Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts

Sunday, January 24, 2021

2021 (3) ඔබ ඔබට ආදරය කරනවාද ?




පසුගිය වකවානුවේ තරුණ ගැහැණු සහ පිරිමි දරුවන් කිහිප දෙනෙක්ගේම කතා වලට සවන් දෙන්නියක් වූ මට මෙන්න මේ කාරණය ගැන යළිත් ලියන්නට සිතුණේ....අදටත් වැදගත් වේ යයි සිතුණ නිසා.....

තාරුණ්‍යය කියන්නේ හැඟීම් වලින් පරිපූරණ වයසක් බව ඇත්ත. ඒ වයස පහු කරන් ආව කෙනෙක් සහ යොවුන් වියේ පුතුන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ....ඒ වගෙම යොවුන් වියේ දරු කැලකට උගන්වන ආචාර්‍ය වරියක් විදියට ....ඒ හැඟීම් වල උණුසුම සහ ආවේගාත්මක බව මම හොඳින් අඳුනනවා...


ඉදින්....මේ සටහන ඔබටයි....


ජීවිතයේ අපි හුදෙකලා වූවන් නොවෙන්නේ අප වටා තියන සමාජීය වපසරියෙ තරමට.නිවසින් පටන් ගන්නා ඒ සමාජීය සීමාව...එතනින් එහාට තමන්ගේ ජීවිතය ට එක්කාසු වෙන විවිධාකාර අය එක්ක ප්‍රමාණයෙන් වැඩිවෙනවා....

ඉදින්....ඒ අපේ පවුලේ අය..සමීපතමයන්...පසු කාලීනව අපේ ජීවිත වලට එක්කාසු වෙන පෙම්වතිය හෝ පෙම්වතා ,යාලුමිත්‍රයන්....රැකියා ස්ථානයේ සාමාජිකයන්...ඔන්න ඔය වගේ අයගේ විවිධාකාර හැසිරීම් සහ ප්‍රතිචාරයන් එක්ක ඔබටත් ඔබේ ජීවිතයේ සමහර දවසක " ඇයි මට එයාලා මෙහෙම කලේ ..." කියන ප්‍රශ්නය ඇවිල්ලා ඇති....

ජීවිතේ ඔන්න ඔය ප්‍රශ්නය එක්වරක් හෝ නොපැමිණි අයෙක් වේ නම් ....ඒක අසාමාන්‍ය සිදුවීමක්....ඉදින් ඒ ගැටලුව ගැන විශ්ලේෂණයක් අපි කරන්න ගියොත් ...ඒක මගේ සටහනේ අරමුණෙන් ඈතට යන එකක් වෙනව.....ඒ නිසා එහෙම හිතෙන මොහොතක අන්න ඊට පස්සෙ ඔබ කල යුතුම දේ ගැනයි මම ලියන්නෙ

අපි මනුස්සයන් විදියට ආදරය, දයාව,කරුණාව,සැලකිල්ල වැනි දේට හරිම ලෝබයි..ඒක සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවයක්.ඉතින් ලැබෙද්දී එයට ආසක්‍ත වීම වගේම නොලැබෙන කොට ඉන් කඩා වැටීම සාමාන්‍යයෙන් අපිට සිදුවෙන දෙයක්....

මෙන්න මේ තැනට එන තරුණ වියේ දරුවන්ට විශේෂයෙන්ම වෙන නරකම දේ තමා අනුන් අතින් තමා අත් හැරෙන වේගයට වඩා වැඩි වේගයකින් තමා අතින් තමා අත් හැරීයාම.බොහොමයක් වෙලාවට බරපතලම වෙන්නෙ තමන් අතින් තමා අත හැරීම...

මේ තැනට ආව හුඟක් දූපුතුන් ට මම කිව්ව ප්‍රධානම කාරණය වෙන්නේ ...තමන්ට මූලිකත්වය දෙන්න කියන එක....

අවධාරණයෙන් ..ලියන්න අවැසි එක් කාරණයක් තියනවා....මම උපදේශණය (counselling ) කරන අයෙක් නොවෙයි....ඇහුම් කන් දෙන්නියක් සහ තවත් මනසක් තේරුම් ගත හැකි පුලුල් සිතක් ඇති කෙනෙක් පමණයි..

අනුන් අතින් වෙන නොසැලකිල්ල සහ අනවධානය කියන කාරණා වගේම ප්‍රතික්ෂේප වීම් වලදීත් ඔබ ඔබෙනුත් ඈත් වෙනවා නම් ඔබ විසින්ම ඔබ නොසලකා හරිනවා නම් එතැනදී....පළවෙනි ගැටලුවට අමතරව ඔබ දෙවනි බරපතල ගැටලුවකුත් ඇති කරගන්න පටන් ගෙන.....

.

ඉතින් ඇයි මේ සියලු නොසැලකීම්, බිඳ වැටීම් සහ ප්‍රතික්ෂේප වීම් හමුවේ ඔබ ...ඔබට වඩ වඩා නොබැඳෙන්නෙ...ඔබට ආදරය නොකරන්නෙ...ඔබට වටිනාකමක් නොදෙන්නෙ.....

.

මොහොතකට හෝ ඔබ අන්න ඒ දේ සිතලා තියද....?

තමන් තමා හට ආදරය කිරීම කියන කාරණය බොහෝ ගැටලුවලට අපූරු විසඳුමක් බව මොහොතකටවත් ඔබට සිතිලා තියද...?

ඉතින් ...එහෙනම් අපි ඒ ගැන ඊළඟ සටහනෙන් කතා කරමු.....

එතෙක් මඳක් සිතන්න....

ඔබ කියන කෙනා...ඔබටම කෙතරම් අගනේද....? වටිනවාද ...? යන බව......


Thursday, January 7, 2021

2021 (1) ඔබේ_දරුවාට_උගන්වන්න..

 


ඔබේ_දරුවාට_උගන්වන්න..

01. අන් මතයට ගරු කරන්නට...එවිට...ඔවුන්ගේ මතය දෙස ද සෙසු අය සාධාරණ ලෙසින් බලන බව ඔවුන් උගනිනු ඇත......

02. අනිකෙකුට ගරු කරන්නට....ඔවුන්ට කියාදෙන්න එම ගරු කිරීම නිවට වීමක් නොවන බව......පෙරළා සමාජය ඔවුන්හට ගරුකරන ආකාරය ඔවුන් ඉගන ගනීවි.....

03. ඉවසන්නට..

සමහරක් සිදුවීම් වලදී..ඉවසීම තරම් පහසුවක් වෙන කිසිම ක්‍රියාමාරගයකින් නොලැබෙන බව ඔවුන් උගනීවි....

04. බලාපොරොත්තු තබා ගන්නට

බිඳීයන බලාපොරොත්තු මත අලුතින් බලාපොරොත්තු ඇතිකරගන්නා එක කෙතරම් සුන්දර දැයි ඔවුන් උගනීවි.......ඔවුන් අන් අයටත් එය උගන්වාවි

05. කඳුලට වඩා සිනහවේ බලය ලොවට දෙන්නට......

ඔවුන් ඒ සිනහවෙන් ලෝකයේම අඳුර දුරුකරාවි

පොත පතින් උගන්නා දහසක් කරුණු අතරේ.....මේ යහගුණද ඔබේ දරුවාට පුහුණු කරන්න......එය ලොකු මිනිසෙකු නොව හොඳ මිනිසෙකු තැනීමේ අඩිතාලමයි..........

කිත්මා වාසනා දහනායක



Friday, April 3, 2020

151. සිතන්නට යමක්

තරුණ කාලෙ කියන්නෙ ජවය සහ නොඉවසිල්ල පිරුණ වයසක්...මගෙ පුතා ඒ තරුණ වියට පිවිසෙන්න ඉන්න නිසාම මම විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාවල....පොදු ස්ථාන වල ගැවසෙන ඒ වයසේ ළමයින් ගැන ටිකක් නිරික්ශනය කරනවා....
.
තරුණ වයසෙදි ඉවසීම අඩුයි...තරහ යනවා වැඩියි...නොඉවසිල්ල පැහැදිලිවම පේනවා...
.නමුත් ...එකම එක වැඩිහිටියෙක් හෝ ඒ දරුවන් නිවැරදි මගට ගන්න උත්සාහ දරන්නෙන් නැහැ...තමන්ගෙ දරුවා හැර වෙන කිසිම අයෙක් ව එහෙම නිවැරදි කරන්න බොහොමයක් අය නොපෙලඹෙන්නෙ ...අනවශ්‍ය කරදරයක් හිරිහැරයක් ඒකෙන් ඇතිවෙයි කියන සැකය නිසා වෙන්න ඇති..

.අද උදේ මම ආව බසයෙ කොන්දොස්තරවරයා අවුරුදු විසි ගානක තරුණ ලමයෙක්.....ඔහුගෙ කිසිම වරදක් මම කතාබහේවත්....හැසිරීමෙවත් නෑ දුටුවෙ....

නමුත් බසයේ මැද අවහිර කරන් උන් තරුණ පිරිමි ළමයෙක් ....ඔහු උසස්පෙල කරන වයසෙ වගෙයි මම දුටුවෙ.....කොන්දොස්තරවරයා ඔහුට කීවාම බසයේ ඉදිරියට යන්න කියල....මේ ළමයා එක් වරම....රණ්ඩුවකට පැටලුණා.....

නෑ මං යන්නෙ නෑ....තමුසෙ පුලුවන් නම් යවනවා....

ආදී ලෙසින් පටන් ගත් ඒ බැණ වැදීම රණ්ඩුවකට යනකල් ගෙනයෑමේ අවශ්‍යතාවය තිබුණේත් අර පිරිමි ලමයාට විතරයි..

කොන්දොස්තරවරයාගේ ඉවසීමේ සීමාව පනින්න යනවිට...එතැන හිටගෙන උන් එක් මැදිවියේ මහතෙක්.....කොන්දොස්තරවරයාගේ අතින් අල්ලාගෙන වචනයක් වත් නොකියා ඔහුව සන්සුන් කලා...

සමහරක් විට ඒ ඒ මොහොතට කල යුතුම දේ.....මටත් එය හිතුණා......

තරුණ ජවය කියන්නේ හරි හැසිරවීමක් නොලද හොත්.........විනාශයට යන පහසුම මග..........

.
.
#සිතන්නට_යමක්

150. ඔබේ සිමාවන් නිර්ණය කරගන්න

මම මේ සටහන අරඹන්නේ ඔබ සමහර විට අසා පුරුදු කතාවකින්..නමුත් මගේ මේ සටහනට ප්‍රවිශ්ටයක් ලෙස මම මේක ලියන්න කැමතියි.

එක දවසක් ,තරමක් දරුණු අබාධයකින් පෙළුන කෙනෙක් රෝහලට ඇතුළු වුණා නේවාසිකව ප්‍රතිකාර ගන්න.ඔහුට ලැබුණේ තවකෙකු හා බෙදාගන්න කාමරයක්.කලින් පැමිණ සිටි රෝගියා ගේ ඇඳ තිබුනේ ජනේලය අසල.පසුව පැමිනි තැනැත්තා අනෙක් පස බිත්තිය අසල ඇඳට යැවුනා.

මේ රෝගීන් දෙදෙනා මිතුරු වුවාට පසු ජනේලය අසල සිටි තැනැත්තා ජනේලයෙන් පිටත් බලමින් අනෙක් රෝගියාට ඔහු දකින දේ විස්තර කළා.ජනේලයට එහා පෙනෙන රෝහල් සිමාවෙන් එහා ඇති සුන්දර උද්‍යානය,එහි හරිත වර්ණ ගහකොළ මෙන්ම තුරු ලතා පවනේ නැලවෙන අන්දම ඔහු තම මිතුරාට මහත් ආසාවෙන් විස්තර කළා.

දවසින් දවස ඔහු තමන්ගේ මිතුරාට ඒ අවට ඇති ලෝකය ගැන මෙන්ම මිනිසුන් ගැවසෙන ඇවිදින හා සිනහසෙන අන්දම ගැන කියමින් රෝගී මනස සතුටින් උනන්දු කලා.

දින ගත වද්දී බිත්තිය අසල උන් රෝගියාට ජනේලය අසල උන් තැනැත්තා ගැන ඇතිවුනේ ඉරිසියාවක්..ක්‍රෝධයක්.ඔහු යටි හිතින් සිය මිතුරා ප්‍රතික්ෂේප කරමින් පිළිකුල් කරන්න ගත්තා.

එක දිනක් රාත්‍රියේ ජනේලය අසල උන් රෝගියාට තදබල කැස්සක් හටගත්තා.හදිසි තත්ත්ව යටතේ අනතුරු හැඟවිය යුතු සීනුව නාදකරන බොත්තම ඔබනවා වෙනුවට බිත්තිය අසල උන් තැනැත්තා කලේ නිහඬව බලා සිටීම.අවසානයේ ඉහත කි රෝගියා මියගියා.ඔහුගේ සිරුර කාමරයෙන් පිටට ගෙන ගිය වහාම බිත්තිය අසල ඉන්නා රෝගියා හෙදියට කතා කර තමන්ව ජනේලය අසල ඇඳට මාරු කරන ලෙස පැවසුවා.

එම ස්ථානයට ඔහු ගිය විගස ඔහු පත්වුණේ විශ්මයට.ඇත්තෙන්ම මියගිය රෝගියා පැවසු කිසිවක්ම එහි තිබුනේ නැහැ.එතැන තිබුනේ කපරාරු හෝ නොකළ තාප්පයක් පමණයි.පෙරකී මිය ගිය රෝගියා තවත් නාඳුනන අයෙක් වෙනුවෙන් මවාගත් සුන්දර ලෝකයක් විස්තර කරමින් ඔහු පත්ව ඇති අසීරු තත්වයෙන් මුදවන්නට කටයුතු කරමින් තිබුණා.

මෙම සටහන අපට කියාදෙන්නේ ආත්මාර්ථයෙන් තොර පුද්ගලයන්ගේ ආදරය සහ කරුණාව ගැනයි.

වරක් ස්ටීවන් හෝකින්ස් මෙහෙම කියා තිබුණා....අපි මේ ජිවත් වෙන ග්‍රහ ලෝකය අයත් වන්නේ බොහොම සාමාන්‍ය චක්‍රවාටයක...ඒ චක්‍රවාටය වුණත් චක්‍රවාට මිලියන ගණනක් තුළ ඇති බොහොම සාමාන්‍ය එකක්...ඉතින් ,....ඔබේ මානය කුමක්ද ...

ඉඳහිටක රාත්‍රියේ බහින්න ඔබේ නිවසින් පිටතට ...අහස දෙස බලන්න.ඇත්තෙන්ම අපි හුදෙකලා වෙච්ච මිනිස්සු නෙවෙයිද.මේ තනි ග්‍රහලෝකයක ඉන්න අපිට අපේ ප්‍රශ්න මෙච්චර ම ලොකු ඇයි...?

අපි මේ ග්‍රහ ලෝකයට උනත් ඇවිල්ල තියෙන්නේ බොහොම කෙටිචාරිකාවකට.හිතන්න..ඔබ මේ විශ්වයේ අංශු මාත්‍රයක් පමණක් කියා.
ඉතින් මේ කුඩාම ලෝකයක..කුඩාම රටක ඉන්න අපිට අපි හිතන පතන දේ සුන්දර මානයන් වෙත ගෙනියන්න පුළුවන් නම් .....ලෝකය හුඟක් සුන්දර තැනක් වෙයි.

මම 
විසිරි 

148. අලුත් ගිණුමක් අරඹමුද

තෙරේසා මවුතුමිය වරක් මෙන්න මේ ප්‍රකාශය කර තිබුණා....

“ ලෝකයේ මහා ලොකු විශිෂ්ඨ ගණයේ ක්‍රියාවන් කියා දෙයක් නැහැ.ඇත්තේ බොහෝ ආදරයෙන් කරන ලද ඉතා සුළු ක්‍රියාවන් පමණිය...”

මේ ගැන මඳක් සිතන්න.
ඔබට ලෝකය සහ මිනිසුන් සමග තද බන්ධනයක් පවත්වා ගන්නට කල හැකි මෙවැනි සුළු කටයුතු මොනවද කියා මඳක් සිතන්න.

තවකෙකුගේ ජීවිතය වඩා යහපත් කරන්නට ඔබට අහම්බෙන් වුණත් කල හැකි කාරුණික වගේම හරි සුන්දර ක්‍රියාවන් එමට තියෙනවා.
අනෙක් අයෙක් සතුටින් තියන්නට ,වඩා යහපත් කරන්නට ඔබ ඒ දරන උත්සාහය ඔබටත් හැමවිටම තෘප්තිමත් ජිවිතයක් ගෙන එනු ඇති.

මේ සඳහා ඔබ කල යුත්තේ කුමක්ද..?
මම දන්නවා ඔබ ඊළඟට මම ලියන දේට හිනාවෙන බව...

ඔබට පුළුවන් ආදර ගිණුමක්...ඒ කියන්නේ love account එකක් අරඹන්න ...

මේ තියන එෆ් බී එකවුන්ට් එකවත් හරියට අප්ඩේට් නොකරන විසිරි මෙහෙම කිව්වම මොන love account ද කියල ඔබ හිතාවි...

ඉතින් ඔබ මම කියන දේ අහනවනේ...අරඹන්න මේ ගිණුම..

දිනපතා මේ ගිණුමට තැන්පතුවක් එක කරන්න.ඒ කියන්නේ එකක්.... කොහොමද දන්නවද...?

තව කවුරු හරි කෙනෙක් සතුටින් තියන්න ඔබ දවසට එකම හෝ දෙයක් කරන්න.ඒක මහා පරිමාණ දෙයක් වන්න ඕන නැහැ.පසුගිය පළවෙනිදා දවසේ ඔබ කිදෙනෙක්ට සුබ පැතුවද සුබ නව වසරක් වේවා කියල.නමුත් ඉන් පසු ඔබ දිනපතා උදැසන ඒ කාට හෝ සුබ උදාසනක් පතන්න අර දරපු උනන්දුව දැරුවද ...?

ඔබේ සහකරුට හෝ සහකාරියට පුංචිම දෙයක් ගෙදර යනකොට අරන් ගියාද ..?ඒක මුදලින් තක්සේරු කරන්න යන්න එපා..වඩා වටින්නේ ඔබ ඒ කරන දේ..ඔන්න මට අද ලැබුනා පිටරටින් ආව කෙනෙක්ගෙන් පොඩි චොකලට් දෙකක්.වෙනදට ඒ දෙකම දරුවන්ට ඒ දෙක ගෙනියන මම අද එයින් එකක් ඒ දෙන්නට දීලා අනෙක මහත්තයාට දුන්නා.සමහරක් විට නොහිතපු තරම් ඒ දෙයින් එයාට සතුටක් එන්න ඇති.ඒ දේ මම දකින්නේ සිනහවෛන් පමණක් වෙන්නත් පුළුවන්.

ඉඳහිටක හරි හේතුවක් නැතුව ඔබේ දරුවෙක්ට අමතන්න.දීලා ආදරෙයි කියන්න .සමහරක් විට ඔවුන් කල පුංචිම හොඳ දෙයක් වෙනුවෙන් ප්‍රසංශා කරන්න...

මේවා තමයි ඔබේ තැන්පතු.

ඔබේ ජීවිතය ගැන සිතන්න..මට මේ ගැන සිතන කොට දැනෙන දෙයක් නම් ..මෙන්න මේ පුංචි දේ තමයි ජිවිතයට මහා දේවල් වෙන්නේ..
මේ කුඩා තැන්පතු එකතු වෙලා..ඔබට ගෙනෙන සතුට ඔබේ බැංකු ගිණුමේ ලක්ෂ ගණනක් තැන්පත් වුණත් ඔබට ලබා ගන්න බැහැ.

මේ කියමන අහල තියද...එමර්සන් නමැති අයෙක් මේක කියා තිබෙන්නේ..
“ ඔබට පොහොසත් හදවතක් නැත්නම් ඔබ ධනයක් හිමි හිඟන්නෙක් පමණයි.”

ඒ වගේම තෝල්ස්තෝයි මෙහෙම කියා තිබෙනවා...
“ සතුට ලබා ගැනීම යනු ඔබේ දයාව සෙනෙහස මකුළුවෙක් දැල වියන ආකාරයට සම අතට විසි කිරීමත්....එයට ආපිට ලැබෙන හැමදේම ග්‍රහණය කරගැනීමත් ය ...”

ඉතින් අරඹමු නේද මේ අලුත් ගිණුම.....

මම 
විසිරි 

143. වඩා වැදගත් ම දේ කුමක් ද....?



ඔබට දුරකතනයක් අවශ්‍ය වන්නේ ඔබේ පහසුවටද...එහෙමත් නැති නම් ඔබට ඇමතුමක් දෙන්නාගේ පහසුවටද යන්න ඔබ කිසිම විටෙක හෝ සිතා තියනවාද....?
.
මම මේ කාරණය ගැන සිතන්නට පෙළඹුණෙත් පසු ගිය දිනෙක කියවූ පොතක් ඇසුරින් .....
.
ඇත්තෙන්ම දුරකතනයක් කෙනෙක්ට තිබිය යුත්තේ තමන්ගේ පහසුවටයි...ඒ එහෙම වුණත්...අපිට දුරකතන ඇමතුමක් ආවිට අපි ක්‍රියා කරන්නේ.....ගිනි නිවන හමුදාවේ ෆයර් එලාමය වදිනවා හා සමාන කලබලයකින්....
.
අන්න ඒ වෙලාවට අපි පවුලේ අය එක්ක සතුටු සමාගමක උන්නත්, ආදරණීයයෙක් එක්ක ගමනක යෙදුණත්, දරුවෙක්ට පාඩමක් කියා දෙන ගමන් වුණත් ...ඒ ඔක්කොම අතහැරල අර ඇමතුමට ඇදෙනවා...
.
මේකට හුඟාක් වෙලාවට හේතු වන්නේ අපේ අභ්‍යන්තරයෙ ඇති වන කුතුහලය කියලා තමයි ප්‍රකාශ වෙන්නෙ....unknown number එකකින් එන ඇමතුමක කුතුහලය ඉතාම වැඩියි.....
.
අන්තිමට අපිට වෙන්නේ මොකක්ද ...අර කුතුහලය නිසා වැදගත් ම යෙදී උන් කාර්‍යය පසුවට දමල අපි අර ඇමතුමට යනවා....ආපහු එන්න සමහර විට ගතවන කාලය....හිතනවට වඩා හුඟක් වැඩිවුනොත්...අපි බිඳගන්නේ අපේ ම වැදගත් දේ....
.
ඉතින්....ඔබට අවශ්‍ය නම් වොයිස් මේල් කියන පහසුකම මෙහිදි භාවිත කරන්න පුලුවන් ..නමුත් අපි තවම ඒ දෙයට මැලි යි....ඉතින්...මෙහිදි අපිට ඒ අදාල මොහොතෙදි ඇමතුමක් අත්‍යාවශ්‍ය නොවේ නම් හෝ ඇමතුමකට සම්බන්ධ විය නොහැකි නම් එම වොයිස්මේල් පහසුකමට යන්න පුලුවන් .....
.
අපිට තියන බැරෑරුම්ම ගැටලුව වන්නෙ දුරකතනය නාද වෙන මොහොතේම එය මග හරින්න බැරි අකමැත්ත..නමුත් මතක තබා ගන්න...
.
ඔබ මුල් තැන දිය යුතු ඇමතුම් වගේම අනවශ්‍ය ඇමතුම් ඕන තරම් ඔබට එන බව....එතනදී ඔබේ සංවාදය, ඔබේ විනෝදාංශය , ඔබේ ආදරය සහ සමාගමයන් අංක එක ලෙස ගෙන එතරම් අවශ්‍ය නැති ඇමතුම් අංක දෙකට හරවාගන්න අද සිට උත්සාහ ගන්න.....
.

මම

විසිරි සිහින

Tuesday, March 31, 2020

129. ඇඳිරිනීතිය + අපි

ඇඳිරිනීතිය තවම දිග්ගැස්සෙමින් පවතිනව...
අපි හැමෝම ගෙවල් වලට කොටුවෙලා ඉන්න වෙලාවක් මේක....
.
අපි ඇඳිරිනීතිය ඉවත්කල ගමන් කඩපිලට ගියා... ඔව්...ඒ අවදානමත් අරන් ගියේ බඩුමුට්ටු අත්‍යාවශ්‍ය ම දේ ගන්න ..... ගෙදර සාමාජිකයන් සතියක් දෙකක් කොටු වුණොත් .... එක එළවලුවක් එක්ක හරි බත් ටිකක් කන්න ඕන නිසා...අපිත් ගිහින් අත්‍යාවශ්‍ය ම දේ අරන් ආවා....
.
ඒ අතරේ උන්නා ට්‍රොලි ගාණට පුරවන් අනවශ්‍යම ලෙස බඩු පුරවන් යන අය....ඒ අය දිහා බලන් උනත් මං හිතුවේ....මේ වෙද්දි පෝලිම් වල පසුපස ඉන්න අය...කෙතරම්ම අසරණ වෙනවද...බඩු ඉවර වෙනකොට...කියන දේ....මොකද මම උදේ හයට පෝලිමට ගිහින් නවයට ඇතුලට යද්දිත් බඩු හුඟක් නෑ.....
.
එහෙම යන්න බැරිවෙන කොටසක් මීටත් ඔබ්බෙන් ඉන්න බව අපිට අමතක කරන්න බෑ....අපිට ගෙවත්තක් තියේ නම් අපි වවාගන්න දෙයක් අපිට කන්න පුලුවන් ...ඒක ඇත්ත...මේ ලියන මමත් ගොටුකොල මුකුනුවැන්න පෝච්චිවල හරි හිටවනව.... නමුත් එහෙම ඉඩක් නැති කොටුවෙච්ච පැල්පත් වල ජීවත් වෙන මිනිස්සුත් අපි වටේට ඉන්නව ....
.
අපි සතියක් ගැන හිතන කොට ඒ මිනිස්සු එක වේලක් කන්න විදියක් නැතුව හූල්ලනව ඇති....මම ඇහින් නොදැක්කත් මගේ සොයුරියක් පැවසූ දෙයක්...රූපවාහිනියේ දිස්වුනා කියල....කන්න දෙයක් නැතුව දර කන මිනිස්සු ඉන්නව කියල...ඒක කොච්චර නම් ශෝචනීයද. ....?
.
ඔබ ට දරුවන් ඇති...එහෙම නැත්නම් ඔබ දරුවෙක් වෙන්න පුලුවන් ....
නමුත් ඔබ අද දරුවන් ගැන හිතලා හෝ අනවශ්‍ය ලෙස නාස්ති කාරී ලෙස කෑම වර්ග කිහිපයක්, අතුරුපස ගොන්නක් හදන කොට....එතන දී....බත් කටක් බඩට නොවැටෙන කොටසකුත් ඉන්නා බව හිතට ගන්න...
.
සමහර විට ඔබ තර්ක කරයි....මම උයන්නෙ මම කන්නෙ මම වවපුවා..මම හදපුවා...කියල...ඔව් ඔබ හරි...ඒත්...එතනින් එහාට ඔබත් මාත් ආයෙම කඩපිලට ගිහින් ගන්නෙත් අර තවකෙක්ට ගන්න හැකි බඩු ටිකක් වෙන්න පුලුවන් ....
.
සාධාරණ ව හිතමු....අපි හැකි තරම් සකසුරුවම් වෙමු...දරුවන්ට කියාදෙමු....මේ දුෂ්කර කාලයක් බව...අපිට හැකි උපරිමය පසෙක ලා අවමය ගැන සෑහීමකට පත්වෙමු....
.
අද දවසේ අපිට අවශ්‍යම වෙන්නෙ මනුස්සකම ....ඒක බෙදාහදා ගැනීම සහ අනෙකා ගැන සිතීම කියන  කාරනා එක්ක එකතු කරලා තමන් ගේ දවස ගෙවමු.....අනවශ්‍ය නාස්තිය පිටු දකින්න....ඒක රටක් විදියට අපිට අත්‍යාවශ්‍ය දෙයක්...
.

128. මනසට සුව දෙන වදන් ( Inspiring quotes )



බොහොමයක් වෙලාවට මුහුණු පොතේ සැරිසරන විට අපි දකින දෙයක් තමයි විව්ධාකාර විදියේ අදහසක් ප්‍රකාශ කරන්න අපි කවුරුන් හෝ කොහේ හෝ ප්‍රකාශ කල ...සරල වචන පේලි භාවිතා කරනව...අපි සාමාන්‍යයෙන් මේවාට කියන්නෙ quotes කියලා....
.
Google එකේ එහෙ මෙහෙ සැරිසරන විට අපිට ඕන තරම් මේ quotes හමු වෙනව..අපිට ගැලපෙනම අදහස එන ඒවා අපි සේව් කරන් ඉන් පස්සෙ අපේම පෝස්ටුවකට එල්ලා ගන්නවා...
.
මේ quotes එක් රැස් කිරීමේ මීට වඩා ප්‍රතිපල තියනවා..මේ වගේ ප්‍රකාශ කල අය බොහෝ විට දැනුමෙන් සහ අත්දැකීම් වලින් පූර්ණ වෙලා ඒ ඔස්සේ ප්‍රකාශ කල දෙයක්....එහෙම නම් ඒ ප්‍රකාශ වලින් අපිට ජීවිතේ ටත් ගන්න හුඟක් දේ තියෙන්න පුලුවන් .....
.
Quote එකක ඇති විශේෂත්වය වෙන්නෙ ඉතාම කෙටියෙන් ලොකු පණිවුඩයක් දීමට හැකි වීම...ඒක ඉතාම ආකර්ෂණීයත් වෙනවා...මතකයෙත් හිටිනවා.....
.
ඉතින් ඔබට හැකි නම් විවිධාකාර අංශවලින් ඔබට වැදගත් වෙන quotes එකතුවක් ඔබ ලඟ තබා ගන්න...ජීවිතයේ අසීරු වෙලාවල් වල ඉන් යමක් කියවන්න...ඔබට නිතර පෙනෙන තැන් වල තමන්ට වඩා වැදගත් වෙන quotes සටහන් කර තියන්න....නිතර ඇස ගැටෙන විට ඔබට ඒවා නව ගැම්මක් දේවි.....
.
ඒ වගේම ඔබ ලියන ඕනෑම සටහනකට , ඕනෑම දේශනයකට වගේම කෙනෙක්ට දෙන උපදෙසකට සාර කරුණු විදියට අන්න ඒ quotes වලින් යමක් ගන්න... 
.
මේ එකතුව ඔබේ ජංගමයෙ , පරිගණකයෙ හෝ ලස්සන පොඩි නෝට්බුක් එකක එකතු කරගන්න පුරුදු වෙන්න ...ඒ පුංචි හැම දේකම ඔබේ ජීවිතේ ට කිනම් හෝ සහයක්, හයියක් එහෙමත් නැත්නම් සතුටක් එක් කරාවි...

ඉතින් සුබ දවසක්

මම

විසිරි සිහින

122. ජීවිතය Life....

ජීවිතය Life....

අද දවසේ මගේ පාඩම් ප්‍රවේශය වුණේ life...
අලුතින්ම ආව තරුණ ළමයි හතළිස් පහක් අලුත් විෂය කරුණු හමුවේ හෙම්බත් වෙන වෙලාවක....මගේ සිද්ධාන්තමය පාඩම පටන් ගන්න හොඳ ප්‍රවිෂ්ටයක් ගොඩ නගා ගන්න මම පසු ගිය දිනවල ටිකක් වැඩිපුර හිතුවා....

ඉතින් ප්‍රවිශ්ටය වුණේ ජීවිතය life...
ඉස්සරහට එන පාඩම life span development

ඉතින් ....අපේ අද කතාබහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් පන්තිකාමරයේ විහිදුණත් ඔබෙත් මගෙත් රසාස්වාදය වෙනුවෙන්...මම එය සිංහලටත් හරවන්න කැමතියි.....

ඉතින් මගේ විවෘත ආරාධනය වුණේ .....ජීවිතය life අර්ථ දක්වන්න කියන එකයි ......

මේ ඔවුන් එකිනෙකා කී අරුත්....

🔸Life is a miracle

🔸It is time bound experience

🔸Life is series of events between birth and death

🔸Life is an adventurous journey

🔸Life is ups and downs

🔸It is all ADLs and worries and happiness

🔸Life is a challenge

🔸Life is define one's attitudes and thoughts

හරිම සුන්දර අර්ථකථන ....

අවසානයේ පන්තියේ කුලෑටි ලැජ්ජාශීලි චරිතය නැගිට්ටා...

❤ Life is a gift which is given by God.......

මට ඉබේම අත්පොලසන් ගැහුණා....මෙච්චර අපූරු ළමයි ගොන්නකට මම ගුරුවරිය වෙනවා.....

මේ පරම්පරාව ජීවිතය අන්න එහෙම දකිනවා නම්....මෙතනින් එහාට ජීවිතය ඉගන ගන්න ලේසියි......

මිනිස්සු තමන්ගේ ජීවිතය සුන්දරව දකිනවා නම්.... දෛවයේ සරදමින් අසුන්දර වෙන ජීවිත ගොඩ ගන්න ඔවුන්ට කොහෙත්ම අසීරු නැහැ ...

අපි පියවර ඔසවන අපේ වෘත්තීය ගැන ඔවුන්ගේ සිත් තුළ අභිමානයක් ආදරයක් ඇති කරන්න අසීරු නැති බව ඉතින් නොරහසක්......

මගේ power point presentation එක තිරයට ගනිද්දි ඔවුන්ගේ මුහුණට ආවේ සිනහවක්....ඒක ආඩම්බරය මුසු සිනහවක්....ඔවුන් කියන කිසිවක් කල් වේලා ඇතිව නොදැන ආ ගුරුවරියගේ දේශන තිරය මත ඔවුන් ලියූ දේවල් ම තියෙන කොට .....

ඔවුන් ගේ ජීවිත දැක්ම කියන්නේ සාර්ථක යමක් බව ඔවුන්ට වැටහෙන්නට ඇති......එය ඉතාම අවශ්‍යම කාරණයක්....

සෞඛ්‍ය සේවය කියන්නේ මිනිස් ජීවිත එක්ක සහකම්පනය ඇතුව යා යුතු චාරිකාවක්...

ඉතින් .....

ජීවිතය කියන්නෙ මෙන්න මෙතනට

To everything there is a season , and a time to every purpose under the heaven : A time to born, and a time to die; a time to plant and a time to pluck up that which is planted.....

ඉතින් මීට පැය විසි හතරකට පමණ පෙර මට ලියවුණා.....

Nature is the only thing never hurts your soul කියලා..

ඒ මිනිස් ක්‍රියාකාරකම් සහ වචන සමූහයකින් සිත රිදීමක් සහ කලකිරීමක් හේතුවෙන්..නමුත් දැන් මම සිතනවා..

Human are most beautiful creature that can added colours to one's life.....කියල..... ❤❤

Saturday, October 19, 2019

116. ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️

ඔබේ...ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️




මගේ වෘත්තීය ජීවිතය තුළ මම ගතකරන විසි දෙවනි අවුරුද්ද මේක..පුහුණු කාල සීමාව එක්ක ගත්තොත් විසි හතරක්.....
.
එයින් වසර දහ අටක්ම මම ගත කලේ කායික ආබාධයන්ගෙන් පූර්ණ කාලීනව හෝ අර්ධකාලීනව ආබාධ සහිත වූවන්ට ප්‍රතිකාර කරමින්.....
.
මගේ වෘත්තීය ගත්තම කායික මානසික ආබාධයන් දෙකටම ප්‍රතිකාර සලසන ක්‍රමවේදයක්.....
.
ඉතින් මම රැකියාවට බැඳුණෙ අවුරුදු විසි එකෙන්.... එතැන් පටන් කායික ආබාධයන් ට ලක් වුණ මිනිසුන් එක්ක වසර දහ අටක් මම කාලය කැප කලා....එයින් ජීවිතේ ට උගත් යම් යම් දේ වරින් වර ලියා තැබීමත් කලා....
.
මම මනුස්සයෙක් විදියට ඉපදීම ගැන තෘප්තිමත් ...ජීවිතේ දුක සතුට අභියෝග කඩා වැටීම්, බිඳීම් මොන සුබ අසුබ දේ ආවත් මම මනුස්සයෙක් වීම ගැන මම මගෙ දෛවය ට ස්තුතිවන්ත වෙනවා....
.
ඒ වගේම නීරෝගී මනුස්සයෙක් වීම ගැන...මම සතුටු වෙන්න අරන්....මටත් ඔය ලෙඩදුක් අටෝරාසියක් නැතුවා නෙවෙයි.... hypothyroidism , අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම වගේම වයසට යන කොට එන හන්දි අමාරු වගේ ලෙඩත් මටත් එනව.....
.
නමුත් කායික ආබාධයන් නිසා එක් තැන් වුණ සුෂුම්නා ආබාධ සහිත රෝගීන්, අංශබාගය ඇතුලු ස්නායුමය රෝගී තත්ව වලට ලක් වුණ අය, උපතේ සිට ආබාධයන් ට ලක් වුණ දරුවන්, පිලිස්සුම් කැපුම් කෙටුම් ආදිය නිසා විකෘතිතා වලට ලක් වුණ අය, සන්ධි සහ ඒ ආශ්‍රිත රෝග නිසා සදාකාලිකව වම වේදනාවෙන් පසු වන අය....
.
ඒ අය එක්ක ගත කල අවුරුදු දහ අට මට තියෙන්නෙ කොච්චර නම් වාසනාවන්ත ජීවිතයක් ද කියල හැම මොහොතෙම පසක් කර දුන්න....
.
ඔබ ඔබේ ජීවිතේ ගැන දුක් වෙන මොහොතක හිතන්න අද තව විනාඩි දහයකින් ඔබේ බෙල්ලෙන් පහළට පණ නැතිවෙනව...ඔබට සියලු දේ වැටහෙනව...කතාකරන්න ත් පුලුවන් ...ඒත් ගෙලෙන් පහලට පණ නෑ....ඔබට හිතාගන්න පුලුවන් ද ..මේ දැන් ඔබ ඉන්න තත්වය සහ ඒ තත්වය අතර වෙනස....
.
එහෙම කෙනෙක් එක්ක ජීවිතේ කතාකරල තියනවා නම් .....ඔබ වටහාගනී...ඒ කෙනෙක් ජීවිතේ ට කොච්චර ආසද කියල....
.
ඔබ මානසිකව ආබාධයන්ට ලක් වුණ කෙනෙක් එක්ක කතාකරල තියේ නම්....ඔබ වටහා ගනීවි ඔබ ලෝකය දකින ආකාරය ඔවුන් ට කිසිම වෙලාවක අත්විඳින්නට නොහැකි බව....ජීවිතේ ගැන යථාර්ථය කෙසේ වෙතත් .....ඒකෙ වින්දනීය භාවය කිසිම ආකාරයකට නොවිඳින මිනිසුන් ඉන්නව....ඔවුන් යලි නගා සිටුවන්න රෝහලක කාර්‍ය මණ්ඩලය හුඟාක්ම උත්සාහ ගන්නව...ඒත් මනස වියල් වුණ අයෙක් ගොඩ ගන්න එක කායික අබාධයන්ට ප්‍රතිකාර කරනවට වඩා ගොඩාක් අමාරුයි ....
.
මිනිස්සු ජීවිතේ අතාරින්න තීරණ ගන්නෙ බොහොම ක්ෂණයකින් ...ඒ ඒ කෙනාට අදාල හේතු ඒ ඒ අයට අනුව සාධාරණ ඇති....නමුත් ජීවිතය කියන දෙයින් පළායෑම කියන දේ ....බොහෝම කමැත්තෙන් බැහැර කල හැකි දෙයක්....
.
මිනිස්සු ජීවිතේ හැරයන අවස්ථා තියනව ...සමහර ක්ෂණික ආවේග, දරාගත නුහුණු තැන්....ඒවා අතර මුල් වෙනව....නමුත් ....ප්ලෑන් කර කර ඉක්මන් සහ පහසු මරණ ක්‍රම සොයන්නා ඇත්තෙන්ම ගලවා ගත හැකි මට්ටමේ අය....ඔවුන් අන්තර්ජාලය වගේම ඉන් එහාට කාරණා සොයන්නෙ ඇත්තෙන්ම ජීවිතේ නසා ගන්න අවැසි කම වගේම තව වතාවක් ඉඩ හසරත් ජීවත් වෙන්නත් පතමින්...
.
ජීවිතේ නසා ගන්න ගිනි තියාගත්, අධි මාත්‍රාවලින් ඖෂධ ගත් අය බේරුණාම දැකල තියද ...ඔවුන් ඉල්ලන්නෙ අනේ මාව බේරගන්න කියල....ඒ අන්තිම මොහොතකදි ඔවුන් ට ජීවිතාශාව ඇතිවෙනව...
.
අපිට අවශ්‍යම දේ insight එක.....ඒ කියන්නෙ තමන් තමන්ගේ ඇතුලාන්තය වටහා ගැනීම....ඒක බැරි නම් ඒකට සහය විය හැකි අයෙක් ගෙන් සහය ලබා ගැනීම.....හැබැයි තවකෙක්ට ඇහුම් කන් නොදෙන තරම් හිතුවක්කාර වෙන අයෙක් වේ නම් ...ඒ අතිපණ්ඩිත කම බොහෝම නරක දෙයක්....මොකද සියල්ල දත් සහ තමන් කියන දේම නිවැරදියි කියන මතය දරන අය එක්ක වැඩ කිරීම මානසික / කායික ආබාධ සහිත රෝගීන් සමග වැඩ කිරීමට වඩා මාරම අමාරු දෙයක්......
.
ජීවිතය ට ආදරය කරන්නට...පලදායී අන්දමට ජීවිතේ ගෙවන්නට අවශ්‍යම නම්....කලයුතු පලවෙනිම දේ අත්දැකීම් සහිත සහ ඔබට උපදෙස් දිය හැකි මට්ටමේ අයෙක්ව තෝරාගැනීම....ඒ ඔබට ගැටලුවෙන් මිදෙන්න අවශ්‍ය නම් විතරමයි.... එහෙම නැත්නම් ඉතින් ජීවිතේ කලුපාට කොලයක් කියලා හිතාගෙන ඒ අඳුරේම ගැලෙන එක වලක්වන්න බෑ.....
.
කලුපාට කොලයකට වුණත් පාට අහුරු ටිකක් ඉස්සාම ලස්සනම සිත්තමක් මවන්න පුලුවන් .....

~~~ කිත්මා ~~~

Saturday, April 20, 2019

106. ඔබ පරිසරයේ කොටසක්ද



ඔබ පරිසරයේ කොටසක්ද...?



ඔබ මේ අහන දෙයට සෘජුවම ඔව් කියලා උත්තර දෙන බව මම දන්නවා.නමුත් මඳක් සිතා බලන්න.අපි පරිසරය එක්ක සම්බන්ධ වන්නේ මොන තරම් අඩුවෙන්ද..?.

.ඔව් ..අපි එච්චරකටම කාර්ය බහුල අය....

ඔබ උදේට කුදු මහත් රාජකාරි දහසක් කරලා රැකියාවට යන්නට එලියට බහිනවා..ඔබ ඒ තියන හදිසියට ඔබ පිළිගන්න වගේ සිනාසෙන අලුත පිපුන මලක් දකින්නේ නැහැ...හදිස්සියේ බස් එකෙන් බැහැල ගෙදරට දුවන් එන ඔබව පිළිගන්න සිනාසෙන ගහක් කොලක් මලක් ඔබ දකින්නේ නැහැ...සමහරක් වේලාවට ඔබේ දාහය නිවන්න ඔබ වටේට හමායන සුළඟ ඔබට දැනෙනවා උනාට ඔබ එය විඳින්නේ නැහැ......

ඇත්තෙන්ම අපි පරිසරයෙන් දුරස් අය...

විනෝද ගමනක් ගියාම ...සියලු රාජකාරි වලින් ඔබ දුරස් වෙනවා..ඔබ පරිසරය විඳිනවා...එහි සුන්දරත්වය ඇසින් සිරුරෙන් උකහා ගන්නවා....නමුත් ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේදී එහෙම දෙයක් විඳිනවද....?

උදේම නැගිටින්න...පොඩිම වෙලාවක් ඔබ ඒ සුළඟ විඳින්න...ගහක කොලක සුන්දරත්වය ඇහැට ගන්න....හවස ගෙදර ආවම ...ඇඟපත සෝදාගෙන පොඩ්ඩක් මිදුලට බහින්න...ලෝකය ඉන්නේ ඔබ එනකල්...ගෙදර අයට වගේම පරිසරයටත් ඔබව අවශ්‍යයි....

ඔබ පරිසරය එක්ක ඉන්න හැම වෙලාවේම...ඔබේ පීඩනය අඩු වෙනවා...ඔබේ නිර්මානශිලිබව වැඩිවෙනවා...හිතට එන්නේ සාමකාමී සතුටුදායක හැඟීම්...ඒ වෙලාවට ඔබට ඔබේ වැඩ කටයුතු හසුරවා ගන්න පහසුයි...පෙළගස්වන්න ලේසියි...ඒ වගේම ගැටළු වල දැඩි බව හෙමින් මනසින් ලිහිල් වෙන්න ගන්නවා....ඔබ මනසින් වැඩෙන්නේ මෙන්න මේ වේලාවට....

ඉතින් ඔබ පරිසරයට අනුගත වෙන්න...අද ලෝකය දුවන්නේ තාක්ෂනය එක්ක..අපි පරිසරයෙන් ඈත්වෙන්න වෙන්න අපි නිර්මාණශීලි වෙන්නේ යාන්ත්‍රිකව..

අපි සොබාදහමේ අංශු..ඉතින් දවසට එක විනාඩි දහයක් ඔබ ව නිර්මාණය කල ඒ පරිසරයට ඔබේ සිනහව ලබා දෙන්න.....එය ඔබේ කෘතගුණ දැක්වීම වෙනු ඇති....නිසැකවම.

මම 
විසිරි 

Tuesday, January 8, 2019

103. ලෝකයටම ආදරය කරන්න



"සමහරක් මිනිස්සු ජීවිතේ අවුල් කරන් ඉන්න හැටි දැක්කම අපි කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙනවා අම්මා....."

ඒ මගේ පොඩ්ඩා  මාත් එක්ක ගිය ගමනකට පසු එන අතරෙදි මට කිව්ව දෙයක්....
ඇත්තෙන්ම එහෙම කියන්නට හේතු වුණේ....මම මගේ රාජකාරිය කරන තුරු
මානසික ආබාධ වලින් පෙලෙන රෝගීන් ගේ හැසිරීම් රටා ඔහුට නිරීක්ෂණය කරන්න පැය දෙකක් තුනක් ලැබීමයි....
.
මං මගෙ දරුවො දෙන්නම පොඩි කාලේ සිටම රෝහලට එක්කන් ගියා....විශේෂයෙන්ම ආබාධ සහිත වූ දරුවන් ට අම්මා කොහොමද ප්‍රතිකාර කරන්නෙ කියන දේ ඔවුන්ට ඇස් දෙකෙන්ම පෙන්වන්න මට ඕන වුණා....
ආබාධ සහිත වන මිනිසුන්ව වෙනස් කොටසක් කියා අයින් නොකල යුතු බව ප්‍රායෝගිකව කියාදෙන්න මට පුලුවන් වුනේ ඒ නිරීක්ෂණයන්ට ඉඩ දුන් නිසා.....
අතපය අප්‍රාණික සෙම් සොටු පෙරා හැලෙන දරුවෙක්ව අම්මා උකුලට ගන්නවා නම්...වඩා ගන්නවා නම්..ආදරයෙන් කතා කරනවා නම්.....එතන වෙනසක් නෑ කියන දේ දරුවන් ඉක්මනින් ඉගන ගත්තා.....
.
සුරංගනා කතා වලට වඩා එදිනෙදා අත්දැකීම් මං ගෙදර ආවම ඔවුන් එක්ක කියන්න හුරු වුණා..ඒ හැබෑම මිනිසුන්ගෙ කතා....යුද කාලයෙදි අනතුරු වෙලා ආබාධ සහිත වෙලත් ධෛර්යය ඇතුව ජීවත් වුණ අය .....ඒ වගේම ආදරය කරුණාව එක්ක බිංදුවෙ ඉඳන් ජීවිතේ හයියට නැගුණ මිනිස්සු...ගැන කතා මගේ කතා පෙට්ටියෙ ඕන තරම් තිබුණා....
.
"ඔව් පුතේ....අපි වාසනාවන්ත මිනිස්සු....ඒ වගේම අර වගේ අයට උදව් කරන්න පුලුවන් රස්සාවක් කරන්න ලැබෙන එක ඊට වඩා වාසනාවක්......"

මම අන්තිමේදි කීවා

විසිරි

Saturday, January 5, 2019

102. දරාගැනීම




මිනිස්සුන්ගෙ ජීවිතේ කියන්නෙ යෑම් සහ ඊම් වල එකතුවක්...
ඒ වගේම දරාගැනීම් සමුදායක්....
.
අපි හිතනවා කාගේ හෝ බරපතලම ඛේදවාචකයක් ගැටලුවක් දුටුවම ඇහුවම...අනේ මට නම් ඒක දරාගන්න බැරි වෙයි...මම නම් මැරෙයි ඔහොම උනොත් ...කියල....
.
නෑ....අපේ ජීවිත ඇතුලෙ ඉන්නවා මහා හයිය චරිතයක්...ඒ කෙනා හැම තිස්සෙම ඉන්නෙ හැංඟිලා....නමුත් ඔබට අවශ්‍ය මොහොතෙදි ඒ කෙනා එලියට එනව....
.
මං හිතාගෙන උන්නෙ මම මහා දුර්වල චරිතයක් කියල...ඒත් ජීවිතේ එකම එක කාලෙක අම්මා ජීවිතෙන් සමු අරන් ගිය දවසෙ මං දැනගත්තා මං හයිය ගෑණියෙක් කියලා.... කෙනෙක් ට දරාගන්න අමාරු වියෝගයන් කියන්නේ අන්න එහෙම ඒවාට.....
.
ඒ කඩාවැටීමට මුහුණ දුන්න මට ඊට පස්සෙ ජීවිතේ ආව හුඟාක්ම නරක අත්දැකීම් ඕන එකක් දරාගන්න හැකි උනා.... ඔය සමහර වෙලාවට මිනිස්සු ජීවිතේ ඇතියි කියන කොට...පලා යන්න ඕනයි කියන කොට...මැරෙන්න අයිතිය අවශ්‍යයි කියනකොට ..මම නිහඬවම හිනා වෙන්නෙ ඒකයි....
.
ඒ අය තමන්ගේ අර ශක්තිය ගැන දන්නෙ නැහැ කියලයි මම හිතන්නෙ....තමන් තුල ඇති ශක්තිමත් මනුස්සයා තමන් වෙනුවෙන් පෙනී සිටින්න කැඳවාගන්න ඒ අයට ඕන කමක් නෑ......
.
කොහොම වුණත්.....
මම දන්න එකම දේ....
ජීවිතේ කියන්නෙ සුන්දර දෙයක් .....
ඒක විඳින්න ඕන ....

විසිරි

Sunday, December 9, 2018

99. වියපත් වන දා

වියපත් වන දා.....

අද උදේ වැඩට යන වෙලාවෙ කණ වැකුණු දෙබසක් එක්ක මට ලියන්න සිතුණ මෙහෙම...
ඒ කථාව කල කෙනා කීවේ තමන්ගේ නැන්දම්මා ගැන..
ඉතාම වියපත් නැන්දම්මා ගෙ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා සිදුව ඇති අවාසනාවන්ත තත්වය ගැන මේ කෙනා කතා කලා....
.
අසූ ගණන් වල අග භාගයේ ඉන්න වියපත් නැන්දම්මා රෑ තිස්සේ වැසිකිළි යාම නිසා ඇද වැටී ඇතිව ඇති තත්වය ගැන ඔහු කතා කලා....ඩයපරයක් ඇන්දවීමට ඉඩ නොදෙන බවත් ...මොන තරම් ඇවිදින්නට එපා කීවත් එයම කරන බවත් ඔහු තරමක කේන්තියෙන් කියා සිටිනු මා අසා සිටියා....
.
මිනිසුන් හැම කෙනෙක්ම වියපත් වීම වලක්වන්න බැහැ...ඒ වගේම වියපත් වන වැඩිහිටියන් ගේ ක්‍රියා කලාපයන් හරියට හිතුවක්කාර කුඩා ළමුන් වගෙ....ඒ තත්වය අපි මනාව අවබෝධ කරගන්න අවශ්‍යයි....
.
ඉතාම වයසට යන ඔබේම අම්මා තාත්තා වගේම මිත්තනිය හෝ සීයා....ගැන යම් විමසිලිමත් බවකින් කටයුතු කරන්න....අමතක වීම් ...dementia තත්වයන් ඔවුන්ට ඇති වෙන්න පුලුවන් ..එවන් විටෙක ඉවසීම කියන්නේ මහඟු ඔසුවක් වේවි......නොසලකා නොහැර ප්‍රතිකාර සඳහා යොමු වන්න...එය ඉතාම වටිනා දෙයක්....
.
වියපත් වැඩිහිටියෙක් රැකබලා ගැනීම අසීරුයි..එවන් විටෙක දිගටම එක් අයෙක්ට එසේ රැකබලා ගන්න එක පීඩනයක් වෙනවා...පවුලේ අය සමසේ එම වගකීම බෙදාගන්න එක ඉතාම අගනා විසඳුමක්...අද උදේ මෙම කතාබහ කල දෙදෙනාගෙන් පිරිමි කෙනා කියනු ඇසුණේත්...මායි නෝනයි විතරයි මේ සේරම කරන්නෙ ...අනික් දුවලා පුතාලා ඇවිල්ල බලල යනවා මිසක එයාව දවසකට දෙකකටවත් ගෙනියන්න කැමති නෑ...කියනෙක....
.
වියපත් වැඩිහිටි අයෙක් රැකබලා ගැනීමේ වැදගත් කම වෙන්නේ ...වැරදිලා හෝ ඇද වැටීමක් නිසා ඔවුන්ගේ උකුල් සන්ධිය විශේෂයෙන්ම කැඩීමට ඉඩ ඇති හෙයින්...ඉතාම වයස කෙනෙක් නම් සදාකාලිකවම ඇඳට වැටෙන්න තියන ඉඩ ඉතා වැඩියි....එවිට තවත් හිරිහැරයක්....
.
.
ඉතින් ....අපිත් කවදා හෝ වියපත් වෙන අය....ඒ වගේම අබල දුබලතා ඇතිවිය හැකි අය...ඒ නිසා...ඔබ ඔබේ වියපත් ඒ වැඩිහිටි අය ගැන මඳක් සිතන්න...ආදරය කරුණාව සහ ඉවසීම හුඟාක් වටින දෙයක්.....
.
.
විසිරි

98. අම්මා මතු බුදු වනු ඇත

අම්මා කෙනෙක් කියන්නේ...අනන්තාපරිමාණ විශ්වයක් වගේ පරතෙරක් නොපෙනෙන ආදරයක් ඉවසීමක් කැටිව ගත් උත්තම හදවතක්....
.
මට එහෙම හිතුණෙ...අද දවල් මගෙ සිසුන්ගෙ සායනික අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික රෝහල මැද්දෙන් ගමන් කරද්දි.....
.
ඒකට නිමිත්ත වුණෙ...නා ගස් හෙවනේ බිම් පඩියක හිඳගෙන උන්න වියපත් අම්මා කෙනෙක් දැකල...ඇගේ ඇස් වල තිබුණේ යම් කිසි අපේක්ෂාවක්...මං ඒ බලාපොරොත්තුව දැකල තියෙන්නෙ අම්මෙක්ගෙ ඇස් වල දරුවන් වෙනුවෙන්....
.
නමුත් සදාචාරාත්මක සහ ඇයට තිබිය යුතු ගෞරවනීය තත්වය ගැන හිතල මම ඇගේ සේයාරුවක් ගත්තේ නැහැ...
.
අම්මා කෙනෙක් ට දරුවෙක් වෙනුවෙන් නිදිමරන්න පුලුවන් කාලය කොච්චරක් ඇත්ද කියන්න කාටවත් ම බැහැ....ඒක මම මගෙ ජීවිතේ අත්විඳල තියනවා....දරු උපතේ ඉඳන් ගිලන් වෙන...සහ අනෙක් ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් අම්මෙක් තමන්ගෙ නින්ද කැප කරනව....
.
ජීවිතේ හුඟාක් අපේක්ෂාවන් අම්මල කැප කරන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන්....සමහරක් වෙලාවට...ආස කරන හුඟාක් දේට දෙවනි තැන දීලා දරුවන් වෙනුවෙන් ඒ මූලිකත්වය දෙන්න අම්මා කෙනෙක් දෙපාරක් හිතන්නෙ නැහැ.....
.
දරුවෙක් ගිලන් වුණාම අම්මෙක්ගෙ ඉවසීම මහා පුදුමයි...සාමාන්‍ය ලෙඩ වලින් ඔබ්බට ගිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙ අම්මලා එක්ක අවුරුදු ගාණක් වැඩ කල මට ඒ අම්මලා මතු බුදුවෙන්න නම් පතන්නෙ නෑ කියන බව වැටහෙන්නෙ....මේ දරුවන් සුවපත් කරන්න සංසාරය පුරාම ප්‍රාර්ථනා එක්කාසු කරන හැටි දැක්කම....
.
ඒත්.....
මට අද හිතුනෙ...
මතු බුදුවෙන බුදුවරුන් .....නා ගසක් මුල වුව හමු වන බවක්......

විසිරි

Wednesday, August 1, 2018

91. ශක්තිමත් වන්න

විෂය කාරණයකට අදාල එකක් වුනත් මට මෙන්න මේ කාරණය ගැන සටහනක් ලියන්නට හිතුනා....

අපිට ජීවිතයේ අතරමැදි අවස්ථා තියනවා...ඒ කියන්නේ යම් යම් අවස්ථාවන් තියනවා බොහොම negative point එකක ඉඳන් positive point එකකට යන්න වෙන...මේ අවස්ථාවට අපි කියන්නෙ Transition stage කියල...මේක අසීරුම අවධියක්.....හැබැයි මේ ඉසව්ව පැන්නම අපි අර බොහෝම අසීරු තැනින් මිදිලා යම් විසඳුමකට එනව ......

මෙන්න මේ transition period එක ගැනයි මම මේ කියන්න යන්නෙ....
ඒක අපේ ජීවිතයේ ඕනම නරක අත්දැකීමක් වෙනුවට ආදේශ කරලා බලන්න පුලුවන් ...
..
.
ඒක ලෙඩක් දුකක්..අහිමිවීමක්...අසමත් වීමක්...ආබාධයක්...මරණයක්....ඕනම එකක් වෙන්න පුලුවන් ....
.
මෙහෙම දේකදි....මුලින්ම වෙන දේ තමා .....මොකුත්ම නොදැනෙන කාලයක්.... අවස්ථාව ...thoery එකට අනුව නම් ඕකට අපි නිර්වින්දක අවස්ථාව කියනව.....immobilisation period..එකක් මේක......මොකුත් හිතාගන්න බෑ......හිරිවැටිලා වගේ හැඟීම් දැනීම් නෑ......

දෙවනියට mood swing වෙන අවධිය
මේකට අපි reaction period එක කියනව....අර මොකුත් නොදැනෙන එකෙන් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා.......ඒ කාලෙදි අපේ mood එක වෙනස් වෙනව......අඬන්න ඕන කෙනාට අඬන්න පුලුවන්.....තරහ අරන් කෑගහන්න ඕන නම් ඒකත් කරන්න......මේ කාලෙ ටිකක් අමාරුයි........
ඒත් negative පැත්තෙන් positive පැත්තට යන්න අපි පටන් අරන්........

තුන් වෙනි අවධිය කියන්නෙ self doubt...ඒ කියන්නෙ......හිතන්න ගන්නවා......මොකක්ද මේ උනේ කියල .......මේක ජිවිතයේ negative අවස්ථා වලදී වගේම positive අවස්ථා වලදීත් අපි අත් විඳිනවා.හිතන්න විවාහයක් වගේ දෙකදී..ගර්භනී වීමකදී..අපි පත්වෙන ඒ නොසන්සුන් බව තමා මේ self doubt එකේ positive අවධි වෙන්නේ...negative තත්වේදී මේක ටිකක් භයානකයි.මොකද තරහ වගේම ලොකු ආතතීන් අපිට එන්නේ මෙන්න මේ වේලාවට ....

ඊළඟට මොකද වෙන්නේ ....මෙතනට එනකල් ම අපි ඉන්නේ බොහොම අසරණ තත්වෙක...
මෙතැනදි අපි ව අසරණ කරන දේ තමා....අපි අපේ අතීතයට attach වීම ...ඒකෙන් තමා අපිව පස්සටම අදින්නෙ....ඉස්සර මං උන්නෙ එහෙම යි..මෙහෙමයි......කිය කියා වද වීම අපි ඉස්සරහට යෑම පමා කරනවා......නමුත් මේ ඊළඟ අවධිය ඒ කියන්නේ letting go අවධියේදී ...අපි එකෙන් මිදෙන්න උත්සහ කරන්න ගන්නවා....මේක අපිට අවදානම් අවධියක්...නමුත් ඉස්සරහට යාමේ පළමු පියවර ඔබ නොතිබ්බොත් ඔබට අනික් අන්තයට යන්න බැහැ...

මෙතන පන්න ගත්තම testing අවධිය....දැන් අපි පටන් ගන්නවා...මේකෙන් මිදෙන්න විවිධ දේ අත් හදා බලන්න....විකල්පයන් මොනවද කියල හොයන්න ගන්නවා...ඒ වගේම අපේ successes and faliures අපිම අත් හද බලනවා....හිතාගන්න බැරි විදියට ඔබේ මූඩ් වෙනස් වෙන්න ගන්නවා....

මේ අන්තිම අවධිය..මේකට අපි කියන්නේ interaction period ....කියල....මෙතැනදී අපි සාර්ථක වෙලා ...එහා ඉවුරට පැනල ඉවරයි....ඉතින් ලේසි නැති උනත් මේ ගමන යන්න වෙන්නේ මුල තැනින් අරඹලා.....සමහර වෙලාවට අපි ලද දෙයින් සතුටු වෙන්නෙත්...උන්න හැටියට මේ මදැයි කියල හිත හදාගන්නෙත් මෙන්න මේ කාලේදී වෙන්න පුළුවන්...නමුත් ඒ පියවර..ඔබ කලින් උන්න ප්‍රපාතෙන් ගොඩට ඒමක්.....බින්දුවේ ඉඳල සියයට යන්න එක පාරටම බෑ...දහය විස්ස ඉඳල ඕන ඒ ගමන යන්න.....

මගේ ක්ෂේත්‍රය වෛද්‍ය විද්‍යාත්මක නිසා අපි මේක ගොඩක් ආදේශ කරගන්නේ රෝගීන් ව නගා සිටුවන්න....නමුත් මම මේක යොදාගන්නේ....ඕනෑම කෙනෙක්ගේ ජීවිතේට සුළුම හෝ කඩාවැටිමකදී...නැගිටින්න සුදුසු මග ලෙසට........

ඉතින් මේ සටහන ටික ටික ලියලා අදයි ඉවර කරගත්තේ...මං හිතනවා මේක ඔබට නීරස සටහනක් වෙන එකක් නැහැ කියල.....
එහෙනම් ආයේ එනකල්....

be strong

මම 
විසිරි

Thursday, June 14, 2018

90. ජීවිතේ සුන්දරයි ....

ජීවිතය කෙතෙක් නම් සොඳුරුද..

~~~~~~~~~~~~~~~~~~~~~~~~

සති ගාණක් තිස්සේ ලියන්න හිත හිතා උන්න එක කාරණයක් තිබුණා...ඒකට හේතු වුණ කාරණාත් සුලබ වුනා..මේ ටිකේ..ඒත්..විවේකය අඩු වගේම..ලියාගන්න නිදහසක් හිතට ආවෙ නෑ.....

අද සහභාගී වූ පාඨමාලාවක දි එම පාඨමාලාවෙ සම්බන්ධීකාරක මහත්මිය අපේ කණ්ඩායම වෙත ඇවිල්ලා මෙහෙම කතාවක් කීවා...

" මං ඊයෙ ගෙදර යන ගමනුත් කල්පනා කලෙ ඔයා ඉන්න විදිය ගැන...ඔයා හරි සැහල්ලුවෙන් නෙ ඉන්නෙ..මෙච්චර දුරක් උදේ ම ඇවිල්ල...රෑ වෙලා යනවා...වැඩත් හරියට..වගකීමත් වැඩියි...ඒත් කිසිම දෙයක් ගණන් ගන්නෑ වගේ සැහැල්ලුවෙන් ඉන්නව...ඒක කොච්චර ශෝක් ද කියල..."

නිහඬ හිනාවකින් ඒක ට උත්තර දුන්නා මම.....

ජිවිතේ කියන්නෙ මහා බර පොදියක් විලසට ඔලුවට ගන්න ගියොත් එය දරා ගන්න අමාරුයි.මම කියන්නෙ සියල්ල ගණන් නොගෙන ම ඉන්න නොවෙයි..නමුත් ජීවිතේ හැම සුලු සහ මහා දේ බරක් කරගත්තාම ...හිතට කිසිම දාක නිදහසක් නෑ දැනෙන්නෙ....ඒක නොසන්සුන් බවක් වෙලා වදයක් වෙන්න මහ කලක් යන්නෙ නෑ....ඒක වෙන්න දෙන්න එපා   .

මාව පෞද්ගලික දන්න වගේම නොදන්න අයගෙ කතන්දර ගොඩක් එක්ක මට ලියන්න හිතුණෙ මෙන්න මේ දේ ගැන...

ඔබට ඔබ වටිනවාද......?

අද කාලය ගත්තාම ජීවිතේ වදයක් හිරිහැරයක් ලෙස වටහා ගන්නා තරුණ වගේම වැඩිහිටි පරපුර ක්...නිතර අපි වටා ඉන්නව...මම මේ ගැන දකින ප්‍රධානම හේතුව....මිනිස්සු තමන්ට ප්‍රමුඛත්වය නොදීම...තමන්ට ආදරය නොකිරීම සහ තමාගේ වටිනාකම අවබෝධ කර නොගැනීම....

අද කාලය ගත්තාම සියදිවි හානි කරගැනීම් ඉතාම සුලබ වනවා වගේම එම ප්‍රයත්නයන් සාධාරණීකරණය කරන ප්‍රජාවත් එන්න එන්නම වැඩිවීමක් පෙන්වනවා...

ජිවිතේ ගත්තාම එකම දවසක හෝ මේ ජීවිතය බරක් යැයි නොහිතුණ  කෙනෙක් ඉන්නවා ඇතැයි මම හිතන්නේ නෑ...ජිවිතයේ එක් එක් කාල වකවානුවල ...ඒ ඒ වයස් වලදී මුහුණ පාන විවිධාකාර ගැටලු නිසා...මේ ජීවිතය මහා වදයකැයි මටද නොසිතුණා කීවොත් එය බොරුවක් ...
නමුත් ...හැම ප්‍රශ්නයක්ම සාපේක්ෂ බව හිතන්න මට නම් එදත් අදත් එකම ලෙස හැකි වීම වාසනාවක්....

උදාහරණයක් ලෙස ජීවිතේ එක් වකවානුවක බරපතලම ගැටලුවකට මුහුණ පාන්නට වූ යුගයක....මටද සිතුණා...මේ ජීවිතය පලක් නැති බව...කිසිවෙක්ම මටය කියා නැතැයි මට සිතෙන්නට ගත්තා...ඒ යුගය වන විට ජීවිතේ සමහර හැඟිම් මහ හිතුවක්කාර තත්වයක තිබුණ බවත් මට මතකයි   .
නමුත්...ඒ හැඟීමට මා යටපත් කරන්නට ඉඩක් නොලැබුණේ  ..ඒ වකවානුවේ මට ජීවිත දෙකක් ගලවා ගැනීමේ ක්‍රියාවකට බැහැලා වැඩ කරන්නට වුණ නිසා...

මගේ ඥාති සොහොයුරියක් ගැබිණි සමයේදී ඇගේ කලලයේ වූ අසාමාන්‍ය තත්වයක් නිසා ටිකක් බරපතල ප්‍රතිකාර මාලාවකට යොමු කර රැගෙන යාමේ වගකීම මට පැවරුණා  .ඒක මම ම පවරාගත් එකක් කීවොත් වඩා නිවැරදියි.....
.මිනිස්සු ජීවිතය ගැන බලාපොරොත්තු ගොඩනගන අන්දම ඒ ජීවිත තුලින් දකින වාරයක් ගානෙ....මගෙ අව සිතුවිලි මගෙන් ඈත් වුණා

ජීවිතය කඩා වැටෙන මොහොතක තමන්ට වඩා ප්‍රශ්න ඇති සිය දහසක් මිනිසුන් සිටින බව සිහි කරන්න...

ඔබ මානසික සංකූලතාවයකින් පෙළෙනවා නම් මේ ස්වයං යෝජනා වලට පෙර වෛද්‍ය ප්‍රතිකාර ගන්න..එය ඉතාම අවශ්‍ය දෙයක්...
කෙනෙක්ට තමන්ට ගැටලුවක් හෝ එපාවීමක් ඇති බව අවබෝධ වීමම මම දකින්නේ හොඳ ලකුණක් ලෙස...ඒ insight එක ..ඔබට ගැටලුවෙන් පිටට එන්නට පාර කියාවි...නමුත් ප්‍රතිකාර අවශ්‍ය විටක....එයටත් අනුගත වන්න....

ඔබට ගැටලුවෙන් පිටට ඒමට අවශ්‍ය වියයුතුමයි...

සමහරක් විට ඔබේ හිත ඔබට යෝජනා කරන්නේ කඩාවැටීමටමය..ස්වභාවයෙන්ම ගත් කල අපි විඳීම හා සමානව විඳවීමේද ගැලෙන අය වෙමු...
එපා වීම...කලකිරීම...වැනි යෝජනා ඔබට ඔබේ හිතෙන් ගෙන එන වාර වලදී...ඔබ එයින් මිදෙන්නට වඩා එයම තහවුරු කරගන්නට නැඹුරු වීම ඉතා වැඩිවේ....ඒ අපේ යටි සිතේ හැටිය...
තුවාලයක කබොල කඩමින් ලබන වින්දනය හා සමානව...අපිද වැඩකටම නැති අසුබ දෙයෙහි ගැලි ගැලීම ඉන්නෙමු.....

ජීවිතය ඉතා සුන්දර බව අදහන්න...ඔබම  එය වටහාගන්නවා විනා ..එය ඔබට අනෙකෙක් කියාදෙන්නේ නැත...
කියාදුන්නත් එය ප්‍රායෝගිකද නැත..නමුත් ..අත්විඳින්න...ජීවිතය හරිම සුන්දරය...

ඔබ විඳවන්නේ අනෙකෙකු නිසා නම්....ඔබ ඊට පෙර ඔබ ගැනම සිතුවාදැයි මම අසමි....තමන්ට අහිමි වූ හෝ හැරගිය අයෙක් වෙනුවෙන් ජීවිතය ම වෙන් කර විස්සෝප වන්නට පෙර.....ඔබ ඔබ ට කෙතෙක් ආදරය දැයි සිතන්න....
ඔබට ඔබම ආදරය වීමට කිසිත් කාරණා අවශ්‍ය නැත...

ඔබ ට ඔබ මේ ලෝකයේ සිටින සුන්දරම ...ආදරණීයම...ලෙන්ගතුම ප්‍රාණියා විය යුතුය.....ඉන් එහාට අනෙක් අය සිටියාට කමක් නැත......

අනෙකෙකු වෙනුවෙන් ජීවිතය වෙන් කර...එයින් පැරදෙන ඔබ ....ජිවිතේ ජයග්‍රහණය ඇත්තේ එතුලම බව කිසිම විටෙක දන්නේ නැත...කොටින්ම කිවහොත් ඔබට එය පෙනෙන්නේ නැත....
ජීවිතය නූලක එල්ලෙන අස්ථාවර  දෙයක් වෙද්දී....එම ජීවිතය ට පෙම් බඳින්නවුන් ඔබ දැක ඇත්ද....පිළිකාවකින් ජීවිතය හැරයන්නට ඔන්න මෙන්න සිටින අයෙක් ඔබ දැක තිබේද....ඔවුන් ප්‍රශ්න හෝ ජීවිතේ පලායෑම් ගැන නොසිතූ අය  නොවේ....එහෙත් ඔවුන් ජීවිතය ට පෙම්  කරන්නේ....ජීවිතය අහිමි වෙන්නට යන බව දැනගත් දා සිටය....මම මගේ සොහොයුරෙක් ගේ ඒ අවසානය මනාව දැක විඳ ඇත්තෙමි.......ඔහු ජීවිතය සෙවූ අයුරු බලා සිට ඇත්තෙමි....ඉන් පෙර ඔහු ජීවිතය විඳි අයුරද දැක ඇත්තෙමි.....වෙනස එතැනය...

අනුන් වෙනුවෙන් ජීවිතය පවත්වාගන්නට කිසිවෙක්ට අවශ්‍ය නොවේ....ඔබ ජීවත් විය යුත්තේ ඔබ වෙනුවෙනි....අනුන් වෙනුවෙන් නොවේ....එසේ ජීවත් වෙන්නට හේතුවක් නැත්නම්.....අද ඒ හේතුව ඔබම සොයා ගන්න යැයි මම ඔබට කියමි......

ජීවිතය හැර යන්නට සිතන කිසිවෙක් ඒ හැරයෑම වේදනාකාරී වනවාට කැමති නැති බව මම ඉඳුරාම පවසමි....මරණය කිසිදු විටෙක සුන්දර නොවේ...මරණයද සුව පහසු වෙනවාට අපි කැමති ඇයිදැයි මඳක් ඔබ සිතුවාද....
හදිසි ආවේගයකට හැර සංවිධානය කර ජීවිතය තොර කරගන්නට වෑයම් දරන්නන්......ඒ ප්‍රයත්නයේ අවසන් මොහොතේ....ඉල්ලා සිටින්නේ ජීවිතය බව මම රෝහලේදී ඇස් පනාපිටම දැක ඇත්තෙමි....

මන්ද හැරයෑම ...සියලු දුක් නිවාරණය නොවන බව ජීවිතය අපිට කියාදෙන්නේ අන්න ඒ මොහොතේදී වන හෙයිනි......

මෙතරම් ලියන්නේ......ඇස් ඇරෙන්නට කාලය මේ යැයි මම සිතන හෙයිනි....
කෙසේ වතුදු...ඔබ හෝ මම අවුරුදු සියයක් ජීවත් වන්නේ නැති අයය....අපේ මේ කෙටිම කෙටි ජීවිතේ සුන්දරව ගෙවන්න ට ජීවිතයට අවශ්‍ය වන්නේ .....ආදරය පමණි....

ඒ ආදරය ඇත්තේ ඔබ තුලම මිස ...අවශේශයන් තුල නම් නොවේ......

ඔබට හිනාවෙන්නට අවැසි නම් ....මේ එයට කාලයයි....

ඔබට .....හඬ නගා සිනාසෙන්නට අවැසි නම් ....එයට නිමිති දාහක් ඔබ වටා ඇත....

ඔබ ....ඔබට ආදරය කරයි නම්.....ඔබගේ ජීවිතය තරම්  සුන්දර කිසිවක් මේ මිහිමත නැති බව මම ඉඳුරාම පවසමි......

අනවශ්‍ය බර පොදි පසෙක ලන්න....ජීවිතයේ සැහැල්ලුව විඳින්න....

අතහැරීම යනු.....ජීවිතය අතහැරීම නොවේ....ඔබේ ජීවිතය ට පිරී ඇති දුක් දෝමනස්සයන් සහ කුණුකන්දල් ටික අත හැරීමය......

එය ජීවිතය ට ආදරය කිරීමේ මුල්ම පියවරයි......

විසිරි.....

Tuesday, May 22, 2018

89. හැකි නම් වන්න අන් වතක සිනහවක්

හැම දවසකම , පෙර නාඳුන්නෙක් හට ඔබට හැකි නම් කාරුණික වන්න ...

මම මේ ස‍ටහන පසු ගිය දවසක කියෙව්වා...පොතක තිබිල...

ලෝක ප්‍රකට ඇඩොල්ෆ් හක්ස්ලි..සිය මරණ මංචකයේදී මේ අදහස කියා තියෙනවා...

හිතන්න මඳක්...

ජීවිතය කියන්නේ ක්‍රියාදාම සමුහයකට..මේ ක්‍රියාවන් කරුණාව , දයාව වැනි මානුෂික ගුණාංග වලින් පෝෂණය වුනාම ඒක ජිවිතයට ආශිර්වාදයක් වෙනවා..

ඔබේ ජිවිතයට එන යන දහස් දෙනෙක් ඇති.ඒ හැම කෙනාම ඔබේ ජිවිතයට ආවෙත් ආපසු යන්නෙත් හේතුවක් ඇතුව.ඔවුන් ඔබගේ ජිවිතයේ ඉන්න කාලය තුළදී...ඔබේ හැම දිනයක්ම ඔවුන් හට ඔබෙන් යමක් දෙන දිනයක් වෙන්නට ඇති.ඒ ගැන කිසිදු විටක පසුතැවෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.

හෙට දවසේ නාඳුනන එක අයෙක්ට හෝ ඔබේ කරුණාව, දයාව අවැසි වෙන්න පුළුවන්.ඔබේ එසේ නොදෙන්නට ඔබට හේතු තිබේදැයි සිතන්න.

ඔබට ඔබ අවට ලෝකය සතුටින් පුරවන්න පුළුවන්.හැකි නම් එක දවසකට එක අයෙක්ගේ සිනහවක් වෙන්න...එහෙමත් නැත්නම් ඔබට හැකි නම් ඔවුන්ගේ අවුල් සහගත මනස වෙනස් කර සතුටින් පුරවන්න..

ඔබේ ඒ දවස කෙතරම් වටිනවද..

මගේ කලින් රැකියා ස්ථානය මට හැම දිනයක්ම අලුත් කල තැනක්.මගේ වචනයකින් හරි දිරිමත් වෙලා නැගී සිටින්න බලන් ඉන්න මුණු ගානක් රෝහලේ උන්නා.ඒ හැම දවසම අධික වෙහෙසින් නිමා වුණත්..මම ගෙදර අරන් ගියේ සන්තුෂ්ටිය.අවුරුදු දහ අටක්ම ඒ සතුට මම නොඅඩුව වින්දා.

අද රැකියාව වෙනස් වුණත්..මම උත්සාහ කරන්නේ මගෙන් ඒ දේ වෙන්න ඕන කාටහෝ ඒ දේ නොඅඩුව ලබාදෙන්න.නමුත් මේ අතරේ ඒ දේම හිරිහැරයක් කරදරයක් වන අවස්ථා නැතුව නෙවෙයි.

නමුත් තවත් ජීවිතය ගෙවන්න ඇත්තේ ටික කලක් පමණයි.ඒ නිසා ජිවිතයේ හැම දවසකම සුන්දර යහපත් දෙයක් කරන්න මම කැමතියි.

ඔබට මම කියන්නේ.....ඒ දේදී පවා නිර්මාණශීලි වන්න.සමහරක් විට ඔය කියන සතුට ඔබට ලැබෙන...... කාරුණික වීම කියන්නේ බසයේ හිටගෙන යන කෙනෙක්ට අසුන දීම වෙන්න පුළුවන් , එහෙමත් නැත්නම් උදේට ඔබේ මුණ දෙස විමසිල්ලෙන් බලන වයසක කෙනෙක්ට සුබ උදාසනක් පැතීම වෙන්න පුළුවන්...

මේක මහා දෙයක් නෙවෙයිනේ.....ඔබ දැන් එහෙම හිතන බව මම දන්නවා....

ඒත් හිතන්න...අපි මේ සුළුම දේත් කරන්නේ නැහැ නේද කියල....ඒ නිසා අද ම පටන් ගන්න...ඔබේ සිනහව ට පුළුවන් කෙනෙක්ගේ මුළු දවසම වෙනස් කරන්න....

මම 
විසිරි 

Wednesday, February 21, 2018

85. Be Cool

ඔබට තරහා යනවාද..?

ඕක අහන්නත් දෙයක් ද ...?...ඔබ කියාවි...
උදේට දහසකුත් එකක් රාජකාරි ඉවර කරල බස් එකට දුවන ඔබ.....ඒ බස් එක පමා වුණත් කේන්ති ගන්නවා...

ඔබේ වාහනය රිය තදබදයක හිරවුණාමත් ඔබට ඇතිවෙන්නෙ තරහක්...

සුපිරි වෙලඳ සලක...බඩු තෝරගන්න ගියාම..බැංකුවේ පෝලිමේ ඉන්නකොට....
තරහ එන්න හේතු ගොඩයි....
.
.තරහ යෑම සාමාන්‍ය දෙයක්....නමුත් හරි කෙනා එක්ක ...හරි වෙලාවට....හරි ප්‍රමානයෙන්...හරියාකාර හේතුවකට...ඒ වගේම හරි විදියකට...තරහ ගැනීම පහසු දෙයක් නොවෙයි.......මේක කියන්නෙ ඇරිස්ටෝටල්.....

ඒ කියන්නෙ අපි තරහ ගන්න හේතු බැලුවාම ...ඔය කියන කාරණා වලට අදාලවම නම් නෙවේ අපි තරහ ගන්නෙ...
.
නරකම දේ මෙන්න මේකයි...
අපි නිතර නිතර තරහා ගන්න කොට....ඒක අපිට පුරුද්දක් වෙනවා .....ඕනම දෙයක් නිතර වෙනකොට ඒක තමා ගේ පරිසර සාධකයක් වෙන්න ගන්නවා...ඉතින් තරහ ගැනීම ඔබේ සාමාන්‍ය තත්වය වෙද්දි......ඔබේ මිත්‍ර සම්බන්ධතා බිඳ වැටෙන්න පුලුවන් ...

ඔබේ ආයතනික සම්බන්ධතා කඩා වැටෙන්න...සමාජයේ ඔබ නොරුස්සන පුද්ගලයෙක් වන්න පුලුවන් ..
ඔබව දකින කෙනා....ආ එයා නට් ලූස් පොරක්...කුකුල් කේන්ති කාරයෙක් වගේ ලේබලයන් වලට ඉබේම හසුවෙන්න පුලුවන් ...

ඉතින් මේ තත්වයට ඔබ පත්විය යුතුද.....?

ඒ වගේම ඔබ දන්නා සාර්ථක පුද්ගලයන් ගැන බලන්න...ඔවුන් තමන්ගේ ආතතීන් පාලනය කරගන්නා අපූරුව බලන්න...ඔබ තරහ පාලනය කරගන්නෙක් වෙන කොට...ඔබ තරහ වගේ හේතූන් නිසා ඔබෙන් ගිලිහෙන කාලය ඉතුරු කරගන්නවා.....

වැදගත්ම දේ .....
ඔබේ වචන පාලනය කර ගැනීම.....

Words are like arrows.once released, they are impossible to retrieve .So choose yours with care.

මේ වැකිය අපි දන්නා දෙයක්..

තරහා පිටවෙන යමක් කියවෙන්නට පෙර 1 ඉඳලා 100ට ගනින්න කියන එක අපි අහලා තියන හොඳම වලක්වාගැනීමේ පියවරක්...නමුත් හොඳවයින් දෙකක් කියවෙන්න එනවෙලාවට ඉලක්කම් පවා අමතක වෙන එකනෙ නරක ...නේද....
.
මම කියවපු පොතක අපූරු සටහනක් තිබුණා...හිමාලයේ උන් පුරාණ ඉසිවරයන් කොට්ටාසයක් තමන් යමක් පවසන්න කලින් පිලිපැදපු එක් නීතියක් තියෙනවාලු ..ඒක තමා ත්‍රිත්ව දොරටු නීතිය....

මුල්ම දොරටුවේදී අපි සිතන්න ඕන අපි කියන්න යන දේ සත්‍යයක්මද කියලා..ඒකඔව් නම් දෙවනි දොරටුව වෙත යන්නට පුලුවන් .

.එතන්දී අපි යළි සිතන්න ඕනෑ මේ කියන්න යන දේ කීමට අවශ්‍යමද කියන එක...ඒකටත් එන්නෙ ඔව් කියන උත්තරය නම් ඔබ යනවා තෙවනි දොරටුවට..

.එතනදී ඔබ ඔබෙන් අහනවා..ඔබේ ඒ කියන්නට යන දේ කාරුණිකද කියන එක...ඒකත් ඔව් නම් ඔබට ඔබේ සිතුවිලි වදන් වලට හරවා පිටකල හැකියි.....
.
.මේ ගැන ආයෙම හිතන්න.......මේක මහ කාලයක් ගන්නා දෙයක් නම් නෙවෙයි...ක්ෂණිකව ඔබට කල හැක්කක්....එමෙන්ම ඔබේ තරහ පාලනය කරන්නට සුදුසුම පියවරක්.......

ඉතින් ...හුඟාක්ම තරහ යන්න ඉන්න මොහොතක....ඔබට හැකි නම් ......ඉවසන්න.....ඔබ ඉතුරු කරගන්නේ ඔබේම සැහැල්ලුව ....

එහෙනම් Be Cool....

මම 
විසිරි 

Saturday, January 27, 2018

115. ජිවත් වන්න මේ ලෙසට

මම පොතක කියවපු සටහනක් තියෙනවා මෙහෙම ...

ඔබ උපදින වෙලාවේ මුළු ලෝකයම උද්දාමයට පත්වෙද්දී ඔබ හඬන්නට ඇති....ඔබ ඒ නිසා ජිවත් විය යුත්තේ...කවදා හෝ ඔබ සෙසු අය හඬා වැටෙද්දී ඔබ සතුටින් මිය යන ආකාරයටය....

ඇත්තෙන්ම හිතන්න මේ සටහනේ සත්‍යය....

අපි ජිවත් වෙන්නේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා අපිටම අමතක වෙන යුගයක.....
.
හිතන්න ...ඔබ සමහරක් වෙලාවට වචන වලින් කෙනෙක්ව හඳටත් එහා තැනක තියාවි....ඒත්..ඔබ පාරෙන් එහා පැත්තේ ගෙදර ඉන්න ඔබේම අසල්වැසියා ගැන කිසිවක් දන්නේ නැහැ

....අපිට ගණිත සංකල්ප භාවිත කරලා මුදූ ගානකින් එහාට මිසයිලයක් ටක්කෙටම යවන්න පුළුවන්...ඒත්,,,අපිට අපේ ආදරනියයන් එක්ක මොහොතක් ගෙවන්න ෂෝට් ලීව් එකක් දාගන්න වෙලාවක් නැහැ.....

අපිට ජංගම දුරකථන, විද්‍යුත් මේල, ෆැක්ස්..ඔය වගේ ඇති නවීන ඕන තරම් දේවල් තියන නිසා අපි ලෝකය එක්ක හරිම සමීපයි.....කියලා හිතුවත්....මේ කාලය තමයි මිනිසුන් එකිනෙකා අතරින් සැබෑවටම ඈත් වෙලා ඉන්න යුගය...අපි අපේ මානව බැඳීම් වලින් ඈත් වෙන්න අරන්...අපි අපේ අරමුණු ග්‍රහණය කරගන්න විදි වෙනස් වෙන්න අරන්....අපි කෙටියෙන් කිව්වොත් ලෝකය දකින විදිය එහෙම පිටින්ම වෙන ස් වෙන්න අරන්.....

මේ ගැටලුවට සරලවම උත්තර දෙන්න...

ඔබ කවදා හරි මැරුනොත් ඔබ වෙනුවෙන් කවුද අඬන්න ඉන්නේ...?
මේ ජිවත් වෙන කාලේදී ඔබ ස්පර්ශ කල මිනිස් සිත් සතන් ගණන ඔබට හිතන්න පුලුවන්ද......
ඔබ හිතන්න....

බර්නාඩ් ෂෝ මරණ මංචකයේ ඉද්දි කෙනෙක් ඇහුවලු ඔහුගෙන්..ඔබට යලුත් ජිවත් වෙන්න ලැබුනොත් ඔබ වෙන්නේ කවුරුද කියල...

ඔහු දුන්න උත්තරේ තමයි.....මම මේ තරම් කල් වෙන්න බැරි උන..ඒත් මට වෙන්න ඕනෑම වුන කෙනා බවට පත් වෙනවා...කියන එක.....

ඉතින් නැවත සිතන්න.....
ඔබ ජිවත් විය යුත්තේ කෙසේද....
ඔබ තුල ඇති සත්‍යය වටහා ගන්න....
ජීවිතය යන ගමන සුන්දර ගමනක් කරගන්න

ජීවිතය කියන්නේ ඉඩක් හසරක් නැතුව වැඩ කරන එකට නම් නොවේ...අපි හැමෝම එකම අරමුණකින් ලෝකයට ඇවිල්ලා ඉන් පසු විවිධ මාවත් වල යන අය ...
ඔබේ මාවත ඔබ සකසා ගන්න...

ඔබ සෙස්සන් ඔබ වෙනුවෙන් ලෝකය නිර්මාණය කරදෙන තුරු සිටින්නෙක්ද.....
එසේ නම් මෙන්න මේ වදන එක්ක ඒ ක්‍රමය වෙනස් කරන්න...

ඔබගේ ලෝකය තුළ ඔබ දකින්නට පතන වෙනස ඔබම වන්න
මහත්මා ගාන්ධි තුමා 
Be the change that you wish to see most in your world
Mahatma gandhi

ස්තුතියි

මම 
විසිරි