Thursday, December 1, 2016

10.විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ද සුන්දර දරුවන්ය (සෞඛ්‍ය)

මෙම  ලිපිය මා විසින් පවුර වෙබ් අඩවිය වෙත සම්පාදනය කරන ලද්දකි



ළමා විය හා සම්බන්ධ ගැටුල සහගත තත්වයන් නිසා පිඩාවට පත්ව  සිටින දරුවන් පිළිබදව අප කොතෙකුත් ආස තිබෙනවා. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ  එවැනි දරුවකු  සහිත මවක හෝ පියෙකු එසේත් නැති නම් හිතවතෙකු විය හැකියි. පහත සදහන් වන තොරතුරු සහිත දරුවන් මා විසින් ප්‍රතිකාර දෙනු ලැබූ විශේෂ වූ දරුවන් කිහිප දෙනෙක්..


සුමුදු - අවුරුදු තුනක් වයසැති දීප්තිමත් දෑසක් ඇති සුන්දර දැරියක්. පෙර පාසල් වියෙහි දොරකඩ සිටින ඇය කතා බහේ ඇති ප්‍රධාන ගැටළුව වූවා..

නිසල් - වයස පහක පාසලට අලුතින් ඇතුලත් වූ හොදින්  වැඩුණු දරුවෙක්. නිසල්ගේ මවගේ අදහස්වලින් පිළිබිඹු වුනේ ඔහු කිසිදු  හැගීමකට ඊට ගැලපෙන ප්‍රතිචාර නොදක්වන බවයි. ආදරය , සතුට මෙන්ම බිය වැනි කිසිදු හැගීමක්  මුහුණෙන්  හා ක්‍රියාකාරීත්වයෙන් ප්‍රකාශ වීමක් තිබුණේ නෑ.

රංග - ඉතා කලහකාරී ක්‍රියා පැවැත්මකින් චර්යා රටාවේ ප්‍රබල නොගැලපීම් සේම සමාජගත වීමේ ගැටලු බොහෝමයක් සමග  ප්‍රතිකාර  සඳහා ප්‍රතිකාර  සඳහා එවූ දරුවෙක් 


ඕටිසම් (Autism) හෙවත් ළමා මනෝ වික්ෂිප්ත භාවය සමාජ තත්ත්වය අධ්‍යාපන මට්ටම හෝ වත්කම් ආදි කිසිදු  නිර්ණායකයකට  බෙදී නොයන අතරම ඕනෑම දරුවකුට මේ තත්වය ඇතිවීමේ ඉඩකඩ  ද ඇත.  පිරිමි දරුවන් අතර මෙම තත්වය සාමාන්‍යයෙන් සුලබය. මෙම තත්වය දරුවෙකුගේ වර්ධන කාලය පුරා පවතී. මූලිකවම සංවේදී පද්ධති (ඇසීම, පෙනීම , සර්පර්ශය...)වල ගැටලු සහිත මෙවැනි දරුවන් ගේ කථන හා භාෂා සන්නිවේදනයෙහි මෙන්ම චර්යා රටාවෙහිද නොයෙක්  ආකාරයේ ගැටලු සහගත තත්වයන් දැකිය හැකියි. 



සාමාන්‍ය දරුවකු යහළුවන් හා එක්වීමට ක්‍රියාකාරකම් කිරිමට නව මිත්‍රත්ව සම්බන්ධතා ගොඩනගා  ගැනීමට, කල්පිතයන් මවා  ගනිමින්  ක්‍රීඩා, ක්‍රියාකාරකම් කිරිමට මෙන්ම ක්‍රීඩා භාණ්ඩ හා එක්ව සෙල්ලම් කිරිමට  නිරායාසයෙන්ම යොමු වූවත් ඕටිසම්  තත්වයෙන් පෙළෙන දරුවෙකුගේ සාමාන්‍ය ජීවන රටාව සැකසෙන්නේ සීමිත වටපිටාවක් තුළයි.  එම නිසා  මෙම දරුවන්ට ඉහත කී හැකියාවන් බොහෝ විට  නොමැත.  බාහිර පරිසරය හා පුද්ගලයන් සම්බන්ධව කිසිදු  අවධානයක් පළ නොකරන හා නොසලකා  හරින තත්වයක් පෙන්වන මෙවැනි දරුවන් සෙසු පුද්ගලයන් තමාගේ රාමුවට  එක්වීමට  තැත් දැරීමද දැඩි සේ ප්‍රතික්ෂේප කරයි.

සාමාන්‍ය සිරිත් විරිත්, සමාජගත නීති රීති හදුනා නොගන්නා ඕටිසම්  දරුවන් වාචිකව එනම් බස හා වචන යොදාගනිමින් අල්ප  ලෙස සන්නිවේදනය කරයි. නමුත් අවාචික  සන්නිවේදන ක්‍රම  එනම් අංග චලන, හස්ත මුද්‍රා ආදිය භාවිතයෙන් සිදු කරන  සන්නිවේදන  හඳුනා  නොගනී.

මෙබදු දරුවෙක්  සමාජයට නිරාවරණය වීමේදී  නව සිද්ධීන්,ක්‍රියාකාරකම් මෙන්ම යම් යම් පුද්ගලයන්  නිසාත් වික්ෂිප්ත භාවයට පත්වී කලහකාරී හා ප්‍රතික්ෂේපිත ඉරියව් මගින්  චර්යාමය ගැටළු ඉරිදිපත් කළ හැකියි. මෙවැනි දරුවන්  බොහෝ විට  හුදෙකලා වීමට ඉතා ප්‍රිය කරන අතර  තවකෙකු  හා අන්‍යොන්‍ය ක්‍රියාකාරකම් වලට දැඩි සේ විරෝධය දක්වයි. 

ඕටිසම් තත්වය ඇති ඇතැම් දරුවන්  කුඩා කලදි වචන  කිහිපයක් කතා කළද  පසුව එය අතහැරී යනවා.  සමහර  දරුවන්  මුල් අවධියේ  පටන්ම කථනයට මැළිවේ . එසේම  සාමාන්‍ය දරුවකු ප්‍රිය කරන්නාවූ සරල සුන්දර ක්‍රීඩා  භාණ්ඩ  ඒටිසම්  දරුවන්ගේ අවධානයට ලක්නොවන  අතර ගල් කැට  කුඩා පෙට්ටි වැනි ඒකාකාරී දේ සඳහා  රුචිකත්වයක් දක්වයි.එසේම ඒවා සිය ග්‍රහණයෙන් මුදා හැරීමට ද අකමැති  වේ. ක්‍රීඩා හා සෙල්ලම් කිරීමේදී  නිවැරදි  නීති රීති හා  ආචාර ධර්ම ගැන අවධානයක් හෝ  සැලකීමක්  නොමැති  මෙවැනි දරුවන් ඉතා කුඩා භාණ්ඩ  හෝ සෙල්ලම්  බඩුවක පවා  ඇති කඩා කොටස් වෙත ප්‍රබල ව අවධානය යොමු කරයි.

 මෙම දරුවන්ගේ චර්යාවන් හා කැමැත්ත මේ අන්දමින්  දීර්ඝ ලෙස  පහදන්නේ , දරුවකුගෙන් තවත් දරුවෙකු සලකන කළ පවත්නා  ලක්ෂණ ඉතා වෙනස් බැවිනි. සමහර දරුවන්  වෙතින්  විද්‍යාමාන වන  ලක්ෂණ ගැන මනා අවබෝධයක් ලබා ගැනීම වැදගත්වේ. එසේම ඇතැම් ඕටිසම් දරුවන්ගේ  වින්දනාත්මක  භාවයන් ද ඉතා වෙනස්ය. 

 මේ දරුවන්  විදුලි පංකා, රෝද  වැනි භ්‍රමනය  වන වස්තූන්ට හා භ්‍රමණ චලනවලට ඉතා ප්‍රිය කරයි. 
එමෙන්ම ඒකාකාරී රටා හා ක්‍රමවේදයන්ට ද ඉතා ප්‍රිය කරයි. වර්ණ හැඩ හෝ විවිධ අනුපිලිවෙලවල් යටතේ  සැකසුණු රටා වලට සෙල්ලම් බඩු පෙළගස්වන මේ දරුවන් එම රටා බිඳ දැමූ විට දැඩිසේ නොසන්සුන්වේ. මෙම ක්‍රියාකාරකම් වල ද ඔවුන්  නියැලෙන්නේ තනිවමයි.


ඕටිසම් රෝග ලක්ෂණ සමහර දරුවන්ගේ බහුල අතර ඇතුම් අයගේ  අඩු ලෙස පවතී.  මෙම දරුවන්ගේ ඕටිසම් තත්වය හා එක්වන විවිධාකාර තවත් ගැටලු සමූහයකි.  වලිප්පුව (fits)අවධාන ඌනතාවය (Attention deficits) සහ කාංසාව (Anxiety) ඉන් සමහරකි. 



සංවේදීතාවය හා සංවේදන ගැටලු සලකා  බලන විට මෙම ඕටිසම් සහිත දරුවන්ගේ ඇතැම් සංවේදනවලට අධික සංවේදී වීමද  අනේක්වාට අඩු සංවේදීතාවක් දැක්වීමද නිරීක්ෂණය කළ හැක.
උදාහරණ - ඇතැම් දරුවන් ස්පර්ශයට ඉතා අකමැති අතර ඇල්ලීම පවා ප්‍රතික්ෂේප කරයි.
නමුත් සමහර දරුවන් දැඩිසේ ස්පර්ශයට ප්‍රිය වන අතර බදාගැනීම්, තදින් ඇල්ලීම් ප්‍රිය කරයි.

සංවේදන ප්‍රතිචාර හා සමායෝජනය දරුවකුගේ වර්ධනයේදී  ඉතා වැදගත්වේ. මන්දයත් බාහිර පරිසරයෙන් හා  අභ්‍යන්තරයෙන්  ලබන සංවේදන යමකුගේ සියලු කටයුතු වලට බලපාන හෙයිනි. මනා සමබර  කායික මානසික  තත්වයක් හා ජීවන  රටාවක් පවත්වා ගැනීමට මෙය දැඩිසේ බලපායි.

දරුවෙකු නිවස, පෙරපාසල, පාසල හා සමාජයේ හැසිරීමේදී  තම අභ්‍යන්තයේ මනා යහපැවැත්මක් මෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතාද වැදගත්වේ.  ඕටිසම්  දරුවන්ගේ මෙම සියලු ලක්ෂණ වර්ධනයත් සමග අඩාල වේ. ඒ නිසා ඔවුන් බොහෝ විට නිවසටම සීමාවේ.
එමෙන්ම අවබෝධයේ  ගැටලු සහ අධික අවධානය (attention deficits)දරුවාගේ  එදිනෙදා වැඩ කටයුතු  ස්වාධීනව කර ගැනීමට  බලපායි. දරුවෙකු වයසින් වැඩෙත්ම ස්වාධීන විය යුතුය. ඕටිසම් දරුවන්ගේ  මෙම තත්වය නොමැති අතර ඔවුන් වයසින්  වැඩෙත්ම දෙමාපිය භාරකරුවන් අපහසුතාවට පත්වේ.

මෙවැනි විවිධාකාර ගැටලු හා රෝග ලක්ෂණ ඇති ඕටිසම් දරුවන්ගේ  ගැටලු මුල් අවධියේම හදුනාගැනීමෙන් පසු කාලීනව ඇති වන  සංකූලතා අවම කර ගත හැකියි. මෙබදු දරුවන් සම්බන්ධව ක්‍රියාකිරීමේදී  පළපුරුදු වෛද්‍ය කාර්යය මණ්ඩලයක සේවය  ලබාගැනීම වඩා උචිතය.

එසේම ළමා රෝග වෛද්‍ය විශේෂඥවරයෙකු ළමා මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වෘත්තීය චිකිත්සකවරයෙකු (occupational therapist)කථන හා භාෂා චිකිත්සකවරයෙකු (speech and language therapist) සමග දෙමාපියන්ද එක්ව මෙම ගැටලුවලට විසදුම් සෙවිය යුතුය.

එමෙන්ම අධ්‍යාපන කටයුතු හා ක්‍රියාකාරකම්  දරුවාගේ අවශ්‍යතාවයට ගැලපෙන අන්දමට සැකසිය යුතු නිසා විශේෂ අධ්‍යාපන ගුරුවරයෙකුගේ දායකත්වයද මෙහිදී ඉතා වැදගත් වේ.


-- දරුවාගේ සීමාවන් දකින්නට පෙර හැකියාවන් දකින්න එය සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයකට මනා පිවිසුමක් වනු ඇත.


ස්තුතියි

1 comment: