Saturday, July 2, 2022

23. අවසන් කොටස ( හසරැල් සැලුනාවේ)




 "නිවී ඇත්තම කියන්න. ඔයා අකැමතිනම් මම චූටිදුවට කියන්නම් වැඩිය මොකුත් කරන්න එපා කියලා" 

මානවී සහ හසිතට නින්දෙන් ඇහැරී හඬන කුඩා පුතුගේ රාජකාරි කර ගැනීමට ඉඩ දී සරෝජ් සමගින් යළි නිවස බලා පැමිණෙන නිවේතාගේ කල්පනා බරිත මුහුණ දෙස බලමින් සරෝජ් ඇසුවේ ඇය එතරම් සාද සමාජ වලට කැමැත්තක් නොදක්වන්නේ යැයි සිතූ හෙයිනි .

නිවේතා මද සිනහවක් පා සිය උර හිස වටා වැටුනු සරෝජ්ගේ අතකින් අල්ලා ගත්තාය. 

"ආස නැ.තු..ව නෙ.මෙ.යි .ඒත් අපි දැන් ව.ය.සයිනේ"

නිවේතා හීන් හඬින් පැවසුවේ පස අසුනේ සිටින සංජයට ද නොඇසෙන්නටය. සරෝජ්ගේ මුහුණේ ආදරය පිරි සිනහවක් පහළ විය.

"නෑ අපි වයස නැහැ.මට තාමත් ඔයා එදා වගේමයි. කෙල්ලගෙත් ආසාවනෙ නිවී. අපි පුංචියට පාටි එකක් ගම්මු" 

සරෝජ් හිරිපිටිය නිවේතාගේ හිස සිය උරහිසට වාරු කර ගනිමින් පැවසුවේය. මුවින් නොකීවද නිවේතාද එවන් සැමරුමකට කැමති බව ඔහු වටහාගත්තේ නිතැතින්මය.

"දැන් මේ යන ගමන් අපි ඔයාට හෙටට අඳින්න ෆ්‍රොක් එකක් ගන්න යං" 

සරෝජ් පැවසුවේ අතරැඳි ඔරලෝසුවේ වේලාව බලමිනි.

"සාරි අඳින්න ඕන නෑ නිවී. ඒකට ඔයාට කරදරයි.මම දන්න dress designer කෙනෙක් ඉන්නවා .අපි එයා ළඟ තියෙන ඇඳුම් බලන්න යං.shopping complex ගානේ රස්තියාදු වෙන්න ඕන නැහැනෙ එතකොට"

සරෝජ් හඳුනන ඇඳුම් නිර්මාණ ශිල්පිනියගේ ඇඳුම් නිර්මාණ ගොන්නෙන් නිවේතාහට ගැලපෙන ගවුමක් තෝරාගන්නට අසීරු නොවීය.

" ඔයා ඇඟ ශේප් එකට තියන් ඉන්න නිසා මේ ලා දම්පාට ෆ්‍රොක් එක ලස්සනට මැච් වෙනවා."

නිවේතා නිහඬ සිනාවකින් සරෝජ් දෙස බලා අනුමැතිය පැතුවාය.ඇයට මේ සියල්ල තවමත් සිහිනයකි.සරෝජ් ඇය ගත ලා උන් ඒ ඇඳුම දෙස බලා මහපටැඟිල්ල ඔසවා සිය කැමැත්ත ප්‍රකාශකළේය.

"ලස්සනයි"යැයි දෙතොළ මෑත්කොට රහසින් පැවසුවේය. ඒ ඇස්වල එවකටද වූයේ නොවියැකෙන පෙම්වත් බැල්මකි.

ගවුමට ගැලපෙන ආයිත්තම් ගැනීමට ගිය පැය දෙකකට ආසන්න සාප්පු සවාරියක අවසානයේ නිවේතා දැඩි වෙහෙසට ලක්ව උන්නාය. සරෝජ් ඇයගේ වෙහෙසට පත් වත දැක නිවෙසට යා යුතු බව තීරණය කළේය.

"ඔයාට වෙහෙසයි. අපි ඉක්මනින් ගෙදර යං"

නිවේතාගේ හිස සිය උරහිසට වාරු කොට ගත් සරෝජ් ඇයගේ සවනතට මිමිණීය.තමාගේ අපහසුතා ගැන පවා මේ තරම් දුරට සිතන ඔහු කෙතරම් ආදරණීය ස්වාමි පුරුෂයකු වේදැයි නිවේතාට සිතා ගන්නට නොහැකි තරම්ය. සිය ජීවිතයට අහම්බෙන් සපැමිණි ඔහු එකම දිනයකදී සිය පෙම්වතා වීම ද ඉන් අනතුරුව ඔහුගේ ජීවිතයෙන් තමා සදහටම ඈත් වී යාමද මිසක ඔහුගේ අයිතිවාසිකමක් කිසිදිනක තමා නොපැතූ බව නිවේතාට සිහිවිය.

එහෙත් අද වන විට ඔහු සිය ස්වාමිපුරුෂයා වීමේ මොහොත එළඹී ඇත.එය සිතට ඇති කරන්නේ ඉමහත් ආනන්දයකි.

නිවේතා නිවසට පැමිණි විටම ඇය පිළිගන්නට ඉදිරියට දුව ආවේ චාමලීය.ඇයගේ වත සිනහවකින් හැඩවෙමින් තිබුණි.මේ වන විටත් මානවී චාමලී සහ සංජය ඇතුලු කාර්‍ය මණ්ඩලයට වැඩකටයුතු පවරා ඇතුවා වන්නට බොහෝ ඉඩ ඇත.

"චාමලී , මැඩම්ට හොඳටම මහන්සියි වොෂ් එකක් දාලා චේන්ජ් කරන්න උදව් වෙන්න" 

සරෝජ් හිරිපිටිය නිවේතාගෙ අත මුදාහරිමින් චාමලී වෙත ඇයව පැවරුවේය. ඇස් ඉඟියෙන් කාමරයට යන්න යැයි පවසා ඉහළමාලයට පිය එසවීය.

"මැඩම්ගෙ මුහුණේ ලස්සන අද ? සතුටින්ම ඉන්න මැඩම් .ඉතිං හෙට ඔක්කොම දේවල් හරි ලස්සනට සිද්ධවේවි."

චාමලී ඇඟ සෝදා පැමිණ ඇඳුම් ගතලූ පසු නිවේතාගේ ඇඳුම් සකස් කරමින් පැවැසුවාය. මඳ වෙහෙසක සිටි හෙයින් රාත්‍රී ආහාරය වන තුරු මදවේලාවක් සයනයට වී වැතිර උන් නිවේතා සරෝජ් සමඟින්ම රාත්‍රී ආහාරය ලබාගත්තාය.

"නිදිමතද ඔයාට?"

රාත්‍රී ආහාරය අවසන්ව කාමරය වෙත නිවේතා අතින් අල්ලාගෙන යන අතරේදී සරෝජ් හිරිපිටිය ඇසුවේය. නිවේතා හිස දෙපසට වනා නිදිමතක් නැති බව හැඟවූවාය.

"අපි ටිකක් කතා කරමු එහෙනම්"

සරෝජ් නිවේතා සමගින් පියමැන්නේ නිවේතාගේ කාමරයට යාබදව ඇති එළිමහන් වැරන්ඩාවටය.සඳ එළිය ගස් අතරින් පෙරී ගෙන ගලා එමින් තිබුණි.මඳ සුළඟේ දැවටී එන සේපාලිකා මල් සුවඳ නැහැ පුඩු සිසාරා හමා යන්නට විය.

"සේපාලිකා?"

නිවේතා සරෝජ් හිරිපිටිය දෙස බලමින් ඇසුවාය.

"ඔව් මම පැලයක් ගෙනල්ලා හිටෙව්වේ මේ වත්ත ගත්තු දවස් වලමයි.දැන් මේකෙ මල් පිරෙනවා.ඔයාට මතකද ඉස්සෙල්ලා මම ඔයාලගේ ගෙදරට ආව දවසේ ඔයාලගේ සේපාලිකා ගහෙන් මල් ටිකක් අරන් ඔයාගේ අතේ කිව්වා"

අතීත මතකයන් ඇවිස්සීම තරම් සුන්දර දෙයක් ජීවිතවල තවත් තිබේද ? එහෙත් මෙතුවක් කාලයකට තමාගේ යටි සිතේ පමණක් තිබේ යැයි සිතූ ඇතැම් සුන්දර මතකයන් සරෝජ් වෙත ද ඒ ආකාරයෙන්ම ඉතිරිවී තිබීම නිවේතාට අදහා ගන්නට ද නොහැකි තරම් විය. 

"ඔහොම මගේ දිහා බලන්නෙ ඇයි ඔයා හිතනවද මට ඒ දේවල් අමතකයි කියලා?"

සරෝජ් ඇසුවේ නිවේතාගේ විශ්මයට පත් මුහුණ දෙස සිනහ වෙමින් බලමිනි. 

"ආ ඒක නෙමෙයි මම අහන්න හිටියේ ..අර පොත් ඇතුලෙ තිබුනා බොහොම පරණ චොක්ලට් කොල කොළ වේලිච්ච මල් ඒ වගේ දේවලුත් .ඒ දේවල් වලට සම්බන්ධකම මට හිතාගන්න පුළුවන්. ඒ උනාට ඒව කොහොමද ඔයාගේ අතට ආපහු හම්බ උනේ ?"

සරෝජ් හිරිපිටිය ඒ චොක්ලට් දවටන සහ වියළි මල් ඔවුන්ගේ අතීත මතකයන්හි සිහිවටන බව දැන උන්නේය .නමුත් ඒ දේවල් නිවේතා වෙත යළි තිබෙන්නේ කෙසේ දැයි ඔහුට පැනයක් ඇතිවිය .

"ඒ කා.ලෙම ම.ගේ බ.ඩු ටික කුඩ..ම්මාලා නි.ලීකා ගේ ගෙදරට ගෙ.නැ.ල්ලා දා.ලා ති.බුණා. ඒවා මට නි.ලීකා ආ.ප හු දුන්නා" 

ජීවිතයේ සොඳුරුම යැයි කිව හැකි මතක පරිච්ඡේදයක සිහිවටන තමන් සතුව අදටත් ද තිබෙන්නේ එසේ බව නිවේතා පැහැදිලි කළාය.

"නිවී මට ඔයා එක්ක කතා කරන්ඩ ඕනේ .මේ marriage එක සම්බන්ධයෙන් ඔයාට මුකුත් අකමැත්තක් එහෙම තියෙනවද .එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් ..?"

සරෝජ් ඇසුවේ නිවේතාගේ සුරත සිය ළය මත තබාගෙන දෑස් පියා ගනිමිනි. 

නිවේතා සිය කොපුල් රත් පැහැයට හැරෙන විට බිම බලාගෙන සිනහසුනාය .ඇත්තෙන්ම ජීවිතයේ හතරවන දශකයද ගෙවා හමාර කොට ඇති හෙයින් තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයේ ඇති සිතුම් පැතුම් ගැන නිවේතාටද දැනට ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.එහෙයින් කුමක් කියන්නටද හරියටම සිතාගත නොහැකිව ඇය මුණිවතම රැක ආය 

"මැරේජ් එකට පස්සේ පස්සේ අපි දෙන්නගේ ජීවිතේ මොන විදිහට ගතවෙයිද කියලා ඔයාට බයක් තියෙනවා නං ඒ බය අතාරින්නයි මම මෙහෙම කතා කරන්න හිතුවේ .නිවී අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ සම්බන්ධකම ගැන ඔයා බයෙන් සැකෙන් වගේ හිතන්න උවමනා නැහැ. කාලයට ඉඩ දෙමු අපි අපිට ලං වෙලා ජීවත් වෙන එකනේ වැදගත්ම දේ" 

දෙදෙනකු අතර ඇති අවබෝධය ආදරය මත පදනම් වනවිට සැක සංකා බොහොමයක් බොහෝමයක් ජීවිතයෙන් ඈත්ව යයි .යහපත් මානසික බැඳීමක් ඇති වන විට පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන කායික බැඳීම ද බෙහෙවින් සුන්දර වනු ඇති බව සරෝජ් දැන උන්නේය .ඉතින් කෙසේ වුවත් හෙට සිට ඇය සිටින්නේ තමාගේම වෙමිනි.

 

වෙනදාටත් වඩා සොඳුරු ලෙසින් දවස උදාවන විට නිවේතා සිටියේ රූපලාවණ්‍ය ශිල්පිනියක විසින් සොඳුරු ලෙස හැඩගන්වන මොහොතේය .උදෑසන සරෝජ්ගේ නිවසේම විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන්නට තීරණය වූ අතර ඒ සඳහා තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් ඇරයුම් කරනු ලැබ තිබිණි .

මානවී සහ හසිතත් හසිතගේ දෙමව්පියනුත් සුභාෂිණීගේ දෙමව්පියනුත් නිවේතාට ප්‍රතිකාර කළ සරෝජ්ගේ වෛද්‍ය මිතුරාද ඒ මොහොතට පැමිණ සිටියහ .නිවේතා සුභ මොහොතේදී ආලින්දයට කැඳවාගෙන එන මොහොතට ඇයට අත දුන්නේ මානවීය .ජීවිතේ මෙවන් සිදුවීම් කෙතරම් අහඹුදැයි සියල්ලෝම සිතූහ.නිදහසේ ලියා පදිංචි කරන්නට කල් වේලාව ඇති හෙයින් නිවේතා සහ මානවී ආලින්දයේ අසුනක හිඳුවා සරෝජ් හිරිපිටිය මදක් ඉදිරිපසට ඇවිද ගියේය .මිදුලට පැමිණි නාදුනන රියකින් පැමිණියේ නොසිතූ පුද්ගලයන් කිහිපදෙනෙකි . නිවේතා දෑස් අදහාගත නොහැකිව මොහොතක් බලා උන්නාය.

ඉදිරිපස දොරින් අඩියට දෙකට පැමිණ ඇය බදා ගත්තේ නිලීකාය. ඇය පසුපසින් ඔහුගේ ඇයගේ සැමියා සහ රත්නායක මාමාත් නැන්දාත් සිනහා වතින් පැමිණ සිටියහ.

"ඔයා කවද්ද ආවේ?"

නිවේතා අදහාගත නොහැකිව අසමින් බලා උන්නාය. 

"අපිට ලංකාවට ආවේ පෙරෙයිදා .මොකුත් නොකිය සප්‍රයිස් කරන්න ඊයේ එන්න හදනකොට සරෝජ් අයියා තමයි කිව්වේ හොඳම සර්ප්‍රයිස් එක තියෙන්නේ අද කියලා අදම එන්න කියලා" 

නිවේතා සුපුරුදු රැවුම් බැල්ම සරෝජ් වෙතට හෙළුවාය. 

"අනේ අනේ අද දවසේ වත් මට රවන් නැතුව ඉන්නකො මැණිකේ"

සරෝජ් හිරිපිටිය සිනාපිරි වතින් පැවසුවේ සෙස්සන්ද සිනහාගන්වමිනි .

ඉතින් සතුටු සාමීචි සාද කතා මැද නැකැත් වේලාවද එළඹිණි.

සොඳුරු අන්දමින් ගතවී ගිය කාලයකදී සරෝජ් හිරිපිටිය නිවේතා රසාදරී ගමගේගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙසින් අභිසෙස් ලැබුවේය.දෑඟිලි වල රන්මුදු පැලදුනි. නිවේතාගේ ගෙල වටා සොඳුරු හැඩයක් දැරූ රන් මාලයක් පළඳමින් සරෝජ් හිරිපිටිය ඇයගේ ගෙල යාන්තමින් සිපගත්තේය.

"දැන් ඉතින් කිසිම දෙයක් බැහැයි කියලා බෑ" 

නිවේතා ඒ පහසින් ඇකිලී යද්දි සරෝජ් ඇයගේ සවනතට කෙඳිරුවේය .

සුභාෂිණීගේ දෙමවුපියන් සිය දියණියගේ විවාහය දා මෙන්ම අද දිනයේ ද සතුටු වූයේ සතුටු කඳුළු පිසලමිනි . ඔවුන් රත්නායක මාමා සහ නැන්දා සමගින් අලුතෙන් හැඳුනුම්කම් හිතවත්කම් ඇති කරගත් අතර මුළු නිවස පුරා සිනහා කතා පැතිරී යමින් තිබුණි .

මානවීගේ සිඟිති පුතු සරෝජ් හිරිපිටියගේ අතේ දැවටෙමින් සිටියේ බොහෝ කාලයකට පෙර මානවී ඔහුගේ දෝතේ සුරතල් සුරතල් වූ ආකාරයටය .

"ඉස්සර අම්මත් ඔහොම තමයි මගේ අතේ හිටියේ දන්නවද චන්ඩියො" 

සරෝජ් හිරිපිටිය සිය මුනුපුරා ඉහලට ඔසවමින් ඇසුවේය.මඳ සතුටු සිනා සපිරි මුහුණු අතරට නොනැවතී මහා සිනහවක් මවන්නට කුඩා මුණුපුරා සමත්වූයේ ඒ මොහොතේය .

"අයියෝ මේ කොල්ලා කළ වැඩේ .දැන් දැන් ඉතින් අංකල්ට ආයෙ ඇදුම් මරු කරන්න වෙනවා" 

මුහුණ දිගේ ගලා හැලෙන තෙතමනය සහ සරෝජ්ගේ කමිසයද තෙමාගෙන ගලා බසින්නට වූ මොහොතේදී මානවී කෑගසමින්ම වහ වහා සිය පුතු අතට ගත්තාය . නිවේතා දෝතින්ම ඇයගේ මුහුණ වසාගෙන සිනාසෙන්නට පටන් ගත්තාය. 

"අර මොකටද ඇඳුම් මාරු කරන්නේ? මේවා තමයි සුභම ලකුණු ජීවිතේට ලැබෙන"

සරෝජ් හිරිපිටිය සිනහවතින් පවසමින්ම නිවේතාගේ අතින් අල්ලා ගත්තේ ජීවිතයේ සොඳුරුම සුභ ගමනකට පියවර පෙරට තබමිනි. ඒ පියවරක් පියවරක් පාසා සරෝජ් හිරිපිටිය නිවේතාගේ වතෙහි උදාවී සැලෙනාවූ හසරැල් සිය වතෙහිද තවරාගත්තේය.

********************************************************************** 

සමාප්තයි !

ඉතින් ස්තුතියි මා සමගින් රැඳී උන්නාට. 


කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)


6 comments:

  1. සොඳුරු අවසානයක්......අපි ආසාවෙන්බැලුවේ, ඉවරවුනාට දුකයි. ඊලඟ එක පටන් ගන්න. ලස්සනට ලියන ඔයාලට පිං

    ReplyDelete
  2. Lovely story. I enjoyed it tremendously. As Kumudu say, please favour is with another

    ReplyDelete