Monday, February 26, 2024

Every little helps

 Every little helps




සුපුරුදු පරිද්දෙන් මම වාට්ටුව දිගේ ඇවිදන් යනවා.අපේ හොස්පිට්ල් එක පොඩියි.හැබැයි ලස්සනයි.පිළිවෙලයි.

ජෝ ඉන්නෙ එක කාමරයක.එයාගේ දණහිස් දෙකෙන් එකක් රුමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා සම්පූර්ණයෙන් ම හයිවෙලා තියෙන්නෙ.ඒ අව් අස්සෙ බිම වැටිලා අනෙක් දණහිස කැඩුණාම ඉතින් ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගෙ වැඩක්නෙ.

ජෝ ව ඇඳෙන් බස්සලා ඇවිද්දවන්න යන එක වෙනමම යුද්ධයක්.මායි මගෙ ටීම් එකේ භෞත චිකිත්සක සගයායි ඉතින් රටේ තියන තරම් චාටු බස් කියලා ජෝ ව ඇඳෙන් බිමට බස්ස ගන්න උත්සාහ කරනවා....

ජෝ ඒ එක වෙලාවක මෙහෙම අහනවා....මගේ සගයාගෙන්...

"මෙයා ඉතින් Tesco වගේ තමයි කොයිවෙලෙත්..."

ඒ දෙන්නා හක හක ගගා හිනාවෙනවා ඊට පස්සෙ. මම Tesco ගැන දන්නේ එංගලන්තයේ සුපර්මාකට් එකක් කියලා විතරයි...මම ඉතින් බාගෙට කටත් ඇරගෙන ඒ දෙන්නා දිහා බලන් ඉන්නවා...

"කිත්මා ,ඔයා දන්නවද ජෝ ඒ කිව්ව එකේ තේරුම"

මගේ සගයා එහෙම අහනවා.මම මෙහේ වාඃමාලාවන් එක්ක ටිකක් ටියුබ් ලයිට් කියලා ඔවුන් දන්නවා.

"ඔයා දන්නවද Tesco එකේ ලෝගෝ එකේ තියන වාක්‍යය"

මට එහෙම මතකයක් නැති බව මම කියනවා.ලංකාවේ කාගිල්ස් එකේ "ගෙදර යන ගමන්"කියන එක හුරු උනාට මෙහෙ එව්ව තාම නුහුරුයිනෙ.

"ඒකෙ තියෙන්නෙ every little helps කියලා..මෙයා එහෙම කියන්නෙ ඔයා, තව චුට්ටයි ඔයාට පුලුවන් ....මේ ටික විතරයි...ඔයාට පුලුවන් කියලා උනන්දු කරවන නිසා"

ජෝ මට ඇහැක් ගහලා හිනාවෙනවා.කට්ටකම කොච්චර පෙන්නුවත් එයා වේදනාව දරාගෙනම අඩියක් දෙකක් ඉස්සරහට ඇවිදිනවා.ආතරයිටිස් වලින් එන වේදනාව එක්ක සමහර වෙලාවට ඇවිදින වාරුවට ඔලුව තදකරන් එයා වේදනාව අඩුවෙනකල් ඉන්නවා.

"මට දැන් වයස අනූවක්.මම මගේ වයිෆ් නැතිවුණාට පස්සෙ තනියම උන්නෙ.ඔක්කොම වැඩ තනියම කරගෙන..උයාගෙන...ශොපින් කරලා උන්නා.ඒත්  මට ඉස්සරහට කෙයාරර් කෙනෙක් ඕනවෙයි කිත්මා."

ජෝ දුකෙන් වගේ කියනවා.

"ඔයා දන්නවද කිත්මා.මගේ වයිෆ් අවුරුදු දෙකක් වෙනවා නැතිවෙලා..එයාට ඩිමෙන්ෂියා තිබුණා.එයාව බලාගන්න කෙනෙක් ආවා.නමුත් මම තමා හුඟක් එයාව බැලුවෙ"

ජෝ දුකෙන් වුණත් හිනාවෙනව.

"මගෙ පුතාල දෙන්නම ඉන්නෙ වෙන රටවල්වල.එයාලාට එයාලාගෙ ජීවිත වෙනමම තියනවානෙ.මමයි වයිෆුයි මෙහෙ උන්නෙ.ඒත් එයාට අන්තිම කාලේ මාවත් මතක නැති උනා කිත්මා"

ජෝගෙ ඇස්වල කඳුලක් වගෙ දිලිසෙනවා.ඩ්මෙන්ෂියා කියන්නේ කොච්චර කටුක අත්දැකීමක් වෙන්න පුළුවන් ද කියලා දන්නෙ ඒකත් එක්ක ගැටුණ, අත්දැකීම් අත්වින්ද කෙනෙක්මනෙ.

දණහිස් වල වේදනාව කතාබහ අස්සේ සමනය වෙන අතරෙ..අතීතයේ සමහර සිදුවීම් කියන ජෝ .....ඊලඟ දවසට සුබ පතලා සමුගන්න මට ආයෙම මතක් කරලා දෙන්නෙ....

Every little helps කියන එක

(ජෝ කියන්නෙ අන්වර්ථ නාමයක්..එයාගෙ නම ඊට වඩා ලස්සන එකක්)


ආපහු එන්නම්....


මම විසිරි 

11 comments:

  1. ""මගෙ පුතාල දෙන්නම ඉන්නෙ වෙන රටවල්වල.එයාලාට එයාලාගෙ ජීවිත වෙනමම තියනවානෙ"

    හ්ම්.....💔😞😨

    ReplyDelete
    Replies
    1. ඒ අයගේ ජිවිත එහෙමයි.ඒත් ඒ අම්මලා තාත්තලා දරුවන්ට තාම ආදරෙයි

      Delete
  2. අපේ අල්ලපු ගෙදර හිටපු මනුස්සය ගැන ලියන්න සෑහෙන කාලෙක ඉඳන් හිතනවා. පටන් ගන්න ඕනේ කියල හිතුන මේක කියෙව්වහම

    ReplyDelete
    Replies
    1. අර කැරවන් එක තියන ගෙදර කෙනාද?ලියන්නකෝ ඒ ගැන

      Delete
  3. ලොකු ධෛර්යයක් ඕනෑ දරාගන්න.

    ReplyDelete
  4. ගිය පාර ලියපු පුස්තකාල ලිපිය හින්දා මමත් ඒ වගේ එකක් ලිව්වා....පබ්ලිශ් කරන්න්න බැරි උනා තව ටිකක් අඩු පුරවන්න තියෙන හින්දා

    ReplyDelete
    Replies
    1. කියවන්න බලා ඉන්නවා.ඉක්මනින් ලියන්න

      Delete