Sunday, December 17, 2023

මගේ බ්ලොග් දිනපොත 01

 



ඉස්සර කලින් බ්ලොග් එක තියන කාලේ මම දිනපොතක් ලිව්වා. ඒ බ්ලොග් එක වහලා දැම්මා. ඒ ගැන ආපහු හොයල වැඩක් නැහැනේ. නමුත් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නැති එකේ මට හිතුනා සතියකට පාරක් හරි දිනපොතක් වත් ලියන්න ඕන කියල ....

හොඳයි ඉතින් ගිය සතියේ ටික හරි මේ සතියට කියවන්න පුළුවන්නේ ....එහෙනම් ඔන්න මේ විසිරිගේ දිනපොත....

**********************************************************************************************

 සඳුදා 


සති අන්තයක් ගත කරලා සඳුදාවක් උදාවෙනවා කියන්නේ මොන රටේ උන්නත් පොඩි කම්මැලි කමක් එක්ක ඇහැරෙන දවසක්. සීත සමය නිසා උදේ හතටත් හොඳ එළියක් නැහැ. කොහොමටත් මේ අඳුරු ස්වභාවය නම් මහා එපා කරපු හැඟීමක් අරන් එන්නේ. අර පහුගිය කාලේ පිස්සු වැටිලා වගේ ඇවිද්ද මට අන්තිමට සති අන්තෙත් ඉන්න උනේ කාමරයක් ඇතුලට වෙලානේ.

ඔය මොන කම්මැලිකම තිබුනත් අට හමාර වෙනකොට මම හොස්පිටල් එකට ගිහින් යුනිෆෝම් එකත් දාගෙන කම්පියුටර් එක ඕන කරලා එදා දවසේ මේල් ටිකත් බලලා ඉවරයි.

මේක පුනරුත්ථාපන  ඒ කියන්නේ rehabilitation unit එකක් නිසා වාට්ටුවල ඉන්න ලෙඩ්ඩු උදේට නාවලා කියලා ක්ලීන් කරලා සුදානම් කරනකල් අපිට කරන්න වෙන්නේ ලියකියවිලි වැඩ ටික. ලෙඩ්ඩු බලනවා හා සමානවම ලියකියවිලි වැඩ මෙහෙ හරියට.කොටින්ම කිව්වොත් ලෙඩා වමට හැරුණත් ඒක ඒ විදියටම ඩොකියුමන්ට් වෙන්න ඕන. 

ලංකාවේ අපි හොස්පිටල් වල මැරිලා වැඩ කල තරම මෙහෙ නැහැ. නමුත් ලංකාවේදී අපි කල තරමට වඩා සියගුනයක් අපි ඩොකියුමන්ට් වැඩ මෙහෙ කරන්න ඕන. ඒක මට මුලදී ඇත්තටම මහා වෙනසක් උනා. ඉතින් කොහොම හරි සඳුදාව පටන් ගත්තේ ඔන්න ඔහොම. 

මම යන යන තැන අපරාදේ කියන්න බැහැ මටම ගැලපෙන සෙට් එකක් මට හම්බ වෙනවා. ඒක මෙහෙදිත් එහෙමම තමයි.සඳුදා වැඩට ආවට පස්සේ ඉතින් අර කම්මැලි කම කොහෙන් ගියාද කියන්න බැහැ 

******************************************************************************************************** 

අඟහරුවාදා



මේ දවස්වල මට ඉන්නවා අපූරු ආච්චි අම්මෙක්. මගේ ටීම් එකට ඉන්නේ ලෙඩ්ඩු හතයි. ඔන්න ඒ සෙට් එකට අලුතින්ම ආව ආච්චි අම්මෙක් මේ. නම් ගම් මෙහෙ නිතිය හැටියට මෙහෙම එකක ලියන එක පවා නීති විරෝධියි නේ. ඉතින් ආච්චි අම්මගේ  නම් ගම්    ඕන නැහැ.

නිකම් කතන්දර ලියමුකො ඒ ඇතිනේ. 

ගෙදර පඩි පෙලෙන් පිනුමක් ගහලා උකුල් ඇටේ කැඩිලා ඔපරේෂන් එකෙන් පස්සේ ඔන්න එයා අපේ ගාවට එනවා සති හයක හෝ අටක ප්‍රතිකාර වලට. මූලික විස්තර ටික ගන්න ගියාම ආච්චි අම්මට කෝටියක් ප්‍රශ්න ඉතින්. ඔක්කොටම කලින් මගේ නම එයාට උච්චාරණය කරන හැටි උගන්වන්න කිව්වා. ඉන් පස්සේ ඉතින් විස්තර ටික එහෙම අහගෙන මම එයාව ඇඳේ වාඩි කරවලා හිටගන්න සුදානම් කරනවා.  

ඔන්න ඒ  වෙලාවේ එයා මගෙන් අහනවා මෙන්න මෙහෙම...

Have you seen a witch over there?

මම ඉතින් හොල්මන් වෙලා වගේ හතර වටේ බලනවා. මේ එන ලෙඩ්ඩු අතරේ Dementia ලෙඩ්ඩුත් ඉන්න නිසා එක එක කතන්දර ඔහොම කියන කොට අපි පොඩ්ඩක් පරෙස්සමින් තමයි ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ.

Sorry, I haven't seen any witch.

මම එහෙම උත්තර දෙනවා.

ආයේ එයා ඒ ගමන මෙන්න මෙහෙම අහනවා.

have you seen an angel there?

මගේ උත්තරේ අරකමයි.

No i haven't seen...

මම කිසිම කෙනෙක් දැක්කේ නැහැනේ. බොරු කියන්න කියලය....

ආච්චි අම්මා හක හක ගගා හිනාවෙලා මට ඇඟිල්ල දික්කරලා පෙන්වන්නේ ටිකක් එහායින් තියන ලොකු කන්නාඩිය. ඒකෙ පේන්නේ එයාවයි මාවයි....

මට හිනායනවා....

you are my angel ....

එයා මගේ අත්දෙක ආදරයෙන් අල්ලාගෙන කියන්නේ....

මම එතකොට මෙහෙම කියනවා...

But you are not a witch... you will be a miracle...

සමහරක් වෙලාවට ඔබට ඒ අයගේ ජීවිතේට angel  කෙනෙක් වෙන්න පුළුවන්...ඒ වගේම ඒ අය ගේ ලෝකයට ඔබට පුළුවන් අලුත්ම බලාපොරොත්තුවක්  වෙන්න.

 මේ ලියන්නේ අතිශයෝක්ති කියලා ඔබට හිතෙන්න පුළුවන්...
නමුත් මේ මම දිනපතා අත්විඳින අත්දැකීම්...

********************************************************************************************************** 

බදාදා 





 ලිවිල්ල කියවිල්ල අතහරිලාම යන කාලයක් උනා මේක ...කාලය ඉඩහසර ඕනෑවටත් වඩා තියෙද්දී මට ලියන්න නොහිතෙන්නේ ඇයිද කියන්නමටම තේරෙන්නේ නැහැ. නමුත් ඉඳ හිටක හරි කවියක් වත් ලියන්න ඕන කියලා දිනපොත ලියන අස්සෙම මට හිතෙනවා. 

ඉස්සර ඉඳලා කවි , කතා ලියන්න ආසම කල කෙනෙක්ට එක පාරටම ලියන්න කම්මැලි හිතෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? මට තාම හිතාගන්න බැහැ ඒකට හේතුවක්. කාලය මදිකමකුත් නෙවෙයි . නමුත් කම්මැලිකමක් දැනෙනවා. කියවන්නත් එහෙමමයි. කම්මැලියි. 

ඕගොල්ලෝ ගාව මේකට විසඳුමක් එහෙම තියද කියන්නකෝ.

හරි කමක් නැහැ අද දවසට ඔන්න පොඩි කවියක් වත් ලියන්නම්කො  

ඔබ දන්නවද...

මල් පිපෙන අරුමැසි ඉසව්වක

හීන් හඬැතිවූ දිය දහරක

ප්‍රේමයේ තත් නැගෙන 

අන්දම....



ඉතින් ඔබ දන්නවද....

හුදෙකලාවේ ගෙවෙන කාලයක

හද හඬත් නොනෑසෙන යාමයක

තාල නගනා ප්‍රේමයේ 

ස්වර ගැන....



ඔබ කොහොම දන්නවද....

දුර කියන්නෙත් ලඟටම බව

දහස් සැතපුම් දුරක වුව

හද ගැස්ම ඔබ ලඟම 

ඉතිරි බව....


************************************************************************************************** 


බ්‍රහස්පතින්දා 




බර කිලෝ පහකින් අඩුවෙලා. 

මම මෙහෙට එන්න ආසන්න කාලේදී ඇත්තෙන්ම උන්නේ පුදුම ස්ට්‍රෙස් එකක. ගෙදර අයව දාලා එන්න වීම, මං නැතිවුනාම ඒ කට්ටිය කොහොම වැඩ කටයුතු කරගනිවිද කියන බය, අනෙක නුහුරු නුපුරුදු පරිසරයක තනියම ජීවත්වීමට හිත හදාගන්න එක....කීයක් නම් දේවල්ද ? ඒ ඔක්කොටම විසඳුම උනේ අහුවෙන අහුවෙන කන ජාති කෑම ...ඒකෙන් උනේ බර කිලෝ හැත්තෑ පහක් වීම.

මෙහෙට ඇවිල්ල මාස හතරට ඒ කිලෝ පහම අඩු උනා.

ඇත්තෙන්ම ආහාර රටාව වෙනස් වීම තමයි ප්‍රධානම හේතුව. කාබෝහයිඩ්රේට් අඩුවෙනුත් ප්‍රෝටීන් වැඩිපුරත් කන එක. අනෙක අලුත් පළතුරැ සහ සලාද වැඩිපුර ආහාරයට එකතු වීම 

අවංකවම කිව්වොත් ඇවිදින එක කොච්චර කලත් එක ව්‍යායාමයට ගැලපෙන්න නෙවේ. මොකද ගහක වලක කොලයක හද දැක්කම නැවතී නැවතී ෆොටෝ ගන්න කොට ඇවිදින එකේ ප්‍රයෝජනයක් නැහැනේ. හැබැයි පැය ගණන් ඇවිද්දා සමර් එක කාලේදී...ඒක වෙනම එකක්.....

කොහොම උනත් බර කිලෝ පහක් අඩුවීම සෙලිබ්රේට් කරන්න පොඩි චොකලට් එකක් කෑවා මම 

******************************************************************************************************* 

සිකුරාදා 








සතියක් ගෙවිලා සතියක් ඉවර වෙන්න මහා කාලයක් යන්නේ නැහැ . මගේ වෘත්තීය සගයෙක් අද මගෙන් අහනවා ..

Kithma ...how you stay in happy mood from monday to friday equally....?


ඇත්තෙන්ම හුඟක් අය සඳුදා ට වැඩට එන්නේ අයියෝ  මූඩ් එකෙන්...සිකුරාදාට යන්නේ ආව් නියමයි මූඩ් එකෙන්....
සමහර වෙලාවට මට හිතෙනවා මෙහෙම රටකත් එහෙම ය ඉන්නවද කියලත්..
නමුත් ඒක වර්ක් ස්ට්‍රෙස් එක ...
ලංකාවේදී තරම් මැරීගෙන වැඩ කරන්න නොවුනත් මෙතන තියන වගකීම ඊට වඩා සියගුණයක් වැඩියි.
පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතාගන්නවත් බැහැ.

ඉතින් ඒ වගකීම් එක්ක ඇතිවෙන පීඩනය එහෙම තමයි.
නමුත් අපි සතුටින් සිනහවෙන් ඉන්න අපි අවටින්ම කාරනා හොයාගන්න ඕන. මම එයාට මගේ ජංගම දුරකතනයේ පින්තූර ගබඩාව පෙන්නුවා. සති අන්ත වල ඇවිද්ද හැටි..මම තනියම ගිය ගමන් බිමන්..ඒ තමයි මගේ හිනාවෙ රහස....මම එයාට පෙන්නුවා.


***********************************************************************************


ඉතින් සතියේ දවස් පහ ඔන්න දිනපොතකට ගත්තා....හැම සතියෙම දිනපොතක් ලියන්න නම් වෙන එකක් නැහැ....ඉඳහිටක ලියන්නම්. 


එහෙනම් සුබ සති අන්තයක් වේවා ඔක්කොටම 



මම විසිරි සිහින 








22 comments:

  1. ++++++++,එළ , ආවා කියෙව්වා ගියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාත් ඉඩ තියෙන වෙලාවකට කියවන්න එනවා

      Delete
  2. දිනපොතක් ලියන්න අධිෂ්ඨාන කරගන්නවා කියන එක අර ජනවාරි 01වෙනිදා අධිෂ්ඨාන වගේ තමයි. හරි අමාරුයි තියාගන්න. කොහොම උනත් හොඳට ලියවිලා තියනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.එදා ලිව්වත් හරි ආයේ ලිව්වේ නැහැනේ ඉතින් මාත්

      Delete
  3. oh dear
    nice diary
    Be Happy Everyday

    ReplyDelete
  4. ඒ කවිය අද මගේ දවස සතුටින් තියාවි..ඒක මට හරියට දැනුනා.සමහර විට උත්තරේකුත් ලියාවී...❤️❤️

    ReplyDelete
  5. අර කවිය හරි ලස්සනයි . නවත ලියන එකනම් ලොකු දෙයක්. මටත් සමහර දවස් තියෙනවා කවි ලියන්න හිතෙන්නෙත් නෑ. අඩුම තරමේ කවියක් බලන්නවත් හිතෙන්නෙ නෑ. දවසක් දෙකක් ගියාම හරි යනවා අක්කේ.
    ජයවේවා !!!

    ReplyDelete
  6. ඉතා ලස්සන අත්දැකීම් ටිකක්..ආසාවෙන් කියැව්වා...කවියත් ලස්සනයි - MAYYA

    ReplyDelete
  7. තුමුන්ගෙ ජාතියෙ අය යන යන තැන සෙට් වෙනඑකනං... මරැ!

    ආච්චි තමුන්ට ඒන්ජල් කියන් ඔයයිට ආතබූත කිව්ව වෙන්න බැරිද. තමුනටම ඒන්ජල් කියාගෙන ඔයා 😁😁🙈

    //සමහරක් වෙලාවට ඔබට ඒ අයගේ ජීවිතේට angel කෙනෙක් වෙන්න පුළුවන්...ඒ වගේම ඒ අය ගේ ලෝකයට ඔබට පුළුවන් අලුත්ම බලාපොරොත්තුවක් වෙන්න.// සහතිකෙන්ම🌷🙏🙏

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ....ඇත්ත නේන්නම් ආච්චි හිතුවේ එහෙමද දන්නේ නෑ

      Delete
  8. සොඳුරු සටහන් පෙළක් විසිරි..නැවත දැකීම සතුටක්..මමත් බොහෝ කලකට පසුව නැවත ලියන්න තීරණය කළා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාට

      කොච්චර දෙයක්ද ආයෙම ලියන එක.

      Delete