Tuesday, November 30, 2021

2021(32). මතක සුවඳ

උදේම ඇහැරලා මිදුලට බහින කොට ඈතින් එන මල් සුවඳක් නැහැ පුඩු සිසාරලා හමා ගියා...

නම නොදන්නා ...හිතාගන්න බැරි මලක සුවඳක් වෙන්න ඕන ඒක.....ඔන්න ඉතින් විසිරිගෙ හිත ඉගිල්ලෙන්න ගත්තා.....

ඉස්සරම ගෙදර ට එහා පැත්තෙ පොඩි කඳු කෑල්ලක කෝපිගස් යායක් තිබුණා ....එක කාලෙකට සුදුපාටට අතුදිගේම කෝපි මල් පිරෙන්න ගන්නවා.....
මගෙ කාමරේ ජනේල පලු දෙක ඇරියාම උදේට හීන් සුලඟක දැවටිලා එන්නෙ ඒ කෝපි මල් සුවඳ....
වෙන වෙනම ගත්තාම රුවෙන් ඒ හැටි හැඩක් නැතත්....කෝපි මල් අහුරක තිබ්බේ ලස්සනම හැඩයක්.....




අපේ ගෙදර මිදුලේ ඇහැල ගහක් තිබුණා...මහ විසාල කඳක් තිබ්බ ලොකු ඇහැල ගහක්...මල් රෑන් පිපුණාම ඔලුවෙ ගෑවෙන ගානට අතු පහත් වෙලා.....
ඇහැල මල් සුවඳ දැනෙන්නෙ පාන්දරට....
ඉදලකුත් අරන් සුදු වැලි පොලවෙ වැටුණ ඇහැල මල් පෙති සීරුවට අතුගාන කෙට්ටු කෙල්ලෙක්.....ඒ සුවඳ පෙනහලු වලට ඇදගන්නවා ....මට තාම දැනෙනවා.....




ඉස්සර ගෙදරට එන පාර කෙලවර තිබ්බා ඇට්ටේරියා ගහක්..මල් පිපෙන කාලෙට සුවඳ ....හැන්දෑවට පොහොට්ටු දිග හැරෙන්න ගන්න කොට මම මල් වට්ටිය අරන් ගහ යටට යනවා...හුස්ම පොරෝගෙන වට්ටිය පිරෙන්න නෙලාගන්න කැකුලු පිපෙන්නෙ රෑ වෙනකොට...ඉස්තෝප්පුවෙ ඉඳන් බලන් ඉන්න කොට අඳුරේ ඒ මල් ගහ සුදට දිලිසෙනවා...ඉස්කෝලෙ යන්න බස් එක එනකල් පාර අයිනට ගියාම ගහ හෙමින් හොලවලා රේණු හතර අතට විසුරවන්න...තරම් දඟ කමකුත් හිතේ තිබ්බා..




අපිට තිබ්බෙ පොඩි කුඹුරු කෑල්ලක්....ඒකෙ අස්වැන්න ගෙදර පරිභෝජනයට ඇති උනා...
කුඹුරෙ ගොයම් කපන කාලෙට කැපෙන ගොයම් ගස් වලයි..ඉන් පස්සෙ ඉතුරු වෙන ඉපනැල්ලෙයි සුවඳට මං කැමතියි...
ඒක එන්නෙ පොළව මහී කාන්තාවගෙ හුස්ම එක්ක කියලා මට ඉස්සර ඉඳන්ම හිතුණෙ...
නියරක් උඩින් වාඩිවෙලා වෙල්දෙනිවල හුලඟේ එන මඩ මුසු ඉපනැලි සුවඳට මං ඉව අල්ලනවා.....
තාමත් ගමට දුවන්න ආස ඒකයි....

කුඹුර අයිනෙන් අලුත කපපු ඇලක නිල් මානෙල් පිපෙනවා...
දම් පාට ලොකු පෙති මැද කහ රේණු.....ඒ අස්සෙ එහෙ මෙහෙ සරන මීමැස්සො....
වතුරෙ ඉන්න දඟ මාලුන්ගෙ විසේට මල් උඩට වැටෙන දිය බිංදු....
වෙල් යාය මැද තියන ගොඩ කෑල්ලෙන් දෙබලක් තියන කෝටුවක් කඩන් මම මානෙල් මල් කඩාගන්නවා....
මල් නටුව දිගේ පටලවලා ඇද්දම එන ඒ මල නටුව දිග ඇතුව කඩාගන්නවා....
ඇල අයිනෙන් වාඩිවෙලා ඇලට කකුල් දාගෙන ...මානෙල් මල් සුවඳ විඳින අර කෙට්ටු කෙල්ල ..මගෙ මනසින් ආයෙ එහෙ යං කියලා අදිනවා........




වෙල් දෙණි ගානෙ ඇවිදලා එක එක කොළ ජාති පොඩි කර කර ඒවාට ආවේණික සුවඳ බලන්න..
නියර දිගේ ඉබේ හැදුණ වෙල් මුකුණුවැන්න...වැල් ගොටුකොල කඩන්න....
සෙරෙප්පු නොදා නියරවල් ගානෙ මඩ චිරි චිරි ගාගෙන දුවන්න.....මට ඒ පුරුදු සුවඳවල් අතවනනවා........

මම
අතීතයේ සැරිසරන විසිරි......


6 comments:

  1. කොකර් ගැන ලියන්නෙ එෆ් බී විතරද?

    ReplyDelete
    Replies
    1. වෙලාවක ලියන්න ඕන එයා ගැනත්

      Delete
  2. පුරුදු සුවඳවල් නම් හිත කීරි ගානවා

    ReplyDelete
  3. කිඩාරම් මලේ පවා සුවඳ තියේ කියල ඔය දන්ට අය පද ගොතල තියෙන්ටෙ..

    ReplyDelete
  4. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete