Sunday, February 11, 2024

පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...

 පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...



අද මගේ day off එක.ඒ කියන්නේ සති අන්තෙ දවසක් වැඩ කළොත් ඒ වෙනුවට ලැබෙන අමතර විවේක දිනය.

මම උදේ දහයට විතර එළියට බැස්සේ අව්ව එක්ක සනීප දායකව උදාවෙලා තියන දවසට ස්තුතිවන්ත වෙන ගමන්.දැන් සාමාන්‍යයෙන් 10°C උෂ්ණත්වයට මෙහෙ දවස ආපහු මේ සතියෙ ඇවිල්ලා.ඉතින් බොහොම සතුටින් ටවුන් එකට පයින්ම ආවා.කිලෝමීටරයක් වගෙ දුර.

Chingford කියන්නෙ මට ලඟම ටවුම.ඒකෙ තියනවා පොඩි පුස්තකාලයක්.සාමාජිකත්වය ගන්න හිතාගෙන උන්නාට මගෙ පුස්තකාල ගමන ගැන මටම ශුවර් නැති නිසා මීට කලින් ගිය දවසේ එළියෙ තිබුණ bargain book rack එකෙන් පොත් තුනක් අරන් ආවා....

ආ එදා වුණ වැඩේ ඉස්සෙල්ලම ලියන්නම්කො.පුස්තකාලයෙ සමහර පොත් කාලෙකට සැරයක් bargain sale දානවා.රාක්කෙ තියෙන්නෙ පුස්තකාලයට පිවිසෙන දොරගාව එළියෙන්. අලුත්ම පෙනුම තියන පොත්.සමහරක් විට ඒවායෙ අලුත් මුද්‍රණ ඇවිත් ඇති...නැත්නම් වැඩිපුර නොකියවනවාත් ඇති....කොහොමින් කොහොම හරි පොත් තුනක් පවුමයි.මම නවකතා තුනක් අරගෙන පුස්තකාලය ඇතුලට ගියා.

පුස්තකාලයෙ කාර්‍යමණ්ඩලය සුබ දවසක් පතලා මාව පිළිගත්තා.වස අකරතැබ්බයක් නෙ.මම කාසි මුදල් ගෙනිහිල්ලා නෑ.ගෙනිහින් තියෙන්නෙ කාඩ් එක විතරයි.මම ගැටලුව එයාලාට කියලා ඒ පොත් තුන මා වෙනුවෙන් කොහෙන් හරි තියන්න පුලුවන් ද කියලා ඇහුවා.

"නෑ එහෙම නෙවෙයි.ඔයා මේ පොත් අරන් යන්න.ආපහු මේ පැත්තෙන් එන දාක සල්ලි පුළුවන් නම් දීලා යන්න.කිසි ප්‍රශ්නයක් නෑ"

කවුන්ටරයේ ඉන්න මහත්මිය එහෙම කිව්වා.මට ඒත් හිත නෑ.ලඟපාතක මට මුදල් ගන්න තැනකුත් නෑ.මම එහෙට මෙහෙට හැරෙමින් ඉන්න කොට එයාලා මට නැවත ඒ අදහසම කිව්වා.නමුත් මට තිබුණ ගැටලුව මම ඊලඟ සතියෙම ටවුන් එකට ඒවිද නොදන්න එක.මොකද පසුගිය සතිවල තිබුණෙ පුදුම සීතලක් නිසා.නමුත් ඒක ගැටලුවක් නොවෙන බව එයාලා පුන පුනාම කිව්වා.

ඉතින් එදා මම පොත් තුනක් අරන් ආවා.ඇත්තෙන්ම සති දෙකකට පස්සෙයි මේ අද මම ආපහු ටවුමට ගියේ.

අදත් bargain රාක්ක පීර පීර මම  පොත් තුනක් හෙව්වා.ගෙනිච්ච පොත් තුන කියවලා ඉවරත් නෑ. මට එහා පැත්තෙන් පොත් තෝරමින් උන්නෙ වයසක මහත්මයෙක්.කුදු ගැහුණ කෙට්ටු ශරීරය රාක්ක වලට හරවමින් අතේ තියන සැරයටියත් හසුරවමින් ඔහු පොත් සෑහෙන ප්‍රමාණයක් ගත්තා.ඒවා බෑග දෙකකට දාගෙන පුස්තකාලය ඇතුළට යන්නට මගෙන් උදව් ඉල්ලුවා දොර හැරගන්න.මාත් ඒ උදව්ව කරලා පොත් තුනක් තෝරාගෙන පුස්තකාලය තුළට ආවා.

ඉතින් මේ පාරත් පවුමට පොත් තුනයි.සති දෙකකට පෙරාතුව සිදුවීම කියලා පවුම් දෙකක් කවුන්ටරයේ උන්න මහත්මිය අත තැබුවාම ඇය මට හුඟාක් ස්තුති කලා. 

ඔබේ අවංක බවට අපි ස්තුති කරනවා.....

තව අපූරු දෙයක් ඔන්න ඒ අස්සේ මම දැක්කා ....

ඉතින් පුස්තකාලයෙ මේස දෙකක් එකතුකරලා එතන අද වැඩසටහනක්.මාත් පැත්තකට වෙලා බලා උන්නා ටිකක් වෙලා.විවිධ වයස් වල කාන්තාවන් දහපහළොස් දෙනෙක් වූල් ගොතනවා.කෙනෙක් ඔවුන්ට උපදෙස් දෙනවා.ඔවුනොවුන් අතරේ සංවාද ,සිනාවන් හුවමාරු වෙනවා.

මෙහෙ පුස්තකාලවල සතියේ විවිධ දිනවල විවිධ වයස් කාණ්ඩවල අයට ගෙතුම්, චිත්‍ර, creative writing, උද්‍යාන වගා... ඒ වගේ වැඩසටහන් (පැයක දෙකක වගෙ) කෙරෙනවා.කෝපි කෝප්පයක්, රස කැවිල්ලක් හැම කෙනාගෙම ඉස්සරහ..

ඒ දේ බලා ඉන්න එකත් හරිම සතුටක්.මම බස් එකට ආවේ...බඩුටික ගන්න සුපර්මාකට් එකට යන්න.එතනින් බස් එකට යන්න ආවේ අර පොත් බෑග් දෙකක් අරන් ආව මහත්මයා.ඔහුට බස් එකට නගින්න බර පොත් බෑග් දෙක එක්ක අමාරුයි.මම එක බෑගයක් අරන් ඔහු පසුපසින් නැග්ගා.

මට ස්තුතියි කියලා ඔහු බසයේ අසුනකට වුනේ එයාට උස්සගන්න බැරිතරම්ම බර පොත් බෑග දෙකත් අරගෙන.

ඉතින් මට මැවිලා පේනවා....අද හවස උණුසුමැති පොඩි ගෙදරක පොත් ගොඩක් වටකරගෙන....කෝපි කෝප්පයක් එක්ක දුම් පයිප්පයක් අතේ තියාගෙන ඔහු පොත් කියවනවා.මගෙ මුහුණේ මේ දැනුත් ඒ හැඟීම එක්ක ඇති වුණ සිනහවක් ඉතුරුවෙලා තියනවා.

❤️❤️

පින්තූරය අන්තර්ජාලයෙන්

25 comments:

  1. මට නං එදිනෙදා කෑමබීමට වියදම් කළාම එක පොතක් ගන්නත් මුදලක් වෙන්කරගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. පවුමකට පොත් තුනක් කිව්වම මාරම ලාබයිනේ.පොතකට රුපියල් එකසිය පනහක් වත් වැය වෙලා නැහැනේ

      Delete
  2. ලස්සන ලියවිල්ලක්. Chingford නමේ හැටියට එංගලන්තය වෙන්න ඕනෙ කියල හිතුනා.
    //හවස උණුසුමැති පොඩි ගෙදරක පොත් ගොඩක් වටකරගෙන....කෝපි කෝප්පයක් එක්ක දුම් පයිප්පයක් ...// ලස්සන උපකල්පනයක්.

    10°C හොඳයි කියල කිව්වෙ, - 30, 40 යනවද?🤔

    ReplyDelete
    Replies
    1. ඔබ තුල ඉන්න ශර්ලොක් හොම්ස් අවදි කර ගන්න..පවුම් තියෙන්නෙ එංගලන්තේ විතරයිනේ බස්සො

      Delete
    2. බොලේ හැබෑ නේන්නං. ශර්ලොක් හොම්ස්? මොන, ආං උන්දෑ ගොරෝ,ගොරෝ බුදි.😉

      Delete
    3. ඔව් ඉන්නේ නම් එංගලන්තයේ දැන්. මෙහෙ උෂ්ණත්වය හුඟක්ම අඩුවුණේ නැහැ.සෘන හයට වගේ මේ පාර බැස්සේ උපරිමේටම

      Delete
  3. දැන් පන්සල් පල්ලි වලට වඩා පුස්තකාලවලට එන මිනිස්සු සොදුරුයි....

    ReplyDelete
  4. අර මහත්මයා එච්චර පොත් ගන්න ඇත්තෙ ගෙදර උදුනට දර දානවට වඩා ඔය ගානට පොත් දාන එක ලාභ නිසා වෙන්න බැරිද? කොච්චර වෙබ් එකේ කියෙව්වත් කඩදාසි පොතක් කියවනකොට එන ගතිය නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ ෆේස්බුක් එක හන්දා පොතක් අතට අරන් කියවිල්ල මටත් සෑහෙන්න අත හැරුනා.ඔය කිව්වම තමයි හිතුනේ ලිපේ දාන්න ද දන්නේ නැහැ හැබෑටම

      Delete
  5. කතාව මං දැක්කා ෆේස්බුක් එකේ නේබර්

    ReplyDelete
    Replies
    1. අම්මපා අජිත් අයියේ මේ ෆේස්බුක් එකට වෙලා ඉන්න එක නවත්තගන්න විදියක් කියන්නකෝ.

      Delete
    2. යන්නේ නැතිව ඉන්න. මම නම් ටොයිලට් යන වෙලාවට. වැඩ අකරණ ගමන් කම්මැලි හිතුනම ගිහින් කාට හරි හා හා එකක් දාල එනවා. 😀

      Delete
  6. ඉස්සර මමත් බ්‍රිටිශ් කවුන්සිල් ලයිබ්රි එකට බැදිලා හිටියා..ඒකෙත් ඔය වගේ විවිධ වැඩසටහන් කරනවා..කොවිඩ් එකෙන් පස්සෙ අත ඇරුනා..

    හොද අදහසක් තමයි ඔලුවට දැම්මේ...ලග පාත තියෙන ලයිබ්රි එකකට ආයේ යන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද පොසිටිව් ඉම්පැක්ට්ස්

      Delete
  7. පිකැඩිලි ලඟ වෝටර්ස්ටෝන් එකට ගියාද?

    ReplyDelete
    Replies
    1. තාම නැහැ.මගේ බකට් ලිස්ට් එක සෑහෙන්න බරයි අප්පා

      Delete
  8. මම මේ කල්පනා කලේ මේ වගේ දේවල් ගොඩක් දැක්කට ලියන්න කවදාවත් හිතුන නැහැ. මට හිතුනේ ලංකාවෙත් ඕව ඔය විධිහටම ඇති කියල. මෙහෙ විධිහට බ්ලොග් සම්මාන කරන්න ගිහින් අහ ගත්ත ඒවා මතකනේ. වෙලාවකට හිතෙනේව ලංකාවේ කරන්න පුළුවන් ආගමයි දේශපාලන පක්ෂේකුයි සම්බන්ධ කරගත්ත දේවල් විතරයි කියල. ඉට එහා බැහැ

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද අනේ....මේ දේවල් එහෙ නැති තරම්.

      Delete
  9. BTW අපි මුලින්ම ගෙයක් ගන්න බැලුවේ චින්ෆොර්ඩ් වල තමා. අර කඳවු උඩ හරියේ බාක්ලේස් බැංකුව කිට්ටුව. පස්සේ ඒ අදහස අත හරිය ඔෆිස් එක ළඟ ගෙයක් හම්බවුනු නිසා

    ReplyDelete
    Replies
    1. මං මෙහෙට ඇත්තෙන්ම කැමතියි.කොළ පාට පැත්තක් නිසා

      Delete
  10. වයසට ගියාමවත් එච්චරක නිදහසක් තියේ කියල හිතන්න පූර්ව උපකල්පනය කරන්න අමාරුයි මෙහෙ ඉඳං. ඊටත් පොතක් ගන්නව කියන්නෙ මේ කාලෙත් බර ගේමක්. මම දැං වැඩ කරන ප්‍රදේශයත් එක්ක පොතක් ගන්නව නං කැප කරන්න ඕන දේවල් වැඩියි. සෝ කොයි තරං ආස වුණත් පොතක් කියන්නෙ ප්‍රමුඛතා ලයිස්තුවෙ අන්තිම පාතට වැටුණ දෙයක්

    පවුමට පොත් තුනක් කියන්නෙ ගිණි ලාබයි. මෙහෙ පරණ පොතුත් විකුණන්නෙ ⁣කපුරු ගණං වලට.

    මේ දවස් වල පහුණු අවුරුදු වල ගත්ත ළඟ තියෙන පොත් ආපහු කියවනව. මග හැරුණ පොතක් කියවනව ඇර අලුත් පොතක් ගන්නෑ. ඒකට වියදං කරන්න අමාරුයි.

    හොඳ අත්දැකීම් ටිකක් එකතු කර ගන්න. ඒකෙනුත් හොඳ පොතක් ලියන්න. ❤❤❤

    නැත්තං අර ශ්‍රියාණි අමරසේන කලා වගේ එංගලන්තෙ බේස් කරගත්ත ටෙලි පිටපත් ටිකක් ලියල ගොඩ දාගන්න ☺️☺️☺️❤❤

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉතින් බ්ලොග් එකක් ලියන්නත් මට වෙලාව හම්බ වෙන්නේ එහෙමත් වෙලාවක.හොස්පිටල් එකේ වැඩ එක්ක කාර්ය බහුල උනාම

      Delete
  11. පවුමට පොත් තුනක් කියන්නේ මාරම වාසියක්නේ. පුස්තකාල වලට නම් යන්නෙම නැති තරම්.මගේ පුස්තකාලේ ඇතුලේ තමා ජිවිතේ ගෙවෙන්නේ මේ කාලේ. පොත් වල මිල එක්ක වෙනදා තරම් ගත්තේ නැතත්. මාසෙට පොතක් දෙකක් කොහොම හරි මිලදී ගන්නවා. මේ ලියවිලි පොතකට ගන්න. <3

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්.ඇත්තෙන්ම මගෙත් ගෙදර ලොකු එකතුවක් තිබුනා

      Delete