Thursday, June 2, 2022

21. විසි එක්වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )


 

නිවසට පැමිණ මොහොතේ පටන් සරෝජ් හිරිපිටිය තමා හට මුහුණ නොදුන් බව නිවේතාට හොඳින් වැටහුනි.කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද සැන්දෑවේ හෝ රාත්‍රියේ නිවසට පැමිණි වහාම තමා සමගින් වචනයක් හෝ දෙකක් කතා කරන්නට සරෝජ් කිසිවිටක අමතක කළේ නැත. 
මානවී සහ හසිත නිවසේ සිටීනම් ඔවුන් සමඟද වචනයක් හෝ දෙකක් කතා කර මිසක ඔහු සිය කාමරයට නොගියේය.එහෙත් අද දවසේ ඔහු පැමිණියේ ඉතා වේගවත් ගමනකිනි.රියෙන් බැස තමා දෙසවත් නොබලා වහ වහා පඩි පෙළ නැග කාමරයට වැදුනු ඔහු දොර වසා ගත්තේ ද මහහඬිනි.නිවේතා චාමලීගේ මුහුණ දෙස බැලුවේ ඇයද විශ්මයාර්ථ බැල්මකින් නිවේතා දෙස බැලූ ඇසිල්ලේමය. 
සරෝජ් හිරිපිටිය රියෙන් බැස ගෙතුළට වදින මොහොතේදී සංජය ඉදිරිපස අසුනෙන් බැස නිවේතා සිටි දෙසට ඇවිද ආවේය.නිවේතා ඔහුගේ හැසිරීම හේතුවෙන් සිටින්නේ බෙහෙවින් කලබල වී බව සංජයට වැටහුනි. 

"මැඩම් ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා වෙලායි ආවේ.දන්නවනේ ඉලෙක්ෂන් එකට කිට්ටු නිසා එක එක ප්‍රශ්න .පොඩ්ඩක් කාම්ඩවුන් වෙන්න දෙන්න. මොකුත් අහන්න යන්න එපා"

සංජය එසේ කීවද ඔහු සඟවන්නා වූ කුමක් හෝ දෙයක් වේ යැයි ඇයට වැටහුණි.එහෙත් හාරාවුස්සා බලන්නට තරම් තමාහට අයිතියක් ඇත්තේ ද නැත.අනෙක් අතට පාර්ලිමේන්තුවේ ගැටලු යනු තමාගේ විෂය සීමාවට හෝ තමාගේ දැනුම් සීමාවට අයත් දේවල් නොවේ.නිවේතා සුසුමක් හෙලා චාමලීහට පැවසුවේ තමා කාමරයට ඇරලවන ලෙසය.
අනෙකුත් දිනවල සැන්දෑයාමේ වනතුරු මිදුලි එහෙමෙහෙ සැරිසරන නිවේතාගේ සිත අද තරමක් දුරට කලබල වී ඇති බව චාමලීටද වැටහුනි.ඇය එහෙයින් මුනිවත රකිමින් නිවේතා කාමරය වෙත රැගෙන ගියාය.
රාත්‍රී ආහාරයට බත් කාමරයෙන් පිටතට නො පැමිණි සරෝජ් හිරිපිටිය නිවේතාට තනිවම ආහාර ගන්නා ලෙස චාමලී හරහා කියා එවා තිබුණි.ඔහුගේ මේ වෙනස බෙහෙවින්ම හිතඔද්දල් කරවමින් තිබුණද නිවේතා සිය හැඟීම් හැකිතාක් දුරට මැඩ ගත්තාය.උඩින් පල්ලෙන් බත් කටක් දෙකක් කා ඇයද යළිත් කාමරයට වැදුනේ හුදෙකලා වීමේ අභිලාෂය ඇතිවය.


ඒ මොහොතේ සරෝජ් හිරිපිටිය සිය කාමරයේ සිටියේ බෙහෙවින් නොසන්සුන්වය. රියෙන් බැස එන තුරුම ඔහුගේ සිතේ වූයේ අතිමහත් කෝපයකි.ඒ එන අතරතුරදී ද සිය දෑත් එකට මිටමොලවා ගනිමින් ආවේගය පාලනය කරන්නට තැත් දැරුවද ඔහුගේ සිතෙහි වූයේ මැඩගත නුහුණු දැඩි කෝපයක් සහ වේදනාවකි.
තම ජීවිතයේ බෙහෙවින් ආදරය කළ ගැහැණුන් දෙදෙනාටම මේ නොගැලපෙන කතාව නිසා සිදුවන්නේ ඉමහත් ලැජ්ජාවකි. සුභාෂිණී මේ කිසිවක් නොදන්නී ජීවිතයෙන් සමුගෙන කොහේ හෝ ලෝකයක සැනසුමෙන් සිටිනවා ඇත. එහෙත් ඇය මුළු ජීවිත කාලයක් පුරා පවත්වාගෙන ආ ගෞරවණීය ජීවන රටාවට පලුද්දක් නොවිය යුතුය.ජීවත්ව සිටින්නා වූ කාලයේදී සරෝජනී කිසිම විටක තමාගේ හෝ ඇයගේ ආත්ම ගෞරවය බිඳ වැටෙන්නට කිසිවක් නොකළාය.ඇය හදිසි අනතුරකින් මිය ගියද එහිදී ඇයගේ ගෞරවය බිඳී යන අන්දමේ කිසිම චෝදනාවක් නොලබන්නට සමත් වූවාය.ඉතින් දැන් මෙසේ වන විට ජීවත්ව සිටින තමාට නිවේතාට මෙන්ම මිය ගිය ඇයට ද සිදුවන්නේ අති මහත් ලජ්ජාවකි. කැළලකි.

අනෙක් අතට ජීවිත කාලයක් තිස්සේ දුක් විඳි නිවේතා මේ කිසිවක් දන්නේ නැත.ඇය කෙරෙහි තම සිතේ ඇත්තේ අතිමහත් ප්‍රේමයක් වුවද මේ වන විටත් තමන් දෙදෙනා අතර සිප ගැනීමක් හෝ හුවමාරු වී නොමැත.ඉතින් මෙවැනි කතාවක් ලෝකය හමුවේ නිරාවරණය වන විට නිවේතා යළිත් මානසිකව කඩා වැටීම නවතාලිය හැකි දැයි සරෝජ් වේදනාවෙන් කල්පනා කළේය.
මේ වියවුල මැද්දේ නිවසට එනවිට මිදුලේ කෙළවරක වූ අසුනේ හිඳගෙන උන් නිවේතා ඔහුගේ ඇසට හසු වූයේද නැත.කාමරයට වැදී සිය ආවේගය මැකී යන සේ දොර තදින් වසා ගත් පසුවද, කාමරය පුරා ඒ මේ අත වේගයෙන් ඇවිදිමින් තමන්ගේ ආවේගය පාලනය වන තුරු කියෙව්වද ඔහුගේ සිතට ඒ මොහොතේ නිවේතා පහළ ඇති බව සිහිපත් වූයේවත් නැත.
රාත්‍රී ආහාරය පවා පිළිකෙව් කළ ඔහු තරමක් දුරට රාත්‍රී වන විට සිත සංසුන් කර ගනිමින් උන්නේය. 

"සර් අර නිවුස් ටික මම හැම සයිට් එකටම කතා කරලා අයින් කරලා දැම්මා.ඒ වගේම TCR යුනිට් එකටත් කතා කරලා complain එකකුත් දැම්මා.අපි ටිකක් කාම් ඩවුන් වෙලා පොඩ්ඩක් බලාගෙන ඉම්මු මෙතෙන්දි මොකද වෙන්නේ කියලා"

සංජය රෑ බෝවී ඇමතුමක් දෙමින් සරෝජ් හිරිපිටියහට පැවසුවේය. ඔහු සම්පූර්ණ හවස් භාගයම ගත කළේ මේ සිද්ධියේ අලගිය, මුලගිය තැන් සෙවීමටය. සරෝජ් හිරිපිටිය මද සැනසුම් සුසුමක් හෙලුවේ නිවේතාගේ සිතට මෙය අනවශ්‍ය බරක් විය නොයුතු බැවිනි.
වේලාව රාත්‍රී දහය පමණ වන්නට ඇත.මේ වන විටත් නිවේතා නිදි නොමැතිව ඇති බව සරෝජ් අනුමාන කළේය.මුළුතැන්ගෙයට ඇමතුමක් යවා ඇයට සහ තමාට කෝපි බඳුන් දෙකක් සාදා චාමලී අත එවන මෙන් පැවසූ සරෝජ් හිරිපිටිය නිවේතා හමුවන්නට පියගැටපෙළ බැස ඇයගේ කාමරය වෙත ආවේය.තමාගේ සිතිවිල්ල නිවැරදි කරමින් නිවේතා සිටියේ කාමරයේ බැල්කනිය අසල හාන්සි පුටුවේ සිට ඈත පෙනෙන වෙල් යාය දෙස බලාගෙනය.

"නිවී ඇයි මෙතනට වෙලා .මේ රෑ වුණාම හුළඟ සීතලයි.නිදාගන්නෙ නැද්ද ?"

සරෝජ් හිරිපිටිය ඇයට යාබද අසලට බර වූයේ එසේ අසා ගෙනමය.නිවේතාගේ මුහුණ වූයේ දැඩි අඳුරකි.එයට හේතුව මේ යැයි නිශ්චය කරගත නොහැකි වුවද දිවා කල තමා පෙලූ ගැටලුව නම් ඇයට අනාවරණය වී නොමැති බව සරෝජ් හිරපිටියට සියයට දෙසීයක් විශ්වාස විය. 
නිවේතා දිගින් දිගටම මුනිවත රකිමින් නිහඬවම වෙල් එළියට උඩින් අහසේ පායා ඇති තරු දෙස බලා ගෙන උන්නාය 

"නිවී වට් ඉස් ද ප්‍රොබ්ලම්, ඔයාට සනීප නැද්ද ?එහෙම නැත්තං ඇඟට අමාරුද?"

සරෝජ් අතක් දිගු කොට ඇයගේ නලලතට තබමින් ඇසුවේය .නිවේතා මෙතුවක් වෙලා තද කොට ගෙන සිටි වේදනාව ඉවුරු තලා යන්නට විය ඇය ඉකි ගසමින් හඬන්නට වූවාය.

"මොකද මේ ?මොකක්ද ප්‍රශ්නේ? මට තේරෙන්නේ නෑ. ඇයි මේ අඬන්නේ" 

සරෝජ් හිරිපිටිය සිය අසුන ද ඇදගෙනම ඇය වෙතට පැමිණියේය.නිවේතා හිස දෙපසට වනමින් කිසිවක් කතා නොකර හඬන්නට වූවාය .
මේ අතරතුර චාමලී ඔවුන් දෙදෙනාගේ කෝපි බඳුන් දෙක ද රැගෙන ආවාය .

"චාමලී, මොකක්ද මේ මැඩම්ට වෙලා තියෙන්නේ? ඇයි අසනීපයක්ද? එහෙම නැත්තම් මොකුත් ප්‍රශ්නයක්ද ? කොච්චර ඇහුවත් කියන්නේ නැහැනේ අඬා වැටෙනවා මිසක"

සරෝජ් හිරිපිටිය මදක් තද ස්වරයෙන් චාමලී වෙතින් ඇසුවේය .

"එහෙම ප්‍රශ්නයක් නම් වුණේ නැහැ සර්. ඒ උනාට අද සර් ගෙදරට ආවේ අමුතු වෙලා නේ. මැඩම් මේ වෙලාවේ මිදුලෙ හිටියේ.සර් මැඩම් එක කතා කරේ නැතුව උඩට යනකොට මැඩම්ට ඇත්තටම දුක හිතෙන්න ඇති"

චාමලී තමා තේරුම් ගත් ප්‍රමාණය ඔහු වෙත ප්‍රකාශ කර සිටියේය 

"ඒකද ප්‍රශ්නේ නිවී. ඇත්ත කියන්න" 

සරෝජ් නිවේතාගේ අතකින් අල්ලාගෙන ඇසුවේය.තමාගේ කුඩා වෙනසක් මේ අන්දමේ තදින් සිතට ගන්නා ඇය හා තමා අතර ඇති බැඳියාව කෙතරම් දුරක් යායුතු දැයි යන්න දැන් තමාටද ප්‍රශ්නයකි. මේ වර්තමානයේ ඇතිවී ඇති කටකතා සියල්ලටම විසඳුමක් ලෙස ඇය හා කතා කළ යුතුව ඇති බව සරෝජ් හිරිපිටිය අවබෝධ කොට ගත්තේය.

"එහෙනම් චාමලී ඔයා යන්න නිදාගන්න. මම මැඩම් එක්ක තව ටිකක් කතා කරල එන්නම්" 

චාමලී හිස වනා කාමරයෙන් පිටවී ගියාය.

"නිවී අද ඇත්තටම පොඩි ප්‍රශ්නයක් වුණා. මේක ඔයත් එක්ක මං කතා කරන්නට ඕනේ.හැබැයි කලබලවෙන්න වත් අඩන්නවත් බැහැ තේරුණාද?" 

සරෝජ් හිරිපිටිය නිවේතාගේ අතකින් අල්ලා ගනිමින් පැවසුවේ දීර්ඝ කතාවකට මුල පුරමිනි . ඇයගේ විසල් වී යන දෑස් දෙස බලා මොහොතක් ඔහු සිනාවෙන්නට තැත්දැරුවේය. 
පෙර දවසක දී මෙන්ම යම් කිසි දෙයක් කියන්නට යන විට විශාල වන ඒ දෑස් අදද එක ලෙසම සුන්දරය.සරෝජ් කතාව ආරම්භ කරමින්ම ඔහුගේ අතකින් නිවේතාගේ මුහුණට වැටී තිබූ කෙහෙරැල්ලක් කන පිටුපසට කොට සඟවා තැබුවේය. 

"කියන්නත් කලින් බය වෙලානේ. ඉතින් කොහොමද දෙයක් කතා කරන්නේ" 

සරෝජ් හිරිපිටිය පානය කොට අවසන් කළ කෝපි බඳුන් දෙක තරමක් ඈතින් තබමින් පැවසුවේය.

"නිවී, ජීවිතයේ ප්‍රශ්න කියන දේවල් අපිට ආවේ අද ඊයේ නෙමෙයිනේ .අපි හැම දේකටම මූණ දුන්නා. සමහර තැන්වලදී අපි අපිට මිස්වුණා. සමහර තැන් වලදී අපිට ඒ දේවල්වලට කොහොමහරි මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න සිද්ධ වුණා .
ඒත් ඒ ගමනෙදි ඔයාට මාවයි මට ඔයාවයි අතහැරුණා. නිවී,ඇත්තෙන්ම කිව්වොත් ඒ අතහැරීම වුනේ මගේ පැත්තෙන් නෙමෙයි ඔයාගේ පැත්තෙන් .ඒ හේතුව නිසාම මට සුභාෂිණී එක්ක ජීවිතය පටන් අරගෙන ඉස්සරහට යන්න සිද්ධ වුණා" 

සරෝජ් හිරිපිටිය පැවසුවේ කිසිම චෝදනාත්මක ස්වරයකින් නම් නොවේ .නිවේතා ඔහුගේ මුහුණ දෙස බලා සිටිමින්ම ඔහු කියන්න තේරුම් ගන්නට උත්සාහ කළාය. ඇයගේ නිහඬතාවය ගණන් නොගෙනම සරෝජ් දිගින් දිගටම කතා කරගෙන ගියේය. 

"සුභාෂිණීගෙන් මගේ ජීවිතයට කවදාවත් වැරැද්දක් වුණේ නැහැ. ඇත්තෙන්ම එයාව විවාහ කර ගත්තට පස්සෙ මගෙන් එයාට කිසිම වරදක් වුණෙත් නැහැ. ඒ උනාට සුභාෂිණී දැනගෙන හිටියා මගේ හිතේ ඔයා ගැන තිබුන දේවල් .අපි අතරේ කවදාවත් රහසක් තිබුණෙ නැහැ .මම මගේ හැමදේවල්ම එයාට කිව්වා ඒ වගේම එයාගෙ දේවලුත් මම හැමදේම දැනගෙන හිටියා"

සරෝජ් හිරිපිටිය ගැඹුරු සුසුමක් හෙලුවේ ඒඅහිමි වීම සම්බන්ධයෙන් ඇතිවූ වේදනාව ද සමඟිනි.

"අපි දෙන්නා අතර කවදාවත් රන්ඩුවක් වුනේ නැහැ ඔයා සම්බන්ධයෙන් .මම සුභාෂිණීව විවාහ කර ගත්තත් ඔයා ගැන මගේ හිතේ තිබුන ආදරය වෙනස් වෙන්නේ නැහැ කියන එක සුභාෂිණී හොඳටම දැනගෙන හිටියා .කවදාවත් ඒක එයාට ප්‍රශ්නයක් වුණෙත් නැහැ .දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ කොහොමත් එයා අකාලයේ යන්නම ගියා" 

සරෝජ් හිරිපිටිය පැවසුවේ දැඩි වේදනාවෙනි. නිවේතා සිය අත මත තිබු ඔහුගේ අත සෙමින් පිරිමැද්දාය .ඔහුගේ වේදනාවට තමන්හට කළ හැකි යම් දෙයක් ඇතිදැයි ඇය නොදැන උන්නාය.එහෙත් ඔහු කිසි විටෙකත් මේ සිදු වූ කිසිම දේකට තමාට චෝදනා කරන්නේ නැතිවීමද හිතට බරකි. 

"ඒ සේරම දැන් අතීතයට අයිති වෙලා ඉවරයි නිවී .හැබැයි දැන් තියෙන්නෙ වෙනත් විදියක ප්‍රශ්නයක්" 

සරෝජ් හිරිපිටිය නිවේතා දෙස බලමින් ඇයට මේ දේවල් කිව යුතුදැයි යළිත් කල්පනා කළේය
 
"මොකක්ද?"

නිවේතා විමසුමෙන් ප්‍රශ්න කළාය .මේ සියල්ලම ඇය දැන උන්නද අලුතෙන් මේ සම්බන්ධව ඇති වී ඇත්තේ කුමන ප්‍රශ්නයක්දැයි ඇයට සිතා ගන්නට නොහැක.සරෝජ් හිරිපිටිය නිවේතා දෙස හැරී නවතම ඇතිවූ තත්ත්වය කෙටියෙන් පැහැදිලි කළේය. 
නිවේතා ඉහලට ගත් හුස්ම පහළට හෙළා ගත නොහැකිව බය බිරාන්ත වී බලා උන්නාය .
මෙවන් අභූත චෝදනාවක් ඉදිරිපත් වීම ඇයට දරාගත නොහැකි විය .ඉකි ගසමින් හඬන්නට පටන් ගත් නිවේතා සනසා ගන්නට සරෝජ් හැකි හැම තැතක්ම දැරුවේය .

"මෙතන අඬන්න කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ නිවී.අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා මේක මහා අභූත චෝදනාවක් .ඒ හැම කතාවම නිර්නාමිකව යන දේවල් වුණත් මේකට යටින් ඉන්නේ කවුද කියන එක මට හොයාගන්න එක මහ දෙයක් නෙමෙයි" 

"මං නි..සා..නේ ඔ.ක්.කො..ම"

නිවේතා ඒ මොහොතේ යළිත් කැඩි කැඩී යන හඬින් පවසා හඬන්නට වූවාය 

"මෙතන කිසිම චෝදනාවක් ඔයාට එල්ල වෙලා නැහැ. මේක තනිකරම මට ගහන මඩ ප්‍රහාරයක් විතරයි .නිවී මෙතන තියෙන්නේ ඒක නෙමෙයි .අපිට කතා කරන්න විශේෂ වැදගත් දෙයක් මෙතන තියෙනවා" 

සරෝජ් හිරිපිටිය පැවසුවේ ඉදිරියට කතා කළ යුතු දෙය ගැන ඇයගෙන් කුමනාකාරයේ ප්‍රතිචාරයක් ඒ දැයි සිතමිනි .නිවේතා කඳුළු ගලා යන දෑසින්ම ඔහු දෙස බලා උන්නේ ඒ කුමක්දැයි යන්න අටියෙනි.

"මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් එක ඒක වෙනම කතාවක් හැබැයි ඒ කතාවට අපි කිසිම වෙලාවක සැලෙන අවශ්‍ය වෙන්නේ නැහැ මොකද අපි දන්නවා අපි නිවැරදියි කියලා. 
නිවී දැන් අපිට අපි ගැන තීරණයක් ගන්න කාලය ඇවිල්ලයි කියලයි මම හිතන්නේ දැන් මගේ ජීවිතේ ගැන ඔයා හැමදේම දන්නවා වගේම ඔයා ගැනත් මම දන්නවා .ඔයා මේ මගේ වහල යටට ආවේ මගේ වුවමනාවට. මමයි ඔයාව මෙතනට ගෙනාවේ ඔයා ප්‍රතිකාර ගන්න ඕන නිසා. ඉතිං මේ වගේ වහලක් යට එකට ඉන්නකොට මිනිස්සුන්ගෙන් චෝදනා වල ඉලක්ක වෙන්න තියෙන ඉඩ වැඩියි තමයි" 

"චූටිදූටවත් හසිතටවත් ඔයාටවත් මටවත් මේ ගෙදර ඉන්න අනිත් අයට වත් ඒක කිසිම ප්‍රශ්නයක් නොවෙයි .ඒත් රටට ලෝකෙට ඒක ප්‍රශ්නයක්. හැබැයි අපි තීරණයක් ගන්ඩ ඕනේ එක එකාට බයේ නෙවෙයි. අපි ගැන ජීවිතේ අපිට උවමනාවක් තියද කියන හේතුව නිසයි" 

සරෝජ් හිරිපිටිය දීර්ඝව කරගෙන ගිය කතාබහ නවතා ඇය දෙස බැලුවේය. 

"ම..ම ආ..ප.හු ය..න්.නම්"

නිවේතා පැවසුවේ ඒ මොහොතේ ඇයගේ සිතට ආ තද තීරණයයි .තමා නිසා විවිධාකාර කටකතාවලට සරෝජ් හිරිපිටිය ලක්වීමම ඇයගේ සිතට දරා දරා ගන්නට බැරි වේදනාවක් විය තමා සරෝජ් අතහැර දැමුවේ ඔහුගේ සුබසිද්ධිය තකා මිස ඔහු ගැන තම සිතේ ඇති වූ ආදරයේ අල්ප මාත්‍රයක හෝ අඩුවීමක් නිසා නොවේ .
දැනුදු මේ පැමිණ ඇත්තේ එවන් අවස්ථාවක් යැයි නිවේතාට සිතුණි. සරෝජ් හිරිපිටියගේ කීර්තිනාමය පාර්ලිමේන්තුවේ සහ රටේම පැතිර යන මොහොතක තමන් සම්බන්ධ කටකතා ඇතිවීම එයට මහත් කලු පැල්ලමක් බව ඇයට වැටහුණි .එහෙනම් ඒ ජීවිතයෙන් ඈත්ව සිටීම ඔහුගේ සුබ සිද්ධියට හේතු වනු ඇතැයි ඇය සිතුවාය.
 
"ඔය මොළේට ඔයිට වඩා ඇත්තටම දුරදිගක් හිතෙන්නේ නැද්ද නිවී. එක වතාවකුත් මගෙන් ඈත් වෙලා මගෙන් පලා ගියේ මට හොඳක් වෙන්න කියලා හිතලා නේද ?මේ සැරේ කරන්න හදන්නෙත් ඒකමයි. ඉතින් ගිය සැරේ මට හොඳක් වුණාද කියන එක ඔයා හොදටම දන්නවා .මේ සැරේ යන්න ගියත් වෙන්නේ ඒ ටිකම තමයි"

සරෝජ් හිරිපිටිය තරමක් දැඩි ස්වරයෙන් පැවසුවේය.

"ම.ට ඔ.යා..ගේ වෙ.න්.න බැ
..හැ ම.ට ය..න්.න දෙ..න්න"

නිවේතා ඉවත බලාගෙන තවමත් හරියාකාරව මුවඟින් පිටනොවන වදන් වලින් පැවසුවාය .හදවත දහසක් කැබලි වලට කැඩි කැඩී යද්දි යද්දී ඇය ඒ අදහස අමාරුවෙන් හෝ මුවින් පිට කර ගත්තේ සරෝජ් හිරිපිටියගේ යහපත ගැනම සලකමිනි. 

"එතකොට ඒ කියන්නේ ඔයාට මාව ඕන නැහැ ඔයාට මං ගැන කිසිම හැඟීමක් මෙච්චර කාලෙකට තිබුණේ නැද්ද නිවී" 

සරෝජ් දැඩි ස්වරයෙන් ඇසුවේය. 

"නැ.හැ නැ..හැ මං ඔයාට කිසිම කැ.මැ.ත්..ත.ක් .ඇතු.ව නෙ..මේ හි.ටි.යෙ .ඔ.යාට ආද..රේ ක.ලෙත් නැ..හැ" 

නිවේතා කෑගසා මෙන් තද ස්වරයෙන් පැවසුවාය.

"එහෙමද? එහෙමද කියන්නේ එහෙනම්. පොඩ්ඩක් ඔහොම ඉන්නවා" 

සරෝජ් හිරිපිටිය තම හිතට ආ ආවේගයෙන්ම අසමින් නැගිට වහ වහා සිය කාමරය වෙත ගියේය .නිවේතා කිසිවක් සිතා ගන්නට නොහැකිව පුදුමයෙන් මෙන් බලා උන්නාය කාමරයට ගිය වේගයෙන්ම ආපසු පැමිණි සර්ව හිරිපිටිය තමා අත වූ රෙදි බෑගය නිවේතාගේ උකුල මතට දැමූවේය.

"එතකොට මේ මොනවද? මේවායේ ලියල තියෙන්නෙ මොනවාද?" 

නිවේතා රෙදි බෑගය විවර කල බැලූ විට ඇයගේ ඇස් නළලට යන තරමේ පුදුමයක් ඇයට ඇතිවිය. ඉතින් සියලු දේ තවදුරටත් තව දුරටත් සඟවා ගත නොහැක සරෝජ් සියල්ල කියවා ඇත. නිවේතා කර කියාගත නොහැකි බැල්මෙන් පොත් දෙසත් ඔහු දෙසත් බැලුවාය. 

"ඔව් ! මං ඔය ඔක්කොම කියෙව්වා ඔයා හෙඩ් ඉන්ජරි එක නිසා අයි.සී.යූ.හිටපු දවස් වල මම සේරම අරන් ගිහිල්ලා කියෙව්වා. මෙච්චර කාලයක් අපි දෙන්නගෙ කතාවේ අපි නොහිතපු ඔයාගේ පැත්ත ඔයා ඔය පොත් වල ලියලා තියෙනවා .මං ඒ ඔක්කොම කියවලා ඉවරයි නිවී. දැන් තවදුරටත් මට බොරු කරන්න විතරක් ලැහැස්ති වෙන්න එපා"

සරෝජ් හිරිපිටිය පැවසුවේ නිවේතා අසල අසුනේ හිඳ ගනිමිනි. නිවේතා කිසිවක් නොකියා පොත් දෙසම බලා උන්නාය ඉතින් තවදුරටත් තමාට කියන්නට කිසිවක් නොමැත සරෝජ්ට සියලු දේ අනාවරණය වී හමාරය. තමා මේ තමාගේ ඇතුලාන්තය පොත්වල ලියා තැබුවේ කවදාහෝ මානවීගේ ඇස ගැටීමට මිසක සරෝජ් අභිමුව නිවැරදිකාරියක් වීමට නම් නොවේ.

සරෝජ් හිරිපිටිය අත දිගුකොට නිවේතාගේ අත් දෙකින් අල්ලා ගත්තේ ඉතා හැඟුම්බර අන්දමිනි.


යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින)

5 comments: