13 වන කොටස
12 වන කොටසට
මාර වැඩේනෙ ඒයි....සයනයේ වැතිර ජංගමයේ කුමක් හෝ කරමින් ඉන්නා දැහැමි වෙත දුව ආ පාරමී පැවසුවේ කලබල ස්වරයෙනි.
ඇයි ඇයි...මොකද....
ඇයගේ හැසිරීමෙන් තිගැස්සී ගිය දැහැමි ඇසුවාය ...
අර මනුස්සයගෙ යාළුවා කතාකලානෙ....
මොන...?
අර විශ්ව ජයසූරියගෙ....අන්න බං අපි දෙන්නව කඩුගන්නාවෙදි දැක්කලු.....
දැහැමි ගේ සිනහව පිපිරී ගියේ නිතැතිනි.
මේක හරියන්නෑ බං...ලෙඩා ගෙ ලෙඩේ අසාධ්‍යයි වගෙ...උඹ යන යන තැන මේකා එනවනෙ....
පාරමී නොරිස්සුමෙන් සිය යෙහෙළිය දෙස බලා උන්නාය.
විකාර කියවන්න එපා දැහැමි ....එහෙම එකක් නෙවේ...මේක අහම්බයක්.....
ඒ මනුස්සයගෙ යාලුව අහනව ආයෙ appointment එකක් දාන්න ඒ අස්සෙ....අනේ මන්ද...මේක ට මොකක් කරන්නද කියල...
පාරමී තමන්ටම මුමුණා ගත්තේ කරදරකාරී ස්වරයකිනි.මෙය කිසිසේත්ම ගණන් ගත යුතු කාරණයක් නොවන බව එක අතකට ඇයට සිතේ.තමා එකහෙළාම ප්‍රතික්ෂේප කලා නම් ඔවුන් වෙන වෛද්‍යවරයෙක් සොයා නොයනු ඇතැයි කිව නොහැක.නමුත් තමා හට එසේ කරන්නටද සිතක් නොවූ අන්දම....
***
ගතවූ දින දෙකම විශ්ව සහ නිසල් මුලු නුවරම එහා මෙහා රවුම් ගැසුවේ පාරමී දකිනු අටියෙන් වුවද ඇය හෝ ඇයගේ යෙහෙළිය දකින්නට නොලැබුණි.විශ්වගේ දෑස් මාවත පිරික්සුමට යොමුවෙන්නට ඉඩදී නිසල් රිය පැදවීය.එහෙත් ඇය ගේ ඡායා මාත්‍රයක් වත් දකින්නට නොලැබුණේය.
උඹට අවුල්ද මචං.....
නිසල් වැව රවුමේ කෙටි තාප්පයට බරදී ඈත බලා ඉන්නා විශ්ව ගේ මුහුණ දෙසටම යොමුවූ නෙතින් ඇසීය.
එහෙම අවුලක් නෑ බං....මට එහෙම හිතෙන්න මෙතන එයාගෙයි මගෙයි මොකුත් නෑනෙ....ඒත් බං එයාව දකින්න ඇත්නම් කියල ඇත්තටම මට හිතුණා.....
විශ්ව සුසුමක් හෙලා පැවසීය.
උඹ ඉස්කෝලෙ යන කාලෙවත් කෙල්ලෙක් ගැන ඔය තරමට වත් ඉන්ටරෙස්ට් එකක් තිබ්බෙ නැති එකා....කල්පනා ගැන නම් අපි මේ වෙලාවෙ කතා නොකර ඉම්මුකො....නිකම් හිත් අවුල් කරගන්න ඕන්නෑනෙ...මට ඉතින් උඹේ මූණෙ වෙනස මේ දවස් දෙක තුනට හොඳට පේනව....
නිසල් සිය මිතුරාගේ උරහිස වටා අතයවා පැවසීය.
මිනිස්සුන්ගෙ ජීවිත වල කොච්චර නම් හිස්තැන් තියද බං....මගේ ජීවිතේ නම් එහෙම්පිටින්ම බ්ලෑන්ක්....ඒත් මේ ගෑනු මනුස්සයා දැක්කම ඒ බ්ලෑන්ක් ගතිය ටිකක් එහෙමෙහ උනා වගෙ.....
විශ්ව හිනැහෙන්නට තැත් දරමින් පැවසුවේය.
***
නුවර ගමන අවසන් වූයේ ඉරිදාය.අම්මා සහ මාලනී උන්නේ අප්‍රමණ සන්තෝසයකිනි.පාරමී ද දැහැමි සමගින් ඒ සතුට වින්දේ අම්මා සහ මාලනී දෙස බලමිනි.
ඉරිදා රැයේ නිවසට පැමිණුන පසු ...අම්මා ඇඟපත සෝදා කාමරයට වී විවේක ගත්තාය.පාරමීද සැහැල්ලු ඇඳුමක් ගත දවටාගෙන ඇය අසල ඉඳගත්තාය.
අම්මා ට මහන්සි පාටයි....කාලෙකින්නේ එහෙම ගමනක් ගියේ...
පාරමී අම්මාගේ මඳක් ඉදිමුණ දෙපා පිරිමදිමින් පැවසුවාය.
කාලෙකින් එහෙම පඩි නැග්ගෙ ඇවිද්දෙ....මැණික ...මං මේ දවස් කීපයෙම එහෙදි තාත්තා ව හීනෙන් දැක්කා...ඉස්සර ඔයා හම්බ වෙන්න ඉන්නකොට තාත්තා මාව මාලිගාවට එක්ක ගියා මාසෙකට පාරක්...එයා දන්නව මං මාලිගාවට යන්න ආස බව.....මේ සැරෙත් ඒ නිසාමද මන්දා මට එයාව හීනෙන් පෙනුණෙ.....
අම්මා නෙතඟ ඉනූ කඳුලකට සෙමින් ගලායන්නට ඉඩ හරිමින්ම පැවසුවාය.එහෙව් ප්‍රේමයක් ඔවුන් අතරේ බොහෝ කලක් තිබුණද තාත්තා ට ඇය හැරයන්නට වූයේ තරුණ වියේදීමය.
මං මල් පූජා කරල එයාට පින් දුන්නා..එයා පින් බලන් ඉන්න කෙනෙක් නෙවේ....එයාට මගෙන් අනුමෝදන් වෙන්න පිනක් නෑ....ඒ තරමට එයා පින් කල කෙනෙක්....මට ටිකක් මහන්සියි මැණික...මම එහෙනම් නිදාගන්නම් ටිකක්...රෑට කන්න මට කතාකරන්නකො....
අම්මාට අවශ්‍ය වන්නේ මොහොතක් තනිවෙන්නට බව පාරමීට වැටහුණි.ඇය අම්මා ඇඳේ හාන්සිකරවා ඩිම් ලයිට් එක පමණක් දමා සිය කාමරයට ගියාය.
ඇඳට ගොස් මඳක් නිදාගන්නට තැත් කළද පාරමී ගේ හිතට මහා නොසන්සුන් බවක් දැනෙන්නට විය.මෙන්න මේ දේ යැයි කියා තෝරා බේරාගන්නට නොහැකි අමුතුම හැඟීමක් හිත පෙළන්නට වූයේ එක්වරමය.ඇය මොහොතක් ඇඳට වී උන්නාය. යළි නැගිට නාන කාමරය වෙත ගියාය.කාමරයට ආ පසුද ඇයට හිතට දැනෙන්නේ මහා බරකි....ඇඳ අසල කුඩා මේසය මත තැබූ වතුර වීදුරුව අතට ගෙන උගුරක් දෙකක් බී ආපසු තබන්නට යන මොහොතේ අත ලිස්සා ගොස් වීදුරුව බිම වැටී බිඳී ගියේය ....පාරමී තිගැස්සුණ සිතැතිව ඇඳ මතටම වී ඔහේ බලා උන්නාය.
චූටි මැණිකෙ...මොකක්ද ඒ සද්දෙ....
මාලනී කාමරයේ දොර අසලට එනවිටද පාරමී උන්නේ අත් පා අගුල් වැටුණා මෙන් තුෂ්නිම්භූතව ය .එක්වරම මාලවී කාමරය තුළට අඩිය තබත්ම පියවි සිහියට පැමිණි පාරමී
" එපා එපා වීදුරු කටුවලට කකුල කැපේවි...."
කියා කෑ ගැසුවාය .....මාලනී ඒ හඬින් තිගැස්සී වහා අඩියක් පසුපසට ගත්තාය.
අත ලිස්සලා ගියානෙ මාලනි ඇන්ටි.....ඇඟටත් හිතටත් මහා මහන්සියක් දැනෙනවා...ගොඩක් දුර ඩ්‍රයිව් කල නිසා වෙන්න ඇති...අම්මටත් මහන්සි පාටයි...අපි තව ටිකකින් කමු නේද.....මං මේ ටික අස් කරන්නම්...ඇන්ටි යන්න....
පාරමී සන්සුන් වන්නට තැත් දරමින් පැවසුවාය. රෑ බෝවෙමින් එන නිසා පරිසරයම අඳුරක ගිලීයමින් පවතී.කොපමණ කොළඹට ආසන්නයේ වුවද මේ අවට ඇති නිස්කලංක බව බිඳී යන්නේ නැතිතරම් ය....අධික වාහන ධාවනයක් නැති හෙයින් ඒ සන්සුන් බව ආරක්ෂාවෙයි.
වෙල් යායට ඈතින් ඇති කුඩා දෙනිපෙතෙහි හීන් සරින් හඬනා බස්සෙකුගේ හඬ පරිසරයේ නිහඬ බව බින්දත් මේ මොහොතේ පාරමීට එය දැනුණේ මහා කරදරයක් ලෙසිනි. මොහොතකට විවර කල ජනේලයෙන් කාමරයට ගලා ආ සීතල සුළඟ දුරුතු සීතල ගැන නොකියා කියයි..පාන්දර වන විට සිහින් කඩුතුඩු ඇනෙන්නාක් බඳු සංවේදනයක් දෙන සීතල දැන් දැන් ගතට දැනෙන්නට ගනී.පාරමී ජනේලය යළි වසා දමා වීදුරු කටු අස්කර..තෙත රෙදි කැබැල්ලකින් ඒ ප්‍රදේශය යලි පිසදා දැමුවාය.
නුවර ගමනේ සේයාරූ ජංගමය සහ කැමරාවේ ගබඩා කොට ඇත. එකින් එක ඒ සේයාරූ බලමින් උන් පාරමීගේ සිතට එක්වනම විශ්ව ගැන කෙටි මතකයක් පැමිණියේ අහම්බෙනි.හෙට සඳුදාවේ නිසල් නම්වූ ඔහුගේ මිතුරා වෙත තම සැලසුම ප්‍රකාශ කල යුතුව ඇත. මෙයද එක් අන්දමක අභියෝගයකි. වෛද්‍යවරයෙකු හට රෝගියෙක් යනු අභියෝගයකි.එම රෝගියා ගේ සියලු කරුණු කාරණා තමා හා සාකච්ඡාවේදී පැවසුවා යයි තමන්ට දැනුනද එය විටෙක tip of the ice burg ආකාරයේ එකකි . ගැටලු සහ තොරතුරු අල්පයක් ප්‍රකාශ වුවද වැඩිමනත් දේ ඇත්තේ සැඟව ගෙනය.එක්කෝ ප්‍රකාශ කරන්නට නොහැකි ,නොතේරෙන හෝ තම සීමාවෙන් පිටත දේය.ඉතින් වැඩි ගැඹුර ඇත්තේ ජලතලයෙන් පහලය...සැඟවීය.
රාත්‍රී අට පමණ වන විට රාත්‍රී ආහාරය ගන්නට පාරමී ඇඳෙන් නැගිට ගත්තේ අම්මා සමගින් ආහාර ගත යුතු හෙයිනි. ඩිම්ලයිටය එසේම තිබියදී අම්මා අසලට ගිය පාරමී...ඇයගේ ඇඟට අත තබා මෘදුව ඇමතුවාය.
අම්මා ...චුට්ටක් කෑම කාලම නිදමු නේද......
අම්මා ගේ නිහඬබව පාරමී තිගැස්වන සුලු විය.වහ වහා කාමරයේ විදුලි පහන දැල්වූ ඇය....අම්මා වෙතට ආවේ අඩියට දෙකටය.අම්මා ගේ හෘද ස්පන්දනය බෙහෙවින්ම දුර්වලව ගොස් ඇත.පාරමී ට කෑගැස්සුනේ මේ මොහොතේ ඇය වෛද්‍යවරයෙක් නොව අම්මාගේ දුව හෙයිනි.
අනේ අම්මා....නැගිටින්න අම්මා...ප්ලීස්...මොකද මේ....
පාරමී ගේ හඬින් මාලනී දුව ආවේද එම මොහොතේය...
අනේ ලොකු මැණිකේ ...නැගිටින්න රත්තරනේ ....
මාලනී ඇයගේ දෙපා මිරිකන්නට වූවාය.පාරමී ගේ අභ්‍යන්තරයේ වූ වෛද්‍යවරිය එක්වනම ඇහැරගත්තාය.
මාලනී ඇන්ටි ඉක්මන් කරන්න...අපි යමු හොස්පිට්ල් ...අම්මගෙ ඇඳුම හොඳයි...මම කා එක ගන්නම් ...අපි දෙන්නා උස්සලා ගම්මු අම්මව...
පාරමී වහ වහා යතුර ද ගෙන වාහනයට දුව ගියාය. අම්මා මහතදෙහෙත ඇති සිරුරකින් යුතු නොවූ හෙයින් දෙදෙනාට ඔසවා වාහනයේ පසුපස ට ගැනීමට එතරම් අසීරු නොවුණි. පාරමී වහ වහා රිය මාවතට ගෙන ජාතික රෝහල වෙත ඉගිල්ලුනාය......
ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අම්මා ගෙන ගිය පසු පාරමී මොහොතකට වේලාව බැලුවාය.එවිටද රාත්‍රී දහය පමණ වන්නට ඇත.
දැහැමි අමතා මේ පවත් කීමට අවැසි වුවද රෑ බෝව ඇති බැවින් කරකියා ගන්නට දෙයක් නොමැත.අවසානයේ දැහැමිට ඇමතුමක් ගත් පාරමී විනාඩි ගණනක ඇවෑමෙන් ඇමතුමට සම්බන්ධ වූවාය ....
අනේ දැහැමි .....අම්මට එකපාරටම අසනීප උනා නේ ...මම අම්මව අරන් general hospital ආවා ....මට තේරෙන්නෙ නෑ බං මොකද්ද උනේ කියලා ....
පාරමී ගේ හඬ ඉකියකට හැරෙමින් පැවතුණි ....
මොකක් .....මොකක් කිව්ව ඇන්ටිට සනීප නැති වුණා ..? ...අනේ බන් ඇන්ටි කොච්චර හොඳට හිටිය ද ....දැන් උඹ කොහෙද ඉන්නේ ....
දැහැමි කලබලයෙන් ඇසුවාය ..
අම්මව ICU දැම්මා ...මායි මාලනි ඇන්ටි යි මෙතන ඉන්නවා ......මට තේරෙන්නෙ නෑ බං....අනේ මගේ අම්මා ....
පාරමීට ඉකිබිඳිනි....
මම එන්නද බං අම්මත් එක්ක ...
දැහැමි ඇඳෙන් නැගිටිමින්ම කලබලයෙන් ඇසුවාය
ඕනෙ නෑ ....ඕනෑ නැහැ ....මේ වෙලාවෙ ඇවිල්ලා මොනවා කරන්නද බන් ..අපි මෙහෙම ඉන්නවා හෙට උදේට බලමු ...මං තියන්නම්...
පාරමී ඇමතුම විසන්ධි කොට දැඩි සත්කාර ඒකකය වෙත ගමන් කළාය.මාලනී වාට්ටුව අයිනේ බංකුවක වාඩිකරවූ ඇය...දැඩි සත්කාර ඒකකය අසල මොහොතක් රැඳුණාය....දොරේ වූ වීදුරුවෙන් අම්මා අසල කලබලයෙන් හැසිරෙන වෛද්‍යවරයන් සහ හෙදියන් පෙනෙයි....පාරමී මොහොතක් ඒ දෙස බලා උන්නේ තමාහට ඇතුලට යාමට මේ මොහොතේ හැකියාවක් නොමැති බව සිතට අවධාරණය කරගනිමිනි......
***
පාන්දර දෙක තුන වන විටත් අම්මා සමග ඔට්ටු වීම වෛද්‍යවරුන් අතහැර දමා තිබුණේ නැත.පාරමී බොහෝ වෑයමින් හිත පාලනය කොටගෙන දැඩි සත්කාර ඒකකය අසල බලාඋන්නාය.මේ පවත්නා තත්වය නම් කිසිසේත්ම සුබ තත්වයක් නොවේ.වෛද්‍යවරියක ලෙසින් ඇයට මනසට ඒත්තු ගන්වාලිය හැකි දෑ බොහෝය.එහෙත් මේ ඇයගේ අම්මාය.උපන්දා සිට ළඟ රැඳුණ හොඳම යෙහෙළියයි.ඇය පාරමීට උගැන්වූ මුල්ම ගුරුවරිය මෙන්ම ජීවිතය අදටත් කියාදෙන්නියයි.
උදෑසන හය වනවිට දැහැමි අම්මා සමගින් රෝහල වෙත පැමිණියේ පාරමී සහ මාලනී රෑ සිටම එතැන එක ඉරියව්වෙන් සිටිනා බව දන්නා හෙයිනි.
උඹ ඊයෙ ඇඳන් ආව ඇඳුම පිටින්මනෙ කෙල්ලෙ.අපි චේන්ජ් එකක් දාගෙන එමුද ගිහින්?මාලනී ඇන්ටිටත් අමාරුයි නෙ.දැහැමි පාරමීගේ අතින් අල්ලාගනිමින් පැවසුවාය.
මං මෙතන ඉන්න ඕනනෙ බං.මාලනී ඇන්ටිව එක්ක යන්නකො.මම දවල් වෙලා බලන්නම්.
පාරමී හට එතැනින් නික්මීමේ මැලිබවක් තදින්ම දැනෙමින් පැවතුණි.සිත පිළිනොගන්නා තදබල හේතුන් ගොන්නක හිත රැඳෙමින් පැවතුණි.
අම්මා සමගින් මාලනීව නිවෙසට යැවූ දැහැමි පාරමී සමග රැඳුණාය.වරින්වර දැඩි සත්කාර ඒකකය අසලට ගොස් අම්මා දෙස ඈතින් බලා හිඳ එන පාරමී දෙනෙතේ කඳුලු වලකාගත්තේ දැඩි ආයාසයකිනි.
නාද වෙන ජංගමය සවනතට තබා ගත් දැහැමි රෝහල් ගොඩනැගිල්ලෙන් පිටතට ගියේ බාධාවක් නොවන සේය.
හෙලෝ ඩොක්ටර් පාරමී රත්මල්ගොඩ ...?
එහා අන්තයෙන් පිරිමි කටහඬක් ඇසුණි.
"ඩොක්ටර් නම් මෙවෙලෙ පොඩි වැඩක.කියන්න කවුද මේ ?පණිවුඩයක් තියේ නම් කියන්න.මම ඩොක්ටර් ට කියන්නම්.
දැහැමි පිළිතුරු දුන්නාය.
"ඩොක්ටර් මම අර පෙරේදා කතාකලේ.අර මගේ යාළුවා ගැන."
නිසල්ගේ ඇමතුම සමගින් දැහැමි ට එක්වනම මේ කවුරුන්දැයි අවබෝධ විය.පාරමී සියලු පුවත් පෙර දා ඇයට පවසා තිබූ හෙයින් දැහැමි චකිතයකින් තොරවම ඇමතුමට එක්වූවාය.
"අයියේ , මම දැහැමි.ඩොක්ටර් පාරමී ගෙ යාළුවා.අයියෙ විශ්ව අයියා ඔතන ඉන්නවද ?අනේ පොඩ්ඩක් එයාට දෙන්නකො."
දැහැමිගෙ හඬ නොනවත්වා ගලා එද්දී නිසල් විමතියෙන් මෙන් ළඟ උන් සිය මිතුරා දෙස බැලීය.
මොකෝ බං?
විශ්ව නිසල්ගෙන් ඇසුවේ තොල් මතුරමිනි.කාර්‍යාල කාමරයේ සිට පාරමීට අමතන ලෙස නිසල්ට බලකලේ විශ්වය.
මෙන්න උඹව ඉල්ලනව.එයාගෙ යාළුවෙක් ලු.
නිසල් ජංගමය විශ්ව වෙත දිගුකලේය.
හෙලෝ...විශ්ව ස්පීකින් හියර්...
විශ්ව ඇමතුමට සම්බන්ධ වූයේ දෙගිඩියාවෙනි . ඔහුට මේ සිදුවන්න සිතාගන්නටත් නොහැකි තරම් විය.
අනේ විශ්ව අයියෙ, මම දැහැමි .පාරමී මගෙ යාළුවා.මාව දන්නවනෙ ඔයා .අර හොරණ අපේ ගෙදර ඔයාලත් ආවෙ.
දැහැමි ගේ කලබලකාරී හඬ විශ්ව ගේ සවනට යොමුවීම සමගම කුමක් හෝ කලබලයක් එහි වන බව ඔහුට වැටහුණි.
ඔ..ඔව් නංගි, කියන්න.මට මතකයි.
විශ්ව වහා පිලිතුරු දුන්නේය.නිසල් මේ කතාවේ අගමුල වටහා ගත නොහැකිව මේසයට හේත්තුවී බලාඋන්නේය.
අනේ අයියේ අපි නුවර ඉඳන් ආවෙ ඊයෙ.ඊයෙ රෑ පාරමීගෙ අම්මාට අසනීප වෙලා, දැන් ජෙනරල් හොස්පිට්ල් එකේ දැඩි සත්කාරෙ ඉන්නෙ.මොකක් නමුත් ඉක්මනින් වෙන්න පුළුවන් වගේ තත්වයක් මෙතන තියෙන්නෙ.අනේ අයියේ...
දැහැමි ගේ කතාව නවත්වන්නට පෙරම විශ්ව...
නංගි අපි දැන් එන්නම්..ඉන්න ඉක්මනින් එනව අපි.
කියමින් නිසල්ගේ අතින් ඇදගෙනම කාමරයෙන් පිටවිය.
මොකක්ද බං වෙලා තියෙන්නෙ ?මට මෙලෝ මලදානයක් තේරෙන්නෙ නෑ.
නිසල් සිය මිතුරා සමග ඇදීයමින්ම ඇසුවේය.
කා එක ගනින්...ජෙනරල් හොස්පිට්ල් ...යන ගමන් කියන්නම් මම.
විශ්ව රථයේ යතුර ඔහු අතට දැම්මේය.
මොකක් හෝ නමුත් ප්‍රශ්නයක් වෙන හැඩයි බං.නැත්නම් කීයටවත් මෙහෙම උදව් මගෙන් ඉල්ලයිද දැහැමි නංගි වුනත් ? අනික එයා කොහොමද මේ උඹ කතාකල එක දන්නෙ ?ඩොක්ටර් මෙයාට ඒවා කියලද ඒ කියන්නෙ?
සිදුවීම සැකෙවින් නිසල්ට පැවසූ විශ්ව, යලි පාරමී ගේ අංකයට ඇමතුම දුන්නේ..රෝහල් ගේට්ටුව අසලදීය.
නංගි, මම විශ්ව. අපි ගේට් එක ළඟ ඉන්නෙ.මේ වෙලාවෙ අපිට ඇතුලට එන්න බෑනෙ.අපි වාහනේ ඉන්නම්.ඔයා කෝල් කරන්න ඕනම වෙලාවක.
විශ්ව අත් ඔරලෝසුව දෙස බලමින් පැවසීය.
වේලාව පහට ආසන්නව තිබුණි.යලි දුරකතන ඇමතුමකින් තිගැස්සී ගත් විශ්ව.ඇමතුමට සමබන්ධ වූයේ නිසල් දෙස බලමිනි.
අයියේ අයිසීයූ එක ළඟට එන්න.
දැහැමි ගේ හඬ වෙවුලා යමින් පැවතුණි.විශ්ව නිසල් ට අතින් සන් කරමින් වාහනයෙන් බැස්සේය.බරපතල යමක්වේ යැයි විශ්වට ද නිසල්ටද සිතෙමින් පැවතුණි.
දැඩි සත්කාර ඒකකය අසල දැහැමි උන්නේ දොරට හිස තබාගෙනය.විශ්ව ඒ ආසන්නයට ගොස් වීදුරුවෙන් ඇතුලට එබුණේය.එක් ඇඳක් වටා බොහොමයක් දෙනා එක් රැස්ව සිටිති.
නංගි...
දැහැමි හිස ඔසවා බැලුවාය.
මොකද උනේ?
විශ්ව සෙමින් ඇසුවේය.
පාරමී ට එන්න කිව්ව ඇතුලට.මං හිතන්නෙ...
දැහැමි ගේ නෙතින් කඳුළක් ගලා හැලෙන්නට විය.විශ්ව සුසුමක් හෙලා යළි එදෙස බැලීය.රැස් වූ එකිනෙකා දෙන්නා ඇඳවෙතින් ඉවත්ව යති.පාරමී සයනයට බරවූ වතින් අම්මාගේ හිස අතගාමින් සිටියාය.විනාඩි ගණනාවකට පසු වෛද්‍යවරියක් ඇය අසලට විත් ඇයගේ උරහිසට තට්ටු කළාය.හිස නගා බැලූ පාරමී ඉණ දක්වා වසා තිබූ සුදු රෙද්ද අම්මාගේ මුහුණ වැසෙන්නට ඔසවමින් යළිත් අම්මාගේ මුහුණ සිප ගත්තාය.ඉන් පසු එතනින් හැරී වහා ඉවතට ආවාය.
දැඩිසත්කාර ඒකකයේ දොර අසලට ආ ඇය ඉන් පිටතට පැමිණෙත්ම වාරු නැතිව ගොස් බිත්තියකට හේත්තු වූවාය.
***
යලි හමුවෙමු
කිත්මා වාසනා දහනායක
( විසිරි සිහින )
හ්ම් මළ ගෙයක් නේ 💔
ReplyDeleteඔන්න කොල්ලට.... ලකුණු දාගන්න ටයිම් එකක් ඇවිත් තියෙන්නෙ
හ්ම්ම්..හ්ම්ම්..ඒකනේ
Delete