Saturday, November 12, 2022

2022 (05) මං තාම වැස්සට ආදරෙයි ❤️

 මං තාම වැස්සට ආදරෙයි ❤️




වප් මහේ අනෝරා වැහි ඇල්ල

හඬවමින් අහස බිමටම හැළෙයි...

අධිවේග ගමන් මග රියක් තුළ කුසීතව 

නිදිකිරා වැටෙන ගොමුවක ඉඳිමි...


අගුල් ලූ කවුලුවට එහා පස මාවතම 

පිරි පිරී හැලෙන මහ දිය ගඟකි 

වින්ඩ්ස්ක්‍රීනය මතින් මැකි මැකී යළි ඇඳෙන වැහි බිංදු මල් රටා  කෝටියකි....

මල් කුඩේ හකුලන්න මොහොතකට පෙරාතුව

ගත පුරා දඟ පෑව වැහි මලකි...

ඒ සිහිල වසර බෝ ගණනකට ඉහත්තේ 

දැරියකගෙ වැහි මතක අවුස්සයි....


පාවහන් නැති දෙපා දිය කඩිති සිසෑරූ

සිහිල අදටත් හිතේ පණ ගසයි...

තණපතග පිණි මලක සිහිල දෙතොලග තැබූ කුඩා හිත සාද මිහිරක් ගෙනෙයි....

බිමට බරවූ ඇට්ටේරියා මල් කිණිති

හිස හලන වැහිමලක කෙළි හිතක් සැලී යයි...

වැහි හීන මතක මැද උණුසුම්ම ළමාවිය....

මගෙ හිතේ දේදුණු රටා මවාලයි..


ඉතින්..මං වැස්සට තාම ආදරෙයි ...


© කිත්මා වාසනා දහනායක

(විසිරි සිහින)

3 comments:

  1. හෙ හෙ අපි හැමෝම වැස්සට ආදරේ නොවැ😊💖

    ආදරේ වැඩිකමට පොඩ්ඩක් තිමිලා දැන් කැස්සයි සෙමයි😂😪

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නම් ඉතින් පරෙස්සමින් ඉන්නෝන ...කොච්චර ආස වුණත් ...නේද?

      Delete