Tuesday, December 6, 2022

07.කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

                                                   

      06 කොටසට මෙතනින්      06 


07කොටස




ඉඳ ගන්න ....

පාරමී රත්මල්ගොඩ තමා ඉදිරියේ ඇති පුටු දෙසට අත දිගු කරමින් පැවසූයේ ප්‍රසංගි ගේ මව සහ පියා යැයි සිතිය හැකි යුවල දෙස බලාය . ඔසරියකින් සැරැසුණු තරමක් අහංකාර පෙනුමක් ඇති කාන්තාවක් ද .. කලිසමකින් හා කමිසයකින් සැරසුණු එවැනිම පෙනුමක් ඇති පිරිමියෙක්ද ප්‍රසංගිගේ අම්මා සහ තාත්තා ලෙස පෙනී සිටියහ ...

මේ ප්‍රසංගිගේ අම්මයි තාත්තයි වෙන්න ඕන ...මට දැනගන්න පුලුවන්ද මේ දරුවාට මෙහෙම වෙන්න හේතුවුණු කාරණා ..ඔයාලා දන්න ටික මට කියන්න ..අපිට ප්‍රතිකාර පටන්ගන්න ඒක පහසුවක් වෙයි...

පාරමී රත්මල්ගොඩ එසේ කතාබහ පටන් ගත්තේ සෙසු පුද්ගලයන් සියල්ල එතනින් ඉවතට යවමිනි .කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු දැන ගන්නා මොහොතේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය රැක ගැනීම සම්බන්ධයෙන් පාරමී රත්මල්ගොඩ දැඩි සේ සැලකිලිමත් වූවාය. 

මේක අපිට හරිම ලැජ්ජාවක් ඩොක්ටර් ..අපේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනකුට පිස්සු හැදිලා තිබුණෙ නැහැ ...මේ කෙල්ල අපේ පරම්පරාවෙන්ම දැලි ගෑවා ....

ප්‍රසංගිගේ අම්මා යැයි සිතිය හැකි කාන්තාව ඔහේ කියවාගෙන යන්නට පටන් ගත්තාය .තරමක් සිතට නොරිස්සුමක් පැමිණියද පාරමී බොහෝ ඉවසීමෙන් ඇයට සවන් දුන්නාය .

තමන්ට නොගැළපෙන ප්‍රේම සම්බන්ධයක පැටලුනාම අම්මා තාත්තා විදියට අපිට ඒවා අනුමත කරන්න බැහැනේ ...මෙයා ඉස්කෝලේ කාලේ ඉඳලාම සම්බන්ධය තිබුණා ...ඒක අපිට නොගැලපෙන කුල මලයක් තියෙන කොල්ලෙක් එක්ක ..අපි වලව්කාර පවුලකින් පැවතගෙන එන මිනිස්සු ..අපේ ලේවලට එහෙම ලේ කලවම් වෙන්නේ නැහැ ....ඉතින් අපි මේ සම්බන්දෙට මුලින් ඉඳලම විරුද්ධ වුණා .....

පාරමී බොහෝ ඉවසීමෙන් නිහඬවම හිස වනමින් අසා උන්නාය .කරුණු කාරණා කෙසේ වුවත් සත්‍යය කෙසේ වුවත් සියලුම පාර්ශවයන්ගේ අදහස් හා තොරතුරු මෙහිදී වැදගත් වෙයි .එම අදහස් වලට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන බව පාරමී දැන උන්නාය.

ඉතින් මෙහෙම වෙන්න හේතුව මොකක්ද එතකොට ....ඔහුට කතා කරන්නට ඉඩ දී ඇය ඇසුවේ මේ මෙම රෝගයට ආසන්නම හේතුව දැනගත යුතු වූ හෙයිනි .

මේ සම්බන්ධයට විරුද්ධ වුණාට පස්සේ මෙයා හරියට හිතුවක්කාර වුණා ...ඒ කොල්ල දිගටම ඉගෙන ගත්තට මෙය හරියට ඉගෙන ගත්තෙත් නැහැ උසස් පෙළ හරියට පාස් උනෙත් නැහැ...අපෙන් පලිගන්න වගේ ඔහේ හිටියා ....කල වයස හරි නිසා අපි කසාදයක් කරල දෙන්න උත්සාහ කළේ ...ඉතින් ...මෙයට ගැලපෙනම හොඳ තැනකින් අපිට කටයුත්තක් ආවා ....

ප්‍රසංගි ගේ මව පාරමී දෙස බලමින් පැවසුවාය .

ඒ පුතා හොඳ පවුලකින් පැවතගෙන එන කෙනෙක් .සල්ලි බාගෙ හොඳටම තියෙනවා . බිස්නස් තමයි කරන්නෙත්.පොඩ්ඩක් ඉතින් වයස වැඩියි .එහෙමයි කියලා පිරිමියෙක් අවුරුදු දහයක් පහළොවක් වැඩිමල් උනාට මොකක් වෙනවද .....

ප්‍රසංගි ගේ පියා කතාවේ හොඳම හරියට ප්‍රවිෂ්ට වූයේ ය .පාරමී රත්මල්ගොඩ ට කාරණය අගමුල සෙමින් පැහැදිලි වෙමින් පැවතුණි.

ඉතින් කසාදෙ තීන්දු උනාට පස්සේ මෙයාට එහෙන් මෙහෙන් ආරංචිවෙලා තියනවා ඒ පුතා ගැන නරක ආරංචි වගයක්.පිරිමි කියලත් ඉතින් ඔය සෙල්ලක් කාර කමට කරන කියන දේවල් තියෙනවනේ.අන්න එහෙම කාරණා වගයක් .ඕවා අද කාලේ එච්චර ලොකුවට ගනන් ගන්න ඕන නැහැනේ . ඔහොම දේ නැති පිරිමි කොහෙද ඉන්නෙ.....බැන්දට පස්සෙ ඉතින් ඕවා ඇරිලා යනවනෙ ....

පාරමීගේ හිත යට ඇවිස්සෙමින් තිබූ නොරිස්සුම ඇය ආයාසයෙන් පාලනය කොට ගත්තාය .

මෙයා බැහැයි කියද්දී අපි කසාදය තීන්දු කරා කියලා මෙයා අන්තිමට නිදිපෙති බිව්වා... යාන්තම් ගොඩ දාගත්තෙ ....ලෝක ලැජ්ජාවට හොස්පිට්ල් නොගිහින් ප්‍රයිවෙට් ගිහින් බේරගත්තා...ඒත් එදා ඉඳන් මෙහෙමයි....අපිට දැන් ඇතිවෙලා තියෙන්නෙ....

ප්‍රසංගිගේ මව කියවාගෙන ගිය ස්වරයේ කිසිදු අනුකම්පාවක් නොවූ බව නම් පාරමී ට සහතිකය.

මොකක්ද ඔයාල මේ ළමයාගෙ අනාගතය ගැන දැන් හිතන්නෙ..

පාරමී රත්මල්ගොඩ සෘජුවම දෙමවුපියන් ගෙන් ඇසුවාය. ඔවුනොවුන් මුහුණෙන් මුහුණ බලා උන්නා මිසක කිසිවක් නොකීහ.පාරමී රත්මල්ගොඩ ඒතුලින් වටහා ගත්තේ මේ දෙමවුපියන් තුල සිය දරුවා ගැන කිසිදු ලතෙත් බවක් නම් නොමැති බවය

හොඳයි අවශ්‍ය වුනොත් අපි ඔයාලව ආයෙ කැඳවනවා...අපරාදෙ මෙච්චර ලස්සන තරුණ ජීවිතයක් මේ අන්දමට නාස්ති වුනේ.... 

පාරමී රත්මල්ගොඩ ඔවුන්ගෙන් සමුගත්තේ ඉමහත් කලකිරීමෙනි.ඉදින් තරුණ දරුවන්ගේ ජීවිත දෙස දෙමවුපියන් බැලිය යුතු අන්දම කෙතරම් පුලුල් විය යුතුදැයි පාරමී නැවතත් සිතුවාය.

යළි වාට්ටුවට පැමිණි පාරමී ප්‍රසංගි නම් වූ ඒ යුවතිය උන් ඇඳ වෙතට යනවිට ඇය නින්දට වැටී උන්නාය . ඖෂධ මාත්‍රාවක් ලබාදී ඇයව සන්සුන් කරන්නට සිදුව තිබුනි.

පාරමී සිය නිල නිවෙසට පැමිණියේද දහවල් වූ කාරණය මත බරවූ සිතිනි. සිය දහසක් රෝගීන් සමග ගැටුණද ඇතැම් අවස්තා වල හිත් ඹොහෝ චංචල වේ.කම්පා වීමට වඩා සහකම්පනය හුරුව උන්නද ඇතැම් කාරනාවලදී සිත සසල වේ.

දරුවෙක් වදල හැදුවාට මදි මැණික ඒ දරුවාව තේරුම් ගන්න, ඇති තරම් ආදරේ දෙන්න...එහි දරුවව රැකබලා ගන්න ...හැම අම්මෙක් තාත්තෙක්ටම පුළුවන් වෙන්ඩ ඕන ...එහෙම නොවුණ තැන තමයි ඔය වගේ අවාසනාවන්ත දේවල් සිද්ධ වෙන්නේ ..." 

දවල් දවසේ ඇතිවූ කම්පනය විඳ දරා ගත නොහැකි වූ තැන පාරමී අම්මාට දුරකථන ඇමතුමක් දෙමින් එම සිදුවීම ගැන විස්තර කළාය ...සියල්ල නිහඬව අසා අවසානයේ අම්මා කීවේ එවැනි කතාවකි ....

වසර 5ක කුඩා ළමා කාලයේ දී පමණක් විඳින්නට ලැබුණු පිය සෙනෙහසත් ....උපන් දා පටන් අද දක්වා ම නොවෙනස් ව එකසේ තමන් අවබෝධ කරගෙන ..ආදරය දයාව කරුණාව නොඅඩුව බෙදාදෙන අම්මාගේ සෙනෙහසත්...ලැබූ තමා ඒ අතින් කෙතරම් වාසනාවන්ත දැයි පාරමී නැවතත් සිතුවාය ...

අම්මා සිය ජීවිතය කිසි දිනෙක පාලනය කළේ නැත ...ඇය තමන් යායුතු මග මේ යැයි බල කරමින් පෙන්වා දුන්නේ ද නැත. නමුත් යම්කිසි අතපසුවීමක් සිදු වූ හැම මොහොතකදීම අම්මා එය ආදරයෙන් පාරමීට පෙන්වා දුන්නාය. වචනයට වඩා ක්‍රියාවෙන් ජීවිතාවබෝධය හෙළි කර දුන් අම්මා වැනි අම්මා කෙනෙක් ප්‍රසංගීටත් උන්නානම් අද ඇය මෙවන් කණගාටුදායක ඉරණමක් අත්කර නොගන්නට තිබුනි.

කෙසේ හෝ ප්‍රසංගිගේ ජීවිතය යළි ගොඩනැඟිය යුතු බව පාරමී රත්මල්ගොඩ තරයේ ම තමන්ට ම කියා ගත්තාය.


                                                                        *** 

           

පාරමී රත්මල්ගොඩ සුබ මොහොතක් බලා අම්මා සහ මාලනී සමගින් නව නිවහනට ගොඩ වැදුණාය. සතියේ දින පහම ගත කරන්නට සිදුවන හෙයින් ඇය ඒමට පෙර කල යුතු සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල සුනිමල් විසින් සොයා දුන් කාර්මිකයන් ලවා කරවීය. 

"ඇත්තමයි පුතේ ගෙදර වගේම නිස්කලංක තැනක් ...පුතා කිව්වට මට එහෙම හිතුණෙම නෑ...."අම්මා ගේ පුරා ඇවිද යමින් පැවසුවාය. මාලනී ද උන්නේ ප්‍රීතියෙනි. ඇත්තෙන්ම ගහක කොලක හුස්මක් නොලැබ කොන්ක්‍රීට් වනාන්තරයක හිරවෙන්නට ඔවුන් දැන් අකමැතිය. 

"වත්ත පිටියත් පිළිවෙලයි ලොකු නෝනා.....ඔන්න ලොකු නෝනට ඉතින් වවන්න පුළුවන් හිතේ හැටියට මෙහෙත්...." මාලනී මිදුලට බැස යළි නිවෙසට ආවේ එසේ කියමිනි.

අම්මා මෙතනට කැමතියි නේද...සති අන්තෙ ගෙදර යන්න පුළුවන් නෙ අම්මා ...

පාරමී යළිත් අම්මාගෙන් ඇසුවේ යම් හෝ අකමැත්තක් වේ නම් එය දැනගනු රිසියෙනි.

"පුතා ඉන්න තැන මට නිවනක් පුතේ....ඒක දිව්‍ය ලෝකයක වුණත් මහමඟ වුණත් අම්මාට එකයි....මගෙ මැණික එක්කනෙ...." අම්මා යනු ආදරයට පර්‍යාය පදයක් බව පාරමී කවදත් දැන උන්නාය.

කෙසේ වුවත් කාලය කළමනාකරණය කර ගන්නට ලැබීමත් ..අම්මා සහ මාලනී ගැන බියක් සැකක් නැතිව වද වෙන්නේ වෙන්නේ නැතිව සිටීමට ලැබීමත් යන කාරණා දෙකම පාරමීට මෙම නිවසට ඇති කැමැත්ත තව තවත් වැඩි දියුණු කරන්නත් විය. 
අම්මාත් මාලනීත් නිවසේ වැඩ කටයුතු තමන්ගේ භාරයට ගත් අතර පාරමී රත්මල්ගොඩ නිදහසේ සිය රැකියා කටයුතුවල යෙදුණාය . 

පෞද්ගලික සේවයේ යෙදෙන්නට එතරම් කැමැත්තක් නැති වුවද ...මේ කාලයට අනුව සතියට දිනයක් ඇයට පෞද්ගලික සේවයේ යෙදෙන්නට සිදුවූයේ මේ වන විට ඇයගේ නම ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ බැවිනි. රෝහල් ගත ගත වීමට අකමැති බොහෝ රෝගීන්ගෙන් ඇයට ආ ඉල්ලීම මත පෞද්ගලික රෝහලකට සතියේ එක් දිනක හවස් වරුව සිය සේවය ලබා දීමට ඇය එකඟ වූවාය.

"සල්ලි වලට නෙවේ මැණික සමහර වෙලාවට මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගැන ඔයා හිතන්න....හොස්පිට්ල් වලට එන්න අපහසු ඒ වගේම ටිකක් අකමැති....කට්ටිය ඉන්නවනෙ.. අනික එහෙම ගේන්න බැරි අය කොච්චර ඇත්ද....."

අම්මා එය සාධාරණිකරණය කලේ එලෙසිනි. 

ඕක පටන් ගත්තොත් යකා බැඳගත්ත වගෙ අම්මා...ඉවරයක් නෑ....මං ඒකමයි අකමැති ....
පාරමී සුසුමක් හෙලමින් පැවසුවාය.

අගනුවර ට තදාසන්න පෞද්ගලික රෝහලට පාරමී රත්මල්ගොඩ පැමිණියේ සතියේ බ්‍රහස්පතින්දා දිනවලය. එවිට සිකුරාදා වැඩ අවසන් කොට අම්මා සහ සුමනා සමග යළි ගමේ නිවසට යා හැක.

                                                                            *** 

පෞද්ගලික සේවයේ නියුතු වීම තරමක් දුරට කරදරකාරි බවක් ගත්තද පාරමී එයට ඉක්මනින් හුරුවූවාය...

"මැඩම්...ඊළඟ කෙනාව එවන්නද....?" හෙදිය ඇසුවේ පාරමීගේ කල්පනා ලොව බිඳ දමමිනි. පාරමී උන්නේ තේ බඳුන පානය කරමින් තරමක කල්පනාවක ගැලී හෙයින් හෙදිය ඇයට කරදර නොකර මඳ වේලාවක් බලා උන්නාය.ඇයට මඳ සිනහවක් පෑ පාරමී හිස වනා අනුමැතිය දුන්නාය.

විවර වූ දොරෙන් ඇය වෙත ආ පුද්ගලයා දුටු විට ඇයට එක්වනම තිගැස්මක් ඇති විය. මේ පෙර දිනක සිය යෙහෙලියගේ නිවසේදී සිය ඇඟෙහි වැදුණ...අතෝරක් නැති දුරකතන ඇමතුම් රැසක ගැලී උන් ඔහුය.

ඔහු පැමිණියේ මිතුරෙක් සමගිනි.පාරමී සාමාන්‍ය තත්වයට පැමිණෙමින් ඔවුන්ට ඉදිරි අසුනකට අත දිගු කළාය.ප්‍රසන්න සිනහවකින් ඔවුන් දෙස මොහොතක් බලාඋන් පාරමී හඬ අවදිකලාය.

හොඳයි ....මට දැනගන්න පුළුවන් ද ආව හේතුව....

පාරමීගේ හඬට  දෙදෙනාම උනුන් මුහුණ බලමින් උන්නා මිසක හඬ අවදි කලේ නැත.පාරමී ඔවුන් දෙස බලා උන්නාය.මේ නිහඬ බව ටිකක් වෙනස් ය.

කාටද උදව් අවශ්‍ය දෙන්නාගෙන්...

පාරමී යළිත් ඇසුවේ හෙදියට කාමරයෙන් පිටතට යන ලෙස ඇස් වලින් පවසමිනි.ඇතැම් විට සමහර අය හෙදිය සිටින මොහොතේදී පවා අනාවරණය කරන්නට අකමැති වෙති.

"ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ යාළුවට... "

ඔහු සමග පැමිණි අනෙකා ඔහු දෙසට අත දිගු කරමින් පැවසීය. ඔහු නිහඬවම ඉවත බලාගෙන උන්නේ කිසිත් නොකියා ය . 

"හොඳයි අපි යාලුවටම කියමුද එහෙනං කතා කරන්න කියලා..."පාරමී මද සිනහවක් නගා ගෙන ඔහු වෙතට හැරුණ ද ඇයගේ සිත තුළ මන්ද චකිතයක් පැවතුණි....

මට තද හෙඩේක් එකක් තියෙනවා ...හැමතැනින්ම බෙහෙත් කරා ..මේක අඩුවක් වෙන්නේ නැහැ ..මේක physical issue එකක් නෙවෙයි කියලයි බලපු හැම ඩොක්ටර් කිව්වේ ...ඉතින් අන්තිමටම බලපු වීපී කිව්වා ...psychiatrist කෙනෙකුටවත් පෙන්නන්න කියලා....ඒකයි අපි මෙහෙම ආවෙ....

ඔහු එවර ද පැවසූයේ ඉවත බලාගෙනය .ඔහු තමා හඳුනා ගත්තේ නැති බව පාරමීට අවබෝධ විය ....එය එක්තරා විදියකට ප්‍රතිකාර වලට ඉතා පහසුවකි ...

මට ඔයාගෙ නම කියන්නකො ඉස්සෙල්ලම....

පාරමී ඇසුවේ කොලයද පෑනද අතට ගෙනය.

මම විශ්ව ...විශ්ව ජයසූරිය

ඔහු නොසැලකිලිමත් ස්වරයෙන් පැවසූවේද ඉවත බලා ගෙනය.

වයස....?

තිස් නවයයි...

මිස්ට ජයසූරිය ....මොකක්ද රැකියාවට කරන්නෙ....

පාරමී ඔහු දෙස මෙන්ම මිතුරා දෙසද බලමින් ඇසීය.හිස ඇඟිලි තුඩු වලින් තෙරපමින් උන් ඔහු 

"බිස්නස්..."යැයි කියා නිහඬ විය.පාරමී ඔහුගේ රුධිර පීඩනය මැන බැලුවාය.ඇත්තෙන්ම එය මඳක් වැඩිය.

මිතුරා විසින් ගෙන ආ සියලු වෛද්‍ය වාර්තා බැලූ පාරමී ඒවායේ කිසිදු වෙනසක් නොමැති බව දුටුවාය.

මිස්ටර් ජයසූරියට හිතෙනවද ඔයාට physical issue එකක් නැති නිසා...මොකක් හෝ හිතට බලපාන ගැටලුවක් ඇති කියල...

පාරමී ඇසුවාය...

විශ්වගෙ ජීවිතේ හරිම අවිවේකයි...ඇත්තෙන්ම කිව්වොත් ඩොක්ටර් මේ ඔක්කොටම හේතුව ඒ අවිවේක කම....

මිතුරා ඔහු මෙන් නොව අදහස් ප්‍රකාශ කරන්නාවූ අයෙක් විය.
පාරමී ඔහුගෙන් විවිධ ප්‍රශ්න කිහිපයක් පමණක් අසා...ඔහුට ලබා දිය හැකි මට්ටමේ ඖෂධ කිහිපයක් ලබා දුන්නාය.

මේ ඔයාට රිලැක්ස් වෙන්න දෙන මෙඩිසින් මිසක දීර්ඝ කාලීන විසඳුමක් නෙවෙයි...මිස්ටර් ජයසූරිය ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ඔයා වෙනස් කරගන්න ඕනෙ...ඒකට ඔයාට කවුන්සලර් කෙනෙක් මුණ ගැහෙනව නම් හොඳයි කියල මම හිතනව....

පාරමී ගේ දෑස් දෙස එක් මොහොතක් බලා ඉවත බැලූ විශ්ව සුසුමක් හෙලා හිස වැනුවේය.

ඉස්සෙල්ල අපි මේ බෙහෙත් ගම්මු....ඉන් පස්සෙ බලමු ...ඒ ගැන...ඩෝන්ට් වොරි මිස්ටර් ජයසූරිය ...we can resolve this.....

විශ්ව අසුනෙන් නැගී උන්නේ මිතුරා අනුගමනය කරමිනි.මිතුරා ඇයට ස්තුති කළද ඔහු උන්නේ යන හදිසියෙන් මෙනි.

පාරමී රත්මල්ගොඩ නිවසට පැමිණෙන අතරතුරේ දී ත්..ඉන්පසුවත් කල්පනා කලේ විශ්ව ජයසූරිය නම් වූ ඒ අපූරු පුද්ගලයා ගැන ය .සැබවින්ම ඔහුට ඇය සම්බන්ධයෙන් කිසිදු මතකයක් නොවූ බව ඇයට සක් සුදක් සේ පැහැදිලිය . නමුත් කෙසේ හෝ මේ පුද්ගලයා සම්බන්ධයෙන් තව දුරටත් සිය යෙහෙළිය හමුවී විස්තර දැනගත යුතු යැයි පාරමිට සිතුනි.

*********************************************************************************************** 

යලි හමුවෙමු 

මම 
විසිරි සිහින 

7 comments:

  1. Love සීන් තියෙන ඒවා කියවන්න ආස හිතෙන්නෙ නෑ නෙ😪

    ReplyDelete
    Replies
    1. කෝ මේකේ ලව් සීන් නෑනේ ඉතින්

      Delete
    2. තවම එහෙම කිසිම හෝඩුවාවක් නැහැනේ

      Delete
    3. ම්ම් තවම නෑ නෙහ්🤓.....

      අනේ මන්දා මගෙ කියවීමෙ රුචියෙ මොකක් හරි ලොකු අවුලක් වෙලා තියෙනවා....

      Delete