Sunday, December 26, 2021

01 . හසරැල් සැලුණාවේ




 වේලාව හතර පසුවී විනාඩි තිහක් ඔරලෝසුවේ දැක්වෙයි. ඉහ ගිනිගන්නා තරම්ම අව්ව සැරය. ඇඳ උන් කපු බ්ලවුසයෙන් නිරාවරණය වූ පිට දිගේ ගලා ආ දාඩිය බින්දුවක් ඉණ පෙදෙසටම ගොස් ඇඳුමට උරාගන්නවා දැනෙද්දී නිවේතාට පෞද්ගලික රෝහලේ විසල් ද්වාරයෙන් ඇතුලට පියවර ඔසවාගන්නට හැකිවිය.  අත්සේදීම , උෂ්ණත්වය පරික්ෂාකොට බැලීම ආදී අත්‍යාවශ්‍ය කාරණා ඉටුකරන්නට තවත් කෙටි වේලාවක් ගතවිය.ඒ අතරම අත්‍යාවශ්‍ය කාරණා කිහිපයක් සහිත ෆෝරමයක්ද පිරවිය යුතුය.ඉක්මනින් එය පුරවාදී රෝහල් සංකීර්ණයේ සායන අංශය වෙත ඇය ඇතුළුවූවාය.

අභ්‍යන්තරයම වායු සමීකරණය කොට ඇති නිසා සැණෙකින් දහඩිය නිවී ගියාක් මෙනි. මුහුණ වසා ඇති මුව ආවරණය ඔක්කෝටම එහා යන කරදරයකි. එහෙත් කරන්නට දෙයක් නැත.මේ රටටම බලපාන්නා වූ තත්වයක් මිස තමන්ට පමණක් අදාල වූවක් නොවෙන හෙයින් මේ සියල්ලම ඉවසාගන්නට සිදුව ඇත. අකුලාගත් කුඩය අත්බෑගයට දමා ගත් පසු නිවේතා අවට සිසාරා බැලුවේ තමා යායුතු අංශය කොයි අත වේදැයි සිතමිනි. මොහොතකට හෝ මඳක් ඉඳගෙන විඩානිවන්නට හිතට අවැසිය.

එහෙත් ඈතින් අතක් වනා කතාකරන රුවකින් පුටුවකට බරව මොහොතක් ගෙවන්නට සිතට ආ සිතුවිල්ල වැලකුණි. 

"පරක්කු වුණාද මං? "

අත්බෑගයෙන් ගත් ටිශූ පැකට්ටුවෙන් එකක් එලියට අදිමින්ම නිවේතා ඇසුවාය. 

"නෑ අම්මි තව වෙලා තියනව. මගේ නම්බර් එක තුනනෙ. තාම ඩොක්ටර් ආවෙත් නෑ"

රෝස පැහැයෙන් යුත් මාතෲ ගවුමක් ඇඳි සුරඟනක් බඳු දෝණි ඇයගේ සැමියා අත එල්ලීගෙනම පවසන්නීය. තාමත් එච්චරකට මොකුත්ම පේන්නෙත් නැහැ. පොඩි කෙල්ලනේ තාමත් නිවේතා සිතින් මිමිණුවාය.

"අම්මි ඉඳගන්නවද?"

හසිත ඇසුවේ උන් තැනින් නැගී සිටින්නට තනමිනි.

" එපා පුතා, ඕන නෑ. වෙලාව තියන නිසා මම පොඩ්ඩක් වොෂ් රූම් එකට ගිහින් එන්නද දෝණි?"

පැයකට නොඅඩු කාලයක් රිය තුළම උන් හෙයින් ශාරීරික අවශ්‍යතාවයන්ද ඉස්මතු වෙමින් තිබුණි. ඒ මදිවාට පිපාසය එන වාරයක් ගානේ වතුර බීම ද එනතුරාම සිදුවිය. කැබ්‍ රථයේ රියදුරු වායුසමීකරණය ක්‍රියාත්මක නොකළේ නිවේතාගේ කැමැත්ත සහිතවමය.

"ඔතනින් දකුණට යන්න අම්මි"

මානවී පැවසුවේ නිවේතාගේ බෑගයට අත දිගු කරමිනි. හිස වනා එයද ප්‍රතික්ෂේප කල නිවේතා ඉක්මනින් කොරිඩෝරය දෙසට ඇදුණේ අවශ්‍යතාවයද ඉටුකොට ගෙන මුහුණද මඳක් සෝදාගන්නට සිතමිනි. 

කොරිඩෝරයට යන පාර අසල කලබලකාරී තත්වයකි. මෙවන් කාලයක මිනිසුන මෙසේ එක ගොඩේම රැස්වී පොදි කෑම කෙතරම්ම භයානකද? එහෙත් මේ ව්‍යසනය මේ සා පැතිරීමට ප්‍රධානම හේතුව වන්නේත් මිනිසුන්ගේ නොසැලකිලිමත් බවම නොවේද?

"එහාට වෙන්න එහාට වෙන්න මේ ට්‍රොලිය අපිට ගන්න දෙන්න"

රෝහල් ආරක්ෂක නිලධරීන් දෙදෙනෙක් මඳක් සැරෙන් කතාකරමින් ට්‍රොලියක් ගෙනයන්නට ඉඩ පහසුකම් සලසාගන්නට වෙර දරති.  එහෙත් තම තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන්ට පැමිණ සිටින කිසිවෙක් තවකෙකුහට ඉඩ දෙන්නට සූදානමක් නොමැත. මිනිසුන් ආත්මාර්ථකාමී යැයි එවන් විටෙක චෝදනා නගන්නටද නොහැක. මන්ද සියල්ලන්ටම අවැසි වන්නේ තමන්ගේ ආ කාරිය ඉක්මනින් ඉටු කරගෙන ප්‍රවේශමද සලසාගෙන ඉක්මනින් යන්නටය.

නිවේතා මඳක් පසෙකට වූයේ ට්‍රොලිය ගන්නට ඉඩ දෙමිනි. ට්‍රොලිය මත සිටින තැනැත්තා වටකොටගත් ආරක්ෂක නිලධාරීන්ය. කුමක් හෝ අමුතු කලබලයක් මෙතන සිදුවන බවක් පෙනෙයි.

“අර උද්ඝෝෂණය වෙලාවෙ කවුද ගහපු ගල්පාරක් ඇමතිතුමාට වැදිලානෙ. ඔලුවමලු පැලිල තියෙන්නෙ. ලේ එකයි.”

එතනින් යන කවුදෝ කියනු ඇසෙයි." මොනව වුණත් පව්, රටට වැඩක් කරන මනුස්සයෙක්"

අනෙකා පවසන්නේ ට්‍රොලිය ගෙනයන දෙස බලමිනි.

" කවුද හැබෑටම ඒ?"

එතනින් යන්නට ආ අයෙක් කතාබහ කරන දෙදෙනාගෙන් නැවතී අසන්නට විය.

"නියෝජ්‍ය ඇමතිතුමානෙ, සරෝජ් හිරිපිටිය ඇමතිතුමා"

නිවේතා අසල වූ බිත්තියකට හේත්තුවූයේ හිස කැරකෙන්නක් බඳු හැඟීමක් ආ හෙයිනි.

සරෝජ් හිරිපිටිය...සරෝජ් හිරිපිටිය…නියෝජ්‍ය ඇමතිතුමා..එවදන් යළි යළිත් සවනත දෝංකාර දෙන්නාක් බඳුය. 

නිවේතා ට්‍රොලිය පසුපස ඉක්මන් අඩිතබා ඇවිද ගියේ යළිත් ඒ ඇසුණ වදන් ගැන අවිශ්වාසයෙනි. තමා මේ මෙහෙයවන්නේ අදිසි බලවේගයකින් විය යුතුය. නැතහොත් හැකි ඉක්මනින් ඉවත බලා හැරී සැඟව යා යුතු මොහොතක තමා කාන්දමක් සේ ඒ දෙසටම ඇදී යයි.

“මිස් ඔය පැත්තට යන්න බෑ”

ආරක්ෂක නිලධාරියෙක් ඇයගේ ගමන අවහිරකලේය. නිවේතා රවාගත් මුහුණෙන් ඔහුව පසෙකට කොට ට්‍රොලිය දෙසටම ඇදුණාය. වෛද්‍යවරයකු හිසේ ඇති තුවාලය පරීක්ෂා කරන්නට පැමිණ ඇත. කෙටි කොණ්ඩය හෙදියක් ලවා කතුරකින් එහාමෙහා කරමින් ඔහු පරීක්ෂාකරයි.

“වාසනාවකට මතුපිට තුවාලයක් විතරයි ඇමතිතුමා. හොඳ පාරක්නෙ කාල තියෙන්නෙ”

එසේ කියූ වෛද්‍යවරයා හෙදියකට අමතා ට්‍රොලිය හදිසි ප්‍රතිකාර අංශයට ඇතුල් කරගන්නා ලෙස පැවසීය. 

"මොනව කරන්නද ඩොක්ටර් , අපේ මිනිස්සුන්ට සේවයක් කරන්න ගියාම ආපස්සට ඔන්න ඔහොම ඒවා තමයි ලැබෙන්නෙ ඉතින්" 

සරෝජ් හිරිපිටිය සිනාවෙන්නට වෙර දරමින් පවසනු නිවෙතා බලාඋන්නාය. නිවේතා බලා උන්නේ තවමත් ලේ වැකුණ මුහුණෙන් යුතුව ආරක්ෂක නිලධාරීන් අමතන සරෝජ් හිරිපිටිය දෙසය. එක මොහොතක ආරක්ෂක නිලධාරීන් සමග කතාබහේ යෙදී සිටියදීම ඒ ඇස් ක්ෂණිකව යොමුවුණේ තමා දෙසටය. මුහුණු ආවරණයෙන් නොවැසුන තම දෑසට ඒ දෑස් හසුවන ක්ෂණයේම නිවේතා ආපසු හැරුණාය.

ආ කාර්‍යය ද අමතකව නිවේතා ආපසු දුවගෙන මෙන් ආවේ මානවී ඉන්නා දෙසටය. ඒ වනවිටද ප්‍රසව හා නාරි වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂාවට පැමිණ තිබුණි.

" අම්මි , ආ යූ ඕකේ?"

අම්මාගේ මුහුණේ ඇති දැඩි කලබල වෙනස් ගතිය මානවී එක් ක්ෂණයකින් වටහා ගත්තාය. අම්මා මුහුණ දොවාගන්නට ගියද එසේ කළ ආකාරයක් නොපෙනේ. මානවී විමසිල්ලෙන් අම්මාගේ කලබල මුහුණ දෙස බැලුවාය.

" ඔ.ඔව්..දෝණි, අතන පොඩි කලබලයක් ..ම...මම ..මම ආව ඉක්මනින්"

නිවේතා මානවී වෙතින් මුහුණ සඟවාගෙනම පැවසුවාය. වැඩිදුර කතාබහට ඉඩක් නොලැබුණේ මානවීගේ අංකය ඇතුළට කතාකල හෙයිනි.

“sorry ,මේ දවස්වල තත්වය එක්ක ඇතුලට යන්න පුලුවන් මේ අම්මටයි තාත්තටයි විතරයි මිස්. ඒ නිසා කරුණාකරලා මිස් එළියෙන් ඉන්න”

ඇතුලට යන්නට ආ නිවේතා ආපසු අසුන වෙතට ඇදුණේ හසිත ඇයව ඇතුලට යවන්නට උත්සාහ කරද්දීමය.

“පිස්සුද පුතා, ෆස්ට් ටයිම් ඉන්න ඕන බබාගේ අම්මයි තාත්තයි. දෝණිට කම්ප්ලිකේශන්ස් මොකුත් නැති එකේ ඔය දෙන්නා ගිහින් අහගෙන එන්න ඩොක්ටර් කියන දේවල්"

නිවේතා මානවී හසිත සමගින් ඇතුලට යවමින් පැවසුවාය.

ආපසු අසුන වෙත පැමිණියද මනස යකාගේ කම්මල මෙනි.වසර ගණනාවකට පසුව වුවද සරෝජ් හිරිපිටියගේ දෑස් එදා මෙන්ම සජීවීව බබලයි. ඔහු කවදත් සිනාසෙන්නේ ඇස් වලිනි. මුවගට සිනහවක් එන්නේ අඩුම වශයෙනි. එහෙත් දෑස් සිනාමුසුව බැබලේ.

මාස්ක් එක නිසා මාව අඳුනගන්න නැතුව ඇති. නිවේතා සුසුමක් හෙලා ළය සැහැල්ලු කොට ගත්තාය. දුරින් දුරට අසුන් පනවා ඇති හෙයින් නිවේතා මොහොතක් අසුනේ ඇන්දට හිස තබා ගෙන උන්නාය.විසිර යන සිතුවිළි දියණියට හෝ නොපෙනෙන්නට එක්තැන් කොට ගතයුතුව ඇත.

වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව මානවී හසිත සමගින් පිටතට සිනාමුසුවය. නිවේතා ඔවුන් සමගම නැගී උන්නේ " මොකද ඩොක්ටර් කිව්වේ" අසමිනි. හසිත සිටින්නේ සිනහව ගිලගෙනය. මානවී නෝක්කාඩු බැල්මකින් ඔහු දෙස රවා බලමින් උන්නාය. දෙන්නගේ රණ්ඩුවක් මෙතනත්.. නිවේතා යටි සිතින් සිනාවෙමින් සිතුවාය.

මානවී වයසට වඩා බෙහෙවින් සුරතල් වන්නීය. ආදරයම සොයන්නීය. හසිත ඇයව මනා ලෙස තේරුම් ගත අයෙක් විම හිතට සැහැල්ලුවකි.

“කා එකට යං කෝ අම්මි කියන්න. මේ මිනිස්සු ඉස්සරහ මට මෙයාගෙන් ගුටි කන්න බෑ "

හසිත සිනාවෙමින් පවසයි.

"මොකක්ද අනේ. මං තරහයි අප්පා."

මානවී නෝක්කාඩුවෙන් මෙන් හසිතගේ අත ගසා දමා නිවේතාගේ අතේ එල්ලුනාය.

" හරි , හරි කියන්නෑ. කෝ එන්න අම්මිට අමාරුයි ඔයාව එල්ලන් යන්න "

හසිත මානවීට කතාකරන්නේ පවා පුදුම ආදරයකිනි. නිවේතාගේ දෑස් තෙත්ව ගියේ මේ හිත්වල ඉපදී නැළවෙන ආදරය දුටුවිටය.

" බලන්නකෝ අම්මි, ඩොක්ටර් ඇහුවා මෙයා ඕලෙවල් පන්තියේ ළමයෙක් එහෙම නෙවෙයි නේද කියල මාව පෙන්නලා. හසී ත් බක බක ගාලා හිනාවුනා "

නිවේතාගේ මුවගට සිනහවක් පැමිණියේ මානවීගේ එවදන වලටය. ඇත්තෙන්ම ඇය තවමත් සුරතල් පෙනුමකින් යුතුවන්නීය. වයස විසිතුනක්යයි කිසිම විටෙක කෙනෙක් පිළිගන්නේද නැති තරම්ය.

" ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද දෝණි . දකින දකින හැමෝම අහන දේනේ" 

නිවේතා සිය දියණියගේ හිස සිප ගනිමින් පැවසුවාය. ඉතා කුඩාකල සිටම ඈ වෙතින් හමනා මුදු සුවඳ අදත් නිවේතාට එකලෙසම දැනේ.

" අම්මි අද අපේ ගෙදර යං"

මානවී මෙන්ම හසිතද දැඩි සේ බලකලද නිවේතා එය ප්‍රතික්ෂේප කලේ සිය නිවසට යාමට අවශ්‍ය බව පවසමිනි.

" එහෙනම් අපි ඩිනර් අරන් යමුද බබා "

හසිත ඇසුවේ මානවී දෙසට නැඹුරු වෙමිනි. සිය දියණිය තරමටම තමා ගැන වදවෙන්නා වූ හසිත ගැන නිවේතාට කවදත් තිබුනේ අප්‍රමාණ දරු සෙනෙහසකි.

" පුතා කෑම අරන් යමු. දෝනිට දැන් වෙහෙස පාටයි. මාව ගෙදරට ඩ්‍රොප් කරගෙන ඔයාල ගෙදර යන්න. මම වීක් එන්ඩ් එක දිහාට ඒ පැත්තේ එන්නම් ඉඳල යන්න"

නිවේතා අත්ඔරලෝසුව දෙස බලමින්ම පැවසුවාය. ඇත්තෙන්ම හිතට මේ මොහොතේ අවශ්‍ය වන්නේ හුදෙකලා වීමකි. හිතේ අභ්‍යන්තරය දැඩි කැළඹිල්ලකට හසුව ගොසිනි. රාත්‍රී ආහාරය සඳහා සැහැල්ලු යමක් ගන්නට හුරුව උන් නිවේතා ඉඳහිටක දියණියගේ ආශාව මත ඔවුන් කැමති ආකාරයටද අහර ගැනීම පිළිකෙව් කලේ නැත.

" අම්මි මේ රෙස්ටෝරන්ට් එකේ බිරියානි එක මාර රසයි. කෑවොත් අම්මි ඉල්ලනවා ආයෙම දවසක්. නේද හසී" 

දෝනි ඇසුවේ හසිත සුපුරුදු අවන්හලක රිය නවත්වාලූ මොහොතේය.

" මෙයා නම් අම්මි, මේකේ මුදලාලිගේ ඉහත ආත්මෙක ණයක් අරන් තියද කොහෙද? මුදලාලි අර එහා පැත්තේ හදන බිල්ඩින් එකේ එක තට්ටුවකට කන්ට්‍රිබියුට් කරලා ඇත්තේ අපේ බබී" 

හසිත සිනහවෙමින් පැවසුවේය.

සිනහවෙන් කතාවෙන් කාලය ගෙවී ගියද නිවේතාගේ සිතෙහි වුයේ තදබල වික්ෂිප්ත භාවයකි. අවුරුදු බොහෝ ගණනක් ගතවන්නට ඇත. එහෙත් ඒ මතක සියල්ල අමතක කල නොහැකි තරම්ය. මානවී සහ හසිත, නිවේතා නිවසට ඇරලවා ආපසු ගියේ බොහෝ රෑ වීය. 

මානවීට වෙහෙසෙන්නට සුදුසුම නැත. ගර්භනී භාවයේ මුල්ම අවධිය හෙයින් සංකුලතා එකින් එක මතුවෙමින් පවතී . එහෙත් හසිත යනු මානවීටම ගැලපෙන ඇයව ඉතා හොඳින් වටහාගත් ස්වාමිපුරුෂයෙකු වූවා මෙන්ම හසිතගේ දෙමවුපියන්ද මානවීට ඉතාම ආදරයෙන් සලකන අය වූ හෙයින් නිවේතා මානවීව සිය නිවෙස වෙත කැඳවා නොගත්තාය. මානවී කුඩාකල සිටම හැදුණේ ඉතාමත් ස්වාධීන අන්දමටය .ඇය ලද දෙයින් සතුටු වන්නට කවදත් හුරුව උන්නාය. නිවේතාට සිය ස්වාධීනත්වය විඳින්නට ඉඩදී ඇයද අවශ්‍ය මොහොතක විනා අන් සැමවිටම අම්මා වෙත දුව නොයන්නට හුරුව උන්නාය.

ඉතින් ජීවිතයට මීට වඩා සතුටක් වෙන කොයින්ද? අවසානයේ ඉතින් තමා අත්තම්මෙක් බවටද පත්වන්නට කාලය එළඹ ඇත.

********************************************************************** 

අලුත් කතාවක් එක්ක ඔන්න ආයෙම මම ආවා. සමහර අය  මුහුණු පොතේ මේ වනවිට මේක කියවනවා ඇති. ඉතින් බ්ලොග් එකටත් ඔන්න එකතු කරගෙන යනවා ඉඩ ඇති අන්දමට 

මම 

කිත්මා වාසනා දහනායක 

විසිරි සිහින 


9 comments:

  1. අපිත් කියවන්නම් කෝ ඉඩ ඇති අන්දමට..

    ReplyDelete
  2. ලස්සන කතාවක් වගේ. දිගටම දාන්න.

    ReplyDelete
  3. හරි...
    ඔන්න පටන් ගත්තා...

    මරු මරු...
    විසිරි සිහින කියන නමට ගැලපෙන කතාවක්ද මන්දා...

    ReplyDelete