Sunday, December 9, 2018

92. ජිවිතය නම් එයමය

ජීවිතය කෙතරම් වෙනස් ද....?

ජීවිතය ‍යනු කෙතෙක් වෙනස් අන්දමේ පැවැත්මවල්ද යන්න ඉගනගන්නට නම් මේ ඉන්නා ඉසව්වෙන් ඔබ්බට යා යුතුය..
ඌව වෙල්ලස්සේ දුෂ්කර පළාතක සායනයක් හමාර වී....
මිදුලේ තබා තිබූ පුටු පෙළක හිඳිමින් මම ජීවිතය ගැන සිතමි.....
.
ඉරිඟු යායවල් වල...කුඹුරු හේන් වල දවසම ඔට්ටු වන අපේම මිනිසුන් ගේ හෙම්බත් මූණු අතරේ හිනාවන් උපදින්නේද වෙහෙස තුළින්මය....
.
මගේ යාබද අසුන් දෙකක සායනයට පැමිණි අම්මලා සමග ආ කෙළි පොඩ්ඩියන් තුන් දෙනෙකි...අවුරුදු දොළහ දහතුන වයස් වල වුවත් එතරම් නොවැඩුණු සිරුරු ඇති කෙසඟ කෙල්ලන්‍ ය ....උවමනාවකින් කොණ්ඩ පීරා නැත...ඇඟලූ ඇඳුම් ද ඔහේ අඳින්නන් වාලේ ඇඳගෙනය....ලෙල්ලට ගෙවුණ බාටා කුට්ටම් පය ලා තිබුණත්...කකුල් පුරා දූවිලි පුරෝගෙනය....
.
නම ගම පන්තිය අසා පටන් ගත් කයිවාරුව හවස තුනට සායනය අහවර වන තුරුම ඇදෙන්නේ ....මා සමග ආ සෙසු අය තවමත් රෝගී පරීක්ෂාවල හෙයිනි....මුහුණු වල ඇත්තේ අධික හෙම්බත් බවකි...අසල වූ වෙලඳසැලකින් බිස්කට් සහ යෝගට් ගෙනවිත් තුන් දෙනාට බෙදා නුහුරු බසින් කියැවෙන තැන්ක්‍යූ වචනය අසා හිත පුරෝගතිමි....
.
නැන්දා කොහෙද....
මාව පරීක්ෂණයට ලක් වන්නේ කටට පණ ආ ගිරා පැටික්කන් ගෙනි...
කොළඹ...
කොලඹ කොහෙද ?
එහෙ ඉස්පිරිතාලෙ ...
.
සාරි පොට එක අතක පැටලිලාය..මම හෙමින් එක් හිසක් අතගෑමි....
දින ගණනාවකින් නොනෑ හැඩපලු කොණ්ඩයකි..යාන්තමට මුඩු තෙල් සුවඳකි...
.
ඔයාල ලොකු වුණාම කවුද වෙන්න ආස ...?
.
ඩොක්ටර් කෙනෙක්...
.
ඇත්තෙන්ම ඒ මගේ ළමාවියයි...මගේ ඒ වයසේදී මුවින් පිටවු පිළිතුරයි....
.
සායනයේ දී....අවුරුදු තිස්පහක් හතළිහක් වන සමහර අම්මලාට අත්සන් කරන පෝරමයේ තමන්ගේ නම ලියාගන්නටද ඉමහත් වෙහෙසක් දරන්නට විය ..එවන් අම්මලා ගේ දරුවන් මේ දකින සිහිනයද.......බොහෝ දුරට සිහිනම වී බොඳ වී යන්නේ....කාගේ වරදින් දැයි සිතාගත නොහැක.....
.
ජීවිතය වේදනාත්මකය....
හිස දවන ගිනි හිරු ට යටින්...ඉරිඟු හේන් පුරා නින්නාද වන අර ළමා සිහිනයන් ගැන මට අප්‍රමාණව දුක සිතේ.....
.
යන්නට පෙර බුදුසරණයි නැන්දේ කියා දණ නමා වැන්ද කෙල්ලන් මගක් දුරට යන තුරු බලා උන්නෙමි....එක දැරිවියක් ආපසු හැරී සිනා වූවාය...මම අත වනා සමුදුනිමි......
.
අනේ.....ඒ සිනහවන් බොහෝ සොඳුරුය....

විසිරි

No comments:

Post a Comment