Thursday, May 26, 2022

20. විසි වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )




 "මැඩම් නිදිද ?"

කාමරයේ දොරට තට්ටු කොට පැමිණි සරෝජ් ඇසුවේ චාමලීගෙනි.

"මූණ නම් වැහි වලාකුළු ගොඩකින් පිරිලා උන්නෙ සර්.කෑවෙත් උඩින් පල්ලෙන්"

චාමලී හිනැහෙමින් පිළිතුරු දුන්නාය.ඉන් පසු සරෝජ් හට කාමරයට ඇතුල් වන්නට දී ඇය ආලින්දය වෙත ඇවිද ගියාය.වදනින් නොකීවද මේ අපූරු කතාන්දරය ඇයගේ සිතද බෙහෙවින් පහන් කරවා තිබුණි.

සරෝජ් හිරිපිටිය නිවේතාගේ සයනයේ පසෙකින් හිඳ ගත්තෙය. සුවසේ නිදන ඇයගේ මුහුණේ ඇත්තේ ශාන්ත භාවයකි.අනතුරෙන් වූ වේදනාත්මක භාවයන් දැන් නැති තරම්ය.හිසකේ කොටට කපා ඇති හෙයින් ආයෙමත් ඇය පාසල් සමයේ මෙන් ස්වරූපයක් ලබා ඇත.වත රැඳෙන මද සිනහවද සහිතව සරෝජ් ඇයගේ පොරෝනය මනාව සකසාලීය. නිවේතා සිහින් කෙඳුරුමක් නගා ඇලයට හැරුණාය.සරෝජ් ඇයගේ නින්දට බාධානොකොට නැගී උන්නේය. ඇය වෙතින් මෑත්ව යන්නට මොහොතක් තබා සිතට ආ අදිසි සිතුවිල්ලකට අනුව ඇය නළලතට සිය දෙතොල යාන්තමින් තබා සිහින් සිපුමක් තවරාලීය. ඉන්පසු සුසුමක් හෙළා කාමරයෙන් පිටව චාමලී උන් ඉසව්වට ඇවිද ආවේය.

 "චාමලී, හෙට උදේම මැඩම්ට ට්‍රීට්මන්ට් කරන්න ගෙදරට එනවා තෙරපිස්ට්ස්ලා. ඒ මිස්ලා සර්ලා එක්ක එකතුවෙලා මැඩම්ගේ ටයිම්ටේබල් එකහදාගන්න. එක එක තෙරපි ස්ලොට්ස් මැඩම්ට පහසුවක් වෙන විදියට ඇරේන්ජ් කරගන්න.ඔහොම බබා වගෙ උන්නට ඔය මැඩම් හරි හිතුවක්කාරයි.ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන් හරිද?"

සරෝජ් හිරිපිටිය චාමලීහට උපදෙස් දෙමින් පවසා උන්නේ ඉදිරි ප්‍රතිකාර කටයුතු ගැනය. හෙට දවසේ අත්‍යාවශ්‍ය රාජකාරි කටයුත්තක් හෙයින් චිකිත්සක නිලධාරීන් පැමිණෙන මොහොතේදී තමන්ට සිටිය නොහැකි බව සරෝජ් හෙදියට දන්වා උන්නේය. පළමු දිනයේ තමාට ඉන්න ලැබුණා නම් හොඳය.එහෙත් තම රාජකාරි කාරණය ද මඟහරින්නට නොහැකි එකකි.

"හරි සර්, මානවී මැඩමුත් එනවා කිව්වා කොහොම හරි.මම ඔක්කොම බලාගන්නම්"

සරෝජ් හිස වනා එකඟතාවය පළකොට ඉහළමාලයට නැගීගියේය. හිතේ ඇතිව ඇත්තේ සැහැල්ලුවකි. ඇය කෙසේ හෝ සිය නෙත්මානයේ දැන් සුරක්ෂිතව සිටින්නීය.

නිවේතා පාන්දරින් අවදිවූයේ කාලයකට පසුය. සති දෙකකට වඩා කාලයක් රෝහල් සයනයේ වැතිර විවිධ යන්ත්‍රවලට සවිව ගත් බටවලින් සමන්විතව උන් හෙයින් නින්දක් කියා පහසුවෙන් දෙයක් ලැබුණේ නැති තරම්මය. එහෙත් පෙරදා රැයේ යළිත් සුව නින්දක් නෙතුමතට පැමිණ තිබුණි.ඇහැරගත් මොහොතේ පටන් සුපුරුදු යැයි හැඟෙන සුවඳක් සිය සයනයේ හෝ වතෙහි හෝ තැවරී ඇතැයි ඇයට සිතුණි.

"මැඩම්ගෙ මූණ අද හරිම ෆ්‍රෙශ්. එන්න අපි වීල්චෙයා එකට මාරුවෙමු. තේ එක බීලා අපි මූණ සෝදලා ඉම්මුකෝ"

චාමලීගේ සහය ඇතිව රෝදපුටුවට පැමිණි නිවේතා ඇයගේ සහයද සමගින් විවෘත ආලින්දය වෙතට පැමිණියාය. ජනේලය විවෘත කළ වහාම වෙල්යාය පිස එන සිහිල් සුළං රැල්ලක් කාමරය තුළට හමා ආවේය. උදෑසන අරුණාලෝකය බිමට ලඟාවෙන්නට පටන් ගත්තා පමණි.

"අර බලන්නකො මැඩම්" 

නිවේතා චාමලී ඇසින් පෙන්වූ දෙසට නෙතු යොමු කළාය. ගෙවත්ත වටා සුදු වැලි ඇතිරූ මාවතේ උදෑසන දුවමින් සිටියේ සරෝජ්ය. සුදු පැහැ ටීශර්ටයක් සහ නිල් බොටම් කලිසමක් හැඳ ක්‍රීඩා සපත්තු යුවලකින් සහ සුදු පැහැ කැප්තොප්පියකින් යුතුව දිවයන ඔහු දෙස නිවේතා බලාඋන්නේ මුවග රැඳි සිනහවද සමගිනි.ඇත්තෙන්ම පනස්විය ඉක්මවා උන්නද සරෝජ් කඩවසම්‍ ය. ප්‍රවෘත්ති මවන්නන් අතර සමාජජාලයන් අතරේ පවා නිතර කතාබහ වන්නේ මේ කඩවසම් නියෝජ්‍ය අමාත්‍යවරයා ගැනය.

අහම්බෙන් මෙන් දුව යන අතර නිවේතාගේ කාමරයේ ජනේලය වෙත යොමුවූ සරෝජ්ගේ ඇස් ඇයගේ නෙතුමත ගැටුණි.ඔහු මුවේ විසිර ගියේ මඳ සිනහවකි. ඒ ආඩම්බරකාර බවක් රැඳි මන්දස්මිතය කවදත් තමා ආසක්ත කල සිනහවමය.නිවේතා සිනහසෙන්නට අමතකවූ ලෙසින් එදෙස බලා උන්නාය. ව්‍යායාම සඳහා දුවන අතරේම නිවේතාගේ කාමරයෙහි ජනේලය අසලට පැමිණි සරෝජ් ඇය අත ඉදුණු පේරගෙඩියක් තබා කොපුලට ඇඟිල්ලකින් තට්ටුකොට යළි සිය ව්‍යායාම් කරා දිවගියේය.නිවේතා ක්ෂණයකින් වූ සියලුම දේ අදහා ගන්නට නොහැකි සේ මොහොතක් අතමත රැඳි පේරගෙඩිය දෙස බලා උන්නාය.චාමලී හිනැහුණේ මේ අපූරු යුවළගේ හැසිරීම් රටා දැකය.නිවේතාගේ කොපුලක රත්පැහැය සඟවාගන්නට නොහැකිවූ තරම්ය.

                                                             ***

සරෝජ් හිරිපිටිය යළි නිවේතාට මුණ ගැසුණේ උදෑසන තේ මේසයේදීය. 

"මම ඉක්මනින් යනවා.අද ඉම්පෝර්ටන්ට් වැඩක් තියෙනවා.එහෙනම් චාමලී එක්ක අද ඔක්කොම දේවල් ටික හරියට බලාගන්න ඕනේ. ඔයාගේ ට්‍රීට්මන්ට් වලට අද කට්ටිය එනවා.තේරුනාද නිවී?"

ඉක්මන් සමුගැනීමකින් යුතුව සරෝජ් හිරිපිටිය සිය රථයට ගොඩවන්නට පෙර නිවේතාට පැවසුවේ ඇයගේ මුහුණ මුහුණෙහි හෝ ශෝකීරේඛා දෙස බලමින්මය. පෙර අතීතයේ වූ නිවේතා මෙම අහඹු අනතුරෙන් පසු සිතා ගන්නට නොහැකි අන්දමට වෙනස් වෙමින් පවතී.එය ඇයගේ අනතුරෙහි අතුරුඵලයක් ද එසේ නැතහොත් ඇය මෙතුවක් කල් වසං කළ යටි සිතේ වූ ප්‍රේමය ඉස්මතු වී ඒමක්ද යන්න සරෝජ්ට හිතාගන්නට නොහැකි විය.

"අපේ සර්ගෙ මූනේ දැන් තියෙන එළිය බලපන්කෝ බං"

සංජය රියදුරුහට පැවසුවේ සිය අමාත්‍යංශය බලා සරෝජ් ගමන් කරන මොහොතේදීය. රියදුරුද ඒ වදනට හිස සලමින් සිනාසුනේ සරෝජ් හිරිපිටිය පසුපස අසුනේ සිට ඔවුන් දෙදෙනා දෙසම රවා බලද්දිය.

"ලිඳ ලඟ සංගමය වගේ පටන් ගත්තද උඹලා දෙන්නත්."

සරෝජ් හිරිපිටියගේ වදන් වල වූයේ ඇත්තෙන්ම තරහක් නම් නොවේ.මුවග වූයේද මඳ සිනහවකි.එහෙත් මොවුන් අවුස්සාගැනීම තමන්හට ඉන්න නොලැබෙන කාරණයක් බව ඔහු දැන උන්නේය.

"ඇත්තමයි සර් කාලෙකින් සර් හිනාවෙලා ඉන්නවා අපි මේ දකින්නේ.ඇත්තටම අපිට හරි සතුටුයි නේද බං"

සංජය පැවසුවේ හදවතින්ම නැගෙන සතුට වදන් වලට හරවමිනි. කවදත් තමන්හට හිතෛෂී වූ සිය කාර්‍ය මණ්ඩලය ගැන සරෝජ් හැමවිටම බොහෝ නම්‍යශීලී විය.

"සිද්ද වෙච්ච හැමදෙයක්ම උඹලා දන්නවනේ. මේ වතාවෙ වත් මගේ හිතට සැනසීමක් ලැබෙනවා නං එච්චරයි.එහෙම නැතත් මම දැන් දුක් වෙන්නේ නැහැ"

සරෝජ් හීරිපිටිය පැවසුවේ සිය හදවතේ වූ හැඟීම් හෘදයාංගම වචනවලට හරවමිනි. තම සිතේ ශාන්තිය කවදා කෙසේ ලැබෙව්ද නොලැබේද යන්න සිතාගන්නට නොහැකිවුව නිවේතා සිය ඇස්මානයේ සිටීමම සිතට සහනයකි.

පෙර දවසේ රාත්‍රියේ ඇය නළලත දෙතොල තබා සමුගත්තද රාත්‍රියේ බොහෝ වේලාවක් යනතුරු තමන්හට නින්දක් නොපැමිණි බව සරෝජ් සිහිකළේ සිතට දැනෙන්නාවූ සහනය සහ සියුම් ආශාවක් බඳු හැඟීම ද සමඟිනි.ජීවිතේ මැදි වයසට එළඹ සිටියද සිත තවමත් සොයන්නා වූ ආදරණීය උණුසුම ඒ ආදරණීය හැඟීම සමගින්ම පවතින්නේ ඈ වෙත පමණි. කිසිදු විටෙක ඇය දුටු මොහොතේ දී අසංවර හැඟීමක් හිත පිරී ගියේ නැති තරම්ය.ආදරය ජීවිතය නිවා සැනසෙන දිනයක් පැමිණෙ නම් එය දෝතින් වැළඳ ගන්නට තමා සූදානම්ය.

                                                         ***

සියලු වැඩකටයුතු වැඩ කටයුතු හමාර වී හවස් යාමයේ සරෝජ් නිවසට පැමිණෙන විට ඔහු දුටුවේ දැඩි ලෙස හෙම්බත් වූ මුහුණින් විසිත්ත කාමරය සෝපාවක වැතිර ඉන්නා මානවීය.ඇය අසල ඇයගේ දෙපා පිරිමදිමින් සැනසුම් බස් පවසමින් සිටිනුයේ හසිතය.ඉවෙන් මෙන් සිදුව ඇති දේ සිතා ගන්නට සරෝජාට හැකිවිය.නිවේතා එකත් එකටම ලොකු අඩව්වක් අල්ලලා තිබේ.

"චූටි දුව මොකද ...ඇඟට අමාරුයි ද ඔයාට අද කොහොමද මෙහෙ යුද්දෙ?" 

සරෝජ් හිරිපිටිය ඉදිරිපස අසුනේ හිඳ ගත්තේ මානවීගේ හිසත් අත ගාගෙනමය.මානවීගේ මුහුණේ දැඩි වෙහෙසක් දකින්නට ඇත.

"අද මෙහෙ ලෝක යුද්දෙ වගේ අංකල්. අම්මිත් එක හරි අමාරුයි මේ ට්‍රීට්මන්ට් කරන්න.අපි කිව්වට අහන්නෙත් නැහැ.එයාට කියන දේවල් කරගන්න බැරි වෙනකොට තරහ යනවා.ඊට පස්සේ හොඳටම අඬනවා.අන්න චාමලීවත් එලව ගත්තා එලියට"

හසිතගේ වදන් සිනාමුසු ඉවසමින් සරෝජ් හිරිපිටිය අසුනෙන් නැගී උන්නේ 

"මට ගුටි කන්න වෙයිද දන්නේ නැහැ"

කියමිනි .කාමරයේ දොර අසල පුටුවක් තබාගෙන චාමලී හිඳගෙන සිටියාය.දැඩි වෙහෙසකර මුහුණින් සිටිය ද ඇයගේ මුහුණේ නොරිස්සුමක් නම් නොවීය.

"සර් හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ නම්.පැය ගාණක් ඇඬුවා.මටත් හොඳටම බැන්නා .පුලුවන්නං ගිහින් ශේප් කරගන්න" 

චාමලී මද සිනහවකින් පැවසුවේ සම්පූර්ණ දිවා කාලයේම නිවේතා සමඟ කළ හරඹය විස්තර කරමිනි.සරෝජ් හිරිපිටියේ නිහඬ සිනාවක් ඇතිව කාමරය තුලට ඇවිද ආවේය .දොර දෙසට පිටුපා නිවේතා සයනයේ වැතිර උන්නාය.

"නිවී, කොහොමද ඔයාට?" 

සරෝජ් හිරිපිටිය ඇය අසලින් හිඳ ගත්තේ සිය අතක් ඇයගේ වම් උරහිසට තබමිනි. වැරෙන් ඒ අත ගසා ලූ නිවේතා මහ හඬින් හඬන්නට පටන් ගත්තා.සිය වෛද්‍ය මිතුරා පැවසූ සමහරක් කාරණා ඒ මොහොතේ දී සරෝජ්ට සිහිවිය. මේ බොහෝ ලෙසින් ඉවසිය යුතු තැනය. 

"ඇයි මේ අඬන්නේ? ම්ම්..කියන්නකො.. කෝ බලන්නකෝ මේ පැත්තට හැරෙන්නකෝ"

කුඩා දැරියක සුරතල් කරන පියකු බඳු සරයෙන් සරෝජ් නිවේතාගේ හිස පිරිමැද්දේය. ඇයගේ මානසික අසමතුලිතතාවය ද සියල්ලන්ම විසින් වටහා ගත යුතු බව වෛද්‍යවරුන් පැවසූ අතර සමහරක් විට ඇයගේ නොහැකියාවන් ඇයට අවබෝධ වීමම මේ අධික නොරිස්සීමට හේතුවී ඇතිවාවන්නට ඇත.

සරෝජ් හිරිපිටිය නිවේතා සෙමින් සයනයේ කෙළින් කොට ඇඳ විට්ටමට කොට්ට දෙකක් තබා යම් තරමකට ඔසවා හිඳුවා ලූයේය. ඇයගේ මුහුණේ කිසිදු ප්‍රියමනාප බවක් නොවීය.කේන්තියද ශෝකයද අපේක්ෂා භංගවීමද මේයැයි කියා ගත නොහැකි බොහෝ කරුණු කාරණා රැසක් ඒ මුහුණේ දකින්නට තිබුණි.

"තේ බීලා ද ඉන්නේ ?"

ඇය සවස තේ පානය ද ප්‍රතික්ෂේප කළ බව චාමලීගෙන් දැනගෙන උන් හෙයින් සරෝජ් හිරිපිටිය ඇසූවේ නිවේතා කතා කරවීමේ අභිලාෂය නිසා මිස වෙන අන් යමක් හේතුවෙන් නොවේ.

"තේ බිව්වෙ නෑනේ ?මටත් තේකක් බොන්න ඕන.අපි ටිකක් වත්තට යමුද මම ඉක්මනට change එකක් දාගෙන එන්නම් .චාමලී ...මැඩම්ව තව ටිකකින් එක් කරන් එන්න .මම වොෂ් එකක් දාලා change එකක් දාගෙන එන්නම්"

සරෝජ් හිරිපිටිය නිවේතාගේ හිස මත තැබූ අත සෙමින් හිසකේ අතර යවා පිරිමැද නැගී උන්නේය.සමහර ව්‍යායාම ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි වෙහෙසකට පත්වී උන් සිත ක්ෂණයකින් නිවී ගියා බඳු විය. ඒ අත්ලෙහි සුවදායක පහස අතීතයේ දැනුණ දිනවලදී පවා මේ අන්දමින් සිතේ වූ දුක් දාහයන් නිවී ගියා මතකය. කුඩම්මා සහ පාලිකා අක්කාගේ කෙණෙහිලිකම් මත දැවීගිය හිත , වරක් දෙවරක් හිස මත අත තැබූ සැණින් සැනසුම ලැබීය.

චාමලී තදකරගත් සිනහවද ඇතිව නිවේතා සූදානම් කළාය.

"පූස් පැට්ටෙක් වගේ දැන්නම්.සර් දකින්න තිබ්බෙ උදේ පුපුරපු පිපිරිල්ල"

චාමලී යටපත් කොටගත් සිනහවෙන්ම සිතුවාය.ප්‍රේමයට කල නොහැක්කේ කුමක්ද ? සරෝජ් හිරිපිටිය නම්වූ ප්‍රසිද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කාන්තාව සම්බන්ධව දක්වන සුමට හැසිරීමම චාමලීගේ සිත පහන් කරවාලීය.

ගෙවත්තේ පහළවූ සමර් හවුසියේ තේ පානයට අවැසිදෑ සූදානම් කොට සකසා තිබුණි.චාමලී නිවේතාගේ රෝදපුටුව එතනට ගෙන ගියාය. මානවී සහ හසිත හදිසි උවමනාවක් මවාගෙන ගමනක් යාමට අවැසි යැයි පවසා නික්ම ගියේ චාමලීටද ඇසෙන් ඉඟිකොට එතැනින් යන ලෙස පවසමිනි.

"සර් , මට කෝල් එකක් ගන්න යන්න වෙනවා.කමක් නැද්ද මැඩම්ව මෙතන තියලා මම ගිහින් ආවාට"

චාමලීගේ මුහුණේ ඇති ඉරියව් සරෝජ් හඳුනාගත්තේය.ඇයට මේ මොහොතේ අවැසි නිවේතා සහ තමන්හට නිදහසේ සිටින්නට දීම බව ඔහු දැනසිටියේය. තේ මේසය සකසා තිබුණේ නිවේතා කන්නට ආසම වූ බ්ලූබෙරි චීස් කේක් සමගිනි. එය දුටු මනතින් ඇයගේ ඇස් බබලන අන්දම සරෝජ් දුටුවේය.

"ආසයිනේද ? ම්.."

නිවේතාගේ රෝද පුටුව අසළට සිය පුටුව ඇදගත් ඔහු සුදු පැහැ පෝසිලේන් පීරිසියකට කේක් කැබැල්ලක් බෙදා ගත්තේ හැන්දක්ද සමගිනි.නිවේතා ඔහු දෙස බලාඋන්නේ කිසිවක්ම සිතාගත නොහැකිවය.

"කමු"

දකුණු අත සවි නැති හෙයින් වම් අත දිගු කොට පීරිසිය ගන්නට නිවේතා වෑයම් කළාය.සරෝජ් සිය අතවූ පීරිසිය පසෙකට කළේ මඳ රැවුම් බැල්මක්ද සමගිනි.ඉන්පසු හැන්දෙන් කේක් කැබැල්ලක් ගෙන ඇය මුවඟට තැබුවේද සිනා රහිත වතිනි.නිවේතා නිහඬවම මුව විවර කළාය.කීකරු කුරුලු පැටවෙකු සේ අණට කීකරුවූ ඇය දැක සිත පත්ළෙන් නැගෙන සිනහව මැඩ ගනිමින් සරෝජ් පසුවූයේය.

"රසයිද?"

වචන නොමැති මුව මඳ සිනහවකට විවරකරවාගන්නට තැත් දරමින් ඔහු ඇයගේ දෑසට එබුණේය. සිනා අමතක කාලය අහවරව සිනාවක් ඒ වත ඉපදෙනා තුරු තමා කෙතරම් නම් කල්බලන්නට ඇත්ද?

"ඉතින් ! කියන්න බලන්න අද මොකද ළමයාට තරහා ගියේ කියලා?"

සරෝජ් හිරිපිටිය තේ බඳුණක් සකසමින් බොහෝ ඉවසීමෙන් අවශ්‍ය මාතෘකාවට එළඹියේය. සිනාවත අඳුරකට යළි හැරෙනු දැක දැකම ඔහු ගණනකට නොගෙන තේ එකක් සාදා එය මඳක් නිවෙන්නට හැරියේය.

"බෑ..නේ."

හැඬුම් බර වතින් කැඩි කැඩී එන වදන් සරෝජ්ගේ සිතේ අනුකම්පාව උපදවාලීය.

"මේ අහන්න නිවී, මුලදී ඒවා ඔයාට කරන්න බැරිවෙයි. පහුවෙනකොට අමාරුවෙන් හරි ඔයාට ඒවා කරන්න පුළුවන් වේවි.ඒ නිසා බෑ කියලා බෑනේ"

සරෝජ් තේ බඳුන ඇය මුවට ළං කරමින් පැවසීය.නිවේතා සිය මුව පසෙකට හරවා එය ප්‍රතික්ෂේප කලාය.හිතුවක්කාර කම නම් අඩුවක් නෑ....සරෝජ් යටිසිතෙන් මුමුණාගත්තේය.සැර වැර වී අණපණත් යොදා මේ ජීවියා නම් ආණ්ඩුමට්ටු කළ නොහැක. එහෙයින් ඔහු අවසාන තුරුම්පුව ද භාවිත කළේය.

"දැන් එතකොට චූටි දුවට බබා හම්බවුණාම ඒ බබාගෙ වැඩ කරන්න අපිට සර්වන්ට්ස්ලා ගන්න වේවි එහෙනම්.ඔයාට අත අමාරුයිනෙ.ඇවිදින්න එහෙමත් බෑනෙ. නැලවිලි කවියක් කියවන්න වත් ඉතින් බෑනෙ. කමක් නෑ ඔයාට තෙරපි බැරිනම් ඔහොම ඉන්න.අපි අර වැඩ වලට වෙන කට්ටිය හොයමු"

නිවේතා දෙස හොරැහින් බලා සරෝජ් පැවසුවේ බොහෝ නිවීහැනහිල්ලේය.නිවේතා තිගැස්සී යනු ඔහු දුටුවද නොදුටුවා සේ සිටියේය.

                                                            ***

සරෝජ් හිරිපිටිය නිවේතාගේ මුහුණේ වූ වෙනස්කම් දෙස ගණනකට නොගෙන බලා සිටියේය. ඇත්තෙන්ම යමක් ඇයගේ සිතට දන්වන්නට නම් ටිකක් තදින් ක්‍රියා කළ යුතුය.මේ වන විට නිවේතාගේ ජීවිතයේ ඇති ලොකුම බලාපොරොත්තුව මානවීගේ දරුවා ය.එහෙයින් ඒ වෙනුවෙන් ඇය ඕනෑම දෙයක් කරන්නට කැප වන බව සරෝජ් දැන උන්නේය.

සරෝජ් විසින් ඉදිරිපත් කළ කාරණය තමන්ගේ ජීවිතයට කෙතරම් වැදගත්ද යන්න නිවේතා මොහොතක් කල්පනා කළාය.මානවීට තව මාස කිහිපයකින් දරුවා ලැබෙන විට මිත්තණිය ලෙස තමා ඇයව දෝතට ගත යුතුය.මානවීගේ ශරීර ලකුණු දෙස බලා ඇයටද උපදින්නේ දුවෙකු යැයි නිවේතා ට ඉබේම සිතුණු දවස් ඉබේම සිහිවිය.තමා මවක වූ දා තමා පියවි සිහියකින් නොවූ හෙයින් ඇත්තෙන්ම නොවිඳි ඒ සුන්දර හැඟීම් මානවීගේ දියණිය වෙතින් හෝ ලැබීමට ඇය බලා උන්නේ පුදුමාකාර ආසාවකිනි.

"මොකද කියන්නේ? මම දැන්ම හෙල්පර්ස්ලා හොයන්න කියලා හසිතට කියන්නද?"

සරෝජ්ගේ ස්වරයේ තිබුනේ දැඩි බවකි.නිවේතා දෙසට ගලා එන කඳුළු වළකා ගමින් එපා යැයි හිස දෙපසට වැනුවාය.

"ඒකනෙ ඔයාට පුලුවන් ඔයා මේක කොහොම හරි කරන්න ඕනෙ.චූටි දූ වුණත් බලාගෙන ඉන්නේ ඔයා බබාව බලාගන්නකන් නේ.මම කියන්නං ඒ එන therapistලට ඔයාට ගොඩක් අමාරු දේවල් එක සැරේටම කරවන්න එපා කියලා.එහෙම හොඳයි නේද ?"

සරෝජ් හිරිපිටිය අත වූ තේ බඳුන නිවේතාගේ මුවට ලං කරමින් ඇසුවේය. නිවේතා කිසිවක් නොකියා හිස වනා නිහඬ වූවාය.

"තේ බීල ඉවර වෙලා අපි අමු ටිකක් වත්ත පහලට.මට නිතර ගෙදර ඉන්නේ වෙන්නෙත් නැහැනේ.යමුකෝ මම ඔයාට garden එක පෙන්නන්නම්කො "

කතා කරමින් උන් මාතෘකාව නිවේතාගෙ සිතට තරමක් බර වැඩි බව දන්නා හෙයින් සරෝජ් හිරිපිටිය ඇය සමගින් සිය ගෙවත්තේ සුදු වැලි අතුල මාවත් දිගේ ඇවිද යන්නට සිතුවේය. නිවේතාගේ රෝද පුටුව සෙමින් තල්ලු කරමින් ඇවිද යන සරෝජ් දෙසට චාමලී දිව ආවේ දෙන්න සර් මම වීල්චෙයා එක ගන්නම් කියමිනි. 

"නෑ චාමලී ඔයා ගිහින් වැඩක් කරගන්න මම මැඩම් එක්ක ටිකක් වත්තේ ඇවිදලා එන්නම්"

සරෝජ් හිරිපිටිය ඇයව ප්‍රතික්ෂේප කොට ඉදිරියටම සෙමින් ඇදී ගියේය.ආපසු හැරී එන චාමලීගෙන් මානවී මොකද ගිය සැණෙන් ආපස්සට ආවේ යැයි ඇසුවාය. 

"දෙන්න ඇවිදින්න ගියා දැන් නම් මූණ හොඳයි වගේ පොඩි මැඩම්" චාමලී හිනැහෙමින් පැවසුවාය. 

"අම්මා හිතාගන්නත් බැරි විදියට හුඟාක් වෙනස් වෙලා හසී.මට ඇත්තටම හිතාගන්න බැරි මේක එයාගේ ලෙඩේ නිසා ඇති වෙච්ච වෙනස්කමක් ද නැත්තං ඇත්තටම අම්මා වෙනස් වුණා ද කියන එකයි" 

මානවී සැනසුම් සුසුමක් හෙලමින් හසිත හා පැවසුවාය.ඇත්තෙන්ම සිතට දැනෙන්නේ පුදුමාකාර නිවීමක්මය. 

"ඇත්තම කිව්වොත් පොඩි මැඩම් අසනීපයත් එක්ක ලොකු මැඩම්ගෙ behaviour changes ඇවිල්ලා තියෙනවා තමයි .ඒ උනාට මට හිතෙන්නෙ මැඩම්ගෙ මූණ දිහා බැලුවම එයා මේ ටික ඉන්නෙ හුගාක් සන්තෝසෙන් කියලා .ඒකට හේතුව සර්"

චාමලී පැවසුවේ සිය වෘත්තිය අත්දැකීම් සමගිනි. 

"ඔව් චාමලී .ඇත්තෙන්ම අම්මා සන්තෝසෙන් ඉන්නේ අංකල් නිසා තමයි .අම්මාගේ ජීවිත කාලෙම අම්මා සන්තෝසෙන් උන්නානම් හිටියේ අංකල් නිසා.නරකට හෝ හොඳට හෝ මේ වගේ දෙයක් වුනේ ඒ දෙන්නා එකට ඉන්න ඕන නිසා වෙන්න ඇති"

මේ වන විට සරෝජ් සහ නිවේතාගේ ජීවිත කතාව චාමලීද දැන් උන් හෙයින් මානවී කිසිවක් සඟවන්නේ නැතිව ඇයට පැවසුවාය .ප්‍රේමය යනු කෙතරම් සුන්දර මනෝභාවයක් ද යන්නට හොඳම උදාහරණයක් ලෙස දකින්නේ මෙවන් සොඳුරු යුවළවල්ය.

"ඔයා දන්නවද නිවී. මං මේ ඉඩම ගත්තේ හරියටම මම බෑන්ක් එකේ ජොබ් එක කරන කාලේ. මට මෙතන ඕන වුණේ අපි දෙන්නට ගෙයක් හදන්න.ඒ උනාට අන්තිමට මෙතන ගේ හදනකොට අපිදෙන්නා වෙන් වෙලා" 

නිවේතා රෝද පුටුවේ තබා ගෙන ඉදිරියට තල්ලු කොට ගෙන යන අතරේ සරෝජ් හිරිපිටිය පැවසුවේය.නිවේතා සුසුමක් හෙලා නිහඬ වූවාය.

"මං දන්නවා මේවා ඇහුවම ඔයාට දුක හිතෙයි.ඒ වුණාට නිවී මම මේවා අද ඔයාට කියන්නේ ඔයාව රිද්දන්න නෙමෙයි. එක කාලයක් අපි හුඟක් දුරස්වෙලා උන්නානේ. ඒ කාලේ වෙච්ච දේවල් අපි එකිනෙකා ටිකක් දැන ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා.ඒකයි මම ඔයාට මේ විස්තර කියන්නේ "

සරෝජ් හිරිපිටිය බොහෝ නිවීසැනසිල්ලේ නිවේතාගේ රෝදපුටුව ඉදිරියට තල්ලු කරමින් කතා කළේය. ඇවිද යන අතරමඟදී තැනක නැවතී පලතුරු ගසකින් ඉදුණු පලතුරක් කඩා ඇය අත තැබීය.

ඔයා ඉතින් home designing ඒ වගේම interior decorations and gardening ඔක්කොම qualified වෙච්ච කෙනෙක්නේ.මං මේ ඉඩම ගනිද්දිත් ඒකේ ගේ හදද්දිත් professionals ලගෙ advices අනුව තමයි වැඩ කටයුතු කරගෙන ගියේ. දැන් ඉතින් ඔයාගෙනුත් අහගෙන මට හදන්න වෙනවා මේකේ තියෙන අඩුපාඩු "

නිවේතා හිස මදක් හරවා සරෝජ් දෙස බැලුවේ එවදන් වලින් ලැබූ උත්තේජයද ඇතිවය.තමා ආසා කළ අංශය මෙන්ම තමන්ගේ වෘත්තීය ද වූයේ එයය. ඉතින් සරෝජ්ගේ මේ ගෙවත්තේ කිනම් හෝ වෙනස්කමක් තමා අතින් කරනු දැකීම ඔහු රුචි නම් එය තමා උද්දාමයට පත් කරන්නක් බව නිවේතා වටහා ගත්තාය.

"ල.ස්.ස.න.යි" කැඩි කැඩී එන බස් වහරින් යුතු වුව ද නිවේතා ඔහුගේ උද්‍යානය පිළිබඳ ඇයගේ සිතට ආ හැඟීම නොවළහා පළ කළාය .

"මටත් අර ඔයාගේ වගේ පොන්ඩ් එකක් හදා ගන්ඩ ඕනේ .පොඩ්ඩක් නිදහස් වෙලාවට කකුල් දෙක වතුරට දාගෙන ඉන්න පුළුවන් ජාතියෙ එකක්" 

සරෝජ් හිරිපිටිය නිවේතාගේ රෝදපුටුව මාවත අතර මැද්දේ නවතා එතැන වූ අඹ ගසකට පිටදී සිට ගත්තේය.තමා ඉදිරිපිටටවී දෑත පපුව හරහා බැඳ ගෙන බොහෝ සැහැල්ලුවෙන් කතාබස් කරන මේ පුද්ගලයා ඇත්තෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස දුටුවෙකු විශ්වාස කරන්නේ ද නැත.

කර කැපූ ටී ෂර්ට් එකක් සහ ලිනන් වර්ගයේ දිග කලිසමක් හැඳ රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දමාගෙන සිටින ඔහුගේ ඇත්තේ අපූරුම කඩවසම් පෙනුමකි .නිවේතා මොහොතක් ඔහු දෙස නෙත් නොපියා බලා උන්නාය .

"හරි හරි මැඩම් ඔහොම බලන්න එපා මගේ දිහා .මම ෆ්‍රී කරගන්න හිතනව නෙමෙයි .හොඳට ගෙවන්නම් මේකට "

සරෝජ් හිරිපිටිය හඬනගා හිනැහුනේ එසේ කියමිනි නිවේතා ඉමහත් ලොබින් ඔහුගේ සිනහව දෙස බලා උන්නාය.දීර්ඝ කාලයක් තිස්සේ තමා බලාපොරොත්තු වූ අපූරුම ඒ සිනහව තමා හමුවේ මෙසේ තවමත් දකින්නට ඇත.පසුගිය දශක ගණනාවක් පුරා සිදු වූ සියලුම අඳුරු මතකයන් සියල්ල මතකයෙන් අකා මකා දමන්නට මේ සිනහව ප්‍රමාණවත්ය.

"මං ඔයාගෙ හෙවන් එකට ගියා නේ .ඉතින් එහෙ ගිය වෙලාවේ මම දැක්කා ඔයාගේ ලස්සන පොන්ඩ් එක.සනීප වෙච්ච ගමන් මටත් එයින් එකක් හදලා ඕන මෙහේ ගෙදර .හරිද?" 

සරෝජ් හිරිපිටිය නිවේතාගේ රෝද පුටුවේ ඇඳි දෙකට දෑත තබා ඇයගේ මුහුණට එබී පැවසුවේය .ඔහුගේ සුසුමන් ඇඟට දැනෙන තරමටම ඔහු ළඟ මොහොතේ දී නිවේතා හැකිළී ගියාය.ආදරය ප්‍රේමය හා උණුසුම යනාදී පුද්ගල මනෝභාවයන්ට වයස අදාල නොවන්නේ ඒ හැඟීම් වල ඇති තාරුන්‍යයේ උණුසුම හෙයිනි.දෙකොපුල සෙමින් රත් පැහැයට නැගෙද්දී නිවේතා සිනහා නොමැති වතින් බිම බලා උන්නේ නිරුත්තරය

"මොකද බය වෙලා වගේ ඇකිලෙන්නේ . ම්ම්.."

බිඳකුදු හෝ ඉවත් නොවී ඔවුන් උන්තැන සිටගෙනම සරෝජ් හිරිපිටිය ඇසුවේ ඉතා මෘදු හඬකිනි. නිවේතා මොහොතකට දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ බැලුවාය.ආදරේයැයි අතීතයේ දවසක ප්‍රකාශ කළ දා ඔහුගේ දෑස් බැබලුණේ යම් ආකාරයකට ද අද ද ඒ බැබලීම එසේම විය. හඬ එදා මෙන්ම පෙම්වත් විය. නිවේතා සිය දෑස් ඔහුගෙන් ඔහුගෙන් මුදා ගත නොහැකිව ආසක්ත වී බලා උන්නාය.

නිවේතා සිය අභ්‍යන්තරයෙන් මතුව එන්නාවූ වෙනස ගැන සිතාගන්නට වත් නොහැකි අන්දමින් වික්ෂිප්ත වූවාය. මෙතුවක් කල් තමා ඔහුව ප්‍රතික්ෂේප කල වේගයටම සමානුපාතිකව තමා දැන් ඔහුට ළං වෙමින් සිටින්නීය.එහෙත් එකම දෙයක් සිය සිතතුළ අදටද නොවෙනස්ව තදින් මුල්බැස ඇති බව ඇය දැන උන්නාය.ඒ තමා සරෝජ්හට නොගැලපෙන්නියක් යන්නය. මේ සා හිත දවන හීනමානය තමසිතින් ඉවත්ව නොයන්නේ කුමන පාපයකින්දැයි නිවේතා දැඩි සොවින් සිතුවාය.

එහෙත් සියලු දුක්පිරිපත නිවා සනහන ඒ සිනහව හමුවේ ජීවිතයේ සියලු වේදනා නිවී යන්නට පටන්ගෙනය.සරෝජ්ගේ නිවසේ තමා කෙතරම් කාලයක් තව ගතකළයුතුදැයි තීරණයද ගන්නේ ඔහුම මිස තමා නොවේ. මේ මොහොත වනවිට ඔහුගේ සියලු අනපනත් වලට කීකරුව බලාඉන්නට තමන්හට ඉබේම සිදුව ඇත.එය විටෙක සැනසුමකි.මෙතුවක් කල් නොවිඳි තරමේ තෘප්තිමය හැඟීමකි.

                                                            ***

කාළයත් සමගින් නිවේතා සිය චිකිත්සක ප්‍රතිකාර වලට සෙමින් අනුගත වූවාය. විටෙක හඬා වැටෙමින්ද , තවත් විටෙක ප්‍රතික්ෂේප කරමින්ද, දිරිය සිඳී ගොස් විඩාවෙන් පසුබාමින්ද අධෛර්යමත් වන ඇයම තවත් විටෙක මහා උනන්දුවකින් කැමැත්තෙන් කැපවීමෙන් අදාළ කටයුතු සියල්ලම කළාය.

සරෝජ් හිරිපිටිය හැකි සැම මොහොතකම නිවේතා අසළට පැමිණ ඇයගේ ප්‍රතිකාර කටයුතු විමසා බැලුවේය.මානවී මෙන්ම හසිතද චාමලීද ඇය වටා පවුරක් ලෙසින් නොවැටී සිටින්නට සහය වූහ.

"දැන් ඉතින් ස්ටෙප්ස් තියනවනෙ.ඔය ක්‍රච් එක අයින්කරන්න තමා ඕනෙ."

සරෝජ් හිරිපිටිය පැවසුවේ නිවේතා අත්වාරුවේ ආධාරය සහිතව පියවර ඔසවන අතරේය. නිවේතා මඳකට හිස ඔසවා බලා සිනහසුනාය.

"මොකද තාම බයද?" 

ඔහු ඇසුවේ ඒ සිනහව තුළ සිත අතරමං වන්නට පෙරය. කාන්දමක් සේ හිත අද්දවා තබන්නේ ඒ හසරැල්ලේමය.

"ටිකක්"

කතාබහ සෙමි සෙමින් සාමාන්‍ය තත්වයට පැමිණෙමින් ඇත. ඉඳහිටක දැනෙන කට පැටලුම් ගතිය විනා කතාබහේ ලොකු ගැටළුවක් නොමැති තරම්ය. මතකය සම්බන්ධ සිදුවීම් කිසිවක් ගැටලුසහගත නොවූ හෙයින් කතාව සහ ඒ ආශ්‍රිත දේවල් ගොඩනඟා ගැනීම එතරම් අපහසුවක් නොවීය.

නමුදු මේ වන විට ඇත්තේ හිතේ චකිතයකි.සරෝජ් හිරිපිටිය තමා වෙත මේ සා සමීප වීම කිනම් අරමුණක් උදෙසා ඇත්දැයි තවමත් තමාට සිතා ගත නොහැක.ඉතින් එය කෙසේ නිරවුල් කරගන්නද යන්න සිතේ ඇති ගැටලුවකි.

"ඕක පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊට පස්සෙ ඔය බාර් එක අල්ලගන්නකො.මම දැකල තියෙනවා වෙනදට physiotherapist ආවම ඔයා එයා එක්ක ඇවිදින හැටි.හරි මමත් ඒ වගේ මේ හරියෙන් ඉන්නම්.හිමිහිට එන්නකෝ බලන්න"

සරෝජ් හිරිපිටිය ඊලඟ අභියෝගය කළේ ඒ අවස්ථාවේය. ඇය ඉදිරිපසට අඩියක් තබා බියෙන් මෙන් ඔහුදෙස බැලුවාය.ඔහු තමා වෙත දෝතම පා සිටින්නේ පෙර පුරුදු ළයාන්විත බැල්මෙන්මය.නිවේතා සිත දිරිගෙන අඩියක් දෙකක් පෙරට තැබුවාය. ජීවිතකාලයේ එකම එක පරිච්ඡේදයක තමා හව්හරණක් නොමැතිව වැටෙමින් උන් සමයක දෝත පා තමා නැගිටුවාලූ ඒ දෑතම අදත් තමා වෙතට එකසේම පා ඔහු සිටී. නිවේතා වාරුගෙන ඉදිරියට පා තබා ආවාය. අඩියක්..දෙකක්..තුනක්..

ඉන් පසු ඇය උන්නේ ඔහු දෑතට වාරුවී සිනාසෙමිනි. ඉතින් තමා බිම වැටුණේ පය පැකිලුණේ නැත.

"හපනි" හැමදාමත් අසන්නට කැමැති වූ ප්‍රිය ස්වරයෙන් සරෝජ් පැවසුවේය. සුපුරුදු උණුසුමැති දෑත් වලල්ල ඇය වටා එතී තිබුණේ නිවේතාට කිසිදු අපහසුවක් ඇතිනොකරමිනි.

"චූටි දූ ඇඩ්මිට් කරන්න තියෙන්නෙ ලබන මාසේ නේද නිවී?"

ඇයව මුදාහරිමින් සරෝජ් ඇසුවේය. සරෝජ් හිරිපිටිය තමාට මෙන්ම සිය දියණියට දක්වන මේ සැලකිල්ල නිවේතා වටහාගෙන උන්නේ මානවී ඉතා කුඩා කල සිටමය.

"ඔව් ,මට ආසාවේ බෑ"

නිවේතාගේ ඇස් මාතෲත්වයේ බලාපොරොත්තු වලින් දිදුලන්නට විය.සරෝජ් ඇය දෙස බලාඋන්නේ මේ ගැහැණිය සිය ජීවිතයේ ඒ අභාග්‍යසම්පන්න ඉරණමට ඒ කාලයේ මුහුණ නොදුන්නා නම් ...යන සිතුවිල්ලද ඇතිවය.

"කෝ බලන්න දැන් චූටි බබාව ගෙනාවම අත්තම්මාට පුළුවන් ද බබාව ගන්න කියල"

සරෝජ් සිය අතේ වූ පොත ඇය දෝතේ තබමින් පැවසීය. දකුණත තවමත් නුහුරු වුව වමත මනාව සුහුරුව ඇති හෙයින් නිවේතා පොත දෑතින් බදාගෙන මෙන් අල්ලාගත්තාය. 

"අත තමයි.."නිවේතාගේ මුහුණ බෙරිව ගියේ තවමත් අත හොඳින්ම ක්‍රියානොකරන හෙයිනි.

"නෑ කොහොමත් අත සනීප වෙන්න ටිකක් කල් යනවනෙ.ඩොක්ටර්ස්ලා වගේම ඔයාගේ තෙරපි කරන යාලුවෝ ටිකත් ඒක කිව්වනෙ නේද? කලබල නොවී අපි බලමුකො නිවී" 

සැබවින්ම සරෝජ් හට ඇත්තේ කඩාවැටෙනා සිතක් නිවාලිය හැකි ස්වරයකි.ජීවිතය තමා හට ගෙන ආ ඉරණම තමා විසින් භාරගත යුතුය.මෙතුවක් කල් දෛවය කළ සියලු සරදම් තමා හට ලැබුණේ ජීවිතය අගාධයට හෙළමිනි.නමුත් ඒ කිසිවක් හමුවේ නොසැලුණු ආදරණීය සබඳතා කිහිපයක් තවමත් තමා වටා ඇත.ඒ හයියම තමා හට ජීවිතය ගොඩනගා ගන්නට ප්‍රමාණවත් බව නිවේතා වටහා ගෙන උන්නාය.

කෙතරම් කාර්යබහුල චරිතයක් වුවද සරෝජ් හිරිපිටිය නිවේතා වෙනුවෙන් හැකි පමණින් තම කාලය වෙන්කොට තැබුවේය. ඇය සුවපත් වීම තමන්ගේ වගකීමක් බව ඔහු විශ්වාස කළා බඳුවිය. ඇය සුවපත් වූ පසු තවදුරටත් තමා ඇසුරේ මේ නිවසේ සිටි ද එසේ නැතහොත් කුමන තීරණයක් ගනීවිද යන්න සම්බන්ධව නිතරම සරෝජ් තුළ මහා දෙගිඩියාවක් පැවතුනේය. ඔවුන් දෙදෙනා අතර නිශ්චිත යැයි කිව හැකි සබඳතාවයක් නැති වුවද ඇය තමා සතු ප්‍රේමණීය වස්තුවක් බව ඔහු තම සිතටම සැමවිටම ඒත්තු ගැන්නුවේය.

දේශපාලන ලෝකය කිසිදා සුන්දර එකක් නම් නොවේ. සරෝජ් හිරිපිටිය කෙතරම් ගැටුම්කාරී තත්ත්වවලින් මිදී ඈත්ව සිටියද විවිධාකාර දේශපාලන පක්ෂ අතර සිදුවන ඝට්ටන සමුදායට මැදිවීම අනිකුත් ඇමතිවරුන්ට මෙන්ම ඔහුටද පොදු විය.ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ සරෝජ් හිරිපිටියට ප්‍රධාන අමාත්‍ය ධුරයක් අනිවාර්යෙන්ම ලැබෙනු ඇතැයි පැතිරී ගිය හාහෝව විවිධාකාර පක්ෂ අතර සහ පුද්ගලයන් අතර ගැටුම්කාරී තත්ත්වයන්ගේ කොනකට ඔහුද ඇදෙන්නට හේතුවක් විය.

කියන්නට දෙයක් නොමැති තැන පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය ඇදගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික දේශපාලනයේ පොදු පුරුද්දකි. තමා මෙන් නොව ප්‍රධාන අමාත්‍ය ධූරයට ඇස ගසාගෙන සිටින්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සරෝජ් හිරිපිටියට විරුද්ධව සිය ප්‍රචාර දියත් කරන්නට පටන් ගත්තේ මේ අතරය.

"සර් පොඩි ප්‍රශ්නයක්.ප්‍රශ්නයක් කිව්වට ඇත්තෙන්ම ප්‍රශ්නෙකුත් නෙමෙයි.මේ එක එකාගේ gossip දැන් පැතිරෙන්න පටන් අරගෙන.ඉලෙක්ෂන් එක කිට්ටු වෙනකොට එක කට්ටියක් පුදුමාකාර බයෙන් ඉන්නේ සර්ට මිනිස්ටර් post එක ලැබේවි කියලා."

කාර්යාලයේ සෙනග අඩු මොහොතක සරෝජ් හිරිපිටිය වෙත පැමිණි සංජය පැවසුවේ සිය ජංගම දුරකථනයේ එක් ප්‍රවෘත්තියක් පෙන්වමිනි.සමාජ ජාල ගත පේජයක සරෝජ් හිරිපිටිය සහ නිවේතාගේ සේයාරුවක් අලුත් ප්‍රවෘත්තියක් මවා තිබුණි.

වසර ගණනාවකට පසු කඩවසම් නියෝජ්‍ය ඇමතිවරයාගේ අනියම් බිරිඳ හෙළිවේ. නීත්‍යානුකූල බිරිඳගේ මරණය සැකයකි.   

සරෝජ හිරිපිටියගේ මුහුණේ මස් පිඩු කෝපයෙන් නලියන්නට විය. හිමගිරක් මෙන් නිසල වුවද සරෝජ් කෝපගත්විට හැසිරෙන අන්දම සංජය වුවද දැක ඇත්තේ වරක් හෝ දෙකක් පමණි.එවන් ඉවසීමක් ඇත්තෙක් මෙසේ කෝපගැනීම කොහෙන් කෙළවර වේදැයි සංජයටම සිතාගන්නට අපහසුය.

නොසරුප් වදන් වැලක් මුවගින් පිටවෙද්දී සරෝජ් හිරිපිටිය උන් අසුනද බිමට ඇදවැටෙන සේ පයින් ගසාගෙනම නැගී උන්නේය.

"සර් ප්ලීස්. මේක මම කට්ටිය එහෙමෙහෙ වෙනකල් ඉඳලා සර්ට කියන්න ආවේ ඔන්න ඔය තරහ එන බව දන්න නිසා.අද කාලේ සෝශල් මීඩියාවල පතුරු ගහන සිද්ධි වලට ආයුෂ තියෙන්නෙ සතියක් නැත්නම් දෙකක්.අලුත් එකක් ආවගමන් හැමෝටම ඒක මතක නැතිවෙනවා.ඒ නිසා ටිකක් ඉවසමු සර්"

සංජය අඩියට දෙකට සරෝජ් අසළට පැනගත්තේය.සරෝජ් සිය දබරැඟිල්ල සංජයගේ මුහුණ අසල ලෙලවාලීය.

"අද දවස ඉවර වෙන්නකලින් ඔක්කොම සයිට්ස් වලින් මේක අයින්වෙන්න ඕනෙ හරිද? එතනින් එහාට මේක පස්සෙ ඉන්නෙ කවුද කියන එකත් මමම හොයාගන්නම්"

"හරි හරි මම දැනටත් ඒක හොයන්න සෙට් කරගෙන ඉන්නෙ.සර් කාම්ඩවුන් වෙන්නකො"

සංජයගේ බසින් මඳක් නිවීගිය සරෝජ් යළි අසුනටම ඇදවැටුණේය.

                                                    ***


යළි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 

( විසිරි සිහින)




Sunday, May 22, 2022

19. දහනව වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )




 හසිත වහ වහා ගෙන ආ රෝදපුටුවට නිවේතා මාරුකළේද සරෝජ් විසිනි. සේවකයකු විසින් විවෘත කළ දොරෙන් ඇතුළට රෝදපුටුව තල්ලුකොට ගෙන යන ඔහුගේ අතක උණුසුම සිය උරහිසට දැනෙද්දී ඇසට ගලාඑන කඳුලු වලකාගන්නට නිවේතා අසමත් වූවාය. ඒ කඳුල ඉකියක්ව පිටට නොඑන්නට දරාගනිමින් ඇය නෙතුපියාගෙනම උන්නාය.

" ට්‍රීට්මන්ට් වලට පහසු නිසා මං පහළ තට්ටුවේ කාමරයක් සූදානම් කරන්න කිව්වා. චූටිදුව ගිහින් පොඩ්ඩක් බලන්න ඔක්කොම හරිද කියලා. ඒක හරි නැත්තම් අපි වෙන කාමරයකට ශිෆ්ට් වෙමු"

සරෝජ් පහළමාලයේ කාමරයක් අසළ නැවතෙමින් මානවීට පැවසුවේ ඇසින් නිවේතාද සමගින් ඇතුළට යන ලෙස පෙන්වමිනි.ඇයට සුවපහසුව කෙතෙක් සැලසුවද ඇයගේ රුචිකත්වයට එය ගැලපේදැයි සිතාගන්නට නොහැකි හෙයින් ඊට කාලය දිය යුතුය.

මානවී නිවේතාගේ රෝද පුටුව හසිතට කාමරයට තල්ලු කරගෙන යන්නට ඉඩ දී ඒ පසුපසින් කාමරයට ඇතුළු වූවාය. නිවේතා කාමරය සිසාරා එකම ඇස් බැල්මක් හෙළුවේ තමා කැමති හැමදේම සරෝජ් කෙසේ වටහාගෙන ඇත්දැයි අදහා ගන්නට බැරි තරම් විමතියෙනි.

සරෝජ් සහ තමා අතර කතාබහ සංවාදයන් පැවතුණේ අල්ප කාලයකි.ඒ ගතවූ කාලයේ හෝ තමන් දෙදෙනා අතර සිය රුචි අරුචිකම් සම්බන්ධයෙන් කිසිවක්ම කතබහට ලක්නොවූ බවද නිවේතාට සිහිවිය. මානවී සහ නිලීකා වෙතින් දැනගන්නාවූ යම් යම් කාරණා මිසක සරෝජ් මේ සා තමා ගැන වටහාගන්නට ඉඩක් නොමැත. ඒ පැනයද හිත තබාගෙනම විමතිය මුසු බැල්මෙන් නිවේතා මානවී දෙස බැලුවාය.

"මගෙ දිහා ඔහොම බැලුවාට ඉතින් මට කියන්න දෙයක් නෑ සුදූ. මේවා ඔක්කොම සරෝජ් අංකල්ගෙ වැඩ"

මානවී ඇයගේ වතට එබෙමින් පැවසුවාය.

"ඇයි කාමරේට කැමති නැද්ද ?වෙනස් කරන්න ඕනද ? නැත්නම් වෙන කාමරයක් බලමු" 

සරෝජ් පැමිණ සිටියේ තමා අසලටමය.නිවේතා හිස දෙපසට වනා එය එසේ නොවේ යැයි පැවසුවාය.මීට වඩා සිත නිවාලන තැනක් ඇත්නම් ඒ තම නිවසම පමණි.

"තව ටිකකින් නර්ස් ඒවි. ඒ ආවම චේන්ජ් කරගෙන ඇඳට මාරුවෙමු. චූටි දුව එහෙනම් නර්ස් ආවම කරන්න ඕන දේවල් ටික කියලා දෙන්න.මම උඩ රූම් එකට යනවා.ආ..ඔයාටයි හසිතටයි මෙතන නෙක්ස්ට් රූම් එක ඇරේන්ජ් කරල ඇති.නර්ස් ආවම පොඩ්ඩක් රෙස්ට් කරල ඉන්න"

කාන්තාවන් කාන්තාවන් අතරේ කතාබහ විය හැකි කාරණා සම්බන්ධයෙන් තමා මෙතැන සිටීමම සමහරක් විට අපහසුතාවයකට හේතුවනු ඇතැයි සරෝජ් වටහාගත්තේය. ඉතින් කෙටි වේලාවකට හෝ තමා මෙතැනින් මිදීයාම උචිත බව ඔහුට දැනුණි.

නිවේතා සරෝජ් හැරී යන දෙස බලාඋන්නාය.ළය මත්තේ දැඩිව තදවූ සුසුමක් ඉබේම නිදහස් ව යනු ඇයට දැනුණි.මානවී අම්මාගේ මුහුණ දෙස නිහඬව බලාඋන්නාය.

"අම්මි ජනෙලෙ ගාවට යං.එන්නකො ඔයාට මෙතන සීනරි එක පෙන්වන්න"

මානවී රෝදපුටුවට මඳ තල්ලුවක් දුන්නාය. කාමරයේ ජනේලය විවෘත වූයේ ඈතින් දිලෙනා කුඹුරු යායකටය. නිල්ල නිලන නිල්වන් කුඹුරු යායට මායිම්වන සරෝජ්ගේ ගෙවත්ත සිමෙන්ති වැටකින් මායිම් කොට තිබුණි.සිමෙන්ති වැට දිගටම මල්පුරා ගොස් තිබූ කහ සහ නිල් මල් වැල්‍ රැසකි. නිවේතා පහන්ව යන සිතින් යුතුව එදෙස බලාඋන්නාය.

"ලස්සනයිනේ?"

මානවී ඒ දසුනෙන් වශීවී මෙන් ඇසුවාය.නිවේතාද හිස වනා පිළිතුරු දුන්නේ එය අනුමත කරමිනි. රෝගයක් සුව වන්නට ගතට මෙන්ම සිතටද ඔසු අවශ්‍ය වේ. ගත දුබල වන දා එයට කෙතෙක් ප්‍රතිකාර කළ ද සිත සවිමත් නොවේ නම් ඒ කිසිදු ප්‍රතිකාරයකින් පලක් නොවේ. ඒ කාරණය සරෝජ් මනාව අවබෝධ කරගත් හෙයින් නිවේතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සියල්ල මනාව සංවිධානය කළේ නිලීකාගෙන් සහ මානවී ගෙන් ඇය සම්බන්ධ දේ අසා දැනගෙන ය.

"මේවා...මේවා..?"

නිකිතා කාමරයේ වූ තිර ඇතිරිලි පෙන්වමින් මානවී ගෙන් විමසුවේ ඇයගේ රුචිකත්වය සරෝජ් දැන ගත්තේ කෙසේදැයි ආයාසයෙන් අසන්නට ය .

"ඔයාට ඒවායින් වැඩක් නෑනේ අන්තිමේ කොහොමහරි ඔයා ආස විදිහට ඔක්කොම තියෙනවනේ?" 

මානවී අම්මාගේ කොපුලක් සෙමින් මිරිකමින් පැවසුවාය. 

මෙතුවක් කල් ජීවිතයේ පිටට පෙන්වා තිබූ අකමැත්තට වඩා යටි සිතේ තදවී තිබු කැමැත්ත මතුවී ගෙන එනු නිවේතාට ක්‍රමයෙන් දැනුනි.

 "ඔන්න මම ආවා. අපි වොශ් එකක් දාලා චේන්ජ් කරගෙන ඉමු නේද මැඩම්?"

කාමරයේ දොරට තට්ටු කොට ඇතුළට පැමිණි හෙදිය ඇසුවේ නිවේතාගෙනි. පෞද්ගලික හෙද ආයතනයකින් පැමිණි ඇය සැබැවින්ම ප්‍රියමනාප වූ තරුණියක් වූවාය. නිවේතා මද සිනහවක් පා මානවී දෙස බැලුවාය 

"අම්මි එහෙනම් මේ මිස් එක්ක ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. මම චුට්ටක් එහා කාමරයට ගිහින් රෙස්ට් එකක් ගන්නම්" 

මදක් ඇයගේ මුහුණට පහත් වී කුඩා සිපුමක් කම්මුලෙහි තැබූ මානවී හෙදියට ද සිනහවක් පා කාමරයෙන් පිටවී ගියාය .

"මැඩම් මම චාමලී. අපි එහෙනම් යමු වොශ් එකක් දාලා එන්න"

චාමලී නිවේතාගේ රෝදපුටුව ඉදිරියට තල්ලු කරගෙන යමින් පැවසුවාය. දකුණු අර්ධය තාමත් හරි හරියාකාරව ක්‍රියා කරන්නේ නැති හෙයින් ඇයගේ සහය තමාට ලබා ගන්නට සිදුවෙයි.නමුත් මෙතුවක් කාලයක් ස්වාධීනවම කරගෙන ආ තමන්ගේ සියලු වැඩකටයුතු විශේෂයෙන්ම සෝදා පවිත්‍ර කර ගැනීමේ කටයුතු තවකෙකුහට නිරාවරණය වන්නට සිදුවීමම මහත් අසරණ භාවයකි.ඇසට කදුලක් උණා එද්දි නිවේතා සුසුමකින් එය මගහැරවා ගන්නට තැත්දැරුවා‍ය.

ගත දොවා අලුත් ඇඳුමකට මාරුවීමේදී ද බොහෝ දුරට හෙදියගේ සහාය ලබා ගන්නට නිවේතාට සිදුවිය. 

"මැඩම්ට තෙරපි කරන්නට පටන් ගත්තට පස්සේ ඕව ටික ටික හරි යාවි.ඒ නිසා වැඩිය ඕවා ගැන හිතන්න එපා"

නිවේතාගේ අපහසුතාවය වටහාගත් චාමලි ඇයගේ අතකින් අල්ලාගෙනම පැවසුවාය.දෛනික කටයුතු වලදී තවකෙකු මත යැපීම කෙතරම්ම කෙනෙකුහට අසීරු ද යන්න චාමලී සිය වෘත්තීය අත්දැකීමෙන්ම වටහා ගෙන උන්නාය.නිවේතා බොහෝ අසරණව පිළිතුරු සිනහවක් පෑවාය.

 යළිත් සරෝජ් සහ නිවේතා හමුවූයේ සවස් යාමයේ දී තේමේසයේ දීය.

"පුළුවන් තරං අම්මව කෑම මේසෙටත් එළියටත් එක්ක යන්න ඕන චූටි දුව.ඔයාලා ඉන්න දවසට ඔයාලත් චාමලීට උදව් කරන්න. නැත්නම් එයා කාමරයටම වෙලා ඉන්න බලාවි"

චාමලී නිවේතා කාමරයෙන් තේ මේසය වෙත කැඳවාගෙන එන තෙක් බලා උන් මානවීට සරෝජ් හිරිපිටිය පැහැදිලි කළේ ඒ ආකාරයට ය. හැකිතාක් දුරට සාමාන්‍ය ජීවිතයට අනුගත කළ යුතුය.සමහරවිට එයඒ තරම්ම පහසු දෙයක්ද නොවනු ඇත.

නිවේතාගේ මුහුණට අලුත් එළියක් වැටී ඇති බව මානවී දුටුවේ ඇයගේ වත දුටු ක්ෂණයෙහිමය.ඇතැම් විට එය රෝහලෙන් පිටව විත් ගත දොවා පහසු ආකාරයට සිටින්නට ලැබීම නිසා වන්නට ද ඇත.නමුත් ඊට වඩා අම්මාගේ ඇස් වල අමුතු බැබළීමක් තිබේයැයි මානවීට සිතුනි.

"නිවී, දැන් කලින්ට වඩා ඇඟට පහසු ද?"

සරෝජ් ඇසුවේ ඔහුගේ සුපුරුදු සාමාන්‍ය හඬිනි.නිවේතා නිහඬවම හිස වැනුවාය.

" ඔලුව වනනවාට වඩා නරකද කතා කරන්න උත්සාහ කළා නම් ටිකක්.කොහොමත් ඔයාට speech therapist කෙනෙක් එනවා හෙට ඉඳලා.ඒ කියන දේවල් චාමලී එක්ක හරිවිදිහට කරන්න. අනිත් දේවල් වලටත් අපි therapy පටන් ගන්නවා මේ සතියෙ ඉඳලම"

සරෝජ් පැවසුවේ ඇයගේ වැඩකටයුතු සම්බන්ධව තීරණ ගැනීම වචනයෙන් මෙන්ම ඉරියව්වෙන්ද පෙන්වමිනි. මානවී සියල්ල නිහඬව යටිසිතින් සිනහසෙමින් බලා උන්නාය. 

මේ ටොම් ඇන්ඩ් ජෙරීලා දෙන්නා මෙහෙමවත් එක තැනක ඉන්න එක කොච්චර දෙයක්ද ?අපේ අම්මිගෙ පුස්පාට් දැන්වත් අඩු වෙලා ගියොත් ලොකු දෙයක්.

ඇය යටි සිතින් සිතුවාය.එතුවක් කල් ජීවිතයේ අම්මා තමා වෙනුවෙන්ම සියලුම දැ කැප කළාය. සරෝජ් අංකල් හට අම්මගේ සිත තුළ වූ සෙනෙහස ඇයට කිසිදා රහසක් වූයේ නැත.නමුත් අම්මා සැමවිටම සිය සිතුවිලි සඟවා තබන්නට උත්සාහ ගත්තාය.නමුදු මේ සෙනෙහස සිත ඇතුලේ තබාගෙන ඇය සැමදා දුක් විඳි බව තමා දනී. කෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයක් වුවද මේ සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා යළි එක්කිරීමේ ඉරණම් තීරණයක් නම් එය ඉතසිතින්ම පිළිගන්නා බවට මානවී සිය සිතට ඒත්තු ගැන්වුවාය.


                                                                ***

"තේ බීලා ටිකක් මිදුළට යන්න චූටිදුවයි චාමලීයි එක්ක.චූටි දුව ඔයාල අද මෙහෙ ඉන්නවානේද? දවසක් දෙකක් ඉඳල යන්න.නැත්නම් අම්මාට පාලු හිතෙයි"

සරෝජ් හුනස්නෙන් නැගී සිටිමින් පැවසුවේය. නිවේතාහට සිය නිවෙස සහ ඒ ආශ්‍රිත සියලුම දේ හුරුවන්නට නිදහස දිය යුතුය.තමා සිටිනා විට තවමත් ඇය සිටින්නේ අපහසුතාවයකින් බව ඔහුට වැටහෙයි.එහෙයින් කෙටි වේලාවකට හෝ නිවසෙන් බැහැරව යෑමට සරෝජ් තීරණය කළේ‍ය.

"අනේ අංකල් හෙට මම වැඩට යන්න ඕන. බබී විතරක් මෙහේ තියල ගිහිල්ලත් බැහැනේ.අපි තව ටිකක් හවස් වෙලා යන්නම්.ඊළඟට එන්නේ week end එකනෙ.අපි නවතින්නම බලාගෙන එන්නම්"

නිවේතාගේ සහ සරෝජ්ගේ මුහුණ දෙස මාරුවෙන් මාරුවට බලමින් හසිත පැවසුවේ සමාව අයදින ස්වරයකිනි. නිවේතාගේ මුහුණ මොහොතකට බෙරිව ගියද ඇය ඒ හැඟීම යළි වලකා ගත්තාය.

"අංකල් කොහෙද යන්නෙ?"

මානවී ඇසුවේ නිවේතාගේ සිතතුළ තෙරපෙමින් තිබූ පැනයය.නිවේතාද දැස් දල්වාගෙන ඔහුගේ වත දෙස බලාඋන්නේ පිළිතුර අපේක්ෂාවෙනි.

" මම යාළුවෙක් මුණගැහෙන්න පොඩ්ඩක් ගිහින් එනවා චූටිදුව"

නිවේතාගේ දෑස් මගහරිමින් මානවීට පිළිතුරු දුන් සරෝජ් සමුගැනීමකුදු නොකොට රිය ගෙන්වාගෙන පිටව ගියේය. නිවේතාගේ සිතෙහි සියුම්ම වේදනාවක් ඇහැරෙමින් තිබුණි. ඒ වේදනාවට සමගාමීව නෙත් පුරා පිරුණු කඳුළක් කොපුල් දිගේ ගලා බැස්සේ ය .

"ඇයි අම්මි , අනේ ඇයි ඔයා අඬන්නෙ?" 

මානවී අඩියට දෙකට නිවේතා අසලට ළං වූවාය. අම්මාගේ ඇස් වල ඇත්තේ වේදනාත්මක බැල්මකි. ඇයගේ සිත තුළ පවතින්නාවූ දේ කුමක් දැයි සිතාගන්නට මානවීට නොහැකිය.

"ට..ර.හ වෙ.ල්.ලා"

සරෝජ් ගිය දෙසට වම් අත දිගු කරමින් පැටලෙන ස්වරයෙන් නිවේතා මුමුණද්දී මානවීගේ මුවගට ආවේ මුදු සිනහවකි.හසිතද සිය සිනහව විසිරයායැයි බියෙන් මෙන් වහා ඉවත බලාගත්තේය.

මේ මොහොතේ අම්මාහට කැපෙන්නටම උත්තරයක් දෙන්නට මුව නලියන්නේ වුවද ඇය ඉන්නා තත්වය මත එවැන්නක් කීම නුසුදුසු බව මානවී වටහාගෙන උන්නාය.

"තරහා වෙලා නෙමේ .එයාට ඉතින් වැඩ තියෙනවනේ.අපි ගාවට වෙලාම ඉන්න බැහැනේ.හා හා තේ බීලා ඉවර නම් අපි යන්කෝ මිදුලට.චාමලී ඔයාට පුලුවන් නේද වීල්චෙයා එක ගන්න"

නිවේතාගේ ශෝකාකූල මුහුණ දෙස බලමින් මානවී ඇයගේ අවධානය වෙනස් කරන්නට යෝජනාවක් ගෙන ආවාය. අම්මා කවදත් ගස් කොළන් අතර සැරිසරන්නට ඉතා කැමැතිය. 

චාමලී රෝදපුටුව මිදුලට ගෙන සුදු වැලි ඇතිරූ මාවත දිගේ නිවේතා රැගෙන ගියාය. සුදු පාට වැලි අතුළ මාවත දෙපස කළු පැහැයෙන් කෙටි උසකින් මායිම් තාප්පවලින් සීමාකොට තිබුණි.එම මායිම් ගැටි දෙකට ඔබ්බෙන් වූයේ සිහින් දිග පත් ඇති කොළ පැහැති විසිතුරු ශාක ගොන්නකි.

කාලයක් තිස්සේ උමතුවෙන් මෙන් පැල තවාන් වල ඇවිදිමින් විවිධාකාර විසිතුරු පැල එක් රැස්කිරීම නිවේතාගේ විනෝදාංශයක් විය.උද්‍යාන අලංකරණයේදී ඒ ඒ ස්ථානවලට ගැලපෙන්නා වූ ශාකයන් තෝරා ගැනීමට ඇය ඉතා දස්කම් දැක්වූවාය. සරෝජ්ගේ නිවසේ මිදුලේද උද්‍යාන අලංකරණයට කවුරුන් හෝ පළපුරුදු වෘත්තිකයෙක්ගේ සේවය ලබා ගෙන ඇති බවක් පෙනේ.නඩත්තුවද මනාව පවත්වාගෙන යයි.

සැලකිය යුතු තරම් ඉඩවපසරියක් හිමි සරෝජ්ගේ ගෙමිදුලේ අස්කොන් සියල්ලටම යා හැකිවන සේ සුදු වැලි අතුළ මාවත් සකසා තිබුණි.

"අමුතුවෙන් ජොගින් පාත්වේස් ඕන්නෑ අංකල්ට නම්. මේ වත්තේම ඇවිදින එක මාරම ශෝක්.අනික හිතටත් සනීපයි නේ අම්මි"

මානවී හසිතගේ අතෙහි එල්ලීගෙන ඔවුන් හා සමගාමීව ඇවිදින අතරේ පැවසුවාය.වෙල්‍ යායම පිස හමන්නේ සනීපදායක සුලඟකි. දාහය නම් බිඳක් හෝ ඇත්තේම නැති තරමය. වත්ත කෙළවරකට වන්නට පළතුරු ගස් යායක් වවා ඇත.දේශීය හැම පළතුරක්ම පාහේ එහි ඇතුවා සේය.

මානවී ඉදීගෙන එන්නා වූ ඇඹිල්ල කරල් කිහිපයක් කඩාගෙන සෙමින් සපමින් අවට සිරි නැරඹුවාය. අම්මා සුවවන්නට ඕනෑවටත් වඩා පහසුකම් මෙහි ඇත.ඉතින් හවස් යාමයේ තමා පිටවයෑම සුදුසුමය.

නිවේතා සන්සුන්ව යන සිතින් හාත්පස බලමින් උන්නාය.ඇය සිතතුළ එකින් එක පොදි ගැසෙන්නේ සරෝජ්ට මුහුණ දෙන්නට අපහසු චකිතය විනා අන්කිසිවක් නොවේ.ඔහු සිටින්නේ කිසිවක්ම ගණන් නොගත් ආකාරයටය. එය හිතට දරාගන්නට නොහැක්කකි.බනිනවා නම් දොස් නගනවානම් හිත හදාගන්නට හැක.නමුත් සරෝජ්ගේ දඬුවම් දීම වෙනස්ම ආකාරයක එකක්ය.

 

සරෝජ් යළි පැමිණියේ බොහෝ රෑවීය. ඒවන විට මානවී සහ හසිත නික්ම ගොස් තිබුණි. සේවක මණ්ඩලයේ කිහිප දෙනෙක් මෙන්ම චාමලීද සිටිනා හෙයින් මානවී අම්මාගෙන් සමුගෙන ගියේ සිතේ බරක් නොමැතිවමය.

"මැඩම් රෑට ලයිට් ඩයට් ගන්නෙ කියලා පොඩි මැඩම් කිව්වා.අපි එහෙනම් සුප් එක්ක කෝසස් ගම්මු. කෑම මේසෙට ඇරලා තියෙන්නෙ. යමු නේ"

සවස මිදුලේ ඇවිද ඒමෙන් මඳ වෙහෙසකට පත් නිවේතා සයනයට ඔසවා මෙන් තැබුවේ හසිතය.තවමත් අනතුරෙහි විවිධාකාර සංකූලතා ශරීරයට බලපෑම් ඇතිකරමින් තිබේ.එහෙයින් විවේකය ඉතාම අවශ්‍යය. සරෝජ් එනතුරා බලාඋන්නද චාමලීහට ආ ඇමතුමෙන් අණකෙරුණේ තමන්හට රාත්‍රී අහරගෙන බෙහෙත් බී නිදාගන්නා ලෙසය.කිසිදා නොවූ අන්දමින් තමා ඔහු එන මගක් බලන්නේ මන්දැයි නිවේතාටම ගැටලුවකි.ඇය බෙරිව ගත් වතින් යුතුව ඕනැවට එපාවට මෙන් අහරගත්තාය. චාමලී අතින් ලද බෙහෙත් ටික බී සයනයට වට ඇයගේ නෙතු අතරට නින්ද ලඟාවූයේ ඉතා ඉක්මනිනි.


                                                                ***


යළි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)

Saturday, May 14, 2022

18. දහඅට වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )

 



සරෝජ් හිරිපිටිය නිවේතා සයනයේ පහසු ආකාරයට හිඳවූවේය. වම් අත වහා ඔහු ගෙළවටින් ඉවතට යළි මිදුණද දකුණත එසේමය. නිවේතාගේ මුහුණේ දැඩිව පවත්නා වූ අසරණ භාවය කුමක් හෝ කොතැනක හෝ වරදක් ඇති බව කියාපායි.

"අම්මී..අංකල්ගෙ බෙල්ල මිරිකන්න එහෙම එපා"

කිසිවක් නොදත් මානවී සිනාසෙන්නට වූවාය. හසිත ඇයගේ අතකින් අල්ලා නැවැත්වූයේ සරෝජ් සෙමින් ඇයගේ දකුණත ගෙලින් මුදාහරිනා අයුරු පෙන්වමිනි.

"අත....ම..ගෙ...අ..අත.."

නිවේතා සරෝජ් වෙතින් සෙමින් මුදාහළ දකුණත සිය වමත මත තබාගෙන මිමිණුවාය. ඇයගේ මුහුණෙහි වූයේ අපේක්ෂා භංග වූ කඩා වැටුණු පෙනුමකි.සරෝජ් හිරිපිටිය සිදුව ඇතිදෑ තේරුම් ගනිමින් සිටියේය.සිය වෛද්‍ය මිතුරා කියූ පරිදි නිවේතාගේ ශරීරයේ දකුණු අර්ධය අප්‍රාණික තත්වයකට පත්ව ඇත.එහෙයින් ඇයගේ සාමාන්‍ය පරිදි වම්පස වැඩකළද දකුණු අර්ධය තවමත් අසාමාන්‍ය බවක් ගෙන ඇත.

" ආ කොහොමද ඉතින් ? දැන් හොඳයි නේද ?" 

ස්නායු ශල්‍ය වෛද්‍යවරයා වූ සරෝජ්ගේ මිතුරා කාමරයට ඇතුල් වූයේ ඒ මොහොතේදීය. ඒ මොහොතේ සරෝජ් මදක් මෑත් වූයේ වෛද්‍යවරයාහට ඉඩ දෙමිනි.

"පවුලෙ ඔක්කොම ඉන්න වෙලාවේ ඉතින් අපි ඉස්සරහට කරන්න ඕන දේ ගැන දැනුවත් වෙමු නේද ? නිවේතා ඔයාගෙ ඉස්සරහට අපි කරන්න යන ප්‍රෝග්‍රෑම් එක දැන් සාකච්ඡා කළොත් හොඳයි කියල මම හිතනවා" 

රෝහල් කාමරයේ අසුනකට බරවෙමින් ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පැවසුවේ නිවේතා දෙස එක එල්ලේම බලාගෙනය.සරෝජ් හිරිපිටිය නිවේතාගේ සයනයට යාබද අසුනේ මානවී හිඳුවා එතැනවූ බිත්තියට පිටදී සිටගත්තේ අමතර පුටුවක් රැගෙන එන්නට සූදානම් වූ හෙදියද අතින් වලකාලමිනි.

"ඔයාගේ මොලයට අභ්‍යන්තර ලේ ගැල්මක් සිදුවෙලා තියනවා.ඒක ඇත්තෙන්ම එදා ඔයා ලිස්සලා බිම වැටීමම හේතුවෙන් වුණ දෙයක් නෙවෙයි.ඔයා මෑත කාළයේ බෙහෙත් අරන් තියෙන්නේ නොසැලකිලිමත්ව. ඒ නිසා මේ වැටීම එක්කම අභ්‍යන්තරව ඇතිවෙලා තිබුණ තත්වයක් එකවරම මෙහෙම වෙලා තියෙන්නෙ.."

නිවේතා සරෝජ්ගේ මුහුණ දෙස වරක් බලා ඉවතම බලාගත්තාය. 

"පණ්ඩිත කම ඉහවහා ගිහින්නේ බං උන්නෙ.උඹෙ ගාව නැද්ද ඒකට බෙහෙත්"

සරෝජ් ඉවත බලාගෙනම දත් ඇඳි තදකොට ගනිමින් පැවසීය.

"සරෝජ්, මම උඹට කිව්වා කලිනුත්, මේක පාර්ලිමේන්තුව නෙවෙයි උඹට ගොරවන්න"

වෛද්‍යවරයා තරවටු හඬකින් පැවසූවේ නිවේතාගේ හැඬුම්බර මුහුණ දෙස බලමිනි.මානවී අම්මාගේ අතක් ද අල්ලාගෙන ඇයව සෙමින් පිරිමදින්නට වූවාය. සරෝජ් නිහඬවම කාමරයේ ඒ මේ අත ඇවිද්දේය.

"ඉඳගනින්..මේ දේවල් කෙරෙන්න ඕන විදිය අහගනින්.පස්ස කැඩිච්ච කඩියා වගෙ එහෙමෙහෙ ඇවිදින්න ගත්තා ඒ ගමන."

රෝහල් සහායකයෙකු ලවා ගෙන්වාගත් පුටුව වෙතට අතදිගු කරමින් වෛද්‍ය මිතුරා පැවසීය.සරෝජ් මුවින් නොබැනම අසුනට බරවූවේය.

"බ්‍රේන් ඉෂූ එක දැන් සෙට්ල්.ඒ වුණාට නංගි බ්‍රේන් සෙල්ස් වලට ඩැමේජ් වුණාම ඒවායෙන් පාලනය වන ශරීර ක්‍රියාකාරකම් අඩපණ වෙනවා.ඔයාගේ දකුණු අතයි කකුලයි දැනට නියමාකාරයෙන් වැඩ නොකරන්නෙ ඒකයි.කතාබහේ අඩුවක් දැනෙන්නෙ ඒකයි."

නිවේතා ඇස්වලින් ගලායන කඳුල දරාගනිමින් නිහඬව අසා උන්නාය.මානවී ඇයගේ කඳුලක් ටිෂූ කොළයකින් පිස ලා හිස අතගෑවාය.

"මෙයාගේ අත්වල අවුලක් නෑනෙ බං.මගෙ බෙල්ලත් මිරිකලා වගෙ ඇල්ලුවේ හයියට"

සරෝජ්ගේ එබසට හසිතටද සිනහ පහළවිය.වෛද්‍යවරයා ද සිනහව වලකාගත්තේ ආයාසයෙනි.

"ඒක ඇල්ලීමක් නෙවෙයි සරෝජ්. ක්ෂණිකව ආව ගැස්මක් වගෙ එකක්.මෙයාගේ දකුණු පැත්තේ චලන තාම කන්ට්‍රෝල් නෑ."

ඔහු පැහැදිලි කළේය.

"අපි බෙහෙත් එක්කම ට්‍රීට්මන්ට් පටන් ගම්මු.සරෝජ් ,උඹ එතකොට කියන්නේ නිවේතාව දැන් ගෙදර එක්ක යනවා කියලද?"

නිවේතා මානවී දෙස බැලුවේ මේ පවසන්නාවූ කාරණය තේරුම්ගත නොහැකිවය.

"ඔව් , මෙයාව අද ඩිස්චාජ් කරනවා කියල කිව්වනෙ.මම මෙයාව මගෙ ගෙදරට එක්ක යනවා"

සරෝජ් හිරිපිටිය නිවේතා දෙස එක එල්ලේම බලා සිට පැවසීය.

"අනේ"

නිවේතා මානවී දෙස ආයාචනාත්මකව බැලුවාය.ප්‍රතික්ෂේප කරන්නට හෝ තමාගේ වදන් වාරු නොවන සඳ මානවී තමාහට හයියක් වනු ඇතැයි ඇය සිතුවාය.

"අම්මි, මේ අහන්නකො.දැන් බබීට මේ ටිකේ ප්‍රෙෂරුත් අප් වුණානෙ.මේ දේවල් එක්ක එයාට අමාරුයි කියල අම්මි දන්නවනෙ.අංකල් ඔක්කොම එහේ සූදානම් කරල තියෙන්නෙ.නර්ස් කෙනෙක් එහෙමත් ෆුල්ටයිම් අරගෙන ඉන්නෙ.ඒ නිසා අපි එහේ ඉඳන් ට්‍රීට්මන්ට් කරමු අම්මි"

හසිත පැවසුවේ නිවේතාගේ මුහුණ නොසන්සුන් බවින් පිරී යද්දීය.

"ඔච්චර එක්ස්ප්ලේන් කරන්න දෙයක් නෑ පුතා. මොකද මෙයා තනියම ඉඳලා ඔය කරගත්තු හරිය මදිද? ආයෙ ඕන්නම් ෆුල් රිකවර් වෙලා එයාගේ හෙවන් එකට යන්න පුලුවන් නෙ."

සරෝජ් පැවසුවේ නිවේතා දෙස නොබලාමය.එහෙත් ඔහුගේ හඬෙහි වූයේ සියලු ආධිපත්‍යයන් දැන් තමා සතුව ඇතැයි යන්නාවූ අදහසකි.

නිවේතා නිහඬව බිම බලා උන්නාය.තමන් කෙතෙක් දැන් අසරණද යන කාරණය මත තමාහට සරෝජ්ට එරෙහිවන්නට දැන් කිසිදු බලයක් නැත. වන්නාට වෙන දෙයක් වුණාවේ යන අදහස අවසානයේ සිතෙහි ඇතිව නිවේතා සුසුමක් හෙළා වෛද්‍යවරයා සමග කාමරයෙන් පිටව යන සරෝජ් දෙස බලා උන්නේය.කාමරයෙන් පිටව යන්නට මොහොතකට පෙරද සරෝජ් හිරිපිටියගේ ඇස් බැල්ම නිවේතාගේ දෑසේ මොහොතකට වෙළී පැවතුණි.

                                                            ***

රෝහලෙන් බැහැරව යන අවසාන මොහොත දක්වාම නිවේතා මානවී සහ හසිතගේ මුහුණු දෙස ආයාචනාත්මක බැල්මෙන් බලමින් සරෝජ්ගේ තීරණයට එරෙහි වන්නට රුකුලක් සෙව්වද ඔවුන් දෙදෙනාම ඒ සම්බන්ධව රැක්කේ මුනිවතම පමණි. මේ සිදුවන්නට යන්නේ සිදුවිය යුතු හොඳම දේ බව නිවේතා හැර අන් සියල්ලන්ම වටහාගෙන සිටියාසේය.අනෙක් අතට විශේෂඥ වෛද්‍යවරයා පවා අනුමත කළේ ඒ තීරණයමය.

"මේ වෙලාවේ ඔයා ඉන්න ඕනෙ ඔයා ගැන හොයන්න බලන්න හැකිකමක් තියන ඒ වගේම ඔයාට අවශ්‍ය ප්‍රතිකාර නොඅඩුවම ලබාදෙන තැනක නංගි. මම පිළිගන්නවා හොඳම තැන තමන්ගේ දුව ලඟ බව.නමුත් මේ වෙලාවෙ එයත් ඉන්නෙ තව ජීවිතයක් කුස දරාගෙනනෙ.ඉතින් පොඩිම මිස්ටේක් එකක් ඇති එයාට අපහසුවක් , කරදරයක් වෙන්න.ඒ නිසා අපි හොඳම තැනට යමු. මට වුණත් එක කෝල් එකකින් එන්න පුළුවන් තැනනෙ.අනික ඉතින් නියෝජ්‍ය ඇමති කෙනෙක්ගෙන් මට හිතේ හැටියට ගාස්තුව වුණත් අය කරගන්න පුළුවන් නෙ."

ඔහු සිනාසෙමින් පැවසුවේ සරෝජ් රැවුම් බැල්මක් පාකොට සිටිනා මොහොතේය.

"ඔව් ඔව් උඹට අතදිගෑරලා ගෙවන්න මම සැදී පැහැදී ඉන්නෙ මේ.යකෝ උඹ ඉගන ගන්න කාලේ... නෑ එක්කො ඕනනෑ...ඒවා කිව්වොත් උඹෙ විතරක් නෙවෙයි මගෙත් පටිරෝල්..ඉතින් ඒවට හරියන්න මෙහෙම ඒවා නිකම් කරල දීපන්"

සරෝජ් කියවෙන්නට ගිය කාරණා යළි ගිලගනිමින් පැවසුවේය. කොල්ලන්ගේ කොලුකාලය ගැන ඉතින් අටුවාටීකා කුමටදැයි සිතමින් මානවීද සිනහවතින් බලා උන්නාය. නිවේතා බිමටම හැරවුණ නෙතින් යුතුව බලා උන්නාය.

"හැබැයි එකක්, උඹ මෙයාට ඕනවට වඩා උදව්පදව් නම් නොකළට කමක් නෑ.ඒ මනුස්සයට තමන්ගේ අතපය වැඩකරගන්න දීලා හිටපන්.නැත්නම් ඇවිදින්න හදන කොටත් එපා එපා කියල උස්සන් යන්න යයි.මම නොදන්න පුතයානෙ."

වෛද්‍ය මිතුරා යළිත් හඬ අවදිකළේ සිනාසෙමිනි. 

"මම නර්ස්ව ගයිඩ් කරන්නම්. ආයෙ නංගිට අවශ්‍ය තෙරපි ඔක්කොම අපි මැනේජ් කරමු හෝම්විසිට් වලින්.මාසෙකට වතාවක් අපි ඉම්පෲමන්ට්ස් බලමු.ඩෝන්ට් වොරි.එහෙනම් ගුඩ්ලක් නංගි."

ඔහු සමුගෙන ගිය පසු මානවී අම්මාගේ සයනය අසලට වූයේ ඇයගේ සහයටය.

"චූටි දුව එහාට වෙන්න.ඔයාට පරෙස්සම් වෙන්න කියල දැන් ඩොක්ටර් කිව්වත්නෙ.මම හෙල්ප් කරන්නම්"

සරෝජ් නිවේතාගේ දකුණු පසින් සිටගත්තේ ඇයට සිටගන්නට වාරුවක් සලසමිනි.හිතට දැනෙන්නාවූ දැඩි අපහසුතාවය මැඩගනිමින් නිවේතා ඇඳෙන් බිමට වම්පය තැබුවේ සම්පූර්ණ දකුණුපස බර සරෝජ්ගේ සිරුරට දෙමිනි. දැඩි ඉවසීමකින් යුතුව නිවේතා රෝදපුටුවක අසුන් ගැන්වූ සරෝජ් ඇයගේ අප්‍රාණික දකුණු පාදයද රෝද පුටුවේ පා රඳවනයේ තබා සැකසීය. සරෝජ් මඳක් පහළට නැමී සිය දකුණු පාදය සකසාලන විට නිවේතාට ඉකිගසා හැඬුණි. තමා විසින් දැඩිසේ ප්‍රතික්ෂේප කළ ඔහු මෙසේ අද තම දෙපා ලඟද නැවී සිටින්නේ ඔහුගේම මහත්මා ගුණය නිසා නොවේද?

"මදිද ඔය ඇඬුවා?"

සරෝජ් හිරිපිටිය එපමණක්ම අසා නැගී පසෙකට විය. රෝහල් සහායකයෙකු රෝදපුටුව රැගෙන පෙරට යන අතරේ සරෝජ් දුරකතන ඇමතුමක් දී සිය රථය පිවිසුම් දොරවෙත රැගෙන එන සේ පැවසීය.

 

නිවේතා සරෝජ්ගේ රියෙහි පසුපස අසුනේ මානවී අසළින් හිඳුවනු ලැබුවාය. සරෝජ් ඉදිරිපස අසුනට බරවෙමින් රථය වෙත ආ හසිත ඇමතුවේය.

"එහෙනම් හසිත ඔක්කොම හරිනෙ. බඩුටික අරගොල්ලො දැම්මනෙ ඔක්කොම. ඔහොම්ම ඔයත් එන්න අපේ පස්සෙන්ම."

එයට එකඟතාවය හිස වනා පළකල හසිත සිය රථය වෙත ගොස් එය පණගන්වාගෙන සරෝජ්ගේ රිය පසුපසින් ධාවනය කළේය. කොළඹට තදාසන්න ප්‍රදේශයක වුවද සරෝජ් සිය නිවහන තනා තිබුණේ සැලකිය යුතු මට්ටමේ ඉඩකඩක් ඇති බිමකය. ජීවිතයම ගිනිගහන කොන්ක්‍රීට් වනාන්තරයක ගෙවද්දී දවසේ අවසාන භාගය හෝ ගිමන් නිවාලන්නට උචිත අන්දමේ ඉසව්වක් ඔහු සකසා ගත්තේ සුභාෂිණී සමග විවාපත් වූ ආසන්න කාලයේමය.

මගදෙපස පසුපසට ඇදී යන ගස්වැල් දෙස අරමුණක් නැති බැල්මෙන් බලාඉන්නා නිවේතා සිය ඇස් කොණට හසුකරගනිමින් සරෝජ් මානවී සමගින් කතාබහේ යෙදුණේ අඩක් අසුනේ පසුපසට හැරීගෙනය. නිවේතාට අනවශ්‍ය අන්දමේ අවධානයක් දීම ඇය අපහසුතාවයට පත් කරන්නක් බව ඔහු දැන උන්නේය.නමුත් මේ ඇයගේ ජීවන ක්‍රමය ක්‍රමානුකූලව හෝ වෙනස් කළ යුතුය. නැතහොත් ඇය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉතා අසීරු වනු ඇත.

නිවේතාගේ මුහුණේ වූයේ දැඩි වෙහෙසකාරී බැල්මකි. සිදු වූ අනතුර ද ඇය පාත්‍ර වූ ශල්‍යකර්මය ද ඉන්පසු දිගින් දිගටම ඇයට ලබා දුන්නා වූ ඖෂධ ද සුපුරුදු පරිසරයෙන් ඈත් වී සිටීම ද මේ තත්ත්වයට හේතු වන්නට ඇත. දින කිහිපයක් හෝ ගත වී ඇය සාමාන්‍ය තත්ත්වයට පැමිණ නව ප්‍රතිකාර සඳහා සකස් කර ගතයුතු ව ඇත.

නිවේතාගේ මුහුණේ එක් පසක් ඇදීගොස් ඇතුවා සේය. ඇයගේ කතාබහ පැටලුම් සහිතය. ඇය වෙනුවෙන් භාෂා සහ කථන චිකිත්සාව ඇරඹීමටද රෝහලෙන් සියලු පහසුකම් සලසා දුන්නේය.

"ලෙඩාට වඩා ඔයාලට හුඟක් ඉවසන්න වේවි. මොකද මේ එයාගේ ජීවිතේ වෙනස්වෙච්ච කාලයක් එයාට මේක දරාගන්න අමාරුයි .අනික ස්ටාර්ට් එකේදි එන මානසික අසමතුලිතතාවය නිසා එයා හේතුවක් නැතුවම අඬන්න තරහගන්න කලබල වෙන්න පුලුවන් .අන්න එතනදි ඕගොල්ලන් ඔක්කොම හොඳ අවබෝධයකින් ඉන්න ඕනෙ"

සිය මිතුරු විශේෂඥ වෛද්‍යවරයා පැවසූ කාරණය සරෝජ් යළි යළිත් සිහිපත් කළේය. ඉතින් ඉවසීම කෙතෙක් නැති වුවද තමා තවදුරටත් ඉවසිය යුතුය. මින් ඉදිරියටත් නිවේතා දැඩි ලෙස හිතුවක්කාරකම් පාන බව ඔහු දැන උන්නේය.මේ වතාවේදී ඇය එසේ වන්නේ රෝග ලක්ෂණ හේතුවෙන් වන හෙයින් ඇය සුව වන වන තුරු ඒ සියල්ල ඉවසා දරාගන්නට සිදුවෙයි.

 

සේවකයෙකු විසින් විවෘත කළ ගේට්ටුව තුළින් සරෝජ් හිරිපිටියගේ රිය ගෙවත්තට ඇතුල් වන විට නිවේතා දෑස් දල්වා වටපිට බලන්නට වූවාය.

"කොච්චරක් බෑයි කිව්වාත් ඔයා මෙතෙන්ට කැමති වෙන බව මම දන්නවා සුද්දි" 

යාන්තමින් පෙනෙන නිවේතාගේ මුහුණේ ක්ෂණයකින් ඇති වූ කලඑලිය දැක සරෝජ්ගේ සිතෙහි ඇතිවූයේ කියා නිම කළ නොහැකි සතුටකි. සරෝජ් හිරිපිටියගේ මේ නිවහන ඔහුගේ බොහෝ මිතුරන් ගේ සිට දේශපාලනඥයන්ගේ පවා පැසසුමට ලක් වූ ආකර්ෂණීය නිවසක් විය.සොබාධර්මයේ කිසිදු ඉසව්වකට හානියක් නොවන සේ පිහිටි පොළොවේ උස්මිටිතැන් එලෙසින්ම පවතින ලෙස පිහිටි ගහකොළ පවා අවමයෙන් ඉවත්කොට සැකසූ ඒ නිවහන දෛවය මේ ලෙසින් කුරිරු නොවූයේ නම් නෙවේතාගේ මයි හෙවන් වන්නට බොහෝ දුරට ඉඩ තිබුණි.

"එන්න"

කල්පනා ලෝකයේ තවදුරටත් ගැලී සිටි නිවේතා තිගැස්සීමෙන් සරෝජ්ගේ හඬින් හිස ඔසවා බැලුවාය. තමන් වෙතට දෝත පා කිසිදු වෙනසක් නැති බැල්මෙන් බලා සිටිනා ඔහු වත දෙස නිවේතා බලාඋන්නේ නිනව් නැති අන්දමිනි.

                                                                           ***

යළි හමුවෙමු 
කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)

Saturday, May 7, 2022

17. දහහත් වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )





 සුභාෂිණීගේ ජංගම දුරකථනයේ වට්ස් ඇප් ගිණුමේ කෙටි පණිවිඩ තීරුවට තිසර රණබාහු විසින් එවා තිබූ බෙහෙත් තුන්ඩුව ද සුභාෂීණීගේ බෑග් එතුළ වූ බෙහෙත් ද එකින් එක ගැලපුණි. තිසර රණබාහු සහ සුභාෂිණී අතර අතීත සැබැඳියාව කෙසේ වුවද සුභාෂීණී මේ මොහොතේ දී ක්‍රියා කරන්නට ඇත්තේ සද්භාවයෙන් පමණක් බව සරෝජ් විශ්වාස කළේය.ඒ තරම්ම අවබෝධයක් ඔවුන් අතර වසර ගණනාවක් තිස්සේ පැවතුන හෙයිනි. සුභාෂිණී තමාහට වංචාවක් කරනු ඇතැයි සරෝජ් පිලිගත්තේම නැත.කෙසේවතුදු යළිත් වතාවක් තමන් හුදකලා වූයේ දෛවයේ ඉරණම ලියවුණ ආකාරයටමය.

සුභාෂීණීගේ නික්ම යෑම ද සමගින් සරෝජ් හිරිපිටිය යළිත් වතාවක් සිය හුදකලා ජීවිතයට අනුගත වන්නට විය. තාත්තා සහ අම්මා ළඟ ළඟ වසරවලදී මියගිය අතර ,අක්කා දේවක සමගින් විදෙස්ගත වූ හෙයින් සරෝජ් හිරිපිටිය සිය නිවස්නයේ හුදෙකලා වූයේ සුභාෂිණී ඉතිරි කර ගිය මතක සමගිනි.

සිරිදාස සමගින් හුදකලා නිවස්නයේ ජීවිතය ඔහේ ගතවී ගිය ද සරෝජ් හිරිපිටිය සිය ජීවිතයට කිසිදිනක වෛර කලේ නැත. කාලයක් ගත වී යත්ම සරෝජ් හිරිපිටිය අනාවරණය කරගත්තේ තිසර රණබාහු පිළිකා රෝගයකින් දැඩි ලෙස රෝගාතුර වී කාලයක් තිස්සේ ලෝකයට හොරෙන් සැඟව සිටි බවය.එහෙත් ජීවිතයේ අවසාන දින කිහිපයේදී ඔහු සුභාෂිණී හමුවීමට සිතේ වූ කැමැත්ත තව දුරටත් සඟවා ගත නොහී ඇයට ඇමතුමක් දී තිබේ.එහිදී ඔහුගේ මරණය අවසාන වතාවට තවදුරටත් කල් දමා ගැනීමට අවශ්‍ය වූ බෙහෙත් වර්ග කිහිපයක් ගැන සුභාෂිණීට හෙදියක හරහා දැන්වීමත් සමගම කලබල වූ ඇය බෙහෙත් ටික අදාල ඖෂධාගාරයෙන් රැගෙන කලබලයෙන් ඔහුවෙත රෝහලට යන්නට ගිය මොහොතේ එම අනතුර සිදුව ඇත. වසර ගනනාවක් ආදරය කල ඒ පුද්ගලයා පිළිබඳ මතකය සුභාෂිණීහට වද දෙන්නට ඇතැයි සරෝජ් ඒ මොහොතේදී සිතුණි .ප්‍රේමය ජීවිතයට සතුට ගෙනඑන්නට අසමත් වූයේ මන්දැයි ඔහු කල්පනා කලේ තිසර රණබාහු සහ සුභාෂිණී ගැනද තමා ගැනද උපන් වේදනාවෙනි.

කලකට පෙර තමා දැවූ මතකය සහ වේදනාවන් සුසුමකට හරවා නිවේතාගේ සටහන් පොතේ ඇය ලියා තැබූ කරුණු කාරණා යළිත් කියවන්නට සරෝජ් සිය කාමරයේ මේසය අසල පුටුවට බරවගත්තේය.

 

(නිවේතාගේ තුන්වැනි පොතෙහි සටහන්)

සුභාෂිණීගේ අකල් මරණය මා කම්පනය කළේ දරාගන්නට අපහසු තරමේ වේදනාවක් උදාකරමිනි. සරෝජ් අයියාගේ ජීවිතය සතුටින් තබන්නට සමත්වූ ඒ සොඳුරු ගැහැණිය එසේ දෛවයේ රුදු ඉරණමට ලක්වීම කෙතෙක් අසාධාරණද ? මා සිත දවන්නාවූ ශෝකය පවා සරෝජ් වෙත මට දන්වාලන්නට නොහැකි වීම මා ලද අනෙක් දඬුවමයි.

මා එසේ මාගේ ශෝකය ප්‍රකාශ කරන්නට ගියා නම් ඔහු එය වරදවා වටහාගනු ඇතැයි මම සත්තකින්ම බියවීමි. මෙතුවක් කල් වදනකුදු නොදොඩා උන් මා ගැන ඔහු සිත තුළ ඇතිව ඇත්තේ කුමන හැඟීමක්දැයි ඉතින් මම අදටද නොදනිමි.

සියල්ල ගතව කලක් ගෙවුණ පසු මානවී සහ හසිතගේ විවාහය වෙනුවෙන් යළි ශ්‍රීලංකාවට යන්නට මමද නිලීකා සමග සූදානම් වුණෙමි.ඔස්ට්‍රේලියාවට පැමිණ ගතව ගිය දිගු කාලයේදී මා යළි ලංකාවට ගියේම නැත.තාත්තා ගේ මරණයට පවා මට යන්නට සිත්දුන්නේද නැත.

මානවී සහ හසිතගේ විවාහය ශ්‍රීලාංකික අන්දමට සිදුකරන්නට ඔවුන්හට දැඩි ආශාවක් තිබූ හෙයින් ඒ සඳහා සියල්ල ලහිලහියේ සූදානම් කරනු ලැබීය.

"අම්මි, හසීගෙ පැත්තෙන් සයින් කරන්නෙ එයාලගෙ ලොකු මාමා."

මානවී කතාබහ අතරමග නවතා මදෙස බැලුවේ දඟහිනාවකිනි. කුමක් හෝ ඇට්ටර කමක් කරන්නට ගිය විට ඇයගේ මුහුණේ මතුවන ඒ හිනාව මම හොඳින්ම හඳුනාගෙන උන් හෙයින් විමසුම් දෑසින් මම ඇය වෙත දෑස් පෑවෙමි.

"මැඩම්....මගෙ සයිඩ් එකෙන් ඉතින් සරෝජ් අංකල් තමා සයින් කරන්නෙ.යූ කාන්ට් සේ නෝ..ඕකේ?" 

මානවී මගේ කොපුල් දෑතින් බදා සිපගනිමින් පැවසුවාය. ඇයගේ සහ සරෝජ්ගේ අතර මානවී ඉතා බිළිඳු වියෙහි පටන් නොනැසී පැවතුණු ඒ ආදරය සහ බැඳීම ඇය ඔස්ට්‍රේලියාවට ආ පසුද නොනැවතුණ බව මම දැන උන්නෙමි. ඇයට සිය ලේ බැම්මක් නැතද බෙහෙවින්ම ආදරය කළ සරෝජ් තරමටම ඒ කර්තව්‍යයට සුදුසු අන් අයෙක් මටද සිතාගන්නට නොහැක.නමුත් මා හට තිබූ එකම පැණය මා කෙලෙසක ඔහුට මුහුණ දෙන්නද යන කාරණය විනා අන්කිසිවක්ම නොවේ.

සුභාෂිණී ජීවතුන් අතර උන්නේ නම් ඇයද ඔහු සමගින් මානවීගේ විවාහයට එනු ඇත. එසේනම් මට මගේ සිත අභ්‍යන්තරය වාවාගෙන සිනාවතින් පෙරසේම ඉන්නට තිබුණි.නමුත් දැන් ඔහු එන්නේ තනිවමය.මට ඇත්තේ ඔහුට මුහුණ දෙන්නට නොහැකි චකිතයකි.කිසිදු වරදක් නොකළද මට මහා වරදකාරී හැඟීමක් ඇතිවෙමින් තිබුණි.

 

මානවීගේ විවාහය දා නිවේතා තමන්ගෙන් සැඟව උන් ආකාරය සරෝජ් හිරිපිටියට ඒ මොහොතේ සිහිවිය. පෙර දිනක නිලීකාගේ නිවසේදී හමුවන විටද ඇය පැකිළ පැකිළ උන්නේද ඔන්න ඔය ආකාරයටමය. රිදෙන තැන් බලා පහරදීම තමන්ගේ සිරිතක් නොවූවද ඒ මොහොතේ තමා ක්‍රියාකළේ පාසල් සමයේ පෙම්වතිය හා උරණ වූ දඟ කොල්ලකු සේම නොවේදැයි සරෝජ් හට සිතුණි.

තමන්ගෙන් මුවා වෙමින් සිටිනා නිවේතා වෙත සෘජුවම ගොස් කතාකරන්නට එදා තමන්හට සිත්වූයේ ඒ හිතුවක්කාරකම නිසාමය.

"කෝ හස්බන්ඩ්. කවුද මේ නම ...ම්..ම්...ආ..ඇලෙක්ස් නේද ?"

කට කොණකට නැගුණ සමච්චල් සිනහවෙන්ම තමා ඇසූ ආකාරයත් එයට මුනිවත රැකි නිවේතා තමා මඟහැර යා නොහී බිම බලා උන් බවත් ඔහුට සිහිවිය.

"තමුන් සෙල්ලම් කළේ ජීවිත කීයක් එක්කද කියලා මතකද නිවේතා? තමුන්ට ඒක අමතක උනාට මට ඒක අමතක වෙන්නෙ නෑ තේරුණාද? මම කවුද දන්නවනෙ...සරෝජ්...සරෝජ් හිරිපිටිය කියන්නෙ මට. අපි බලමුකො" 

බිම බලා සිටිනා නිවේතාගේ හිස මතට අතැඟිල්ලෙන් තට්ටුවක් දමා තමන් එදා කළ අභියෝගය ඇය කෙලෙස බාරගත්තාද යන්න තමා නොදැන උන්නද නිවේතා ඒ ගැන අනිවාර්යයෙන් මෙේ පොතෙහි ලියා තබන්නට ඇත.

 

(නිවේතාගේ සටහන්)

සරෝජ් අයියා මානවීගේ විවාහ උත්සවය අතරේ මා කොටුකරගත්තේ පළා යා නොහැකි අන්දමට හුදෙකලා වූ තැනකදීය. පටු කොරිඩෝරයේ කිසිවෙක් නොඑනා තැනක මම බිම බලාගෙන නිරුත්තරව උන්නෙමි.

ඔහුගේ මුවින් පිටව ගත් එවදන් මා හට තර්ජනයක් දෝ කියා සිතාගන්නට නොහැකි තරමට තද එකක් විය.ඔහු මා සමග තරහක් , කෝපයක්, වෛරයක් ඇතිකරගෙන සිටිනු ඇතැයි මම කිසිවිටෙකත් නොසිතුවෙමි.එහෙත් අවසානම ලෙස "අපි බලමුකො" යැයි ඔහු මහිසට තට්ටුවක් දමමින් කියනාවිට මට දැනුණේ මේ ඔහු විසින් මට අභියෝගයක් කරනවා සේමය.

ඉතින් එතැන් පටන්ම මා යළිත් ඔහුගෙන් සැඟවෙන්නට පටන් ගතිමි.ඔහු යන එන සියලුම තැන්වලින් මගහැරීමට සිතාමතාම තීරණය කළෙමි.මගේ ඒ සියලු ඇවතුම් පැවතුම් විටෙක දකින්නාට මහා විහිළුවක් වන බව මා නොදැන උන්නා නොවේ.නමුත් ඒ සම්බන්ධයෙන් මට ගන්නට කිසිදු වෙනත් පියවරක් මා හමුවේ දී නොතිබුණි.

විවාහ මංගල්‍යයෙන් පසු මානවී හසිතගේ නිවසේ පදිංචියට ගියාය.මා ද එහි කැඳවා ගැනීමට ඔවුන් දෙදෙනා මෙන්ම හසිතගේ දෙමව්පියන්ද මහත් වෙර වීරිය දැරුවද මම එයට අකැමැතිවීමි.මා හට කවදත් අවශ්‍ය වූයේ නිදහසය. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණීමට පෙර සිටම මම මගේ කුඩා පෞද්ගලික නිවහන ගොඩනැගීමට පියවර ගනිමින් සිටියෙමි.එහි වැඩ කටයුතු අවසන් වන තුරු මා නැවතුනේ කුලී පදනමට ගත් කුඩා අපාර්ට්මන්ට් එකකය. නිලීකාගේ අම්මා සහ තාත්තා ඔස්ට්‍රේලියාවට ගියේද මේ වකවානුවේ හෙයින් ඔවුන්ගේ සියලු ඉඩකඩම්ද විකුණා දමා තිබුණි. ඒ අතර වූ මා ඉතා කැමැත්තෙන් සිටි කුඩා බිම් කඩක් මා මිලදී ගත්තේ රත්නායක මාමාගේ බලවත් අකමැත්ත මතය. 

"අපි පිට මිනිස්සු ද අපිට සල්ලි දීලා ඉඩම් ගන්න හදන්නේ"

ඒ දෝෂාරෝපණය සිනහවකින් ඉවසා ගත්තද ඔවුන් මා වෙනුවෙන් කරන ලද සියලුම දේ ප්‍රමාණයටත් වඩා හෙයින් තවදුරටත් ඔවුන් හට බරක් වීමට මට කිසිම අවශ්‍යතාවයක් නොවීය.

"My Heaven" හි වැඩ සියල්ල අවසන් වී මම එහි ගෙවැදුණේ ජීවිතයේ ඉතිරි කාලය හුදකලාවේ මුත් සැනසීමෙන් ගෙවා දමන්නටය. මා සොයන්නා වූ සැනසීම කිමෙක්දැයි ඇත්තෙන්ම මම වත් නොදැන උන්නෙමි.

"අම්මි, ඔයා මං නිසාම ජීවිතේ සතුටක් නොවිඳ කැපවුණා. ඔයා දුකෙන් ඉන්නව කියල කවදාවත් නොපෙන්නුවට ඔයා සතුටෙන් උන්නෙ නෑ කියලත් මම දන්නවා අම්මි. ඔයාගේ සතුට තියෙන්නෙ එකම එක තැනක විතරයි.ඒ සරෝජ් අංකල් ලඟ. අම්මි වයි ඩෝන්ට් යූ .."

මානවී හසිත සමගින් නිවෙසට ආ දිනයක ඇරඹූ කතාව අතරමග නැවතුණේ මගේ රැවුම් බැල්ම හා සමගිනි.

"කවදා ඉඳන්ද කපුකමට බැස්සෙ චූටිදුව? ඔයා කිසිදෙයක් නොදැන වගෙ ඔහොම කියවන්නෙ ඇයි? ලැජ්ජා නැද්ද? මේ ඔක්කොම වුණාට පස්සෙත් මට එයා ලඟට එහෙම යන්න පුළුවන් ද?" 

මම කෑගැසීමි. හසිත මා දෙවුර වටා අත යවා මා සන්සුන් කරන්නට තැත් දැරිය. 

"අම්මි, ප්ලීස් කාම් ඩවුන්, පොඩ්ඩක් බබී කියන දේත් අහන්න අම්මි. මමවත් බබීවත් අපේ කිසිම කෙනෙක්වත් ඔය දෙන්නාගේ ජීවිතවලට ඇඟිලි ගහන්නෙ නෑ අම්මි."

හසිත බොහො දැනුම් තේරුම් ඇති දරුවෙකි.එහෙත් මේ මොහොතේ මාහට දැනුණේ මා අසරණ ව ගියා සේ හැඟීමකි.

"මං එයාට ආදරේ කළා..ඇත්ත ...ඒත් මට එයා නැතිවුණා.ඒක එයාගෙවත් මගෙවත් වරදක් නෙවේ. ඒත් මට එයා ලඟට යන්න එදත් හිත හදාගන්න බැරිඋනා...අදත් මට බෑ....අද ත් බෑ බෑමයි දෙයියනේ මට බලකරන්න එපා දරුවනේ. මේ ජීවිතේ ගෙවිලා ගිහින් දැන්..ආයෙ පටන් ගන්න කාලයක් මට නෑ"

මම මහාහඬින් හඬන්නට වූයේ සිතේ වූ ළතැවුල් සියල්ල එක්කරගනිමිනි.

එදායින් පසු මානවී හෝ හසිත යළි මාහට මේ සම්බන්ධයෙන් කිසිවක්ම පවසන්නට නොපැමිණියහ.

                                                                    ***

එතනින් අනතුරුව නිවේතාගේ සියලුම සටහන් පිළිවෙලකට නොවීය.සරෝජ් හිරිපිටියට එතනින් ඔබ්බට සිදු වූ දේ ඒ පොත හරහා කියවන්නට අවශ්‍ය ද නොවීය.මන්ද එතැන් පටන් ඇය කළ කී දෑ සියල්ල තමන්ගේ ඇස් මානයේ තිබූ හෙයිනි . එමෙන්ම නිවේතා සම්බන්ධ සියලුම කාරණා මානවී ඔස්සේ ඔහුට දැනගන්නට ලැබුණු හෙයිනි.

නිවේතාගේ ඒ සටහන් පොත් සමගින් තිබූ තරමක් ඝන කවරයක් සරෝජ්ගේ අත ගැටුණේ තුන්වෙනි පොත ද පසෙක තබන්නට සැරසුණු මොහොතේය.

මෙයාගෙ රහස් ගබඩාවේ කෙළවරක් නෑ වගේ 

තමන්ගේ යටි හිතට සිනහා වෙමින් සරෝජ් හිරිපිටිය පොත පසෙක තබා එම කවරය දිග හැරියේය. සිත සානුකම්පාවෙන් බරවන්නට මහා වේලාවක් ගියේ නැත.

තමා මුල්ම දවසේ පටන් විටින් විට ඇය අත පත් කළ ටොෆි චොක්ලට් දවටන පවා එම කවරයේ සුරක්ෂිතව තිබුණි.ලෝකයට කෙතෙක් වසැංගුවද නිවේතා තමන්හට තිබූ ආදරය ඉතින් තවදුරටත් තවදුරටත් රහසක් නොවේ. සරෝජ් හිරිපිටිය කවරය තුළ වූ විවිධාකාර දේ රැගෙන බලා නැවත ඒ තුළටම දමා සුරක්ෂිතව වසා තැබුවේය.

ඉතින් තමන් දෙදෙනාගේ කතාවේ මෙතුවක් කල් තමා නොදුටු නිවේතාගේ පැත්ත අනාවරණය වී සියළු සැක සංකා දුරු වන්නට ඉඩ හසර ලැබුණි.

අතීතය කෙතෙක් තමන් දෙදෙනාට ම අකාරුණික වුවද තම තමන්ගේ ජීවිත ගලාගියේ දෛවයට ගැලපෙන ගැළපෙන ආකාරයටය. ඉතින් ඒ අතීතය කෙසේ වුවද අනාගතය තවදුරටත් එසේ විය යුතු නොවේ. තම තමන්ගේ ජීවිත වල පාලනය දැන් හෝ තම අතට ගත යුතුය.එහෙත් මේ වන විට උද්ගත වී ඇත්තේ පෙරටද වඩා බරපතල තත්වයකි. ජීවිතය යනු අභියෝගයන් පමණක්මදැයි ඉතින් සිතන්නට සිදුව ඇත.

සරෝජ් හිරිපිටිය නිවේතාගේ පොත් සහ සෙසු දේ නැවත පෙරසේම ගෙන ආ රෙදි බෑගයට දමා සිය අල්මාරියේ ලොකරයක තැන්පත් කළේය.

              

"හොඳයි දැන් අපේ ලෙඩාව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනවා. ලෙඩාගෙ අවදානම් තත්ත්වය දැන් හුඟක් දුරට නැති වෙලයි තියෙන්නේ.අපි ඉදිරි වැඩ කටයුතු දිගටම ඒ විදියටම කරගෙන යමු"

ස්නායු ශල්‍ය වෛද්‍යවරයා සිය ඉදිරිපස අසුන්වල හිඳ ගෙන සිටින මානවී , හසිත සහ සරෝජ් වෙත වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් උන්නේය.ඔහුගේ බසට සවන් දෙමින් උන්නද සරෝජ් හිරිපිටියගේ මනසේ වූයේ නිවේතා වෙත යෑමට ඇති ඉමහත් නොසන්සුන් භාව‍යයි.

"මම මේ කොච්චර කිව්වත් ඇති වැඩක් නෑ වගේ.දුව, අඩු තරමේ ඔයාවත් මං මේ කියන දේවල් අහගන්න. මෙතන ඉන්න වගකිවයුතුම පුද්ගලයාගෙ ඔලුව තියෙන්නෙ මෙතන නෙමෙයි. කඩි ගුලක් උඩ වාඩිවෙනවා වගේ ඉන්නේ."

ශල්‍ය වෛද්‍යවරයා සිය පාසැල් මිතුරා වූ සරෝජ් දෙස බලමින් සමච්චල් සහගත ස්වරයෙන් පැවසුවේය. සරෝජ් තිගැස්සී මෙන් හිස ඔසවා ඔවුන් දෙස බැලුවේ සියල්ලන්ගේම සිනහා වත තමා වෙතට එල්ල වී ඇති බැවිනි. 

"ඇති ඇති ඉතිං ඔය කියෙව්වා. ලෙඩාගෙ responsibility එක තියෙන්නෙ කොහොමත් ඔය දොස්තර අතේනෙ. ඉතින් ඩේලි ඔයටික ආයෙම අහගන්න වෙන බව මං දන්නවා."

සිතේ ඇතිවූ ලැජ්ජාව යටපත්කරගනිමින් සරෝජ් පැවසුවේ හුනස්නෙන් නැගිටිමිනි. වෛද්‍ය මිතුරාගේ කාමරයේ ජනේලය කෙලින්ම මුහුණපා තිබුණේ ඈත පෙනෙනා ඉසව්වකටය. කොන්ක්‍රීට් ගොඩනැගිලි බහුල වනාන්තරයක් බඳු පෙදෙසක ඉඳහිටක ඈත පෙනෙන කොළ පැහැති තුරු හිස් පිරි මාවත් කොහේදැයි නිර්ණය කරගන්නට මෙන් සරෝජ් හිරිපිටිය මොහොතක් කල්පනා කළේය.

ඈත අහසේ පියා සලන පරවි ජෝඩුවක් එක එල්ලේ බලා සිටින සරෝජ් හිරිපිටියගේ ඇසට හසු විය. අහසේ පියාසර කරන අතරේදීම උනුන් හා එකට ගැටෙමින් හාද කම් පානා කුරුළු ජෝඩුව සරෝජ්ගේ මුවගට ගෙන ආවේ අමුතුම සිනහවකි. නිල්වන් අහසේ සුදු වලාකුළු අතරේ තටුසලන කුරුලු යුවල දෙස සරෝජ් නිනව් නැති සේ බලාඋන්නේය.

"ඇති ඇති මනෝ ගැහුවා.යන්නේ නැද්ද අද බලන්න "

මානවී පිටුපසින් පැමිණ ඔහුගේ පිටට අත තබා ඇසුවේ මුහුණට ද එබමිනි. සරෝජ් මඳ සිනහව පිරි මුවින්ම ඇයවෙත හැරුණාය.

"සිහිකල්පනාව ආවම මොන නැටුමක් නටයි ද කියලයි මට බය"

සරෝජ් පියවරක් ඉදිරියට තැබුවේ මානවීගේ අතින් අල්ලා ගෙනය.

නිවේතා උන් සයනය වටා තිර ඇද ආවරණය කර තිබූ අතර සරෝජ් මානවී පෙරට යවා ඇය පසුපසින් ඒ ආවරණය වෙත පිය නැගුවේය.සයනයේ වැතිර උන් නිවේතාගේ රුධිර සාම්පලයක් ගනිමින් උන් හෙද නිලධාරිනිය මඳ සිනහවක් පා ඇයගේ කාර්‍යය අවසන් කොට ඉවතට ගියාය.

"අම්මි පැට්ටා, කොහොමද ඔයාට සුදූ"

මානවී අඩියට දෙකට අම්මා අසළට පැන්නාය. ඉතින් තව බොහෝ වේලාවක මේ දෙදෙනාගේ කෝළම් බලන්නට සිදුවන බව දන්නා හසිත සරෝජ්ට ඉඟියක් පෑවේය.මානවී අම්මාගේ වතට සිපුමක් තබමින් ඇයගේ හිස අතගෑවාය.ඇය එක එල්ලේම සිය දියණියගේ වත දෙස බලා උන්නාය. 

"තූටි දූ"

පැටලි පැටලී එන වදන් වල ඇත්තේ අමුතුම බස්වහරණයකි. එය මුවේ මාංශ පේශිවල අප්‍රාණික බව නිසා විය යුතුය. නිවේතා සිනාවෙන විට පවා මුහුණේ දෙපස සමතුලිත භාවයේ මඳ අඩුවක් පෙනෙයි.

ආත්මය දවායන්නාවූ බඳු හැඟීමකින් සරෝජ් හිරිපිටිය පෙළෙන්නට විය.ඇයගේ කතාබහ එතරම් ගැටලු සහගත නොවීමම සතුටට කාරණයක් වුවද සෙසු කාරණා කෙසේවී ඇත්දැයි සිතාගන්නටද තවමත් නොහැක.

"මං කෑම ගෙනාවා. අපි කමුද ?"

මානවී වහ වහා නානකාමරයට ගියේ අතසෝදාගෙන එන්නටය.නිවේතා සයනයේ විට්ටමට බර දෙමින් නැගී සිටින්නට වෙරදැරුවාය.එහෙත් ඇයට වාරු ගත හැක්කේ එක් පසකට පමණක් හෙයින් යළි උන් තැනම ඔහේ බලා උන්නේ දෑසට කඳුලු පුරවාගෙනය.

සරෝජ් එක එල්ලේම ඇයගේ වත දෙස බලාඋන්නේය.ඉන් පසු පියවර කිහිපයක් තබා ඇය වෙතට ගියේය.නිවේතාට සිතාගන්නටද මොහොතක් නොතබා ඇය සිය දෑතට ඔසවා ගත්තේ හසිතට ඇඳවිට්ටමට කොට්ටය තබන්නැයි ඇසින් ඉඟිකරමිනි.සරෝජ් ගේ දෑතින් ඉහළට එසවී යන මොහොතේ නිවේතාගේ තිගැස්සීම සමග ඉබේම ඇයගේ දෑත් ඔහුගේ ගෙල වටා එතීගියේය.


                                                                                ***


යළි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 

( විසිරි සිහින)


Tuesday, May 3, 2022

16. දහසය වෙනි කොටස ( හසරැල් සැලුනාවේ)

 





සුභාෂිණී මානවඩු සමග සරෝජ් හිරිපිටියගේ විවාහය සිදුවූයේ කොළඹට තදාසන්න වූ නිවාඩු නිකේතනයකය. දේශපාලන ජීවිතය කෙතෙක් ප්‍රචලිත වුවද සරෝජ් හිරිපිටිය සිය විවාහය දේශපාලන ප්‍රසිද්ධියක් ලබා ගැනීමට භාවිත නොකළේය. ඔහුගේ එම අදහස් වලට සුභාෂිණී ද එකහෙළා අනුමැතිය දුන්නාය. සුන්දර චාම් විවාහයක අත්දැකීම ලබන්නට ඔවුන් සැලසුම් සකස් කර ගත්තේ ඒ අයුරිනි.

තමා සහ සුභාෂිණී මානවඩුගේ යුගජීවිතය ඇත්තෙන්ම සතුටින් සාමයෙන් පිරුණු එකක් වූ බව සරෝජ් සිහිපත් කළේ සිය ළය සුරතින් පිරිමදිමිනි. සුභාෂිණී වෙතින් සාම්ප්‍රදායික බිරිඳක් දකින්නට කෙදිනකවත් සරෝජ් බලාපොරොත්තු නොවූ අතර ඔවුන් දෙදෙනා අතර වූ ඒ අවබෝධය ඇත්තෙන්ම දෙදෙනාගේම සිත් නිවාලූයේ නොසිතූ පරිද්දෙනි.

"පරණ තුවාල ඔක්කොම එකපාරින් සනීප වෙන්නෙ නෑ සුභා. අපි ජීවිතේ කලබල නැතුව ගෙවෙන්න දෙමු"

සරෝජ් සිය සයනයේ පසෙක වැතිර ඉන්නා සුභාෂිණීගේ හිස සෙමින් පිරිමදිමින් පැවසුවේ විවාහ මංගල්‍යයෙන් පසු මධුසමයට ගිය නිකේතනයේදීය.

පළමු දා රාත්‍රිය සම්බන්ධව ජීවිතයේ කිසිදු චකිතයක් තබා ගන්නට තරම් සරෝජ් හණමිටි අදහස් වලින් යුතුවූවෙක් නොවීය.සුභාෂිණී සිය දීර්ඝ කාලීනව සබඳතාවය නිමාවක් දකිනාවිට එහි බොහෝ දුර ඉසව් වෙත ගොස් තිබුණාය. විවාහයට පෙර ඇය විසින් සරෝජ් සමග සිය සබඳතාවය ගැන සවිස්තරව ප්‍රකාශ කොට තිබීමම ඔවුන් අතර ගැටලුවක් ඇති නොවන්නට හේතුවක් විය.

"අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ ඔය වගේ හණමිටි මතිමතාන්තර කර තියාගෙන නෙවෙයි සුභා. හොඳ නීරෝගී ගෑණියෙකුයි පිරිමියෙකුයි අතර සම්බන්ධයෙදි ඔහොම දේවල් නොවුණොත් ඒක ලෙඩක්" 

සරෝජ් කල්පනාකාරී හඬින් පැවසුවේ සුභාෂිණී සිය පැරණි සබඳතාවයේ අස්කොන් ඔහු සමග පැවසූදාය.

"තිසරට මගෙන් ඈත්වෙන්න මගෙ වැරදිත් හේතුවෙන්න ඇති සරෝජ්. අපි දෙන්නා අතර තිබ්බ ගැටලු හුඟක් නිර්මාණය වුණේ මගෙ පැත්තෙන්"

සුභාෂිණී පැවසුවේ පසුතැවිලි ස්වරූපයෙනි. 

"එයා මගෙන් ඈත්වෙන්න හිතාගෙන මට ආදරේ කළේ නෑ. නමුත් අවුරුදු හයකට පස්සෙත් මගේ පැත්තෙන් ආව ප්‍රශ්න එක්ක එයාට මාව එපාම වුණා. ඒ ගැන මං අදටත් දුක්වෙනවා.අපි දෙන්නා අතරේ තිබුණේ එහෙම ලේසියෙන් කැඩෙන බිඳෙන සම්බන්ධයක් නෙවෙයි සරෝජ්. මට දුක ඒකයි"

සුභාෂිණී සිය අතීත වේදනාවල් සරෝජ් හිරිපිටිය හමුවේ දිගහැරියාය. ප්‍රේමය මේ සා වේදනාකාරී වන්නේ කෙසේදැයු යමෙක්ට විශ්ලේෂ්ණය කරගන්නට හැකිද ? එය දෛවයේ සරදමක්ද එසේ නැතහොත් පතාගෙන එන්නා වූ අවාසනාවන්ත ඉරණම්මද ?

පසුදින උදෑසනම සරෝජ් හිරිපිටිය යළි නිවේතාගේ සටහන් කියවන්නට ඇරඹුවේ ඉක්මනින් මේ සියල්ල කියවා හමාර කළ යුතු හෙයිනි.ඇති වූ අනපේක්ෂිත පහරදීම හේතුවෙන් සති දෙකක කාලයක් සරෝජ් හිරිපිටිය වෛද්‍ය උපදෙස් මත විවේක නිවාඩු ලබා සිටියේය.එහෙත් ඇත්තෙන්ම ඔහු ගත් විවේකයක් නොමැත.නිවේතාගේ ගැටලුව හේතුවෙන් වෙනදාටත් වඩා සිත ද ගත ද අවිවේක වෙමින් තිබුණි. 

(නිවේතාගේ සටහන්) 

මගේ ජීවිතයේ සියලුම අඳුරු පරිච්ඡේදයන්හි වගකිවයුත්තන් වූ තාත්තා, කුඩම්මා, පාලිකා අක්කා සහ ඩෙන්සිල් සිය ජීවිතවලින් තම තමන් කරන ලද්දා වූ අයහපත් හා අකටයුතුකම් වලට වන්දි ගෙවමින් සොබාදහමේ නීති රීති වලට අනුව යමින් සිටියහ.

තාත්තා දීර්ඝකාලීනව නිදන්ගත රෝග රැසකින් පෙළුනු අතර කුඩම්මා සහ පාලිකා අක්කා වෙතින් නිසි සැලකිල්ලක් නො ලද හෙයින් අවසානයේ ඇඳ තුවාල සහිතව රෝහලක දීර්ඝ කාලයක් නේවාසිකව සිට අවසානයේ මිය ගියේය. ජීවත්ව ඉන්නා කාලයේදී ඔවුන්හට ඔහු කෙතරම් සැලකුවද පාලිකා අක්කා හෝ අඩුම තරමේ අවසන් මොහොතේදී හෝ ඔහුට වතුර උගුරක් පවා දීමට කාරුණිකව සිටියේ නැත. මා ඔහු සමග සිටි අවුරුදු ගණනටම තාත්තා මා හට සැළකූ අන්දම මට කිසිදු දිනක දිනෙක අමතක නොවේ.නමුත් ඔහු සිය ලෙයින් නූපන්නද පාලිකා අක්කා හට සියලු සැප සම්පත් නොඅඩුව ලබා දුන්නේය.සියල්ල පිටුපස සිටියේ ද කුඩම්මා ය.නමුත් අවසානයේදී ලෙයෙහි බැම්ම සහ ඝනකම තාත්තාටම පසක් වන්නට ඇත.

කුඩම්මා සහ පාලිකා අක්කා ගත කළ ජීවිතය ද එතරම් සතුටුදායක යැයි කියන්නට නොහැක. විටින් විට නිලීකාහට රත්නායක මාමා සහ නැන්දා හරහා ඔවුන් පිළිබඳ තොරතුරු ලැබුණි.

"අන්තිමේදී අර ඩෙන්සිල් ගෙදරත් උගස් තියලා.ඒක සින්න වෙන්න එනකොට ගෙදර ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. හැමදාම වගේ රණ්ඩු ලු. එතකොට අහල පහල මිනිස්සුත් කම්ප්ලේන් කරලා තියෙනවා.කොහොමහරි අන්තිමට කුඩම්මයි පාලිකා අක්කයි එක්ක ඩෙන්සිල් කුලී ගෙදරකට ගිහින් තියෙන්නේ ඔය ගෙදර ණයකාරයෙක් ඇවිල්ලා අයිති කරගත්තට පස්සේ"

තමන් වැපිරූ දෙය තමන් නෙලා ගත යුතු බව ඔවුන් පසක් කරගත්තාදැයි මම නොදනිමි. අවුරුදු පහේ සිට මා සිටි ඒ නිවස ගැන මට කිසිමදාක ආශාවක් බැඳීමක් නොවූ හෙයින් එය වෙනත් පාර්ශ්වයක් අතපත් වීයැයි යන ආරංචිය මට කිසිදු තැවුලක් ඇතිනොකළේය.

ඩෙන්සිල් විටින් විට විවිධාකාර නීති විරෝධී ක්‍රියාවන් කළ හෙයින් බන්ධනාගාර ගත වීම අරුමයක් නොවීය. කාලයකට පසු ඔහුගේ නීති විරෝධී කටයුත්තක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් පිහි ඇනුම් පහරක් නිසා ඇති වූ බරපතළ රුධිර වහනයකදී ඩෙන්සිල් මියගොස් තිබුණේ මහමග කිසිදු හවුහරණක් නොමැත්තෙකු සේය.

"ඔවුන්ට අන්තිමට තම තමන් කරපු දේවල්වලට ඉරණමම දඬුවම් කළා." 

නිලීකා පැවසුවේ සුසුමක් හෙළමිනි.කෙතරම් අකටයුතුකම් කළ ද මිනිසෙකුගේ මරණය හමුවේ සතුටුවීමට ඇය හෝ මා පහත් අඩියකට වැටී තිබුණේ නැත.නමුත් කවදා හෝ මවුබිමට නැවත යාමට තිබූ සියලුම බාධාවන් ඒ අන්දමින් දූරිභූත වීයයි මඳ සැනසුමක් හිතට ඇති වී තිබිණි.

කාලය ගත වී ගියේ දුක හා සතුට මැදිනි. මානවී උසස් අධ්‍යාපනය අවසන් කරන කාලයේ පෙම් සබඳතාවයකට එක්වූයේ ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටි තරුණයෙකු සමඟය. හසිත ඇයට ගැලපෙනම අන්දමේ තරුණයකු හෙයින් මා හට වැඩිමනත් දෙයක් ඒ සම්බන්ධව සොයා බලන්නට අවශ්‍ය වූයේද නැත.මා වෙනුවට ඒ සියල්ලම නිලීකා සහ ඇගේ ස්වාමියා විසින් නොපිරිහෙළා ඉටු කරනු ලැබුවේය. මානවී මා මෙන් නොව ඉතා සෘජු තීරණ ගන්නා තරුණියක් වෙමින් සිටියාය.ඇය කිසිම දිනයක ඇයට අහිතකර වන මට්ටමේ තීරණ නොගන්නා බව මම සක්සුදක් සේ දැන සිටියෙමි.

හසිත මෙන්ම ඔහුගේ දෙමව්පියන් ද මානවී සහ මා සම්බන්ධව දැක්වුයේ යහපත්ම ආදරණීය ප්‍රතිචාරයන් ය. මා සම්බන්ධ අතීත සිදුවීම් කිසිවක් ඔවුන්හට අදාල නොවූ අතර ඒ හේතුවෙන්ම මා බෙහෙවින් නිදහස් චරිතයක් බවට පත් වන්නට ඉඩ හසර සැලසුණි.

කවදා හෝ මා අතීතයේ මුහුණදුන් අයහපත් අඳුරු සිතුවිලි සහ අත්දැකීම් මගේ දියණියගේ අනාගතයට බලපානු ඇතැයි යන එකම සිතුවිල්ලද ඔවුන් මා වෙතින් ඉවත් කොට දැමූහ. මානවී සහ හසිත එකම විශ්ව විද්‍යාලයේ උපාධිය නිමකොට ඔවුන්ගේ විවාහය වෙනුවෙන් යළි ශ්‍රී ලංකාවට යාමට තීරණය කොට සිටියහ.එහෙත් යළි ශ්‍රී ලංකාවට යන්නට මගේ කිසිදු බලාපොරොත්තුවක් තිබුනේ නැත.

සරෝජ් හිරිපිටිය සම්බන්ධව කරුණු කාරණා නොසොයා සිටින්නට මා දැඩි ලෙස වෙහෙස වූයේ වෙන කිසියම් හේතුවක් නිසා නොව ඔහුගේ විවාහ ජීවිතය සතුටින් ගත කරනවා යන තීරණය මාසිතේ තදින්ම ධාරණය වී තිබුණු හෙයිනි. එහෙත් ශ්‍රී ලංකාවේ විවිධාකාර ප්‍රවෘත්තීන් අතරේ සරෝජ් හිරිපිටිය සිය බිරිඳ සමගින් විවිධාකාරයේ ජාතික උත්සවයන් හට පැමිණෙන අන්දම මගේ දෑසට වසන්කර ගත නොහැකි විය.

ඔවුන් දෙදෙනා කෙතරම් දුරට එකිනෙකා හට ගැලපෙන්නේද යන්න මට ඇස් ඇස්පනාපිටම ඔප්පු විය. අති දක්ෂ ඡායාරූප ශිල්පීන්ගේ සමහර සේයාරූ ඔවුන් දෙදෙනාගේ ආදරණීය ජීවිතය සමාජ ජාලයන් තුළට ගෙන ආවේ ඒ සම්බන්ධව විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමිනි.හදවතේ අභ්‍යන්තරයේ සුව නොවූ තුවාලයක් පැසවමින් තිබුණද තිබුණද එහි වේදනාව දැනුණේ මා හට පමණක්මය. එම තුවාලයෙහි කිසිදු වේදනාකාරී ඉරියව්වක් මම අඩුම තරමේ නිලීකාහට හෝ දැකගන්නට ඉඩ නොහැරියෙමි.

කෙසේවතුදු සුභාෂිණී මානවඩු එනම් සරෝජ් හිරිපිටියගේ ආදරණීය බිරිඳට ඔවුන්ගේ ජීවිතයට කිරි සිහිනයක් ළඟාකර ගැනීමේ හැකියාවක් නොලද්දාය. එහෙත් එම කාරණය ඔවුන් අතට කිසිදු ගැටලුවක් ඇති කර නොතිබූ බව පමණක් මම කිය වූ ඇතැම් පුවත් වල සටහන් වී තිබුණි.සරෝජ් හිරිපිටිය ඇත්තෙන්ම මහත්මා ගණයේ ගුණ ඇති උදාර පුරුෂයකු වූ අතර සුභාෂිණී මානවඩු ද ඔවුන්ගේ ජීවිතය මනසේ ගැලපෙන්නට ගෙත්තම් කරමින් සිටියාය. 

සුභාෂිණී මානවඩු විසින් පවත්වාගෙන යනු ලැබූ සමාජ ක්‍රියාකාරකම් සහ සේවාවන් හේතුවෙන් ඇය බෙහෙවින් කීර්ති නාමයක් ලබා උන්නාය. සිය දරුවකුගේ අයිතිය පිළිබඳ කිසිදු ලැබීමක් ඇය නොලද්දද ඇය විසින් පවත්වාගෙන යනු ලැබූ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වූ නිවාසයන් සහ පෙර පාසල් සමූහය බොහෝ මවුවරුන්ගේ දරුවන් හට සේවයක් කරන ලදී.එහෙයින් ඇය ලැබුවේ ඔවුන් වෙතින් ආශීර්වාදමය. 

එහෙත් දෛවය ජීවිතයට සරදම් කිරීමේ සීමාව කොතනදැයි සිතන්නට සැරසුණේ මෙවන් කාලයකදීය.

                                                                    *** 

නිවේතාගේ සටහන් පෙලෙහි ඊළඟට ඇය සටහන් කරන කොටස සරෝජ් හිරිපිටිය අනුමානයෙන් තීරණය කළේය.ඇත්තෙන්ම එය මනසට කෙතෙක් වේදනාකාරී ද යන්න ඔහුට යළිත් සිහිපත් කළ යුතු නොවේ. ජීවිතය ඇත්තෙන්ම ගලා ගොස් එක්වනම නැවතුණ තැන එතැනය.

නිවේතාගේ සටහන් පෙළ සමගින් ඒ දිනය සරෝජ් හිරිපිටියගේ මනසේ සිත්තම් පෙළක් මෙන් ඇඳී යන්නට විය.පොත වසා පසෙක තැබූ ඔහු පසුගිය අවුරුදු ගණනටම සිත වේදනාවෙන් දවාලූ මේ සිදුවීම යළි යළිත් සිහිපත් කළේය.

"ඔයා අද පාර්ලිමේන්තුවට යනවා නේද?"

උදෑසන තේ මේසයේදී එදින සුභාෂිණී සරෝජ්ගෙන් ඇසුවේ සුපුරුදු ලෙස උදෑසන ආහාර ගැනීමට පසු ඔහු කැමති අන්දමේ කිරි කෝපි එකක් සාදා ඔහු අත තබමිනි. සරෝජ් ගේ රුචි අරුචිකම් මැනවින් හඳුනාගෙන උන් ඇය කෙතරම් සේවක සේවිකාවන් උන්නද සරෝජ්ගේ කැමතිම ආහාරපානයන් සියතින්ම සකසාලන්නට හැකිහැමවිටම උත්සාහ දැරුවාය.

"ඔව් සුභා , මං එද්දි හවස් වෙයි ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද අද?"

සරෝජ් හිරිපිටිය අඩක් පානය කළ කෝපි බඳුන සුපුරුදු ලෙසින් ඇය අත තබා ඇසුවේය.

"ලබන සතියේ මොන්ටිසෝරි එකේ prize giving එකනේ.මේ ටිකේ පොඩි එවුන් සෑහෙන ලෑස්ති වෙනවා. ටීචර්ස්ලටත් හරියට වැඩ. මං පොඩ්ඩක් ඒ පැත්තට යනවා"

සුභාෂිණී පැවසුවේ ඉතිරි අඩ පානය කොට නිමකල කෝප්පයද රැගෙන නැගිටිමිනි.

"ඩ්‍රයිවර් එක්ක යනවද නැත්නම් ඔයාගෙ vehicle එකේම යනවද?"

සිය සුන්දර බිරිඳගේ නළල්තලය මතට දෙතොල තද කරමින් සමු ගන්නට මොහොතකට පෙර සරෝජ් හිරිපිටිය ඇසුවේය.

"ඩ්‍රයිවරුත් ඕන වැඩ ගොඩක් කරගන්න තියෙන නිසා. ඒ වෙහිකල් එක වෙනම යවන්නම්. මම ඩ්‍රයිව් කරන්නම්" 

සුභාෂිණී සරෝජ් හිරිපිටියගේ කොලරය සකස්කරමින් පැවසුවාය. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනා අතර බොහෝ සුන්දර ප්‍රේමයක් කාලය සමගින් ඉබේම ඇති ව තිබුණි . දරුවකුගේ සුරතල් කිරි සිනහවන් ඔවුන් අතරට කිසිදිනක නොව ආවද සරෝජ් හෝ සුභාෂිණී ඒ සම්බන්ධයෙන් කම්පාවීම පසෙකට තබා දෙමව්පියන් නැති සහ අඩු ආදායම් සහිත පවුල්වල දරුවන් වෙනුවෙන් සිය අවධානය කැප කරමින් උන්හ .

දෙදෙනාම කෙතරම් කාර්යබහුල කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද ඔවුනොවුන් අතරේ පැවතුණේ ද බොහෝ සොඳුරු බැඳීමකි. සරෝජ් මෙන්ම සුභාෂිණී ද ඉවසීම සහ අන්‍යෝන්‍ය අවබෝධය මත සිය පවුල් ජීවිතය පවත්වාගෙන ගියේ දේශපාලනය සහ පවුල් ජීවිතය පටලවා ගන්නා බොහෝ අයට ආදර්ශයක් වෙමිනි.දේශපාලන ජීවිතයේ බොහෝ තැන් තැන් වල සුභාෂිණී ආදර්ශමත් කාන්තාවක් ලෙසින් ප්‍රසිද්ධ වූවාය. අනවශ්‍ය තරමේ ප්‍රසිද්ධියට ද කිසිදු විටෙක අකමැතිවූ ඇය සරෝජ්ගේ වැඩකටයුතු වලට ඇප කැපවී සහය දුන්නාය.

සරෝජ් හිරිපිටිය පාර්ලිමේන්තුවේ උදෑසන වරුව ගත කොට දිවා අහාර ගෙන කාර්යාලය වෙත පැමිණියේ පසු දිනට අයත් වැඩ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ය .අතිශය කලබලයෙන් කාර්යාලයට කඩා වැදුණු සංජය 

"සර් අපි ඉක්මනට යමු .පොඩි කලබලයක් "

කියමින් යළි ආපසු හැරුණේය .සරෝජ් හිරිපිටිය කිසිදු පැනයක් නොනගා ඔහු පසුපසින් කඩිනමින් ආවේ කිනම් කරදරයක්දැයි හිතාගන්නටත් නොහැකිවය .

"ජෙනරල් හොස්පිට්ල් "

සංජය ඉදිරිපස අසුනට නැඟ රියදුරුට වහා අණ කළේ සරෝජ් හිරිපිටිය පසුපස අසුනට බර වෙමින් "මොකද ප්‍රශ්නේ?" අසද්දීමය. 

"පොඩි ඇක්සිඩන්ට් එකක් සර්. මැඩම්ගෙ වාහනය පොඩ්ඩක් වැදිලා ලොරියක.අපි යමු"

සරෝජ් හිරිපිටිය සිය සවනට වැටුනු ඒ වදන් අදහා ගන්නට නොහැකි අන්දමින් ඉදිරිපස අසුනේ සිටි සංජයගේ අතේ එල්ලුණේය.

"මොකද වෙලා තියෙන්නෙ.කොයි වෙලාවෙද .සුභාට මොකද?"

ඔහුගේ මුවින් ප්‍රශ්න වැලක් එකිනෙක කලබලයෙන් පිටවූයේ සංජයගේ අත තදින් අල්ලා ගනිමිනි. 

"අපි යමුකො සර්. සමන් යමංකො ඉක්මනටම."

සරෝජ්ගේ ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදීම සංජය රියදුරුට කෑගැසුවේ සිය මුහුණ ඉවතට හරවාගනිමිනි. 

අවසානයේ සියල්ල එසේ සිදුවිය. දැඩි ලෙස තුවාල වී දැඩි සත්කාරයේ යන්ත්‍ර සූත්‍ර ගොඩක් මධ්‍යයේ සුභාෂිණී පසුවනු දැකීම සරෝජ් හිරිපිටිය සිහිසුන් කරවන මට්ටමටම කම්පනයට පත් කළේය.

"සර් ඇත්තටම වෙලා තියෙන්නේ ලොරියෙ වැරද්දක් නෙමෙයි.මැඩම් තමයි කලබලෙන්ම ඇවිල්ලා ලොරිය වද්දගෙන තියෙන්නේ. මැඩම් හරිම කලබලෙන් මොන්ටිසෝරියෙන් එළියට ආවා කියලයි ටීචර්ස්ලා කියන්නේ."

සංජය සිය ප්‍රධානියා සමගින් පැවසුවේ ඔහුගේ කම්පනය කෝපයක් වී ඊළඟට පැමිණෙන්නේ රියදුරාගේ මතින් බව දැනගෙනය.

"ලොරි ඩ්‍රයිවර් වාහනය පාර අයිනේ නවත්තලා තේ එකක් බොන්න ගිහින් තියෙන අතරට මැඩම්ගෙ කාර් එක ඇවිල්ල කෙලින්ම ඒකෙ වැදිලා තියෙන්නේ."

සරෝජ් හිරිපිටිය අත ඔසවා සංජයගේ කතාබහ නැවැත්වූයේ තවදුරටත් කිසිවක් අසන්නට තරම් ඔහුට නිරවුල් මනසක් නොවූ හෙයිනි.විශේෂඥ වෛද්‍යවරයා හමු වී සුභාෂීණී ගේ තත්ත්වය විමසුවද ඔවුන්ද පසුවූයේ තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයකය. 

"ඇමතිතුමා අපි ටිකක් බලමු.දැනට තත්ත්වය ක්‍රිටිකල් කියෙන එක විතරයි මට කියන්න පුළුවන්"

විශේෂඥ වෛද්‍යවරයා සරෝජ්ගේ උරහිසට සිය අත තබා පැවසුවේ පවත්නා තත්ත්වය විස්තර කළ නොහැකි හෙයිනි.

සති දෙකක් තිස්සේ යන්ත්‍රසූත්‍ර මැදින් අසීරුවෙන් ජීවිතය පවත්වා ගත් සුභාෂිණී එක් දිනයක දෑස් විවර කළාය.

සරෝජ් හිරිපිටිය ඒ මොහොතේදී ඒ අසලම උන්නේය.

"සුභා මම ඉන්නවා ඔයා ළඟ.බයවෙන්නෙපා"

සරෝජ් ඇගේ අතින් අල්ලාගෙන සවනට මුමුණන්නට මඳකට පහත් විය.

ඉතාම කැඩී බිඳී ගිය ස්වරයෙන් හඬ මඳ වශයෙන් අවදිකළ සුභාෂිණී,

"එයා ආපහු ඇවිත්. මට සමාවෙන්න. මම ඔයාට වරදක් කළේ නෑ ඒත්"

යැයි ආයාසයෙන් මිමිණුවාය.

කිසිවක් තෝරා බේරා ගන්නට නොහැකි වුවද සරෝජ් ඒ මොහොතේදී සුභාෂිණීගේ හිස පිරිමදිමින්, 

"කතා කරන්න මහන්සි වෙන්න එපා සුභා අපි පස්සේ කතා කරමු.ඔයා ඉක්මනින් සනීප වෙන්නකෝ"

යැයි ඉතා කාරුනික ස්වරයෙන් පැවසුවේය.

"අනේ..සරෝජ් මට යන්න වෙනවා. නිවේතාව කොහොම හරි හොයාගන්න .මට සමාවෙන්න" 

ඉතාමත් දුර්වල ස්වරයෙන් ඇස්වලින් කඳුලක් ගලා යද්දී සුභාෂිණී සිය අවසන් වදන් මුමුණා නිසොල්මන් වූවාය.

කෙතෙක් ඉවසුම් සහගතව ඉන්නට වෙර දැරූවද සරෝජහට සුභාශිණීගේ සමුගැන්ම දරාගන්නට හැකිවූයේ නැත. ඉතින් එසේ අඳුරු වලාකුළු අහස සිප හඬාවැටෙනා සැන්දෑවක සුභාෂිණී සරෝජ්ගේ දිවියෙන් සදහටම සමුගෙන යන්නට ගියාය. ඇයගේ අවසන් වදන් අපැහැදිලි වුවද ඒ වදන් තුළ රැඳුණු අදහස සොයායන්නට සරෝජ් සතිදෙක තුනකට පසු පියවි සිහියට යළි පැමිණි මොහොතේම තීරණය කළේය.

සුභාෂිණීගේ අත්බෑගය සහ අනතුර වූ මොහොතේ ඇයගේ රිය තුළවූ සියල්ලම පොලිසිය මගින් සරෝජ් වෙත බාර දුන්නේ පොලිස් පරික්ෂණ වලට අනතුරුවය.සුභාෂිණීගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවූ බව ස්ථිරවම ඔප්පු වීම නිසා ලොරි රථ රියදුරා නිදොස් කොට නිදහස් කරන්නට සරෝජ් කැමැත්ත දුන්නේය.

සියලු දෑ තැන්පත්කල බෑගය ඇඳ මතට හලා දැමූ සරෝජ් එහි වූ තරමක් ලොකු බෑගයක් අතට ගත්තේ එය බැලූ බැල්මටම වෙනස් එකක් සේ පෙනුන හෙයිනි. විවර කල බැගය තුළ වූයේ තරමක් මිල අධික බෙහෙත් වර්ග කීපයකි. ඒ සියල්ල අනතුර වන්නට විනාඩි ගණනකට පෙර ප්‍රසිද්ධ ෆාමසියකින් මිලදී ගත් බව එහි වූ බිල්පතක සඳහන් විය. 

මේ බෙහෙත් කවරෙක් උදෙසා කුමන රෝගයකටදැයි දැනගන්නට කිසිදු බෙහෙත් තුණ්ඩුවක් හෝ එහි නොවීය. අවසානයේ සුභාෂිණීගේ අත් බෑගය තුළ වූ සියලුම දේ එකින් එක ඇඳ මතට ගෙන ඔහු පිරික්සන්නට පටන් ගත්තේ කිසියම්ම හෝ හෝඩුවාවක් ලැබේයැයි විශ්වාසයෙනි. එහෙත් කියන්නට තරම් කිසිවක්ම එතුළ වූ වූයේද නැත.සුභාෂිණී සාමාන්‍යයෙන් ඉතාමත්ම පිළිවෙලකට වැඩ කරන ලද කාන්තාවක් වූවාය .ඇයගේ අත්බෑගය පවා බොහෝ පිළිවෙලකට අවශ්‍ය දේ පමණක් සහිත වූ දෙයක් විය.

අවසානයේදී ඇයගේ ජංගම දුරකතනය අතට ගත් සරෝජ් හිරිපිටිය එහි දුරකථන අංක පිරික්සීය. සාමාන්‍යයෙන් සුභාෂිණී බොහෝවිට බොහෝවිට සමාජ සේවා කටයුතු වලට යෙදෙන බැවින් ඇයගේ ජංගම දුරකථනයේ නාඳුනන අංක බොහෝවිට ඇත. එහෙත් එකම අංකයකින් එක දිගට පැමිණි ඇමතුම් කිහිපයක් ඔහු දුටුවේ බොහෝ විමසිල්ලෙන් පරික්ෂා කරද්දීය. දෙවතාවක් නොසිතා සුභාෂිණී ගේ දුරකථනයෙන් එම අංකය යළිත් අංකනය කලවිට එහා පසින් ඇමතුමට සම්බන්ධ වූයේ කාන්තාවකි.

"කවුද මේ කතා කරන්නේ?"

ඇමතුමට සම්බන්ධ වූ කාන්තාව විමසන විට සරෝජ් හිරිපිටිය මොහොතක් නිහඬ විය.

"මම මිනිස්ටර් සරෝජ් හිරිපිටිය.මේ නම්බර් එකෙන් දිගටම කෝල් වගයක් ඇවිත් තියෙන නිසයි මම ඒකට ආපහු ගත්තේ.මෙය ෆෝන් එක අයිති කෙනා කවුද?" 

මොහොතක නිහඩතාවය පසු සරෝජ් සිය හඬ අවදි කළේ මේ කරුණු කාරණා දැන ගැනීමේ කුකුස ඇතිවය.

"ඇමතිතුමා මම මේ කතා කරන්නේ අපේක්ෂා රෝහලෙන්. මේ ෆෝන් එක අයිති අපේ පේෂන්ට් කෙනෙකුට. මිස්ටර් තිසර රණබාහු. මේ.."

සරෝජ් හිරිපිටිය මොහොතකට තිගැස්සී ගියේ ඒ නම ඇසූ මොහොතේය. 

ඇමතුමට තවදුරටත් සවන් නොදී කිසිවක් නොකියා එම ඇමතුම විසන්ධි කළ ඔහු වහා ඇඳ පැළඳ ගත්තේ සංජයට ද අමතමිනි.කිසිදු හේතුවක් නොකියා අපේක්ෂා හොස්පිටල් එකට පමණක්ම කියා ඔහු රථයේ පසුපස අසුනට බර වූයේ දෑස් පියා ගනිමිනි.දහස් ගණනක් සිතුවිලී එකින් එක පැටලෙමින් සිත තුළ පොර කන්නට විය.සිදු වූ සිදුවීම කෙසේ වුවත් කුමක් වුවත් තමා තවදුරටත් බෙහෙවින් ඉවසිය යුතු බව පමණක් ඔහු සිතට ගත්තේ ය.

කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව ඉතාමත්ම සරල ඇඳුමෙන් පැමිණෙන නියෝජ්‍ය ඇමතිවරයා දුටුවිට ආරක්ෂක නිලධාරීන් සියල්ලම බෙහෙවින් කලබල වූහ.

"නෑ නෑ ඔයාලගේ වැඩ කරගන්න මම ආවේ මගේ යාළුවෙක් බලන්න"

සිනහවක් පමණක් පා සංජය සමගින් අදාල වාට්ටු පරිශ්‍රයට පැමිණි සරෝජ් හිරිපිටිය හමුවූයේ දුරකථනයට සවන්දුන් හෙද නිලධාරිනියයි.

තමා හඳුන්වා දුන් පසු ඇය සරෝජ් හිරිපිටිය කැඳවාගෙන ගියේ වාට්ටුවේ කෙළවරක වූ තිරවලින් වටකළ සයනයක් වෙතය. තිර ඉවත් කොට ඇතුලට ගිය සරෝජ් හිරිපිටිය දුටුවේ මිනිස් සිරුරක් යැයි කිව නොහැකි තරම් අන්දමේ කෘෂව ගිය මිනිස් රුවකි.එසේනම් මෙම මේ තිසර රණබාහු විය යුතුය. 

"කණගාටුයි ඇමතිතුමා.පොඩි වෙලාවකට කලින් මිස්ටර් තිසර රණබාහු නැතිවුණා."

හෙද නිලධාරිනිය පැවසූයේ ඔහුගේ සිරුර වසා තිබූරෙදි කඩ මදක් ඉවත් කොටය. සියලු දේ විසදාගත නොහැකි කතන්දරයක් බවට පත්කොට සුභාෂීණී මෙන්ම තිසර ද ජීවිත වලින් සමුගෙන ඇත. 

"අපි යමු සංජය"

හෙද නිලධාරීන්ට ස්තුති කළ සරෝජ් හිරිපිටිය වාට්ටුවෙන් පිටතට පැමිණියේ සිතේ තද වූ කියාගන්නට බැරි තරම් මහා බරක් ඇතිවය.සුභාෂිණී තමා හට කිසිම දිනක ද්‍රෝහි වී යයි සරෝජ් සිහිනෙනුදු නොසිතීය.එය කිසිදා ඇය අතින් සිදු නොවන්නකි. තමා එතරම්ම ඇය විශ්වාස කළ බව සත්‍යයය .

මොන යම් හෝ කාරණාවක් හේතුවෙන් සුභාෂිණී තිසර රණබාහු බලන්නට මේසා කලබලයෙන් පැමිණීමම ඇයගේ රිය අනතුරට හේතුවන්නට ඇති බව සරෝජ් විශ්වාස කළේය. එහෙත් ඔහු සම්බන්ධ කරුණු කාරණා සුභාෂිණී උදෑසන වනතුරු මේ කිසිවක් දැන නොසිටි බව පමණක් සරෝජ්ට විශ්වාසය. ඒ වුවත් ඇය සහ තිසර රණබාහු අතර සිදුවූයේ කුමක්දැයි යන්න අවසානයේ මහා ප්‍රශ්නයක් වී ඉතිරිව තිබුණි.

                                                                                 ***


යළි හමුවෙමු 
කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)