Friday, July 9, 2021

2021 (18) ප්‍රේමය


ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් බරද හිතට..
මහමෙරක් තරමටම බර වැඩියි නොකියමි..
ප්‍රේමයේ අනුහසින් මා වලාකුළක් සේ ඉගිල යන හෙයින්........

ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් උසද....
හිමගිරක සේ උස යැයි නොකියමි..
ඔබේ ප්‍රේමය අසල මා කුරාකුහුඹුවකු හෙයින....

ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් ගැඹුරුද...
කිසිත් නොපවසමි...
ඔබ දෑස් දෙසම ඇස් පිය නොහෙළා බලා ඉමි...
ඒ..ප්‍රේමයේ ගැඹුරයි..
අනන්තයටත් එහා අප අතරමං කොට තබන....

විසිරි ❤

Tuesday, July 6, 2021

2021 ( 17 ) ඉස්සර ගියපු ට්‍රිප්

කාලෙකින් ට්‍රිපක් කියල එකක් යන්න බැරිඋන සාන්කාවෙන් කල්පනාවේ ගැලි ගැලී ඉන්න වෙලාවක අතීත ස්මරණ චාරිකාවක ගමන් කලා ඔන්න. 

අපේ හිත කියන්නේත් මාරම විජ්ජාවක්නෙ. මේ ඉන්න මොහොතෙ ඉඳන් කාලයන්තර මොකුත්ම නැතුව අවුරුදු තිස් හතළිස් ගානක් ඈතට යන්න පුලුවන් එකම විජ්ජාවක් නොවෙයිද කියන්නකො.

ඉස්සරම පොඩි කාලෙ ට්‍රිප් යන්න පේවෙන්න දවස් ගානක ඉඳල. කොහොමටත් ඉස්කෝලෙ නිවාඩුකාලෙක යන ගමනක් ඇරුණාම ඉතින් ට්‍රිපක් කියල ගියේ අම්මාගෙ ඉස්කෝලෙන් යන පාසල් අධ්‍යාපන චාරිකාව තමයි. 

නිවාඩු කාල තුනට ගමන් තුනක් යන්න හිතාගෙන අවුරුද්ද පටන් ගත්තත් බොහොමයක් වෙලාවට ඒකෙන් දෙපාරක් වගේ යැවෙන්නෙ අම්මගෙ අයියල දෙන්නෙගෙ ගෙවල් වල තමා. එක්කෙනෙක් උන්නෙ කලුතර අනෙක් එක්කෙනා වේයන්ගොඩ. මාතර ඉඳන් එහෙම ගමනක් යන එක පවා ඉතින් විනෝදචාරිකාවක් තමයිනෙ.



ගොඩක් වෙලාවට ඔය ගමන් දෙකම යන්න අපි ඔක්කොම අනුමැතිය දුන්නෙ කෝච්චියට. බස් එකේ යන එකට වඩා කොච්චිගමන පහසුයි. අනෙක අම්මට වොරන්ට් තිබ්බ නිසා ඒක වියදමෙනුත් ශේප්. 

ඉතින් ඔන්න අම්මා ගමනට ටික දවසකට කලින් වොරන්ට් ෆෝම් පුරවන්නෙ තාත්තා එක්ක කතාබහ කරමින්. යන දවස ගැන ප්ලෑන් ගහන්නෙ දෙන්න එක්ක. අපි ඉතින් අවශේෂ පුද්ගලයොනෙ. අපේ ඔපීනියන් අදාලම නෑ ඒ අයට.


"ගෙනියන්න කිරිහට්ටියක් දෙකක් ලෑස්ති කරගන්න වෙයිනේ.?"

තාත්තා අහනව.

"අර ගඟ ගාව අහට ගිහින් බැලුවනම්. එහෙ මීකිරි හොඳයි." අපේ ගමේ ගෙවල්වල මීකිරිම හදන ගෙවල් දෙක තුනක් තිබුණා. ඒකාලෙ . අපේ ගෙදර ඇතිකලේ එලහරක්. " එල" කියන්නේ දැන් ඔය ව්‍යවහාරෙ තියන එල එක නෙවේ හොඳේ. 

ඉතින් ගෙදර බොන්නයි කන්නයි හැදෙන්නෙ එලකිරි. අපේ සීයා උදේම ගිහින් දොවාගෙන එන එලකිරි උණුකරල බොන්න ටිකක් වෙන්කරන් අනික්වා බෝතල් වල මුදවන්න දාන්නෙ ආච්චි හෝ අම්මා. ඒ කාලේ එලකිරි වහ වගේ වෙච්ච අපිට දැන් ඉතින් කිරිහලවල් වලින් එලකිරි අරන් බොන්න වෙලා නෙව.


ආ...කතාව අන්න වෙන කොහේද යන්න අරන්..ට්‍රිප් එක ගැන ලියන්න ගිය මට එලකිරි සිහිය නිසා ට්‍රැක් පැනල..

ඉතින් අම්මා ඔන්න ගමන යන්න තව මොන මොනව හරි කෑමක් දෙකක් හදාගන්නව. වැලිතලප, හැලප වගේ මක්කහරි තමා. මාතර කතාවක් ලියනකොට මාතර භාෂාව එහෙන් මෙහෙන් එබිකම් කරනවට ගණන් ගන්න එපා. ඒවා එහෙම තමා.


ඉස්සර ඔය ගමන් යනකොට අපේ හසරැල්ලා ඉපදිලා නෑ. ඒකා මට වඩා සෑහෙන්න පොඩියිනෙ .දැන් ඔය අලිපැට්ටෙක් වගේ උන්නට මෑන් මට වඩා අවුරුදු දොලහක්ම බාලයි. ඉතින් මගේ ඉස්සරෝම ට්‍රිප් යන කාලේ උන්නේ අපේ ලොකු මල්ලියි මායි.

දැන් ඉතින් මඩ දෙයියා වගේ මුහුණුපොතේ මට මඩගහන් උන්නට පොඩි කාලෙ උන්දැයි මායි නයිවෛරයි කියලයි අම්මා කියන්නේ

මෑන්ටයි මටයි රණ්ඩු වෙන්න කාරණා කොච්චර තිබ්බද කියනව නම් ට්‍රිප් යනකොට කියලා ඒවයෙ වෙනසක් අඩුපාඩුවක් නම් උනේ නෑ. කෝච්චියට නැග්ගම ලොක්කාට ඕන මූද පැත්තෙ සීට් වලට යන්න .

ඉතින් තාත්තා කියනව

පුතේ ගාල්ලට ගියාට පස්සෙ මූද තියෙන්නෙ අනික් පැත්තෙනෙ. ඒ නිසා ගාල්ලට යනකල් අපි මූද නැති පැත්තෙ යන් 

කියලා. ලොක්කාට තියා මටවත් ඔය ගාල්ලට පස්සෙ මූද පැති මාරුවෙන එක ඒකාලෙ තේරෙන්නෙම නෑ. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නෙත් කොහොම හරි පිළිඅරන් අපි වාඩිවෙලා යනව කියන්නකො. අර යකාට ඕන කෝච්චිය යන පැත්තට තියන සීට්ට්ටෙකක්. ඉතින් මටත් ඕන ඒකක්මයි. ඔන්න ඉතින් ආයෙ රණ්ඩු. ඒ වෙලාවට අපේ මලයගෙ මූණ නිකම් පුස්නාම්බුවක් වගේ. පුපුරන්න ඔන්න මෙන්න.


තාත්තා එතකොට මට ඇහෙන් ඉඟිකරනවා ඕක දීලාදාන්න කියල. ඉතින් අරයා රජා වගේ මූණට හුලන් වැදි වැදි යනවා. මම පස්සෙන් පස්සට යන්නෙ. වමනෙටත් එන්න වගේ එහෙම යනකොට. කොහොමත් ගමනක් යනකොට ඉටිබෑග් එකක් දෙකක් ස්ටෑන්ඩ්බයි තියන් තමයි අම්මල යන්නෙ


අහන්ගම පහුවෙනකොට රටකජ්ජේ කියාගෙන ආච්චිලා කීපදෙනෙක් එනවා කෝච්චියට. උණු උණුම රටකජු කඩදාසි කොල ගොටුවලට ගහලා. තාත්තා දෙකක් ගන්නව.එකක් අම්මා අත තියනවා. අම්මා රටකජු කන්න හරිම ආසයි. අපි උණු උණු රටකජු කකා එනවා.


ඔන්න බොලේ ගාල්ලෙන් පස්සෙ නෙ නියමම හරිය. මම යන්නෙ ඉස්සරහට අරයා පස්සෙන් පස්සට. පොරගෙ මූණ කෝච්චියට අහුවෙච්ච පොල් ලෙල්ල වගෙ. කටබෙරි කරන් අඬන්න ගන්නෙ මම නිකම් මූද හොරෙන් අරන් අනිත් පැත්තට තිව්වා වගේ. අලබෝලයක් වගේ ඉන්න එකා ඔන්න මට පයිනුත් ගහනවා. දෙයියෝ කටුකෝටුවට ඉන්න මට රිදෙනවා. රණ්ඩුව පටන් ගන්න කලින් අහවර වෙන්නෙ අම්මා රවාගෙන බනින්න ගත්තාම. 

"යෙ එක්ක එන්නෙ නෑ කිසි ගමනක්."

අම්මා දිනුම් පදේ ගහනවා. වෛරක්කායො දෙන්නා ශේප් වෙනවා.

"සින්දුවක් එහෙම කියන්නකො"

තාත්තා ඔන්න සමථ මණ්ඩලේ පුරුද්ද ගේනවා එතනට. ආ එතකොට තාත්තා සමථ මණ්ඩලේට පත්වෙලා උන්නෙ නෑ. එතකොට එයා පවුල් උපදේශක, මාතර උසාවියෙ.

සින්දු කියල මට එදත් මහ ලොකුවට සින්දු බෑ.

ඉස්කෝලෙ , දහම්පාසලේ රැස්වීමට , නෑයෙක් ගෙදර ඇවිල්ල දුවේ සින්දුවක් කියන්නකො කීවම වගේම ට්‍රිප් යනකොටත් මන් දන්න එකම සින්දුව


මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න

ගල්වැට ලඟ වාඩිවෙලා සඳපායන හැටි බලන්න

සතර දිසා ජයගෙන මම හනික එමී

ඔබේ ලොවට සඳහිරු වී එළිය දෙමී


ඕක තමා. ඒක ඉස්සෙල්ල රේඩියෝ එකේ ගැයුවේ පේශලා මෙන්ඩිස්. මන් එයාව එක පාරක් රුහුණුසේවෙදිත් හම්බවෙලා දැකල තිබ්බා. ලස්සන ගෑණුලමයෙක් එයා.ශෝක් කටහඬ. ඒකට මොකෝ ඉතින් මගේ  කටහඬ අදයි එදයි කියල නෑ. නිකම් තල් අත්තට පොල් පිත්තෙන් ගහන වගෙ සද්දෙ. කෝච්චියෙ මිනිස්සු හිනාවෙවී අහන් ඉන්නවා.


ඔන්න අපේ ලොකු එකාගෙ සින්දුව එන්නෙ ඊලඟට

මෑන් දන්නෙ 


හා හා හරි හාවා

කැලේ මැදින් ආවා

හිටගෙන ගඟ ගාවා

වටපිට ඇහැලෑවා


වගෙ එව්වා. ඉතින් හෙන හුරතල් හඬින් මූ ඕක කියනවා. කට තදකරන් ඉවසන් ඉන්න මට බකස් ගාලා හිනායන්නෙ...මෑන්ට දාල තියන කවටකම් නම ..ඔව්...ඔව් ඔය නික්නේම් කියන්නේ ඒකට තමා දැන්...හාවා නිසා....

ඔන්න මගේ හිනාව එක්ක පොරට යකා ආරූඪ වෙන්න ගන්නවා.


"වැස්සි වැස්සි..ගොන් වැස්සි.."

දත්කූරු හපාගෙන පයින් ගහ ගහ මේකා අඬනවා.

සින්දුකීම එතනින් හමාරවෙනවා.

කලුතර කිට්ටුවෙනකොට ආයෙ එනව ඉස්සොවඩේ. හම්මේ ඉතින් සුවඳ. තාත්තා අරන් දෙනවා ඉතින් .පස්සෙ කාලෙක මේ මෑතක කලුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන විද්‍යායතනයේ ට්‍රේනින් එකකට ගියා මම . ඒ යනකොටත් පොඩි කාලේ පෙරේතකම මතක් වෙලා ඉස්සො වඩේ අරන් කෑවා.

"මගේ එක තමා රහ..."

"නෑ මගේ එක.."

රණ්ඩුවක් අල්ලන්න නම් ඉස්සෙක් උනත් ඇති ඒකාලෙ..


රණ්ඩු දෙකක් ඉවර වෙනකොට කෝච්චිය දකුණු කලුතර ට කිට්ටු කරනවා.

"හා හා ලෑස්ති වෙන්න ඊලඟ එකෙන් බහින්න ඕන."


අම්මා ඇඳුම් බෑග් එක කරට ගන්නවා. මල්ලිව අතින් අල්ලගෙන . තාත්තා අනෙක් බෑග් එකයි කිරිහට්ටි දාපු පෙට්ටියයි ගන්නවා.


"මාව අල්ලගෙන එන්න දෝණි. අතහැරෙයි බලාගෙන"

තාත්තාගේ කලිසමෙන් අල්ලගෙන මම කෝච්චියෙ දොරගාවට එනවා.


පොල්ගස් පේලියට මූද අයිනෙන් පහුවෙවී ආපහු මාතරට දුවනවා. මූදේ රැල ගහන හැටි කටත් ඇරන් මම බලන් ඉන්නවා. ඔන්න දකුණු කලුතරට එනකොට අපි එහා පැත්තෙ දොරගාවට යනවා.

කලුතර බෝධිය සුදෝසුදුවට පේනවා. අපි බහින්න ලඟයි ඉතින්. 

කෝච්චිය නැවැත්තුවාම කට්ටුඅය්ම හෙමින් බැහැ ගන්නවා.

අපි හතරදෙනාම ආපහු කෝච්චිය යනකල් අයිනට වෙලා ඉන්නවා.සෙනගත් යන්න දෙන්න ඕනනෙ.


කෝච්චිය හූ කියනවා. අපෙ ලොකුත් හූ කියනවා. ඔන්න එතකොට කවුලු වලින් බලන් ඉන්න කට්ටිය හූ කියන බෝල බබා දිහා බලන් හිනාවෙනවා


අක්කා වශයෙන් මට සියුම් ආඩම්බරයක් එතකොට දැනෙන්න ගන්නවා.මොක උනත් මගේ මල්ලිනෙ. අර තරහ මරහ අමතක කරලා මම ඒකාගේ අතින් අල්ලගන්නවා. මොන මූ ඒ තරහ අතෑරලා නෑ. මට රවල ආපහු පයින්ගහනවා.ඉතින් කවරකතාද ?


සෙනග අඩු උනාට පස්සෙ පිටවීමේ දොරට අපි හතරදෙනා එනවා. තත්තා රෝස පාට කොලේ ගේට්ටුවේ ඉන්න එක්කෙනාට දෙනවා. අපි ඔන්න ඉතින් දැන් යන්නෙ බස් එක ගන්න මාමලගෙ ගෙදරට යන්න.

අර ඉතින් කෝච්චියෙන් බැස්සට පස්සෙ මොකෙ වුණේ කියල කියන්නයි ඔන්න මම  හදන්නෙ. අපේ මාමලා ඒ කාලෙ උන්නෙ කලුතර දියගම. ඉතින් වෙනම බස් එකකින් එහෙට යන්න ඕන. 

ඔය දියගම කිට්ටුව තමානේ අර ඇඩ්ලින් විතාරන ගෙ මරණය උනා කියන්නෙත්.ඒ කාලෙ මට මතකයි ඔය මාමලාගේ ගෙවල් කිට්ටුව කඩේකින් ඒ දෙන්නා තේත් බීලා ගිහින් තියනවා කියල කතාවක් තිබ්බා. ඇඩ්ලින් විතාරණ කියන්නෙ කවුද නොදන්න අයට මන් මතක් කරල දෙන්නම්කො...

දඩයම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ අන්න ඒ ඇඩ්ලින් විතාරණගේ කතාව. පසුකලක ඔය කතාව ඇහුවට පස්සෙ මට මාමලාගේ ගෙදර යනකොට ඇඩ්ලින් විතාරණට උන්න ස්වර්ණා අර දෑත බදලා රවින්ද්‍රගෙ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුවෙන්න ගහන හැටි මැවිල පේන්න ගත්තා.


අපේ මාමලගෙ ගෙදර තිබ්බෙ කලු ගඟ ආසන්නයෙ.ඉතින් අපි කලුගඟට නාන්න එහෙම යනවා, නිල්වලාගඟ පේන මානයේ නිතිපතා ඒකෙන් නාපු අපි කලු ගඟට ගිහින් නාන්නෙ ජීවිතේට ගඟක නාලා නෑ වගේ.

ඒ වගේම ඔය ගඟට යන පාරේ මැන්ගුස් ගස් එහෙම තිබ්බා . කලුතර ගියපු කාලෙ තමා මැන්ගුස් කෑවෙ ඉස්සෙල්ලම අපි.

පණයනකන් ගණ කට්ටක් තලාගෙන අන්තිමට බලද්දි යාන්තම් මදුලු දෙක තුනයි. කහට විමානෙ අනික.එහෙමයි කියල නොකාඉන්නවද අපි නෑනෙ නෑනෙ...


කලුතර ගියාම ඉතින් කලුතර බෝධියට යන එක අනිවාර්ය සිරිතක්  උනා. මම පොඩිකාලේ හිතාගෙන උන්නෙ කලුතර බෝධිය කියන්නේ අර සුදු පටින් තියන චෛත්‍යයට කියලා.පස්සෙ ඔන්න දහම්පාසල් යද්දි  ඒ දෙකේ වෙනස තේරුණා.


මාමලාගේ ගෙදර ඉතින් දවස් දෙකක් තුනක් ඉඳලා සුපුරුදු අන්දමට ආපසු මාතරට අපි කෝච්චියෙන් එනවා. අන්න එහෙමයි ඒ කාලෙ අපි ගියපු ට්‍රිප්.



**************************************************************************************************************

කොච්චර අපහසුකම් තිබ්බත් ඒ ගිය ගමන් අදටත් මතකයේ තියෙන්නෙ ඒ ගමන් අපි වින්ද නිසානෙ. ඉතින් මම තාම ඒ ට්‍රිප් වලට මාරම ආසයි.ආයෙ එහෙනම් තව කොටසකින් එන්නම්කො ඔය වගේ තව ගියපු ට්‍රිප් ගමන් ගැන ලියාගෙන...


ප.ලි.

සදොස් තැන් තිබ්බා...ඒවා නිවැරදි කරදුන් කමෙන්ටු වලට ස්තුතියි


විසිරි

Sunday, July 4, 2021

2021(16 ) දිනපොතකින් සතියක් 01.07.2021 - 04.07.2021

මගේ ඉස්සර බ්ලොග් එක ලිව්ව කාලෙ මම ලිව්වා දිනපොතක්...ඒකෙ අන්තර්ගත වුනේ ඒ ඒ සතියෙ මම කල කී දේවල්...රැකියාවෙ වගේම යන එන මග තොට දකින කියන අත්දැකීම් ඒ දිනපොත් සටහනේ ලියවුණා....

ඉතින් මට ආයෙමත් හිතුනා දිනපොතක පිටු ලියන්න සතියකට පාරක්..  මේ ජුලි මාසෙ ඉඳලා

මේ විසිරිගෙ දිනපොත...

එන්න කියවන්න




*******************************************************

 2021. 07.01 බ්‍රහස්පතින්දා 



මේ දවස්වල ඉතින් අන්තර්ජාලය ඔස්සේ උගන්වන වැඩකටයුතු එහෙම යෙදිලා තියෙන්නෙ. මම ඉතින් ගෙදර ඉඳන් ඉස්පිරිතාලෙට ගිහින්  ගෙවල්වල ඉන්න ළමයින්ට සූම් ක්ලාස් කරනවා. ඕක අහන අහන එක්කෙනා මගෙන් අහන්නෙ ඉතින් අනේ ගෙදර ඉඳන් ඔය ක්ලාස් එක කලා නම් මොකෝ කියල. ඔහෙලයි මායි කැමති වුනාට සෞඛ්‍ය බලධාරීනුයි රජයයි අකමැති නම් මක්කොරන්නයැ.

තරුණ වයසෙ ඉන්න සිසුන් සමූහයක් එක්ක වැඩකරන කොට ඇත්තෙන්ම මතක් වෙන්නෙ මීට අවුරුදු ගානකට කලින් මමත් මේ වගේම ඉගනගන්න ආව හැටි.

එදාට වඩා අද ඇති වෙනස තාක්ෂණය අතින් ලෝකය ඉස්සරහට යෑම. ඒ වගේම එදාට වඩා සිසුන් සහ ගුරුවරුන් අතර සුහදත්වයේ වෙනසක් මට දැනෙනව.එදා ඇත්තෙන්ම අපි අපට උගන්නපු ඒ ගුරුවරුන්ට දැක්වුවෙ භය පක්ෂපාත හැඟීමක්.අද අපි ඒ දේ අපේ සිසුන් වෙතින් බලා නොඉන්න තැනට හැඩගැහීමම හොඳ දෙයක්.

එදා උන්න ගුරුවරුත් අපි ඔවුන්ට බිය විය යුතුයි කියල හිතන්න නැතුව ඇති. නමුත් අදට වඩා එදා අපිත් අපේ ගුරුවරුත් අතර තිබ්බෙ දුරස්ත බවක්.

කොහොම වුනත් උගන්නන එකත් හිතන තරම්ම ලේසිපාසු එකක් නම් නෙවෙයි

ඉතින් කම්පියුටරෙයි ෆෝන් එකයි අන්තර්ජාලයයි අතරේ ජීවිතේ ගෙවිලා යනවා

*****************************************************

2021 07 02  සිකුරාදා




රජයේ සේවකයන්ට සතියට දවස් දෙකක්  විශේෂ නිවාඩු ගන්න පුලුවන්නෙ. අපිට ඒ වුනාට පුලුවන් එකයි. ඉතින් අද මම ඒ නිවාඩුව ගත්තා. බඩු ටිකක් ගන්න කියලා ආර්පිකෝ එකට ගිහින් ඉන්න වෙලාවෙ ඔන්න කණට වැටුණ දෙබසක් මේක.


අම්මා කෙනෙක් දොස් කියන්නේ ඇයගේම නෑදෑ කන්තාවක් එක්ක තමන්ගෙ ඉලන්දාරි පුත්‍රයාට. කොල්ලා නෑහුණා වගේ බිම බලාගෙන ඉන්නවා. ප්‍රශ්නෙ අද කාලෙ කාටත් පොදු ප්‍රශ්නෙම තමා.


කොල්ලා ඔන්ලයින් ඉස්කෝලෙට වඩා ගේම් ගහනවා කියන එක. අම්මයි අර නැන්දයි දෙන්නා කොල්ලගෙ පලු අරිනවා. මාත් රාක්කයක බඩු තෝරන ගමන් ඇන්ටනාව දාන් අහන් උන්නා.

" මොකෝ ඉතින් මේ කෙට්ටුත් වෙලා? "

අර නැන්දා කොල්ලගෙන් අහනවා.

"ගෙදරනෙ ඉන්නෙත් ඉතින් හොඳට කන්න පුලුවන්නෙ"

ආයෙම අම්මා ඇවිස්සුනා.

"මොන.ගේම්ම ගහනවනෙ.පිඟාන අතේ තියාගෙනත් ගේම් ගහනවා. ඉතින් කෑම ඇඟට අල්ලන්නෙ නෑ. මම දැක්කා කොහෙද කවුරුහරි කියලත් තිබ්බා ගේම් ගහන ළමයි කෙට්ටු වෙනව කියලත්."

ඇත්තටම එහෙම වෙනවලුද ????

ඔන්ලයින් ඉගැන්නිල්ලත් එක්කම එන අනෙක් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ දරුවන් මේ මෙවලමට ඇබ්බැහි වීම. ඉතින් මේකෙ හිතකර දේ වගේම අහිතකර දේත් එමට.


ඊයෙ නිව්ස් වලට කියනවා ඇහුණා.. අවුරුදු පහලොවේ දුවෙක්ව අන්තර්ජාලය ඔස්සේ අපචාර වලට විකිණිලා කියල.මේ තරම් ඛේදවාචකයන් අහද්දිත් හිතට හරිම අවුල්. අම්මලා තාත්තලා ඇහැ ගහන්ම ඉන්න ඕන කාලයක් මේක නම්.

අදින් ඉතින් හුඟක් දෙනාගේ සතිය ඉවරනෙ.


එහෙනම් හැපි වීක්කෙන්ඩෙකක් වේවා කාටත් 

****************************************************

2021.07 .03 සෙනසුරාදා






සතියක් ගෙවෙන්න ඔන්න මෙන්න ඉතින්..මේ දිනවල ඉරිදාව විතරයි ගෙදර ඉන්න ඉතුරු වෙන එකම දවස.

අපි ඉතින් අදත් වැඩ තමා. 

පොත් මාරුකරන්න පුස්තකාලෙට යන්නත් බෑ. ගෙදර තියන පොත් ආයෙම කියවන්න ගන්නකොට ඊලඟට උනේ මොකක්ද කියලා මතක් වෙනවනෙ.

අන්තර්ජාල කියවීම එන්න එන්නම ඇහැට අමාරුයි.

මේ දවස් වල ඉතින් ලද ඉඩෙන් මම කරන ප්‍රධානම වැඩේ තමා චිත්‍ර ඇඳිල්ල. චිත්‍ර කිව්වට ඒවා මණ්ඩල චිත්‍ර. ඒක නිකම් භාවනාවක් වගේ වැඩක්. ඉවසීමත් ටොන් ගානෙන් ඕන වෙනවා. ඒ වගේම මේ ඔස්සේත් ඉවසීම තවත් ප්‍රගුණ වෙන්න අරගෙන.

ඔය ඉතින් හොස්ස ලඟින් මැස්සා යන්න බෑ වගේ අවුලක් මේ දවස් වල තියේ නම් ඔන්න ට්‍රයි එකක් දෙන්න. මගේ මුහුණුපොතේ නම් මම ඇඳපුවා දානවා. වෙලාවක පෝස්ට් එකක්ම ඒ ගැන දාන්නම්කො.


***************************************************

2021. 07. 04 ඉරිදා




දන්නෙම නැතුව ඉරිදාත් උදාවෙලා. කාලය දුව යන්නෙ හැල්මෙ. ඉතින් කොරෝනා නිසා අපේ ජීවිත ඒකාකාරී වෙලා කියලා කියන හුඟක් අය අතරෙ මම තාම විවිධත්වයෙන් යුතුව ජීවිතේ ගෙවන්න ක්‍රම හොයමින් ඉන්නවා.

 

කොරෝනා එක්ක ඉතින් ගෙවත්තේ වගාව නම් ලාවට වගේ අල්ලලා ගියා. වම්බටු, කෙසෙල්, මුකුණුවැන්න, අමුමිරිස්, අඟුණ වගේම වවපු පළතුරු ජාති වලින් එක වේලකට හරි දෙයක් එකතුවුණා. ඒ ඔක්කොටම වඩා වටින්නේ මානසිකව ගහකොල එක්ක ඉද්දි දැනුණ සුවය. 

කොල්ලො දෙන්නා නම් ටිකක් කම්මැලි ඕවට උදව් වෙන්න.අපෙ එක්කෙනා නම් බොහොම උදව් කලා වගාවන් වලට, නෙලපු පලදාව රහයි කියල කාලත් උදව් කලා . ඒකත් වටිනවනෙ.

තියන පොඩි ඉඩේ හරි ගහක් කොලක් වවන්න.ඉඩ නෑම නම් භාජනවල උනත් කමක් නෑ. ඒක මැජික් එකක් වගේ හිත සනසනවා

මේ සතිය අදින් ඉවරයිනෙ ..ඉතින් හෙට ඉඳන් ආයෙ අලුත් සතියක්.මම ලබන ඉරිදාට ආයෙ දිනපොත එක්ක එන්න බලන්නම්කො.ඊට කලින් ලියනවා වෙන ඒවත්



මම 

විසිරි

Friday, July 2, 2021

2021 ( 15 ) Butterfly stories

 සමනලයෙක් කියන්නේ කොච්චර ලස්සන සතෙක්ද කියල අපි දන්නවනෙ. ඉතින් සමනලයෙක්ගෙ රුව බලන අපි කීයෙන් කී දෙනාද ඇහැට පෙනෙන නොපෙනෙන සයිස් බිත්තරේකින් පටන් අරන් දළඹු කාලයක් පහුකරලා සමනලයෙක් වෙන හැටි දැකල තියෙන්නෙ.


අටෝ රාසියක් විනෝදාන්ශ අතරේ සමනල්ලු ඇතිකරන එකත් විනෝදාන්ශයක් වෙච්ච විසිරිට ඔන්න හිතුණලු ඒ කතන්දරයක් පියවරෙන් පියවර රූගත කරල බ්ලොග් එකට දාන්න.


එහෙනම් අපි යමුකො සමනල් චාරිකාව දිගේ...


COMMON MORMON  කියන්නෙ ලස්සන සමනල් වර්ගයක්.එයාලගෙ වර්ග කීපයක් ඉන්නවා.ම ඒ වර්ගයට ආසම ඒ බිත්තරෙන් ඇවිල්ල දලඹුවෙක් වෙලා එළියට එනකල්ම එන්නෙ මොනවර්ගෙ එක්කෙනාද කියල කියන්න අපි නොදන්න නිසයි. 

( මේ රූප දෙක නම් අන්තර්ජාලයෙන් ගත්තේ )







මේ සමනල් අම්මා බිත්තර දාන්නේ කරපින්චා ගහක.සමහර වෙලාවට එයාල දෙහි දොඩම් කුලයේ ගස් වලත් බිත්තර දමනවා.




ඇහැට පෙනෙන නොපෙනෙන සයිස් එකේ බිත්තර තමා දාන්නෙ. 



ඒකක් වීඩියෝ කරගන්නනම් තාම බැරිඋනා මට


ඉතින් ඔන්න දවසකට දෙකකට පස්සෙ බිත්තරේ පුපුරවාගෙන පණු පැට්ටෙක් එලියට එනවා.මේ හැම දලඹුවෙක්ගෙම බූව නම් නෑ.මෙයාලගෙත් නෑ. ඉතින් මේ එන පණු බබා ඉස්සෙල්ලම කන්නෙ තමන් උන්න බිත්තරේ කට්ට. රහ ඇති නෙ ඒක.




 ඉන් පස්සෙ අර බිත්තර කට්ට කාලා උන්දෑ කරපින්චා ගහේ ළපටි කොළ වලට හිටු කියලා වැඩේ දෙන්න ගන්නව.කන තරමටම මලපහත් කරනවා.




ටික ටික ලොකු වෙන්නෙ කන අතරෙම තමා.


ඉතින් විලෝපිකයන්ගෙන් අනතුරු එන්න ගන්නෙ මෙයාල ඇහැට පෙන්න ගන්න කොට. 



මම ඒවෙලාවට මෙයාල ඉන්න අත්ත පිටින්ම මගේ සන්රක්ෂණ ස්ථානයට අරන් එනවා.ඉන් පස්සෙ සමනල අම්මා වෙන්නෙ මම. උදේට හවසට අලුත් අතු කන්න දිදී මලපහ කරපුවා අස් කරනවා.




ඉතින් ඔහොම ඔහොම ලොකු වෙනවා එයාල


ඉන් පස්සෙ එයාලගෙ හැඩේ හරිම ලස්සනයි. එයාලගෙ මූණත් හුරතල් පාටවෙලා



ඔහොම කාල කාල දවසක එයාල භාජනයේ බිත්තිය දිගේ නැගලා නිසොල්මන් වෙන්න ගන්නව. ආයේ කන්නෙ නෑ ඉතින්.




ඉතින් ඉන්පස්සෙ එක තැනක ඇලිලා වක්‍ර වෙනවා. සියුම්ම නූල් දෙකකින් එයාල භාජනේට බැඳිලා ඉන්නෙ




ඉතින් ඉන් පස්සෙ ආයෙ හැඩේ වෙනස් වෙන්න ගන්නව.ඔහොම වෙලා දවස් ගාණක් ඉන්න මේ අය කිසිම හැලහොල්මනක් නම් නෑ


ඔන්න ඉතින් දොරට වඩින දවස.




මේ ඉන්නේ මට තාම හම්බවුන වර්ගය. මුලම එකේ උන්න අම්මාගේ හැඩය තියන කෙනෙක් එනකල් මාත් මගබලන් ඉන්නවා.එයාල පරිසරයට මුදාහරින්න කලින් ආයෙ අතට වෙලා ඉන්නව ටිකක් වෙලා. ඉන් පස්සෙ පියාඹලා යන්නම යනවා



සමනල්ලු ඇතිකරන්න ආස නම් ඔවුන්ට එන්න මල් වවන්න. මල් පිපෙන ඒවා.බාලොලියා හෙවත් ගඳපාන, බලුනකුට, දහස් පෙතියා , Tridax






 ඒ වගේම එයාලගෙ පණුවන් දලඹුවන්ට කන්න හිතකර ගස් වර්ග වවන්න 

බෝමි , කුරුඳු, අනෝදා, උගුරැස්ස, අඟුණ, බලුනකුට, දෙහි දොඩම් වගෙ ඒවා....




 




මේක අප්ලෝඩ් කරන්න ප්‍රධානම හේතුව වුණේ පාසල් යන දරුවන්ට මේක පාඩමක් විදියට පාසලේ උගන්වන බව කීප දෙනෙක්ම මට කිව්ව එකයි. මුහුණුපොතේ මේ සමනල කතන්දර කීපයක්ම මම ඒ අය වෙනුවෙන් දැම්මා. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මේකෙනුත් ගන්න 

ස්තුතියි එහෙනම්

Tuesday, June 29, 2021

2021 (14) ඔබෙන් ඒ වෙනස අරඹන්න

ඔබෙන් ඒ වෙනස අරඹන්න...




මෙම සටහන සොයා ගනු ලැබ ඇත්තේ westminster abbey හි ඇති ඇංග්ලිකන් බිෂොප් වරයෙකු ගේ සොහොන් කොතේ සටහන්ව තිබියදී ය.

" මා තරුණ අවධියේ දී නිදහස්ව ගත කළ අතර මගේ කල්පිතයන් ට සීමාවන් නොවීය .මට අවශ්‍ය වූයේ ලෝකය වෙනස් කිරීමට ය. මා වයසින් සහ නුවණින් වැඩෙත්ම මා වටහා ගත්තේ ලෝකය කිසිදා වෙනස් නොවන වගය .එහෙයින් මම මගේ කල්පිතය මඳක් කුඩා කර මගේ රට පමණක් වෙනස් කරන්නට තීරණය කළෙමි .

නමුදු එය ද වෙනස් කළ නොහැකි බව මට පසුව වැටහී තිබිණි .

ඉන් තවත් කලකට පසු මම මගේ පවුල පමණක්... ඔව්.. මගේ සමීපතමයන් වන පවුල පමණක් වෙනස් කළ යුතු යැයි සිතීමි. නමුත් ඒ කිසිවක් ම ඉටු නොවීය.

දැන් මා මගේ මරණ මංචකයේ පසුවෙමි ... එක් වනම මට වැටහිණි.මා විසින් පළමුව මාවම වෙනස් කලා නම්....එසේනම් එය උදාහරණ කොට ගෙන මට මගේ පවුල වෙනස් කරන්නට තිබුණි....
.
ඔවුන්ගේ එම සුබවාදී වෙනස සහ උනන්දුව මත මට මගේ රට ට වෙනසක් ඇති කරන්නට ඉඩ තිබුණා සේම ලෝකයද ඉන්පසු වෙනස් කරන්නට හැකිවන්නට ඉඩ තිබුණි."

ඉතින් වෙනස ඔබෙන් අරඹන්න....

මුල් සටහන chicken soup for the soul කෘතියකින්

පරිවර්තනය කලේ විසිරි ❤️

2021 (13) මට මාව දැනුන තැන


ජීවිතේ ගැන ආපස්සට හිතුවොත් ස්තුතියි කියන්න හිතෙන තැන් හුඟාක් හමුවෙනව....
.
ඒත් මම කියන මනුස්සයා පරිසර ජීවියෙක් කරන්න අඩිතාලම මට වැටුනෙ අපේ ගමේ මහ ගෙදරින් ......
.
ඉතින් නිස්කාංසුවේ කල්පනා ලෝකෙක ගිලෙන වෙලාවක අන්න ඒ සුන්දර කුඩා ජීවයෙන් පිරිලා තිබ්බ අපේ ඒ නිවහනට මම ස්තුති වන්ත වෙනව...
.
නිල්වලා ගං මිටියාවතට නුදුරු බිමක මීට දශක ගණනාවකට එහා මතකයක ඇවිදිනකොට මට හමුවෙනව කෙට්ටු කෙසඟ කෙල්ලක්....එයා උන්න ඒ නිවහන විදුලි බලය නැති ලාම්පු එලියෙන් පොත් බලන ගෙදරක්....
.
රෑ හත වෙද්දි අම්මා තාත්තා මල්ලිල ආච්චි සීයා එක්ක කෑම කාල සීයාගෙන් කතා අහල නිදාගන්න යන අපූරු උණුසුම් නිවහනක්....
.
උදේ ම කාමරේ ජනේලෙ ඇරියම හීන් හීතල හුලඟක් එක්ක කෝපි ගස් වල මල් පිපෙන කාලෙට ඒ සුවඳ මුසු වෙන .....
මිදුල ඉස්සරහ කහ රෙද්දක් එලපුව වගේ ඇහැල මල් හලන රූස්ස ඇහැල ගහකුයි....ගෙදරට එන වැලිපාර කෙලවර ඇට්ටේරියා මල් ගහකුයි තිබ්බ ගෙදරක්.....
.
උදේට නැගිටලා මල් සුවඳ ඉහිරුණ උදේම සුදු වැලි මිදුල පොල්ලතු රටා තියෙන්න අතුගාපු, හැන්දෑවට පාට පාට හෙන්දිරික්ක මල් වට්ටි නෙලල ආත්තම්මා ට බුදුන් වඳින්න හදල දීපු නිවහනක්.....
.
ගේ වටේට තියන වපසරියෙ අඹ , පේර, ලාවුලු, දොඩං, අනෝදා ඈ කී නොකී පල දරන...උදේම උඩින් කෝපි ඉහුණ උණු එළකිරි වීදුරුවක් බොන්න ලැබුණ ගෙදරක්.....
.
ඉතින් ...ජීවිතේ සුන්දරම හැඟීම් එක්ක ඒ නොස්ටාල්ජියානු මතක වල ඇවිදින්න තාමත් මට ඉඩ හසර සලසන අන්න ඒ ආදරය පිරි නිවහනට....ස්තුති නොකර කොහොමද.....?

මං පරිසරයට අනුගත වෙන ජීවියෙක් කල ඒ නිවහන තමයි මං ස්තුති වන්ත වෙන පළමු තැන....

විසිරි ❤️

2021(12) ඔය සිනහ සුන්දර






නෙතු දෑල වෙහෙසවන
තරමට
ඔය සිනහ සුන්දරද ඔපමණ
ඉතින් නුඹ වෙත බැඳෙන අරුමය
සිහිනයක් තරමටම සොඳුරුය

විසිරි ❤