Tuesday, March 31, 2020

125. සිහින වලට පාට දෙන්න...

සිහින වලට පාට දෙන්න...

ජීවිතයේ ඉලක්ක වලට අපි යනකොට අපිට තියන ලොකුම ගැටලුව තමයි ඉවසීමක් නැති කම...ඒ වගේම සෑහීමකට පත් වෙන්නෙ නැති කම....
ඉතින් මෙන්න මේ කාරණා දෙක ගැන මට ටිකක් ලියන්නට හිතුණ...

ඇයි අපි අපේ ඉලක්ක වලට යනකොට සම්පූර්ණ ටාගට් එක ට යනකල්ම අපි සාර්ථක බව පිළි නොගන්නෙ... අවසානය දක්වාම ඇයි නොසන්සුන්...නොඉවසිලි.....

ඇයි කෙනෙක්ට බැරි....ඉලක්කයට යන මාවතේ මග හමුවෙන ජය කණු වලදී හදවතින්ම සතුටු වෙන්න.....

සැතපුම් සියයක් නම් ඔබ යන ගමන එයින් සැතපුම් දහයක් ගියා කියන්නෙ 10% ක ඉලක්ක සපිරීමක්....ඒත් ඒ දහය ගැන සතුටු වෙනවා වෙනුවට අපි ඉතුරු 90% ගැන කාන්සාවෙන් වද වෙනවා

ඉවසීම බොහෝම අඩුයි..අපේ හැම ඉලක්කයක්ම SMART වෙන්න ඕන...

SMART කියන්නෙ මේකට

S = SPECIFIC
M = MEASURBLE
A = ACHIEVABLE 
R = REALISTIC
T = TIME BOUND

ඉතින් මේ අංශ පහට ඔබේ ඉලක්ක අදාල වෙනවා නම් අදාල කාල පරාසය ගැන ඉවසීමෙන් හිතන්න ඕන...ඕනම ඉලක්කයකට නිශ්චිත සහ සාධාරණ කාලයක් වෙන් කරන්න.....

ඔබේ හැම සාර්ථකම පියවරකදි ඔබ ඔබ ගැනම සතුටු වෙන්න....ඒක ඔබට ඔබ වෙනුවෙන් දෙන්න පුලුවන් ලොකුම ප්‍රසංශාව....

විසිරි සිහින

124 . ආදරය කිසිදින නොමියෙයි....

ආදරය කිසිදින නොමියෙයි....




මම ක්‍රීඩා ගැන බොහොම අඩුවෙන් උනන්දු වන අයෙකි....පැසිපන්දු ක්‍රීඩාව ගැන මා දන්නා යමක් වේ නම් ඒ අපේ ඉලන්දාරියන් දෙන්නා කියන කරන දෙයක් පමණි.... ඒ තනිකර පැසිපන්දු ලෝලීන් දෙදෙනෙකි........

පැසිපන්දු ගැන මෙලෝ හසරක් නොදන්නා මගේද හිත සසල කල පින්තූර ගොන්නක්  අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරන විට නෙතට හසු විය....

ඒ ආදරය පිරුණු තාත්තෙක් සහ දුවෙක්ගේ නික්ම යෑමය......ඒ තාත්තා සහ දුවගේ ආදරණීය වැළඳ ගැනීම් සහ රූප රාමු සිත මහා ලෝබ කමකින් පුරවා ලන්නට විය.

ගෙදර ආ පසු කොල්ලන් දෙන්නාගෙන් මේ සිදුවීම සහ අනතුරේ වීඩියෝව දැක අසා ගතිමි....
ඒ තාත්තා තමන්ගේ ප්‍රියතම වූ දෝණිය සමග සමු ගන්නට ඇත .....

ජීවත් ව සිටිනා කාලයේදී වැළඳ ගත් තරම්ම ආදරයෙන් මරණයේදීද වැළඳ සිටින්නට ඇත....අඬද්දී අස් වසා ලන්නට ඇත....ඔහුගේ බසින් මං ඔයා එක්ක ඉන්නවනේ පැටියෝ කියන්නට ඇත....

ඉතින් ආදරය මියගියේ යැයි අපිට කිව හැකිද.....


මඳක් නැවතී සිතන්න....ඔබ ඔබට ආදරය කරන්නට ...ඔබේ ප්‍රියතමයන්ට ආදරය කරන්නට .....තවත් මොහොතක් හෝ පමා වේ නම් ......ඒ සදාකාලික පමාවක් වීමට හෙට දවසේ ඉඩ ඇත.....ඉතින් එවිට පසු තැවෙන්නට වත් අපිට වෙලාවක් ඉතුරු නොවනු ඇත.....

ඔබේ ආදරය.....නොසඟවා පවසන්න....විශේෂයෙන්ම ඔබේ...දරුවන්ට ..... ඒ kobe bryant නමැති ආදරණීය තාත්තා ලෝකයට කියාදී ගිය පණිවිඩයයි......

ඒ තාත්තා ගෙ ආදරය සදාකාලිකව ඒ සුන්දර දෝණියට තනි රකිනු ඇත.....

ආදරය කිසිම දාක මියයන්නේ නැත.....

123. පමා වී පැමිණි ප්‍රේමය....

අනන්තාපරිමාණ අහසක
තරු කැටක් වී බැබලෙන
මගේ ප්‍රේමය..
නෙත් කෙවෙන තුරු
මග බලන
සේයාවකුදු නැතිව
හැඬවෙන
හිතක රැඳි ස්නේහය......







අකුණු සැරයක් සේ එන
ඇවිත් යළි නොපෙනී යන
නුඹේ විස්මිත සෙනෙහස..
රැහැන් පට අතර කම්පිත
ආදරය උතුරන ස්වර මත
නිරුත්තර වන
මහිත......

හෙටක් වෙනුවෙන් කල් බලන
නුඹ ම මිස අන් හිතක් නොපතන
අපූරුම ඉවසුම් දනවන
පමා වී පැමිණි
ප්‍රේමය....

122. ජීවිතය Life....

ජීවිතය Life....

අද දවසේ මගේ පාඩම් ප්‍රවේශය වුණේ life...
අලුතින්ම ආව තරුණ ළමයි හතළිස් පහක් අලුත් විෂය කරුණු හමුවේ හෙම්බත් වෙන වෙලාවක....මගේ සිද්ධාන්තමය පාඩම පටන් ගන්න හොඳ ප්‍රවිෂ්ටයක් ගොඩ නගා ගන්න මම පසු ගිය දිනවල ටිකක් වැඩිපුර හිතුවා....

ඉතින් ප්‍රවිශ්ටය වුණේ ජීවිතය life...
ඉස්සරහට එන පාඩම life span development

ඉතින් ....අපේ අද කතාබහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් පන්තිකාමරයේ විහිදුණත් ඔබෙත් මගෙත් රසාස්වාදය වෙනුවෙන්...මම එය සිංහලටත් හරවන්න කැමතියි.....

ඉතින් මගේ විවෘත ආරාධනය වුණේ .....ජීවිතය life අර්ථ දක්වන්න කියන එකයි ......

මේ ඔවුන් එකිනෙකා කී අරුත්....

🔸Life is a miracle

🔸It is time bound experience

🔸Life is series of events between birth and death

🔸Life is an adventurous journey

🔸Life is ups and downs

🔸It is all ADLs and worries and happiness

🔸Life is a challenge

🔸Life is define one's attitudes and thoughts

හරිම සුන්දර අර්ථකථන ....

අවසානයේ පන්තියේ කුලෑටි ලැජ්ජාශීලි චරිතය නැගිට්ටා...

❤ Life is a gift which is given by God.......

මට ඉබේම අත්පොලසන් ගැහුණා....මෙච්චර අපූරු ළමයි ගොන්නකට මම ගුරුවරිය වෙනවා.....

මේ පරම්පරාව ජීවිතය අන්න එහෙම දකිනවා නම්....මෙතනින් එහාට ජීවිතය ඉගන ගන්න ලේසියි......

මිනිස්සු තමන්ගේ ජීවිතය සුන්දරව දකිනවා නම්.... දෛවයේ සරදමින් අසුන්දර වෙන ජීවිත ගොඩ ගන්න ඔවුන්ට කොහෙත්ම අසීරු නැහැ ...

අපි පියවර ඔසවන අපේ වෘත්තීය ගැන ඔවුන්ගේ සිත් තුළ අභිමානයක් ආදරයක් ඇති කරන්න අසීරු නැති බව ඉතින් නොරහසක්......

මගේ power point presentation එක තිරයට ගනිද්දි ඔවුන්ගේ මුහුණට ආවේ සිනහවක්....ඒක ආඩම්බරය මුසු සිනහවක්....ඔවුන් කියන කිසිවක් කල් වේලා ඇතිව නොදැන ආ ගුරුවරියගේ දේශන තිරය මත ඔවුන් ලියූ දේවල් ම තියෙන කොට .....

ඔවුන් ගේ ජීවිත දැක්ම කියන්නේ සාර්ථක යමක් බව ඔවුන්ට වැටහෙන්නට ඇති......එය ඉතාම අවශ්‍යම කාරණයක්....

සෞඛ්‍ය සේවය කියන්නේ මිනිස් ජීවිත එක්ක සහකම්පනය ඇතුව යා යුතු චාරිකාවක්...

ඉතින් .....

ජීවිතය කියන්නෙ මෙන්න මෙතනට

To everything there is a season , and a time to every purpose under the heaven : A time to born, and a time to die; a time to plant and a time to pluck up that which is planted.....

ඉතින් මීට පැය විසි හතරකට පමණ පෙර මට ලියවුණා.....

Nature is the only thing never hurts your soul කියලා..

ඒ මිනිස් ක්‍රියාකාරකම් සහ වචන සමූහයකින් සිත රිදීමක් සහ කලකිරීමක් හේතුවෙන්..නමුත් දැන් මම සිතනවා..

Human are most beautiful creature that can added colours to one's life.....කියල..... ❤❤

121. දැන් ඉතින් සිනා වී සමුදෙන්න







බොහෝ මිහිරැති මතක එකතුවක
අවසාන පිටයි මේ දිග හැරෙන
සිනහවක දවටාන ජීවිතය
ආව මේ දුර ගමන වෙහෙසමය
දැන් ඉතින් සිනා වී සමුදෙන්න
මට මගේ ලොව සොයා ඉගිලෙන්න......

විඩාවකි ජීවිතේ ගෙවී ගිය
කිසිත් නැත ඉතින් යළි ගෙනියන්න
ඉතින් කහටක් නොමැති මතකයක
නුඹ සිටී එදා සේ අදතෙක්ම
ඉතින් අපි ආ ගමන අවසන් ය
නළලතට හාදු මල් අකැපමය....

මහා කඳුලක් හෙලා හුස්මකට
හැකිද මේ හැම මතක පිසලන්න
මා ගෙනා බැඳුම් දැන් අහවරය
ඉතින් මට සිනා සී සමුදෙන්න
ඔබෙන් මෙන් ලොවෙන් නැත ලද දෙයක්
සොයා යමි ජීවිතේ ඉසිඹුවක්.....

120. ආදරය කියන්නේ

ආදරය කියන්නේ ඉසියුම්ම හැඟීමකට




ඒක හරියට පේන සීමාවෙ ඔබ ඉන්නව....ඒ දැක්මෙන්ම මගේ ඇස් පිරෙන්න ආදරය උත්පාද වෙනව ... වගේ හැඟීමක්.....

සමහරක් විට....ඔබ මගේ අසලින්ම හිඳගෙන ඉන්නවා....බිඳකුදු ස්පර්ශ නොවීම....ඒත් හිතම පිරී යනවා අප්‍රමාණ ආදරයකින්....අන්න එහෙම හැඟීමක්....

ඔබ ඔබේම ලෝකයක ඔබේම වැඩ කටයුතු ගොන්නක සැරිසරනව....මම ඈතක සිට ඔබට නොදැනී බලා ඉන්නව....ඔබේ සිනහව...ඉරියව්...හැම එකක්ම ඇස් වලින් උකහා ගනිමින් ...ඔව් අන්න ඒ මොහොතෙත් මම ඔබට අපරිමිත ව බැඳෙන්න ගන්නව.....

කිසිම මොහොතක කිසිම දවසක ඔබ ට නොකියන මේ හැඟීම්...
ඔව් අන්න ඒ තමයි ආදරය..
මං ඔබ වෙනුවෙන් අරන් ආව...
සමහර විට ඔබ නොදැනිම ඔබෙන් අත හැරෙන....

ඔබ දන්නව නම්.....
මේ තරම්ම ප්‍රේමයක්
මිහිමත ඇති බව පමණක්ම....
ඔබ වෙනුවෙන්....
එක අතකට
එය ඔබ නොදැන ඉන්න තරමට මං කැමතියි...
ඒ...
ඔබත් මාත් දෙදෙනාම
ආදරය බරක් කොට නොගන්නා හෙයින්....

Monday, February 10, 2020

119. පොලියානා සහ මම

පොලියානා සහ මම





ජීවිතේ දුක සතුට සමබර ව එන්නෙ නෑ කියලයි මම අදටත් විශ්වාස කරන්නෙ....ඒක සමබර කරගන්නත් අමාරුයි ..මොකද ඔය අන්ත දෙකින් සතුට හැම තිස්සෙම ඉන්නෙ අව පස..................
දුක ඉන්නෙ පුර පස....
ඇයි එහෙම වෙන්නෙ...
.
එහෙම වෙන්නෙ හුඟක්ම වෙලාවට අපේ බලාපොරොත්තු වල නොතිත් බව නිසා....එකින් එක පොදි ගැහෙන බලාපොරොත්තු එක්ක මිනිස්සු අතෘප්තිකර ජීවිත ගත කරන නිසා....
.
පසු ගිය දාක මම දැක්ක එක පුවරුවක්....ඒ පුවරුව ලියලා තිබ්බෙ මීට අවුරුදු හැට හැත්තෑවකට එහා වෙන්න ඕන....
.
ඒකෙ තිබ්බෙ මෙහෙම

Mental conflict is an imbalance between desire and fear......
.
ඒ ගැන හිතුවාම ඒක සහතික ඇත්තක් නේද කියල මට ආයෙමත් හිතුණ.....
.
අපි මනස එක්ක ...ජීවිතේ එක්ක නිරායාසයෙන් ගැටුම් ඇති කරගන්නෙ අතෘප්තිකර ආශාවන් සහ ඒවා වෙත ලඟා වීමේ බිය නිසා.......
.
මිනිස්සු හුඟක් වෙලාවට කියනව අතහැරීම තමා ජීවිතේ සැනසීම කියල...ඒත් ඔය අතහැරීම කියන දේ ඇත්තෙන්ම අපිට හිතන තරම් පහසුවෙන් කරන්න පුලුවන් ද ...කියල මඳක් සිතන්න....
.
ඇත්තෙන්ම බෑ .....
.
හුඟාක් දෙනෙක් පොලියානාට කැමතියි....ඒ කතා ත්‍රිත්වය කියවලා තියනවනෙ...පොලියානා ගේ විශේෂත්වය මොකක්ද...
.
ඇය ඕනෑම දෙයක සොඳුරු පැත්ත දකිනව...හැම අඳුරු දේකම ඇය සතුටු වෙන්න හේතුවක් හොයාගන්නව...ඇත්තෙන්ම පොලියානා කතාව අරඹන කොට ඇය පුංචි දැරියක්...
.
දරුවන්ගෙ ලෝකය එහෙමයි....ඔවුන් සතුටින් තියන්න මහා දේවල් අවශ්‍ය වෙන්නෙ නෑ ...අපි නොහිතන අපි වටිනාකමක් නොදකින හුඟාක් දේවල ඇති සතුට දරුවො දකිනව.....
.
අපිට ඇයි එහෙම වෙන්න බැරි....බැරිකමට වඩා අපි හැම තිස්සෙම අඳුරක දකින්නෙ අඳුර පමණයි....එහි ඇති කණාමැදිරි ආලෝකය වත් අපි දකින්නෙනෑ....ඒ නිසාම දකින අඳුරේ අඳුරුම පැතිකඩෙහි ම ගිලෙන්න අපි බලන්නෙ....
.
අපි හැම කෙනෙක්ගෙම ජිවිත ඇතුලෙ පොලියානා කෙනෙක් ඉන්නව...ඇයව හොයාගන්න...ඒක ටිකක් අමාරුයි....මම කාලයක් ගෙවිලා හෝ මා තුල උන් ඇයව හොයාගත්තා...එදා සිට ඕනෑම දෙයක අසුබ දේ ට කලින් මට සුබ දේ පේන්න ගත්තා ..
.
ඒකෙ ප්‍රතිපලය ...
දුක හිතෙන එක...හිත රිදෙන එක ....අඩු උනා...
අහිමි වීම් වලදි කඩා නොවැටෙන්න හිත හුරු උනා...
ලැබෙන හැම පොඩි දෙයකින්ම හිත ට සතුට කියන දේ ලබාගන්න හුරු උනා...
මට හිතට සැනසීම එන සහ අනවශ්‍ය ගැටලු අමතක කරවන ඉසව් මම හොයාගත්තා.....ඒවා මොනවද කියල මගේ fb wall එක බැලුවම ඔබ දන්නව.....
.
කිසිම දෙයක් ගැන බරපතල ව ඔලුවෙ මහ කන්දක් බර දේ පැටෙව්වා වගෙ හිතෙන දේවල් වලින් මම ඈත් වුනා...රැකියාව වගේම පෞද්ගලික සහ සමාජීය ජීවිතේ දි.....
.
අන් කෙනෙක් ගෙ සතුට තෘප්තිය දිහා බලල වෙනදට වඩා මට සතුටක් ලබන්න ඒ නිසා පුලුවන් උනා....අවස්ථාවන් ගිලිහිලා වෙන අයෙක් ඒ අවස්ථාව ලබා ගනිද්දි....ඇත්තෙන්ම එයා ඒ දේට සුදුසුයි...ඒක එයාට ලැබුණ එක හොඳයි කියල හිතන්න හරිම ලේසියෙන් හුරු උනා...
.
කොහොම උනත් අන් අයගෙන් හිතට විස තරහ පිරෙන වචන එද්දි කන් දෙක ඔටෝ වැහෙන සිස්ටම් එකක් මට ඇතිවුණා....😄....හිනාවෙලා හ්ම් වත් නොකියන එක හරි ලේසි දෙයක් උනා....
.
කොහොම උණත් මගේ ජීවිතේ පොලියානා මට ඉගැන්නුවේ ....ඉස්සෙල්ල තමන්ටම ආදරය කරන්න ...තමා වෙනුවෙන් තම සතුට වෙනුවෙන් කල හැකි දේ මං පොලියානා ඇසුරින් සොයාගත්තා ...තමන් තමන්ට ආදරය කරන කොට සෙසු ඕනම කෙනෙක්ට ආදරය කරන්න ට ඉඩහසර ඉබේම සැකසෙනව....එතකොට ජීවිතේ අපූරුවට ලස්සන වෙනවා.....
.
මේ ජීවිතය හරිම කෙටි එකක්....අපි කොච්චර වාසනාවන්ත අයද කියල මට මගේ රැකියාව කියල දෙන්න ගත්ත් මීට වසර විසිහතරකට පෙර ඉඳල....ඒක අදටත් මම ඇස් වලින් දකින අත්විඳින දෙයක්....හැම මොහොතෙම මම මගේ මේ සුන්දර ජීවිතයට ස්තුති වන්ත වෙනවා.....
.
ඉතින් අනුන් නිසා ජීවිතේ දුක් වෙන්නවත් සතුටු වෙන්නවත් යන්න එපා කියල ඔබට ඔබේ ජීවිතයේ පොලියානා හමුවුණ දාක කියාදෙයි....ඔබ ඔබේ ජීවිතයේ සියලු දේට වගකියන්න ඕන බවත් වගබලා ගන්න.....
.
ඉතින් පොලියානා හමු වුණ දාක .....ඇය ඔබට කියාදෙන දේ ඔබත් ඔබේ ලඟ සටහනකට එක්කරල තබා ගන්න .....

~~~~කිත්මා~~~~