Sunday, December 9, 2018

99. වියපත් වන දා

වියපත් වන දා.....

අද උදේ වැඩට යන වෙලාවෙ කණ වැකුණු දෙබසක් එක්ක මට ලියන්න සිතුණ මෙහෙම...
ඒ කථාව කල කෙනා කීවේ තමන්ගේ නැන්දම්මා ගැන..
ඉතාම වියපත් නැන්දම්මා ගෙ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසා සිදුව ඇති අවාසනාවන්ත තත්වය ගැන මේ කෙනා කතා කලා....
.
අසූ ගණන් වල අග භාගයේ ඉන්න වියපත් නැන්දම්මා රෑ තිස්සේ වැසිකිළි යාම නිසා ඇද වැටී ඇතිව ඇති තත්වය ගැන ඔහු කතා කලා....ඩයපරයක් ඇන්දවීමට ඉඩ නොදෙන බවත් ...මොන තරම් ඇවිදින්නට එපා කීවත් එයම කරන බවත් ඔහු තරමක කේන්තියෙන් කියා සිටිනු මා අසා සිටියා....
.
මිනිසුන් හැම කෙනෙක්ම වියපත් වීම වලක්වන්න බැහැ...ඒ වගේම වියපත් වන වැඩිහිටියන් ගේ ක්‍රියා කලාපයන් හරියට හිතුවක්කාර කුඩා ළමුන් වගෙ....ඒ තත්වය අපි මනාව අවබෝධ කරගන්න අවශ්‍යයි....
.
ඉතාම වයසට යන ඔබේම අම්මා තාත්තා වගේම මිත්තනිය හෝ සීයා....ගැන යම් විමසිලිමත් බවකින් කටයුතු කරන්න....අමතක වීම් ...dementia තත්වයන් ඔවුන්ට ඇති වෙන්න පුලුවන් ..එවන් විටෙක ඉවසීම කියන්නේ මහඟු ඔසුවක් වේවි......නොසලකා නොහැර ප්‍රතිකාර සඳහා යොමු වන්න...එය ඉතාම වටිනා දෙයක්....
.
වියපත් වැඩිහිටියෙක් රැකබලා ගැනීම අසීරුයි..එවන් විටෙක දිගටම එක් අයෙක්ට එසේ රැකබලා ගන්න එක පීඩනයක් වෙනවා...පවුලේ අය සමසේ එම වගකීම බෙදාගන්න එක ඉතාම අගනා විසඳුමක්...අද උදේ මෙම කතාබහ කල දෙදෙනාගෙන් පිරිමි කෙනා කියනු ඇසුණේත්...මායි නෝනයි විතරයි මේ සේරම කරන්නෙ ...අනික් දුවලා පුතාලා ඇවිල්ල බලල යනවා මිසක එයාව දවසකට දෙකකටවත් ගෙනියන්න කැමති නෑ...කියනෙක....
.
වියපත් වැඩිහිටි අයෙක් රැකබලා ගැනීමේ වැදගත් කම වෙන්නේ ...වැරදිලා හෝ ඇද වැටීමක් නිසා ඔවුන්ගේ උකුල් සන්ධිය විශේෂයෙන්ම කැඩීමට ඉඩ ඇති හෙයින්...ඉතාම වයස කෙනෙක් නම් සදාකාලිකවම ඇඳට වැටෙන්න තියන ඉඩ ඉතා වැඩියි....එවිට තවත් හිරිහැරයක්....
.
.
ඉතින් ....අපිත් කවදා හෝ වියපත් වෙන අය....ඒ වගේම අබල දුබලතා ඇතිවිය හැකි අය...ඒ නිසා...ඔබ ඔබේ වියපත් ඒ වැඩිහිටි අය ගැන මඳක් සිතන්න...ආදරය කරුණාව සහ ඉවසීම හුඟාක් වටින දෙයක්.....
.
.
විසිරි

98. අම්මා මතු බුදු වනු ඇත

අම්මා කෙනෙක් කියන්නේ...අනන්තාපරිමාණ විශ්වයක් වගේ පරතෙරක් නොපෙනෙන ආදරයක් ඉවසීමක් කැටිව ගත් උත්තම හදවතක්....
.
මට එහෙම හිතුණෙ...අද දවල් මගෙ සිසුන්ගෙ සායනික අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික රෝහල මැද්දෙන් ගමන් කරද්දි.....
.
ඒකට නිමිත්ත වුණෙ...නා ගස් හෙවනේ බිම් පඩියක හිඳගෙන උන්න වියපත් අම්මා කෙනෙක් දැකල...ඇගේ ඇස් වල තිබුණේ යම් කිසි අපේක්ෂාවක්...මං ඒ බලාපොරොත්තුව දැකල තියෙන්නෙ අම්මෙක්ගෙ ඇස් වල දරුවන් වෙනුවෙන්....
.
නමුත් සදාචාරාත්මක සහ ඇයට තිබිය යුතු ගෞරවනීය තත්වය ගැන හිතල මම ඇගේ සේයාරුවක් ගත්තේ නැහැ...
.
අම්මා කෙනෙක් ට දරුවෙක් වෙනුවෙන් නිදිමරන්න පුලුවන් කාලය කොච්චරක් ඇත්ද කියන්න කාටවත් ම බැහැ....ඒක මම මගෙ ජීවිතේ අත්විඳල තියනවා....දරු උපතේ ඉඳන් ගිලන් වෙන...සහ අනෙක් ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් අම්මෙක් තමන්ගෙ නින්ද කැප කරනව....
.
ජීවිතේ හුඟාක් අපේක්ෂාවන් අම්මල කැප කරන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන්....සමහරක් වෙලාවට...ආස කරන හුඟාක් දේට දෙවනි තැන දීලා දරුවන් වෙනුවෙන් ඒ මූලිකත්වය දෙන්න අම්මා කෙනෙක් දෙපාරක් හිතන්නෙ නැහැ.....
.
දරුවෙක් ගිලන් වුණාම අම්මෙක්ගෙ ඉවසීම මහා පුදුමයි...සාමාන්‍ය ලෙඩ වලින් ඔබ්බට ගිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙ අම්මලා එක්ක අවුරුදු ගාණක් වැඩ කල මට ඒ අම්මලා මතු බුදුවෙන්න නම් පතන්නෙ නෑ කියන බව වැටහෙන්නෙ....මේ දරුවන් සුවපත් කරන්න සංසාරය පුරාම ප්‍රාර්ථනා එක්කාසු කරන හැටි දැක්කම....
.
ඒත්.....
මට අද හිතුනෙ...
මතු බුදුවෙන බුදුවරුන් .....නා ගසක් මුල වුව හමු වන බවක්......

විසිරි

97. ආදරයේ සුවඳ

ආදරයේ සුවඳ

උදේ ස්ටේශමේ කෝච්චිය එනකල් බලා ඉන්න මට මගෙ ඉහට උඩින් සිරි සිරි ගාල හැලුණ අපූරු සුවඳකට වටපිට බැලුණා....
.
ඇඳන් උන්න සාරියෙත් රේණු තුනහතරක් ඉතුරු කරන් ඒ සුවඳ ඉහිරවන් වැටිලා තිබ්බේ බෙලිමල්....

මගෙ මතකයේ ඉසව් ඈතට දුව ගියා එසැනින්ම ....
ඉස්සරෝම අපේ ගෙදර ලොකූ බෙලිගහක් තිබුණා...කන්ද ඉහත්තාවට වෙන්න....බෙලි මල් පිපෙන කාලෙට උදේම හමා එන අපූරු සුවඳක් වුණෙ ඒක....
.
ගෙදර ඉන්නව නම් ආත්තම්මාගෙ එක් පැවරුමක් තමා බෙලි මල් ඇහිලීම....කොලපොතක් අරන් ගිහින් තණකොල බිස්සෙ තියල සිඟිති බෙලි මල් එකින් එක අහුලනව...සමහර මල් පොහොට්ටු ...ඇස් ඇරලත් නෑ....අනේ වැටිලා....සමහරු පෙති දෙපෙති ඇහැරිලා.....
.
ඔය එක්කාසු කරන් එන බෙලිමල් වේලල ආත්තම්මා බෙලිමල් වතුර තම්බලා හකුරු කෑල්ලක් එක්ක බොන්න දෙනව.....බෙලිමල් අහුලන්න වගේම බෙලිමල් වතුර ටිකක් බොන්නත් ආසාව ඉස්සර ඉඳන්ම තිබ්බා.....
.
ආයෙම අපෙ ගෙදර තිබ්බෙ කෝපි ගාලක්...තද කොල පාට කොල හෙවිච්ච කොපි පඳුරු...මල් පිපෙන කාලේට සුදු පාට යායක්....කාමරේ ජනේලෙ ඇරියාම ඒ උදෙන්ම එන කෝපිමල් සුවඳ හරීම ආශ්වාදජනකයි...කෝපි ගෙඩි කොල පාටට හැදිල ඉන් පස්සෙ රතු පාට වෙලා ඉදුණම කඩන රාජකාරිය බාරගන්නත් ඕන අපි....
ඔක්කොම හොඳයි ...ඇඟ පුරා දුවන කලු කූඹි නැත්නම්....
.
ගමත් එක්ක බැඳෙන අනෙක් සුවඳ තමයි ඇට්ටේරියා මල් සුවඳ...ගෙදරට එන පාර කොණේ තියන ඇට්ටේරියා මල් හැන්දෑවට පොහොට්ටු ඇරෙන්නෙ.....ඒවා වට්ටියකට නෙලල ආත්තම්මාට බුදුන් පුදට ගෙනෙන්න ඕන...එක මල් නටුවක් වත් උඩට තියෙන්න බෑ.....උදේට ඉස්කෝලෙ යන්න බස් එක එනකල් ඉන්න ගමන්....මල්ලි කරන්නෙ ඇට්ටේරියා අතු හොලවන එක....ඔලුව වැහෙන්න මල් පෙති සිරි සිරි ගාල වැටෙන්න ගන්නව.....
.
ආයෙ අපෙ මිදුල මැද තිබුණ ඇහැල ගහ....රූස්ස ගහක්...ඇහැල ගහ මහ කරදර දෙන්න සමතෙක්....එක්කො කොල නැත්නම් මල්....මිදුල පුරා විසිරුවනව....උදේම මිදුල අතුගාන්න ඉදල අරන් බහිනකොට....ලා සීතල සුලඟ එක්කම මුසු වෙන්නෙ ඇහැල මල් සුවඳ....
.
මේ හැම එකක්ම මං හරි ආදරයෙන් විඳපු අපූරුම සුවඳවල්....මිනිස්සු ආදරය අරන් ජීවිතේ විඳිනකොට....ලෝකයම දැනෙන්නෙ හුරු සුවඳකින්.......
.
ඔව් ඒ තමයි ආදරයේ සුවඳ ...

විසිරි

96. කින්නර වලප

ගිණිකඳුත් පුපුරා හැලෙන්නැති
යමහලක ගිනි ඇවිලි හද බිම
ප්‍රේමයෙන් ආතුරවු සිත බිඳ
කින්නරා පිටගම් ඇදුණ දින.....
.
හොවා ළය හිස සෙනෙහ පෑ සඳ
කිසිත් නොදැනුණි විරස් කාරණ
වනේ තුරු අස අප්සරාවක
කැල්ම වැදුණිද කියන් හිමිසඳ.....
.
නුඹේ ලෙය කුස දරා උන්නෙමි
පැටුන් සරි කර නොමග නොගියෙමි
ජීවිතේ වල්මත් සුයාමය
අහවරව යළි එතැයි වැටහුණි.......
.
ඉතින් සීතාවක් ම වන්නෙමි
බුදුන් දැක මතු නිවන් නොපතමි
හිතේ සැනසුම් සුසුම් පා කර
ප්‍රේමයේ අස්වනු නෙළන්නෙමි......

විසිරි

95. කවි

හෘදය ත් මොළයත්
ගැහෙන
පෙනහලුත් හෙමිහිට හූල්ලන
ඉසව්වක තනිවී සුසුම් ලමි....
.
හිතෙන් කෑලමල් අමුණමි
හරිත නිම්නෙක වැතිර සැතපෙමි
දිය කඳුරු තුළ ගිලී නැහැවෙමි...
නෙතු පියා නුඹෙ සුසුම් විඳගමි...
.
ඇස අරින මොහොතක සසැලෙමි
අස්ථි පංජර අසල තනිවෙමි
මගෙ සිහින නුඹ නොදත් බව දනිමි ....
එහෙයින්ම සිනා වී සැනසෙමි.....

විසිරි @ රෝහල ....

94. පරෙස්සමින් ගිහින් එන්න

අපේ ජීවිතයේ හෘදයාංගම වචන වලට තියෙන තැන ගැන මම නිවාඩුවෙ කල්පනා කලා...
.
ඉස්සරම දවස් වල ඉස්කෝලෙ පන්ති යනකොට අම්මාට වඳින වෙලාවට අම්මා කියන්නෙ...බුදුසරණයි ...පරෙස්සමින් ගිහින් එන්න ඕන තේරුනාද....ඒක ටිකක් තදින් ඒත් ආදරයෙන් දෙන අණක්....
.
ඒත් තාත්තාගෙ ගාවදි ඒක කියවෙන්නෙ ඊට වඩා මෘදුව...තාත්තා ලා එහෙමයි.....අදටත් තාත්තා ට උදේ වැඩට යන ගමන් කතා කලාම ...බස් එකේද දෝණි එහෙනම් පරෙස්සමින් යන්න කියනවා....ඒක මුලු දවසටම ජීවිතේ ආශීර්වාදයක් වෙලා තියෙනවා වගෙ දැනෙනවා.....
.
මමත් කොල්ලො දෙන්න බයිසිකලේ අරන් එළියට බහිද්දි කෑගහනවා...පරෙස්සමින් හරිද...කියල...ඒ අම්මෙක්ගෙ tone එක....කොහෙ ගියත් අම්මාට කියල යන පුරුද්ද ඇති වෙන්නෙ ඒ හරහා කියලා ඉබේම මට දැනෙනවා...
.
අපේ ගෙදර ඉතින් මගෙන් ඇරෙන්න මට ඕක ආයෙ කියන කෙනෙක් නම් නෑ....මොකද ස්වාමිපුරුෂයා සහ ළමයි දන්නව ....එළියට බැස්සොත් හරි පරෙස්සමට ආයෙ ගෙදර එන වගකීම අම්මා අත ඇති බව....ඉඳහිට උඩ බලන් ගිහින් ලයිට් කණුවක හැප්පෙන එක...බස් එකේ බ්‍රේක් ගහන කොට විසිවෙලා වැටෙන එක වගෙ ඒවා නෙවේ මේ කියන්නෙ...
.

සාමාන්‍යයෙන් කෙනෙක්ට කටපාඩමට පරෙස්සමින් යන්න...බුදුසරණයි ...take care, god bless...ඕනම එකක් කියලා දාන්න පුලුවන් ....ඒත් හෘදයාංගම ව ප්‍රාර්ථනා කරන දේක ඊට වඩා ලොකුම ගැම්මක් හයියක් තියෙනවා....ඒ කියන කෙනා තමන්ගෙ කවුරුවත් වෙන්න ඕන නෑ ඒ වෙලාවට......
.
අපි ජීවිතේ හෙම්බත් වෙන කල් වැඩ කරන මිනිස්සු...ඒ ජීවිතේ තමන්ට ආශීර්වාද කෙරෙන සමහර වචන හරියට සෙත් පිරිත් වගේ.....

.
විසිරි

93. ආදරේ කියන්නේ .....

ආදරේ කියන්නේ ......

ආදරේ කියන්නේ... වචන වලින් ලියා හමාර කරන්න බැරි දේවල් වලටය..
.
ආදරේ ගැන ලියන්නට ගියාම හිතට මුලින්ම එන්නේ තාත්තාය...තාත්තාගේ ආදරේ කියන්නේ...උපමා උපමේය සියදහසකට එහා යන දෙයක්‍ ය...
ඉස්සරම සිඟිති කාලේ මතක පවා අද ඊයේ වූවා සේ ගෙන හැර පාන්නේ ඒ ආදරණීය හිතේ දරුවන් ඉන්නා තැන පෙන්වන්නටය...
.
ඉස්සරෝම කාලෙක මෝටර් බයිසිකලයේ මා පසුපසින් නංවාගෙන පන්ති එක්ක යන දිනක පාරට පැන්න බලු පොරයක් නිසා පෙරලී වැටෙද්දීත්....තාත්තාට කෑගැහුණේ මගෙ කෙල්ල දෙයියනේ කියාය....අතේ වැලමිට ලඟ ඒ තුවාල කැලල අදටත් මට තාත්තාගේ ආදරය පිරි හඬ මතක් කර දෙයි....
.
අම්මා ගේ ආදරය ....හංගා ගෙන උන් අපූරු දෙයකි....ගෙදරින් කොළඹට යන තෙක්....ඒ ආදරය මට ලැබුණේ ..පෙන්නුවේ මංචාඩි ගානෙනි....බෙදුවේ කන් හැන්දෙනි....ඒත්...ඒ මගේම නස්කූණි ගති නිසා වෙන්නට ඇත....
.
ගෙදරින් කොලඹට ආ දා සිට මාසයකට ලියුමක් දෙකක් ඈ අතින් ලියවින..අර කන් හැන්දෙන් බෙදපු ආදරය පොල් කටු හැන්දෙන් බෙදන්නට ඈ ඒ ලියුම් වලින් සමත් වූවාය...ස්වභාවයෙන්ම ගෙදරදී කෑම තෝර තෝරා කෑ මට කොලඹ බෝඩිං කෑම පත්තියම් නොවන බව ඈ දැන උන්නත් ...පාඩම් කරන නිසා " තණකොල " හරි කන්නයැයි ඈ ලියා එව්වාය... .
අම්මාගේ ආදරය ඇය අතින් ගවුමක් මසා තුරුණු වියේදී අන්දවන විටත් මනමාලියක වී ඇගෙන් දුර යන දා කලාතුරකින් ඇගේ ඇස දුටු කඳුලකත් මම දැක්කෙමි.....
.
ආදරය කියන්නට ගත්තා පමණි....ඇයට සුරලොව බලා ගමන් කරන්නට වූයේ ....මගේ ලෝකයේ ඇතුළාන්තයේ ආදරය ඉල්ලා හඬන දැරිය හුදෙකලා කරමිනි.....
.
ආදරය කියන්නේ හරි ම අපූරු මනෝ භාවයකි...අම්මා තාත්තා යනු ඒ ආදරයේ සංකේතයන් ය....වචන වලින් කියාගන්න ට බැරිවූ ආදරය අද සංකාවෙන් අමුණ අමුණා ලියන්නට සිදුවන්නේ අවාසනාවටමය......
.
අම්මා තාත්තා යනු දරුවන් මත්තේ තම ලෝකය දියකර හරින්නන්‍ ය....ආශාවන්...බලාපොරොත්තු සියල්ල දරුවන් වෙනුවෙන් කැප කරන්නන් ය....ඊට එහා ආදරයකට උපමා උපමේය ඇත්දැයි මම නොදනිමි.....
.
අම්මා ට ජීවත් ව ඉන්නා තාක් කල් හිතේ තිබූ ආදරය කියාගන්න ට හිතේ හැටියට බැරි වුණත්...තාත්තාට අද මම ආදරය කියමි....ඒ තාත්තේ මම ඔයාට ආදරෙයි කියා ම නොවන මුත්...දවසකට දෙකකට වරක්....වල්පල් දෙඩීමෙන් සහ ....හොඳින් පරෙස්සමින් ඉන්න යැයි තරවටු කෙරීමෙන්‍ ය....
.
ඒත් උපන්දිනය දාට සුබ පැතුම් පතක් මගේ අතින්ම හදා තාත්තේ මං ආදරෙයි කියා ලිවීම තරම් ...ඔහුට වටිනා වෙන දෙයක් නැති බව මම හොඳාකාරව දනිමි.....
.

ඉතින් ....ආදරය කියන්නේ ඒකටය.....

විසිරි