Thursday, October 15, 2020

25. පසු වදන - සඳක් සේ

 




පසු වදන 


ඉතින් කලක් ගෙවී හෝ යලිත්කතාවේ ඉතිරි කොටස් ඔබ වෙත රැගෙන ආවෙමි.....මා විසින් ලියූ මුල්ම නවකතාව වන මෙය ඉතාම සරල එකක් බව කියනු කැමැත්තෙමි.ඉදින් ආදරය පමණක්ම ඉතිරි කොට යමි.....මේ කොටස් ඔබ කියවූ පසු මගේ දෙවනි කතාව රැගෙන එමි...


ස්තුතියි


මම 

විසිරි

24, අවසන් දිගහැරුම (සඳක් සේ)

උදෑසන සිට ගත වූ හෝරා කිහිපයකට පසු සඳමිණි සුන්දර මනාලියක සේ හැඩගන්වනු ලැබුවාය.... ජීවිතය තමා දෝතට ගෙන එන්නේ ජීවිතයේ සොඳුරුතම ආශ්වාදනීය හැඟීම් ය.... හා හා පුරා මනමාලියක වන සේ කෝල බවකින් හිත පිරීයයි...
කෙතෙක් අමතක කලද පෙර අතීතයේ අඳුරු සටහන් හිතට ඉබේම එබිකම් පාන්නේ සැසඳීම් කරමිනි.....
.
එකල ලංකාවේ ප්‍රසිද්ධම රූපලාවණ්‍ය ශිල්පිණියක අතින් සඳමිණි හැඩගැන්වූයේ සුධීරට අවැසි පරිද්දෙනි....එතැන ඔහුට අවැසි වූයේ බටහිර පන්නයේ මනාලියකි...සංකර වූ විලාසිතාවන්ගෙන් ඔද වැඩුණ ඒ සමාජය තුළ සඳමිණි අසරණ ව බලාඋන්නාය...තමා සුධීරගේ මනමාලිය වුවද.... එම සභාවේ වූ කීදෙනෙක් ගේ ඇස් වලින් නිරුවත් වන්නට ඇත්දැයි එදවස මනමාලියක සේ ඒ හැදි ඇඳුමෙන් නිරාවරිත ගත දෙස බලා උන් දෙනෙත් මග හැර ඇය සිතුවාය.....
.
සිහින් සුසුමක් හෙළා....පියවි ලොව වෙත ආ සඳමිණි ඉදිරියේ කැඩපතින් දිදුලන සිය වත දෙස බලා උන්නාය...තම දෑස් වල පෙර නොවූ තරම් කාන්තියක් ඉපදී ඇත....තමන්හට තමන් සුන්දර යැයි දැනෙන මොහොතක් ගැහැණියකට ජීවිතේ තිබිය යුතුමය....ඒ හැම දවසම තමා උපන්නේ අලුතිනි.....ඒ උදාර මඩුගල්ලේ හමුවූ පසුය .....ඔහු තම ජීවිතය ඔහු ගේ සෙනෙහසින් සිත්තම් කල පසුය ......
.
" ඇස්වහක් කටවහක් නෑ මගෙ කෙල්ල.....උඹට වරදින්නෙ නෑ ..." සඳමිණි ව සියුම් ලෙස සිපගත් බියංකා දෑසේ නැගුණ කඳුල තෙතමාත්තු කලාය.....මේ තරම්ම සොඳුරු මනමාලියක වන සිය ප්‍රාණසම මිතුරිය, යෙහෙලිය ගැන හිත පුරා උතුරන සතුට ඇය දරාගත්තේ කඳුලක මුසු කරගෙනය.....
.
" මට ඉඹින්න බයයි...ලොක්කා පැලෙයි දැක්කොත්...." බියංකා සිනහසෙමින් කීවාය....උදාර මඩුගල්ලේගේ ඇත්තේ සුලුපටු ඉරිසියාවක් ද නොවන බව දන්නේද බියංකාමය.....
.
" මතකනෙ එදා අර මිස්ටර් රිචඩ්සන් හග් කලා කියල ...." බියංකා හිනා වෙමින් පැවසුවේ පෙර දිනක නෙදර්ලන්තයේ සිට පැමිණි විධායක නිලධාරියකු වූ රිචඩ්සන් මහතා සඳමිණි ගේ දෑත අල්ලා ඇය වෙත කල සිපාචාරය...ට පසු උදාර හැසිරුණු අන්දම සිහිකරමිනි.....
.
" අනෙ අම්මේ බං ...මං නම් එදා හිතාගත්තා ...ආයෙ සුද්දො එනවනම් මං එදාට නිවාඩු දානව කියල...." සඳමිණි ද සිනහවට එක්වූවාය....
.
" උඹ ඔස්ට්‍රේලියාවේ ගියාම අබායා එකක් ඇඳපන්....නැත්තං මේ යකා පිපිරිල නහිනව...." යෙහෙළියන් දෙදෙනා ගේ සිනහව කාමරයෙන් පිටතටද විහිද ගොසිනි.....
.

********************************
තමා අසල බිම ට නෙතු හෙලා සිටින සිය සොඳුරු මනමාලිය දෙස ඇස්පිය නොහෙලා මඳක් බලා උන් උදාර මඩුගල්ලේ ....සිතපුරා උතුරා යන සැනසුම් සුසුමක් හෙලුවේය .....
.
පෝරු මස්තකයේදී පවා ඇයගේ දෑස හසුවන හැම මොහොතකම ඔහු ඉමහත් වූ සෙනෙහසකින් බලා උන්නේය....හැමදාමත් මෙන් ඇය රතුවෙමිනි....එහෙත් ඒ දෑස දිදුලයි.....ඒ සතුටේ අනුරුවයි......
.
බොහෝ අඩු හිතවතුන් කිහිප සංඛ්‍යාවක ගේ එකතුවෙන් සැමරූ විවාහය සඳමිණි ගේ ජීවිතයේ සුන්දරම අත්දැකීම වන්නට උදාර වගබලා ගත්තේය...
.
ඉතාම සොඳුරු තේමාවකට සැකසුණ සියලුම දෑ විවාහ උත්සවයට ගෙන ආවේ චාම් එමෙන්ම වැදගත්ම අලංකාරයකි.....
.
සෝපාවේ ඉඳගත් වහාම ඇයගේ අතැඟිලි පටලා ගත් උදාර ඇයගේ වතට එබී බැලුවේය. .....
.
" ඉතින් ....."

"ඉතින්..."

දෑස් වල කතා බොහොමයක් මුවගදී ගිලිහෙමින් පවතී....නිරුත්තර දෙනෙත් අග පැටලෙන්නේ සෙනෙහසම පමණි......
.
" බෑග් ඔක්කොම හරි නේද.....? ආයෙ හැරිලා අරක මේක නෑ කියල එන්න පුලුවන් වෙන්නෑ තේරුණාද .....? " සඳමිණි ගේ නහය සෙමින් මිරිකමින් උදාර පැවසීය......සඳමිණි ඒ දෙනෙතේ එල්ලීගෙනම සිනා වූවාය.....ඉතින් ජීව්තය සිහිනයක් නොවේමැයි....හෙටින් ඇරඹෙන ඒ නවමු ලෝකය ඔහුගේත් ඇයගේත් පමණි.....
.
හිත මිතුරන් ගෙන් සමුගෙන උදාර ගේ නිවහන වෙත පැමිණ මංගල ඇඳුම් වලින් නිදහස් වී ගත්තේ දවසේ විඩාව මග හැර ගන්නටය....
.
බැල්කනියේ සෝපාවෙහි හිඳගත් උදාර මඩුගල්ලේ සඳමිණි සිය ඇකයට ගෙන හිඳුවා ගත්තේය.....
.
" බලහන් කෙල්ලෙ මං කොච්චර අවාසනාවන්තද කියල ....." උදාර මහත් සොවින් මෙන් පැවසීය .....සඳමිණි දෑස් විසල් කොට ඔහු දෙස බලා උන්නාය .....
.
" අවුරුදු දෙකක් ආදරේ කලා....යාන්තම් ඉඹ ගන්න ලැබුණෙත් එහෙම වෙලාවක....දැන් මේ කසාද බැන්ද ....ඒත් හනිමූන් යන්න තව දවස් දෙකක් ඉවසන්න උනා නෙව මට....." උදාර ශෝකාකූල හඬින් පැවසීය....සඳමිණි අතක් මිට මොලවා ඔහුට පහරක් ගසා ඒ තුරුලේ දැවටුණාය.....
.
තව පැය ගණනාවකින් ඔවුන් ඔස්ට්‍රේලියාව බලා පිටත් විය යුතුය ....මධුසමය තවත් දින දෙකකට කල් යවන්නට සිදුවූයේ හදිසි සැලසුම් හෙයිනි......
.
ජීවිතය මල් උයනක් සේ සුවඳවත් වෙමින් තිබිණ...ඇයගේ සිහිලැති ගෙල අසල හිස තබා ගත් උදාර දෑස් පියාගත්තේ ඉමහත් සැනසුමිනි......
.
" නැගිටපන් ලොක්කා...එයාපෝට් යන්න වෙලාව හරි...." තාරක කෑගසා ගෙන විත් උදාර නැගිටුවත්දීත් ඔහු උන්නේ සඳමිණි ගේ ගෙල මුල මුහුණ හොවාගෙනය...

" නංගී....අහල තියද දිට්ඨ ධම්ම වේදනීය කම්ම කියල ජාතියක්.....මූට පලදුන්නෙ ආන්න ඒක....මූ මගේ මගුල දවසෙ මගෙ හනිමූන් ගෙනියන බෑග් එක ට කරපු දේ ඔයා දන්නවද....මගෙයි ගෑනිගෙයි රෙදි ඔක්කොම එකට තියල මස්සවල තිබ්බා....මෙන්න මූ..මූ තමා ඔක්කොම කලේ....
නුවරඑළියෙ ගිහින් අපි කාපු කට්ටක්....ඔයා දන්නෑ....
අනේ සාදු.... මූට වයස යනකල් බඳින්න බැරිඋනා...ඒකට අන්තිමට ඔයා අහුවුණා....පව් ඔයා....
උඹට හොඳ වැඩේ...තව දවස් දෙකක් ඉන්නවෙනව හනිමූන් යන්න....අනේ ෆ්ලයිට් එක තවත් දවස් දෙකක් පරක්කු වෙයන් දෙයියනේ මගම....." තාරක මහ හඬින් වක්කඩ කැඩුවා සේ කියවාගෙන යද්දී....සඳමිණි ආයාසයෙන් හිනාව තද කරගත්තාය.....
.
උදාර මහ හඬින් සිනා සෙමින් එය පිළිගත්තේය....
.
" තව ත් දවස් දෙකක් පරක්කු උනොත් මං මෙයාව අරන් ට්‍රාන්සිට් එකෙන් පනිනව එහෙ හොටෙල් එකකට...තව නම් ඉන්න බෑ බං....මං මොකෝ සියලු කෙලෙස් නසල ඉන්නව කියලද ......මෙයා හිතන් ඇත්තෙ නම් එහෙම තමා ....යමංකො...." තාරක සමග කියවගෙන ගොස් අවසන් කලේ තමා ගේ කොපුලක් සිප ගනිමිනි....සඳමිණි විලියෙන් ඇඹරුනාය.....
.
" යමන් යමන් පරක්කු වෙනව....." තාරක පහළ මාලයට යන විටත් සුමනේ බෑග සියල්ල වාහනයට දමා අවසන් ය....
.
දෙදෙනා නිවසින් පිටතට බසිනා විට සුදු මල් ඉහිරුන වතුර වීදුරුවක් ගෙන ඉදිරියට පැමිණියේද සුමනේය.....සිය හිතෛෂී සේවකයා ගේ ලෙන්ගතු කම හමුවේ උදාර තවත් මෘදු විය...
.
"සුමනේ...එහෙනම් පරෙස්සමින් ඉන්න...තාරක මහත්තයා සුමනේ ගැන නිතර හොයල බලයි....අපි එහෙනම් ගිහින් එන්නම් සුමනේ...." උරහිස් දෙකට අත තබා සෙමින් කරුණාබර හඬින් පැවසු ඔහු වාහනයට ගොඩ වූයේ සුමනේ දෑස පිරි කඳුලු පිස ලනු බලා සිටය.....
.
තාරකගෙන් සමුගත් උදාර සඳමිණි සමගින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් සිය ගුවන් යානය වෙත පිවිසුණේය....
.
දසත බොහෝ අඳුරක් ගලා එන රාත්‍රිය සමගින් ගුවන් යානය ලංකා අහසේ ඉහළට නැග පියාසර කරන්නට විය...... පුරා සඳක් අහස පුරා සුන්දර ව පායා තිබිණ....

" මගේ සඳ...... " උදාර මඩුගල්ලේ සිය බිරිඳගේ උරහිස් වටා සිය සුරත යවා තම සිරුර වෙත තුරුලු කොට ගත්තේය.....සඳමිණි සිය සැමියාගේ උණුසුම් දෙතොල් අතර දෑස් පියා සැනහී සිනහසුනාය......ජීවිතය එතරම්ම සුන්දරව ඉතිකින් ගලා ගියේය....

#සඳක්_සේ

................නිමි ................

❤❤❤❤❤❤❤❤❤❤❤❤

.
ඉතින් මෙතුවක් කල්.....උදාර සඳමිණි සමග උන් ඔබ සැමට මගේ ආදරය.....
.
ඇතැම් විට ප්‍රේමය පිළිබඳ මා නිර්වචනය කරන්නාවූ මේ ඉසව්ව යථාර්ථය ට ඔබ්බෙන් ඇතැයි ඔබ සිතනවා වන්නටත් පුලුවන...එහෙත්....මගේ සිත තුළ නිර්මාණය වූ ඒ ආදර අන්දරය ඔබ වැළඳ ගැනීම මට ඉමහත් සතුටක්මය......
.
.සඳමිණි ගේ චරිතය මගේ අකුරු අතර නිරාවරණය වන විට මා සමීපතම මිතුරිය සහ නැගණියක් මට කීවේ....ඒ ඔයාමයි කියාය....සඳමිණි ගේ චරිත ලක්ෂණ බොහොමයක මා සිටි බව සැබෑය....
එමෙන්ම මට හමුවූ සඳමිණි ලා බොහොමයක් මේ චරිත කතාවේ මුසු වූහ....
.
එහෙත් මට උදාරලා එතරම්ම මුණ ගැසී නැත....හමු ව ඇත්තේ එක් අයෙකි...දෙදෙනෙකි...පරමාදර්ශීය චරිතයක් ලෙස උදාර ගොඩනගන්නට මට අවැසි වූයේ නැත....එහෙත් මා සිත තුල උන්නේ එවන් උදාර කෙනෙකි.....

කතාව පුරාවටම ඔබ සැම මට දුන් අදහස් හා දිරියට ආදරය බව කියමි...මෙය කොරෝනා සමයේ ලද විවේකයේ ලියවුණ මා විසින් ලියූ එකම කතාවයි.....ඉතින් ඉදිරිය ගැන කීමට තවම කල් වැඩිය....

මා සමග රැඳුණ දිරිදුන් ඔබට තුති....මේ සොඳුරු කවරයත් මට නිමවා දුන් තනුෂිකා නංගී ට ස්තුතියි ආයෙම....
.
ආදරය සුන්දර ම මනෝ භාවයකි....එය ජීවිතය පුරාම අප විඳිය යුතු බව පමණක්ම කියා ඔබෙන් සමුගනිමි....

ආදරෙයි

මම
විසිරි සිහින



23. විසි දෙවෙනි දිගහැරුම (සඳක් සේ)

" සඳ..... සතුටින් ද ඔයා....?" උදාර ඇයගේ මුහුණ සෙමින් පිරිමදිමින් ඇසුවේය....
.
" ජීවිතේ මං සතුට හඳුන ගත්තෙ ඔයාගෙන් රත්තරනෙ....මං දැන් තරම් ජීවිතේ සතුටින් ඉඳල නෑ....." සඳමිණි ඒ සුරත සිප ගනිමින් පැවසීය.....
.
ඔස්ට්‍රේලියාවෙන් ලැබුණ අවස්ථාව ගැන ඇයට දැන්වීම කල මොහොතේ ඇය නෙතට කඳුලු පිරී එනු ඔහු දිටීය....
.
" මට සතුටුයි ..කියන්න බැරි තරම්ම සතුටුයි....ඔයා ඉන්න ඕන මෙහෙ මේ වගේ තැනක නෙවේ ...." සඳමිණි සෙනෙහසින් පැවසුවේ කඳුලු පිසලමිනි.....
.
" සඳ ඔයා මගෙ ජීවිතේ ට ආවෙ මේ හැම දේම අරන්..ඔයා නිසයි මට හරියන්නෙ.....අපි ඉක්මනින් බඳිමු....මට ඔයා නැතුව එහෙ යන්න බෑ...." උදාර සෙමින් පැවසීය.....
.
" ඒත් ප්‍රශ්න කීපයක් තියනව....."
.
සඳමිණි ඔහු දෙස විමසුම් ඇසින් බලා උන්නාය....
.
" එකක්...ඔයාගෙ එම්ෆිල් එක....ඒක කම්ප්ලීට් කරගන්න එක ආයෙම කල් යනව....
.
අනික මේ වැඩ එක්ක...ඔයාට ලස්සනම වෙඩින් එකක් දෙන්න මගේ තිබුණ බලාපොරොත්තුව මට නැති වෙනව.....මම හුඟක් ඒක ප්ලෑන් කරන්න උන්නෙ...." උදාර සුසුමක් හෙලීය....
.
" ඒ දෙකම මට ප්‍රශ්න නෙවෙයි .....එම්ෆිල් එක එහෙ ගිය කාලෙක පුලුවන් නම් කරනව නැත්තං මට එපා.....
වෙඩින් එක .....මේ අද මගෙ වෙඩින් එක කියල හිතන්නත් මට පුලුවන් ...." සඳමිණි ඉතා සැහැල්ලුවෙන් කීවාය....
.
" ආ එහෙමද නංගි....එහෙනම් මේ ගමන්ම හනිමූන් යංද....." උදාර ඇයගේ ගෙල වටා දෑත් යවමින් ඇසීය....සඳමිණි විලියෙන්.රතු වූවාය...
.
" අනේ ඉන්න...මං එහෙම එකක් කීවෙ නෑනෙ...." සඳමිණි ඇඹරෙන්නට වූවාය....
.
" ඉතින් බං.....අද වෙඩින් එක කියල හිතනව නම් අදම හනිමූන් කියල මං හිතුවම මොකෝ...." උදාර ඇයගේ නාසය මිරිකමින් ඇසීය.....
.
" කොහොම උනත් මං නිකම්ම ඔයාව උස්සන් යන්නෙ නෑ සඳ.....මට පුලුවන් දෙයක් කරනව මම....." සඳමිණි ඒ දෑස් දෙස ආදරය පිරුණු හදින් බලා උන්නාය....ඔහු තවමත් තමා වෙනුවෙන් සැලසුම් සදන්නේය...

**********************************

ජීවිතයේ සැලසුම් එකිනෙක සුන්දර ව සාර්ථක වන අතරට උදාර මඩුගල්ලේ ට සිය සොහොයුරිය ගේ අනේක විධ බලපෑම් හේතුවෙන් ඇතිවූ ගැහැටද නිමක් නොවීය....මුල දී මුලදී දිනපතා බැනවැදීම්, සඳමිණි හට සාප කිරීම් සහ හඬා වැලපීම් අතෝරක් නැතිව සිදුවුවද පසුව එය ඉඳහිටක බැණ වැදීමක් ව සහෝදර කම නැතැයි පුන පුනා කීමක් බවට පත්විය....මේ කිසිවක්ම සඳමිණි ගේ සවනට නොයන්නට උදාර වගබලා ගත්තේ....ඇය සුලුම හේතුවක් නිසා පවා බියපත් වන හෙයිනි.....
.
" සුදු මහත්තයා අදත් ලොකු මැණිකෙ කෑගැහුවනෙ...." සුමනේ මුලුතැන් ගෙහි සිට සිනහසෙමින් පැවසීය....උදාර නිහඬව ම කෑම මේසයට ඉඳගත්තේය...
.
" එයාම ඇතිවෙලාම නවත්තයිනෙ සුමනෙ....මං නෑහුණ වගෙ ඉන්නව...." ඔහු සුසුමක් හෙලා පැවසීය...සහොදර බැම්ම කෙතෙක් සවිමත් වුවද අක්කාගේ වලව් මාන්නය සහ ඉහවහා ගිය කුරිරු කම උදාර බෙහෙවින් නොරිස්සුවේය....
.
ජීවිතය පිළිබඳ කුදු මහත් තීරණයන් මේ බලපෑම් වලින් මිදී ගන්නා ආකාරය ගැන තමා වඩ වඩාත් උත්සුක විය යුතු බව ඔහු වටහා ගත්තේ....එදවස වූ මහා ගැටලුව ට අනතුරුවය...

********************************

" සඳ....මොකද කරන්නෙ...?" උදාර සිය බැල්කනියේ අසුනට බරදෙමින් ඇසීය....
.
" මොකුත් නෑ .....උන්නා ඉතින් ...." සිහින් සිනා සරින් ඇය පවසන්නිය....තව නොබෝ දිනකින් ඇය මේ බැල්කනියේ මේ අසුනේ තමා වෙත ඉන්නා බව හැඟෙන විට උදාර ට දැනෙන්නේ අප්‍රමණ සැනසුම් හැඟීමකි...ජීවිතය සම්පූර්ණයෙන් පිරෙන්නට නම් හදවතම පුරවනා ගැහැණියක් ලැබිය යුතු බව ඔහු දැන් විශ්වාස කරන්නේය......
.
" තව දින කීයද....ගණිනවද ...?" උදාර සිනහසෙමින් ඇසීය...ඒ සොඳුරු දිනයට තවත් ඇත්තේ සතියකට ආසන්න කාලයකි.....සඳමිණි ගේ මුවෙහි නැගෙන සිනහව ඔහුට මැවෙන්නට විය.....
.
" හ්ම්ම්ම්...." බොහෝ විට පිළිතුරු එසේය....ඉඳහිට තමා පවසන්නකට ඇය විලියෙන් හැකිලෙමින් සිනා නගන්නීය ......
.
" මට මේකිගෙ ලැජ්ජාව අරින්න සෑහෙන්න දවසක් යයි වගේ...." වරෙක දෝතේ මුහුණ සඟවා ඇඹරෙන ඇය දෙස බලමින් උදාර දිනෙක පැවසීය.....
.
ඔස්ට්‍රේලියාවේ ආයතනයේ පිරිනැමුණ රැකියා අවස්ථාව ලබා ගත් පසු මාස හයක් යනතුරු ලංකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ එම කටයුතු කිරීමට ඔවුන්ගේ අනුමැතිය ලැබීමද සිතට සහනයකි...එසේ නොවුණා නම් ....සඳමිණි නොමැතිව තමා හට මුලින්ම විදේශගත වීමට සිදුවනු ඇත ....තමන්ගේ විවාහයට පසු ඒ අදාළ කටයුතු කරගැනීමට අවැසි කාලය ඔවුන් ලබා දීම සිතට මහා සහනයක් විය.....
.
කෙසේවතුදු සඳමිණි ගේ ආරක්ෂාව ගැන තමන්ට ඇත්තේ මහා වගකීමක් හෙයින් ඔහු කිසිම විටක ඇය නොමැතිව විදේශ ගතවීම ක් ගැන සිතුවේම නැත....

**********************************

සඳමිණි උන්නේ ද උතුරා ගලා හැලෙන සතුටකිනි...පෙම්වත් වන සිතේ හැඟීම් වල කෙළවරක් නොමැත....බියංකා හැම දෙයක් අතරම ඇය අසල සිටීම මහාම සතුටක් විය...
..
විවාහ උත්සවයක් ලොකූවට ගැනීමට උදාර හෝ සඳමිණි දෙදෙනා තුළම බලාපොරොත්තුවක් නොතිබූ හෙයින්...ඉතාම චාම් තේමාවක් ඔස්සේ සුන්දරම නිකේතනයක එය සූදානම් විය.....
.
විවාහයේ සියලුම වැඩ කටයුතු අදාල ආයතනයකට බාර දුන් හෙයින් සඳමිණිට එයට වෙහෙසවන්නට වත් උදාර ඉඩ නොදුන්නේය....
.
" ඉතින් ...ඉතින් ...කියමු බලන්න මගෙ නෝනට තව මොනවද ඕනෙ කියල...." උදාර මඩුගල්ලේ සිරිත් පරිදි හැන්දෑ යාමයේ ඇය සමග අවන්හල් කෙළවර අසුනකට බර වී ඇසීය....සඳමිණි ගේ දෑස් තිබුණේ ඔහු වත මතය....
.
" වෙන මොකුත්ම එපා...ඔය ආදරේ හැමදාම මට දෙන්න ...." දෑස් මත දෑසම පටලා සිහින් හඬින් පවසන්නී....ඒ පුලුල් උරහිස මත හිස හොවා ගත්තාය.....
.
උදාර සිය සුරත ඇය වටා යවමින් ඇයගේ හිස සිප ගත්තේය ....
.
" අපි පොඩි මඩුගල්ලෙලා පේලියක් හදමුද....ම්ම්ම්....." උදාර ඇයගේ වතට බරවෙමින් ඇසුවේය...සඳමිණි ගේ දෑස් කඳුලින් බරවන්නට විය...පවුලේ එකම දරුවා වී තමා විඳි ළතැවුල් මෙලොව කිසිම දරුවෙක් නොවිඳිය යුතු බව ඇය තදින් ඇදහුවාය....එහෙයින් දරුවන් දෙදෙනෙකු වත් ඇය ගේ හිතේ සිහින වල හැමදාම සිටියහ...ඒ සිහින උදාරගේ ආගමනයට පසු උපන් සිහින විය.... පරිපූර්ණ පවුලක ගෙවන ජීවිතයේ ආදරණීය සිහින ඇයගේ සිත තුළ ගොඩ නැගෙන්නේ එලෙසින්මය.....
.
" මට වගේ තනි වෙන ජීවිතයක් අපේ දරුවන්ට දෙන්න ඕන නෑ මට....දෙන්නෙක් වත් ඕන මට....." සඳමිණි ඔහුගේ දෑසේ එල්ලෙමින් පැවසුවාය....ජීවිතය කෙතරම්ම සොඳුරුද.....ආනන්ද ජනක ද.....ඔවුහු අත්වින්දේ එලෙසිනි.........

******************************************************************************
විවාහයට පෙර තාත්තා හමුවිය යුතු යැයි සඳමිණි ට සිතුණේ උදාර එය සිහිපත් කල විටය... තමා දරුකමින් පවා පිටමං කල පියා තමා මුණ ගැසීම ප්‍රතික්ෂේප කරන බව ඇය වටහා ගෙන උන්නාය...
.
" සඳ ...එයා එහෙම කරනව නම් ඒ එයාගෙ තත්වය...නමුත් ඔයා හොඳ දුවෙක්...ඔයා ඔයාගෙ යුතුකම ඉෂ්ට කරන්න....මං ඉන්නවනෙ...." උදාර සඳමිණි ගේ සිතට සවියක් වෙමින් පැවසීය.....
.
ඉනික්බිති ඉඩ ලැබූ ඉරිදාවේ පියා හමුවීමට වත්තට පැමිණි සඳමිණි පියා ගේ කාර්‍යාලයට ගියේ කුමකින් කුමක් වේදැයි සිතමිනි....ව්‍යාපාරික අභිප්‍රායන් හැර අන් කිසිම හැඟීමකින් නොපිරුණ හදවතක් තාත්තාට හිමි වූයේ කෙලෙසකදැයි සඳමිණි කල්පනා කලාය....
.
සඳමිණි කාර්‍යාලයේ දොරට වරක් තට්ටු කලේ උදාර දෙසද බලමිනි....ඇයට යන ලෙස හිසින් සන් කල ඔහු මඳක් දොරෙන් මෙපිට රැඳුණේ තත්වය වටහා ගනු රිසිනි....

" තාත්තේ...." සඳමිණි හඬ විවර කලා පමණක් ම විය ..
.
" මොකද උඹ....හති වැටිලා ආවද ආපහු.....කෙලෙහි ගුණයක් නැති හිඟන්නි....උඹ මගේ දරුවෙක් නෙවෙයි...පලයන් යන්න ..මම ගාඩ් ලා දාල පන්නන්න කලින් මෙතනින් පලයන්...." පියාගේ වියරුව වෙන මොහොතක වූවා නම් දරාගන්නට අපහසු වනු ඇත ..නමුත් තමා වෙනුවෙන් දොරට එපිටින් සිටින්නේ විසල් හදවතකි....සඳමිණි මඳ සිනහවකින් මුව සරසා ගත්තාය....
.
" නෑ මම ආවෙ ලබන සතියේ මම බඳිනව කියන්න...."
සඳමිණි සුපුරුදු සන්සුන් ස්වරයෙන් කීවාය...

" උඹව කරගහන්න තරම් කාලකණ්නි ඉන්නවද මේ ලෝකෙ...අර සැපට ඉන්න පුලුවන් එකෙක් ට දුන්නා ..උගෙන් අයින් උනා...දැන් කොහෙ යන හිඟන්නෙක්ද අල්ලගත්තෙ ඔව් උඹට පෑහෙන්නෙ එහෙම එකෙක්ම තමයි..." බිරුසන් දෙන පියාගේ හඬින් සඳමිණි තැතිගත්තේ උදාරට එවදන් ඇසේද කියා බියෙනි....
.
ඒ මොහොතේ කාමරයට ඇතුල් වූ උදාර මඩුගල්ලේ....
.
" එක්ස් කියුස් මී...මිස්ටර් දිසානායක ....මම උදාර මඩුගල්ලේ...මම හිතන්නෙ දන්නව ඇති මාව නමින් කීවම...මම තමයි සඳමිණි බඳින්න ඉන්න ඔබතුමා කියපු හිඟන්නා "

උදාර මඩුගල්ලේ ගේ ආගමනය, ඔහුගේ රුව සහ පෞරුෂය ,හඬ සියල්ල සඳමිණි ගේ පියා උන් අසුනෙන් පවා නැගිටවාලූවේය.......
.
" ඉතින් මේ ගමන සඳමිණි ආවේ මගේ පෙළඹවීමට..ඔබතුමාට මේ දුව අනවශ්‍ය ඇති...නමුත් මෙහෙම දුවෙක් හැදුවට ඔබතුමාට ස්තුතියි කියන්න මට ඕන වුණා...ඒකයි අපි ආවේ ...එහෙනම් අපි යන්නම් ..." පියාට වචනයක් හෝ අමතන්නට ඉඩ නොදී උදාර පවසන පැහැදිලි වචන අසා උන් සඳමිණි ගේ නෙතු තෙත් වන්නට විය.....
.
" යමු සඳ ...." උදාර මඩුගල්ලේ ඇයගේ කරවටා අතක් යවමින් කාමරයෙන් පිටව ආවේය....නවීන පන්නයේ සුඛෝපභෝගී වාහනයට ඇය නංවා දොර වසා ඉන් පසු රියට නැග ධාවනය කල උදාර මඩුගල්ලේ ගේ රිය දර්ශන පථයෙන් නොපෙනෙන තුරු දොර අසලට වී බලා උන් දිසානායක හට ජීවිතේ මුල්ම වතාවට ලැජ්ජාවක් ඇතිවිය..

ඔහු ඇයට සැලකූ අන්දම ....එය රැජිනකට සේය...ආදරයෙන් ඇයට දුන් වටිනාකම අදහන්නටද නොහැකිය......දිසානායක මේසයට අත්දෙක තබා හිස එයට බරකර ගත්තේය......
.
******************************

" අවුල් වෙන්න එපා සඳ....එයා ගේ ඇස් වල අන්තිමට මං දැක්කා මහ පසුතැවීමක්...." උදාර රිය නවතා සඳමිණි ගේ හිසට අතක් තැබුවේය....සඳමිණි ගේ මුවෙහි ඇතිවූයේ සැනසුම් සිනහවකි.....
.
" අද කියපු කතාවලට වඩා සියදහස් ගුණයක් නරක විදියට තාත්තා මට බැනල තියනව .....අර මිනිහාගෙන් වෙන් වෙලා ජීවත් වුණ දා පටන්ම...මට දුක ඔයාට හිත අවුල් වුණාද කියල.." සඳමිණි ඔහුගේ සුරත අල්වා ගත්තාය....

" මට දෙයක් කියන්න තියනව ...." සඳමිණි නැවත ඔහු දෙස බලා කතාව ඇරඹුවාය ...
.
" කියන්න ...." උදාර ඇයගේ හිස තම උරහිසට නැඹුරු කොට ගත්තේය...
.
" තාත්තා ඔය භුක්ති විඳින ඔක්කොම දේපල වල නීත්‍යානුකූල අයිතිය තියෙන්නෙ මට...මේ හැම දේම අම්මාගෙ නමට තියන...අම්මා මට ඉන් පස්සෙ පැවරෙන්න ලියූ දේවල්...
තාත්තා සුධීර එක්ක මාව බිස්නස් ඇමක් කරගත්තේ ඔය දේපල නිසයි ...." සඳමිණි ගේ ස්වරය ඉතාම ශෝකී බව හැඟුණද උදාර නිසොල්මනේ අසා උන්නේය....
.
" මං තීරණයක් අරන් උන්නේ....තාත්තා ජීවත් වෙනකල් එයා ඔය දේවල් ඔය ඉන්න විදියටම භුක්ති විඳපුවාවෙ..ඉන් පස්සෙ මම ළමා නිවාසයක ඔය ඔක්කොම ලියනව කියල...මොකද මට මං ගැන අරමුණක් බලාපොරොත්තුව ක් තිබ්බෙ නැති නිසා.....ජීවිතේ ....." සඳමිණි හිස ඔසවා උදාර දෙස බැලුවාය....
.
" සඳ..... ඔයා ගත්තු තීරණවත් ගන්නා තීරණවත්.....අපේ ජීවිත වලට බලපාන්නෙ නෑ ...අපි අපේ ජීවිත පටන් ගන්නෙ අලුතින්....අපිට උස්සන් යන්න ඔය බරවල් ඕනනෑනේද...?" උදාර ඉතා ම සැහල්ලුවෙන් ඇසුවේය.....සඳමිණි හට හිතට දැනුනේ මහා ම සැනසුමකි....මහ බරක් බිම තැබූ සේ හිතට සැහැල්ලුවක් දැනේ.....
.
******************************

" උඹ ගියාම පාලු මටයි සඳ ..." බියංකා නහයෙන් අඬන්නී....සඳමිණි විදෙස් ගතවන පුවත අසාය ....
.
" පාලු ..හොඳ පාලුව...මේ ඉන්නෙ....මං වෙනුවට ඇවිල්ල එක්කෙනෙක්...." නවමස් පිරුණ බියංකාගේ කුසට කණ තබමින් සඳමිණි සිනාසුණාය......
.
" උඹට ඉස්සරහට මට කෝල් එකක් වත් දෙන්න මේ බට්ටි ඉඩ දෙන එකක් නෑ ඔන්න බලපන්කො...." සඳමිණි සෙමින් බියංකාගේ කුස අතගාමින් පැවසුවාය.....
.
" පෙරේරා මිස්ට අතින් ලොකු ගාණක් ගෙවන්න උනාලු බං...අම්මෝ අවුරුදු කීයක් ජරාව කෑවද ඔය මනුස්සය....ඔය ඉතින් පල දුන්නෙ ...කරපුව...සර් නිසාම රස්සාව බේරල දුන්න මිසක් තව ටිකෙන් පෙන්ශන් එකත් නැතුව ගෙදර ගිහින් හූල්ලන්න වෙන්නෙ...." බියංකා නවතම ආරංචිය ගෙන හැර පෑවේ සඳමිණි ඒ ගැන නොදන්නා හෙයිනි....
.
සඳමිණි සැනසුම් සුසුමක් හෙලුවේ...ජීවිතය පුරා වචනයකින් හෝ ගැහැටක් කල අයෙක්ට හෝ නපුරක් නොමවන්න ට සිත පතා උන් හෙයිනි.....
.
බියංකාගේ කුසට සිහින් සිපුමක් දෙමින් නැගී උන් ඇය කාර්‍යාලයට ඇතුල් වූවාය...
.
" යාලුවාගේ බඩ ඉඹ ඉඹ ඉන්නව දැක්ක....මොකද බබාලට ආස ද ඔච්චරම ..ම්ම්....." උදාර සඳමිණි ගේ වතට ඇස් යොමමින් ඇසුවෙය....
.
" මූණ තිබ්බම මූණටත් පයින් ගහනව ...දඟ මල්ලක් වගේ...ආසාවෙ බෑ....." සඳමිණි ගේ දෑස් සතුටින් දිදුලනු ඔහුට පෙනෙයි....
.
" අපිත් ඉක්මනින් හදමු එහෙනම්....." ඒ දෑස් වල උතුරායන්නේ අප්‍රමාණ ආදරයක් කැටිව ගත් ආශානුරාවකි ....සඳමිණි විළියෙන් ඇකිල අසුනේ සැඟව ගත්තාය ..
.

*********************************

සිතකට ප්‍රේමය අඬගසන මොහොතක ජීවිතය කෙතරම් සුන්දර වේදැයි සිතාගත හැකි වේද.....?.. එතරම්ම මිහිරි හැඟුමක් මේ මිහිපිට වෙනත් කිසිවක ගැබ් නොවේ.....

නැත ලොවේ අන් රසඳුනා....
ආදරය සේ සුවදෙනා.....
.
යැයි කියවී ලියවී ඇත්තේ ඒ නිසාවෙන්මය.....
.
උදාර මඩුගල්ලේ දෑත් හිස යටට කොට බැඳ හෙට දවස ගැන කල්පනා කරමින් උන්නේය.....
.
මන්ද්‍ර ස්වරයකින් ගැයෙන ගීතයක සිත නතර වී තිබේ ....

ඔබෙ දෙතොල් පෙති ලිහී
පිපුණ හසරැල් විලේ
හද දියව ගලා යයි රැළි ළමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි
තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ....ඔබ මගේ......
.
ළබැඳි ස්වරයෙන් අපූරු මාධූර්‍යයකින් හදවතට ඒ ඇසෙන ගී පද අතර මැවෙන්නේ ඇයගේ සොඳුරු වූ රුවමය.....ඉදින් ඒ හෙටය....ජීවිතයේ කල්‍ යල් බලා හදවත පුරා සක්මන් කරන ප්‍රේමය දෝතට වඩින්නේ හෙටය......


22.විසි එක්වෙනි දිගහැරුම (සඳක් සේ)

සඳමිණි වහ වහා කාර්‍යාලය වෙත දුව යන්නට තැත් කලද බියංකා ඇය නවතාගත්තාය ..

" කොහෙද උඹ දුවන්නෙ....උඹ පෙරේරා මිස් නෙවේනෙ...එන්න කිව්වෙ එයාට උඹට නෙවේ....මෙන්න මෙහෙ හිටපන් ..."

සඳමිණි දාබිඳු නැගෙන මුව පිසලා බියංකා දෙස බලා උන්නේ තැතිගත් මුහුණෙනි.....
.
" අනේ බී...සර් මෙයාට බනීද...මට බයයි....ඔය සන්සුන් ව ඉන්නව වගේ තමා තරහ ගියාමත් යකා වගේ.....මං ගිහින් ශේප් කරල ඉන්නද...."
.
බියංකා සඳමිණි ට රවා බැලුවාය....
.
" සර් බබෙක් වත්....මෝඩයෙක් වත් නෙවේ කියල උඹ දන්නවනෙ..... ඒ මනුස්සයා ට ආයතනයෙ ප්‍රශ්න ඒ මනුස්සයා ගෙ ක්‍රමයට විසඳගන්න දීල උඹ මෙහෙට වෙලා හිටපන් සඳ...."
.
සඳමිණි මහත් නොඉවසුමෙන් යළි හිඳ ගත්තාය.....
.
*********************************

කල කී දෑ යටිහිතේ වරදකාරී හැඟුමක් ඉතිරි කරනා විට මිනිසුන්ට දඬුවම් දෙන්නේ හෘද සාක්ෂිය මිස අන් කිසිවක් නොවේ.....කාර්‍යාල කාමරයේ දොරට තට්ටු කල පෙරේරා මිස් කාර්‍යාලයට ඇතුල් වූයේ ද ගැහෙන හදිනි....
.
උදාර මඩුගල්ලේ කිසිත් නොකියා ඇය ගේ වත නිරීක්ෂණය කරමින්ම ඉදිරි අසුනක් පෑවේය....පෙරේරා මිස් අසුනේ හිඳ ගත්තා නොව අසුනට කඩා වැටුණාය......
.
" අනේ සමාවෙන්න සර්.... මඩුගල්ලේ මැඩම් ඇහුවම මට විස්තර නොකියා ඉන්න බැරුව ගිය....මං ඒත් ...මං ඒත් කිව්ව සඳමිණි හරි හොඳ ළමයෙක් කියලත්.....අනේ සර් ඔහොම එකක් වෙයි කියලා මම හිතුවෙ නෑ...සමාවෙන්න ..." හුස්මක් කටක් නොගෙන එක් දිගට කියවාගෙන ගිය පෙරේරා මිස් හතිලෑවේ පරණ දුම් කෝච්චියක එන්ජිමක් සේය.....
.
" මං මිස් ගෙන් ඒ කාරණය ගැන මොකුත් ඇහුවද...දැන්...?" උදාර මඩුගල්ලේ දෑත් එකට බැඳ පහසුවෙන් ආසනයේ හරිබරි ගැසෙමින් ඇසුවේය...
බළලා මල්ලෙන් එලියට පැනීමක් සිදුව ඇති බව පෙරේරා මිස් වටහා ගන්නා විට ඇය ගේ පාලනයක් නැති මුවින් සියලු වචන පිටවී හමාරය....
.
" මං මගේ සේවා ස්ථානයට මගේ පෞද්ගලික ප්‍රශ්න අරන් එන්නෙ නෑ මිසිස් පෙරේරා....ඒ නිසා මේ ඔබතුමී කිව්ව කාරණය මට කිසිම වැදගත් කමක් ඇති දෙයක් නෙවෙයි...මම එන්න කීවේ මෙන්න මේ ලිපිය ඇවිත් තියනවා අමාත්‍යාංශය ඔස්සේ....මේක ගැන අහන්න...." උදාර මඩුගල්ලේ සිය මේසය මත වූ ලිපිය ඇයට දිගු කලේය.....
.
වෙවුලන සුරතින් ලිපිය විවෘත කල පෙරේරා මිස්ට උගුර කට වියැළී හතර අත නිලංකාරව යන්නට එතරම්ම වේලාවක් ගත නොවීය....
.
එය ...පසුගිය වසර කීපයක ඇයගේ භාරයේ වූ ව්‍යාපෘති කීපයක ඇති ගිණුම් වාර්තා වල අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම් විමසා පැමිණි ලිපියකි....මේ ලිපිය මෙතෙක් කල් සිය බලපුළුවන්කාරකම් සහ සම්බන්ධතා මත යට ගස්වමින් පමා කලද දැන් එය අතේම පත්තුවුණ වෙඩිල්ලක් වී ඇත....
.
" හොඳයි මිසිස් පෙරෙරා ...ඕක ඔයාගෙ කොපිය...එහෙනම් සතියක් ඇතුළත එක්ස්ප්ලනේශන් දෙන්න සූදානම් වෙන්න එහෙට....දැන් යන්න පුලුවන් ...." උදාර මඩුගල්ලේ කතාබහට නැවතීමේ තිත තබා සිය පරිගණකය දෙස ට හැරුණේය.....
.
" ඒයි සඳ අර බලපන්කො...සිංහ ධේනුව වගේ ගිය පෙරේරා මිස් තෙමිච්ච කිකිළි වගේ එන හැටි..." බියංකා සඳමිණි ගේ ඇලපතට අනිමින් පැවසුවාය....
.
ඇත්තෙන්ම මොකක් හෝ අවුලකි ...උදාර මඩුගල්ලේ නිසැකවම බැන වදින්නට ඇත...ඉදින් මේ ප්‍රශ්න කෙලවරක් වනු නොහේ .....සඳමිණි කල්පනා බරිතව කාර්‍යාලයට ඇතුළු වූවාය.....
.
උදාර මඩුගල්ලේ සිය අත රැඳි ඔරලෝසුව දෙස බලා සඳමිණි දෙස බැලුවේ දැඩි බැල්මකිනි....දිවා විවේකය පසු වී විනාඩි පහළොවක් ගතව ගොස් ය....
.
" සඳමිණි ....රාජකාරි එක්ක පර්සනල් දේවල් පටලවා ගන්නවට මම කොහෙත්ම කැමති නෑ මම වෙලාවට වැඩ කරන කෙනෙක්...මගෙ ස්ටාෆ් එකත් එහෙම්ම වෙන්න ඕන කියල මට ආයෙ ආයෙ කියන්න ඉඩ තියන්න එපා ..."
.
සඳමිණි නිසොල්මනේ උදාරගේ මේසය වෙත විත් සීරුවෙන් සිට ගත්තාය...
.
" පෙරේරා මිස් ආව නිසයි මම ටිකක් නැවතුණේ....." සිහින් හඬින් බිම බලාගෙනම ඇය පිළිවදන් දුන්නාය...
.
"ඉතින්.....පෙරේරා මිස් මෙතනට ආවා කියල මොකක්ද ඇති ගැටලුව.....එයා ආවේ රාජකාරිමය උවමනාවකට...." උදාර සඳමිණි දෙස සෘජුව බලමින් ඇසීය.....
.
සඳමිණි දෑස් ඔසවා බැගෑපත් බැල්මක් හෙලා සිටියාය....උදාර මඩුගල්ලේ යනු කිනම් ආකාරයේ පුද්ගලයෙක් ද යන්න ඇය මනාව වටහා ගෙන සිටින්නීය....
.
" සමාවෙන්න සර්...." ඇය සිහින් හඬින් පැවසුවාය....
.
" හ්ම්ම්....යන්න ගිහින් අර උදේ මම කීව රිපෝට් එකේ සමරි එක මට ෆෝවර්ඩ් කරන්න දැන්......" උදාර යළිත් පරිගණකයට ඇස් යොමා ලීය......
.
***********************************

හවස් යාමයේ සුපුරුදු සැඳෑ අවන්හල තුළ මේසයක හිඳ ගන්නා තුරුත් උදාර ගේ සිතේ ඇති නොමනාප පෙනුම අඩුවක් නොවීය....සඳමිණි සාරි පොට අඹරවමින් බිම බලාඋන්නාය....
.
" මෙතනට එන්න...." සෝෆාවේ තමා සිටින ඉසව්වට අත තබමින් උදාර කතාකලේය....සඳමිණි සෙමින් නැගිට ගොස් ඔහු අසල හිඳ ගත්තාය....උදාර සෝෆාවේ ඇන්දට හිස තබා ගෙන දෑස් පියාගත්තේය.....මේ නිහඬබව දරාගන්නට නොහැකිය...සඳමිණි සෙමින් ඔහුගේ වමත අල්ලාගත්තාය......
.
" තරහෙන්ද...."ඉතාම මුදු හඬින් අසන්නී.... වෙත දෑස් බැල්මක් පා කල උදාර මඩුගල්ලේ ඒ සියුමැලි ඇඟිලි තදවනසේ ග්‍රහණය දැඩි කලේය....
.
" විනාඩි පහලොවක්....තමන් රාජකාරිය පැහැර හැරල තියනව....ඒකට දෙන දඬුවම මම මේ කල්පනා කලෙ....." සඳමිණි ඒ දෑස් වල පැටලෙමින් මේ ඉරිසියාව මවා ගන්නට තැත් කලාය...
.
" පෙරේරා මිස් ට මම මොකුත් කලෙ නෑ....අන්න ආව ගමන් බළල මල්ලෙන් එලියට පැන්න වගේ කියවන් කියවන් ගියා...මම එයාට ආව එක්ස්ප්ලනේශන් ලෙටර් එකක් දෙන්න එන්න කීවෙ....ඕක අවුරුදු ගාණක් යට ගැහි ගැහි මතුවෙන එකක්.....ලු..." උදාර සඳමිණිගේ උරහිස වටා අත යවා සිය උරයට වාරුකරගත්තේය....
.
" කොහෙවත් යන ඕන්නැති කාරණා තමන්ගෙ එකවුන්ට් එකට දාගෙන....මගේ ඇස් මානයෙ ඉන්න වෙලාව නැතිකලාට මට ඇත්තෙන්ම තරහ ගිහින් උන්නෙ....." දෑස් වසා නිහඬවම සියල්ල අසා සිටින ඇයගේ වතට එබෙමින් උදාර පැවසීය.....
.
" අනේ.....ඉතින් ...." හිස ඔසවා ආයාචනාත්මකව ඔහු දෙස බැලූ සඳමිණි යළිත් ඒ ගෙලමුල මුහුණ සඟවා ගත්තාය.....
.
ප්‍රේමය සිත් පුරා උතුරා යනවිට...ජීවිතයේ විඳි දුක් දොම්නස් හැඟීම් කොහේ කොතැනක පාව යනු දැයි තමන්ටම නොතේරේ ...මේ පමා වී පැමිණි වසන්තයයි.... සිත් පුරා මල් ඉහෙන....පිපෙන....සොඳුරුම කාලයයි....නෙත් නෙතඟ පැටලෙන....ලවන් උණුසුම් සිපුම් මැද සැනහෙන...දෑත් එකිනෙක පැටලෙමින් උනුන් ඇසුරේම හිඳින්නට කල් යල් බලනා කාලයයි.....

*****************************************************

කාලය ඉගිල්ලී යන්නේ බොහෝ වේගයෙනි....සඳමිණි අධ්‍යාපන කටයුතු වල උනන්දුවෙන් නිරත වෙද්දී උදාර ඇයට හැකි සැම අයුරින්ම සහය දුන්නේය .....
.
අධ්‍යයන කටයුතු නිමාවී හවස් වන යාමයේ ආපසු නවාතැනට පැමිණෙන්නට උදාර ඇය රැගෙන යන්නට ආවේය .....

අතරමග කුඩා අවන්හලක ඉඳහිට රැඳෙන මොහොතක , ජීවිතය සෙනෙහසින් උතුරා යන බැල්මක තනිවෙමින් ඔවුහු ජීවිතේ වින්දහ.... .
.
" අද මොකක් හරි හිතේ තද කරන් ඉන්නෙ ළමයා...මොකද කියමු බලන්න...." උදාර රථය මාවත අයිනේ මඳක් නවතා සඳමිණි දෙස හැරුණාය ...
..
" නෑ එහෙම්ම මොකුත් නැහැ ...." සඳමිණි බිම බලා තෙපලුවේ උදාර දෙස නොබලාමය.....
.
" එහෙම්ම මොකුත් නැ ...කියන්නෙ....මොකක් හරි පොඩ්ඩක් තියනවනෙ...." සඳමිණි ගේ කණෙන් අල්ලා හෙමින් සොලවමින් උදාර සිනාසුණේය....
.
" හ්ම්..හ්ම්...කියන්න බලන්න...ඔය හිතේ තියන දේ...මට පුලුවන් ද උදව් වෙන්න කියල...."

සඳමිණි දෑතේ ඇඟිලි එකිනෙක පටලමින් සෙමින් හඬ අවදිකලාය. ...
.
" ඊයෙ බියංකා ඇහුව....දැන්ම බඳින්නැද්ද කියල ....."
.
උදාර සිනාමුසුව ඇය දෙස බලා උන්නේය ....
.
" මං කිව්ව....එම්ෆිල් එක නිසා ...කියල...."
.
"ඉතින්....මොකක්ද ප්‍රශ්නෙ .." උදාර මඩුගල්ලේ සඳමිණිගේ කන් පෙති අසලින් කඩාහැලෙන කෙහෙ රොදක් ඇඟිල්ලක පටලා ගත්තේය .....
.
" බියංකා බනිනව.....සර්ගෙ වයස යනවලු තව .මම කරන්නෙ අසාධාරණයක්ලු ඔයාට ...." සඳමිණි ට හැඬුණි.....
.
" සඳ .....ඇයි මේ....ඇයි අඬන්නෙ ඕකට...." උදාර ඇය සිය තුරුලට ඇදගත්තේය.....
.
" මට ඉගන ගන්න ඕන්නෑ...අපි බඳිමු....." සඳමිණි හැඬුමෙන් මුක්කන් වී යන ස්වරයෙන් කීවාය....
.
" බඳින්න නම් මටත් හදිස්සියි.... ඒත් මගෙ වයස යනව කියන එකවත් ඔයාගෙ ඉගනීම කියන එකවත් නෙවේ ඒකට කාරණය.....තේරුණාද කෙල්ල....."
.
" බැඳලා උන්න ට ඉගන ගන්න බැරි නෑනෙ.ඉතින්...." සඳමිණි බිම බලාගෙනම පැවසුවාය ....ඇයගේ සුන්දර ගැහැණුකම ඉදිරියේ හැඟීම් දරාගන්නේ කෙලෙසකදැයි උදාර දෑස් වසා කල්පනා කලේය......
.
" සඳ..... ඔයාට වඩා මට හදිස්සියි ඔයාව ලඟට ගන්න....ඒත් ඔයාට ඉගනීම් වැඩ අතපසු වෙයි...." සිය දෙතොල ඇයගේ කොපුලක සෙමින් තද කරමින් ඔහු සෙනෙහසින් පැවසීය....
.
" අද ගිහින් හිතල බලන්න.....ආයෙම ඔය තීරණේ ගැන .....හොඳ ද....?" මඳක් නැඹුරු වී ඇයගේ දෑස් දෙස බැලූ ඔහු පැවසීය .....සඳමිණි බිම බලාගෙනම හිස වැනුවාය....

උදාර මඩුගල්ලේ නැවත නැවතත් සිය ඊමේලයන් අතර වූ එම මේලය පිරික්සීය...ඔස්ට්‍රේලියාවෙන් තමා වෙත පිරිනමන මේ අවස්ථාව පිළිගත යුතුද නැත්ද යන් දෙගිඩියාව සිත දැඩිසේ පෙළයි....තීරණය ගත යුත්තේ සතියක් තුළය....ක්‍රියාත්මක කරන්නට නම් තෙමසක් පමණ කල් ඇත....

කෙසේ වතුදු....කාලය තමාට දී ඇත්තේ මහා අභියෝගයකි.....නමුත් සඳමිණි සමග ජීවිතය ට ආවේ සාර්ථකත්වයේ සුන්දර ලකුණුමය.....ඇය සමග මිස ජීවිතයේ ඉදිරියට යාමක් වෙන නම් නැති බව ඔහු වටහා ගත්තේය .
.
" අපි බඳිමු ...." මන්තරයක් සේ සෙමින් හැමදාම මතුරන ඒ සියුම් හඬ ඔහුට ඇසෙන්නාක් මෙන් විය....
.
" දැන් නම් බඳින්නම වෙනව තමා ...." උදාර මඩුගල්ලේ සිනාසෙමින් සිතුවේය....

********************************

" සඳ... සැටර්ඩේ ක්ලාස් තියද මේ සතියෙ ....." බ්‍රහස්පතින්දා හවසක ඇනෙක්සිය වෙත පැමිණ දොඩමලු වන සැන්දෑවක උදාර මඩුගල්ලේ එක්වරම ඇසුවේය ....
.
" නැහැ ....මේ සතියෙ දවස් දෙක අපිට නිවාඩුයි...ඊලඟ සතියෙ ප්‍රසන්ටේෂන් නිසා ..." සඳමිණි පැවසුවාය ....
.
" එහෙනම් යං පොඩි ගමනක් ...උදේ ගිහින් හවස එන්න .....ට්‍රිප් එකක් වගේ එකක්....." උදාර පැවසීය ....ඒ ඇසූ විට සඳමිණි ගේ මුහුණ සතුටින් ඔද වැඩෙන අන්දම ඔහු සිතින් මවා ගත්තේය....මේ කාලය තුළ ඇයට එවන් කෙටි ගමන් බිමන් රැසකට යෙදෙන්නට හැකි වූයේ උදාර නිසාමය....

" අනේ හා ...අපි කොහෙද යන්නෙ ....කියන්නකො....කියන්නකො... " ළදැරියක් සේ ඇවිටිලි කරන ඇය ගේ වදන් වලට ඔහුට සිනා නැගෙයි ....
.
" ඒක ගියාම බලාගම්මුකො..." උදාර මඳක් ආඩම්බරයෙන් කීවේය....
.
" හැමදාම ඔහොම්මයි...කියන්නෙ නෑ යන කල්ම...මාව සර්ප්‍රයිස් කරල ඇති වෙන්නැද්ද මන්ද...." නෝක්කාඩු ස්වරයෙන් චෝදනා කරන ඇයගේ හඬට ඔහු මහ හඬින් සිනාසුනේය.....
.
" ඒව එහෙම තමයි ...ටිකක් අගේ කරන්න ඕන....එහෙනම් සෙනසුරාදා ටිකක් උදෙන් අපි යං....ගොඩක් බඩු ඕන්නෑ....උදේ ගියා හවස ආවා....නාන්න එහෙම ආස නම් ඒකට ඇඳුමක් දාන් එන්න..." උදාර ඇමතුම අවසන් කරමින් පැවසීය....
.
සඳමිණි දෑතම ඔසවා ගෙන වරක් දෙකක් කාමරයේම උඩ පැන්නාය....මේ කාලය තුළ ඔහු හැකි සැමවිටම තමා සුන්දර තැන් වලට කැඳවාගෙන ගියේය....ඒ බොහෝ ස්ථානයන් අපූරු සොබා සොඳුරු රුවෙන් පිරිපුන් තොතැනිය....දෑස් සිත සනහාලන ඉසව්‍ ය...
.
ජීවිතය කෙතරම්ම සුන්දරව විඳිය හැකි දැයි සඳමිණි වටහා ගනිමින් උන්නාය..ඒ සියල්ලම ජීවිතය ට ආවේ උදාර සමගිනි....
.

උදාර ගමනක් යනවිට සඳමිණි වෙහෙස කරවන්නට බොහෝ අකමැති වුවද ඇය සරල කෙටි කෑමක්, පළතුරු යුෂ බෝතලයක් ඒ සඳහා නිතරම සකසා ගත්තාය ....කෙතරම්ම එපා කීවත් එය දුටු විට ඔහු දෑසේ මතුවන ආසාවට ඇය බෙහෙවින් ප්‍රියකලාය.....

******************************************************

උදාර මඩුගල්ලේ සෙනසුරාදාව ඇරඹූයේ හිතේ පොපියන සතුට සෙනෙහස මතින් උතුරා යමිනි....ඉදින් ඇය ඇසුරේ ගතවන හැම දිනක්ම මෙසේමය....සිනාවන් කතාවන්...අතර ආදරය උතුරා යන හෝරාවන් එමටය.....
ගමනට අවැසි සියලුම දේ වාහනයට අසුරා හමාරය.....
.
සිය හාම්පුතාගේ සිනාවෙන් ඔප වැටුණ මුහුණ දෙස සුමනේ බලා උන්නේ සිත පුරා පැතිරෙන සතුටිනි....
.
" සුදු මහත්තයා...." උදාර හිස හරවා සුමනේ දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් දෑස් වල රඳවාගෙනය....
.
" ඒ නෝනව ඉක්මනින් කැන්දන් එන්න සුදු මහත්තය..... ඔය සතුටින් ඉන්න මූණ දකින්න අනේ දෙයියනේ මං කොච්චර කල් පෙරුම් පිරුවද .."
සුමනේ ගේ හඬ අන්තිමට බිඳී ගියේය....
.
උදාර ලතෙත් බවින් යුතුව සුමනේ වෙත විත් ඒ දෙවුර මත දෑත තැබීය....
.
" ඉක්මනින් එක්කන් එනව සුමනෙ....." හැඟීම්බර හඬින් එවදන් තෙපලූ ඔහු යළි රිය වෙත ගියේය....
.
ඇනෙක්සිය අසල වාහනය නවතන විටම බෑගයද කරට ගෙන ඉගිල්ලී එන ඇය දෙස උදාර මහත් සෙනෙහසින් බලා උන්නේය....ඇය තමා ඇසුරේ ජීවිතය විඳින්නීය...ප්‍රේමය නොලද්දී...අද ප්‍රේමයෙන් උතුරා ගොසිනි....එදවස තිගැස්සී බියපත්ව කඳුලෙන් පිරෙන දෑස් අද සිනාව උතුරා යමිනි.....
.
ඇය අතින් බෑගය ගත් ඔහු එය පසුපස අසුනට දමා ඇය ඉදිරි අසුනට යොමු කලේය.... හැමදාමත් මෙන් වාහනය පණ ගැන්වීමට මොහොතක් තියා ඔහු දැස් නොපියා ඇය දෙස ම බලා උන්නේය.....
.
දෑතම ගෙල වට යවා කොපුලකට සෙමින් ලැබෙන හාදුව ඔහු බලාපොරොත්තු වෙන සුන්දරම පණ ගැන්වීමය.....
.
" දැන්වත් කියන්නකො අපි කොහෙද යන්නෙ..." සඳමිණි ඇවිටිලි කලාය....උදාර හිස දෙපසට වනමින් සිනහසුනේය....ඇයගේ සුන්දර ඇවිටිලි මත ජීවිතය තරුණ වනු ඔහුට දැනේ.....
.
" හරි නරකයි...තියන අගේ...." නෝක්කාඩු මුසු හඬින් පැවසුවද උදාරගේ දෑස් මුව දෙස සෙනෙහසැති බැල්මෙන් බලා සඳමිණි සිනාසුණාය .....
.
කොළඹින් නුදුරු සුන්දර ම පරිසරයක වූ කුඩා දිය ඇල්ලක් මෙවර ගමනාන්තය ලෙස උදාර තෝරාගත්තේ ...එතැන කුඩා කඳවුරු බිමක් ද ඇති හෙයිනි... අකුලා ගත හැකි ටෙන්ට් එක...කාරයේ ඇති බව ඈ නොදන්නීය....ඒ ඇයට අලුත්ම අත්දැකීමක් වනු ඇත.....
.
" ඔන්න අපි ආවා ...එහෙනම්...ටිකක් පයින් යන්න තියනව...යන්න පුලුවන් නෙ...." රිය නැවතුම් ස්ථානයට පැමිණි පසු උදාර සඳමිණි වෙතින් ඇසුවේය....තවමත් කිසිවක් සිතාගත නුහුණු ඇය ඇස් ලොකු කරගනිමින් හතර අතම බලන්නට වූවාය....උදාරට සිනහ නැගෙයි....
.
ඇය අතට කුඩා බෑගයන් පමණක් දුන් ඔහු ඉතිරි සියල්ල පිටේ එල්ලාගන්නා බෑගයක ට ගත්තේය....
.
" මොනාද ඔය....හඳට යන්න වගෙ ..ලොකූ බෑග් එකක්..." සඳමිණි විමසුමින් ඇසුවාය...
.
" ඇයි හඳට ගිහින් තියද....සඳ.....?" උදාර මහ හඬින් හිනැහෙමින් ඇසුවේය...ඔහුගේ අත් බාහුවකට පහරක් ගසමින් ඇය ඔහු පසුපසම ඇදුණාය.....
.
මීටර් තුන් හාරසියයකට නුදුරේ සුන්දරම දිය දහරාවකි.....ඒ අසල අපූරු තැනි බිමකි.....සඳමිණි විශ්මයානුකූල හඬක් නංවමින් උදාරගේ දෙවුරේ එල්ලුණාය....
.
" දෙයියනේ මෙච්චර ලස්සනක්.....අනේ මං හිතුවෙම නෑ.....යං යං එතනට යං අපි...." ඔහුගේ අතින් අදිමින් ඇය කෑගසන්නී ළදැරියක් සේමය.....
.
" මට මෙතන මේ බඩු ටික ඇරේන්ජ් කරගන්න ඕන...ඒ නිසා පරෙස්සමින් අර වීව් පොයින්ට් එක ගාවට ගිහින් බලල එන්නකො.....එතනින් එහාට එහෙම යන්නෙ නෑ හරිද....?"

සඳමිණි නැරඹුම් ඉසව්වට යනතෙක් බලා උන් ඔහු සිය සිතේ වූ අන්දමටම තමා තෝරාගත් ස්ථානයේ අදාල උපකරණ ටික තැන්පත් කලේය....අද දිනය ඇයට සුන්දර ම අත්දැකීමක් කර දිය යුතුය.....
.
" ලස්සනයි ද ....?" නැරඹුම් ඉසව්වේ වැටට සමීපව දිය ඇල්ල නරඹන සඳමිණි ව සිය ගතට ළං කොට ගත් උදාර ඇසීය..... ඇයගේ දෑස් දිදුලන්නේ ඒ සතුටේ සේයාවන් සමගිනි.....
.
" නාන්න ඕනද....?" ඒ වත්දීත් පැමිණ උන් කිහිප දෙනා ආරක්ෂිත ස්ථානයේ වතුරට බැස හමාරය .....දෑත් පොරවා මැලි බව පෙන්වුවද ඇය වතුරට බසින්නට ආසා බව ඔහු දැන උන්නේය .....

"එහෙනම් නාන්න ඕන නෑ...යං වතුරට නිකම් බැහැලා ඉම්මු....."උදාර ඇයගේ අතින් අල්ලාගත්තේය.... ලී පඩිපෙළකින් ඇල්ල අසබඩ ඉසව්වට පැමිණි දෙදෙනාම ගල් තලා මතින් පිරිස සිටින ඉසව්වට පැමිණියහ.....
.
දිය ඇල්ලෙන් ජල බිඳු දසත ඉසිරී යන සීමාවේ ඇති කුඩා ගල් තලාවක් වෙත සඳමිණි සමග උදාර පැමිණියේ එතැන එම සීමාවේ ඇති ලස්සනම දසුන වූ හෙයිනි.......ඇල්ලෙන් විසිර යන දිය බිඳු ගතට සුවදායක සනීපයක් ගෙන එයි.....සඳමිණි දෑස් නොසලා ඒ දෙස බලා උන්නාය......
.
" සඳ ......" ඒ ආදරණීය හඬ ඇය ගේ සවන් පත් සිප ගත්තේ වෙනදාටත් වඩා පෙමිනි.....ඇය දෑස් මෑත් කොට ඔහු දෙස බැලුවාය....ඔහු අත සුන්දර රෝස මල් පොකුරකි....
.
" දන්නවද සඳ....අද කවද්ද කියල....." උදාර ඇයගේ දෝතේ මල් පොකුර තබමින් ඇසීය.....
සඳමිණි වික්ෂිප්ත ව බලා උන්නාය....උපන්දිනයක් ද නොවේ....වෙනත් විශේෂයක්ද නොවේ.....ඇය සිතාගත නුහුණු බැල්මක දැස දවටා ගෙනම ඔහු දෙස බැලීය.....
.
" අද වගේ දවසක තමයි මේ ගෑණු ළමයා ඉස් ඉස්‍සර වෙලාම මගේ ඇඟේ හැප්පුණෙ....අන්න එදා තමයි මගේ හිතෙත් හැප්පුණ මුල්ම දවස....මතකද සඳ......" උදාර මඩුගල්ලේ ඇයගේ මුහුණ දෝතට ගත්තේය..... සඳමිණි ගේ මනස ඈතින් ඈතට සිත්තම් පටක් සේ ඇදීගියේය....දෑස් වල කඳුලු පිරී ඉතිරෙන්නට මාන බලයි.....
.
" සඳ..... ජීවිත කාලෙම මගේ ම වෙන්න කැමතිද.....? " ඔහු ඇයගේ දෝත අල්ලාගනිමින් පැවසීය.....සඳමිණි කිසිවක් කියාගත නොහී දෑස් විසල් කොට ඔහු දෙසම බලා උන්නාය.....
.
සාක්කුවෙන් ගත් කුඩා සුදු පැහැ ගල් ඇල්ලූ මුදුව අතට ගත් ඔහු ඇය ගේ වමත වෙත දෝත පෑවේය.....
.
" ඩූ යූ මයි ලව්.....?" ඔහුගේ දෑස් පුරා උතුරන්නේ ආදරයමය....සඳමිණි හිස වනමින් ඉකිගසමින් හැඬුවාය....උදාර මඩුගල්ලේ ඇයගේ අතට මුදුව පලඳා ඇයගේ මුහුණ සෙමින් සිප ගත්තේය....
.
අවට ජලයේ උන් සියල්ලෝම එක් වනම අත් පොලසන් දෙමින් කෑගසා ඔවුන් වෙත සුබ පතන්නට වූයේ....ජලතලයේ වතුර ඔවුන් වෙත ගසමිනි......
.
" අනේහ්....." සඳමිණි උදාරගේ බාහු අතර සැඟව කෑගැසුවාය.....අවසන ඇඳ උන් ඇඳුම් පිටින්ම ඔවුහු තෙතබරි වී උන්හ......
.
" දැන් තෙමිල ඉවරයි කෙල්ලෙ....මෙහෙම්ම නාමු එහෙනම්....." උදාර ඇයගේ වෙවුලන වත දෙස බලමින් පැවසීය......
.
*********************************

දිය ඇල්ලටම වී ගතකල සොඳුරුම පැය ගණනකට පසු ඔහු ඇයට පෙන්වූයේ ඔහු තැනූ සුන්දර නවාතැන් පොළයි.....සඳමිණි දෑස් ලොකු කරගනිමින් ඒ දෙසත් ඔහු දෙසත් බැලීය.....

.
කූඩාරම වෙත ගිය දෙදෙනා උණුසුම් කෝපි බඳුනකින් උණුසුම් ව ගත් හ....තණතීරයේ තැන් තැන් හි අතුරන එලා විවේක ගන්නා කිහිප දෙනෙක් තවමත් ඇත.....
සඳමිණි දෙපා දිගු කර සුවපහසුවෙන් හිඳගත්තාය....ජීවිතේ කෙතරම්ම සුන්දර දැයි ඇය සිතුවාය....
.

ඇයගේ දෙපා මත හිස තබා ගනිමින් උදාර කතාබහට මුල පිරුවේය.......


21. විසි වෙනි දිගහැරුම (සඳක් සේ)

උදෑසන ඇස ගැටෙන පිණි බිඳක
තුඩ තුඩග ඇසෙන කූජන නදක
පෙති දෙපෙති ඇහැරෙනා රොන්සුණක
ඔබ සොයමි..... ඉතින් සිත පිරි පෙමක.....

සඳමිණි අතවූ කොළයක සෙමෙන් කුරුටු ගැවාය...හිත පුරා දැවටෙන්නේ ඔහුමය....තමා නැවුම් පෙම්වතියක් ව ඇත...ඉඳහිට අතැඟිල්ලක දැවටෙන ස්නේහය..නළලත සිප ගැනීමකට එහා ගියේ නැති බව බියංකාට කෙතෙක් කීවද ඇය පිළිගන්නේ ද නැත.....

" අනේ නිකම් හිටපන් සඳ...මට සුදුලූණු පොඩි නොකර...ලොක්කා එහෙම සිල් රකිනවද උඹව ලඟ තියන් ....."
.
" උඹ පිළි ගන්නෑනෙ...ඉතින් කොච්චර කිව්වත් .....සතියෙ දවස් ටිකේ මෙතන...සති අන්තෙ මම කැම්පස්...එක්ක යන්න ඇරලවන්න එන දාට වාහනෙන් බහින්න කලින් නලල ඉඹිනව....වෙන නෑ ඉතින් ...නිදහසක හමුවුනෙත් ...." සඳමිණි බිම බලාගෙන මිමිණුවාය.....
.
සිතින් සියවර සිහිනවල ඔහු තුරුලේ තමා සැතපුණ බව දන්නේ තමාය....එවන් සිහින ඔහු තුළ ද අප්‍රමාණව ඇති වන්නට ඇත....එහෙත් කාලය මහ පවුරක්ව ජීවිතය විඳින්නට ඉඩ හසර අවුරා තබයි ....

සඳමිණි මේසයට වාඩිවී ලිපි ගොනුවක් පෙරලා ගත්තාය... බියංකා ඇසූව සිහිවී ඇයට ඉබේම සිනා පහළ විය....උදාර මඩුගල්ලේ පරිගණකය ට නෙත් යොමා උන්නද සඳමිණි ගැන අවධානයෙන් නිතර පසු වෙන හෙයින් ඇයගේ සිනහව දුටුවේය...ඇය කුමක් හෝ මතක් වී සිනානගන්නීය....ඒ මුහුණම සැබෑ පෙම්වත්‍ ය....

" ඔය හිනාවෙන කාරණය මටත් කියලම හිනා වුණ නම් නේද හොඳ...." උදාර පරිගණකය දෙසම නෙත් හෙලාගෙන ඇසීය...සඳමිණි තිගැස්සී සිනහව ගිල ගත්තාය....දෙවියනේ....ඒ ටිකට ඒකත් දැකල ....
.
" නෑ..නෑ.මේ බියංකා කියපු එකකට සර්..... ඒක මතක් උනා...." සඳමිණි වහා ලිපි ගොනුවට හැරුණාය...
.
" බියංකා හරි කවුරු හරි ....ඕකෙ කොණක මං ඇති ෂුවර් එකටම ....කෝ කෝ කියන්න බලන්න...." උදාර පරිගණකයෙන් හිස හරවා සඳමිණි දෙස බැලීය.....
.
" අනේ....මං පස්සෙ කියන්නම් සර්... " සඳමිණි ආයාචනාත්මකව ඔහු දෙස බැලුවාය....දෙකොපුල රතුව ඇත... ඇය වෙහෙස කරනු නොරිසිව ඔහු....ඇය දෙස බලා උන්නේ ...සැබෑම ස්නේහයකිනි...

**********************************************
හැම නිහඬතවයක්ම අනතුරක පෙර නිමිති බව සිතකට වැටහෙන්නේ නැත... උදාර මඩුගල්ලේ සිය කුකුස අත් හැර සුපුරුදු ජීවිතය ට එළඹියේය....සඳමිණි ගේ ඇසුර දවස පුරාම ජීවිතය සෙනෙහසින් බබලවයි...ප්‍රේමය යනු ඉවසීමය ...බලා හිඳීමය....එක්ව යෑමය ...ඔහු එය අත්දුටුවේ පමා වී වුවද..... ජීවිත කාලයක්ම ඇය හා ගමන් කරන්නට දැන් සිත සූදානම් ය....

*******************************************

සඳමිණි ලිපි ගොනුවක අදාල සතියේ ලිපි අමුණමින් උන්නාය...කාර්‍යාල කාමරයේ දොර මහ හඬින් විවෘත වූයේත්....උදාර සහ සඳමිණි එක් වනම එදෙස බැලුවේත් උදාරගේ සොහොයුරිය කාර්‍යාලයට කඩා වැදුණේත් එක මොහොතේමය....
.
" ලොකූ...මොකද මේ වෙලාවෙ මෙහේ...." උදාර හුනස්නෙන් නැගී උන්නේය....කිසිවක් නොකියූ ඇය එක්වනම සඳමිණි වෙත වේගයෙන් ඇදීගොස් කම්මුලට ගැසූ පහරින් සඳමිණි විසි වීගොස් බිත්තියේ වැදී නතර වූවාය....සිදුවූ කිසිවක් සිතාගත නුහුණු ඇය දැඩිව වේදනා දෙන කම්මුල අතින් අල්වා ගෙන බලා උන්නේ අන්දමන්ද වූ විලාසෙනි....
.
" පරට්ටි....කසාද කඩාගෙන ඉන්නව මදිවට උඹ එල්ලෙන්න එකෙක් නැතුවටද මගෙ මල්ලිගෙ කරේ එල්ලුනෙ....ආතක් පාතක් නැති හිඟන්නි...උඹ..." ඇය නැවත අත දිගු කරමින් සඳමිණි දෙසට ගියේත් උදාර මඩුගල්ලේ ඇයව තදින් අල්ලාගත්තේත් එකම විටය....
.
" මොන පිස්සුවක්ද මේ කරන්නෙ....කරුණාකරල බහින්නයි කීවෙ එලියට...මේක මගේ ඔෆිස් එක...මෙතන නටන්න ආවෙ කාගෙ ඔත්තුවක් අරන්ද....?" උදාර ඉතා වේගයෙන් එහෙත් හඬ පාලනය කරගනිමින් කීවේය....සඳමිණි දෑස් නිලංකාරව යද්දී එතැන වූ පුටුවකට වාරුවෙමින් හිඳ ගත්තාය...අඬාගන්නට කඳුලක් නොඑන තරමට ඇස් බියෙන් තැතිගැනී තිබෙයි.....
.
" උඹට රටේ ගෑනු නැතුවද මේ ආතක් පාතක් නැති දික්කසාද වෙච්ච අම්මණ්ඩියෙක් කරේ දාගත්තෙ...ඇයි හරකො...සප්ත මහා සාගරයක් වගෙ තියන මඩුගල්ලේ වලව්වෙ එකම හිමිකාරයා උඹ....ඒක උඹට අමතක උනාද....මැරිච්ච අම්ම තාත්තා වලෙන් නැගිටල උඹට සාප කරයි...මේක වහාම නවත්වන්න ඕන....වහාම....මං උඹට මේ කියන්නෙ...." ඇය සඳමිණි දෙසට ඇඟිල්ල දිගු කරමින් යළිත් කෑගසන විටම දොර විවෘත කරගෙන එතනට දිව ආවේ පෙරේරා මිස් ය...
.
" අයියෝ මැඩම් ...මේ මොකද මේ....යං යං අපි යං...."මිසිස් පෙරේරා වදෙන් පොරෙන් ඇයව ඇදගෙන එළියට යත්ම උදාර මඩුගල්ලේට සැකය තහවුරු විය.... සඳමිණි දෑස් විසල් කරගෙන තවමත් බලා හිඳී...ඇය ඉන්නේ ප්‍රබල කම්පනයක බව වැටහුණ උදාර මඩුගල්ලේ වහාම බියංකා ඇමතීය...
.
" බියංකා මිස්...සඳව ඉක්මනින් එක්ක යන්න එයාගෙ ඇනෙක්ස් එකට.... මම තව පැය බාගෙන් එහෙට එනව...ඉක්මනින් යන්න...මම මෙතන බලාගන්නම්.." උදාර ඉමහත් කලබලයෙන් පැවසීය....බියංකා සඳමිණි ව වත්තම් කොට ගෙන කාර්‍යාලයේ පැති දොරෙන් ඉක්මනින් පිටවී ගියහෙයින් වැඩිදෙනෙක් හට ඔවුන් ඇස නොගැටුණි....
.
උදාර මඩුගල්ලේ .සිය අසුනට අප්‍රාණිකව ඇද වැටී සිය දෑතින් මුහුණ වසා ගත්තේය...අනේ අහිංසකී....ජීවිතය ගැන අප්‍රමාණ බලාපොරොත්තු ගොනු කරගනිමින් උන් ඇය.....ඉතින් යළි කැඩීබිඳී ගොස් ඇත....විසල් වූ දෑස සහ හුස්ම නාල්ලා කඳුලින් පිරි ඒ මුහුණ ඊට සාක්ෂි දෙයි.....
.
උදාර මඩුගල්ලේ වාහනය මාවත අසල නවතා ඇනෙක්සිය වෙත පියමැන්නේය...බියංකා ඔහුට ඒමට අවශ්‍ය පසුබිම සලසා තිබුණි....අයිස් වතුරෙන් තවමින් තිබූ කම්මුල තවම රතු පැහැ ගෙනය...ඉදිමුම බලා සිටිය නොහැකි තරම්‍ ය...
බියංකා වතුර භාජනයද රැගෙන කාමරයේ දොරද වසා ගනිමින් පිටව ගියාය....
.
" මට සමාවෙන්න රත්තරනෙ....." උදාර බිඳුණු හඬින් ඇයගේ මුහුණ සිය දොතට ගත්තේය....
.
" සර්....ඔයා ආපහු යන්න....මේක හරිගස්සන්න ඔයාට පුලුවන් ..." සඳමිණි දෑස කොහේ හෝ දුරක දල්වා ගෙන හෙමින් පැවසුවාය...

" ඔයා යන්න සර්....මං තරහ නෑ.....මට මේ උන්නා වගේ තනියමම ඉන්න පුලුවන් ....ඒත් කුල පරම්පරාවක එකම පිරිමියා...ඒ වචන මට බර වැඩියි සර් ....මට සාප වෙයි..." වෙවුලුම් කන හඬින් සඳමිණි මිමිණුවාය....
.
" ඔය ඇති....ඔය ඇති....දැන් නවත්වන්න....ශ්...ශ්...." උදාර මඩුගල්ලේ ඇය ඉන්නේ පියවි සිහියට මඳක් ඈතින් බව වටහා ගත්තේය....මේ මොහොතේ ඇය විවේක ගැන්වීම අත්‍යාවශ්‍ය වෙයි...රෝහලකට හෝ මානසික වෛද්‍යවරයෙක් වෙත ගෙන යාම ද පලක් නොවේ....ඇය තමා ඇසුරේ මඳක් තබා ගත යුතුය...
.
උදාර මඩුගල්ලේ සඳමිණි සෙමින් සයනයේ සතපවා වැරැන්ඩාවට පැමිණියේය..බියංකා ඔහු එත්ම නැගී උන්නාය...ඇයට ඉඳගන්නා ලෙස සන් කල ඔහු අසල අසුනකට බර දුන්නේය....
.
" මං මේ කිසිම දෙයක් දැනගෙන උන්නෙ නෑ මිස් බියංකා....එහෙම දැනගෙන උන්නා නම් මම මේක වෙන්න දෙන්නෙත් නෑ...." ඔහු මහා පසුතැවිල්ලකින් පැවසීය....
.
" මොකද සර් අපි කරන්නෙ....සඳ ඉන්නෙ මහ ශොක් එකක...." බියංකා වේදනාවෙන් පැවසුවාය...
.
" මට සඳ ව මේ වීක් එන්ඩ් එකේ එලියට අරන්‍ යන්න සලස්වල දෙන්න බියංකා....මාව විශ්වාස කරන්න....මං එයාව පරෙස්සම් කරනව ....එයාව ගෙනියන්න ඕන කොහෙ හරි...මගෙ ගාවම තියාගෙන ඉන්න...." උදාර මඩුගල්ලේ පැවසීය....
.
" හරි සර්...මම අද සඳ ව මගෙ ගෙදර එක්ක යනව...හෙට උදෙන් සර් එන්න....මේ කෙල්ලට තව උහුලන්න බැරි තත්ව නම් ඇතිකරන්න එපා සර්...මං මේ සර් ගැන සියයට දාහක් විශ්වාසය තබලයි මේක කරන්නෙ...." බියංකා මොහොතකට ඔහු සිය ප්‍රධානියා බව අමතක කොට දැඩි හඬින් පැවසුවාය....
.
" මං ඒ උදාර මඩුගල්ලේ නිවසට පැමිණ කාමරයේ දොර වසා අගුලු දමා ඇඳට වැටුණේය...අද දවසේ වූ සියල්ලම සිතුවම් පටක් සේ යළි යළිත් ඔහු දෑසේ මැවෙන්නට විය....අධික ලෙස මතුවී එන හිස රිදුම යළි යළිත් ඔහු පෙළන්නට විය...... ජීවිත කාලය පුරාම දුක් විඳි ඇය තමා ඇසුරේ සතුටකින් ජීවත් වන්නට තැත් දැරුවා පමණි...මේ සිදුවීමෙන් ඇය යළිදු මහා කම්පනයකට පාත්‍රව ඇත....

හදිසියේම සිහිපත් වූ යමකින් ඇඳෙන් බට ඔහු ජංගමය ගෙන ඇමතුමක් ගත්තේ තාරකටය...

" තාරක....මචං බිසිද දැන්...." ඔහු තාරක ඇමතීය...
.
" නෑ.ඇයි...මම ඕෆ් වෙන්න හදන්නෙ...." තාරක පිළිවදන් දුන්නේය... සිය මිතුරාගේ හඩෙහි වෙනදා නොවූ කලබලයක් ඇති බව තාරකට එකසැනින් වැටහිණ....
.
" මේ පැත්තෙන් ඇවිත් යන්න එනවද ....? "
උදාර මඩුගල්ලේ ගේ හඬෙහි වූ වෙනස හෙයින්ම තාරක කිසිවක්ම නොකියා එන බවට පොරොන්දු විය....
.
************************************
.
උදාර මඩුගල්ලේ සියුම් සුසුමක් හෙලා හිත හිස් කළේය....පසෙක වූ අසුනේ හිඳ උන් තාරක නිහඬවම සියල්ල අසා උන්නේය....
.
" කෙල්ලව හොස්පිට්ල් ගෙනියන්න වෙයිද බං....?" උදාර ගේ ස්වරයම වෙවුලුම් කන සුලුය.... සිය මිතුරාගේ පෙම්වත් හිතක දැඩි කම්පනය තාරක ට දැනී ගියේය...
.
" නෑ.....ඕක පොඩි ශොක් එකක්නෙ....මෙහෙම කරපන් දැන් ඉතින් ප්ලෑන් කල වගේම එයාව අරහෙ එක්ක පලයන්....කෙල්ලව පරෙස්සමින් බලා ගනින්...අනම් මනම් නම් එපා රජෝ...." විහිලු කිරීමේ මානසිකත්වයක් නැතද තාරක එය කීවේ සත්‍ය ලෙසින්මය..... මේ තත්වය මත...කිසි සේත්ම ඔවුන් එසේ නොවිය යුතුමය...සඳමිණි සිටින්නේ මානසික කම්පනයක ට හසුවීය....
.
" උඹට පිස්සුද බං.... මං කෙල්ලව ඉඹලවත් නෑ තව....මෙහෙම වෙලාවක උඹ හිතනවද මම එච්චර අවුල් පොරක් කියල...." උදාර පසුතැවිල්ල මුසු හඬින් කීවේය.... සත්‍ය වශයෙන්ම ඇය යළි යථා තත්වයකට ගෙන ඒම මිස උදාරට කිසිදු ඉන් එහා සිතිවිල්ලක් හෝ සිතට නොපැමිණීයේය....
.
" හරි ....එහෙනම් අවශ්‍ය වුනොත් කෝල් කරපන්...උඹ එහෙ බුක් කලාද....අරූට කිව්වද එනව කියල....." උදාර හිස පමණක් වනා තාරකට සමුදුන්නේය....
.
ඒ රැය බෙහෙවින්ම දිගු විය....සිත් දෙකක් පෙළාලූ රැයක් විය....

**************************************

සඳමිණි අධිකව වෙවුලමින් රාත්‍රියේ පවා කැගසා අවදිවන්නට වූවාය...බියංකා නිදිවරාගෙන ඇය වෙතටම වී සිටියේ දෑස් වල කඳුලු පුරවාගෙනය....
.
සුධීර සහ උදාරගේ අක්කා තමා හෙලකින් පහලට තල්ලු කර දමනු ඇයට එක් වරක් පෙනුනි...මහ හඬින් කෑගසා හඬන සිය මිතුරියගේ හිස ළයට තුරුලු කරගත් බියංකා ඇය සැනසුවාය....
.
" අනේ සඳ කාම් ඩවුන් වෙයන්...චුට්ටක්...මේ මං ඉන්නවනෙ උඹ ලඟ...." බියංකා සෙමින් සෙමින් සිය යෙහෙළියගේ හිස අතගෑවාය... අවසන නිද්‍රාවකට පත් සඳමිණි ගේ වත දෙස බලා උන් බියංකා ද ඇය පසෙකින් වැතුරුණාය.....

**************************************

උදාර මඩුගල්ලේ බියංකා ගේ නිවස අසල උදෑසන හත වන විට රිය නවතාලීය....
.
" එළි වෙනකල් නින්දක් නෑ...ගැස්සෙනව...කෑ ගහල ඇඬුව....හුඟක් වෙලා...පොඩි උණ ගතියකුත් තිබ්බ...දැන් නම් නෑ....." බියංකා ආලින්දයේ හිඳගත් උදාර අමතා සෙමින් පැවසීය....උදාර සෙමින් සුසුමක් හෙලීය.... මේ කිනම් වූ වේදනාවක්ද ....
.
බියංකා විසින් වත්තම් කරගෙන එන ලදුව ඉදිරිපස අසුනේ හිඳවූ සඳමිණිට ආසන පටිය පළඳා සෙමින් හිස අතගෑ උදාර...බියංකා වෙතින් ගත් ඇයගේ ඇඳුම් බෑගය ද පසුපසට දැමීය....බියංකාට අදාල ස්ථානයේ දුරකතන අංක සහ විස්තර ලබා දීමෙන් පසුව ඔහු වාහනය මාවතට දැමුවේය.....
.
බොහෝ දුරක් එනතුරුත් සඳමිණි තදම නින්දක පසු වූවාය...උදාර මඩුගල්ලේ නිහඬ පරිසරයකට වාහනය ඇතුල් වන තුරුම නිහඬ ව ධාවනය කලේය...ඉන් පසු මඳකට මාවත අයිනේ රිය නවතා මඳක් වේලා ඇය දෙස බලා උන්නේය.... එක දවසට ඇයගේ වත මලානික වී ඇත....ඇස් ඉදිමි ගොසිනි...ඇස් යට කලු පැල්ලම්‍ ය....කම්මුලෙහි ඉදිමීම නම් පේන්නට නැත...බියංකා තවා ක්‍රීම් ගාන්නට ඇත ....
.
" සඳ..... තේ ටිකක් බීලා යමු නේද...." ඔහු සෙමින් ඇයගේ උරහිසට තට්ටු කරමින් ඇයව නැගිටුවා ගත්තේය... කිසිදු ජීවයක් නැති හිස් බැල්මෙන් ඔහු දෙස මඳක් බලා උන් සඳමිණි යන්ත්‍රයක් සේ තේ කෝප්පය සෙමින් පානය කලාය....ඇයගේ සුසුම් රැල් හිත කඩා වට්ටන සුලුය ....මේ ගමන සඳහා බියංකා ඇය පොළඹවා ගත්තේද සියක් දහස් කාරණා කියාදීය ....
.
" මට බෑ...බී....අනේ මට බෑ....සර්ගෙ අක්කා මාව මරයි බී.....අනේ කියන්න මට බෑ කියල....." උදාරගේ අදහස කියූ විට සඳමිණි පෙරදා හඬමින් මහා සටනක් කල බව බියංකා පැවසුවාය....
.
" කියන දේ අහපන් රත්තරනේ....සර් කියන්නෙ උඹ හොඳටම දන්න මනුස්සය...ඒ මනුස්සයා උඹ එක්ක යන්නෙ පරෙස්සමින් මේ හැම දේම අමතක කරල උඹව හරිගස්සගන්න .....ඒකෙම එල්ලිල මී දෙනක් වගෙ නාඬ හෙට ගිහින් වරෙන් කෙල්ලෙ....." බියංකා බොහෝ පැහැදිලි කිරීම් කරදෙන්නට ඇත.....අවසන කිසිවක් නොකියා සුසුමකින් පමණක් ඇය ගමනට කැමතිවූ බව බියංකා උදාරට පැවසුවාය.....
.
පැය ගණනාවක ධාවනයට පසු දෙපස තුරු වියනින් සෙවන වූ පරිසරයක වූ අතුරු මාවතක ට උදාර සිය රථය හැරවීය....ඇය යළි නින්දේය.....
.
එහෙ ගියාම ඔක්කොම හරියයි.....මං දන්නවනෙ....උදාර සියුම් සිනහාවකින් සිත සැහැල්ලු කරගත්තේය.... ඇය පුදුම කරවන මේ ස්ථානය ට ඇය කැඳවාගෙන යායුතුයැයි උදාර සිතට ගත්තේ නමුණුකුල ගමනේදීය....එහෙත් ඒ ඇය විවාහ කොටගෙන බව ඔහු තීරණය කරගෙන උන්නේය....නමුත් මේ සිදුවීමට පසු සඳමිණි සන්සුන් කල හැකි මග ලෙස ඔහුට සිහිවූයේ මේ ගමන පමණි.....
..
උදාරගේ සංචාරක ව්‍යාපාරයේ නියුතු ලඟම මිතුරෙකුගේ පරිසරික තුරු නිවසක් වෙත ඔවුන් ලඟා වෙමින් තිබිණ....මඳ දුරකින් ගලා හැලෙන දිය ඇල්ලක හඬ දැන් දැන් ඇසෙන්නට ගනී....
.
" සඳ....චුට්ටක් නැගිටින්නකො..." උදාර සඳමිණි ඇහැරවාලූවේය... නිදිබර දෑස හැර අවට සෙමින් බැලූ සඳමිණි ඒ සුන්දර පරිසරය අදහා ගත නුහුණු සේ උදාර දෙස බැලීය...ඊයේ උදෑසනින් පසු ඒ ඇස් වල ජීවයක් මතුවූවේ එවිටය . ඇය විමතියෙන් මෙන් උදාර දෙස බැලුවාය ...උදාර මුදු සිනහවක් පා වාහනය පෙරට ධාවනය කලේය.... සඳමිණි රිය කවුලුවේ එල්ලී ඒ සිරියෙන් උමතු වූ සේ බලාඋන්නාය....
.
මල් ලියකම් ඉසිරුණු තුරු ගොමු රැසකින් වටවූ එළිමහන් බිමක රිය නැවතුණි...උදාර නිහඬව රියෙන් බැස සඳමිණිගේ පසින් විත් දොර විවෘත කලේය...තවමත් වාරු නැති සිරුර වලංගු කරගනිමින් ඇය රියෙන් බැස්සාය.... ඇයගේ පා පැකිලෙමින් වැටෙන්නට යනු උදාරගේ නෙතට හසුවිය....
.
එන්න....ඇයගේ උරහිස් වටා අතයවා සිය ගතට ඇය වාරු කරගත් උදාර ට්‍රී හවුසිය වෙත ඇය කැඳවාගෙන ගියේය....සේවකයෙකු ඔවුන්ගේ බෑග රැගෙන පෙරට විය.....සඳමිණි දෑස් අදහා ගත නුහුණු බැල්මෙන් ඒ දෙස බලා උන්නාය.....ඒ තරම් සුන්දර තැනක්....අන්තර්ජාලය ඔස්සේ මිස සැබැවින් ඇය දැක නොතිබුණි.....
.
" ඔයා ආස වෙන තැනක්....යං....අපි වීක් එන්ඩ් එක මෙහෙ ඉන්නව....ඇවිදින්න යන්න පුලුවන් හෙට...අද හොඳට කෑම කෑවොත් විතරයි දිය ඇල්ල බලන්න එක්ක යන්නෙ ..." උදාර මඩුගල්ලේ ඇය ගේ වත පුරා ඇති සතුට විඳිමින් පැවසීය.... සඳමිණි බිම බලාගෙන උන්නා මිස සිනහවක් හෝ නොපෑවාය...
.
සඳමිණි පරිසරය හා අනුගත වෙමින් සුවපත් වෙමින් උන්නාය....සම්පූර්ණ හවස් වරුවම තුරු ගොමු අස්සෙන් ඇවිද යමින් සිත නිවාගත්තාය....එක්වනම කල්පනාවට වැටී තිගැස්සී යන ඇයගේ සුසුම් වලින් උදාර දැවී ගියේය.....
.
" ඔයා මෙහෙට ආසද ....?" උදාර සැන්දෑ අදුර ට පරිසරය මුසු ව යන මොහොතේ ආලින්දයේ ඇති කුඩා පුටුවක ට වී ඇය ලඟින් හිඳුවාගෙන ඇසීය....
.
" හ්ම්ම්...."

" සඳ මා එක්ක තරහෙන්ද ඔයා ..."
උදාරගේ හඬ වේදනාකාරී විය....

" අනේ .....නෑ දෙයියනේ ....." සඳමිණි ඒ දෑතම අල්ලාගත්තාය.....
.
" මං හිතන් උන්නෙ අපි මැරිකරල මෙහෙ ඔයාව එක්ක එන්න....ඔයා ආසවෙන බව දන්න නිසා...."
උදාර ඉතා මුදු ලෙසින් පැවසීය ..
සඳමිණි දෑස් ඔසවා ඔහු දෙස බැලීය..... ඒ දෑස තුළ ප්‍රේමය හැර අන් කීසිවක් නොමැත.....
.
" මං එදාට යන්න මීට වඩා ලස්සන තැනක් හොයාගන්නම්...." උදාර සැහැල්ලුවෙන් සිනාසුනේය...රතුව ගිය මුහුණෙන් යුතුව සඳමිණි බිම බලා උන්නාය....
.
" රතුවෙන හැටි.....මට උඹව අල්ලල පොඩි කරන්න හිතෙනව ...." ඉඳහිටක වාහනයේ යන අතර උදාර අසන කිසිවකට රතුව යන සඳමිණි දෙස බලමින් උදාර කියනා වදන් වත් මෙවිට ඔහුගේ මුවින් පිටට නොආවේය.....
.
" සඳ ....මේ අහන්න ...මට ටිකක් කතාකරන්න ඕන...." උදාර මඩුගල්ලේ ගේ ස්වරය සඳමිණි තිගැස්සවන සුලු විය......ඇයගේ දෑස් යළි කඳුලින් පිරීගියේය.... අනේ මේ කියවෙන්නට යන්නේ කුමනනම් වේදනාකාරී දේවල් දැයි ඇයට සිතුණි.....
.
" වෙච්ච දේවල් වලට ඔයාට වඩා පසුතැවෙන්නෙ මමයි සඳ....ඊයෙ එහෙම දෙයක් වෙයි කියල මම නිකමට වත් හිතුව නම් මම ඕක වලක්වනව....අක්කා සම්පූර්ණයෙන් ම වැරදියි...මට සමාවෙන්න ඒකට.... "
සඳමිණි උදාරගේ දෝත සෙමින් අල්ලාගත්තාය .... එය එසේ නොවේයයි ඇය හිස දෙපසට වනා දෑසින් කීවය..ඔහු කිසිවිටෙකත් සමාව ඉල්ලිය යුතු නොවේ...මේ ඔහු කල වරදක්ද නොවේ....
.
" අම්මයි තාත්තා යි මැරුණෙ ඇක්සිඩන්ට් එකකින් ....එදා එයාලව එක්කගෙන යන්න උන්නෙ මම....මට බැරිඋනා හදිසි වැඩක් නිසා....ඩ්‍රයිවර් ගෙ අතින් බ්‍රේක් එක වැදුන වෙලාවක ලිස්සල ගිහින් හෙලකට පෙරලිල එයාල එතනම නැති උනා...මං අදටත් හිතෙන් විඳවනව...ඒ මරණ වලට මම වගකියන්න ඕන කියල...ඒත් ...ඒත්....මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ සඳ එදා...." උදාර සිය අතීතය සඳමිණි ඉදිරියේ සෙමින් දිග හැරියේය.....සඳමිණි සෙමින් නැගී සිට ඔහු හිස සිය ගතට තුරුලු කොට ඒ හිස අතගාමින් කතාව නිහඬව අසා උන්නාය.....
.
" මඩුගල්ලේ පරම්පරාව ට ඉන්න එකම පිරිමියා මම තමයි ..ඒත් අපිට පුංචි මඩුගල්ලේ ලා ටිකක් හදාගන්න පුලුවන් නෙ ...." සඳමිණි ගේ කුසට හිස තදකරගනිමින් උදාර පැවසීය.... සඳමිණි සතුට ද දුකද නොදන්නා හැඟුමකින් වෙවුලා ගියාය.....
.
" සර් .....මේ තීරණය ගැන ආයෙ හිතන්න .... මම ගැන නෙවෙයි ....හැම දේම ගැන ...."සඳමිණි සෙමින් කොඳුරා කීවාය.....හැඟීම් වලට පෙර යථාර්ථය ඉස්මතු විය යුතුය....ඇයගේ අතින් අල්ලා හිඳුවාගත් උදාර ඇයගේ හිස දෝතින්ම අල්ලා තමා වෙත හරවා ගත්තේය....
.
" තව හිතුවත්....සිය දහස් වාරයක් හිතුවත්.....තීරණේ ඕකම තමයි සඳ..... මට වගකීම් ගන්න පුලුවන් ...ඔයා පරෙස්සම් කරගන්න මට පුලුවන් ..බලාගන්න පුලුවන් ....මේ වුණ දේ අමතක කරන්න සඳ..... " උදාර සඳමිණි ගේ නළලත සෙමින් සිප ගනිමින් පැවසීය ..... ඇය ඔහුගේ වදනට එරෙහි නොවී දෑස් පියාගත්තාය ....වචනෙ රකිනව....මට මේ කෙල්ල ගොඩ ගන්න දෙන්න ..." උදාර හුනස්නෙන් නැගිට යළි කාමරය වෙත ගියෙය....ඇයගේ නලලතට සිහින් සිපුමක් පමණක් තබා ඔහු පිටව ගියේය...

උදාර මඩුගල්ලේ උදෑසන කුරුලු හඬින් දෑස් විවෘත කරන විටත් සඳමිණි සුව නින්දක පසු වූවාය....ප්‍රේමය කෙතෙක් ඉවසුම් සහගතද යන්න ඔහු සහ ඇය පෙරදා උගත්තෝය....ආශාවන් ප්‍රහීන නොකලද සිය ආදරය වෙනුවෙන් ඒ හැඟීම් කැපකල දෙදෙනාම උනුන් ඇසුරේ සුව නින්දක් ලැබුවෝය..... සඳමිණි පසුවූ විඩාබර තත්වය කෙමෙන් කෙමෙන් පහව යන්නට වූ අතර ඇය රාත්‍රිය උදාවෙත්දී බෙහෙවින් නොසන්සුන් වනු උදාර ට පෙණුනි.....
.
" සඳ ජීවිතේ කියන්නේ තව දුර ගමනක්.....ඔයාව ලඟින් තියන් නිදාගන්න බැරි තරම් නොඉවසුමක් මට නෑ ...නමුත් එහෙමයි කියන්නෙ මං වැඩ බැරිදාස කෙනෙක් කියල හිතන්න නම් එපා ....." බැරෑරුම් ව ඇරඹූ කතාව මහා හිනාවකින් අවසන් කල උදාර ඇයට පහසුවෙන් නිදිසුව විඳින්නට ඉඩ සැලසීය ....

*********************************
" සඳ ....ගුඩ් මෝනින්....නැගිටින්න දැන්...උදෙන්ම නැගිට්ටොත් ඇවිදින්න යන්න පුලුවන් " උදාර මඩුගල්ලේ පොරෝනය තුලට තව තවත් ගුලි වෙන සඳමිණිගේ නලලත සිප ගනිමින් පැවසීය.....
.
" පෙරේදා රෑ එලිවෙනකල් ඇහැරල උන්නෙ .ඒකයි මේ...." සඳමිණි සෙමින් පැවසුවාය ....
.
" ඒකට හරියන්න ඊයෙ නිදාගත්ත නෙ...." උදාර ඇයගේ නහය මිරිකමින් පැවසීය....ඇත්තෙන්ම සුවබර නින්දක් ලැබුණේ ඒ ඇසුරේය ....ඒ උණුසුමේය....තමා රැකගත් ආදරයේය.....
.
**************************************
.
තුරු ගොමු අතරින් ඇදෙන මාවත කෙලවර නැරඹුම් අංගනයක් විය...එතැන් සිට බැලූ කල හෝ හඬ නගමින් ඇද හැලෙන දිය ඇල්ල මුදුනේම ඉන්නා බවක් හැඟෙයි.....සඳමිණි විශ්මයෙන් ආතුර වෙමින් ඒ දිය දහර දෙස බලා උන්නාය....
.
"පහළට යමුද....?" උදාර ඇයගේ සුරත අල්ලාගනිමින් පැවසීය....
..
පසෙකින් වූ පඩිපෙල දිගේ පහළට බැස මඳක් දුර ගිය පසු දිය ඇල්ල දොළක් සේ ගලා යන ඉසව්වක් හමුවේ.... දියෙන් පෑදී ඔපමට්ටම් වන ගල් තලා අතරින් ගලා යන දිය රැළිති දෙස සඳමිණි වශීකෘත ව බලා උන්නාය.....
.
ගල්තලාවේ හිඳ ගෙන පාද දියට දමා ගන්නට සඳමිණි ට ආසා හිතුණි.....උදාර මඩුගල්ලේ සිනාසී ඇයට ඉඩ දෙමින් ඇය අසල හිඳ ගත්තේය....
.
අයිස් කැට සීතලක් රැඳි වතුරේ දෙපා ගැටෙන විටම කෑගැසූ සඳමිණි උදාරගේ ඇඟේ එල්ලී ගත්තා ය.... උදාර මඩුගල්ලේ මහ හඬින් සිනාසෙමින් ඇය වටා දෑත යවා ගත්තේය....
.
" මෝඩි....තේරෙන්නැද්ද මේ වතුර සීත බව ...." උදාරගේ උරහිසට හිස තබා ගත් සඳමිණි දෑස් පියා ගත්තාය....ජීවිතේ මෙතරම් සුන්දර බැව් වැටහෙන්නේ දැන් ය.... තමා නුදුටු සුන්දරම ලෝකයක අසිරි තමාට සැබෑ කරදෙන්නෙ ඔහුය ....ඒ ආදරය සංයමය සෙනෙහස....දරාගත නුහුණු තරම් ය.... සඳමිණි සෙමින් උදාරගේ උරහිස සිප ගත්තාය......
.
තමාට නොදැනෙන්නට මෙන් සෙමින් සෙමින් උරහිස සිඹින ඇයට ඉඩ දී ඔහු දෑස් වසා ගෙනම උන්නේය...
.
" ඇතිද ඉම්බා ..." නිකටට අත තබා සිය මුහුණට ඇය ළං කරගත් ඔහු අවසානයේ ඇසීය...සඳමිණි ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය ....
.
" මගේ සඳ ...." උදාර ගේ මුල්ම සෙනෙහස් සිප ගැනීම සඳමිණි මහත් සෙනෙහසින් ඉන් පසු විඳගත්තාය.... ජීවිතය කෙතරම්ම නම් සුන්දර දැයි ඇය සිතුවාය...එක්තරා යුගයකදී රුදුරු ග්‍රහණයකට හසුව තැලී පොඩිවී ගිය දෙලවන් ඔහු මේ තරම්ම සියුම්ව තමා වෙත නතුකරගන්නා අන්දම.....සඳමිණි ප්‍රේමයෙන් ආශක්තව සිහිනයක සේ විඳගත්තාය......
.
දවසේ බොහෝ වේලාවක් උනුන් ඇසුරේ දිය ඇල්ල හා ඒ අවට ගත කල දෙදෙනාම ආපසු නවාතැනට පැමිණියේ නැවත කොළඹ බලා ආ යුතු හෙයිනි.....
.
" සඳ....අපි ඉක්මනින් බඳිමු.... මේ ඔක්කොම ප්‍රශ්න එතකොට ඉවරයි...." නික්ම යන්නට මොහොතකට පෙර සඳමිණි තුරුල් කොටගත් උදාර මඩුගල්ලේ ඇයගේ නළල, දෙකොපුළ සෙනෙහසින් සිප ගනිමින් පැවසීය.....
.
**************************************

සුපුරුදු නවාතැනට එනවිට සැන්දෑව උදාවී තිබිණ....උදාර මඩුගල්ලේ ආපසු පිටව ගිය පසු සඳමිණි නවාතැනේ දොර හැර කාමරයට වැදුණාය....ජීවිතය පුදුමාකාර ආහ්ලාදයකින් ඔප් නැංවී ඇත....දෑස් වසා ගත් කල ඇයට දින දෙක පුරාවටම උදාරගේ ඇසුරේ වූ අප්‍රමාණ සංයමය සහ සුන්දර සෙනෙහසැති බව ඇස් ඉදිරිපිටම මැවෙන්නට විය.......
.
තමා කුලුඳුලේම පෙම්වතියක් වූ සේය... වදනකින් බැල්මකින් පවා රතුව යන වත දෙස බලා උදාර මඩුගල්ලේ පැවසූ දේ සිහිවිය...
.
" ඔහොම රතු වෙන්න එපා බං....මට ඉස්සරහට මොකුත් කරගන්නවත් බැරි වෙනව...ඔහොම උනොත්..."
.
ඒ අසා තමා තව තවත් රතුවන්නට ඇත.....

" ආවද කෙල්ලෙ...කොහොමද ගමන..." බියංකා රෑ යාමේ ඇමතුමක් දෙමින් ඇසුවාය....සඳමිණි ගේ සුසුම පවා සැනසුම් සහගත බව ඇයට ඉබේම දැනුණි..පසුගිය දා වූ සිදුවීමේ වාතාවරණය නොවේ නම් සඳමිණි ට මේ කාරණය අලලා ඇඬෙන තුරු විහිලු කරන්නට හැකිය...එහෙත් ඇය විඳි වේදනා සමූහය අප්‍රමාණය.....
.
" අනේ හරිම ලස්සනයි බී....මට එන්න හිතුණෙ නෑ...අනේ අපි ආයෙ දවසක එහේ යං බී...." සඳමිණි ළදැරියක් සේ කියවාගෙන ගියාය....
.
හැම ම හැම ගැහැණියක් තුළම සැඟව ගත් ඒ විඳීමේ ආශාව.....සමහරක් විට ජීවිතයේ ප්‍රකාශ නොවීම වැළලී යන ආශාවන් ය...එක් වියකදී දෙමවුපියන් හටත් ඉන්පසු ස්වාමියා සහ දූ දරුවන් හටත් කැප වන ජීවිතය ...තමා ගැන සිතන්නට..විඳින්නට ඉඩ හසර නොලැබීම වැය වී යයි....බියංකා සිය යෙහෙළියගේ වදන්තුළ සැඟව ගත් ඒ වින්දනීය ආශාව මනැසින් දුටුවාය.....
.
" ලොක්කට කියපන්...ආයෙ එක්ක යයි...සඳ.....පරෙස්සම් උනා නේද උඹ...." බියංකා නොඅසා අසන්නේ කුමක්දැයි සඳමිණි වටහා ගත්තාය....විලියෙන් රතුව ගිය මුහුණ ඇයට නොපෙනීමත් ලොකු දෙයකි....
.
" අනේ බං .....එයා එහෙම නෑ....පව්...මාව බලාගත්තෙ දරුවෙක් වගෙ..."
.
" හැබෑට....එහෙනම් ඔය මගුලෙන් වැඩක් නෑ බං....දිගටම දරු සුරතල් බලන්න නම් එයා හදන්නෙ...." බියංකා මහ හඬින් හිනැහුණාය....

" මං අසනීපෙන් නෙ බං උන්නෙ....අතින් ඇල්ලුවෙත් බයෙන් බයෙන් වගේ රිදෙන්නැති වෙන්න..." සඳමිණි බෙහෙවින්ම හැඟුම්බර වූවාය.....
.
" දැන් උඹෙ ලෙඩ හරිද.....හෙට වැඩට එනවනෙ...." බියංකා අසත්ම සඳමිණි ට සිහිවූයේ එදා සිදුවීම ය....
.
" අනේ බං ඔෆිස් එකේ අය මොන මොන කතා හදලද දන්නෑ ...." සඳමිණි හැඬුම් ස්වරයෙන් කීවාය....
.
" හදන් ආවදෙන්කො...උඹට බැරිනම් මම උන්ට දෙන්නම් උත්තර ....." බියංකා ආවේගයෙන් පැවසුවාය......
.
*******************************

සඳුදාව බෙහෙවින් නොසන්සුන් ව සඳමිණි කරා පැමිණියේය.....බියංකා ඇය රැගෙන යන්නට ඇනෙක්සිය වෙත පැමිණියේ...උදාරගේ උපදෙස් අනුවය....
.
" සඳ.....කිසිම දෙයක් නොවුණ ගානට ඉන්න.....බය වෙන්න එපා මම ඉන්නවනෙ...." උදාර මඩුගල්ලේ ගේ ස්ථීර සාර වදන් සඳමිණි ගේ හිත නැවත සවිමත් කලේය.....
.
කාර්‍යාලයට පිවිස අසුන වෙත යනතුරුම සඳමිණි වටපිට කිසිවක් බැලුවෙම නැත ......අසුනට පැමිණ හිඳ ගත් පසු ඇයට සැනසුම් සුසුමක් හෙළිණි.....එන දේකට මුහුණ දෙනව ....වෙන කරන්න දෙයක් නෑනෙ.... ඇය සිතාගත්තාය ...උදාර මඩුගල්ලේ කාර්‍යාලයට පැමිණියේ සුපුරුදු ලෙස අට ට කලිනි....කිසිවෙකුගේ වෙනසක් නැත....ඔවුන් තම තමන්ගේ වැඩ කටයුතු වලය...ප්‍රධානියා ගේ තරම දන්නා හෙයින් කසුකුසු මතුව නොආ බවක් දැනෙයි....
.
දිවා විවේකයේදී ආහාර ගන්නට ආපන ශාලාව වෙත ගිය සඳමිණි සහ බියංකා හට පෙරේරා මිස් හමුවූයේ ඔවුන්ගේ කෑම මේසයේදීමය.....
.
සමච්චල් සිනහවකින් මුව ඇදකර ගත් ඇය සඳමිණි දෙස බලා උන්නේ කොතනින් පටන් ගෙන රිදවිය යුතුද සිතමිනි.....සඳමිණි වගේ වගක් නොමැතිව ආහාර ගත්තාය....
.
" මඩුගල්ලේ මැඩම් ඉතින් මම දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් තමයි ...මහ දරුණු මනුස්සයා ඔහොම උන්නට...කවුරු කවුරුත් පරෙස්සම් වෙනව නම් ඉතින් හොඳයි....." පෙරේරා ගේ කට ඇදවෙමින් කියවීම නැවතුණේ බියංකා සහ සඳමිණි දෙදෙනාගෙම සෘජු බැල්මවල් වලටය....
.
" ඒක කාටද කීවෙ පෙරේරා මිස්.... " සඳමිණි ඇය දෙසම බලා ගෙන ඇසුවාය .....ඇයගේ හඬ කිසිදු සැලීමක් නැත ...පෙරේරා තිගැස්සුනේ මෙපමණ දෙයක් වීත් ඇය ඉන්නා නොසැලෙන හැටියටය....
.
" නෑ ....නෑ ....මං මේ කීවෙ....." පෙරේරා ගේ කතාව අවසන් කරන්නට පෙර නිමල් එතැනට පැමිණියේය ...

" ආ පෙරේරා මිස්ට ලන්ච් එකට පස්සෙ ලොකු සර් ව හම්බ වෙන්න කීවා....." ඇස් දෙක ලොකු කරගත් පෙරේරා මිස් හුස්ම ගන්නටද අසීරු ලෙසින් නිමල් දෙස මුව අයා බලා උන්නාය..... බියංකා සඳමිණි ගේ කකුල පාගා ගත්තාය....
.

ඉදින් ......කුමකින් කුමක් වන්නට වේදැයි .....සිතාගත නොහැකිව සඳමිණි නැගී උන්නාය......


20. දහ නව වෙනි දිගහැරුම (සඳක් සේ)

" අපි පොඩි දරුවො නෙවෙයි....නේද...ම්ම්...ඉතින් කතාකරන්න කෙලින්....මෙතන ඉන්නෙ ඔයයි මායි විතරයි..." උදාර මඩුගල්ලේ තවත් ඇය දෙසට හැරෙමින් කීවේය... වාහනයෙන් එපිට මාවත නොපෙනෙන තරමට මහ වැසිය....සඳමිණි වින්ඩ්ස්ක්‍රීනය මත දෝරේ ගලා යන වැහි බිඳු දෙස ඉකිය ගිල ගනිමින් බලාඋන්නාය.... හිත පිරී ඇත්ද ....හිස් වී ඇත්ද .....ඇයටම සිතාගත නොහැක...
.
" සඳ.....මේ බලන්න.." සඳමිණි ඒ ඇමතුමෙන් තිගැස්සුණාය....බියංකා මිතුරුකමට කියනවාට වඩා උදාර මඩුගල්ලේ ගේ ගැඹුරු හඬින් ඒ නම ඇසෙද්දී ඇය වෙවුලා ගියාය.....
.
" හරි....දැන් වෙවුලලා ම වෙන ලෙඩක් හැදෙනව ..මේ අහන්න...මං කියන දේ ... මං වචන වලින් ආදරය කියන්න දන්නෙ නෑ සඳ.... ඒත්...මං ආදරය කරන්න දන්නව....."
සඳමිණි වශීකෘතව ඒ වදන් අසා උන්නාය ..... ඒ තරම් සොඳුරු ලෙසින් ආදරය කියාපෑමක්...ඇය ඔහු ගේ දෑස් දෙස නොබලා බිම බලා ගත්තාය...
.
" මේ තරම් කාලයකට මම ගැහැනු දිහා බලලවත් නෑ කියල ඔයාට බොරු කියන්න මට ඕන නෑ....ඒත් මට දුරදිග ගිය සම්බන්ධතා තිබිල නෑ....සාමාන්‍ය ඩේ අවුට්ස් , ෆ්‍රෙන්ඩ්ශිප්ස් තිබ්බ....ඒත් මට මගෙ ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඕනයි කියන හැඟීම මේ වෙනකල්ම තිබුණෙ නැහැ....." උදාර සුසුමක් හෙලා තවමත් ඉදිරිය බලා ඉන්නා ඇය දෙස බලා සිටියේය.... ඇය තවමත් ජීව්තයේ අඳුරු සෙවනැලි නිසා දුකිනි....
.
" මං ඔයා ගැන හැමම හැම දේම දන්නව ....ඒ හැම කාරණයම මම හොයාගත්තෙ ...ඔයාව මට ඕනයි කියන හැඟීම හිතට එන්න ගත්තු මොහොතෙ ඉඳන්...."
.
" මං ඩිවෝස් වෙච්ච ගෑනියෙක් සර්..... මම කෙල්ලෙක් නෙවෙයි ....මම ශාරීරිකව වගේම මානසිකවත් සෑහෙන්න යූස් වෙච්ච.....ඇබියුස් වෙච්ච කෙනෙක්.....මගෙ ජීවිතේ ම මහ තුවාලයක්...සර්....එහෙම ජීවිතේකට හවුල් වෙලා අනේ ඔය වටිනා ජීවිතේ නාස්ති වෙන්න දෙන්න මට බෑ සර් ...." සඳමිණි ජීවිතේ තිබූ අන්තිම දිරිය බිඳුවත් එක්කාසු කොට ගෙන කියාගත්තාය ..... ඒ වදන් වල ගැබ් ව ඇති මහා වේදනාව උදාරට වැටහිණි....
.
" මෙච්චර කාලයක් මම ඔයාට මාව අධ්‍යයනය කරන්න ඉඩ දුන්නෙ....අන්න ඒ නිසා ....හැඟීම් පාලනය කරන් ඔයාට මාව අඳුනගන්න දුන්නෙ මෙන්න මේ තැනට එන්න ඕන නිසා....ඒ හැමදෙයින්ම ඔයාට ගොඩ එන්න තනියම ඉන්න කාලය අවශ්‍ය නිසයි...දැන් ඉතින් මගේ කාලය ...මේ..."
උදාර ගේ හඬ බොහෝ පැහැදිලි ය... තමා ඇය සම්බන්ධව දරන අදහස ඇය වටහා ගත යුතුය ...
.
" ඔයාට තව කාලය ඕන්නම් ඒක දැන් කියන්න .....හැබැයි තනිවම නෙවෙයි ඔයාට ඔය ඝට්ටනයෙන් එලියට එන්න දැන් මගේ අත අල්ලගන්න වෙනව......තවත් ඔයාට තනිවම විඳවන්න අයිතියක් නෑ ...." සඳමිණි හුස්ම නොගෙන බලා උන්නාය...මේ පවසන්නේ ඔහුගේ අයිතියයි....මෙතුවක් කල් ඉවසා බලා උන් ඔහුගේ අයිතියයි....
.
" මං මගේ ජීවිතේ ට ආයෙ පිරිමියෙක් ඕන නෑ කියන තීරණය අරන් උන්නෙ සර්..."
සඳමිණි බිඳුණ හඬින් කීවාය..... පිරිමි සංහතියම එපා කලේ සුධීරය....ඒ පිළිකුල අදටද හිත පාරවා ලයි....

" හිතන් උන්නෙ.....හ්ම් ....ඒ කොයි කාලෙද...තාමත් එහෙමද....?" උදාර මඩුගල්ලේ දෑත පපුවට බැඳගෙන ඉදිරියට හැරී ඇසීය....
.
සඳමිණි නිරුත්තර ව බලා උන්නාය...ඔහු ඒ සියලු තීරණ අතික්‍රමණය කොට ඇති බව කෙලෙස කියන්නද.....සඳමිණි නිහඬවම බිම බලා උන්නාය....
.
" තවමත් එහෙම්මද....ඒ එපා කියන පිරිමි කුලකයටද මාත් අයිති ..... කියන්න...." උදාර ඇස් වසා ගෙන ම ඇසීය..... ඒ හඬ නිවුණුය..සෙනෙහැතිය...ලොබ උපදවයි.....
.
" සර් ව මට ඒ තැනට දාන්න කිසිම දාක බෑ සර්.... මෙච්චර කල් විඳෙව්ව ජීවිතේ මං වින්දා නම් ඒ සර් නිසා ... සර් කියන්නෙ මට වටින කෙනෙක්...." සඳමිණි හැඟීම්බර ව කියාගත්තාය.... ඇයගේ හිත ඒ දේ කියාගත්තාට පසු මඳක් සැහැල්ලු විය....
.
" ඉතින් එහෙනම් ඇයි....මගෙන් ඈත් වෙලා ඉන්නෙ....ඇයි මට ඔයාව අයිති නොවෙන්නෙ....ඇයි මට ආදරය කරන්න ඉඩ නොදෙන්නෙ...." උදාර මඩුගල්ලේ ඇසීය....තව දුරටත් සඳමිණි ගේ උකුල මත වූ දෝත ඇය සතු නොවීය...ඒ දෑතම උදාර මඩුගල්ලේගේ දෑත තුළ උණුසුමින් සැඟව ගියේය... මහා වැසි ඇද හැලී නිමා වෙන්නට ළං ව ඇත.....සඳමිණි දෑස් උතුරා යන කඳුලු වලකා නොගනිමින් උන්නාය....
.
" මට මේ දේ කරන්නට හිත හදාගන්න බෑ සර්...." ඇය හැඬුම් අතරින්ම කෙඳිරුවාය....
.
" මට ආදරෙයිද....?" උදාර ඒ කිසිවක් නෑසුණ හඬින් ඇයගේ දෙනෙතට එබී බලා ඇසීය...සඳමිණි දෑස් සගවා ගත්තාය....ඇයගේ දෝත මුදාහල ඔහු සිය දෝතට ඇයගේ මුහුණ හසුකරගත්තේය....
.
" කියන්න ....ඔව් ද නෑද ...?"
.
සඳමිණි ඒ දෝතේ මුහුණ සඟවා ගත්තාය..... නිහඬ බව ඇසුරේ ඇයගේ අප්‍රකාශිත කැමැත්ත එසේ හැඟවී ගියද ....උදාර තවත් මොහොතක් එසේම උන්නේය.....
.
" අද ඇනෙක්සියට යන්න ඕනද නැද්ද.... කට ඇරල කතා නොකලොත් මෙතනම තමයි ඉන්න වෙන්නෙ ළමයට....." උදාර සඳමිණි ගේ කණට සෙමින් කෙඳිරුවේය....
.
" අනේ සර්..... " සඳමිණි ඔහුගෙන් මිදෙන්නට තැත් කලාය.....
.
" කියන්න එහෙනම්..... "
.
" ඔව් දෙයියනේ ඔව්...." සඳමිණි සිය දෑතින් මුහුණ වසා ගත්තාය ...කුලුඳුලේම ආදරය පැවසූ පෙම්වතියක් තරමටම ඇය ලැජ්ජාවෙන් උතුරා යමින් තිබුණි......
.
ප්‍රේමය හිත් දෙකක් පුරා දෝරේ ගලා යන විට...ලෝකයම අපරිමිත තරම්ම සුන්දර බව ඔවුන් ගේ හිත් වලට දැනෙමින් තිබිණ.....සඳමිණි ගේ හිස සිය ගෙල යටට තද කරගෙන මොහොතක් දෙකක් හුස්මත් නොඅල්ලා උන් උදාර මඩුගල්ලේ ...සෙමින් ඇය සිය ග්‍රහණයෙන් මුදාලීය....
.
" රෑ වෙනව....යමු දැන්...." උදාර මහත් ලොබින් මෙන් ඇය දෙස බලා සිටිමින් කීවේය....සඳමිණි බිම බලාගෙන හිස සෙලෙව්වාය.....
.
ඇය ඉන්නේ කෙතරම්ම වික්ශිප්ත භාවයකද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ...උදාර යළිත් වරක් සෙමෙන් ඒ හිසට අත තබා එක් වරක් පිරිමැද්දේය ...
.
" පරෙස්සමින් යන්න සර්....තෙරුවන් සරණයි...." වාහනයෙන් බසින්නට මොහොතක් තබා ඒ දෙනෙත් යළි පැටලුණ මොහොතේ සඳමිණි මිමිණුවාය ....උදාර මඩුගල්ලේ ගේ වත ඔප් නැංවී තිබුණේ ආදරණීයම සිනහවකිනි......
.

****************************************

ඇනෙක්සියේ දොර වසා ඇඳුම් පිටින්ම ඇඳට වැටුණ සඳමිණි ඉකිගසමින් හැඬුවාය....ඒ කිනම් වූ හැඟීමකින් දැයි ඇය නොදත්තාය...ප්‍රේමය ජීවිතය පුරාටම දරා ගත නුහුණු හැඟීමක්ව පැතිරෙන විට හැම පෙම්වතියක්ම මෙසේ හඬන්නේදැයි ඇයට සිතුණි...සිය දෑත්, කොපුල් , හිස පුරා සෙමින් දැවටුණ ඒ උණුසුම් දෑතේ ස්පර්ශය දරාගත නුහුණු ඈ යළි යළිත් ඉකිගසමින් හැඬුවාය ....
.
ජංගමය හෙමින් නාදවත්දී ඇය ඇස් හැරගන්නට බැරිතරම්ම හඬා අවසන් ය ....
.
" සඳ...මොකෝ බං ඔය...උඹට සනීප නැද්ද ..." නාසය බර වූ හඬින් සඳමිණි පිළිතුරු දෙන විට බියංකා කලබල වූවාය....
.
" අනේ බී...මට තේරෙන්නෑ බී...." සඳමිණි ගේ හැඬුම යළිත් අලුත් විය....
.
" අනේ බං ....මාව බය නොකර කියපන්කො...සුධීරයා වත් ආයෙ ආවද ...මොකක් වත් කරදරයක් ද ..කියහන්කො බං..." බියංකා කෑගසන්නට වූවාය...
.
" නැහ්..නැහ්...අනේ නෑ....සර්...සර්...එයා...." සඳමිණි පැටලෙන හඬින් කීවාය...
.
" ඇයි මොකෝ සර්....මොකද උනේ..."
.
සඳමිණි සෙමින් සෙමින් සැකෙවින් කීවාය....... බියංකාගේ කිංකිණි හිනා හඬ ජංගමය පුරා දෝංකාර දුන්නේය...

" ඇයි වදේ.... මේ ගෑනි අඬා වැටෙන්නෙ නිකම් සර් බලහත්කාරකමක් කලා වගේනෙ...හනෙ අම්මේ සඳ උඹ නම් ......"

" අනේ හිනාවෙන්නෙපා බී...හෙට මං කොහොමද වැඩට යන්නෙ....මට බෑ බං ...ගිහින් කොහොමද ඒ කාමරේ එයා එක්ක ඉන්නෙ....අනේහ්..." සඳමිණි තැවුණාය....
.
සිය මිතුරියගේ ජීවිතය ප්‍රේමයෙන් උතුරා යන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය බියංකා ට සැනසුම් සුසුමක් හෙළිණි....පමා වී පැමිණි ප්‍රේමයෙන් ඇයට සිත මෙසේ සොඳුරු රිදුමින් තවාගන්නට ඉඩ දී බියංකා සමුගත්තාය....
.
************************************
.
උදාර මඩුගල්ලේ නිවසට ආවේ ජීවිත කාලයේම නොදැනුණ සතුටක් හිත රඳවාගෙනය ...සිය ගෙල පාමුලට හිස සිරකරගත් පසු ඇයගෙන් දැනුණ සිහින් උණුසුම ඔහු නවමු පෙම්වතෙක් බවට හරවා හමාරය....ඇයව මොහොතක් සිපගන්නට සිත කල බලකිරීම ඔහු පාලනය කර ගත්තේ....ඇයට මේ සියල්ල දැනටමත් බර වැඩි බව වටහා ගෙනය......
.
මේ ප්‍රේමය ඉතාම ඉවසිලි වන්ත එකක් විය යුතු බව....ඔහු අපූරුවට වටහා ගෙන තිබුණි....

******************************************************************************

උදාර මඩුගල්ලේ අතවූ පොත පසෙක තැබීය...
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වස්සානේ හි පද අතර සිත යළි යළි අතරමං වෙමින් තිබිණ..

ඔහු යළිත් ඒ පිටුව සෙමින් පෙරළා බලා උන්නේය....

සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණ..
දිය නිලන වැසි සමේ රැල් නගා උතුරාය..
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුණු ව ගිය ලේ නහර

වැහි වලාකුළු රංචු කඳු මුදුන්වල ලගින
දැන් ඒවි තැනි බිමට - සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න- ඉතින් මගෙ හෙට දවස මට දෙන්න

කවියෙහි මුඛ්‍ය අදහස කුමක් වුවත් කියවන හැම කවියකම ඇය රැඳෙන්නට පටන්ගෙනය....ජීවිතේ හැම ලේ නහරයකම ඒ ප්‍රේමය උතුරා යමින් තිබෙයි.... සිත ඉල්ලු සෙනෙහස දැන් තමා අතට පත් ව ඇත .....ඒ කෙතරම්ම සුන්දර හැඟීමක්ද.....
.
උදාර පොත පසෙක තබා ජංගමය අතට ගත්තේය....වේලාව දහය පසු වී ඇත....
.
කල්පනා කර කර ඉන්නව මිසක කන්නවත් නැතුව ඇති අද......
.
ඔහු ට සිතුනි....
ජංගමය කීප වරක් නාදවෙත්ම එහා පසින් සම්බන්ධ විය.....
.
" හෙලෝ....මොකද කරන්නෙ....?" ඔහු ගේ හඬ බෙහෙවින්ම ආදරණිය විය ..සඳමිණි නිහඬවම අසා උන්නාය ..... ඇය තවමත් සිතාගත නුහුණු හැඟීමකය....
.
" කියන්න....කෝ ඇයි කතා නොකරන්නෙ...." ඔහු නැවත ඇසීය.....
.
" ඉන්නවා....සර්...." ඇය සෙමින් මිමිණුවාය....
.
" කෑම කාලද දැන්...."
.
"හ්ම්ම්...."

" ඇත්තමද.....කෑවද....?"
.
" උදේ උයල ෆ්‍රිජ් එකට ටිකක් දාල එන්නෙ....රත් කරන් කෑවා ...." සඳමිණි සැහැල්ලු වෙමින් උන්නාය....
.
" දැන් නිදාගන්න....හෙට හමුවෙමු ..... " උදාර පැවසීය....
.
" හ්ම්ම් .හා...සර් කෑවද...?"
.
" ඔව්...."

"තෙරුවන් සරණයි සර්...."
සඳමිණි ගේ සිහින් හඬ ගලා එන ජංගමය ද අතැතිව උදාර දෑස් පියාගත්තේය.....ඇය පසෙකින් නිදන දිනයක සිහින ඔහු සිත තුළ මැවෙමින් පැවතුණි......
.
***********************************
ප්‍රේමය සඳමිණි මෙන්ම උදාරද නැවුම් පෙම්වතුන් කර තිබිණ..

එහෙත් ඔවුන් සිය බැඳීම අනෙක් අයගෙන් සඟවා රැක ගත්තේ....හැම පැත්තක්ම ගැන මනාව සිතමිනි....

නෙතඟ බැල්මක මඳහසක දැවටෙන ආදරය ජීවිතය පුරාම පැතිර ගොසිනි....බියංකා සඳමිණිගේ ජීවිතයේ සතුට දෙස බලා උන්නේ දැඩි සතුටකිනි....
.
මේ දෙන්නව කලින් මුණගස්වන්න ඉරණමට බැරිවුණ හැටි......
.
***********************************

උදාර මඩුගල්ලේ සිය දැන ඇඳුණුම් කම් සමග පළපුරුද්ද භාවිත කර සඳමිණි උසස් අධ්‍යාපනය වෙත යොමු කලේය....මුලින් මඳක් අදිමදි කලද....උදාරගේ වචනයට පිටුපා යාමට නොහැකි කම ඇය ඒ තීරණය ගන්නට පොළඹවා ලීය......
.
කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය ඔස්සේ දර්ශනපති උපාධියකට ලියාපදිංචි වූ සඳමිණි ‍යළිත් අධ්‍යාපනය හදාරන්නට පටන් ගත්තාය...උදාර ඇය නිසි ආකාරයෙන් මෙහෙයවූයේ අවශ්‍ය ගුරුහරුකම් ලබා දෙමිනි....
.
කෙසේවතුදු චාරිකාවට පසු නීලිකා ගේ සැකමුසු බැල්මේ ප්‍රතිපලයක් ලෙස පෙරේරා මිස් යමක් සැක කරමින් උන්නාය.... ගැහැණු ඉව යනු පුදුමාකාර ඉවකි...අනුන්ගේ දේ සොයන්නා වෙත ඇති ඉව ඊටත් වඩා දස දහස් ගුණයකි....

**************************************
ඉඳහිටක දවසක වැරැන්ඩාවේ හුදෙකලා වන මොහොතක ප්‍රේමය සිත පුරා උතුරා යන නිමේෂයක...යළිදු සඳමිණි කවිකාරියක වන්නට පටන් ගෙන තිබිණ....අවුරුදු පහක කාලයක් හිත ගොලුව තිබූ හෙයින් කිසිම අකුරක් නොලියවුණ බව සැබෑය....අතිශය වේදනාකාරී ඒ අතීතය සියලුම ප්‍රේමණීය සිතුවිලි ගිනිබත් කල හැටි කිසිසේත්ම අමතක කල නොහැක.....
.
ජංගමයේ මුහුණත දිස් වෙන උදාර මඩුගල්ලගේ රුව දෙස බලා හිඳිමින් සඳමිණි යළි යළිත් තම ජීවිතයේ මේ අපූර්ව වෙනස ගැන යළි යළිත් සිහිකලාය....කෙතෙක් සිතුවද....ඒ සොඳුරු හැඟුමන් නම් නිමක් නොවේ.......
.
නමුණුකුල ගමනට පසු උදාර වෙතින් ලද සේයාරූ සියල්ල ජංගමයට හරවා ගත් පසුව.... දවසේ තනිවුණ එකම මොහොතක හෝ ඒවා යළි යළිත් පිරික්සීම සඳමිණි ට පුරුද්දක්ව තිබිණ....මේ තරම්ම සොඳුරු ලෙස තමා ගේ ඉරියව් කැමරාවට හසුකර ගන්නට ඔහුට හැකිවූයේ ඔහුගේ ඇති ආදරණීය බව නිසාමය......

~~~~~*******~~~~~*******~~~~~~*****

කඳු ශිඛර , ගිරිහෙල්ද
තැනිතලා මල් තුහින
ඉසියුම්ම සොඳුරු තැන් කැටිව එක්කොට තබා ගත් රූ
දහක් අතරේ තිබුණේම නැත.....
.
නෙතඟ බැල්මෙන් නුඹ මදෙස බැලූ හැටි...
වදනකට රතුව ගිය මගේ වත බිම ට හැරවුණ හැටි..
ඇවිද ගිය මං පෙතක අහම්බෙන් අතැඟිලි ගැටුන හැටි....
දෙඋර පොරවා සීතලෙන් ඉන්නා විටක දෑස් නොපියා දුරක සිට සෙනෙහසින් බලා උන් හැටි...
.
ඒ කිසිත් රූ නැත...
මතක පමණක් ඇත....

~~~~~~********~~~~~~***********~~~~~~~*****

අතවූ කොලයේ ඉබේම සටහන් වූ හැඟීම් දෙස ඕ මොහොතක් බලා උන්නාය...සිත කවිකාර හැඟුම් වලින් උතුරා යයි....සඳමිණි ජංගමය ගෙන හෙමින් එය අකුරු කොට බියංකා වෙත යැව්වාය....
.
" සඳ ....අනේ සඳ....උඹ ආයෙ ලියනවා......මට මාරම මාරම හැපී කෙල්ලේ.....උඹ කොච්චර සතුටින් ද කියන්න ආයෙ මට වචන ඕන්නෑ....අලුතින්...." හැරෙන මොහොතින් බියංකා ගේ ඇමතුම සඳමිණි ට එකම වචනයක් හෝ කීමට ඉඩ නොතබා ගලා ගියේය.....

******************************************************************************

උදාර මඩුගල්ලේ කාර්‍යාල කාමරයේ එහෙට මෙහෙට නොසන්සුන්ව ඇවිදයන්නට විය... සිතෙහි පැවතුණ සතුට සැනසුම ඉරිතලන කාරණා උදාවෙමින් පවතී.....
.
අක්කාගේ ඇමතුම ඔහු බෙහෙවින් නොසන්සුන් කර තිබිණ....මේ ඉරිදාවේ ඇය කොළඹ එන බවත් එන්නේ නිශාකා දුනුකේ බණ්ඩාර සම්බන්ධව යෝජනාව ස්ථීර කරගනු පිණිස බවත් ඔහු ට ඇය දැන්වූයේ දැන් ය.....නිශාකා දුනුකේ බණ්ඩාර ගැන අල්පමය හෝ හැඟීමක් ඔහු තුළ නැත....සඳමිණි මිසක ජීවන සහකාරිය වීමට අන් කිසිවෙක් සුදුසු ද නොවේ.....එය ස්ථීර වී හමාරය.....
.
සඳමිණි දෑස් අයාගෙන උදාරගේ මේ නොසන්සුන් හැසිරීම දෙස බලා උන්නාය..පසුගිය දින කිහිපයේම ඔහු උන්නේ පුදුමාකාර සතුටකිනි....එහෙත් කාර්‍යාලය තුළදී ඔවුන් අතර වූ රාජකාරි බැඳීම අකුරටම පවත්වාගන්නට ඔහු සමත් විය....එය දෙදෙනාගේම ගරුත්වය සහ ආයතනයේ සහ රැකියාවේ ගරුත්වය වෙනුවෙන් විය....
ඉඳහිටක දෑස් දෙස ඇස් පිය නොහෙළා බලා සිටීමක්, ආදරණීයම සිනහවක් මිස අන් කිසිවක් කාර්‍යාලය තුළදී හුවමාරු නොවන්නට තරම්ම උදාරගේ හැසිරීම් පරිණත විය.....සඳමිණි ඒ ඇසුරට දිනෙන් දිනම බැඳෙන්නට වූවාය....
.
" හවස මං එනකල් ඉන්න හෝල්ට් එකේ...." එක් වරම සඳමිණි දෙසට හැරුණ උදාර මඩුගල්ලේ පැවසීය...කිසිත් නොකියා හිස පමණක් වනා ඇය හා කීවාය ....

*********************************************************************************

සුපුරුදු මං තීරය අසල වාහනය නවත්වන තුරු උදාර වචනයක් හෝ කතාකලේ නැත...සඳමිණි ට මහා නරක දෙයක ඉඟි වැටහෙමින් තිබිණ....
.
ආසන පටය ගලවා සඳමිණි දෙසට හැරුණ උදාර මඩුගල්ලේ ඇය දෙසට නැඹුරුව ඇයගේ ආසන පටියද ලිහිල් කර දැම්මේය....ළං ළං ව තිබෙනා උදාර ගේ මුහුණ දෙස බලා නොසිට සඳමිණි හුස්ම අල්ලා ඉහලට තදකොට ගත්තේ ඒ මොහොතේය....
.
"කොච්චර කල් ඔහොම බය වෙවී ඉන්නවද මට..." උදාර ඇයගේ කම්මුලකට අතින් තට්ටු කරමින් ඇසීය....සඳමිණි මුදු සිනහවක් පෑවාය.... හිතේ ඇත්තේ සුන්දරම ගැස්මකි...
.
" සර්...... මොකුත් ප්‍රශ්නයක්ද....මට බය හිතෙනවා ..." සඳමිණි බිඳුණු හඬින් පැවසුවාය.....
.
උදාර මඩුගල්ලේ ඇයගේ සුරත හෙමින් අල්ලාගත්තේය...ඒ ස්පර්ශයන් පවා ආදරණීය බවින් අනූනය.....සඳමිණි මහත් ලොබින් ඒ බැම්මෙහි දැවටුණාය....
.
" ප්‍රශ්නයක් තමා....හැබැයි ඒක මට ප්‍රශ්නෙකුත් නෙවෙයි එක අතකට...
අක්කා ඉරිද එනවලු..මංගල්ලයක් තීන්දු කරන්න...." උදාර ඇයගේ අතැඟිලි සිය ඇඟිලි අතර පටලා ගනිමින් කීවේය....
හිස ඉහත්තාවේ අකුණු පුපුරන්නාක් බඳු හැඟීමක් සඳමිණි ට දැනී ඇය තිගැස්සී ගියාය....ඇස් කෙවෙනි අසල දැවිල්ලකි.... ජීවිතයේ සිහින දකින්නට ගත්තා පමණි....අනේ....එය සුණුවිසුණු වන්නට තැත් දරන්නේද.....වදනකින් නොකීවද උදාර මඩුගල්ලේ වෙත මුලු සිතම බැඳී හමාරය..ඔහු නැතිව හෙටක් ගැන සිතන්නේ කෙසේද ...?

" සඳ .....මේ බලන්න...."උදාර ඇයගේ නිකටට අත තබා සෙමින් එසවීය....සඳමිණි ඒ දෑස් දෙස නොබලා ඉන්නට වෙර දැරුවාය....ඇස් වල පිරීයන කඳුලු වලකා ගනිමින් ඇය තදින් ඇසිපිය ගැසුවාය....
.
" මං අඬන්න දෙයක් කීවද දැන් ...ම්ම්ම්...." උදාර ඇයගේ මුහුණ බලෙන් මෙන් තමා වෙතට හරවා ගත්තේය ....
.
" සඳ .... අපි ඉක්මනින් බඳිමු....." උදාර ගේ හඬ සිහිනෙන් මෙන් සඳමිණි ගේ සවන් පත් වල ගැටෙන්නට විය.....
.
" අ .ක්..කා...එතකොට ...." සඳමිණි ඉකිය වලකා ගනිමින් ඇසුවාය.....
.
" අක්කා ගේන තොරොම්බල් කරත්ත වලට මං කවදත් කැමති වුණේ නෑ නෙ ....අද මම මගේ ජීවිතේ ට හරියනම කෙනා තෝරගෙන ඉන්නව ...මම හැමදේම තීරණය කරල ඉවරයි.... අක්කා මේකට කැමති වෙන්නෙ නෑ සඳ....මට ඔයාට බොරු කියන්න ඕන නෑනෙ...ඒ වලව් මාන්නෙ එයාගෙ ඔලුවම කාලා තියෙන්නෙ....." උදාර නිවී සැනසිල්ලේ කියවාගෙන යයි.... ඔහුට ඒ සිදුවීම ඉතා සුලු දෙයක් සේය...එහෙත් මෙය එතරම්ම ලඝු කල හැකිද....
.
" ඒත්....මං නිසා සහෝදරකම් බිඳෙයි...ගිය ආත්මයක මං කාගෙ හරි ජීවිත වලට වින කරන්න ඇති...ඒකනෙ මට අම්මා නැතිඋනා අකාලයෙ ...තාත්තා මාව අතෑරියා...පවුලෙ තනි ළමයා උනා...කසාදෙ කැඩුණා....මේ ආත්මෙත් මට පව් පුරවගන්න බෑ දෙයියනේ....." සඳමිණි හැඬුම් හඬින් කීවාය..... පපුව ඇතුළෙන් එන රිදුම අතිමහත් ය...මේ නොලැබිම ජීවිතයට මේ තරම්ම උරුම කම් කියන්නේද.....
.
" මාව අතාරින්න පුලුවන් ද ඒ ඔක්කොටම බෑ බෑ කියල එතකොට ......" උදාර තරමක කේන්තියෙන් ඇසීය....තමා ඇය කේන්ද්‍ර කොට ලෝකයක් තනා ගන්නට සියලු බාධකයන් අබිභවා යන්නට තැත් දරන විට...ඇය ලෝකයට බියෙන් තමා වෙතින් මිදෙන්නට බලයි....උදාර ඇය අතහැර වීදුරුවෙන් එපිට බලාගත්තේ ය.... ඔහුගේ හිතේ මඳ නොරිස්සුමක් ඇතිවිය ....එහෙත් සඳමිණි පවසන්නේ ඇයගේ ජීවිත අත්දැකීම් වලින් පෙළුණු වේදනාවෙන් බව ඔහු දැන සිටියේය ...
.
" අනේ....මං එහෙම කීවෙ නෑනෙ....තරහ ගන්නෙ ඇයි...ඉතින් ...." සඳමිණි උදාරගේ අඳුරු වූ වත දෙස බැගෑපත් ව බලමින් ඇසුවාය...උදාර නිහඬවම ඉවත බලා උන්නේය....ඇයට තව වෙහෙසෙන්නට ඉඩ දිය යුතුයැයි ඔහුට සිතිණ....හිතුවක්කාර කමක හැඟීමකින් ඔහු ඉවතම බලා උන්නේය...
.
" අනේ ....සර්...මේ බලන්නකො.... අනේ ඉතින් ....සමාවෙලා මේ බලන්නකො...." සඳමිණි කෙතෙක් ඇවිටිලි කලද උදාර නෙතඟ බැල්මක් වත් ඇය දෙස නොහෙළීය....අවසන දෝතින්ම ඔහු වැළඳ ගත් සඳමිණි ඔහු ළයට හිස තබා ගත්තාය .....
උදාර සෙමින් පහත් වී ඒ හිස් මුදුන සිප ගත්තේය....
.
" අපිට අපි නැතුව ඉන්න බෑ කියන එක දැන්වත් පිළිගන්න සඳ...." ඔහු සෙමින් ඒ හිස අතගාමින් පැවසීය .....
.
සඳමිණි ඇයගේ ලෝකයේ සුරක්ෂිතම දෑත තුළ දෑස් පියා නිහඬ වූවාය...

************************************

අක්කා දුම්මල වරම ගත් අයෙක් මෙන් විසිත්ත කාමරයේ ඒ කොණටත් මේ කොණටත් ඇවිද යනු උදාර නිවි සැනසිල්ලේ බලා උන්නේය....නිශාකා දුනුකේ බණ්ඩාර සහ පවුලේ අය පැමිණීම වලක්වමින් අක්කා පමණක් කැඳවීමේ හේතුව ඇය දැනගත් මොහොතේසිට ඇය කියවීම අඩුකලේ නැත....කොහොමටත් අක්කා කියවන්නට පටන් ගත් විට පැය ගාණක් කියවාද හති වැටෙන්නියක් නම් නොවේ...
.
" මම දීපු වචනයක් බිඳපු ගෑනියෙක් නෙවේ මෙච්චර කාලෙකට...අන්න ඒකයි මට දුක...." ඇය දබරැඟිල්ල උදාරගේ මුහුණට ලෙලවමින් පැවසුවාය....
.
" අක්කා..එකක්...මේ මගෙ ජීවිතේ .ඔයා එහෙම ඒ මිනිස්සුන්ට තීරණ දෙන්න වචන දෙන්න මගෙන් ඇහුවද....මං මගේ ජීවිතේ ගැන ඒ තීරණේ අරන් ඉවරයි....." උදාර මඩුගල්ලේ ඇයගේ මුහුණටම කියාදැම්මේය... මේ සා තම ජීවිතය පාලනය කරන්නට වෙර දරන සොහොයුරිය ගැන අප්‍රසාදයක් හිතේ මතුවෙමින් පවතී....
.
" ආ...හ..හා...මේ එහෙම එකක් එහෙනම්....කොහෙ එකියක්ද....වලව් පැලැන්තියකට පෑහෙන්න පුලුවන් පවුලකින් නෙවෙයි නම්....වහාම වහාම උඹ ඒක අතහැරල දාන්න ඕන...නැත්තං උඹෙයි මගෙයි සහෝදර කම් ඉවරයි කියලා හිතාගනින්...." මඳක් හතිලමින් පැවසූ ඇය....අසල වූ අසුනකට ඇද වැටුණාය...

" නෑ ..එයා එහෙම කෙනෙක් නෙවෙයි...වලව් පැලැන්තියකට අයිතිත් නෑ...එයාට එයාගෙ කියල කිසිම කෙනෙකුත් නෑ....නමුත් එයා තමයි මගේ තේරීම....එච්චරයි " උදාර අසුනෙන් නැගී සිටියේය....
.
" උඹට ආයෙ එක වතාවක් ඔය තීරණේ වෙනස් කරන්න මම අවස්ථාවක් දෙනව...හෙට වෙද්දි තීරණය වෙනස් කරන් ඉන්නව ..මම බලාගන්නම් නැත්නම්...." අක්කා දොරද මහ හඬින් වසා ගෙන පිටව ගියාය....

.උදාර සුසුමක් හෙලා කාමරයට වැදුණේය.....මේ සටන ඇරඹීමක් පමණි....එහෙත් දැන් ආපසු හැරීමක් නැත....මේ සම්බන්ධයෙන් අක්කාට කල හැකි දෙයක් ද නැත....
.කෙසේ වතුදු ඉක්මනින් සඳමිණි හා විවාහය ගැන කතාබස් කල යුතු යැයි උදාර කල්පනා කලේය.....