Showing posts with label travel notes. Show all posts
Showing posts with label travel notes. Show all posts

Sunday, December 1, 2019

118. ලෝකයේ සතුටින්ම වෙසෙන මිනිසුන් අතර සැරිසැරීමි (අවසන් කොටස)

භූතාන ගමනින් මා දුටු සහ උගත් වටිනාම දේ කුමක්දැයි ඔබ ඇසුවහොත් මම කියන්නේ සතුටින් ජීවත් වීම යන්නය....එම ගතකල දින කිහිපය මා වෙනස්ම අයෙක් කල බවත් මම විශ්වාස කරමි.....
.
භූතානය ඔවුන් විසින්ම ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් ඉන්නා රට ලෙස නම් කර ඇත ....
Country of gross national happiness ...

රටක දියුණුව මිනිසුන්ගේ සතුට වැනි ගුණාත්මක සාධකයකින් මැනීම කෙතෙක් අසීරුදැයි මම මෙය ඇසූ මුල්ම අවස්ථාවේ සිතුවෙමි.....එහෙත් එය තරම් රටකට වටිනා වෙන අන් යමක් වේදැයි මම යළිදු සිතමි.....
.
සියල්ල අත හැරීම සතුට යැයි බොහෝ අය කියනු අප අසා ඇත්තෙමු....එහෙත්....සතුට යනු තමන්හට ඇති ප්‍රමාණයෙන් සැහීමට පත්වීමේ හැකියාවයි....එය තනි තනි පුද්ගලයන් වශයෙන් කල හැකි දෙයක් නොවේ....
.
භූතානය සංවර්ධිත රටක් නොවේ...නමුත් මිනිසුන් අතර එකා මත එකා අභිබවා යන අමනෝඥ ගති මා කිසිවිට දුටුවේ නැත.. කෙනෙකු සරල වන තරමට ජීවිතය සැහැල්ලුය...එය තමන් තුලින් පමණක් ඇතිවිය යුත්තක් නොවේ....භූතාන වැසියන් අතර තරඟකාරී බව මා දැක්කේ ඉතාම අඩුවෙනි...ඔවුන් කෙනෙක් හට උදව් කරන්නට නොපැකිලව ඉදිරිපත් වෙති...එමෙන්ම සිනාමුසුව කාලය ගත කරති....
.
ඇඳුම් පැලඳුම් ගත්තද භූතාන වැසියන්ගේ ඇත්තේ සීමිත තෝරාගැනීම් කිහිපයකි....කාන්තාවන් දිගු රෙද්දක් ද කබායක් ද අඳින අතර පිරිමින් දණට පමණක් ඇති කබායක් වැනි ඇඳුමක් අඳිනු දැක්කෙමි....රෙදි වර්ගයේ විවිධත්වය ගැන අවබෝධයක් මට නැතත්....එය මා දුටුවේ භූතාන රජතුමාගේ බිසව අප හමුවීමට ආ මොහොතේ ඇයද ......පාර අතුගාන කම්කරු කාන්තාවද....ඇන්දේ එකම රටාවේ ඇඳුමය......


.
පෞද්ගලික වේවා රජයේ වේවා ඕනෑම වෘත්තීයක් කරන්නෙක් නම් ඉහත කී ඇඳුම නිල වශයෙන් ඇඳීම අනිවාර්යයෙන් කල යුතුය..
.
භූතානය සංචාරක ආකර්ශණයට කෙතෙක් ලක්වුවද...ඔවුන් සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඒ සා උනන්දුවක් දක්වන බවක් නොපෙනෙයි... එයට ප්‍රධාන ම හේතුවක් ලෙස මා දුටුවේ...ඔවුන් විදේශිකයන් වෙතින් තම රටට සහ පරිසරයට වන හානිය ගැන බියවීමය...
.
කෙටිකාලීන හෝ දිගුකාලීන සංවර්ධනය හෝ ධන ලාභයන්ට වඩා ඔවුහු සිය රටේ පරිසරය හා ජනජීවිතයට ඇලුම් කරති..සංවර්ධනය යනු ලෝකයේම දියුණුව මනින නිර්නායකයක් වෙත්දී...ඔවුහු සතුටින් සිටීම ඔවුන්ගේ දියුණුවෙහි ප්‍රධාන මිම්ම ලෙස සලකති.....
.
ආපසු හැරී බලන විට.....ඔවුන් කෙතෙක් නිවැරදිදැයි මට සිතේ .....

භූතානයේ පුහුණු කාල සීමාව තුළ අපට රට තොට බලන්න ඇවිදින්න ලැබුණෙ එක් දිනයක් පමණයි...

පුහුණුව පැවති කාලයේ උදෑසන 8- හවස 5 තෙක් එය පැවතුණ නිසා රාත්‍රියේ මඳක් අවටට ගියත් අධික සීතලත් සමග ඇවිදීම ටිකක් අසීරු වුණා....

ඇවිදින්නට ලැබුණ දිනයේ ඇවිදපු තැන් ගැන කෙටි සටහනක් ලියන්නයි මම මේ සැරසෙන්නෙ...

භූතානයේ පොදු ප්‍රවාහන සේවා අඩුයි...දුම් රිය සේවයක් නැහැ...බොහොමයක් දෙනෙක්ට වාහනයක් තියනවා...ඒ වගේම ඔවුන් පයින් ඇවිදීමත් බහුලව කරනවා...ටැක්සි රථ හැරෙන්න ත්‍රී රෝද රථ නම් ඇත්තෙම නෑ....වාසනාවකට...නැත්නම් රිය අනතුරු බහුල වෙන්නට ඕන තරම් ඉඩ කඩ තියනව...

අපි කීප දෙනෙක් එක් වෙලා කුලී රථයක් ගෙන ඇවිදින්නට ගියා... භූතානයේ බහුලව ම තියෙන්නෙ ආශ්‍රම සහ පන්සල්...

මුලින්ම අපි Buddha Point නම් වූ ස්ථානයට ගියා...විශාල කන්දක් මුදුණේ පවතින රන් ආලේපිත විශාලම බුදු පිළිමයක්...ඒ අසලටම වාහනයෙන් යෑමට පහසුව ඇති නිසා ගමන අසීරු වුණේ නැහැ ...බොහොමයක් භූතාන සහ ඉන්දියානු වැසියන් මෙහි වන්දනාමාන කරනු පිණිස පැමිණෙනවා...


ඒ ස්ථානය කන්ද මුදුනේ ලොකු ඉඩක පිහිටා තියනවා...එය විශාල වේදිකාවක් බඳුයි...බොහොමයක් දෙනා එහි විවේකයෙන් සතුටෙන් කාලය ගත කරනු දකින්නට ලැබෙනවා...

ඈත කඳු වල්ලල සහ පහළින් පෙනෙන සුන්දර නගර දසුන් දිහා දවසක් වුණත් බලන් ඉන්නට පුළුවන්.... (සේයාරූ එක් කර ඇත..)


දෙවනුව අපි ගියා කාන්තා ආශ්‍රමයකට...ඇත්තෙන්ම ඒ භික්ෂුණීන් ද එහෙමත් නැත්නම් බුදු දහම අනුගමනය කරන්නා වූ පූජකවරියන් ද කියා මම දන්නේ නෑ...එය අපේ රියදුරු මහතා හැඳින්වූයේ nun's monastery කියල...

එතනත් අර කලින් ලිපියක මා කියූ කැරකෙන ආකෘති සහිත තාප්පයක් තිබුණා...ආශ්‍රමය තුළ සේයා රූ ගන්නට අවසර නොමැති නිසා එහි සේයාරූ නම් නැහැ..නමුත් ආශ්‍රමය තුල ඇති වන්දනාමාන කරන ස්ථානය වෙත ගියාම අපේ බුදු කුටියක ඇති නිවුණු බව එහි මා දුටුවෙ නැහැ...එම පිළිමය ඇත්තෙන්ම අපි දකින ඒවාට වඩා ටිකක් සැර පෙනුමක් ඇති රැවුල වැවූ කෙනෙක් ගේ එකක්....

ඒ කෙසේ වතුදු ආශ්‍රමය පුරා සියවස් ගණනකට පෙර ඇඳි සිතුවම් බිත්ති පුරා තිබුණා...ඒවා සංරක්ෂණය වෙමින් පවතින ඒවා....

කඳුයායවල් අතරේ ඉහල ඉසව් වල ඇති විවිධාකාර ගොඩනැගිලි විවිධ ආශ්‍රමයන් බව දැනගන්න ලැබුණා....අපේ වගේම ෂඩ් වර්ණ කොඩි වැල් වනාන්තර පුරා ඒ ආශ්‍රමයන්ට යන මාවත් වල එල්ලා තිබුණා.....
.
Once in life time destination එකක් ලෙස හඳුන්වන tigers nest (paro tuktsang) බලන්න යන්න නම් කාල වේලාවක් තිබුණේ නෑ...එය පාරෝ සිට තවත් බොහෝ දුරකට කඳු ශිඛර ඔස්සේ යායුතු ගමනක්...පැය හත අටක් පාරෝ සිට ඇවිදින්න අපට වේලාව තිබුණේ නෑ....

බොහෝ පන්සල් සහ ආශ්‍රමයන් පැවතුණේ ලඟා වීමේ භෞතික අසීරුතා ඇති පරිසරවල...මගේ යෙහෙළිය රෝද පුටුවක් භාවිත කල නිසා අපි සමහර ස්ථාන වලදී දුරින් සිට ඒවා නරඹා යළි පැමිණිය....
.
පාරෝ නදිය ට එක් පසකින් අප යන මාවත දිවෙද්දී අනෙක් පසින් වූ විශේෂ ආශ්‍රමයක සේයා රූ මම එක් කර ඇති....එය යකඩ වැඩ කල එක් පූජකවරයෙකු විසින් තැනූ එකක් යැයි අපේ රියදුරු මහතා කීවා....ඒ යතිවරයා විසින් යකඩ වැඩ කර ගඟ හරහා යකඩින් තැනූ එල්ලෙන පාලමක් ද තනවා තිබෙනව....එය අදටත් ජීවමානයි....එහි සේයාරුවක් නම් මට ගන්නට ලැබුණේ නැහැ....




.

භූතාන ගමනේදි අපි ගිය තවත් අපූරු කෞතුකාගාර දෙකක් තිබුණා....ඒවා තමයි simply Bhutan සහ folk museum කියන ස්ථාන දෙක...
.
මුලින්ම අපි simply bhutan ගියේ....එතන මුලින්ම අපිට එම ස්ථානය ගැන හැඳින්වීම ලැබුණ....භූතාන වැසියන් එඬේර යුගයේ සිට ක්‍රමයෙන් ජීවන රටාව ගොවි යුගය තෙක් ආ විදිය එහි අපූරුවට පැහැදිලි කරදෙනවා ....
.
ඒ වගේම ආරම්භයේදීම සහල් වලින් පෙරන ලද වයින් ටිකක් බොන්නට ලැබෙනව ....ඒ පානය බොන ආකාරයත් ඔවුන් කියා දෙනව....දකුණු අතේ හතර වැනි ඇඟිල්ලෙන් වට තුනක් පානය කලත්තලා අහසට බිඳක් ඉසින්න ඕන...ඉන් පසු එය පානය කිරීමෙන් ආශීර්වාදයන් ලැබෙන බව....
.

ගොඩනැගිලි තුළට ඇතුල් වන්නට උසැති පඩියක් වගේම නූස් දොරක් තැබීම ඔවුන්ගෙ සිරිත...එයින් ගම්‍ය වන්නේ නිවැසියන්ට ආචාර , ගරු කරමින් ඇතුල් වීම.........
.
අපේ වගේම කුරහන් ගල් ධාන්‍ය ඇඹරීමට එහි තිබුණා....පවනේ වේලෙන ඉරිඟු, මිරිස්, කොල වර්ග..මස් ....සංකේතාත්මකව දකින්නට ලැබුණා...ඔවුන්ගේ මුලුතැන් ගෙයක ආකෘතීන්ද එහි සකසා තිබුණා.....

.
මෙහි එක් තැනක මෂ්තිෂ්ක ආඝාතයෙන් පෙළෙන තරුණයෙක් කැටයම් කපමින් ඉන්නව ..ඔහු මාංශ පේශි තානය අධික නිසා අත් භාවිතයට නොහැකියාවක් ඇත්තෙක්...නමුත් පා වලින් නියන සහ කටුව අල්ලාගෙන ඔහු මවන කැටයම් විශ්මය ජනකයි....ඒවා වර්ණ ගන්වන්නේද පාද වලින්මයි.....
.

ඉතින් ඔවැනි බොහොමයක් අපූරු දේ දැක බලා ගනිමින් අපි එතැනින් ඉවතට ආවා.
.. පසුව අපි folk museum වෙත ගියා....
.
එහි පරිසරය හරිම නිස්කලංක අලංකාර එකක් ...ඔන්න ඔය තැනක බෙරිහන් දෙන රෑහියෙක් බඳු සතෙක් මම මගේ වෝලයේ වීඩියෝවත් දමා ඇති......
ඒ වගේම සුන්දර ලයිකන...
.
Folk museum හි ඇත්තේ තට්ටු තුනක සාම්ප්‍රදායික නිවසක්....එය අතීතයේ සිටම භූතාන වැසියන් ගේ නිවසක ආකෘතිය ....
.
ප්‍රධාන ලෙසම දැවයෙන් නිමවූ මේ ගෘහයන් හරිම සවිමත්...
එහි සේයාරූ ගැනීම තහනම් නිසා පිටින් පමණයි අරගත්තේ....


.
පහළම තට්ටුව ගවයන් ආදී සතුන් ඉන්නා ගාලක් , දෙවන තට්ටුව උයන පිහන කෑම ගන්නා සහ නිදියන ප්‍රදෙශය, ඉහලම තට්ටුව වන්දනා මාන කරන සහ ආයුධ ආයිත්තම් තබන ස්ථා නය ලෙස....
.
මෙහි පුරාතණයේ පටන් භාවිත වූ ඇඳුම්, ආයුධ, ගෘහ උපකරණ දකින්නට ලැබුණා....ඇත්තෙන්ම සංස්කෘතිකව ඉතාම වටිනා ලෙස එය දිස් වෙන්නෙ...
.
මෙම සවාරියේදි මා දුටු තවත් දෙයක් තමයි ඔවුන් ශිව ලිංගය හා සමාන වම වන්දනා මාන කරන අනුරු තිබීම....එය ඔවුන්ගේ පුරා වෘත්තයකට සම්බන්ධ දෙයක් ....සෆලතාවය අඩු අයට මෙම ලිංගාකෘතිය වන්දනා මාන කිරීම මගින් දරුපල ලැබෙනවා යයි ඔවුන් විශ්වාස කරනව.....
.

භූතානය සංචාරක කර්මාන්තය ට ඒ සා පෙළඹවීමක් නොකලත් ඔවුන්ගේ විචිත්‍ර ආභරණ ආදිය හරිම සුන්දරයි...මාල වලලු ආදිය ඔවුන් ගේ ඇඳුම් වලට ගැලපෙන අන්දමින් විචිත්‍ර ව දකින්නට ලැබුණා.... මිල නම් තරමක් වැඩියි ....
.
ඉතින් අහඹු ලෙස ගොඩ වැදුණ කඩසාප්පු වල අය ශ්‍රී ලංකා යන නමට ඉතා කැමති බවක් දැක්වූවා...එක් වෙලඳසල් හිමියෙක් ගෙ දරුවන් දෙදෙනාම ලංකාවේ ඉගන ගන්නා වෛද්‍ය සිසුන්...
භූතානය විශ්ව විද්‍යාල වලින් සමන්විත වුණත්....වෛද්‍ය විද්‍යාලයක් නැහැ ඔවුන් ඒ සඳහා ලංකාවට සහ ඉන්දියාවට සිසුන් යවනවා....
.
අපි ආපසු එන දිනයේ අපිට භූතාන බලකොටුව නැරඹීමට දුර සිටන් අවස්ථාව ලැබුණා ....එය ඉතාම සුන්දර තැනක් .... ඒ වගේම පාර අසල නැවතී මා දකින්නට ආසා කල පාරෝ නදිය ත් බලන්නට පොඩි ඉඩක් ලැබුණා .....


.
කෙසේ වතුදු ජීවිතය ට අපූරු අත්දැකීමක් එක්කල...අදටත් මතක් කරමින් සතුටින් ස්මරණය කල හැකි ඒ දින කීපයට මං හරිම ආදරෙයි....
.
මගේ පුහුණුව සහ ඒ ලැබූ සුදුසුකම සහ ඊට පාදක වන වටපිටාව ගැන පසුව දවසක සටහනක් තබන්නම්.....
.
ලෝකයේ සතුටින්ම වසන මිනිසුන් හමුවට මම යනකොට මම තවත් එක් ප්‍රාණියෙක් පමණක්ම වෙන්න ඇති ....ඒත් ඒ දින කීපයට පසු මම ආවේ ජීවිතය අලුතින්ම දකිමින් ...සතුට කියන දේ ජීවිතයට එක් කරගන්නේ කෙසේද යන්න මිනිසුන් විදියට අපි දැකිය යුතු අන්දම වෙනස් වෙන්න අවශ්‍යයි .....මම සිතන්නේ එහෙම ...
.
ගහට කොළට සතාට සීපාවාට ....සමස්ත ලෝකයටම ආදරය කරන්න....මිනිසුන් ඔබට කල කී දෑ ගැන විස්සෝප වෙමින් හිත දූෂ්‍ය කරගැනීමෙන් වලකින්න....ඔබ වටේට ලස්සනම ලස්සන ලෝකයක් තියනවා .....
ලද පමණින් තුටු වෙන්න....කොයි කොහොම දේ තිබුණත් අපි අවුරුදු කීයද තව ජීවත් වෙන්නෙ ...අන්න ඒ කෙටිම කාලය....සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න .....

ආදරය සහ ජීවිතය විඳින්න.....ලෝබ නැතුව ආදරය පුදන්න ...ආපිට කිසිවක්ම අපේක්ෂා නොකරම සතුටින් ඉන්න.....ඒක තමයි gross happiness කියන සංකල්පය........තුළ මා දැක්කේ ....
.
ඉතින් මා එක්ක භූතානය පුරා සැරිසැරූ ඔබට නොවක් තුති......

Sunday, November 24, 2019

117. ලෝකයේ සතුටින් ම වෙසෙන මිනිසුන් අතර සැරිසැරීමි..... (01කොටස )







පසු ගිය මාසයේ අවසාන භාගයේ භූතානය වෙත පුහුණුවක් සඳහා යන්නට මට අවස්ථාව ලැබුණා...
.
ජීවිතේ සමහරක් අවස්ථාවන් ලැබෙන්නෙ අහම්බයෙන්...මේකත් එහෙම දෙයක්...බෑ බෑ කියලා පසුගාමී වෙන හිත සහෝදර නිලධාරියෙක්ගේ බලකිරීම සහ උනන්දු කරවීම මත අයදුම්පතක් යැවීමෙන් මේ පුහුණුවට මාව ත් තෝරගන්නට හේතු වුණා....
.
ඒ ගමනෙදි ගත් සේයාරූ එක්ක කිහිප දෙනෙක් භූතානය ගැන ලියන්න කියලා මගෙන් ඉල්ලා සිටියා.....
.
වැඩ අතරේ ටික ටික ලියන්නේ මේ ඒ අත්දැකීම් ගොන්න.....කොටස් වශයෙන්....හරිම කිලෝමීටර් සහ පැය වලින් ගණනය කිරීම් නම් කරන්න බෑ ගමන් මග සහ අත්දැකීම්...මතකයේ රැඳුණ ඒවා ලියන්නම්.....
.
භූතානයට අපි ගියේ ඔක්තෝබර් 29....දීර්ඝ පියාසැරියක්....පැය තුනකින් බැංකොක් ...ඉන් පසු එතැන පැය හත අටක්....ආයෙම පැය තුනක ගමනක්.....
.
භූතාන් ගුවන් යානා හඳුන් වන්නෙ druk air කියලා....ඒවා සාමාන්‍යයෙන් හුඟක් ලොකු ගුවන් යානා නොවෙයි....එහෙම නොවෙන්න හේතු කීපයක් තියනවා...
.
එකක් ....විශාල යානා ගොඩබස්වන්න තරම් ලොකු ගුවන් තොටුපලක් එහි නෑ....අනෙක කඳු යායකින් වටවුණ ලෝකයේ තියන එක් අසීරුම ගොඩ බස්වන ගුවන් තොටුපලක් ඒක.....අසා දැනගත් තොරතුරු අනුව නම් ඒ සඳහා පළපුරුදු ගුවන් නියමුවන් ඉන්නෙත් කීප දෙනෙක්ලු....



අනෙක භූතානය සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඒ තරම් ලෝකයේ අවධානය නොගන්නා රටක්...ඔවුන් තමන්ගේ සරල සුන්දර ජීවන රටාව සංචාරක ව්‍යාපාරය නිසා බිඳගන්න මැලි බවක් තමයි කතාබහෙන් හැඟුණෙ....
.
යම් යම් සීමාකාරී සාධක නිසා සංචාරකයන් එම රටට එනවා බොහොම අඩුයි....එන තරමක් දුටුවේ ඉන්දියානු අය...ඔවුන් ට වීසා නොමැතිව එම දේශ සීමා හරහා භූතානයට පැමිණෙන්න පුලුවන් ....
.
ඉතින් පාරෝ ගුවන් තොටුපලට යානා එන්නෙ අන්න ඒ සීමාවන් යටතේ...
.
අපි ඇතුලු ගුවන් යානයේ ආ මගීන් පාරෝ ගුවන් තොටුපලෙන් එලියට ආවේ එදා දවසේ හවස පහමාරට පමණ....ඉතින් අපේ ආගමනයට පසු ගුවන් තොටුපලේ කවුන්ටර පවා එදා දවසේ රාජකාරි හමාර කලා...



.
පාරෝ ගුවන් තොටුපල සුන්දර තැනක්....ඈත කඳුවලලු දිහා නොනිමි ආසාවකින් ඇස් පිය නොහෙලා බලා ඉන්න හැකි තරම්...නමුත් ඉදිකටු තුඩෙන් අනින සීතල එක්ක එලිමහනේ ඉන්න නම් බොහොම අසිරුයි....
.
පාරෝ ගුවන් තොටුපල හරිම සුන්දරයි .. පසුව මා භූතානය පුරාම දුටු සමහරක් සුන්දර ගෘහ නිර්මාණ ශිල්පය එහි සිතුවම් වලත් තිබුණා....
.
මේ සමග එහි සේයා රූ ටිකක් ඇති.....






.
ඉතින් පාරෝ ගුවන් තොටුපලින් පිටතට ආ අපි පැය එකහමාරක ගමනක යෙදෙන්න සූදානම් තිම්පු බලා.....රෑ බෝ වෙලා...අඳුරුයි....කඳු මතින් දිවෙන පාරක....අපි රැගත් වෑන් රථය ගමන් කරනවා.....

පාරෝ ගුවන් තොටුපල ඉඳල තිම්පු අපේ නවාතැන් සහ පුහුණු මධ්‍යස්ථාන වෙත පැය එකහමාරක පමණ ගමනක් .....කිලෝ මීටර් වලින් කියන්න නම් තේරුමක් ආවෙම නෑ....
.
හවස හය විතර වෙද්දි පිටත් වූ ගමන....පාරෝ නිම්නය අසලින් වැටෙන මාවත දිගේ.....පාරෝ නිම්නය හරහා පාරෝ නදිය ගලා යනව....නොගැඹුරු එහෙත් දිය රැළිති නගන සුන්දර ම ගඟක්.....



.
මඳකට ඒ දිය දහර වෙත දුවන්නට ඇත්නම් .....හිතට ආ වචන මුවෙන් පැන්නේ මටම නොදැනුවත්ව....
.
ඕක අයිස් වගෙ ඇති....බැහැල ගල් උනාම අපිට සවලක් අරන් එන්න වෙයි..... ඔන්න ගමන් සගයො ඒ බලාපොරොත්තුව බිඳලම දැම්ම.....
.
ඇස් අයාගෙන අඳුර වැටෙනකල්ම ගඟ දිහා බලාගෙන ගමන ගියා අපි...අප රැගෙන යන්නට ආ වාහනය....භූතාන පැරා ඔලිම්පික් කමිටුවේ එකක්....ඇත්තෙන්ම අපේ රටේ වාහනයකට වඩා ඒක wheel chair accessible .....ප්‍රවේශ පහසුකම් අතින් එය නවීන එකක්......
.
මුලු ගමන් මගම අඳුරෙන් ගිලෙද්දි බොහෝ තැන් වල ඉදිරියට එන වාහනය පවා කඳුකර මාවත් වල නොපෙනෙන තරම්....මාවත දෙපසට විදුළි ආලෝකයත් සපයලා නෑ....
.
තැන් තැන් වල පොඩි පොඩි වෙලඳසල වල් පසු වෙනවා....රියදුරු මහතා රට ගැන, භූතාන් රජ පවුල, ඒ වගේම රටවැසියන් සහ පාලන තන්ත්‍රය ගැන, මිනිසුන් සහ අධ්‍යාපනය ගැන හුඟක් දේ කියමින් වාහනය පැදෙව්වා....
.
භූතානයේ අධ්‍යාපන රටාව ගැන විශේෂම කාරණා හොයාගන්න අපහසු වුණත්...කුඩා දරුවන්ගේ සිට අධ්‍යාපනය ට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය බව දැනගත්තා .....බහුතරයක් අය ඉංග්‍රිසි බසින් චතුරව කතා කරන අය....

පාරෝ නිම්නය කියන්නෙ භූතානයේ කෘෂිකර්මාන්තය සම්බන්ධ මිටියාවත. වී ගොවිතැන් කරන ඒ බිම් කඩවල් හෙල්මලු ක්‍රමයට සකස් කරල තියනව හරි අපූරු ආකාරයට ...මේ අපි ගියෙ අස්වනු නෙලන සමයේ.....ලංකාවෙ වගේ යන්ත්‍ර වලින් ගොයම් කැපීමක් නම් දුටුවෙ නෑ...මුලු යායවල් ඔක්කොම මිනිස් ශ්‍රමයෙන් ක්‍රියා කරන්නෙ.....
.

රියැදුරු තුමා ප්‍රකාශ කල අන්දමට භූතාන් වැසියන් එලවලු පලතුරු වගා කරනව වී ගොවිතැනට අමතරව ...ඒක අපි සියැසින් දුටුවෙ භූතාන මාකට් එකට ගිය වෙලාවෙ....අලුත්ම අලුත් බ්‍රොකොලි, තක්කාලි,කැරට් ආදී අලුත්ම එලවලු.....සහ පළතුරු ....
.
ඒ වගේම යැක් ගවයාගෙන් ලබා ගන්නා කිරි වලින් හදන චීස්....home made cheese.....ඔවුන් ට ආවේණික භූතාන් ආහාර බොහොමයක් හැදුණේ චීස් එක් කරලා....කඳුකර කලු හතු වර්ගයක්....මාලු මිරිස් වගේ දිග ඒත් බෙල්පෙපර් වගේ සැර අඩු මිරිස් වර්ගයක්.....සීමිත භූතාන් ආහාර වර්ග අතර තිබුණා...සලාද වර්ග අනිවාර්යයෙන් කෑමට තිබුනා.....
.
පාරෝ නිම්නය අසල ගමන් මාර්ගය සැතපුම් ගාණක් යනකල්ම එකම විදියට මහා කඳු අතරින්....ගලා යන්නෙ.....ඒ ගමන මගකදි අනෙක් පසින් එන තිම්පු නදියත් එයට එක් වෙනව.....ඒ හරිම සුන්දර දසුනක්....
.
භූතානය බෞද්ධ රටක්...කඳු යායවල් අතරේ ආශ්‍රමයන් බොහොමයක් තියනවා රියැදුරු මහතා අපිට පෙන්වූවා....



.

තිම්පු නගරයට ලඟා වෙද්දි රෑ බෝ වෙලා...එළියට බහින කොට ඇඟට දැනෙන්නෙ ඉදිකටු තුඩෙන් අනින සීතල....
.
අපි නවාතැන් ලැබුවෙ තිම්පු නගරයේ ඇති hotel druk හි...එය තරු හතරෙ හෝටලයක්....සත්කාරක සේවය අතින් ඉතාම ඉහළයි..ඒ වගේම රෝද පුටු ප්‍රවේශය ට පහසුයි....නේපාල කණ්ඩායමත් උන්නේ අපි සමග...ඔවුන් සියල්ලන්ම රෝද පුටු වල පැමිණි අය.....
.
ඉතින් රාත්‍රී ආහරයට පසු නින්දකට වැටුණේ පසු දා උදයෙම පුහුණුවට යායුතු හෙයින්...
.
මම මේ සටහනට මගේ පුහුණුව ගැන අවසාන කරන කොටසෙදි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ...ඒ නිසා මේ මුල් කොටස් වල භූතානය සහ එහි ජනකොටස්, ආශ්‍රම සහ දැකපු දේවල් ගැන ලියන්නම්....ඔබට අවශ්‍යත් ඒ දේ බව දන්නා නිසාම...
.
පසුදා උදේ පාතරාසය රැගෙන එළියට බැස්සාම මගෙ ඇස් ගැටුණෙ.....ලොකුම ලොකු රෝසමල් යායක්....සීතල අමතක කරල ඉක්මනින් සේයා රූ ටිකක් ගත්තා....තිම්පු නගරය වටා තියෙන්නෙත් මහා කඳු පන්තියක්....ඒ කඳු සිරස වල දකින්නට ලැබෙන්නෙ වලාකුල් සලු පෙරවුණ සුදෝසුදක්.....
.



තිම්පු ගෘහ නිර්මාණ ශිල්පය හරිම විචිත්‍රයි....ගොඩක් ම සිතු කැටයම් බහුල ගොඩනැගිලි.....හැකි හැම විටම සේයාරූ එකතු කරගත්තා ඒ දේවල් වල....



.
හෝටලය ඉදිරිපස ඇති අපූරු නිර්මාණයක් දුටුවා....එය කුඩා වහලකින් යුත් නිර්මාණයක් ....ඒ තුළ කැරකැවිය හැකි සිලින්ඩරාකාර ව්‍යුහයන් තියනව....හුඟක් දෙනා මුමුණමින් ඒ සිලින්ඩර කරකවමින් ඒ වටා යනවා...මම ඒ සිලින්ඩර නැවත ආශ්‍රමයකදීත් දුටුවා....අසා දැනගත් පරිදි එය ආගමික ආශීර්වාදයන් ලබන එක් ක්‍රමයක්....සමහර විට අපි උදේට තෙරුවන් නැමදල ගමනක් යනවා වගෙ වෙන්න පුලුවන් .....
.
තිම්පු නගරයේ බොහොමයක් ගොඩනැගිලි තවමත් පැරණි සම්ප්‍රදාය අනුවයි ගොඩ නැගෙන්නෙ....ඒ වගේම ඔවුන් විශාල දැව භාවිතයක් මේ සඳහා භාවිත කරනව....ඒක ගැටලුවක් වුණා හිතට...මේ තරම් දැව භාවිතයක්...පරිසර හිතකාමී කියන රටක...
.



නමුත් ඔවුන් ඒ භාවිතය , පරිභෝජනය අභිබවා යන වන වගාවක් කරනවා.....එයයි විසඳුම....ලෝකයේ ඔක්සිජන් භාවිතය ට ලොකුම දායකත්වයක් මෙම රටෙනුත් සැපයෙනවා...ඒ වගේම ඔවුන් කියන අන්දමට ඔවුන්ගේ කාබන් ඩයොක්සයිඩ් මුදාහැරීම සෘන මට්ටමකයි පවතින්නෙ......කොච්චර නම් වාසනාවන්ත රටක්ද.......
.
තිම්පු සහ බොහෝ නගර වල ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙ බෞද්ධ ආශ්‍රමයන්...එහි පරිසර තත්වය ගත්තාම කඳුකර නිසා ලඟා වීමේ ගැටලු බොහොමයක් තිබුණත් ....හැකි කීප ස්ථානයකට යන්නට හැකි උනා...ඒ චෛත්‍ය සහ පිළිම ආදිය අපේ රටට වඩා වෙනස් විචිත්‍ර බවක් ගත්තා...නමුත් ඇත්තෙන්ම බොහෝ ස්ථාන ඇස පිනවන පරිසරය සමග අලංකාරම දසුන්....
.


ඊලඟ කොටසින් හමුවෙමු