Saturday, June 15, 2024

අහම්බකාරක සතුටු හැඟීම්

 අහම්බකාරක සතුටු හැඟීම්




කලින් දවසක සතුටු කතන්දර වලට මම අපේ හොස්පිට්ල් එකේ ප්‍රෝග්‍රෑම්ස් ගැන ලිව්වා මතක ඇති නේ....

ඉතින් අදත් එහෙම දවසක්...

රෝද පුටුවෙන්, ඇවිදින ෆ්‍රේම් එකෙන් ,සැරයටියෙන් එන ගතින් වියපත් වුණත් වියපත් නොවන හිතැත්තෝ හය දෙනා අපි එක්කරගෙන එනවා.

සාමාන්‍යයෙන් ඒ අය කෑම ගන්න රවුම් මේසය වටා එයාලා ඉඳගත්තාම අපිත් එයාලා අතරින් ඉඳගන්නවා...

මට තවමත් ආගන්තුක වුණත් එයාලා කතාකරන මාතෘකා හරි අපූරු ඒවා ..

ෆුට්බෝල් මැච්, සංගීත සංදර්ශන වගේ එයාලාගේ විනෝදාස්වාදයට ගැලපෙන ඒවා ගැන සංවාදයේ යෙදෙන්නෙ...

ඒ අතර සමහර දාට එයාලාගේ මනාපය පරිද්දෙන් අපි කාගේ හෝ ජංගම දුරකතනයක youtube එකේ සිංදුත් වාදනය වෙනවා....

මම කවුන්ටරය ලඟ ඉඳන් මට බාරව උන්න patient එක්ක එයාගේ කෑම එක හදන වැඩේ යෙදෙනවා....

ඒ අතරේ මට ඇහෙනවා...

"සඳ ගිලුණත් හිරු ගිලුණත් මට කමක් නෑ..

තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ

ඔබ මා ලඟ සිටිනව නම් කමක් නෑ...කමක් නෑ...කමක් නෑ..."

මම ඉක්මනින් මගේ නිලඇඳුමේ සාක්කුව බලනවා....

සාමාන්‍යයෙන් උදේ වැඩට ආවම ෆෝන් එකේ ඩේටා ඕෆ් කරන නිසාම මගේ දුරකතනයෙන් එහෙම වාදනයක් වීම වෙන්න බෑ....

නමුත් සිංදු නොකඩවා ඇහෙන්නේ මේසේ උඩ තියන ජංගම දුරකතනයෙන්...ඒක මගේ භෞත චිකිත්සක යෙහෙලියගේ..ඇය අයිති අප්‍රිකාවට..නමුත් බොහෝ කාලයක සිට ඉන්නේ මේ රටේ...

මම මේසයට නැඹුරු වෙලා බලන කොට ඒ ජංගම දුරකතනයේ වාදනය වෙන්නේ "60-70-80 දශකයේ ගී...."තේමාවෙන් ගීත...

ශ්‍රීලංකාව ගැන හාංකවිසියක් නොදන්න අපේ patients ලා සමහරු කෑම කන ගමන් අතින් මේසෙට තට්ටු කරනවා ඒ තාලෙට අනුගතව...සංගීතය විශ්ව භාශාවක්...ඉතින් ඒකට වචන වල තේරුම අවශ්‍ය නෑ...කියන එක මට ඔප්පු වෙනවා....

"මට හරිම සතුටුයි...ඔයා මගේ අද දවස සතුටින් පිරෙව්වා.."

මම මගේ යෙහෙළියට ස්තුති වන්ත වෙනවා...

"ඒක මටත් සතුටක් කිත්මා.."

ඒ ඇයගේ නිරහංකාර ප්‍රතිචාරය...

හිතාගන්න පුළුවන් ද...මවුබිමෙන් සැතපුම් දහස් ගාණක් දුර රටක හුදෙකලාව ඉන්න වෙලාවක...ආසම කරන සිංදු ටිකක් එහෙම අන් අයෙක්ගේ දුරකතනයකින් අහන්න ලැබෙනකොට හිතට එන සතුට.....

Sunday, June 9, 2024

නිවනක් දනවන නිවහනක් දුටිමි

 නිවනක් දනවන නිවහනක් දුටිමි


ඉතින් මම මීට කලින් සතුටු කතන්දරයට ලිව්ව ජොඈන් සහ විලීගේ...දුවකගේ සහ තාත්තෙක්ගේ කතාව මතක ඇති නේ....

විලීව රෝහලෙන් ගෙදර යවන්න කලින් අපි එයාලගේ ගෙදර බලන්න access visit එකක් ගියා.Home visit එකකයි Access visit එකකයි වෙනස වෙන්නෙ...access visit එකකදි යන්නේ ටිම් එක විතරයි...රෝගියාව එක්ක යන්නෙ නෑ....මමයි මගේ සහාය භෞත චිකිත්සක නිලධාරියායි ජොඈන්ට ඇමතුමක් දීලා ඔන්න ඒ නිවහනට ගියා.....

මේ රටට රැකියාවට ආවාට පස්සෙ මම මේ වෙනකොට access visits පනහක් විතර ගිහින් ඇති....ඒත්..මම දැක්ක සුන්දර ම නිවහන ජොඈන්ගෙයි විලීගෙයි ඒ නිවහන....කියලා මම දෙපාරක්ම නොහිතා කියන්න කැමතියි....

වාහනය පාර අයිනේ නවත්තලා අපි එන පෙරමග බලා උන්නේ ජොඈන්...ගෙදර ඉස්සරහා හරි ලස්සන කහපාට බිමදිගේ පඳුරක් වගේ පිපුණ නම නොදන්නා මල්වර්ගයක්...ඒ කුඩා මිදුලේ එකකට එකක් ගැලපෙන තව මල්පඳුරු ගොඩාක් තිබුණා....

නිවසට ඇතුළු වුණාම විලීගේ පහළ තට්ටුවේ නිදන කාමරය, බිලියඩ් මේසයක් එක්ක කුඩා සාලය වගේම පුංචි කෑම කාමරය සහ මුලුතැන්ගේ...තිබුණා....

"මට ඔයාලාට උඩ තට්ටුව පෙන්වන්න ඕනෙ....මම දන්නවා...තාත්තා ඉන්න පහළ තට්ටුව බැලුවාම ඔයාලාට ඇති කියලා....නමුත් අපි උඩට යමුද...?"

ජොඈන් ඉස්සර වෙනවා ...අපි දෙන්නා පස්සෙන් යනවා....

"මේ තියෙන්නෙ අම්මා අසනීප වෙන්න කලින් ඒ දෙන්නා උන්න කාමරය..."

මම මොහොතකට ගල්ගැහෙනවා....මට ඉහළට ගත් හුස්ම පහළට දාගන්න අමතක වෙනවා...ඒ තරම්ම ..ඔව් ..ඒ තරම්ම ලස්සන, ඉහළට ඇදගත් හුස්ම ආපහු හෙලන්නට අමතක වෙන තරම්ම ලස්සන දර්ශනයක් ඒ කාමරයේ ජනේලයෙන් මට පේනවා....පහුගිය දවසක බටර්කප් පිරුණ යායක ඇවිදින්න ගිහින් කන්දක් උඩට වෙලා බලන් උන්න ජලාශය යස අපූරුවට විලීගේ ගෙදර උඩ තට්ටුවේ කාමරයේ ජනේලයෙන් පේනවා...ඒ මොහොතේ ඒ ජලාශයේ රුවලක් සහිත ඔරුවක් යාත්‍රා කරමින් තියනවා....

"ජොඈන්...මම ඔයාට යෝජනාවක් කරන්න කැමතියි.අපි ඔයාගේ තාත්තා ව තව සතියක් එහේ තියාගන්නම්.මෙන්න මේ කිත්මාට මේ කාමරයේ සතියකට නවාතැන් දෙන්න පුළුවන් ද? මොකද මට මේ වෙලාවේ පේනවා එයාව මෙතනින් ගෙනියන්න අමාරුවෙන පාටක්"

මගෙත් එක්ක ආව මගේ ඉහළ නිලධාරියා , භෞත චිකිත්සක වරයා කියන්නේ මගේ අදහස අනුමත කරමින්ම...එතන තිබුන අසුනකට බර වෙලා....

"ඇත්තෙන්ම ජොඈන් මට වුණත් ඕන ඒ දේමයි...මෙතන..මෙතන..ඇත්තෙන්ම ඒක හෙවන් එකක්..."

ඔහු කියන්නේ ජොඈන්ගේ මුහුණට සුන්දර සිනහවක්  එක්කරමින්...

හිතාගන්න අමාරුවෙන එකක් නෑ....ඒ පින්තූරය මම මේ පෝස්ට් එකට එකතු කරන්නේ ජොඈන්ගේ අවසරය අරන් ගත්තු නිසාම....



"මේ තියෙන්නේ මගෙ අම්මායි තාත්තායි හදපු ඇල්බම්...එයාලා ජීවිතේ හැම විශේෂ අවස්ථාවකටම මේ වගේ ස්ක්‍රැප් බුක්ස් අරන් ඇල්බම් හැදුවා ...."

තවත් විනාඩි ගණනාවක් අපි ඒ දර්ශනය නැරඹුවාට පස්සේ ජොඈන් කාමරයේ කබඩ් එකකින් ඇල්බමයක් ගන්නවා....පසුගිය දවසක අජිත් අයියලාගේ ගෙදර දි ඉනේස් මට පෙන්නපු එයාගේ ට්‍රැවල් ඇල්බම් ටික වගේම , අශෝකලා ඈන්ගේ ඇල්බම් ගැන කිව්ව මතකත් හිතේ තියාගෙන මම ඒ ඇල්බම් බලනවා.....මිනිස්සු කොච්චර සුන්දරද ..මට ඒ මොහොතෙත් හිතෙනවා....

"මගෙ අම්මා ගොඩාක් චැරිටි වැඩ කල කෙනෙක් කිත්මා.එයා හොස්පිට්ල් වලට , palliative care centres වලට ස්වේච්ඡාවෙන්ම වැඩ කළා...she was a great lady කිත්මා..."

එක දුවෙක් තමන්ගේ අම්මා ගැන එහෙම ආඩම්බර වෙන මොහොතේ තව දුවෙක්ගේ හිතේ අවුරුදු විස්සකට කලින් හරි ඉක්මනින් සමුගෙන ගිය එයාගේ අම්මාව මැවිලා පෙනිලා යනවා....

ඒ කාමරයේ ඇඳට උඩින් බිත්තියේ තියෙන්නේ පොත් රාක්ක ගොඩක්.විලී එයාගේ බිරිඳ එක්ක ජනේලෙන් පේන ඈත ජලාශය දිහා බලාගෙන කෝපි කෝප්පයක් බිබී පොත් කියවන්න එහෙමත් ඇති....

අපි ආපහු පහළ තට්ටුවේ...

"එන්න මේ තියෙන්නේ පිටිපස්සේ ගාර්ඩ්න් එක...මායි තාත්තායි හවසට මේ බංකුවට වෙලා මාලු බලනවා....කිත්මා ඔයා මේ පින්තූර ටිකක් අරගෙන ගිහින් තාත්තා ට පෙන්වන්න...එයා ආසවෙනවා...ඔන්න බලන්න..."

හරි අපූරු පුංචි උද්‍යානයක්...මල් පිරුණ...එක එක ornaments තැන තැන තියන උද්‍යානයේ කෙලවර බංකුවට වෙලා පොකුණේ පීනන මාලු දිහා බලාගෙන හවස් යාමයේ කෝපි කෝප්පයක් රස විඳිමින් කතාබහ කරන තාත්තයි දුවයි මට මැවිලා පේනවා...

"මේ වැටෙන් එහා තියෙන්නේ කවුන්සිල් එකෙන් කරගෙන යන පොඩි කැලයක් වගෙ එකක්...ඒකේ හර්බ්ස් එහෙම හුඟාක් වවලා තියනවා.එතනින් එහා තියෙන්නේ allotments...වගාකරන units...අපි ඉන්නේ ඇත්තෙන්ම ලස්සනම තැනක කිත්මා..."

මනුස්සයෙක් ගෙ ජීවිතේ නිවන ගැන හිතමින් මම අවශ්‍ය කරුණු සටහන් කරගන්න ගමන් අදාල මිමි ටේප් එකෙන් අරන් මනින්නේ ආව කාරණය මේ අස්සේම කළයුතු නිසා....

"මං හිතන්නේ ඔයාලාට දැන් පැහැදිලි ඇති...මම තාත්තා ව ඉක්මනින් ගෙදර ගේන්න උත්සාහ කරන්නේ ඇයි කියලා.එයා ට හුරු සුව පහසු තැන මෙතන.මේ ගෙදර එයාගේ අවුරුදු 55කට එහා මතක තියන තැන.ඔයාලාගේ සර්විස් එකට ස්තුතියි ගොඩක්ම."

අපි ආපහු හැරිලා එන්න කලින් ජොඈන් පවසන්නේ හුඟාක්ම හැඟීම්බරව.සතුටක් මුසු වුණ පොඩි කඳුලක තෙතමනයක් ඇගේ ඇස්වල මම දකිනවා.ඒ තාත්තා ඉක්මනින් ගෙදර එන සතුටට වෙන්න ඇති.

Saturday, June 1, 2024

සතුටු කතන්දර

 සතුටු කතන්දර




මේ කතාව මං ගැනමයි....

මෙච්චර දවසක් සතුටු කතන්දර ගොන්නේ ලියවුණේ මං දකින ඇසුරු කරන අයගේ ජීවිත වල සතුටු කතන්දර....

අද වෙනස් කතාවක්....

මේ සතියේ එක දිගට දවස් පහම මම වැඩ.ලෙඩ්ඩු එක්ක විතරක් වැඩ නම් කමක් නෑ....homevisits ගිහින් ගෙවල් වල තත්වය බලන්න, ඒ ඔක්කොම දවස අන්තිමේ reports ලියන්න, patients ලාගේ ගෙවල් වලින් ආයතන වලින් එන දුරකතන ඇමතුම්, විද්‍යුත් මේලයන්ට උත්තර දෙන්න....ඔක්කොම එකතු වුණාම දවස් පහ ඉවර වෙන්නෙ පොඩි හෙම්බත් කමක් එක්ක....ඒ මදිවාට දවස් දෙකක් ඇවිදින්න යන්න නොලැබීම එක්ක පොඩි කණගාටුවකුත් එක්කම තමා මම නවාතැනට ආවේ.

රෝහල කිට්ටුවෙන් පයින් යන දුරෙන් නවාතැනක් හොයාගත්තු මුල්ම දවස්වල ඉඳන් අද වෙනකල් ම ස්ටාෆ් එකේ අය කියන්නේ...."කිත්මා මාර ලකී..." කියලා...ඇත්තනෙ ඉතින් වාසනා කියන්නේ ලකී කියන එකටමනෙ...නවාතැන් ගැටලුව තදබල අන්දමටම තියන ලන්ඩන් වල මෙහෙම තැනක් හම්බ වීමම වාසනාවක් එක අතකට....අනෙක් දේ ඇවිදින්න අපූරුම ලස්සන පරිසරයක් අවට තිබීම...නමුත් වැස්ස නිසා ඇවිදීමට බාධායි මේ ටිකේම...

හොස්පිට්ල් එකට අඩි ගාණක දුරින් තියන නවාතැනේ කාමරයට ඇවිත් තේ එකක් බොන ගමන් කල්පනා කලේ මොකක්ද කරන්නේ කියලා..ඇවිදින්න යන්නෙත් නැත්නම් ...මොකක්ම හරි කරන්න ඕනනේ කියලා සෑහෙන්නම වෙලාවක් කල්පනා කලා...

ළමා කාලයෙන් ඔබ්බට තරුණ වියට එනවිටත්....මැදිවියට ආ මේ වයසේදිත් මට හිතෙන් අයින් කරදමන්න බැරි විනෝදාංශයක් තියනවා ඒ තමයි මල් කොළ වියලන එක...මේ දවස්වල බැලූ බැලූ අත ඇති කැලෑමල් පොත් පිටු අතරේ නවාතැන් ගන්න අරන් ටික දවසක්..... නමුත් මම හුඟක් දෙනා අහන නිසා කියන්නම්..මම මේ වර්ණ මෙහෙමම රැඳෙන්න කියලා විශේෂ යමක් නම් කළේ නෑ.ඇවිදින්න යනකොට අරන් යන පොඩි නෝට් බුක් එක ඇතුලේ මල් කොළ දාගෙන ඇවිත් ඒවා සුදු පිටු තියන පොතක් ඇතුළට දාන එක තමා මම කළ එකම දේ....

මල් press කිරීම භාවනාවක් වගෙ දෙයක්....ඒ ඔස්සේ නිර්මාණ කරන එකත් හිත සන්සුන් කරවන, සමාධි ගත කරවන ක්‍රියාකාරකමක්.... 

ඉතින් මේ අවසන් ප්‍රතිපලය... පොත් පිටු අස්සේ තියන මල් තව තවත් මේ වගේ ෆ්‍රේම්ස් එයාලා වෙනුවෙන් එනකල් බලා ඉන්න බව කියනවා වගේ ඉතින් මට ඇහෙනවා  ..

මනුස්සයෙක් වුණාම විනෝදාංශ එකක් හෝ තියෙන්න අවශ්‍යයි...ඒ ජීවිතේ නැවුම් කරවන එක හුරුවක්...පුරුද්දක්....

දවසේ අන්තිමට ඇත්තෙන්ම මම ඉන්නේ සතුටින්.... 

"ඔබේ ජීවිතයේ සතුට ඇත්තේ ඔබ තුළමය...එය සොයාගන්න...සොයා යන්න ..."