Monday, March 6, 2017

40. ඇය

ඇය......





විපරීත වූ කාලයකට පසු ඇහැරුණාය..

ගතවූ කාලය අයිති අතීතයටද අනාගතයටද එසේත් නැත්නම් තවමත් මේ වර්තමානයමදැයි...විපිළිසර මනසින් යුතුව නොසිතා සිතුවාය...

කාලය බොහෝ දුර ගොසිනි...සයනයට කෙළින්ම ඇති කන්නාඩියට නොඑබීම ...හිසේ මතුවූ සුදු පැහැති ගස් දෙක තුනක් දුටුවාය...
ආපහු ඇවිත්....තමන්ටම කියා ගත් ඈ හීන් සුසුමක් හෙළුවාය...එහෙත්...කරදර කාරී හැඟීමක් විනා...ශෝකයක් හෝ පසුතැවීමක් සුසුමට අයත් වූයේම නැත...

පෙර දා විටින් විට...මාරු කරමින් පාට ගැල්වූ කෙහෙ රොද...ඊලඟට පාට ගන්වන්නේ කුමකින්දැයි අද ඈ ට සිතන්නට අවැසි වූයේද නැත...එය එසේ ම තිබෙන්නට හරිනවාද...පාට ගල්වනවාද...ඔන්න ඔහෙ ඕන එකක්...ඈ නොසිතා සිතුවාය....

රාත්‍රිය ...නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය අන්දම ඈ යළිදු සිහිකලාය....

කිසිවක්ම නොවන...කිසිවක්ම නොදැනෙන රැයක්...ගෙවී පහන් වන විට...මනසේ පත් වූ එම විපිරියාසය කුමක්දැයි ඈ නොසිතාම සිතුවාය.ඇඳුම්වැටට අත පොවා ඇද ගත් සුදු පැහති තුවාය ද රැගෙන අලස ගමනින් නාන කාමරයට වැදුන ඇය...කරාමය විවර කර ගලා යන දිය දහර දෙස බලා උන්නාය...

එකකට පසුව එකක්...ආපසු එකක්....ජල බිඳිති ගලන අන්දම...මුලින් ආ ජලයද පසුව ආ ජලයද එකක්ම වන අයුරු..යළිදු වෙන්කල නොහැකි අයුරු කිසිම හැඟීමකින් තොරව බලා උන්නාය...ගත ට වැටී ගලා යන දිය පහර සිරුරේ තැන් තැන්හි....නොඇලී බිඳිති ලෙස නවතින අයුරු...නැවත තවෙකක් හා එක්ව ඔහේ ගලා යන අයුරු බලා උන්නාය...සිහින් මන්දස්මිතයක් මුවේ ඇතිවී නැතිව යන්නට ඇත...

සිරුරේ එවකට වූ කෝමල රේඛා බිඳෙන් බිඳ අතුරුදහන්ව ගොස් ඇති ආකාරය....ඒ වෙනුවට..මේද තට්ටුවක් එතැන ආක්‍රමණය කරන්නට සැරසෙන අන්දම .....කන්නාඩිය පෙන්වා දෙන දෙස ඔහේ බලා උන්නාය....ජිම් එකකට යා යුතුයැයි...කලින් සිතුන සිතිවිල්ල හිතට නොඑනා අන්දම ගැන නැවතත් මෙනෙහි කලාය...

එකින් එක නැගෙන වියපත් රැල්ලක් දෙකක් ඇති මුහුණේ...දිදුලන ස්වභාවය...අතුරුදහන් නොවී තවමත් තිබෙනයුරු දුටුවාය...
ඒ සියල්ලටම ඔබ්බෙන් ....කැඩපත තුළින් ඈ වෙතම හැරුණ ...ගැඹුරු තෙත් දෑස දෙස ....මඳක් බලා උන්නාය...

දේදුන්නක් සේ හැඩ කල බැමි වලට යටින්...කඳුලු ඇති නැති මට්ටමට හැමදාම ඉතුරු වූ දෑස කෙතරම්ම පැහැදිලිව අද තමා දෙස ම බලා හිඳීදැයි ඇය...අනායාසයෙන් සිතුවාය...

යන්තමට මදින ලද සුදු අත්දිග බ්ලවුසය හා කපු කලිසම...පුටුව මත හිඳ එනතුරා බලා සිටිනයුරු දුටුවාය...
ඇඳුම් ඇඟලා ගත් මුත්....ආලේපන දෙසට දිගුවන අත නිසොල්මන්ව බලා ඉන්නාඅයුරු හසරැල්ලක් සහිතව බලා උන්නාය...

හීනියට දැනෙන කුසගින්න ...මැඩ ගනිමින්...කුඩා කාමරයේ ගුරුලේත්තුවෙන් නවා ගත් දුඹුල් රසැති වතුර ජෝගුව දෙතොලට තබා එක්වරක් ගිල ගත්තාය...
කාමරය වසා යතුර ...මල්පෝච්චිය යටට පයින් තල්ලු කල ඇය...කරට එල්ලා ගත් රෙදි බෑගය...සකස් කර ගත්තාය..

බර පොදිය බිම තැබූ කල කෙතෙක් සැහැල්ලුදැයි ඇය ට වැටහුණි....
හීන් පටි දැමූ පාවහනට පය රුවා ගත් කල...තමා නොවන කවුරුන් හෝ තමා ඉදිරියට තල්ලු කරනා බව ඇයට නොදැනී දැනින...

ඇය....අඩක් නැමුණු හිසින්...ඉදිරියට ඇදුණාය...ඉදිරියට...ඔව්..ඉදිරියටම....දිගටම පිය ඔසවා ඇවිද ගියාය....තිතක් වී නොපෙනී ගියාය

!!!!!!!!!

************************************************


විසිරි කතා ලියන්නෙ බොහොම අඩුවෙන්....මේ එහෙම ඉබේම ලියවුණ එකක්...ඔය විසිරිගෙ පතොක් කතාව ඇරුනම බ්ලොගේට ලියන්න තව ඇත්තෙ කතා එකක්ද කොහෙද....අනේ මන්දා කම්මැලියි කතා ලියන්න....

Friday, March 3, 2017

39. ප්‍රදීපා මග කියූ පහන් තාරකාව ඔබ









අපි හැම කෙනෙක්ගේම ජීවිතයේ පරමාදර්ශීය චරිත තියනවා නේද...මට හිතුණා..අද..මගේ ජීවිතයේ පරමාදර්ශීය චරිතයක් ගැන ලියන්න....ඒ තමයි මගේ තාත්තා

මම..මගේ පුංචි කාලේ ඉඳන් අම්මට වඩා අනුගමනය කලේ තාත්තාව...අම්මා ට මම හුඟාක් ආදරය කලත්...තාත්තාට ඊට වඩා පොඩ්ඩක් හෝ ආදරය කලා කියලා මම හිතනවා...

අපේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්

අපේ තාත්තා කිසිම දවසක අපිට ගහලා නෑ..නමුත්..බැනලා තිබුණා...දරුවන් යහ මගට ගන්නා ක්‍රමය තාත්තා හොඳින් අධ්‍යයනය කර තිබුණා

මගේ තාත්තගේ මුහුණේ තිබුණ ...අදටත් තිබෙන හිනාව...ඒක කවදත් කෙනෙක්ගේ හිත පහන් කරන හිනාවක්....තාත්තා මට කිව්වේ...අපිට කෙනෙක්ට නොමිලයේ දෙන්න පුලුවන් හිනාව අපි ඇයි නොදී ඉන්නේ කියලා...

තාත්තාගෙ රැකියාවෙන් මම ගොඩක් දේ ඉගන ගත්තා...අපේ තාත්තා මුලින්ම පවුල් උපදේශක වරයෙක්...අධිකරණ අමාත්‍යාංශයේ...ඉස්සර තාත්තා වෘත්තීමය සටහන් ගොනු කරන කොට මට කියලා සටහන් ලියවාගන්නවා....මම හිතුවෙ ඒ කාලෙ ඒ මගේ අකුරු ලස්සන නිසා වෙන්න ඇති කියලා...ඒත් පසු කලක මට තේරුණා..ඒ ව්‍යංගයෙන්...මිනිස් ජීවිත වල ඇති වන සංකූලතා කියාදුන්න හැටි කියලා

පවුල් උපදේශක වරයෙක් ගාවට එන්නෙ පවුල් ආරවුල්...බොහොමයක් නොමේරු තරුණ පවුල් වල ගැටුම් සමථයකට පත් කරන්න උපදේශනය උපකාරී වෙන අන්දම...මම ඉගන ගත්තා වගේම ජීවිතයකට අවශ්‍ය ඉවසීමත් ඒ තුලින් හැදෑරුවා...

තාත්තා මට උගන්නපු එක් දෙයක් තමා අනිත් මිනිස්සු එක්ක නොගැටී ගැටෙන අන්දම...ප්‍රශ්නයකදී ඇහුම් කන් දිය යුතු හැටි...නිහතමානී වීම...ඔන්න ඔය වගේ දහසකුත් එකක් ගුණාංග

මගේ තාත්තා මට කියාදුන්න එක දෙයක් තමයි...කිසිම විටෙක අපි කෙනෙක්ට ගරු නොකර ඒ කෙනා ගෙන් ගරුත්වයක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක.....රාජ්‍ය සේවයට ආවම ඒ ඔවදන මට ඉතාම වැදගත් වුණා...
තාත්තා ගැන ලියනවා නම් පොතක් ලියන්නට පුලුවන්....නමුත් මේ කෙටි සටහන පොඩි විශේෂයක් වෙනුවෙනුයි...

අපේ තාත්තගෙ උපන්දිනේ මාර්තු පස් වෙනිදා...එදාට ගමට ගිහින් එයා ලඟ ඉන්න නොහැකි වුණත්...සුබ පැතුම් පතක් යවලා උදේම කෝල් එකක් දීලා සුබ පතන්න ඉන්න ගමන්....මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නේ....මගේ තාත්තා නිදුක් නීරෝගි සුවයෙන් ජීවත් වෙන්න පතමින්....

මේ මගේ තාත්තා ඇතුළු ...ලෝකයේ දරුවන්ට ආදරය..කරුණාව සහ යහ මග පෙන්වන හැම තාත්තා කෙනෙක්ටම පිදෙන උපහාරයයි...


අප්පච්චී..නුඹ අහස් ඉමේ වැඩි 
දේවතා එළියක් වාගෙමයි...
සාංකාවෙන් උතුරනා..මහිත් මළුවේ දිදුළ
පහන් සිල වාගෙමයි....

හොඳම දකිනා ඇසට 
හොඳම දැනෙනා හිතක 
පින් පාට නුඹෙ සිනා
පන්සලේ බෝ මලුවෙ
 සිලිසිලිය වාගෙමයි...

කප්පරක් දුක් ඇතුව 
නුඹෙ ලඟට ආ විටක
හිත නිවන නුඹෙ වදන්
සෙත් පිරිත් වාගෙමයි......

බාල විය ගැන කියන
නුඹේ පෙර මතක රැස
ගං දියේ රැළි සේම
රැළි නගා හිත් වටා ගලා යයි...
රත්තරන් අප්පච්චි 
නුඹ මගේ ලෝකයට 

ආවඩන සෙත් කවක් වාගෙමයි...

දකුණු පළාතෙ අපි තාත්තා කියන වචනෙ භාවිතා කලාට
කවියකට ලස්සන අප්පච්චි කියන වචනය
ඒකයි එහෙම යෙදුවෙ...


මොන වචනෙන් කතා කලත් ...ඒ තාත්තාමයි




Monday, February 27, 2017

38. මොකෝ...?





මොකෝ...?
මෙහෙම ඇහුවම පෝස්ට් එක කියවන්න ආව අය හැරිලා යාවිද මන්දා..
අනේ යන්න නම් එපා...
ඇයි මොකෝ ?... කියලා ආපහු අහලම මේක කියවන්නකෝ

මොකෝ කියන්නෙ මම ආසම කරන පොතක්...මේ පොත මම මිලදී අරන් තියෙන්නෙ 2004 අවුරුද්දෙ...ගත්තු දිනේ බැලුවම 2004.06.25 කියලා ලියලා තියනවා.
මේ කාලය මගේ ජීවිතේ මහා කුණාටුවක් ආව කාලයක්
ඇත්තෙන්ම ඇයි මම මේ පොත ඒ කාලෙ ගත්තේ කියලා දැන් මටම හිතාගන්න බැහැ..දින වකවානු එක්ක බලද්දි මගෙ අම්මා අපෙන් සමුගෙන සතියක් වගේ මේ කාල සීමාව..

සමහර විට මම මේ පොත ගන්න ඇත්තෙ ඒ කාලයෙ මගේ මනසේ තිබ්බ ප්‍රබල කඩා වැටීම කියන එකෙන් මිදෙන්න වෙන්නට ඇති

කමක් නැහැ..හේතු කාරණා ඒ කෙසේ වෙතත්..අපි මොකෝ ගැන පොඩ්ඩක් කතා කරමුකො
මොකෝ කියන්නේ උපාලි උබයසේකර මහතා විසින් පරිවර්තනය කරන ලද පොතක්

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක්..එවකට නම් මිල රුපියල් 180යි..මුල් කතෘ වරයා   JOSTEIN GAARDER කියලා කෙනෙක්...පොතේ මුල් කෘතියේ නම Hello...is anybody there ?

මේ පොතේ පිදුම හරිම ලස්සනයි...


ආදරණීය දරුවන්ට සහ විශ්වය පුරා ඇති චමත්කාරය පුදුමය හා සුන්දරත්වය රස විඳිය හැකි ළමා මනස දැනුමෙන් හා ගෞරවයෙන් විනාශ කර නොගත් වැඩිහිටියන්ට ආදරයෙන් පිරි නමමි....

අපි ගැනයි මේ කියලා තියෙන්නෙ එහෙම නේද....


මම මේ පොත කියවපු වාර ගනන නම් මෙතෙකැයි කියන්න බැහැ..ඒ වගෙම මගේ යහලු යෙහෙලියන් බොහොම දෙනෙක් මෙය කියෙව්වා...මගෙ අදහස අහලා...ඔවුන්ගෙන් පවා ලැබුණේ ඉතාම සුන්දර ප්‍රතිචාර

මේ තමයි ඒ පොතේ මුල් කෘතියේ පිට කවරේ..මට ඉංග්‍රිසි පොත කියවන්න ලැබුණෙ නෑ...



සිංහලට හරවපු එක මට විටෙක හිතෙනවා පරිවර්තනයක් නොවෙයි අනුවාදයක් කියලා..මොකද උපාලි උබයසේකර මහත්මයා ඒක අපේ ලමයින්ගේ මනසට ගැලපෙන්න හරි අපූරුවට ලියලා තියෙන නිසා

මේ පොත කියවද්දි මට හිතෙන එක දෙයක් තමයි දැන් මේ ඔලු කුරුවල් වෙන වැඩිහිටි අවධියට වගේ නෙවේ ඒ කාලෙ අපි හැම පුංචි කරුනක් ඔස්සේම පරතෙරටම ගිහින් හෙව්වා බැලුවා නෙද කියන එක

සමහර තැන් වලදි හිනා යන්න ගත්තාම නවත්වන්න බරි තරම්ම කතුතුමා අපිව කතාව තුළ රඳවන් ඉන්නවා...ඉංග්‍රිසි පොතෙන් ඒ හැඟීම ගන්න හැකිවෙන එකක් නැහැ..බොහෝ විට...මොකද මේකෙ කටවහර හරිම සුන්දරව ගලපලා ලියලා තියන නිසාවෙන්

මේකෙ තියන රසවත් තැන් ටිකක් මම උපුටලා ලියන්නම්කො...
මුල්ම පිටුවල එන සිද්දියක් තමා ...චක්‍රවාටය ගැන..

මේ කතාවේ සංවාදයට එන්නෙ උපාලි කියන පිරිමි ලමයෙක්..(සමහර විට ඒ අපේ කතුතුමාම ලමා කාලෙදි වෙන්න ඇති...) සහ මොකෝ කියන පිටසක්වලින් ආව අමුතු ලමයා

මේකෙදි කියනවා... "කියමුකෝ...අවුරුදු සිය ගණනක් ගිහිල්ලා සමහර විට දුවට....( ආ..මට අමතක වුනානෙ...මේ කතාව කියන්නේ මාමා කෙනෙක් එයාගෙ දුවෙක්ට කියන විදියටයි...)...තවත් පණ තියන සතුන් ජීවීන් ඉන්න ග්‍රහ ලෝකෙකට යන්න පුලුවන් වුණා කියලා

එහෙම ජීවීන් හිටියත් කිකිලියෙක් නම් එහෙ ඉඳීවි කියලා හිතන්න බොහොම අමාරුයි...බිත්තරයක් නම් හම්බ වෙන්න ඉඩ තියනවා..ඒත් ඒ බිත්තරෙන් කුකුලු පැටියෙක් නම් එලියට එයි කියලා හිතන්නවත් බෑ...මේ මුලු සක්වලේම කිකිලියෙක් ඉන්න එකම තැන මේ අපේ ලෝකේ..අපේ මහ පොලවේ විතරයි


මෙන්න මේ ටික කියවද්දි අපි අර මුල් පිදුම කොටසේ ඉන්න වැඩිහිටියන් නොවී දැනුමෙන් හා ගෞරවයෙන් ඔලුව උදුම්මා ගත්තු වැඩිහිටියන් වෙලා නම් ඉන්නෙ අපි අනේ මේ මොන විකාරයක්ද කියලා මේ පොත අහක දාවි...

මට නම් මේ පොත කියවන්න හිතුනේ ..මේ පොත දිගේ මම මගේ ලමා කාලයට ..මගේ මල්ලිලාගේ ලමා කාලයට වගේම මගේ දරුවන්ගේ ලමා කාලයට සිතින් සිය දහස් වරක් ගමන් කල නිසා....කාලයකට පස්සේ පොත් කියවන්න ඇබ්බැහි වුණ අපේ ලොකුම ලොකු ලමයෙකුත් දවසක් ඔන්න ඕක කියවනවා මං දැක්කා...ඒ අපේ තාත්තා..එයා ඕක කියවද්දි මූනෙ ඇඳුන හිනාව දැක්කම නම් මට හිතුණෙ එයාත් චක්‍රාවාට ගානක් එහා ලෝකෙකට ගිහින් වගේ

පොඩි කාලෙ මට ත් තිබ්බ ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි මේ ලෝකෙ ගෝලාකාර නම් ..ඒක නැවතිල්ලක් නැතුව කැරකෙනවා නම්..ඔය කැරකෙන වෙලාවක ඔලුව පහලටත් හිටින යාමෙක..මගේ කකුල පැටලිලා වැටුනොත් එහෙම මම කොහේ ගිහින් නවතීද දන්නෑ කියන එක...එතකොට මේ ගුරුත්වාකර්ශණය කියන ලොකු වචනේ තේරුම මාත් දැනගෙන උන්නෙ නෑ...මේ පොතේ ඒ සංකල්පය කියාදෙන්නෙ හරිම සරලව...උඩ යට මාරුවීම කොයි තරම් සරල සිද්ධාන්තයක්වුනත්..ඒක පොඩි දරුවෙක්ට කියාදෙන්න හරිම අපහසුයි...



ස්නායු ගැන...ශරීරයේ ක්‍රියාකාරිත්වය ගැන..පරිණාමය ගැන..දෙවියන් ගැන..ඔන්න ඔය වගේ පුංචි කාලේ අපි කෙලවරක් නැතුව ඔලුවේ ප්‍රශ්න මවන් උන්න දේවල් ගැන උපාලියි මොකෝයි දෙන්නා ගෙ අරුම සංවාදයක් යනවා...මම මේ පොත කියවද්දි...මනසින් ඒ දෙන්නගේ සංවාදයට එක් වෙනවද කියලා හිතුන වාර අනන්තයි

මේකේ අන්තිම හරියට මං හරිම ආසයි..ඔන්න ඒ හරියෙන් කෙටි සටහනක් තියලාම පෝස්ට් එක නිමා කරන්නයි මම හිතුවෙ

 මට දැන් හිතෙනවා..අපේ හුඟක් වැදගත් හමුවීම් සිද්ද වෙන්නේ නිදාගෙන ඉන්නකොට කියලා...අපිට සිද්ද වෙන සමහර බොහොම ටිකක් දේවල් විතරක් ජීවිතේට වෙන්න බැරි තරම් පුදුම දේවල් කියලා අපිට හිතෙනවා'..

මට හිතෙනවා ...අපි හැමදාම රෑට නිදාගත්තම අපි ගත කරපු ජීවිතෙන් චුට්ටක් අපිට මතක වෙලා යනවා කියලා...හැබැයි ඒ වෙලාවෙම අපේ හිත බොහොම තදට වැඩ කරන්නට පටන් ගන්නවා


මම හිතන්නේ...අපි නිදාගත්තම අපිට අමතක වෙලා ගිහින් හැදෙන හිස් තැන පුරවන්න අපි හීන දකිනවා ඇති..
උදේට ඇහැරුණාම අපේ හීනේ නිකම්ම දියවෙලා යනවා...හරියට හිරු රැස් වලට පිණි දිය වෙනවා වගේ

අපි මොන තරම් දේවල් ඇහැ ඇරගෙන දකිනවද....මන් හිතන්නේ ඒ දකින දේවල් හුඟක් වැඩි නිසාහීන වලට ඉඩක් නැතුව යනවා ඇති අපේ ඔලුව ඇතුලේ...

හීනයක් මතක තියාගන්න එක හරියට නීල කොබෙයියෙක් නැත්නම් පුන්චි දඟකාර බට්ටිච්චෙක් අල්ලලා අල්ල උඩ තියාගෙන ඉන්නවා වගේ වැඩක්....හැබැයි ඒ වාගේ ලස්සන කුරුල්ලෙක් එයාටම හිතිලා පියාඹගෙන ඇවිත් ...දුවගේ උරිස්සේ වැහුවොත්......?

මොකෝ කියන්නේ....?....ම්ම්ම්ම්ම්ම්


මම හිතන්නේ මොකෝ ගැන මම ආයෙමත් තවත් ලියන්න ඕන නෑ...ඔබම හිතන්න...ඔබ ගැන....මම මතක් කර දෙන්න ආවේ අන්න ඒකයි,......ඔබ මොන විදියේ වැඩිහිටියෙක්ද...?

Wednesday, February 22, 2017

37. ආදරෙයි ද....?





ආදරෙයි ද....?

මේ ප්‍රශ්නය ඔබ කී වතාවක් කී දෙනෙක්ගෙන් අසා ඇත්ද..?කුඩාම කාලේ දෙමවුපියන්ගෙන්..සහෝදර සහෝදරියන්ගෙන්...වැඩිහිටියන්ගෙන්...
ඉන් පස්සෙ කාලයකට පසු පෙම්වතෙක් පෙම්වතියකගෙන්...
ඔන්න ඔය වගේ...
ඒ වගේම ඔබෙන් කී දෙනෙක් කීවරක් නම් මේ දේ අසා ඇත්ද...? 

මඳක් හිතන්න...
වාර ගණනක් හිතාගන්න බැරි තරම් නේද...?
සමහරක් විට ඒකට දීපු උත්තරත් මතක් වෙයි....

ඒත් ආයෙමත් හිතන්න...
මේ පැනය ..ඔබ ඔබෙන් අසා තිබෙනවාද....කිසිම දවසක...

ඔබ ඔබටම "ආදරෙයි " කියා පිළිතුරක් දීලා තිබෙනවද...?

ඉතාම කලාතුරකින් කියාවි කෙනෙක්.."හ්ම්ම්" කියලා...ඒත් සහතිකෙන්ම නම් නෙවෙයි...

මඳක් සිතන්න...

මුලු ලෝකයෙන්ම ඔබ ආදරය සොයනවා...ඔබ බොහෝ දෙනෙකුට විවිධ මානයන්හි සිට ආදරය කරනවා..ඒත් ඔබ ඔබට ආදරය කරනවද....ඔබේ මනසට ඒ ආදරය ඒත්තු ගන්වලා තියනවද...?

මේක මහ පිස්සු කතාවක් කියලා ඔබ සිතනවා ඇති...නෑ..
මම මේ කියනවාට ...එකම එක දවසක්...
ඔව්..
එකම එක දවසක්..
ඔබ මේ දේ කරන්න...

ජීවිතේ හරි සුන්දරයි කියා ඔබට දැනේවි..

උදෑසන මුහුණ බලන කන්නාඩිය ඉස්සරහට ගිහින් යාන්ත්‍රිකව ආලේපන ගල්වන්නෙ නැතුව ...මඳක් තමන් දෙසම ...ආදරයෙන් සිනා මුසුව බලන්න....
තමන්ගේම හිතට කියන්න ඔයා ලස්සනයි..ස්මාර්ට් කියලා...
කාටවත්ම ඇහෙන්නෙ නෑනෙ...
ඔව්..

තමන්ට තමන් ලස්සනයි...කඩවසම් අපූරු සුන්දර චරිතයක් ලෙස පේන්නට ඕන...වෙන කාට පෙනුනත් වැඩක් නෑ...ඒක තමුන්ට නොපෙනි
ඉඳහිට දවසක ...තමන්ට ආදරේ කරන දවසකුත් හොයා ගන්න...
තමන් වෙනුවෙන් පමණක් පොඩි සාප්පු සවාරියක් යන්න...නාස්තියක් නෙවෙයි...ඒක හිතට බරටම දැනෙයි....

මම යනවා පඩි ගත්තම ඔන්නොහොම පොඩි රවුමක්.....මට ම විතරක්....පොඩි පොඩි ආයිත්තම් ටිකක්...සුකුරුත්තම් ටිකක් ගන්න...ගෑණු නෙව....නේද....තනියෙන් අයිස්ක්‍රීම් එකක් කාල..බීම එකක් බීලා...ඇඳුම් ආයිත්තම් ටිකක් අතපත ගාල බලල....නිකම් ඔන්නොහෙ ඇවිදින්න....ඕකට මහ වෙලාවක් යන්නෙ නෑ...

වැඩේ සුලුයි..ඒත් හිතට එක්කාසු වෙන සතුට හරි ලොකුයි...

දවසකට වරක් වත් තමන්ගෙ මේ දිවිය ගැන සුබවාදීව හිතන්න...ඒ වෙනුවෙන් එකම දෙයක් හරි කරන්න...
දවස අවසානේ හැරිල බලද්දි හිතට තෘප්තියක් සතුටක් ගෙනේවි ඒ කල  කී දේ...
අඩුම ගණනේ...තමන්ගෙ ඇතුලාන්තයට දැනෙන්න සිංදුවක් අහන්න...මලක් ගහක් දිහා බලන්න...හිටවන්න....සුරතල් සතෙක්ට ආදරය කරන්න....පෙරලා ලැබෙන දෙයින් සතුටු වෙන්න....මොකුත්ම නොලැබුණත් සතුටු වෙන්න...


දවසේ කිසිම වෙලාවක ,....හිත තරහින් පුරවා ගන්න එපා....ඒක මහ බරක්....තරහ නොයන මිනිස්සු ගැහැණු නැහැ...ඒත් ඒකෙන් හැකි ඉක්මනින් මිදෙන්න
හිත වෙලාවට තමන් වෙතම නතු කරගන්න...වැදගත් වෙන්නෙ අර තමන්ටම ආදරය කිරිමයි...

ඔබ දන්නවාද ඔබෙ සිනහව අනුන්ට වටින තරම්...ඒකෙන් කෙනෙක්ගෙ මානසික ආතතිය නැති කරාවි සමහරක් වෙලාවට...ඔක්කොම එපා වෙලා ඉන්න කෙනෙක්ට ...ඒ ඔබේ සිනහව අලුත්ම මානයක් ගෙනල්ලා දේවි...හිතන්නට....
එතකොට තමන්ට...
එක දවසක්..බලන්න
ඔබ ඔබ එක්කම හිනා වෙලා...

ඇත්තෙන්ම කොච්චර සුන්දරයිද කියලා ඔබටම හිතේවි...

පුරා දිය විසිර ගිය
කලසක් ව හිඳින්නෙමි
ජීවිතේ සෙත් කවට 
පැන් පොදක් ඉසිලමින

සලා මල් රොන් විසුල
කිනිති බර තුරක් වෙමි
සුවඳ සලනා හිතට
පැහැය තවරා නිතින

කලා සොලසක් පිරුණ
සරා සඳ සේ නැගෙමි
අමාවක අවසන්ව
හිත් අහස එකලු කර

හිස් ව ගිය ජීවිතේ 
මී විතග පුරා ලන
පන්හිඳට පණ පොවන
සොඳුරු කව වෙමි තුටින

ඉතින් ස්තුතියි...ආයෙම හමුවෙමු...විසිරි හැඟීමක

Sunday, February 19, 2017

36. ඇස රැඳුණ තැන්


විසිරිගේ මගතොට දී දැක්ක රූ ගැන ඔන්න පෝස්ටුවක් දමන්නම් කිව්වනෙ.....ඒක ට ටිකක් කලක් ගියා..

සාමාන්‍යයෙන් ගමනක් යද්දි මග තොට දි දකින සමහරක් දේවල්....ජංගමයේ කැමරාවට තමයි ඉතින් හසු වෙන්නෙ...මොකද හොඳ කැමරාව මිනිස්සුන්ට මානන කොට ඒ ස්වභාවික පෙනුම එන්නෙ නෑ

අනික ...මේ ගන්නා හැම දේම කෙනෙක්ට හානිකර නොවිය යුතුයි කියන මතයේ මාත් ඉන්නවා....අපි කෙනෙක්ගේ තරාතිරම කුමක් වුවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට ඕන...

අපි ජීවත් වෙන ලෝකයේ කොච්චර සුන්දර දේ තියනවද..ගස් වැල් ..මල් ..කොල...සත්තු.....ඒ හැමදේම වගේම මේ මිනිස් ඉරියවු සහ මුහුණු...හරිම අපූරු ප්‍රකාශනයන්ගෙන් යුක්තයි...වචන වලින් කියවන්නට බැරි දාහක් දේ එක ඉරියව්වකින් ප්‍රකාශ කල හැකියි...


ඉතින් මම ඔබට ඇරයුම් කර සිටිනවා.....මේ රූප චාරිකාවේ මාත් එක්ක යන්න එන්න කියලා......

ළමා විය කියන්නේ මොන තරම් සුන්දර අවධියක් ද...ඒත් ඔබ මේ දකින් රූ දෙක සසඳන්න...වින්දනය වෙනස්.....සීමාවල් වෙනස්...මම පහදන්න යන්නෙ නහැ.
..ඔබට හිතන්න ඉඩ දෙනවා




මේ හැම සේයාරුවක්ම මගෙ ඇහැ ගැටුණෙ..හදිස්සියෙම ...එතකොට අතේ තිබෙන්නෙ ජංගම දුරකතනය..එවිට ගන්නා  රූ නිසා සමහර විට තාක්ෂණ්ය අතින් ගැටලු ඇති...නමුත් ඔබ මෙය විඳීවි

වියපත් භාවය කෙතෙක් අසරණද යන්නත් හුදෙකලාද යන්නත් මට මීට වඩා නිර්වචනයක් කරන්න බැහැ





සමහරක් අහම්බයන් ඇස දකින්නෙ ඉතාම දුරකින්...ඒත් සුන්දරත්වයේ කොහෙද අඩුවක්...
මේ ගාලු කොටු බැම්ම උඩ ඉඳන් මුහුදු වෙරලේ උන්න තාත්තෙකුයි පොඩි පැට්ටෙකුයි...සූම් කරලා නිසා පැහැදිලි මදි

මගතොට ජීවිත බොහොමයක් දකින්නට ලැබෙන්නෙ කොලඹ දි...මේ එයින් සමහරක්



පිරියම් කරන්නේ ජීවිතයමද...මට හිතුනා මෙතනදි



අන්තරාය....මිනිස්සුන්ට පමණයිද...



සරල වූත් කෙටිම වූත් රූප චාරිකාවෙන් මිදෙන්නට පෙර...ඉතින් ඔබෙන් අදහස් ඉල්ලනවා..මේ ගැන...
ජීවිතය බොහොම සුන්දරයි.....ඒක විඳින්න

මිටින් මුදා හැර බැලුවෙමි 
සත්තයි නුඹ නොගියා 

මවෙතින් ඉගිලී...



Sunday, February 5, 2017

34. අමතක ව ගිය කවි අතර



ජීවිතයේ බොහෝ සුන්දර අත්දැකීම් උපන්නේ ඔබේ ස්නේහය නිසාවෙන්මය....

ඔබේ ඇස නොගැටෙන මුත් මේ මගේ සොඳුරු අවකාශයයි..එහි මම මගේ සෙනෙහස ලියා තබන්නෙමි





අමතක ව ගිය කවි අතර
ඔබ උපද්දපු කවි තවම ඇත
උරහිසට හිස තැබූ සැණ
එකවි එකිනෙක ගලා එත....

අතින් අත මිදීගිය කලක පෙර
හිත වියැළි කතරක්ව තිබූ තැන
එකම එක සුසුමකින් පණ ලබන
යායක්ම මල් පීදුණේ කොහොම...

නළලතක පටු ඉඩක තබා ගිය
ආදරේ සුසුමකට නෙත් වැසුව
ජීවිතේ සියලු සෙනෙහස් හැඟුම්
යළි යළිත් පිපෙනයුරු දුටුවෙහිද...

Friday, February 3, 2017

33. උගත් පාඩම්






ජීවිතේ කියන්නෙ මහ අරුම පුදුම දෙයක්....විසිරි එහෙම හිතන්න ගත්තෙ අද ඊයෙ නෙවේ..ඒත්..දැන් ඔන්න ආයෙම හිතන්න වෙලා...දැන් නම් අවධානය ජීවිතේ ට දෙන්න ඕන කාලයක්...

අවුරුදු විස්සකට නොඅඩු කාලයක් ලෙඩ්ඩු එක්කම වැඩ කල විසිරි ....තමන්ගෙ සෞඛ්‍යය ගැන බරපතලෙට හිතන්න මේ ගත්තමද කොහෙද.......

විසිරි අවුරුදු විස්සක් ම ප්‍රතිකාර කලේ නිකම්ම නිකම් ලෙඩ්ඩුන්ට නෙවේ...කෙටි හා දීර්ඝ කාලීන ශාරීරික ආබාධ සහිත ලෙඩ්ඩුන්ට....අංශබාග රෝගය...ආතර්‍යිටිස්..මොලයට හානි වූ අය...සුෂුම්නා ආබාධ...උපතින්ම ආබාධ සහිත දරුවන්....එකී නොකී මෙකී හැම ජාතියම.....

අපේ මිනිස්සු ලෙඩක් වෙනකල් තමන්ගෙ සෞඛ්‍යය ගැන හිතන්නෙ නෑ..මේ විසිරි කියන මමත් කයිවාරු ගැහුවට එමමයි...ලෙඩ්ඩුන්ට එක වේලක් මගහරින්නෙ නැතුව බේත් බොන හැටි නාට්‍යානුසාරයෙනුත් කියා දෙන විසිරි....පැනඩෝල් පෙත්තක් බොන්නත් අමු හොරයි....

අපි හැමදාම එකම වයසේ එකම නීරෝගී බවින් ඉන්නෙ නැහැනෙ....විශේශයෙන්ම මේ  non communicable disease...අපිට අතවනන වයසක් එනවා...දියවැඩියාව..කොලෙස්ටරෝල් ...අධි රුධිර පීඩනය...වගේ එව්වා...මේ තත්ව ප්‍රවේණිගත ව එනව වගේම අපේ ජීවන රටාවේ යම් යම් අඩු පාඩු නිසාත් එන්න පුලුවන් නෙ...

අවුරුදු දහ අටක් විතර ලෙඩ්ඩු එක්කම හොඳට දුවල පැනල වැඩ කල විසිරි..පුහුණු පාසලට පත්වීම ලබල ආවම ඔන්න ජීවන රටාව එහෙම පිටින්ම වෙනස් උනා....කම්පියුටර් එක ඉස්සරහයි ...දේශන ශාලාවෙයි....කාලය ගෙවන්න උනා....

ඉස්සර ලෙඩ්ඩු එක්ක වැඩ කරන කොට තේ එකක් බොන්නවත් ඉඳගත්තද මතක නෑ...දවල් කෑම වෙලාව තමයි එහෙම විවේකයකට ආවෙ...ඒත් දැන් ඒ තත්වෙ වෙනස්..මොලේ අධිකව වෙහෙසෙනවා...ඇඟ හොරවෙලා...
හුලං ගහපු බැලුමක් වගේ විසිරි මෙන්න මහත් වෙන්න ගත්තා...කන ප්‍රමාණය සෑහෙන්න අඩු බව ඇත්තෙ..

ඒත් මේ මහත් වෙන එක...nolimit.....ඉස්සර ගිනිකසයා වගේ බස් කෝච්චි වලට දිව්වට දැන් බොහෝම අමාරුයි ඒක....කකුල් හිරි වැටිල්ලක් එනකොට තමා ඔන්න විසිරිට තරු පෙනුනෙ.....

හිත හිත ඉන්නත් වෙලාවක් නෑනෙ....ඔන්න ඉතින් ගියාලු පෝෂණ වේදී තුමෙක් හම්බ වෙන්න....එතනට ගියාම උසයි බරයි මැන්නලු...බර කිලෝ 72 පැනලා..උසත් එක්ක බැලුවම BMI එක උපරිම සීමාවට එහා....මදැයි වෙච්ච දේ.....



පෝෂණ වේදී තුමා බාර දුන්නා කාර්‍යයක්...සතියක්ම කන බොන දේවල්..වතුර ටික පවා.ප්‍රමාණ හා වෙලාව එක්ක....සටහන් කරන් ඇවිල්ලා හමු වෙන්න කියලා...
ඉතින් ඔන්න ආපහු සේවා ස්තානයට ඇවිල්ලා ඊයෙ කාපු බීපුවයින් පටන් ගත්තා...ටිකක් ලියාගෙන යද්දි...විසිරිටම ලැජ්ජයි වගේ......කන්නෙ නෑ කියල හිතන් උන්නට සෑහෙන්න කාලා.....අනවශ්‍ය දේවල් කාලා හරියට...ප්‍රමාණ ගැනත් හිතුවම එහෙමයි...

මේක ලිය ලියා ඉද්දි ආයතන ප්‍රධානිතුමා එතනට ආවා....සිද්දිය අහලා එතුමා කිව්වෙ මෙහෙම කතාවක්....
කෙනෙක් records තියන එක වටිනවා කියලා දැනෙන්නෙ  ඔන්න ඔහොම දේවල් වලදි...අපි අපි ගැනම ස්වය්ං විෂ්ලේෂණයක යෙදෙනවා...අපි expert කෙනෙක්ගෙන් උපදෙස් ගන්න යනකොට අපිම අපේ ගැන පාලනයකට එන්න පටන් අරන්......

ඇත්තෙන්ම දින දෙකක් ලියද්දිම හිතුනා....තමන් ස්වයං විෂ්ලේෂණයක යෙදෙන්න ගන්නවා....තමන් කෑ අනවශ්‍ය දේ අඩු කරන්න පටන් ගන්නවා...එක්කො වලක්වාගන්නවා...අත හැර දමනවා.....කාල පරාසය හදාගන්නවා....

අනවශ්‍ය දේ ජීවිතෙන් අත හරින්න කොච්චර අමාරුද කියනෙක තේරෙන්නෙ...අත හරින්න පටන් ගන්න මුල්ම දවසෙ....කන බත් ප්‍රමාණය වැඩියි කියලා අත හරිද්දි...මොළයයි හිතයි ඔන්න මහ ගට්ඨනයක....එන්න එන්නම ඇඟේ අපහසුතා එන්න අරන්...ඈනුම් යනවා...ඇඟට පණ නෑ..එක එක ලකුණු....හිත කතා කරන්නෙම පරණ පුරුද්දට ආපහු අනුගත වෙන්න.....බලෙන් හිත හයිය කරන් දින දෙකක් ඉන්න බලන්න....ඉබේම මේ තත්වය සමනය වෙනවා....

මේ අර කලින් කිව්ව රෙකෝඩ් තබන එක නම් අපි ජීවිතේ ට හුරු කරගත යුතු දෙයක් කියලා මට හිතෙනවා.ඉස්සර අය දිනපොත් ලිව්වා...අපේ මුත්තාගෙ අල්මාරි ලාච්චුවේ තිබුන 1930-40 , කාලවල ඉඳන් තිබුන දිනපොත් වල අය වැය සටහන්...ඒ වගේම වැදගත් තොරතුරු සටහන් වෙලා තිබුනා....දිනපොතක් පවත්වා ගත යුත්තේ එදිනෙදා කල කී දේ ලියන්නට වඩා සැලසුම් සහගත ජීවිතේකට පෙර / පසු  සටහනක්  ලෙසටයි.....

කෑම චාට් එක පටන් ගත්තු විසිරි ත්...ඉබේම අනවශ්‍ය කෑම වලින් මිදෙන්න අඩියක් ඉස්සරහට තිව්වා...සමහර විට හැම පියවරම එක වගේම සාර්ථක නොවෙන්න පුලුවන් ......



මේ එක්කම එදිනෙදා ව්‍යායාම කිරීම ගොඩක් වැදගත් වෙනවා..

ලෙඩ්ඩුන්ට ඕවා කියලා දුන්නාට තමන් නොකල එකේ විපාක විඳින්න පෙර ඔන්න ඒකත් සීරුමාරුවෙන් පටන් ගත්තා මම..ව්‍යායාම වල වැදගත්කම අපි වෙනම පෝස්ට් එකකින් කතා කරමු..විසිරි ගෙ ප්‍රගතිය..අපි ඒ ගැන විශ්ලේෂණයක් කරමු.....තව මාස දෙකකින්...