Wednesday, June 10, 2020

12. එකොලොස් වෙනි දිග හැරුම

" සිකුරාදා මට හදිසියෙම උණක් වගෙ ආව....ඒක කොහොම ද කියන්න තේරුමක්නෑ...මගේ යාලුවෙක් ඉන්නව ඩොක්ටර් කෙනෙක්...එයා මාව බලන්න ගෙදරට එනකොට මට සිහියත් නෑ කියන්නෙ....අන්තිමට එදා ඇඩ්මිට් කල ගමන් තමයි මේ...."
ලියකියවිලි වලට අත්සන් තබන අතරේ උදාර සඳමිණි ගේ පැනයට පිළිතුරු සැපයීය...ලිපි ගොනුව දෙස බලා සිටිය යුතු හෙයින් කතා කිරීම පහසුය....
.
සඳමිණි ඒ අතර ඒ මුහුණ දෙස බලා උන්නාය....වයසින් අවුරුදු හතළිහක් වූවාට ඔහු සැබෑම කඩවසම් ය ...උසට සරිලන මහතින් යුතු පෞරුෂයක් හෙබි අයෙකි....
.
" ගෙදර අය ඇවිල්ල ගියාද සර්...." මේසය මත වූ හිස් භාජන සහිත බෑගය දෙස බලා සඳමිණි විමසුවාය....එක්කෝ ඔහුගේ බිරිඳ පැමිණ යන්නට ඇත...නැතහොත් ඇය තවමත් රෝහලේ කොහෙට හෝ ගොස්ද ....
.
" ඔව් අක්කා ඇවිල්ල කවල පොවල බැනල ගියා....."
උදාර හිනැහෙන්නට තැත් දරමින් කීවේය.....
.
එතනින් ඔබ්බට පෞද්ගලික කාරණා අසා දැනගන්නට තරම් ඔවුනොවුන් එතරම්ම සුහද ද සමීපද නැත...අනෙක ඔහු සිය ප්‍රධානියාය. රණවීර මහතා තමන් හා කෙතරම් සුහද වුවද ...මේ පුද්ගලයා වෙනස් අයෙකි.....
.
" එහෙනම් මම ගිහින් එන්නම් සර්....හෙට දවසට සර්ට වෙන අත්‍යාවශ්‍ය මීටින් මොකුත් නෑ...මේ බ්‍රහස්පතින්දා සිකුරාදා ශෙඩූල් එක...ඒකත් කැන්සල් කරන්න පුලුවන් සර්..... "
.
" නෑ නෑ කැන්සල් කරන්න එපා....මට බ්‍රහස්පතින්දා වෙද්දි ආපහු එන්න පුලුවන් වෙනව....මිස් ඕවට අදාල ඩොකියුමන්ට් ටික හදල තියන්න. . එහෙනම් බොහොම ස්තුතියි ආවට...පරෙස්සමින් යන්න...."
උදාර සෙමින් පැවසීය....
.
" තෙරුවන් සරණයි සර්...ඉක්මනින් සනීප වෙන්න...මම යන්නම්...." සඳමිණි නැගී උන්නාය...
.
ඇය කාමරයේ දොර වසා නොපෙනී ගිය පසු උදාර කොට්ටයට හිස තබා දෑස් වැසීය....සඳමිණි තම හිස කොට්ටයට තබන්නට ලංවූ මොහොතේ ඇයගෙන් දැනුන මෘදු විලවුනක සුවඳ උදාර ගේ හිත යළිත් කළඹාලීය......
.
ජීවිතයේ මින් පෙර කිසි දිනෙක ගැහැණියකගේ සුවඳ තම හිත කලඹා නැත ... මේ සිදුව ඇත්තේ කුමක්දැයි උදාර යළිත් සිතුවේය ....නැත ..මෙසේ සිත දුර්වල විය යුතු නැත ..තමා දැන් යෞවනයෙක් නොවේ...සතළිස් විය ලබන්නට ඔන්න මෙන්නය.... ප්‍රේමය ආදී විශයයන් ජීවිතය ට ළංකර නොගත් තුරුණු විය පසුව ගොස් දැන් කිසිසේත්ම එය ළඟාවිය යුතු නැත.....
.
නැවත දොරට තට්ටු කිරීමක් සමග උදාර කල්පනා ලොවින් මෙපිටට ආවේය....
..
" අහ්...මිස්ටර් රණවීර...කොහොමද මේ ......?? " උදාර විශ්මයෙන් ඇස් ලොකු කරගනිමින් පැවසීය .....
..
එන්න එන්න ඉඳගන්න මිස්ටර් රණවීර... " ඒ සමගම අසුන දෙසට අත දිගු කල උදාර පැවසීය ....සිය කටහඬ උදේට වඩා සැබවින්ම ප්‍රාණවත් ව ගොසිනි...එයට හේතුව ...???
.
." මම ආව මේ මගේ වීපී ගෙ අපොයින්මන්ට් එකට මිස්ටර් මඩුගල්ලෙ....අද ඩොක්ටර් එන්න පරක්කුයි..මම නිකම් රිසෙප්ෂන් එක ගාව බෝඩ් එක බලන කොට දැක්කෙ ඔයාගෙ නම වෝඩ් ඇඩ්මිෂන් බෝඩ් එකේ ....ඒ ගමන මේ ආවෙ මොකද බලන්න..."
.
උදාර සැකෙවින් අසනීපය ගැන කියුවද එයට හේතු හෝ අන් කිසිවක් නොකියා සිටින්නට සිතාගත්තේය....
.
" මේ දවස් වල නරකම වයිරස් උණකුත් තිබ්බ නේද ..ඩෙංගු ත් හැම තැනමනෙ....කෝකටත් ඇඩ්මිට් වුණ එක හොඳයි..."
.
උදාර නිහඬ සිනාවක් පෑවේය...
.
" කොහොමද රාජකාරි කටයුතු ...මං හිතන්නෙ එහෙ අවුලක් නෑ මිනිස්සු එහෙමට ප්‍රශ්න ඇතිකරන අයත් නෙවේ...ස්ටාෆ් එකත් ලොකුවට අවුල් සහගත නම් නෑ..."
.
" ආ....ඔව් ඔව් මිස්ටර් රණවීර ... දැනට නම් කිසි ම ගැටලුවක් නැහැ ..වැඩ ටික කරන් යනව .."
.
" කොහොමද මගෙ සෙකට්‍රි දරුවා ...සඳමිණි ද තාම මිස්ටර් මඩුගල්ලෙ ගාවත් ඉන්නෙ...මට ඒ දරුවට කෝල් එකක් වත් දෙන්න බැරි උනා ගියාට පස්සෙ .." රණවීර මහතා එක්වනම ඇසීම සමග උදාර යළි තිගැස්සිණ....
.
" ආ....ඒ මිස් තමයි....වරදක් නෑ... වැඩ හරිම පිළිවෙල ට කරන් යනව . .මිස්ටර් රණවීර රෙකමන්ඩේශන් එකකුත් දුන්නනෙ..කොහොමත් " උදාර සන්සුන් වෙමින් පැවසීය....
.
" ඇත්තෙන්ම මිස්ටර් මඩුගල්ලෙ...ඒ ළමයා තරම් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දුන් ගැහැණු ළමයෙක් මට හම්බෙල නෑ ...ඒත් කිසිම දවසක රාජකාරියට ඒ පෞද්ගලික ප්‍රශ්න ගැටලුවක් කරගෙන ත් නෑ සඳමිණි ...." සුසුමක් හෙලු වියපත් පුද්ගලයා සැබෑ සොවින් පැවසීම උදාරගේ සිත කුතුහලයෙන් පුරවාලීය .....
.
" ඒ කීවෙ මිස්ටර් රණවීර....??"
.
" ඔය ළමයා දැන් මාස දෙකක් විතර ඇති ඩිවෝස් වෙලා ...ඊට කලින් අවුරුද්දක් වගේ හස්බන්ඩ් ගෙන් වෙන් වෙලත් උන්නෙ ..." රණවීර මහතා සැකෙවින් සිදුවීම් ජාලය විස්තර කලේය....උදාර මඩුගල්ලේ ගේ සිත සඳමිණි සම්බන්ධයෙන් අනුකම්පා මුසු හැඟීමකින් පිරීගියේය
....
.
" මේ දේවල් මිස්ටර් මඩුගල්ලේ දන්නා බව සඳමිණිට අඟවන්න එපා...මම මේ දේ කීවේ ඒ දරුවා ගැන ප්‍රධානියා වශයෙන් ඔබතුමා අවබෝධයක් ඇතුව ඉන්න එක වටින නිසා ....එහෙනම් නීරෝගී සුව පතනව ..මගේ ඩොක්ටර් එන වෙලාවත් හරි...මම යන්නම් මිස්ටර් මඩුගල්ලෙ...."
.
" අහ්....අනේ බොහොම ස්තුතියි මිස්ටර් රණවීර...ඇවිල්ල කතාබහ කලාට...මම ඒ කාරණා පෞද්ගලික වම ආරක්ෂා කරනව ....එහෙනම් පරෙස්සමින් යන්න .." දිගු කල දකුණත සෙමින් අල්ලාගනිමින් උදාර පැවසීය .....
.
.රණවීර මහතා කාමරයේ දොරින් නික්ම ගිය පසු උදාර සිය ජංගමය අතට ගත්තේය..අවසාන ඇමතුම සඳමිණිගෙනි....
.
නැවත දෙවරක් නොසිතා අංකනය කල ජංගමය කණට තබා ගෙන උදාර ඇස් වසා ගත්තේය...
.
එහා පසින් නාදවන දුරකතනය සම්බන්ධ වී යනු දැනිණ....
.
" අහ් ...මිස් දිසානායක ඔෆිස් එකට ගියාද ....? ඔක්කොම වැඩ හරිද ..? අදට වෙන මොකුත් පණිවිඩ නැහැ නේද ? " උදාර චකිතය මැඩගනිමින් නොකඩවා කියවාගෙන ගියේය ...
.

" සර්....මේ ආවා විතරයි අපි... ඔක්කොම වැඩ හරි සර්....වෙන මොකුත් පණිවිඩ නැහැ අදට ....සර්ට දැන් කොහොමද ...."
සඳමිණි සෙමින් ඇසුවාය.....
.
උදාර ගේ මුහුණේ මඳ සිනහවක් ඇතිවී නැතිවී ගියේය ...
.
" හෙට ටිකට් කපයි සඳමිණි.....ස්තුතියි ආවට...උදව් කලාට...මම එහෙනම් තියනවා .." උදාර පැවසීය...
.
" තෙරුවන් සරණයි සර්...." සඳමිණිගේ මෘදු ලයාන්විත හඬ අසමින්ම උදාර ජංගමය විසන්ධි කලේය....
.
සඳමිණි නිහඬ ව ගිය ජංගමය දෙස නිනව් නැතිව බලාඋන්නාය....වෙනදා මිස් දිසානායක කියන සර් එකපාරටම සඳමිණි කිව්වෙ ඇයි ....? කටහඬත් වෙනස්.....

සඳමිණි ගේ දෙකන් පෙති පුරා ලේ පුරා යන හැඟීමකින් සලිත වනු ඇයට දැනිණ.....සුසුමක් හෙලා ජංගමය මේසය මත තැබූ ඇය...මේසයට හිස තබා දෑස් වසා ගත්තාය....


1 comment:

  1. 40-Year-Old Virgin
    කෙනෙක් ද උදාර කියන්නේ එතකොට???

    ReplyDelete