Thursday, December 30, 2021

02. හසරැල් සැලුණාවේ




පළමු කොටසට මෙතනින්

 “බබා පොඩි ප්‍රශ්නයක්”

නිවසට විත් ඇඟ සෝදා සයනයටවන් මානවී වෙත පැමිණි හසිත පැවසුවේ ඇයගේ හිස පිරිමදිමිනි.රාත්‍රී එකොළහ පසුවී ගොස් හෙයින් මානවී උන්නේද නිදිබර දෑසිනි. එහෙත් හසිතගේ බසින් මානවී ඔහු දෙසට හැරුනේ කලබලයෙනි.

“ඕකනේ බැරි පොඩි ප්‍රශ්නයක් කිව්වාහමත් කලබල වෙනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් එහෙම කියන්න තියා හිතන්නවත් බැහැනේ.මෙහෙට එන්නකො”

හසිත පැවසුවේ ඇය සිය ලය මත සතපාගෙනය.

“ඇයි ඩොක්ටර් මොකුත්?..”

මානවී බියපත් වුයේ තමා පරික්ෂා කරන තිරයෙන් ආවරණය වූ කුටියට යැවූ පසු වෛද්‍යවරයා හසිතට කුමක් හෝ ගැටලුකාරී තත්වයක් ගැන කියන්නට ඇතැයි සිතාය.හසිත තමා ඇය නිකරුණේ කලබල කිරීම ගැන පසුතැවුණේය.

"අයියයියෝ නෑ වස්තුවේ. අපේ පොඩ්ඩා හොඳ සනීපෙන්. මේ තාත්තා වගේ ෆිට් පොරකගේ බබාට ආයේ මොන ප්‍රශ්නද ? එහෙම එකක් නෙවෙයි. ඉතින් මට කියන්න දෙන්නකෝ "

හසිත මානවීගේ නහයද සෙමින් මිරිකමින් පැවසීය. මානවී සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තාය.

“මම කෑම අරන් එන්න රෙස්ටෝරන්ට් එකට ගිහින් කෑම සූදානම් කරනකල් චුට්ටක් එෆ්බී ගියා. ඒකෙ වීඩියෝ එකක් අප්ලෝඩ් වෙලා තිබ්බා. සරෝජ් අංකල්ට අද අර කොළඹ තිබ්බ පිකටින් එකේදී කවුරු  ගහල ඔලුව පැලිලා”

හසිත පැවසූ දෙයින් මානවී සිය කය ඔහු වෙතින් මෑත් කොට හිඳ ගත්තාය. ඇයගේ නිදිබර භාවය කොහෙන් අතුරුදහන් වූවාදැයි සිතාගන්නට නැති තරම්ය.

"අනේහ් හසී..ඉතින් එයාට ගොඩක් අමාරුයිද?"

මානවීගේ මුහුණ ශෝකාකුල විය.

" නෑ මම ගොසිප් සයිට්ස් එහෙමත් සර්ච් කළා. පිටත තුවාල විතරයි වගේ. මැහුම් දාලා අද හොස්පිටලයිස් කරලා. ඒක නෙවෙයි බබා කාරණේ, ඕක වෙලා තියෙන්නේ අපි චැනලින් උන්න වෙලාවේ. අංකල්ව  තියෙන්නෙත් ඒ  හොස්පිටල් එකටමයි"

හසිත කියන්නට සුදානම් වූ දේ මානවීටද වැටහුනේ අම්මා මුහුණකට සෝදාගන්නට කියා ගියද ආපසු ආවේ බියපත්ව මුහුණද සෝදා නොගෙන බව සිහිවීමෙනි.

ඇය තමාගෙන් ඇස් සඟවමින් මුළු කාලයම උන් බවද තමාට මතකය. උපන්දා සිට අම්මාගේ චර්‍යාවල වෙනස්කම් වලට මුහුණ දුන්නේ තමන් හෙයින් මානවී අම්මාගේ සිත කියවන කැඩපතක් බඳු වූවාය.

"එහෙනම් අම්මි කලබල වුණේ මේ නිසා තමා. මට වෙනසක් දැනුණා එවෙලෙත්"

මානවී සුසුමක් හෙළමින් පැවසුවාය.

"ඒ වෙලාවේ ඩොක්ටර් ආව නිසා මට ඕක දිගින් දිගට අහන්න අමතක වුණෙ. අපි ආපහු එනකොට අම්මිගෙ මූඩ් එකේ ලොකු අවුලක් තිබ්බෙ නෑනෙ. ඉතින් මටත් ඒක නෝමල් වුණා"

මානවී පැවසුවේ ඒ මොහොතේ වූ සිදුවීම් ආවර්ජනය කරමිනි.

" බබී හෙට අපි යමුද සරෝජ් අංකල්ව බලල එන්න"

හසිත මානවීගෙන් ඇසුවේ යළිත් කල්පනාවේ ගැලෙමිනි. මෙවන් කාලයක රෝහල් ගණනේ යාම එතරම්ම සුදුසු නොවේ.එහෙත් මේ පුද්ගලයා විශේෂය. මානවී එයට එක හෙලාම කැමතිවුයේ සරෝජ් හිරිපිටිය යනු තමා බෙහෙවින් ආදරය කරන සහ ගරුකරන පුද්ගලයා වූ හෙයිනි.

" අම්මි හරි හිතුවක්කාරයි හසී. එයාට කොච්චර කිව්වත් වැඩක් නැහැ"

 මානවී කතාකලේ  කලකිරීමෙනි.හසිත ඇයගේ හිස පිරිමැද්දේ ඒ හැඟීම දුරස් කරන්නට මෙනි.මානවීගේ අම්මා ගැන මානවී තරම්ම හසිත අවබෝධ කරගෙන උන්නේය.ඉතින් එවන් අම්මා කෙනෙකු ගැන මානවී එසේ සිතිය යුතු නොවේ.

" අම්මි ගැන එහෙම හිතන්න එපා බබී. එයා ජිවිතේ වින්ද අත්දැකීම් නිසානේ ඔහොම හැසිරෙන්නේ. ඒ නිසා අම්මි ගැන වැරදියට හිතන්න එපා. අපිත් අම්මල තාත්තලා වෙන්න යන අයනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ අම්මිව තේරුම් ගන්න"

හසිත කෙතරම් දුරදිග බලා අදහස් ප්‍රකාශ කරන්නෙක්ද යන වග මානවී හොඳින්ම වටහාගෙන උන්නාය. ඇය කිසිවක්ම නොකියා යලි ඔහුගේ ලයට තුරුලුව දෑස් පියාගත්තාය.


                                                                ***


                     

රාත්‍රිය උදාවී බොහෝ වෙලාවක් ගත වුවද නිවේතා නිදිනොමැතිවම බලා උන්නාය. ගෙන ආ ආහාර පාර්සලයද එහෙන් මෙහෙන් අතගා කුණු බඳුණට හෙලූ මුත් එහි රසවත් නොදැනුණ තරම්ය. හිත තුවාලයක් වූවා සේ වේදනා දෙයි. එය අද ඊයේ ඇතිවූ එකක් නොවේ. අවුරුදු විසිගණනක අතීතය තවමත් හද පාරවාලයි. 

ලේ වැකුණු  හිසින් යුතුව ට්‍රොලිය මත උන් සරෝජ් හිරිපිටියගේ දෑස් තමාගේ දෑස් හමුවූ ඒ මොහොත තම සිතට ඇතිකළේ කුමනාකාරයේ සිතුවිල්ලක්ද යන්න නිවේතාට තවමත් සිතාගන්නට නොහැක. ඒ හැඟීම තමාහට කිසිදා වටහාගන්නට තම දෛවය ඉඩ දුන්නේ නැත.

ජීවිතය කිසිමාකාරයකින් තමාට සතුටක් තෘප්තියක් උදාකර දුන්නේම නැති තරම්ය. කාලය ජිවිතයේ කිසිදු ප්‍රශ්නයක් මෙතුවක් කල් විසඳා දුන්නේද නැත. එහෙයින් ජීවිතේ ඉතුරු කාලයද මෙසේම ගෙවාදමනු විනා අන් කුමක් පතන්නද?

හිසපුරා දැවී යන්නක් බඳුව නැගෙන වේදනාව දරා ගත නුහුණු තැන නිවේතා සිය ඇඳ අසල කබඩයෙන් ගත් වේදනා නාශක පෙති දෙකක් වතුර සමග පානය කොට සයනය මතට ගුලි ගැසුණාය. හදවතේ කුටීර දවාගෙන එන්නාක් බඳු අපහසුවක් වරින් වර දැනේ.නිවේතා දෑතම ළයට තබාගෙන ඒ අසීරු බව සමනය කොට ගන්නට වෙර දැරුවාය. කලකට පෙර කඳුලුවලින් මිදීගොස් වියළි නිම්නයන් වූ දෑස් කෙවෙණි යළිත් උතුරායන්නට පටන්ගෙනය.ඉකිගසා හඬන්නටවත් ඉතින් තමාහට නොහැකි අයුරු..ඉස්සරම දවසක නෙතින් ගලාගිය කඳුලක් පිසලාගන්නට අත තැබුණු සුවඳ කැවූ තෙත් ගතිය රැඳි ටිෂූ පතක පහස තවම දැනෙන්නා සේය.

ඒ මොහොතේ කොළඹ පෞද්ගලික රෝහලක විශේෂිත පුද්ගලයන් සඳහා වූ කාමරයක නිදි නොමැති දෑසින් යුතුව කල්පනාවක උන්නේ නියෝජ්‍ය අමාත්‍ය සරෝජ් හිරිපිටියයි. හිසට යෙදූ මැහුම් සහිත ප්‍රදේශයෙන් තරමක් වේදනාවක් ආවද ශරීර ගතකල වේදනා නාශක අධි මාත්‍රාවන් හෙයින් එය යම්තාක් දුරට සමනයව තිබිණ. 

දිවාකාලයේ පැවැත්වූ උද්ඝෝෂණය පැවති ස්ථානයට තමා ගියේ විෂය භාර ඇමතිවරයාගේ අනුදැනුම මත සාකච්ඡාවක යෙදෙන්නටය. ඇත්තෙන්ම එතන පැවති වාතාවරණය සුහද සාකච්ඡාවක් පමණක්ම වුවද හදිසියේ එතනට කඩාවැදුන ආවේගකාරී පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ කලබලකාරී හැසිරීම සම්පුර්ණ වාතාවරණයම උඩු යටිකුරු කරදැමිය.

ආවේගකාරී පුද්ගලයකු විසින් නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ කමිස කොලරය අල්ලාගෙන බැන  වදින්නට යාමේදී ආරක්ෂක නිලධාරියෙකු මැදිහත්ව ඔහුට පහරක් ගසා එලවා දැමීමත් සමගම එතන ඉන්පසු ඇතිවූ කෝලහාල තත්වය අතරතුරදී සරෝජ් හිරිපිටියගේ හිසට ගඩොල් පහරක් එල්ලවීමත් සිද්ධියේ සාරාංශය විය. පහරදුන් තැනැත්තා ඒ මොහොතේම පොලිස් අත්අඩංගුවට පත්වූ අතර සරෝජ් හිරිපිටිය වහාම අසලම වූ පෞද්ගලික රෝහලට ගෙනයනු ලැබුවේ අධික ලෙස රුධිර වහනයක් වන්නට වූ හෙයිනි.තුවාලය එතරම් ගැඹුරට නොවූවද දහවල් කාලයේ දැඩි අව්ව සමග ලේ ගැල්ම අධික වන්නට ඇත. කෙසේ හෝ මැහුම් කීපයක් දමන්නට තරමේ තුවාලයක් ඉතුරුවී තිබුණි.

හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා තමා ට්‍රොලිය මත සිටිද්දීම පරික්ෂා  කරන අතරේ ආරක්ෂක නිලධාරියාහට යම් උපදෙසක් දෙන්නට හිස එසවූ මොහොතේ තමන්හට මීටර් පහළොවක්  පමණ දුරින් තමන් දෙස දෑස් විසල් කොට බලා උන්  ඒ ස්ත්‍රී රුව..ඔව් ඒ ඇයම බව තමන්හට  සියයට දහසක් විශ්වාසය.

“මාස්ක් එකක්  නොවෙයි බුර්කාවක් ඇන්දත් ඔය ඇස් මට හංගන්න බෑ සුද්දි”

සරෝජ් හිරිපිටිය තමාටම මුමුණා ගත්තේ දෙතොලතර ඉතා කලාතුරකින් නැගෙන සිනහවද සමගිනි. ඇය ජීවිතය පුරා මේ අන්දමින් එල්බගෙන සිටීමම කිසිදා  තමන්හට බරක් නොවීය.

                                                     

                                                                        ***


" සර් විසිටර්ස්ලා වගයක් ඇවිත් ඉන්නවා. මොකද කරන්නේ ?" 

පෞද්ගලික ආරක්ෂක නිලධාරී වූ සංජය ඇසුවේ උදෑසන  ආහාරය ගෙන අවසන්වූ සරෝජ් හිරිපිටියගෙනි. මාධ්‍ය හමුවීම් ,වෛද්‍ය අනුදැනුම මත කෙසේ හෝ නැවැත්වුවද අනෙකුත් ඇමතිවරුන් මධ්‍යම රාත්‍රී වනතුරුත් කඩාවැදුන හෙයින් සංජය උන්නේ බෙහෙවින් නොරිස්සුමෙනි. සිය ප්‍රධානියාට අවශ්‍ය විවේකය නොලැබිමම ඔහුගේ ඒ නොසන්සුන් බවට හේතුවිය.

" මේ විදියට ගියොත් මේ වගේ කාලයක හරිම අවදානම්නේ සර්"

කිට්ටුම සහ හිතවත්ම පෞද්ගලික ආරක්ෂක ප්‍රධානියා වූ ඔහු පැවසුවේ රටේ වර්තමාන සෞඛ්‍ය තත්වයේ බරපතලකම හේතුවෙනි. එහෙත් බහුතරයකට මේ අවදානම වැටහෙන්නේම නැති තරම්ය.

" මොකක් කරන්නද බං . මුන් එන එක නවත්වන්න විදියක් නෑ නේ "

සරෝජ් හිරිපිටිය තෙහෙට්ටුවෙන් වුව සිනාවෙන්නට වෙර දරමින් පැවසිය. නියෝජ්‍ය ඇමතිවරයාගේ ආරක්ෂක කාර්ය මණ්ඩලයේ වසර ගණනාවක් සේවය කල හෙයින් සංජයට ඔහුගේ ඇවතුම් පැවතුම් සියල්ල හුරුය. 

එහෙයින් කලාතුරකින් මුහුණේ නලියන සිනහව ඊයේ මේ සා තුවාල වී වේදනාත්මක තත්වයක පසුවද්දීද ඇමතිවරයාගේ මුහුණේ වරින් වර මැවීම සංජයට කුතුහලය දනවන්නක් විය.එහෙත් මේ  සම්බන්ධව ප්‍රශ්න කල නොහැකි හෙයින් ඔහු මුනිවතම රැක්කේය 

" කවුද ඒ ගමන ?'

සරෝජ් හිරිපිටිය සයනයේ මඳක් ඉහලට වී ඉඳගත්තේය. සංජය වහා ලඟට විත් කොට්ටය සකසා ඉඳගෙන උන් ඉරියව්ව පහසුකළේය.

" මානවී බේබි"

සංජය ඇමතිවරයාගේ මුහුණ දෙස විමසුමෙන් බැලුවේ මෙවදන් ඇසුන පසු ඔහුගේ ප්‍රතිචාරය කුමක් වේදැයි බලනු රිසිවය. කිසිදා නොවූ විරු තරමින් සරෝජ්  හිරිපිටිය කලබල වුයේය .අතවු වතුර වීදුරුවේ දියබිඳු ගතට හැලුණේ අත වෙවුලා යමිනි.

“ඉතින් ඕක අහ අහ ඉන්න එකක්ද මනුස්සයෝ? ඉක්මනට එන්න කියන්න. හරිඅප් සංජය. එයා ගිහිල්ලත් දන්නෙත් නෑ”

සරෝජ්  හිරිපිටිය සිය ගත වැකුණු ජලය පිසදමන සංජයගේ අත පසෙකට කරමින් ඇඳුම් බසින්නට තැත් දැරුවේය.

“සර්, ඇඳෙන් බහින්න එපා කියල ඩොක්ටර්  කීපාරක් දැන් කිව්වද? ඉන්න කලබල නොකර. බේබිලා මේ දොර ළඟ ඉඳගෙන ඉන්නවා. මම එක්කන් එන්නම්”

සංජය හඬනගා පැවසුවේ ඉලන්දාරියකු සේ කලබල කරනා සිය ප්‍රධානියා ඇඳෙන් බැසීම වළක්වමිනි. සරෝජ් හිරිපිටිය යළිත් සයනයේ හරිබරි ගැසුණේ සංජයට අවනත වෙමිනි .

“උඹව මං අල්ලගන්නම්කෝ පස්සේ. ඊයෙ ඉඳන් කට වැඩී උඹේ සෑහෙන්න”

සරෝජ් හිරිපිටිය සිනාවෙමින් පැවසුවේය .

සංජය කාමරයේ දොර විවෘත කළේ එබසට සිනා වෙමිනි. විවර වූ දොරින් ඇතුලට පැමිනියේ මානවී සහ හසිතය. ඔවුන් දෙදෙනා දුටු මනතින් සරෝජ් හිරිපිටියගේ දෑස් ප්‍රීතියෙන් දිදුලන්නට විය.

“චූටි කෙල්ලේ සුභාරංචියකුත් අරන් වගේ ඇවිත් තියෙන්නේ”

සරෝජ් හිරිපිටිය මානවීගේ පිනපෝ ගවුමේ වෙනස දැක සතුටින් පිනා ගිය හඬින් හඬ අවදි කළේය. හසිත සහ මානවී එකිනෙකා දෙස බලමින් සිනාසුනේ සරෝජ් හිරිපිටිය එක්වනම අල්ලාගත් මේ වෙනස දැකය.

"අනේ අනේ මෙච්චර අමාරුවෙන් ඉඳලත් ඒක දැක්කානේ"

මානවී  සරෝජ්ගේ අතකින් අල්ලාගෙනම පැවසුවාය.

“වෙච්ච දේ ටීවී එකෙන් දැක්කේ. කෝල් එකක් නොගත්තෙ මෙතැන කලබල බව දන්න නිසයි”

හසිත පැවසුවේ කාමරයේ පසෙක වූ සෝපාවේ අසුන් ගනිමිනි.

“ඇයි අර මාව දැකලා හොල්මනක් දැක්ක වගේ බලන් ඉඳලා දුවපු කෙනා කිව්වේ නැද්ද?”

 සරෝජ් හිරිපිටිය සිනා වූයේ පෙරදා සිදුවීම සිහිකරමිනි.ඒ එසේනම් අම්මා ඔහු දුටු බව රහසක් නොවේයැයි මානවීට වැටහුණි.

“ඊයේ ඒ වෙලාවෙ අපි දෙන්නත් උන්නේ මෙහෙ. මගේ පළවෙනි වීඕජී appoinment එකට ඇවිල්ලා. අම්මිත් ආව මෙහෙට. වොශ්රූම් යන්න ඕන කියලා ආව කෙනා දාඩිය පෙරාගෙන ආපහු දුවගෙන ආවත් මොකුත් කිව්වේ නැහැ” 

මානවී පෙර දවසේ සිදුවීම හෙළි කළේ සරෝජ් හිරිපිටිය හිස සලමින් එයට ඇහුම්කන් දෙන අතරය.

“එයාගෙ හිතුවක්කාරකම අදටත් අඩුවක් නෑ චූටි දුව. හැබැයි එයා දන්නේ නැහැ එයාට වඩා මං හිතුවක්කාරයි කියලා” 

සරෝජ් පැවසුවේ සිනහව වියැකී යන මුවිනි. ගතවූ ජීවිතය පුරාවට නිවේතා කළේ තමන්ගේම තීරණ අනුව ක්‍රියාකිරීමය. මේ තාක් කාලයකදී තමා කළේද ඇයට රිසිසේම හැසිරෙන්නට දී බලාසිටීමය.ඒ හේතුවෙන් අවසානයේ සිදුවූයේ දෙදෙනාගේම  ජීවිතවලට අසාධාරණයක් නොවේද ?

“අම්මට කියලා අපිටත් ඇතිවෙලා තියෙන්නේ. එයා හරිම stubborn. නිතර නිතර කියන්න ගියොත් දමලා ගහලා ආයෙ රට යාවි කියලා කියලා බයයි . ඒ නිසා එයාට ඕන එකක් කරගන්න දීලා අපි සාමයෙන් ඉන්නවා” 

මානවී පැවසුවේ නෝක්කාඩු බසිනි.

“අද ඔයාලා එනවා කියලා දන්නවද?”

සරෝජ් හිරිපිටිය ඇසුවේ දඟකාර සිනාවක් මුවේ මතුවන අතරේය. 

“පිස්සුද එයා අපි මේක දන්න බව වත් දන්නේ නැහැ. ඊයෙ අපේ ගෙදර යමු කිව්වම අච්චර රෑ වෙලා එයාගේ මගේ රාජ්‍යයේ තනිවෙන්න ඕනකමට එයාගෙ heaven එකට ගියා. රෑ එළිවෙනකල් නින්ද නැතිව ඇති. අද මට ගුඩ් මෝනින් කෝල් එකවත් දුන්නේ නැහැ” 

මානවී ගතු කීවේ කුඩා දැරියකසේය. 

“එයාගෙ heaven එක” 

සරෝජ් හිරිපිටිය සිනහ වූයේ නිවේතාගේ සිහින නිවහනට ඇය තැබූ නම සිහිවීමෙනි. 

my heaven ..කවදත් ඇය ජීවත් වූයේ ඒ සිහින තුළය. 

අම්මා  සම්බන්ධව කතාකරනා මොහොතවල සරෝජ් හිරිපිටියගේ මුවෙහි මතුවන මේ සිනහව හසිත දුටුවේ නව යොවුන් දඟකාර  කොල්ලකුගේ සිනහවක් මෙනි.

"බබී, මෙච්චර කල් ගිහිල්ලත් ඔයාගෙ අම්මිව මතක් කරනකොට ,එයා ගැන කතාකරන කොට සරෝජ් අංකල්ගෙ මුණෙ එන හිනාව මාරම රොමෑන්ටික්. ඒකට මම මාරම ආසයි" 

හසිත දිනක් මානවී සමගින් පැවසුවේ සරෝජ් හිරිපිටිය සමග හවස තේ පානයකදී කළ කතා බහකට අනතුරුවය. ඉඳහිටක දිනයක තමන් දෙදෙනාව කැඳවාගෙන ගොස් කතාබහක යෙදෙන්නට ඔහු කෙතෙක් කාර්‍යබහුල වුවද අමතක නොකළේය.

"ඒකටත් එක්ක හරියන්න අපේ අම්මි. මගෙ අම්මෝ ඔය නම ඇහුණත් ඇති පුපුරන්න.මොන තරහක් පිරිමහනවද මන්දා හසී"

එදවස මානවී පැවසුවේ අම්මාගේ හැසිරීම සිහිපත් කරමිනි.



යළි  හමුවෙමු තුන්වෙනි කොටසින් 


කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින )



Sunday, December 26, 2021

01 . හසරැල් සැලුණාවේ




 වේලාව හතර පසුවී විනාඩි තිහක් ඔරලෝසුවේ දැක්වෙයි. ඉහ ගිනිගන්නා තරම්ම අව්ව සැරය. ඇඳ උන් කපු බ්ලවුසයෙන් නිරාවරණය වූ පිට දිගේ ගලා ආ දාඩිය බින්දුවක් ඉණ පෙදෙසටම ගොස් ඇඳුමට උරාගන්නවා දැනෙද්දී නිවේතාට පෞද්ගලික රෝහලේ විසල් ද්වාරයෙන් ඇතුලට පියවර ඔසවාගන්නට හැකිවිය.  අත්සේදීම , උෂ්ණත්වය පරික්ෂාකොට බැලීම ආදී අත්‍යාවශ්‍ය කාරණා ඉටුකරන්නට තවත් කෙටි වේලාවක් ගතවිය.ඒ අතරම අත්‍යාවශ්‍ය කාරණා කිහිපයක් සහිත ෆෝරමයක්ද පිරවිය යුතුය.ඉක්මනින් එය පුරවාදී රෝහල් සංකීර්ණයේ සායන අංශය වෙත ඇය ඇතුළුවූවාය.

අභ්‍යන්තරයම වායු සමීකරණය කොට ඇති නිසා සැණෙකින් දහඩිය නිවී ගියාක් මෙනි. මුහුණ වසා ඇති මුව ආවරණය ඔක්කෝටම එහා යන කරදරයකි. එහෙත් කරන්නට දෙයක් නැත.මේ රටටම බලපාන්නා වූ තත්වයක් මිස තමන්ට පමණක් අදාල වූවක් නොවෙන හෙයින් මේ සියල්ලම ඉවසාගන්නට සිදුව ඇත. අකුලාගත් කුඩය අත්බෑගයට දමා ගත් පසු නිවේතා අවට සිසාරා බැලුවේ තමා යායුතු අංශය කොයි අත වේදැයි සිතමිනි. මොහොතකට හෝ මඳක් ඉඳගෙන විඩානිවන්නට හිතට අවැසිය.

එහෙත් ඈතින් අතක් වනා කතාකරන රුවකින් පුටුවකට බරව මොහොතක් ගෙවන්නට සිතට ආ සිතුවිල්ල වැලකුණි. 

"පරක්කු වුණාද මං? "

අත්බෑගයෙන් ගත් ටිශූ පැකට්ටුවෙන් එකක් එලියට අදිමින්ම නිවේතා ඇසුවාය. 

"නෑ අම්මි තව වෙලා තියනව. මගේ නම්බර් එක තුනනෙ. තාම ඩොක්ටර් ආවෙත් නෑ"

රෝස පැහැයෙන් යුත් මාතෲ ගවුමක් ඇඳි සුරඟනක් බඳු දෝණි ඇයගේ සැමියා අත එල්ලීගෙනම පවසන්නීය. තාමත් එච්චරකට මොකුත්ම පේන්නෙත් නැහැ. පොඩි කෙල්ලනේ තාමත් නිවේතා සිතින් මිමිණුවාය.

"අම්මි ඉඳගන්නවද?"

හසිත ඇසුවේ උන් තැනින් නැගී සිටින්නට තනමිනි.

" එපා පුතා, ඕන නෑ. වෙලාව තියන නිසා මම පොඩ්ඩක් වොෂ් රූම් එකට ගිහින් එන්නද දෝණි?"

පැයකට නොඅඩු කාලයක් රිය තුළම උන් හෙයින් ශාරීරික අවශ්‍යතාවයන්ද ඉස්මතු වෙමින් තිබුණි. ඒ මදිවාට පිපාසය එන වාරයක් ගානේ වතුර බීම ද එනතුරාම සිදුවිය. කැබ්‍ රථයේ රියදුරු වායුසමීකරණය ක්‍රියාත්මක නොකළේ නිවේතාගේ කැමැත්ත සහිතවමය.

"ඔතනින් දකුණට යන්න අම්මි"

මානවී පැවසුවේ නිවේතාගේ බෑගයට අත දිගු කරමිනි. හිස වනා එයද ප්‍රතික්ෂේප කල නිවේතා ඉක්මනින් කොරිඩෝරය දෙසට ඇදුණේ අවශ්‍යතාවයද ඉටුකොට ගෙන මුහුණද මඳක් සෝදාගන්නට සිතමිනි. 

කොරිඩෝරයට යන පාර අසල කලබලකාරී තත්වයකි. මෙවන් කාලයක මිනිසුන මෙසේ එක ගොඩේම රැස්වී පොදි කෑම කෙතරම්ම භයානකද? එහෙත් මේ ව්‍යසනය මේ සා පැතිරීමට ප්‍රධානම හේතුව වන්නේත් මිනිසුන්ගේ නොසැලකිලිමත් බවම නොවේද?

"එහාට වෙන්න එහාට වෙන්න මේ ට්‍රොලිය අපිට ගන්න දෙන්න"

රෝහල් ආරක්ෂක නිලධරීන් දෙදෙනෙක් මඳක් සැරෙන් කතාකරමින් ට්‍රොලියක් ගෙනයන්නට ඉඩ පහසුකම් සලසාගන්නට වෙර දරති.  එහෙත් තම තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට පැමිණ සිටින කිසිවෙක් තවකෙකුහට ඉඩ දෙන්නට සූදානමක් නොමැත. මිනිසුන් ආත්මාර්ථකාමී යැයි එවන් විටෙක චෝදනා නගන්නටද නොහැක. මන්ද සියල්ලන්ටම අවැසි වන්නේ තමන්ගේ ආ කාරිය ඉක්මනින් ඉටු කරගෙන ප්‍රවේශමද සලසාගෙන ඉක්මනින් යන්නටය.

නිවේතා මඳක් පසෙකට වූයේ ට්‍රොලිය ගන්නට ඉඩ දෙමිනි. ට්‍රොලිය මත සිටින තැනැත්තා වටකොටගත් ආරක්ෂක නිලධාරීන්ය. කුමක් හෝ අමුතු කලබලයක් මෙතන සිදුවන බවක් පෙනෙයි.

“අර උද්ඝෝෂණය වෙලාවෙ කවුද ගහපු ගල්පාරක් ඇමතිතුමාට වැදිලානෙ. ඔලුවමලු පැලිල තියෙන්නෙ. ලේ එකයි.”

එතනින් යන කවුදෝ කියනු ඇසෙයි." මොනව වුණත් පව්, රටට වැඩක් කරන මනුස්සයෙක්"

අනෙකා පවසන්නේ ට්‍රොලිය ගෙනයන දෙස බලමිනි.

" කවුද හැබෑටම ඒ?"

එතනින් යන්නට ආ අයෙක් කතාබහ කරන දෙදෙනාගෙන් නැවතී අසන්නට විය.

"නියෝජ්‍ය ඇමතිතුමානෙ, සරෝජ් හිරිපිටිය ඇමතිතුමා"

නිවේතා අසල වූ බිත්තියකට හේත්තුවූයේ හිස කැරකෙන්නක් බඳු හැඟීමක් ආ හෙයිනි.

සරෝජ් හිරිපිටිය...සරෝජ් හිරිපිටිය…නියෝජ්‍ය ඇමතිතුමා..එවදන් යළි යළිත් සවනත දෝංකාර දෙන්නාක් බඳුය. 

නිවේතා ට්‍රොලිය පසුපස ඉක්මන් අඩිතබා ඇවිද ගියේ යළිත් ඒ ඇසුණ වදන් ගැන අවිශ්වාසයෙනි. තමා මේ මෙහෙයවන්නේ අදිසි බලවේගයකින් විය යුතුය. නැතහොත් හැකි ඉක්මනින් ඉවත බලා හැරී සැඟව යා යුතු මොහොතක තමා කාන්දමක් සේ ඒ දෙසටම ඇදී යයි.

“මිස් ඔය පැත්තට යන්න බෑ”

ආරක්ෂක නිලධාරියෙක් ඇයගේ ගමන අවහිරකලේය. නිවේතා රවාගත් මුහුණෙන් ඔහුව පසෙකට කොට ට්‍රොලිය දෙසටම ඇදුණාය. වෛද්‍යවරයකු හිසේ ඇති තුවාලය පරීක්ෂා කරන්නට පැමිණ ඇත. කෙටි කොණ්ඩය හෙදියක් ලවා කතුරකින් එහාමෙහා කරමින් ඔහු පරීක්ෂාකරයි.

“වාසනාවකට මතුපිට තුවාලයක් විතරයි ඇමතිතුමා. හොඳ පාරක්නෙ කාල තියෙන්නෙ”

එසේ කියූ වෛද්‍යවරයා හෙදියකට අමතා ට්‍රොලිය හදිසි ප්‍රතිකාර අංශයට ඇතුල් කරගන්නා ලෙස පැවසීය. 

"මොනව කරන්නද ඩොක්ටර් , අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ගියාම ආපස්සට ඔන්න ඔහොම ඒවා තමයි ලැබෙන්නෙ ඉතින්" 

සරෝජ් හිරිපිටිය සිනාවෙන්නට වෙර දරමින් පවසනු නිවෙතා බලාඋන්නාය. නිවේතා බලා උන්නේ තවමත් ලේ වැකුණ මුහුණෙන් යුතුව ආරක්ෂක නිලධාරීන් අමතන සරෝජ් හිරිපිටිය දෙසය. එක මොහොතක ආරක්ෂක නිලධාරීන් සමග කතාබහේ යෙදී සිටියදීම ඒ ඇස් ක්ෂණිකව යොමුවුණේ තමා දෙසටය. මුහුණු ආවරණයෙන් නොවැසුන තම දෑසට ඒ දෑස් හසුවන ක්ෂණයේම නිවේතා ආපසු හැරුණාය.

ආ කාර්‍යය ද අමතකව නිවේතා ආපසු දුවගෙන මෙන් ආවේ මානවී ඉන්නා දෙසටය. ඒ වනවිටද ප්‍රසව හා නාරි වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂාවට පැමිණ තිබුණි.

" අම්මි , ආ යූ ඕකේ?"

අම්මාගේ මුහුණේ ඇති දැඩි කලබල වෙනස් ගතිය මානවී එක් ක්ෂණයකින් වටහා ගත්තාය. අම්මා මුහුණ දොවාගන්නට ගියද එසේ කළ ආකාරයක් නොපෙනේ. මානවී විමසිල්ලෙන් අම්මාගේ කලබල මුහුණ දෙස බැලුවාය.

" ඔ.ඔව්..දෝණි, අතන පොඩි කලබලයක් ..ම...මම ..මම ආව ඉක්මනින්"

නිවේතා මානවී වෙතින් මුහුණ සඟවාගෙනම පැවසුවාය. වැඩිදුර කතාබහට ඉඩක් නොලැබුණේ මානවීගේ අංකය ඇතුළට කතාකල හෙයිනි.

“sorry ,මේ දවස්වල තත්වය එක්ක ඇතුලට යන්න පුලුවන් මේ අම්මටයි තාත්තටයි විතරයි මිස්. ඒ නිසා කරුණාකරලා මිස් එළියෙන් ඉන්න”

ඇතුලට යන්නට ආ නිවේතා ආපසු අසුන වෙතට ඇදුණේ හසිත ඇයව ඇතුලට යවන්නට උත්සාහ කරද්දීමය.

“පිස්සුද පුතා, ෆස්ට් ටයිම් ඉන්න ඕන බබාගේ අම්මයි තාත්තයි. දෝණිට කම්ප්ලිකේශන්ස් මොකුත් නැති එකේ ඔය දෙන්නා ගිහින් අහගෙන එන්න ඩොක්ටර් කියන දේවල්"

නිවේතා මානවී හසිත සමගින් ඇතුලට යවමින් පැවසුවාය.

ආපසු අසුන වෙත පැමිණියද මනස යකාගේ කම්මල මෙනි.වසර ගණනාවකට පසුව වුවද සරෝජ් හිරිපිටියගේ දෑස් එදා මෙන්ම සජීවීව බබලයි. ඔහු කවදත් සිනාසෙන්නේ ඇස් වලිනි. මුවගට සිනහවක් එන්නේ අඩුම වශයෙනි. එහෙත් දෑස් සිනාමුසුව බැබලේ.

මාස්ක් එක නිසා මාව අඳුනගන්න නැතුව ඇති. නිවේතා සුසුමක් හෙලා ළය සැහැල්ලු කොට ගත්තාය. දුරින් දුරට අසුන් පනවා ඇති හෙයින් නිවේතා මොහොතක් අසුනේ ඇන්දට හිස තබා ගෙන උන්නාය.විසිර යන සිතුවිළි දියණියට හෝ නොපෙනෙන්නට එක්තැන් කොට ගතයුතුව ඇත.

වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව මානවී හසිත සමගින් පිටතට සිනාමුසුවය. නිවේතා ඔවුන් සමගම නැගී උන්නේ " මොකද ඩොක්ටර් කිව්වේ" අසමිනි. හසිත සිටින්නේ සිනහව ගිලගෙනය. මානවී නෝක්කාඩු බැල්මකින් ඔහු දෙස රවා බලමින් උන්නාය. දෙන්නගේ රණ්ඩුවක් මෙතනත්.. නිවේතා යටි සිතින් සිනාවෙමින් සිතුවාය.

මානවී වයසට වඩා බෙහෙවින් සුරතල් වන්නීය. ආදරයම සොයන්නීය. හසිත ඇයව මනා ලෙස තේරුම් ගත අයෙක් විම හිතට සැහැල්ලුවකි.

“කා එකට යං කෝ අම්මි කියන්න. මේ මිනිස්සු ඉස්සරහ මට මෙයාගෙන් ගුටි කන්න බෑ "

හසිත සිනාවෙමින් පවසයි.

"මොකක්ද අනේ. මං තරහයි අප්පා."

මානවී නෝක්කාඩුවෙන් මෙන් හසිතගේ අත ගසා දමා නිවේතාගේ අතේ එල්ලුනාය.

" හරි , හරි කියන්නෑ. කෝ එන්න අම්මිට අමාරුයි ඔයාව එල්ලන් යන්න "

හසිත මානවීට කතාකරන්නේ පවා පුදුම ආදරයකිනි. නිවේතාගේ දෑස් තෙත්ව ගියේ මේ හිත්වල ඉපදී නැළවෙන ආදරය දුටුවිටය.

" බලන්නකෝ අම්මි, ඩොක්ටර් ඇහුවා මෙයා ඕලෙවල් පන්තියේ ළමයෙක් එහෙම නෙවෙයි නේද කියල මාව පෙන්නලා. හසී ත් බක බක ගාලා හිනාවුනා "

නිවේතාගේ මුවගට සිනහවක් පැමිණියේ මානවීගේ එවදන වලටය. ඇත්තෙන්ම ඇය තවමත් සුරතල් පෙනුමකින් යුතුවන්නීය. වයස විසිතුනක්යයි කිසිම විටෙක කෙනෙක් පිළිගන්නේද නැති තරම්ය.

" ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද දෝණි . දකින දකින හැමෝම අහන දේනේ" 

නිවේතා සිය දියණියගේ හිස සිප ගනිමින් පැවසුවාය. ඉතා කුඩාකල සිටම ඈ වෙතින් හමනා මුදු සුවඳ අදත් නිවේතාට එකලෙසම දැනේ.

" අම්මි අද අපේ ගෙදර යං"

මානවී මෙන්ම හසිතද දැඩි සේ බලකලද නිවේතා එය ප්‍රතික්ෂේප කලේ සිය නිවසට යාමට අවශ්‍ය බව පවසමිනි.

" එහෙනම් අපි ඩිනර් අරන් යමුද බබා "

හසිත ඇසුවේ මානවී දෙසට නැඹුරු වෙමිනි. සිය දියණිය තරමටම තමා ගැන වදවෙන්නා වූ හසිත ගැන නිවේතාට කවදත් තිබුනේ අප්‍රමාණ දරු සෙනෙහසකි.

" පුතා කෑම අරන් යමු. දෝනිට දැන් වෙහෙස පාටයි. මාව ගෙදරට ඩ්‍රොප් කරගෙන ඔයාල ගෙදර යන්න. මම වීක් එන්ඩ් එක දිහාට ඒ පැත්තේ එන්නම් ඉඳල යන්න"

නිවේතා අත්ඔරලෝසුව දෙස බලමින්ම පැවසුවාය. ඇත්තෙන්ම හිතට මේ මොහොතේ අවශ්‍ය වන්නේ හුදෙකලා වීමකි. හිතේ අභ්‍යන්තරය දැඩි කැළඹිල්ලකට හසුව ගොසිනි. රාත්‍රී ආහාරය සඳහා සැහැල්ලු යමක් ගන්නට හුරුව උන් නිවේතා ඉඳහිටක දියණියගේ ආශාව මත ඔවුන් කැමති ආකාරයටද අහර ගැනීම පිළිකෙව් කලේ නැත.

" අම්මි මේ රෙස්ටෝරන්ට් එකේ බිරියානි එක මාර රසයි. කෑවොත් අම්මි ඉල්ලනවා ආයෙම දවසක්. නේද හසී" 

දෝනි ඇසුවේ හසිත සුපුරුදු අවන්හලක රිය නවත්වාලූ මොහොතේය.

" මෙයා නම් අම්මි, මේකේ මුදලාලිගේ ඉහත ආත්මෙක ණයක් අරන් තියද කොහෙද? මුදලාලි අර එහා පැත්තේ හදන බිල්ඩින් එකේ එක තට්ටුවකට කන්ට්‍රිබියුට් කරලා ඇත්තේ අපේ බබී" 

හසිත සිනහවෙමින් පැවසුවේය.

සිනහවෙන් කතාවෙන් කාලය ගෙවී ගියද නිවේතාගේ සිතෙහි වුයේ තදබල වික්ෂිප්ත භාවයකි. අවුරුදු බොහෝ ගණනක් ගතවන්නට ඇත. එහෙත් ඒ මතක සියල්ල අමතක කල නොහැකි තරම්ය. මානවී සහ හසිත, නිවේතා නිවසට ඇරලවා ආපසු ගියේ බොහෝ රෑ වීය. 

මානවීට වෙහෙසෙන්නට සුදුසුම නැත. ගර්භනී භාවයේ මුල්ම අවධිය හෙයින් සංකුලතා එකින් එක මතුවෙමින් පවතී . එහෙත් හසිත යනු මානවීටම ගැලපෙන ඇයව ඉතා හොඳින් වටහාගත් ස්වාමිපුරුෂයෙකු වූවා මෙන්ම හසිතගේ දෙමවුපියන්ද මානවීට ඉතාම ආදරයෙන් සලකන අය වූ හෙයින් නිවේතා මානවීව සිය නිවෙස වෙත කැඳවා නොගත්තාය. මානවී කුඩාකල සිටම හැදුණේ ඉතාමත් ස්වාධීන අන්දමටය .ඇය ලද දෙයින් සතුටු වන්නට කවදත් හුරුව උන්නාය. නිවේතාට සිය ස්වාධීනත්වය විඳින්නට ඉඩදී ඇයද අවශ්‍ය මොහොතක විනා අන් සැමවිටම අම්මා වෙත දුව නොයන්නට හුරුව උන්නාය.

ඉතින් ජීවිතයට මීට වඩා සතුටක් වෙන කොයින්ද? අවසානයේ ඉතින් තමා අත්තම්මෙක් බවටද පත්වන්නට කාලය එළඹ ඇත.

********************************************************************** 

අලුත් කතාවක් එක්ක ඔන්න ආයෙම මම ආවා. සමහර අය  මුහුණු පොතේ මේ වනවිට මේක කියවනවා ඇති. ඉතින් බ්ලොග් එකටත් ඔන්න එකතු කරගෙන යනවා ඉඩ ඇති අන්දමට 

මම 

කිත්මා වාසනා දහනායක 

විසිරි සිහින