Friday, January 14, 2022

03. හසරැල් සැලුනාවේ ( තුන් වෙනි කොටස )

 





“එක්ස්කියුස්මී සර්,ඩොක්ටර් එනවා දැන්”

සංජය දොරට තට්ටු කර ඇතුලට ආවේ එසේ කියමිනි. හෝරාවකට ආසන්න කාලයක් ගතවී යන්නට ඇති බව අත් ඔරලෝසුව දෙස බැලූ මානවී දුටුවාය.

“එහෙනම් අපිත් යමුද?”

මානවී ඇසුවේ හසිතගෙනි.

“ඔව් මේ වගේ කාලෙක අපි මෙහෙම එන එකත් හොඳ නැහැ විශේෂයෙන්ම අංකල්ට.  ඒත් මෙච්චර දෙයක් වෙලත් නෑවිල්ලා කොහොමද? මෙයත් අඬන්න ගත්තා අහපු වෙලාවේ ඉඳන්. එහෙනම් අංකල් අපි යන්නම්” 

හසිත අසුනෙන් නැගී සිටිමින් පැවසුවේය. සරෝජ් හිරිපිටිය මේ සොඳුරු යුවල දෙස බලා උන්නේ හදවතේ පිරුණු ආදරයෙනි.තමාහට ජිවිතයේ අහිමිවූ සොඳුරු අත්දැකීමක් විඳින ඔවුන් තුලින් ඔහු දුටුවේ ලෝකයේ ඇති ඇති සුන්දර බැඳීමකි.

“හොඳයි දෙන්නම පරිස්සමින් යන්න. මොනවා හරි අවශ්‍ය වුණ ඕනම වෙලාවක මට කතා කරන්න චූටි දුව”

සයනය අසල දෑත් එක්කර මඳක් පහත් වූ මානවී වළකාලමින් සරෝජ් හිරිපිටිය පැවසුවේ ඇයගේ හිස අත ගාමිනි. ඔවුන් තමන්ගේ කාර්යබහුල ජීවිතය හේතුවෙන් තමා අමතන්නේ අත්‍යවශ්‍යම කාරණාවකට පමණක් බව ඔහු හොඳින්ම දැන උන්නේය. එහෙත් ඔවුන්ට අවැසි ඕනෑම මොහොතක තමා ඔවුන් වෙනුවෙන් සිටිනා බව ඔවුන් දෙදෙනාම  දනී. එය එසේ වෙතත් නොදන්නේ , නැත.. නොදන්නා සේ හිඳින්නේ නිවේතා පමණි.

තමාගේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් අය අතරින් මානවී ඉහළින්ම සිටින්නීය. ඇය වෙනුවෙන් තමාට කළ හැකි ඕනෑම දෙයක් කරන්නට තමා පෙර දවස සිටම පසුබට නොවූ බව සරෝජ් සිහිපත් කළේය. එහෙත් නිවේතා තමාහට ඒ සඳහා ඉඩ නොදුන් බවද ඔහු සිහි කළේ මුවගට නැඟෙන මඳ සිනහව ද සමඟිනි.

“හිතුවක්කාරී , උඹ තරම් නපුරු හිතුවක්කාර ගෑනියෙක් මම ජීවිතේටම දැකල නැහැ”

                           ❤️

ගත වූ දිනයේ බොහෝ රාත්‍රී වූ පසු නින්දට ගිය නිවේතා උදෑසන පිබිදුණේ මඳක් පමා වීය. තවමත් හිතට සහ හිසට ඇති බර ගතිය සහ ගතට ඇති අප්‍රාණික බව එසේමය. සයනයෙන් නොනැගිටම දෑස් වසා ගෙනම මොහොතක් උන් නිවේතා ඇඳ අසල කුඩා මේසය මත වූ ජංගම දුරකතනය අතට ගත්තාය. වේලාව පෙරවරු දහයද පසු වී ගොසිනි.

දුරකථනයෙන් මඟහැරුණු ඇමතුම් දෙකකි. දෙකම මානවීගෙන්ය .නිවේතා වත රැඳී මඳ  සිනහවක් ද සමඟ ඇමතුමක් ගත්තේ ඇඳේ  මදක් කෙලින් වී කොට්ටයක් පිට තබා ගනිමිනි.

“අම්මි ගුඩ් මෝනිං මං දෙපාරක්ම ගත්තා”

මානවීගේ ජීවී ගුණය සපිරි කටහඬ දවසටම දිව ඔසුවක් බඳුය. කුඩාකළ සිටම මානවී කිසිම විටක කණගාටුවක් දුකක් ඇතිව අනෙකෙක් හා කතානොකළාය.ඇයට ඇත්තේ ඉන්ද්‍රජාලික ස්වරයක් බව ඇයගේ පාසල් මිතුරියන්ද විටෙක පැවසූ හැටි නිවේතාට මතකය.

“පොඩ්ඩක් නින්ද ගියා දෝණි. ඊයේ රෑ වුණත් නේ නිදාගන්නකොට”

නිවේතා පැවසුවේ ආදරය උතුරා යන හඬිනි. තමාගේ ජීවිතයේ මහරු බලාපොරොත්තුව වූයේ ඇයම මිස අන් කවරෙක්ද? සියලුම ජීවිත ආශාවන් බිඳී ගිලිහී යන යුගයක තමා රඳවා තැබූ බලාපොරොත්තුව ඇයම විය. අම්මා සහ දියණිය අතර වූ ඒ දැඩි බන්ධනය හටගත්තේ අන්න ඒ අන්දමිනි.

"ඔයාගෙ කටහඬත් අමුතු වෙලා.සනීප නැද්ද අම්මි?"

මානවී එක්වරම ඇසුවේ කළබල කාරී ස්වරයකිනි.කටහඬක මෙන්ම ඇස් බැල්මක දැවටුණ කුඩා වෙනසක් පවා ඇය අල්ලාගන්නේ නිමේෂයකිනි.

"පොඩ්ඩක් ඔලුව බරයි දෝණි. ටිකක් වෙලා යද්දි හරියයි"

“අම්මී”

මානවී හඬ මදක් අදිමින් ඇමැතීම පමණක්ම කොට නිහඬ වූවාය.

“දෝණි, ඇයි පුතේ මොකක් හරි ප්‍රශ්නයක්ද?”

නිවේතාද මානවීගේ ස්වරයේ සුළු වෙනස පවා වටහා ගනී. ඇය ඉමහත්ව කලබලද වන්නේය.

“නෑ නෑ අම්මි මායි හසීයි හොස්පිට්ල් ගියා මේ එන ගමන්”

නිවේතා මදක් නිහඬ වූයේ මානවීගේ වදන් වන අරුත වටහා ගෙනය. තමාගේ නිහඬතාවය අනුව ඇය තමා කියන්නට ගිය දේ වටහා ගන්නට ඇතැයි මානවීට වැටහුනි 

“කොහොමද දැන්?”

නිවේතා නිහඬ තත්පර ගණනාවකට පසුව හඬ අවදි කළාය. ඒ වචන දෙක ඇයගේ මුවින් පිටවන්නට ගතවන ඇත්තේ කල්ප කාලාන්තරයකට හැඟුම් සටනක්ය. මානවී අම්මාගේ පිටතින් පෙන්වන දැඩි ගතිය යට සැඟව ගත් මුදු ගුණ මැනවින් වටහාගෙන උන්නාය. යටපත් කරන්නට දිය එබූ රබර් බෝලයක් පරිද්දෙන් මතුව එන අම්මාගේ හැඟුම් මානවී අවබෝධ කරගත්තේ මේ අද ඊයේ පටන් නම් නොවේ. 

"කොහොමජ ජැන් කියල අහන ලස්සන. අනේ අනේ අම්මි ඊයෙ ඔයා ඔච්චර ඕක දැකළත් මට හැංගුවානෙ. හරිම නරකයි අනේ ඔයා"

මානවී කට ඇදකරමින් කියන අයුරු සිතේ මැවී සිනාසුණද ඇත්තෙන්ම ඒ සිනහව ආවේ හදවතින්ම නම් නොවේ.හිතේ ඇත්තේ මහම බරකි.දුකක් දෝ වේදනාවක් දෝ කියාගන්නට නොහැකි තරමේ හැඟීමකි.

“එච්චර අමාරුවක් නෑ ඔය ඇඳට වෙලා හිනා වෙවී ඉන්නේ. ඔළුවේ එක්ස්රේ එක අවුලක් නෑ කිව්වා. මැහුම් දාලා පිටින් තියෙන තුවාලෙට” 

මානවී ප්‍රවෘත්ති වාර්තාකරණයක අන්දමින් කියවාගෙන ගියාය. නිවේතා සුසුමක් හෙලුවේ කිසිවක්ම නොකියාය. සිතට රිදුමක් දැනුන බව සැබැවි. එහෙත් ඒ ඔස්සේ තමා දුර්වල වීම සිදුනොවිය යුතුය.

“අම්මි ගිහින් බලලා එන්න නේද අම්මි? එයා ඔයා ඒවි  කියලා බලන් ඉන්නවා වගේ”

මානවී පැකිළී පැකිළී ඇසූවේ නිවේතා කෝප ගනී යැයි බියෙන් මෙනි. නිවේතා නොරිස්සුම් බව යටපත් කොට ගත්තේ මානවී ඉන්න තත්ත්වය ගැන යළිත් සිතමිනි. ඇය සියුමැලි හිතක් ඇත්තෙකි. අනෙක දරුවකු දරා ඉද්දී ඉතින් නොරිස්සුමක් හෝ ඇය මත්තේම පිට කළ යුතු නැත.

මානවී කවදත් සරෝජ් හිරිපිටියට දැඩි සේ ඇළුම් කළාය.

“ඇයි ඉතින් මං මොකටද ඔතැනට යන්නේ දොස්තරලා නර්සස්ලා එයාව බලාගන්න ඉන්නවනෙ. මම නිකං නිවුස් එකක් වෙන්න ඕන නෑනේ. අනික ඉතින් අමාරු නෑ කිව්වනේ”

නිවේතා නොසැලකිලිමත් හඬින් පැවසුවාය. 

“කවදා ඉවරවෙන හිතුවක්කාරකම්ද මන්දා අප්පා මෙව්වා නම් ඩබලම එකයි එකාට එකෙක් පරදින්නේ නැහැ”

මානවී යටි සිතින් සිනාසෙමින්

“ඔයාගේ කැමැත්තක්" යැයි පවසා ජංගම දුරකථනය තැබුවේද සමුනොගමිනි. නිවේතා ආපසු මානවීහට එසැණින්ම ඇමතුමක් ගත්තාය.

“හසිත යනවද ආපහු හවස හොස්පිට්ල් . මම සුප් එකක් හදල දෙන්නද?”

නිවේතා ඇසුවේ සිය හඬ සාමාන්‍යකරණයට ගන්නට වෙර දරමිනි.

“නෑ ඕන නෑ ඉතින් අම්මි. එයා ඉන්නේ වී.අයි.පී කාමරේකනේ. එතනින් හොඳට කෑම බීම ලැබෙනවා” 

මානවී යටි සිතින් හිනැහෙමින් පිළිතුරු දුන්නාය.

“මේවට උත්තර දෙන්න ඕනේ මේ විදියටම තමයි” 

මානවී සිතුවේ ඉන් ඔබ්බට වදනක් හෝ නොපවසා ජංගම නිහඬ කරවමිනි.

නිවේතා ඇමතුම විසන්ධි වූ පසුව මොහොතක් දෑස් පියා ඔහේ නිහඬව බලා උන්නාය.  සිත මෙන්ම ගත ද වෙහෙසකාරී බවක් රැගෙන ඇත. ගිලන් වූවකු සේ අප්‍රාණිකව දෙපා අද්දවමින් නිවේතා කාමරයට යාබද කුඩා නාන කාමරයට වැදුනේ ගත දොවා ගනු රිසියෙනි. ගත දොවා ගත් පසුව අල්මාරියේ දොර විවෘත කොටගෙන මොහොතක් බලා උන් නිවේතා කලු පැහැයට සුදු මල් වැටුනු ගවුම අතට ගෙන ගත ලා ගත්තාය.

මේ කුඩා නිවස මානවීගෙ වදනින්ම කිවහොත් " මයි හෙවන්" නිවේතාගේම අදහසකට අනුව ඇය ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලවා සැකසූවකි. කවදා හෝ මානවී විවාපත් වූ දිනයක තමාහට නිදහසේ සිටීමට ප්‍රමාණවත් අන්දමට හුරුබුහුටි ගෘහයක් ගොඩනගා ගන්නට නිවේතා සැලසුම් කළේ විදෙස්ගතව ජීවත් වූ කාලයේදීය.

එය තමා විසූ ප්‍රාන්තයේ වූ බොහෝ කුඩා නිවෙස් වල ආකෘතීන් වල අංග එක් කොට තමාට ඇවැසි අන්දමින්ම නිමවාගත්තක් විය. පර්චස් පහළොවක ඉඩමේ නාන කාමර දෙකක් සහිත කාමර දෙකක් ද කුඩා මුළුතැන්ගෙයක්,ඉදිරිපස සහ පසු පිටුපස කුඩා වැරැන්ඩා දෙකකින් සමන්විතව ගිය නිවසේ මිදුල ඕනෑවටත් වඩා ඉඩකඩ ඇතිව සකසනු ලැබීය.  හදිසියේ හෝ මානවී හසිත සමඟ පැමිණි විට නවතින්නට අවශ්‍ය නිසා කාමර දෙකකින් යුතුව සැලසුම පසුව වෙනස් කළද නිවේතාට අවශ්‍ය වූයේ  තමාට පමණක් හුදකලා විය හැකි කුඩා නිවසකි.

ගේට්ටුවේ සිට නිවස දක්වා ඇති ඉඩ පරාසය ක්‍රමානුකූලව උද්‍යාන සැලසුමකට ලක් කර ගත්තේ නිවේතා විසිනි. විදෙස්ගතව ඉන්නා කාලයේ ඉන්නා කාලයේ රැකියාව කරන අතරතුරම හැදෑරු ගෘහ නිර්මාණ ශිල්පය සහ උද්‍යාන අලංකරණ පාඨමාලා  තමන්හට තමාගේම නිදහස් තෝතැන්නක් නිර්මාණය කරගන්නට බෙහෙවින් දායක විය.

සුදු පැහැය ගත් නිවස වටා වූ තාප්පය නිර්මිත වූයේ දුඹුරු කළු පැහැයෙනි. කළු පැහැ අකුලා ඉහලට යවන ස්වයංක්‍රීය ගේට්ටුවකින් සමන්විත ගේට්ටුව නිවේතා යෙදුවේ පරිහරණයේ පහසුව උදෙසාය. ගේට්ටුවත් නිවසත් අතර ඇති  උද්‍යානයේ වර්ණ සංකලන අපූර්වත්වය එහි එන සියල්ලන්ගේම නෙත් ඇද බැඳ තබන්නට විය.

නිවේතා ඉදිරිපස දොර විවෘතව තිබියදීම මිදුලට බැස ඇවිද ආවාය. උදුපියලිය වැව් තීරයේ නිරාවරණ දෙපතුළ ගැටෙන විට දැනෙන්නාවූ සුවය කියා නිමකළ නොහැක.  මානවී කුඩා කාලයේ දී ඇය සිටි ඇනෙක්සියේ වූ උඳු පියළි ගොල්ලේ පෙරලි පෙරලි දිව යන අන්දම සිහිවී නිවේතාට සිනාවක් නිතැතින්ම උදාවිය.

ගෙමිදුල කෙළවරක තැනූ කුඩා පොකුණ නිවේතා බොහෝවිට නිදහස්ව සිටින්නට කැමතිවූ තැනයි. පොකුණ වටා කොළ සහ සුදු පැහැයෙන් යුත් ජලයට ප්‍රියවන ශාක ගොන්නක් වවා ඇත. අවැසි තැන අදාළ හිරු එළිය පමණට වැටෙන්නටද සෙසු තැන් මනා සෙවනක් ලබාදෙන සේද ඇයගේ මුලු ගෙමිදුලම නිර්මාණයේදී නිවේතා සැලකිලිමත් වූවාය. 

නිවේතා කුඩා පොකුණ අසල බංකුවේ හිඳගෙන දෙපා දියපහරට යොමු කළාය. පොකුණ වටා ගලායන ජලය ආපසු සිලි සිලි හඬ නංවමින්ම පොකුණ තුළට වැටී ගලායයි. මුළු පොකුණ වටකොට ඇති බංකුවේ හිඳ ගත් විට දෙපා ගලායන දියට දමා සිටිය හැක. දෑස් පියාගෙන මොහොතක් සිටින විට ඇසෙන දියපහරේ  සිලි සිලි නද යලි සිතට ගෙන එන්නේ අපූරු මානසික සුවයකි.

එතන සිටිනා රතු සහ කහ මසුන් නිවේතා බංකුවට පැමිණි වහාම පොකුණු ගැට්ට ආසන්නයට පැමිණෙති. බංකුවේ කෙළවරක තබා ඇති මත්ස්‍ය ආහාර බිඳක් ගෙන ඔවුන් වෙතට විසිර වූ නිවේතා උන් නොඉවසිල්ලෙන් ආහාර ගන්නා අන්දම බලා උන්නාය. මනස සමාධිගත කරන්නට අවැසි බොහෝ දේ මේ උයන් බිම පුරා ඇතද අද නම් ඒ පැතූ මානසික නිදහස ඇය වෙත ලඟා වන්නේ නැත. 

හාත්පස සිසාරා බලන මොහොතක් පාසා නිවේතා දකින්නේ සිය නිවහනෙහි පවත්නා සුන්දරත්වයම මිස අන් යමක් නොවේ. මේ දසුන් ද කාලාන්තරයක් තිස්සේ ඒකාකාරීය. ඉඳහිටක සහායකයන් කිහිප දෙනෙකු උද්‍යාන සැලසුම් ආයතනයෙන් ගෙන්වාගන්නා නිවේතා යම් යම් වෙනස්කම් එහි කළද,විටෙක ඇය මන්දෝත්සාහිව මල් පෝච්චි ප්‍රතිමා ආදිය ඔහේ තිබෙන්නට හැරියාය. කෙසේ වුව ජීවත් වන්නට අවැසි පරිසරය මෙතැන අපූරුවට නිමැවී තිබේ.

ආදරය රහිත ජීවිතය බොහෝ වෙහෙස කර බව ඇයට දැනේ. ඒ වෙනසට හේතුව මානවී දුර ඇමතුමින් කියු කාරණාය. අනෙක් අතට බොහෝ කාලයකට පසුව සරෝජ් හිරිපිටියගේ දෑසට හසුවීම ද සිත පෙරදා පටන් සසල කළ කාරණයකි. පලා යා යුතු වුවත් දෙපා අවසඟව තමා ඔහු දෙස බලා උන් කාලය මදක් වැඩි බව නිවේතාට වැටහුනේ සරෝජ්ගේ තියුණු දෑසට හසු වීමත් සමගය.

කිසි තරහක්, ක්‍රෝධයක්,  ද්වේශයක් නොමැති ඒ දෑස් දුටු විට, අවුරුදු විසි ගණනකට පෙර මෙන්ම අදත් තමා තිගැස්සුණ අන්දම නිවේතා දෑස් වසාගෙනම සිහිපත් කළාය.

                      ❤️

නිවස තුළ ස්ථාවර දුරකථනය හඬ නගනු ඇසී නිවේතා වහවහා නිවස තුලට පැමිණියේ ඇයගේ ජංගම දුරකථනයද මිදුලට එන විට රැගෙන ඒමට නොහැකි වූ බැවිනි. ඒ මානවීදෝ යන සැකය ඇයගේ සිතෙහි ඇතිවිය.නිවේතා දුරකතනය සම්බන්ධව විමසුමෙන් සිටින්නේ මානවී සිටිනා තත්වය මතය. 

නිවේතා කඩිනමින් දුවමින් මෙන් ගෙතුළට ආවාය.කුඩා පොත් රාක්කයට පැත්තකින් ඇති රඳවනය මත තවමත් නාද වෙමින් පවතින දුරකතනය වෙත අත දිගු කරමින්ම ඉදිරියට ආ නිවේතා බිම ඉහිරී ගොස් තිබූ වතුර පදාසය නොදුටුවේ ඇමතුමට අවධානය දෙමින් හදිසියේම ආ ගමන නිසාවෙනි.

නිවස තුළ වූ තැබූ මල් බඳුනක් වියළී යාම හේතුවෙන් එක්කළ ජලය බඳුනේ යට සිදුරු හරහා පිටතට ගලා විත් ඇත. නිවේතා රිසීවරය අතට ගන්නවාත් සමගම පය ලිස්සා ආපස්සට වැටෙන්නට වූවාය. අත රැඳි රිසීවරය සමගින් බිම පතිත වන නිවේතාගේ කෑගැසුම් හඬ නිවසේ සීමාවෙන් පිටතට නම් ගියේ නැත. දුඹුරු සිමෙන්තියේ හැඩකල පොළොවේ "දබහ්" හඬින් බිම පතිතව තදින් බිම හිස වැදුණු නිවේතා එකෙනෙහිම සිහිසුන්ව ගියාය. අත වූ රිසිවරය තදින් ග්‍රහණයව තිබියදීම බිම වැටුණු ඇයගේ හිසට යටින් සිහින් ලේ දහරාවක් ඔපදැමූ දුඹුරු සිමෙන්ති පොළොව හරහා ගලා යන්නට විය.


*********************************************************************************************************** 


හමුවෙමු යළිත් 

කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)

No comments:

Post a Comment