Thursday, March 2, 2023

14 වෙනි කොටස -හදේ කොතැනක හෝ හිඳී ඔබ

 14  වෙනි කොටස

13  වෙනි කොටසට මෙතනින්  13



දැහැමි ...අම්මා..අම්මා යන්නම ගියා.

පාරමී කැඩිකැඩී ඉකිගසමින් පැවසුවාය.එතැන උන් සෙසු අය ගැන ඇයට අවධානයක් නොවීය.දැහැමි විශ්වගේ ඇස් ඉඟියට අනුව ඇයව වත්තන් කොට ගෙන අසල වූ බංකුවක හිඳුවා ගත්තාය.

නොනවත්වා ගලා යන කඳුලු වලට ඔහේ ඉඩදෙමින් දැහැමි ගේ උරහිසට වාරු වීගත් පාරමි හෙමි හෙමින් ඉකිබින්දාය.

විටින් විට ඇය අසලට පැමිණි හෙදියන් අදාල ලියකියවිලි වලට අත්සන් ලබාගත්තද පාරමී උන්නේ සිතින් බොහෝ දුරකය.

කෙල්ලෙ අපි දැන් ඉස්සරහ වැඩ වලට මොකද කරන්නෙ.

දැහැමි මඳ වේලාවකට පසුව ඇසුවාය.හඬා ඉදිමී ගිය ඇසින් යිතුව පාරමී හිස ඔසවා යළි බිම බලාගත්තේ සුසුම් හෙලමිනි

අම්මා එයාගෙ body එක medical faculty එකට බාරදෙන්න ලියලා තිබුණෙ.ඉතින් එයාගේ කැමැත්ත ට ඒ වැඩ කරන්න ඕනනෙ මං.

පාරමී මිමිණුවේ දරාගන්නට නොහැකි වේදනාවෙනි. ඉදින් තමා වෙනුවෙන් මෙලොව උන් එකම ලේ බැම්මද තමා වෙතින් නික්ම ගොසිනි.හුදෙකලාව තනිකම මිස තමා වෙත කිසිවක්ම ඉතුරු වී නැත.

විශ්ව ජයසූරිය මඳක් ඈතට වී පාරමී දෙස බලා උන්නේ සැබෑ කණගාටුවකිනි. මේ අම්මා සහ දුව අතර තිබෙන්නට ඇත්තේ අපූරු සුන්දර බැඳීමකි.ඔවුන් ගැන කිසිවක්ම තමා දැන් නොසිටියද, මේ ඇහෙන වදන් වලින් ඒ බව තහවුරු වෙයි.නිසල් ඔහු වෙතට සමීප වූයේ ඒ මොහොතේය.

මචං අපි දැන් මොනවද කරන්න ඕනෙ.

විශ්ව දෙවුර සලා කිසිවක් සිතාගන්නට නොහැකි බව පැවසීය.දැහැමි හිස සලා ඔහුට කතාකලේ ඒ මොහොතේය. විශ්ව නිසල් සමගින් ඔවුන් වෙත ඇවිද ආවේය.

මම විශ්ව අයියට එන්න කීවා. මේ වෙලාවෙ අපිට එහෙට මෙහෙට දුවන්නවත් පිරිමි කෙනෙක් නෑනෙ බං.

පාරමී දැහැමි දෙස එක්වරක් පමණක් බලා හිස සැලුවාය.ඒ දේට කැමති හෝ අකමැති වීමට තරම්වත් තමාගේ සිතට සවියක් නැත.

ඩොක්ටර් අපෙන් මේ වෙලාවෙ කෙරෙන්න මොනව හරි තියද ?

විශ්ව ආයාසයෙන් හඬ අවදිකලේය.

පාරමී කිසිවක් නොකියා හිස සැලුවාය.

පාරමී, අපි දැන් ගෙදර ගිහින් ඕන ඩොකියුමන්ට් එහෙම අරන් ආයෙ එමු නේද? මොකද කොහොමත් මෙතනින් බොඩි එක ෆැකල්ටි යවන්න නම් ඒව ඕනනෙ.

දැහැමි සෙමින් පැවසුවේ සිය මිතුරියගේ හිස අතගාමිනි.

කා එක කා පාක් එකේ.මට ඩ්‍රයිව් කරන්න නම් බෑ.

පාරමී ගේ හඬ ඉතා වෙහෙසකර විය.

කා එක දැනට ඔහොම තියෙන්න දීලා අපි මගේ වාහනෙන් ඩොක්ටර් ගෙ ගෙදර ගිහින් එමු

විශ්ව ඇසුවේ දැහැමිගෙනි.පාරමී නිහඬවම ඔවුන්ට අවශ්‍ය දේ ගැන තීරණ ගන්නට දී බලා උන්නාය.

පාරමී වත්තන් කොට ගෙන විශ්වගේ මෝටර් රථයේ පිටුපසට දැහැමි නැගගත්තාය.නිසල් වාහනය ධාවනය කල අතර විශ්ව බර කල්පනාවක රැඳෙමින් ඉදිරිපස අසුනේ හිඳගත්තේය.

විශ්ව නිසල් වෙත අඩක් හැරී ගෙන රියෙහි අසුන් ගත්තේ එවිට පාරමී සිය ඇස් මානයට හසුවන බැවිනි. දැහැමි ගේ උරහිසට වාරුවී නෙත් පියා උන්නද ඇයගේ නෙතින් වරින් වර කඳුලි වැලක් අලුත් වෙමින් ගලා යයි.ඉකිගැසීම හා එක්ව ගැස්සෙන උරහිස් විශ්වගේ නෙත් අගට හසුවෙයි.

විශ්ව සිය නෙතු ඇගෙන් මුදාගෙන නිසල් දෙස බලා සුසුමක් හෙලීය. නිසල් ඔහු දෙස බලා යළි මාවතට නෙත් යොමු කලේය.

සිය මිතුරාගේ හදවතේ විශේෂ තැනක් මේ වෛද්‍යවරිය ගැන ඇතිවෙමින් තිබූ බව දන්නා නිසල් මේ අවාසනාවන්ත මොහොත එක් අතකට දෛවය ඔවුන් මුණ ගැස්වීමට ගෙන ආ යම් සැලසුමක්දැයි සිතුවේය .

දැහැමි ගේ මග සලකුණු වලට අනුව නිසල් වාහනය ධාවනය කලේ විශ්ව දෙස වරින් වර බලමිනි. එහෙත් විශ්ව උන්නේද බොහෝ කල්පනාබරිතවය.

වාහනයෙන් බැස ගෙතුලට පාරමී සමගින් දැහැමි ගිය පසු විශ්ව සහ නිසල් තවදුරටත් වාහනයේ රැඳුණහ.

බලපං බං හරි සිරියාවන්ත ගේ පොඩ්ඩ නේද ? සාමාන්‍යයෙන් consultant කෙනෙක් කිවුවහම අපි හිතන්නෙත් සෑහෙන ලක්ෂරි life එකක් ගත කරන අය කියලානෙ.ඒ උනාට මෙයා හරි වෙනස් කියලා මේ ගෙදර දිහා බැලුවම පේනවා.

නිසල් ගෙමිදුලෙහි එහෙට මෙහෙට ඇවිදිමින් උන් විශ්ව හට පැවසුවේය.

ඇත්තෙන්ම මේ නිවස කෙතරම් සරල සුන්දර එකක්දැයි විශ්ව කල්පනා කළේ , සිය නිවස හා සසඳමිනි. තුන් මහලකින් යුතු වූ සියලු සැප සම්පත්වලින් සපිරුණු සිය නිවසත්, අපූරු ගෙමිදුලකින් යුතුව නිසන්සලේ සැලසුම් කරන ලද මෙි නිවසත් අතර කෙතරම් වෙනසක් ඇති ද ?

ඇතැම්විට මහා සැප සම්පත් කෙතෙක් තිබුණද කිසිදු මානසික නිදහසක් නැති තමාගේ ඒ නිවහනට වඩා, මේ නිවසේ ආදරය සහ සතුට උතුරා යමින් තියෙන්නට ඇත.අද දවසේ සිදු වූ මේ කණගාටුදායක සිදුවීමෙන් ඔහුට පසක් වූයේ , පාරමී එම සොඳුරු බැඳීම් අහිමි වීම නිසා දැඩි වේදනාවකින් පසුවන බවය.

ගෙයක් වුනාම තියෙන්න ඕන මෙන්න මේ විදිහට තමයි බං. තට්ටු ගණන් ගෙවල් හැදුවත් අපේ ගෙවල් වල නැති සැනසීම මේ වගේ පොඩි ගෙවල්වල ඕන තරම් ඇති.

විශ්ව පැවසුවේ එම කුඩා ගෙමිදුලෙහි ඒ මේ අත ඇවිදිමිනි.එම කුඩා වපසරිය ට ඔබ්බෙන් ඈතින් පෙනෙන කෙත් යායද ඉතා සුන්දර දසුනක් මවාලී ය.තවදුරටත් ඒ දෙස බලමින් සිටින්නට ඔවුන්ට වේලාවක් නොමැති වූයේ ඉකි ගසමින් හඬා වැටෙන මාලනී තුරුළු කොටගෙන ඉදිරිපසට ඇවිදගෙන එන පාරමී සහ දැහැමි දුටුහෙයිනි. පාරමී සුදු පැහැ අත්දිග බ්ලවුසයක් සහ සුදුපැහැ කලිසමක් ඇඳ කොණ්ඩය මඳක් පීරාගෙන උන්නාය.මුහුණ කට සෝදාගෙන පැමිණියද ඒ ඇස්වල ඇති විඩාව සහ ශෝකය අඩුවක් නම් නොවීය.

අයියලාට බොන්න මොකුත් හදන්නවත් බැරිඋනා

දැහැමි ඔවුන් අසලට පැමිණ පැවසුවද පාරමී තවමත් දැඩි තෝන්තුවාවෙන මෙන් ඔහේ බලා උන්නාය.

නංගි ඕන කරන ලියකියවිලි ටික ගත්තද ? අපිට එතන කරන්න වැඩකටයුතු තව ඇති නේද ?ඒ නිසා අපි ඉක්මනට යමුනේද ?

විශ්ව ඇසුවේ වාහනයේ පිටුපස දොර ඔවුනට විවෘත කර දෙමිනි.එකම එක මොහොතක ඔහුගේ දෑස් හා පාරමීගේ දෑස් ගැටුණද ,මඳ සිනහවක් හෝ පාන්නට බැරි තරමේ වේදනාවක් ඇගේ දෑස් තුළ තිබුණු හෙයින් ,ඔහු නිහඬවම ඉදිරිපස අසුනට නැග ගත්තේය.

අනේ චූටි මැණිකේ ...මගෙ ලොකු මැණිකේ එදා නුවර ගිහින් මොන තරම් සන්තෝසයකින්ද උන්නේ.බලන්නකො දෙයියනේ මෙහෙම දෙයක් වෙන්න අසනීප පාටක් වත් තිබුණෙ නෑනෙ.

මාලනී නොනවත්වාම කියවමින් හඬා වැටුණාය.පාරමී ඇසේ අලුත් වන කඳුළු පිසදමමින් රථයේ දොරට හිස තබාගෙන ඔහේ උන්නාය.

පාරමී, අපි ඔයාගේ හොස්පිට්ල් එකට දැනුම් දෙනවද ?ආයෙ කාටද කියන්න ඕනෙ ? 

දැහැමි ගේ හඬට පාරමී හිස නගා බැලුවාය.

මම හොස්පිට්ල් එකට ඉන්ෆෝම් කරන්නම්. අම්මටයි මටයි නෑයො කියල මෙච්චර කල් කවුද කෙල්ලෙ උන්නෙ.එහෙම උන්නෙ නැති අය දැන් ඉතින් හොයල වැඩක් නෑනෙ.

පාරමී පැවසුවේ ස්ථිර ස්වරයෙනි.

ආයෙ අම්මාව තැන් තැන් වලට ගෙනියන්න ඕනනෑ .මෙහෙම්ම අපි ෆැකල්ටි එකට බාරදෙමු.

පාරමී සුසුමක් හෙලා පැවසුවාය .ජීවිතේ ගතවූ වසර ගණනාව පුරාම තමන්ගේ මව පමණක් නොව යෙහෙලිය, ගුරුවරිය මෙන්ම මගපෙන්වන්නියද වූයේ අම්මාය. අදින් පසු තමාහට ඒ අත්වැල අහිමිය. හෙටින් ඔබ්බෙහි ගෙවෙන්නාවූ ජීවිතය කුමනාකාරයේ වේදැයි පාරමීට අවිනිශ්චිතය.

රෝහලේ කටයුතු සඳහා විශ්ව සහ නිසල් අවශ්‍ය කරන සියලුම දෑ කඩිනමින් කරදුන් හෙයින් අවසන් කටයුතු ලෙස කල යුත්තක් අමුතුවෙන් නොමැති නිසා අම්මාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන කටයුතු එදිනම අවසන් කරන ලදී.නොනවත්වා හඬා වැටෙන මාලනී දෙස බලා උන් පාරමී සුසුමක් හෙලා දැහැමි වෙත ගියාය.

මේ මනුස්සයා අම්මාගේ හෙවනැල්ල වගෙ උන්නේ. මම රට ඉන්න කාලෙත් දැනුත් දෙන්නා ට උන්නෙ ඒ දෙන්නා.දැන් මෙහෙම අඬලා මේ මනුස්සයා ලෙඩ වෙයිද කියල මට බයයි බං.

පාරමී සෙමින් පැවසුවාය.වෛද්‍යවරියක් ලෙස තමා දරාගත යුතු මට්ටම මේ වියපත් ගැහැණියට දරාගන්නට හිතන්නවත් බැරි තරම් ය.අදින් පසු ඇය රැකබලාගත යුත්තේ තමාය.අම්මා නැති වේදනාව කෙමෙන් ඇයගේ සිතෙන් සමනයව යනු ඇත.

                                                    *** 

අපි එහෙනම් ගිහින් එන්නම් ඩොක්ටර් 

පාරමී කල්පනා ලොවින් තිගැස්සී ගියේ අසලින්ම ඇසුණ ඒ හඬිනි.විශ්ව සිය මිතුරාද සමග ඇය අසලට විත් තිබුණි.

බොහොම ස්තුතියි මිස්ටර් ජයසූරිය,මිස්ටර් පෙරේරා...ඔය දෙන්නා මේ වෙලාවේ නොඋන්නා නම් අපි හරිම අමාරුවක වැටෙන්නෙ.

පාරමී ආයාසයෙන් හඬ අවදි කළාය.

ස්තුතියක් අවශ්‍ය නෑ ඩොක්ටර් .ඇත්තෙන්ම දැහැමි නංගි ඒ වෙලාවේ කෝල් කල එක හොඳයි.නැත්නම් ඇත්තෙන්ම මේ වෙලාවේ කවුරු හරි අවශ්‍යම වෙනවනෙ.

නිසල් පැවසූවේ විශ්ව නිරුත්තර ව ඉන්නා අන්දම දුටුවිටය.ක්ෂණිකව කියා ගත හැකි යමක් මුවට නොපැමිණි හෙයින් විශ්ව මඳ සිනහවක් පෑවේය.

පුලුවන් නම් මෙහෙම්ම අපි එක්ක ගෙදරට ගොඩ වෙලා කෑම ටිකක් කාල යන්න එන්න කියන්න චූටි මැණිකෙ.අවසන් කටයුතු කියල එකක් නොකලට ඕවා චාරිත්තර.දැන් රෑ බෝ වෙලාත් එක්ක.මේ ළමයි වතුර උගුරක්වත් නොබීනේ මේ ඉන්නේ

මාලනී පාරමීගේ අතින් ඇද පසෙකට කොට පැවසුවාය.මේ සිරිත්විරිත් ගැන අවබෝධයක් නැතද මාලනීගේ වදන් හා අනුගත වෙමින් පාරමී ඔවුන්හට ආරාධනා කළාය.

අපි මෙහෙමම යන්නම්. කරදර වෙන්න එපා.

විශ්ව හඬ අවදිකලේය.

අයියලා ඇවිල්ලා යනව නම් මේ වෙලාවේ ඒක ලොකු දෙයක්.අපේ අම්මා දැනටමත් එහේ කෑම සූදානම් කරන ගමන්.පාරමීගේ වාහනය පුළුවන් නම් විශ්ව අයියා ගෙනිහින් දෙන්න.දැන් මෙයාට ඩ්‍රයිව් කරන්න තරම් තත්වයක් නෑනෙ.

දැහැමි විශ්ව වෙත පැමිණ සෙමින් පැවසුවාය.ඔහු හිස වනා එයට එකඟතාවය පල කලේ නිසල්ද කැමැත්ත පල කල හෙයිනි.පාරමීගේ රථය විශ්ව විසින් ගෙනයන හෙයින් නිසල් විශ්වගේ රථය රැගෙන ඔවුන් පසුපස පැමිණියේය.වෙන වේලාවක වූවා නම් විශ්වට සරදම් කරන්නට වත් තිබුණි.එහෙත් මේ කිසිවක් කියන්නට හැකි අවස්ථාවක් නොවේ

දැහැමි ගේ මව ඔවුන් යනවිටද රාත්‍රී ආහාරය සූදානම් කොට තිබුණි.ඔවුන් ගෙමිදුලෙහි වාහන නවතාලන විට අසල්වැසි කිහිපදෙනෙකු පැමිණ පාරමී සමගින් කතාබහ කරන්නට වූ අතර සෙසු අය සමගින් විශ්වද ආලින්දයට ගොඩ වැදුණේය.ආලින්දය දිගට තබා තිබූ පුටු පෙලෙහි නිසල් සහ විශ්ව ඉඳගත් අතර දැහැමි ඔවුන්ගෙන් සමුගෙන ගෙතුළට ගියේ අම්මාට අඬගසා ගෙනමය.

අනේ පුතාල මේ වෙලාවේ එතනට ආව එක කොච්චර දෙයක්ද.මේ ළමයි දෙන්නා මොනවා කරගනීවිද කියල මම බයෙන් උන්නෙ.

මොහොතකින් ආලින්දය වෙත පැමිණි දැහැමි ගේ අම්මා ඔවුන් සමගින් කතාබහේ යෙදුණාය.විශ්ව මඳ සිනහවක් පා බලාඋන්නේය.

දැන් මෙහෙ කවුද ඔය ගමන ඉන්නෙ ඇන්ටි? 

නිසල් ඇසුවේ දැහැමිගේ මවගෙනි.

මාලනීයි දුවයි දෙන්නා විතරයි පුතා.මේ තුන්දෙනානෙ එකටම උන්නෙ.. මහගෙවල් හොරණ තියෙන්නෙ.දුව මෙහෙ හොස්පිට්ල් නිසයි ආයෙ මේ ගේ ගත්තේ .දුවට එච්චර දුර හැමදාම යන්න එන්න බැරි නිසා. 

දැහැමි ගෙ මවගේ කතාබහ විශ්වද නිසල්ද නිහඬවම අසා උන් හ . ජීවිතය පුරා අත්දකින තනිකම යනු වචනයෙන් කියා නිමකල නොහැකි හැඟීමකි. දෙනෝදාහක් අතර උන්නද ජිවිතයට දැනෙන තනිකම කෙසේනම් මකාලිය හැකිවේද? 

පැමිණි අසල්වැසියන් සමුගෙන ගිය පසු පාරමී ආලින්දයට ගොඩ වැදුණේ දැඩි වෙහෙසකර බවකිනි.ඔවුනට මඳක් ඔබ්බෙන් වූ අසුනක හිඳ ගත් පාරමී දවසේ ප්‍රථම වතාවට විශ්ව දෙස හොඳින් බැලුවාය.ඔහු කාර්‍යාලයේ සිට ආවා විය යුතුය.ඇඳුම් පැලඳුමෙන් ඒ බව පෙනෙයි.තමා ඔහු දෙස බලා ඉන්නා බව විශ්ව දුටු බව පාරමීට දැනුණි.ඇය ස්තුති පුර්වකව ඔහු හා මඳක් සිනාසුනාය. එහෙත් එය සිනහවකට වඩා දුක්බර හැඟීමකට සමාන විය.

ඔය දෙන්නා ඒ වෙලාවට ආව එක මටකියන්න බැරිතරම් ලොකු දෙයක්.ඒත් ඔය ඔෆිස් ගිය ගමන් වෙන්න ඇති නේද ? මහන්සිත් ඇති.

පාරමී පැවසුවේ ගෙතුළ දෙසද බලමිනි.ඉක්මනින් රාත්‍රී ආහාර ඔවුන් වෙත පිළිගන්වන්නට අවැසි බව ඇයට දැනුනි.

දැහැමි නංගි මගෙ කෝල් එකට ආන්ස්වර් කල නිසයි ඒ වෙලාවෙ සිද්ධිය දැනගත්තෙ.

නිසල් හඬ අවදිකලේය.

රාත්‍රී ආහාරය ඔවුන් වෙත පිළිගැන්වුවද පාරමීට ආහාර ගැනීමට තරම් සිතක් නොවීය.දැහැමි කීප වතාවක් බලකලද ඇය ආහාර ගන්නට නොහැකි යයි පවසා උන්නාය.ඔවුන ආහාර ගනිද්දී ඇය ආපසු ආලින්දය වෙත ගියාය.

විශ්ව උඩින් පල්ලෙන් කෑම කටවල් කිහිපයක් කා අත සෝදාගෙන අසුනෙන් නැගිට ආලින්දයට ගියේය.ආලින්දයේ අසුනක පාරමී ඔහේ ඉඳගෙන උන්නාය.ඔහු ඇය අසල වූ කණුවකට බර දී සිටගත්තද පාරමී දෑතේ හොවාගත් මුහුණැතිව ඔහේ උන්නාය.

" නොකා නොබී ආයෙ අසනීප වෙන්න ද හදන්නේ.ඩෙංගි හැදිලා හොඳවුනා විතරයි නේද ? " තම හිසට ඉහලින් ඇසුණ ඒ ගැඹුරු හඬින් පාරමී තිගැස්සී ගියාය.එහෙත් හිස නගා බලන්නට නොහැකි තරම් හිත විඩාබරය.

" ඔයා අපිට වඩා කෙනෙක්ගේ මානසිකත්වය ගැන දන්න කෙනෙක්.ඉතින් මට ඔයාට උපදෙස් දෙන්න බෑ. මේ වෙලාවේ මම ඔයාට මෙහෙම කියන්නෙ ඔයාගේ පේෂන්ට් කෙනෙක් විදියට නෙවේ. වැඩිහිටි සහෝදරයෙක් විදියට. ගිහින් කෑම ටිකක් කන්න." පාරමී හිස නගා බැලුවේ ඒ දයාර්ද හඬටය. හැම මොහොතේම කෝපයෙන් පිපිරෙන මේ පුද්ගලයාගේ මුවුන් එලෙස පිටවීද යන්න පාරමීට සිතාගන්නටත් බැරිවිය.එවදන් හමුවේ තවත් නිහඬවනු නොහැකිව පාරමී අසුනෙන් නැගිට කෑම කාමරය වෙත ගියාය.විශ්ව ගේ මුහුණට සිනාරැල්ලක් පහත්වූයේ කිසිදා නොවූ විරූ සේය.


                                                                            *** 

විශ්ව නිසල් සමගින් නික්ම ගිය පසු පාරමී කාමරයට වැදුණේ දැහැමිද සමගිනි...ස්නානයට හිත කැමැත්තක් නොදක්වන හෙයින් ඇඟ පමනක් සෝදාගත් පාරමී සැහැල්ලු රාත්‍රී ඇඳුමකට මාරු වූවාය.දැහැමි ගේ අම්මා නිසල් සහ විශ්ව සමගින් නිවස වෙත ගියේ රාත්‍රීවුවද ඔවුන් හා යා හැකි බැවිනි.

කිසිවක් නොකියා සුසුම් පමණක් හෙලමින් උන් පාරමීගේ හිසකේ අතරට ඇඟිලි යවමින් අතගෑ දැහැමි සෙමින් හඬ අවදි කළාය.

හෙටත් ගෙදර හිටපන්.අනිද්දම වැඩට යන්න පුළුවන් නෙ.

පාරමී සුසුමක් හෙලා දැහැමි වෙතට හැරුණාය.

තව කීදවසක් උන්නත් මේ අඩුව මේ දුක හරිගැස්සෙන්නෙ නෑ බං.මම වැඩට යන්නම් හෙටත් ගෙදර ඉඳලා අනිද්දට. මාලනී ඇන්ටි ගැන තමා මට ප්‍රශ්නෙ.දැන් මේ මනුස්සයා තනිවම ඉන්න එපැයි දවල් දවසෙ.

උඹට ක්වාටර්ස් එකේ ටික දවසක් මාලනී ඇන්ටි එක්ක උන්නොත් මොකද ?

දැහැමි ඇසුවේ මඳවේලාවක් කල්පනා කරය.

ඒකත් මාත් හිතුවා.සති අන්තෙට මාරුවෙන් මාරුවට මෙහෙයි හොරණයි ගිහින් එන්න පුළුවන් නෙ.

පාරමී පැවසුවාය.වෙනදාට තමාට මේ දේ සම්බන්ධව කිසිදු වගකීමක් නොතිබුණි.අම්මා මාලනී සමගින් සියලු වගකීම් දැරුවාය.ඉතින් කාලය ගෙන ආවේ කියාගන්නට නොහැකි තරම් බරපතල අභියෝගයකි.අම්මා සිය වසරක් ආයු වැලඳුවද ඇය සමුගන්නා මොමොහොත තමා දැඩිසේ අසරණ කරන්නක් බව ඇය දැන උන්නාය. අම්මා සහ මාලනි සමග එක්ව ඉන්නට ගත් මේ නිවසෙන්ද පලක් නොවන බව හිතට ඒත්තු ගොස් ඇත.එහෙත් කල යුතු කිසිවක් තවම තීරණය කල නොහැක.

                                                        *** 

යලි හමුවෙමු
 
කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින )

1 comment: