"ඔයා දන්නවද මම මේ ගෙදර යන්නෙ මාස තුනකට පස්සෙ..."
එලී වාහනයේ පිටුපස අසුනේ ඉන්න මා දිහාවට එබිලා බලමින් කිව්වා.ඇගේ ඇස් දෙක සතුටින් බබලනවා.තමන්ගේ ගෙදරින් මාස තුනක් ඈත්වෙලා ඉන්න එක එලීට ලොකු දුකක්....සාංකාවක්....
මාස හයකට එහා ගෙදරින් ඈත දුරු රටක හුදෙකලාවේ ඉන්න මගෙ හිතත් නිකම් හීන් වේදනාවකින් ඔද්දල් වුණා....
ඒත් මම එලී දිහා බලලා හිනාවුණා.....
"ඔයාට ගියාම පෙනේවි...ඒක පරණ ගෙයක්....ලොකු එකක් නෙවෙයි....ඒත් මං එතනට හරිම ආසයි ...."
එලීගෙ ඒ ලස්සන ගේ ගැන මම හුඟාක් දවස් විස්තර අහලා හුරුයි ....ගේ ඉස්සරහ තියන ලොකු උද්‍යානය ....ඒක ඔක්කොටම පොදු එකක්....වසන්තයේදි මල් පිරිලා තියන උද්‍යානය ගැන එලී කිව්වේ හරිම ආසාවෙන්....
"ඔයාට බලන්න මල් නම් මේ දවස්වල නෑ....."
එලී හයියෙන් හිනාවෙනවා....ඒ හිනාවේ තියෙන්නෙම සතුටක්....
"ඔයා දන්නවද ...මම සතියකට පාරක් නැවුම් මල් අරන් එනවා ටවුන් එකට ගිහින්....මං හරිම ආසයි කාමරේ, සාලේ,කුස්සියේ අලුත් මල් දකින්න....ඒවායෙ පාට ,සුවඳ ...මට හරිම නැවුම් ගතියක් අරන් එනවා.....මං ඔයාට කියල දෙන්නම් ඒ මල් සතියක් කල්තියාගන්න හැටි... "
එලීගේ නිවහනට රිය ධාවනය වෙනවා.....මාත් එක්ක එලී රියෙන් බැහැලා ගෙදරට යනවා...ස්වයංක්‍රීයව ඇරෙන දොරෙන් ඇතුල් වෙලා අපි ගෙට යන්න කලින් එලී මට උද්‍යානය පෙන්වනවා.....
"තාම කොළ පාටයි...පේනවා නේද...."
කොළ එකක්වත් නැති ඕක් ගහක් මැද තියාගෙන කොළ පාට උද්‍යානය හිනැහෙන්න ගන්නවා...
එලීගෙ ගෙදර තියෙන්නෙ දෙවනි තට්ටුවෙ ...තට්ටු තුනක මහල් නිවාසයට විදුලි සෝපානයක් නෑ...අපි හෙමින් හෙමින් උඩට නගිනවා ..දෙවනි මහලේ කෙටි ජනෙල් තට්ටුව මත ලස්සන සකියුලන්ට් වර්ග, පතොක් වර්ග....
එලී කියන්නෙ මමමද මේ...කියල හිතෙන ගාණට මට ඒ දේවල් සමීපයි....
"ඔයත් ආසද...? ඇතුළක වවන්න පුළුවන් පැල වර්ග තියෙන්නෙ ටිකයි මෙහෙ..."
එලී උඩට නගින ගමන් කියනවා ..එලීගෙ ගේ ඇතුල හරිම උණුසුම්....
ඇස් වලට සෞම්‍ය වින්ටේජමය නිවහනක්...
"මේ පාටවල් වලට හුඟක් අය ආස නෑ. ..ඕල්ඩ් ෆැශන් කියල ...ඒත් මම ආසයි ..."
මුලුතැන්ගේ අපූරු කොළ සහ සුදු පාට සංකලනයක්....කෝප්ප පීරිසි ඔක්කොම මල් සැරසුම් දරන ඒවා .....
සාලය හරිම සුව පහසු සෝපාවක් , කෙටි අසුන් කීපයක්, ලස්සන කුෂන් ගොඩක්...ගිනි උදුනක්.....
මම හීන ලෝකයක් දකිනවා වගෙ.....
එතනින් එහාට චූටි බැල්කනියක්...බැල්කනිය පුරාටම සීත කාලයෙත් මල් දරන මල් පෝච්චි ටිකක් එක්ක හර්බ්ස්...මිංචි,රෝස්මරී....පඳුරු....ඒ අස්සට ලස්සන උද්‍යාන සැරසිලි......
මම ආසාවෙන් බලා ඉන්නවා....
ගේ තැනින් තැන කෘතිම මල් පොකුරු...හැබැයි ඒවාත් ස්වභාවික මල් තරම්ම ලස්සනට..වින්ටේජමය බඳුන් වල.....
"තේ එකක් බොමුද..."
එලී අහනවා....
"මාස තුනකට පස්සෙනෙ මේ මගෙ කුස්සියෙ මම උයන්නෙ...ඔයා දන්නවද මම සතියට දවස් හයක්ම ෆ්‍රෙශ් මීල්ස් ගන්නෙ...එක දවසයි ෆ්‍රෝසන් ෆුඩ්ස් ගන්නෙ ..මම උයන්න හරිම ආසයි...."
එලී ගෙ ලෝකය හරි ලස්සනයි ....එයා ඉන්නෙ තනියම....වෙන කාවවත් තනියට එනවට එයා අකමැතියි...
"මට මාව බලාගන්න පුළුවන් ....වෙන කෙනෙක් මේ ගෙදර ඉන්නකොට මට මේ වගේ නිදහසේ ඉන්න අමාරුයි ...."
එලී ආපහු එන ගමන් කියනවා...ලබන සුමානේ එලී අපිත් එක්ක ගතකළ කාලය අවසන් කරලා ආපහු රෝහලෙන් ගෙදර යනවා....ඉතින් ගෙදර යන්න කලින් එයාව ගෙදර එක්කන් ගියේ එයාට ගෙදර පරිසරයට කලින් වගෙම හැඩගැහෙන්න වැඩකරගන්න පුළුවන් ද කියලා බලන්න...
එලී කියන්නෙ අපූරුම චරිතයක්...දන්නවද ..එයාට වයස 94යි....ඒත් එයා හදවතින් හරිම තරුණයි....
මේ පින්තූර නම් එලීගේ ගෙදර නෙවෙයි...home visit එකක් කලාට එහෙම පින්තූර ගන්න අපට අවසර නෑ...ඒත් ඒ ගෙදර මෙන්න මේ වගේ....
📷 එක අන්තර්ජාලයෙන්
එයාගේ නමත් අන්වර්ථයි
සතුටු සිනා යටින් මනස කොහොම වැඩ කරනවද හිතාගන්න බෑ. ධෛර්යමත් කාන්තාවක් වගේ.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි. ඔබේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තා.අපූරු කවි ටිකක් කියෙව්වා.
Deleteඅපූරු සටහනක් අක්කේ.
ReplyDeleteජයවේවා !!!
බොහොමත්ම ස්තුතියි මල්ලි
DeleteLong live Eli.....
ReplyDeletenice story after long time
ReplyDeleteEllie made my day
කියවා ලියන්න ආයෙමත් එනවා!
ReplyDeleteනියමයි. අපූරු සටහනක්.👌🙏💔
ReplyDelete👌👌
ReplyDelete