Tuesday, February 22, 2022

06. හයවෙනි කොටස ( හසරැල් සැලුනාවේ )

 



"මොකට ඒ ලෙවල් කරනවද කාව හරි හොයලා බන්දලා දෙනවා මිසක"


කුඩම්මා මා උසස් පෙළට සූදානම් වන බව දැනගත් මොහොතේ පටන් කියවන්නට පටන් ගත්තද පාලිකා අක්කා විවාපත්ව යනතුරු ඇය මා හට නිදහසක් නොදෙන බවට පමණක් මම සක්සුදක් සේ දැන උන්නෙමි. වැටුප් නොගෙවන පූර්ණකාලීන මෙහෙකාරියක සේ නිල නොවන පත්වීමක් එවකට මට හිමි වී තිබුණි.


කෙසේ වුව සාම්ප්‍රදායික කතාවක සිටිනා කොණ්ඩය දණහිසට දිගු , කඩා හැලෙන සුන්දරත්වයත් සහිත දුප්පත් යුවතියක් නොවූ මට ජීවිතයේ කිනම් හෝ අංගයකින් අවශ්‍ය වූයේ පහසුව සහ සැහැල්ලුව හෙයින් මගේ කොණ්ඩය හැමදාම ගෙල අසලින් නිමාව දුටුවේය. පාලිකා අක්කා එසේ තිබියදීත් මා දෙස බැලුවේ ද්වේශ සහගතවය.ඇය රූපලාවන්‍ය සම්බන්ධයෙන් නොකළ දෙයක් නැති තරම්ය.තාත්තාගේ මුදල් කුඩම්මා නොමසුරුව ඒ සඳහා වියදම් කළ ද මාහට අත්‍යවශ්‍ය වූ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් ගැනීමට ඇය වෙතින් මුදල් නොලැබුණු බව සිහියට නැගෙද්දීත් මට කිසිදු වේදනාවක් නොදැනේ.


"ඔය පරණ රෙදි කෑලි ටිකක් පාවිච්චි කළාම ගෙවෙනවාද ගෙදර මේ ඉන්න එකේ"


කුඩම්මා නුරුස්සනා හඬින් ඒ ඉල්ලීම නොසලකා හැරියාය. නමුත් දැරියකට අවශ්‍ය පෞද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි අවධානය මැනවින් තිබුණේ නිලීකාගේ අම්මාටය. ඇය මසකට වරක් ඒවා ද සහිතව මාහට අත්‍යවශ්‍යම බඩු බාහිර ආදිය පාර්සලයක් ලබා දුන්නාය.


"එක එකාගෙන් හිඟාකනවා අපිට ලැජ්ජ කරන්න"


කියමින් දිනක් මාගේ කුටියට කඩාවැදුණු පාලිකා අක්කා බලෙන් මෙන් සනීපාරක්ෂක තුවා පැකට්ටුවද රැගෙන යන්නට ගියේ "මගේ ඒවා ඉවරයි" කියමිනි. මෙවන් සියල්ල උසුලා දරාගෙනම මගේ හිත ගලක් වන්නට පටන් ගෙන තිබුණේ ඉන් බොහෝ කලකට පෙර සිටමය.


උසස් පෙළ කඩ ඉමට වාණිජ විෂයන් මා තෝරාගත් අතර නිලීකා ගණිත අංශයට යොමු වූ හෙයින් මා හට ඇයගේ අමතර සටහන් ලබා ලබාගන්නට ද කිසිදු හැකියාවක් නොමැති අන්දමින් ඇහිරී ගියේය.අවාසනාව නොනවත්වා පසුපසම එනු දැනෙද්දි මම පාසල් අධ්‍යාපනය මත්තේම කෙසේ හෝ බලාපොරොත්තු ගැට ගසා ගත්තෙමි.සාමාන්‍ය පෙළ කරගත් අන්දමට උසස් පෙළ කරන්නට බැරි බව මම නොදැන උනා නොවේ. එහෙත් විකල්ප නැති සඳ මා හට අන්තිම පිදුරු ගස වෙතද බලාපොරොත්තු තබා ගන්නට සිදුව තිබුණේය.


පෙර පරිදිම උදෑසනින් නැගිට උයා පිහා පාසල් යන්නටද පාසල නිමවී ආ පසු නිවසේ සියලුම වැඩ කටයුතු කරන්නටද පෙර පරිදිම මා හට සිදුවී තිබුණේය. ඉතින් ඒ කඳුළ සුසුම අමතක කොට ජීවිතයේ පැවැති සමයයි. මා කිසිදු හැඟීමක් නො දරන තනිකරම හුස්ම වැටෙන්නා වූ ජීවියෙක් බවට පත්ව තිබුණි.


පාලිකා අක්කාහට කෙතෙක් මංගල යෝජනා පැමිණියද ඒ සියල්ල සාර්ථක වූයේ නැත. කුඩම්මාට අවැසි වූයේ පොහොසත් යමක් කමක් ඇති පවුලකට සිය දියණිය දෙන්නටය. පාලිකා අක්කා රිසි වූයේ ඇගේ සිහින ලෝකයේ සිටින්නා වූ නළුවෙක්, කායවර්ධන ශිල්පියෙක් බඳු තරුණයෙක්ය. පැමිණි සියල්ලන්ගේම ඇදකුද අඩුවක් කියා පාලිකා අක්කා ඒවා ප්‍රතික්ෂේප කරන අතරේ ඇය ඉඳහිට කැමති වන තරුණයන් ඇයට අකමැත්ත ප්‍රකාශ කර තිබුණි.

පාලිකා අක්කා කෙතරම් රූපලාවන්‍ය සම්බන්ධයෙන් උනන්දු වුවද ඇයගේ සිත් ඇදගන්නා ස්වරූපයක් නොවූ හෙයින් එම ප්‍රතික්ෂේප වීම් සිදු වුවද පාලිකා අක්කා එය අවබෝධකොට නොගත්තාය.


උසස් පෙළ පන්තියේ මාස හයක් ගතව ගිය තැන ජීවිතය වෙනස් මගකට හැරවූ අහඹු සිදුවීම ඉතින් සිදුවිය. නිලීකාගේ නිවසට පමණක් ඉඳහිට හෝ යන්නට මට ගෙදරින් අවසර ලැබුණද ඒ අවසරය ලැබුණේ බොහෝ අවලාද රාශියකට අනතුරුවය.


මගේ දෛවයේ වාසනාවකට මෙන් නිලීකාගේ අයියා විවාපත්ව එවකට විදේශගතව උන්නේය. නැතහොත් ඔහු නිවසේ උන්නානම් මාහට එම නිවසට යන්නට කුඩම්මා කිසිදිනෙක මා හට ඉඩ නොදෙන්නීය. පාරක තොටක යන තරුණ පිරිමි ළමයෙකු පවා නිවස දෙස බැලූ මොහොතක මා මිදුලේ සිටියහොත් කුඩම්මා පරල වන්නේ දුම්මල වරම අතින් ගත් කපුවෙකු සේය. ඉන් ඔබ්බට ඇය පවසනා ඇතැම් දෑ කෙනෙක්ට අසා සිටින්නට අපහසු ඒවාය. මම ඒවාද නෑසූ කන් ව සිටිමි.


"නිවී අපේ ගෙදර වරෙන් සෙනසුරාදා හොඳේ"


ඒ සෙනසුරාදා නිලීකාගේ නිවස කරා මා ගමන් කළේ ඇයගේ ඇරයුම පරිදිය. නිලීකාගේ නිවස වූයේ කැලණිය පන්සලට මීටර් පන් හයසීයක් නුදුරේය. එහි යන බොහෝ දිනවල ඇය සමග එගොඩ කැලණියට යන්නටද මම වග බලා ගතිමි. 


"ඔච්චර ලොකුවට මහ පන්සල තියෙද්දි මේකිට ඕනම එගොඩ කැලණි යන්න"


නිලීකා එසේ කිව්වද ඈ මා හා එක්ව පැමිණෙන්නීය. 


නිවසේ කුදු මහත් කටයුතු සියල්ල නිම කළ පසු මා නිලීකාගේ නිවසට යන බව දැනගත් පසු පාලිකා අක්කා විවිධාකාර වැඩ මාහට පවරමින් ගමන පමා කරවූවාය. කිසිදු හදිසියක් නොමැතිව ඒ සියල්ල නිහඬව ඉටුකරන මා දෙස පාලිකා අක්කා බලා උන්නේද කෝපය මුසු ඊර්ෂ්‍යාව පිරුණු දෑසිනි. 


"කවුරු බලන්නද නිලීකාගෙ ගෙදර ඔච්චර හැඩ වෙවී යන්නේ?"


අවසානයේ මා හට වැඩ පවරා හෙම්බත් වූ ඇය ඇසුවේ මා ඉදිරිපස සිට ගනිමිනි. මම නිහඬව බිම බලාගෙන උන්නෙමි. තවත් මොහොතක් මා දෙස රවා බලා උන් පාලිකා අක්කා උරයේ හැපී යන සේ මා තල්ලු කොට දමා ගෙතුළට වැදුණාය. දොර උලුවස්සේ වූ කුඩා ඇණයකට අතේ උඩ බාහුවේ මඳක් සීරී ලේ බිඳුවක් මතුව ආවේය. මම අතැඟිල්ලෙන් එය පිස දැමීමි. ගත රිදුම් නොදැනෙන තරමට මා නිර්වින්දනයව උන්නේදැයි විටෙක මට සිතේ.


මේ කෙනෙහිලිකම් නොපණත් කම් තවත් වසරක් දෙකක් මට දරා ගන්නට සිදුව ඇත. ඉවසීමේ අන්තයට ඇතැම් විට පැමිණියද මට මගේ දෛවය මා සිටිනා තැන පෙන්වා දෙයි. ඉතින් ඉරණමට එරෙහි වන්නට ඉඩක් මට ලැබුණු දිනක මේ සියලු වේදනාවන් අභිබවා මම සිනා නගන්නට සිත දිරි වඩා සිටියෙමි. 


එහෙන් මෙහෙන් එකතු කර ගත් සිල්ලර කාසි කිහිපයද රුපියල් පනහේ නෝට්ටුවද නිලීකාගේ නිවෙසට යාමට බස් ගාස්තුවට මට සෑහේ.ගාස්තු ගෙවන්නම්යැයි පවසා නිලීකා පවසනුයේ ත්‍රිරෝද රථයක පැමිණෙන්නටය. එසේ කළ නොහැකි කාරණා දෙකකි. එකක් නිරපරාදේ මිතුරියගේ මුදල් නාස්ති කරන්නට මගේ ඇති අකමැත්තය. අනික ත්‍රිරෝද රථයක ගියා යැයි ආරංචි වුවහොත් කුඩම්මා එයට මුදල් ඇයගෙන් හොරකම් කළායැයි නිරපරාදේ තාත්තාට ගතු කියා මා හට දඬුවම් කරවීමය.


ඒ කාරණා දෙකටම වඩා මට බසයේ යෑම සුවයකි. ජනේලයක් අයිනේ ඉඳ ගත් පසු මට මගේ මනෝමය ලෝකයේ පැයකට කිට්ටු කාලයක් සැරිසරන්නට පුළුවන.

බසයෙන් බැසි තැන පටන් නිලීකාගේ නිවසට ඇත්තේ ගුරුපාරකි. බසයෙන් බැස නිලීකාගේ නිවසට හැරෙන ඒ මාවතේ හෙමිහෙමින් පිය ඔසවන මා පසු කොට දූවිලි අවුස්සමින් ගියේ සුදු පැහැ මෝටර් රථයකි. මඳක් මාවතේ අයිනට වී ඉඩ දුන්නෙමි. පිය ඔසවා වහවහා නිලීකාගේ නිවසට ආවද ඒ පැමිණි මෝටර් රථය තිබුණේ නිලීකාගේ ගෙමිදුලෙහි හෙයින් මොහොතක් ගේට්ටුව අසලම පසුබා බලාඋනිමි. මෝටර් රියෙහි පැමිණි අය නිවස තුළ කතාබහ කරනු ඇසී මම නිවස වටා වූ තණකොළ තීරුව දිගේ ඇවිද ගේ පිටුපසට ආවේ පිටුපස දොරින් නිවස තුලට ඇතුළු වන්නටය.


මම සෙනග ගැවසෙන්නාවූ තැන්වලට බෙහෙවින් සබකෝල වන්නෙමි.ඒ මා ලද අඩු සමාජ ආශ්‍රය නිසා වන්නට ඇත. මගේ ලෝකයේ ඇත්තෙන්ම වුූයේ ඉතාම සීමිත පුද්ගලයන් පිරිසක් පමණි. ජීවිතයේ ඇතුළාන්තයටම නැඹුරු වූ චරිතයක් වන්නට මට පිඹුරුපත් සැකසුණේ නිවස තුළින්මය. 


මුලුතැන්ගෙය පසින් නිලීකාගේ නිවසට ඇතුළුවීම කිසිදා මාහට ඔවුන් ඉඩ නොදුන්නකි. ඔවුන් සැමවිටම මාහට සිය පවුලේ සාමාජිකයකුගේ තැනම තබා තිබූ හෙයින් මෙය අනිවාර්යයෙන් දොස් අසන්නට සිදුවන කාරණයක් වන බව දැන දැනම මම නිවසට ඇතුළුවීමි.


**************************************************************************************************************************************************** 

"නිවී !මොකද මේ?"


නිලීකා විශ්මයෙන් මා දෙස බැලුවේ මුළුතැන්ගෙය දෙසින් මතුව ආ හෙයින් විය යුතුය.ඇයගේ මුහුණේ වූයේ අදහා ගන්නට බැරි දසුනක් දුටුවා සේ හැඟීමකි. 


"කවුද ඇවිල්ල නේ මං මෙහෙට වුණා බං"


මම රහසින් මෙන් පැවසුවෙමි.


"ඉතිං එහෙමයි කියලා මේ මොකටද පිටිපස්සෙන් එන්නේ"


නිලීකා සැරෙන් මෙන් ඇසුවාය. මම කිසිවක් නොකියාම සිනාසුනෙමි. මා පිටස්තර පුද්ගලයන් හමුවේ නිදිකුම්බා මලක් මෙන් හැකිළෙන බව ඇයද දනී. 


"හරි හරි ඉතින් වාඩිවෙයන්කෝ.මොකද පරක්කු වුණේ?" 


නිලීකා මේසය මත වූ කේක් කැබලි දීසියක් මා වෙත පාමින් ඇසුවාය. මේ නිවසට ආ මොහොතේ පටන් නිලීකාගෙන් මෙන්ම ඇයගේ මවගෙන්ද අතෝරක් නැති පෙරැත්තයන් වැඩිමනත්ම පවතිනුයේ කෑම සම්බන්ධයෙනි.නිවසේදී මා හට කුඩම්මාලා කරන්නා වූ අඩු සැලකුම් ගැන ඔවුන් මනා සේ දන්නා හෙයින් මට විශේෂයෙන්ම මේ කරන්නාවූ සැලකිලි මම මැදහත් සිතින් ඉවසා දරා ගන්නෙමි.


"දන්නවානේ එන්න ගියාම පාලිකා අක්කාට නැති වැඩත් පෙනෙනවානේ"


මම කෑම මේසයේ අසුනක ඉඳගනිමින් පැවසුවෙමි. නිලීකාගේ තරහ ඇවිස්සෙන්නේ පාලිකා අක්කාගේ නම ඇසුණු වහාමය.මේ මොහොතේ කිසිවක් නොපවසාම කට ඇදකළ නිලීකා ශීතකරණයෙන් ගත් බීම වීදුරුවක් මා අසලින් තබා හිඳ ගත්තාය.


"ලොකු නැන්දා මට වතුර එකක්.."

ඒ මොහොතේ තරුණ පිරිමි ළමයෙකු මුළුතැන්ගෙයට පැමිණියේ එසේ කියාගෙනය. මම නිලීකාගේ පිටුපසට වීමි. නිලීකාගේ තාත්තා සහ අයියා හැරෙන්නට කිසිදු පිරිමි අයෙක් මේ නිවසේ දී මා හට හමු වී නැත. එහෙයින් මා හට ඇති වූයේ දැඩි සබකෝලයකි. 


"ආ සරෝජ් අයියෙ, ඉන්නවා ඉන්නවා. වතුර එකක් දෙන්නම්"


නිලීකා වතුර ෆිල්ටරය වෙත ගියාය. මම උන් තැනම බිම බලාගෙන උන්නෙමි.


"මේ කවුද නංගි?"


ඒ තරුණයා ඇසුවේ නිලීකාගෙන් විය යුතුය. මම හිස නොඋස්සාම බිම බලා උනිමි.


"ඒ මගේ හොඳම යාළුවා නිවේතා. නිවී මේ අපේ මාතර ඉන්න මාමගේ පුතා සරෝජ් අයියා"


මම හිස ඔසවා ඔහු දෙස බලා මද සිනාවක් පාන්නට උත්සාහ කළෙමි.එය සිනහවකට වඩා යාන්තමින් මුව ඇදවීමක් වන්නට ඇත. 


"නිවී..නිවී..නිවිලා වගේ තමා පෙනුම නම්"


ඔහු එසේ කියා ආපසු හැරී ගියේ එකම බැල්මක් මගේ දෙසට හෙළාය. විශ්වාස කරන්න මම ජීවිතයේ මුල්ම වතාවට සසල වුණේ ඒ බැල්මටය. මට සරෝජ් හිරිපිටිය හමුවූයේ අන්න ඒ දවසේය. බොහෝ දින ගණනාවක් ඒ එකම බැල්ම මගේ හිතේ ඉතා තදින් ඇලී තිබුණු බව මට අදටත් මතකය.


සරෝජ් හිරිපිටිය පැමිණ තිබුනේ නිලීකාගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගන්නටය. ඔහු විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා සුදුසු රැකියාවක් ලැබෙන තුරු බැංකු ක්ශේත්‍රයට එක් වී තිබුණේය. ඉතින් කඩවත වාණිජ බැංකුවකට මුල් පත්වීම ලද හෙයින් ඔහු පැමිණ තිබුණේ නිලීකාගේ නිවසේ සිට රැකියාවට යාමටය. ඒ කෙටි කාලය තුළ මා ඔහු ගැන සොයාගත් කාරණා එසේ විය. 


එදා දවසේ මා නිලීකාගේ නිවසේ සිට ආපසු පැමිණෙන මොහොත දක්වාම විටින් විට ඒ දෑස් මා වෙත යොමු වූ අයුරු මම හොඳින්ම දිටිමි. කිසිදා නොවූ විරූ තරම් තිගැස්මකට මම ලක් වී සිටියෙමි. බාලිකාවකගේ හදවතේ හා හා පුරා කියා කෙටි යන ඇස් බැල්මවල් කෙතරම් ආනන්දනීයදැයි මම එදවස වටහා ගත්තෙමි.

එය රහසින් විඳිය යුතු හැඟීමකි.අඩුම තරමේ නිලිකාට හෝ නොපවසා රහසිගතව හදවතට තුරුලු කරගත් හැඟීම යලි යලිත් වින්දෙමි.ඒ හැඟීම දිගේ දුරක් යන්නට මට ඇවැසි නොවීය.එනමුදු රහසින් මෙන් හදවතේ ඇතුළු කොනක සගවා තබන්නට මට ද යම් හැඟීමක් ඇත.


"මේකිට නං හොඳටම මොනවාද පිස්සුවක් දැන් ගහලා. කොයිවෙලෙත් තනියම හිනා වෙනවා. සින්දු කියනවා. මේක හරියන්නේ නෑ අම්මේ"


පාලිකා අක්කා මා කෙරෙහි කෙතරම් විමසුම්ද යන්න මට වැටහුනේ ඇය දිනක් මා අත තදින් කොනිත්තාලමින් පැවසූ විටය. ඇත්තම කාරණය නම් නිලීකාගේ නාලිකාවේ නිවසේදී සරෝජ් හිරිපිටිය දුටු දා පටන් මා උන්නේ මගේ යොවුන් හදවත ඇහැරීය. ඇත්තෙන්ම එතැන වූයේ ඒකපාර්ශවීය මනෝමය ආකර්ෂණයකි. මට සරෝජ් හිරිපිටිය යළි දකින්නට හෝ ඔහු හා කථා කරන්නට අවශ්‍යතාවයක් ඇත්තෙන්ම තිබුණේ නැත. එහෙත් මොකක්දෝ නොදන්නා රසයක් මගේ සිතේ අහුමුලු වල පවා පැතිර යමින් තිබුණි.


"මටත් මේ ටික දවසක් ඉඳන් ඕක තේරුණා.මතක තියා ගනින් නිවී මං ඉන්නේ තමන් ගැන ඇහැ ගහගෙන කියලා"


කුඩම්මා මාගේ සිහිනය බිමටම සමතලා කළේ ඒ අනතුරු ඇඟවීම සමඟය. සත්තකින්ම මට සිහින දකින්නට ජීවිතයේ ඉඩක් නොවූ තරම්ය. ආශාකරන විනෝදාංශයක යෙදීමට පවා කිසිදු අවසරයක් මට ඉතින් නොවූ තරම්ය.


මට නීලිකා ගණිත විෂයයන් උසස් පෙළට හදාගන්න ගත් තීරණය, මගේ සියලුම ඉගැන්වීම් කටයුතු මා හට තනිව කරගන්නට සිදු වන්නක් බවට හරවා තිබුණි. අමතර පන්තියකට නිවසින් කිසිදු ඉඩක් නොලැබුණු හෙයින් මට උසස් පෙළ විභාගයට මුහුණ දීමට සම්බන්ධව කිසිදු විශ්වාසයක් තබා ගන්නට අසමත් තත්වයක් උදාවෙමින් තිබුණි.කුඩම්මා හැකිනම් මා පාසල් ගමනින් පවා නතර කොට ගෙදර තබාගන්නට රිසි බව මම දනිමි. 


                                                                                            ***



එසේ එක් සෙනසුරාදාවක මා නිවසේ උන් මොහොතක නිලීකා අප නිවසට පැමිණියේ සියලු බලාපොරොත්තු යළිත් ඇති කරමිනි.ඇය පැමිණ උන්නේ තනිවම නොවේ.සරෝජ් හිරිපිටිය සමඟින් ඔහුගේ මෝටර් රථයේය. මොහොතකට මා සිත කීරි ගැසුනේ නිලීකා සහ සරෝජ් හිරිපිටිය අතරේ අප සම්බන්ධතාවයක් ගොඩනැඟී ඇතැයි හිතට ආපු කුකුසෙනි.ඒ වැඩිදුර නොසිතා ක්ෂණිකව හිතට ආ අහඹු සිතුවිල්ලක් පමණක් විය.එහෙත් මා එවැන්නක් සම්බන්ධව සිත් තැවුල් ඇති කරගන්නේ කුමකටදැයි යළිත් මම සිතුවෙමි. 


"ආන්ටි නිවී ඉන්නවද?"


නිලීකා නිවසට ගොඩ වූයේ එසේ අසාගෙනමය. මම ඒ මොහොත වන විට උන්නේ විසිත්ත කාමරය මොප් කරමිනි. පාලිකා අක්කා සෝපාව මත හිඳ දෙපා ඉදිරිපස මේසය මත තබා ගෙන උන්නාය. ඇය අත වූයේ ලඟදිම නිකුත්වූ මෝස්තර සඟරාවකි. මුළු දවස පුරාම ඇඳට හෝ විසිත්ත කාමරයේ සෝපාව මතට වී නවකතා හෝ මෙවැනි මෝස්තර සඟරා බලන්නටත් රූපවාහිනිය හෝ ලැප්ටොප් පරිගණකයේ චිත්‍රපට,නාට්‍ය ආදිය බලන්නටත් ඇයගේ දවස ගෙවී ගියේය. අඩුම තරමේ තේ එකක් තනිව හදා ගන්නටවත් ඇයට ඉතින් හැකියාවක් තිබුණේ යැයි මම නොසිතමි. නමුත් කුඩම්මා එයද සැලකුවේ ඉමහත් ආඩම්බරයක් කොටගෙනය.


"සැපට හැදුණ කෙල්ලනේ අනේ. කවදාහරි මම කෙල්ලව දෙන්නෙත් රජෙක් වගෙ කොල්ලෙක්ට.ඉතින් ගෙවල්වල වැඩපළ මොකටද ඉගනගන්නේ මගෙ දරුවා"


ඒ කුඩම්මාගේ ආකල්පයයි.


කුඩම්මා තිගැස්සී මෙන් මා දෙස බැලුවේ නිලීකා ඉදිරිපස දොර අසලටම පැමිණ සිටි හෙයිනි. තාත්තා උදෑසන නිවසින් පිටවී ගිය පසුව ගේට්ටුව වසා දමන්නටවත් පාලිකා අක්කා අඩියක් ඔසවන්නට අකැමැතිය.

එහෙයින් උදෑසන සිට කුදු මහත් වැඩ වලට මුළුතැන්ගෙය පැත්තටම වී උන් මා හට අද ගේට්ටුව වැසීමේ රාජකාරිය නො පැවරුණි. එහෙයින් සරෝජ් හිරිපිටිය සිය රථය මිදුලටම ගන්නට ඇත. 


නිලීකාට පසුපසින් මතුවූයේ සරෝජ්ය .ඔහුගේ ඇස් වල ඒ මොහොතේ වූයේ කිනම් හැඟීමක් ද යන්න මට සිතා ගත නොහැක. එහෙත් ඒ හැඟීම සුබදායක එකක් ලෙස මට දැනුණේ නැත. ලා රත් පැහැයට හැරී තිබූ ඔහුගේ දෑස පාලිකා අක්කා දෙසට යොමු වුයේ කෝපයක් බඳු හැඟීමක් තවරාගෙන ලෙස මට දැනුනි.


"හා..හා.. එන්න ළමයෝ මේ ඉන්නේ නිවී. පොතක් පතක් බලාගන්න කියලා මං කී පාරක් මේ ළමයාට කිව්වාද? එයාට සෙනසුරාදාට ගේ මොප් කළේ නැත්තං ඉතින් කෑවේ බිව්වේ නෑ වගේ නේ"


කුඩම්මා ඔවුන්ට නොපෙනෙන්නට මට එ‍රවූවේ කරමින් උන් ක්‍රියාව නවත්වන්න යැයි නොකියා කියමිනි. මම ගණනකට නොගෙන මඳ සිනහවක් පමණක් පා මගේ කාර්යය කරගෙන ගියේ දැන් මුළුතැන්ගෙය දෙසට පමණක් එහි වැඩකටයුතු ඉතිරිව තිබූ හෙයිනි. කුඩම්මාගේ විමසුම් දෑස සරෝජ් වෙත යොමුවූයේ එකෙණෙහිය. යම්කිසි කුකුසක් ඇති වූ විට කුඩම්මා ජාත්‍යන්තර ඔත්තු සේවාවලටත් වඩා ප්‍රබල බව නිලීකා නිතරම පවසන්නීය 


"ඇන්ටි මේ මගේ මාමාගේ පුතා. මං මෙයා එක පොඩ්ඩක් කොළඹ යන ගමන් මෙහෙට ආවේ නිවීව බලලා යන්න"


පාලිකා අක්කාගේ උකුසු ඇස් සරෝජ් හිරිපිටිය වෙතටම යොමු වී තිබුණි. ඇයට නම් ඉතින් මෙබඳු කඩවසම් තරුණයෙක් දුටුවෝතින් එතනින් එහාට ඉන්නා සිටින තැන පවා අමතක වෙන බව මම හොඳින් දැන උන්නෙමි. ඒ මොහොතේදීත් පාලිකා අක්කා උන්නේ දෑසින් සරෝජ් හිරිපිටියව ගිලගනිමිනි.


"එන්න එන්න ඉඳගන්න.නිවී තේ ටිකක් ලෑස්ති කරමු නේද එහෙනම්?"


කුඩම්මාගේ ස්වරයෙ මුදු බව අදහා ගන්නට බැරි තරම් ලෙන්ගතු විය.මේ නිවසේ සියලු පවත් සක්සුදක් සේ දන්නා නිලීකා යටිතොල සපාගෙන මෙන් සිනාව වළකා ගත්තාය. මේ නිවැසියන් ගේ තතු මනා සේ දන්නා නිලීකා කිසිදු දිනක තේ පානය කිරීමට හෝ නැවතුනේ නැත.


"අනේ එපා එපා. මම මේ වැඩියත් ආවේ අපේ මේ අයියාගේ නෝට්ස් ටිකක් නිවීට දීලා යන්න. එයත් කොමස්නේ කළේ. නිවී ටියුෂන් යන්නෙත් නැති නිසා මම සරෝජ් අයියගේ නෝට්ස් ටික ගෙන්නවා ගත්තේ"


කුඩම්මාගේ මෙන්ම පාලිකා අක්කාගේ මුහුණු ඇද වන්නට ගතවූයේ කෙටි වේලාවකි.


"කෝ අනේ ඉතින් මේ ළමයාමනෙ ටියුෂන් යන්න බෑ කියන්නේ. අපි කොච්චර නම් කිව්වද නේද සුදු දුව"


පාලිකා අක්කා දෙසට හැරෙමින් කුඩම්මා තවත් අමූලික බොරුවක් ඇදබෑවාය. පාලිකා අක්කාගේ ඇස් බැල්ම සරෝජ් හිරිපිටිය වෙතින් ඉවතටම නොයා ඇලී මෙන් තිබුණි. ඒ මොහොතේ නිලීකා මට හිසින් සන්කොට කතා කළේ සටහන් පොත් ටික රැගෙන එන්නටය.


"කාර් එකේ යතුර දෙන්නකෝ අයියේ"


නිලීකා සරෝජ් වෙතට අත දිගු කළද ඔහු නැගී උන්නේ යමු මාත් එන්නම් කියමිනි.සරෝජ් හිරිපිටියගේ රියෙහි පසුපස කොටසේ කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් පුරා තිබුණේ සටහන් සහ ප්‍රශ්න පත්‍රය. මම ඇසට පිරුණු කඳුළු වලකා ගනිමින් බිම බලා ගත්තෙමි.


"කෙල්ලේ අපි මේවා ඔයාගෙ කාමරයට ගෙනියමු"


නිලීකා කාඩ්බෝඩ් පෙට්ටියක් ඔසවා ගත්තේ අනෙක මා අත තබමිනි. මම ඇය සමගින් මගේ කුඩා කාමරයට පොත් පෙට්ටි ගෙන යන විටද පාලිකා අක්කා සහ කුඩම්මා ඔවුන්ගේ කාමරයට ගොස් තිබුණි.


"මේකට අඩව් අල්ලන්නේ ඔයාලා ගියාම"


මම සිනාසෙන්නට තැත් දරමින් පැවසුවෙමි. ඒ මොහොතේ සරෝජ් හිරිපිටිය උන්නේ සිය රථය අසල වූ සේපාලිකා මල් ගහෙන් බිමට වැටුණු මල් කිහිපයක් අහුලා අතට ගනිමිනි. ඔහු හිස නගා මා දෙස බැලුවේ ඒ මොහොතේය. මහිත තිගැස්සුනේ නැතැයි කියන්නට මට නොහැක. එහෙත් හිතට අයත් නොවන ආගන්තුක එවන් හැඟීම් වලට මා වැට බඳින්නට හුරුවිය යුතුය.


"අපි යන කොළඹක් නෑ බං. මෙන්න මෙයාට තමයි මෙහෙ එන්න පුදුම හදිස්සියක් තිබුණේ"


නිලීකා හිසින් සරෝජ් හිරිපිටිය පෙන්වමින් පැවසුවේ සිනාසෙමිනි. මම දෑස් විසල් කොට බැලුවේ දෙදෙනා දෙසමය. සරෝජ් සිය අත වූ සේපාලිකා මල් දෙසට සිනහවක් විසි කළේය. ඒ සිනහව දකින ඇසක් ලොබ පදවන සුලුය. එහෙත් ඇලෙන්නට ගන්නාවූ සිතට තරවටු කරමින් මම නිලීකා දෙස බැලුවෙමි.


"අපි යමුද?"


නිලීකා සරෝජ්ගෙන් ඇසූයේ නිහඬ තත්පර ගණනාවක් ගෙවී ගිය පසුය. මා සිටියේ රියදුරු අසුන පැත්තේ සිට නිලීකාගේ අත අල්ලා ගත් වනමය. සරෝජ් අප දෙදෙනා පසුකොට රියදුරු අසුනට යාමට ඉදිරියට පැමිණ මා අතක් අල්ලා සිය අත වූ සේපාලිකා මල් ටික මා අත තැබීය. මම අකුණු සහසක් ගසා වසිනා අනෝරා වැස්සට තෙමී බත්වූ කිරිල්ලියක සේ අසරණ වීමි. නිලීකා සිනාසුණාය. නොනවත්වාම සිනාසුණාය. ඇස් වලින් කඳුළු පනින තුරු සිනාසුණාය. අවසන "වෙල්කම් මයි නෑනන්ඩී" යයි කණට කෙඳිරුවාය.


මම උන්හිටිතැන් අමතක ව බලා වුණෙමි. අත වූ සේපාලිකා මල් ටිකක් පොඩි වී යා නොදී ගේට්ටුවෙන් රිය පිටව යන තුරුත් මම ඔහේ බලා උන්නෙමි. මේ සියල්ල බර වැඩි වන බව පමණක් කීමට හිතට දැනෙද්දි මම නිවසට පැමිණියෙමි. වාසනාවකට පාලිකා අක්කා සහ කුඩම්මා මේ කිසිවක් නොදුටුවේ මා නිලීකා සහ සරෝජ් හිරිපිටිය සමඟ රිය අසළ සිටිද්දී ඔවුන් දෙදෙනා මාගේ කාමරයට කඩා වැදී පොත් පෙට්ටිය අවුස්සන්නට වූ හෙයිනි. කාමරය වෙත යන විට එය එකම ගාලගෝට්ටියකි. අම්මත් දුවත් දෙදෙනා රහස් පරීක්ෂකයන් මෙන් සියල්ල අවුස්සා දමා ඇත.


"එක එකාගෙන් පොත් හිඟාකාලා අපිටත් ලැජ්ජ කරනවා මේ හිඟන්නි"


පාලිකා අක්කා මගේ හිස පසෙකට අතින් ඇන්නාය.


"මම ඉල්ලුවේ නෑ එයාලා නිකම් ගෙනල්ලා තියෙන්නේ"


මම කීවේ සෙමින් හඬ අවදි කරමිනි.


"අනුන්ගේ නෝට් කියවලා විභාග පාස් කරලා ඉර හඳ අල්ලන්න වෙන්න ඇති හිතේ ඇත්තේ"


කුඩම්මා අවඥාසහගත වචනවලින් මට දමා ගැසුවාය.


ඉර හඳ ඇල්ලීමට තුන් හිතකවත් නැති මේ නිවේතාට අවශ්‍ය වන්නේ කවදා හෝ පොළොවේ පයගසා ස්වාධීන වන්නට පමණක්ම බව මම යටි හිතෙන් කෑගසා පැවසුවෙමි. 


ඉතින් සරෝජ් හිරිපිටිය පවා මට ඉරක් හෝ සඳක් මිස ළංකර ගත හැකි අයෙක් නොවන බවට පමණක් මම දැන උන්නෙමි.පාලිකා අක්කා කාමරයෙන් පිටව ගිය පසු මම සුසුමක් හෙලා මගේ කුඩා ඇඳේ ඉඳ ගත්තෙමි. ඔවුන් දෙදෙනා විසින් ඇද දමා තිබූ පොත් යළි අසුරා ගත යුතුය. ඇඳ මත එහෙමෙහෙ දමා තිබූ ගණකාධිකරණය පොතක් අතට ගෙන පිටුවක් පෙරළා බැලීමි.


සරෝජ් හිරිපිටිය යනු පිළිවෙලකට සංවිධානාත්මකව උගත් අයෙක් බව ඔහුගේ සටහන් පොත් සාක්ෂි දුන්නේය. සියලු සටහන් ඉතා පිළිවෙලය. ගැහැණු ළමයෙකු වූ මගේ අත් අකුරු වලට වඩා ඔහුගේ අත් අකුරු ලස්සනය. මුල් පිටුවේ සරෝජ් නිසල හිරිපිටිය ලෙසින් නම ලියා තිබුණි.  නිසල ඒ දෙවැනි නම මත මම සෙමෙන් අතැඟිලි යැවීමි. ඔහු නිසල වන අතර මම “නිවී” වීම මට යටිසිතේ සිනාවක් මවන්නට හේතුවිය. හැඟීම් සියල්ල යටපත් කරගනිමින් සරෝජ්ගේ පොතෙහි සටහන් දිගේ දෙයක් ඇස් යවමින් මම ඉමහත් ලොබින් බලා උන්නෙමි. මගේ කුඩා මේසය මත ඉතින් මේ සටහන් පොත් නවාතැන් ගත යුතුය.


අනෙක් පෙට්ටිය තුළ වූයේ පසුගිය ප්‍රශ්න පත්‍ර මාලාවන්ය. සරෝජ් හිරිපිටිය උසස් පෙළ කරන්නට ඇත්තේ  වසර හය හතකට පමණ පෙරය. එහෙත් ප්‍රශ්න පත්‍ර සහිත වූ පෙට්ටියෙහි අලුත්ම ප්‍රශ්න පත්‍ර පොත් කීපයක් විය. එමෙන්ම මේ වසර දක්වා වූ අනුමාන ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ද විය. මම වික්ෂිප්තව බලා උනිමි. මේ සියල්ල අලුතින් මිලදී ගත් ඒවා විය යුතුය. එහෙත් මේ කාරණා වලට හේතුව මට තවමත් අපැහැදිලිය.

අතවූ සේපාලිකා මල් ටික මේසය මත තබා මම තවත් මොහොතක් බලා උන්නෙමි. දුරකථන ඇමතුමක් ගෙන ඒ ගැන අසන්නටවත් මා හට දුරකථනයක් නැත. ගෙදර ස්ථාවර දුරකථනයෙන් ඇමතුම් ගැනීම තවත් ඇනුම් පද බැනුම් දාහකට මුලය. ඉතින් මම නිහඬවම බලා උන්නෙමි. 


සරෝජ් හිරිපිටිය මගේ මේ ජීවිතයට ඇතුල් වන්නට උත්සාහයක් දරන්නේදැයි මම නොදනිමි. එහෙත් එය මුල්ම පියවරේ සිටම ඔහු වළකාලිය යුතු බව පමණක් මම දනිමි. සරෝජ් ඔබ, ඔබට ගැලපෙන අයෙකුගේ සිහිනයක් පමණක්ම විය යුතුය.


රාත්‍රී කාලයේ පැයක් පමණ ගෙන සටහන් පොත් ප්‍රශ්න පත්‍ර සහ සියලුම ලිපි ද්‍රව්‍ය සියල්ල මේසය මත පිළිවෙළකට අසුරා ගතිමි. ඇත්තෙන්ම පෞද්ගලික පන්ති නොයා මේ සියල්ල පරිහරණය පමණක්ම මට සාමාන්‍යයෙන් උසස් පෙළ සමර්ථ වීමට ප්‍රමාණවත්ය.විශ්වවිද්‍යාලය පිළිබඳ සිහිනයක්ම හිතෙත් නොතිබුණායැයි මුසා පවසන්නට මට අනවැසිය. එහෙත් මට සිහින දැකීමට ඇති බාධා එමටය. ඉතින් පොළොවේ පය ගසා කාටවත් අත නොපා මෙතරම් කල් බිමටම හැරවුණු හිස ඉහලට ඔසවා මට මා ගැන බලාගන්නට ප්‍රමාණවත් තරමේ ආදායමක් ලැබෙන රැකියාවක් කරන්නට ප්‍රමාණවත් උසස් පෙළ ප්‍රතිඵලයක් ලබා ගැනීම පමණක්ම මම සිහිනය කොට ගතිමි.



                                                                                   ***



සතියක ඇවෑමෙන් පාසැල නිමවී බස් නැවතුම් පොළට ආ මට එදින නිවසට ආසන්නව මාවතේ ධාවනය වන බස්රිය නොමැති බව දැනගන්නට ලැබුණි. ඉතින් මා හට පයින් යාමට ඇති දුර කිලෝමීටර් භාගය කිලෝමීටර් දෙකක් දක්වා වැඩි වෙයි. කුඩම්මා සහ බාලිකා අක්කා තාත්තා සමගින් කොළඹ ගියේ කුඩම්මාගේ ළඟම ඥාතියකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වන්නටය. එහෙයින් අද උදෑසන ආහාර පිසීමේ කාර්යය මාහට නොවීය. එමෙන්ම පාසල් යාමට පෙර කෑමට හෝ විවේකයේදි කන්නට යමක් තිබුණේ නැත. ඉතින් නිවසට ගොස් බිස්කට් කිහිපයක් හෝ කා තේ එකක් බීමට හිත හදාගෙන මම උන්නෙමි. 


බස්නැවතුම්පොලේ උන් එකිනෙකා ත්‍රිරෝද රථ ආදියෙහි නැගී යන්නට වූ හෙයින් මම කර කියාගන්නට කිසි නැතිව තවත් මොහොතක් බලා උන්නෙමි. ඉතින් නිවසට කෙසේ හෝ යා යුතු හෙයින් කුඩයක් හෝ නොමැතිව ගිනිගහන අව්වේ පාරට සෙමින් බැස්සෙමි. කාලෙකින් වැස්සක් නොවැටි හෙයින් මුළු පරිසරයම දුඹුරු පැහැ ගෙනය. තණපත් පවා දැඩි අව්වට පිළිස්සී ගොසිනි. දහවල් එක හමාර - දෙක අතර කාලයේදී පවත්නා අව්ව සමනය කරන්නට අඩුම තරමින් සිසිල් සුළඟක් හෝ නොමැත. උගුර කට වියළී යන ගිනි ගහන අව්වේ පොත් බෑගයද කර එල්ලාගෙන මම ඔහේ ඇවිද යමින් සිටියෙමි.


********************************************************************************************************************************************************************* 

යලිත් හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

( විසිරි සිහින )

8 comments:

  1. ලශ්ශනට ලීලා තියෙනව.. ❤
    ඒත් මේ චේද වෙන්කිරීම සම්පුන්න අප්සොට්...

    ReplyDelete
    Replies
    1. ඕකට හේතුව කෙලින්ම ෆේස්බුක් එකෙන් කොපි කොට පේස්ට් කිරීමයි

      Delete
    2. ඒකට copyය word එකට දමල හදල ගන්ට... මෙම තිබ්බම කීවන්න අමාරුයි

      Delete
  2. තනියම පාරේ යනකොට???

    බලමු කවුද එන්නේ කියලා...

    ReplyDelete