Thursday, November 17, 2022

02 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 පළමු කොටසට  මෙතනින්  01


දෙවන කොටස




රැස්වීමක් පවත්වන කාමරයෙහි ඒ වනවිටත් ආසන කිහිපයක් පිරී තිබුණි . පාරමී රත්මල්ගොඩ කෙළවරක වූ අසුනක හිඳගත්තේ අවට දෙස එක් බැල්මක් පමණක් හෙළමිනි .

කෙතරම් අපූරු ආසියාතික රටක් වුව ද මිනිසුන් ඔවුනොවුන් හා සුහදවීමට එක්වනම මැළිවන්නේ කුමන හේතුවක් නිසාදැයි ඇය තනිවම කල්පනා කළාය .

අධ්‍යක්ෂවරයා කාමරයට පැමිණෙත්ම කතාබහේ යෙදී වූ සියල්ලෝම නිහඬ වූහ.

සියල්ල දෙසම එකෙක් බැල්මක් පමණක් හෙළමින් අසුන් ගත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා පාරමී දෙස සිනාමුසුව බැලුවේය. ඉන්පසු ඉදිරි පෙළ අසුනක් වෙත අත දිගු කොට පෙන්වූ ඔහු පාරමී නැගිට එම අසුන වෙත පැමිණෙන තුරු බලා උන්නේය .

සභාව ආරම්භ කිරීමෙන් අනතුරුව වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ කතාව ආරම්භ විය. එදිනට අදාල වෘත්තිමය කාරණා කිහිපයකට අවධානය යොමු කිරීමෙන් අනතුරු ව...අධ්‍යක්ෂ වරයා නැගී උන්නේ හඬ අවදි කරමිනි.

"මම මේ අවස්ථාවේදී විශේෂ හඳුන්වාදීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක අද සිට වැඩ කරන්න ඇවිල්ලා ඉන්න consultant psychiatrist පාරමී රත්මල්ගොඩ ඔයාට හඳුන්වා දෙන්නයි මම සූදානම් වෙන්නේ. ඩොක්ටර් පාරමී රත්මල්ගොඩ කියන්නේ කවුද කියලා මං හිතන්නේ මම ඔයාලට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ . එයාගේ research papers මේ වන කොට මේ හැම කෙනාම කියවල තියෙන ඒවා බව මම දන්නවා .ඩොක්ටර් රත්මල්ගොඩ ....ඔයා අපි එක්ක වැඩ කරන්න ආව එක අපිට බොහොම අඩම්බරයක්....අලුත් innovations එක්ක මං හිතන්නේ අපිට හුඟාක් අලුත් දේවල් මේ patience ල වෙනුවෙන් කරන්න පුළුවන් වෙයි....

පාරමී රත්මල්ගොඩ නිහඬ සිනහවෙන් හිස මදක් වනා රෝහල් අධ්‍යක්ෂවරයාගේ හඳුන්වා දීමට ප්‍රතිචාර දැක්වූ වූවාය .

සෙසු කාරණා කටයුතු ගැන කතා බහ කිරීමෙන් අනතුරුව පාරමි රත්මල්ගොඩ ට අදාල වාට්ටු ලබා දීම සිදුවිය . සති දෙකකට පමණ පෙර විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරියට අදාල කාන්තා වාට්ටු දෙකක් පාරමී රත්මල්ගොඩ ගේ භාරයට පැවරුනි.

රැස්වීම අවසානයේ වෛද්‍යවරුන් එක්කෙනා දෙන්නා කාමරයෙන් පිට වී යත්ම උදෑසන හමුවූ වෛද්‍ය දිනුශා ඇය වෙත දුව ආවේ පිටවී යන්නට මොහොතකට පෙර ය.

really sorry madam ....ඇත්තටම මැඩම් consultant කියලා මං දැනගෙන උන්නේ නැහැ.අපේ රෙස්ට් රූම් එකට ආව නිසා මම හිතුවා ඉතින් අපිත් එක්ක වැඩකරන්න ආපු MO කෙනෙක් කියලා.really sorry madam ...

පාරමී රත්මල්ගොඩ සිනහවක් පාමින් ඇය වෙත හැරුනේ එහි වදන් ඇසෙනවාත් සමගිනි .

ඉතින් ඒකට මොකද වෙන්නේ ....take it easy dinusha .....ඔයාල වගේ තරුණ අයත් ඔය විදියට හිතන කොට කොහොමද අනිත් මිනිස්සු වෙනස් වෙන්නේ .... we all are human .....

පාරමී රත්මල්ගොඩ දිනූෂා වෙත සිනහවක් පාමින් නික්ම ගියාය..

විදේශීය රෝහලක වසර ගණනාවක් සේවය කිරීමේ වෙනස් හැසිරීම් රටාවක් තමා තුළ වේදැයි පාරමී රත්මල්ගොඩ කල්පනා කලේ රිය රථය මාවත ටත් දමා අවසානයේ දී ය.

කොළඹ තදාසන්න ප්‍රදේශයක සිට සැතපුම් හතළිහක් පමණ දුර ගෙවා නිවසට යා යුතු විය .ඉඳහිට මේ දේ කළ හැකි වුවද හැමදාම නම් මේ අන්දමින් රිය පැදවීමට නොහැකිය. නිවසෙහි සිටින්නේ තමා සහ අම්මාත් මාලනීත් බැවින් පිරිමි රියදුරෙක් ගැනීමට තවමත් සිතා ගන්නට නොහැක .

කිට්ටුවෙන් ගෙයක් අරගන්න එක තමයි හොඳම දේ ..... පාරමී රත්මල්ගොඩ මදක් කල්පනා කොට තීරණයකට පැමිණියාය. එතකල් ක්වාටර්ස් එකේ ඉන්න පුළුවන් වේවි...

අද දවසේම පෙර විශේෂඥ වෛද්‍යවරිය උන් නිලනිවස ඇය වෙනුවෙන් වෙන්කළ හැකි බව අදාල ලිපිකාරිනිය විසින් පැවසූ අතර එය සති දෙකකට පසු හෙයින් සුද්ධ පවිත්‍ර කොට සැකසීමට ඇය පොරොන්දු වූවාය. මේ සතියත් මෙහෙම්ම යනවා...පාරමී රත්මල්ගොඩ වාහන තදබදය සහිත මාවතේ සෙමින් ඉදිරියට ඇදෙමින්ම සිතාගත්තාය.

හැන්දෑවේ හය පමණ වනවිට නිවෙසට ළඟා වුන පාරමී රත්මල්ගොඩ අම්මා සොයා ගියේ බුදුකුටිය වෙතය.මේ වන විට මිදුලේ දෑසමන් වැලෙන් මල් වට්ටියක් නෙලා ගන්නා අම්මා සිටින්නේ බුදුමැදුර තුල බව පාරමී රත්මල්ගොඩ දැන උන්නාය. මොහොතක් වෙලා අම්මා නමදින දෙස බලා උන් ඇය ආපසු හැරී කාමරය වෙත ආවේ අම්මා යලි පැමිණෙන්නට අඩ හෝරාවක්වත් ගත වන හෙයිනි.

මඳ උණුසුම් ජලයෙන් ස්නානය කළ පාරමි රත්මල්ගොඩ යලි කාමරයට පැමිණෙන විට අම්මා බුදුන් වැඳ ඇයගේ කාමරය වෙත පැමිණ සිටියාය .

ඔයා ඇවිල්ල ගොඩක් වෙලාද .....අම්මා පාරමී ගේ ඇඳෙහි ඉඳගනිමින් ඇසුවාය .

ඔව් මම බුදු මැදුර පැත්තට ඇවිල්ල ඔලුව දාල ආවෙ...අම්මා වඳිනව එතකොට ...ඉතින් මම එහෙම්ම ආවා නාගන්න .....පාරමී අම්මා ගේ ළඟින් ඉඳගෙනම පැවසුවාය. අම්මා ඇය අතවූ තුවාය ගෙන ඇයගේ හිස පිසදමන්නට වූයේ ඇය එයට ප්‍රිය බව දන්නා හෙයිනි.

දෑසමන් මල් සුවඳ මෙහෙටත් එනවා අම්මා....පාරමී ඉව අල්ලමින් පැවසුවාය.

ඔව් පුතේ ඒක පුදුම සුවඳක් ...ඉස්සර අපේ අම්මා කියන්නෙ රෑට දෙවියො ඔය සුවඳ දිගේ ඇවිල්ලා මල් නෙලාගෙන යනවලු කියල.....අම්මා පාරමීගේ හිස පිසදමා අවසානයේ තුවාය ගෙන නැගී උන්නාය...

තේ එකක් බොමුද මැණික....රෑට කන්න නම් අන්න මාලනී ඉඳිආප්ප හදනව.....

පාරමී අම්මා සමගින්ම නැගී උන්නේ උණු තේ එකක අවශ්‍යතාවය දැනෙමින් තිබූ නිසාය.අම්මාත් දුවත් මුලුතැන්ගෙට පැමිණෙන විට මාලනී ඔවුන් දෙස බලා හිනැහෙමින් පොල් ගාන්නට පටන් ගත්තාය.

ස්ත්‍රීන් තිදෙනෙකුගෙන් සමන්විත මේ ගෘහය පුරා පැතිර තිබුණේ සුන්දර නිහැඬියාවකි . සේවිකාවකට වඩා ළබැඳි ඇසුරකින් අම්මාට සහ දුවට සැලකූ මාලනී ඔවුන් වෙතින්ද ඒ හා සමාන සැලකිල්ලක් ලැබුවාය.

උණුසුම් තේ බඳුන ද රැගෙන අමිමා සමඟ සාලයට පැමිණි පාරමී රත්මල්ගොඩ ඇය හා සමගින් දවසේ කටයුතු ගැන කතාබහ කළාය.

දවසකට මෙච්චර දුරක් ඩ්‍රයිව් කරන එක හරි අමාරුයි අම්මා...අනෙක ට්‍රැෆික් වෙලාවට පාරවල් ගැන නම් කියල වැඩක් නෑ....

පාරමී අම්මා දෙස බලමින් පැවසුවාය ....

ක්වාටර්ස් නම් හම්බ වෙනවා ...ඒත් අම්මා ඒක හොස්පිට්ල් එක ඇතුලෙමයි තියෙන්නෙ...ඉතින් අම්මාට එහෙම කොටුවෙලා ඉන්න බෑ ....මම බැලුවෙ එහෙන් ගෙයක් ගන්න කියල.....

පාරමී රත්මල්ගොඩ අම්මාගේ පිළිතුරක් අපේක්ෂාවෙන් ඇය දෙසම බලා උන්නාය. අම්මා බොහෝ නිදහසේ ජීවත් වන්නට රුචි කාන්තාවකි.රෝහල් පරිසරය තුළ ඇයට නිදහස් පරිසරයක් ලබා දෙන්නට හැකි නොවේ.

මටයි මාලනීටයි මෙහෙ ඉන්න බැරිකමක් නෑ මැණික....ඒත් ඔයා තනියමනෙ එතකොට ....

අම්මා සුසුමක් හෙලමින් පැවසුවාය. අම්මා කිසිම දෙයකට ලොබ බඳින කාන්තාවක් නොවන බව පාරමී රත්මල්ගොඩ දැන උන්නේ කුඩාකල පටන් ය.ඇය දාරුක ප්‍රේමය හැර අන් කිසිම දෙයකට බැඳීමක් ඇති කර නොගත් කාන්තාවකි.

මේ සතියෙ ඔහොම යං අම්මා...මම ක්වාටර්ස් එක ගන්නම් කොහොමත්.. ඉමර්ජන්සි එකකට හරි මොකක් හෝ ප්‍රමාදයකට හරි එහෙම ඉන්න තැනක් ඕනනෙ....අම්මා හිතල බලල කෝකටත් මට කියන්නකො...අපිට වීක් ඩේස් විතරයි එහෙ ඉන්න ඕනෙ..වීක් එන්ඩ් එකට එන්න පුලුවන් නෙ අම්මා මෙහෙ ....

පාරමී අම්මාගේ හිස් තේ කෝප්පයද රැගෙන නැගී උන්නාය....

**************************************************************************************************************************** 

යළි හමුවෙමු 

මම 

විසිරි සිහින 

6 comments:

  1. ආවෙමි... කියෙව්වෙමි...

    ReplyDelete
  2. ලියන්න...කියවන්නං...තාම කමෙන්ට් එකක් දාන්න තරං මොලේ වැවිල නෑ....

    ReplyDelete
    Replies
    1. හෙමින් කියවන්නකෝ....ස්තුතියි ගොඩක්

      Delete