Friday, December 9, 2022

08. කොටස -හදේ කොතැනක හෝ හිඳී ඔබ

 

07 කොටසට මෙතනින් 07


08 කොටස 




ගෙදර ආදරේ ඉඳලා මොකද්ද දරුවෝ මේ කල්පනාව.... පාරමී කෑම පිගාන අතගාමින් කල්පනා කරනු දුටු අම්මා ඇසුවේ මෙලෙස බොහෝ වේලාවක් බලා සිටීමෙන් අනතුරුව ය.

අද ආව පේෂන්ට් කෙනෙක් ගැන අම්මා මේ මට කල්පනා උනේ ..

අම්මා හට ජීවිතයේ කිසිම දවසක කිසිම දෙයක් සැඟවීමට පාරමීට නොතිබුණි ....

පුතේ ඔයාට මතකද මම ඉස්සර ඉඳලම ඔයාට තියෙනවා ...කවදාවත් ගෙදර ප්‍රශ්න රැකියාව කරන තැනට වත් රස්සාවෙ ප්‍රශ්න ගෙදරවත් අරන් එන්න එපා කියලා ...මැණික දැකලා තියෙනවද..අම්මා කවදාවත් එහෙම කරල තියනවා....

පාරමී මද සිනහවක් සහිතව දෙපසට ඔලුව වැනුවා ය ....

වෙන දෙයක් නිසා නෙමෙයි මම එහෙම කියන්නේ...පුතා ඔයා ගෙ ලෙඩ්ඩු ගැන හුඟක් හිතන බව මම දන්නවා...ඒක නරක දෙයක් නෙමෙයි...ඒ වුනාට මැණික....ඒකන් නැති වෙන්නේ ඔයාගේ මානසික නිදහසයි....ගෙදර ඇවිල්ල ඉන්න මේ පොඩි පැය ගනන ....හිතේ පීඩනයක් නැතුව ඉන්න පුරුදු වෙන්න පුතේ ....

අම්මා පාරමීගේ හිස අතගා ගෙනම ...ආහාර ගෙන අවසන් වූ පිගානද රැගෙන නැගී සිටියාය ...

            

විශ්ව ජයසූරිය....නිවසට පැමිණ...සයනයට වැටුනේ...නොසන්සිඳුණු විඩාවෙනි...හිත පුරා පැතිරී යන්නේ...අධික වෙහෙසක් සමඟ...කියා නිම කළ නොහැකි තරම් වූ තෙහෙට්ටුවකි.

"දිපු බෙහෙත් ටික හරියට බීපන් හරිද ....."

නිසල් නිවසට ගෙනගොස් අසලදීම ඔහුගෙන් සමුගෙන යන්න පෙර නැවත පැවසුවේය ....

මේ සියල්ල බොන බෙහෙත් පෙත්තකින් ...සමනය කළ හැකි පීඩනයන් දැයි විශ්ව යළි යළිත් සිතුවේය.

තමා මතක ඇති කාලයකින් විවේකයක් ගෙන නොමැත.අප්‍රමාණ වූ වෙහෙසකින් වැඩම බදාගෙන ජීවත් වෙනවා මිසක ...ජීවිතයට කිසිදු විවිධත්වයක් නම් නොමැත. මෙවන් ජීවිතයකට තමා හුරුවූයේ ....කාගේ වරදින් ද යන්න..ඔහුටම සිතාගත නොහැක .

ඉතා කුඩා වයසේදී පටන්..හුදකලා වූ චරිතයක් වූ විශ්ව ....අම්මා සහ තාත්තා ගේ දැඩි පාලනයක් යටතේ ජීවත් වූ පිරිමි ළමයෙක් විය. සම වයසේ සිටින ඇතැමෙක් පිරිමි දරුවන් මෙන් විශ්වට කෙලිසෙල්ලමක යෙදෙන්නට හෝ මිතුරු ඇසුරක ගැලෙන්නට දෙමවුපියන් ගෙන් කිසිදු ඉඩක් නොලැබුණි. ඔහු සැමවිටම කල යුතු වූයේ දෙමවුපියන් ගේ අණ කිරීම් වලට අනුගත වීම පමණි. ස්වාධිනත්වය සහ කැමැත්තක් අනුව කටයුතු කිරීම යන වචන කුඩාකල සිටම ඔහු ට ආගන්තුක විය.

තුරුණු වියට පැමිණි පසුද විශ්වගේ ජීවිතය ඇතුලාන්තය ටම නැමී ගිය එකක් මිස විවෘත එකක් නොවීය. තරුණයෙකු වූ පසුද අම්මා සහ තාත්තා තමා පාලනයට ඒම විශ්ව නුරුස්සන්නක් විය.එහෙත් ඔහු හුරුව උන්නේ සියල්ල විඳ දරා නිහඬව ඉන්නටය.ඒ නිහඬතාවය අවියක් කොට ගෙන ඔහු තව තවත් සිය පාලනයට නතු කරගත්තේ විශේෂයෙන්ම අම්මාය. තාත්තා අම්මාගේ වදනකට පිටින් නොගිය හැමවිටම ඇයට අනුබල දුන්නෙකි.

සිය පෞරුෂයේ ඇති දුබලතා අවසානයේ පිටවන්නට ගත්තේ වයසින් වැඩෙන්නත් සමගිනි.ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු විය.එහෙත් අතිශය සැර පරුෂ ප්‍රධානියෙක් විය.සුලු දෙයටත් ගෝරනාඩු කර මිනිසුන් තලා පෙලන්නෙක් විය. එම හැසිරීම උචිත නොවන්නක් බව විශ්ව නොදැන උන්නා නොවේ.නමුත් සිය චර්‍යාවන් දැන් දැන් ඇත්තේ තම පාලනයෙන් තොරව බව ඔහු වටහා ගත්තේය.

දීර්ඝ කාලීන ව හිස පුරා තදින් පැතිර යන වේදනාව ඉවසාගන්නට නොහැකි තැන සිය එකම මිතුරා වූ නිසල් හා එක්ව කායික වෛද්‍යවරුන්, ස්නායු වෛද්‍යවරුන් හමුවන්නට ගියද ඒ කිසිවකින් ඔහුට ලැබුණ සහනයක් නම් නොවූයේය. අවසානයේදී නිසල් හා එක්ව මනෝ වෛද්‍යවරයෙක් හමුවන්නට යන්නට වූයේ එහෙයිනි.

මේ තැනට යනව කියන්නෙ උඹට මෙන්ටල් ඉෂූ එකක් තියනව කියන එකම නෙවේ...හරිද..නිකම් පිස්සු කෙලින්න නම් ලෑස්තිවෙන්න එපා....

නිසල් විශ්ව සමගින් පැවසුවේ වෛද්‍යවරයෙක් හට චැනල් ගාස්තු ගෙවීමෙන් අනතුරුවය. ඒ වෛද්‍යවරයෙක් නොව වෛද්‍යවරියක් බව ඔවුන් දැනගත්තේ කාමරය වෙත ආ පසුය.

මොන බම්බුවක්ද බං...උඹට නම බලල හරියට බුක් කරන්න තිබ්බනෙ...මේ ගෑනුන්ට ඕව කියන්න මට බෑ.....සුපුරුදු ගෙරවීම ආරම්භ වූයේද ආවේ විශේෂඥ වෛද්‍යවරියක් හමුවන්නට බව දැනගත් මොහොතේය 

ඇයි ගෑනු වුනා කියල...ඒ අයගෙ උගත්කම මොකක් හරි අඩුවක් තියෙනවද ....අනේ හිටපං බං ...ගෑනු වුණත් ඒ ගෑනු පිරිමි කරන විභාගම පාස් වෙලා තමයි ඔය තැනට ඇවිල්ල තියෙන්නේ ...ආව එකේ කට වහගෙන යමන්...හරි නොගියොත් වෙන කෙනෙක් ගාවට යන්න බැරිය පස්සේ...

නිසල් ගේ තරවටු හඬ නිසාම ඇතුලට ගියද විශ්ව උන්නේ ඉක්මනින් එතනින් යායුතු යි යන හැඟීමෙනි .....

වෛද්‍යවරිය ගේ නම සඳහන් වූ බෙහෙත් ලියූ කොළය විශ්වගේ නෙත ගැටුනේ රාත්‍රී බෙහෙත් වේල පානය කිරීමට සූදානම් වූ මොහොතේය. පාරමී රත්මල්ගොඩ....මේ නම අසා හුරුබවක් තමාට දැනෙන්නේ මන්දැයි ඔහු යළිදු සිතුවේය. මඳ වේලාවක් කල්පනා කල පසු ජංගම දුරකතනය හරහා අන්තර්ජාලය වෙත පිවිසුණ විශ්ව ඇයගේ නම සෙවුම් වලට යොමු කලේය..

එසේ නම් මේ ඇයයි...පසුගිය කාලයේ පර්‍යේෂණ ප්‍රකාශන කිහිපයක් සඳහා ඉමහත් කීර්ති නාමයක් ලැබූ ළාබාල මනෝ වෛද්‍යවරියයි. විශ්ව පලමු වතාවට තමා ඇයව හෙලා දැකීම ගැන ලැජ්ජාවට පත්විය.

ඔහු ඇය බෙහෙත් ලියූ කොළය යළි පිරික්සීය.එහි ඇය ඇමතීමට අදාල දුරකතන ඇත.එහෙත් ....කුමක් කියා අමතන්නද....තමන් හට ඇය හා කතාකරන්න ට කිසිවක් තිබේද ......?

තමාගේ චර්යා රටාවට ඇයගේ අවධානය යොමු නොවුණු බව විශ්වය පැහැදිලිය. වෛද්‍යවරියගේ කාමරයට පැමිණීමට පෙර නිසල් සමඟ වූ වාදයත් ඇය නොදන්නා හෙයින්..ඒ ගැන පසුතැවිලි විය යුතුද නැත...

විශ්ව ජයසූරිය..අදාල පත්‍රිකාව පසෙක තබා...නැවත සයනයට වැටුණේය ....

කෙසේවතුදු ඖෂධ භාවිතයෙන් පමණක් ...තමා පසුවන ගැටලු නිරාකරණය ගැටලු නිරාකරණය කර ගත නොහැකි බව...විශේෂඥ වෛද්‍යවරිය වටහාගත් ගත් බව විශ්වටද වැටහුනි ....ඇයි ඒ උපදේශන සේවාවක් කරා තමන් යොමු කිරීමට මීළඟ වතාවේ තීරණය කරනු ඇතැයි... ඔහු සිතා ගත්තේය. තමාගේ ද අවශ්‍ය වන්නේ මෙම ගැටළු වලින් මිදී යාමට ය. එසේ හෙයින්...මේ දක්වා තමා තුළ වූ මුරණ්ඩු හැසිරීම...යම් තාක් දුරට හෝ පාලනය කර ගත යුතු යැයි...විශ්ව සිතා ගත්තේය.

ඕක තමයි කියන්නේ මස්සිනා.... බලපන් ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා විතරයි... උඹේ අර තිබිච්ච පුස්ගායත් නැති උනානේ ..මොක වුනත් ඩොක්ටර් නම් හෙන ස්මාට් නේද බං..... 

නිසල් පසු දින විශ්වගේ කතාව අසා පැවසූයේ ඔලොක්කුවට මෙනි ......විශ්ව නිහඬ සිනාවකින් එම සෝපාහාසයන් දරාගත්තේය.

කාලය ගෙවී ගියේ වේගයෙනි....ක්‍රම ක්‍රමයෙන් ප්‍රසංගී ගේ හැසිරීම් රටාවේ යහපත් වෙනසක් මතුව එන බව වාට්ටු භාර වෛද්‍යවරිය පාරමී වෙත පැවසූ පැවසූයේ....උදෑසන රෝගීන් පරීක්ෂාවට පැමිණි අවස්ථාවේදීය... පාරමී ප්‍රසංගි ගේ වාර්ථා නිරීක්ෂණය කරමින් උන්නාය.
එයාගෙ behavior එක එන්න එන්නම ...හොඳ පැත්තට හැරෙනවා මැඩම් .... මට මුල දී පෙන්නපු aggresive ගතිය..දැන් ඉන්නේ ඉඳලා හිටලා වගේ තමයි...හුඟක් වෙලාවට එයා calm and quite....හැබැයි කිසිම දේකට තාම occupy කරන්න නම් බැරි වුණා.....
ප්‍රසංගි ගේ වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කරමින් පාරමී වෛද්‍යවරියට ඇහුම්කන් දුන්නාය.
 ....
Drug doses ටික ටික අඩු කරමු නේද....හොඳට monitor කරන්න වෙයි...මේ ළමයා කිහිප වතාවක්ම suicidal attempts ගත්තු කෙනෙක් නෙ...ඒවායේ effects තාම මෙයා ගාව තියෙනවා....ඒ නිසා කොච්චර මෙයා වෙනස් වුණත් තද අවධානයෙන් අපි මෙයාව බලා ගන්න ඕනේ.....

පාරමී අසුනෙන් නැගිට සිටියේ...ප්‍රසංගි ඉන්නා වාට්ටුවේ කොටසට යාමටය. ඇඳ මත හිඳ ගෙන පුවත්පතක් බලමින් සිටි ප්‍රසංගි , පාරමී රත්මල්ගොඩ ගේ පැමිණීමත් සමඟම පුවත්පත නමා පසෙක තබා ඇඳෙන් බැස සිට ගත්තාය..

කොහොමද ප්‍රසංගි දැන් ඔයාට .... 

පාරමී ඇසුවේ දයාත්මක හඬිනි.

හුඟක් හොඳයි මැඩම්....ටිකක් නින්ද යනව තාම නම් අඩුයි...කන්නත් එච්චර ම ආසාවක් එන්නෙ නෑ....ඒත් ....මට රිලැක්ස් ...වෙනද කවදාටත් වඩා මට හරි සැහැල්ලුවක් එනව....

ප්‍රසංගි දොඩමලු වූයේ අසල වූ හෙදියද විශ්මයට පත් කරමිනි.

අප්පේ මෙන්න මේ ළමයා කතාකරනවා...අපි එක්ක තමා වචනයක් කතා නොකරන්නෙ....මැඩම් එක්ක මේන් ගිරවි වගේ කියවනවා.....

හෙද නිලධාරිනිය සිනහවෙමින් පවසද්දී ප්‍රසංගි ලැජ්ජාවෙන් බිම බලාගෙන හිනැහුණාය.

දැන් ඔන්න මිස් විහිළු කරල ප්‍රසංගි මා එක්කත් කතා නොකර ඉඳී ඒ ගමන.....

පාරමී හිනැහෙමින් පැවසුවාය. 

ප්‍රසංගි අපි දැන් බෙහෙත් ටිකක් අඩුකරගන්න ඕන නිසා ටිකක් therapy පැත්තට යමු නේද....ඔයාගේ ඒ දේවල් එහෙ අය එක්ක ඉස්සරහට කරන් යන්නත් ඕනෙනෙ...

පාරමී රත්මල්ගොඩ ප්‍රසංගීගෙන් ඇසුවේ.....ඉනික්බිතිව ය.

මට කම්මැලියි මැඩම්....කිසි දෙයක් කරන්න ආසා හිතෙන්නෑනෙ ..... මොන දේ කරන්න ගියත් මට ඉක්මනින් ම එපා වෙනව....

ප්‍රසංගිගේ කටහඬ මලානිකවිය.

හරි ඒක සාමාන්‍ය දෙයක්...අපි හෙමින් ටිකක් බලමුකො ඒකත් නේද.....හදිසියක් නෑ......

පාරමී ආපසු යන්නට හැරෙමින් පැවසුවාය.

මිනිස් ජීවිතය යනු...මෙලොව ඇති සුන්දර වූ ලැබීමකි....එහි වටිනාකම අවබෝධ කරගන්නට අසමත් වන්නෝ ඉක්මනින් එයින් මිදීමේ මං සොයති. ජීවිතය ට ආදරය කරන්නවුන් ...තවකෙකුට ඒ පාඩම කියාදෙන්නට වෙර දරන්නෝය.
අම්මා ගෙන් උගත් ජීවිතේ පාඩම් සියල්ල පාරමී රත්මල්ගොඩ සිය වෘත්තීය ජීවිතය පුරාම අත් හදාබැලුවාය.

තාත්තා මිය ගිය පසු කුඩා දැරියක් වූ පාරමී හා ජීවිතය ඉදිරියට ගෙනයන්නට අම්මා සමත් වූවාය. වෙනත් විවාහයක් ගැන ඇයට බලාපොරොත්තුවක් නොවූයේ ඇය එතරම්ම තාත්තා ට බැඳුණ නිසා වන්නට ඇත.
ඉතා තරුණ වියේදි ම වැන්දඹු වන්නට වුවද අම්මා ජීවිතය අතහැරියේ නැත.ජීවත් වන්නාට ඔහේ ජීවත් වූයේද නැත. ඇය ජීවිතය ට වෙනදාට වඩා ආදරය කළාය.පිලිවෙලට ලස්සන ට උන්නාය. ගරුත්වය රැකගන්නට ආයාසයක් නොමැතිවම සමත් වූවාය.ඉදින් ඒ ඇසුරේ වෙසෙන්නිය වූ පාරමී රත්මල්ගොඩ යනු අම්මාගේම අනුරුව වීම අරුමයක් නොවීය.

විශාදය වැනි මානසික රෝගයකින් පෙළෙන අයෙකුගේ බාහිර ස්වරූපයේ සිටම තමා ගැන ඇති නොසැලකිල්ල පිළිබිඹු වෙයි. ඇඳුමක් පැළඳුමක් ගැන හැඟීමක්, රුචියක් , පිරිසිදු බව ගැන අවධානයක් නොමැති එවන් අයගේ ප්‍රතිකාර ක්‍රමයන් කෙතරම්ම අසීරුදැයි දන්නේ සෞඛ්‍ය ක්ශේත්‍රයේ වෙසෙන්නන් ය. 

ඇත්තෙන්ම තමන්ගේ ජීවිතය ට තමන් ආදරය නොකරන්නේ නම් ඉනුදු ඔබ්බට ජීවිතය සම්බන්ධ කුදු මහත් බලාපොරොත්තු වලට පිවිසෙන්නට ඉඩ හසර මදිය.

අප ලෝකය දිහා බලන මානයන්ගෙන් ඔබ්බට ජීවිතය විඳින්නට අපහසු සියක් දහසක් දෙනා ඇති බව අප වටහා ගත යුතුය. එවන් අය කෙරෙහි සවන් දීමක්ම බලපාන්නේ හිතනවාටත් වඩා අපූරු ආකාරයකටය.පාරමී හොඳ සවන්දෙන්නියක් වූයේ කුඩාකල සිටදීමය. පාසලේදී පවා ඇය සමකාලීන බොහොමයක් අතර හොඳ මෙන්ම විශ්වාසනීය යෙහෙළියක් වූවාය. බොහෝ සමකාලීන ගැහැණු දරුවන් පාරමී වෙත සිය සිත් තුළ වූ ගැටලු මුදාහලේ....පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූ නිසාම නොවේ.ඕනෑම කෙනෙක්ගේ ඕනෑම ගැටලුවකට පාරමී සවන් දුන්නාය.කෙසේ හෝ විසඳුමක් ලබා දෙන්නට උත්සුක වූවාය.....

                                                                            *** 
            
දැන් උඹ මොකද කරන්නෙ ...අර ඩොක්ටර් ගෙ බෙහෙත් වලට පස්සෙ ටිකක් උඹෙ මූණත් හොඳයි වගෙ.....

නිසල් සිය මිතුරාගේ මුහුණ දෙස බලමින් ඇසුවේ කාර්‍යාල හෝරාවලින් අනතුරුව වාහනයේ ගමන් කරන අතරේදීය...

අර හෙඩේක් එක නම් ටිකක් අඩු වුනා ...නින්දත් යනවනෙ ....ඒත් බං මෙතන underlying reason එක උඹයි මායිනෙ දන්නෙ.....ඒක ගැන විසඳුමකට නෑවිල්ල මේ තාවකාලික ප්‍රතිකාර වලින් හරියයිද ....හරිගියත් ටික කලකටනෙ.....

විශ්ව සිය මිතුරා දෙස නොබලා මහමඟ ට යොමු වූ නෙතින්ම පැවසීය.

ඇත්තෙන්ම බං....උඹට ඔය පොඩිම කාලෙ නෙවේ ටිකක් ලොකු වෙනකොටවත් අම්මාගෙ ඔය ඒකාධිපති පාලනය ට කැරලි ගහන්න හිතුණෙ නැද්ද......

නිසල් ඇසුවේ සුසුමක් හෙලමිනි ..අම්මාගේ දැඩි පාලනය නිසා සිය මිතුරා පත්වූ තත්වය ඔහුට සිතාගත නොහැක.

මම මමාස් බෝයි කෙනෙක් නෙවේ මචං...ඒත්...අම්මා ගෙ හිත රිද්දන්න මට කවදාවත් ඕන වුනේ නෑ....ඉස්කෝලෙ කාලෙදිත් මට හරිහමන් යාළුවෙක් උන්නෙ නෑ...මේ දේවල් කතාකරන්න ..මං සෑහෙන්න තනිවෙච්ච මිනිහෙක් බං .....

විශ්ව ගේ හඬෙහි වූයේ වේදනාවකි.

අන්තිමේ තනිකම නැති වෙයි කියල හිතුව ....කල්පනා ජීවිතේ ට ආවම.....ඒකෙන් උනේ මම තව තවත් අගාධයට වැටුණ එක......

විශ්ව ගේ එම කතාව නිසල් හොඳින්ම දැන උන්නේය....එහෙයින් ඔහු නිහඬවම සිය මිතුරාට සවන් දුන්නේය.මේ මොහොතේ ඔහුට අවශ්‍ය වූයේ සවන් දෙන්නෙකු පමණක් ම බව නිසල් වටහා ගත්තේය.

මිනිසුන් ජීවිතයේ හුදෙකලා වෙන මොහොතක ...ඔවුන් හට සවන් දෙන්නෙකු අවශ්‍ය වන බව ...සත්‍යයකි. එම සවන් දෙන්නා නිසි මොහොතක හමුවුව හොත් බොහෝ ජීවිත හානි සිදුවීම වළක්ව ගත හැක. එහෙත් අවාසනාවකට මෙන් අප සමාජය එම සවන් දෙන්නන්ගෙන් විරල එකකි.....

"කොහොමත් උඹ ආයෙ ඩොක්ටර් මීට් වෙන්න යන්න ඕනෙනෙ....එදාට පොඩ්ඩක් කතාකරපන්....කවුන්සලින් වලට කෙනෙක් ගාවට යන්න...." 

සමුගන්නා මොහොතේ නිසල් පැවසුවේ සිය මිතුරාගේ උරහිසට සෙමින් තට්ටු කරමිනි ... 

******************************************************************************************** 

හමුවෙමු යලිත් 

මම 
විසිරි සිහින 

Tuesday, December 6, 2022

07.කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

                                                   

      06 කොටසට මෙතනින්      06 


07කොටස




ඉඳ ගන්න ....

පාරමී රත්මල්ගොඩ තමා ඉදිරියේ ඇති පුටු දෙසට අත දිගු කරමින් පැවසූයේ ප්‍රසංගි ගේ මව සහ පියා යැයි සිතිය හැකි යුවල දෙස බලාය . ඔසරියකින් සැරැසුණු තරමක් අහංකාර පෙනුමක් ඇති කාන්තාවක් ද .. කලිසමකින් හා කමිසයකින් සැරසුණු එවැනිම පෙනුමක් ඇති පිරිමියෙක්ද ප්‍රසංගිගේ අම්මා සහ තාත්තා ලෙස පෙනී සිටියහ ...

මේ ප්‍රසංගිගේ අම්මයි තාත්තයි වෙන්න ඕන ...මට දැනගන්න පුලුවන්ද මේ දරුවාට මෙහෙම වෙන්න හේතුවුණු කාරණා ..ඔයාලා දන්න ටික මට කියන්න ..අපිට ප්‍රතිකාර පටන්ගන්න ඒක පහසුවක් වෙයි...

පාරමී රත්මල්ගොඩ එසේ කතාබහ පටන් ගත්තේ සෙසු පුද්ගලයන් සියල්ල එතනින් ඉවතට යවමිනි .කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු දැන ගන්නා මොහොතේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය රැක ගැනීම සම්බන්ධයෙන් පාරමී රත්මල්ගොඩ දැඩි සේ සැලකිලිමත් වූවාය. 

මේක අපිට හරිම ලැජ්ජාවක් ඩොක්ටර් ..අපේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනකුට පිස්සු හැදිලා තිබුණෙ නැහැ ...මේ කෙල්ල අපේ පරම්පරාවෙන්ම දැලි ගෑවා ....

ප්‍රසංගිගේ අම්මා යැයි සිතිය හැකි කාන්තාව ඔහේ කියවාගෙන යන්නට පටන් ගත්තාය .තරමක් සිතට නොරිස්සුමක් පැමිණියද පාරමී බොහෝ ඉවසීමෙන් ඇයට සවන් දුන්නාය .

තමන්ට නොගැළපෙන ප්‍රේම සම්බන්ධයක පැටලුනාම අම්මා තාත්තා විදියට අපිට ඒවා අනුමත කරන්න බැහැනේ ...මෙයා ඉස්කෝලේ කාලේ ඉඳලාම සම්බන්ධය තිබුණා ...ඒක අපිට නොගැලපෙන කුල මලයක් තියෙන කොල්ලෙක් එක්ක ..අපි වලව්කාර පවුලකින් පැවතගෙන එන මිනිස්සු ..අපේ ලේවලට එහෙම ලේ කලවම් වෙන්නේ නැහැ ....ඉතින් අපි මේ සම්බන්දෙට මුලින් ඉඳලම විරුද්ධ වුණා .....

පාරමී බොහෝ ඉවසීමෙන් නිහඬවම හිස වනමින් අසා උන්නාය .කරුණු කාරණා කෙසේ වුවත් සත්‍යය කෙසේ වුවත් සියලුම පාර්ශවයන්ගේ අදහස් හා තොරතුරු මෙහිදී වැදගත් වෙයි .එම අදහස් වලට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන බව පාරමී දැන උන්නාය.

ඉතින් මෙහෙම වෙන්න හේතුව මොකක්ද එතකොට ....ඔහුට කතා කරන්නට ඉඩ දී ඇය ඇසුවේ මේ මෙම රෝගයට ආසන්නම හේතුව දැනගත යුතු වූ හෙයිනි .

මේ සම්බන්ධයට විරුද්ධ වුණාට පස්සේ මෙයා හරියට හිතුවක්කාර වුණා ...ඒ කොල්ල දිගටම ඉගෙන ගත්තට මෙය හරියට ඉගෙන ගත්තෙත් නැහැ උසස් පෙළ හරියට පාස් උනෙත් නැහැ...අපෙන් පලිගන්න වගේ ඔහේ හිටියා ....කල වයස හරි නිසා අපි කසාදයක් කරල දෙන්න උත්සාහ කළේ ...ඉතින් ...මෙයට ගැලපෙනම හොඳ තැනකින් අපිට කටයුත්තක් ආවා ....

ප්‍රසංගි ගේ මව පාරමී දෙස බලමින් පැවසුවාය .

ඒ පුතා හොඳ පවුලකින් පැවතගෙන එන කෙනෙක් .සල්ලි බාගෙ හොඳටම තියෙනවා . බිස්නස් තමයි කරන්නෙත්.පොඩ්ඩක් ඉතින් වයස වැඩියි .එහෙමයි කියලා පිරිමියෙක් අවුරුදු දහයක් පහළොවක් වැඩිමල් උනාට මොකක් වෙනවද .....

ප්‍රසංගි ගේ පියා කතාවේ හොඳම හරියට ප්‍රවිෂ්ට වූයේ ය .පාරමී රත්මල්ගොඩ ට කාරණය අගමුල සෙමින් පැහැදිලි වෙමින් පැවතුණි.

ඉතින් කසාදෙ තීන්දු උනාට පස්සේ මෙයාට එහෙන් මෙහෙන් ආරංචිවෙලා තියනවා ඒ පුතා ගැන නරක ආරංචි වගයක්.පිරිමි කියලත් ඉතින් ඔය සෙල්ලක් කාර කමට කරන කියන දේවල් තියෙනවනේ.අන්න එහෙම කාරණා වගයක් .ඕවා අද කාලේ එච්චර ලොකුවට ගනන් ගන්න ඕන නැහැනේ . ඔහොම දේ නැති පිරිමි කොහෙද ඉන්නෙ.....බැන්දට පස්සෙ ඉතින් ඕවා ඇරිලා යනවනෙ ....

පාරමීගේ හිත යට ඇවිස්සෙමින් තිබූ නොරිස්සුම ඇය ආයාසයෙන් පාලනය කොට ගත්තාය .

මෙයා බැහැයි කියද්දී අපි කසාදය තීන්දු කරා කියලා මෙයා අන්තිමට නිදිපෙති බිව්වා... යාන්තම් ගොඩ දාගත්තෙ ....ලෝක ලැජ්ජාවට හොස්පිට්ල් නොගිහින් ප්‍රයිවෙට් ගිහින් බේරගත්තා...ඒත් එදා ඉඳන් මෙහෙමයි....අපිට දැන් ඇතිවෙලා තියෙන්නෙ....

ප්‍රසංගිගේ මව කියවාගෙන ගිය ස්වරයේ කිසිදු අනුකම්පාවක් නොවූ බව නම් පාරමී ට සහතිකය.

මොකක්ද ඔයාල මේ ළමයාගෙ අනාගතය ගැන දැන් හිතන්නෙ..

පාරමී රත්මල්ගොඩ සෘජුවම දෙමවුපියන් ගෙන් ඇසුවාය. ඔවුනොවුන් මුහුණෙන් මුහුණ බලා උන්නා මිසක කිසිවක් නොකීහ.පාරමී රත්මල්ගොඩ ඒතුලින් වටහා ගත්තේ මේ දෙමවුපියන් තුල සිය දරුවා ගැන කිසිදු ලතෙත් බවක් නම් නොමැති බවය

හොඳයි අවශ්‍ය වුනොත් අපි ඔයාලව ආයෙ කැඳවනවා...අපරාදෙ මෙච්චර ලස්සන තරුණ ජීවිතයක් මේ අන්දමට නාස්ති වුනේ.... 

පාරමී රත්මල්ගොඩ ඔවුන්ගෙන් සමුගත්තේ ඉමහත් කලකිරීමෙනි.ඉදින් තරුණ දරුවන්ගේ ජීවිත දෙස දෙමවුපියන් බැලිය යුතු අන්දම කෙතරම් පුලුල් විය යුතුදැයි පාරමී නැවතත් සිතුවාය.

යළි වාට්ටුවට පැමිණි පාරමී ප්‍රසංගි නම් වූ ඒ යුවතිය උන් ඇඳ වෙතට යනවිට ඇය නින්දට වැටී උන්නාය . ඖෂධ මාත්‍රාවක් ලබාදී ඇයව සන්සුන් කරන්නට සිදුව තිබුනි.

පාරමී සිය නිල නිවෙසට පැමිණියේද දහවල් වූ කාරණය මත බරවූ සිතිනි. සිය දහසක් රෝගීන් සමග ගැටුණද ඇතැම් අවස්තා වල හිත් ඹොහෝ චංචල වේ.කම්පා වීමට වඩා සහකම්පනය හුරුව උන්නද ඇතැම් කාරනාවලදී සිත සසල වේ.

දරුවෙක් වදල හැදුවාට මදි මැණික ඒ දරුවාව තේරුම් ගන්න, ඇති තරම් ආදරේ දෙන්න...එහි දරුවව රැකබලා ගන්න ...හැම අම්මෙක් තාත්තෙක්ටම පුළුවන් වෙන්ඩ ඕන ...එහෙම නොවුණ තැන තමයි ඔය වගේ අවාසනාවන්ත දේවල් සිද්ධ වෙන්නේ ..." 

දවල් දවසේ ඇතිවූ කම්පනය විඳ දරා ගත නොහැකි වූ තැන පාරමී අම්මාට දුරකථන ඇමතුමක් දෙමින් එම සිදුවීම ගැන විස්තර කළාය ...සියල්ල නිහඬව අසා අවසානයේ අම්මා කීවේ එවැනි කතාවකි ....

වසර 5ක කුඩා ළමා කාලයේ දී පමණක් විඳින්නට ලැබුණු පිය සෙනෙහසත් ....උපන් දා පටන් අද දක්වා ම නොවෙනස් ව එකසේ තමන් අවබෝධ කරගෙන ..ආදරය දයාව කරුණාව නොඅඩුව බෙදාදෙන අම්මාගේ සෙනෙහසත්...ලැබූ තමා ඒ අතින් කෙතරම් වාසනාවන්ත දැයි පාරමී නැවතත් සිතුවාය ...

අම්මා සිය ජීවිතය කිසි දිනෙක පාලනය කළේ නැත ...ඇය තමන් යායුතු මග මේ යැයි බල කරමින් පෙන්වා දුන්නේ ද නැත. නමුත් යම්කිසි අතපසුවීමක් සිදු වූ හැම මොහොතකදීම අම්මා එය ආදරයෙන් පාරමීට පෙන්වා දුන්නාය. වචනයට වඩා ක්‍රියාවෙන් ජීවිතාවබෝධය හෙළි කර දුන් අම්මා වැනි අම්මා කෙනෙක් ප්‍රසංගීටත් උන්නානම් අද ඇය මෙවන් කණගාටුදායක ඉරණමක් අත්කර නොගන්නට තිබුනි.

කෙසේ හෝ ප්‍රසංගිගේ ජීවිතය යළි ගොඩනැඟිය යුතු බව පාරමී රත්මල්ගොඩ තරයේ ම තමන්ට ම කියා ගත්තාය.


                                                                        *** 

           

පාරමී රත්මල්ගොඩ සුබ මොහොතක් බලා අම්මා සහ මාලනී සමගින් නව නිවහනට ගොඩ වැදුණාය. සතියේ දින පහම ගත කරන්නට සිදුවන හෙයින් ඇය ඒමට පෙර කල යුතු සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල සුනිමල් විසින් සොයා දුන් කාර්මිකයන් ලවා කරවීය. 

"ඇත්තමයි පුතේ ගෙදර වගේම නිස්කලංක තැනක් ...පුතා කිව්වට මට එහෙම හිතුණෙම නෑ...."අම්මා ගේ පුරා ඇවිද යමින් පැවසුවාය. මාලනී ද උන්නේ ප්‍රීතියෙනි. ඇත්තෙන්ම ගහක කොලක හුස්මක් නොලැබ කොන්ක්‍රීට් වනාන්තරයක හිරවෙන්නට ඔවුන් දැන් අකමැතිය. 

"වත්ත පිටියත් පිළිවෙලයි ලොකු නෝනා.....ඔන්න ලොකු නෝනට ඉතින් වවන්න පුළුවන් හිතේ හැටියට මෙහෙත්...." මාලනී මිදුලට බැස යළි නිවෙසට ආවේ එසේ කියමිනි.

අම්මා මෙතනට කැමතියි නේද...සති අන්තෙ ගෙදර යන්න පුළුවන් නෙ අම්මා ...

පාරමී යළිත් අම්මාගෙන් ඇසුවේ යම් හෝ අකමැත්තක් වේ නම් එය දැනගනු රිසියෙනි.

"පුතා ඉන්න තැන මට නිවනක් පුතේ....ඒක දිව්‍ය ලෝකයක වුණත් මහමඟ වුණත් අම්මාට එකයි....මගෙ මැණික එක්කනෙ...." අම්මා යනු ආදරයට පර්‍යාය පදයක් බව පාරමී කවදත් දැන උන්නාය.

කෙසේ වුවත් කාලය කළමනාකරණය කර ගන්නට ලැබීමත් ..අම්මා සහ මාලනී ගැන බියක් සැකක් නැතිව වද වෙන්නේ වෙන්නේ නැතිව සිටීමට ලැබීමත් යන කාරණා දෙකම පාරමීට මෙම නිවසට ඇති කැමැත්ත තව තවත් වැඩි දියුණු කරන්නත් විය. 
අම්මාත් මාලනීත් නිවසේ වැඩ කටයුතු තමන්ගේ භාරයට ගත් අතර පාරමී රත්මල්ගොඩ නිදහසේ සිය රැකියා කටයුතුවල යෙදුණාය . 

පෞද්ගලික සේවයේ යෙදෙන්නට එතරම් කැමැත්තක් නැති වුවද ...මේ කාලයට අනුව සතියට දිනයක් ඇයට පෞද්ගලික සේවයේ යෙදෙන්නට සිදුවූයේ මේ වන විට ඇයගේ නම ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ බැවිනි. රෝහල් ගත ගත වීමට අකමැති බොහෝ රෝගීන්ගෙන් ඇයට ආ ඉල්ලීම මත පෞද්ගලික රෝහලකට සතියේ එක් දිනක හවස් වරුව සිය සේවය ලබා දීමට ඇය එකඟ වූවාය.

"සල්ලි වලට නෙවේ මැණික සමහර වෙලාවට මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගැන ඔයා හිතන්න....හොස්පිට්ල් වලට එන්න අපහසු ඒ වගේම ටිකක් අකමැති....කට්ටිය ඉන්නවනෙ.. අනික එහෙම ගේන්න බැරි අය කොච්චර ඇත්ද....."

අම්මා එය සාධාරණිකරණය කලේ එලෙසිනි. 

ඕක පටන් ගත්තොත් යකා බැඳගත්ත වගෙ අම්මා...ඉවරයක් නෑ....මං ඒකමයි අකමැති ....
පාරමී සුසුමක් හෙලමින් පැවසුවාය.

අගනුවර ට තදාසන්න පෞද්ගලික රෝහලට පාරමී රත්මල්ගොඩ පැමිණියේ සතියේ බ්‍රහස්පතින්දා දිනවලය. එවිට සිකුරාදා වැඩ අවසන් කොට අම්මා සහ සුමනා සමග යළි ගමේ නිවසට යා හැක.

                                                                            *** 

පෞද්ගලික සේවයේ නියුතු වීම තරමක් දුරට කරදරකාරි බවක් ගත්තද පාරමී එයට ඉක්මනින් හුරුවූවාය...

"මැඩම්...ඊළඟ කෙනාව එවන්නද....?" හෙදිය ඇසුවේ පාරමීගේ කල්පනා ලොව බිඳ දමමිනි. පාරමී උන්නේ තේ බඳුන පානය කරමින් තරමක කල්පනාවක ගැලී හෙයින් හෙදිය ඇයට කරදර නොකර මඳ වේලාවක් බලා උන්නාය.ඇයට මඳ සිනහවක් පෑ පාරමී හිස වනා අනුමැතිය දුන්නාය.

විවර වූ දොරෙන් ඇය වෙත ආ පුද්ගලයා දුටු විට ඇයට එක්වනම තිගැස්මක් ඇති විය. මේ පෙර දිනක සිය යෙහෙලියගේ නිවසේදී සිය ඇඟෙහි වැදුණ...අතෝරක් නැති දුරකතන ඇමතුම් රැසක ගැලී උන් ඔහුය.

ඔහු පැමිණියේ මිතුරෙක් සමගිනි.පාරමී සාමාන්‍ය තත්වයට පැමිණෙමින් ඔවුන්ට ඉදිරි අසුනකට අත දිගු කළාය.ප්‍රසන්න සිනහවකින් ඔවුන් දෙස මොහොතක් බලාඋන් පාරමී හඬ අවදිකලාය.

හොඳයි ....මට දැනගන්න පුළුවන් ද ආව හේතුව....

පාරමීගේ හඬට  දෙදෙනාම උනුන් මුහුණ බලමින් උන්නා මිසක හඬ අවදි කලේ නැත.පාරමී ඔවුන් දෙස බලා උන්නාය.මේ නිහඬ බව ටිකක් වෙනස් ය.

කාටද උදව් අවශ්‍ය දෙන්නාගෙන්...

පාරමී යළිත් ඇසුවේ හෙදියට කාමරයෙන් පිටතට යන ලෙස ඇස් වලින් පවසමිනි.ඇතැම් විට සමහර අය හෙදිය සිටින මොහොතේදී පවා අනාවරණය කරන්නට අකමැති වෙති.

"ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ යාළුවට... "

ඔහු සමග පැමිණි අනෙකා ඔහු දෙසට අත දිගු කරමින් පැවසීය. ඔහු නිහඬවම ඉවත බලාගෙන උන්නේ කිසිත් නොකියා ය . 

"හොඳයි අපි යාලුවටම කියමුද එහෙනං කතා කරන්න කියලා..."පාරමී මද සිනහවක් නගා ගෙන ඔහු වෙතට හැරුණ ද ඇයගේ සිත තුළ මන්ද චකිතයක් පැවතුණි....

මට තද හෙඩේක් එකක් තියෙනවා ...හැමතැනින්ම බෙහෙත් කරා ..මේක අඩුවක් වෙන්නේ නැහැ ..මේක physical issue එකක් නෙවෙයි කියලයි බලපු හැම ඩොක්ටර් කිව්වේ ...ඉතින් අන්තිමටම බලපු වීපී කිව්වා ...psychiatrist කෙනෙකුටවත් පෙන්නන්න කියලා....ඒකයි අපි මෙහෙම ආවෙ....

ඔහු එවර ද පැවසූයේ ඉවත බලාගෙනය .ඔහු තමා හඳුනා ගත්තේ නැති බව පාරමීට අවබෝධ විය ....එය එක්තරා විදියකට ප්‍රතිකාර වලට ඉතා පහසුවකි ...

මට ඔයාගෙ නම කියන්නකො ඉස්සෙල්ලම....

පාරමී ඇසුවේ කොලයද පෑනද අතට ගෙනය.

මම විශ්ව ...විශ්ව ජයසූරිය

ඔහු නොසැලකිලිමත් ස්වරයෙන් පැවසූවේද ඉවත බලා ගෙනය.

වයස....?

තිස් නවයයි...

මිස්ට ජයසූරිය ....මොකක්ද රැකියාවට කරන්නෙ....

පාරමී ඔහු දෙස මෙන්ම මිතුරා දෙසද බලමින් ඇසීය.හිස ඇඟිලි තුඩු වලින් තෙරපමින් උන් ඔහු 

"බිස්නස්..."යැයි කියා නිහඬ විය.පාරමී ඔහුගේ රුධිර පීඩනය මැන බැලුවාය.ඇත්තෙන්ම එය මඳක් වැඩිය.

මිතුරා විසින් ගෙන ආ සියලු වෛද්‍ය වාර්තා බැලූ පාරමී ඒවායේ කිසිදු වෙනසක් නොමැති බව දුටුවාය.

මිස්ටර් ජයසූරියට හිතෙනවද ඔයාට physical issue එකක් නැති නිසා...මොකක් හෝ හිතට බලපාන ගැටලුවක් ඇති කියල...

පාරමී ඇසුවාය...

විශ්වගෙ ජීවිතේ හරිම අවිවේකයි...ඇත්තෙන්ම කිව්වොත් ඩොක්ටර් මේ ඔක්කොටම හේතුව ඒ අවිවේක කම....

මිතුරා ඔහු මෙන් නොව අදහස් ප්‍රකාශ කරන්නාවූ අයෙක් විය.
පාරමී ඔහුගෙන් විවිධ ප්‍රශ්න කිහිපයක් පමණක් අසා...ඔහුට ලබා දිය හැකි මට්ටමේ ඖෂධ කිහිපයක් ලබා දුන්නාය.

මේ ඔයාට රිලැක්ස් වෙන්න දෙන මෙඩිසින් මිසක දීර්ඝ කාලීන විසඳුමක් නෙවෙයි...මිස්ටර් ජයසූරිය ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ඔයා වෙනස් කරගන්න ඕනෙ...ඒකට ඔයාට කවුන්සලර් කෙනෙක් මුණ ගැහෙනව නම් හොඳයි කියල මම හිතනව....

පාරමී ගේ දෑස් දෙස එක් මොහොතක් බලා ඉවත බැලූ විශ්ව සුසුමක් හෙලා හිස වැනුවේය.

ඉස්සෙල්ල අපි මේ බෙහෙත් ගම්මු....ඉන් පස්සෙ බලමු ...ඒ ගැන...ඩෝන්ට් වොරි මිස්ටර් ජයසූරිය ...we can resolve this.....

විශ්ව අසුනෙන් නැගී උන්නේ මිතුරා අනුගමනය කරමිනි.මිතුරා ඇයට ස්තුති කළද ඔහු උන්නේ යන හදිසියෙන් මෙනි.

පාරමී රත්මල්ගොඩ නිවසට පැමිණෙන අතරතුරේ දී ත්..ඉන්පසුවත් කල්පනා කලේ විශ්ව ජයසූරිය නම් වූ ඒ අපූරු පුද්ගලයා ගැන ය .සැබවින්ම ඔහුට ඇය සම්බන්ධයෙන් කිසිදු මතකයක් නොවූ බව ඇයට සක් සුදක් සේ පැහැදිලිය . නමුත් කෙසේ හෝ මේ පුද්ගලයා සම්බන්ධයෙන් තව දුරටත් සිය යෙහෙළිය හමුවී විස්තර දැනගත යුතු යැයි පාරමිට සිතුනි.

*********************************************************************************************** 

යලි හමුවෙමු 

මම 
විසිරි සිහින 

Wednesday, November 30, 2022

06 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 

පස් වෙනි කොටසට මෙතනින් 05


හයවෙනි කොටස 



බිත්තියේ හැපුණ වේගයට කිසිවක් ම සිතාගත නොහැකිව පාරමී මොහොතක් එසේම උන්නාය.ඔලුවද බිත්තියේ තරමක වැදුණා සේ දැනුණි. දැහැමි කලබලයෙන් දුවගෙන ආවේ ඇය කෑගැසූ හඬිනි. මුලුතැන්ගේ සිට දැහැමි ගේ අම්මාද දුවගෙන ආවාය.

මොකද මොකද උනේ......දැහැමි පාරමීගේ අතින් අල්ලාගෙන ඇසුවාය. ඇඟේ වැදුණ තැනැත්තා කිසිම ගණනකට නොගෙන එළියට ම ගොසිනි. පාරමී ට ඇතිවූ තරහ ඇය පාලනය කරගත්තේ පිට නිවෙසක හෙයිනි.නැතිනම් බැණ වදින්නට තරම් ආවේගයක් ඇය සිත තුළ ඇතිවිය.

"නෑ මම කලබලෙන්නෙ ආවේ...කවුද මෙතනින් ආවා ...වැදුණා .....මොකුත් අවුලක් නෑ....."දැහැමිට උත්තර දෙමින් පාරමී පැවසුවාය. එක අතකට වරද තමාගේය...උඩක් බිමක් නොබලා දිව ආවේ තමන් ය....නමුත් ඒ තැනැත්තා ගේ නොසැලකිලිමත් හැසිරීම..අඩුම තරමේ සමාවෙන්න යැයි නොකීම.... පාරමීට තරහ ඉපැද්දවීය.....

"අම්මා කොහොමද ඉතින් ....මේ ටිකේම එන්න හිතන් උන්නාට බැරිඋනා නෙ..."පාරමී දැහැමි ගේ අම්මාගේ අත්දෙකින්ම අල්ලාගෙන පැවසුවාය. පාරමීගේ කොපුලක් සිප ගත් දැහැමි ගේ අම්මා ඇය වැළඳගත්තාය...ඇයට පසුපසින් පැමිණියේ ඔසරියක් හැඳි අම්මාගේම වයසේ කාන්තාවකි.තරමක් ආඩම්බර පෙනුමක් ඇති ඇය පාරමී දෙස සිනාමුසුව බැලුවාය....

"ආ මේ දැහැමි දූගෙ යාලුවාද....මේ දැන් එනව කියල කිව්වෙ...."

ඒ කාන්තාව ඇසුවේ සිනහ පිරි වතිනි.

අම්මේ නැත්නම් ....මට කෙල්ලො දෙන්නෙක් නෙවේ තුන්දෙනෙක්ම ඉන්නවනෙ අක්කෙ....මේ තමා තුන්වෙනියා....දැහැමිගේ අම්මා කීවේ පාරමී ගේ හිස අතගාමිනි. පාරමී ද ඒ කාන්තාවට ප්‍රති සිනහවක් පෑවේ දැහැමි දෙසම බලමිනි.මෙතැනින් ඉක්මනින් මිදීයාමේ ඇයගේ අදහස වටහා ගත් දැහැමි ....

"අම්මා එහෙනම් අපි ගිහින් එන්නද...කෝ අර ගෙනියන්න තියන දේවල් ටික...."

කියා ඇසුවාය. යෙහෙළියන් දෙදෙනා ට අවැසිවූයේ මෙතනින් පැන ගන්නටය..මාස ගණනාවක බෙදාගත යුතු ඕපාදූප සහ රසකතා දෙදෙනා ටම එමටය ......

පාරමී වාහනය වෙත ඇවිද ගියේ දැහැමි සමගිනි....මිදුලේ වෙරළු ගස යට වාහනය නවතා ඇති ඉසව්වේ සිට ඒ පුද්ගලයා දුරකතන ඇමතුමකය. ගස පුරා ඉදුණ වෙරළුය .... ගෙඩියක් දෙකක් කඩාගන්නට හෝ බිම තණ පලසේ වැටුණ ගෙඩියක් දෙකක් අහුලාගන්නට වත් මේ මනුස්සයා නිසා බැරිය....

"මේක අර්ජන්ට් එකක්....මට නාස්ති කරන්න කාලයක් නෑ....ගතවෙන හැම තත්පරයම සල්ලි ....අන්න ඒක මතක තියාගන්න...ඕකේ...."ඔහු තදින් අමතන්නේ කාට හෝ ය.....කතාකරන අතරේ හිස කෙස් ඇදගනිමින් බිම ඇති ගල් වලට පයින් පහර දෙමින් මේ පුද්ගලයා නොසන්සුන් ව හැසිරෙන අන්දම පාරමී එක බැල්මකට හසුකර ගත්තාය.මානසික සෞඛ්‍ය ක්ශේත්‍රයේ වැඩකළ පුරුද්ද නිසාම පුද්ගලයන් ගේ ඉරියව් පාරමීගේ ඇසට අසුවන්නේ වෙනස්ම කෝණයකිනි.

වාට්ටුවකට ඇතුල් කරන් බෙහෙත් කරන්න වටින කේස් එකක්..අහක තියන ගස් ගලුත් ඉවර ඇති කෝල් එක ඉවර වෙනකොට.....පාරමී හිතෙන් හිතුවේ එලෙසය.....දැහැමි වාහනයට නැගුණ පසු පාරමී වාහනය පණගැන්වූයේ ද ඒ තැනැත්තා එක්වරම හැරී බැලුවේද එකමවිටය.

ඒ ඇස් බැල්ම කෙලින්ම පාරමී දෙසට යොමු වූයේ පාරමීද තිගැස්වමිනි. ඇය වහා ඉවත බලා වාහනය හරවා ගත්තාය.... තමා නොසිතූ අන්දමේ තියුණු ඇස් බැල්මක් ඒ පුද්ගලයා සතුවුවද ඒ බැල්ම යට අධික වෙහෙසකාරී බවක් ද තිබුණේ යයි පාරමී ට සිතුණි.

අරයා අන්න කටත් ඇරන් බලන් ඉන්නව...ෆෝන් එක කනේ....ඇස් මෙහේ....

දැහැමි කුටු කුටු ගාමින් පැවසුවාය ....පාරමී රිදුම් දෙන වැලමිට අතගාමින් දැහැමි ට රවා බැලුවේ වාහනය ගේට්ටුවෙන් පිටට ගනිමිනි....තවම අත තරමක් වේදනා දෙයි....

කවුද බං ඒ ...මගෙ ඇඟත් රිදෙනව හැප්පුණ පාර....ඉබිමස් කනවද මන්ද....ගහක් ගලක් වගෙ......පාරමී ඇසුවේ හිනා වෙමින් ඉන්නා දැහැමි ගෙනි.

" ඔය ඇවිල්ල උන්නෙ අපේ තාත්තා ගෙ ලොකු අම්මගෙ දුව...ඒ කට්ටිය මෙහෙ ඉඩම් වගයක් අරන් අර උන්න පුතණ්ඩියාගේ බිස්නස් වගේකට...ඔය ඒකට ආව ගමන් අපේ ගෙදර ඇවිල්ල තියෙන්නෙ....මම අර කෝල් එක ගන්න කොටත් එතන පුටුවෙ ඔය යකා ෆෝන් එකේ ...මං ඒකයි හෙමින් කතාකලේ....."

දැහැමි පැවසුවාය....

"ඒ කෑගහන කෑගැහිල්ලට ඔය මනුස්සයාගෙ නහරයක් පුපුරල යයි කියල මට හිතුණ....දැක්කෙ නැද්ද අර දැන් එද්දි....අනික බං කෝ මැනර්ස්...නිකමට සොරි කියපන්කො අරම දඩාං ගාල වැදුණ එකේ ...කොහෙද ඉතින් අර උඹේ නැන්දම්මා මේකාව අලියෙක් වගේ හැදුවට ඒ ගතිගුණ සිරිත් විරිත් කියල දීල නෑ වගේ... "පාරමී පැවසුවේ ඔහු ගේ හැසිරීම සිහිපත් කරමිනි....

පැය භාගයක පමණ රිය ධාවනයෙන් පසු පන්සල් ඉම පිහිටි සීමාවට ඔවුන් ආවේ වාහනය රිය නවතා තැබිය හැකි ඉඩක රඳවමිනි. පන්සලේ නායක ස්වාමීන් වහන්සේ හමුවී අවශ්‍ය කටයුතු කතාබහ කරගත් දැහැමි පාරමී සමග පන්සල් ඉම වෙත ඇවිද ගියාය. 

බෝමලුව කෙලවර වූ ගල්තලාවේ කෙළවරකට ඇවිද ගිය යෙහෙළියන් දෙදෙනා එහි ඉඳගත්තේ සුපුරුදු කතාබස් අරඹමිනි....තවමත් පන්සලේ බෝමලුවේ එකිනෙකා වැඳපුදාගන්නට එන හෙයින් පාළුවක් හුදෙකලාවක් දැනෙන්නේ ද නැත.

ගල්තලාවක හිඳ ගත් පසු කෙලින්ම ඈතට පෙනෙන්නේ ....නිල්ල නිලන කඳු යායකි...බොහෝ දිනවල ගලේකන්දේ විහාරයට එන යෙහෙළියන් දෙදෙනා....හැමදාමත් කැමති වූයේ මේ ඉසව්වට ය....තෙරක් නොපෙනෙන නිල්ල නිලන කඳු යායේ දැවටී එන සිහිල් සුළඟ ගතේ දාහය නිවාලයි ...

"ඉතින් ඉතින් ....කියපන්කො විස්තර....."

පාරමී කතාබහ ඇරඹූයේ යෙහෙළිය ගේ මුහුණ දෙස බලමිනි.....

"විශේෂයක් නෑ බං....හැමදාම ඉතින් ජීවිතේ ගෙවෙනවා .....සමීර මේ පාර එන්න පරක්කුයි...එයා වෙනුවට එන්න ඉන්න කෙනාට අසනීප වෙල කියල....පව් ඉතින් බලාගෙන ඉන්නෙ නිවාඩුව හම්බෙනකල්නෙ..... " 

දැහැමි සොවින් බර නෙතු ඈතට යොමා ගෙනම පැවසුවාය.....

පාරමී නිහඬ වම ඇයට සවන් දුන්නාය....

"අපේ අම්මලායි එහෙ අම්මලායි දෙගොල්ලම දරුවෙක් හදාගන්න කිය කිය කියවනව....සමීර කියන්නෙ එයාත් නැතුව මම තනියම කොහොමද ඔය බර දරන්නෙ ...ඒ නිසා ටිකක් දිග නිවාඩුවක් අරන් එනකල් ඉම්මු කියල...."

පාරමී සිය යෙහෙලියට ඇහුම් කන් දුන්නේ නිහඬවමය. සාම්ප්‍රදායික මතිමතාන්තර වල සිටිනා දෙමවුපියන් ට දොසක් නගන්නට නොහැක.මන්ද මේ ගෙවී යන්නේ තිස්පස් වෙනි වියයි...එවිට දරුවෙක් සම්බන්ධ සිහිනය ඔවුන් අතරට එම ගැන අනෙක් අය බලා සිටීම අමුත්තක් නොවේ.

"බලමු....මේ පාර ආවම මම එයාට කියනව....මම වැඩ කරගන්නම් කොහොම හරි කියල ...දරුවෙක් ගැන හිතමු කියල..ඉතින් ඉතින් ඔයාගෙ වැඩ කොහොමද එහේ.... "

දැහැමි ඇසුවේ අම්මා ඔතා දුන් කෙසෙල් කොලයේ බැඳි බත්පත දිග හරිමිනි.....

"අම්මෝ කතා එපා...මට සුවඳට ම බඩගින්නක් ආවා...කාල ඉම්මු ඔක්කොටම කලින්...."

පාරමී කෑගැසුවාය.

"මෙහෙමත් බඩජාරියෙක්....හා හා කාපං කාපං එහෙනම් .....නැත්තං ඔයා කන සිහියෙන් කියවන්න ගිහිල්ලා ටිකක් හිර වෙලා එක වැඩක් වෙනවා ..."

දැහැමි සිනාසුනේ සිය යෙහෙලියගේ හදිසිය දෙස බලාගෙනය ....

"මගේ කියලා කියන්න විශේෂ දෙයක් නැහැ බං.. හැබැයි හොස්පිට්ල් එකේ වැඩ නම් සෑහෙන්න තියෙනවා...මෙහේ තියෙන සිස්ටම් එකපාරටම වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි ...මෙහෙ මිනිස්සු කාලයක් එක්ක...වැඩ කරන්න ගත්තු විදිය...ටික ටික ඕනේ වෙනස් කරන්න...හැබැයි මට හම්බෙච්ච වාට්ටු දෙකම ....ටිකක් positive පැත්තේ ඒවා ....staff එකක් ලොකු අවුලක් නැහැ ......"

පාරමී පසුගිය දිනවල සිදු වූ දේවල් එකින් එක පෙළ ගස්වමින් පැවසුවාය....

"ඔක්කොටමත් හරි බං මේ ඩ්‍රයිවින් කියන එක...දවස තිස්සේම එතන වැඩ කරල මේ දුරක් ඩ්‍රයිව් කරනවා කියන එක පුදුමාකාර මහන්සියක් ...ඉතින් මට ක්වාටස් තිබ්බට ඒ වගේ හොස්පිට්ල් එක ඇතුලේ තැනකට අම්මව එක්ක යන්න මට හිතෙන්නේ නැහැ ...."

පාරමී වතුර බෝතලය මුවගට මුවගට තබාගනිමින් පැවසුවාය

"අම්මා ජීවත් වෙන්නේ පුදුමාකාර නිදහස් පරිසරයක නෙ....ඉතින් වෙන දෙයක් නිසා නෙමෙයි ක්වාටර්ස් එකට එක්කන් ගියා අම්මා කොටු වෙනවා...මෙච්චරම නිදහසේ හිටිය ඒ මනුස්සයව මේ වගේ තැනකට ගෙනියන්න මට හිතෙන්නෙ නැහැ...."

"ඉතින් උඹ මොකද කරන්න හිතාගෙන ඉන්නේ ....."

දැහැමි ඇසුවේ බත්පත අකුලා යලි බෑගයට දමමිනි ....

"මේ දවස් ටිකේම ටිකක් හරි හොඳට ඉඩකඩ තියන නිදහසේ ඉන්න පුළුවන් වත්තක් එහෙම තියෙන තැනක් හොයන්න කීපදෙනෙකුටම බාර දීලයි තියෙන්නේ...එක තැනක සතියේ දවස් පහ අම්මා ටයි මාලනීටයි මමත් එක්ක ඉන්න ලැබෙනවා නම් ඒක මටත් හිතට සැනසීමක් ...සති අන්තෙ කොහොමත් මට ඒ දෙන්නත් එක්ක ගෙදර එන්න පුලුවන්නෙ....."

පාරමී දිගු සුසුමක් හෙළමින් පැවසුවාය ....කාලයත් තිස්සේ යෙහෙලියන් දෙදෙනාගේ සිත්වල තිබූ සියළුම දේවල් කතාබහ කොට හමාර වත්දී කාලය ඉගිලි යමින් තිබුණි ...

"දැන් එහෙනම් අපි යමු ආය දවසක ඉන්න බැරිය ...අම්ම බලාගෙන ඇති අපි එනකන්...."

දැහැමි නැගී සිටියාය....

ඔවුන් දෙදෙනා නැවත දැහැමි ගේ නිවසට එනවිට ත් දැහැමි ගේ ඥාති පිරිස පිටත්ව ගොස් තිබුණේ නැත.....

"මං මෙහෙමම යන්නං වාහනෙන් බහින්න බයයි අර යකාගෙ ඇගේ මං ආයෙ හැප්පෙයි ද කියලා..."

දැහැමි ගේ අතින් අල්ලා පාරමී පැවසුවාය...

"පිස්සුද බං අම්මට කතා කරල නොගියොත් දුක හිතේවි.....බැහැපන් බැහැපන්...."

දැහැමි ඇයගේ අතින් අදිමින් පැවැසුවා ය .

දැහැමි ගේ පසුපසින් නිවස තුලට ඇතුල් වූ පාරමී ....දැහැමි ගේ අම්මාගෙන් සමුගෙන යලි වාහනය වෙත ආවේ නිවසට යායුතු වූ හෙයිනි....ඇය රියට නැගෙන්නට යන පාර හරහා ඒ මොහොතේදි උන්නේද අර පුද්ගලයාමය. පාරමී නිහඬවම වාහනය වෙත ඇවිද ගියේ ඔහු නොතකමිනි. ඔහු ඇමතුමක උන්නද ඔහුගේ ඇස් ඇත්තේ ඇය මත බව පාරමී නෙත් කොණට දුටුවාය.එහෙත් එය නොදුටුවා සේ ඇය රියට නැගුණාය....

රෝහල සමග බැඳුණු සිදුවීම් දාමයන් තුළ ගතවෙන ජීවිතය පාරමීට ඒකාකාරී නොවන්නේ ඇය තමා වෙනුවෙන්ම සකසා ගත් රටාවකට ජීවත් වන හෙයිනි.නැතහොත් සතියේ දින හතෙන් බොහෝ කාලයක් මෙබඳු ක්ෂේත්‍රයක වැඩ කිරීම කෙතරම් අසීරුදැයි ඇය දනී.
" මැඩම් .....ගෙවල් කීපයක් නම් තියනවා...මැඩම් කිව්ව විදියට ගැලපෙන ගෙයකුත් තියනවා....හුඟක් දුරට...." කාර්‍යාල කාර්‍ය සහායක සුනිමල් ආවේ දිවා විවේකයේය....සුනන්දා විසින් දන්නා අඳුනන කිහිප දෙනෙකුටම විස්තර කියා තිබූ හෙයින් සුනිමල් ද නිවෙස් හොයන්නට මහන්සි වී තිබුණි. 

"එහෙනම් ලොකු දෙයක් සුනිමල්...අපිට ගේ බලන්න යන්න පුළුවන් වෙන්නෙ කවද්ද....?" පාරමී ඇසුවේ උනන්දුවෙනි. 
.
"අද හවස මැඩම් ෆ්‍රී නම් පුළුවන් යන්න...සුනන්දා අක්කාත් ඉන්නවනෙ අද ....."අවසානයේ ගමන තීන්දු වූයේ හවසටය....

පාරමී ගේ වාහනයෙන් සුනන්දා සහ ඇය ගමන් කරද්දී සුනිමල් සිය යතුරුපැදියෙන් මග පෙන්වමින් ඉදිරියෙන් ගමන් කලේය. නිවෙස් තුන හතරක්ම බැලූවද හිතට අල්ලන අන්දමේ එකක් ඒ අතර නොවීය. බොහෝ නිවෙස් නාගරික ගෘහ නිර්මාණ ශිල්පයේ කලවම් ආකෘතීන්‍ ය.

අරුමෝසම් කොටස් එකතු කිරීම් වලින් අනූනය. හරිහමන් මිදුලක් ඉඩක් නොමැති නිවෙස් ද ඒ අතර විය.

අවසානයේ පාරමී හෙම්බත්ව ගෙවල් බැලීම ඇතැයි යන මතයේම ඉන්නා විට අවසාන නිවසට සුනිමල් යෑමට කතාකලේ එය මේ සියල්ලටම වඩා උචිත යැයි පුන පුනා පවසමිනි. 
සුනිමල් කියනම නිසා යමු...මට නම් ඇතිම වෙලා දැන් ඉන්නෙ....ක්වාටර්ස් එක බලන් යද්දි මීට වඩා හොඳයිනේ සුනන්දා.....

පාරමී ගේ වෙහෙසකර වත දෙස බලා සුනන්දා මඳ සිනහවක් පා හිස සැලුවාය.
ප්‍රධාන මාර්ගයේ සිට දිවෙන අතුරු පාරකින් හැරී ගමන් ගන්නා විට ඔවුන් පැමිණියේ පුදුමාකාර නිස්කලංක ප්‍රදේශයකටය. කොළඹට තදාසන්න පෙදෙසක මෙසේ නිහඬ නිසංසල බවක් වේදැයි හිතාගන්නටත් අපහසු තරම් ය.

පාරමී සුනන්දා දෙස බැලිවේ සිනහවක් රඳවා ගෙනය...

"මැඩම් මේ පැත්ත නම් පංකාදු පහයිනෙ...කිසිම කලබලයක් නැති තරම්..සුනිමල් මල්ලි කිව්වා හරි වගේ මේ පාර නම් ."සුනන්දාද පසුවීගෙන යන වෙල් යාය දෙස බලමින් පැවසුවාය.

"ඒකනම් ඇත්ත තමයි සුනන්දා....මටත් මේ පැත්ත නම් හිතට ඇල්ලුවා....අපි ගිහින් බලමු..ගෙදර කොහොමද කියලා ...හොස්පිටල් එකට ඉතින් ගොඩක් ලොකු දුරකුත් නැහැනේ...."

පාරමී සෙමින් රිය පදවමින් අවට බැලුවාය. ගමක් ම නොවූවද එය නාගරික බවින්ද මඳක් දුරස් පරිසරයකි.ඉදිරියෙන් ගිය සුනිමල් සිය යතුරු පැදිය හැරවූයේ තවත් අතුරු පාරකට ය . එම පාරේ කෙළවර තරමක ගෙවත්තක් සහිත කුඩා ගෙයක් විය ....පාරමී පැවසූවේ විශාල ගෙවල් නොසොයන්න කියාය. මන්ද අම්මාත් මාලනීත් සමග සිටින්නට මහ විශාල නිවෙස් අනවශ්‍ය හෙයිනි.අනෙක් අතට අම්මාට සහ මාලනීට ගෙයක් නඩත්තු කරමින් පිරිසිදු කිරීම් සඳහා මහ කාලයක් ගත කල නොහැක.ඔවුන්ට අවැසි නිදහස ලබාදීමට පමණක්ම පාරමිට අවශ්‍ය විය.

ගෙහිමියා ඔවුන්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් නිවස ඉදිරියේ රැඳී උන්නේය. පිය මනාප පෙනුමැති වයසක අයෙකු වූ ඔහු විශ්‍රාමලත් පරිපාලන නිලධාරියෙකු බව සුනිමල් පැවසීය.

එන්න එන්න නෝනා....ඉඳගන්න ....මම මේ එනකල් බලන් උන්නේ.....

පාරමී සුනන්දා සමගින් ආලින්දයට ගොඩ වැදුණේ ඒ සිනහවට පිලිතුරු සිනහා පාමිනි.
ඉතින් නෝනා මේ තමා ගෙදර ...ඉඩම නම් පර්චස් විසිපහක්...මේක හදලා දැන් අවුරුදු පහලොවක් විතර ඇති....අපි දෙන්නා උන්නෙ මේ ගෙදර...අපේ අනික් ගෙදර දුවට ලිව්වා...පුතා ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ ....ඉතින් මායි නෝනයි පුතාගෙ ගාවට යනවා ....ඒකයි මේ ගේ විකුණන්න හැදුවෙත්....

වියපත් ගෙහිමියා නැවතිල්ලේ පහදන්නට වූයේ කරුණු කාරණාය.

නෝනා ගේ බලන්න .....ඔහු නිවෙස තුලට අතදිගු කලේය.සුනන්දා සමගින් නැගී උන් පාරමී නිවෙස තුලට ඇදුණාය. 

ආලින්දයෙන් ඇතුළට කුඩා සාලයක්...කාමර තුනක් , කෑම කාමරයක් සමග වූ මුලුතැන්ගෙයක්, නාන කාමරය සමග වූ වැසිකිළි කාමර දෙකකට ම වීම....ඇතුලු සියලු අංගයන්ගෙන් නිවෙස සමන්විත විය.

නිවෙස පිටුපසින් වූ වත්ත කෙළවර මායිම් ව තිබුණේ ගමේ සේම වෙල්‍ යයකිනි....

මැඩම් නිල් කැටේට වතුර උතුරන ලිඳකුත් තියනව ...මට ආසාවේ බෑ.....

එලියට බැස වත්ත පිටිය නිරික්සන්නට යෙදුණු සුනන්දා ආපිට ආවේ එසේ කියමිනි. පාරමී ගේ සිතට නිවෙස ගැන කැමැත්තක් ඇතිවූයේ ඉබේමය....අම්මාට දුරකතන ඇමතුමක් දුන් විට ඇය කීවේ ද ඇය පැමිණ බැලීම අනවශ්‍ය හෙයින් පාරමී ට තීරණය ගන්නා ලෙසය.

නෝනා මොකද කියන්නෙ...ගෙදර ට කැමතිද.....

ගෙහිමියා විමසුවේ පාරමී යළි අසුන් ගත් පසුය.

ගණන් හිලවු ගැන කතාබහ ට පසු ඇත්තෙන්ම පාරමී සිතුවාටත් වඩා සාධාරණයක් අනුව මිල ගණන් තීරණය විය. ඔප්පු ලීවීම් ආදිය ගැන කරුණු කාරණා කතාබස් කොට ගෙන පාරමී සුනන්දා ගෙදරින් බස්සවාගෙනම ආපසු නිලනිවෙස්නය වෙත පැමිණියය.
ලබන මාසයේ සිට අම්මා සහ මාලනී සමග මේ නිවස්නය වෙත ආ හැකිය.ඉතින් සතියේ දින පහ සාංකාවක් නැතිව ගෙවී යා හැකිය. සති අන්තය ඔවුන් සමග ගම් පියසට යාමට ද හැකිය.පාරමී රත්මල්ගොඩ සිය ජීවිතයේ අතීතය සහ අනාගතය සම්බන්ධයෙන් වදවූයේ නැත. වර්තමානය සතුටින් සිටිය හැකි නම් එය වුවමනාවටත් වඩා ප්‍රමාණවත් ය.

******************************************************************************************* 

                
වාට්ටුවේ ගාල ගෝට්ටිය පාරමී එනතුරුත් ඉන් පසුවත් නිමවී නොතිබුණි....පාරමී රත්මල්ගොඩ මේසය අසල සිට අත්දෙක බැඳගෙන ම නිහඬව බලා උන්නාය. වාටිටුවට අලුතින් ඇතුල් කරන රෝගීන් සමහරකගේ මුල් හැසිරීම මෙයමය.ඉදින් පලමු දිනවල සම්පූර්ණ වාට්ටුවම උඩුයටිකුරු වන ස්වභාවයක් ගන්නා එක අමුතු දෙයක් නොවේ.
ප්‍රධාන හෙද නිලධාරිනිය වෛද්‍ය වාර්තා අඩංගු ඇඳ ඉහපත් ලිපි ගොනුව අවුස්සා එකක් අතට ගෙන පාරමී අත තැබුවාය. වාට්ටුවේ ඇති කලබලය දෙස බලා උන් පාරමී සිය අතපත්වූ ලිපිගොනුව පෙරළා බැලුවාය.

ප්‍රසංගි හුණුපිටිය
වයස 25
කලුතර 

පාරමී ලිපිගොනුව මේසය මත තබා ඇවිද ගියේ ඇඳ අසළටය.

ආ... මෙන්න ආවා.. මෙන්න ආවා..උඹ තමයි මේ ඔක්කොටම මුල..මගේ රත්තරන් කෝ...හැංගුව නේද එයාව ගෙනත් දීපන් එයාව මට....

පාරමීගේ ඇඟට කඩා පනිමින් ඇය කෑගසන්නට පටන් ගත්තේ වියරු වැටුණාසේය.

කෝ කෝ එහාට වෙන්න එහාට වෙන්න ...මැඩම්ගේ ඇඟේ එල්ලනේ නැතුව එහාට වෙන්න...ඔයා ඔහොම දඟලන්න ගියොත් අල්ලලා බැඳලා තියන්න වෙනවා ..

සුනන්දා වහා ඉදිරියට පැන්නේ රෝගියාගෙන් ප්‍රධාන වෛද්‍යවරියට අනතුරක් වේ යැයි බියෙනි ...

සුනන්දා කලබල නැතුව පොඩ්ඩක් ඉන්නකෝ ...අපි බලමුකෝ ප්‍රසංගිට මොකද වෙලා තියෙන්නෙ කියලා ...

පාරමී සුනන්දාගේ උරහිසෙන් අල්ලා මඳක් පසෙකට කළාය . රෝගීවූ යුවතිය එනම් ප්‍රසංගි ...ඇඳ මත හිඳ ගෙන උන්නේ හිඳ ගෙන උන්නේ පාරමී දෙසටම රවාගෙන ය .

මොකක් වෙන්නද ....මොකක් වෙන්නද ..ඔක්කොම කරලා කරලා දැන් මෙතන ඉන්න හැටි ....
ඇය යලිත් උගුර යටින් කෑ ගැසුවාය ....

මේ අහන්නකො ප්‍රසංගි....දැන් ඔහොම අපි කලබල වෙලා බෑනෙ.....අපි හෙමීට එයාගැන හොයා ගමු ....දැන් හොඳ ළමයා වගේ මේ මිස්ලා කියන දේ අහලා ඔය බෙහෙත් ටික බීලා ඉන්නකො.

පාරමී සුනන්දාට ඇසින් ඉඟිකරමින් එතනින් ඉවත් වූවාය ....වෛද්‍යවරුන්ගේ මේසය වෙත පැමිණි ඇය ....නැවතත් ප්‍රසංගී ගේ ලිපිගොනුව පෙරළා ගත්තාය.

Suicidal attempt ......හ්ම්ම්....
මෙයාගේ ගෙදර කට්ටිය ඇවිල්ලා ඉන්නවද..මිස් ....

පාරමී රත්මල්ගොඩ ඇසුවේ වාට්ටුවේ උන් හෙදියක ගෙනි. 

ඔව් මැඩම් අන්න කොරිඩෝ එකේ ඉන්නවා ....

හෙදියගේ පිලිතුරු සමගින් පාරමී ඔවුන් කැඳවාගෙන එන්නට සුනන්දා යැව්වාය. පවුලේ සාමාජිකයන් සමග කතාබහ කොට මේ කාරණය ගැන බොහෝ කරුණු දැනගන්න ට හැකිවනු ඇතැයි සිතමින් පාරමී ඔවුන් එන පෙරමඟ බලා උන්නාය.


************************************************************************************************* 

යලි හමුවෙමු 

මම 

විසිරි සිහින 

Sunday, November 27, 2022

05 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 හතර වෙනි කොටසට මෙතනින්     04


 පස් වෙනි කොටස





"මැඩම් ....කවුද මේ ටික හැදුවෙ..." ඉදිරි මිදුල හැන්දෑ යාමයේ ටිකෙන් ටික සැකසුවේ තමා විසිනි. ඔහේ හැඩිව ගිය මිදුල තමා අසීරුවෙන් සකසන අන්දම දැක සේවකයන් දෙදෙනෙක් උදලු රැගෙන විත් මුලු මිදුලම උදලු ගා ඔපමට්ටම් කොට ඒමේ අත විසිර තිබූ කැටකැබිලිති සියල්ල ඉවත් කොට දුන් හ.

අසල වූ පැල තවානකට හැන්දෑ යාමයේ ගොස් තණපිඩලි රැගෙන ආවේ තමා විසිනි....දැන් දින කීපයක් තිස්සේ රෑට වට වැස්ස තණ පිඩැලි පොලවට අල්ලවා තබා ඇත.අම්මාගෙන් උගත් යම් යම් දේ ජීවිතය ට කෙතෙක් වටින්නේදැයි පාරමී අවබෝධ කරගනිමින් උන්නාය.

තණ පලස කෙලවර වැරැන්ඩාවට පිවිසෙන තැන රෝස මල් පිරුණ පෝච්චි කිහිපයක් තබා තිබුණි. තණ පලසේ කොල පැහැය හා මුසුවන රතු,කහ ,රෝස මල් ....නිවෙසටම ගෙන ආවේ අමුතුම එළියකි. 

මම හැන්දෑවට ටික ටික මිදුල හදාගත්තා සුනන්දා....පිරිමි ළමයි දෙන්නෙක් ඇවිල්ල උදව් කලා....ඉන්නෙ දවසක් දෙකක් උනාට ඉන්න තැන ලස්සනට තියෙන්න ඕන සුනන්දා 

පාරමී සුනන්දාගේ දෑස් වල මතුවූ එළියෙන් සුබ ලකුණු වටහා ගත්තාය...

එම එළියේ පැහැය විද්‍යාමාන වූයේ පසුදිනයේ ය....වාට්ටුවේ ඉදිරිපස වූ මල් පාත්ති පණගසා අලුතින් සැකසෙමින් තිබිණ. රෝගීන් සමගම සුනන්දා සහ සෙසු සහය සේවිකාවන් මල් පාත්ති අතර සැරිසරනු පාරමි රත්මල්ගොඩ දුටුවේ උදෑසන වාට්ටුවට පැමිණෙන අතරේය ...ඇත්තෙන්ම සිත තුළ නැඟෙන්නේ සිහින් ආඩම්බරයක් සමඟ ඇතිවූ සමග ඇති වූ අප්‍රමාණ සන්තෝෂයකි .

වාට්ටුව එකෙන් එක හැඩ වෙමින් පවතින විට ඒ අසලින් එහෙ මෙහෙ යන සියලුම කාර්ය මණ්ඩලය ඒ දෙස බලා උන්නේ අරුම පුදුම දෙයක් දකින්නා මෙනි. 

" නැති කරදර ....අන්තිමේ මේවා දැක්කම අපිටත් ඕක කරන්න සිද්ධ වෙනවා ..." තරමක් වයස්ගත වූ සහය සේවිකාවක් ....නොරිස්සමෙන් මෙන් කියමින් එතනින් ඇවිද ගියේ ගස්සාගෙන මෙනි. සුනන්දා සිය යෙහෙළියට ඇයව පෙන්නා උරහිස් දෙක අකුලා සිනහසෙන පාරමී රත්මල්ගොඩ දුටුවත් ඇය එය නොදැක්කා සේ වාට්ටුව තුලට ඇතුළු වූවාය ...

අපේ කට්ටිය අන්න උදෙන්ම වැඩ පටන් අරන් මැඩම්....

වාට්ටුවේ වෛද්‍යවරිය සිනහසෙමින් පැවසුවාය.

ඔව් ඔව් මම බලන් ආවේ ඒ දිහා.....පාරමී රත්මල්ගොඩ හෑන්ඩ්බෑගය මේසය මත තබා වාට්ටුවේ කෙටි දොරකඩින් එබී බලා උන්නාය.

තුරුණු වියෙහි සිටිනා බොහෝ ගැහැණු දරුවන් මේ සා මානසිකව අගාධයකට වැටෙන්නට හේතුව සමාජයේ වරද දැයි ඇය සිතුවේ ...සුනන්දා සමග වැඩ කරන යුවතියක් දෙස බලමිනි.දින කිහිපකට පෙර වාට්ටුවට ඇතුල් වූ ඒ යුවතිය අධික විශාදීය තත්වයක් හේතුවෙන් සිය දිවි නසාගන්නට තැත්කොට බේරාගත් අයෙකි.ඇයගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය රෝහල් ගත කර තිබුණේ මානසික වියවුල තදබල ව තිබූ හෙයිනි.

ඩොක්ටර් මේඝා ...අර බෙඩ් නම්බර් ත්‍රී ඉන්න ළමයා නේද සුනන්දා එක්ක හරි හරියට වැඩ කරන්නෙ.....

පාරමී ඇසුවේ සිය වාට්ටුවේ වෛද්‍යවරියගෙනි. පාරමී ඉන්නා දොර අසලින් එදෙසට එබුන වෛද්‍යවරිය ...

ඔව් මැඩම් අර සුවිසයිඩ් කරගන්න ගිහින් බේරගෙන එව්ව ළමයා නෙ...බලන්නකො මැඩම් හිනාවෙලා ඉන්න හැටි දැන්....

පාරමී ඒ යුවතිය දෙස බලා උන්නේ සතුට මුසු හැඟීමකිනි. මිනිස් ජීවිතයක වටිනාකම කෙතෙක් වුවත් ආවේගයන් බහුල දිවියේ එයට වටිනාකම් නොලැබේ . ඉදින් අතහැරයාම විසඳුමක් ලෙස පෙනීම අරුමයක්ද නොවේ.

මිනිසුන් ජීවිතයේ කායික මානසික දෙයාකාරයෙන්ම නීරෝගී විය යුත්තේ එහෙයිනි. තමා වටා ඇති ලෝකය ගැන අප්‍රමාණ බලාපොරොත්තු තබා ගන්නා මිනිස්සු තමා ගැන ඒ බලාපොරොත්තු තබාගන්නට නොවෙහෙසෙති....ඉතින් ලෝකයේ ඇතිවන වෙනස්කම් හමුවේ විකල්පයන් නොදකින ඔවුහු ක්ෂණික තීරණ ගන්නේද ඒ තරම්ම වේගයෙනි.

මනුස්සයා කියන සත්වයාට හරි තීරණ ගන්නට මොලයක් ස්වභාවයෙන්ම ලැබෙන්නෙ අනික් සත්තුන්ට වඩා දියුණු ජීවියෙක්ව කරල ඉහලින් තියල තියෙන්නේ ඇයිද කියලවත් නිකමට හිතෙන්නෙ නැත්තෙත් පෙර පවකට පුතේ .....අම්මා විටෙක විස්සෝප වෙමින් පැවසුවේ එදිනෙදා පුවත්පතක අසන්නට කියවන්නට ලැබෙන පුවතක් ගැනය.

එහෙත් දැන් දැන් වාට්ටුවල ට එන අයගේ කතා පුවත් පාරමී අම්මාට නොපවසන්නේ අම්මා ජීවත් වන සමාධිගත සුවදායී ජීවිතයට එවන් කතා පුවත් වලින් බර නොදිය යුතු හෙයිනි.

පාරමී ගේ සති අන්තය ගෙවී ගියේ අම්මා සමග සුපුරුදු සැනසීම සපිරි තමන්ගේ නිවසේ ය .උදෑසන තේ පානයට පෙර අම්මා කොහිද කියා සෙවූ පාරමී ට අම්මාගේ සුපුරුදු දින චර්යාවේ එක් අංගයක් වූ නිවසේ පසු පස පිහිටි කුඩා වගාබිම අතරේ එහෙ මෙහෙ ඇවිද යන අම්මා ඇස ගැටුණි . බොහෝ අතීතයේ පටන් අම්මාගේ වැඩි කාල වේලාවක් ගත වූයේ ගස්කොළන් සමඟිනි ....

හිතට ශාන්තියක් දැනෙන්නේ මෙන්න මේ වගේ ගස් කොළන් අතරින් ඉන්නකොටයි පුතේ...අපි හැමතිස්සේම ඉන්නේ කොන්ක්‍රීට් වනාන්තරවල...ඒත් මේ කොළ පාට ඇස් වලට හුරු උනාම අපේ ජීවිතයේ තියෙන හුඟක් ගැටලු අපෙන් ඈත් වෙලා යනවා ...ඒ වගේම මේ ගස් අතරෙ තියෙන නැවුම් හුස්ම අපි නිරෝගී කරනවා ....

අම්මා නිතර කීවේ එවැනි අදහස් ය...පාරමීට ගස්වැල් අතර කාලය ගත කරන්ට ලැබුණේ සතිඅන්තයේ පමණි . මානසික වශයෙන් ඔද්දල් වූ ජීවිත සමගින් සුවපත් කිරීමේ කාර්යයට කැපවෙන පාරමීට සති අන්තය අම්මාගේ ඇසුරේ මේ ගහකොළ අතරේ ගෙවන්නට ලැබීම පවා මනා නිදහසක් සුවයක් විය.

මං බැලුව අම්මා කෝ කියලා ....නිකමට හිතලයි මේ පැත්තට ආවේ 

පාරමීගේ හඬින් හිස ඔසවා බැලූ අම්මා සිනහ වූවාය ....

උදේට මේ ගස් කොලන් අතරට ආවම හරි සැනසීමයි පුතේ.....

අම්මා පාරමීගේ අත තැබුවේ ඇඹුල් පේර ගසින් නෙලාගත් ඉදුණු ගෙඩි කිහිපයකි. ඇඳ උන් කලිසමේ සාක්කුවට පේර ගෙඩි කිහිපය දමාගත් පාරමී උදෑසන සිහිලසින් මත්වී දෑත් පොරවා ගත්තාය.....

පාරමී අම්මා එතනම සිටියදී මඳක් වත්ත පහලට ඇවිද ගියාය . වත්ත කෙළවර මායිම් වනුයේ කුඩා ඈල පහරක් ගලා යන වෙල් යායෙ සීමාවෙනි.. වෙල් යාය කෙළවර වූ තුරු හිස් ගොමුවට ඈතින් අහස පැහැදිලි දවසට පෙනෙන්නේ සිරිපා කන්දයි ...කුඩා කල සිටම නිවසේ සිටින දවසක් වේ නම් පාරමී පුරුදු වූයේ වෙල්යාය අද්දර තම ඉඩමේ ඇති ගල් තලාවට පැමිණ ඇස් දෙක කුඩා කරමින් ලොකු කරමින් සමනල කන්ද ඇස් මත වීමට අල්ලා ගැනීමට තැත් දැරීමයි .

අදත් එබඳු දවසකි....අහස බොහෝ පැහැදිලිය.වළාකුළු ඇත්තේ ම නැති තරම් ය. ඉඩම අද්දරින් ගලා යන ඇළ පහර පුදුමාකාර තරම් පැහැදිලි පිරිසිදු දියෙන් යුතුය...ඇළ දෙපස ඇති කුඩා කෙටල පඳුරු අතරේ දැවටෙන දියපහර සිලි සිලි හඬ ගීත ස්වරයෙන් ගලා යයි. ඉන් ඔබ්බෙන් වූ කෙත් යායම මේ දිනවල නිල්ල නිලට හුරු වී අලුත් ගොයමෙන් බර වී ඇත. පාරමී බොහෝ පැහැදුණු සිතකින් සමනොල කඳු ඉසව්ව දෙස බලා උන්නාය .....තාත්තා බොහෝ අතීතයේ දී මේ ඉඩම ගන්නා විට...ඒ සියලු භූමි ලක්ෂණ ගැන සැලකිලිමත් සැලකිලිමත් වූයේ දැයි පාරමීට විටෙක සිතෙයි...පාරමීට අවුරුදු පහක් සපිරෙන්නට මත්තෙන් හදිසි හෘදයාබාධයකින් ජීවිතයෙන් සමුගෙන ගිය තාත්තා පිළිබඳ ව ඇත්තේ ඉතා සියුම් කෙටි මතකයක් පමණි...

පර්චස් හතළිහක් පමණ වූ වත්තේ පිටුපස කොටස එදා සිට අද දක්වාම අම්මාගේ මහන්සියෙන් විවිධාකාර බෝග වගාවට නතු වී තිබුණි . 

ඉතින් මෙබඳු සුන්දර පරිසරයක් හැරදමා අම්මාට තමා හා ජීවත් වන්නට යන්නට කතා කිරීමම කෙතරම් අසාධාරණ දැයි පාරමී රත්මල්ගොඩ විටෙක සිතුවාය. 

අම්මාගේ වයසත් සමගින් ඇය ජීවත් විය යුත්තේ සිත සැනසුම සදන මෙබඳු සාමකාමී පරිසරයක ය.කොළඹ ආසන්නයෙන් මෙබඳු පරිසරයක් සොයා ගැනීම ඉතාම අසීරු කාරණයකි. 

පාරමී ගල්තලාවේ කෙළවරක හිඳගෙන මද වේලාවක් ඔහේ බලා උන්නාය. 

පුංචි නෝනගෙ තේ ඒක මං ඔන්න මෙතෙන්ට ම අරං ආවා..... මාලනී ගේ හඬින් හිස ඔසවා බැලූ පාරමී දුටුවේ ඇය පසුපසින් සිය තේ එක රැගෙන පැමිණෙන අම්මාය ....අම්මාත් ගල්තලාවෙහි පසෙක හිඳ ගත් පසු මාලනී ආපසු නිවෙසට ඇදුණේ උදෑසන ආහාරය සෑදීමේ අවශ්‍යතාවය හඟවා ය. 

ඔයා ආසම කරන දේ තිබෙනවා අද ... සමනල කන්ද.... අම්මා ඈත ඉසව්වට අත දිගුකරමින් පෙන්වූවාය...

ඔව් මම අද ගොඩක් වෙලා බලාගෙන හිටියා අද අහස පුදුමාකාර විදියට පැහැදිලියි නෙ අම්මා

තාත්තා ඒ කාලේ මෙතන ඉඩම ගන්න කොට ඔය දර්ශනය ගැන හුඟාක් හිතුවා පුතේ. ඔයා හම්බ වෙන්න ඉන්න කොටත් මා එක්ක ඇවිල්ලා මේ ගල්තලාවේ වාඩිවෙලා ජීවිතේ ගැන හුඟාක් දේ කතාකලා...ඔයාට මතකද පොඩි කාලෙ තාත්තා එක්ක මෙතනට එනව....

අම්මාගේ හඬෙහි ශෝකයක් ඇතිදැයි පාරමී විමසා බැලුවේ සිය සිතෙනි...නැත...එය එතරම්ම නිවී පහන් වූ සිතකි

මට මතකයි අම්මා....ඉස්සර තාත්තා ඇල අයිනෙන් දං කඩලා දුන්නා මම මෙතන ඉඳගෙන ඉද්දි....ඇල ගැඹුරු නැති උනත් තාත්තා මට තනිවම ඒකට බහින්න දුන්නෙ නෑ....

පාරමී සිය මතකාවර්ජනය කලේ සතුටු සිතිනි...ඒ පරිසරය සුලු සුලු වෙනස්කම් වලට ලක්වෙමින් වුවද තවම ඒ සොඳුරු බව නසා නොගෙන පවතී....

ගෙදර යං ....උදේට කෑම හදන් මාලනී බලන් ඇති.....අම්මා ගල් තලාවෙන් නැගී උන්නේද පාරමී සමගිනි....ගල්තලාවේ සිට නිවෙසට යන කෙටි අඩි පාර බොරළු දමා සකසා ඇත...ඒ දෙපස කුඩා කහ පැහැති තාරුකා මල් පඳුරු යායකි....උදෑසන වට පින්නෙන් මල් පෙති නැවුම් ව බබලනු ඒ අතරින් ඇවිද යන පාරමීට පෙනුණි....

අම්මා මම මේ ටිකේම අපිට වීක්ඩේස් වල ඉන්න තැනක් බල බලා ඉන්නේ ....මට වෙලාවකට හිතෙනවා අම්මා මෙච්චර මේ සැනසීමෙන් ඉන්න මෙතනින් සතියේ දවස් පහකට වුණත් ..වෙන තැනකට එක්ක යන එකත් අසාධාරණයි කියලා ......හොස්පිටල් එක කිට්ටුව පරිසරයේ මේ වගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තැනක් තියෙයිද කියලා හිතන්න අමාරුයි නෙ අම්මා ....

පාරමී උදේ ආහාරය ගන්නා අතරේ අම්මා සමග පැවසුවාය..... 

පුතේ අපි මේ මොකුත් යනකොට ගෙනියන්න තිබෙන ඒවා නෙමෙයි....අපි ජීවත් වෙන්නේ කොතැනද...එතන අපිට ගැලපෙන විදියට හදා ගමු.... මට එහෙම .ප්‍රශ්නයක් නැහැ ....මේ ගස්කොලන් වලට වතුර ටිකක් හෙම දාන්න අපිට එහා ගෙදර අයට කියන්න පුළුවන් නෙ...දැනටත් එයාල අපිට උදව් වෙන එකේ .....

අම්මාගේ දැක්ම ඒ සා පුලුල්‍ ය....ඇය කිසිවකට එල්බ සිටින්නේ නැත...කම්පා වන්නේද නැත.නැත හොත් කම්පා වන්නට කාරණා ජීවිතය පුරා කෙතරම් නම් යෙදුනිද.....

පාරමීගේ මතකය බොහෝ දුර ඇවිද යන මොහොතක අම්මා ඇය දෙස බලාඋන්නේ අප්‍රමාණ සෙනෙහසකිනි...

කනවෙලාවට කෑම එක ගැන කල්පනාවෙන් කන්න මැණික....හොස්පිට්ල් ගියාම ඔයා දුවන ගමන් කන්නෙ ..අඩුගානෙ ගෙදර ආවම වත් කෑම එක කන්න හොඳට නිදහසේ...ඇඟට අල්ලන්න වත් 

අම්මා පිඟාන ගෙන නැගිට්ටේ පාරමීගේ හිස අතගාමිනි. යමෙක්ට ජීවිතයේ නිවනක් බඳු තැනක් වේ නම් එය තම නිවහන විය යුතුමය. පාරමී රත්මල්ගොඩ වචනයේ පරිසමාප්තියෙන්ම නිවස නිවනක් කොට ගෙන වින්දාය.එ නිවන ඇයට සදන්නේ අම්මා මිස අන් අයෙක් නොවේ....

අහර ගෙන කාමරය වෙත ගිය පාරමී රත්මල්ගොඩ සිය ජංගමය අතට ගත්තේ ඒ වන විටත් නාද වෙමින් තිබූ හෙයිනි.....

"කී සැරයක් කෝල් ගත්තද ළමයො...කොයි ලෝකෙක යනවද ඔයා...."පාරමීගේ මුවගට සිනහවක් නැගුණේ එවදන් අසාය. ඉතින් ඒ අම්මා හැරුණ විට ජීවිතය ට සමීපම හදවතයි......පලමු වසරේ සිට එකාවන්ව එකට වැටී උන් ප්‍රාණසම යෙහෙළිය දැහැමිය....

අම්ම එක්ක කතාවේ වැටිලා කකා උන්නා ...වෙලාව යනව තේරුණේ නෑ...මම ඔය පැත්තෙ එන්න කියල මේ හැදුවෙ....අද වැඩක් මොකුත් නෑනෙ .....

පාරමී සිනහසෙමින් පැවසුවාය....

නෑ....අම්මාට ගලේ කන්දේ පන්සලට දානෙ දෙන්න මේ මාසෙ පහලොව ට මතක් කරල එන්න යන්න ඕනෙ කිව්ව....ඔයා එනවනම් ...මම අම්මාට කියන්නම් අපි දෙන්න ගිහින් එන්නම් කියල....

දැහැමිගේ දැහැමි ස්වරය හරිම සන්සුන්ව ගලා එන විට පාරමිට සිනහ නැගුණේ එක්වනමය...

සාදු සාදු පින්වතිය....ඔතන කවුද ඉන්නෙ කිට්ටුව...කතාබහ ඔච්චර සන්සුන් වෙන්න තරම්....

පාරමී හඬනගා සිනහසුණේ එසේ අසමිනි.....

මම කියන්නම් .....ආවම....එන්නකො....එහෙනම් තිව්වා....බුදුසරණයි .

දැහැමි ගේ හඬද සිනහවෙන් උතුරා යනු පාරමීට දැනුණි....ඉතින් කලකට පසු ඇය දකින්නට යායුතුමය...

රෝහලේ වැඩ කටයුතු වලට හිරවෙමින් සති අන්තය පමණක් ගෙදර ආ හෙයින් ගෙදරටම වී උන්නා මිසක ...ගෙදරින් එළියට බහින්න වත් පාරමීට සිතක් නොවීය .......

අම්මා මම දැහැමිලාගෙ ගෙදර පැත්තට පොඩ්ඩක් ගිහින් එන්නම්....එයාට ගලේ කන්දේ පන්සලට ගිහින් එන්නත් ඕන කිව්වා ...මම එයත් එක්ක පන්සලට පොඩ්ඩක් ගිහින් එන්නම් .....

අම්මාගේ කාමරයට ඇතුල් වෙමින් පාරමී පැවසුවේ ඇඳ උන් දිගු කුර්තා බ්ලවුසය සකසමිනි. අම්මා ඇඳේ විට්ටමට හාන්සි වී පොතක් කියවමින් උන්නාය...අම්මා තරම් පොත් කියවන කතක් පාරමීගේ ජීවිතයේ ඇය දැක නැති තරම් ය.

ඇති යන්තම් ....එළියට බහින්න හිතුණා....එහෙනම් දවල්ට කන්න එන එකක් නෑ ....පරෙස්සමින් ගිහින් එන්න මැණික....

අම්මාගේ දෙපා මුල දණගැසූ පාරමී ගේ හිස පිරිමැදි අම්මා පැවසුවාය ....

පාරමීගේ වාහනය දැහැමිගේ ගෙමිදුලෙහි නවත්වන විටද දැහැමි උන්නේ දොරකඩට වී යන්නටම සූදානමිනි.

කෝ අම්මා.....

පාරමී නිවෙසට ඇතුලු වෙමින් ඇසුවාය....දැහැමි ගේ අම්මා පාරමීට සැලකූවේ තමන්ගේම දියණියට මෙන්‍ ය. ඒ අපූරු මිත්‍රත්ව බැඳීම පවුල් දෙකටම කාන්දු වූයේ යෙහෙළියන් දෙදෙනා හරහාය. දැහැමිගේ එකම අක්කා උන්නේ විවාහ වී විදෙස්ගතවය...ඇය සිය සැමියා සහ දරු දෙදෙනා සමග ඉඳහිටක ලංකාවට පැමිණ ගියහ. ....දැහැමි ...විවාහ වූයේ මීට වසර හතරකට පමණ පෙරය.නාවික සමාගමක රැකියාවක නියුතු ඇයගේ සැමියා වසරකට වරක් පැමිණෙන අතර අම්මා සහ තාත්තා දෙදෙනා ම අසනීප තත්වයෙන් පසුවූ බැවින් දැහැමි උන්නේ තමන්ගේම නිවසේය.

අම්මාගේ නෑදෑයෝ කට්ටියක් ඇවිල්ලනෙ ....උයනව ගජරාමෙට ..යං කුස්සිය පැත්තට එහෙනම්.....

දැහැමි ඉස්සර වූවාය....

අහා.... ඒකයි මේ දැහැමි ස්වරයෙන් උඹ කතාකලේ....අනේ අනේ....

පාරමී මහ හඬින් හිනැහුණේ දැහැමිට පහරක් ගසමිනි.....

කෑගහන්න එපා යකෝ...

දැහැමි පාරමීගේ කට අතින් වසමින් දත් අතරින් පැවසුවාය.... ඇයගේ මේ හැසිරීම අමුතුය....පාරමී සාලය හරහා මුලුතැන්ගේ දෙසට ඇවිද ගියේ එසේ සිතමිනි....මුලුතැන්ගෙය ට පිවිසෙන දොර අසලදී පාරමීගේ ඇඟේ හැපුණේ මුලුතැන්ගේ දෙස සිට ජංගම දුරකථනයක් කණේ තබා ගෙනම පැමිණි අයෙකි....ඒ හැපුණ වේගයට පාරමී විසිවී ගොස් බිත්තියේ වැදුණේ .... ඇයව කෑගස්සවමිනි...


********************************************************************************************* 

යළි හමුවෙමු 

මම 

විසිරි සිහින 


Wednesday, November 23, 2022

04 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 තුන්වෙනි කොටසට මෙතනින්   03



හතරවෙනි කොටස



ඒ සති අන්තය පාරමී රත්මල්ගොඩ ට වෙනදා තරම් විවේක ගන්නා එකක් නොවූයේ සඳුදා සිට නිලනිවස්නයට යාමට තීරණය වූ හෙයිනි.කඩ කෑම සම්බන්ධව අම්මාගේ දැඩි විරෝධතාවය එල්ලවූ නිසා කුඩා ගෑස්ලිපක් සහ සිලින්ඩරයක් ද ගෙන ගොස් තබන්නට සිදුවිය. කාමරයේ වූ කුඩා ශීතකරණයද අවසානයේ නිලනිවස්නයේ සාමාජිකත්වය ලබා ගත්තේය .

අම්මා මාලනී සමග එක්වී ඇඹුල්තියල් , අච්චාරු සහ බැදුම් සැකසූයේ බෝතල් කර තබා ගෙන කන්නට කියාය.

අම්මා මම මාස ගණනකට යන්නෙ නෑ....සතියෙ මැද එක දවසක් ගෙදර එනවා...මෙච්චර මහන්සිවෙන්නෙ ඇයි අනේ....

පාරමී අම්මා ගේ වෙහෙසීම දැක නෝක්කාඩු කීවය. 

මොන මහන්සියක් ද මැණික...ඔයාට බත් එකක් ගහල මේ දෙකක් එක්ක සැලඩ් එකක් හදාගත්තම ලේසියෙන් රසට කන්න පුළුවන් ....ගෙයක් බලල අපි එතනට එනකල් මෙහෙම කරගම්මුකො...අනික වෝඩ් එකේ වැඩ කරන් ඇවිල්ල හරියට කෑමක් නොගෙන කොහොමද පුතේ 

අම්මලා එහෙමය. හිතන්නේම දරුවන් කන්නෙ බොන්නේ නිදන්නේ කෙලෙසකද යන දේ ගැනය. අම්මා පිළිබඳ හිතේ උපදින ආදරය තව තවත් වැඩිවන්නේ මෙහෙම වදන් හමුවේය

සඳුදා උදය වරුවම වාට්ටු දෙකෙහි ගතකල පාරමී රත්මල්ගොඩ දිවා ආහාර වේලාවේ සිය නිල නිවස්නයට ගොඩ වැදුණාය. වාට්ටුවේ සේවිකාවක් වූ සුනන්දා ඇය සමග නිල නිවස්නයට පැමිණියේ අවශ්‍ය සහයක් වේ නම් දෙන්නටය.

අනේ ඕන නෑ සුනන්දා....මේ ඔක්කොම ඊයෙ අස් කලානෙ...මම කෑම කාලා හවස ආයෙ වෝඩ් එකට එන්නම්....

සුනන්දා සමුගෙන ගිය පසු බෑගය මේසය මත තැබූ පාරමී රත්මල්ගොඩ ගෙය පුරාම ඇවිද බැලුවාය. කාමර දෙකක්, සාලයක්, කුඩා මුළුතැන් ගෙයක් සහ වැසිකිලි සහ නාන කාමරයකින් හෙබි නිල නිවස්නයේ ඉදිරිපස කුඩා වැරෙන්ඩාවකි. ඒ වැරෙන්ඩාව ඉදිරිපස වූ කුඩා ගෙමිදුල පෙර උන් නිවැසියන් ගේ ස්වභාවය පෙන්නුම් කලේ අපිළිවෙල හෙයිනි. පාරමී රත්මල්ගොඩ ට අම්මා සිය ගෙමිදුල පවත්වා ගන්නා අපූරුව සිහිවිය.

ඉන්න තැන ලස්සනට පිළිවෙළට ඉන්න අපි හැමෝම පුරුදුවෙන්න ඕනෙ....පාසලේ දී පවා එවැනි ගතිසිරිත් සිසුන්ට ඉගැන්වූ අම්මා කෙනෙක්ට දුටුමනතින් සිත ඇදී යන උයනක් නිවසේ නිමැවූවාය.

ඉන්නෙ සතියට දවස් තුනක් හතරක් වුණාට කමක් නෑ....මිදුල ටිකක් හදාගන්න ඕනෙ...

පාරමී වැරැන්ඩාවේ සිට කුඩා මිදුල දෙස බලමින් සිතුවාය. නිලනිවස්නය සායම් ආලේප කොට සකසා තිබූ හෙයින් කියන්නට තරම් වරදක්ද නැත. 

ප්‍රධානම දේ නිදන කාමරය , වැසිකිලි සහ නාන කාමරයයි...ඒ සියල්ල පිරිසිදු මෙන්ම සෑහීමකට පත්වන්නට හැකි මට්ටමේය. පාරමී අලුතින් ගෙනා ඇඳ ඇතිරිල්ල එලා කොට්ට උරද දැම්මාය.. නැවත වාට්ටුවට යායුත්තේ හවසය. එහෙත් සාරිය පිටින් ඇඳට වැටෙන්න ට නොසිතේ....සාරිය ගැලෙව්වොත් යළි අඳින්නට කම්මැලිය. එහෙයින් සාලයේ සෝපාවේ මඳක් දිගා වූ පාරමී විවේකයක් ගත්තාය.

හවස් වරුවේ වාට්ටුවට ගිය මොහොතේ වරකට එකක් යන සංකල්පයෙන් ඇය වෙනස්කමකට අත ගැසුවාය. 

"මිස් නුවන්ගි....වැඩකද ඔයා....?" පාරමී ඇසුවේ නවක හෙදියකගෙනි....අලුතින් පැමිණි තරුණ හෙදියන් කවදත් කඩිසරය. අනවශ්‍ය ප්‍රශ්න වලින් ඔද්දල් නොවූ සිතැති තරුණ ගැහැණු ළමෝ සේවයට ලැදිය.

"මැඩම්....ලොකු වැඩක් නම් නෑ.... ඇයි මැඩම්...?" ඇය වහා මේසය වෙත දිව ආවාය.

"අපි මේ සතියේ පොඩි වැඩක් කරමුද මිස් නුවන්ගි....කවුද ඔයාගෙ අනික් මිස්ලා දෙන්නා රශී මිසුයි සුදීරා මිසුයි ත් හවුල් කරන්...."පාරමී කාර්‍ය මණ්ඩලයේ සියල්ලන්ගේම නම් මතකයේ තබාගන්නට දින දෙකක් තුනක් අතර ගතවෙද්දී සමත්වූවාය.

තරුණ හෙදියගේ මුව සිනාවෙන් විකසිත විය....මැඩම්ට ඔක්කොම නම් මතකයිනෙ...අපිට නම් මේ කියන එක මේ මතක නෑ...ලෙඩ්ඩුන්ගෙ නම් වුණත් කීපාරක් අහන්න වෙනවද .....මොකක්ද මැඩම් කරන්න ඕනෙ....ඒ දෙන්නා ගියා ඔෆිස් එකට පොඩ්ඩකට...." නුවන්ගී සිනාමුසුව කියවාගෙන ගියාය.

" මේ BHT ටික හොඳටම සවුත්තු වෙලා නේද නුවන්ගි මිස්...අපි ස්ටෝර්ස් වලින් ෆයිල් ගෙනල්ලා පිළිවෙළකට මේ ටික හදමුද .....ඩොකියුමන්ට්ස් පවා හුඟක් ෆයිල් වල මිස්ප්ලේස් වෙලා කියල පේනව ...එහෙම නොවෙන්න අපි පිළිවෙළක් කරමු නේද...."පාරමී තම සිතැඟියාව පරෙස්සමින් කියාදැමුවාය. ඒ මොහොතේ එතනට පැමිණි ප්‍රධන හෙද නිලධාරිනිය ද පාරමී ගේ අදහස අනුමත කළාය. 

ඇත්තෙන්ම ඔව් මැඩම්....අපි ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ ඉඳන්ම පුරුදු වුන දේවල් නෙ ඒවා..මේ තරුණ ළමයි ඒව කරන්න හුරු වෙන්න ඕනෙ....මම පොතේ ලියල බඩු ටික ගෙන්නල දෙන්නම් ...නුවන්ගි මිස් අවශ්‍ය ප්‍රමාණ ටික කියන්නකො...." 

වැඩේ සිතුවාටත් වඩා පහසු එකක් වූයේ එලෙසිනි

ස්ථානයක් මේ සා අපිළිවෙල වන්නට හේතුව එහි සේවක මඬුල්ලේ ඇති කුමක් හෝ නොගැලපීමක් විය යුතුය. පාරමී අදාල කාරණය පසුපස හඹා නොවැටී ක්‍රමානුකූලව වැඩට බැස්සාය.

පසුදා උදෑසන පාරමී සේවයට පැමිණෙන විට මේසය එහා කෙලවර වූ රාක්කය මත ෆයිල් කවර සහ සෙසු අවශ්‍ය භාණ්ඩ ගෙනවිත් තබා තිබුණි. මුවගට නැගුණ ප්‍රීතිමත් සිනහව වලකා ගනිමින් පාරමී රෝගින් පරික්ෂාවේ යෙදුණාය.

තේ විවේකය වන විට රෝගීන් චිකිත්සක ප්‍රතිකාර සහ සෙසු අංශ වෙත ගෙන ගොස් හමාර බැවින් වාට්ටුව පුදුමාකාර ලෙස නිදහස් ය....

අපි වැඩේ පටන් ගම්මුද එහෙනම් 

නුවන්ගි සිය යෙහෙලියන් සමග මේසයක් වෙත අදාල බඩු රැගෙන ගියාය.පාරමී ඔවුන් වෙත ගොස් ලිපිගොනුවක් බෙදා සකස් කල හැකි විවිධ ක්‍රම ගැන අදහස් පලකලාය. එකම ලිපි ගොනුවක කුටීර සකසා ඒ ඒ වාර්තා රැඳවීම වඩා පහසු විය. එකම පාටින් කවර දමා ලේබල් කර ඉටිකවරද දමා සැකසෙන ලිපිගොනු මිටිය මේසයේ පසෙක ගොඩනැගෙමින් පැවතුණි.

හවස නැවත රෝගින් වාට්ටුවට පැමිණෙන විට නුවන්ගි සහ සෙසු හෙදියන් දෙදෙනා ලිපිගොනු වල කාර්‍යයන් අවසන් කොට හමාරය.එ මුහුණු තුනේම වූයේ අප්‍රමාණ තෘප්තියකි. ප්‍රධාන හෙද නිලධාරිනිය සහ සෙසු හෙද නිලධාරීන් ඒ තිදෙනා ගේ ක්‍රියාව අගයනු පාරමී බලා උන්නේ සිනාමුසුවය....

පුංචි ප්‍රසංසාවක් මනුස්සයෙක්ව නගා සිටුවන හැටි පේනව නේද ....මැණිකට බලා ගන්න පුළුවන් තව ඉස්සරහට ඔහොම හුඟාක් දේ....

ඒ සිදුවීම අම්මා සමග පැවසූ විට අම්මා පාරමීගෙ හිස අතගාමින් පැවසුවාය. සමහරක් විට ඒ තරුණ දරුවන්හට අවස්ථාවන් ලැබෙන්නට ඇත්තේ එහෙමත් විටක වන්නට ඇත. එසේත් නැත්නම් එබඳු ප්‍රසංශාවක් ලැබුණේ මෙහෙම අහම්බයෙන් වන්නට පුලුවන .කෙසේ වතුදු කෙල්ලන් තිදෙනා උන්නේ රටක් රාජ්ජයක් දිනුවා සේය

ඇත්තෙන්ම කලින් තිබ්බ ෆයිල් අපිත් ලැජ්ජ නැතුව ඩිරෙක්ටර් සර් ගාවටත් ගෙනිච්චනෙ අප්පා....නුවන්ගි සිය යෙහෙළියක් හා සමග පැවසුවාය...

මිසීල තව කියයි.... මට කී දවසක් ඕන කොළ හොයාගන්න බෑ කියල ආපහු වාට්ටුවටම එන්න උනාද...මේ ෆයිල් වල කොල කොහේ කොහෙද දන්නෙ නෑ...හැමදාම අලුතින් දාන්න උනා නෙ ....

සුනන්දා ඌන පූර්ණයක් සැපයුවේ එයටමය....

පාරමී උන්නේ සිත යට ඉපිලෙන ප්‍රීතියෙනි...ඉදින් මේ පියවර අනෙක් වාට්ටුවට බෝ කිරීම අසීරු දෙයක් නොවන්නේ එක හා බැඳුණු වාට්ටු නිසාය.

සිතූ සේම ප්‍රධාන හෙද නිලධාරිනිය පාරමීගේ ඊළඟ වාට්ටුවටද එම කටයුත්ත ගෙනගියේ ඊට පසු දිනමය. වැඩක් අලුතින් කරන්නට අවශ්‍ය වන්නේ පොඩිම පොඩි තල්ලුවක් පමණි. උනන්දුව ඇත්තෝ එය කරගෙන යන අන්දම ඉබේම අල්ලා ගනිති.

සුනන්දා පාරමී හමුවට පැමිණියේ වාට්ටුවෙන් නික්ම යන්නට මොහොතක් තබාය. පාරමී රත්මල්ගොඩ වාට්ටුවේ දොර අසල සිට එතැනින් එහා වූ කෙටි මිදුල් තීරය දෙස බලා උන්නාය. 

"මැඩම්...යන්නද හදන්නෙ....."සුනන්දාගේ බයාදු හඬ ඇය පසුපසින් ඇසෙන විට පාරමී හැරී බැලුවේ විමසිල්ලෙනි. 

"ඔව් සුනන්දා .....ඇයි ?" පාරමී ඈය දෙස බලා ඇසුවාය.

සුනන්දා කිසිවක් නොකියාම පාරමී පසුපස ඇවිද ආවාය. වාට්ටුවෙන් මඳක් ඈතට පැමිණි පසු සුනන්දා ගේ හඬ අවදිවිය. 

"මැඩම් ...මම මේ කියන දේ වරදවා නම් හිතන්න එපා මැඩම්....." සුනන්දා මඳක් පැකිලුණාය.පාරමී විමසිල්ලෙන් ඇය දෙස බලාම අඩිය පෙරට තැබුවාය.

"අපිට රස්සාව එපා වෙන මට්ටමට වැටිලයි පහුගිය කාලෙ උන්නෙ අපි. මැඩම් එක්ක මේ දේවල් කියන එක හරිද මන්දා....ඒත් මැඩම් හිතනව ඇති අපි ඔහේ වැඩකට නැති මිනිස්සු කියල...වාට්ටුව දිහා බැලුවම...." සුනන්දා ගේ ස්වරය මහා ශෝකී බවකින් යුතු විය. පාරමී නිහඬව සිනහවෙන් යුතුව ඇය දෙස බලා හිස වැනුවාය.

කතාකරන මනුස්සයෙක්ට ඕනෙ ඇහුම් කන් දෙන්නෙක් මිස බාධාකරල කත කරන්නෙක් නෙවෙයි මැණික.....

අම්මා වතාවක් ඇහුම්කන් දීමේ අගය ගැන පාරමීට කියාදුන්නේ එලෙසය.

"පහුගිය අවුරුදු ගානම අපි වැඩකලේ පුදුම පීඩනේකින් මැඩම් ...හැරුණත් වැරදියි...කතාකලත් වැරදියි....කොච්චර වැඩ කලත් වැරදියි....තව කලක් එහෙම්ම ගියා නම් අපි දෙතුන් දෙනෙක් ඔය වාට්ටුවෙම ඇඩ්මිට් වෙන්නත් ඉඩ සැලසෙන්න තිබුණා...."පාරමී සුනන්දාගේ බසින් යමක් අවබෝධ කරගනිමින් උන්නාය.

"අපි වැඩ කරන්න කම්මැලි මිනිස්සු නෙවෙයි මැඩම්....ඇත්තෙන්ම අපි හුඟාක් දුක් මහන්සි වෙලා ගෙවල් වල වැඩත් කරල මෙතනට එන්නෙ මේ රස්සාවට අපි ආදරේ නිසා ..මේක රස්සාවකට එහා ගිය සේවයක් කියල අපි දන්නව....ඒත් අපිට මේක එපා කරන්න එක්කෙනෙක් උන්නම ඇති මැඩම් ...ඇත්තමයි මම පැන්ශන් පේපර්ස් පවා ගෙන්නගෙන උන්නෙ මැඩම්..." සුනන්දාගේ ශෝකී ස්වරය පාරමී සසල කරන්නාක් මෙන් විය. කතාවෙන් කතාවට නිවස්නය වෙත පැමිණ උන් ඔවුන් ගේ කතාව නැවතුණේ සුනන්දා විශ්මයෙන් මෙන් පාරමීගේ ගෙමිදුල දෙස බලා ඉන්නා විටය. පාරමීට සිනහවක් නැගුණේ සුනන්දා කටත් ඇරගෙන බලා ඉන්න අන්දමටය.

*********************************************************************************************** 

යළි හමුවෙමු 

මම 

විසිරි සිහින


Saturday, November 19, 2022

03 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 දෙවැනි කොටසට මෙතනින්   02  



තුන්වෙනි කොටස




උදා හිරු අවදි වීමටත් පෙර මාලනී, අම්මා සමග නැගිට උදැසන සහ දිවා ආහාරය සකසන හඬ පාරමී ට ඇසුනි . මේ දිනවල බොහෝ වෙහෙස වී පැමිණෙන හෙයින් පාරමී ට මුලුතැන්ගේ දෙසට ඒමට අවසරයක් නැත . 

පුරුද්දට මෙන් පහමාරට පමණ නැගිට ගත් නිසා සරල ව්‍යායාම් කිහිපයක යෙදුණ ඇය මොහොතක් ඇඟ සැහැල්ලු කරන ව්‍යායාම පන්තියක ද නියැලුනාය. 

පෙරදා රැයේ සාරිය සහ සෙසු කළමනා සූදානම් කොට තැබූ නිසා හදිසියේ සූදානම් වීමට අවශ්‍ය නැත.

පාරමී කාමරයෙන් පිටව මුළුතැන්ගෙය දෙසට ඇදුනාය. අම්මා පාරමීගේ කෑම පෙට්ටිය ලොකු ලේන්සුවකින් ඔතමින් සිටියාය .

ඔන්න ෆ්ලාස්ක් එකේ තේ ටික ...මං බලනකොට ඔයා එක්සසයිස් කරනව ...ඉතින් මම ආවා ආයෙ.....බීලා ඉන්න... ඔන්න සීනි නම් අඩුවෙන් දැම්මෙ කියන නිසාම .....

අම්මා කෑම පෙට්ටිය සහ වතුර බෝතලය මේසය මත තබමින් පැවසුවාය. පොලිතින් භාවිතයට අවමයෙන් හුරුවුන පාරමීත් අම්මාත් කෑම පෙට්ටි භාවිතයට හුරුවූයේ බොහෝ කලක සිටය.කෙසෙල් කොලයක් තවා කෑම පෙට්ටියේ අතුරා පියනෙන් වැසූ පසු කෑම එකම සුවඳය. අම්මා ගේ අත්ගුණය ඉතින් අපූරුම විස්කමකි.

"මැණික පරෙස්සමින් ..ගිහින් කෝල් එකක් දෙන්න පුතේ....රත්නත්‍රයේ සරණයි .." අම්මාගේ තුන්සුතුර බඳු ආශිර්වාදාත්මක වදන් අසාගෙන පාරමී රිය පණ ගැන්වූවාය.

ඒ ආශීර්වාදය සජීවී ව නෑසුනේ විදෙස්ගතව ඉන්නා කාලයේ පමණි...එවිට ලංකාවේ වේලාව සහ ඇමරිකාවේ වේලාව අතර වූ වෙනස හෙයින් අම්මාට තමා ගෙයින් පිටතට බසිනා වේලාවට අසිරි පතා කතාකරන්නට නොලැබිණ...එහෙත් දිනකට වතාවක් හෝ ඒ ආදරණීය හඬ නොඅසා ගෙවී ගියේ එහෙමත් දවසක් පමණි.

පාරමී රත්මල්ගොඩ රෝහල් රථගාල වෙත පැමිණෙන විට උදෑසන අටට ආසන්න වී තිබුණි. පසුදිනයේ සිට මඳක් කලින් එන්නට අවැසි බව ඇයට වැටහුණේ...අතරමග වූ තදබදය නිසාවෙනි. ආරක්ෂක නිලධාරියාගේ සුපුරුදු උදෑසන සුබ පැතුමට ප්‍රතිචාර දක්වාගෙන ම පාරමී සිය වාට්ටුව වෙත පිය මැන්නාය.

වාට්ටුවට පැමිණෙන විට එතැන එකම කලබගෑනියක් බවට පත් ව තිබෙනු පාරමී රත්මල්ගොඩ දුටුවාය. තවමත් රෝගී කතුන් සමග ඔට්ටුවෙන සේවක මඬුල්ලය. ඔවුන් හට කීකරු නොවන රෝගීන්ගේ හඬ ගාලගෝට්ටියක් මෙනි. 

පාරමී රත්මල්ගොඩ වාට්ටුවට පිවිස මේසය අසලට පැමිණ මඳක් වේලා ඒ සියල්ල බලා උන්නාය. ප්‍රධාන හෙද නිලධාරිනිය වහ වහා ඇය අසලට ආවේ සමාව ඉල්ලන ස්වරූපයක් මුහුණේ රඳවාගෙනය.පාරමී රත්මල්ගොඩ ඇය වෙත මඳ සිනහවක් පා අසුනට බර වූයේ වාට්ටුව සිසාරා යන බැල්මක් හෙලමිනි. 

"හා හා අන්න ලොකු නෝනත් ඇවිල්ල ...දැන් ඔක්කොම යන්නයි කිව්වෙ ඇඳවල් වලට...", සහය සේවිකාවක මඳක් තද හඬකින් පැවසූ විට රෝගීන් වහා ඇඳවල් වෙතට යනු පෙනිණ. 

වාට්ටුව ගත් කල සිය පලපුරුද්දට අනුව වෙනස්කම් රැසකට ලක්විය යුතු එකක් බව දුටුමනතින් පාරමී රත්මල්ගොඩ ට පෙනුනද .....එයට හදිසි වීම උචිත නොවන බවද ඇය වටහා ගත්තාය. මේ කාලාන්තරයක් තිස්සේ පැවත ආ ක්‍රමයයි...

තමා එක් වරම කඩා පැන සෝඩා බෝතලයක් විවෘත කලා සේ වෙනස්කම් කරන්නට ගියහොත් වන්නේ සියල්ලම අවුල් වීමක් පමණි ...පාරමී රත්මල්ගොඩ සුසුමක් හෙලා රෝගී වාර්තා ලිපිගොනුවක් පෙරලා බැලුවේ තත්වය සමනය වන තුරුය.

සහය සේවිකාව විශ්මයෙන් හිස නගා බැලුවේ වෙනදාට වඩා දුටු වෙනස ටය. වෙනදාට කොපමණ වෙහෙසුනද හොඳක් අහන්නට නොලැබෙන තත්වය මෙන්ම දොසක් අහන්නට අනිවාර්යය වීමද ඇයට හුරුය. ඒ සියලු කේන්තිය ඉතින් පිටවන්නේද රෝගීන් මතිනි.

අපි ටිකක් ස්ටාෆ් එක කතාකරමුද මිස්....පාරමී රත්මල්ගොඩ ප්‍රධාන හෙද නිලධාරිනිය වෙත හැරෙමින් පැවසුවාය. එයට හිස වනා එකඟතාවය පළ කල ඇය සියලුම වාට්ටු කාර්‍ය මංඩලය එතැනට කැඳවා ගත්තාය.

"මෙයාල කලබල කරන එකක් නෑනෙ විනාඩි පහක් දහයක් වගෙ ඔයාල නැතුව ඉන්නකොට..." පාරමී ඇසුවේ සිනාමුසු මුවිනි. ඇයගේ සිනහව පවා කාර්‍ය මණ්ඩලය විමතියෙන් මෙන් බලා උන්හ.

"මම පාරමී රත්මල්ගොඩ ...ඊයෙ තමයි මෙහෙට ආවෙ...මේකයි එහා වෝඩ් එකයි දෙකම මට බාරදුන්නේ කලින් මේකෙ උන්න කන්සල්ටන්ට් රිටයර් උනා කිව්ව නිසයි. ඉතින් අපි අඳුනගම්මුකො ඔක්කොටම කලින්...."

හෙද නිලධාරීන් ,සහය සේවිකාවන් සියල්ලම තම තමන්ගේ නම සහ තනතුරු වලින් ඔවුනොවුන් හඳුන්වා දුන් පසු පාරමී සිය හඬ අවදි කළාය.

"ඇත්තෙන්ම මම ආපහු ලංකාවට ඇවිල්ලා මෙහෙට ආව විතරයිනෙ...මං පහුගිය කාලෙම උන්නේ ඇමරිකාවෙ.ඉතින් එහේ වැඩ කරල මෙහෙට ආවම මට මේ වැඩ කරන පරිසරය ටිකක් වෙනස්ව දැනෙනවා....ඒත් මම කැමතියි මේ විදියටම වැඩ කරන් යන අතරේ මේ වාට්ටුවේ වෙනස්කම් වෙන්න ඕනෙ මොන මොන වගේ දේවල් වලද කියල ඔයාලගෙනුත් අහල මගේ අදහසුත් දාල වැඩ කරන් යන්න...."

"ඇත්තෙන්ම මැඩම්....මේ වාට්ටුව නම් මුල ඉඳන්ම හදන්න ඕන එකක්...අපි වුනත් එච්චර ම ඕනකමකින් පහුගිය කාලෙ වැඩ කලෙ නැ....ඒකට හේතු මැඩම්ට වැඩ කරන් යනකොට පෙනෙයි....."ප්‍රධාන හෙද නිලධාරිනිය හඬ අවදි කළාය.

"අඩු ගානෙ මැඩම්...අපෙන් අපේ අදහසක් වාට්ටුව ගැන මතක ඇති කාලෙකින් අහපු එකම කෙනා මැඩම් වෙන්න ඇති...", සහය සේවිකාවක් හඬ අවදි කලේ තව අයෙක් ඇයගේ අතින් පසෙකට අදින අතරවාරයේය. 

පාරමී රත්මල්ගොඩ ඒ බව දැක නොදුටුවා සේ උන්නාය.

"මේක අපි ඔක්කොම වැඩ කරන තැන....ඉතින් ඕනම කෙනෙක් ට කෙලින්ම තම තමන්ගේ සීමාවල ඉඳන් කතාකරන්න පුළුවන් ...මම එහෙම සීමාවල් කීවෙ ...වරදවා හිතන්න අවශ්‍ය නෑ ....මට පවා සීමාවල් තියනව මේ වගේ දේකදි....නමුත් අපේ පොදු අරමුණ එක නම් ඉතින් එච්චරයි නෙ.." හුරුබුහුටි ලෙසින් කතාව හසුරවන පාරමී රත්මල්ගොඩ දෙස සියල්ලෝම බලා උන්නේ ඇදීගිය සිතිනි.

"එහෙනම් අපි වැඩ පටන් ගම්මු....."

වාට්ටුවේ පෙර නොවූ විරූ ජවයක් ඇතැයි පාරමීට ඒ මොහොතේ හැඟී ගියේය. 

"මැණික ...මිනිස්සු හරිම ආස දේ තමයි ඒ අයට පිළිගැනිමක් තියනවා කියල දැනෙන එකට...ඉතින් රස්සාවක් කරන තැනදි ඒක අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ...."විශ්‍රාමික විදුහල්පතිනියක් වූ අම්මා නිතර කියන එවදන් පාරමීට සිහිවිය. අම්මා විශ්‍රාම ගියද ඇයගේ නම කියූ පමණින් හඳුනන සිසු සිසුවියන් ලංකාව පුරා විසිර ඇත. විදෙස් අධ්‍යාපනය ලබන සමයේදී වරක් ඇයට හමුවූ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් අම්මාගේ නම පැවසූ විටම "ඒ මගෙත් ටීච..."යැයි පැවසූ අයුරු පාරමීට මතකය....

මේ සේවක කාර්‍ය මණ්ඩලය සිටින්නේ කුමක් හෝ ආතතියක ගැලීය. පාරමී රත්මල්ගොඩ එය අවබෝධ කරගත්තේ ඔවුන්ගේ හැසිරීමේ මුල්ම ස්වභාවයෙනි. ඉතින් සෙමින් ඔවුන් වෙත ලඟා වියයුතු බව ඇයට වැටහේ .

රෝගීන්ගේ සායන වාර්තා සහිත ලිපිගොනු එකින් එක පෙරලා බැලූ පාරමී රත්මල්ගොඩ ට ඒවායේ බොහෝ අඩුපාඩු හමුවුවද ඉවසීමෙන් මේ සියල්ල නිවැරදි කොට ගන්නට සිතුවාය.

ඊළඟ වාට්ටුව වෙත ගිය පාරමී හට එහි තත්වයද කලින් වාට්ටුවට වඩා නොදෙවනි බව හැඟී ගියේය. ඉතින් වගකීම් අධිකය.කරන්නන් වාලේ වැඩ කරන්නට නම් කෙසේවත් නොහැකි හෙයින් පාරමී රත්මල්ගොඩ හෙමි හෙමින් සිය සැලසුම් දියත් කලාය. 

පුතේ ඔයා මහන්සියෙන් අද....අම්මා පාරමී ගේ මුහුණ දෙස බලමින් පැවසුවේ සවස සුපුරුදු තේ පානය අතරේය.

අදනෙ වැඩ පටන් ගත්තෙ අම්මා...එතන අවුල් ජාලයක්....ඩ්‍රයිව් කිරිල්ල ඊට එහා ...

පාරමීගේ හඬද වෙහෙසකරය.

මේ සතියෙන් පස්සෙ ඉඳහිට ක්වාටර්ස් එකෙත් ඉන්න සුදුමැණික....ඔයාට වෙහෙසයිනෙ.....

අම්මා පාරමීගේ හිස අතගාමින් පැවසුවාය. මේ වන විට නිලනිවස අස් පරස් කොට හමාරය.අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ එහි ඇති බැවින් ගැටලුවක්ද නැත. අම්මා තමන් එම දේ පැවසීමට පෙරම යෝජනාව කිරීම ගැන පාරමිට සතුටක් දැනුනි.

අම්මා මම ගෙයක් බලන්නද එහෙන්....රෙන්ට් එකට නෙවෙයි ...අපි ගම්මු පොඩියට ගෙයක්.....

පාරමී ඇසුවේ අම්මා ගේ වතටම යොමුව ගත් නෙතිනි. අම්මා සිනහවක් පා ඇය වෙත නැඹුරු වූවාය. 

මැණික ගෙ කැමැත්තක්...ඔයා ඉන්න තැන මායි මාලනීයි ඉන්නව..කොහෙ වුණත්.....

අම්මා එතරම්ම සරල නිදහස් කාන්තාවක් වූයේ කෙලෙසකදැයි පාරමීට තවමත් සිතාගන්නට නොහැක.ඇය සැමවිටම සිටින්නේ සැනසුම් මුහුණකිනි. 

තරහ වෛරය ක්‍රෝධය කිසිම විටක ඇය හා පැහී නොයන බව පාරමී දුටුවේ ළමා වියේ සිටමය....ඒ හෙයින්ම පාරමීටද බොහෝවිට තිබුනේ ඇවිලී යන ගතිගුණ වලට වඩා නිවුණ සුළු හැසිරීම් රටාවල් ය ....

ඕනෑම ගැටලුවක් හමුවේ ඉවසා බලා සිටීමට සහ බොහෝ ඉවසීමෙන් ප්‍රතිචාර දැක්වීමට පාරමී රත්මල්ගොඩ කුඩා කල සිටම හුරු වූයේ අම්මාගේ හුරු වෙනි.

බොහෝ මිනිසුන් සිය ජීවිතයේ ගැටලු ආ කල කලබල වීම සහ ක්ෂණික තීරණ ගැනීම හේතුවෙන් අවුල් ජාලාවන් ඇතිකරගන්නා බව පාරමී දැන උන්නාය . 

මානසික වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉගෙන ගන්නා කාලය තුලදී සහ ප්‍රතිකාර කටයුතුවල නියැළෙන කාලයේදි එම අවබෝධය ඇයට සාර්ථක වෛද්‍යවරියක් වීමට ඉමහත් රුකුලක් විය .

වෛද්‍යවරියක ලෙසින් පමණක් නොව සාමාන්‍ය ජීවිතයේ දී ජීවිතයේ දී මනුෂ්‍යයෙක් ලෙස ය ගැටලු දෙස විවෘත මනසකින් බැලීමේදී ඉවසීම සහ ඇතැම්විට අනවශ්‍ය තැන් මගහැර යාම ඉතාමත් ප්‍රායෝගික විසඳුමක් බව තරමින් අවබෝධ කර ගත්තාය .

****************************************************************************************************

යළි හමුවෙමු 

මම 

විසිරි සිහින


Thursday, November 17, 2022

02 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 පළමු කොටසට  මෙතනින්  01


දෙවන කොටස




රැස්වීමක් පවත්වන කාමරයෙහි ඒ වනවිටත් ආසන කිහිපයක් පිරී තිබුණි . පාරමී රත්මල්ගොඩ කෙළවරක වූ අසුනක හිඳගත්තේ අවට දෙස එක් බැල්මක් පමණක් හෙළමිනි .

කෙතරම් අපූරු ආසියාතික රටක් වුව ද මිනිසුන් ඔවුනොවුන් හා සුහදවීමට එක්වනම මැළිවන්නේ කුමන හේතුවක් නිසාදැයි ඇය තනිවම කල්පනා කළාය .

අධ්‍යක්ෂවරයා කාමරයට පැමිණෙත්ම කතාබහේ යෙදී වූ සියල්ලෝම නිහඬ වූහ.

සියල්ල දෙසම එකෙක් බැල්මක් පමණක් හෙළමින් අසුන් ගත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා පාරමී දෙස සිනාමුසුව බැලුවේය. ඉන්පසු ඉදිරි පෙළ අසුනක් වෙත අත දිගු කොට පෙන්වූ ඔහු පාරමී නැගිට එම අසුන වෙත පැමිණෙන තුරු බලා උන්නේය .

සභාව ආරම්භ කිරීමෙන් අනතුරුව වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ කතාව ආරම්භ විය. එදිනට අදාල වෘත්තිමය කාරණා කිහිපයකට අවධානය යොමු කිරීමෙන් අනතුරු ව...අධ්‍යක්ෂ වරයා නැගී උන්නේ හඬ අවදි කරමිනි.

"මම මේ අවස්ථාවේදී විශේෂ හඳුන්වාදීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක අද සිට වැඩ කරන්න ඇවිල්ලා ඉන්න consultant psychiatrist පාරමී රත්මල්ගොඩ ඔයාට හඳුන්වා දෙන්නයි මම සූදානම් වෙන්නේ. ඩොක්ටර් පාරමී රත්මල්ගොඩ කියන්නේ කවුද කියලා මං හිතන්නේ මම ඔයාලට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ . එයාගේ research papers මේ වන කොට මේ හැම කෙනාම කියවල තියෙන ඒවා බව මම දන්නවා .ඩොක්ටර් රත්මල්ගොඩ ....ඔයා අපි එක්ක වැඩ කරන්න ආව එක අපිට බොහොම අඩම්බරයක්....අලුත් innovations එක්ක මං හිතන්නේ අපිට හුඟාක් අලුත් දේවල් මේ patience ල වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි....

පාරමී රත්මල්ගොඩ නිහඬ සිනහවෙන් හිස මදක් වනා රෝහල් අධ්‍යක්ෂවරයාගේ හඳුන්වා දීමට ප්‍රතිචාර දැක්වූ වූවාය .

සෙසු කාරණා කටයුතු ගැන කතා බහ කිරීමෙන් අනතුරුව පාරමි රත්මල්ගොඩ ට අදාල වාට්ටු ලබා දීම සිදුවිය . සති දෙකකට පමණ පෙර විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරියට අදාල කාන්තා වාට්ටු දෙකක් පාරමී රත්මල්ගොඩ ගේ භාරයට පැවරුනි.

රැස්වීම අවසානයේ වෛද්‍යවරුන් එක්කෙනා දෙන්නා කාමරයෙන් පිට වී යත්ම උදෑසන හමුවූ වෛද්‍ය දිනුශා ඇය වෙත දුව ආවේ පිටවී යන්නට මොහොතකට පෙර ය.

really sorry madam ....ඇත්තටම මැඩම් consultant කියලා මං දැනගෙන උන්නේ නැහැ.අපේ රෙස්ට් රූම් එකට ආව නිසා මම හිතුවා ඉතින් අපිත් එක්ක වැඩකරන්න ආපු MO කෙනෙක් කියලා.really sorry madam ...

පාරමී රත්මල්ගොඩ සිනහවක් පාමින් ඇය වෙත හැරුනේ එහි වදන් ඇසෙනවාත් සමගිනි .

ඉතින් ඒකට මොකද වෙන්නේ ....take it easy dinusha .....ඔයාල වගේ තරුණ අයත් ඔය විදියට හිතන කොට කොහොමද අනිත් මිනිස්සු වෙනස් වෙන්නේ .... we all are human .....

පාරමී රත්මල්ගොඩ දිනූෂා වෙත සිනහවක් පාමින් නික්ම ගියාය..

විදේශීය රෝහලක වසර ගණනාවක් සේවය කිරීමේ වෙනස් හැසිරීම් රටාවක් තමා තුළ වේදැයි පාරමී රත්මල්ගොඩ කල්පනා කලේ රිය රථය මාවත ටත් දමා අවසානයේ දී ය.

කොළඹ තදාසන්න ප්‍රදේශයක සිට සැතපුම් හතළිහක් පමණ දුර ගෙවා නිවසට යා යුතු විය .ඉඳහිට මේ දේ කළ හැකි වුවද හැමදාම නම් මේ අන්දමින් රිය පැදවීමට නොහැකිය. නිවසෙහි සිටින්නේ තමා සහ අම්මාත් මාලනීත් බැවින් පිරිමි රියදුරෙක් ගැනීමට තවමත් සිතා ගන්නට නොහැක .

කිට්ටුවෙන් ගෙයක් අරගන්න එක තමයි හොඳම දේ ..... පාරමී රත්මල්ගොඩ මදක් කල්පනා කොට තීරණයකට පැමිණියාය. එතකල් ක්වාටර්ස් එකේ ඉන්න පුළුවන් වේවි...

අද දවසේම පෙර විශේෂඥ වෛද්‍යවරිය උන් නිලනිවස ඇය වෙනුවෙන් වෙන්කළ හැකි බව අදාල ලිපිකාරිනිය විසින් පැවසූ අතර එය සති දෙකකට පසු හෙයින් සුද්ධ පවිත්‍ර කොට සැකසීමට ඇය පොරොන්දු වූවාය. මේ සතියත් මෙහෙම්ම යනවා...පාරමී රත්මල්ගොඩ වාහන තදබදය සහිත මාවතේ සෙමින් ඉදිරියට ඇදෙමින්ම සිතාගත්තාය.

හැන්දෑවේ හය පමණ වනවිට නිවෙසට ළඟා වුන පාරමී රත්මල්ගොඩ අම්මා සොයා ගියේ බුදුකුටිය වෙතය.මේ වන විට මිදුලේ දෑසමන් වැලෙන් මල් වට්ටියක් නෙලා ගන්නා අම්මා සිටින්නේ බුදුමැදුර තුල බව පාරමී රත්මල්ගොඩ දැන උන්නාය. මොහොතක් වෙලා අම්මා නමදින දෙස බලා උන් ඇය ආපසු හැරී කාමරය වෙත ආවේ අම්මා යලි පැමිණෙන්නට අඩ හෝරාවක්වත් ගත වන හෙයිනි.

මඳ උණුසුම් ජලයෙන් ස්නානය කළ පාරමි රත්මල්ගොඩ යලි කාමරයට පැමිණෙන විට අම්මා බුදුන් වැඳ ඇයගේ කාමරය වෙත පැමිණ සිටියාය .

ඔයා ඇවිල්ල ගොඩක් වෙලාද .....අම්මා පාරමී ගේ ඇඳෙහි ඉඳගනිමින් ඇසුවාය .

ඔව් මම බුදු මැදුර පැත්තට ඇවිල්ල ඔලුව දාල ආවෙ...අම්මා වඳිනව එතකොට ...ඉතින් මම එහෙම්ම ආවා නාගන්න .....පාරමී අම්මා ගේ ළඟින් ඉඳගෙනම පැවසුවාය. අම්මා ඇය අතවූ තුවාය ගෙන ඇයගේ හිස පිසදමන්නට වූයේ ඇය එයට ප්‍රිය බව දන්නා හෙයිනි.

දෑසමන් මල් සුවඳ මෙහෙටත් එනවා අම්මා....පාරමී ඉව අල්ලමින් පැවසුවාය.

ඔව් පුතේ ඒක පුදුම සුවඳක් ...ඉස්සර අපේ අම්මා කියන්නෙ රෑට දෙවියො ඔය සුවඳ දිගේ ඇවිල්ලා මල් නෙලාගෙන යනවලු කියල.....අම්මා පාරමීගේ හිස පිසදමා අවසානයේ තුවාය ගෙන නැගී උන්නාය...

තේ එකක් බොමුද මැණික....රෑට කන්න නම් අන්න මාලනී ඉඳිආප්ප හදනව.....

පාරමී අම්මා සමගින්ම නැගී උන්නේ උණු තේ එකක අවශ්‍යතාවය දැනෙමින් තිබූ නිසාය.අම්මාත් දුවත් මුලුතැන්ගෙට පැමිණෙන විට මාලනී ඔවුන් දෙස බලා හිනැහෙමින් පොල් ගාන්නට පටන් ගත්තාය.

ස්ත්‍රීන් තිදෙනෙකුගෙන් සමන්විත මේ ගෘහය පුරා පැතිර තිබුණේ සුන්දර නිහැඬියාවකි . සේවිකාවකට වඩා ළබැඳි ඇසුරකින් අම්මාට සහ දුවට සැලකූ මාලනී ඔවුන් වෙතින්ද ඒ හා සමාන සැලකිල්ලක් ලැබුවාය.

උණුසුම් තේ බඳුන ද රැගෙන අමිමා සමඟ සාලයට පැමිණි පාරමී රත්මල්ගොඩ ඇය හා සමගින් දවසේ කටයුතු ගැන කතාබහ කළාය.

දවසකට මෙච්චර දුරක් ඩ්‍රයිව් කරන එක හරි අමාරුයි අම්මා...අනෙක ට්‍රැෆික් වෙලාවට පාරවල් ගැන නම් කියල වැඩක් නෑ....

පාරමී අම්මා දෙස බලමින් පැවසුවාය ....

ක්වාටර්ස් නම් හම්බ වෙනවා ...ඒත් අම්මා ඒක හොස්පිට්ල් එක ඇතුලෙමයි තියෙන්නෙ...ඉතින් අම්මාට එහෙම කොටුවෙලා ඉන්න බෑ ....මම බැලුවෙ එහෙන් ගෙයක් ගන්න කියල.....

පාරමී රත්මල්ගොඩ අම්මාගේ පිළිතුරක් අපේක්ෂාවෙන් ඇය දෙසම බලා උන්නාය. අම්මා බොහෝ නිදහසේ ජීවත් වන්නට රුචි කාන්තාවකි.රෝහල් පරිසරය තුළ ඇයට නිදහස් පරිසරයක් ලබා දෙන්නට හැකි නොවේ.

මටයි මාලනීටයි මෙහෙ ඉන්න බැරිකමක් නෑ මැණික....ඒත් ඔයා තනියමනෙ එතකොට ....

අම්මා සුසුමක් හෙලමින් පැවසුවාය. අම්මා කිසිම දෙයකට ලොබ බඳින කාන්තාවක් නොවන බව පාරමී රත්මල්ගොඩ දැන උන්නේ කුඩාකල පටන් ය.ඇය දාරුක ප්‍රේමය හැර අන් කිසිම දෙයකට බැඳීමක් ඇති කර නොගත් කාන්තාවකි.

මේ සතියෙ ඔහොම යං අම්මා...මම ක්වාටර්ස් එක ගන්නම් කොහොමත්.. ඉමර්ජන්සි එකකට හරි මොකක් හෝ ප්‍රමාදයකට හරි එහෙම ඉන්න තැනක් ඕනනෙ....අම්මා හිතල බලල කෝකටත් මට කියන්නකො...අපිට වීක් ඩේස් විතරයි එහෙ ඉන්න ඕනෙ..වීක් එන්ඩ් එකට එන්න පුලුවන් නෙ අම්මා මෙහෙ ....

පාරමී අම්මාගේ හිස් තේ කෝප්පයද රැගෙන නැගී උන්නාය....

**************************************************************************************************************************** 

යළි හමුවෙමු 

මම 

විසිරි සිහින 

Tuesday, November 15, 2022

01 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 හදේ කොතැනක හෝ හිඳී ඔබ




පෙරවදන


මම පාරමී.....

පාරමී රත්මල්ගොඩ 

වෘත්තියෙන් වෛද්‍යවරියක්..... ඇත්තෙන්ම කිව්වොත් මනෝවෛද්‍ය විශේෂඥ වරියක්...මම මේ ක්ශේත්‍රය තෝරාගත්තේ පොඩි දවස් වල ඉඳන්ම තිබුණ ආසාව නිසා...

විවිධ මානසික හේතුන් මත ජීවිතය කඩාවැටෙන, ඔත්පල වෙන වගේම ආබාධිත වෙන මිනිස්සුන්ට උදව් කරන්න මගේ හිතේ කැමැත්තක් තිබුණා....මේක ලෙහෙසි පහසු කාර්‍යයක් නොවන බවත් මම දැනගෙන උන්නා......

තාත්තා නැතුව අම්මා මාව ගොඩනගපු අන්දම ගැන හිතුවාම...මානසිකව ජීවිතේ ඇදවැටෙන මිනිස්සු වෙනුවෙන් මට කරන්න හුඟාක් දේ ඇති කියලා මට වැටහුණා......

ඉතින් .....මං ජීවිතේ ආ ගමන් මග දිහා ආපහු හැරිල බලනකොට....ඇත්තෙන්ම මං ඉන්නෙ සතුටින් .....එකම එක කාරණයක් හැරෙන්න .....මං සම්පූර්ණ ජීවිතයක්....ඒ කාරණය ගැන මම කතා නොකර ඉන්නේ.....ඇත්තෙන්ම අද වෙනකොට මම ඒ බරපතල කාරණය මගේ ජීවිතය ගැන තීරණය කරන නිර්නායකයක් ලෙස නොගන්නා නිසයි......

ඉතින් .....අවුරුදු ගණනක් විදෙස් ගත ව ඉගන ගෙන විශේෂඥ උපාධිය වගේම මගේ පර්‍යේෂණ කිහිපයක වාර්තා ලෝකයටම බෙදා හැරලා මම ආපහු ලංකාවට ආවේ....මං උගත් දෙයින් මගේ රටේම මිනිස්සුන්ට සේවයක් කරන්න ඕන කියලා අම්මා වගේම මමත් එදා සිටම තීරණය කල නිසයි.........

ඉතින් ....... මා එක්ක මේ අරුම ඉසව් දිගේ පා නගන්න ඔබ සැමටම මම ඇරයුම් කරනවා....මගේ ජීවිතේ ඉදිරි කාලය දුක, සතුට ,සිනහව වගේම අත්දැකීම් බහුල එකක් වේවි......ඒ සියල්ල ඔබ එක්ක මම බෙදාගන්නම්.....

අපි හමුවෙමු 

"හදේ කොතැනක හෝ හිඳී ඔබ" ....ඔව් ඒ මං ගැන විසිරි සිහිනයේ ලියවෙන සටහන් පෙළ ......

මම 

පාරමී රත්මල්ගොඩ 


***********************************************************************************************

පළමු වෙනි කොටස 


ඒ පරිසරය මහා තුරු හිස් වලින් ආවරණය වූ මාවතක කෙළවර තිබූ සන්සුන්ම ඉසව්වක් විය.

නිතර වාහන යනෙන කලබලකාරී ප්‍රධාන මාවතේ සිට පිවිසුම ලෙසින් දිස් වෙන ආරුක්කුවක් බඳු ගේට්ටුවකට පසු දෙපස විසල් රුක් පේළියකින්ද ඒ ගස් යට දිගටම වවා තිබූ කොල සහ සුදු මිශ්‍ර පඳුරු රැසකින්ද මාවත සීමාවිය.

කාපට් ඇතිරූ මාවත හරි කෙලින් මීටර් තුන්සියයක් පමණ දුරක් දිවෙන්නට වූයේ කලු පැහැයට එක් වූ කොල සුදු වර්ණවල ගාම්භීර පෙනුමද සමගිනි.....

ඒ මාවත කෙළවර වූයේ සුදුම සුදු පැහැයෙන් ඉහළට දිස් වූ ගොඩනැගිල්ලකි. වසර දෙක තුනකට පෙර සුදු පිරියම් කරන්නට ඇතැයි සිතෙන ගොඩනැගිල්ලද එතරම්ම ජරාවාස නොවී තිබුණි. 

පිවිසුමට පෙර ඇත්තේ කවාකාර උයනකි. එහි මධ්‍යයේ විසල් බෙන්ජමිනා ගසක් අතුපතර විහිදමින් අඳුරු සෙවනක් මවා දෙයි....හතර වටට විහිදුණු බෙන්ජමිනා ගසේ ශාඛා දිගේ පහලට ඇදෙන රුකුල් මුල් දුඹුරු පැහැයෙන් යුත් සර්පයන් මෙනි.

කවාකාර උද්‍යානය වටා සුදු පිරියම් කල සිමෙන්ති බංකුය. එහෙත් ඒ හැම බංකුවක්ම හිස් ය. බිම පුරාවට වවා ඇති තණකොළ මනාව කපා ඔපමට්ටම් කොට ඇත. කවාකාර උද්‍යානය වටා ගඩොලින් බැඳි මල් පාත්ති වල කුරු වර්ගයේ වතුසුද්ද පඳුරු වවා ඇත. 

එම ප්‍රධාන පිවිසුමට මදක් ඔබ්බෙන් වූ රථගාලකි.ඒ රථගාලෙහි සිය සුදු පැහැති ප්‍රියස් මෝටර් රථය නැවැත්වූ පාරමී රත්මල්ගොඩ වාහනයේ කණ්නාඩිය තමා වෙතට හරවා මුහුණ බැලුවාය. කණ්නාඩියට මඳක් විරිත්තා මෙන් කට ඇද කොට සිනහසුනාය. යළි කණ්නාඩිය පෙර මට්ටමට සැකසූ ඇය සාරියේ ඉදිරි රැලි ටික සකසා සාරි හැට්ටයේ කරද සැකසුවාය. 

වාහනයෙන් බැස අගුලු දැමූ පාරමී රත්මල්ගොඩ අත්බෑගය කරට දමා යළි ඉදිරි රැළි සකසා ගත්තේ පාවහනට නොපෑගෙන අන්දමටය.

විදෙස් ගතව ඉන්නා කාලයේ ඇඳි පහසු ඇඳුම් ඉතින් ලංකාවේදී අඳින්නට නොහැක....එහිදී නම් සේවයට පැමිණි පසු සියල්ලන්ම සිය නිල ඇඳුමට මාරුවිය යුතු ය...

සාරියක් ඇඳ වැඩ කරන්නට ගියා නම් එහි උන් සිය විදේශීය යහලු යෙහෙළියන් කුමක් කියාවිදැයි පාරමීට සිතුණි... ඒ කල්පනාවෙන් මිදුණ පසු හාත්පස සිසාරා එකම බැල්මක් හෙලූ ඇය ඉදිරි ද්වාරය වෙත ගමන් කළාය. 

" good morning madam....කොහේටද යන්නෙ...?" පිවිසුම් දොර අසල උන් ආරක්ෂක නිලධාරියා විමසූවේ සිනහ මුසු මුවකිනි. 

ලංකාවට පැමිණි පසු සේවා ස්ථානයන්හි සිටින ඇතැමුන්ගේ කටුක ප්‍රතිචාරයන් මේ වන විටත් පාරමී කලකිරවා තිබූ හෙයින් මේ පිළිගැනීම ඇයට සහනයක් ගෙන ආවේය.ප්‍රති සිනහවක් පෑ පාරමී රත්මල්ගොඩ තමා යා යුතු ස්ථානය පැවසුවාය. 

"ඩිරෙක්ටර් සර් ඔෆිස් එකේ ඉන්නවා මැඩම්...ඔතනින් ඇතුල් වෙලා කොරිඩෝ එකේ ඉස්සරහට යන්න එතනින් උඩට තියන පඩිපෙළ නැග්ගම පලවෙනිම කාමරේ ඩිරෙක්ටර් සර්ගෙ ඔෆිස් එක...." ආරක්ෂක නිලධාරියා මේ ප්‍රියමනාප කාන්තාව දෙස ප්‍රසන්න සිනහවෙන්ම පැවසීය.

" බොහොම ස්තුතියි ! " පාරමී රත්මල්ගොඩ ඉදිරිපස පඩි දෙක නැග කොරිඩෝරයේ දිගටම පා නැගුවාය . 

කෙලවර වූ පඩිපෙළ පැරණි දැව කැටයමෙන් සමන්විත අත් වැටකින් යුතු විය. සිය පාවහනේ අඩිය වදින ලී පඩිවල ශබ්දයෙන් පාරමී රත්මල්ගොඩ මඳක් තිගැස්සුනාය. ඉන්පසු වඩාත් ප්‍රවේශමෙන් ශබ්දය නෑසෙන සේ ඉදිරි පියවර තැබුවාය. 

දෙමහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ දිගු කොරිඩෝරය දෙපස කාමර පේළියකි. ඉන් පළමු වැන්න අසලට ගිය පාරමී රත්මල්ගොඩ බිත්තියේ වූ සීනුව නාදකලාය. සීනු දෝංකාරය පැරණි ගොඩනැගිල්ලේ නිහඬතාවය බිඳහෙළමින් නාද විය.

කාර්යාල කාමරයේ දොර විවෘත වූයේ සියුම් හඬක් නගමිනි. සුදු කලිසමක් සහ කමිසයක් ඇඳි තරුණයෙක් ඉන් පිටට හිස දැම්මේ පාරමී දෙස බලාගෙනමය.

" මිස් කාව හම්බ වෙන්නද....?" ඔහුගේ හඬ අධ්‍යක්ෂක වරයා ඔහුදැයි සිතෙන තරමට සැරය.රාජ්‍ය සේවයට යම් පුද්ගලයෙකු බඳවා ගැනීමේදී ආචාර ධර්මයන් ඉගැන්වීමේ පාඨමාලාවක් අනිවාර්යයෙන් ඇතුළත් කල යුතුයැයි පාරමී කලකිරීමෙන් යුතුව සිතුවාය.

මේ කාමරයේ ඉන්නේ ඩිරෙක්ටර් නොවේදැයි අසන්නට කටට එන වදන් යටපත් කරමින් පාරමී තමා හමුවීමට ආවේ අධ්‍යක්ෂක තුමා බව පැවසුවාය. 

"පොඩ්ඩක් ඉන්න සර් කෝල් එකක...."දොර යළි වැසී විනාඩි දෙකක් පමණ ගෙවී ගියේය. යළි දොර විවෘත වන තුරු පාරමී රත්මල්ගොඩ අවට සිසාරා බැලුවාය. 

කොරිඩෝරය දෙපසම එක පෙළට කාමර හතර බැගින් ඇත. එම කාමර සියල්ලේම දොරවල් වැසී ඇත. එහෙත් යාන්තමින් තැනින් තැන ඇසෙන කටහඬවල් වල අපැහැදිලි ස්වරයන් ඉන් මතුවේ. මේ කාර්‍යාල ඉසව්ව විය යුතුය.

"සර් එන්න කිව්වා...."යළි දොර විවෘත වී ඒ හඬ ඇසෙත්ම පාරමී රත්මල්ගොඩ ඉදිරියට පියවර තැබුවේ ඔහු දෙස නොබලාමය.

"Good morning sir.... I am Paramee Rathmalgoda..." පාරමී එපමණක් කියා සිය අතවූ ලිපිය ඔහු අත පත් කලේය. අධ්‍යක්ෂක වරයා ඇයට ඉදිරිපස අසුන වෙත අත දිගු කලේ සුබ පතමිනි.

"Oh .....then that is you..... "අධ්‍යක්ශක වරයාගේ මුවට මඳ සිනහවක් ආවේ ලිපිය කියවාගෙන යන අතරේමය.

"Doctor පාරමී රත්මල්ගොඩ .... welcome you as our new consultant psychiatrist ....මට ඔබතුමියගෙ පත්වීම අත්‍යාවශ්‍ය මොහොතක ආව එකක්....මොකද අපේ කන්සල්ටන්ට් ලා දෙන්නෙක් රිටයර් වුනා ගිය මාසෙ...අපි උන්නෙ බරපතල අර්බුදයක...." අධ්‍යක්ෂ වරයා ගේ හඬ බලාපොරොත්තු වලින් පිරුණ එකක් විය.ඔහු පාරමී දෙස බොහෝ ප්‍රසන්න සිනහවක් පෑවේය.

"හොඳයි... අපි නිදහසේ කතාකරමුකො ...අද හවස ස්ටාෆ් මීටින් එකක් තියනව....ඒකට එන්න...අපි ස්ටාෆ් එක හඳුනාගනිමුකො.... එතකල් රෙස්ට් රූම් එකේ ඉන්න පුළුවන් ...you can have some snacks there too" රෝහල් අධ්‍යක්ෂක වරයා අසුනෙන් නැගිට ඇයට අත දිගු කලේය. පාරමී රත්මල්ගොඩ අසුනෙන් නැගිට ඒ අත වෙත සිය සුරත දිගු කළාය..

පාරමී රත්මල්ගොඩ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයෙන් නික්මී පිටතට ආවේ මීළඟට තමන් යා යුත්තේ කොතැනටදැයි යන්න අවිනිශ්චිතව ය . 

ඇය පසුපසින් දුව ආ පෙර කාර්යාලයේ දොර විවෘත කළ කාර්යාල කාර්‍ය සහයකවරයා " මැඩම් ඩොක්ටර්ස්ලා ගෙ රෙස්ට් රූම් එක තියෙන්නෙ අර පැත්තේ ..." කියමින් කොරිඩෝවේ අනෙක් පස වූ කාමර පෙළට අත දිගුකලේය. ආරම්භයෙහි දී කටේ වූ සැර ඉබේම බාල වී ගොස් ඇති සේය. පාරමී රත්මල්ගොඩ නිහඬවම ඒ දෙසට ඇවිද ගියාය .

වෛද්‍ය විවේකාගාරයට ඇතුල් වීමට තිබූ දොර ඇය ඒ අසලට පැමිණෙත්ම විවෘත විය. විවෘත වූ දොර තුලින් පිටතට ආවේ තරුණ යුවලකි. 

පාරමී රත්මල්ගොඩ මඳ සිනහවක් පා ඔවුන්ට පිටතට ඒමට ඉඩ දී පසෙකට වූවාය . ඔවුන් දෙදෙනා මඳක් නැවතී ඇය දෙස බලා සිනා වූහ . 

"හෙලෝ .... අලුතින් මෙහෙට ද...? " එම යුවලෙන් වෛද්‍යවරිය ඇසුවාය. ඇය මිත්‍රශීලී තරුණියකැයි පාරමී රත්මල්ගොඩ ට එක්වරම වැටහුණි. 

"ඔව් මම පාරමී ....මෙහෙට ආවේ අද ... ..."

පාරමී මඳ සිනහවකින් යුතුව පැවසුවාය....

"මම දිනූෂි ....nice to meet you පාරමී....අපි වෝඩ් යනවා.... ඇතුලට යන්න එහෙනම් "....ඔවුන් දෙදෙනා සිනහවෙමින් ඇය පසුකොට ගිය පසු පාරමී වෛද්‍ය විවේකාගාරය වෙතට ඇතුලු වූවාය. 

එහි අසුන් කිහිපයක ම වෛද්‍යවරුන් කිහිප දෙනෙකැයි සිතිය හැකි අය තම තමන්ගේ කටයුතු වල යෙදී උන්නා මිසක ඇය වෙත ප්‍රබල අවධානයක් යොමු කලේ නැත. එක අතකට එයද ආරම්භයේ දී සැනසීමකි.

පාරමී එතැන වූ කුඩා ආපනශාලා කවුන්ටරයෙන් නෙස්කැෆේ කෝප්පයක් මිලදී ගත්තේ බීමට ඇති අවශ්‍යතාවයට වඩා නිකම්ම සිටීම නුසුදුසු හෙයිනි.

නෙස්කැෆේ කෝප්පය තොල ගාමින් අසුනකට බර වූ ඇය සිය ජංගම දුරකථනය අතට ගත්තේ අම්මාට ඇමතුමක් දීමටය . 

"හෙලෝ අම්මා .... දැනුයි මම පොඩ්ඩක් free උනේ .....ඔන්න මම වැඩ බාර ගත්තා.... එහෙනම් මං හවස් වෙලා අම්මට කෝල් එකක් දෙන්නම් .....කෑම ටික කාලා බෙහෙත් ටික ඔක්කොම හරියට බොන්න අම්මා..."

පාරමී රත්මල්ගොඩ ජංගමය නිහඬ කොට යළි අත්බෑගයට දමා ගත්තාය ......කාලය ගතවී යද්දී රෝහල් අධ්‍යක්ෂවරයා පැවසූ කාර්‍ය මණ්ඩල හමුව පටන් ගන්නා වේලාව ආසන්න විය . පාරමී රත්මල්ගොඩ වෛද්‍ය විවේකාගාරයෙන් පිටත්වී රැස්වීම් කාමරය වෙත ඇවිද ගියාය.

යළි හමුවෙමු දෙවෙනි කොටසින් 

*********************************************************************************************

මම 

විසිරි සිහින