Tuesday, April 26, 2022

15. පහළොස් වෙනි කොටස ( හසරැල් සැලුනාවේ)

 



සරෝජ් හිරිපිටියගේ මතකය අතීතයට ඇදී ගියේ සුභාෂිණී මානවඩු සමගින් තමාගේ ජීවිතය එක්වීමත් සමඟ සිදුවූ වෙනස්කම් සියල්ල එකින් එක සිහිපත් කරවමිනි. නිවේතාගේ සටහන් අතරට සිය අතීත මතකයන් එකතු කරමින් චිත්‍රපටයක රූප රාමු ඇදී යන්නා සේ සිය මතකයන් එකිනෙක පෙළගැස්වීම නිරායාසයෙන් සිදු විය.

ගත වූ කාලය අවුරුදු ගණනින් ඈතට ගිය ද යම්යම් මතකයන් අද සේම හිතට සමීපය. නිවේතාගේ ඇතැම් සටහන් හා සමපාත වන තමාගේ ජීවිත මතකයන්හි විශේෂිත තැන් සරෝජ් හිරිපිටිය යළිත් සිහි කළේය.

                                                                 ***

සරෝජ් හිරිපිටිය සහ සුභාෂිණී මානවඩු අතර දැඩි අවබෝධයක් ගොඩනැඟුණේ කෙටි කලක් තුළදී ය. නිවේතා සම්බන්ධයෙන් තමා හට බොහෝ කරුණු වසන් කළ හෙයින් සිය ජීවිතයේ මෙම කාරණය සම්බන්ධව නිලීකාහට කරුණු හෙළිදරව් කිරීමට සරෝජ් හිරිපිටිය හිතාමතාම මග හැරියේය. සුභාෂිණී සහ සරෝජ් සිය අතීත ප්‍රවෘත්ති සියල්ල එකිනෙකා හමුවේ අනාවරණය කිරීම ඔවුන් අතර අවබෝධයට මනා පිටුවහලක් විය.

" මොකද සුභා දැන් අපි කරන්නේ"

කෙතරම් කාර්යබහුල දිවියක් මධ්‍යයේ වුවද සුභාෂිණී සමගින් සංවාදයෙහි යෙදීමට දවසේ වෙලාවක් වෙන්කර ගත් සරෝජ් එසේ ගතවී ගිය දිනක සිය තීරණය ඇයට ප්‍රකාශ කරමින් ඇසුවේය.

"අනේ මන්දා"

සුභාෂීණී පැවසුවේ මඳ සිනහවක් සිය ස්වරයේ රඳවාගෙනය.

"එහෙනම් මං වෙන අතක් බලාගන්නද?"

සරෝජ් ඇසුවේ සිනහව වලකා ගනිමින් මදක් තද ස්වරයෙනි 

"එපා එපා"

හිතටත් හොරෙන් ඇයගේ වදන් එක්වරම මුවින් පිට වී ගියේ සරෝජ්ව හඬනගා සිනහ ගස්වමිනි.

"කැමැත්තක් තියෙනවා ඒ උනාට බොරුවට ගණන් උස්සනවා නේද? සුභා, දැන් ඉතින් ගැටළුවක් නැහැනේ.අපි එක තීරණයකට එමු."

සරෝජ් හිරිපිටිය සිය ස්ථීර ස්වරයෙන් ඇසුවේ මේ කෙටි කාලය තුළදී ඇය යම්තාක් දුරට සිතටද සමීප වූ හෙයිනි.

ඉතින් ඉන් පසු දෙදෙනාගේ විවාහය සම්බන්ධව දෙපාර්ශ්වයේ වැඩිහිටියෝ තීරණ ගනු ලදුව දින නියම කර ගනු ලැබීය.

ඇතැම්විට අප ආදරය සොයා යන විට එය අප වෙතින් පලා යද්දී වෙනත් කොහේ හෝ ඉසව්වක සිට අපට හිමි ආදරය අප වෙත ළඟා වනු ඇත.

                                                               *** 


සරෝජ් හිරිපිටිය නිවේතාගේ ඊළඟ සටහන් පොත අතට ගත්තේ තම ජීවිතයේ අතීත ආවර්ජනය මොහොතකට නවතාලමිනි. මේ වකවානුවේ තමාගේ ජීවිතයේ සිදු වූ විවිධාකාර වෙනස්කම් සියල්ල සමහරක් විට සිදුවූයේ සිතා ගන්නටත් බැරි තරම් වේගයෙනි. එහෙත් ඒ සියලුම සිදුවීම් නිවේතාට බලපෑවේ කෙසේදැයි යන්න සරෝජ් හිරිපිටිය දැන උන්නේ නැත. නිලීකා අමතා ඒ සියල්ල දැන ගැනීමට වත් ඔහු උනන්දු නොවූයේ දිගින් දිගටම නිවේතා පසුපස හඹා යෑම පළකට නොවන බව වටහා ගත් හෙයිනි.

එහෙත් ජීවිතයේ මුල්ම වතාවට අමතක කළ නොහැකි මට්ටමේ ප්‍රේමයක් හදවත රිදුම් දෙමින් පැවතුණු යුගය විටෙන් විට අඳුරු අහසක අකුණු සරයක් මෙන් පැමිණ නොගියේයැයි කියන්නට නොහැක. සුසුමක් හෙලා ඒ සියල්ලම අතීතයට පවරා දෙනු හැරෙන්නට පිරිමි ඇසකට කඳුළු අකැප යැයි සිතන ලෝකයට ඒ කඳුළු වසන් කරමින් ඔහු ජීවිතයට ඉඩ දී බලා උන්නේය.

බැල්කනියේ වූ සුවපහසු අසුනේ සරෝජ් හිරිපිටිය අසුන් ගත්තේ සැඳෑ අඳුර හෙමි හෙමින් ගලා එන ඒ තත්පරයේ දී ය. උපැස් යුවළ මදකට සකසමින් නිවේතා සිය සිතුවිලි සටහන් කළ ඊළඟ පොත ඔහු කියවන්නට පටන් ගත්තේය.

                                                                 *** 

(නිවේතාගේ සටහන් )

මානවී වැඩිවියට පත් වූයේ අවුරුදු එකොළහ අවසන් වෙන්නට මත්තෙනි. ඇය ළමා වියෙන් වැඩිහිටි වියට පත් වී යැයි මට කිසිවිටෙක සිතුණේ නැත. අම්මා කෙනෙකුට දියණියක් කිසිම දිනක වැඩිහිටි වියට පත්වීම සැහැල්ලුවක් නොවේ. නමුත් වාසනාවකට මෙන් මා මේ වන විට ජීවත්වන්නේ දියණියක් වැඩිවියට පත්වීමම ඛේදවාචකයක් වන පරිසරයකින් ඈතය. 

"ලංකාවේ හිටියා නම් මං කෙල්ල ගැන කොච්චර බයකින් ඉන්න ඕනද? උඹට පින් පිං සිද්ධ වෙන්න මේ වගේ දෙයක් උනාට පස්සේ කෙල්ලයි මායි දෙන්නම කොච්චර නිදහසේ ඉන්නවද?" 

ලංකාවේ බඳු සාම්ප්‍රදායික සිරිත් විරිත් කිසිවක් නැති තවත් එක් දිනයක්ව මානවීගේ කායික මානසික වෙනස්කම පිළිගන්නට මට එදා හැකි විය.මා වැඩිවියට පත් වූ දා අඩුම තරමේ ඒ සංසිද්ධිය ගැන මට වටහා දෙන්නට තබා පෞද්ගලික සනීපාරක්ෂාව ගැන වත් මා දැනුවත් කරන්නට කුඩම්මා සහය වූයේ නැත. සියල්ලම මා හට තේරුම් කොට දී මා හට අවැසි වූ සියලුම අවශ්‍යතාවයන් සපුරා දුන්නේද නිලීකාගේ අම්මා ය.

මගේ දියණියට මේ සියල්ල තේරුම් කර දෙන්නට අද මා පමණක් නොව නිලීකාද මා සමග සිටින්නීය. 

"මට උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ"

නිලීකාගේ මුහුණ වෙනදාට වඩා අඳුරකින් පිරී ඇති බව මට වැටහුනේ උදෑසන සිටමය. සාමාන්‍යයෙන් නිලීකා කිසිම විටෙක ජීවිතයේ බරක් පතළක් දරන්නට අකමැති චරිතයක් වූවාය.ඇයටම ගැලපෙන සැහැල්ලු සරල ජීවිතයකින් යුතු වූ ඇයගේ සැමියා , ප්‍රදීප් සමඟින් ඇය ගත කළේ ඉතාමත් සතුටුදායක දිවියකි.

මූලිකව ඇය හා ඇයගේ නිවසේ ගත කළ ද පසුකාලීනව ඇයගේ නිවසට ආසන්නව කුඩා නිවසක් ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්නට මට හැකි විය. ඒ සඳහා අවැසි බොහෝ කාරණා සපයා දුන්නේ ද ප්‍රදීප් සහ නිලීකා විසිනි.මගේ ජීවිතයේ මා හට සහෝදරයෙක් සහෝදරියක් නැති අඩුව ඔවුන් වෙතින් පිරිමැසුණේය. ඉතින් ඇයගේ මුහුණේ වූ අඳුර සහ ගැටලුකාරී තත්ත්වය කුමක් දැයි මට සිතා ගන්නට නොහැකි විය.

"මොකද ප්‍රශ්නේ ?"

ඇය සමගින් මිදුලට බැස මිදුලේ කෙළවරක වූ සමර් හවුසියේ අසුන්වල ඉඳගනිමින් මා ඇසුඑව්මි.

"සරෝජ් අයියා බඳින්න යනවලු"

නිලීකාගේ ඒ වදන් සමඟින් මොහොතකට මගේ ලෝකය එකම තැනක නැවතුණු බවක් මට දැනුනි.ජීවිත කාලයේ පසුගිය වකවානුව තුළම මම උඩු සිතින් ප්‍රාර්ථනා කළේ ඒ කාරණාවම වුව ද මගේ යටි සිත කිසිසේත්ම එයට සූදානම් නොවී තිබුණු බව මම දනිමි. කිසිම දිනක සරෝජ් හිරිපිටිය සතු කර ගැනීමේ බලාපොරොත්තුවක් මා හට නොතිබුනද ඔහු මට සදහටම අහිමි වන බව දැනුනු ඒ මොහොතේ දී ඉතින් මම රික්තකයක අතරමංවීමි.

ඇසිපියන් ගසා ඇසට උනා එන කඳුළු වළකා වළකාගත් පසු ආයාසයෙන් මුවඟට සිනාවක් මවාගන්නට මම උත්සාහ කළෙමි.එහෙත් එය සිනාවකට වඩා මුව අග මාංශ පේශීන් දරුණු ලෙස වෙවිලුම් කෑමකට හසුවීමක් ලෙස පමණක් මට දැනුනි.

"උඹ කොහොමද දන්නෙ ?"

ගැඹුරු සුසුමක් හෙලා මම ඇය වෙතට හැරුනෙමි.

"අම්මා කෝල් කරා"

නිලීකා පැවසුවේ ඇයට යමක් අහිමි වූවා සේ දැඩි ශෝකයෙනි.

"උඹ ජීවිතයේ වටිනම දේ තමයි ඒ නැති කරගත්තේ නිවී. මට දුකයි ඒකයි.සරෝජ් අයියා වෙන කෙනෙක් බඳිනවා කියන එක මං කවදාවත් වැරැද්දක් විදියට දකින්නෙ නැහැ.අවුරුදු දහතුනකටත් වඩා එයා උඹ වෙනුවෙන් බලාගෙන උන්නා.අන්තිමේදී ඇලෙක්ස්ගෙ ප්‍රශ්නය එනකම්ම සරෝජ් අයියා තමන්ගේ උත්සාහය අත්හැරියේ නැහැ. මට හරි දුකයි නිවී."

නිලීකා එක්වරම ඉකි ගසමින් හඬා වැටෙන්නට වූවාය.මගේ අතීතය මැනවින් දැන උන්නේ ඇයය.මා නොදන්නා තරමටම සරෝජ් අයියා මවෙත පිදූ ආදරය ඇය වටහා ගෙන සිටියාය.බොහෝවිට සරෝජ් අයියා ඔහුගෙන් සිතේ ඇති මා සම්බන්ධ සිතුවිලි පවසන්නට ඇත්තේ නිලීකා සමගිනි.

මම සුසුමක් හෙලා සන්සුන් වන්නට බොහෝ සේ වෙර දැරීමි. ඉතින් තවදුරටත් මා මගේ යථා ස්වරූපය සැඟවිය යුතුය.සරෝජ් හිරිපිටිය ජීවිතය වෙනත් යුවතියක් සමගින් බෙදාහදා ගැනීම මා හට වළකා ලීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.

"නිලී මේ අහන්න , සරෝජ් අයියට ඒ ජීවිතයේ අත් විඳින්නට ලැබෙන්නම ඕනෑ.එයා මේ දේවල් වලට මෙච්චර පරක්කු නොවී මුල් කාලෙම තමන්ගේ ජීවිතේ පිළිවෙලක් ගැන හිතුවා නම් මේ වෙනකොට එයාට දරුවොත් ඉන්නවා.මට හරි සතුටුයි දැන් හරි එයා එහෙම පිළිවෙලක් වෙන එක ගැන."

නිලීකා මා දෙස බලා උන්නේ මහ දවාලේ හොල්මනක් දුටුවා සේ විමතියෙනි.කිසිදු හිතක් පපුවක් නැති කිසි ලතෙත් බවක් නැති නරුම ගැහැනියකයයි ඇය මා ගැන සිතන්නට ඇත.

"ඔව් එක අතකට මටත් දැන් මෙහෙම හිතෙනවා.තමන්ගේ ජීවිතේ හොඳම කාලෙදිම කෙල්ලෙක් හොයාගෙන බැඳගන්න එයාට තිබුණා .උඹ මත්තේම නැහි නැහී ඉන්නෙ නැතුව.අදටත් උඹට ඒක ගැන දුකක් නැහැයි කියන්නේ උඹ කිසිම දවසක සරෝජ් අයියට ආදරේ කරල නැහැ."

මම ආයාසයෙන් සිනහසුනෙමි. ඇතුළාන්තය ලෝදිය හැලියක දැවෙමින් තිබියදී මතුපිටින් හිමගිරක සිහිල පෙන්වන්නට තරම් මම දක්ෂ නිළියක් වීමි.

"ආදරේ කියන්නේ අයිතිකරගැනීමටම නෙවෙයි නිලී"

මම නිලීකාගේ කෝපය මැඩපවත්වා ඇයගේ නොරිස්සුම පහකරවන්නට වෙර දැරූවෙමි.

"අනේ මේ නිවී, පොත්වල ඉන්න ප්‍රේමවන්තියෙක් නොවී හිටපන්.මට එන කේන්තියට මම උඹට මොනව කියයිද දන්නෑ..ඒ නිසා වඳින්නම් කටවහන් හිටපන් "

නිලීකා හුනස්නෙන් නැගිට ගත්තේ මැඩනොගත් කෝපයෙන් වියයුතුය.එහෙත් මම නිහඬවම උන්නෙමි. සරෝජ් ඔබ හිමි මට නොවන බව මම දැන උන්නෙමි. එහෙත් මගේ යටිසිතේ ඔබ මගෙම වී උන්නේ අද වනතෙක්ම ලොවට රහසිනි. කෙටියෙන්ම කිවහොත් ඔබද නොදැනය . ඉතින් මට අද සිට ඒ අයිතියද නොමැත.

මම නිවසෙන් පිටතට ඇවිද ආවේ මඳක් තනිවන්නට ඇවැසි හෙයිනි.මානවී ඇයගේ ආරක්ෂාව සලසා ගනිමින් සිය වගකීම් දරන්නට සමත්ව සිටින හෙයින් මේ ජීවිතය මට ඉතා පහසුය.

ඇවිද ආ මාවතේ කෙලවරක වූ උද්‍යානයට ඇතුළු ව කිසිවෙක් නොගැවසෙන්නාවූ තුරුසෙවනකට අනිච්ඡානුගවම ඇවිදගියෙමි. සවස්‍ යාමයේ පරිසරය සිහිල්වෙමින් පවතින මොහොතක මම ඇතුළාන්තයෙන් දැවී යමින් උන්නෙමි.

ජීවිතයේ සියලු අපේක්ෂාවෙන් සිඳුණ කල යමෙක්ගේ අභ්‍යන්තරය රික්තයක් වන බව මම දැන් දනිමි. අයිතිවාසිකම් නොපතා උන්නද සරෝජ් පිළිබඳ මතකය මෙතුවක් මා සිත පුරවා දමා තිබුණි.

 "නිවී ආ යූ ඕල් රයිට්? නිවී ඔයා හොඳින්ද ?" 

මා පසෙකින් උද්‍යාන බංකුවේ හිඳ ගනිමින් මා ඇමතුවේ ඇලෙක්ස්ය. ඔහු මා අහම්බෙන් දැක එතැනට පැමිණ තිබුණි. ඉතින් මා විසින් දරාගෙන සිටි ඒ සියල් වේදනාව උතුරා ගලා යන්නට විය. මම දෑතේ මුහුණ හොවාගෙන බොහෝ වේලාවක් හඬා වැටුනෙමි 

ඇලෙක්ස් නිසොල්මනේ මා හඬන දෙස බලා උන්නේ තුෂ්නිම්භූත මුහුණුවරකිනි .ඔහුට මේ කිසිදෙයක් නොතේරෙන බව මම දැන උන්නෙමි .

"Ok now you can tell me what happened ?

හරිද මොකද උනේ කියලා මට කියන්නකො"

ඇලෙක්ස් මා විමසුවේ තවත් මද වේලාවක් ගත වූ පසුවය. මම ඔහුට සැකෙවින් වර්තමාන තත්ත්වය පැවසුවෙමි.

"ඔයා ඉතින් එයාව අයිතිකර ගන්න බලාපොරොත්තුවක් තිබුන කෙනෙක් නෙමෙයිනේ නෙමෙයි නෙ නිවී. ඉතින් ඇයි දැන් එයා වෙන කෙනෙක් එක්ක ජීවිතේ පටන් ගන්න යනකොට ඔයා මෙහෙම අඬා වැටෙන්නේ"

ඇලෙක්ස් මා වෙතින් පැවසුවේ එබඳු තේරුමක් ඇති ප්‍රකාශයකි. මා පවත්නා මේ මානසික වියවුල් භාවය මටද තේරුම් ගන්නට නොහැක .

මට ඔබ මා සතු කර ගැනීමේ තෘෂ්ණාවක් තිබුණේ නැතැයි කියන්නට නොහැක .ලෝකයට කෙතෙක් මෙය වසන් කළ ද මගේ ඇතුළාන්තය බලාපොරොත්තුව තිබුණේම සරෝජ් හිරිපිටිය පමණකි.

"නෑ මට මේ ටික ටිකකට දුකක් හිතුණා මිසක ඇත්තටම සරෝජ් ඒ කරන්න යන දේ හරි.මම හිත හදාගන්න ඕන ඇලෙක්ස්"

මම අවසානයේ සුසුමක් හෙලා දුක තුනී කර ගනිමින් ඔහුට පැවසුවෙමි.

"ඔයාට පුලුවන්නම් ඔය විදියට හිත හදාගන්න ඒක ප්‍රශ්නයක් නැහැ .නමුත් නිවී ජීවිත කාලයක් ඔයා ඔය දේ හිතේ තියන් විඳව විඳව ඉන්නවනම් ඒක හරිම මෝඩ වැඩක් .දැන් හරි කමක් නැහැ සරෝජ්ට ඔයාගේ ඇත්ත කියන්න"

ඇලෙක්ස්ගේ අදහස් එබඳු විය. එහෙත් මාගේ තීරණය වෙනස් නොවන බව මම දැන උනිමි.යළි මට හැරීමක් නොමැත්තේමය


                                                                    ***

සරෝජ් හිරිපිටිය මේතාක් කියවූ පොත වසා දමා පහළ මාලයට ඇවිද ගියේ ආහාර ගැනීමටය. සිරිදාස විසින් සකස් කළ ආහාරය මේසය මතට පිළිගන්වා තිබුණි.

ජීවිතය මිනිසුන්ට දුක හා සතුට ගෙනැවිත් දෙන්නේ අනපේක්ෂිත අන්දමටය. බලාපොරොත්තු වන වේලාවන්හිදී ඒ බලාපොරොත්තු වන දුක හෝ සතුට වෙනුවට හාත්පසින්ම වෙනස් වූ සංවේදනයක් ලබාදෙන ජීවිතය විටෙක කෙතරම් සරදමක්දැයි සිතාගත නොහැක. කාලයක් තිස්සේ තමා මේ සිදුවූ සිද්ධි දාමයන්හි නොගැටෙන්නට දැරූ තැත තවමත් අසාර්ථකය.

"සර් ඔහොම කාල හරියනවද ? බලන්නකො මේ දවස් ටිකේම හරියට කෑමක් නැහැ නේ.ඔය තුවාල වේලෙන්නෙත් නැත්තේ ඇඟට පෝෂණයක් නොවැටෙන නිසානෙ"

උඩින් පල්ලෙන් මෙන් අත ගා දැමූ කෑම පිඟාන දෙස බලමින් සිරිදාස තුන්වෙනි දිනයටත් සරෝජ් හිරිපිටියට නෝක්කාඩු බස් පැවසුවේය. සිරිදාස තරම් තමාගේ පෞද්ගලික කටයුතු ගැන වදවන්නෙක් වෙන නැති තරම්ය.

"කෑම පිරියක් නෑ සිරිදාස . පහුවෙලා කිරි කෝපිඑකක් හදල දෙන්නකො."

සරෝජ් හිරිපිටිය සිය පියගැටපෙළ නගිමින් යළි බැල්කනිය වෙත ගමන් කළේ ය.

දිගු වේලාවක් පොතට සම වැදී උන් හෙයින් දෑස් වල වේදනාවක් ඇති වෙමින් පවතී. එයින් යළිදු කතාවක් නිවේතාගේ පොත කියවීමේ අදහස මොහොතකට පසෙකලූ ඔහු බැල්කනියේ දිගු සෝපාවේ වැතිර ගත්තේය. සිය අතීතයේ ඉන් පසු සිදු වූ මතක සටහන් යළි යළිත් ඔහුගේ මතකයේ නිරායාසයෙන්ම ඇදෙන්නට විය.

                                                                            *** 

යළි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින)

Wednesday, April 20, 2022

14. දහහතර වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )

 



ඉතින් එළඹි තවත් එක් දිනයක සරෝජ් හිරිපිටිය සිය නිවැසියන් සමගින් කළුතර ප්‍රදේශයට පිටත් වූයේ පෙර දවසක විවාහ යෝජනාවකින් පැමිණි තරුණිය බලන්නටය. සිතට එකඟව නොයන මෙවනි ගමනක ඇති බරපතළ භාවය සිත ඔද්දල් කොට තිබුණි. තමා මේ කරන්නට යන්නේ නිවේතාහට එකට එක කිරීමක් ද නැතහොත් සියලුම දෙයින් පළිගැනීමක්ද යන්න යළි යළිත් සරෝජ් හිරිපිටිය කල්පනා කළේය. නමුත් මේ ගත් තීරණය ආපසු හැරීමක් නොවන බව ඔහු තමන්ටම ඒත්තු ගැන්වීය. 

තමා මෙතුවක් කල් තමාගේ ජීවිතයේ සියලුම දේට කලින් මූලිකත්වය දුන්නේ නිවේතා හටය. ඇය වෙනුවෙන් බලා උන් කාලය කෙතෙක් වුව ද එහි කිසිදු ප්‍රතිඵලයක් අවසානයේ නොවූ බව පමණක්ම තීරණය වී ඉතිරි විය.

නිවේතා තමන්හට ඇත්තෙන්ම පෙම්කලානම් මේ වන විට හෝ ඇයගේ තීරණය වෙනස් වන්නට ඕනෑවටත් වඩා කාලය තිබුණි. එහෙත් ඇයගේ හිතුවක්කාරකමෙහි අවසානයක් දකින්නට නොහැකි විය. ඇය තමා වෙතින් දුරස්ව යන්නට යන්නට තමා ඇය වෙත බැඳුණේ තමාගේ තුළ තිබූ දැඩි ඉවසීම සහ වචනයකට හරවා ගත නොහැකි ප්‍රේමණීය බැඳීම හේතුවෙනි. නමුත් එහි අනෙක් අන්තය එසේ නොවන කල්හි මේ බලා සිටීමම මිරිඟුවක් වනබව දැන් දැන් තේරුම් ගත යුතුව ඇත.

"පුතා මේ තීරණය ගත්තේ හොඳට හිතලා බලලා නේද?"

කළුතර යන්නට පෙර දවසේ සරෝජ් හිරිපිටියට යාබදව මහගෙදර ආලින්දයේ අසුනකට බර වූ තාත්තා ඇසුවේ මේ වන විටත් ඔහු සරෝජ් සහ නිවේතා සම්බන්ධ සියලුම කරුණු කාරණා හොඳින් දැන උන් හෙයිනි. කෙතරම් දේශපාලන ජීවිතයක් ගත කළ ද රට තොටෙහි සහ දෙස් විදෙස් වල දැන හැඳුනුම්කම් ඇති පුද්ගලයෙකු වුවද හිරිපිටිය හිටපු ඇමතිතුමා මේ අවස්ථාවේදී හැසිරුනේ ඇත්තෙන්ම ආදරණීය පියකු ලෙසිනි. වෙනත් දේශපාලන පවුල්වල දරුවන් සම්බන්ධයෙන් පියවරුන් සිය බලපෑම මොනවට ඉදිරිපත් කරද්දී ඔහු හැසිරුනේ දරුවන්ගේ ජීවිතය ඔවුන්ගේ තීරණ මත සැහැල්ලුවෙන් සහ නිදහසේ ගත කළ යුතු යැයි යන තීරණය මතය.සරෝජ් සහ සුලක්ඛනා සිය දෙමවුපියන්ගේ අභිමානය සහ ගෞරවය රැක ගනිමින් ජීවිතය ගත කළේ ඒ ආදරය සහ නිදහස ඔවුන් හට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබුණු හෙයිනි.

සරෝජ් හිරිපිටිය යාබද අසුනේ හිඳ ගත් පියා දෙස හිස මදක් හරවා බලා උන්නේය. ආලින්දයේ අඳුර මඳකට තුනී කරලමින් විදුලි පහන් දැල්වෙද්දි ආලෝකය වැටුනු තාත්තාගේ මුහුණ සරෝජ්ගේ හිතට එක් කළේ දැඩි ආදරණීය හැඟීමකි . තමා හට වයස හතළිහක් පමණ වන විට ද තාත්තා තමන් හට මෙතරම් ආදරයකින් කරුණාවකින් පෞද්ගලික කාරණා කතා කිරීම පවා සරෝජ්ගේ හිත සංවේදී කළේය .

"ඔව් තාත්තා. මම මේ තීරණය එන්න කලින් හුඟාක් කල්පනා කළා. තාත්තත් දන්නවනේ වෙච්ච හැමදේම.ඉතින් තවදුරටත් මේ කාරණය සම්බන්ධයෙන් බලාඉන්න තෙරුමකට නැති දෙයක් බව මට තේරෙනවා. තාත්තා මාව විශ්වාස කරන්න .මොනදේ වුණත් මගෙන් ඒ ගෑනුළමයාට අසාධාරණයක් වෙන්නේ නැහැ."

සරෝජ් හිරිපිටියගේ හදවතින්ම නැගුණු ඒ ප්‍රකාශයෙන් සියලු කුකුස් අතහැරී සිත නිවා ගත් තාත්තා අසුනෙන් නැගී සිට ගෙතුළට වැදුනේ ඔහුගේ හිස මත සිය අතක් තබා සෙමින් පිරිමැදීමක්ද තබමිනි .

 කළුතර මතුගම පාරේ නාගොඩ පසුකොට තරමක් දුර පැමිණි පසු වෙල් යායක් මැද්දෙන් දකුණට හැරී ගිය මාවතේ කෙළවරක ඔවුන් අපේක්ෂිත නිවස විය. උදෑසන පටන් හිත තදින් දැවූ අපහසුතාවය සරෝජ් හිරිපිටිය නොසන්සුන් කරවමින් තිබුණි. අවසාන මොහොතේදී පවා පය ආපස්සට ඇදෙන්නට ගත් වෙහෙස ඔහු වලකා ගත්තේ දැඩි අසීරුවෙනි. ජීවිතයේ මෙතුවක් කල් බලා උන් ඒ සිහිනය කිසිදා සැබෑ නොවන බව සරෝජ් වටහා ගත්තේය. කල් ඇතිව ඒ පාර්ශ්වයෙන් එවා තිබූ විවාහාපේක්ෂිත යුවතියගේ සේයාරුව යළිත් වරක් සරෝජ් බැලුවේ ඇය ගැන දළ අදහසක් ලබාගන්නට මෙනි. පෙනුමෙන් කියන්නට කිසිදු ගැටලුවක් නැති ඇය ඇත්තෙන්ම හොඳ පෞරුෂයක් දරන බවක් පෙනෙන්නට තිබුණි.

මේ ගමන යන බව නිලීකාට හෝ දැනුම් නොදෙන්නට ඔහු වග බලා ගත්තේ මෙම ගත් ස්ථීර තීරණය වචනයකින් හෝ එකෙල මෙකෙල නොවිය යුතු බව තීරණය කළ හෙයිනි. නිලීකා සමගින් ඒ සම්බන්ධයෙන් කතා කිරීම පවා ඇතැම් විට සිය පියවර යළිත් පටන්ගත් තැනටම ඇද වැටීමක් බව ඔහු දැන උන්නේය.කෙසේවතුදු නිවේතාගේ තීරණය කිසිසේත්ම වෙනසක් නොවන කළ තමා තව දුරටත් මේ තීරණයේ සිටීම පලක් නොවන බව ඔහු වටහාගෙන උන්නේය.

"එන්න එන්න හිරිපිටිය මහත්තයා. ආ මේ අපේ මන්ත්‍රීතුමා එන්න.එන්න"

ගෙහිමියා වූ ජයම්පති මානවඩු දෑත් එක්කරමින්ම ආචාර කරමින් ඔවුන් පිළිගත්තේ දැඩි ප්‍රීතියෙනි. හිරිපිටිය පවුලේ ආගමනයම ඔවුන්හට මහත් ගෞරවයක් බව ඒ හැම ඉරියව්වකම එදා දකින්නට විය.සරෝජ් ගේ මුහුණේ ආයාසයෙන් නගාගත් සිනහවක් විය. දේවක දිසානායක සිය අතකින් ඔහු සුරතට සෙමින් තට්ටු කලේ සන්සුන් වන්නයැයි නොකියා කියමිනි. සරෝජ් සුසුමක් හෙළා විසිත්ත කාමරයේ වූ පැරණි සේයාරූ දෙස නෙතු යොමු කළේය.

"නෝනා , දුවට එන්න කිව්වනම්..."

මඳවේලාවක ආගිය කතාබහට පසු ජයම්පති මානවඩු සිය බිරිඳ වෙතට හැරෙමින් පැවසුවේ සරෝජ්ගේ අවධානයද එදෙසට ඇදගනිමිනි. ඇය එබසට හිස වනා ගෙතුළට මොහොතකින් නැගීගියාය.

"එන්න එන්න දුව. මේ මාමලා අඳුනගන්න"

ජයම්පති මානවඩු සිය ඇඹෙණිය සමගින් එන දියණියට කතාකළේද සරෝජ් හිස ඔසවා එදෙස බැලුවේද එකම මොහොතකය. සේයාරූ වලින් පසුගිය වකවානුවේ ඇසට හුරුව තිබූ ඇය ඔහු ඉදිරිපසට ඇවිද එමින් සිටියාය.

          

සුභාෂිණී මානවඩු සරෝජ් හිරිපිටිය හමුවූයේ එලෙසිනි. ආචාර සමාචාරයන් ගෙන් අනතුරුව සරෝජ් ඉදිරිපස අසුනක හිඳවනු ලැබූ සුභාෂිණී එක එල්ලේ ඔහු දෙස නොබලාම උන්නාය. සරෝජ් වරක් දෙකක් ඇය දෙස බැලූවද ඔහු සිත පැවතුණේ රික්තකයකය.

"කෙල්ල නරකම නෑ නේද මචං?"

දේවක සරෝජ්ගේ කණට කෙඳිරුවේ මඳ සිනහවක්ද සමගිනි. සරෝජ් සිනා රහිත වතින් ඉවතටම හැරී සිටියේය. ඔහු තුළ පැවතියේ කියා තේරුම්කළ නොහැකි අපහසුදායක හැඟීමකි.

"එහෙනම් ඉතින් දෙන්නා අඳුනගන්න එකයි ඇත්තේ කතාබහ කරලා.නේද හිරිපිටිය මහත්තයා. අපි ඉතින් සාම්ප්‍රදායික වැඩිහිටියො නෙවෙයිනෙ."

ජයම්පති මානවඩු පැවසුවේ සිය දියණිය දෙස හැරී බලමිනි. ඇය ඒ මොහොතේ හිස නගා සරෝජ් දෙස බැලුවාය. අනිච්ඡානුගවම අසුනෙන් නැගී සිටි සරෝජ් නිහඬවම මිදුළට බැස්සේය. සුභාෂිණි ඔහු පසුපසින් ඇවිද ආවාය.

තමා පසුපසින් ඇවිද එන තරුණිය දෙස සරෝජ් මඳක් නැවතී හැරී බැලුවේය. ඇය මඳ සිනහවක් පිරි වතින් ඔහු දෙස බලා ඉවත බැලුවාය.

"සුභාෂිණී, නේද නම ?"

සරෝජ් හඬ අවදිකළේ තවත් මොහොතක් ගතව ගිය පසුය. 

ඇය හිස වනා පිළිතුරු දුන්නාය.

"මොකුත් කතාකරන්න එහෙම බැරි අමාරුවක් තියද? එහෙනම් දැන්ම කියන්න. මට ගොලු ගෑනුකෙනෙක් බැඳගන්න කැමැත්තක් නෑ කොහොමත්"

සරෝජ් අනායාසයෙන් සැහැල්ලු චරිතයට එක්වෙමින් පැවතුණි. මොහොතකට පසු ඔහු කියූ දේ වැටහී ඇයට සිනහවක් පිපිරී ගියේය.

" මේ ඔක්කොම වතුපිටි ඔයාට දෑවැද්දට හම්බවෙන ඒවා වෙන්න ඇතිනේ?"

සරෝජ් බැරෑරුම් ස්වරයකින් හාත්පස බලමින් ඇසුවේය. සුභාෂිණී ඒ මොහොත වනවිට මේ පුද්ගලයාගේ ඇවතුම් පැවතුම් සහ සරල බව වටහාගෙන සිටියාය. 

"නෑ , මෙව්වා අපේ නංගිටයි මටයි සමසේ බෙදෙන ඒවා. හිරිපිටිය වලව්වේ අයට ඔච්චර ඉඩකඩම් අහේනියක් තියනව කියල මම දැනගෙන උන්නෙ නෑනෙ"

සුභාෂිණී ද සිය සුපුරුදු චරිතයට එක්වෙමින් උන්නාය. සරෝජ් මොහොතක් ඇය දෙස බලාඋන්නේය. ඇතැම් විට මේ තේරීම තමාගේ සිතට යම් ශාන්තියක් එක්කර නොදේවිද ?

" අර මොකක්ද සද්දයක් ඇහෙන්නෙ?"

සරෝජ් ඇසුවේ පරිසරයේ නිහඬබව බිඳෙන ස්වරයකට සවන් යොමමිනි.

"ආ ඒ දොළේ සද්දෙ" 

සුභාෂිණී මඳක් දුරින් වූ පුවක් ගස් පේළියකට ඔබ්බෙන් වූ ප්‍රවේශයක් අතදිගු කොට පෙන්වූවාය.

"යන්න ඕනෙද එහෙට?"

ඇය ඔහුගෙන් අසනා විටද ඔහු එදෙසට ඇවිදයමින් තිබුණි.

"මේක නම් මට දෑවැද්දට ඉල්ලගන්නම ඕන"

සරෝජ් පැවසුවේ දොළ අබියසට එමිනි.

"දෑවැද්දක් ඉල්ලන්නෙ ඉස්සෙල්ල කැමතිද අකමැතිදවත් නොදැන?" 

සුභාෂිණී පුවක් ගසකට හේත්තුවෙමින් ඇසුවාය. 

සරෝජ් හිරිපිටිය ඇය අසලට පැමිණ ඇයගේ හිසට ඉහළින් පුවක්ගසට අතතබා ඇය දෙසට නැඹුරු විය.

"මං හිතන්නෙ මට ඔයාට අකමැතිවෙන්න හේතුවක් නෑ. සුභා මොකද කියන්නෙ?"

තවමත් හිතේ ප්‍රේමයක් හටනොගැනුණද ඇය ඇසුරේ ජීවත්වීම පහසුවනු ඇතැයි සරෝජ්ගේ යටිසිත පවසන්නට පටන්ගෙන තිබුණි.ප්‍රේමය...ඉතින් එය තම සිතට කවදා යළි ලඟාවනු ඇත්දැයි සිතන්නට අසීරුය. ඒ ගැන සිතත්ම සිතට ඇතුල් වන්නේ නිවේතා ගැන මතකයන්ය. ආයාසයෙන් හෝ ඒ මතකයන් යටපත් කිරීම සිතාමතාම කල යුතුමය.

"අපි අපි ගැන මොනවද දන්නෙ සරෝජ්?"

සුභාෂිණී ඇසුවේ දොළ අද්දර ගල්පවුරක් මත හිඳගනිමිනි. සරෝජ් ඇය දෙස විමසුම් බැල්මෙන් බලා උන්නේය. සුභාෂිණී හිස නගා ඔහු දෙස බැලුවේ කතාබහකට සූදානම් වෙමිනි.

"සම්පූර්ණ කතාටික අනාවරණය කරගන්න අද දවසෙ නම් වෙලාවක් මදිවෙයි. ඔයාට මං ගැන දැනගන්න ඕන දේවල් අහන්න. ඒ එක්කම ඔයා ගැනත් මට කියන්න"

සරෝජ් ඇයට තරමක් දුරින් හිඳ ගත්තේය. 

"ඔයා එන්න කලින් මම හිතාගෙන උන්නේ කෙලින්ම ඔයාට බැහැයි කියනවා කියන තීරණේ"

සුභාෂිණී සුසුමක් හෙලා ගලා යන දොළ පහරේ නොනවතින දියසුලි දෙස බලා උන්නාය.

"ඇයි ඒ . මං ගැන මොකුත් නරකක් ආරංචි වුණා ද?"

සරෝජ් හිරිපිටිය ඇසුවේ ඇයදෙස යොමුව ගත් තීක්ෂණ බැල්මෙනි.

"අනේ නැහැ. ඔයා ගැන අඩුමගානේ පත්තරවලවත් ටීවී ප්‍රෝග්‍රෑම් එකකවත් නරකක් මම අහලා නෑ.පලවෙනිම දේ මම පොලිටික්ස් වලට තියන අකමැත්ත. ඒ ජීවිතවල ප්‍රයිවසි එකක් නැතිබව මම අහලා තියනව.ඒක එකක්"

"එතකොට අනෙක?"

සරෝජ් මඳින් මඳ ඇයගේ කතාවට පැහැදෙමින් සිටියේය.

"අනෙක මම මේ මාස හයකට කලින් මගේ ලෝන්ග්ටර්ම් එෆයාර් එක බ්‍රේක් වුණ එකේ ශොක් එකෙන් ඉන්නෙ. ඉතින් මට අමාරුයි දැන්ම ආයෙ ජීවිතේ වෙනසක් ගැන හිතන්න"

සුභාෂිණී නොවලහා සියල්ල පවසමින් සිටියාය.සරෝජ් කල්පනා කරමින්ම නැගී සිටියේ ඇයට නැගීසිටින්නට අත දිගු කරමිනි.

"අපි යමු. ගෙදර අය හොයනවා ඇති දැන්"

සුභාෂිණී ඔහු දිගුකළ අතෙහි එල්ලී නැගී සිටියාය.

"මට කියන්න තියෙන්නෙ මෙච්චරයි සුභා. මම මට අවුරුදු විසිහයේ ඉඳන් ගිය මාසෙ වෙනකල් එකම කෙනෙක් වෙනුවෙන් බලන් උන්න කෙනෙක්. ඉතින් බ්‍රේක් අප් එකක තියන වේදනාව මට අමුතුවෙන් කියන්න ඕනනෑ. නමුත් අපි කතාකරමු මේ දේවල් ගැන. ඉන් පස්සෙ තීරණයක් ගම්මු."

සරෝජ් හිරිපිටිය නිවස ආසන්නයට පැමිණ ඇයගේ අත සියතින් මුදාහරිමින් පැවසුවේය. එතුවක් තම අතින්ම් අල්ලාගෙන පැමිනි ඒ පිරිමි අත් ස්පර්ෂය තමාහට අමුත්තක් නොගෙනා අන්දම සුභාෂිණී කල්පනා කළාය.

"සුභා, තව එකක්.."

ගෙතුළට හැරී යන්නට සැරසුණු ඇයට සරෝජ් යළි අඬගැසුවේය.සුභාෂිණී ආපසු හැරී ආවේ විමතිය මුසු ඇසිනි.

"මට දැන් හතලිහක්. කතාබහ කරන්න ගන්න කාලය ටිකක් අඩුවෙන් සලකලා බලන්න වෙයි හොඳද?"

සිනහව ආයාසයෙන් වලකාගනිමින් සරෝජ් පැවසූ වදන් අසා සිනහව නවතගනු නොහැකිව ඇය යළිත් ගෙතුළට දිව ගියාය.

 "එද්දි නිකම් මස්කඩේට ගෙනියන හරකා වගේ ආව එකාගෙ මූණෙ තියන පෙම්පාට බලහල්ලකො"

දේවක දිසානායක සිය බිරිඳට පැවසුවේ සරෝජ්ගේ පැහැබර වූ මුහුන පෙන්වමිනි. ඇත්තෙන්ම මල්ලිගේ මුහුණේ සැබෑ වෙනසක් දකින්නට ඇත.සුලක්ඛනා ද මේ වෙනස දුටුවාය.

"අම්මෝ මේ අවුස්සගන්න එපා .අන්තිමට ඕකත් බෑ කියල දමල ගහල යයි."

සුලක්ඛනා පැවසුවේ දේවකගේ අත සෙමින් කොනිත්තාලමිනි.

"පිස්සුද සුලා, අර බලන්නකො මෑන්ගෙ මූණෙ එළිය. මං ශේප් එකේ අල්ලගන්නම්කො"

දේවක පැවසුවේ ඔවුන්ගේ මුහුණු දෙස ආයාසයෙන්ම හිතාමතාම නොබලා ඉන්නා සරෝජ් දෙස බලමිනි.

මානවඩු නිවසෙන් සමුගත් සියල්ලෝ යළි දේවක දිසානායකගේ නිවසට පැමිණියේ රෑබෝවූ හෙයිනි.

"මං පොඩ්ඩක් මල්ලිත් එක්ක එළියට ගිහින් එන්නම්"

දේවක මුවග පොපියන සිනහව මැද සුලක්ඛනාහට පැවසුවේ අම්මා සහ තාත්තා ඉදිරිපිට දිමය.දෙමස්සිනාවරුන්හට සිත්සේ කතබහ කරගන්නට ඉඩදී සෙසු අය නිහඬවූහ.

 

"හරි දැන් කියපන්. මොකක්ද උඹෙ තීරණේ?"

දේවක දිසානායක සුපුරුදු අවන්හලේ කෙළවර මේසය වෙන්කොට ගත්තේ කල්වේලා ඇතිව ඇමතුමකදීය. පෞද්ගලිකත්වය ආරාක්ෂාවන මේ අවන්හල ප්‍රභූ පෙළන්තියේ අය පමණක්ම පැමිණෙන එකක් විය.

"මන්දා ඉතින්.."

සරෝජ්ගේ මුහුණේ වූ හැඟීම් ප්‍රකාශනය කියවාගන්නට නොහැකි තරම් අතදරුවෙක් නොවූ දේවකට එබස සමගින් සිනහවක් ද මැවුණි.

"මන්දා නන්දා නෙවේ. උඹට කෙල්ලව හිතට ඇල්ලුවද? අම්මලා නම් උඩින්ම කැමතියි.කිසි ප්‍රශ්නයක් නැති පවුල්නෙ ඕවා."

දේවක පැවසුවේ සරෝජ් වෙත හැරෙමිනි. 

"කියන්න තරම් නම් වරදක් නෑ .ඒ උනාට කතාබහ කරල දැන අඳුනගන්න ඕනනෙ.බලමු ඉතින්"

සරෝජ්ගේ කතාවේ ඇදපැද තාලයෙන් එන එවදන්වල ඇත්තේ මේ සම්බන්ධව ඔහුගේ අකමැත්තක් නැතිබවම මිස අන්කිසිවක් නොවීය.

***************************************************************************************************************************  

යලිත් හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)

Monday, April 18, 2022

13. දහතුන් වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )




 (නිවේතාගේ සටහන්)

ඕස්ට්‍රේලියාවේ ජීවිතය ඇත්තෙන්ම මා හට පහසු වූයේ මගේ සුදුසුකම් වලට ගැලපෙන්නාවූ රැකියාවක් වැඩි කල් නොයවාම මා හට ලැබුණු හෙයිනි .ඒ අතරේදී මානවී අප උන් ප්‍රදේශයේම පාසලකට ඇතුලත් කරන්නට ද අවස්ථාව සැලසුණි. මා හට වඩා මානවී ඕනෑම අයෙකු සමගින් යුහුසුලුව මුසු වූවාය. කිනම් ජාතියක කිනම් දේශයක වුවද ඕනෑම අයගේ සිත් දිනා දිනා ගන්නට සමත් වීමම ඇයගේ අපූරු වාසනා ගුණයක් විය.

මේ වයසේ වෙනස් දරුවන් පාසල් යන්නට ගොස් මවගේ ඇඟේ එල්ලෙමින් හඬා වැටෙන යුගයක මානවී මාහට සිනා පිරි වතින් හැමදාම අත වනා සමුදුන්නාය.

"පුදුමාකාර දරුවෙක් තමයි. ඇත්තටම බං මේ වගේ දරුවෝ ලැබෙන්නේ පිනට" 

මානවීගේ උපත කෙසේ වුවද ඇය අද වන විට ඒ සියලු දුක් පිරිපත මට අමතක කර දෙන්නියක වූවාය. පාසල් අධ්‍යාපන කටයුතුවලදී සහ බාහිර වැඩ කටයුතු වලදීද සුදු ජාතික ළමයින් සහ විදෙස් රටවලින් වලින් පැමිණ උන් සෙසු දරුවන් හා උරෙන් උර ගැටී ඇයගේ හැකියාවන් පෙන්වන්නට ඇය සමත් වූවාය.

මා ජීවිතයේ මුල්ම වරට මා ආසා කළ රැකියාවේ යෙදෙමින් උන්නෙමි.ගෘහ සහ උද්‍යාන අලංකරණය සම්බන්ධව මගේ තිබූ ආසාව යම්තාක් දුරට උසස් ඩිප්ලෝමා මට්ටමේ දී මා ප්‍රගුණ කොට තිබූ හෙයින් මගේ රැකියාව ඒ සම්බන්ධයෙන්ම යෙදෙන්නක් විය.

"ඔය ඉන්න ගමන් තව ටිකක් කොලිෆිකේෂන්ස් එකතු කරමු. හොඳ සැලරි එකකට පුළුවන් එතකොට" 

නිලීකා මා නිතරම උනන්දු කර වූවාය. මේ වකවානුවේ නීලිකා හරහා මා හට සරෝජ් හිරිපිටිය සම්බන්ධ කරුණු කාරණා ඉඳහිටක දැනගන්නට ලැබුණි. ඔහුට නිවසින් විවාහ යෝජනා ගෙන එන බව ද ඔහු ඒ සියල්ල නොසලකා හරිමින් සිටිනා බව ද නිලීකා හරහා මට සැලවිය.

"එක්කෝ ඌ හැදෙන්න ඕන නැත්නම් උඹ හැදෙන්න ඕන.මේකෙ වෙන්නෙ එකෙක්ට එකෙක් දෙවෙනි නොවී හිතුවක්කාර වෙන එක"

නිලීකා මාහට බැනවදිමින් පැවසුවාය. මා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බව සරෝජ් මෙන්ම ඇයගේ දෙමවුපියන් ද දැනගත් පසු එහි චෝදනාව කෙලින්ම එල්ලවූයේ නිලීකාටය. සරෝජ් එතරම් අමනාපයක් නොපෙන්නුවත් රත්නායකමාමා සහ නැන්දා නිලීකාට දෝෂාරෝපණය කර තිබුණේ මේ සියල්ල ඇයගේ සැලසුම් යැයි වරදවා වටහා ගෙනය.

"උඹට වත් මාව තේරෙන්නේ නැහැනේ නිලී. සරෝජ් අයියාගේ ජීවිතය යන්න ඕන ලොකු ගමනක් තියනවා. ඒක එයා අනිවාර්යයෙන් යනවා. ඒ ගමනෙදි මම එයාගේ පැත්තකින් ඉන්න තරම් සුදුසු කෙනෙක් නෙවෙයි. ඒක කවුරු කොහොම කිව්වත් දන්නේ මම"

වෙහෙසකර හඬකින් මම යළි යළිත් මගේ පසින් සත්‍යය පහදාදෙන්නට වෙර දැරීමි.

"උඹට කියන්න බැරි මොකුත් මට නෑ නිලී. ඒත් අසිහියෙන් හරි ජීවිතේ වුණ ලොකුම නරකම දේ නිසා මට පිරිමියෙක් එක්ක එහෙම ජීවිතයක් කවදාවත් ගතකරන්න බැරිවෙයි නිලී. මං බයයි නිලී. ඒ දේවල් ජීවිතේ මාව පුදුම විදියට අසරණ කරනවා"

ඉකිගැසෙන්නට පෙරාතුව මම දෑතේ මුහුණ ඔබා ගත්තෙමි. නිලීකා අඩියට දෙකට මවෙතට පැන්නාය.

"අනේ රත්තරනේ , මං ඔහොම පැත්තක් ගැන හිතුවෙම නෑ බං. ඇත්තෙන්ම උඹේ ඇට්ටරකම කිය කිය දොස් කිව්වට මට එහෙම දෙයක් ගැන කල්පනාවක් වුණෙම නෑ.අපි ඩොක්ටර් කෙනෙක් මීට් වෙමුද කෙල්ලෙ"

මා වැළඳ ගත් නිලීකා මඳ වේලාවකට පසු මා මුදාහරිමින් ඇසුවාය. මා පෙළන්නාවූ ඒ භීතිකාමය තත්වය වෛද්‍ය ප්‍රතිකාර වලින් සමනය කළ හැකි වනු ඇත. එහෙත් මගේ මුලු ජීවිතය පුරා ඇති ඒ හිස්බව , අප්‍රසන්නකාරී බව සහ විඩාව මා කෙසේ මගහැර යන්නද? 

මට යළිත් නැවුම්ව ජීවිතය දකින්නට නොහැක. එය ස්ථිරය.

"නෑ නිලී, මේක මට හුරුයි.අපි සරෝජ්ව මේකෙන් ඈත්කරවන්න ඕනෙ.මං එයාට ආදරෙයි කියන්නෙ එයා මගේ අයිතියට බැඳෙන්න ඕනයි කියන එක නෙවේ නිලී. මං එදා උඹලගෙ ගෙදරට අන්තිමට ආ දවසේ වින්ද ඒ ආදරේ මට හොඳෙටෝම ඇති ජීවත්වෙන්න.මට උදව් කරන්න නිලී. එයාව අපි මෙතනින් ඈතට යවන්නම ඕනෙ"

මම බැගෑපත්වීමි.

"ඒ වගේම තව එකක්. මානවී කාගෙන් කන්සීව් වුණත් ඒ දැන් මගේ දුව. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම මම. ඉතින් මට මානවී සරෝජ්ට ළං වෙන්න ඉඩ දෙන්න බෑ නිලී. එකක් මට මානවීගේ අනාගතය ගැන හිතන්න ඕනෙ .සරෝජ් එයාගේ භාරකාරයා වෙන්න අවශ්‍ය නෑ"

දිගුදුර ධාවනයක යෙදුනාක් මෙන් මම හතිලමින් පැවසූවෙමි. මේ සියල්ල වෙහෙසය.මට විවේකයක් අවැසිය.ඉතින් සරෝජ් ඒ මාවතේ කොණකවත් සිටිය නොයුතුය.නිලීකා සුසුමක් හෙළා මහිස මත අත තබා පිරිමැද්දාය. ඇය මා නිසා අනවශ්‍ය තරමටම වෙහෙස වන්නීය. දුක් උහුලන්නීය. ඒ මිත්‍රත්වය ම මා දරාසිටින්නක් නොවේද ?

කාලය ගෙවී ගියේ සිතුවාටත් වඩා වේගයෙනි. ජීවිතය නිරන්තරයෙන්ම අභියෝගයන් අතරේ ගලායන්නට විය.
"Niwee your works are fabulous (නිවී, ඔයාගෙ වැඩනම් නියමයි)" 
මගේ රැකියා ආයතනයේ ප්‍රධානී වූ ඇලෙක්ස් මගේ නිර්මාණයන් නිතර ප්‍රසංශා කරන්නට විය. ඇත්තෙන්ම මා විසින් කරන ලද බොහෝ ගෘහ අලංකරණයන් ගනුදෙනුකරුවන්ගේ ප්‍රසංශාවට ලක්වූයේ බටහිර ආරයට ආසියානු ආරයක් මුසු වෙමින් ඒවා නිර්මාණය වූ නිසා විය යුතුය. එහි ඇති අනන්‍යතාවය ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය වඩ වඩාත් ලබාගත්තේය.

"Thank you Alex, its my pleasure 
(ස්තුතියි ඇලෙක්ස්, ඒක මට සතුටක්)"

නිහතමානීව ඒ පැසසුම් බාරගන්නට මම හුරුව උන්නෙමි. මාගේ රැකියා ස්ථානය ඇත්තෙන්ම ප්‍රියමනාප වූවක් විය. මා විසින් උගත් ක්ශේත්‍රයට අනුවම නිදහසේ රැකියාව පවත්වාගෙන යාමට මට එතැන නිදහස තිබුණි. ඉතින් යමෙකුහට සිය උපරිමයෙන් වැඩ කරන්නට සිත්වීම නොරහසක් නොවේද?
ඇලෙක්ස් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ නායකයෙක් විය.ඔහු කිසිදුවිටෙක සිය සේවක සගයන් අව මට්ටමේ තබා ක්‍රියාකළේ නැත.ඉතින් සියලුම කාර්ය මණ්ඩලය ඔහු සමගින් සේවය කරන්නට ඉතාමත් කැමැත්තක් දැක්වූ අතර මමද එසේ වූයෙමි.
" so, aren’t we going to celebrate this success?(අද අපි ඉතින් මේ ජයග්‍රහණය සමරන්නේ නැත්ද?) 

ඇලෙක්ස් ඇසුවේ අද දවසේ මා විසින් කරනු ලැබූ ඒ ගෘහ අලංකරණ ක්‍රියාදාමය පසසනු ලැබුවේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පුද්ගලයෙකු වූ හෙයිනි. එවන් පැසසුම් පෞද්ගලිකව මා හට මෙන්ම මුළු ආයතනයටම ඉතාම වැදගත් වන ඒවා විය. ආයතනයේ අනාගතය එවන් පැසසුම් මත පැහැදිළි ඉදිරි ගමනකට යොමුවෙයි.
විදෙස් රටකට පැමිණි පසු එවන් ගමන් බිමන් සුහද හමු මාහට ප්‍රතික්ෂේප කරන්නට අනවැසි මට්ටමට හුරුපුරුදු ඒවා වූ හෙයින් මම ඒවාට අනුගත වීමි. අනෙක් අතට නිලීකා නිතර මාගේ සමාජ ජීවිතය උනන්දු කරවන්නට යුහුසුළු වූවාය. 
" මම දුවව බලාගන්නම්. ඇලෙක්ස් එක්ක ඩිනර් ගිහින් එන්න" 
නිලීකා මා හට පැවසුවාය. එහෙයින් එදින රාත්‍රී ආහාරය පිණිස මම ඇලෙක්ස් සමගින් නිස්කලංක අවන්හලක් වෙත පියමැන්නෙමි.
"Niwee what is your decision now? Hasn't it changed yet? ( නිවී ඔයාගේ තීරණය මොකද දැන් ? තවමත් ඒක වෙනස් වුණේ නැද්ද ?)"
ඇලෙක්ස් විසින් මේ අසනු ලබන්නේ ඔහු විසින් කාලයකට පෙර මා වෙත ඉදිරිපත් කළ යෝජනාවයි. ඇත්තෙන්ම ඇලෙක්ස් යනු බෙහෙවින් ප්‍රියමනාප පුද්ගලයකු වූ අතර වයසින් මා හට අවුරුදු පහක් පමණ වැඩිමහළු වූ පුද්ගලයෙකු විය. ඔහුගේ සේවා ස්ථානයේ සේවිකාවක් වූ මා හට ඔහු වෙතින් විවාහ යෝජනාවක් පැමිණියේ මින් වසරකට පමණ පෙරය. 
මා විසින් කිසිදු හේතුවක් නොදක්වාම එය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අප දෙදෙනා අතර වූ සුහදත්වය තවදුරටත් පවත්වා ගෙන යමිනි.මා විසින් ප්‍රතික්ෂේප වුවද ඇලෙක්ස් විසින් කිසිම මොහොතක එම ප්‍රතික්ෂේප වීම අප අතර අමනාපයක් ඇති වීමට තරම් ගැටළුවක් සේ නොසැලකුවේය.ඒ ඔහුගේ වූ අවබෝධයේ පරිමාණයයි.
"Alex, I am sorry actually..(ඇලෙක්ස් මට ඇත්තෙන්ම සමාවෙන්න ..)"
මා මගේ තීරණය වෙනසක් නොවන බව ඔහුට පවසා සිටියේ සරෝජ් හිරිපිටිය සහ මගේ අතීත කතාව සම්පූර්ණයෙන්ම ඔහු වෙත දිගහරිමිනි. මේ වන විට මාගේ ජීවිතයේ පෙර අතීතයේ කටුක සිදුවීම් විසින් ඇති කළ දැඩි වේදනාවන් ක්‍රමක්‍රමයෙන් සමනය වෙමින් පැවතුණි. මගේ අතීත කතාව සාවධානව අසා සිටි ඇලෙක්ස් සිය සුරත මගේ උරහිස වටා යවා මඳකට මා වැළඳගත්තේය.
"Actually ,I am jealous of that guy..(ඇත්තෙන්ම මට සරෝජ් එක්ක හරිම ඉරිසියයි)"
ඇලෙක්ස් සිනහ වූයේ එවදන් පවසමිනි.ඉතින් ඉන් ඔබ්බට ඔහු පුන පුනා පැවසුවේ සරෝජ් සමගින් මා එක්විය යුතු බවමය. ඒ සඳහා ඔහුගේ පසින් විය හැකි සියලුම උදව් නොවළහා ඉටුකරන බවද ඇලෙක්ස් පැවසීය.
එහෙත් ආදරය යනු හිමි කර ගැනීම නොවන බව ඇලෙක්ස් වටහා ගත්තේ මගේ තීරණය තහවුරු කළ පසුය. ඇතැම් විට මා අසාධාරණ බව ඔහු පැවසීය.ආසියාතික ගැහැනියකගේ දැඩි මතධාරී බව මේ සුදු ජාතිකයා විටෙක නොරුස්සන සුලු වූයේ ඒ වන වනවිටත් ඔහු මගේ කතාවේ සියලුම දෑ දැන සිටි බැවිනි. බටහිර ලෝකයේ ඇති සබඳතාවල ඇති සරල භාවය ආසියාතික ගැහැණු පිරිමි අතර නොවන බව ඔහුට තේරුම් ගත නොහැකි විය.
මා විසින් සිදුකරන ලද නිර්මාණයන් ඇගයීම වාර්ෂිකව වූ උළෙලක දී සිදුවූයේ මේ සිදු වූයේ මේ අතරය. මෙම උත්සවයට ආයතනයේ නියෝජනය කරමින් සහභාගීවූයේ ඇලෙක්ස් සහ මාය. විවිධාකාර මාධ්‍යයන්ගේ ඡායාරූපකරණයට සහ ප්‍රශ්න විචාරාත්මක හමු වලට මාහට යොමු වන්නට සිදුවූයේ ඇලෙක්ස් සමගින්මය.
මේ අතරේදී ඇලෙක්ස් සහ මා සමීපව කතාබහ කරන සේයාරූ කිහිපයක් සරෝජ් හිරිපිටියගේ අතට කිනම් හෝ ක්‍රමයකින් ලැබී තිබුණි.එමෙන්ම අප විසින් මාධ්‍ය සාකච්ඡා වල දී කතාබහ කළ ඇතැම් කරුණු අතරේ තිබූ පෞද්ගලික කාරණාවන් ලිඛිත මාධ්‍යයට අනුවර්ථනය වී තිබුණේ අර්ථයන් වෙනස් කරමිනි. එම බොහෝ ප්‍රවෘත්තිවලින් හැඟවුණේ ඇලෙක්ස් මා දැඩි ලෙස ප්‍රසංශා කිරීම, ඔහුගේ සහ මගේ සම්බන්ධතාවයක් ඇතිබවක් සේ හඟවාය.
"ඉවරයි ඉතින් ඔක්කොම ඉවරයි. අන්න අපේ අම්මලයි සරොජ් අයියයි ඔක්කොම උඹයි ඇලෙක්සුයි අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා ඇවිස්සිලා. "
නිලීකා දුරකථන සංවාදයකට පසු මා වෙත පැමිණියේ හිසේ අත තබාගෙනය.
"මං අම්මට කියන්නම් මේ ඔක්කොම මිස් අන්ඩර්ස්ටෑන්ඩින් කියලා. අර යකා විකාර කරනවාලු"
මම සිතට ආ ක්ෂණික සිතුවිල්ලක් මත අසුනෙන් නැගී උන්නෙමි.
" එපා එපා කියන්න එපා. ඕක හොද පොයින්ට් එකක් දැන්වත් සරෝජ් අයියව මගෙන් ඈත් කරවන්න. ඇලෙක්ස් එක්ක මගේ සම්බන්ධයක් තියෙන විදිහට දිගටම ඉන්නම්.එතකොටවත් අඩුම ගණනේ ගනනේ සරෝජ් අයියා තමන් ගැන තීරණයක් ගනීවි හරියකට"
මම එවදන් කීවේ සිතට එකඟව නොවේ.එහෙත් මා හට කරන්නට දෙයක් නොමැත.සරෝජ් අයියාගේ සම්පූර්ණ ජීවිතයම අවාසනාවේ හෙලන්නට මම කිසිසේත්ම කැමති නොවෙමි.මේ එය වෙනස් කරන්නට සුදුසුම අවස්ථාවයි. නිලීකා මාගේ බොහෝ බැගැපත් වීම් හඬා වැලපීම් සහ තර්ජනය කිරීම් කිහිපයකට පසු මා සමඟින් එකඟ වූවාය.
" මේ ආත්මෙ මට දරුවෙක් නැති වුණේ ගිය ආත්මෙ මොකක් හරි පවක් කරපු නිසා වෙන්න ඇති. උඹ මේ කරන වැඩ වලින් මට ලබන ආත්මේ මිනිහෙකුත් නැති වෙනවා"
නිලීකා පැවසුවේ දැඩි අමනාපයකිනි. සිත සත් සියයක් කැබලි වලට කැඩී යද්දි මම කෙසේ හෝ මෙම දාන පාරමිතාව පුරන්නට තීරණය කර ගත්තෙමි.
එහෙත් ඒ සියල්ල තීරණය කරගත් පසුත් බොහෝ රාත්‍රීන්හි දී මා රහසේම හඬා වැටුණු බව දන්නේ මා පමණි. 
දයාබර සරෝජ් , උපනූපන් ආත්ම භවයකදී හෝ මේ අයුරින් වෙන්ව නොයා ඔබ මගේම වනු ඇතැයි මම සැමදාමත් බලාපොරොත්තු වෙමි.මෙම ආත්මභාවයේදී මට ඔබෙන් මිදීයන්නට අනේ ඉතින් අවසර දෙන්න.
 
නිවේතා විසින් ලියන ලද මෙම පරිච්ඡේදය ය කියවූ පසු සරල හිරිපිටිය පොත වසා දමා කාමරේ ඒ මේ අත ඇවිද්දේ සිය නොසන්සුන් සිත සමනය කර ගන්නටය. නිවේතා මේ සා බොරුවක් කළ බව තමා දැන ගත්තේ වසර ගණනාවකට පසුව ය. 
ඇලෙක්ස් සමගින් ඇයගේ සේයාරූ විදෙස් සගරාවක දුටුවිට තමාගේ සිතට දැනුනු වේදනාව සහ ඊර්ෂ්‍යාව සරෝජ්ට අද මෙන් මතකය.
"එයා මට එහෙම කළා එහෙනම්"
සරෝජ් හිරිපිටිය අඳුරු අවන්හලකදී ඒ වේදනාව පැවසූයේ සිය සොහොයුරියගේ සැමියා වූ දේවක දිසානායකටය.
සිය මස්සිනාගේ සිත් වේදනාව දේවක දිසානායක නිහඬව දරා උන්නේය. මේ සා සියලු අඳුරු පරිච්ඡේදයන් ගතව යද්දීත් නොසැලුණු සරෝජ්හට නිවේතාගේ මේ හැසිරීම දරාගන්නට නොහැකි බව දේවක දැනඋන්නේය.
"අපි තව ටිකක් හොයලා බලමුද?"
ඔහුටද මෙය විශ්වාස කළ නොහැකි හෙයින් ඔහු විමසුවේ තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයන්නට තීරණය කරමිනි.
"ඕන නැහැ අයියේ .මෙච්චර අවුරුදු ගානකට එයාගෙන් මට කිසිම බුරුලක් සහනයක් හම්බඋනේ නැහැ .මාත් මෝඩයෙක් වගේ එයා වෙනුවෙන්ම බලා හිටියා .මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ .ඒත් නිවේතා හරිම තද තීරණ ගන්නා ගෑනියෙක් ."
"එයා මේ සුද්දෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා කියල මම විශ්වාස කරන්නේ නැහැ .ඒත් මෙයා ඒ ප්‍රවෘත්තිය පැතිරෙන්න දීලා නිහඬ වෙලා ඉන්නවා කියන්නේ මට තවදුරටත් මං ගැන කිසිම අදහසක් නැහැයි කියන එක.කමක් නැහැ මම දැන් හිත හදා ගන්න ඕනේ "
සරෝජ් හිරිපිටිය හිනැහෙන්නට උත්සාහ දරමින් සිය සොහොයුරාට පැවසීය . ඒ සිනහව කෙතෙක් වේදනාබරදැයි දේවක එකම බැල්මකින් වටහා ගත්තේය.
සියල්ල මෙසේ නොසිතු අන්දමින් ගලාගෙන යද්දි සරෝජ් පසුවූයේ සියල්ල අහිමි වී ගිය බලාපොරොත්තු විරහිත පුද්ගලයෙකුගේ තත්ත්වයෙනි. දේවක දිසානායක සිය සොහොයුරෙකු බඳුවූ ඔහු ගැන දැඩි සේ කම්පා වූ අතර සිය බිරිඳ සමගින් මේ සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන දිගටම සාකච්ඡා කළේය.
"මේ යකා නාස්ති වෙනවා මෙහෙම ගියොත්. සුලක්ඛනා නරකද අම්මලට කියලා මේකට අර අන්තිමට ගෙනාපු යෝජනාවවත් ආපහු උඩට ගත්තොත්" 
දේවක සිය බිරිඳ සමගින් පැවසුවේ සරෝජ් හිරිපිටිය වෙත පසුගිය වකවානුවේ පැමිණ තිබූ එක් විවාහ යෝජනාවක් සම්බන්ධයෙනි. නිවේතා සම්බන්ධව දැඩි තීරණයක පසුවූ හෙයින් සරෝජ් හිරිපිටිය එම යෝජනාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මග හැර ගියේය.ඇත්තෙන්ම කියන්නට තරම් වරදක් නොවූ එම යෝජනාව සම්බන්ධයෙන් යළිත් කථා කිරීම සුදුසු යැයි දේවකට සිතුනේ සරෝජ් මේ පසුවන කම්පනීය තත්ත්වයෙන් ඔහු මුදා ගන්නටය .
"අම්මයි තාත්තයි පොඩ්ඩක් මල්ලිත් එක්ක මේක ගැන කතා කරන්න. එයා ඉන්නේ කොහොමත් අවුලෙන්නේ. ඒ ගෑනු ලමයගෙ කියන්න තරම් වරදකුත් නැහැනේ. ඒ නිසා අපි මේ යෝජනාව ආපහු පොඩ්ඩක් සලකා බලමු"
දේවක දිසානායක සිය නැන්දනීය සහ මාමණ්ඩිය සමගින් ඔවුන්ගේ මහ ගෙදර දී මෙම කතාබහ පැවැත්වූයේ සරෝජ්ට නොදන්වාය. 
"මෙහෙම දෙයක් තියෙනවා පුතා. මෙයා පසුගිය කාලයම ගත කළේ ඔය එකම තීරණයක් එල්ලිලා. දැන් ඒකෙන් ඈත් වුනාම මේ තව කාරණයකට අපි ඇදලා දාලා අන්තිමට කොහෙවත් යන ගෑනු ළමයෙකුට අපි අසාධාරණයක් කළා වෙයිද ?" 
සරෝජ් ගේ පියා කෙතරම් දුරදිග දකින පුද්ගලයකුදැයි යන්න දේවක මනාව දැන උන්නේය.
"තාත්ත කියන කතාව ඇත්ත. ඒත් අපි ටිකක් කතා කරල බලමු. හැමදාමත් මල්ලිට ඔහොම ඉන්න බැහැනේ. අපි දෙන්නත් එක්කම කතා කරලා තීරණයකට එමු."
දේවක දිසානායක සිය බිරිඳ සමගින් හිරිපිටිය නිවසින් සමුගෙන පැමිණියේ මේ සම්බන්ධ කාරණය සරෝජ් සමඟින් නිදහසේ කථා කළ යුතු බවට තීරණය කර ගෙනය

දේවක දිසානායක සරෝජ් සිය නිවසට කැඳවූයේ මෙම කාරණය ගැන කතා කරගන්නට සුදුසුම වූ ස්ථානය එතැන බැවිනි . සෙසු පුද්ගලයන්ගෙන් බැහැරව තමා සහ බිරිඳ පමණක් මේ සම්බන්ධයෙන් කතා කරන මූලික අවස්ථාවට සුදුසු යැයි ඔහු තීරණය කළේය .
"අම්මයි තාත්තයි එක්ක පස්සේ කතා කරමු ඉස්සෙල්ලා අපි මල්ලිත් එක්ක මේක ගැන කතා කරගෙන ඉමු."
දේවක සිය බිරිඳ සමගින් පැවසුවේ සරෝජ් පැමිණෙන බව සනාථ කළ පසුවය. 
දීර්ඝ සාකච්ඡාවකට අනතුරුව බොහෝ කරුණු කාරණා පහදා දීමෙන් පසු සරෝජ් හිරිපිටිය දේවක දිසානායකගෙ බසට යම් නම්‍යශීලී භාවයක් දැක්වූයේ මෙතුවක් කල් තමා විසින් ගෙන තිබූ දැඩි තීරණය නිවේතා කරන කියන ලද්දා වූ ක්‍රියාදාමයන්ගේ හිතුවක්කාර භාවය හේතුවෙන් මේ වන විට කැඩී බිඳී ගෙනයද්දී ය.
ඇය වෙනුවෙන් තමා මෙතුවක් කල් බොහෝ ඉවසීමෙන් කාලය ගත කළ ද ඇයගේ හිතුවක්කාර කම මෙන්ම දැඩි තීරණය ද අබමල් රේණුවකවත් වෙනසක් නොවීය. තමාගේ නම්‍යශීලීභාවය ඇය වටහා ගත්තේ නිවටකමක් ලෙසින්දෝ යයි සරෝජ් හිරිපිටියේ විටෙක සිතුවේය. ඇය කෙරෙහි සිතේ තිබූ අපරිමිත ආදරය ඇය නිතරම නිතරම වටහා ගත්තේ අනුකම්පාවක් ලෙසිනි.ඉතින් ඇයට ළං වන්නට දැරූ හැම තැතක්ම ඇය විසින් නොසලකා හැර දමා හමාරය.
"මං දන්නැහැ අයියේ ඔයාලා කැමැත්තක් කරන්න. මට දැන් මේ හැමදේම එපා එපා වෙලා තියෙන්නේ" 
දැඩි වෙහෙසකාරී හඬකින් සරෝජ් හිරිපිටිය පැවසුවේ අසුනෙහි ඇන්දට හිස තබා දෑස් පියා ගනිමිනි.
"අපි ඔයාට මේ කරන්න යන්නේ නරකක් නෙවෙයි.අම්මා තාත්තා උනත් මල්ලිට කවදාවත් බලකිරීමක් කරේ නැහැ නේ.දේවකත් මමත් මල්ලිගේ අනාගතය වෙනුවෙන් ඔයා වගේම බලාගෙන උන්නේ ඒ ගෑනු ලමයගෙ අදහස වෙනස් වෙයි කියලනෙ. නමුත් මල්ලි මේ යන විදියට ඒ තීරණය වෙනස් වෙන්නෙත් නැහැ .එයා දැන් එයාගෙම ගමනක් යන්න පටන් අරන්නේ. අම්මයි තාත්තයි වුණත් ඔයාගේ අනාගතය ගැන පුදුම දුකකින් ඉන්නෙ"
අක්කා සරෝජ් හිරිපිටියගේ යාබද ආසනයට පැමිණ ඔහු හිස පිරිමැද්දේ පෙර දවසක කුඩා වියේදී මෙන්ම දැඩි ආදරයෙනි. සරෝජ් හිරිපිටිය ඇසට ඉපදෙන්න කඳුළු දෑස තුලම වලක්වා ගනිමින් මොහොතක් අක්කාගේ අතකින් අල්ලාගෙන සිටියේය.
"මං නිසා ඕගොල්ලෝ කිසිම කෙනෙකුට සැනසීමක් ලැබුණේ නැහැ. මං දන්නවා අම්මයි තාත්තයි වුණත් ඉන්නෙ කියාගන්න බැරි හිත්වේදනාවකින් වෙන්න පුළුවන්. මං ජීවිතේට මුහුණ දෙන්න තීරණය කළා.අම්මාලට කියන්නයි ඒ ගෙදරට යන්න දිනයක් දාගන්න කියලා"
සරෝජ් හිරිපිටිය අක්කාගේ අත පසෙකට කොට නැගී උන්නේ එසේ කියමිනි. ඉන්පසු සමු ගැනීමකුදු නොකොට ඔහු නිවසින් පිටත් වී රියට නැගී පිටව ගියේය .
"මල්ලි ඉන්නේ හිත් වේදනාවකින් තමයි.අපි මේ වැඩේ ඉක්මන් කරමු .සමහරක් වෙලාවට මේ දේ එයාගේ හොඳටම වෙන්න පුළුවන්.කෝකටත් දෙන්නට ආශ්‍රය කරන්න ඉඩ දීලා බලමු"
දේවක දිසානායක පැවසුවේ දෑසින් ගලා යන කඳුළු පිස දමමින් සිටින සිය බිරිඳටය .
සහෝදර ප්‍රේමයක සැබෑ වේදනාවක් ඇගේ දෑස්වලින් ගලා ගියා කඳුලේ විය.


යලිත් හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)

Tuesday, April 5, 2022

12. දොළොස් වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )



නිවේතාගේ සටහන් රැඳුණු එම පිටුවේ කෙළවරක කුඩා ලියුම් කවරයක් අමුණා තිබිණි. සරෝජ් හිරිපිටිය එය විවෘත කොට හතරට නවා තිබූ ලිපිය අතට ගත්තේය. ජීවිතයේ මුල් වතාවට පෙම් හසුනක් කියවන්නා වූ ප්‍රේම වන්තයෙකුගේ සිනහවට ඉතා ආසන්න මදහසක් සරෝජ්ගේ මුහුනේ ඒ මොහොතේ ඇඳී තිබුණි 

දයාබර සරෝජ් අයියේ..

මේ ලිපිය ඔබ අතට පත්වන විට මම මානවී ද සමගින් ලංකාව හැර ගොස් දින ගණනාවක් ගත වන්නට ඉඩ ඇත. මේ පළමුවෙනි වැකිය දුටු මනතින්ම ඔබ මා සමගින් දැඩි ලෙස තරහ ගනු ඇති බව මම හොඳටම දනිමි.එහෙත් මා හට සමාවී මේ ලිපිය අවසානය දක්වාම කියවන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

මගේ ජීවිතේ ගත වූ කාලය ගැන යළි යළිත් ඔබට ලිවීමට මට ඇවැසි නොවේ.මන්ද මා තරමටම නැතහොත් මටත් වඩා එය ඔබ අවබෝද කරගෙන ඇති හෙයිනි. එහෙත් ඔබ නොදන්නා එහෙත් ඔබ විසින් දැනගත යුතු කරුණු කිහිපයක් පමණක් සමුගන්නට පෙරය මම ලියා තබන්නෙමි. 

ඔබ මගේ ජීවිතයට පැමිණියේ අහම්බයක් ලෙසය. එහෙත් ඒ අහම්බය එහෙත් ඒ කිසිදු බලාපොරොත්තුවක් නොවූ දැරියකට මග පෙන්වූ පහන් තාරකාවක් විය. මගේ ජීවිතයේ අනාගතය සම්බන්ධයෙන් මා බලාපොරොත්තු උපදවා ගත්තේ ඔබගේ දිරිමත් කිරීම්වල හේතුවෙනි. අද මා ජීවිතයේ යම් සාර්ථක බාවයක් ලබාගෙන තිබුණේ නම් ඒ සියල්ල ඔබ නිසාමය.

එහෙත් ජීවිතයේ අවාසනාවම තුරුළු කොටගෙන ඉපදුන මාහට දෛවයේ සරදම් කරේ ඉතාමත්ම සැහැසි ආකාරයටය. එකම දවසක දී ජීවිතේ පලමු වතාවට ආදරේ යන හැඟීම හේතුවෙන් ඉපදී ගත් යුවතියක් ඒ දවසේම තමන්ගේ සියලු වටිනාකම් අහිමි ව ඉතාමත් කෲර ලෙසින් අපහරණයට ලක් වූයේ දෛවය මා හට සරදම් කළ හෙයින් විය යුතුය.තවමත් ජීවිතයේ කායිකව හා මානසිකව ඒ අපහරණයේ තුවාල මා රිදවයි.

මේ සියල්ල සිදු වූ පසුත් ඔබ මා වෙත දක්වන්නාවූ මේ අවධානය (එය ආදරයමදැයි මට විටෙක සිතෙයි. එය අනුකම්පාවක් යැයි මට මගේ යටි සිත යළි යළිත් තහවුරු කරයි) මා යළිත් යථා තත්ත්වයට ගෙන ඒමට වඩා මට මා එලෙස නොරුස්සන්නියක් බවට පත්කරමින් සිටී.

දයාබර සරෝජ් අයියේ.

මානවී ඔබ වෙත අදිසි ලෙසින් බැඳීම මට අනෙක් අතට මහා ගැටලුවකි. දුරටත් මේ බැඳීම පවත්වාගෙන ගියහොත් මානවී ඔබ වෙතින් ඈත් කර ගැනීම මට කළ නොහැක්කක් වනු ඇත.එහෙයින් මම ඔබ හැර යන්නෙමි.මෙම තීරණය මා විසින් ගත් ආත්මාර්ථකාමී තීරණයක් බව පිළිගනිමි.

රටේ පිළිගත් එමෙන්ම වැදගත් පරම්පරාවකින් පැවත එන ආදරණීය පවුල් පසුබිමක් දරන්නාවූ ඔබ වැන්නෙක් ජීවිතයට හවුල් විය යුත්තේ මා වැන්නියක් නොවේ. දෙමව්පියන් සහ සහෝදරිය ඔබ පිළිබඳව තබා ඇති බලාපොරොත්තු ඔබ විසින් ඉටු කළ යුතු ය.එමෙන්ම මේ රටේ ජනතාව ඔබ අත තබා ඇති වගකීමද ඔබ ඉටු කළ යුතුය.ඒ ගමනේදී ඔබේ පසකින් සිටිය යුත්තේ මා නොවේ. මා ලංකාවේ සිටින තාක්කල් මගේ තීරණය වෙනස් නොවන බව මම දනිමි.

ඉතින් මම යන්නෙමි. ආපසු ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවක් මට නැත. මානවී හදා වඩා හදාවඩා ගැනීමට මට ආර්ථිකව ශක්තිමත් වීමේ අවශ්‍යතාවයක් ඇත.

දැන් මම යන්නෙමි.

මගේ නිවැසියෝ ...ඇත්තෙන්ම ඔවුන් මගේ නොවේ. මානවී මා වෙතින් උදුරා ගන්නට පිඹුරුපත් සකස් කරති.ඒ කරදර අතරට ඔබ පැමිණියහොත් එයින් හානි වන්නේ ඔබටමය. ඔබ විසින් ගොඩනගාගෙන යන ප්‍රතිරූපය මෙවන් වැදගම්මකට නැති කාරණා හේතුවෙන් අවුල් නොවිය යුතුය.

අවසාන වශයෙන් මෙසේ කියා තබමි. ජීවිතයේ මුල්ම වතාවට මෙන්ම එකම සහ අවසාන වතාවට ප්‍රේම කළේ ඔබටය. ඔබට පමණක්මය.

මතු සසරේ කවදා හෝ ඔබ මට හමු වනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. එදිනට මා ඔබ අහිමි කරගන්නේද නැත.

ඉතින් සමුගනිමි.

ආදරය පමණක්ම තබා යමි.

නිවී.


                                                                         ***

දෑසෙහි සෙමින් තැවරී යන කඳුළු පටලය වියලාගනිමින් සරෝජ් හිරිපිටිය ගැඹුරු සුසුමක් හෙලීය. දෛවය ඇත්තෙන්ම කර තිබෙන්නේ ඉතාම කුරිරු සරදමකි. නිවේතාහට තමා සමගින් එක්වන්නට තිබූ සියලුම ඉඩකඩ එලෙස අහුරා දමා තිබුණි. 

මේ ලිපිය තමා අත පසුව හෝ පත්වී නම් තමා ඇයව කෙසේහෝ සොයාගෙන යන බව ඔහු විශ්වාස කළේය. එහෙත් නිවේතා ඒ සියලු ඉඩකඩ ඉතිරි කොට ගියේ නැත. මේ ලිපියෙන් යම්තාක් දුරට සිය හදවතේ සරෝජ් හිරිපිටියට ඇති බැඳීම ලියා තිබුණද එයද ඔහු අත පත් කරවන්නට ඇයට හැකියාවක් නොවීය. සුසුමක් සමගින් ලිපිය යළිත් නවා තබා සරෝජ් හිරිපිටිය ඊලඟ පිටුවට නෙත් යොමු කළේය.

 

                                                                      ***

අහසේ නිල්වන් වළාකුලු පීරාගෙන මා සහ මානවී රැගත් ගුවන්‍ යානය ගමනාන්තය වූ ඔස්ට්‍රේලියාව කරා පියාසර කරන මොහොතේ මම සැනසුම් සුසුමක් හෙලුවෙමි. ඔවුන් සියල්ලන්ගෙන්ම මිදී මෙසේ ගැලවී එන්නට ලැබීමම මා සතුව ගිය භාග්‍යයක් විය. 

දීර්ඝ ගුවන් ගමනකට පසු මම නිලීකාගේ නිවහනට පැමිණ සිටින්නෙමි. ඉතින් හෙටින් අරඹන මගේ ජීවිතය පහසු එකක් නොවන බව පමණක් මම දනිමි. සියලුම දේ හුරුපුරුදු වූ මගේ රටේදී මා කෙතරම් දුරට හුදෙකලා වුවද ඒ මා උපන් දා පටන් ජීවත්වූ රටයි. එහි මගේම කියා කිසිවෙක් මා හට නොසිටියද මෙවන් හුදෙකලාවක් ගැන මට තාමත් ඇත්තේ චකිතයකි.

ගත වූ කාලයේ දී ඉංග්‍රීසි භාෂාව සමගින් රැකියාවකට සුදුසුකම් සපුරා ලන්නට විවිධාකාර පාඨමාලා කිහිපයක්ම මම හැදෑරුවෙමි. මගේ හැකියාව වූ නිර්මාණ ශිල්පයේ සහ ගෘහ අභ්‍යන්තර අලංකරණ සම්බන්ධ පාඨමාලා කිහිපයක සුදුසුකම් සපුරාලන්නට මා උනන්දු කළේ නිලීකාය.

" මේවගේ රටක රස්සාවල් හොයන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ උනාට අපි ටිකක් අන්කොමන් ෆීල්ඩ්ස් අල්ලගත්තොත් ඒවට ගැළපෙන ජොබ්ස් තියනවා."

ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර රැකියාවන් කිහිපයකට අයදුම්පත්‍ර යොමුකොට අන්තර්ජාලය ඔස්සේ විවිධාකාර සම්මුඛ පරික්ෂණ කිහිපයකට ද මම සහභාගී වුනෙමි. ඉතින් මා හට සතුටුදායක පිලිතුරක් ඔවුන් වෙතින් ලැබෙනු ඇතැයි නිලීකා පැවසුවාය.

දින කිහිපයක ඇවෑමෙන් නීලීකා සමගින් මා රැකියාවක් වෙත යෑමේ බලාපොරොත්තු ඉතින් මට ඇත. මානවී බලාගැනීම නිලීකා ස්වේච්ඡාවෙන් පවරා ගැනීම කියාගන්නට බැරිතරමේ සහනයක් මට ගෙන ආවේය.ඉතින් හෙට සිට ජීවිතය ගෙන යන මාවතට හැරෙන්නට මම දිරිය වඩා ගත යුතුය.සරෝජ්.....ඉතින් ඔබට මා මතකයෙනුත් ගිලිහී යනු ඇත.

                                                                         ***

ඉන් ඔබ්බට ඒ සටහන් ගොනුවේ කිසිවක්ම නොවීය.වියළි මල් අත්තක්, කුරුටු ගෑ සිතුවමක් මිස එකදු අකුරක් යළි එහි සටහන් නොවීය.ඒ නිවේතාගේ ජීවිතයේ මුල් පරිච්ඡේදයන් ඇය සටහන් කොට දමා තිබූ ආකාරය විය.

උදෑසන කුරුලු හඬ එකින් එක ඇහැරෙන්නටද පටන්ගෙනය. හිසේ තුවාලයට එතරම් සැලකිල්ලක් නොදැක්වූ නිසා තරමක් වේදනා දෙන්නට ද පටන් අරගෙනය. පෙරදවසේදීත් ශල්‍ය වෛද්‍යවරයා දැඩි සේ අවධාරණය කළේ තුවාලයට වඩා ඇතිවූ පහරදීමේ කම්පනය හේතුවෙන් මනා නින්දක් සමගින් විවේකයක් ගන්නා ලෙසය.තමා සම්පූර්ණ රාත්‍රියම වෙන්කළේ නිවේතාගේ සටහන් කියැවීමට ය .

අසල වූ බිත්තියේ රැඳී ඔරලෝසුවේ වේලාව පෙරවරු පහ පසුවී විනාඩි විස්සක් දැක්වේ.සරෝජ් හිරිපිටිය සටහන් පොත පසෙක තබා සයනයේ වැතිරී දෑස්පියා ගත්තේ විවේකයක් ලබනු රිසියෙනි.

සරෝජ් යළි අවදිවූයේ උදෑසන අටට පමණය. සිරිදාස විසින් අමතනු ලදුව ඇහැරී සයනයේම හිඳ ගත් ඔහු සෙමින් තුවාලයේ වියළී යන මැහුම්පහරවල් වලට අතැඟිලි තැබුවේය. තවමත් හරිහැටියකට වියැළී නොගිය තුවාලය මඳක් රිදුම් දෙයි.

" සර්, හසිත මහත්තයා ඇවිල්ල ඉන්නේ?"

සිරිදාස පැවසුවේ තේ බන්දේසිය සරෝජ් ඉදිරිපිට මේසය මත තබමිනි. ඒ සමගම වූ වතුර වීදුරුව අතට ගත් සරෝජ් 

"තේ ටිකක් සූදානම් කරන්න. උදේට කෑමත් එක්ක.මම ඉක්මනින් එන්නම් කියන්න"

යැයි පවසමින් සඳැල්ලේ ජනේලය අසලට පැමිණියේය. 

ජනෙල් පලු විවර කළවිට අනවසරයෙන් මෙන් කාමරය තුළට කඩාවදින උදෑසන සිහිල් සුලඟට මුසුවන්නේ මිදුළේ සේපාලිකා ගසේ පිපී බිමට පතිතව ඇති මල් සුවඳය.ඉස්සරම දවසක නිවේතා අත සේපාලිකා මල් අහුරක් තබා ආ දිනය සරෝජ් ගේ මතකයට කඩාවැදුණේ සුලඟ පරිද්දෙන්ම අනවසරයෙනි.

ජීවිතයේ දශක ගණනාවක් ගෙවී ගියද ඇතැම් සුන්දර මතක පුංජයන් කොහේහෝ ඉසව්වක එල්බෙමින් පවතී.මහා කතරකට වැසිවැටෙන අහම්බයකදී වර්ණවත් මල් සියදහසක් පිපෙන්නා සේ ලද එකම අවසරය මත ඒ සියුම් මතකයන්ද නොදැනීම ඉස්මතුව එයි.තමා සේපාලිකා පැළයක් සිරිදාසට ගෙනවිත් දුන්නේද එවන් මතකයේ හේතුවෙන් බව සරෝජ් අවබෝධකරගෙන උන්නේය.

"සොරි හසිත, රෑ වෙනකල් අර මහාවංශෙ කියෙව්වානෙ.මට නින්ද ගියේ පාන්දර"

සරෝජ් හිරිපිටිය ඉහළමාලයේ සිට පහළට එමින් පැවසීය. හසිත මොහොතක් සරෝජ් දෙස බලා උන්නේ එවදන් වල අර්ථය හඟිනු රිසිවය. මොහොතකින් එය අවබෝධ වූ පසු ඔහුටම සිනහවක් නැගුණේ සරෝජ් ගේ එවදන් සමගමය.

"අංකල් ඕක ඉවරකරල මිසක් නවතින්නෙ නෑ කියල අපිත් කතාවුණා"

හසිත සරෝජ් සමගින් තේ මේසය වෙත පියනගමින් පැවසීය. 

"මොන ඉවර කිරිල්ලක්ද හසිත, තවම එකයි කියෙව්වෙ.තව තුනක්ද කොහෙද තියනවා" 

සරෝජ් තේ මේසයට හිඳගත්තේ හසිතට අතින් සන් කරමිනි.

"අද වෝඩ් දාවිද දන්නෙ නෑ. අපි යමු නේද මෙහෙම්ම" 

සරෝජ් ආහාර ගනිමින්ම ඇසුවේය. කෑමට ප්‍රියක් නැතද බෙහෙත් ගන්නා හෙයින් කුමක් හෝ ආහාරයට ගත යුතුව ඇත. නිවේතා පිළිබඳ වර්තමාන තත්වය හදවත දවාලන්නේ ආහාර රුචිය පවා අහිමිකරමිනි.

"ඇත්තෙන්ම කිව්වොත් මට හරි බයයි හසිත. ඩොක්ටර් ඊයෙ කියපු විදියට නිවීට ජීවිත කාලය පුරා පුරාවටම බලපාන ගැටළුවක් ඇති වෙයිද කියලා"

"මටත් බය ඒකයි අංකල්. ගෙදරදි බබීට නොදැනෙන්න මම නෝමල් විදියට හිටියත් මට පුදුම බයක් හිතට දැනෙන්නෙ"

හසිත පැවසුවේ සරෝජ් වෙතටම හැරෙමිනි.

"හැබැයි හසිත මෙයාව ඩිස්චාජ් කලාම ආයෙ කොහෙවත් යන්න බෑ.මම එයාව මගෙ ගෙදරට අරන් එනවා" 

සරෝජ්ගේ දැඩි හඬට හසිත හිස නගා බැලුවේ නිහඬවමය.

"එයාගේ හිතුවක්කාරකම් හොඳටම ඇති පුතා. ඔය කිව්වා නාහන ගතියට මුලදිම ඉඩ නොදී උන්නා නම් අද ඔහොම වෙන්නෙ නැහැ.මගෙත් බුරුල වැඩිවුණා සෑහෙන්න එයාට"

එක් අතකට සරෝජ් අංකල් පවසන සියල්ලද සත්‍ය බව හසිතට වැටහුණි. අම්මාගේ නම්‍යශීලී බව එනතුරා බලාසිටි කාලය ඕනෑවටත් වඩා වැඩිය. 

රෝහලේ ඉදිරි දොර අසලින් සරෝජ් සමගින් හසිත බැසගත් පසු රෝහල් රථගාලට රිය පිටත්විය. 

මුහුණට හමුවන එක් අයෙකු දෙදෙනෙකුගෙන් සරෝජ්ගේ ගමනට බාධා ඇතිවූවේ ඔහුව හඳුනාගත් හෙයින් සහ පෙරදවසක හිසට වූ අනතුර මේ වනවිටද ප්‍රසිද්ධ වී තිබුණු හෙයිනි.

වදනකින් දෙකකින් ඒ කතාබහ නිමකරමින් හසිත හා යළි ගමනට එක්වූ සරෝජ් හිරිපිටිය ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ ඇමතුම උදෙසා සායන කාමරය අසළ මොහොතක් රැඳී සිටියහ.විනාඩි ගණනාවක ඇවෑමෙන් හෙදිය ඔවුන් කාමරය තුළට කැඳවීය.

"කොහොමද ඇමතිතුමා?" 

මුවග සිනහව රඳවාගෙන අසුනෙන් නැගී උන් විශේෂඥ වෛද්‍යවරයා ඔහුට අතට අත දුන්නේය.

"අනේ මේ, උඹ මගෙන් අහගන්න එපා හරිද?"

දිගුකල අතට පහරක් ගැසූ සරෝජ් හිරිපිටිය ඉදිරි අසුනට බරවූයේ කලකට පසු හමුවූ පාසල් මිතුරාගේ බසට නොපහන් බවක් අභිනයෙන් පෙන්වමිනි.

"උඹලගෙ කියවිලි නම් ඉතින් උදේ ඉඳන් හවස වෙනකම් සෝෂල් මීඩියාවලින් අපි ඇතිවෙන්න අහනවනෙ. සෝ, කොහොමද දැන් ඔලුව? මං හිතන්නෙ ඕක එච්චර සීරියස් වුණෙ නෑ.මට වෝඩ් ඩොක්ටර් කිව්වා"

වෛද්‍යවරයා සිනහසෙමින් පැවසුවේය. 

"මේක අවුලක් නෑ. මං ආවේ මේ නිවේතාගේ කන්ඩිෂන් එක කොහොමද බලන්න" 

සරෝජ් හිරිපිටිය හසිත දෙසද බලමින් පැවසීය. විශේෂඥ වෛද්‍ය වරයා සරෝජ් දෙස මොහොතක් බලා යළි හසිත දෙසද බැලුවේය.

"හසිත මේ කෝකිල , මගෙ ස්කූල් ටයිම් බැච්මේට්.මචං මේ නිවේතාගේ දුව මානවීගෙ හස්බන්ඩ්. බී ඕපන් ඇන්ඩ් ටෙල් එව්රිතින් ටු අස් නව්" 

දෙදෙනාව දෙදෙනාට හඳුන්වා දී සරෝජ් අසුනේ කෙළවරට ඇදී ආවේ වඩා විමසිල්ලෙනි.

"මේකයි මචං. ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තිබුණා. ඒ බිම වැදුණ පාර එක්ක නිවේතාගේ ඇතුළෙ ලේ නහරයක් පුපුරලා ඒක වෙලා තියෙන්නෙ."

"මේ වෙනකොට එයා ටික ටික රිකවර් වේගෙන එනවා. නමුත් ඔයාලට කලින් කිව්ව වගේම එයාගෙ බ්‍රේන් ඩැමේජ් එක නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්න ටික ගැන තමයි අපි ඊළඟට හිතන්න ඕනේ" 

විශේෂඥ වෛද්‍යවරයා අත වූ පෑනෙන් මේසයට තට්ටු කරමින් පැවසීය.

"එයාගෙ ඩැමේජ් වෙලා තියෙන්නේ මොළයෙ දකුණු පැත්ත ඒ නිසා එයාගේ ශරීරයේ වම් පැත්තෙ ක්‍රියාකාරීත්වය ගැටළු සහගත වෙන්න පුළුවන්. හැබැයි සි.ටී., එම්.ආර්.අයි. වලින් පෙන්නන විදිහට ඩැමේජ් එක සෑහෙන්න අඩුයි. ඒ නිසා මෙයාව අපි ඉක්මනටම අනෙක් ට්‍රීට්මන්ට් වලට යොමු කරනවා"

විශේෂඥ වෛද්‍යවරයා කෙතරම් පැහැදිලි කළ ද ඇයව දකින තුරු සිය සිතට සැනසීමක් නොවන බව සරෝජ් සුසුමක් හෙළමින්ම සිතුවේය.

"අද අපිට අම්මව බලන්න පුලුවන්ද?" 

සිය සිත තුළ වූ පැනය හසිත ගේ මුවින් ද ප්‍රකාශ වෙද්දි සරෝජ් හිස වනා සිය මිතුරා දෙස බැලීය.

විශේෂඥ වෛද්‍යවරයා අසුනෙන් නැගී සිටිමින් ඔවුන් හට හිසින් සන් කළේ නිවේතා සිටින කාමරය වෙත පිය ඔසවමිනි.සිතේ ඇති වීගෙන එන බලවත් චකිතය ද මැඩ පවත්වා ගනිමින් සරෝජ් හිරිපිටිය නිවේතාගේ කාමරය තුලට ඇතුළු වූයේ වෛද්‍යවරයාගේ පිටුපසිනි.

නළලත වටා වෙලුම් පටවල් වලින් ආවරණය වූ නිවෙතාගේ සම්පූර්ණ හිසකෙස් ඉවත්කොට තිබුණි. ඇය දෑස් පියාගෙන සිටිය ද නිදිසුවෙන් නොසිටින බව සරෝජ්ට වැටහුණි.

"නිවේතා , කොහොමද ඔයාට? කෝ බලන්න ඇස් අරින්න. මං කියන දේවල් ඔයාට ඇහෙනවා නේ" 

වෛද්‍යවරයා නිවේතාගේ කොපුලට අතින් තට්ටු කරමින් ඇය ඇමතුවාය. ඇස් පියාගෙනම ඇස් චලනය කරන ඇය එම සංඥාව ඔහු පැවසූ දෙය ඇසෙන බව පෙන්වා දුන්නාය.

"එකපාරටම ප්‍රතිචාරයක් දක්වන්න අපහසු තත්ත්වයක එයා ඉන්නේ ඒ උනාට එයාට ඇහෙනවා අපි කියන දේවල්."

විශේෂඥ වෛද්‍යවරයා තවත් කෙටි පරීක්ෂණ කිහිපයක් කරමින් සරෝජ් සහ හසිත වෙත නිවේතාගේ තත්ත්වය පැහැදිලි කළේය. වෛද්‍ය විද්‍යානුකූලව ඒ කරන ලද්දා වූ පැහැදිලි කිරීම් මත නිවේතාගේ තත්වයේ ඇති බරපතලකම ගැන සුබදායී හැඟීමක් ඔවුන් තුළ පහළ විය.

සරෝජ් සහ හසිත කාමරයේ මොහොතක් වෙලා රඳවා වෛද්‍යවරයා නික්මගියේ "බැලුවට කමක් නෑ ගොඩක් කතා කරලා එයාව එච්චර වෙහෙසන්න නම් එපා"යයි අවවාද කරමිනි. 

සරෝජ් හිරිපිටිය නිවේතාගේ සයනය අසලට අසුනක් ඇදගනිමින් හිඳ ගත්තේ ඇයගේ අත ද අල්ලාගෙනමය. ඔහුගේ අතෙහි ස්පර්ශය ලැබුණු මොහොතම ඇය මදක් තිගැස්සී යනු ඔහුට පෙනුණි.එය ද සංවේදනය සම්බන්ධයෙන් යම්කිසි සුබ ලකුණක් ලෙස ඔහුට වැටහුණි.

"අංකල් මට කෝල් එකක් එනවා.මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්"

හසිත කාමරයෙන් පිටත් වූයේ සිතාමතාමය. අම්මාගේ තත්වය තරමක් දුරට යහපත් වීමත් මේ මොහොතේ තමා හට වඩා සරෝජ් හිරිපිටියට ඇය සමග සිටීමට ඉඩ දීම වඩා සුදුසු යැයි සිතූ හෙයින් හසිත ඔවුනට එම අවස්ථාව දී හිතාමතාම මඟ හැර ගියේය.

"නිවී , ඔයාට මං කියන දේවල් ඇහෙනවා නේද? පොඩ්ඩක් හරි මම කියන දේවල් ඇහෙනවා නම් මගේ අත තද කරල අල්ලන්නකෝ "

සරෝජ් හිරිපිටිය නිවේතාගේ මුහුණ ආසන්නයටම සමීපවී ආදරණීය හඬකින් ඇයව ඇමතුවේය. වැසී ගිය ඇස්පියන් යටින් කලබලයෙන් එහෙ මෙහෙ චලනය වන ඇයගේ ඇස් තමා විසින් පැවසූ දේ ඇයට ඇසුන බවට සාක්ෂියක් විය.

"ඔයා ඉක්මනටම සනීප වෙන්න ඕනේ.තේරුණාද?"

ඇයගේ අත් බාහුව දිගේ සෙමින් සිය අත එහාමෙහා කරමින් සරෝජ් පැවසුවේ ක්‍රමක්‍රමයෙන් සංවේදී වෙමින් පවතින ආදරණීය හඬිනි.නිවේතාගේ ඇඟිලි තුඩු සිය බාහුවට තද වනු සරෝජ්හට දැනුණේ තවත් විනාඩි ගණනකට පසුවය .

" ඔයා ඉක්මනට සනීප වෙන්න මගේ කෙල්ල. මම ඔයාට එදා වගේම ගොඩක් ආදරෙයි"

සරෝජ් හිරිපිටියේදී හඬෙහි පැවතුණේ ඉතාමත් ආදරණීය පෙම්වත් හඬකි. ඔහු දෑසට පිරී යන සියුම් කඳුලක් දෑඟිලි තුඩින් මිරිකා ගනිමින් අසුනෙන් නැගී උන්නේ තවත් වරක් නිවේතාගේ හිසසෙමින් පිරිමදිමිනි.

"අම්මට මේ ගානට ඉක්මනට රිකවර් වෙච්ච එක කොච්චර දෙයක්ද? මං මේ දේවල් නිසා හරිම බයෙන් ඉන්නේ බබීගේ තත්ත්වයත් එච්චර හොඳ නැති නිසා. එයා ස්ට්‍රෙස් උනාම ප්‍රෙෂර් වැඩිවෙයි කියල බයයි."

ආපසු එන ගමනේදී හසිත සැනසුම් සුසුමක් හෙලමින් පැවසුවේය.

"එහෙනම් පුතා සංජය ඔයාව ගෙදරට බස්සවාවි. මම මෙහෙම්ම නවතින්නම්"

සරෝජ් හිරිපිටිය සිය නිවස අසලින් රියෙන් බැස්සේ හසිත යළි නිවසට පිටත් කරමිණි.

නිවේතාගේ සටහන් වල ඉතිරි කරුණු කාරණා ද කියවීමේ ප්‍රබල ආශාවක් ඔහුගේ සිත තුළ ඇති ඇති වෙමින් පැවතුණි. සිය වෛද්‍ය මිතුරා පැවසූ පරිදි නිවේතා පවතින තත්වය එතරම්ම ජීවිතයට හානියක් නොවනමට්ටමක නිසා සිතට යම් කිසි සැහැල්ලුවක් ඇති වෙමින් පැවතුණි .

රෝහලට පැමිණ ආපසුගිය හේතුවෙන් කඩිනමින්ගත දොවා ගත්තේ මේ දිනවල පවතින සෞඛ්‍ය ගැටළු හේතුවෙනි .

"තව ටිකකින් කෑම ලෑස්ති කරන්න . තව පැය භාගයකින් වගේ පහලට එන්නම් "

සිරිදාස හට පැවසූ ඔහු සයනයේ පසෙක වූ දෙවැනි පොත අතට ගත්තේ නිවේතාගේ සටහන් වල ලියා තිබෙන්නා වූ ඉතිරි කාරණාද දැනගනු රිසියෙනි.

 


යලිත් හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)