Monday, January 2, 2023

09 වෙනි කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ


08 වෙනි කොටසට මෙතනින් 08


09 වෙනි කොටස




අලුත් නිවහන තමන්ගේ උරුමකම් කියූ මහගෙදර සේම අලංකාර කරන්නට අම්මාත් මාලනීත් ඇප කැප වී වැඩ කළහ.

සැලකිය යුතු තරම් ඉඩකඩක් පැවැති නිවස පිටුපස නොබෝ දිනකින්ම අපූරු ගෙවත්තක් බවට පරිවර්තනය විය . අම්මගේ සහ මාලනීගේ කවදත් තිබූ අපූරු අත් ගුණය නිසාවෙන් ගොඩනැගූ සියලුම පාත්ති අපූරුවට දළු දමා නැගී එන්නට විය .

ගහකට කොළකට වුණත් මනුස්සයාගේ ආදරය සැලකිල්ල හොඳින් දැනෙනවා පුතේ ...අන්න ඒ නිසයි වගා කරන දෙයක් වුණත් උනත් අපි හිත කැමැත්තෙන් වගා කරන්න ඕනේ ...ගහකට පොළකට වුනත් කරුණාවෙන් ආදරෙන් කතා කලාම අපට ආපස්සට බෝග ලබා දෙනවා .....

අම්මා කවදත් උදෑසන නැගිට ගහකොළ අතරේ සැරිසරමින් ගස්කොළන් අතගාමින් කතාබහ කරන්නට පුරුදු වි උන්නාය .

අම්මගෙ මේ කතා අහලාම...අන්න සුනන්දාලත් එසේ හරි හරියට වවන්න පටන් අරගෙන... ඔක්කොටම එහා ...අපේ patients ල ටික ....තෙරපි යුනිට් එකත් එක්ක එකතු වෙලා .. එයාල horticulture therapy පටන් අරගෙන දැන් ටිකක් කල් ...ඇත්තෙන්ම ඒකෙන් ලෙඩ්ඩුන්ට හොඳම ප්‍රතිඵල තියෙනවා අම්මා.....මම ඉස්සර කියවපු artical එකකත් තිබුණා ඔය හුඟාක් ගස්කොළන් වල..මිනිසුන්ගේ මනසට ප්‍රතිකාර කරන්න පුළුවන් අපූරු හැකියාවන් තියෙනවා කියලා ....

පාරමී අම්මා සමග පැවසුවේ ....ඉරිදා දවසේ ඇයගේ කුඩා වගාබිම පුරා ඇවිද යමිනි ...ගෙවත්තේ කෙළවර වැට මායිමකින් වෙන්වී ඇති කුඹුරු යාය අසලට ගිය පාරමී ළයපුරා හුස්මක් ගෙන නැවුම් වායුව ආඝ්‍රාණය කළාය.

ඇත්තෙන්ම හිතන්න පුතේ බුදුහාමුදුරුවෝ වුණත් ජීවිතේ හැම වැදගත් දෙයක් ම සම්බන්ධ කරගෙන තිබුණේ ගහකට ...ඒකෙන් අදහස් වෙන්නේ ලෝකයම නිවපු මේ රටේ උත්තමයෙක් වුණත් ....ගහකොළ එක්ක මොන තරම් සමීපව කටයුතු කළා කියන එක නේද ...ඉතින් මනසින් රෝගී වෙන මිනිස්සුන්ට උනත් ...ගහකොළ කියන්නේ හොඳම ප්‍රතිකාරයක් තමයි....

අම්මා ඇයගේ අත වූ කුඩා පන් වට්ටියට කොළ අහුරක් නෙළා ගනිමින් පැවසුවාය ...මාලනී විසින් වැට මායිමට වන්නට වගා කොට ඇති මුකුණුවැන්න, ගොටුකොළ , සාරණ, කංකුන් ආදී පලාකොල රැස නිවැසියන්ගේ පමණක් නොව අහල පහල අසල්වාසීන්ගේ පවා ආහාර පිණිස අම්මාත් මාලනීත් නොමසුරුවම ලබාදුන්නෝය .

මේ තරම් සරුසාර පොළවක් තියාගෙන කඩවල් ගානේ ඇවිත් එළවළු ගන්න ...අපේ ගෙවල්වල අයටත් මේවා හොඳ පාඩම් ...නෝනා .... 

එක් වතාවක් අම්මා විසින් සුනන්දා අත තැබූ එළවළු කූඩය රැගෙන යන අතරේ ඇය පැවසුවාය.

උදෑසන ළා හිරු එළිය වැටී බැබළෙන ගස්කොලන් මත රැඳුණු පිණිබිඳු පාරමීගේ හිතට එක් කළේ අපූරුම ආශ්වාදයකි . ජීවිතය හැමවිටම තමා හට ලබා දෙන්නේ හොඳම දේ යැයි සිතීමට පාරමී උගත්තේ අම්මාගේ ඇසුරෙනි ...ජීවිතය පුරා කෙතරම් අභියෝගවලට මුහුණ දුන්නද අවසානයේ තමා හට ඉතිරි වූයේ හොඳම දේ පමණි .

දැන් යමු මාලනී බලාගෙන ඇති උදේට කෑමට එනකල්...අම්මා අතවූ පන්වට්ටියද ගෙන පෙරමුණ ගත්තාය. පලාකොලවලට අමතරව දිවා අහර පිණිස වගාවෙන් නෙලාගත් එළවළු වර්ග කිහිපයක් ද එහි විය. අම්මා සහ මාලනී නිර්මාංශ වූයේ වසර ගණනාවකට පෙරදීය. පාරමී ද මාංශමය අහරට එතරම් කැමැත්තක් නොදැක්වූ හෙයින් නිවසේ ආහරාපාන සියල්ල ගෙවත්තෙන්ම සැකසී තිබුණි.

උදෙන්ම දෙන්නම වත්ත ට ගියානෙ...මම කොළකැඳ ටික අරන් එන්නත් හදල ආයෙ එහෙම්ම උන්නා....ඉරිදා විතරනෙ අපේ චූටි මැණිකෙට වත්තපිටිය දකින්නවත් ලැබෙන්නෙ....

කිතුල් හකුරු කෑල්ලක් සමගින් කොළකැඳ කෝප්පය පාරමී අත තැබූ මාලනී පැවසුවේ සිනහසෙමිනි. 

ඔය ඔක්කොම කොල ජාති මෙහෙ වත්තෙන් තමයි .....කඩේ කොලකැඳ වගෙ නෙවේ....

මාලනීගේ ස්වාරයේ වූයේද ආඩම්බරයකි.

අපි ගිය සතියෙ ගමේ ගිය නිසයි මම මේ සතියෙ ඉම්මු කියලා කීවෙ අම්මා ....ඒකට කමක් නෑනේද ...හවස මට පොඩි වැඩ වගයක් තියනව...ලබන සුමානේ හොස්පිට්ල් එකේ වැඩසටහනක දේශන වගයක්...ඉතින් ගෙදර ගිහින් එන්න ගියා නම් ඕක කරගන්න වෙලාවක් නොවෙන නිසයි ඉම්මු කීවෙ.....

පාරමී අම්මාගේ උරහිසේ හිස රඳවමින් පැවසුවාය. 

ඒ ගෙදර මේ ගෙදර කියල දැන් වෙනසක් අපිට නෑ නේද මාලනී...දෙතනම අපි ඉන්නෙ සතුටින් නිදහසේනෙ .....

අම්මා මාලනී දෙස බලමින් ඇසුවාය. 

අනේ ඔව් ලොකු නෝනා...මේ ගෙදරත් අපිට එහේ ගෙදර වාගෙම හරි නිදහස්නෙ.....අහල පහල අයගෙන් උනත් කොහෙත්ම කරදරයක් නෑනෙ ඇත්තෙන්ම 

මාලනී හිස් කෝප්ප දෙකද රැගෙන මුලුතැන්ගේ වෙත නික්මුනාය.

මීළඟ සතිය බෙහෙවින් කාර්‍යබහුල සතියක් වන බව පරමී දැන උන්නේ රෝහලේ වැඩසටහන් මාලාව කියවූ පසුය. එම පුරා සතියක් පවතින වැඩ සටහන අතර ඇයගේ කාර්‍යභාරය ඉතාම වැදගත් එකක් විය. 

මානසික සෞඛ්‍ය සතිය වෙනුවෙන් සැලසුම් කල බොහෝ දේශන අතර ඇයගේ දේශන කිහිපයක් ද අඩංගු වී තිබුනි. 

පාරමී පොත්පත් සහ අන්තර්ජාලය ඇසුරින් බොහොමයක් කරුණු ගබඩා කොට ගත්තද ....සිය රටට සහ සංස්කෘතින්හට ගැලපෙන අන්දමට කරුණු ගොනුකරගන්නට සැලසුම් සකස් කළාය.

ළමා හා යොවුන් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් රට තුළ පැන නැගී තිබූ වර්තමාන බොහොමයක් දුක්බර ප්‍රවෘත්තීන් අතරේ වැඩි වැඩියෙන් කතා බහට ලක්වෙමින් තිබූ ළමා අපචාර සහ ඒ සම්බන්ධයෙන් සබැඳුණු මානසික සෞඛ්‍යය ගැන නැගී කෙටියෙන් ජනතාවගේ අවධානය යොමු විය යොමුවිය යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් දේශන මාලාවක් පැවැත්වීමට මානසික සෞඛ්‍ය සතිය පුරා පාරමී හට පැවරී තිබුණි .

එදිනෙදා පුවත්පත් සහ මාධ්‍ය තුළින් ලෝකයට නිරාවරණය වන බොහෝ දරුවන්ගේ ඛේදජනක කතාවන් තුළ පැවතුණේ කිසිම ආරක්ෂාවක් ආදරය සහ සැලකිල්ලත් මෙන්ම දරුවන්ට ලැබිය යුතු නිසි ලිංගික අධ්‍යාපනය ඔවුන්ට නොලැබී යාම නිසා සම්පූර්ණ අනාගතයම අඳුරු වන්නාවූ බොහොමයක් දුක්බර කතා ය .

එවන් ඛේදජනක අවස්ථාවන් වලට මුහුණ දුන් දරුවන් අප්‍රමාණව සිය වාට්ටු වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා හෙයින් පාරමීහට ඒ ඒ සිද්ධීන් අළලා ඇගේ දේශනා සැකසීම එතරම් අපහසු නොවීය 

ඉතා කුඩා වියේදී මෙන්ම නව යොවුන් වියේදීම අපචාරයන් හට ලක් වූ දරු දැරියන් දීර්ඝ කාලිනව පත්වෙන මානසික උපද්‍රවයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව සියලුම ජනතාව දැනුවත් විය යුතු අන්දම ගැන අවධාරණය කරමින් පාරමී රත්මල්ගොඩ සිය දේශනය සැකසුවේ අඩුම තරමේ කිහිප දෙනෙක් හෝ එය අවබෝධ කරගෙන සමාජගත කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි .

බොහෝ වෙහෙස වුවද අවසානයේ තමන් තෘප්තිමත් විය හැකි දේශනයක් සැකසීමේ සතුට ඇතිව පාරමී දවසේ වැඩ හමාර කොට නින්දට ගියාය

                                                                           *** 


දැඩි සේ කාර්ය බහුල වූ මානසික සෞඛ්‍ය සතිය අවසානයේ දී පාරමී රත්මල්ගොඩ තෘප්තිමත් ව එහෙත් වෙහෙසින් යුතුව පසුවූවාය. යමක් සාර්ථකව අවසන් කිරීමේ සැනසීම සහ සතුට මිල කල නොහැකි අතර එය සඳහා ගතකල කාලය පිළිබඳව පාරමී තුළ තිබුණේ මහත් සතුටකි.

රෝහල් අධ්‍යක්ෂක වරයාගේ ඇරයුමෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ද පාරමී ගේ වැඩ සටහන බෙහෙවින් ප්‍රසංශා කලේය.

එබඳු ප්‍රසංශා කවදත් හිතට නොගන්නා චරිතයක් වූ හෙයින් ඇයට ඒවායේ ලොකු වෙනසක් දැනුණේද නැත.

පාරමී සිය නිල නිවසේ එදින නැවතුණේ නිවෙසට යාමට පවා අධික ලෙස වෙහෙසක් දැනුණ හෙයිනි. සුනන්දා විසින් ගෙනවිත් දුන් රාත්‍රී ආහාරය උඩින් පල්ලෙන් ගිල දැමූවද පාරමීට අවැසිවූයේ ඉතා පහසු නින්දක් පමණි.දැනෙන හිස රදය වලක්වා ගන්නට වේදනා නාශක පෙති දෙකක් ගත් පාරමී ඇඳට වැටුණාය. 

රාත්‍රියේ ඇඟ සීතල කරමින් අධික උණ ගන්නා විට පාරමී දැඩි අපහසුවෙන් කෙඳිරිගෑවාය. එහෙත් නිල නිවස්නයේ කිසිවෙක් නොවන හෙයින් සිය ගතට දැනෙන වේදනාව කෙසේ හෝ දරාගත යුතුව තිබුණි. පාරමී යළිත් වේලාව බලා පැනඩෝල් පෙති දෙකක් ගිල දැමුවාය. 

උදෑසන සුනන්දා හට ඇමතුමක් යවා ගෙන්වා ගත් පාරමී වහා වාට්ටුව වෙත ගියේ අපහසුතාවය මැඩගෙනය.

මැඩම් ලේ එකක් බලවමු...මේ දවස් වල තත්වෙ දන්නවනෙ.....ප්‍රධාන හෙද නිලධාරිනිය පැවසූ විට පාරමී නිහඬවම එයට කැමතිවූවාය. සුනන්දා විසින් වහ වහා මුලුතැන්ගේ වෙතින් ගෙන ආ කැඳ කෝප්පය පානය කල පාරමී යලි නිලනිවස්නය වෙත ආවේ ඇඳට වැටෙන්නට ගත දැඩිව ඉල්ලන හෙයිනි.

ජංගමය හෙමින් හඬතලන රිද්මයට අවදිවූ පාරමී රත්මල්ගොඩ ආයාසයෙන් ඇස් හැර වේලාව බැලුවාය. වේලාව හවස හතර පසුවී විනාඩි පහලොවක් පමණය.තමා එකදිගට පැය හතරක් පහක් නිදාගෙන ඇත. ජංගමයේ එහා කෙළවර ඉන්නේ අම්මාය.

මැණික සුනන්දා කිව්ව මගෙ පුතාට උණ කියල. ඇයි ගෙදර ආවෙ නැත්තෙ දරුවො

අම්මා ගේ හඬ කලබල කාරීය. 

අම්මා හොස්පිට්ල් එකේ ඉන්න එකනෙ වැඩියෙන්ම හොඳ අසනීපයකට.මම බ්ලඩ් එකක් යැව්වා .රිපෝට්ස් ආවම බලල ම එන්නම් ගෙදර 

පාරමී අම්මාගෙන් සමුගත්තේ යළි වැතිර ගන්නට වූ අවශ්‍යතාවය හෙයිනි.සුනන්දා යළි පැමිණියේ සුප් කෝප්පයක් රැගෙනය.

සුනන්දා ටත් මං නිසා කරදරේ .....

පාරමී කෘතඥ හඬින් පැවසුවාය.

මොන කරදරයක් ද මැඩම්...අද මම නයිට් ...මං මැඩම් ව බලන්න සැරින් සැරේට එන්නම්....රෙස්ට් එකක් ගන්න දැන්...

සුනන්දා ගේ හඬ මව් ගුණය සපිරි එකකි.

සුනන්දා පොඩ්ඩක් ලැබ් එකට කෝල් කරනවද.....රිපෝට් එක රෙඩිද බලන්නකො

සුනන්දා වහ වහා දුරකථනය වෙත දිවගියේ රසායනාගාරයට ඇමතුමක් ලබා ගැනීමටය . වාර්තාව සූදානම් වී ඇති බැවින් ඇය පාරමිගෙන් සමුගෙන වහා රසායනාගාරය වෙත දිවගියාය.

අනුමාන කළ පරිදිම පරිදිම පාරමීට වැලඳී තිබුණේ ඩෙංගු රෝගයයි . අදාළ ප්‍රතිකාර සමගින් පාරමීට අවශ්‍ය වූයේ විවේකය හෙයින් සිය නිවසට නොයා නිල නිවසේම විවේක ගැනීමට ඒ තීරණය කළාය .අම්මා සහ මාලනී නිවස වසා දමා නිල නිවස වෙත ආවේ ඉන් පසු දින ම ය .එතරම් දැඩි අපහසු තාවයක් නොතිබුණද ගත වූ දින කිහිපයේ දැඩි ලෙස වෙහෙසට පත් වූ හෙයින් පාරමීට ඇඳ විවේකය ගැනීමට නිර්දේශ විය .

මේ අතර තුරේදී පාරමීගේ පෞද්ගලික චැනලින් සේවාව ද සති දෙකකට අත්හිටුවන ලදී .

                                                                      *** 

උඹ දැන් ආපහු අර ඩොක්ටර් ව හමුවෙන්න යන්නේ නැද්ද ....

නිසල් විශ්වගෙන් ඇසුවේ සුපුරුදු පරිදි සෙනසුරාදා හමු වූ විට ය .විශ්ව මිතුරා දෙස බැලුවේ එතරම් උද්යෝගිමත් බැල්මකින් නම් නොවේ .

මට කිසි දේකට හිතක් නෑෑ බං ...ඔක්කොම එපාවෙලා තියෙන්නේ .....ඩොක්ටර් උනත් දුන්නේ සාමාන්‍ය බෙහෙත් ටිකක් නේ .එයා වුණත් කිව්වේ councelling යන්න කියලා නේ ....

විශ්ව අත වූ බීර වීදුරුව පසෙක තබමින් පැවසුවේය . 

ඉතින් counselling වලටත් එයාවම හම්බෙන්නෙ යමංකො ...ඇයි දැක්කේ නැති එයාගේ prescription කාඩ් එක ...අම්මෝ බං එච්චර qualifications ....මේ විශ්ව කියන දේ අහලා පිස්සු නටන් නැතුව ආපහු appointment එකක් දාපන් ....

නිසල් පැවසූයේ තරමක් කේන්තියෙනි . මේ තරම් නොසැලකිලිමත් අන්දමින් ගතකරන සිය මිතුරා සම්බන්ධව තරමක් තදින් සිටිය යුතු බව නිසල් වටහා ගත්තේ පසුගිය දින වෛද්‍යවරිය හමුවීමට ගොස් පැමිණි පසු ඔහු දැක් වූ යම් තරමක නම්‍යශීලී ප්‍රතිචාරය හේතුවෙනි .

එහෙනම් ලබන සතියට දාපන් appointment එකක්...උඹෙන් බේරෙන්නත් බෑනෙ....

අවසානයේ විශ්ව පැවසූවේ නිසල් වෙතින් සමුගෙන ඒමට පෙරය.විශ්වගේ යටි සිතෙහි වෛද්‍ය පාරමී රත්මල්ගොඩ හමුවීමේ කැමැත්තක් තිබීයයිද ඔහුට විටෙක සිතුණි.ඇය සිය ගැටලු හමුවේ දැක්වූ පරිණත හැසිරීම සහ ඇහුම්කන් දීම තුළ ඒ විශ්වාසය ගොඩ නැගෙමින් පැවතුණි.

මාර වැඩේනෙ ලොක්කා....දොස්තර මැඩම් සති දෙකතුනකට චැනලින් අත් හිටවල නෙ. එතන උන් දන්නෙත් නෑ හේතුව....අපේම වෙලාව තමා...

පසුදා නිසල්ගේ හඬ ජංගමය ඔස්සේ ඇදී එනවිට විශ්වට දැනුණේ කුමක් හෝ අතහැරීගියාක් බඳු හැඟීමකි.

ඒකත් එහෙමද....මාර දොස්තරලා නෙ බං...ලෙඩ්ඩු අමාරුවේ ඉතින් ....

විශ්ව සිය නොපහන් බව යටපත් කරනොගනිමින් ම පැවසුවේය.

එහෙම කියන්න එපා බං...කවුද දන්නෙ....දොස්තරලා කියල මොකෝ වෙනත් ජීවි කොට්ටාසයක් නෙවේනෙ ඉතින් ...ඒත් මනුස්සයො..කවුද දන්නෙ ලෙඩක් දුකක් කරදරයක් ද කියල....අපි නෙක්ස්ට් වීක් ආයෙ බලමුකො....

නිසල් විශ්වගේ නොපහන් හඬ අසමින්ම පැවසීය.

නිසල්ගේ ඇමතුම විසන්ධි වූ පසු විශ්ව සිය ඇමතුම් දිනපොතේ පිටුවක් පෙරලා එහි වූ පාරමී රත්මල්ගොඩ ගේ ජංගම දුරකතන අංකය දෙස මොහොතක් බලා උන්නේ හදිසියේ ආ සිතුවිල්ලකිනි.එම අංකය අංකනය කල ඔහු ජංගමය සවනත තබා ගත්තේ හිතුවක්කාර සිතුවිල්ලකිනි.

හෙලෝ.....

එහා පසින් ජංගමය ට සම්බන්ධ වූයේ වියපත් ගැහැණු හඬකි. විශ්ව යලිත් දිනපොතෙහි අංකය පිරික්සා බැලීය.එයමය.

හෙලෝ....මට ඩොක්ටර් පාරමී රත්මල්ගොඩ ට කතාකරන්නයි ඕන වුනේ...මේ ඩොක්ටර් ගේ නම්බර් එකනේද.....

විශ්ව මඳක් හඬ වෙනස්කොටගනිමින් ඇසීය.

"ඔව් ..මේ දුවගෙ නම්බර් එක තමයි ....ඒත් එයාට ඩෙංගු හැදිලා ටිකක් අසනීපෙන්....මම දුව නැගිට්ටම කියන්නම්...මේ මහත්මයා කවුද.....?"

ඉතා කාරුණිකව ඇමතුමේ ඒ රැඳී උන්නේ වෛද්‍යවරියගේ මව බව විශ්ව ට වැටහුණේ එවිටය.

"ආ...නෑ නෑ ..මම ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්න කෙනෙක්...චැනලින් එකෙන් ඩොක්ටර් සති දෙකක් එන්නෙ නෑ කියු නිසයි ගත්තෙ . බොහොම ස්තුතියි ....මම තියන්නම්....

විශ්ව වහා ජංගමය විසන්ධි කලේය.

නිසල් හා එක්ව දොස් නැගුවද ඇය රෝගී බව අසා සිතට නැගුණේ දුකක් බඳු හැඟීමක් දැයි විශ්ව මොහොතක ට සිතුවේය. පාරමී රත්මල්ගොඩ යනු සිය මනෝ වෛද්‍ය වරිය මිස ඉන් ඔබ්බට විශේෂයක් දැන්වූ අයෙක් නොවේ.

එහෙත් ඇය ගේ මුහුණුවර තමාට කොහේදී හෝ හමුව ඇතැයි විශ්ව දින කිහිපයක්ම කල්පනා කරමින් සිතුවේය.නමුත් ඔහුට ඇය පෙර දිනක දැහැමිගේ නිවසේදී හමුවූ බවක් සිහියට නොආවේය.

ජීවිතය විවිධාකාර පුද්ගලයන් අතරමගදී මුණ ගස්සන්නේ හේතු ඇතිව බව බොහෝ විට අප නොදනිමු .නමුත් මේ සියලුම හමුවීම් සහ වෙන්වීම් වල දෛවයේ කොහේ හෝ ලියැවුණු කතන්දරයක් ඇත . සොබාදහමේ නීති රීතීන් අභිබවා අප යන්නට තැත් දරන මොහොතේදී එම නීති රීතීන් අපිට එරෙහිව නැගී සිටී . 

තමා පසුවෙන තදබල ආතතිමය තත්වය යළිදු පාරමී රත්මල්ගොඩ වෛද්‍යවරිය හමුවී සත්‍ය වශයෙන් ප්‍රකාශ කිරීමට විශ්ව තීරණය කොට ගත්තේ බොහෝ දුරට සිතා බලාය .

ජීවිතේ අවුරුදු බොහෝ ගණනක් තිස්සේ තමා වෙත නොවූ මෙම නම්‍යශීලී බව මේ අන්දමින් ඇතිවීම විටෙක ඔහුට ද සිතා ගත නොහැකි තරම් පුදුමාකාර හැඟීමක් විය .

********************************************************************************************* 

හමුවෙමු යලිත් 

මම 

විසිරි සිහින 

1 comment:

  1. නෝනට යන්තං අපිව මතක් වෙලා තියෙන්නේ...

    ReplyDelete