Monday, April 22, 2019

111. Be cool..

ඕනෑම අයෙක්ට තරහා ගන්නට පුලුවන් ..

නමුත් තරහ ගත යුතුම කෙනා සමග තරහා ගැනීම, තරහා ගත යුතු හරිම මට්ටමට තරහා ගැනීම , එයට උචිතම වේලාවේ තරහ ගැනීම, තරහ ගත යුතු සාධාරණ ම හේතුවට තරහා ගැනීම සහ එයට ගැලපෙන ආකාරයට තරහ ගැනීම......මෙන්න මේක පහසු දෙයක් නොවේ.....
.
මේක කීවේ නම් මං නෙවේ....ඇරිස්ටෝටල්.

අපි එදිනෙදා ජීවිතයේ මුහුණ පාන ආතතීන් සහ පීඩනයන් එක්ක බැලුවාම අපේ සැහැල්ලුව සතුට සහ ඉවසීම ඉතාම සුලු හේතුවකින් පවා බිඳිලා යන්න පුලුවන් ..
.
ඉතාම කාර්‍යබහුල අවිවේකී දවසක නිමාවේදී ඔබ නිවෙස බලා වාහනය පදවන විට....ඔබට ඉදිරියෙන් සෙමින් ගමන් කරන වාහනයේ රියැදුරාව මරන් කන්න හිතෙනව නේද...?
.
කඩිමුඩියේ සුපර්මාකට් එකට දුවල බඩුවක් හොයාගන්න ගියාම ...ඒක හොයාගන්න බැරුව සේල්ස් ළමයෙක්ගෙන් උදව් ඉල්ලුවම ඔන්න එයා වැරදි රාක්කයක් පෙන්වනව....ගත්තු බඩුත් දාල එන්න හිතෙනව නේද හොඳ දෙකක් කියල.....?.
.
ඔය වගේ දහසකුත් එකක් කාරණා නිසා අපි ඉන්නෙ පිපිරෙන්න ඔන්න මෙන්න තත්වයක....හුඟක් වෙලාවට...
.
ගැටලුව තියෙන්නෙ ඔතන නෙවේ....දිනපතාම මේ ආතතීමය ගතිය එන්න ගත්තම හුඟාක් ඇබ්බැහි වීම් වගේ අපි ඉබේම තරහ යෑම අපිට සාමාන්‍ය පුරුද්දක් කරගන්න පෙලඹෙනව....
.
එතකොට ගෙදර අය එක්ක, කාර්‍යාලයෙදි , මග තොටදි...අපේ මේ තරහා ගන්නා සුලු තත්වය නිසා අපේ මානව සම්බන්ධතා ටිකක් හෙලවෙන්න ගන්නව....ඔබ ගැන අනෙක් අය දකින්නෙ කුකුල් කේන්ති කාරයෙක් එයා ...අම්මෝ බෝම්බයක් ...හොස්ස ලඟින් මැස්ස යන්න බෑ එයාගෙ වගෙ අර්ථකථන එක්ක....
.
ඉතින් ඒ වෙලාවට cool person කෙනෙක් වෙන්න උත්සාහ ගන්න ....අමාරුම අවස්ථා වලත් ....අර cool වීමේ ප්‍රයෝජනය ඔබ තරහා ගැනීම නිසා නාස්ති කරන තප්පර, විනාඩි,පැය ඔබට ඉතුරු වීම....
.
වචන කියන්නෙ ඊතල වගේ දෙයක්නෙ....ඒක දුන්නෙන් මුදා හැරියම වගේ තමා මුවින් පිටවුනාම ආයෙ ආපස්සට ඇදගන්න බෑ....අන්න ඒ නිසා මුවෙන් පිටවෙන තනි වචනය පවා ඔබේ දිගු කාලීන මිත්‍රත්වයන් පවා බිඳ දමන බර අවි බව මතක තබා ගන්න....
.
ඔබත් එක්ක ඇවිලෙන්න එන අයෙක් ගෙන් මිදෙන්න අර 1 - 100 ට ගනන් කරන එක සරලම විසඳුමක්...ප්‍රතිචාර දක්වන්නට කලින් වෙලාව ගන්න....ඒක වටිනව ....
.
අර ඉස්සරම කාලෙ උන්න පුරාණ නැණවතුන් ....මෙන්න මෙහෙම දෙයක් කලාලු....
.
වචන භාවිතයට පෙර ඔවුන් බැලුවලු.....ද්වාර තුනක් ගැන...සරලවම කීවොත් ගේට්ටු තුනක් ගැන...
.
පලවෙනි එක තමා මේ කියවෙන්නට යන දේ ඇත්තක්ද කියන එක....අන්න ඒක ඔව් නම් පලවෙනි ගේට්ටුවෙන් එහාට යනව ....දෙවනි ගේට්ටුව තමයි..මේ කියන්න යනදේ අවශ්‍යම එකක්ද යන එක .....ඒකටත් ඔව් නම් තමයි තුන්වෙනි ගේට්ටුවට යන්නෙ....එතනදි අහනව තමන්ගෙන්ම....මේ කියන්න යන දේ කාරුණිකද...යන බව....අන්න ඒකත් ඔව් නම් තමයි ඒ වචනය සඳහා මුව විවර වෙන්නෙ....
.
ඉතින් හිතන්න ඒ සෘෂිවරුන් කෙතරම්ම වාග් සංවරයකින් ඉන්න ඇත්ද කියල....අපි එහෙම නෙවෙයි නේද ..අවංකවම...කියන්න හිතන දේ හිතෙන කොටම කටින් පිටවෙලා කියවලා ඉවර වෙලා තමයි අර ගේට්ටු තුන ගැන හිතන්නෙ....
.
ඉතින් ඔබ ට ලෝකය වෙනුවෙන් එහි මිනිසුන් වෙනුවෙන් ....හුඟාක් දේ කල හැකියි....
.
මේ වකවානුවේ අපි අපේම රට ගැන හිතන වෙලාවක....රූප පෙට්ටිය ගාව ඉඳගත්තාම මට හිතෙන්නෙ ...අපේ රටේ මිනිස්සුන්ගෙ කටවල් වලට නම් ගේට්ටු නොවෙයි ඉබි යතුරු ත් දාල හිතන්න පොළඹවන්න ඕන කියන දේ......
.
ඒ වගේම පසු ගිය දා සිදු වූ යම් යම් දේ ගැන අදහස් දැක්වීමේදීත් ....මේ තත්වය ඕනවටත් වඩා හොඳින් දැක්කා  ......හැකි තාක් දුරට මගේ අතින් තව අයෙක්ට නොරිදවන්න මම වග බලා ගත්තේ ඒ නිසයි....

මිනිසුන්ට හැම විටම ඔවුන් පවත්නා ලෙස පැවතීමට ද...ඔවුන් පැවතිය යුතු අන්දමට පැවතීමටද....ඔවුන්ට සාර්ථක පුද්ගලයන් වීමටද හැකි තාක් උදව් වන්න  .....එයට ඔබේ වචන මහඟු සේවයක් කරාවි....
.

විසිරි සිහින

107. ජීවිතයක අගය

VPN බ්ලොක් කලාට පස්සෙ ඇඳිරි නීතියත් වැටුණාම...මං ඔහේ කල්පනා කර කර උන්නෙ මේ දවස් දෙක මිනිස්සුන්ගෙ ජීවිත වලට කල හදිය....
.
පෙර දවසක හිනාවෙන් සතුටින් ජීවිතේ ගතකල මිනිස්සු අද අඬා වැටෙනව....සමහර අයට අඬන්න වත් සිහියක් නෑ....බෝම්බ පිපිරීමෙන් මොහොතකට පසුව මීගමුවෙ රෝහල සහ නවලෝක රෝහල අසලට ගියාම ....ඒ මිනිස්සුන්ගෙ මුහුණු වල තිබ්බ හිස් බව දැක්කම...මට ආවෙ මහම කම්පනයක්....
.
අඩුම ගානෙ අඬන්නවත් කඳුලක් එන්නෙ නැතිව තුවාලවෙච්ච  අය තුෂ්ණීම්භූත වෙලා....සිහියක් ඇති අය තමන්ගෙම අය වෙනුවෙන් අඬනව....ජීවිතේ කොච්චර අවිනිශ්චිත ද....?
.
තමන්ගේ ආගම ට අදාලව වැදගත් ම දවසෙ දේව මෙහෙයට ගිය සතුටින් උන්න පවුල්....මොහොතකින් විනාස කල බෝම්බයට හිත්පිත් නොතිබුණාට....ගෙන ආ පුද්ගලයාට ඒ එක් හිනාමූණකින් වත් ලතෙත් බවක් ඇතිඋනා නම් කියල මට සිය දහස් වාරයක් හිතුණා.....
.
අම්මලා ට තාත්තලාට දරුවනුත්....දරුවන්ට දෙමව්පියනුත් නැති කල ...එකම අඳුරු දවසක් ඒක....උදේ පටන් ගත් රූපවාහිනී විකාශයන්ගෙ මැරුන සංඛ්‍යාව එකින් එක වැඩිවෙමින් සඳහන් වෙනකොට....හූල්ලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.....
.
ඊට පසු දවස අද මේ ලියන දවස...උදේ කඩ අරින කොටම ටවුන් එකට දුවල අත්‍යාවශ්‍ය බඩු ටික අරන් එන ගමන් පුතාල කීවෙත් ....අම්මේ මිනිස්සුන්ගෙ මූණු හුඟාක් අද වෙනස් නේද කියල....හැමම හැම දෙනම තවකෙක් දිහා සැකෙන් බලන්න හුරු වෙලා...එකිනෙකාට හිනාවෙන අමතක වෙලා....අපි අපිටම ආගන්තුක වෙලා....
.
දෙනෝදාහක් වාහන යන මහ පාරත් හරිම භයංකාර නිහඬබවක....ජීවිතේ ගැන මිනිස්සුන්ට දැනෙන අස්ථාවර භාවය....කොහොම කියල ඉවර කරන්නද.
.
බඩු අරන් ගෙට ගොඩ වෙනකොටම.....මීගමුවෙ වතුරට වස දාල කියල කතාවක් හැම තැනින්ම එන්න ගත්තා...ගිනි පෙනෙල්ලෙන් බැට කෑ කෙනා කණාමැදිරි එලියටත් බයයි....වතුර...මනුස්සයෙක් ගෙ මූලිකම අවශ්‍ය දේ....අනික් පැත්තට වාහනේ අරන් සුපර්මාකට් ගානෙ ගියේ වතුර ගන්න....එතකොටත් පෝලිම වතුර වලට....කේස් දෙකක් උස්සන් ගෙදර ඇවිල්ල ලිඳෙන් මූණ සෝදන්න බැරල් වලට වතුරත් ගත්තා.....පසුව ඒක කටකතාවක් කියල ආරංචි උනා....නමුත් කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි මට්ටමකට අපි ඇවිල්ලා දැන්....
.
මගෙ පුතා හුඟාක් ම වෙලා නිහඬව ඉඳල අහපු එක් දෙයක් ගැන මාත් තාම මේ හිතනවා...
.
අම්මා...මිනිස්සු හැම තිස්සෙම compare කරනවනෙ තමන්ට ඇතිදේ අනුන්ට ඇතිදේ එක්ක....
ඒ හුඟක් වෙලාවට අනේ මට නෑනෙ අරයට තරම් කියලනෙ හිතෙන්නෙ...ඒත් මෙහෙම දේ වුණාම මොකුත් නොවුණ මිනිස්සු තමන් කොච්චර වාසනාවන්ත ද අනෙක් අයට වඩා කියලා හිතනව ඇති නේද......
.
ඇත්තෙන්ම අපි හුඟාක් වාසනාවන්ත ...අවාසනාවන්ත මිනිස්සු....අපේම මිනිස්සු කොටසක් එක්ක දුක කඳුල බෙදාගන්නවත් යන්න බැරි වෙන්න තරම් අද හවස් වෙද්දි පරිසරයත් වෙනස් වෙන්න අරන්......මහා වැස්ස හඬා වැටෙන්නෙ ඒ දුකත් එක්ක.....
.
ජීවිතේ දුකක්.....ඇත්තෙන්ම දුකක්.....

විසිරි

Saturday, April 20, 2019

106. ඔබ පරිසරයේ කොටසක්ද



ඔබ පරිසරයේ කොටසක්ද...?



ඔබ මේ අහන දෙයට සෘජුවම ඔව් කියලා උත්තර දෙන බව මම දන්නවා.නමුත් මඳක් සිතා බලන්න.අපි පරිසරය එක්ක සම්බන්ධ වන්නේ මොන තරම් අඩුවෙන්ද..?.

.ඔව් ..අපි එච්චරකටම කාර්ය බහුල අය....

ඔබ උදේට කුදු මහත් රාජකාරි දහසක් කරලා රැකියාවට යන්නට එලියට බහිනවා..ඔබ ඒ තියන හදිසියට ඔබ පිළිගන්න වගේ සිනාසෙන අලුත පිපුන මලක් දකින්නේ නැහැ...හදිස්සියේ බස් එකෙන් බැහැල ගෙදරට දුවන් එන ඔබව පිළිගන්න සිනාසෙන ගහක් කොලක් මලක් ඔබ දකින්නේ නැහැ...සමහරක් වේලාවට ඔබේ දාහය නිවන්න ඔබ වටේට හමායන සුළඟ ඔබට දැනෙනවා උනාට ඔබ එය විඳින්නේ නැහැ......

ඇත්තෙන්ම අපි පරිසරයෙන් දුරස් අය...

විනෝද ගමනක් ගියාම ...සියලු රාජකාරි වලින් ඔබ දුරස් වෙනවා..ඔබ පරිසරය විඳිනවා...එහි සුන්දරත්වය ඇසින් සිරුරෙන් උකහා ගන්නවා....නමුත් ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේදී එහෙම දෙයක් විඳිනවද....?

උදේම නැගිටින්න...පොඩිම වෙලාවක් ඔබ ඒ සුළඟ විඳින්න...ගහක කොලක සුන්දරත්වය ඇහැට ගන්න....හවස ගෙදර ආවම ...ඇඟපත සෝදාගෙන පොඩ්ඩක් මිදුලට බහින්න...ලෝකය ඉන්නේ ඔබ එනකල්...ගෙදර අයට වගේම පරිසරයටත් ඔබව අවශ්‍යයි....

ඔබ පරිසරය එක්ක ඉන්න හැම වෙලාවේම...ඔබේ පීඩනය අඩු වෙනවා...ඔබේ නිර්මානශිලිබව වැඩිවෙනවා...හිතට එන්නේ සාමකාමී සතුටුදායක හැඟීම්...ඒ වෙලාවට ඔබට ඔබේ වැඩ කටයුතු හසුරවා ගන්න පහසුයි...පෙළගස්වන්න ලේසියි...ඒ වගේම ගැටළු වල දැඩි බව හෙමින් මනසින් ලිහිල් වෙන්න ගන්නවා....ඔබ මනසින් වැඩෙන්නේ මෙන්න මේ වේලාවට....

ඉතින් ඔබ පරිසරයට අනුගත වෙන්න...අද ලෝකය දුවන්නේ තාක්ෂනය එක්ක..අපි පරිසරයෙන් ඈත්වෙන්න වෙන්න අපි නිර්මාණශීලි වෙන්නේ යාන්ත්‍රිකව..

අපි සොබාදහමේ අංශු..ඉතින් දවසට එක විනාඩි දහයක් ඔබ ව නිර්මාණය කල ඒ පරිසරයට ඔබේ සිනහව ලබා දෙන්න.....එය ඔබේ කෘතගුණ දැක්වීම වෙනු ඇති....නිසැකවම.

මම 
විසිරි 

Sunday, April 7, 2019

114. අසන්නෙමි


කියන්න
ඔබට හැකි වේවිද 
කවියක් වෙන්න
කඳුලු නාඳුණන 
මගෙ දෑස් තෙමාලන....
.
කියන්න 
ඔබට හැකිවේවිද
සිනාවක් වෙන්න
බොහෝ කාලයකට පසු
අමතකයි හිනාවුණ 
හැටි මට....
.
කියන්න
ඔබට හැකි වේවිද
සුසුමක් වෙන්න
මේ බරැති හැඟුමන් 
ඈතටම පා කර 
හරින්න...
.
කියන්න
ඔබට හැකි වේවිද
ප්‍රේමය වන්න
රැවටීම් මිස 
සෙනෙහසක් 
නැති ලෝකයක......

විසිරි

105. ආදරය පමණක්......දෙන්න.

ආදරය පමණක්......දෙන්න.

උදේ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට ගොඩ වෙන කොටම සාරියෙ පොටෙන් කවුද අදිනවා.....
මට මතක් වුනෙ

ඔසරි පොටෙන් අදින්නෙපා වලාකුලයි ඉරෙන්නේ....සිංදුව..
ඒත් ...මේ මගේ සාරි පොටෙන් අදින්න එහෙම අය නැති නිසා හැරිලා බැලුවෙ විමසිල්ලෙන්....

අපූරු ඉලන්දාරියෙක්...
ඇස් වලින් ඉඳලම හිනාවෙනවා....
මං ඇහුවා .....ඇයි මොකද කියලා....
සාරි පොට උදුර ගන්න ගමන්.....
මගෙ කටහඬින් තවත් උද්දාමයට පත් වෙච්ච එයා මගෙ වටේ නටන්න ගත්තා ඒ ගමන....
.
ඔව් ..ඔව් ..මේ අපූරු බලු ඉලන්දාරියෙක් ගැන මං කියන්නෙ....
ඇත්තෙන්ම හරි හුරතල්...නමුත් නොදන්නා සතෙක් නිසා " හා හා ඔයා ගෙදර යන්න " කියලා මං හැරිලා ආවත්..මෙයා මා එක්කම එනවා....

බෑගයේ උදේ කෑම එක මතක් වෙලා හෙමින් කෑම පෙට්ටියෙන් පාන් පෙත්තක් අතට ගත්තා දෙන්න....හැරිල බලන කොට එයාට අලුත් යාලුවො හම්බෙලා....

ආච්චි අම්මා එක්ක ගමනක් යන්න එන පොඩි ගෑණු දරුවො දෙන්නෙක්....
එයාට හිතෙන්න ඇති ...අන්න මගෙ වයසෙ කෙලි පොඩ්ඩො දෙන්නෙක්..මෙයා ඕන්නෑ මං එයාල ලඟට යනව කියල....මට දක්වපු පිලිගැනීමට එහා ඒ දැරිවියන්ට මෙයාගෙ තිබුණෙ...එක නැටිල්ලයි....ආච්චි අම්මා අමාරුවෙන් දරුවො අරන් ස්ටේශමට ආවා....අරයාව එළවලා.....

පසු ගිය දාක අහන්න ලැබුණ අවාසනාවන්ත සිද්ධිය ගැන මට ආයෙම මතක් වුණ....මටත් බලු සුරතලුන් දෙන්නෙක් ඉන්නව....ඇත්තෙන්ම ඔවුන් ගෙදර සාමාජිකයන් ගණනට ම වැටිලා ඉන්නෙ...

ඔවුන් අපිව තේරුම් ගන්න ආකාරය, අපිට ආදරය කරන ආකාරය කොන්දේසි විරහිතයි...උදේ ගෙයි ඉස්සරහ දොර අරිනකොට මාස ගාණකින් දැක්කා වගේ ඇඟට පණින්නෙ...ඔලුව අතගාලා ආදරේ පෙන්නලා උයන්න යනකොට දෙන්නා ඇවිත් කුස්සියෙ දොර ළඟ ඉඳන් එයාලගෙම භාෂාවෙන් එක එක සද්ද දානවා...උදේට වැඩට යන වෙලාවට පස්සෙන් ගේට්ටුව දක්වා පස්සෙන් එන්නෙ සමුදෙන්න...ආයෙ හවස එන වෙලාවට ගේට්ටුව ලඟ ඉඳන් පසු ගමන්....කඩේට ගියොත් ආයෙ එනකල් ගේට්ටුව ලඟ.....කිසිම දෙයක් බලාපොරොත්තු නොවී....එකම ආදරණීය වචනයක් ඔවුන්ට ප්‍රමාණවත්......

එහෙම සතුන් ට ආදරය කරන හිතට අර වගේ ආරංචියක් දරා ගන්න අමාරු වුණා...
ඉස්සර අපේ සීයා ....ගෙදර හරක් හැදුවා...කිසිම සතෙක්ට ගහල නැ...පුතා කියල කතා කලේ...පුදුම සැලකිල්ලකින්....

මිනිස්සුන්ගෙ මිනිස්කම් මෙහෙම ගිලිහිලා යන්නේ....ඇයි ...
කෲරත්වය මිනිස් හිත් වලින් අතුගෑවිල යන්න අවශ්‍යම කාලයක් මේක...
මනුෂ්‍යයෙක් ට වගේම සතා සීපාවාටත් ගහ කොලටත් ආදරය විඳින්න...ආරක්ෂාව ලබන්න...අයිතිය එක සේම තියනවා....

ආදරය පමණක් දෙන්න...ඔවුන් බලා ඉන්නේ එය පමණයි

විසිරි සිහින

Tuesday, February 5, 2019

132.. සපත්තු සහ ඔබේ දෙපා

සපත්තු සහ ඔබේ දෙපා





ඉතින් මේ සටහන ලියන්න මූලිකම වුණ කාරණාව වෙන්නෙ එදිනෙදා මගතොට දකින අයගෙ විස්තර...

මේක ලියන්න ගනිද්දි මට මතක් වුණ එක් දෙයක් සිහියට ආවා...මින් වසර බරගානකට ඈත....මම සෞඛ්‍ය සේවයට බැඳිලා පුහුණු වෙන්න ආව මුල් දිනවල අපේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙක් කිව්ව කතාවක්....

ඉස්සර අපි පාරෙ ගෑණු ළමයෙක් දැක්කම අපි බලන්නෙ කොණ්ඩෙ, ඉඟසුඟ , මුහුණෙ ලස්සන....ඒවද මේවද...
ඒ වුණාට මේ කෙහෙල්මලට ආව දවසෙ ඉඳන් පේන්නෙ ඇවිදින කොට කකුල ඇදද, කොන්දෙ ඇදයක් (scoliosis) වගේද ...මූණෙ facial palsy වගේද....දණිස්ස ඇදට ගිහින් ද...වගේ ඒවා නෙ බං......

ඇත්තෙන්ම විශේෂිත සේවාවකට ඇතුල් වුණාම ඒකෙ ප්‍රතිපලයක් ලෙස කෙනෙක්ගෙ ශාරීරික මානසික වගේම චර්‍යාත්මක සුලු වෙනසක් පවා ඉබේම ඇහැ ගැටෙනව....ඒ උගත් පාඩම් වල මහිමය.

ඉතින් මම ට්‍රේන් එකෙන් බැහැල යන ගමන් අපේ කන්තාවන්ගෙ විවිධාකාර ගමන් ශෛලියන් වගේම ඔවුන් ගෙ දෙපා වල ඇති පාවහන් ගැන විශ්ලේෂණයක් කලා...

අධික ලෙස අඩි උස සපත්තු දැමීම සහ ඒවායේ ඇඟිලි ප්‍රදේශය ඉතා ළංව පිහිටීම කෙනෙක්ගේ ඇවිදින ඉරියව්ව වෙනස් කරනවා...ගුරුත්ව කේන්ද්‍රය රැකගන්න ඕන නිසා කොන්ද ඒකට ගැලපෙන්න වක්‍ර වෙනව....මේකෙ පසු කාලීනව lordosis තත්වයක් ඇවිල්ලා ඒ වගේම කොන්දෙ අමාරු low back pains එන්න පුලුවන් ....කකුල ආශ්‍රිත ව වෙන විකෘතිතා ද එමටයි....ඉඳහිටක උත්සවයකට දැමීම ගැන නොවෙයි මේ කියන්නෙ....දිනපතා භාවිතයේ අහිතකර තත්ව...අනෙක පොදු වාහන වල දැඩි තදබදයක හිට ගෙන යන වෙලාවල්...ගමන දුර නම්....වේදනාව හා අතුරු ආබාධ වැඩියි

වැරදීමකින් අඩියක් ලිස්සා යාම අස්ථි භග්නයක් තෙක් පත්වීමේ අවදානමක් ද මෙහි තියනවා.....ඒ නිසා pointed heels දාන අය ඒ ගැන මඳක් සිතන්න....

ඒ වගේම ඔබේ සපත්තුවේ අඩිය ගෙවෙන අන්දම හ එක්ව නිරීක්ෂණය කරන්න ...ඒ ඔබ ඇවිදින ගමන් රටාව...මෙහිදි ඔබ වැරදි ක්‍රමයට පාද තබනවා නම් ඔබ ගේ සපත්තු ගෙවෙන්නේ සම්පූර්ණ ව නෙවෙයි ........එ නිසා දාර හෝ වම් හෝ දකුණු පස අනෙකට වඩා ගෙවෙනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න

සාරියක් අඳින නෝනාලාට full flat සෙරෙප්පු නම් හැඩ නෑ...අනෙක ,ෆුල් ෆ්ලැට් සෙරෙප්පු භාවිතය සාරිය එක්ක අමාරුයි...කොන්දට හොඳම වෙන්නෙ පොඩි wedge heel එකක් තියන සෙරෙප්පු .....

ඒ වගේම සෙරෙප්පුවේ පටි තදට තිබීමත් ටිකක් හොඳ නැ....සෙරෙප්පු පටි මගින් ලේ ගමනට අවහිරතා ඇතිවෙන්න පුලුවන් ...ඒ වගේම තුවාල....

අන්න ඒ නිසා සෙරෙප්පු දෙකක් ගන්න වෙලාවට මෙන්න මේ කාරණාත් පොඩ්ඩක් හිතලා බලන්න.....අනික් දවසේ

විසිරි සිහින.

Monday, February 4, 2019

104. මිනිසුන්ගෙන් ඉගනීම...

මිනිසුන්ගෙන් ඉගනීම...

මිනිස්සු කියන්නෙ පොත් වගේ 
වෙනස පොතකින් අපි ඉගන ගන්නෙ තියරිය...theory
නමුත් application එක...යෙදුම වෙන්නෙ අපි හරහා...

මිනිස්සු දිහා බලන් ඉගන ගන්න එක ප්‍රායෝගික පැත්තට බර වැඩියි......
මිනිස් චර්‍යා කියන්නෙ අපූරුම දෙයක්.....

මේ සටහන ලියන්න මට උදාහරණයක් විදියට උදේ දුම් රියේ දිනපතා යන මනුස්සයෙක් ඉන්නවා.....

ඒ කතාව ඉස්සෙල්ලාම මම ලියන්නම්කො

ඔන්න මීට වසර හතරකට විතර කලින් මේ කියන පුද්ගලයා පදිංචි වෙලා උන්න නිවස කිට්ටුව අපි ගෙයක උන්නා...ඉතින් කෙනෙක් රෝහලකට සම්බන්ධයි කියන කොට දන්නවනෙ ...උපදෙස් අවවාද යොමු කිරීම් හොයාගෙන මිනිස්සු එන්නෙ....

රෝහල හරහා කර දිය හ්කි යමක් තියේ නම් ඒක කරල දෙන්න මැලි වෙන්න ඕන නෑනෙ...මාත් ඉතින් (අදටත්) කෙනෙක්ට උදව්වක් ඉල්ලුවාම පුලුවන් දෙයක් නම්.....ගෙදරිනුත් බැනුම් අහන් කරන මට්ටමට පත්වෙලා ඉන්නෙ....( හැදෙන්නෑ ...ඒ ගතිය නම්...)

ඉතින් මේ කෙනා ඒ දවස් වල සතියට දිනක් දෙකක් අපේ ගෙදර ගේට්ටුවට තඩි බානවා....වෛද්‍ය වරු ගැන අහන්න...රිපෝට් වල අවුල් තැන් අහන්න....ඔන්න ඔය වගෙ ඒවට.....අන්තරාසර්ග පද්ධතිය ට අදාල රෝගයක අත්දැකීම් බහුල නිසා මාත් අපරාදෙ කියන්න බෑ ඒ පැත්තෙන් අදාළ වෛද්‍යතුමන් ගැන එහෙම ඕන උපදෙසක් දෙනව..

කොහොමින් කොහොම හරි මේ පවුලෙම අයගේ රෝගයන් වලට රෝහල හරහා ඉතින් මම වසර දෙකක් තුනක් ඔය සේවාව කලා.....

ඉන් පස්සෙ දැන් මේ පුද්ගලයා මම දිනපතා උදේ වැඩට යන කාර්‍යාල දුම් රියේ යනවා...මම නගින ස්ටේශන් එකෙන්ම නගිනවා...මූණවත් බලන්නේ නෑ....හිනාවක් නෑ..කොටින්ම මාව ජීවිතේ ට දැකල වත් නෑ...වගෙ හැසිරෙන්නෙ...
අපූරුම දේ ඔන්න දවසක් අහම්බෙන් මම නැග්ගා ඒ කෙනා යන දුම් රිය පෙට්ටියට ...නැගලා වාඩිවෙන්න උනේ ඒ කෙනා අදාල සෙට් එකේ ඉඩක...මට ඉඳගන්න නොදෙන්න මේ කෙනා ලොකු උත්සාහයක් දැරුවා.....සමහර විට ඒ මටම කියලා නොවෙයි....සෙට් එකේ තැනක් අහිමි වීම ගැන ඇතිවන දුක නිසා වෙන්න ඕන.....

ඉන් පස්සෙ මම ඉතින් කණ දාගෙන අහන් උන්නා...මේ කෙනා ගෙ කතාබහ....අපරාදෙ කියන්න බෑ...රෝහල් ගැන සායන ගැන සහ අන්තරාසර්ග පද්ධතිය ට අදාල අර රෝගය ගැන එතුමා මහා පම්පෝරියක් ගහනවා අදාල අය එක්ක.....

මට ඇත්තෙන්ම තරහක් දුකක් ආවේ නෑ....මිනිස්සු මාරයි නේ කියලා හිතුණා...මොකද මම ඒ කෙනාට කියාදීපු දේ අකුරක් නෑර මතක කෙනාට මාව අමතක වෙන්න හේතුවක් ඇත්තේම නෑ...
අපිට අකුරු වලට වඩා human faces මතක හිටින නිසා....

ඒක බලහත්කාරයෙන් අමතක කිරීමක් .....

අදටත් මම ඒ කෙනා දැක්කම එයාට හදවතින් ස්තුති කරනවා....මිනිස්සුන්ගෙ චර්‍යා ගැන අපූරු උදාහරණයක් වීම ගැන...ඒ දෙන පාඩම ජීවිතේ ට හරියට වටිනවා.....

මගෙ තාත්තා මට කියාදුන් එක දෙයක් තියනවා....

"උදව් කරන්න...ඉන් පසු උදව්වක් කල බව අමතක කර දමන්න
ස්තුතිය බාර ගන්න
නමුත් ඔවුන් ඔයාව මතක තියාගනී කියා බලාපොරොත්තු නොවන්න

උදව් හැකිතාක් අඩුවෙන් ගන්න
ඒ උදව් හොඳින් මතකයේ තබා ගන්න
ඒ අයට හැකි තාක් ප්‍රසංශා කරන්න

ඒකෙන් වෙන්නෙ ඔයාගේ වටිනාකම ඉහල යෑම...."

විසිරි සිහින