Saturday, December 3, 2016

15.පතොක් (කෙටිකතා )




සමන්තා ඇස් අගට එන හීන් කඳුල මහපටැඟිල්ලයි දබරැඟිල්ලයි එකට අරන් ඇස් කෙවෙණි වලට තියල තද කරමින් වලකා ගත්තා.

හිත ඇතුළෙන් පපුවෙ කටු අනිනවා වගේ දැනෙන කීරි ගැහෙන වේදනාව...කඳුලක් වෙලා ඇහෙන එලියට පනිනවා....හුස්මක් හෙලලා හිත සැහැල්ලු කරගන්න තැත් කලත්...විටින් විට හිතට එන්නෙ දුක...


පටු ආකල්ප.....ඕව පුහු කතා..සමන්තාගෙ යටි හිත විප්ලව කරනවා.බෝඩ් ලෑලි අරන්...හන්දියක් ගානෙ ඉන්න වෘත්තීය සමිති කාරයො වගේ..සිතුවිලි බෙරිහන් දෙනවා...ඒත් එක වචනයක් වත් එලියට එන්නෙ නෑ.....කට අගුලු වැටිලා..


වෙනුවට ඇහෙන් රූරා හැලෙන කඳුලු කැට උඩු තොලේ මායිමේ රැඳෙනවා...කටට ලුණු රසේකුත් එක්ක...

මිදුලෙ කොණක ගල් බැම්මෙ වාඩිවෙලා ගෙවෙන කී වෙනි පැයද මේ....සමන්තාට නිච්චි නෑ.මඩ තැවරුණ උදලු කෙටිය පැත්තක..බිම පෙරළිල.සමන්තාගෙ පටි සෙරෙප්පු වලත් මඩ දූවිලි.අඩි දහයක් දොලහක් එහායින් තියන කරාමෙ ගාවට ගිහින් කකුල් හෝදන් එන්නවත් ඇයට ඕනකමක් නෑ...අඩියක් උස්සලා අඩියක් තියද්දි පතුළෙ වගේම හිතෙත් කටු ඇණෙනවා වගේ ඈට දැනෙන්න ගත්තා....


පතොක්....ඉස්සර කතරගම යද්දි...ශුෂ්ක කලාපීය පරිසරයට සේන්දු වෙනකොටම ඇහැට පේන කිසිම සුන්දරත්වයක් නැති බම්බු වගෙ ඉහලට ගිය පතොක් ගස්....සමන්තාගෙ මතකයට ආවා.


ඒත් ..අවුරුද්දකට පාරක් කතරගම පාරෙ යද්දි....සමහරක් කාලවල මහ විසාල පතොක් ගස් වල පිපිල තිබුණ කහ පාට ලොකු මල් දැක්කම ගහේ කර්කෂ බව ටිකක් හරි අඩුවෙලාද කියලත් ඈට හිතුණා...බස් එකෙන් බැහැලා පතොක් මල් වල සිරි නරඹන්න ඉඩක් නොවුණ නිසාම ආශාව හිත පතුලෙම සඟව ගත්තා...


ඉස්කෝලෙ විද්යාව පාඩමේ ශාක වල අනුවර්තනයන් ගැන කතා වෙනකොට....ආපහු පතොක් වල නම එලියට ආවා....

මාංශල කඳ ....ක්ෂීණ වූ පත්..කොළ පැහැ කඳ....උත්ස්වේදනය අවම කිරීම...ජලය ගබඩා කර තැබීම.....


කාලය ගලා යද්දි...සමන්තා විවාහ වෙලා නගරයේ අලුත් නිවහනට ආවා...

ස්වභාවයෙන් හිත පතුළෙ යට පත් වුණ...පතොක් වල අනුරුව ආපහු උඩට ආවෙ...අල්ලපු ගෙදර ටානියා ගෙ මල් වගාව දකින්න ගිය අහඹු ගමනෙදි...

සුවඳ හමන මල්...පාට පාට මල් යායක්.....විවිධ වර්ණ කොල...භූමිදර්ශන....පොකුණු...සෑහෙන්න මුදල් වියදම් කරලා හදපු උද්යානය....නඩත්තුවටත්..සෑහෙන්නම වියදම් ඇති...


උයනෙ කෙලවරක...තාප්පෙට සවි කල...අමුතු රාක්කයක...තමයි...ඉස් ඉස්සෙල්ලම අපූරු පතොක් ගස් ටික තිබුණෙ....හම්බන්තොට පතොක්..විතරක් දැකපු සමන්තාට මේ අපූර්ව හැඩතල ඇති කුඩා ප්රාණීන් වගෙ වෙච්ච පතොක් බට්ටො ටික දැක්කම අප්රමාණ ආසාවක් හිතට ආවා....සමහරක් අය..කේතු ආකාර...සමහරු බෝල බෝල වගෙ...තවත් අය...ඇඹරිලා...විවිධ පාට...කෙඳි කෙඳි....සමන්තා ආසාවෙන් එකක් දෙකක් ඇල්ලුවා...


"බී කෙයාෆුල් ඩාලිං...දේ සෝ කෝල්ඩ් ඈස් පොයිසනස්....ඊවන් අයෑම් නොට් ටචින් දෙම්..." ටානියා අමුතු උරුවකින් කියාදුන් වචන සමන්තාව පස්සට තල්ලු කලා...


වස...විස....කටු....තියුණු....මේ පොඩි බට්ටන්ගෙ....සමන්තා ගෙ ඇහැ බොහෝ ලොබ බැන්දා මේ බට්ටන්ට...විසයි කියන එක නම් පිළිගන්න ඈට අමාරු තරම්

කාලය ගෙවුණා....සමන්තාට ටානියාගෙන් ලැබුණ එකම එක බෝල පතොක් පැලේ සුරැකිව හැදුණා...ආසාව කියන්නෙ නොනවතින හැඟීමක්...එකකින් නොසෑහෙන...එකකට පස්සෙ තවෙකක්...ඊලඟට තව එකක්...කොයි දේත් ඔහොමයි...අහම්බෙන් ටවුන් ගිය වෙලාවක පැළ තවානක දි ඇහැ ගැටුණ විවිධ වර්ගයේ පතොක් පැටවුන් සමන්තාගෙ ගමන් මල්ලෙ හැංගිලා ගෙදරට ආවා....


සම්මතය....සම්ප්රදාය...විශ්වාස...අවි අමෝරා ගෙන හිස ඔසවන්න පටන් ගත්තා හරිම වේගයෙන්....පලමු වෙඩි ප්රහාරය නැන්දම්මාගෙන්....

" එලෝලුවක් පලතුරක් හිටෝ ගත්ත නම් ඒකත් එකක්...ගේ ඉස්සරහම කටු ගස්...එක්කො අම්ම අප්ප කියාදෙන්න ඕන හොඳ නරක....නැත්නම් මහ ලොකුවට පාස් කල විබාග වල ඕවා තියෙන්න ඕන..."


සමන්තා කල්පනා කලෙ....පතොක් පැලේකයි උගත් පාඩම් වලයි සම්බන්දෙ....දෙමාපියන්ට බනිද්දි කොයි දූගෙද හිත නොරිදෙන්නෙ..ඒත් ඔය ඔක්කොටම වඩා සමන්තාගෙ හිතේ පතුලෙ තියන ලෝබකම වැඩි වුනා....නෑහුණ ගානට ඉන්නවා හැර වෙන විකල්පයකුත් නෑ....හැම ප්රශ්නෙකටම වගෙ....


" නල්ල මලේ ගෑනියෙක් නෙ හිතට එක එක ඒවා දාන්නෙ....හරියට මිනිහෙක් නෑ...එක එක කාලෙට එක එකා...ඔය පවුල් හැඳි ගෑවිල ගියෙත් ඔය කටුගස් ගේ පුරා හැදෙන කොට..මම ගියෙ එකම දවසයි...ඒකත් අර ගෙදර උදව්වට එන්න කියල කිව්වම අහක දාන්න බැරි කමට.....මිදුල අතුගාද්දි මගෙ අතෙත් කට්ටක් ඇණුනා......"

කතාවට අවශ් කෘෂි රසායන පෝර ටික...නොඅඩුව ලැබුණෙ...එහා වත්තෙ ඉන්න..නෝනැන්ද ගෙන්.....එකම එක දවසක් කිව්වට...සතියට දවස් තුනක්ම නෝනැන්දා ටානියාට උදව්වට තාමත් යන එන බව සමන්තා නොදැක්කා වගෙ කට වහගත්තා....


කාලය එක්ක ගෙදර ලෙඩක් දුකක් හැදුණත්....වග කීම අර පතොක් පැටවුන්ට....

සමන්තායි මහත්තයායි...ප්ලෑන් කරන් උන්නෙ අවුරුදු තුනක් විතර ගියාම දරුවෙක් හදන්න.....අන්තිමට නැන්දම්මා ලේලිට දරුපල නෑ කියල.... වගකීම්ත් පැවරුවෙ පතොක් පැලටිකට....


ගෙදර කැස්සක් කිවිසුමක් ගියත් වාග් ප්රහාර එල්ල වෙන්නෙ...මිදුලෙ කොණක අහිංසකව බලන් උන්න පතොක් බට්ටන්ට....වගේ වගක් නැතුව හෙමි හෙමින් පුංචි බට්ටො ටික අහිංසකව බලන් උන්නා....


සමන්තාගෙ මහත්තයා....ක්රිශාන්තට මේ කිසීම දේක වගක් විභාගයක් ඔලුවට ආවේ නෑ....උදේ වැඩට යාමත්....ගෙදර ආවම තියන ඔෆිස් වැඩ කන්දරාවත් එක්ක....ක්රිශාන්ත අමුතුම ජීවියෙක් වෙලා උන්නෙ.....ඒත්...හැමදාම ගෙට ගොඩ වෙද්දිම ඇහෙන ආඩාපාලි එක්ක...ක්රිශාන්ත ත් පිටසකවල හැඟීම අතෑරලා ඔලුව උස්සල බැලුව...


" මොකක්ද සමන්තා මේ හැමදාම අඬෝවැඩියාව....අම්මත් වැරදි නෑ....කිසිම වැඩකට නැති ගහක් ඕක...මම ෆෙන්ෂුයි පොතකත් දැක්කා....කටුගස් ගෙවල් ඉස්සරහට හොඳ නෑලු.....ඉස්සරහට තියා ගෙදරකටවත් හොඳම නෑලු....."

සමන්තා එක පසෙක තනිවුණා....අවි අමෝරාගෙන ආව ඔක්කොම තව පසක....මැද පතොක්....


අන්තිම දවස එදා.....කාලයක් තිස්සෙ කැස්සකින් පීඩා වින්ද සමන්තා...ලේ පරික්ෂණයක් කරන්නට ගිහින් වාර්තාව ඩොක්ටර්ට පෙන්නපු දවස....ක්රිශාන්ත එක්කන් ගියෙ අපරාදෙ......


" ඔයගෙ පෙනහලු වල පොඩි ආසාදනයක්...හේතුවක් කියන්න අමාරුයි....මේවා ගෙවත්තෙ තියන සමහර පැලවල පරාග වාතයට එක්කාසු වෙලා ස්වසනයට එක්වුනත් වෙන්න පුලුවන්......."


ගෙදර එද්දිම.....ක්රිශාන්ත පතොක් පැලටික උසාවි කූඩුවට නග්ගල ඒක පාර්ශ්වික නඩු තීන්දුවත් දීල හමාරයි......

පතොක් පැලවල මල් පිපෙන්න තව කල් යාවි........ඒවයෙ පරාග නෑ.......සමන්තාට කියන්නවත් ලැබුන්නෑ.......

අන්තිමෙදි.....ඒක එහෙම වුණා.....සමන්තා පිස්සියෙක් වගෙ ඇඳෙන් නැගිට්ටා....උදැල්ලත් අරන් වත්තෙ කොණක වලක් කොටලකොටල......පැල ටික ගන්න යද්දි තමයි දැක්කෙ.....එක පැලේක බුහුටි පොහොට්ටුවක් .......සමන්තාගෙ ඇස් වල කඳුලු ....හිත හයිය කරන් පැලටික වලට විසික් කරද්දි....පොහොට්ටු පැලේ...අතේ එල්ලුනා......හරියට..." අනේ මම ගැබ්බරයි" කියනව වගේ....


*******************************

තීරණ ගන්න කලබල වැඩි උනාද.......සමන්තා හිතුවා.....

ඒත් මොනවා කරන්න්ද  වෙන......හැමදේම රැකගෙන සමබරව ගෙනියන වෙන විකල්ප ක්රමයක් නැති නිසා....මේ තීරණේ ගන්න වුනෙ....ජීවිතේ හැම තීරණයක්ම මේ පතොක් පැලේකින් වෙනස් වෙන හැටි......

සමන්තා බර හුස්මක් හෙලුවා.......ගවුම් සාක්කුවෙ ජංගමය හීන් හඬින් හඬ දෙද්දි......සමන්තා අතේ ගෑවුණ මඩ වැලි පිහදාගෙනම ඒක අතට ගත්තා .......



" ....අක්කා .....මොකෝ දරු සුරතල්ද.......මේ වෙලාවෙ මං දන්නවනෙ..........."  එහා  පැත්තෙන්  සීනුවක් වගේ..හඬ  තලන අචලාගෙ හඬත් එක්ක සමන්තාට  ඉකි බිඳුනා......



මොකෝ ඒයි......අවුලක්ද.....කියන්නකො...අද ඔයා ඔෆිස් ආවෙ නැත්තෙ මොකද බලන්නයි මම මේ ගත්තේ ..අසනීපයක් වත් ......



සමන්තා එක දිගටම ඉකි බින්දා ....අමාරුවෙන් හඬ අවදි කරන් ....සිද්ධ වුණ දේ කියද්දි අචලා හීන් සැරෙන් හ්ම් හ්ම් ගගා අහන් උන්නා ......



"ඒකත් එහෙමද එහෙනම් අන්තිමට .......මට කියන්න එක දෙයයි තියෙන්නෙ....ඒත් දැන් ඕක වලදාලනෙ....නැත්නම් ටික මට ගෙනල්ල දෙන්න තිබ්බ ඔයාට........මම ඔය කරදර ...හිරිහැර අපවාද වලට බොහොම කැමැත්තෙන් මූණ දෙනවා......." අචලා ගෙ හඬ බොහෝම සැහැල්ලුවෙන් ඇදිලා ආවා....



මම එයාලව ගොඩ ගන්නව....සමන්තා යටි හිතෙන් කියාගෙනම නැගිට්ටා....අචලා මගෙ බට්ටො ටික බලාගනීවි ...මේ අසනීප හොඳ වුණාම...මම ඔෆිස් එකේ වෙනම තැනක මෙයාලව තියාගන්නව....කරදර ආවත් ඔෆිස් එකටනෙ.....එතකොට එදාට බලාගන්නව.....





වෙලාවට වලදාල තද නොකලෙ...හෙමින් හෙමින් අතැඟිලි වලින් පස් ටික හාරමින් සමන්තා හිතුවා...පසට යටින් ඔලුව ඔසවන් බලන් උන්න...පොහොට්ටු පැලේ ආපහු සමන්තාගෙ අතේ එල්ලුන.....හානියක් නොවුණ..පැටව් එක්ක...වැලි නෑවිල උන්න පතොක් පැලේ දිහා සමන්තා දුකෙන් වගේම සතුටින් බලන් උන්නා....





ජීවිතේ ඔහොමයි...අපි යං ගෙදර සමන්තා පොහොට්ටු පැලේට තට්ටුවක් දාල


Thursday, December 1, 2016

14. ඔබේ දරුවාට නිවැරදි පුර්වාදර්ශය වන්න ( සෞඛ්‍ය)

 inews.lk වෙබ් පිටුවට ලියූ ලිපි පෙලෙන්



මේ ලිපි පෙළ මගින් ඔබට දැනුවත් කිරීමක් ලබාදීමට අප උත්සාහ  කරනවා. නමුත් නැවතත් අවධාරණය කරනු ලබන්නේ කිසිම දරුවකුගේ ගැටළුවක් තවත් දරුවෙකුගේ ගැටළු සමග සංසන්දනය නොකරන ලෙසයි.
ඔබ විසින් හඳුනා ගන්නා ගැටළු සඳහා විශේෂිත පළපුරුද්දක් ඇති වෛද්‍ය කාර්ය මණ්ඩලයක් වෙතින් උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්නා ලෙස නැවතත් සිහිපත් කර සිටිනවා.


මේ මලිති  ගේ කතාවයි….

මලිති  කොළඹ ප්‍රදාන බාලිකා පාසලක තුන්වන ශ්‍රේණියේ ඉගනුම ලබන හරි අපූරු දැරියක් . ඇය පෙනුමෙන් අවුරුදු අටකට වඩා වැඩි පෙනුමක් ගත්තත් ඉතාම සිත් ඇදගන්නා සුළු සුරතල් බවක් නිතරම ඇය වෙතින් දිස් වුනා.

මලිති මා වෙත යොමු වුනේ අහම්බෙන් . මලිතිගේ ඤාති සොයුරියක් වරක් මා වෙතින් ප්‍රතිකාර ලබාගන්නා ලදුව බොහෝ සේ ගැටළු වලින් මිදී තිබුන හෙයිනුයි ඇයව මා වෙත ඔවුන් මගින් යොමු වී තිබුනේ. මලිතිගේ මව මා වෙත එම දරුවා රැගෙන එමේදීත් පැමිණ සිටියා. මලිති සම්බන්ධ ගැටළු යම් ප්‍රමාණයකට වෙනස් අන්දමේ ඒවා වූ නිසා මලිති මා වෙත රැගෙන ඒමට පෙර දුරකතනයෙන් ඇය හා සම්බන්ධ ගැටළු දීර්ඝ වශයෙන් විස්තර කර දැනුවත් කරනු ලැබුවා.

මෙවැනි දරුවකු සම්බන්ධ ප්‍රතිකාර පටන් ගැනීමේදී ඇය හෝ ඔහු සම්බන්ධව සියලු විස්තර දැනගෙන සිටීම ඉතා වැදගත් වෙනවා.

මලිති ගේ ගැටළු අතරින් අයගේ මව ප්‍රදාන ලෙසම ගෙන හැර පෑවේ ඇයගේ චර්යාවේ ඇති අසාමාන්‍යතාවයයි. මේ සමගම ඉගනීමට ඇය දක්වන මැලිකම ද ලොකු ගැටළුවක් වූවා. මලිතිගේ වැඩිමහල් සොයුරිය ඉතා දක්ෂ ලෙස පාඩම් වැඩ කටයුතු කරගෙන යද්දී ඉගැනුම් කටයුතු සඳහා මලිති දක්වන මේ මැලිකම නිවැසියන්ට මෙන්ම ගුරුවරුන් හටත් ඉතා ලොකු ගැටළුවක් වුවා.

ඇයගේ  අසාමාන්‍ය  චර්යා  අතර නිතර බොරු කීම , සුළු සුළු සොරකම් කිරීම,නොකඩවා අනුන් හට බාධා කිරීම, අසාමාන්‍ය ලෙස තැනට උචිත නොවන අන්දමින් කතා කිරීම ආදී බොහෝ කරුණු තිබුනා. මේ ගැටළු සම්බන්ධව මලිතිගේ මව ගේ දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය  මා වෙත රැගෙන එන ලෙස මා ඔවුන්ට පැවසුවා.


ඉතා මිත්‍රශීලි දැරියක් වූ මලිති සායනයට පැමිණ මා අසල අසුන් ගත්තේ මඳ කුලෑටි කමකින් යුතුවයි. මා උපදෙස් දුන් අන්දමට මලිති ගේ මව ඇයව රඳවා පිටතට ගියා. මා මලිතිගේ සාමාන්‍ය තොරතුරු සම්බන්ධව,

එනම් පාසලේ සහ පවුලේ තොරතුරු සම්බන්ධව විමසමින් කතාවට ප්‍රවිෂ්ට වුවත් ඇයගේ  පිළිතුරුවල හැමවිටම තිබුනේ අසංවිධානාත්මක බවක්. අසන පැනයට කෙටි පිළිතුරක් දී ඉන් ඔබ්බට ඇයට අවශ්‍ය වූ හාත්පසින්ම වෙනස් දෙයකට ඇය සංවාදය හරවා ගත්තා . දිගින් දිගටම කතාවට රුචි වුවත් ඒ මුළු කතාවම එකින් එකට නොගැලපෙන දේවල් ගොන්නක් පමණක් වුවා.

මලිතිගේ මව මා හට දැක්වූ ගැටළු සම්බන්ධව මා ඇය  හා කතා කලේ ඉන් පසුවයි. මේ වන විට සාමාන්‍ය  කතාබහ තුලින් මලිති ගේ හිත තුල මා ගැන විශ්වාසයක් ගොඩනැගී තිබුනා. ඇය  පවසන දේ නැවත මවට නොකියන ලෙස ඇය පුන පුනාම පවසා උන්නා. ඇයගේ  ඒ විශ්වාසය රැකෙන අන්දමින් මා ඉතා පරෙස්සමින් කටයුතු කල යුතුව තිබුනා.
මලිති වැනි දරුවන් අද සමාජයේ ඉතා බහුලයි. වැඩිහිටියන් වන ඔබ හා මා ඇතුළු සියල්ලන්ම නොදැනුවත් කමින් කරන  අනර්ථකාරී ක්‍රියාවන් ඇතැම් දරුවන්ට කෙතක් බලපානවාද යන්නට මලිති හොඳම නිදසුනක්,

මලිතිගේ දෙමවුපියන් කොළඹ පෞද්ගලික ආයතන දෙකක විධායක ශ්‍රේණියේ නිලධාරීන්. අතිශය කාර්ය බහුල වුවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවු න් තම දරුවන් කොළඹට ආසන්නයේ වූ මිත්තනියගේ නිවසේ සවස් වන තුරුම නවතා සවස වැඩ අවසන්ව යන විට කැඳවා ගෙන යාමට පුරුදු වී තිබුනා.

මලිතිගේ මිත්තනිය මුළු කාලය පුරාම රුපවාහිනිය නැරඹීමට පුරදු ව සිටියා. මලිතිගෙන් මා ඇය පාසල් ගොස් මිත්තනියගේ නිවසට පැමිණි පසු කරන දේ පවසන්නයි ඉල්ලා සිටිය විට,  එකකට එකක් පසු රුපවාහිනී වැඩසටහන් ගැන කියවාගෙන යන්නට උනා.

මේ ලෙසට මලිති කියවගෙන යද්දී මා හට වැටහුනේ ඇය  සියලු පාඩම් වැඩ අතපසු කරමින් රුපවාහිනිය ඉදිරියට වී සිටින බව දෙමවුපියන්ට පවා ඇයත් මිත්තනියත්  වසන් කරන බවය්. මලිති මෙවන් ඇබ්බැහි  වීමක්   සිදුවීමට දරුවගේම දුර්වලකම බලපානවා යැයි සිතන්නට බැහැ. මෙයට වැඩිහිටියන්ද වග කිව යුතු වෙනවා

නිතර නිතර පාසල් වැඩ සහ ගෙන යායුතු පොත පත් අමතක වෙන බව මලිති ඉන්පසු කියන්නට වුනා. ඇයගේ  මවද කලින් කියාසිටියේ ඇය නිතරම පොත් නැති කරගන්නා අතර ඒ ගැන විමසු විට බොරු කීමට පෙළඹෙන බවයි. තුන් වන ශ්‍රේණියේ දරුවකු සතුවිය යුතු බුහුටි බව හා පිළිවෙල අයගේ පොත්පත් වල තිබුනේ නැහැ. එමෙන්ම පාසලේදීත් නිවසේදිත් බොරු කීමට සහ සුළු සුළු සොරකම් කිරීමටද ඇය පෙළඹී සිටියා.

මා හා මලිතිගේ මව කලින් කතා කල විට මා හට දැන්වූ කරුණු අනුව ඇයව ළමා මනෝ වෛද්‍ය තුමියක් වෙතත් මා වෙත ඒමට පෙර යොමු කරනු ලදුව සිටියේ. එතුමියගේත් අදහස වුයේ බෙහෙත් ප්‍රතිකාර ගැනීමට පෙර මලිති චර්යා  හැඩ  ගැස්විමකට ලක් කල යුතු බවයි. වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මාලාවක් ඇය වෙත නිර්මාණය කලේ ඉන් අනතුරුවයි.

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර යටතේ මලිතිගේ චර්යා සංවිධානය (behavioural Modification) කිරීම සඳහා සරල යෝජනා මාලාවක් මා විසින් ඇය වෙත ඉදිරිපත් කලා.
මලිති වැනි දරුවන් හා ක්‍රියාකිරීමේදී ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ නොවැටෙන අන්දමට කටයුතු කල යුතුයි.

මලිති සම්බන්ධයෙන් මා ගත මුල් පියවර ඇයගේ  අපිළිවෙල තත්වය ට වෙනසක් එක කිරීමේ දෛනික කටයුතු පෙළගැස්මක් කිරීමයි. (Structure the day) මෙය මුලික ම ලෙස මලිති ගේ අදහස් වලට ගරු කරමින් සිදු කල යුතුව තිබුනා දවසේ ක්‍රියාකාරිත්වයන් නිසි කාලසටහනකට අනුව පෙළ ගස්විමක් කල යුතු වූ අතර එහිදී දරුවා නොසැලකිලිමත්ව ඉටු කල  ඇඳුම් පොත්පත් තැන තැන දැමීම අමතක වීම හා නැතිවීම ආදිය අවම කරගත හැකි බව ඒත්තු ගන්වනු ලැබුවා.

මලිතිට රූපවාහිනියෙන් මිදීම නම් ඒ තරම් කැමැත්තක් දක්වන දෙයක් වුයේ නැහැ. ඉන් මා තේරුම් ගත්තේ ඇය මේ රුපවාහිනියට කොතරම් නම් ඇබ්බැහි වී ඇත්ද යන්නයි. නමුත් වක්‍ර මාර්ගයෙන් කරන ලද පැහැදිලි කිරීම් මාලාවකට පසු මලිති මුලින්ම ටෙලි නාට්‍ය කිහිපයක් නොබලා ඒ කාලය තුල පාඩම් වැඩ වලට යෙදීමට හා අනෙකුත් කටයුතු වලට එක වීමට කැමති වුනා.

එම කාලය යොදාගත හැකි පාඩම් වැඩ සම්බන්ධව තීරණයක් ගැනීමට ඇයටම ඉඩ සලසා දෙනු ලැබුවා. මින් අදහස කරනුයේ දරුවා කියන කරන හැමදේම ඒ අයුරින් පිළිගතයුතු බව නොවන බව ඔබ වටහා ගත යුතුය.

දරුවාගේ නිවැරදි අදහස් වලට ඉඩදීමෙන් ඔහු හෝ ඇය ප්‍රතිකාර මාලාවට එක වීමට නිරායාසයෙන්ම කැමති වන අතර ඔවුන්ගේ අදහස් වලට වැඩිහිටියන් වන අප ගරු කරන සෙයක් වැටහීම ඔවුන් ගේ ආත්ම  විශ්වාසය වැඩි කරදීමට හේතු වේ. මලිති ට පාසල් වැඩ කටයුතු කිරීම සඳහා නිස්කලංක හා ඇයගේ  අවශ්‍යතාවයනට ගැලපෙන පරිසරයක් නිර්මාණය කර දෙන්නට මා යෝජනා කළා.

මන්ද මා තේරුම් ගත් අන්දමට මලිතිට ගෝචර වන පාඩම් පරිසරයක් එහි නැතිවීම මේ ඇබ්බැහි වීම් වලට හේතුවක් වුනා. දිනපතා නින්දට පෙර පොත මේසය සහ පොත බෑගය සැකසීම තුලින් අමතක වීම් හා අතපසු වීම් අවම කරගන්නා සැටි තේරුම් කරදෙනු ලැබුවා .

මලිති සම්බන්ධව තරු පුවරුවක් (Star Chart)නිර්මාණය කරන්නට ද මා ඇයගේ මවට කියාදුන්නා. මෙය අයගේ පොත් මේසය අසල හොඳින් පෙනෙන සේ තැබිය යුතු වූ අතර ඇයගේ හැම සාර්ථක පියවරක්ම එක තරුවක් ලබාදීමට යෝජනා කලා. ඉලක්කය සපුරා ලූ පසු යට යම් ත්‍යාගයක් පිරිනැමීම වඩා උචිත වුනා. (Token Economy) මෙය අල්ලසක් යයි වරදවා තේරුම් ගත යුතු නොවේ.

මන්ද…මේ ක්‍රමවේදය දරුවාගේ යහපත් ක්‍රියා ඉස්මතු කරවීමක් විනා පොරොන්දු දීමක් නොවන බැවිනි.
මලිතිගේ චර්යා රටාවන් ගේ නොගැලපීම් බොහොමයකට උත්තේජනයන් වුයේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරිත්වය බව මලිතිගේ මව ද වටහා ගත්තා.

හොඳ සහ නරක නිසි ලෙස අවබෝධ කරගත නොහැකි එමෙන්ම කාලය හා ඉගැනීම කළමනාකරණය නිසි ලෙස කරගත නොහැකි වයසක සිටින දරුවන්ට වැඩිහිටියන්ගේ නිවැරදි  මග පෙන්වීම ඉතා අවශ්‍යය්. වැඩිහිටියන් ලෙස සීමාවක් නොමැතිව රුපවාහිනියට ටෙලි නාට්‍ය ආදිය නැරඹීමට හුරු වීම දරුවන්ටද ලබා දෙන්නේ අනිසි උත්තේජනයක්.

මලිතිගේ මෙවන් ගැටලුවක්ද ඉස්මතු වෙමින් තිබුනා. වයස අවුරුදු අටක් වුවත් ඇය ගේ වැඩිහිටි පිරිමි පාර්ශවයන් කෙරෙහි අනවශ්‍යලෙස ආකර්ෂණය වීමේ නැඹුරුවක්ද දකින්නට තිබුනා. මෙවන් වයසකදී මෙවැනි දේ නිසා ඇති වීමට හැකි  භයානක ප්‍රතිපල ගැන අමුතුවෙන් ලිවිය යුතු නැහැ.

දරුවන් සම්බන්ධ චර්යාත්මක ගැටළු වලදී මුළු පවුලම එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අන්‍යොන්‍ය  අවබෝධය ඇති ටන ගැටළු බොහොමයක් නිරාකරණය කරගත හැකියි.

මේ සියලු යෝජනා මාලාවන් හා සමග මලිති වෙත සරල ලෙසින් අවවාදාත්මක උපදෙස් කිහිපයක් දෙනු ලැබුවේ. බොරු කීම ආදියේ අනිටු විපාක පැහැදිලි කරදෙමින්. සති දෙකකට පසු දුරකථන ඇමතුමක් දෙමින් මලිති ගේ මව සතුටු හැඟීමකින් යුතුව පවසා උන්නේ වෙනදාට වඩා යම් ප්‍රමාණයක හැසිරීමේ යහපත් බවක් හා වෙනසක් ඇය වෙතින් දිස්වෙන බවයි. මෙවන් දරුවන් ගේ චර්යාවන් සහ ගති ලක්ෂණ වෙනස් කිරීම එතරම් පහසු වෙන්නේ නැහැ. නමුත් ඉවසීමෙන් සහ පිළිවෙලකට අනුව ක්‍රියා කලොත් දරුවන්ගේ අනිසි ලක්ෂණ වෙනස් කල හැකියි.

ඔබ ඔබේ දරුවාට නිවැරදි පුර්වාදර්ශය වන්න.එතැනින් පටන් ගත් කල….. කල නොහැක්කක් නොමැති බව ඔබටම වැටහෙනු ඇත .


(නම් ගම් සියල්ල සැබෑ පුද්ගල නාම නොවන බව කරුණාවෙන් සලකන්න)

13.නුඹම හිනැහෙන ප්‍රේමයක් (කවි)





බලා උන් සඳ දෙනෙත් නොපියා
නෙතින් පිබිදුණ හීනයක්
අතින් වත් නුඹ ඇල්ලුවේ නෑ
කියා ගතු කී ප්‍රේමයක්....



සිතින් ලොබ බැඳි සෙනෙහෙ සුසුමක
අතරමං වූ ප්‍රේමයක්
කඳුලු තිර පට වැසුණ දෑසක
සෙමින් ඇතිරූ හීනයක්...


නුඹේ ලය මත පෙමින් දැවටෙන
එකම මොහොතක හීනයක්
ඇසැර බැලු සඳ කිසිත් නොම වන
නුඹම හිනැහෙන ප්‍රේමයක්



2016 / 12 / 02