Saturday, December 10, 2016

18.ඒ අපූරු දවස් ( 6 කොටස ) (මතක)







ආත්තම්මාගේ කෑම


අපේ ආත්තම්මා...එහෙම නැත්නම් ආච්චි අපූරු සූපවේදිනියක්...ඇගේ අත් ගුණය..රස නහර පිනා යන ආහාරයන් අපිට හැමවිටම ලබා දුන්නා.
ගමේ ගෙදරක ජීවත් වෙනවා කියන්නේ සොබාදහම එක්ක ඉන්නවා කියන එක.සොබා දහම නිරන්තරයෙන් තමන්ගෙ සාරය රස පල වැල ඔස්සේ අපිට ලබා දෙනවා

වසක් විසක් නැති..ස්වබාවික පොහොරෙන් සරුසාර වුණ ඒ රස පලවැල ආත්තම්මගෙ අත්ගුණය හා සබැඳුනාම ...රස නහර පිනා යන අහරක් වෙනව....

ඉස්සර අපේ ආත්තම්මා එක්ක ගේ ඉස්සරහ වෙලට ගියාම ගොටුකොල...මුකුණුවැන්න..ගිරාපලා වගේ කොල අහුරක් මිටක් කඩාගෙන ඒමට ඇගෙන් නිරායාසයෙන්ම අණක් ලැබෙනවා...අපේ ගේ ඉස්සරහ වෙල අයිනේ තිබුන නාන ලිඳ ට යන හැම වරකම ගෙදර එද්දි අපි මේ දේ කරනවා....ඒ දවස් වල කොල වර්ග කන්න අපි හරිම හොරයි..ඒත් වත්තේ තියන ජපන් බටු කොල(අපේ පැත්තෙ කියන්නෙ සිංගප්පූරු කොල කියලා දාල හදන කලවම් මැල්ලුම කොච්චර රසද කියලා හිතෙන්නෙ..දැන් මේ පෝර බෙහෙත් ගහපු කොල මිටි කනවිට

මම ඒ දවස් වල ආත්තම්මා හදන කෑම වලින් ආසම කිරිකොස් ව්යන්ජනයට....ඒක හදන දවසට මම බත් එක්ක කිරිකොස් නෙවෙයි කිරිකොස් වලට බත් යන්තමට පෙන්නල කන්නෙ...ඔක්කොටම වඩා ආස කිරිකොස් හට්ටියෙ අන්තිමට ඉතුරු වෙන ටිකට බත් දාගෙන ඒකෙම කන එක...( මම මහ බඩජාරියෙක් ගානට වැටෙන බව දැන් දන්නවා...ඒත් ඇත්ත ලියන්නම එපයි....)

ගමේ ගෙදරක උයන එලවලුවෙ රස ගුන ආවෙ ඇත්තටම ඒක හදන දේශීය රසකාරක නිසායි..දැන් වගේ කුලු බඩු ඛඩෙන් ගන්න පකට් කල දේ ගන්න සිරිතක් එදා තිබුනෙ නැහැ..මට මතකයි කහ පවා..ගෙනවිල්ලා වේලලා...මිරිස් ගලේ අඹරලා තමයි කහ හදාගත්තේ

ගස් වල බිලිං හැදෙන කාලෙට බිලිං උයලා...හදන ඒ ආහාර වට්ටෝරුව අද අපිට හදාගන්න බැහැ...
සකසුරුවම් කම අතින් ඉස්සර අපේ ආත්තම්මලා උන්න තැන ට ගව් ගානක් මෙහා අපි ඉන්නෙ


ගහක කොස් ගෙඩියක් පැහුනත්...වැල වරකා වුනත්..ඒකෙ ඇට ටික පවා වැලි යට දාල වැලි කොස් ඇට කලා ඒ කාලෙ...ඉන් පස්සේ කාලෙක ඒ වැලි කොස් ඇට තම්බලා ලුණු ඉහලා පොල් එක්ක කන කොට තිබුණ රස තාම දැනෙනවා වගේ...නමුත් පසු කාලෙක මගේ දරුවන් පාඩම් පොතෙන් වැලිකොස් ඇට ගැන ඉගන ගද්දි ඒ දේවල් අපිට සිද්ද වුණේ යාන්ත්‍රිකව කියා දෙන්න

කාලය ඇදිලා ගිහින්...අත්තම්මා වගේම අම්මාත් නැහැ...මතකයන් පමණයි ඉතුරු....මේ මතකයන් මෙලෙස උනත්...මෙතනින් එහා පරම්පරාවට ඒකත් අමතකම වන මතකයක් වෙනවා කියල හිතද්දි...හිතට එන්නේ දුකක්.......

Thursday, December 8, 2016

17. ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට (කවි)









ඉස්සර දවසක ලියූ කවක්...අද ආයෙම සිහිවුණා...

මේක යලි අවදිවෙන නිමිත්ත වුණේ...වැඩ ඇරිලා එද්දි ඊයේ දුටු...වියපත් අම්මෙක්...රජයේ කාර්‍යාලයක ලිපිනය අහන්න නැවතුනාම..


මේ
... කවිය බොහෝ දිගයි..නමුත් කෙටි කරන්නට අමාරුයි ...


ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට
ලියමන් අරන් ආවයි ගම් ඉමේ සිට
වසරක් එහා මියැදුණ හිමියන් නමට
කරදහි මදි කමින් පැන්සොන් නැති හෙයින...


කොලොම් තොටට ආවේ මුල් වතාවට
ගනිච්චියක් නෑ යන එන කලාවට
අහන් ආමි මං සලකුණු පමාවට
අනේ මහතුනේ නොසරුප් නොවෙන් මට...


මාවත් දිගට කහ ඉරි නම් එමට ඇති
පනිනා කෙනෙක් කිසි විටෙකත් දුටුවෙ නැති
රතු එළි තියෙද්දිත් පාරේ පැන දුවතී
නොසරුප් කතාවෙන් බැන රිය සක ඇදෙතී...


හඬවනු නොයුතු තැන් වල රිය හඬම දෙති
මල පොත නොදත් මුත් සලකුණු මට ඇහැකි
අම්මෙක් කියා නොහිතා ගොර බස් දොඩති
මෙහෙව් රටක අගනගරය මෙහෙම වෙති....


කන්තෝරුවේ මහතුන් ලිපි කඳු උඩය
පෑගෙන අපේ දාබිඳු හෙම පිළිකුල්‍ ය
සුන්දර ලඳුන් ඉඟිබිඟි පානා සැරය
මගෙ ලියුමට ඉතින් මේසේ ඉඩමදිය...


කහට කෝප්පය බනිසක් පොඟා කන
මා දෙස බැලූ නෙත් දහසක් කතා වුණ
කළ යුතු වැඩේ ගැන හරියට පමා වෙන
අරුමය නොසැලකූ එකමයි විනේ මට...


අන්තිම බසේ අල්ලන්නට යායුතුය
ලියුමේ අත්සනට පැය කාලක් මඳිය
ඊලඟ සතියෙ එන්නට අතමිට මඳිය
ඊටත් මගමරුන් ඇති මග මට බැරිය...


වැදෙනා හුලඟ හිස කරකරනා සුලුය
ගම්මැද ගහ කොලක සිහිලස කිසිත් නැත
පණ රැක ගන්න දෙවියන් බුදුනගෙ නමට
ආවෙමි යළි කොලඹ පස් පාගන්නේ නැතිය....

Monday, December 5, 2016

16. අකුරු ලියන්නට මැලිවීමක්... ( සෞඛ්‍ය)

inews.lk වෙබ් පිටුවට ලියූ ලිපි පෙලෙන්




සමිත වයස අවුරුදු දහයක පමන කුඩා දරුවෙක්. පාසලේ පහ වසර පන්තියේ ඉගනුම ලබන සමිත ගේ සහ ඔහුගේ දෙමවුපියන්ගේ එකම අභිප‍්‍රාය ශිෂ්‍යත්ව විභාගය සමත්වී නගරයේ ජනප‍්‍රිය හා උසස් පාසලකට අතුලූ වීමේ වරප‍්‍රසාදය ලබාගැනීමයි. මේ සඳහා සමිත සූදානම් වූයේ තුන්වන ශ්‍රේණියේ සිටයි.

වර්තමානයේ පවතින අධ්‍යාපන තරගයේ රැල්ලට හසුවූ බොහෝ දරුවන් මෙන්ම සමිතට ද නිරායාසයෙන් මේ පහේ ශිෂ්‍යත්ව රැල්ලට හසුවී ඒ ප‍්‍රවාහයේ ගසා ගෙන යන්නට සිදු වුණා. නගරයෙන් ඔබ්බට පැවතුන ග‍්‍රාමීය පරිසරයක වූ සමිතගේ මුල් පාසලෙහි ද්විතීක ශ්‍රේණි අධ්‍යාපනයක් නොවූ නිසා ඔවුන් අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්වය මත මහත් බලාපොරොත්තු තබා උන්නා.

පාසල් වේලාවට අමතරව සමිත පාසලේ සවස් වරුවේ සතියට දින තුනක් පවත්වන අමතර පන්තියකටද ඉතිරි දින වල පෞද්ගලික පන්ති දෙකකටද සහභාගී වූවා.

ඊට අමතරව පාසලේ දෙන විවිධාකාර අභ්‍යාසයන්ද නිවසට ආපසු වෙහෙස නොබලා කරන්නට සමිතට සිදුවුනත් ..අනේ පුතේ තව මාස කීයද….මේ ටික කොහොම හරි කරගනිමුකෝ,….” යන මවගේ ඇවිටිල්ල මත වෙහෙස නොබලා ඒ ක‍්‍රියාකාරකම් හා අභ්‍යාසද කරන්නට සිදුවුනා. ඉරිදා දිනවල දහම් පාසලටත් නොයා සිටින්නට ඉඩක් නොලැබුන හෙයින් සතියේ දින හතම එක හා සමානව ඔහු විවේකයක් නොබලාම වැඩ කටයුතු වල යෙදිය යුතු වුනා.

විභාගයට මාස හතරක් පමණ තිබියදී සමිතට සිදුවූ ප‍්‍රධානම ගැටලූව ඔහුගේත් දෙමවුපියන්ගේත් ගුරුවරුන්ගේත් කම්පනයට හේතු වුනා. සමිත යනු පන්තියේ උන් දීප්තිමත්ම දරුවා. ඔහුගේ ප‍්‍රතිපලය මත මහත් බලාපොරොත්තු තබා ගෙන උන් දෙමාපියන්ට සිදුවුයේ මේ අනපේක්ශිත තත්වය අදහාගන්නටත් නොහැකි වීමයි.

සමිත ගේ අකුරු ලිවීමේ ඇතිවුන ප‍්‍රධානම ගැටලූව වූයේ ඔහු ලිවීමට පටන් ගෙන ඉතා සුලූ මොහොතක් ගතවෙද්දී ඇගිලි වලට ඇතිවන වෙනස් අන්දමේ ගැටලූ සහගත තත්වයක් නිසා තව දුරටත් අකුරු ලිවීමට නොහැකි වීමයි. ආයාසයක් දරමින් ලිවීමට දිගින් දිගටම තැත් දරන විට සමිතගේ අකුරු වල හැඩය වෙනස් වී ඉතා නොපැහැදිලි අවලස්සන තත්වයක් ගන්නට වූ අතර දැඩි වේදනාවක්ද ඇති වී තිබුනා.

විභාගයට ඉතා ආසන්න කාල වකවානුවකදී සිදුවූ මේ අනපේක්ශිත තත්වය නිසා සමිතගේ ආත්ම ධෛර්යය හා විශ්වාශයද මදින් මද ගිලිහී යමින් තිබුණා. මේ හේතුවෙන් සමිත කල් නොයවාම ළමා රෝග සම්බන්ධ වෛද්‍ය විශේෂඥවරයෙකු වෙත යොමු වන්නට යෙදුනා. එහිදී විවිධාකාර පරීක්‍ෂණ හා ඇගයීම් රාශියකට පසු හඳුනා ගත හැකි කිසිදු ශාරීරික ගැටලූවක් නොවූයෙන් ඔහුව ලමා මනෝ වෙද්‍යවරයෙකු වෙතද යොමු කලා.

එහිදී නැවතත් විවිධ පරීක්‍ෂණ හා ඇගයීම් කරනු ලදුව ඉන් පසුව ඔහුගේ රෝග නිර්ණය ලෙස (writers cramp) සඳහන් කර තිබුනා.

සමිත මුහුණ පාන මේ ගැටලූ සඳහා වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ලබා දිය යුතු යැයි ද තීරණය කරනු ලැබුවා.
සමිතගේ දෙමාපියන් සමිත ද කැටුව වෘත්තීය චිකිත්සක සායනයකදී මා මුන ගැසුණා. පූර්ණ රෝග තත්ව වාර්තා සහ ඇගයීම් වලට අනතුරුව සමිතගේ ලිවීම් රටාවන් නිරීක්‍ෂණය කරනු ලැබුවා.

සමිතගේ පෑන ඇල්ලීමේ ඉරියව්, හිඳගෙන ඉන්නා රටාව, හැසිරිම් රටා ආදිය සියල්ලම වෘත්තීය චිකිත්සක ඇගයීමට අදාලව සලකා බලනු ලැබුවා.
සාමාන්‍ය ලිවීම් රටාව අරඹා අපහසුතාවයට පත්වන්නට ගත වන කාලයද එහිදී දරුවා පත්වන ගැටලූ හා අසීරුතා ද විමසිල්ලට ලක් කරනු ලැබුවා.

Writers Cramp සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ අතේ හෝ යටි බාහුවේ මාංශ පේශී වල සිදුවන මස් පිඬු පෙරලීමක් ලෙසයි. මෙය බොහෝ විට දැකිය හැකි වන්නේ ලිවීමේ දී හා සියුම් වාද්‍ය භාණ්ඩයක් වාදනයේදීයි. මෙම රෝග තත්වයට නියමිත පැහැදිලි හේතුවක් නැතත් අධික ලෙස ලිවීම වැනි සියුම් ක‍්‍රියාකාරීත්වයන්ගේ යෙදීමත්, ඒ සඳහා නිවැරදි ඉරියවු භාවිත නොකිරීමත් හේතුවේ යැයි සොයාගෙන තිබෙනවා.

සමිතගේ ලිවීමේදී නිරීක්‍ෂනය කල ප‍්‍රධානම තත්වය වූයේ පෑන අල්ලා ගැනීමේ වැරදි ඉරියව්වයි. සාමාන්‍යයෙන් අකුරු ලිවීමේදී පෑනක් අල්ලාගත යුතු මහපටැගිල්ල, දබරැගිල්ල හා මැදගිල්ල එක්වන ඉරියවුව (tripod grip) වෙනුවට දරුවන් යොදාගන්නා විවිධාකාර වූ තම තමන්ට අනන්‍ය වූ රටාවල් තිබෙනවා.

ආරම්භයේ සිටම දරුවෙකු ලියා ඉරියව්ව වෙනස් අන්දමක් ගත් විට ඒ සඳහා වෙනසක් කළ යුතු නැතත් සමහරක් දරුවන් පසු කාලීනව වෙනත් අය අනුකරණයෙන් සිදුවන වැරදි ලිවීම් රටා නම් වෙනස් කල යුතු වෙනවා.
සමිතගේ තිබුණේත් පසුකාලීනව මිතුරන් අනුකරනයෙන් ලත් වැරදි රටාවක්. එය දරුවා සමග සාකච්ඡුා කොට වෙනස්කම් නිවැරදි කර පුහුණු ක‍්‍රියාකාරකම් වල යොදවනු ලැබුවා.

එමෙන්ම නිවැරදි ඉඳ ගැනීමේ ඉරියවු හා ලිවීමේදී සම්පූර්ණ යටි බාහුව හා අත මේසය මත තබා හිඳීම ගැන දැනුවත් කරනු ලැබුවා.

සමිතගේ ලිවීම් රටාව මඳක් කරගෙන යාමේදී ඔහුගේ අතට දැනෙනා වෙහෙස හා පීඩනය මත මාංශ පේශීන් තද වීමක් සිදුවුනා. මෙය සඳහා මාංස පේශීන් සැහැල්ලූ කිරීමේ ව්‍යායාම මාලාවක් (relaxation techniques) කියාදෙනු ලැබුවා. අදාල අවස්ථාවන්හිදී මේ සැහැල්ලූ කිරිමේ ක‍්‍රම භාවිතා කිරීමෙන් වේදනාව සමනය වෙනවා.

දෙමාපියන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු මෙවන් අවස්ථා බහුලයි. ඉහත නම සඳහන් කල තත්වයට අමතරව අනෙකුත් ශාරීරික හා මානසික හේතූන් මත දරුවන් ලිවීමේ කුසලතා වල පසුබෑමකට ලක් වන්නට පුලූවන්.

අද දවසේ පවතින වේගවත් අධ්‍යාපනික රටාවට දරුවන් බිලිවී හමාරයි. නමුත් දරුවන් මල් වැනියි. අවිවාදයෙන් කිව යුතුයි එය නම්. ඔවුන් හට අධ්‍යාපනය ලබා දිය යුත්තේ දරාගත හැකි සීමාවන් තුලයි.

දරුවාට දරාගන්නට බැරි සීමාවට අධ්‍යාපනය පත් වුව හොත් සිදුවන්නේ ශාරීරික, මානසික හා චර්යාත්මක ආකාරයකින් ගැටලූ සහගත තත්වයන් ඇතිවීමයි.
මෙහිදී අප විමසන ලද්දාවූ (Writers Cramp) තත්වයට අමතරව ලිවීමේ නිවැරදිභාවය, පැහැදිලි හා හැඩතල නිවැරදි භාවය මෙන්ම ලිවීමට ඇති අකමැත්ත හා ප‍්‍රතික්ශේප කිරීම් ද දරුවන් තුලින් විද්‍යාමාන වන්නේ ඉහත කියූ දරාගත නොහැකි පීඩන තත්ව මතයි.

සමිත ලබාදුන් සරල මාංශ පේශි සැහැල්ලූ කිරීමේ ව්‍යායාම පන්තිය මෙන්ම පැහැදිලි කිරීම් රාශියකට අනතුරුව සමිතගේ දෙමාපියන්ටද විශේෂිත පැහැදිලි කිරීමක් මේ සම්බන්ධව කරදෙනු ලැබුවා. ශිෂ්‍යත්ව විභාගය විශේෂිත කඩඉමක් වුවත් දරුවාගේ මානසික හා ශාරීරික දරාගැනීම් මට්ටම අභිබවන්නට ඉඩ නොදීමට ඔවුන් තේරුම් ගන්වනු ලැබුවා.

සමිත මාසයකට වරක් සායනයට පැමින සිය ගැටලූවේ ක‍්‍රමානුකූලව අඩුවීම ගැන යහපත් ලකුනු පෙන්වා සිටි අතර පාසල් වාර්තා මෙන්ම දෙමාපියන්ගේ විස්තර දැන්වීම මත ඉහත ගැටලූව බොහෝ දුරට සමනය වූ බව දැනගන්නට ලැබුනා.

සමිත ගේ ශිෂ්‍යත්ව කඩුල්ල අනවශ්‍ය බරකින් තොරව ඔහු එතෙර වූ බව මාස ගානක ඇවෑමෙන් මට දැන ගන්නට ලැබුනා.

(නම් ගම් සියල්ල සැබෑ පුද්ගල නාම නොවන බව කරුණාවෙන් සලකන්න)

Saturday, December 3, 2016

15.පතොක් (කෙටිකතා )




සමන්තා ඇස් අගට එන හීන් කඳුල මහපටැඟිල්ලයි දබරැඟිල්ලයි එකට අරන් ඇස් කෙවෙණි වලට තියල තද කරමින් වලකා ගත්තා.

හිත ඇතුළෙන් පපුවෙ කටු අනිනවා වගේ දැනෙන කීරි ගැහෙන වේදනාව...කඳුලක් වෙලා ඇහෙන එලියට පනිනවා....හුස්මක් හෙලලා හිත සැහැල්ලු කරගන්න තැත් කලත්...විටින් විට හිතට එන්නෙ දුක...


පටු ආකල්ප.....ඕව පුහු කතා..සමන්තාගෙ යටි හිත විප්ලව කරනවා.බෝඩ් ලෑලි අරන්...හන්දියක් ගානෙ ඉන්න වෘත්තීය සමිති කාරයො වගේ..සිතුවිලි බෙරිහන් දෙනවා...ඒත් එක වචනයක් වත් එලියට එන්නෙ නෑ.....කට අගුලු වැටිලා..


වෙනුවට ඇහෙන් රූරා හැලෙන කඳුලු කැට උඩු තොලේ මායිමේ රැඳෙනවා...කටට ලුණු රසේකුත් එක්ක...

මිදුලෙ කොණක ගල් බැම්මෙ වාඩිවෙලා ගෙවෙන කී වෙනි පැයද මේ....සමන්තාට නිච්චි නෑ.මඩ තැවරුණ උදලු කෙටිය පැත්තක..බිම පෙරළිල.සමන්තාගෙ පටි සෙරෙප්පු වලත් මඩ දූවිලි.අඩි දහයක් දොලහක් එහායින් තියන කරාමෙ ගාවට ගිහින් කකුල් හෝදන් එන්නවත් ඇයට ඕනකමක් නෑ...අඩියක් උස්සලා අඩියක් තියද්දි පතුළෙ වගේම හිතෙත් කටු ඇණෙනවා වගේ ඈට දැනෙන්න ගත්තා....


පතොක්....ඉස්සර කතරගම යද්දි...ශුෂ්ක කලාපීය පරිසරයට සේන්දු වෙනකොටම ඇහැට පේන කිසිම සුන්දරත්වයක් නැති බම්බු වගෙ ඉහලට ගිය පතොක් ගස්....සමන්තාගෙ මතකයට ආවා.


ඒත් ..අවුරුද්දකට පාරක් කතරගම පාරෙ යද්දි....සමහරක් කාලවල මහ විසාල පතොක් ගස් වල පිපිල තිබුණ කහ පාට ලොකු මල් දැක්කම ගහේ කර්කෂ බව ටිකක් හරි අඩුවෙලාද කියලත් ඈට හිතුණා...බස් එකෙන් බැහැලා පතොක් මල් වල සිරි නරඹන්න ඉඩක් නොවුණ නිසාම ආශාව හිත පතුලෙම සඟව ගත්තා...


ඉස්කෝලෙ විද්යාව පාඩමේ ශාක වල අනුවර්තනයන් ගැන කතා වෙනකොට....ආපහු පතොක් වල නම එලියට ආවා....

මාංශල කඳ ....ක්ෂීණ වූ පත්..කොළ පැහැ කඳ....උත්ස්වේදනය අවම කිරීම...ජලය ගබඩා කර තැබීම.....


කාලය ගලා යද්දි...සමන්තා විවාහ වෙලා නගරයේ අලුත් නිවහනට ආවා...

ස්වභාවයෙන් හිත පතුළෙ යට පත් වුණ...පතොක් වල අනුරුව ආපහු උඩට ආවෙ...අල්ලපු ගෙදර ටානියා ගෙ මල් වගාව දකින්න ගිය අහඹු ගමනෙදි...

සුවඳ හමන මල්...පාට පාට මල් යායක්.....විවිධ වර්ණ කොල...භූමිදර්ශන....පොකුණු...සෑහෙන්න මුදල් වියදම් කරලා හදපු උද්යානය....නඩත්තුවටත්..සෑහෙන්නම වියදම් ඇති...


උයනෙ කෙලවරක...තාප්පෙට සවි කල...අමුතු රාක්කයක...තමයි...ඉස් ඉස්සෙල්ලම අපූරු පතොක් ගස් ටික තිබුණෙ....හම්බන්තොට පතොක්..විතරක් දැකපු සමන්තාට මේ අපූර්ව හැඩතල ඇති කුඩා ප්රාණීන් වගෙ වෙච්ච පතොක් බට්ටො ටික දැක්කම අප්රමාණ ආසාවක් හිතට ආවා....සමහරක් අය..කේතු ආකාර...සමහරු බෝල බෝල වගෙ...තවත් අය...ඇඹරිලා...විවිධ පාට...කෙඳි කෙඳි....සමන්තා ආසාවෙන් එකක් දෙකක් ඇල්ලුවා...


"බී කෙයාෆුල් ඩාලිං...දේ සෝ කෝල්ඩ් ඈස් පොයිසනස්....ඊවන් අයෑම් නොට් ටචින් දෙම්..." ටානියා අමුතු උරුවකින් කියාදුන් වචන සමන්තාව පස්සට තල්ලු කලා...


වස...විස....කටු....තියුණු....මේ පොඩි බට්ටන්ගෙ....සමන්තා ගෙ ඇහැ බොහෝ ලොබ බැන්දා මේ බට්ටන්ට...විසයි කියන එක නම් පිළිගන්න ඈට අමාරු තරම්

කාලය ගෙවුණා....සමන්තාට ටානියාගෙන් ලැබුණ එකම එක බෝල පතොක් පැලේ සුරැකිව හැදුණා...ආසාව කියන්නෙ නොනවතින හැඟීමක්...එකකින් නොසෑහෙන...එකකට පස්සෙ තවෙකක්...ඊලඟට තව එකක්...කොයි දේත් ඔහොමයි...අහම්බෙන් ටවුන් ගිය වෙලාවක පැළ තවානක දි ඇහැ ගැටුණ විවිධ වර්ගයේ පතොක් පැටවුන් සමන්තාගෙ ගමන් මල්ලෙ හැංගිලා ගෙදරට ආවා....


සම්මතය....සම්ප්රදාය...විශ්වාස...අවි අමෝරා ගෙන හිස ඔසවන්න පටන් ගත්තා හරිම වේගයෙන්....පලමු වෙඩි ප්රහාරය නැන්දම්මාගෙන්....

" එලෝලුවක් පලතුරක් හිටෝ ගත්ත නම් ඒකත් එකක්...ගේ ඉස්සරහම කටු ගස්...එක්කො අම්ම අප්ප කියාදෙන්න ඕන හොඳ නරක....නැත්නම් මහ ලොකුවට පාස් කල විබාග වල ඕවා තියෙන්න ඕන..."


සමන්තා කල්පනා කලෙ....පතොක් පැලේකයි උගත් පාඩම් වලයි සම්බන්දෙ....දෙමාපියන්ට බනිද්දි කොයි දූගෙද හිත නොරිදෙන්නෙ..ඒත් ඔය ඔක්කොටම වඩා සමන්තාගෙ හිතේ පතුලෙ තියන ලෝබකම වැඩි වුනා....නෑහුණ ගානට ඉන්නවා හැර වෙන විකල්පයකුත් නෑ....හැම ප්රශ්නෙකටම වගෙ....


" නල්ල මලේ ගෑනියෙක් නෙ හිතට එක එක ඒවා දාන්නෙ....හරියට මිනිහෙක් නෑ...එක එක කාලෙට එක එකා...ඔය පවුල් හැඳි ගෑවිල ගියෙත් ඔය කටුගස් ගේ පුරා හැදෙන කොට..මම ගියෙ එකම දවසයි...ඒකත් අර ගෙදර උදව්වට එන්න කියල කිව්වම අහක දාන්න බැරි කමට.....මිදුල අතුගාද්දි මගෙ අතෙත් කට්ටක් ඇණුනා......"

කතාවට අවශ් කෘෂි රසායන පෝර ටික...නොඅඩුව ලැබුණෙ...එහා වත්තෙ ඉන්න..නෝනැන්ද ගෙන්.....එකම එක දවසක් කිව්වට...සතියට දවස් තුනක්ම නෝනැන්දා ටානියාට උදව්වට තාමත් යන එන බව සමන්තා නොදැක්කා වගෙ කට වහගත්තා....


කාලය එක්ක ගෙදර ලෙඩක් දුකක් හැදුණත්....වග කීම අර පතොක් පැටවුන්ට....

සමන්තායි මහත්තයායි...ප්ලෑන් කරන් උන්නෙ අවුරුදු තුනක් විතර ගියාම දරුවෙක් හදන්න.....අන්තිමට නැන්දම්මා ලේලිට දරුපල නෑ කියල.... වගකීම්ත් පැවරුවෙ පතොක් පැලටිකට....


ගෙදර කැස්සක් කිවිසුමක් ගියත් වාග් ප්රහාර එල්ල වෙන්නෙ...මිදුලෙ කොණක අහිංසකව බලන් උන්න පතොක් බට්ටන්ට....වගේ වගක් නැතුව හෙමි හෙමින් පුංචි බට්ටො ටික අහිංසකව බලන් උන්නා....


සමන්තාගෙ මහත්තයා....ක්රිශාන්තට මේ කිසීම දේක වගක් විභාගයක් ඔලුවට ආවේ නෑ....උදේ වැඩට යාමත්....ගෙදර ආවම තියන ඔෆිස් වැඩ කන්දරාවත් එක්ක....ක්රිශාන්ත අමුතුම ජීවියෙක් වෙලා උන්නෙ.....ඒත්...හැමදාම ගෙට ගොඩ වෙද්දිම ඇහෙන ආඩාපාලි එක්ක...ක්රිශාන්ත ත් පිටසකවල හැඟීම අතෑරලා ඔලුව උස්සල බැලුව...


" මොකක්ද සමන්තා මේ හැමදාම අඬෝවැඩියාව....අම්මත් වැරදි නෑ....කිසිම වැඩකට නැති ගහක් ඕක...මම ෆෙන්ෂුයි පොතකත් දැක්කා....කටුගස් ගෙවල් ඉස්සරහට හොඳ නෑලු.....ඉස්සරහට තියා ගෙදරකටවත් හොඳම නෑලු....."

සමන්තා එක පසෙක තනිවුණා....අවි අමෝරාගෙන ආව ඔක්කොම තව පසක....මැද පතොක්....


අන්තිම දවස එදා.....කාලයක් තිස්සෙ කැස්සකින් පීඩා වින්ද සමන්තා...ලේ පරික්ෂණයක් කරන්නට ගිහින් වාර්තාව ඩොක්ටර්ට පෙන්නපු දවස....ක්රිශාන්ත එක්කන් ගියෙ අපරාදෙ......


" ඔයගෙ පෙනහලු වල පොඩි ආසාදනයක්...හේතුවක් කියන්න අමාරුයි....මේවා ගෙවත්තෙ තියන සමහර පැලවල පරාග වාතයට එක්කාසු වෙලා ස්වසනයට එක්වුනත් වෙන්න පුලුවන්......."


ගෙදර එද්දිම.....ක්රිශාන්ත පතොක් පැලටික උසාවි කූඩුවට නග්ගල ඒක පාර්ශ්වික නඩු තීන්දුවත් දීල හමාරයි......

පතොක් පැලවල මල් පිපෙන්න තව කල් යාවි........ඒවයෙ පරාග නෑ.......සමන්තාට කියන්නවත් ලැබුන්නෑ.......

අන්තිමෙදි.....ඒක එහෙම වුණා.....සමන්තා පිස්සියෙක් වගෙ ඇඳෙන් නැගිට්ටා....උදැල්ලත් අරන් වත්තෙ කොණක වලක් කොටලකොටල......පැල ටික ගන්න යද්දි තමයි දැක්කෙ.....එක පැලේක බුහුටි පොහොට්ටුවක් .......සමන්තාගෙ ඇස් වල කඳුලු ....හිත හයිය කරන් පැලටික වලට විසික් කරද්දි....පොහොට්ටු පැලේ...අතේ එල්ලුනා......හරියට..." අනේ මම ගැබ්බරයි" කියනව වගේ....


*******************************

තීරණ ගන්න කලබල වැඩි උනාද.......සමන්තා හිතුවා.....

ඒත් මොනවා කරන්න්ද  වෙන......හැමදේම රැකගෙන සමබරව ගෙනියන වෙන විකල්ප ක්රමයක් නැති නිසා....මේ තීරණේ ගන්න වුනෙ....ජීවිතේ හැම තීරණයක්ම මේ පතොක් පැලේකින් වෙනස් වෙන හැටි......

සමන්තා බර හුස්මක් හෙලුවා.......ගවුම් සාක්කුවෙ ජංගමය හීන් හඬින් හඬ දෙද්දි......සමන්තා අතේ ගෑවුණ මඩ වැලි පිහදාගෙනම ඒක අතට ගත්තා .......



" ....අක්කා .....මොකෝ දරු සුරතල්ද.......මේ වෙලාවෙ මං දන්නවනෙ..........."  එහා  පැත්තෙන්  සීනුවක් වගේ..හඬ  තලන අචලාගෙ හඬත් එක්ක සමන්තාට  ඉකි බිඳුනා......



මොකෝ ඒයි......අවුලක්ද.....කියන්නකො...අද ඔයා ඔෆිස් ආවෙ නැත්තෙ මොකද බලන්නයි මම මේ ගත්තේ ..අසනීපයක් වත් ......



සමන්තා එක දිගටම ඉකි බින්දා ....අමාරුවෙන් හඬ අවදි කරන් ....සිද්ධ වුණ දේ කියද්දි අචලා හීන් සැරෙන් හ්ම් හ්ම් ගගා අහන් උන්නා ......



"ඒකත් එහෙමද එහෙනම් අන්තිමට .......මට කියන්න එක දෙයයි තියෙන්නෙ....ඒත් දැන් ඕක වලදාලනෙ....නැත්නම් ටික මට ගෙනල්ල දෙන්න තිබ්බ ඔයාට........මම ඔය කරදර ...හිරිහැර අපවාද වලට බොහොම කැමැත්තෙන් මූණ දෙනවා......." අචලා ගෙ හඬ බොහෝම සැහැල්ලුවෙන් ඇදිලා ආවා....



මම එයාලව ගොඩ ගන්නව....සමන්තා යටි හිතෙන් කියාගෙනම නැගිට්ටා....අචලා මගෙ බට්ටො ටික බලාගනීවි ...මේ අසනීප හොඳ වුණාම...මම ඔෆිස් එකේ වෙනම තැනක මෙයාලව තියාගන්නව....කරදර ආවත් ඔෆිස් එකටනෙ.....එතකොට එදාට බලාගන්නව.....





වෙලාවට වලදාල තද නොකලෙ...හෙමින් හෙමින් අතැඟිලි වලින් පස් ටික හාරමින් සමන්තා හිතුවා...පසට යටින් ඔලුව ඔසවන් බලන් උන්න...පොහොට්ටු පැලේ ආපහු සමන්තාගෙ අතේ එල්ලුන.....හානියක් නොවුණ..පැටව් එක්ක...වැලි නෑවිල උන්න පතොක් පැලේ දිහා සමන්තා දුකෙන් වගේම සතුටින් බලන් උන්නා....





ජීවිතේ ඔහොමයි...අපි යං ගෙදර සමන්තා පොහොට්ටු පැලේට තට්ටුවක් දාල