Sunday, May 26, 2024

ආදරේ දැනෙන තැන්

 ආදරේ දැනෙන තැන්




සතුටු කතන්දර ගොන්නට ලියන මේ කතාව මගේ හිත පුදුම අන්දමට සසළ කළ එකක්....

ඉරිදාවක වැඩ කරන්න වුණ දවසක ..හවස තුනහමාරට මම වෝඩ් එකට යන්නෙ අලුතින් ආව ලෙඩෙක්ගෙ මූලික ඇගයීම එහෙම නැත්නම් initial assessment එක කරන්න.

සාමාන්‍යයෙන් පැයක් ගතවෙන මේ ඇගයීම තුනහමාරට පටන් ගත්තාම ඉවර කරන්න අමාරු බව දැන දැනත් මම වාට්ටුවට යන්නේ ඒ වෙලාවේ ඔහුගෙ දියණිය වෝඩ් එකේ ඉන්නා බව හෙදියක විසින් දුරකතනය ඔස්සේ දැනුවත් කළ නිසා....

අපි ඉතින් ඒ තාත්තා ට විලී කියමුකො.දූට ජොඈන් කියමුකො.නම් දෙක නම් ඉතින් අන්වර්ථ නම්....

විලීට අවුරුදු 93යි.වියපත් තාත්තා කෙනෙක් වුණත් එයා ගෙ ඒ වයසට එයා හොඳ පෙනුමෙන් උන්නා.මම ඉතින් ගිහින් ජොඈන්ට මාව හඳුන්වලා දුන්නා...ඒ වෙලාවේ වෝඩ් එකේ අනෙක් ලෙඩ්ඩු තුන්දෙනා ගාවත් විසිටර්ස්ලා උන්න නිසා මම යෝජනා කලා අපේ day room එකට යන්න  කතාබහ වෙනුවෙන්...

සාමාන්‍යයෙන් occupational therapy ක්ශේත්‍රයට අදාලව රෝගියා කලින් වැඩ කටයුතු කරගත් හැටි, එයාගේ ගෙදර පරිසරය, එයාට අනෙක් අය උදව් කරන මට්ටම  ඇතුලු කරුණු රාශියක් අහන්න සිදුවෙනවා...

සතියකට මේ වගේ ඇගයීම් දෙකක් තුනක් කරන්න වෙනවා..ඉතින් මේ දුව තාත්තා ගැන කිව්ව දේවල් අහලා මගේ හිත පිරුණා....

"කිත්මා , ඔයාලාගෙ සර්විස් එකට මම හැම තිස්සෙම ගරු කරනවා.මගේ තාත්තා වෙනුවෙන් ඔයාලා කරන කැපවීම හරිම ඉහළයි.නමුත් මට ඉක්මනින් තාත්තා ව ගෙදර එක්ක යන්න අවශ්‍යයි"

ජොඈන් පටන් ගන්නකොටම කිව්වේ එහෙම...ඒකට හේතු විදියට ජොඈන් එයාගෙයි තාත්තාගෙයි දින චර්‍යාව මට විස්තර කරනවා මෙන්න මෙහෙම....

"ඔන්න කිත්මා මගේ තාත්තා උදේ හතහමාරට නැගිටිනවා.එයා දැන් ඉන්නේ පහළ තට්ටුවේ කාමරයේ.ආ...ඔයාට කියන්න බැරිඋනානෙ...ඉස්සර තාත්තා අම්මා එක්ක උන්නේ උඩ තට්ටුවේ..2014 දි අම්මාට ඩිමෙන්ෂියා ව හැදුණා..ඉතින් අම්මාගේ පරෙස්සම වෙනුවෙන් අම්මා පහළ තට්ටුවට ආවාම තාත්තා ටත් ඕන වුණා අම්මා පෙනෙන සීමාවේ ඉන්න...ඒ ගමන අපි ඒ දෙන්නාව මේ පහළ ලිවින් රූම් එකේ ලොකු ඇඳක් දාලා ඒකට එක්කන් ආවා.අම්මා මීට අවුරුදු තුනකට කලින් මැරෙනකල්ම අම්මයි තාත්තයි උන්නේ ඒ පහළ කාමරයේ...හරි...ඔන්න ඉතින් තාත්තා නැගිටලා මම ඇහැරලා නැත්නම්..මට ඇලෙක්සා හරහා මැසේජ් එක දෙනවා...ඔයා දන්නවද ඇලෙක්සා ගැන....?"

මම නොදන්නා බව ඇයට පවසන්නේ මේ අපූරු කතාන්දරයේ විස්තර අහන කුතුහලයෙන්...

"ඇලෙක්සා කියන්නේ ඇමසෝන් එකෙන් ගත්තු  උපකරණයක්...ඒක තාත්තාට සිංදු අහන්න ඕන වුණාම සිංදු තෝරලාත් දෙනවා... තාත්තාට මා එක්ක කමියුනිකේට් කරන්න අවශ්‍ය වෙලාවට පණිවුඩ හුවමාරු කරනවා...මගේ දුරකතන අංකය ඒකට ගබඩා කරලයි තියෙන්නෙ...ඉතින් ඔන්න එතකොට ජොඈන් ඩිං ඩිං ඩිං ගාලා පඩිපෙල දිගේ පහළට දුවගෙන එනවා....නේද තාත්තා ...."

විලී ඔලුව වනනවා හිනා වෙවී...සමහර වෙලාවට පොඩි කෙල්ලෙක් කාලේ ජොඈන් තාත්තා එක්ක හුරතල් වුණ අන්දම විලීට ආපහු මතක් වෙනවා ඇති.මම ඉක්මනින් ගිහින් තාත්තා ගෙ බ්‍රෙක්ෆස්ට් එක හදනවා...එතකොට තාත්තා එයාගේ ෆෝ වීල් වෝකර් එකෙන් හෙමිහිට කිචන් එකට එනවා.අපි පාන් ටෝස්ට් කරලා තේ හදාගෙන කිචන් එක ගාව තියන පොඩි මේසෙට වෙලා කතාකර කර බ්‍රෙක්ෆස්ට් එක ගන්නවා.ඔයා මොකුත් හිතන්න එපා.එයා මූණ සෝදන්නේ කාලා ඉවරවෙලා...බඩගිනි නැතිකරන් ඉන්න ඕනනෙ ඔක්කොටම කලින් නැද්ද තාත්තා .....?"

ආපහු හිනා සාගරයක් day room එක හරහා ගලා යනවා.සැතපුම් දහස් ගාණක් දුර ඉන්න මගේ තාත්තා මට ඒවෙලාවට මතක් වෙනවා.

"තාත්තා වයසට යන්න යන්න එයාට මතකය ටිකක් අඩුවෙන්න ගත්තා.එයා ව බලාගන්න වුණේ බබෙක් වගේ.නමුත් එයාට ජොඈන්ව අමතක වුණේ නෑ කිසිම වෙලාවක...තාත්තා ට බාත් එකට බහින්න අමාරුවෙනකොට මට බාත් සීට් එකක් ලැබුණා හොස්පිට්ල් ටීම් එකෙන්.මම එයාව පරෙස්සමින් නාවලා පුටුවක වාඩිකලාම එයා තනියම රැවුල කපාගෙන දත් මැදගන්නවා"

පුංචි කාලේ දුවෙක්ගේ ඔක්කොම වැඩ කළ තාත්තෙක්ව දැන් දුව දරුවෙක් වගේ බලාගන්නවා.ජීවිතේ හරි පුදුමයි.දුකයි තමයි..ඒත් ලස්සනයි ....කියලා මට හිතෙන්න ගන්නවා....

"තාත්තාගේ ජීවිතේ සුව පහසුවෙන් තියන්න මම සම්පූර්ණ ගෙදරම එයාට ගැලපෙන්න සකස් කරලා තියෙන්නෙ....මගේ අම්මා නැතිවෙලා මාස එකහමාරකින් මට මගේ හස්බන්ඩ් නැතිවුණා..එයාට කැන්සර් එකක් තිබුණා....ඉතින් කිත්මා දැන් අපි දෙන්නාට ඉන්නේ අපි දෙන්නා විතරයි...ඔයා මගෙන් ඇහුවානේ තාත්තා ගෙදර එක්ක යන දවසක කෙයාරර්ස් ලා ඕනද කියල...දැනට එපා කිත්මා...මට එයා වෙනුවෙන් එයාගේ පහසුව වෙනුවෙන් ඔක්කොම කරන්න පුළුවන් ...අනෙක පිටස්තර අය උදව්වට ආවම තාත්තා ජීවත් වෙන්න හුරු වුණ ඒ සුව පහසු ජීවිතේ එයාට නැතිවෙයි...ඒකට මම කැමතිනෑ...."

ජොඈන් වගේ දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කොයිතරම් වාසනාවන්තද?

ජොඈන්ට එච්චර ලොකු හදවතක් හිමි වුණේ ඒ තාත්තා එයාව ලස්සනට හදපු නිසා නේද?

යුරෝපීය රටක දූදරු දෙමාපිය සබඳතා ආසියාතික පවුල් සංස්ථා වල බැඳීම් තරම් හයිය නෑ කියලා හිතන් උන්න මගේ හිතෙන් ඒ හැඟීම දුරස් කරදමන්න ජොඈන් සමත්වෙනවා.....

"ඔයා තාත්තා ගෙදර එවන්න කලින් විසිට් එකකට එනවානේ කිත්මා.එතකොට ඔයාට මම ගෙදර ඔක්කොම දේ පෙන්වන්නම්...මේ කිව්ව හැමදේම එතකොට ඔයාට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් "

සමුගන්න මොහොතෙදි මගෙ අත්දෙකෙන් අල්ලගත්තු ජොඈන්  කියනවා.ඒ දෑත් වල ස්පර්ශයේ තියන ආදරණීය දුවෙක්ගේ උණුසුමත් එක්ක මම සතුටින් හැරී එන්නේ සුන්දර ආදරණීය නිවහනක් බලන්න යළිත් දවසක ජොඈන්ගේ සහ විලීගේ නිවසට යන බලාපොරොත්තුව ඇතිව මම ඔවුන්ගෙන් සමු අරන් ආපසු එනවා.

12 comments:

  1. තාත්තලා දුවලා අතර තියෙන බැදීම හරිම ස්පෙශල්...ඒක මම දැකලා තියෙනවා..මට නම් දුවලා නෑ...ඒත් ඒක මම දුවලා ඉන්න පවුල් වල දැකලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මටත් දුවලා නැහැ.නමුත් ඒ ආදරේ ඇති විශාලයි

      Delete
  2. හිත උණුසුම් කළ කතාවක්. අපිට බොහෝවිට කියන්න තියෙන්නේ මේකෙ අනිත් පැත්තනෙ. ඒත එකට හුඟක් හේතු වෙලා තියෙන්නේ ආර්ථිකය ඇති කරන පීඩා.

    ReplyDelete
  3. මට චාමරගෙ.සිංදුවක කෑල්ලක් මතක් වුණා

    දියණි කෙනෙක් හිටියා නං සලකාවි එයා..

    ReplyDelete
  4. ඇත්ත. ඒ වගේ ජීවිතයක් විස්තර කරන්න වචන ප්‍රමාණවත් නෑ...

    ReplyDelete
  5. හුම්! ආදරේ දැනෙන තැන්... වගේම තමා, සබඳතා බරට දැනෙන තැන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම හිත බරවෙන හැඟීම්

      Delete