Thursday, March 21, 2024

මාවතක පා නගන තවත් එක සැඳෑවක



අඳුර හොරැහින් එබී ඉඟිමරන ඉසව්වක

අර ඈත අහස මට අතවනයි ඉගිලෙන්න

පත් වැරූ තුරු හිස්ද සුසුම් ලන දනව්වක

ඉතින් නෙතු නොපියාම හැකියි මට සැනසෙන්න.....


රන් රෝස පින්සලක් නිල් අහසෙ ඇඳෙන කොට

හුදෙකලා පාළු හිත නිවී යයි තරමකට

මාවතක පා නගන තවත් එක සැඳෑවක

කවියකට සිත් ඉමෙහි ඉඩ තියෙයි ඉබේටම.....

Saturday, March 16, 2024

වියපත් නොවන හදවත්

 වියපත් නොවන හදවත්




අපේ රිහැබිලිටේශන් ප්‍රෝග්‍රෑම් එකේ කණ්ඩායම් ක්‍රියාකාරකම් හුඟක් තියනවා.රිහැබ් ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් සති හයක් අටක් අතර අපිත් එක්ක ගතකරන වෛද්‍ය පුනරුත්ථාපන වැඩසටහනේදි එයාලා සාමාන්‍ය ජීවිතයට ආපහු අනුගත කරන්න  තමයි ඒ කණ්ඩායම් ක්‍රියාකාරකම් සැකසිලා තියෙන්නෙ.

සමහර අය කෙලින්ම මේ වැඩසටහන් ප්‍රතික්ෂේප කරනවා.

I am not a very social person

ඔන්න ඕක තමයි නිදහසට කාරණය විදියට එහෙම කට්ටි පනින අය දෙන්නෙ.එහෙම වෙලාවට වරකට දෙකකට වඩා එයාලට බල කරන්න අපට බෑ.ඒක ශේප් එකේ යාප්පුවෙන් මිසක බලෙන් ප්‍රතිකාර වලට ගන්න අපට අයිතිය නෑ.

ඉතින් ඒ අතරෙ ඉන්නවා බොහොම කැමැත්තෙන් කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට එන අයත්.දවල් එකොලහට පටන් ගන්න phyical exercises වැඩ සටහන සකස් වෙන්නෙ එයාලාට රිද්මයානුකූලව ව්‍යායාම් ටිකක් කරවන්න.ලොකුම ලොකු තිරයක සංගීතයක් එක්වෙද්දි වාට්ටු වලින් එක එක්කෙනා day room එකට එනවා.සමහරු ඇවිද්දවගෙන, තවත් අය රෝද පුටුවෙ....එයාලා ට ඉඳගන්න පුටු රවුමට තියල තියනවා 

ලොකු වීදුරු ජනේල වලින් අව්ව පෙරිලා එනවා.එහා පැත්තෙ පුංචි කැලෑ රොදක රොබින් කුරුල්ලො අතුවලින් එහෙට මෙහෙට පැන පැන සිංදු කියනවා.day room එකේ බිත්ති වල වාට්ටුවල නම් වලට අදාල මල් වල පින්තූර.තව කොණක පුංචි පොත් රාක්කයක්...එතකොට ව්‍යායාම කරල ඉවර වුණාම සමූහයක් ලෙසට එකතු වෙන පොඩි games ටිකකුත් අපේ ගාව තියනවා.

තවම හිටගන්න බැරිඋනත් පුටුවෙ වාඩිවෙලා ඉන්න අතරෙත් වාදනය වන හැට හැත්තෑවේ දශක වල ඉංග්‍රිසි සිංදුවලට නටන ඉලක්කමින් වයසට ගියත් හදවතින් තරුණ ටික දෙනෙක් මං ඉස්සරහ තාලෙට පැද්දෙනවා.එයාලා අල්ලන් ඉන්න වෝකර්ස් වල උඩ තියන් ඉන්න අත්වල ලස්සනට කියුටෙක්ස් එහෙම ගාලා මුදු දාල හැඩට එයාල ඉන්නෙ.

එයාලාගෙ තවත් එක කණ්ඩායම් ක්‍රියාකාරකමක් තමයි අපේ breakfast group එක.දවසකට හය දෙනෙක් ...හැමෝම බෙදිලා යන ආකාරයට කාලසටහනට වැටෙනවා.ඉතින් උදේ අටහමාරට එයාලා අපි එක්ක අපේ model kitchen එකට එනවා.මුල් දවස්වල තේ එක හදාගන්න අපි උදව් වෙන්න ඕනෙ.සමහර අයට පොඩි කෙට්ල් එකෙන් වතුර වක්කරගන්නවත් බෑ...පාන් පෙත්තක බටර් ගාගන්න බෑ ....නමුත් එයාලා ටික ටික තමන්ගේ සරල කෑම වේලක් හදාගන්න අපි එක්ක හුරු වෙනවා.ඉන් පස්සෙ ඒ හයදෙනා රවුම් කෑම මේසෙට වාඩිවෙලා කතාකර කර කෑම කනවා.මේක පිටින් බැලුවාම සරල එකක් උනාට ඇත්තෙන්ම පහසු නෑ.නමුත් මේ හැම කෙනෙක්ම ස්වාධීන වෙන්න කැමති නිසා මේ ක්‍රියාකාරකම් වලට එකතුවෙනවා.

අවුරුදු අසූව අනූව වෙද්දිත් තමන් ගෙ වැඩ තමන් කරගන්න ඕන...ළමයින්ට කරදරයක් වෙන්න බෑ කියල හිතන ආච්චි අම්මලා තමා ගැහැණු වාට්ටු තියන තට්ටුවේ වැඩියෙන්ම ඉන්නෙ.ඒ අය එක්ක ගතකරන කාලය ඇත්තෙන්ම හිත සතුටින් පුරවලා දෙනවා.

වයසට ගියත් ක්‍රියාකාරී වෙන්න...සතුටින් ඉන්න...එයාලා මටත් උගන්වනවා....

Sunday, March 3, 2024

තෑග්ග





සතුටු කතන්දර කිහිපයක්ම ලියන්න අතමානයේ තියෙද්දිත් අද අහම්බෙන් සිදුවුණ පොඩි කතාවක් ලියන්න හිතුණා.

දිවා ආහාරයෙන් පස්සෙ ආපහු සැරයක් පේෂන්ට්ස්ලා බලන්න වාට්ටුවට රවුමක් ගිහින් එනවා මම.සමහර අයව දවසට දෙපාරක් බලන්න ඕනෙ නිසා.

ඉතින් ඔහොම යන වෙලාවක එක ආච්චි අම්මෙක් මට අතවනලා කතාකරනවා.එයාට අපි මාරි කියමුකො.සාමාන්‍යයෙන් මාරි කියන්නෙ ටිකක් කේන්තිගන්නට බර එක්කෙනෙක්.ප්‍රතිකාර කටයුතු වලදි බෑ කියාගත්තු ගමන් ඉන්න එක්කෙනෙක්.බොහොම යාප්පුවෙන් ඇවිටිලි කරලා තමයි ව්‍යායාම වලට එක්කන් යන්න ඕනෙ.

ඉතින් ඒ කම්මැලි කම කොහොම වුණත් උදේට දැක්ක ගමන් "හායි කිත්මා..How are you today?" කියලා නම් මුලු වාට්ටුවට ඇහෙන්නම කෑගහන්න එයාට පුළුවන්.

ඉතින් හවස් යාමේ වාට්ටුව හරහා යන වෙලාවේ "Hey kithma ...come here darling.I have something to give you.."

කියලා ඔන්න කිව්වා.මම ඉතින් එයා ලඟට ගියේ මොකක්ද මේ දෙන්න යන්නෙ කියලා බලන්න.එයාගේ අතේ තිබුණේ හැමදාම උදේට වාට්ටුවේ පේෂන්ට්ස්ලාට දෙන්න දිනපතා පුවත්පත...ඒක මෙට්‍රෝ කියල එකක්.

"This is a gift to you from me.."

පත්තරේ මගෙ අතේ තියලා මාරි එහෙම කියනවා.පත්තරයක් උනත් එයා ඒක තෑග්ගක් කියලනෙ දුන්නේ.මම එයාට ගොඩාක් ස්තුතියි කියල පත්තරේ අරගත්තා.

"ඇයි ඔයා ඕක ඉතින් බලන්නෙ නැද්ද?"

එයා මගෙන් අහනවා.මම ඒකත් අරන් ආපහු යන්න හැදුවා විතරයි.ඉතින් හිත නරක් කරන්නෙ කොහොමද ?මම එතනම ඉඳන් පත්තරයෙ පිටු පෙරලුවා.මාරි මගෙ දිහා ඇස් පිල්ලන් නොගහ බලන් ඉන්නවා.එයාගේ මූණෙ පොඩි දඟ හිනාවකුත් තියනවා වගේ.

ඔහ්....දෙයියනේ....මට ඇත්තෙන්ම හිනාවක්  ආවා ඊලඟ පිටුව එක්ක....

"අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මාරි....this mean so much to me.."

මම කිව්වා...

"ඒක දැක්ක ගමන් මට ඔයාව මතක් උනා.මම දන්නව ඔයා ඒක දැක්ක ගමන් ආස වෙන බව..."

එයා කියනවා....

ඉතින් ඒ තෑග්ගෙ පින්තූරයක් මේ එක්ක මම අමුණනවා.මීට වඩා සතුටක් වෙන කොයින්ද ඉතින්...ඒක මාරිට දැනුණ එක මට ඊට වඩා සතුටක්....


ආයේ එන්නම්.


මම 

විසිරි සිහින