Thursday, October 15, 2020

22.විසි එක්වෙනි දිගහැරුම (සඳක් සේ)

සඳමිණි වහ වහා කාර්‍යාලය වෙත දුව යන්නට තැත් කලද බියංකා ඇය නවතාගත්තාය ..

" කොහෙද උඹ දුවන්නෙ....උඹ පෙරේරා මිස් නෙවේනෙ...එන්න කිව්වෙ එයාට උඹට නෙවේ....මෙන්න මෙහෙ හිටපන් ..."

සඳමිණි දාබිඳු නැගෙන මුව පිසලා බියංකා දෙස බලා උන්නේ තැතිගත් මුහුණෙනි.....
.
" අනේ බී...සර් මෙයාට බනීද...මට බයයි....ඔය සන්සුන් ව ඉන්නව වගේ තමා තරහ ගියාමත් යකා වගේ.....මං ගිහින් ශේප් කරල ඉන්නද...."
.
බියංකා සඳමිණි ට රවා බැලුවාය....
.
" සර් බබෙක් වත්....මෝඩයෙක් වත් නෙවේ කියල උඹ දන්නවනෙ..... ඒ මනුස්සයා ට ආයතනයෙ ප්‍රශ්න ඒ මනුස්සයා ගෙ ක්‍රමයට විසඳගන්න දීල උඹ මෙහෙට වෙලා හිටපන් සඳ...."
.
සඳමිණි මහත් නොඉවසුමෙන් යළි හිඳ ගත්තාය.....
.
*********************************

කල කී දෑ යටිහිතේ වරදකාරී හැඟුමක් ඉතිරි කරනා විට මිනිසුන්ට දඬුවම් දෙන්නේ හෘද සාක්ෂිය මිස අන් කිසිවක් නොවේ.....කාර්‍යාල කාමරයේ දොරට තට්ටු කල පෙරේරා මිස් කාර්‍යාලයට ඇතුල් වූයේ ද ගැහෙන හදිනි....
.
උදාර මඩුගල්ලේ කිසිත් නොකියා ඇය ගේ වත නිරීක්ෂණය කරමින්ම ඉදිරි අසුනක් පෑවේය....පෙරේරා මිස් අසුනේ හිඳ ගත්තා නොව අසුනට කඩා වැටුණාය......
.
" අනේ සමාවෙන්න සර්.... මඩුගල්ලේ මැඩම් ඇහුවම මට විස්තර නොකියා ඉන්න බැරුව ගිය....මං ඒත් ...මං ඒත් කිව්ව සඳමිණි හරි හොඳ ළමයෙක් කියලත්.....අනේ සර් ඔහොම එකක් වෙයි කියලා මම හිතුවෙ නෑ...සමාවෙන්න ..." හුස්මක් කටක් නොගෙන එක් දිගට කියවාගෙන ගිය පෙරේරා මිස් හතිලෑවේ පරණ දුම් කෝච්චියක එන්ජිමක් සේය.....
.
" මං මිස් ගෙන් ඒ කාරණය ගැන මොකුත් ඇහුවද...දැන්...?" උදාර මඩුගල්ලේ දෑත් එකට බැඳ පහසුවෙන් ආසනයේ හරිබරි ගැසෙමින් ඇසුවේය...
බළලා මල්ලෙන් එලියට පැනීමක් සිදුව ඇති බව පෙරේරා මිස් වටහා ගන්නා විට ඇය ගේ පාලනයක් නැති මුවින් සියලු වචන පිටවී හමාරය....
.
" මං මගේ සේවා ස්ථානයට මගේ පෞද්ගලික ප්‍රශ්න අරන් එන්නෙ නෑ මිසිස් පෙරේරා....ඒ නිසා මේ ඔබතුමී කිව්ව කාරණය මට කිසිම වැදගත් කමක් ඇති දෙයක් නෙවෙයි...මම එන්න කීවේ මෙන්න මේ ලිපිය ඇවිත් තියනවා අමාත්‍යාංශය ඔස්සේ....මේක ගැන අහන්න...." උදාර මඩුගල්ලේ සිය මේසය මත වූ ලිපිය ඇයට දිගු කලේය.....
.
වෙවුලන සුරතින් ලිපිය විවෘත කල පෙරේරා මිස්ට උගුර කට වියැළී හතර අත නිලංකාරව යන්නට එතරම්ම වේලාවක් ගත නොවීය....
.
එය ...පසුගිය වසර කීපයක ඇයගේ භාරයේ වූ ව්‍යාපෘති කීපයක ඇති ගිණුම් වාර්තා වල අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම් විමසා පැමිණි ලිපියකි....මේ ලිපිය මෙතෙක් කල් සිය බලපුළුවන්කාරකම් සහ සම්බන්ධතා මත යට ගස්වමින් පමා කලද දැන් එය අතේම පත්තුවුණ වෙඩිල්ලක් වී ඇත....
.
" හොඳයි මිසිස් පෙරෙරා ...ඕක ඔයාගෙ කොපිය...එහෙනම් සතියක් ඇතුළත එක්ස්ප්ලනේශන් දෙන්න සූදානම් වෙන්න එහෙට....දැන් යන්න පුලුවන් ...." උදාර මඩුගල්ලේ කතාබහට නැවතීමේ තිත තබා සිය පරිගණකය දෙස ට හැරුණේය.....
.
" ඒයි සඳ අර බලපන්කො...සිංහ ධේනුව වගේ ගිය පෙරේරා මිස් තෙමිච්ච කිකිළි වගේ එන හැටි..." බියංකා සඳමිණි ගේ ඇලපතට අනිමින් පැවසුවාය....
.
ඇත්තෙන්ම මොකක් හෝ අවුලකි ...උදාර මඩුගල්ලේ නිසැකවම බැන වදින්නට ඇත...ඉදින් මේ ප්‍රශ්න කෙලවරක් වනු නොහේ .....සඳමිණි කල්පනා බරිතව කාර්‍යාලයට ඇතුළු වූවාය.....
.
උදාර මඩුගල්ලේ සිය අත රැඳි ඔරලෝසුව දෙස බලා සඳමිණි දෙස බැලුවේ දැඩි බැල්මකිනි....දිවා විවේකය පසු වී විනාඩි පහළොවක් ගතව ගොස් ය....
.
" සඳමිණි ....රාජකාරි එක්ක පර්සනල් දේවල් පටලවා ගන්නවට මම කොහෙත්ම කැමති නෑ මම වෙලාවට වැඩ කරන කෙනෙක්...මගෙ ස්ටාෆ් එකත් එහෙම්ම වෙන්න ඕන කියල මට ආයෙ ආයෙ කියන්න ඉඩ තියන්න එපා ..."
.
සඳමිණි නිසොල්මනේ උදාරගේ මේසය වෙත විත් සීරුවෙන් සිට ගත්තාය...
.
" පෙරේරා මිස් ආව නිසයි මම ටිකක් නැවතුණේ....." සිහින් හඬින් බිම බලාගෙනම ඇය පිළිවදන් දුන්නාය...
.
"ඉතින්.....පෙරේරා මිස් මෙතනට ආවා කියල මොකක්ද ඇති ගැටලුව.....එයා ආවේ රාජකාරිමය උවමනාවකට...." උදාර සඳමිණි දෙස සෘජුව බලමින් ඇසීය.....
.
සඳමිණි දෑස් ඔසවා බැගෑපත් බැල්මක් හෙලා සිටියාය....උදාර මඩුගල්ලේ යනු කිනම් ආකාරයේ පුද්ගලයෙක් ද යන්න ඇය මනාව වටහා ගෙන සිටින්නීය....
.
" සමාවෙන්න සර්...." ඇය සිහින් හඬින් පැවසුවාය....
.
" හ්ම්ම්....යන්න ගිහින් අර උදේ මම කීව රිපෝට් එකේ සමරි එක මට ෆෝවර්ඩ් කරන්න දැන්......" උදාර යළිත් පරිගණකයට ඇස් යොමා ලීය......
.
***********************************

හවස් යාමයේ සුපුරුදු සැඳෑ අවන්හල තුළ මේසයක හිඳ ගන්නා තුරුත් උදාර ගේ සිතේ ඇති නොමනාප පෙනුම අඩුවක් නොවීය....සඳමිණි සාරි පොට අඹරවමින් බිම බලාඋන්නාය....
.
" මෙතනට එන්න...." සෝෆාවේ තමා සිටින ඉසව්වට අත තබමින් උදාර කතාකලේය....සඳමිණි සෙමින් නැගිට ගොස් ඔහු අසල හිඳ ගත්තාය....උදාර සෝෆාවේ ඇන්දට හිස තබා ගෙන දෑස් පියාගත්තේය.....මේ නිහඬබව දරාගන්නට නොහැකිය...සඳමිණි සෙමින් ඔහුගේ වමත අල්ලාගත්තාය......
.
" තරහෙන්ද...."ඉතාම මුදු හඬින් අසන්නී.... වෙත දෑස් බැල්මක් පා කල උදාර මඩුගල්ලේ ඒ සියුමැලි ඇඟිලි තදවනසේ ග්‍රහණය දැඩි කලේය....
.
" විනාඩි පහලොවක්....තමන් රාජකාරිය පැහැර හැරල තියනව....ඒකට දෙන දඬුවම මම මේ කල්පනා කලෙ....." සඳමිණි ඒ දෑස් වල පැටලෙමින් මේ ඉරිසියාව මවා ගන්නට තැත් කලාය...
.
" පෙරේරා මිස් ට මම මොකුත් කලෙ නෑ....අන්න ආව ගමන් බළල මල්ලෙන් එලියට පැන්න වගේ කියවන් කියවන් ගියා...මම එයාට ආව එක්ස්ප්ලනේශන් ලෙටර් එකක් දෙන්න එන්න කීවෙ....ඕක අවුරුදු ගාණක් යට ගැහි ගැහි මතුවෙන එකක්.....ලු..." උදාර සඳමිණිගේ උරහිස වටා අත යවා සිය උරයට වාරුකරගත්තේය....
.
" කොහෙවත් යන ඕන්නැති කාරණා තමන්ගෙ එකවුන්ට් එකට දාගෙන....මගේ ඇස් මානයෙ ඉන්න වෙලාව නැතිකලාට මට ඇත්තෙන්ම තරහ ගිහින් උන්නෙ....." දෑස් වසා නිහඬවම සියල්ල අසා සිටින ඇයගේ වතට එබෙමින් උදාර පැවසීය.....
.
" අනේ.....ඉතින් ...." හිස ඔසවා ආයාචනාත්මකව ඔහු දෙස බැලූ සඳමිණි යළිත් ඒ ගෙලමුල මුහුණ සඟවා ගත්තාය.....
.
ප්‍රේමය සිත් පුරා උතුරා යනවිට...ජීවිතයේ විඳි දුක් දොම්නස් හැඟීම් කොහේ කොතැනක පාව යනු දැයි තමන්ටම නොතේරේ ...මේ පමා වී පැමිණි වසන්තයයි.... සිත් පුරා මල් ඉහෙන....පිපෙන....සොඳුරුම කාලයයි....නෙත් නෙතඟ පැටලෙන....ලවන් උණුසුම් සිපුම් මැද සැනහෙන...දෑත් එකිනෙක පැටලෙමින් උනුන් ඇසුරේම හිඳින්නට කල් යල් බලනා කාලයයි.....

*****************************************************

කාලය ඉගිල්ලී යන්නේ බොහෝ වේගයෙනි....සඳමිණි අධ්‍යාපන කටයුතු වල උනන්දුවෙන් නිරත වෙද්දී උදාර ඇයට හැකි සැම අයුරින්ම සහය දුන්නේය .....
.
අධ්‍යයන කටයුතු නිමාවී හවස් වන යාමයේ ආපසු නවාතැනට පැමිණෙන්නට උදාර ඇය රැගෙන යන්නට ආවේය .....

අතරමග කුඩා අවන්හලක ඉඳහිට රැඳෙන මොහොතක , ජීවිතය සෙනෙහසින් උතුරා යන බැල්මක තනිවෙමින් ඔවුහු ජීවිතේ වින්දහ.... .
.
" අද මොකක් හරි හිතේ තද කරන් ඉන්නෙ ළමයා...මොකද කියමු බලන්න...." උදාර රථය මාවත අයිනේ මඳක් නවතා සඳමිණි දෙස හැරුණාය ...
..
" නෑ එහෙම්ම මොකුත් නැහැ ...." සඳමිණි බිම බලා තෙපලුවේ උදාර දෙස නොබලාමය.....
.
" එහෙම්ම මොකුත් නැ ...කියන්නෙ....මොකක් හරි පොඩ්ඩක් තියනවනෙ...." සඳමිණි ගේ කණෙන් අල්ලා හෙමින් සොලවමින් උදාර සිනාසුණේය....
.
" හ්ම්..හ්ම්...කියන්න බලන්න...ඔය හිතේ තියන දේ...මට පුලුවන් ද උදව් වෙන්න කියල...."

සඳමිණි දෑතේ ඇඟිලි එකිනෙක පටලමින් සෙමින් හඬ අවදිකලාය. ...
.
" ඊයෙ බියංකා ඇහුව....දැන්ම බඳින්නැද්ද කියල ....."
.
උදාර සිනාමුසුව ඇය දෙස බලා උන්නේය ....
.
" මං කිව්ව....එම්ෆිල් එක නිසා ...කියල...."
.
"ඉතින්....මොකක්ද ප්‍රශ්නෙ .." උදාර මඩුගල්ලේ සඳමිණිගේ කන් පෙති අසලින් කඩාහැලෙන කෙහෙ රොදක් ඇඟිල්ලක පටලා ගත්තේය .....
.
" බියංකා බනිනව.....සර්ගෙ වයස යනවලු තව .මම කරන්නෙ අසාධාරණයක්ලු ඔයාට ...." සඳමිණි ට හැඬුණි.....
.
" සඳ .....ඇයි මේ....ඇයි අඬන්නෙ ඕකට...." උදාර ඇය සිය තුරුලට ඇදගත්තේය.....
.
" මට ඉගන ගන්න ඕන්නෑ...අපි බඳිමු....." සඳමිණි හැඬුමෙන් මුක්කන් වී යන ස්වරයෙන් කීවාය....
.
" බඳින්න නම් මටත් හදිස්සියි.... ඒත් මගෙ වයස යනව කියන එකවත් ඔයාගෙ ඉගනීම කියන එකවත් නෙවේ ඒකට කාරණය.....තේරුණාද කෙල්ල....."
.
" බැඳලා උන්න ට ඉගන ගන්න බැරි නෑනෙ.ඉතින්...." සඳමිණි බිම බලාගෙනම පැවසුවාය ....ඇයගේ සුන්දර ගැහැණුකම ඉදිරියේ හැඟීම් දරාගන්නේ කෙලෙසකදැයි උදාර දෑස් වසා කල්පනා කලේය......
.
" සඳ..... ඔයාට වඩා මට හදිස්සියි ඔයාව ලඟට ගන්න....ඒත් ඔයාට ඉගනීම් වැඩ අතපසු වෙයි...." සිය දෙතොල ඇයගේ කොපුලක සෙමින් තද කරමින් ඔහු සෙනෙහසින් පැවසීය....
.
" අද ගිහින් හිතල බලන්න.....ආයෙම ඔය තීරණේ ගැන .....හොඳ ද....?" මඳක් නැඹුරු වී ඇයගේ දෑස් දෙස බැලූ ඔහු පැවසීය .....සඳමිණි බිම බලාගෙනම හිස වැනුවාය....

උදාර මඩුගල්ලේ නැවත නැවතත් සිය ඊමේලයන් අතර වූ එම මේලය පිරික්සීය...ඔස්ට්‍රේලියාවෙන් තමා වෙත පිරිනමන මේ අවස්ථාව පිළිගත යුතුද නැත්ද යන් දෙගිඩියාව සිත දැඩිසේ පෙළයි....තීරණය ගත යුත්තේ සතියක් තුළය....ක්‍රියාත්මක කරන්නට නම් තෙමසක් පමණ කල් ඇත....

කෙසේ වතුදු....කාලය තමාට දී ඇත්තේ මහා අභියෝගයකි.....නමුත් සඳමිණි සමග ජීවිතය ට ආවේ සාර්ථකත්වයේ සුන්දර ලකුණුමය.....ඇය සමග මිස ජීවිතයේ ඉදිරියට යාමක් වෙන නම් නැති බව ඔහු වටහා ගත්තේය .
.
" අපි බඳිමු ...." මන්තරයක් සේ සෙමින් හැමදාම මතුරන ඒ සියුම් හඬ ඔහුට ඇසෙන්නාක් මෙන් විය....
.
" දැන් නම් බඳින්නම වෙනව තමා ...." උදාර මඩුගල්ලේ සිනාසෙමින් සිතුවේය....

********************************

" සඳ... සැටර්ඩේ ක්ලාස් තියද මේ සතියෙ ....." බ්‍රහස්පතින්දා හවසක ඇනෙක්සිය වෙත පැමිණ දොඩමලු වන සැන්දෑවක උදාර මඩුගල්ලේ එක්වරම ඇසුවේය ....
.
" නැහැ ....මේ සතියෙ දවස් දෙක අපිට නිවාඩුයි...ඊලඟ සතියෙ ප්‍රසන්ටේෂන් නිසා ..." සඳමිණි පැවසුවාය ....
.
" එහෙනම් යං පොඩි ගමනක් ...උදේ ගිහින් හවස එන්න .....ට්‍රිප් එකක් වගේ එකක්....." උදාර පැවසීය ....ඒ ඇසූ විට සඳමිණි ගේ මුහුණ සතුටින් ඔද වැඩෙන අන්දම ඔහු සිතින් මවා ගත්තේය....මේ කාලය තුළ ඇයට එවන් කෙටි ගමන් බිමන් රැසකට යෙදෙන්නට හැකි වූයේ උදාර නිසාමය....

" අනේ හා ...අපි කොහෙද යන්නෙ ....කියන්නකො....කියන්නකො... " ළදැරියක් සේ ඇවිටිලි කරන ඇය ගේ වදන් වලට ඔහුට සිනා නැගෙයි ....
.
" ඒක ගියාම බලාගම්මුකො..." උදාර මඳක් ආඩම්බරයෙන් කීවේය....
.
" හැමදාම ඔහොම්මයි...කියන්නෙ නෑ යන කල්ම...මාව සර්ප්‍රයිස් කරල ඇති වෙන්නැද්ද මන්ද...." නෝක්කාඩු ස්වරයෙන් චෝදනා කරන ඇයගේ හඬට ඔහු මහ හඬින් සිනාසුනේය.....
.
" ඒව එහෙම තමයි ...ටිකක් අගේ කරන්න ඕන....එහෙනම් සෙනසුරාදා ටිකක් උදෙන් අපි යං....ගොඩක් බඩු ඕන්නෑ....උදේ ගියා හවස ආවා....නාන්න එහෙම ආස නම් ඒකට ඇඳුමක් දාන් එන්න..." උදාර ඇමතුම අවසන් කරමින් පැවසීය....
.
සඳමිණි දෑතම ඔසවා ගෙන වරක් දෙකක් කාමරයේම උඩ පැන්නාය....මේ කාලය තුළ ඔහු හැකි සැමවිටම තමා සුන්දර තැන් වලට කැඳවාගෙන ගියේය....ඒ බොහෝ ස්ථානයන් අපූරු සොබා සොඳුරු රුවෙන් පිරිපුන් තොතැනිය....දෑස් සිත සනහාලන ඉසව්‍ ය...
.
ජීවිතය කෙතරම්ම සුන්දරව විඳිය හැකි දැයි සඳමිණි වටහා ගනිමින් උන්නාය..ඒ සියල්ලම ජීවිතය ට ආවේ උදාර සමගිනි....
.

උදාර ගමනක් යනවිට සඳමිණි වෙහෙස කරවන්නට බොහෝ අකමැති වුවද ඇය සරල කෙටි කෑමක්, පළතුරු යුෂ බෝතලයක් ඒ සඳහා නිතරම සකසා ගත්තාය ....කෙතරම්ම එපා කීවත් එය දුටු විට ඔහු දෑසේ මතුවන ආසාවට ඇය බෙහෙවින් ප්‍රියකලාය.....

******************************************************

උදාර මඩුගල්ලේ සෙනසුරාදාව ඇරඹූයේ හිතේ පොපියන සතුට සෙනෙහස මතින් උතුරා යමිනි....ඉදින් ඇය ඇසුරේ ගතවන හැම දිනක්ම මෙසේමය....සිනාවන් කතාවන්...අතර ආදරය උතුරා යන හෝරාවන් එමටය.....
ගමනට අවැසි සියලුම දේ වාහනයට අසුරා හමාරය.....
.
සිය හාම්පුතාගේ සිනාවෙන් ඔප වැටුණ මුහුණ දෙස සුමනේ බලා උන්නේ සිත පුරා පැතිරෙන සතුටිනි....
.
" සුදු මහත්තයා...." උදාර හිස හරවා සුමනේ දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් දෑස් වල රඳවාගෙනය....
.
" ඒ නෝනව ඉක්මනින් කැන්දන් එන්න සුදු මහත්තය..... ඔය සතුටින් ඉන්න මූණ දකින්න අනේ දෙයියනේ මං කොච්චර කල් පෙරුම් පිරුවද .."
සුමනේ ගේ හඬ අන්තිමට බිඳී ගියේය....
.
උදාර ලතෙත් බවින් යුතුව සුමනේ වෙත විත් ඒ දෙවුර මත දෑත තැබීය....
.
" ඉක්මනින් එක්කන් එනව සුමනෙ....." හැඟීම්බර හඬින් එවදන් තෙපලූ ඔහු යළි රිය වෙත ගියේය....
.
ඇනෙක්සිය අසල වාහනය නවතන විටම බෑගයද කරට ගෙන ඉගිල්ලී එන ඇය දෙස උදාර මහත් සෙනෙහසින් බලා උන්නේය....ඇය තමා ඇසුරේ ජීවිතය විඳින්නීය...ප්‍රේමය නොලද්දී...අද ප්‍රේමයෙන් උතුරා ගොසිනි....එදවස තිගැස්සී බියපත්ව කඳුලෙන් පිරෙන දෑස් අද සිනාව උතුරා යමිනි.....
.
ඇය අතින් බෑගය ගත් ඔහු එය පසුපස අසුනට දමා ඇය ඉදිරි අසුනට යොමු කලේය.... හැමදාමත් මෙන් වාහනය පණ ගැන්වීමට මොහොතක් තියා ඔහු දැස් නොපියා ඇය දෙස ම බලා උන්නේය.....
.
දෑතම ගෙල වට යවා කොපුලකට සෙමින් ලැබෙන හාදුව ඔහු බලාපොරොත්තු වෙන සුන්දරම පණ ගැන්වීමය.....
.
" දැන්වත් කියන්නකො අපි කොහෙද යන්නෙ..." සඳමිණි ඇවිටිලි කලාය....උදාර හිස දෙපසට වනමින් සිනහසුනේය....ඇයගේ සුන්දර ඇවිටිලි මත ජීවිතය තරුණ වනු ඔහුට දැනේ.....
.
" හරි නරකයි...තියන අගේ...." නෝක්කාඩු මුසු හඬින් පැවසුවද උදාරගේ දෑස් මුව දෙස සෙනෙහසැති බැල්මෙන් බලා සඳමිණි සිනාසුණාය .....
.
කොළඹින් නුදුරු සුන්දර ම පරිසරයක වූ කුඩා දිය ඇල්ලක් මෙවර ගමනාන්තය ලෙස උදාර තෝරාගත්තේ ...එතැන කුඩා කඳවුරු බිමක් ද ඇති හෙයිනි... අකුලා ගත හැකි ටෙන්ට් එක...කාරයේ ඇති බව ඈ නොදන්නීය....ඒ ඇයට අලුත්ම අත්දැකීමක් වනු ඇත.....
.
" ඔන්න අපි ආවා ...එහෙනම්...ටිකක් පයින් යන්න තියනව...යන්න පුලුවන් නෙ...." රිය නැවතුම් ස්ථානයට පැමිණි පසු උදාර සඳමිණි වෙතින් ඇසුවේය....තවමත් කිසිවක් සිතාගත නුහුණු ඇය ඇස් ලොකු කරගනිමින් හතර අතම බලන්නට වූවාය....උදාරට සිනහ නැගෙයි....
.
ඇය අතට කුඩා බෑගයන් පමණක් දුන් ඔහු ඉතිරි සියල්ල පිටේ එල්ලාගන්නා බෑගයක ට ගත්තේය....
.
" මොනාද ඔය....හඳට යන්න වගෙ ..ලොකූ බෑග් එකක්..." සඳමිණි විමසුමින් ඇසුවාය...
.
" ඇයි හඳට ගිහින් තියද....සඳ.....?" උදාර මහ හඬින් හිනැහෙමින් ඇසුවේය...ඔහුගේ අත් බාහුවකට පහරක් ගසමින් ඇය ඔහු පසුපසම ඇදුණාය.....
.
මීටර් තුන් හාරසියයකට නුදුරේ සුන්දරම දිය දහරාවකි.....ඒ අසල අපූරු තැනි බිමකි.....සඳමිණි විශ්මයානුකූල හඬක් නංවමින් උදාරගේ දෙවුරේ එල්ලුණාය....
.
" දෙයියනේ මෙච්චර ලස්සනක්.....අනේ මං හිතුවෙම නෑ.....යං යං එතනට යං අපි...." ඔහුගේ අතින් අදිමින් ඇය කෑගසන්නී ළදැරියක් සේමය.....
.
" මට මෙතන මේ බඩු ටික ඇරේන්ජ් කරගන්න ඕන...ඒ නිසා පරෙස්සමින් අර වීව් පොයින්ට් එක ගාවට ගිහින් බලල එන්නකො.....එතනින් එහාට එහෙම යන්නෙ නෑ හරිද....?"

සඳමිණි නැරඹුම් ඉසව්වට යනතෙක් බලා උන් ඔහු සිය සිතේ වූ අන්දමටම තමා තෝරාගත් ස්ථානයේ අදාල උපකරණ ටික තැන්පත් කලේය....අද දිනය ඇයට සුන්දර ම අත්දැකීමක් කර දිය යුතුය.....
.
" ලස්සනයි ද ....?" නැරඹුම් ඉසව්වේ වැටට සමීපව දිය ඇල්ල නරඹන සඳමිණි ව සිය ගතට ළං කොට ගත් උදාර ඇසීය..... ඇයගේ දෑස් දිදුලන්නේ ඒ සතුටේ සේයාවන් සමගිනි.....
.
" නාන්න ඕනද....?" ඒ වත්දීත් පැමිණ උන් කිහිප දෙනා ආරක්ෂිත ස්ථානයේ වතුරට බැස හමාරය .....දෑත් පොරවා මැලි බව පෙන්වුවද ඇය වතුරට බසින්නට ආසා බව ඔහු දැන උන්නේය .....

"එහෙනම් නාන්න ඕන නෑ...යං වතුරට නිකම් බැහැලා ඉම්මු....."උදාර ඇයගේ අතින් අල්ලාගත්තේය.... ලී පඩිපෙළකින් ඇල්ල අසබඩ ඉසව්වට පැමිණි දෙදෙනාම ගල් තලා මතින් පිරිස සිටින ඉසව්වට පැමිණියහ.....
.
දිය ඇල්ලෙන් ජල බිඳු දසත ඉසිරී යන සීමාවේ ඇති කුඩා ගල් තලාවක් වෙත සඳමිණි සමග උදාර පැමිණියේ එතැන එම සීමාවේ ඇති ලස්සනම දසුන වූ හෙයිනි.......ඇල්ලෙන් විසිර යන දිය බිඳු ගතට සුවදායක සනීපයක් ගෙන එයි.....සඳමිණි දෑස් නොසලා ඒ දෙස බලා උන්නාය......
.
" සඳ ......" ඒ ආදරණීය හඬ ඇය ගේ සවන් පත් සිප ගත්තේ වෙනදාටත් වඩා පෙමිනි.....ඇය දෑස් මෑත් කොට ඔහු දෙස බැලුවාය....ඔහු අත සුන්දර රෝස මල් පොකුරකි....
.
" දන්නවද සඳ....අද කවද්ද කියල....." උදාර ඇයගේ දෝතේ මල් පොකුර තබමින් ඇසීය.....
සඳමිණි වික්ෂිප්ත ව බලා උන්නාය....උපන්දිනයක් ද නොවේ....වෙනත් විශේෂයක්ද නොවේ.....ඇය සිතාගත නුහුණු බැල්මක දැස දවටා ගෙනම ඔහු දෙස බැලීය.....
.
" අද වගේ දවසක තමයි මේ ගෑණු ළමයා ඉස් ඉස්‍සර වෙලාම මගේ ඇඟේ හැප්පුණෙ....අන්න එදා තමයි මගේ හිතෙත් හැප්පුණ මුල්ම දවස....මතකද සඳ......" උදාර මඩුගල්ලේ ඇයගේ මුහුණ දෝතට ගත්තේය..... සඳමිණි ගේ මනස ඈතින් ඈතට සිත්තම් පටක් සේ ඇදීගියේය....දෑස් වල කඳුලු පිරී ඉතිරෙන්නට මාන බලයි.....
.
" සඳ..... ජීවිත කාලෙම මගේ ම වෙන්න කැමතිද.....? " ඔහු ඇයගේ දෝත අල්ලාගනිමින් පැවසීය.....සඳමිණි කිසිවක් කියාගත නොහී දෑස් විසල් කොට ඔහු දෙසම බලා උන්නාය.....
.
සාක්කුවෙන් ගත් කුඩා සුදු පැහැ ගල් ඇල්ලූ මුදුව අතට ගත් ඔහු ඇය ගේ වමත වෙත දෝත පෑවේය.....
.
" ඩූ යූ මයි ලව්.....?" ඔහුගේ දෑස් පුරා උතුරන්නේ ආදරයමය....සඳමිණි හිස වනමින් ඉකිගසමින් හැඬුවාය....උදාර මඩුගල්ලේ ඇයගේ අතට මුදුව පලඳා ඇයගේ මුහුණ සෙමින් සිප ගත්තේය....
.
අවට ජලයේ උන් සියල්ලෝම එක් වනම අත් පොලසන් දෙමින් කෑගසා ඔවුන් වෙත සුබ පතන්නට වූයේ....ජලතලයේ වතුර ඔවුන් වෙත ගසමිනි......
.
" අනේහ්....." සඳමිණි උදාරගේ බාහු අතර සැඟව කෑගැසුවාය.....අවසන ඇඳ උන් ඇඳුම් පිටින්ම ඔවුහු තෙතබරි වී උන්හ......
.
" දැන් තෙමිල ඉවරයි කෙල්ලෙ....මෙහෙම්ම නාමු එහෙනම්....." උදාර ඇයගේ වෙවුලන වත දෙස බලමින් පැවසීය......
.
*********************************

දිය ඇල්ලටම වී ගතකල සොඳුරුම පැය ගණනකට පසු ඔහු ඇයට පෙන්වූයේ ඔහු තැනූ සුන්දර නවාතැන් පොළයි.....සඳමිණි දෑස් ලොකු කරගනිමින් ඒ දෙසත් ඔහු දෙසත් බැලීය.....

.
කූඩාරම වෙත ගිය දෙදෙනා උණුසුම් කෝපි බඳුනකින් උණුසුම් ව ගත් හ....තණතීරයේ තැන් තැන් හි අතුරන එලා විවේක ගන්නා කිහිප දෙනෙක් තවමත් ඇත.....
සඳමිණි දෙපා දිගු කර සුවපහසුවෙන් හිඳගත්තාය....ජීවිතේ කෙතරම්ම සුන්දර දැයි ඇය සිතුවාය....
.

ඇයගේ දෙපා මත හිස තබා ගනිමින් උදාර කතාබහට මුල පිරුවේය.......


1 comment:

  1. ජීවිතයේ පුුද්ගලිකව නොවිඳපු අත්දැකීමක් තමයි කූඩාරමක රැයක් කෙල්ලෙක් එක්ක ඉන්න එක...
    ආසා හිතුණා...

    ReplyDelete