Saturday, April 27, 2019

110. Psychological First Aid (2)

Psychological First Aid (PFA)
දෙවනි කොටස

PFA ක්‍රම වේදයෙහිදී වඩාම කායික සහ / හෝ මානසිකව හානිදායක තත්වයට පත්වුණ පුද්ගලයාට මූලිකත්වය දීමක් සිදුවෙන්න ඕන...ඒ කියන්නෙ වැඩිම අවදානමක ඉන්න අයව හඳුනාගන්න හැකි වෙන්න ඕන.ඒ අතර මානසික ආතතියක් ඉවසා දරා ගන්නට අපහසු අය ගැන ත් අපේ මූලිකත්වය දෙන්න අවශ්‍ය වෙනවා...
.
මෙම PFA ක්‍රමවේදය යම් සිදුවීමක් සිදුවූ වහාම ක්‍රියාත්මක වියයුතු එකක්...නමුත් යම් යම් හේතූන් නිසා අපිට ඒ සිදුවූ සැණින් ඔවුන් වෙත ලඟා වන්නට බැරි වෙන්න පුලුවන් ....නමුත් මාස ගණන් ගතවී නම් PFA,ක්‍රියාත්මක කරල වැඩක් නැතිවෙයි....
.
PFA ක්‍රියාවලිය අදාල පුද්ගලයා ජීවත් වන නිවසේ, සාමාන්‍ය පරිසරයේ, රෝහලේදී හෝ තාවකාලික කඳවුරක දී පවා ඔවුන් වෙත ලබා දෙන්න පුලුවන් .
.
ඔබ ඔබේ මේ සේවය ලබා දෙන්නාගේ පෞද්ගලිකත්වයට වගේම අයිතිවාසිකම් වලට ගරු කල යුතුයි....ඔබගේ මේ මැදිහත් වීම ඔහු/ඇය තව දුරටත් අනතුරට හෙලන්නක් නොවිය යුතු වෙනවා..
.
බොහොමයක් පුද්ගලයන් PFA නමින් නොවුණත් මේ ක්‍රියාවලිය ට මැදිහත් වුවත් එහිදී අදාල ගැටලුවේ සිටින්නාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නේ නැති බව පෙනීයනවා....
.
ඔවුන්ගේ ඡායාරූප ගැනීම සෙල්ෆී ගැනීම හඬපට ගැනීම මෙන්ම අතිශය පෞද්ගලික හැඟීම් තවත් අය වෙත මුදා හැරීම නොකල යුතුම දේවල්...  .
.
PFA හිදී ඔබේ මතවාද සහ අදහස් ඔවුන් තුළට ඇතුල් කිරීමට නොයන්න....සැමවිටම ඔවුන්වෙත ඔබගේ අවංක භාවය සහ විශ්වාසනීයත්වය ලබා දෙන්න...
හොඳ ඇහුම්කන් දෙන්නෙකු වන්න...වාචික සන්නිවේදනයට වඩා ඔබේ අවාචික සන්නිවේදනය  මේ අයට වැදගත්..
අපි මානසිකව ඔවුන්ට සහය වීම අත්‍යාවශ්‍ය ලෙස කල යුතු වෙනවා...emotional support .
.ඇතැම් පුද්ගලයන් මෙහිදී වරද තමා පිට පටවා ගෙන විඳවීම කරනවා ...යම් යම් සිදුවීම් වලදි මම එහෙම කල නිසයි මෙහෙම වුණේ...වගේ අදහස් ඔවුන් වෙතින් දකින්නට හැකි වෙනවා....
.මොවුන් ඉතාම මානසිකවම අනතුරුදායක තත්වයක ඉන්න අය....ඒ අය වෙත ඔබගේ සහය ඉතාම අවශ්‍යයි....
.
ඔබේ අදහස් විමසන මොහොතක අපක්ෂපාතී ව මෙන්ම කලබලකාරී නොවන අයුරින් එම අදහස් ඔවුන් වෙත දෙන්න...
.
ඔවුන්ට වැඩිදුර මානසික සහය අවශ්‍ය නම් නිවැරදි සුදුසුකම් ලද  පුද්ගලයන් වෙත යොමු කරන්න...
කෙනෙක් හට සවන් දීම සහ ඔවුන්ගේ මනස වඩා යහපත් ඉසව් වෙත ක්‍රමානුකූලව යොමු කිරීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා....හරබර ධර්ම සංවාද නම් එපාමයි...ජීවිතේ අනිත්‍ය බව අපි හැමෝම දන්නවා   නමුත් අහිමි වීමක ඉන්න කෙනෙක්ට ඒකපුන පුනා පවසන්න යන්න එපා...
.
බොහොමයක් දෙනෙක් මේ තැතිගැන්ම නිසා නින්ද නොයෑම වැනි තත්ව වල පෙලෙනවා....කොටින්ම කීවොත් මේ තිගැස්ම හෙයින් මම වුණත් ඉන්නේ එහෙම තත්වයක....එහෙත්...අපිට වඩා ඒ අයට මේ තත්වය බලපානවා වැඩියි...
.
ඉස්සරම ජාතික රෝහලේ පුහුණු වෙන යුගයෙදි මුලතිව් සටනෙන් බේරුණ සොල්දාදුවන් මානසික ආතතියට ලක්ව එක් වාට්ටුවක නේවාසිකව උන් කාලය සිහිවෙනවා ...ඒ අවස්ථාවේ දී nightmare ...ඒ කියන්නෙ නින්දෙන් බියවී ඇහැරීම සහ ඉන්පසු නින්ද නොයෑම ප්‍රබල ගැටලුවක් ව තිබුණා....
ඔවුන් වෙත relaxation ක්‍රම කියාදීම යම් ප්‍රමාණයකට සාර්ථක වුණා.....ඒ වගේ පුද්ගලානුබද්ධ ක්‍රම යොදාගන්න  පුලුවන් මෙවන්විටක....
.
මේ සම්බන්ධව වැඩිදුර අවශ්‍ය නම් PFA ගැන WHO guidelines කියවන්න ඔබට පුලුවන් ....
.
අවධාරණය කරන්න ඇත්තේ මෙපමණයි....මානුශිකත්වය උතුරන හදවතක් ඔබට තියේ නම් ...ඒක ඉතාම ප්‍රමාණවත්....ඔබේ අසල්වැසියාට ..මිත්‍රයාට ඔබ අවැසිම මොහොත මේක වෙන්න පුලුවන් ...රෝහලකදි අහම්බෙන් හමුවෙන එවන් සේවාලභියෙක් හට ඔබේ ආදරය සහ කාලය මඳක් දෙන්න....ඔවුන් සොයන්නේ අනුකම්පාව නොවෙයි....සහනයක්....යම් මානසික නිදහසක්...හොඳ ඇහුම්කන් දෙන්නෙක්....
.
මේ එකම අවස්ථාව නොවෙයි...ජීවිතයේ අනේක වාරයක් අහිමිවීම් වගේම දුර්භාග්‍යයන් ට මුහුණ පාන අය අදත් හෙටත් අපිට හමුවෙන්න පුලුවන් ..ඔවුන් වෙනුවෙන් ඔබේ වගකීම සහ යුතුකම ඉටු කරන්න....
.
ස්තුතියි

කිත්මා වාසනා දහනායක

Friday, April 26, 2019

109. Psychological First Aid 01

මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර හෙවත් Psychological First Aid

ලෝකය පුරාම විවිධ අන්දමේ පීඩනයන් මිනිස්සුන්ට ඇති කරන දුර්භාග්‍ය තත්වයන් දිනපතාම ඇතිවෙනව...
.
ජාතිකමය අතින් අපිත් මේ ඉන්නෙ එවන් තත්වයක..අපේම අවට උන්න මිනිසුන් කායිකව ,මානසිකව සහ සමාජීයව අති පීඩනයට ලක් වෙච්ච මොහොතක් මේක...
.
පෞද්ගලිකවම ජීවිත හානි, දේපළ හානි මෙන්ම මෙවැනි දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුණදී ජීවිතය ගැලවුණත් ඒ කම්පනයෙන් සිටින අය මෙවැනි සිද්ධියකදී බහුලවම දකින්න පුලුවන් .
.
පසු ගිය ඉරුදින සිදුවීමේදී පටන් මේ වනතෙක්ම අපි හැම කෙනෙක්ම කුමන හෝ ආකාරයකින් මේ තත්වය හා ඊට පසුව ආ තත්වය මත තවම ඉන්නෙ පීඩනයක..
.
නමුත් සාපේක්ෂව ගත්තාම අපි  සමහරක් දෙනා ඒ අති අවාසනාවන්ත තත්වය ට සෘජුව මුහුණ නොදුන් හේතුවෙන් යම්තාක් දුරට එයින් ඉහිල් වීමක් ඇති අය.
.
මේ වගේ අවස්ථාවක..ඔබට සහ මට ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉතාම වටිනා ක්‍රියාදාමයක් ගැන මේ සටහන ලියවෙන්නෙ....
.
Psychological First Aid...
මනෝ විද්‍යාත්මක ප්‍රථමාධාර
.
මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුගමනය කරන එක් වටිනා ක්‍රියාදාමයක්.....
.

මෙහිදී ඔබ සෞඛ්‍ය වෘත්තිකයෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.ඔබ ඔවුන්ගේ ශාරීරික ,මානසික ගැටලු ගැන වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් සහිත වීම අත්‍යාවශ්‍ය ත් නැහැ.
.
නමුත් ඔවුන්ගේ මූලිකම ගැටලු සහ අවශ්‍යතා හඳුනාගෙන එය ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙනව....
.
මෙම ප්‍රථමාධාර ක්‍රියාවලිය ට සක්‍රිය දායකත්වයක් ඔබට දීමට අවශ්‍ය නම් එය ඔබට ඔබේ අසල්වැසියාගෙන් අරඹන්නට පුලුවන්.
.
ඉතාමත් අවශ්‍ය වන්නේ ඔබ හොඳ සවන්දෙන්නෙක් වීම.නමුත් වින්දිතයාට කිසිම විටෙක තමන්ගේ මානසික පීඩනය වචන වලට හරවන්න යැයි බලකිරිමක් නොකල යුතු වෙනවා....
.
මේ වගේ අවස්ථාවක ඔවුන් සඳහා ඇති සේවාවන්, පහසුකම් සහ තොරතුරු මෙන්ම සමාජීය උපකාරකයන් ගැන ඔවුන්ට නිවැරදි කරුණු සොයාදීම ඉතාම වැදගත්.එමෙන්ම  තව දුරටත් මේ අයට කායික මානසික හානි සිදුවීම් වලක් වන්නත් ඔබට හැකි විය යුතුයි.
.
උදාහරණයක් ලෙස ගත්කල..මානසිකව පීඩනයට පත්වූ මෙම තැනැත්තා ට හෝ තැනැත්තියට තව කෙනෙක්ගේ නොගැලපෙන අදහස් , යෝජනා මතිමතාන්තර දැක්වීමම තව දුරටත් හානි සිදු කිරීමක් වෙනවා......
.
මතක තබා ගන්න ...මේ මනෝ උපදේශනය psychological counselling නම්නොවේ....
.
මෙහිදී මෙම ගැටලුවට පාත්‍රවූ පුද්ගලයාට තමන්ගේ අත්දැකීම විග්‍රහ කරන්නයැයි කීම ම ඉතාම වැරදි කටයුත්තක්...පසු ගිය දා මාධ්‍ය පුන පුනා කලේ අන්න ඒ වරද...යි..
.
කෙනෙක්ට තමන්ගේ මානසික තත්වය පහදන්න ස්ව කැමැත්තෙන් ඉඩ දීමක් විනා බලෙන් අසා තවත් අපහසුතාවයට ලක් කිරීම PFA හිදී සිදුවන්නේ නැහැ....
.
PFA ඕනෑම අයෙක්ට අවශ්‍ය විය හැකි දෙයක්...බාල මහලු කාන්තා පිරිමි ඕනෑම අයෙක්ට එක හා සමනාව වැදගත් වන මෙය ලබාදියයුතු මට්ටම ගැන ඔබ නිසි අවබෝධයකින් සිටිය යුතු වෙනවා.....
.
ඒ ගැන මීලඟ කොටසින් ඉක්මනින් හමුවන්නම්
.
ස්තුතියි

කිත්මා වාසනා දහනායක

Monday, April 22, 2019

108. ආදරණීය මිනිස්සු

පසු ගිය දවස් ටික යනු ජීවිතේ අසීරු ම දවස් ය....දන්නා කියන අය සහ කිසිදාක නොදන්නා අය පවා තමන්ගේම මිනිසුන් යැයි හැඟුණ දවස් ය.....
.
හදිසියේ ඉහ මත මහා බරක් වැටුණා සේ ආ ආරංචිය සමග මීගමු නවලෝක රෝහලට ගියා ද ඉගිල්ලුණාදැයි මටම සිතාගත නොහැක....
.
නමුත් වාහනයෙන් බට මොහොතේ සිට අපූරු මිනිසුන් දුටිමි...ඔවුන් දෙකොට්ටාසයකි...එක් කොටසක් සෞඛ්‍ය වෘත්තිකයන් වන අතර අනෙක් අය සාමාන්‍ය අපි සේම පුරවැසියන් ය....
.
මම සෞඛ්‍ය වෘත්තිකයෙක් වෙමි....එතැන කාර්‍ය භාරය ලෝකයේ කොහේ කොතැන අසීරු ආපදාවකදී ද එකම සේ කැපවෙන බව දන්නා නිසා ඒ ගැන නොලියමි....
.
නමුත් මේ සටහන...මගේ රටේ ආදරණීය මිනිසුන් ගැනය....ඔවුන් ඒ මොහොතේ පාරට බැස්සේ කඩිනම්ම අවශ්‍යතාවයකටය....තමන්ගේ හෝ අනුන්ගේ කාගේ හෝ ලෙඩෙක් වෙනුවෙන්.....මහා මාර්ගය අවහිරතාවයෙන් තොරව වාහන ධාවනය හසුරවන්නට ඒ මිනිසුන් උත්සුක වුන අන්දම අපූරුය....
.
හඬා වැටෙන සියක් ජනතාව අස්වසන්නවුන්‍ ය....රෝද පුටු ට්‍රොලි තල්ලු කරන් දුවන අයය.....ඒ ආදරණීය ම මිනිසුන් ය....
.
කෙටිම කෙටි පණිවුඩයකින් ...ලේ දෙන්නට රොක් වූ මිනිසුන් දැක ඇස් පුරා ආවේ කඳුලුය...එතරම්ම නිහතමානී කැපවීමක්...මිනිසුන් අතරේ එක මොහොතින් පැන නගන අන්දම විශ්මයකි....
.
මගේ පුතා කීවේ විදේශයක අයෙක්ගේ ඉන්ස්ටග්‍රෑම් සටහනක මෙසේ තිබුණා යැයි කියාය....එහි සිංහල අදහස මෙයයි
.
ශ්‍රී ලංකාවේ මිනිසුන් ලේ දීමට පොදි කන ආකාරය දුටු විට මට ලංකාවට ගුවන් යානයෙන් පැමිණීමට සිත් නොදේ....මට සිත් දෙන්නේ ලංකාව වෙත උඩින් පැන වහාම ඒමටය....කියාය.....
.
තුවාලකරුවන් රැගෙන යන්නට මෙන්ම අනෙක් මිනිසුන් අස්වසන්නට කැපවෙන අපේ රටේ මිනිසුන් ඉතාම ආදරණීයයන්‍ ය....
.
එතරම්ම ආදරණීය මිනිසුන් පිරි රටක මෙවන් ඛේදවාචකයක් ඇති වූයේ මන්දැයි මම තවම              සිතාගත නොහැකිව බලා ඉමි.......
.
මිනිසුනේ....මගේ ආදරය ඔබටමයි

විසිරි සිහින

113. ඇවිදින්න යං

අපි ඇවිදින්න යං ද....?
.
ඔන්න හා කියල එන අයටයි මේ නීති මාලාව....
.
නෑ නෑ....නීති කීවම පස්ස ගහන්න කාරි නෑ අනේ.....
.
මේවා simple rules .....
.
මම මේ සරල නීති ටික කියෙව්වෙ රොබින් ශර්මාගෙ පොතක තිබිලා....
Alan Devoe කියන කතුවරයාගෙ how to take a walk කියන සටහනෙන් තමා ඒ පොතට ඒ කරුණු උපුටන් තියෙන්නෙ...ඉතින් ....මම ත් ඒ සටහන කියවලා...මගේ රසකාරක ටිකකුත් ඒකට එක්කාසු කරලම ඇවිදින්න යමු කියනව ඔබට.....
.
පලවෙනිම දේ.....ඇයි මේ අපි ඇවිදින්නෙ කියල හිතන්න එපා.....ඒ කියන්නෙ ඇවිදින්න විශේෂ කාරණාවක් හේතු කරගන්න යන්න එපා....ෆිට්නස් හදාගන්න, බර අඩු කරගන්න, කැලරි දවන්න....ආ ඒවට ඇවිදින ඇවිදිල්ල ගැන නෙවේ මේ මං කියන්නෙ.... කොටින්ම කිව්වොත්....මේක මේ නිකංම නිකං ඇවිදිල්ලක්.....
ඒකෙ වැදගත් කම වෙන්නෙ....අරමුණකට ඇවිදිනවට වඩා ඔබ ලෝකයේ සුන්දරත්වය දකින්න ගන්නව එවිට..පහුගිය දවස් වල පැට්නා යන වෙලාවෙ.....හුඟාක් අය හැල්මෙ දුවන කොට මං කලේ අහල පහල තේ පඳුරු වල මල්, හීන් බෝවිටියා මල්, ගොටුකොළ පඳුරු , අහසෙ වලාකුලු බල බල හෙමින් ගිය එක....මං විතරක් නෙවේ අපේ නඩේම එහම අය.....ඉතින් ඒ ඇවිදිල්ල විඳීමක්....
.
දෙවනි කාරණේ....ඔන්න ඇවිදින්න එනව නම් හිතේ තියන ගැටලු, සංකා, හිත් අවුල් ඔක්කොම මල්ලකට දාල ගැටගහල මුල්ලක තියල එන්න ඕන....ඕවත් උස්සන් කාටද ගමන් යන්න පුලුවන් ..අනික ප්‍රශ්න හිත හිත ගියාම අවට ලස්සන පේන්නෑනෙ....ගෙදර අර මල්ලට දාල එන්න බැරිම එව්වා...හිතේ පතුළටම දාල ගලක් බරතියල අරන් යං...ඕවාට ආයෙ ගමන ඉවර වෙනකල් උඩට එන්න බෑ ....
.
තුන් වෙනි එක තමා තියන අඩියක් ගානෙ සැලකිලිමත් වෙන්න ඕන...හොඳ අවධානෙන් යන්න ඕන...ඇයි...?....ඔය ගස් වල තියනව ඇහැට පේන්නති තරමෙ ලස්සන මල්, එතකොට චූටි චූටි ලස්සන සත්තු...ගස් වල කොළ පවා එකේක හැඩ රටා මවනව ...ඔබ අමුතුම කෙනෙක් කරන්නෙ අන්න ඒ අවධානයෙන් ඇවිදීම....සමහරක් ගස්   වල මල් වල සුවඳ .....නාස් පුඩු පවා.....නැවුම් වෙන්න ගන්නව....
.
ඉතින් මතකද හුඟාක් පොඩි කාලෙ ඔබ ඇවිදින්න ගිය හැටි....දැනුත් අන්න එහෙම ඇවිදින්න යං ...නැවුම් වෙන්න....අලුතින්ම ඇවිදින්න එන්න.....මා එක්ක....
.
විසිරි සිහින           

111. Be cool..

ඕනෑම අයෙක්ට තරහා ගන්නට පුලුවන් ..

නමුත් තරහ ගත යුතුම කෙනා සමග තරහා ගැනීම, තරහා ගත යුතු හරිම මට්ටමට තරහා ගැනීම , එයට උචිතම වේලාවේ තරහ ගැනීම, තරහ ගත යුතු සාධාරණ ම හේතුවට තරහා ගැනීම සහ එයට ගැලපෙන ආකාරයට තරහ ගැනීම......මෙන්න මේක පහසු දෙයක් නොවේ.....
.
මේක කීවේ නම් මං නෙවේ....ඇරිස්ටෝටල්.

අපි එදිනෙදා ජීවිතයේ මුහුණ පාන ආතතීන් සහ පීඩනයන් එක්ක බැලුවාම අපේ සැහැල්ලුව සතුට සහ ඉවසීම ඉතාම සුලු හේතුවකින් පවා බිඳිලා යන්න පුලුවන් ..
.
ඉතාම කාර්‍යබහුල අවිවේකී දවසක නිමාවේදී ඔබ නිවෙස බලා වාහනය පදවන විට....ඔබට ඉදිරියෙන් සෙමින් ගමන් කරන වාහනයේ රියැදුරාව මරන් කන්න හිතෙනව නේද...?
.
කඩිමුඩියේ සුපර්මාකට් එකට දුවල බඩුවක් හොයාගන්න ගියාම ...ඒක හොයාගන්න බැරුව සේල්ස් ළමයෙක්ගෙන් උදව් ඉල්ලුවම ඔන්න එයා වැරදි රාක්කයක් පෙන්වනව....ගත්තු බඩුත් දාල එන්න හිතෙනව නේද හොඳ දෙකක් කියල.....?.
.
ඔය වගේ දහසකුත් එකක් කාරණා නිසා අපි ඉන්නෙ පිපිරෙන්න ඔන්න මෙන්න තත්වයක....හුඟක් වෙලාවට...
.
ගැටලුව තියෙන්නෙ ඔතන නෙවේ....දිනපතාම මේ ආතතීමය ගතිය එන්න ගත්තම හුඟාක් ඇබ්බැහි වීම් වගේ අපි ඉබේම තරහ යෑම අපිට සාමාන්‍ය පුරුද්දක් කරගන්න පෙලඹෙනව....
.
එතකොට ගෙදර අය එක්ක, කාර්‍යාලයෙදි , මග තොටදි...අපේ මේ තරහා ගන්නා සුලු තත්වය නිසා අපේ මානව සම්බන්ධතා ටිකක් හෙලවෙන්න ගන්නව....ඔබ ගැන අනෙක් අය දකින්නෙ කුකුල් කේන්ති කාරයෙක් එයා ...අම්මෝ බෝම්බයක් ...හොස්ස ලඟින් මැස්ස යන්න බෑ එයාගෙ වගෙ අර්ථකථන එක්ක....
.
ඉතින් ඒ වෙලාවට cool person කෙනෙක් වෙන්න උත්සාහ ගන්න ....අමාරුම අවස්ථා වලත් ....අර cool වීමේ ප්‍රයෝජනය ඔබ තරහා ගැනීම නිසා නාස්ති කරන තප්පර, විනාඩි,පැය ඔබට ඉතුරු වීම....
.
වචන කියන්නෙ ඊතල වගේ දෙයක්නෙ....ඒක දුන්නෙන් මුදා හැරියම වගේ තමා මුවින් පිටවුනාම ආයෙ ආපස්සට ඇදගන්න බෑ....අන්න ඒ නිසා මුවෙන් පිටවෙන තනි වචනය පවා ඔබේ දිගු කාලීන මිත්‍රත්වයන් පවා බිඳ දමන බර අවි බව මතක තබා ගන්න....
.
ඔබත් එක්ක ඇවිලෙන්න එන අයෙක් ගෙන් මිදෙන්න අර 1 - 100 ට ගනන් කරන එක සරලම විසඳුමක්...ප්‍රතිචාර දක්වන්නට කලින් වෙලාව ගන්න....ඒක වටිනව ....
.
අර ඉස්සරම කාලෙ උන්න පුරාණ නැණවතුන් ....මෙන්න මෙහෙම දෙයක් කලාලු....
.
වචන භාවිතයට පෙර ඔවුන් බැලුවලු.....ද්වාර තුනක් ගැන...සරලවම කීවොත් ගේට්ටු තුනක් ගැන...
.
පලවෙනි එක තමා මේ කියවෙන්නට යන දේ ඇත්තක්ද කියන එක....අන්න ඒක ඔව් නම් පලවෙනි ගේට්ටුවෙන් එහාට යනව ....දෙවනි ගේට්ටුව තමයි..මේ කියන්න යනදේ අවශ්‍යම එකක්ද යන එක .....ඒකටත් ඔව් නම් තමයි තුන්වෙනි ගේට්ටුවට යන්නෙ....එතනදි අහනව තමන්ගෙන්ම....මේ කියන්න යන දේ කාරුණිකද...යන බව....අන්න ඒකත් ඔව් නම් තමයි ඒ වචනය සඳහා මුව විවර වෙන්නෙ....
.
ඉතින් හිතන්න ඒ සෘෂිවරුන් කෙතරම්ම වාග් සංවරයකින් ඉන්න ඇත්ද කියල....අපි එහෙම නෙවෙයි නේද ..අවංකවම...කියන්න හිතන දේ හිතෙන කොටම කටින් පිටවෙලා කියවලා ඉවර වෙලා තමයි අර ගේට්ටු තුන ගැන හිතන්නෙ....
.
ඉතින් ඔබ ට ලෝකය වෙනුවෙන් එහි මිනිසුන් වෙනුවෙන් ....හුඟාක් දේ කල හැකියි....
.
මේ වකවානුවේ අපි අපේම රට ගැන හිතන වෙලාවක....රූප පෙට්ටිය ගාව ඉඳගත්තාම මට හිතෙන්නෙ ...අපේ රටේ මිනිස්සුන්ගෙ කටවල් වලට නම් ගේට්ටු නොවෙයි ඉබි යතුරු ත් දාල හිතන්න පොළඹවන්න ඕන කියන දේ......
.
ඒ වගේම පසු ගිය දා සිදු වූ යම් යම් දේ ගැන අදහස් දැක්වීමේදීත් ....මේ තත්වය ඕනවටත් වඩා හොඳින් දැක්කා  ......හැකි තාක් දුරට මගේ අතින් තව අයෙක්ට නොරිදවන්න මම වග බලා ගත්තේ ඒ නිසයි....

මිනිසුන්ට හැම විටම ඔවුන් පවත්නා ලෙස පැවතීමට ද...ඔවුන් පැවතිය යුතු අන්දමට පැවතීමටද....ඔවුන්ට සාර්ථක පුද්ගලයන් වීමටද හැකි තාක් උදව් වන්න  .....එයට ඔබේ වචන මහඟු සේවයක් කරාවි....
.

විසිරි සිහින

107. ජීවිතයක අගය

VPN බ්ලොක් කලාට පස්සෙ ඇඳිරි නීතියත් වැටුණාම...මං ඔහේ කල්පනා කර කර උන්නෙ මේ දවස් දෙක මිනිස්සුන්ගෙ ජීවිත වලට කල හදිය....
.
පෙර දවසක හිනාවෙන් සතුටින් ජීවිතේ ගතකල මිනිස්සු අද අඬා වැටෙනව....සමහර අයට අඬන්න වත් සිහියක් නෑ....බෝම්බ පිපිරීමෙන් මොහොතකට පසුව මීගමුවෙ රෝහල සහ නවලෝක රෝහල අසලට ගියාම ....ඒ මිනිස්සුන්ගෙ මුහුණු වල තිබ්බ හිස් බව දැක්කම...මට ආවෙ මහම කම්පනයක්....
.
අඩුම ගානෙ අඬන්නවත් කඳුලක් එන්නෙ නැතිව තුවාලවෙච්ච  අය තුෂ්ණීම්භූත වෙලා....සිහියක් ඇති අය තමන්ගෙම අය වෙනුවෙන් අඬනව....ජීවිතේ කොච්චර අවිනිශ්චිත ද....?
.
තමන්ගේ ආගම ට අදාලව වැදගත් ම දවසෙ දේව මෙහෙයට ගිය සතුටින් උන්න පවුල්....මොහොතකින් විනාස කල බෝම්බයට හිත්පිත් නොතිබුණාට....ගෙන ආ පුද්ගලයාට ඒ එක් හිනාමූණකින් වත් ලතෙත් බවක් ඇතිඋනා නම් කියල මට සිය දහස් වාරයක් හිතුණා.....
.
අම්මලා ට තාත්තලාට දරුවනුත්....දරුවන්ට දෙමව්පියනුත් නැති කල ...එකම අඳුරු දවසක් ඒක....උදේ පටන් ගත් රූපවාහිනී විකාශයන්ගෙ මැරුන සංඛ්‍යාව එකින් එක වැඩිවෙමින් සඳහන් වෙනකොට....හූල්ලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.....
.
ඊට පසු දවස අද මේ ලියන දවස...උදේ කඩ අරින කොටම ටවුන් එකට දුවල අත්‍යාවශ්‍ය බඩු ටික අරන් එන ගමන් පුතාල කීවෙත් ....අම්මේ මිනිස්සුන්ගෙ මූණු හුඟාක් අද වෙනස් නේද කියල....හැමම හැම දෙනම තවකෙක් දිහා සැකෙන් බලන්න හුරු වෙලා...එකිනෙකාට හිනාවෙන අමතක වෙලා....අපි අපිටම ආගන්තුක වෙලා....
.
දෙනෝදාහක් වාහන යන මහ පාරත් හරිම භයංකාර නිහඬබවක....ජීවිතේ ගැන මිනිස්සුන්ට දැනෙන අස්ථාවර භාවය....කොහොම කියල ඉවර කරන්නද.
.
බඩු අරන් ගෙට ගොඩ වෙනකොටම.....මීගමුවෙ වතුරට වස දාල කියල කතාවක් හැම තැනින්ම එන්න ගත්තා...ගිනි පෙනෙල්ලෙන් බැට කෑ කෙනා කණාමැදිරි එලියටත් බයයි....වතුර...මනුස්සයෙක් ගෙ මූලිකම අවශ්‍ය දේ....අනික් පැත්තට වාහනේ අරන් සුපර්මාකට් ගානෙ ගියේ වතුර ගන්න....එතකොටත් පෝලිම වතුර වලට....කේස් දෙකක් උස්සන් ගෙදර ඇවිල්ල ලිඳෙන් මූණ සෝදන්න බැරල් වලට වතුරත් ගත්තා.....පසුව ඒක කටකතාවක් කියල ආරංචි උනා....නමුත් කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි මට්ටමකට අපි ඇවිල්ලා දැන්....
.
මගෙ පුතා හුඟාක් ම වෙලා නිහඬව ඉඳල අහපු එක් දෙයක් ගැන මාත් තාම මේ හිතනවා...
.
අම්මා...මිනිස්සු හැම තිස්සෙම compare කරනවනෙ තමන්ට ඇතිදේ අනුන්ට ඇතිදේ එක්ක....
ඒ හුඟක් වෙලාවට අනේ මට නෑනෙ අරයට තරම් කියලනෙ හිතෙන්නෙ...ඒත් මෙහෙම දේ වුණාම මොකුත් නොවුණ මිනිස්සු තමන් කොච්චර වාසනාවන්ත ද අනෙක් අයට වඩා කියලා හිතනව ඇති නේද......
.
ඇත්තෙන්ම අපි හුඟාක් වාසනාවන්ත ...අවාසනාවන්ත මිනිස්සු....අපේම මිනිස්සු කොටසක් එක්ක දුක කඳුල බෙදාගන්නවත් යන්න බැරි වෙන්න තරම් අද හවස් වෙද්දි පරිසරයත් වෙනස් වෙන්න අරන්......මහා වැස්ස හඬා වැටෙන්නෙ ඒ දුකත් එක්ක.....
.
ජීවිතේ දුකක්.....ඇත්තෙන්ම දුකක්.....

විසිරි

Saturday, April 20, 2019

106. ඔබ පරිසරයේ කොටසක්ද



ඔබ පරිසරයේ කොටසක්ද...?



ඔබ මේ අහන දෙයට සෘජුවම ඔව් කියලා උත්තර දෙන බව මම දන්නවා.නමුත් මඳක් සිතා බලන්න.අපි පරිසරය එක්ක සම්බන්ධ වන්නේ මොන තරම් අඩුවෙන්ද..?.

.ඔව් ..අපි එච්චරකටම කාර්ය බහුල අය....

ඔබ උදේට කුදු මහත් රාජකාරි දහසක් කරලා රැකියාවට යන්නට එලියට බහිනවා..ඔබ ඒ තියන හදිසියට ඔබ පිළිගන්න වගේ සිනාසෙන අලුත පිපුන මලක් දකින්නේ නැහැ...හදිස්සියේ බස් එකෙන් බැහැල ගෙදරට දුවන් එන ඔබව පිළිගන්න සිනාසෙන ගහක් කොලක් මලක් ඔබ දකින්නේ නැහැ...සමහරක් වේලාවට ඔබේ දාහය නිවන්න ඔබ වටේට හමායන සුළඟ ඔබට දැනෙනවා උනාට ඔබ එය විඳින්නේ නැහැ......

ඇත්තෙන්ම අපි පරිසරයෙන් දුරස් අය...

විනෝද ගමනක් ගියාම ...සියලු රාජකාරි වලින් ඔබ දුරස් වෙනවා..ඔබ පරිසරය විඳිනවා...එහි සුන්දරත්වය ඇසින් සිරුරෙන් උකහා ගන්නවා....නමුත් ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේදී එහෙම දෙයක් විඳිනවද....?

උදේම නැගිටින්න...පොඩිම වෙලාවක් ඔබ ඒ සුළඟ විඳින්න...ගහක කොලක සුන්දරත්වය ඇහැට ගන්න....හවස ගෙදර ආවම ...ඇඟපත සෝදාගෙන පොඩ්ඩක් මිදුලට බහින්න...ලෝකය ඉන්නේ ඔබ එනකල්...ගෙදර අයට වගේම පරිසරයටත් ඔබව අවශ්‍යයි....

ඔබ පරිසරය එක්ක ඉන්න හැම වෙලාවේම...ඔබේ පීඩනය අඩු වෙනවා...ඔබේ නිර්මානශිලිබව වැඩිවෙනවා...හිතට එන්නේ සාමකාමී සතුටුදායක හැඟීම්...ඒ වෙලාවට ඔබට ඔබේ වැඩ කටයුතු හසුරවා ගන්න පහසුයි...පෙළගස්වන්න ලේසියි...ඒ වගේම ගැටළු වල දැඩි බව හෙමින් මනසින් ලිහිල් වෙන්න ගන්නවා....ඔබ මනසින් වැඩෙන්නේ මෙන්න මේ වේලාවට....

ඉතින් ඔබ පරිසරයට අනුගත වෙන්න...අද ලෝකය දුවන්නේ තාක්ෂනය එක්ක..අපි පරිසරයෙන් ඈත්වෙන්න වෙන්න අපි නිර්මාණශීලි වෙන්නේ යාන්ත්‍රිකව..

අපි සොබාදහමේ අංශු..ඉතින් දවසට එක විනාඩි දහයක් ඔබ ව නිර්මාණය කල ඒ පරිසරයට ඔබේ සිනහව ලබා දෙන්න.....එය ඔබේ කෘතගුණ දැක්වීම වෙනු ඇති....නිසැකවම.

මම 
විසිරි 

Sunday, April 7, 2019

114. අසන්නෙමි


කියන්න
ඔබට හැකි වේවිද 
කවියක් වෙන්න
කඳුලු නාඳුණන 
මගෙ දෑස් තෙමාලන....
.
කියන්න 
ඔබට හැකිවේවිද
සිනාවක් වෙන්න
බොහෝ කාලයකට පසු
අමතකයි හිනාවුණ 
හැටි මට....
.
කියන්න
ඔබට හැකි වේවිද
සුසුමක් වෙන්න
මේ බරැති හැඟුමන් 
ඈතටම පා කර 
හරින්න...
.
කියන්න
ඔබට හැකි වේවිද
ප්‍රේමය වන්න
රැවටීම් මිස 
සෙනෙහසක් 
නැති ලෝකයක......

විසිරි

105. ආදරය පමණක්......දෙන්න.

ආදරය පමණක්......දෙන්න.

උදේ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට ගොඩ වෙන කොටම සාරියෙ පොටෙන් කවුද අදිනවා.....
මට මතක් වුනෙ

ඔසරි පොටෙන් අදින්නෙපා වලාකුලයි ඉරෙන්නේ....සිංදුව..
ඒත් ...මේ මගේ සාරි පොටෙන් අදින්න එහෙම අය නැති නිසා හැරිලා බැලුවෙ විමසිල්ලෙන්....

අපූරු ඉලන්දාරියෙක්...
ඇස් වලින් ඉඳලම හිනාවෙනවා....
මං ඇහුවා .....ඇයි මොකද කියලා....
සාරි පොට උදුර ගන්න ගමන්.....
මගෙ කටහඬින් තවත් උද්දාමයට පත් වෙච්ච එයා මගෙ වටේ නටන්න ගත්තා ඒ ගමන....
.
ඔව් ..ඔව් ..මේ අපූරු බලු ඉලන්දාරියෙක් ගැන මං කියන්නෙ....
ඇත්තෙන්ම හරි හුරතල්...නමුත් නොදන්නා සතෙක් නිසා " හා හා ඔයා ගෙදර යන්න " කියලා මං හැරිලා ආවත්..මෙයා මා එක්කම එනවා....

බෑගයේ උදේ කෑම එක මතක් වෙලා හෙමින් කෑම පෙට්ටියෙන් පාන් පෙත්තක් අතට ගත්තා දෙන්න....හැරිල බලන කොට එයාට අලුත් යාලුවො හම්බෙලා....

ආච්චි අම්මා එක්ක ගමනක් යන්න එන පොඩි ගෑණු දරුවො දෙන්නෙක්....
එයාට හිතෙන්න ඇති ...අන්න මගෙ වයසෙ කෙලි පොඩ්ඩො දෙන්නෙක්..මෙයා ඕන්නෑ මං එයාල ලඟට යනව කියල....මට දක්වපු පිලිගැනීමට එහා ඒ දැරිවියන්ට මෙයාගෙ තිබුණෙ...එක නැටිල්ලයි....ආච්චි අම්මා අමාරුවෙන් දරුවො අරන් ස්ටේශමට ආවා....අරයාව එළවලා.....

පසු ගිය දාක අහන්න ලැබුණ අවාසනාවන්ත සිද්ධිය ගැන මට ආයෙම මතක් වුණ....මටත් බලු සුරතලුන් දෙන්නෙක් ඉන්නව....ඇත්තෙන්ම ඔවුන් ගෙදර සාමාජිකයන් ගණනට ම වැටිලා ඉන්නෙ...

ඔවුන් අපිව තේරුම් ගන්න ආකාරය, අපිට ආදරය කරන ආකාරය කොන්දේසි විරහිතයි...උදේ ගෙයි ඉස්සරහ දොර අරිනකොට මාස ගාණකින් දැක්කා වගේ ඇඟට පණින්නෙ...ඔලුව අතගාලා ආදරේ පෙන්නලා උයන්න යනකොට දෙන්නා ඇවිත් කුස්සියෙ දොර ළඟ ඉඳන් එයාලගෙම භාෂාවෙන් එක එක සද්ද දානවා...උදේට වැඩට යන වෙලාවට පස්සෙන් ගේට්ටුව දක්වා පස්සෙන් එන්නෙ සමුදෙන්න...ආයෙ හවස එන වෙලාවට ගේට්ටුව ලඟ ඉඳන් පසු ගමන්....කඩේට ගියොත් ආයෙ එනකල් ගේට්ටුව ලඟ.....කිසිම දෙයක් බලාපොරොත්තු නොවී....එකම ආදරණීය වචනයක් ඔවුන්ට ප්‍රමාණවත්......

එහෙම සතුන් ට ආදරය කරන හිතට අර වගේ ආරංචියක් දරා ගන්න අමාරු වුණා...
ඉස්සර අපේ සීයා ....ගෙදර හරක් හැදුවා...කිසිම සතෙක්ට ගහල නැ...පුතා කියල කතා කලේ...පුදුම සැලකිල්ලකින්....

මිනිස්සුන්ගෙ මිනිස්කම් මෙහෙම ගිලිහිලා යන්නේ....ඇයි ...
කෲරත්වය මිනිස් හිත් වලින් අතුගෑවිල යන්න අවශ්‍යම කාලයක් මේක...
මනුෂ්‍යයෙක් ට වගේම සතා සීපාවාටත් ගහ කොලටත් ආදරය විඳින්න...ආරක්ෂාව ලබන්න...අයිතිය එක සේම තියනවා....

ආදරය පමණක් දෙන්න...ඔවුන් බලා ඉන්නේ එය පමණයි

විසිරි සිහින