Thursday, October 15, 2020

19. දහ අට වෙනි දිගහැරුම (සඳක් සේ)

උදාර මඩුගල්ලේ සියවෙනි වතාවටත් එකම කාරණය ගැන සිතුවේය.....ඇමරිකාවට යාමට පෙර සඳමිණි සමග මේ කාරණය ගැන කතාකල යුතුද නැද්ද යන තීරණයේ දෙපසට වැනෙමින් උන් ඔහු ඒ සති දෙකද ඇයගේ නිදහස් සිතුම් හා ඇයට ගැටෙන්නට දෙමියි අවසානයේ තීරණය කලේය...
.
අදාල ගමනේ කටයුතු වලට කාර්‍ය බහුල වූ නිසාවෙන් උදාර මඩුගල්ලේට කාර්‍යාලයේ එතරම් ගැවසීමට ඉඩක් ලැබුණේද නැත.....සඳමිණි බොහෝ අසීරුවෙන් සිය හැඟීම් පාලනය කරගත්තාය.....එහෙත් හිත තිබුණේ මහා සොවකින් බරවය....එය සොවක් ද පාලුවක්ද වත් වෙන් කරගැනීමට ඇයට නොහැකි විය....
.
ගමන යාමට පෙර දින කාර්‍යාලය ට පැමිණි උදාර මඩුගල්ලේ ඉදිරි සතිදෙකෙහි කාර්‍ය සමාලෝචනය කලේය...අදාල රාජකාරි කටයුතු අදාල නිලධාරීන් හට පවරා අවසන ඔහු සිය අසුනේ ඉඳගත්තේ දැඩි වෙහෙසකිනි....
.
දෑස් වසා මොහොතක් වේලා විවේක ගත් ඔහු හිස ඔසවා බලන විට සඳමිණි කාර්‍යාලයේ උන්නේ නැත....ඇයගේ මේසය මත ජංගමය නිදහසේ තිබිණ....සිතට ආ එකම අකීකරු හැඟීමෙන් එවෙත ගිය ඔහු වහා ජංගමය ගෙන අවහිර කල සිය අංකය යලි ක්‍රියත්මක කලේය...එසේ නොවුන හොත් ඇය අමතන්නට කිසිදු විදියක් නොමැති බව ඔහු දැන සිටියේය....එහෙත් මේ කාරණය හේතුවෙන් ඇය තමා කල ක්‍රියාව කෙලෙස වටහා ගනීද යන දෙගිඩියාව ඔහුට විය....යළිදු ඒ ගැන සිතා බැලිය යුතුමය....
.
උදාර සිය අසුනට නැවත පැමිණෙන විට.....සඳමිණි ආපසු කාර්‍යාලය වෙත පැමිණියාය ....දෙදෙනාගේ දෑස් එකට හමුවත්ම සඳමිණි බිම බලාගත්තාය .... ඇයගේ වත පුරා ඇත්තේ මිලාන වූ පෙනුමකි....
.
" මම හෙට උදේම යනව සඳමිණි...අවශ්‍ය මොනවා හරි තිබුණොත් මම ගිහින් නම්බර් එකක් එවන්නම්....ඒකට කෝල් ගන්න පුලුවන් ...." උදාර මඩුගල්ලේ නික්ම යාමට පෙර පැවසීය....
.
" තෙරුවන් සරණයි සර්...පරෙස්සමින් ගිහින් එන්න.... " සඳමිණි ගේ සියුම් ස්වරය උදාරගේ සවන් අසල තැවරුණි....
.
" හ්ම්ම් .. වැඩිය එහෙමෙහෙ නොයා බියංකා එක්කම වැඩ ඇරුණම යන්න...පරෙස්සමින් ඉන්න..." සඳමිණි ගේ හිස ට යන්තමින් අත තබා උදාර මඩුගල්ලෙ පිටව ගියේය...
.
***********************************
.
උදාර මඩුගල්ලේ නිවෙසට පැමිණ සූදානම් වූයේ සති දෙකක අවැසි සියල්ල සුමනේ සමගින් අසුරමිනි....
ඇමරිකාවේ සති දෙකක කාලය තුළ හමුවන්නට ඇති මිතුරු ඇසුරවල් ද බොහෝය...හැම අයෙක්ටම නැතත් විශේෂම අයට යම් යම් දේ ගෙන යායුතුය....

" උඹ ලෑස්තිද....?" තාරක කාමරයට ආවේ එවිටය...
.
" ආ මෙන්න සිම් එක...ඉල්ලපු...ඈ බං උඹ තව එකක් මොකටද ඉල්ලුවෙ .ඇයි උඹෙ ඔය අයිඩීඩී තියන එක....?" තාරක විමසුවෙය.....
.
උදාර සිනහවක් පමණක් පා සුමනේ ව ඇස් කොනින් පමණක් පෙන්වා සිටියේය....තාරක යමක් අවබෝධ කරගත් සෙයින් හිස වනා නිහඬ විය.... සිය මිතුරාගේ චර්‍යාව වෙනදාට වඩා වෙනස් බව ඔහු වටහා ගෙන හමාරය ...එහි නිමිත්ත ද ආදරයක සේයාව බවත් පැහැදිලිය....

**********************************

උදාර මඩුගල්ලේ ගුවන් තොටුපලට ගොස් සඳමිණි ඇමතීමට ජංගමය අතට ගෙන වේලාව බැලීය...එවිට රාත්‍රී දොළහට ළං ව තිබිණ....
.
පව් ...ඕන නෑ ගන්න ...ගිහින්ම කතා කරනව ...ආයෙ මොකුත් හිතයි නැත්නම්....
.
ඔහු නිහඬවම යළි ජංගමය සාක්කුවේ දමා ගත්තේය....
.
එහෙත් ජංගමය හිස ලඟින් තබා ගෙන ඔහු ඇමතුමක් දෙයි යන බොලඳ සිතුවිල්ලෙන් ඇය මුලු රැය පුරා නිදිවරන බව ඔහු දැන උන්නේ නැත ....
.
එකිනෙකා වෙත ගොලුවූ සිත් එසේ වෙන්වී ගියේය...
.
***********************************
.
දීර්ඝ පියාසැරියකට පසු නවාතැන් ගන්නා හෝටලයට පැමිණි උදාර වේලාව බැලීය....උදෑසන අට පසුවී මඳ වේලාවකි....ඇය තවමත් නිදි සුවෙන් වනු ඇත....
.
උදාර ගමන් මහන්සියටම හෝරාගණනාවක් නිදාගත්තේය....ඇසැර බලන විට දහවල් එක පමණ ය...

ඔහු නව සිම්පතෙන් සඳමිණි ගේ දුරකතන අංකය ලබා ගත්තේය....එදා අවහිර කිරීම අයින් කලද දෙවනුව ආ සිතුවිල්ලක් හෙයින් තාරක ලවා නව සිම්පතක් ගත්තේ ...මේ අවස්ථාවේ සඳමිණි ගේ සිතට තමා ගැන වැරදි අවබෝධයක් ඇති නොකල යුතු හෙයිනි....
.
ජංගමය නාද වන විටම එය එහා පසින් සම්බන්ධ විය....
.
" සර්...."
සඳමිණි ගේ හඬ හැඬුම්බරය....
.
" මං කියල කොහොමද දන්නෙ...." උදාර මඩුගල්ලේ සෙමින් ඇසීය....
.
සඳමිණි නිරුත්තර ව මොහොතක් උන්නාය...
.
" සඳමිණි ..?" උදාර ඒ නිහඬ බවින් කලබල වී මඳක් හඬ උස්ව කතා කලේය ...

" ඇයි කතා නොකර ඉන්නෙ...."
.
" මගෙ නම්බර් එක ගොඩක් අය ලඟ නැනෙ සර් ...මේ වෙලාවෙ නොදන්න නම්බර් එකකින් එන්නෙ සර්ගෙන් තමයි...මම දන්නව ..."
.
" ඒ කියන්නෙ සඳමිණි බලන් උන්නද කෝල් එකක් එනකල්.." උදාර සෙමින් එහෙත් තියුණු ස්වරයෙන් ඇසීය....
.
" ඔව් සර්.. නෑ සර්..." සඳමිණි ගොත ගසන්නට විය...ඇය වෙහෙසිය යුතු නොවෙයි....ඇය ඉතා කලබල වී ඇති බව උදාර ට වැටහෙයි.....
.
" මොකුත් ගැටලු එහෙම නෑ නේද......? අවශ්‍ය වුනොත් මේ නම්බර් එකට ගන්න සඳමිණි ....එහෙනම් මම තියන්නම්...හරිම මහන්සි ...." උදාර පැවසීය...
.
" හොඳයි සර්...පරෙස්සමින් ඉන්න ..." සඳමිණි ගේ සිහින් හඬ ගලා එන්නට විය....උදාර නිහඬ කල ජංගමයේ දිස් වෙන ඇයගේ සිනා වත දෙස මොහොතක් බලා උන්නේය.....
.කන්ද නගින්නට ගිය දා කැමරාවේ ගබඩා වූ සේයාරූ අතරින් සොඳුරුම සේයාව ජංගමයේ මුහුණතට දමා ගත්තේ එන්නට පෙරය...තාරකගෙන් එය වසං කොට ගත්තේද අසීරුවෙනි.....
.
ඉනික්බිති එළඹුණ දින ගණනාවම උදාර මඩුගල්ලේ කාර්‍යබහුල වූයේ අදාල කටයුත්ත වෙනුවෙනි...මිතුරු ඇසුරද එලෙසින්ම කලකට පසු ලැබීම හිතට සතුටක් ගෙන ආවේය.....
නවාතැනට එන මොහොතේ සඳමිණි ගෙන් ඇමතුමක් ඇත්දැයි බැලීම සිරිතක්වම තිබුණද....එය එසේ නොවීම කණස්සල්ලට හේතුවිය...
.
සඳමිණි උදාර මඩුගල්ලේගේ ජංගම දුරකතන අංකය විසිවෙනි වතාවටත් අංකනය කලාය....මේ දක්වා ලැබුණේ ආවරණ කලාපයෙන් තොර බව හැඟවෙන පණිවුඩයන්‍ ය....
.
සිත තිගස්සවමින් ජංගමය සම්බන්ධ වූ බව හැඟවුණි....
.
" හෙලෝ සර් ....මම සඳමිණි..." මන්ද ස්වරයෙන් එන ඒ හඬ සවන් පත් සිපගනු උදාර මහත් සැනසීමෙන් අසා උන්නේය....
.
" කොහොමද සඳමිණි .... ?" සාමාන්‍ය ම ස්වරයට එමින් උදාර විමසුවේය...
.
" සර්ට කෝල් ගත්තා මේ ටිකේම ....කනෙක්ට් වෙන්නෑ.... කවරේජ් නැති ව ඇති...කියල හිතුවා ...." සෙමින් එහෙත් කැඩි කැඩී ඇසෙන ඇයගේ හඬ ට ඉමහත් ලොබක් ඇතිවෙමින් පවතී ....
.
" සඳමිණි මොකුත් ඔහේ ගැටලු නෑ නේද ...කෝල් ගත්තා කීව නිසයි ඇහුවෙ....."
.
" නෑ සර්...අප්ඩේට් දෙන්න ඕන නිසා....මෙහෙ සාමාන්‍ය විදියට වැඩ කෙරීගෙන යනව....මොකුත් ගැටලුවක් නෑ...."

" අප්ඩේට් දෙන්න....හ්ම්ම්.... සඳමිණි ගෙ මොබයිල් එකේ වට්සැප් තියද....මම මෙහෙ පින්තූර ටිකක් එවන්නම්...ඔයා කැමති වෙයි...අර හයිකින් කල කඳු එහෙම බලන්න...."
උදාර පැවසීය....
.
සඳමිණි ගේ මුහුණ විලියෙන් රතුව ගියේ උදාර මඩුගල්ලේ එදා තමා වෙත දුන් චායාරූප සහිත පෙන් එක මතක් වීමෙනි....එහි සියයට අනූවක්ම වූයේ තමාගේ විවිධ ඉරියව් ය ....පරිසරය කෙතෙක් සොඳුරු වුව වැඩිම ප්‍රමුඛත්වය තිබුනේ තම රුවටය..
.
" මොකද සද්ද නැත්තෙ...."
.
" නෑ සර්....ඔහේ කඳු කියන්නෙත් ඒ ඉස්සරහ හිටගෙන ඉන්න ගෑනු ළමයින්ටද ....කියල අහන්න හැදුවෙ...." සඳමිණි පැකිලෙමින් කියාගත්තාය
.
උදාර මඩුගල්ලේ මහ හඬින් හිනැහුණේය....
.
" ආ මේ ඒකයි....නෑ නෑ...ලංකාවෙ වගේ මෙහෙ එහෙම පින්තූර ගන්න ඕනකමක් ආවෙ නෑ...."
.
උදාර ඇමතුම අවසන් වත් සිනාවෙන් කල්පනා කලේය...ඉරිසියාවත් ටිකක් විතර තියනව වගේ.....ඔහු සිතුවේය.....

****************************************************
දින ගෙවී ගියේ ඉබිගමනිනි...සඳමිණි වඩ වඩාත් දින ගෙවෙද්දී නොසන්සුන් වූවාය ...මේ තරම්ම ඔහු ඇසුර තමා රහසින් පැතූ බව ඇයට සිතාගත නොහැකි තරම් ය...මේ දේ සුදුසුදැයි නුසුදුසුදැයි වත් තමාට අවබෝධ කරගත නොහැකි තරම්‍ ය ..දැනෙන්නේ එකම දෙයකි ...ඔහු මේ සිත පුරා පැතිර ඇති බවක් පමණි.....
.
බියංකා සිය මිතුරියගේ මේ හැසිරීම් රටාව නිරීක්ෂණය කලාය...ඇය විටෙක හූල්ලයි...තවත් විටෙක ඇසට කඳුලු පුරවගෙන ඔහේ බලාසිටී....කල්පනා කරයි....මේ නම් අමුතුම රෝග ලක්ෂණ සමූහයක් ය ..
.
" සඳ.....මොකද බං වෙලා තියෙන්නෙ...නයා මැරිච්ච අහිගුණ්ඨිකය වගේ ...බලපන්කො....උඹෙ ඇස් වල හැටි...."
.
සඳමිණි තිගැස්සී බියංකා දෙස බැලුවාය....තමා එතරම්ම වෙනස් වී ඇත්ද..හැසිරීම එතරම්ම අවුල් සහගතද.... ඇය මඳක් තැති ගැනුණාය...
.
" නැහ්...එහෙම මොකුත් නැහ්...පිස්සුද...මං මේ හොඳට ඉන්නෙ..." සඳමිණි බියංකාගේ දැස මගහැරියාය.. නහයද ටිකක් බරවී වගේ හඬද වෙනස් වෙමින් ඇත ....
.
" නංගි මේහ්....මට කොල පොඩි කරන්න එන්න එපා හරිද ....ඇත්ත කියපන්...මොකෝ ලොක්කා නැතුව පාලුද.....?" බියංකාගේ මුහුණේ මහ මනමාල හිනාවකි....සඳමිණි ලැජ්ජාවෙන් අහක බලාගත්තාය .....
.
" ආන්න ආන්න ...දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා ...වසන් කරන හිත මුහුණේ ලියවෙනවා...." බියංකා තාල ඇල්ලුවාය..
.
" ඒ වුනාට ඉර හඳ මගෙ පාමුල ගෙනල්ල තිව්වෙ නෑ බං කවුරුවත්....." සඳමිණි හූල්ලන්නට වූවාය.... කොහෙන් කොහොම ගියත් හිත අසරණ වන එකම තැනක් ඇත....
.
" තියයි තියයි ඔහොම යද්දි තියයි...ඉර හඳ කෙසේ වෙතත් ඇමරිකාව නම් ගෙනල්ල තියයි ....ලබන සුමානෙ වෙද්දි....".
.
තවත් සතියක්.....හ්ම්....සඳමිණි හීල්ලුවාය...
.
" මට තේරෙන්නෑ බී....මං මොකක්ද කරන්න ඕන කියල....සර් ගැන හිතන්න මට ඕන නෑ...මට ආයෙ ජීවිතේ ට පිරිමියෙක් ඕන්නෑ....මට මේ ජීවිතේ හොඳයි ...
ඒත්...ඒත් ..." සඳමිණි දෑතින් මූණ වසා ගත්තාය.... ජීවිතය කෙතරම්ම අසරණද.....
.
" උගුරට හොරා බේත් බොන්න එපා බං ..සර් උඹට විශේෂත්වයක් දක්වන බව උඹ හොඳටම දන්නව...උඹත් එහෙමයි...වචනෙන්ම කියන්න ඕනද බං ආදරේ කියන එක... ඒක දැනෙන්නෙ නැද්ද ..."
බියංකා සඳමිණි ගේ දෑත පසෙකට කර මුහුණට එබුණාය....
.
" බී...මේක එච්චර ම සැහැල්ලුවට ගන්න කාරණයක් නෙවෙයි...මම කසාද බැඳල ඩිවෝස් වෙච්ච ගෑනියෙක්...කෙල්ලෙක් නෙවෙයි ..මට දැන් මගේය කියල කියන්න කිසිම කෙනෙක් නෑ....ඉන්නෙ ඇනෙක්ස් එකක...තියෙන්නෙ මේ රස්සාව විතරයි ...
එහෙම එකේ ඉර හඳ අල්ලන්න මට ඕන්නෑ.බී...." සඳමිණි හූල්ලමින් කියවගෙන ගියාය....
.
" හරි එහෙනම් ඕක හිතෙන් අතෑරපන්...ඉවරනෙ..."
බියංකා අමනාපය මුසු හඬින් කීවාය... එසේ නොකර සඳමිණි පෙරට තල්ලු කරන්නට නොහැකි බව ඇය දැන උන්නාය....

" අනේ....බී....." සඳමිණි බැගෑපත් ව ඒ දෑතේ එල්ලුණාය....
.
" හරි....බලන් හිටපන්කො වෙන එකක් වෙයිනෙ....යං දැන්.... "
.
***********************************
.
තවත් සතියක් ගෙවී ගොසිනි....සඳමිණි මහත් චකිතයෙන් සසැලෙමින් උන්නාය.... උදාර මඩුගල්ලේ සුපුරුදු අන්දමින් ඉඳහිට ඇමතුවද....එහි සාමාන්‍ය මට්ටමට එහා ගිය කිසිවක් කියවුණේ නැත... ඔහුට ඕනෑතරම් එහි මිතුරන් ඇතිවා වන්නට පුලුවන....සඳමිණි ට හිත සැහැල්ලුවෙන් ඉන්නට නොහැකි විය.....

නමුත් සිත ඉල්ලන ඔහු රුව සේයාරුවක හෝ ලඟ නැත.... හුදෙකලා කාන්සිය සිත බෙහෙවින් දවාලයි...නිතිපතා කාර්‍යාලයේ මේසය ට හිඳගත් පසු ඇස් කොණින් බලමින් හෝ දුටු එරුව නැති තැන කාර්‍යාලයද බොහෝ හිස් තැනකි....
.

උදෑසන කාර්‍යාලයට පැමිණ කාර්‍යාල කාමරයේ මේසයට පිටුපා කබඩයක් විවෘත කරගත් සඳමිණි එහි වූ ලිපිගොනු කිහිපයක් බලන්නට වූවාය.... ඇයගේ සිත ඇයට හොරෙන් බොහෝ දුරක යන්නට විය....උදාර මඩුගල්ලේ කාර්‍යාලය ට පැමිණියේ ඒ මොහොතේය....දොර විවෘත කරනු වත්...තමා ඇය අසලට එනුවත් ඇය නොදන්නා තරමටම ඇයගේ කල්පනා ලෝකය බොහෝ දුරය....
උදාර නිහඬවම ඇය දෙස මේසයට බර වී බලාඋන්නේය....විනාඩි ගණනාවකට පසු සඳමිණි එක්වනම කල්පනා ලොවින් මිදුණාය....සුපුරුදු හැඟීමක් හිතට දැනෙද්දී ඇය වහා අනෙක් පස හැරුණාය ...
.
" ස්...සර්...අනේ...." ඇය අතවූ ලිපි ගොනු සියල්ල අතහැරී බිමට පතිත විය....ඇස් වල කඳුලු දහරාවක් පිරෙනු උදාර දුටුවේය....ඒ කඳුලු කුමකටද යන්න කිසිම රහසක් නොවන කල ඔහු මහත් ලොබින් ඒ දෑස් දෙසම බලා උන්නේය.....
.
" මං ඇවිල්ල විනාඩි පහළොවක් විතර....කොහෙද ඉතින් මගෙ පාරත් අහුරගෙන කල්පනා ලෝකෙක නෙ ...." උදාර සිනහසෙමින් කීවේය...
.
" අනේ සමාවෙන්න සර්....." සඳමිණි වහා පසෙකට වූවාය.....උදාර තවත් මොහොතක් ඇය දෙසම බලා උන්නේය...සඳමිණි මහත් ලැජ්ජාවෙන් සිය අසුන වෙතට ගියාය....
.
" පහුගිය සතිවල මොකුත් ගැටලුවක් උනේ නැහැ නේද . ..?" උදාර අහන්නේ තම පෞද්ගලික ප්‍රශ්න ගැන බව සඳමිණි දැන උන්නාය...මන්ද කාර්‍යාල කටයුතු පිළිබඳ කාරණා ඇය ඔහුට දැනුම් දුන් හෙයිනි...

" නෑ සර්.... ඔක්කොම සාමාන්‍ය විදියට ..මොකුත් ගැටලුවක් නෑ...." සඳමිණි ඔහුගේ දෑස් දෙස නොබලාම කතාකලාය....
.
උදාර විසින් සිය කාර්‍ය මණ්ඩලයට ගෙන ආ සුලු සුලු ත්‍යාග බෙදා හැරීමෙන් අනතුරුව බියංකාට සහ සඳමිණි හටත් කුඩා පාර්සල් දෙකක් වෙන් කොට තබා ගියේය.....බියංකා උදාර එහෙමෙහෙ වන තුරු සිට වහ වහා එය විවෘත කලාය...දෙදෙනාටම එකම ආකාරයෙන් කුඩා අත් පසුම්බි දෙකක් එහි විය...
..
" ශී...ශී...වැඩේ කැතයි...කෙල්ලටයි මටයි දෙකටම එකම දේ....එක්කො සඳ මෙයා උඹටයි මටයි දෙන්නටම කැමතී වගේ ..." බියංකා ඇස් නටවමින් පැවසුවාය .....සඳමිණි හිනැහෙමින් උන්නාය....
..
හවස කාර්‍යාලය අවසන්ව බස් නැවතුම් පළට ආ සඳමිණි හදිසියේ වට කෙටි වැස්සකට හසු වූවාය...අත් බැගයේ කුඩයද නැති හෙයින් ඇය බස් නැවතුම් පලෙහි නොතෙමෙන ඉසාව්වට වී බලා උන්නාය...උදාර මඩුගල්ලේ ගේ රිය බස් නැවතුම් පල පසුකර ගියේද....මඳ දුරක් ගොස් නැවත ආපසු ආවේද එවිටය.....
.
රිය නලා හඬින් කල්පනා ලොවෙන් තිගැස්සුණ සඳමිණි දුටුවේ කුඩයක් ද රැගෙන රියදුරු අසුනෙන් බහින උදාර මඩුගල්ලේ ය...
කිසිවක්ම නොකියා කුඩය අල්ලාගෙන ඇය අසලට ආ ඔහු ඇයට කුඩය පෑවේය... සඳමිණි බිම බලා උන්නාය....
.
" යං....මම ඩ්‍රොප් කරන්නම්...." සඳමිණි අවට හාත්පස බැලුවාය....කාර්‍යාලයේ කිසිවෙක් හෝ දන්නා අයෙක් එහි නොවීම පහ්සුවකි...ඇය කුඩය තුළට ආ පසු උදාර ඇයව ඉදිරිපස අසුනට යොමු කොට ආපසු රියැදුරු අසුන වෙත ගියේය ....
අහඹු වැස්සෙන් ඔහුද මඳක් තෙමී ඇත .. සුදු පැහැති ශර්ටය තෙත් පැල්ලම් වලින් ගතට ඇලී ඇත ...
සඳමිණි ඒ දෙස බලාඋන්නේ තමා නිසා නේද යන වරදකාරී බැල්මෙනි....
.
" වාහනයක හෝන් එක හතරපස් පාරක් ගහන කොට පොඩ්ඩක් බලන්න ඕනනෙ...එහෙම වුණානම් මෙහෙම වෙන්නෑ...." ඇයගෙ ඇස් යොමුව තිබූ සිය ශර්ටය දෙස සිය දැසත් හරවමින් ඔහු පැවසීය....
.
සඳමිණි බිම බලාගත්තාය ....
ඇවිදින මං තීරුව අසල වාහනය අයිනට කොට නැවැත්වූ උදාර ආසන පටය බුරුල් කොට ඇය දෙසට මඳක් හැරුණේය....
.
සඳමිණි වාහනය තුළ වූ වායුසමීකරණ යේ සීතලට වෙවුලුවාය...උදාර වහා එය උණුසුම් පසට හැරීය ...
.
" තෙමුණද...?"

සඳමිණි හිස වනා නැතැයි කීවාය....
.
උදාර පිටුපස අසුනට නැඹුරුව එහි වූ තරමක් විශාල පාර්සලය අතට ගත්තේය...ඉන් පසු එය ඇය වෙත ට පෑවේය....සඳමිණි නිරුත්තර ව බලා උන්නාය...

." බලන්න" ඔහු එය ඇය අතමත තබා සෙමින් පැවසීය... සඳමිණි වෙවුලන දෑතින් එය හැර බැලුවාය...එහි වූයේ හුරුබුහුටි ලැප්ටොප් පරිගණකයකි....සඳමිණි දෑස් විසල් කොට උදාර දෙස බැලුවේය....
.
" සර් ..?? "
.
" ඇයි....??"
.
" ඇයි මේ...මේක...." සඳමිණි ගේ ස්වරය වෙව්ලුම් කනු දැනිණ.....
.
"මං යමක් කීවා....වැඩිදුර ඉගනීමක් ගැන ...මතකද....ඒකට ඕක.....මගෙන් පොඩි තෑග්ගක්.... " උදාර මඩුගල්ලේ සිනහසෙමින් පැවසීය....
.
"අනේ සර් ...මෙච්චර එකක්....මේක ගොඩක් ගණන් එකක්නෙ...." සඳමිණි පැටලුම් ස්වරයෙන් පැවසුවාය .....
.
" ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නෙ සඳමිණි ....." උදාර මඩුගල්ලේ සෙමින් ඇසීය ..සඳමිණි සෙමින් වීදුරුවෙන් එහා එලියේ ඇද වැටෙන මහ වැස්ස දෙස බලා උන්නාය.....
.
මොහොතක් ..දෙකක් ගතවන්නට ඇත .....
.
" ඔයාගෙ හිතේ තියන ගැටලුව කියන්න....මොකක්ද ප්‍රශ්නෙ....." උදාර මඩුගල්ලේ සඳමිණි ගේ හිසට අත තැබීය....
.
" මට තේරෙන්නෑ සර්.... මං කිසිම දෙයක් නැති....පවුලක් නෑයෙක් නැති...රස්සාව විතරක්ම ඉතුරු වුණ දික්කසාද වෙච්ච ගැහැණියෙක්....මේ දේවල් මට බර වැඩියි සර්.....දරාගන්න අමාරුයි ...." සඳමිණි ට ඉකිගැසිණ....
.

" මේ අහන්න .... මා දිහා බලන්න පොඩ්ඩකට සඳමිණි ...." උදාර මඩුගල්ලේ බිම බලා හඬන සඳමිණි ගේ හිසට සෙමින් යළි අත තැබීය....

යලි හමුවෙමු



1 comment:

  1. බී වගේ යාලුවෙක් ඉන්න එක නම් කොච්චර දෙයක් ද???
    හැබැයි මටත් එහෙම යාලුවෙක් නම් ඉන්නවා... D

    ReplyDelete