙ පුතා මිදුලෙ සෙල්ලම් කරනව වගේ හැඟීමක්ද.. මං දන්නෙ නෑ.

මං  ඇවිත් හිටපු බව එයාට තේරුණා. 

කරපු වැඩේ නතර කරල දුවගෙන ඇවිල්ල මගෙ පපුවට පැන්න. 

මට තේරුණා එයා පුදුම සංතෝසෙකින් ඉන්නෙ කියල.  මාත් සතුටු උනා.

ඇඟේ තිබුනෙ පුදුම ලස්සන පාට.. වෙනදා නොදකින එලියක්.




 එහාට මෙහාට පීනමින් අපි සංතෝස උනා.

හැබැයි මේ තමා අන්තිම වරට එයා මගෙ පපුවට තුරුළු වුණේ.

මේ ගැන හිතද්දි.. ඒක නිකං මට හීණයක් වගේ.

පහුවදා ආපහු මං කිමිදුනා. 

දැක්ක දෙයින් මගෙ හදවත නතර වුණා. 

අපේ යාළුවා හිටිය ගේ දොරකඩ.. හැබැයි තනියම නෙමේ.  එයාට වඩා විශාල ..පාටින් වැඩි ..පිරිමි බූවල්ලෙක් එක්ක.

මෙච්චර දවස් නොකීවට කියවන, අහන , බලන අයට තේරෙන්න ඇති

එයා කියල කීවෙ ඇය කියන්න බැරි හින්ද කියල.   

අපි අතරෙ තිබුණු සම්භන්ධය විස්තර කරන්න මට බැහැ. 

මට කොයිම  වෙලාවකවත් හිතුනෙ නෑ ආදරවන්තියක් විදිහට. සමහර විට හොඳම යාළුවා..  දරුවෙක්.. ගෙදර කෙනෙක් .. එහෙමත් නැත්නම් මේ හැම කෙනාගෙම එකතුවක්.

මට හිතුනෙම නෑ වෙනත් වර්ගයක ජීවියෙක් කියල. අපි අතර පුදුමාකාර තේරුම් ගැණීමක් තිබුන.

ඒත් ආදරයෙන් වෙලිල ඉන්න මගෙ මිත්‍රයා දැක්කම මගෙ හදවත නතර වුනා.

ඒ ඊරිසියාවට නෙමේ.

අපේ සම්භන්දය මෙතනින් ඉවරයි කියල මං දැනගත්ත.

මං ආපු බව දැක්කම හෙමිහිට මං දිහා බැලුව. හරියට මට සමාවෙයං කියනව වගේ.

මං ආපහු හැරිල ආව

මට දැන් තේරෙනව එයා ඊයෙ දවසෙ මේ තරම් සංතෝසෙන් හිටියෙ මොකද කියල.

ගැහැණු බූවල්ලෙක් හරියට කෙහෙල් ගහක් වගේ.  

එක පාරයි කෙසෙල් කැනක් පූදින්න පුළුවන්. කෙසෙල් ගහ තමන්ගෙ සියළුම ශක්තිය කෙසෙල් කැනට දෙනව. ඊට පස්සෙ හෙමිහිට මියැදෙනව.

මේක තමයි තිත්ත ඇත්ත.

මේ ස්වභාව ධර්මය වෙනස් කරන්න කාටවත් බැහැ.

මං නවාතැනට ආවෙ හිස් හදවතින්...

ඒ වෙද්දි දවස් තුන්සිය තිස් හතරක් මං කිමිදිලා තියනව. 

මේ මගෙ ජීවිතේ අමතක නොවන දවසක්.

මගෙ හිත ඇතුලෙ විදුලි කොටනව.

මං දන්නව මෙතන ඉඳල එයා කවදාවත් ඉන්න තැනින් එහෙම නැත්නම් එයාගෙ ගෙදරින් එලියට අඩියක් වත් තියන්නෙ නෑ කියල. කෑම නවත්වනව.  කරන එකම දේ බිත්තර රකිනව .. ඒ බිත්තර වලට අවශ්‍ය ඔක්සිජන් දෙනව නොනැවතීම.

මං එයාව බලන්න යන එක නැවැත්තුවෙ නෑ.  ගෙදර අඳුරු මුල්ලට වෙලා එක ඇහැක් ඇරල මං දිහා බැලුව.  හරියට මට උඹව මතකයි කියන්න වගේ.

මං කිමිදෙන එකවත් එයාව බලන්න යන එකවත් නැවැත්තුවෙ නැහැ.

දවසින් දවස මං බලාගෙන හිටිය. ටිකෙන් ටික හුස්ම ගන්න වේගය අඩුවෙනව. හැමදාම ශරීරය ටිකෙන් ටික දුර්වර්ණ වෙනව.

මේ මගෙ යාළුවා. 

මං මොනව කරන්නද..?

මේ දවස් වල තමයි මං මගෙ පුතාව පීනන්න ..කිමිදෙන්න පුරුදු කරේ.

ඒක හරියට මගෙ මිත්‍රයා මගෙන් ඉල්ලපු දෙයක් වගේ මට තේරුණේ.

මගේ යාළුවාගෙන් ඉගෙන ගත්ත දේවල් මං මගෙ පුතාට කියල දුන්න.

මට වඩා ඉක්මනින් මේ හැමදේට ඔහු පුරුදු උනා.  

සත්තුන්ට මටත් වඩා ආදරේ කරන බව මට හොඳටම පැහැදිලියි. ඇල්ග් කැලේ.. ගුහා තියන ප්‍රදේශය.. වැලි තලා.. මෝරුන්ගෙ ගුහා මං ටිකෙන් ටික මගෙ පුතාට පෙන්නුව.  ඒ හරියටම මගෙ යාළුවා මට පෙන්නපු විදිහ ..විස්තර කරපු විදිහ වගේ.

ඒ අතරෙ නොකඩවා මගෙ යාළුවා බලන්න ගියා.

එයා කොයිතරම් දුරට බිත්තර රැකීමට අවධානය දුන්නද කියනව නම් .. ඒකට කැපවෙලා හිටියද කියනව නම් මං ආපු බවක් වත් දැනං හිටියෙ නෑ.   

 මට තරහ ගියෙ නෑ.

 මට දුක හිතුන.

 කොච්චර කල් ගියාද මම දන්නෙ නෑ. 

අන්තිම දවස් වෙද්දි ඇහැ ඇරල මං දිහා බලන්න තියා හුස්ම ගන්න වත් හයියක් තිබුනෙ නෑ.

එක දවස හවසක පොඩි කුණාටුවක් ආව. මං පුතත් එක්ක මුහුද දිහා බලං හිටිය. ඒක හරි පුදුමාකාර හවසක්. මට හරි අමුතු හැඟීමක් දැනුන.

පහුවදා කිමිදුනා උදේම එයාගෙ ගේ දොරකඩට හදවතත් අතේ තියාගෙන. 

මං හිතුව හරි.. ගේ දොර ඇරිල. කවුරුත් නැහැ. 

ඒ කියන්නෙ බිත්තර පුපුරල පොඩි එවුන් යන්න ගිහින්. 

ඊයෙ ආපු කුණාටු රැලිත් එක්ක කොහෙ හරි ඈතට පාවෙලා යන්න ඇති.

මගෙ හිත වගේම  ඒ පලාතම පාළු වෙලා.

 පාළු වෙලා .. අඳුරු වෙලා.

ඒ වගේ පාළු ගතියක් මගෙ ජීවිතේටම දැනුනෙ නෑ.

එයාගෙ ගෙදරට මීටර් පණහක් විතර ඈතින් මට පේනව පන නැති සිරුර.

සමහර විට පණ ගිහින් පැයක් වත් නැතිව ඇති. ඒ වෙද්දිත් මාළුවො.. තවත් මුහුදු ජීවීන් ඒ වටේ රැස්වෙලා.  

මට හිතුනා උන් ටික එලවළ දාල සිරුර අරන් ගිහින් භූමදාන කරන්න.

ඒත් එයා හිටිය නම් අහයි... උඹ කවුද සොභාදහමේ රීති කඩන්න.

කිසි දේකට මැදිහත් වෙන්න එපා.. බලන් ඉඳපන්.. ඉගෙන ගනින් කියල.

මං බලන් හිටිය. 

පණ නැති සිරුර ඔහේ රැල්ලට පාවෙනව. මාළුවො කොටමින් එහාට මෙහාට අදිනව. 

මේ බලන් ඉන්න ලේසි දෙයක් නෙමේ.

ටික වෙලාවකින් කොහෙදෝ ඉඳල ආපු මෝරෙක් මළකඳ ඩැහැගෙන නොපෙනී ගියා.

ඒක ඉවරයි.

..............................................

ටික දවසකට පස්සෙ මං පුතත් එක්ක කිමිදෙන්න ගියා. අපි දැක්ක චූටිම චූටි පොඩි එවුන්.  මං එකෙක් හෙමීට අතට ගත්ත. 




සමහර විට උඹගෙ අම්ම උඹට උගන්නන්න ඇති  එයාට අපූරු යාළුවෙක් හිටිය කියල. අවුරුදු දාස් ගාණක බුද්ධිය උඹට දෙන ගමන් එයා උඹට කියල දෙන්න ඇති මිනිස්සු සමහරක් හරි අපූරු යාළුවො කියල.

ඒ මොනව උනත් උඹගෙ අම්ම මගෙ හොඳම යාළුවා.

එයාව මං ජීවිතේටම අමතක කරන්නෙ නෑ... එයාට මං අදත් ආදරෙයි.

සමහර විට මේ එයාගෙ පොඩි උං නොවෙන්න පුලුවන්. 

මට ඒකෙ ඇති දෙයක් නෑ.

මං මේ වෙරලට එද්දි ආවෙ ඔක්කොම එපා වෙලා. කලකිරිලා.

ඒත් එයා මට ඉගැන්නුවා... දවසින් දවස ජීවිතේ . 

සතුට.. දුක.. සටන් කිරීම.. ඉවසීම.. ආදරය ..විශ්වාසය.. යාළුකම..

බෙදා ගැනීම.. අන්තිමට කැපකිරීම හා සොභා දහමට කීකරු වීම 

 ඒ මුළු ජීවිතේම පාඩමක්.

අද මං මගෙ පුතාටත්.. ඒ වයසෙ තව පොඩි උන්ටත් කියල දෙනව එයාගෙන් ඉගෙනගත් හැමදේම.

 ඒ පොඩි උං එක්ක ඇල්ග් කැලේ පීනද්දි මට හිතෙනව එයා මං දිහා හැංගිලා බලන් ඉන්නව කියල.

මං ගැන සතුටු වෙනව කියල.... 

ආයෙ දවසක හමුවෙනකල් අමතක නෑ.

මං හිමීට කිව්ව.

……………….

My Octopus Teacher වාර්ථාමය චිත්‍රපටිය ඇසුරින්.......

ක්‍රෙග් ෆොස්ටර් ..හදවතින්ම ස්තුතියි මට මේ කතාව කියන්න ඉඩ දුන්නට.  උඹගෙ පුදුමාකාර යාළුවාට ආදරේ කරන මිලියන ගාණක මිනිස්සුන්ට මාත් එකතු වෙනව.

........      ............

ක්‍රේග් ගේ ඉල්ලීම... මේ පුංචි සත්තුන්ට ..මුහුදට ආදරෙයි නම් එක ප්ලාස්ටික් බෝතලයක්වත්.. එක පොලිතීන් කොලයක්වත් මුහුදට දාන්න එපා..

ඒ පොඩි උංට ජීවත් වෙන්න්න තැනක් නෑ.

( මේ වගේ මුහුද යට ලෝකයේ දාස් ගණන් අපූරු ජීවිත තියනව... මේ ජීවිත වලට මිලක් නෑ... 

එක පොඩි ජීවියෙක් බිහි කරන්න ක්‍රේග්ගෙ මිත්‍රයා වගේ අය මුලු ජීවිතේම කැප කරනව.. ඒ ජීවිත උදුරගන්න.. ඒ ලෝකෙ සුනුවිසුනු කරල දාන්න අපිට තියෙන අයිතිය මොකද්ද ..? 

රසායනික ද්‍රව්‍ය පිරුණු නැවක් ගිළුනොත් මේ ලස්සන ලෝකයට මොකක් වෙයිද... මට උත්තර නෑ..

අපි මුහුදට බැහැර කරන ප්ලාස්ටික් කැලි කසල නිසා මේ අපූරු ලෝකය වැඩි කලක් පවතින්නෙ නෑ.

අමතක කරන්න එපා.. මුහුදට කැලි කසල එකතු කරන  ලෝකයේ ප්‍රධානම රටවල් අතරින් ලංකාවට හිමිවෙන්නෙ මුල් ස්ථාන දහයෙන් එකක්. 

ඒ ගැන හිතද්දි මේ කියවන ඔබට දැනෙන වේදනාව මටත් දැනෙනව)


Malcol, Sang

Thank you Malcolm Sang for this beautiful story 



Thursday, July 15, 2021

2021 ( 20) ආදරණීය පුරුපුරුව.

.ආදරණීය පුරුපුරුව.




දවසකට එක් වතාවක් හෝ අපේ කලූ අප වෙත පැමිණෙන්නේ හරියටම ඒ මොහොත අපේ විශේෂ වූ අවශ්‍යතාවයක් ලෙස සලකා මෙනි.
ආ...කලූ .ඒ තමයි අපේ ගෙදර ඉන්න වයසක කලු පූසා.

එයින් හැඟෙන්නේ ඔහු අප වෙත එන්නේ ඒ මොහොතේ අපි ඔහුට කෑම දියයුතුයි හෝ ඒ සමාන කාරණාවකට නම් නොවෙයි.ඔහුට අවශ්‍ය වන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්.

අප විසින් උකුලට අතක් තබා තට්ටු කල විට ඔහු උකුලට පැන ගනී.එසේ නොකලහොත් ඒ දේ අප විසින් කොයි මොහොතේ හෝ කරනු ඇතැයි යන බැල්මෙන් බලා හිඳී.ඉන් පසුවත් අප විසින් ඔහුගේ පිට අතගෑමත්, බෙල්ල කැසීමත්, නැවත නැවත ඔහු කෙතරම්ම හොඳ අයෙක්දැයි පුන පුනා කීමත් අවශ්‍ය වේ.

ඉන් පසු ඔහු ක්‍රමයෙන් සන්සුන් වන අතර පුරුපුරුවෙන් ඇරඹෙන සිහින් ශබ්දය ගෙරවීමක් බවට පත්වෙයි...ඔහු අප වෙත බලන්නේ විසල් කරගත් දෑසිනි.එහි ආදරය උතුරා යයි. ඒ සමගම බළලෙක් සතුවන දිගු එහෙත් සෙමින් කරනා ආදරණීය ඇස් ගැසීමක් ද අපට ඔහුගෙන් ලැබේ.

ඉන් පසු ඔහු කෙමෙන් සන්සුන් වී උකුල මත සුවපහසු නින්දකට වැටේ.

මෙවන් විටක මගේ දියණිය මෙසේ කියයි.

" කලූට පුරුපුරුවක් ඕන වෙලා වගේ."

මා මේ කතාව පවසන්නේ ඇත්ත වශයෙන්ම මෙය අවශ්‍ය වන එකම කෙනා කලූ නොවන බව කීමටය.ඕනෑම වයස් කාණ්ඩයක අයෙක් මෙයට මනාපය.

ඉදින් මා වැඩිහිටියෙකි. මවකි.මා බොහෝ විට මා සමග මුසුවන දරුවන්ගේ වැලඳ ගැනීමකට, අත්දිගු කොට තුරුලු කරගැනීමකට කැමැත්තෙන් සිටිමි.

දරුවන් වෙනුවෙන් බොහෝ දේ කිරීමට මා ඉතා කැමතිය.ඕනෑම දරුවෙකු තවත් " කලූ" කෙනෙකි.

ඇත්තෙන්ම දරුවන්ටද අර කලූට මෙන් පුරුපුරු කාලයක් අවශ්‍යමය.

මුල් සටහන chicken soup for the soul කෘතියකිනි..

අනුවාදය : විසිරි ❤️
Wisiri Sihina

Sunday, July 11, 2021

2021 ( 19 ) දිනපොතකින් සතියක් 05.07.2021 - 11.07.2021

 දිනපොතකින් සතියක්

දිනපොතක් ලියනවා කියන්නෙත් අපූරු වැඩක්.ඒක මට ආයෙම හිතුණෙ ගිය සතියෙ.ඉතින් අහපු දැකපු , හිතපු දේවල් එක්ක මේ ලියවෙන්නෙ විසිරිගේ දිනපොත




05. 07 . 2021  සඳුදා



අපේ ලොකු එකාට ( මල්ලිට ) ඩෙන්ගු හැදිලා. පොර හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.මේ කොරෝනාව කොච්චර නරකද කියනවනම් මට ඒකාව බලන්න යන්න විදියකුත් නෑ. මිනිහා ඉන්නෙ මාතර මම මීගමුවෙ. පළාත් සන්චරණ සීමා අයින් කරනවා නම් කියල හිතෙන්නෙ ඔන්න ඔහොම වෙලාවට. ඒත් ඒ ගියත් මෑන්ව බලන්න යන්න දෙන්නෙ නෑ. මොකද මේ කොරෝනා නිසා විසිටර්ස්ලා තහනම්නෙ.

මට 2007 ඩෙන්ගු හැදිලා උන්න වෙලාවෙ ඔය මල්ලිලා ඩබල තමා මට කන්න බෑ කිව්වම සැර දදා කැව්වෙ.මට ඒවා මතක් වෙද්දිත් මාරම දුකයි.

මිනිස්සු කොරෝනාවලට බයත් නැති එකේ ඩෙන්ගු වලට බයවේවිද කියල වෙලාවකට හිතෙනවා.පාරට බැස්සොත් කුණු ගොඩවල් , වතුර එක්කාසු වන තැන් කොච්චර නම්ද ? අපි අපේම ගෙවල් පිරිසිදුව කොච්චර තියාගත්තත් පොදුවේ හැමතැනක්ම එහෙම වෙනවද කියලා හිතෙනවා. 

උදාහරණයක් විදියට කටුනායක ඉඳලා කොළඹට අධිවේගී මාර්ගයේ එනකොට කෙරවලපිටිය පිවිසුමට ආසන්නයෙන් වම් අත පැත්තේ තියන කුණුගොඩ එකම එක් උදාහරණයක් විතරමයි.

***********************************************************************************************************


06. 07. 2021 අඟහරුවාදා 



හදිස්සි උවමනාවකට පුන්චි බොරැල්ලෙ පෝස්ට් ඔෆිස් එකට ගියා. අනේ ඉතින් පින්පඩි ගන්න පෝලිම දැක්කම දුකයි. වයසක සීයල ආච්චිලා ඔය සොච්චම් මුදල ගන්න පෝලිමේ බැරි බැරිගානේ ඉන්නෙ උදේ ඉඳන් . මේ වගේ කොරෝනා කාලයක එහෙම ඉන්න එකේ අවදානම තවත් වැඩියි. මොන තරම් දැනුවත් කලත් ආච්චිලා සීයලාගේ මුව ආවරණය නම් නහයෙන් පහළට වැටිලා තමයි තිබුණෙම. එක අතකට පෝලිමක හිටගෙන ඉන්න අතරේ ඔය මුව වැස්මෙන් හුස්ම ගන්න එකත් අපහසු ඇති.  
ගිය වැඩේ අතෑරලා ආපහු ආවේ තවත් ඔතන මාත් ඉන්න එක අවදානමක් නිසා.

තැපැල් කන්තෝරුව මතක් උනාම ආයෙ මට මතක් උනේ කාලෙකින් මගේ මුද්දර එකතුව යාවත්කාලීන වුනේ නෑ නේද කියල. ඉස්සරම ඉන්නදන් මුද්දර එකතුකරන්න ආසාව තිබ්බට ඒක අතරමග කාලයකදි අතෑරුණා.ඉන් පස්සෙ මුද්දර නැතිවුනා මගේ එකතුවේ. කොල්ලො දෙන්න ( පුතාලා )පොඩි දවස්වල ආයෙම පටන්ගත්තත් ඒකත් හරියකට කෙරුණේ නෑ. ආයෙම ඉතුරු වෙලා තියන ඇල්බම් ටික අරගෙන බලන්න ඕනෙ අන්න ඒ වැඩෙත් පටන් ගන්න. 

************************************************************************************************************


07.07.2021 බදාදා 



පරණ මතක අවුස්සන එක තරම් කෙනෙක්ට වෙන සන්තෝසයක් දෙන කාරණයක් තියද හැබෑටම. ඔවු ඉතින් සමහරක් වෙලාවට දුක්බර මතකත් හිතට එනවා තමයිනෙ.
මුහුණුපොතේ අර අවුරුද්දකට, දෙකකට, දහයකට විතර කලින් කරපු කියපු ලියපුවා ආපහු එනකොට හිනාත් යනවා.සමහර ඒවා දැක්කම හිතට සතුටකුත් එනවා.

අවුරුදු හතකට කලින් මේ වගේ දවසක පස්සර නමුණුකුල කන්ද පාමුල ඇති කලමණාකරණ සේවා පුහුණු ආයතනයට පුහුණු වැඩසටහනක සම්පත් දායකයෙක් විදියට ගිය ගමනක මතක ඇවිල්ලා තිබ්බා අද .
සීතලම නමුණුකුල පාමුල ඒ ලස්සන තැන ගැන හිතේ තිබ්බ මතක එක්ක අපූරු සේයාරූ වගයකුත් අරන් තිබ්බා මතකයි.
එහේ උන්න දවසෙ රෑ අපි ඔක්කොම අයව තිගැස්සවූ කාරණය වුණේ නමුණුකුල කන්දේ උඩ හරිය ගිනිගන්න එක. අපි නැවතිලා උන්න කාමර පවා දුමෙන් පිරෙන්න ආවා. ඒත් ඒ පළාතේ අයට ඒක සාමාන්‍ය දෙයක්. 

කොහොමටත් මාස ගානකට පාරක් ඕවා ගිනිතියනවා මිස්..
ඒ පැත්තේ උන්න කෙනෙක් පසුවදා උදේ එහෙම කිව්වා. ඒ වුණාට උදේම ඒ ගිනිගත් කඳු ඉසව්ව දැක්කම හිතට ආවේ මහ දුකක් . 
ඔය තියෙන්නේ ඒ සේයා රූ.






මිනිස්සු සොබා දහමට එක එක අන්දමින් තාමත් අදත් මේ මොහොතේත් හානි කරනවා.
දුකයි. 

**********************************************************************************************************

08.07.2021 බ්‍රහස්පතින්දා



කාලයක් තිබ්බා එක හුස්මට කවි ලිව්ව. දැන් එහෙම ලියවෙන්නෙම නෑනෙ. මේකත් ඉතින්  පරණ කවියක්.
පරණ වුනා කියල අහක දාන්නයැ..ඔන්න ඉතින් දිනපොතට එක්කාසු කලා අද දවසට කවිය.

ස්වප්නයක ගිලී මත් වෙමි
ඇසැර නොබලාම හිඳිනෙමි
නෙතු පොඟන මුදු මත් බවක් රැඳි
නිද්‍රාව තුළ තවත් සැරි සරමි
මුදු සරෙක හිත බහා දවටලමි
යළි යළිත් හෙමින් ගෙන හැඩ බලමි
අකුරු ගලපා කවක් යළි ගොතමි
නිදන නෙතු මත තබා සිපගනිමි
හිරු කෙඳිති මුවා කර නෙතු වසමි
සවනතට කෙඳිරුමක් ගෙන තබමි
දෝත අස උණුසුමක සසලවෙමි
සිහිනයක බව යළිදු හැඳිනගමි
නෙතු පොඟන ස්වප්නයක සැරිසරමි
නිදිබරව සිනාමල් පුබුදවමි
නොහිම් හැඟුමක ගිලී සිත තබමි
යළි යළිදු කවි හිතට පණපොවමි.

ආපහු බ්ලොග් එකට ආවම පුදුම සතුටක් නිදහසක් දැනෙන්න ගන්නව. ඒක මුහුණුපොතේ ඉන්නවාට වඩා වෙනස්ම ඇබ්බැහියක්. ඒත් කී කාලයක් මේකෙ ආපහු ඉඳීද මන්දා. කියන්න අමාරුයිනෙ.

ඒ වුනාට පුස්තකාලෙට යන්නත් බැරි එකේ මේ ටිකේ බ්ලොග් කියවන්න ආයෙ පටන්ගත්ත එක නම් නියමම වැඩක් කියල දැනෙනව.

********************************************************************************************************

09.07.2021 සිකුරාදා




අපේ රයිලියා ( බලූස්) ඊයෙ රෑ ලේන් පැටියෙක් අල්ලලා. බේරගන්න යනකොට පමා වැඩියි. මූ ඒකාව කාලත් එක්ක. හිතට මාරම දුකයි.

ඉස්සරම ඉස්කෝලෙ යනකාලෙ ලේන් පැන්චෙක් උන්නා මාතර අපේ ගෙදර. එයාගෙ නම කිරී. හරිම හුරතල්. මන් එක්ක පුදුම බැඳීමක් එයාගේ තිබ්බා. ඒත් දවසක් මම ක්ලාස් ගිහින් එනකොට ගෙදරම ඇතිකල පූසා එයාව කාලා තිබ්බා. එතකොට මම අටේ පන්තියෙ විතර ඇති.
මම දවස් දෙක තුනක්ම කන්නෙ නැතුව අඬ අඬ උන්නා. අන්තිමට තාත්තා ආයෙ කිසිම දාක ගෙදර ලේන්නු නම් හදන්න තහනම් කියලත් කිව්වා මතකයි.ඊයේ ඒ දුක මට ආයෙ අලුතින් දැනුණා.

ඇත්ත, ලෝකය කොච්චර වෙනස් වුණත් අපේ ජීවිත වල වෙනස්කරන්න බැරි සමහර දුර්වල තැන් තියනවා. ලෙඩ්ඩු එක්කම ජීවිතේ මහ කාලයක් ගෙව්වට, ඇස් පනාපිටම මිනිසුන් එහෙම රෝග නිසා මියයන හැටි විඳදරාගත්තට..මගේත් දුර්වල කම් මෙන්න මේ වගේ. 

*******************************************************************************************************

10.07. 2021 සෙනසුරාදා



මල් කොල වේලලා කාඩ් හදන එක මන් ඉස්සර ඉඳන්ම ආස කල වැඩක්.ඉතින් කාලය ගතවෙලා මහා වැඩිහිටියෙක් උනාට තාම අර හිතේ හැන්ගිලා ඉන්න පොඩි ළමයා ආපහු එක එක කතන්දර මතක් කරනවා...අරක කරන්න මේක කරන්න කිය කිය...

ඉතින් මන් ඔන්න ආපහු මල් කොල වේලලා පොඩි පොඩි සුකුරුත්තම් බුක් මාක් ටිකක් හදන්න පටන් ගත්තා,
අපරාදෙ කියන්න බෑ අපේ ගෙදර ඉන්න සියලුම ජනතාව..ඔව් ඔව් ඒ කියන්නේ මගෙ ස්වාමි පුරුෂයා සහ  කොලු ගැටව් දෙන්නා මේ මොන්ටිසෝරි වැඩ එකකටවත් අකුල්හෙලන්නෙ නම් නෑ. ඔලුවට උඩින් එබිලා බලන් ඉඳලා මොකක්ද ඔය කරන්නෙ කියලා අහලා යනවා මිසක්කා.

ඔය තියෙන්නෙ මම හදපු එකක් දෙකක් ඉතින් 




***************************************************

11. 07. 2021 ඉරිදා



කිට්ටුව ගෙදරක මාමා කෙනෙක් අභාවප්‍රාප්ත වෙලා. හොඳ නෑනෙ ඉතින් කියලා මලගේ පැත්තට ගිහින් එලියෙන්ම ඉඳලා ආවා. මිනිය ගෙනල්ලා නෑ. හෘදයාබාධයකින් ඔහු මියගියත් පීසීආර් එක කරන්න වෙන නිසා මෘතදේහය රෝහලෙන් නිදහස් කරන්නේ ටිකක් පමාවෙලා .
ගෙදර අය එකේක අදහස් දෙනවා. ඒ වගේම සූ ගාලා සෙනගත් එනවා. මීටරේ දුරත් ලාවට වගේ එක එක්කෙනා මතක් කරනකොට රැකිලා ආයෙ බිඳෙනවා.කොහොමටත් බරපතලකම නම් දැන් ආයෙම හිත්වලින් ටික ටික අයින්වෙලා.

කොටින්ම කිව්වොත් බස්නාහිර පලාතේ බස්වල ගෙනියන්න පුලුවන් උපරිම ධාරිතාවයෙන් සියයට තිහක් කිව්වට 154 බස් වල නම් කටකපලා ආයෙ සෙනග යනවා ඒ මාර්ගයේ වාහන පදවන මටත් පේනවා. අපේ රටේ මිනිස්සු මට්ටුවෙන්නෙ නෑ කීසිම කිසියම්ම ආකාරයකින් වත්

********************************************************************************************************


එහෙනම් ඉතින් අපි ආයේ ලබන ඉරිදා අහපු දැකපු හිතපු ඔක්කොම එක්ක විසිරිගෙ දිනපොතෙන් හම්බෙමු.සුබ සති අන්තයක් ඔහෙලා ඔක්කොම ගෙවන්න ඇති කියා සිතනවා.


මම 
විසිරි 

Friday, July 9, 2021

2021 (18) ප්‍රේමය


ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් බරද හිතට..
මහමෙරක් තරමටම බර වැඩියි නොකියමි..
ප්‍රේමයේ අනුහසින් මා වලාකුළක් සේ ඉගිල යන හෙයින්........

ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් උසද....
හිමගිරක සේ උස යැයි නොකියමි..
ඔබේ ප්‍රේමය අසල මා කුරාකුහුඹුවකු හෙයින....

ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් ගැඹුරුද...
කිසිත් නොපවසමි...
ඔබ දෑස් දෙසම ඇස් පිය නොහෙළා බලා ඉමි...
ඒ..ප්‍රේමයේ ගැඹුරයි..
අනන්තයටත් එහා අප අතරමං කොට තබන....

විසිරි ❤

Tuesday, July 6, 2021

2021 ( 17 ) ඉස්සර ගියපු ට්‍රිප්

කාලෙකින් ට්‍රිපක් කියල එකක් යන්න බැරිඋන සාන්කාවෙන් කල්පනාවේ ගැලි ගැලී ඉන්න වෙලාවක අතීත ස්මරණ චාරිකාවක ගමන් කලා ඔන්න. 

අපේ හිත කියන්නේත් මාරම විජ්ජාවක්නෙ. මේ ඉන්න මොහොතෙ ඉඳන් කාලයන්තර මොකුත්ම නැතුව අවුරුදු තිස් හතළිස් ගානක් ඈතට යන්න පුලුවන් එකම විජ්ජාවක් නොවෙයිද කියන්නකො.

ඉස්සරම පොඩි කාලෙ ට්‍රිප් යන්න පේවෙන්න දවස් ගානක ඉඳල. කොහොමටත් ඉස්කෝලෙ නිවාඩුකාලෙක යන ගමනක් ඇරුණාම ඉතින් ට්‍රිපක් කියල ගියේ අම්මාගෙ ඉස්කෝලෙන් යන පාසල් අධ්‍යාපන චාරිකාව තමයි. 

නිවාඩු කාල තුනට ගමන් තුනක් යන්න හිතාගෙන අවුරුද්ද පටන් ගත්තත් බොහොමයක් වෙලාවට ඒකෙන් දෙපාරක් වගේ යැවෙන්නෙ අම්මගෙ අයියල දෙන්නෙගෙ ගෙවල් වල තමා. එක්කෙනෙක් උන්නෙ කලුතර අනෙක් එක්කෙනා වේයන්ගොඩ. මාතර ඉඳන් එහෙම ගමනක් යන එක පවා ඉතින් විනෝදචාරිකාවක් තමයිනෙ.



ගොඩක් වෙලාවට ඔය ගමන් දෙකම යන්න අපි ඔක්කොම අනුමැතිය දුන්නෙ කෝච්චියට. බස් එකේ යන එකට වඩා කොච්චිගමන පහසුයි. අනෙක අම්මට වොරන්ට් තිබ්බ නිසා ඒක වියදමෙනුත් ශේප්. 

ඉතින් ඔන්න අම්මා ගමනට ටික දවසකට කලින් වොරන්ට් ෆෝම් පුරවන්නෙ තාත්තා එක්ක කතාබහ කරමින්. යන දවස ගැන ප්ලෑන් ගහන්නෙ දෙන්න එක්ක. අපි ඉතින් අවශේෂ පුද්ගලයොනෙ. අපේ ඔපීනියන් අදාලම නෑ ඒ අයට.


"ගෙනියන්න කිරිහට්ටියක් දෙකක් ලෑස්ති කරගන්න වෙයිනේ.?"

තාත්තා අහනව.

"අර ගඟ ගාව අහට ගිහින් බැලුවනම්. එහෙ මීකිරි හොඳයි." අපේ ගමේ ගෙවල්වල මීකිරිම හදන ගෙවල් දෙක තුනක් තිබුණා. ඒකාලෙ . අපේ ගෙදර ඇතිකලේ එලහරක්. " එල" කියන්නේ දැන් ඔය ව්‍යවහාරෙ තියන එල එක නෙවේ හොඳේ. 

ඉතින් ගෙදර බොන්නයි කන්නයි හැදෙන්නෙ එලකිරි. අපේ සීයා උදේම ගිහින් දොවාගෙන එන එලකිරි උණුකරල බොන්න ටිකක් වෙන්කරන් අනික්වා බෝතල් වල මුදවන්න දාන්නෙ ආච්චි හෝ අම්මා. ඒ කාලේ එලකිරි වහ වගේ වෙච්ච අපිට දැන් ඉතින් කිරිහලවල් වලින් එලකිරි අරන් බොන්න වෙලා නෙව.


ආ...කතාව අන්න වෙන කොහේද යන්න අරන්..ට්‍රිප් එක ගැන ලියන්න ගිය මට එලකිරි සිහිය නිසා ට්‍රැක් පැනල..

ඉතින් අම්මා ඔන්න ගමන යන්න තව මොන මොනව හරි කෑමක් දෙකක් හදාගන්නව. වැලිතලප, හැලප වගේ මක්කහරි තමා. මාතර කතාවක් ලියනකොට මාතර භාෂාව එහෙන් මෙහෙන් එබිකම් කරනවට ගණන් ගන්න එපා. ඒවා එහෙම තමා.


ඉස්සර ඔය ගමන් යනකොට අපේ හසරැල්ලා ඉපදිලා නෑ. ඒකා මට වඩා සෑහෙන්න පොඩියිනෙ .දැන් ඔය අලිපැට්ටෙක් වගේ උන්නට මෑන් මට වඩා අවුරුදු දොලහක්ම බාලයි. ඉතින් මගේ ඉස්සරෝම ට්‍රිප් යන කාලේ උන්නේ අපේ ලොකු මල්ලියි මායි.

දැන් ඉතින් මඩ දෙයියා වගේ මුහුණුපොතේ මට මඩගහන් උන්නට පොඩි කාලෙ උන්දැයි මායි නයිවෛරයි කියලයි අම්මා කියන්නේ

මෑන්ටයි මටයි රණ්ඩු වෙන්න කාරණා කොච්චර තිබ්බද කියනව නම් ට්‍රිප් යනකොට කියලා ඒවයෙ වෙනසක් අඩුපාඩුවක් නම් උනේ නෑ. කෝච්චියට නැග්ගම ලොක්කාට ඕන මූද පැත්තෙ සීට් වලට යන්න .

ඉතින් තාත්තා කියනව

පුතේ ගාල්ලට ගියාට පස්සෙ මූද තියෙන්නෙ අනික් පැත්තෙනෙ. ඒ නිසා ගාල්ලට යනකල් අපි මූද නැති පැත්තෙ යන් 

කියලා. ලොක්කාට තියා මටවත් ඔය ගාල්ලට පස්සෙ මූද පැති මාරුවෙන එක ඒකාලෙ තේරෙන්නෙම නෑ. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නෙත් කොහොම හරි පිළිඅරන් අපි වාඩිවෙලා යනව කියන්නකො. අර යකාට ඕන කෝච්චිය යන පැත්තට තියන සීට්ට්ටෙකක්. ඉතින් මටත් ඕන ඒකක්මයි. ඔන්න ඉතින් ආයෙ රණ්ඩු. ඒ වෙලාවට අපේ මලයගෙ මූණ නිකම් පුස්නාම්බුවක් වගේ. පුපුරන්න ඔන්න මෙන්න.


තාත්තා එතකොට මට ඇහෙන් ඉඟිකරනවා ඕක දීලාදාන්න කියල. ඉතින් අරයා රජා වගේ මූණට හුලන් වැදි වැදි යනවා. මම පස්සෙන් පස්සට යන්නෙ. වමනෙටත් එන්න වගේ එහෙම යනකොට. කොහොමත් ගමනක් යනකොට ඉටිබෑග් එකක් දෙකක් ස්ටෑන්ඩ්බයි තියන් තමයි අම්මල යන්නෙ


අහන්ගම පහුවෙනකොට රටකජ්ජේ කියාගෙන ආච්චිලා කීපදෙනෙක් එනවා කෝච්චියට. උණු උණුම රටකජු කඩදාසි කොල ගොටුවලට ගහලා. තාත්තා දෙකක් ගන්නව.එකක් අම්මා අත තියනවා. අම්මා රටකජු කන්න හරිම ආසයි. අපි උණු උණු රටකජු කකා එනවා.


ඔන්න බොලේ ගාල්ලෙන් පස්සෙ නෙ නියමම හරිය. මම යන්නෙ ඉස්සරහට අරයා පස්සෙන් පස්සට. පොරගෙ මූණ කෝච්චියට අහුවෙච්ච පොල් ලෙල්ල වගෙ. කටබෙරි කරන් අඬන්න ගන්නෙ මම නිකම් මූද හොරෙන් අරන් අනිත් පැත්තට තිව්වා වගේ. අලබෝලයක් වගේ ඉන්න එකා ඔන්න මට පයිනුත් ගහනවා. දෙයියෝ කටුකෝටුවට ඉන්න මට රිදෙනවා. රණ්ඩුව පටන් ගන්න කලින් අහවර වෙන්නෙ අම්මා රවාගෙන බනින්න ගත්තාම. 

"යෙ එක්ක එන්නෙ නෑ කිසි ගමනක්."

අම්මා දිනුම් පදේ ගහනවා. වෛරක්කායො දෙන්නා ශේප් වෙනවා.

"සින්දුවක් එහෙම කියන්නකො"

තාත්තා ඔන්න සමථ මණ්ඩලේ පුරුද්ද ගේනවා එතනට. ආ එතකොට තාත්තා සමථ මණ්ඩලේට පත්වෙලා උන්නෙ නෑ. එතකොට එයා පවුල් උපදේශක, මාතර උසාවියෙ.

සින්දු කියල මට එදත් මහ ලොකුවට සින්දු බෑ.

ඉස්කෝලෙ , දහම්පාසලේ රැස්වීමට , නෑයෙක් ගෙදර ඇවිල්ල දුවේ සින්දුවක් කියන්නකො කීවම වගේම ට්‍රිප් යනකොටත් මන් දන්න එකම සින්දුව


මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න

ගල්වැට ලඟ වාඩිවෙලා සඳපායන හැටි බලන්න

සතර දිසා ජයගෙන මම හනික එමී

ඔබේ ලොවට සඳහිරු වී එළිය දෙමී


ඕක තමා. ඒක ඉස්සෙල්ල රේඩියෝ එකේ ගැයුවේ පේශලා මෙන්ඩිස්. මන් එයාව එක පාරක් රුහුණුසේවෙදිත් හම්බවෙලා දැකල තිබ්බා. ලස්සන ගෑණුලමයෙක් එයා.ශෝක් කටහඬ. ඒකට මොකෝ ඉතින් මගේ  කටහඬ අදයි එදයි කියල නෑ. නිකම් තල් අත්තට පොල් පිත්තෙන් ගහන වගෙ සද්දෙ. කෝච්චියෙ මිනිස්සු හිනාවෙවී අහන් ඉන්නවා.


ඔන්න අපේ ලොකු එකාගෙ සින්දුව එන්නෙ ඊලඟට

මෑන් දන්නෙ 


හා හා හරි හාවා

කැලේ මැදින් ආවා

හිටගෙන ගඟ ගාවා

වටපිට ඇහැලෑවා


වගෙ එව්වා. ඉතින් හෙන හුරතල් හඬින් මූ ඕක කියනවා. කට තදකරන් ඉවසන් ඉන්න මට බකස් ගාලා හිනායන්නෙ...මෑන්ට දාල තියන කවටකම් නම ..ඔව්...ඔව් ඔය නික්නේම් කියන්නේ ඒකට තමා දැන්...හාවා නිසා....

ඔන්න මගේ හිනාව එක්ක පොරට යකා ආරූඪ වෙන්න ගන්නවා.


"වැස්සි වැස්සි..ගොන් වැස්සි.."

දත්කූරු හපාගෙන පයින් ගහ ගහ මේකා අඬනවා.

සින්දුකීම එතනින් හමාරවෙනවා.

කලුතර කිට්ටුවෙනකොට ආයෙ එනව ඉස්සොවඩේ. හම්මේ ඉතින් සුවඳ. තාත්තා අරන් දෙනවා ඉතින් .පස්සෙ කාලෙක මේ මෑතක කලුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන විද්‍යායතනයේ ට්‍රේනින් එකකට ගියා මම . ඒ යනකොටත් පොඩි කාලේ පෙරේතකම මතක් වෙලා ඉස්සො වඩේ අරන් කෑවා.

"මගේ එක තමා රහ..."

"නෑ මගේ එක.."

රණ්ඩුවක් අල්ලන්න නම් ඉස්සෙක් උනත් ඇති ඒකාලෙ..


රණ්ඩු දෙකක් ඉවර වෙනකොට කෝච්චිය දකුණු කලුතර ට කිට්ටු කරනවා.

"හා හා ලෑස්ති වෙන්න ඊලඟ එකෙන් බහින්න ඕන."


අම්මා ඇඳුම් බෑග් එක කරට ගන්නවා. මල්ලිව අතින් අල්ලගෙන . තාත්තා අනෙක් බෑග් එකයි කිරිහට්ටි දාපු පෙට්ටියයි ගන්නවා.


"මාව අල්ලගෙන එන්න දෝණි. අතහැරෙයි බලාගෙන"

තාත්තාගේ කලිසමෙන් අල්ලගෙන මම කෝච්චියෙ දොරගාවට එනවා.


පොල්ගස් පේලියට මූද අයිනෙන් පහුවෙවී ආපහු මාතරට දුවනවා. මූදේ රැල ගහන හැටි කටත් ඇරන් මම බලන් ඉන්නවා. ඔන්න දකුණු කලුතරට එනකොට අපි එහා පැත්තෙ දොරගාවට යනවා.

කලුතර බෝධිය සුදෝසුදුවට පේනවා. අපි බහින්න ලඟයි ඉතින්. 

කෝච්චිය නැවැත්තුවාම කට්ටුඅය්ම හෙමින් බැහැ ගන්නවා.

අපි හතරදෙනාම ආපහු කෝච්චිය යනකල් අයිනට වෙලා ඉන්නවා.සෙනගත් යන්න දෙන්න ඕනනෙ.


කෝච්චිය හූ කියනවා. අපෙ ලොකුත් හූ කියනවා. ඔන්න එතකොට කවුලු වලින් බලන් ඉන්න කට්ටිය හූ කියන බෝල බබා දිහා බලන් හිනාවෙනවා


අක්කා වශයෙන් මට සියුම් ආඩම්බරයක් එතකොට දැනෙන්න ගන්නවා.මොක උනත් මගේ මල්ලිනෙ. අර තරහ මරහ අමතක කරලා මම ඒකාගේ අතින් අල්ලගන්නවා. මොන මූ ඒ තරහ අතෑරලා නෑ. මට රවල ආපහු පයින්ගහනවා.ඉතින් කවරකතාද ?


සෙනග අඩු උනාට පස්සෙ පිටවීමේ දොරට අපි හතරදෙනා එනවා. තත්තා රෝස පාට කොලේ ගේට්ටුවේ ඉන්න එක්කෙනාට දෙනවා. අපි ඔන්න ඉතින් දැන් යන්නෙ බස් එක ගන්න මාමලගෙ ගෙදරට යන්න.

අර ඉතින් කෝච්චියෙන් බැස්සට පස්සෙ මොකෙ වුණේ කියල කියන්නයි ඔන්න මම  හදන්නෙ. අපේ මාමලා ඒ කාලෙ උන්නෙ කලුතර දියගම. ඉතින් වෙනම බස් එකකින් එහෙට යන්න ඕන. 

ඔය දියගම කිට්ටුව තමානේ අර ඇඩ්ලින් විතාරන ගෙ මරණය උනා කියන්නෙත්.ඒ කාලෙ මට මතකයි ඔය මාමලාගේ ගෙවල් කිට්ටුව කඩේකින් ඒ දෙන්නා තේත් බීලා ගිහින් තියනවා කියල කතාවක් තිබ්බා. ඇඩ්ලින් විතාරණ කියන්නෙ කවුද නොදන්න අයට මන් මතක් කරල දෙන්නම්කො...

දඩයම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ අන්න ඒ ඇඩ්ලින් විතාරණගේ කතාව. පසුකලක ඔය කතාව ඇහුවට පස්සෙ මට මාමලාගේ ගෙදර යනකොට ඇඩ්ලින් විතාරණට උන්න ස්වර්ණා අර දෑත බදලා රවින්ද්‍රගෙ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුවෙන්න ගහන හැටි මැවිල පේන්න ගත්තා.


අපේ මාමලගෙ ගෙදර තිබ්බෙ කලු ගඟ ආසන්නයෙ.ඉතින් අපි කලුගඟට නාන්න එහෙම යනවා, නිල්වලාගඟ පේන මානයේ නිතිපතා ඒකෙන් නාපු අපි කලු ගඟට ගිහින් නාන්නෙ ජීවිතේට ගඟක නාලා නෑ වගේ.

ඒ වගේම ඔය ගඟට යන පාරේ මැන්ගුස් ගස් එහෙම තිබ්බා . කලුතර ගියපු කාලෙ තමා මැන්ගුස් කෑවෙ ඉස්සෙල්ලම අපි.

පණයනකන් ගණ කට්ටක් තලාගෙන අන්තිමට බලද්දි යාන්තම් මදුලු දෙක තුනයි. කහට විමානෙ අනික.එහෙමයි කියල නොකාඉන්නවද අපි නෑනෙ නෑනෙ...


කලුතර ගියාම ඉතින් කලුතර බෝධියට යන එක අනිවාර්ය සිරිතක්  උනා. මම පොඩිකාලේ හිතාගෙන උන්නෙ කලුතර බෝධිය කියන්නේ අර සුදු පටින් තියන චෛත්‍යයට කියලා.පස්සෙ ඔන්න දහම්පාසල් යද්දි  ඒ දෙකේ වෙනස තේරුණා.


මාමලාගේ ගෙදර ඉතින් දවස් දෙකක් තුනක් ඉඳලා සුපුරුදු අන්දමට ආපසු මාතරට අපි කෝච්චියෙන් එනවා. අන්න එහෙමයි ඒ කාලෙ අපි ගියපු ට්‍රිප්.



**************************************************************************************************************

කොච්චර අපහසුකම් තිබ්බත් ඒ ගිය ගමන් අදටත් මතකයේ තියෙන්නෙ ඒ ගමන් අපි වින්ද නිසානෙ. ඉතින් මම තාම ඒ ට්‍රිප් වලට මාරම ආසයි.ආයෙ එහෙනම් තව කොටසකින් එන්නම්කො ඔය වගේ තව ගියපු ට්‍රිප් ගමන් ගැන ලියාගෙන...


ප.ලි.

සදොස් තැන් තිබ්බා...ඒවා නිවැරදි කරදුන් කමෙන්ටු වලට ස්තුතියි


විසිරි