Saturday, July 11, 2020

16. පහලොස් වෙනි දිග හැරුම



උදාර මඩුගල්ලේ හිසේ අතගසා ගත්තේය...
.
ඔය කරගත්තෙ එකක්....මේ වෙලාවෙම කෝල් කරල කල ගොං වැඩේ...අන්තිමට බ්ලොක් උනා....
.
උදාර තමන්ටම දොස් පවරා ගත්තේය....
.
කාර්‍යාල භාවිතයට ලබා ගත් අංකයෙන් ඇය අමතා බැලිය යුතුයැයි ඔහුට සිතුණේ එවිටය...
.
ජංගමය යළි නාදවී විසන්ධි වන තුරුත් සඳමිණි ඒ දෙස නොබලාම උන්නාය...අතදිගු කර ජංගමය අතට ගැනීමට වත් නොසිතේ ...නැවත නැවත නාදවන අංකය දුටුවිට ඇයට ඇතිවූ තිගැස්ම මඳක් සමනය වන්නට හැර ඇය ඇමතුමට සම්බන්ධ වූවාය...
.
" ආ යූ ඕකේ....සඳමිණි ...?" උදාර මඩුගල්ලේ සාමාන්‍ය වෙන්නට තැත් දරමින් ඇසීය...
.
" හ්ම්..." එපමණකි...ඇය යළි යළිත් ඉකිගසනු ඇසේ...
.
" සඳමිණි ....දැන් නවත්වන්න ඔය ඇඬිල්ල...හෙට නිවාඩුවක් ගන්න...ඔයාට ඒක අවශ්‍යයි..මමත් හෙට මිනිස්ට්‍රි...එන්න එපා හෙට වැඩට...." උදාර අණ දීමක ස්වරයෙන් පැවසීය...

."හා..." එපමණකි... අනිච්ඡානුගව ම ඇය තම අණසකට නතුව ඇත..උදාරට මහා අනුකම්පාවක් දැනිණ...
.
" දැන් කෑම කාලද....?"

" ම්හ්..."
.
" කෑම නොකා...නිදානොගෙන විසඳන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි ජීවිතේ ට එන්නෙ....ඕකේ...ගිහින් කාල නිදාගන්න...ගුඩ් නයිට් "
.
උදාර ඇමතුම විසන්ධි කලේ තව දුරටත් ඇය වෙහෙසකරවනු නොරිසි හෙයිනි...
.
සඳමිණි විසන්ධි වීගිය ඇමතුම දෙස බලා මොහොතක් හිඳ නාන කාමරය වෙත වැදුණාය....
.
*****************************

දින දෙකකට පසු සේවයට යළි පැමිණෙන විට කතන්දරයට තටු ගසා ඉගිල ගොස් තිබිණ...සඳමිණි දෙස විමසුම් ඇසින් බලන ඉඟිකරන දෑස්‍ ය....තැන තැන කුටු කුටු හඬය...
.
" මොකක්ද මේ කලබලයක් උනා කියන්නෙ මිස් ..." මිසිස් පෙරේරා සුපුරුදු ලෙසම කෑම පැයේදී පැමිණ අසලින් ඉඳගත්තේ කාරණය අසාගන්නටමය..
.
" ඔයා දන්න ටිකම තමා මිසිස් පෙරේරා මාත් දන්නෙ...." සඳමිණි කෑම කන අතරේම කීවාය...
.
" සර් වෙලාවට ආවෙ නේද...හැබැයි ඉතින් සර්ටත් ඔහොම ඒවට පැටලෙන එක නම් හොඳ මදි..මොකද සර්ලා නුවර පළාතේ හෙන වලව් කාරයොලුනෙ..." මිසිස් පෙරේරා යටිතොල පෙරලමින් කීවාය...
.
" ඔහොම ඒව කීවෙ....පැටලෙනව කීවෙ....මට තේරුන්නෑ මිසිස් පෙරෙරා ...." සඳමිණි තදින් ඇසුවාය ..
.
" නෑ මං මේ කීවෙ ඉතින් සර්ලාගෙ නමටත් හරි නෑනෙ...ඔය ඩිවෝස් වෙච්ච පවුල් කේස් අස්සට අතදාන එක...." මිසිස් පෙරේරා තුරුම්පු කොලය ඇද්දාය...
.
" මේ මිසිස් පෙරෙරා ..එකක්...සර් එදා එතනට ආවෙ අහම්බෙන්..අනික සර්ගේ සේවකයෙක් මම...ඒ නිසා සර් එවෙලෙ මනුස්සකමට එහෙම කලා කියල සර්ගෙ නම්බුවෙ නැති වෙන්න මොකුත් නෑ....පින්සිද්ද වෙයි අනුන්ගෙ දේවල් නොහොය ඉන්නවද....?" සඳමිණි කෑම එකද ඔතා කුණු බඳුනට දමා කාර්‍යාලය වෙත විගසින් ගියාය... කේන්තිය සහ ආත්මානුකම්පාව නිසා ගතම වෙවුලයි....ඇය මේසයට හිස ගසා ගෙන දෑස් තදින් පියා ගත්තාය...
.
මේ ගැටලු රාශියක මුලය..බියංකා වත් උන්නා නම් හිතේ ඇති දේ කියා සැහල්ලු වන්නට ඉඩ තිබුණි... ඇය එන්නේද ලබන සතියේය...වාසනාවකට මෙන් ඉදිරිදින දෙක යනු... සති අන්තයයි...ඇනෙක්සියට ම වී නිහඬව සිටිය හැක....ලෝකයෙන්ම හුදෙකලා වීමේ දැඩි අවශ්‍යතාවයක් ඇයට දැනෙයි .....මේ සියල්ලෙන්ම පලා යන්නට ඇත්නම්......
.
*****************************

උදාර මඩුගල්ලේ ඉන් පසු සඳමිණි ගෙන් අදාල පෞද්ගලික ගැටලුව ගැන කිසිත් නොවිමසීය... ඇයව අපහසුතාවයට පත් නොකල යුතු බව ඔහුට සිතුණි...
.
ටිකක් හිත හරිගැස්සුනාවෙ...මමත් ඔය අස්සට පැනල නටන්න යන්න හොඳ නෑ...
උදාර...සිතාගත්තේය....පෞද්ගලික දුරකතන අංකයද බ්ලොක් වීය...ඔහුට මඳ සිනාවක් පහළ විය....මගෙත් විකාර....
.
සති අන්තය අක්කා බලන්නට නුවර යායුතුයැයි උදාර සිතාගත්තේය.... අක්කා බලන්නට යෑම මඳක් හිතට වෙහෙසකර ගමනකි... ඇය ගිය මොහොතේ පටන් කියවන්නට ගන්නේ විවාහයක් ගැනය....දන්වා ගියොතින් කවුරුන් හෝ බලන්නට ගමනක් යොදාගන්නා හෙයින් උදාර නොදන්වාම අක්කාගේ නිවසට යාමට සිතාගත්තේය....
.
සති අන්තය ඇයගේ හඬවත් නැතිව ගතකල යුතුය...නමුත් ඇය ඉන්නා තත්වය මත...ඇයට මඳ සහනයක් දිය යුතුය..උදාර මඳක් කල්පනා කර...බියංකා හට ඇමතුමක් ගත්තේය...
.
සිදුවූ සියල්ල විස්තර කල ඔහු ඇය ගැන සති අන්තයේ සොයාබලන ලෙස බියංකාට පැවසීය..මේ කිසිවක් තමා ඇයට දැන්වූ බවක් නොපවසන ලෙස ඔහු අවධාරණය කලේය...
.
බියංකා දුකත් සතුටත් යන දෙකම මැද හුදෙකලා වූවාය..
දුක යනු සඳමිණි ට ඇතිවූ මේ අනපේක්ෂිත තත්වයයි...සතුට උදාර මඩුගල්ලේ නොකියා කියන සඳමිණි සම්බන්ධ ඒ විශේෂ හැඟීමයි.....
.
අනේ සඳ ...උඹට සර් වගේ කෙනෙක් තමා ගැලපෙන්නෙ....ඒක හරියනව නම්....
.
බියංකා තනිවම සිතුවාය...
*************************************

සති අන්තය අක්කාගේ නිවසේ නිදහසේ ගතකරන්න ට තැත් කලද අක්කා ඊට වඩා සූක්ෂම වූවායැයි උදාරට සිතේ... සෙනසුරාදා හවස විත් ඉරිදා හවස ආපසු කොළඹ බලා යන්නට තීරණය කල ඔහුගේ ගමන අක්කා අනුමත කරද්දීත් අක්කාගේ අරමුණ ඔහුට වැටහුණේ නැත.....
.
සෙනසුරාදා හැන්දෑවේ මාවත ඉහළට ඇවිද ගිය උදාර එහි වූ පැල තවානට ගියේ සුමනේ ගේ සුපුරුදු ඉල්ලීම් වෙනුවෙනි...නුවරට යන හැම දිනකම ඇට වර්ග, පැල වර්ග ගොන්නක් ඔහු වෙනුවෙන් රැගෙන යා යුතුය...අදාළ මිළදී ගැනීම් අතරතුර ඉන් ඔබ්බෙහි වූ මල් පැල දෙසටද උදාරගේ ඇස ගියේය....නෙක නෙක පැහැයෙන් පිපීගිය මල් අතර සඳමිණි ගේ රුව සිහිවූයේ කිමදැයි ඔහු යළිත් සිතුවේය...
.
ගැහැණු ඉතින් මල් වගේ තමයි....කවුරුන් හෝ වරක් එසේ කිව්වා මතකය....
.
" මල්ලි කෙලින්ම කොළඹ නේද....? " දිවා අහර ගන්නා අතරේ අක්කා උදාරගෙන් ඇසීය...
.
" ඔව් අක්කා...ඇයි...?" උදාර විමසීය...
.
" අර මිසිස් දුනුකේ බණ්ඩාර කතාකලා ...එයාගෙ දුව කොළඹ යන්න සූදානම් වෙනව කියල...මං ඉතින් කීවා ඔයත් කොළඹ යනව ආයෙ බස් වල මොකටද රස්තියාදු වෙන්නෙ ඔයා එක්ක යවන්න කියල...." අක්කාගේ සූක්ෂම දැල එලීම උදාරට වැටහිණ...
.
" අක්කා යමක් කරන්න කියන්න කලින් මගෙන් අහන්න ඔයාට තිබ්බ...මම වෙන ගමනක් දාගෙන උන්න නම්...නැත්තං මගින් යාලුවෙක් වත් ගමනට එකතු වෙන්න තිබ්බ නම්....හරි නෑනෙ...ඔහොම කරන එක...හ්ම්...දැන් එහෙම නම් කරන්න දෙයක් නෑ...කියන්න දෙකහමාර වෙද්දි රෙඩි වෙන්න කියල..."උදාර නොරිස්සුමෙන් පැවසීය....
.
දෙකහමාර වන විට දුනුකේ බණ්ඩාර වලව්ව අසල රිය නැවතූ උදාර මඩුගල්ලේට නිශාකා දුනුකේ බණ්ඩාර සිය මව සමග එනු පෙනිණ....ඉතා කෙටි බ්ලවුසයක් සහ සිරුරට තදටම ඇඳෙන ජීන්සයක් ඇඳි ඇය තඹ වර්ණ ගැන් වූ කෙහෙ රැලි පෝනිටේලයක් කොට දමා උන්නාය...
.
" පුතා එන්න තේ එකක් බීල යන්න...මේ පිට තැනක් යැ " දුනුකේ බණ්ඩාර මහත්මිය පැවසුවාය...
.
" රෑ වෙන්න කලින් යන්න ඕන...දැන් තේ අවශ්‍ය නෑ මිසිස් බණ්ඩාර " ඔහු මඳක් නොරිස්සුමෙන් පැවසීය..
.
" පුතා එක්ක නිසයි මේ මෙයාව මෙහෙම යවන්නෙ...නැත්තං තනිවම ගමන් ගිහින් පුරුදු නෑ.." උදාරට සිනහ යන්නට ආවේ ඒ වදන් පෙළටය ...
.
එන අතරමග තොරතෝංචියක් නැති නිශාකාගේ කියවීම ට හූමිටි පමණක් තබමින් ආ උදාරට සැනසුම් සුසුමක් හෙලුණේ ඇය අදාල ස්ථානයේ බැස්සවූ පසුය....
.
" තැන්ක් යූ සෝ මච් උදාර....විල් මීට් යූ අගේන් සූන්....බාආආයි..." බහින්නට පෙර ගෙල වටා දෑත යවා උදාරගේ කොපුලක් සිප ගත් නිශාකා ඇසක් ඉඟිමරා අසුනෙන් බැස ගියාය...
.
ශිට් විතරක්...උදාර මහත් නොරිස්සුමෙන් වාහනය වේගවත් ව හරවා ධාවනය කලේය...

********************************************************************************
සඳමිණි කාර්‍යාලයට පැමිණ අත්සන් කොට බියංකා හමුවන්නට ගියේ වේලාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති බැවිනි...
.
" හවස මං එක්ක යං බී...ටිකක් කතාකරන්න ඕන..." සඳමිණි සෙමින් පැවසුවාය..සති අන්තයේ බියංකාගේ නිතර සොයාබැලීම් සහ ඇමතුම් වල සැකකටයුත්තක් ගැබ් ව තිබිණයි ඇයට හැඟෙන්නට විය...
.
" හරි අපි කතාකරමු...දැන් දුවපන්....මාත් යනව.."

කාර්‍යාල කාමරයට පැමිණි සඳමිණි ගේ දෙනෙත ට මේසය මත වූ උස් දුඹුරු කඩදාසි බෑගය එක් වනම හසුවිය ...ඇය වටපිට බැලුවාය....උදාර මඩුගල්ලේ පැමිණ ඇති බවට ඔහුගේ මේසය මත ඇති ලැප්ටොප් බෑගය සාක්ෂි දරයි...ඔහු කොහේට හෝ ගොස් ඇත ..එවිට මෙය....? කාගේද...?
.
සඳමිණි බැගයට එබී බැලුවාය....කහ පැහැ පොහොට්ටුවක් දරන රෝස පැළයකි....ඇයගේ දෑස් ආශාවෙන් දිදුළන්නට විය...සෙමින් දෝතම රුවා එය ගත් ඇය එයට සම්බන්ධ කල ටැග් පත කියෙව්වාය...
.
Life has to bloom

උදාර මඩුගල්ලේ කාර්‍යාල කාමරයට නැවත එද්දීත් සඳමිණි මල් පැලය අත තබා ගෙන කල්පනාවකය....
..
"ගුඩ් මෝනින් සඳමිණි ..."

සඳමිණි තිගැස්සුනේ ඒ වදන් පෙලිනි....පියවි ලොවට ආ ඇය දුටුවේ තමා පසුකර ගොස් අසුන් ගන්නා උදාර මඩුගල්ලේ ය...

." ගුඩ් මෝනින් සර්...."
.
උදාර මඳ සිනහවක් පා ලැප්ටොප් පරිගණකය දිග හැර ගත්තේය...
.
" සර්...."
සඳමිණිගේ හඬින් ඔහු යළි හිස ඔසවා බැලීය...
.
" මේක....?" ඇය මල් පැලය ඔහුට පෑවාය....
.
" ඒක ඔයාට..." උදාර සිනාවක් හෝ නැති මුවින් සඳමිණි දෙස බලා කීවේය.....
.
සඳමිණි නිරුත්තර මුවින් ඔහු දෙස බලා උන්නේය....
.
" මම නුවර ගියා...එහෙ ගිහින් එනකොට සුමනෙට ඇට, පැල ජාති ගේන්න ඕන...මිනිහගෙන් විසුමක් නෑ නැත්නම්....එතන මල් පැල වගයක් තිබුණ ....එදා මං දැක්ක ඇනෙක්සියෙ මිදුලෙ මල් වවන් ඉන්නව...ඉතින් ඕක අරන් ආව....එච්චරයි " උදාර ඇයගේ මුහුණ දෙසම බලා පැවසීය.....
.
ප්‍රශ්න දහසක් ඇතත්.....ඒ වචන ටිකම හිත සැහැල්ලු කරන්නට ඇත....සඳමිණි ගේ මුහුණේ යළි සුන්දර ම සිනහවක් ඉපදී තිබිණ....

*****************************
.
" බී....ඇත්ත කියපන්....උඹ කොහොමද අර සිද්ධිය දන්නෙ....උඹ උන්නෙ නුවරඑළි එතකොට ත්..."
.
සඳමිණි සුපුරුදු අවන්හලේ කොණක අසුනේ සිට බියංකාගෙන් ඇසුවේ දෑස් දෙසම බලාගෙනය....බියංකා ගේ මුහුණ පුරා ඉතිරෙන මනමාල බැල්ම සහ සිනහව දෙස දෑස් හකුලමින් බැලූ ඇය....අතින්ද ඇද්දාය ..
.
" නුවරඑළියේ කියපු ගමන් කලකී දේවල් සිහි වෙලා මනමාල කම මූණට ආව ..." සඳමිණි සිනාසුනාය...
.
" නෑ ඒ මනමාල කම ආවෙ වෙන මගුලක් හරියාගෙන එන ඉවට...." බියංකා නැවත සිනාසුනාය...
.
"මොකක් .... " සඳමිණි දෑස් විසල් කලාය...
.
" උඹේ සර්....අන්න එයා තමා මට කෝල් කරල විස්තරේ කීවෙ .හැබැයි මාව පොරොන්දු කරව ගත්ත උඹට එයා කී බව නොකියන්නත් ..දැන් මේ උඹ මාව මරන් කන්න යන නිසා කීවෙ...."
.
" මං දන්නෑ බී එදා සර් ඒ වෙලාවෙ එතනට ආවෙ දෙවි කෙනෙක් වගෙ....මට හිතාගන්න බෑ ...සර් ඒ හැමදේම දන්නව...සුධීරට කතාකල හැටියට මට හිතාගන්නත් බැරි උනා..." සඳමිණි සුසුමක් හෙළමින් කීවාය...
.
" ඒක නම් ඇත්ත ..උඹයි මායි රණවීර සරුයි විතරක් දන්න දේවල් සර්ත් දන්නව....රණවීර සර් නම් ඕව කියන්නෑ බං ..හැබැයි ලොක්කා උඹ ගැන සෑහෙන්න අවධානයෙන් ..ඉන්නෙ...."
.
සඳමිණි බියංකාගේ දෑස් මගහැර ඉවත බලා ගත්තාය..ජීවිතය ට අයිති නැති ආගන්තුක හැඟීම් එබිකම් පාන්නේ මේ අසීරුම කාලය තවත් අසීරු කරන්නද....?
.
" බී...මට ජීවිතේ ගැන මාර බයක් එනව බී....සුධීර නම් ආයෙ පළාතක එන්නෑ එදා සර් ගෙ කීම ට බය වුන පාරට නම්.....ඒත්..මේ සර්ගෙ විදිය ...අනේ මන්ද බී..."
සඳමිණි හූල්ලන්නට පටන් ගත්තාය....
.
" මේ අහපන් සඳ...සර් එහෙම නරක මනුස්සයෙක් නෙවේ....උඹට වචනෙකින් වත් එහෙම බලපෑමක් කරල තියද ..? නෑනෙ....අපි කාලයට ඉඩ දෙමු....නිකම් කලබල වෙන්න ඕන නෑනෙ..."
.

සඳමිණි ඇනෙක්සියේ සුපුරුදු පුටුවට වී කල්පනාවේ ගිලුණාය.. ජීවිතය තමා ඇදගන්න ට තැත් දරන්නේ කිනම් ඉසව්වකටදැයි ඇයට සිතාගත නොහැක....නමුත් තමා කවුරුන් දැයි හොඳින්ම දන්නා උදාර මඩුගල්ලේ වැන්නෙක්...කිසිම විටෙක තමාගේ ජීවිතය සෙල්ලමකට ගන්නට නම් තැත් දරන්නේ නැති බව සඳමිණි ට සියයට දාහක් විශ්වාසය...එහෙත්....මේ සියල්ල දැනගත් පසුවත් ඔහුගේ මේ හැසිරීම තමා පිළිබඳ අනුකම්පාවද ...?
.
*************************-*********

ප්‍රේමය ජීවිතය ට ආගන්තුකය...තම ජීවිතය විෂයෙහි ප්‍රේමයට කවදාවත් ඉඩ හසරක් තිබුණේද නැත..පෙම්වතියක් වන්නට , ආදරය ස්නේහය විඳින්නට හිත ආසා කල යෞවන වියක් තමාටද තිබුණි....තාත්තා ගේ අණසක මධ්‍යයේ ඒ නැවුම් හැඟුම් සියල්ල ඉපදෙන්නටත් පෙර මියගිය් අන්දම සඳමිණිට මතකය....
.
පිරිමි ඇසක සෙනෙහස් බැල්මක් යනු ජීවිතය ට ආගන්තුකම හැඟීමක් වූදා විවාහයෙන් සිදුවූයේ තම සිරුර අනෙකෙකුට ලියාදීම පමණි...අංශු මාත්‍රයක ආදරයක් , ආදර වදනක් නොදන්නා සුධීරගේ ආත්මාර්ථකාමී ආක්‍රමණයන්ගෙන් ගතද සිතද පෙළා දැමුණා පමණි....අවසානයේ ඉතුරු වූයේ කැඩී බිඳී ගිය ආත්මයකි...එයට කවදා කෙසේ නම් පිරියම් කළ හැකිද....?
.
උදාර මඩුගල්ලේ ගේ දෑස් අතර අතරමං වූ ඇතැම් මොහොතක සිය දෙකන් පෙති පුරාගෙන එන හිරි වැටුම ආගන්තුකම හැඟීමකි...ඒ බැල්මට ජීවිතය ආසක්ත වන්නට නොදී සඳමිණි මහත් වෙර දරා ඉවතට හැරුණ මොහොතවල් අනන්තය.....සිහිවන විටද හිත අමුතුම හැඟීමකින් තිගැස්සී යනු ඇයට දැනේ...සඳමිණි ඈතින් සිය දෑසම වසා ගත්තාය....
.
එපා දෙවියනේ....ජීවිතය ට ආයේ කිසිම හෙවනැල්ලක්වත් එපා පිරිමියෙක්ගෙ ...

ඇය ඇස් පුරා පිරෙන වේදනාවෙන් යුතුව සිතුවාය....
.
*******************************
.
" සඳමිණි... ලබන විසි වෙනිදා ප්‍රෝග්‍රෑම් එකට යන්න සූදානම් ද... මේක හොඳම වැඩමුලුවක්...ලංකාව පුරාම ඉන්න තෝරාගත් කොටසක් සහභාගී වෙන්නෙ...මෙහෙන් යන කණ්ඩායම ට දහයට පොඩි මීටින් එකක් කෝල් කරන්න...."
.
උදාර මඩුගල්ලේ උදෑසන වැඩ අරඹා මොහොතකින් පැවසීය...
.
" හොඳයි සර්...."

සඳමිණි වහ වහා අදාළ අයට ඇමතුම ලබා දුන්නාය..සඳමිණි ඇයගේ කාර්‍ය භාරය ඉතා සුරුබුහුටිව කඩිසරව කරන අන්දම උදාර ඇයටද නොදැනෙන සේ බලා උන්නේය....
.
**********************************
.
" හොඳයි ...දැන් සියල්ලන්ම අදාළ වැඩ සටහන ගැන හොඳින් දැනුවත් ඇති කියල මම හිතනව...මේ පුහුණු වැඩ මුලුව තියෙන්නෙ බදුල්ල පස්සර පාරෙ කලමණාකරණ දෙපාර්තමේන්තුව ට අයත් මධ්‍යස්ථානයෙ...එතන ඔය අයට නේවාසික පහසුකම් සලස්වල තියනව....මෙහෙන් යන්න එන්න අදාළ ප්‍රවාහන පහසුකම් සලසල තියනව...අපිට විසි වෙනිදා උදේ අට වෙද්දි ඉන්න වෙන නිසා දහ නවය හවස අපි මෙහෙන් පිටත් වෙනව නම් හොඳයි ....දින තුනක වැඩ සටහනට පසුව අපි විසිතුන ආපහු එන්න බලාපොරොත්තු වෙනව...
මේ දිනවල එහේ තරමක් ශීත ගතියක් ඇති නිසා ඔයාලට අවශ්‍ය උණුසුම් ඇඳුම් රැගෙන එන ලෙස එහෙන් දැනුම් දී තියනව....
.
හොඳයි ...වෙන මොකුත් ගැටලු එහෙම තියද....?
"

උදාර මඩුගල්ලේ සිය කතාබහ අවසන් කරමින් විමසීය....
.
බියංකා ද යන හෙයින් හිතට සාංකාවක් නැත....දින ගණනාවක් මෙසේ ගමනක් ගිය කාලයක් ජීවිතේ නොවුණු හෙයින් සඳමිණි උන්නේ පුදුමාකාර ආසාවකිනි.....
.
අදාළ ඇඳුම් ටික ගන්නට සති අන්තයේ කොළඹ යා යුතුය....හවුස් ඔෆ් ෆැෂන් එකටවත් යනව....ඇය සිතාගත්තාය...
.
*********************************
.
" සඳමිණි ...වැඩකද ඉන්නෙ....?" උදාර මඩුගල්ලේ සිය වැඩ කටයුතු නිමවා මේසයට දෑතම තබා ගෙන ඇසීය .....
.
" නෑ සර්....ලොකු වැඩක නම් නෙවෙයි...."
.
" එහෙනම් පොඩ්ඩකට එන්න...."

සඳමිණි නැගිට ආවාය...උදාර ඇයට තම ඉදිරිපස අසුන පෙන්වා හිඳගන්නා ලෙස අභිනයෙන් පැවසීය....
.
" මම සඳමිණිට පොඩි යෝජනාවක් කරන්න හිතුවෙ.....ඒක ගැන හිතල බලන්න ..."
.
අකුණු සහහක් හිස තුළ පුපුරන්නාක් මෙන් සඳමිණි ට මහා බියක් කම්පනයක් දැනුණි ..ඇය වේගයෙන් හුස්ම ගත්තාය....පුටු ඇන්ද දෑතින්ම තදකොට අල්ලාගත්තාය ...හිස ඔසවා ඔහු දෙස බලන්නටවත් නොහැකි තරම් හිත බියපත් ය....
.
" සඳමිණි ....ඇයි මේ....ඔය දාඩියත් දාල....ඇයි දරුවො....." උදාර මඩුගල්ලේ බොහෝ නිවුණ ස්වරයෙන් ඇසීය....
.
" ඔයාට මොකුත් අපහසුවක් ද ...අසනීපයක් ද.....අපි පස්සෙ එහෙනම් කතාකරමු..." උදාරට ඇයගේ සිතේ ඇතිවූ චකිතය වටහා ගන්නට හැකි විය....ඇය ඉතා ඉක්මනින් බියට පත්වන්නීය....සසැලෙන්නීය...තමා ඇයට කියන්නට යන්නේ කුමක්දැයි වත් නොසිතා බියවන්නීය...
.
සඳමිණි බිම බලා ගෙනම උන්නාය...
.
" මම එක්කො කියන්නම්....සඳමිණි ඔයා හොඳට ඉගන ගත්තු ළමයෙක්....ෆස්ට්ක්ලාස් එකක් එක්ක ඩිග්‍රි එක කම්ප්ලීට් කල කෙනෙක්...ඉතින් මම ඔයාට යෝජනාවක් කරන්න ආවේ....මාස්ටර්ස් හරි එම්ෆිල් එකක් හරි කරන්න පටන් ගන්න දැන්වත් කියල...මොකද...ඔයා දැන් අවුරුදු ගණනක් නිකරුණේ නාස්ති කරල තියනව....දැන්වත් ඒ ගැන හිතන්න...මම ඔයාට උදව් කරන්නම් "
.
සඳමිණි දෑස් විසල් කොට උදාර මඩුගල්ලේ දෙස බලාඋන්නාය.... මේ උදාර පුද්ගලයා ගැන හිතේ ඇතිවූ වැරදි හැඟීම ගැන ඇය මහා පසුතැවිල්ලක උන්නාය ..............තමා සිතුවේ කුමක්ද....ඔහු සිතා ඇත්තේ වෙනම දෙයකි....
.
" මම හිතල බලන්නම් සර්...ජීවිතේ හුඟක් දේවල් අත හැරුණා මට...ආපස්සට ගන්න බැරිම දේවල් වැඩියි.....මට හිතල බලන්න ඕන ඒ ගැන...සර්ට පින්....." සඳමිණි අසුනෙන් නැගිට සිය අසුනට ගියාය...ඇයගේ සිතෙහි වෙහෙස උදාරට සිතාගත හැකි විය...
.
මේ විදියට ඔයා බය වෙන්න ගියාම මම කොහොමද මගේ හිත ඔයා ඉස්සරහ දිග හරින්නෙ......සඳමිණි....
.
උදාර මඩුගල්ලේ සුසුමක් හෙලා තමන්ටම පැවසුවේය.....

3 comments:

  1. ලස්සනයි.... එෆ් බී එකෙත් බලනවා.
    හැම කොටසටම කමෙන්ට් කරන්ඩ නම් බැරිඋනා ....

    ReplyDelete
  2. හම්මේ කොටස්ම ගෙඩි පිටින් පහළොවක් ගිහින් මම මෙලෝ දෙයක් දන්නෙත් නැහැ ඇහුවෙත් නැහැ... හය්යෝ!

    කියෙව්වා ඔක්කොම.. නියමයි.. දිගටම ලියන්න.. කියෝනව. කුතුහලය තියාගෙන ලියාගෙන ගිහින් ලස්සනයි

    ReplyDelete
  3. කාලෙකින්මේ බ්ලොග් අඩවි කියවන්ට ආවේ...
    මේ කොටස මුල පටන් කියවා ගෙන එද්දී දැනුනා
    දැනට මේක අන්තිම එක නේද???
    ආයේ එකක් කවදා දායිද???
    වගේ හැඟීමක්...
    දිගටම ලියන්ට...

    ReplyDelete